ඈත් වූ සඳ මගෙ සරා සඳ ( සැදෑ කළුවර කුරගගා විත් )






දැන් ටික දවසක් තිස්සේ කිය කිය ඉන්නවනේ සැදෑ කළුවර ගීතය ගැන ලියන්න හිතාගෙන ඉන්නේ කියලා . ඔන්න අද ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න හදන්නේ . මේ ලිපිය ලියන්නේ වයලීනි වෙනුවෙන් . ගීතයට තේරුම් දෙක තුනක්ම තියෙනවා . ඒවා එක එක පිළිවෙලට ලියන්නම් . කියවලා බලලා කියන්න මොන තේරුමද මේ ගීතයට හරියන්නේ කියලා . ගොඩක් දවස් මේ ගීතය ගැන හිතාගන්න බැරුව හිටියේ කොහොම අදහසක්ද මේ ගීතයේ තියෙන්නේ කියලා . 
සති අන්තයේ කැම්පස් ඉඳලා ගෙදර එනගමන් බස් වල යන සිංදු අහන්න තියෙන අප්පිරියාව නිසාම හෙඩ් සෙට් එකත් කනේ ගහගෙන කොළඹ ඉඳලා රත්නපුරේට එනකල්ම ඇහුවේ මේ ගීතය . ඒ පැය කීපයට තමයි මේ ගීතය මෙහෙම වෙන්න ඇති කියලා හිතුනේ . ගීතය ලියන්න ඕන කියලා හිතුවේ ඇයි කියලා මම ලිපියේ මැද හරියේදී කියන්නම්කො .

කැම්පස් එකේ ඉන්න මම අඳුරන සමහර ගෑණු ළමයින්ගේ ප්‍රේමවන්තයෝ මේ වෙනකොට වැඩි දුර අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ගත වෙලා ඉන්නේ . ඉතින් සමහර වෙලාවට අපිත් අහනවා ආ දැන් කොල්ලට කොහොමද කියලා . ඒ වෙලාවට කෙල්ල කියන්නේ එයාටනම් හොඳයි වයලීනෝ , මට තමයි හොඳ නැත්තේ කියලා . ඒ වෙලාවට වයලීනෝ නම් කියන්නේ . අනේ වාසනාවන් . ඒ කොල්ලා කනක් ඇහිලා සැනසිල්ලේ ඉන්නවා ඇති මේ දවස්වල කියලා . හැක හැක හැක හැක .

ඉතින් ඔයවෙලාවට ඕවා අහගෙන ඉන්න ඒ ගෑණු ළමයාගේ අනිත් යාළු ගෑණු ළමයි ඒ ගෑණු ළමයට කියනවා . " ඒක තමයි දැන් ඉතින් තුරුල් වෙලා ඉන්න , කිස් එකක්වත් දෙන්න , බීච් එකේ රවුමක් යන්න , ෆිල්ම් එකක් බලන්න යන්නවත් වෙන්නේ නැහැනේ . අවුරුදු දෙක තුනක්ම බලාගෙන ඉන්න වෙනවා ඒකට " කියලා .

මේවා අහගෙන ඉන්න කොල්ලා රට ගියපු ගෑණු ළමයි කියනවා අනේ මට ඕවා මතක් කරන්නේ නැතිව ඉන්නකෝ හලෝ කියලා . ඔයවෙලවට අපි හිනා උනාට මොකද ඔය කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා කියලා වයලීනෝ දන්නවා . හැක හැක හැක හැක හැක . ඔය මොනවා නැතත් ප්‍රේම කරන දෙන්නෙක්ට හැමදාම දෙන්නට දෙන්නා දැක්කත් ඇතිවෙන්නේ නැහැ කියනවනේ .

ගොඩක් වෙලාවට ආදරය කරන කාලයේ වැඩිපුර කතා කරන්නේ පෙම්වතා . පෙම්වතිය කතා කරන්නේ අඩුවෙන් . ඊට පස්සේ බඳින්න කිට්ටු උනාම ඕක මාරු වෙනවා . ඒ කියන්නේ පෙම්වතිය කියවන්න පටන් ගන්නවා . පෙම්වතා ඒවා අහගෙන හාවක් හූවක් නැතිව ඔහේ ඉන්නවා . ගොඩක් වෙලාවට ඔය කාලෙට පෙම්වතුන් , මම තමුසෙව මරණවා කිව්වත් හ්ම්ම්ම් ගාගෙන තමයි ඉන්නේ . ඒක තමා වෙනස් නොවෙන උතුම් සත්‍යය . ඊට පස්සේ ජීවිත කාලෙම එහෙමම තමා . ඒත් ඔය ආදරේ කියන එක ඇතුවත් බැරි නැතුවත් බැරි මොකක්ද එකක් නිසා දැන දැනම හැමෝම පනින්නේ එකම ගඟකට තමයි .






වයලීනොට කැම්පස් පටන් ගත්තට තවමත් වයලීනිට නිවාඩු . දෙන්නා කැම්පස් දෙකකනේ ඉන්නේ මෙයාලා . තවමත් ගෙවල් වලට හොරෙන් මල් නෙලන දෙන්නෙක් හැටියට මේ නිවාඩු කාල ගෙවන එක දෙන්නටම හරිම අවුල් . අවුල් නෑ වගේ හිටියට අවුල් . මොකද නෝකෝල් , නෝමීට් නිසා . ඉතින් දවසක් දෙන්නත් එක්ක දවසේ විස්තර sms කර කර ඉන්නකොට මට මේ ගීතය මතක් උනා . ඊට පස්සේ තමයි ලියන්න ඕන කියලා හිතුනේ . අපි හැමදාම පොඩි ළමයි ගානට ඉන්නවනම් හොඳයි . ඒත් කාලය ඒකට ඉඩ දෙන්නේ නෑ . කාලය අපිට නොදැනීම ගෙවෙනවා . වයසත් වැඩි වෙනවා . ඒත් එක්කම උත්තර හොයන්න ඕන ප්‍රශ්න ගානත් වැඩි වෙනවා .

මොන්ටිසෝරි කාලේ තිබ්බේ ටීචර් දෙන ගෙදරවැඩ විතරයි . ප්‍රයිමරියේ තිබ්බේ ශිෂ්‍යත්ව ප්‍රශ්න . ඕලෙවල් වලට ආවට පස්සේ ඒ ප්‍රශ්න . ඒ ලෙවල් වලට ආවට පස්සේ ලොකු ලොකු ප්‍රශ්න . ඔය කාලේ ඉතින් නැති ප්‍රශ්නත් දාගන්නවා . එතකොට ඒලෙවල් ප්‍රශ්නයි ඒවයි කලවම් වෙලා අමුතුම ප්‍රශ්න ටිකක් හැදෙනවා . කැම්පස් ආවට පස්සේ ප්‍රැක්ටිකල් , එක්සෑම් , අසයින්මන්ට් , ප්‍රසන්ටේෂන් ඒවා මේවා ඔක්කොම ප්‍රශ්න . ඊට පස්සේ මල් කඩන ප්‍රශ්න . ඕවාට අමතරව දැන් ටික ටික ජීවන අරගලයත් ඔලුවට වැටෙනවා. ඒත් එක්කම ගෙවල්වල ප්‍රශ්නත් ටික ටික ඔළුවට බර වෙනවා .

ඔය ඔක්කොම ප්‍රශ්නවල පීඩනයෙන් ටිකකට හරි මනුස්සයෙක් නිදහස් වෙන්නේ ආදරය කරන කෙනත් එක්ක ටික වෙලාවකට හරි තනිවෙලා ඒ ලෝකෙට ගියාට පස්සේ . හැබැයි ඒකත් නැති උනාම ඒ පීඩනය වෙන වෙන අයගේ හිස මතින් තමයි පිට වෙන්නේ . ගෑණු ළමයි කියලා නැහැ . සමහරවෙලාවට ගෙවල් වල බර ඔළුවට ගන්නේ ගෑණු ළමයි . ඒත් එහෙම වෙන්නේ ගෙදර පිරිමි නැති නිසාමත්ම නෙවෙයි . වෙන කරන්න දෙයක් නැති නිසා .

අනික ගෑණු ළමයෙක්ට අනාගතයේ තමන්ගේ විවාහය වෙනුවෙන් සමාජය පටවලා තියෙන බරකුත් තියෙනවා .  ඒ දෑවැද්ද . කොල්ලගේ පැත්තෙන් ඉල්ලුවේ නැතත් , බලාපොරොත්තු උනේ නැතත් කෙල්ල හිතන්නේ හිස් අතින් යනවට වඩා තමන්ට ඕන දේවල් වත් අරගෙන යන්න පුළුවන් නම් හොඳයි කියලා  .  ඉතින් දෑවැද්ද නොවුනට තමන්ට අවශ්‍ය දේවල් හරි හම්බ කරලා එකතුකරගෙන ස්වාමියාගේ ගෙදරට අරගෙන යන්න ගෑණු ළමයි හීන මවනවා . ගොඩක් වෙලාවට ඒ අය දිවා රෑ නොබලා මහන්සි වෙන්නෙත් ඒ නිසාම තමයි . හැබැයි සමහර වෙලාවට ගෙදර බර කරට ගත්තම ඒ ගෑණු ළමයටත් ජීවිතයක් තියෙනවා කියලා ගෙවල් වලටත් අමතක වෙනවා . ඒ නිසා ගෙදර අයගේ සතුට වෙනුවෙන් ජීවිතයම කැප කරපු උතුම් කාන්තාවන් උනත් මේ සමාජයේ නැතුව නෙවෙයි .

ඉතින් අද කියන්න යන ගීතයේ තියෙන්නේ ආදරය , ප්‍රේමය , විවාහය , රැකවරණය කියන දේවල් නැතිව හෝ අඩුවීම නිසා , පීඩනයෙන් ජීවත් වෙන තරුණියක් , පෙම්වතියක් , බිරිඳක් මේ කවුරු හරි කෙනෙක්ගේ හිතේ ඇතිවෙන සිතුවිල්ලක් ගැන . ගීතය රචනා කරලා තියෙන්නේ පිරිමියෙක් . ඒවගේ පිරිමි හිතකින් කාන්තාවක් හිතනවා වගේ මේ ගීතයේ තියෙන අදහස හිතන්න හරිම උපේක්ෂා සහගත හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕන කියලා තමයි මම නම් හිතන්නේ  . අපි එහෙනම් ගීතය අහලා ඉමු .

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා
ආ...

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා
ආ...

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා
ආ....





ගායනය - විශාරද නන්දා මාලිනී
සංගීතය - විශාරද නන්දා මාලිනී




පද රචනය - මඩවල එස්. රත්නායක





මේ ගීතය ඇතුලේ මට එකිනෙකට වෙනස් අවස්ථා තුනක් පේනවා . ඒ අවස්ථා තුන අනුව තමයි මම ගීතයට මේ තේරුම් ලියන්න හිතුවේ .

ඔන්න ටිකක් පිටිසර ගම්මානයක් තියෙනවා . ඒ ගමේ වැඩිය ගෙවල් ඇත්තේ නැහැ . අපි කියමුකෝ අනුරාධපුරේ පැත්තේ , නැත්නම් පොළොන්නරුව පැත්තේ තියෙන ගමක් කියලා . මේ ගමේ අයගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්න හේන් ගොවිතැන . මෙහෙම හේන් ගොවිතැන කරගෙන ඉන්න පිරිමියෙක් තමන්ගේ ජීවන සහකාරිය කවුද කියලා හොයාගෙන එයාව විවාහ කරගෙන වෙනමම පැළකුත් අටවගෙන තනියමම ජීවත් වෙන්න පටන් ගන්නවා . ටික කාලයක් මෙහෙම ගතවෙලා යනවා . දෙන්නට දැන් දරුවනුත් ඉන්නවා . ඒත් එහෙමයි කියලා පිරිමි කෙනා ජීවනෝපාය විදියට කරන හේන් ගොවිතැන කරන්නේ නැත්නම් හැමෝටම බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ . ඒ නිසා පිරිමියා තමන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටු කරන්න කල් යල් බලලා හේන වපුරනවා .

වපුරපු කාලේ ඉඳලා ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න . කුරුල්ලෝ එනවා වපුරපු ඇට ජාති අහුලාගෙන කන්න . ඇට පැළ උනාට පස්සේ ඒවා කන්න හාවෝ එනවා . අල ජාති හැදුනම ඒවා කන්න ඉත්තෑවෝ වල් ඌරෝ එනවා . කුරක්කන් වගේ දේවල් හැදුනම කුරුල්ලෝ අලි ඇත්තු මී හරක් මේ හැම සතාගෙන්ම තමන්ගේ වගාවට අතුරු ආන්තරා වෙන්න පුළුවන් . එම අතුරු ආන්තරා ඔක්කොම වලක්වලා තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න නම් හේන් ගොවියා හැමදාම රෑට පැල් රකින්න යන්න ඕන . උදේ කාලයේ දවල් කාලයේ හේනේ වැඩ කරලා ගෙදරට එන පිරිමියා කාලා බීලා ටිකක් මහන්සි නිවලා හවස් වෙලා ඇඳිරි වැටෙනකොට ආයෙත් හේන් බලා පිටත් වෙනවා පැල් රකින්න . නැත්නම් ඉන්නේ හේනෙම තමයි . බිරිඳ තමයි කෑම බීම උයලා හේනට ගිහින් දෙන්නේ . මෙන්න මේ තැනින් තමයි මම හිතන හැටියට ගීතය පටන් ගන්නේ .

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා
ආ...


උදේම ගාලෙන් පිටත් වෙන හරක් උදේ දවල් කාලයේ කෑම හොයමින් ඇවිද ඇවිද ඉඳලා හවස් වෙනකොට ආයෙත් ගාලට එන්නේ දවසෙම ඇවිදපු මහන්සිය නිසා හරිම හෙමින් සහ කල්පනාවෙන් . අපේ බාසාවෙන් කියනවනම් ඇඩ්රස් නැතුව තමයි ගාල හොයාගෙන එන්නේ . මේකට තමයි කියන්නේ කුර ගානවා කියලා . ඔන්න ඔය වගේ තමයි සවස් කාලයේ කළුවරත් වැටෙන්නේ . හවස හතරට විතර ඉර මාමා අපිට මතක් කරනවා තව ටිකකින් මම මගේ සේවාව අවසන් කරනවා , ඒ කියන්නේ කළුවර වැටෙනවා කියලා . ඊට පස්සේ ටික ටික පොළවට අඳුර වැටෙන්න පටන් ගන්නවා . 

සැදෑ කළුවර කුරගගා විත් කියලා කියන්නේ අන්න ඒ දර්ශනය ශ්‍රාවකයින්ගේ හිතේ ඇති කරන්න . දැන් ස්වාමියා පැල් රකින්න හේනට යනවා . සමහරවිට මේ බිරිඳත් තමන්ගේ ළමයිත් එක්ක වැඩිය හවස් වෙලා නැති දවසක ස්වාමියාත් එක්ක හේනට යන්න ඇති . එහෙමත් නැත්නම් ස්වාමියට එදා ගෙදර එන්න වෙලාවක් නැහැ . එහෙම ආවොත් සත්තු හේනට ඇවිත් හේනම විනාශ කරන්න පුළුවන් . ඒ නිසා බිරිඳ ස්වාමියාට හේනට රාත්‍රී ආහාරය ගිහින් දෙන්න යනවා . වැඩිය හවස් වෙලා නැති නිසා ළමයිනුත් මේ ගමනට එකතු කර ගන්නවා .

ඊට පස්සේ වැඩිය හවස් වෙලා ඇඳිරි වැටෙන්න කලින්ම ස්වාමියා බිදිඳට කියනවා දැන් රෑ වේගෙන එන නිසා ආයෙත් ළමයිනුත් එක්ක ගෙදර යන්න කියලා . ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වෙනවා කියන්නේ අන්න ඒ වෙලාවේ බිරිඳ තමන්ගේ ස්වාමියට සමු දීලා නැවත ගෙදර එන අවස්ථාවට .  බිරිඳට තනිකම දැනෙනවා . ඒ කියන්නේ ස්වාමියා ඉන්නේ රාත්‍රී කාලයේම හේනේ පැලේ . බිරිඳට වෙන්නේ දරුවන් බලාගෙන ගෙදරට වෙලා ඉන්න . ඈත් වූ සඳ මගෙ සරා සඳ , ඒ කියන්නේ ස්වාමියාගෙන් ඈත් උනාට පස්සේ . තනිවෙලා මා තනිවෙලා . බිරිඳ හිතනවා තමන් තනි වෙලා කියලා . දැන් කෙනෙක්ට කියන්න පුළුවන් තනි වෙන්නේ කොහොමද ? , ළමයි එක්කනේ බිරිඳ ගෙදර ඉන්නේ කියලා . ඒත් ගැහැණියකට , පෙම්වතියකට තමන්ගේ ස්වාමියා හරි පෙම්වතා හරි ළඟ නැති අඩුව වෙන දෙයකින් පුරවන්න බැහැ . අන්න ඒ නිසයි බිරිඳ කියන්නේ තනිවෙලා මා තනිවෙලා කියලා .


වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා


ආදරයේ සංකේත වැඩි හරියක් තියෙන්නේ අහසේ . සිකුරු තරුව , හඳ වගේ දේවල් . ඒත් අහසේ සමහර වෙලාවට ඒ මුකුත්ම පේන්නේ නැති වෙලාවල් තියෙනවා . සමහරවිට තවම මේ ගෙවෙන්නේ සවස් කාලය වෙන්න පුළුවන් . ඉරත් බැහැලා ගිහිල්ලා . හඳ පායලත් නෑ . තරුත් පායලා නෑ . ඒ මදිවට වලාකුලක්වත් පේන්නේ නෑ . අහස ලස්සන වෙන්නේ අහසේ අඩුම තරමින් වලාකුලක්වත් තියෙනකොට . ඉතින් මේ බිරිඳ තමන්ගේ නිවහනට ඇවිත් රාත්‍රී කළුවර වැටීගෙන එන වෙලාවේ අහස දිහා බලනවා . එතකොට එයාට පේනවා අහසේ වලාකුලක්වත් පායලා නෑ කියලා. ඒ කියන්නේ අහසම මලානික වෙලා කියලා . ඊට පස්සේ බිරිඳ කල්පනා කරනවා අහස වගේම තමයි අද එයාගේ ජීවිතයත් , ස්වාමියා නැති නිසා තමන්ගේ ජීවිතය පාලුවෙලා කියලා . වළාකුලකුදු නොමැති අහසේ මලානික වූ ‍මගේ සිතුවිලි කියලා කියන්නේ අන්න ඒ තේරුම .

තනිකම දැනෙන වෙලාවක කාටවත්ම වැඩිය දේවල් හිතන්න තමන්ගේ හිත ඉඩ දෙන්නේ නෑ . අන්න එවගේ තමයි මේ බිරිඳටත් . කොච්චර දවසේ වැඩ රාජකාරි තිබුණත් . ඒවා ගැන හිතන්න තමන්ගේ හිත මේ බිරිඳට  ඉඩ දෙන්නේ නෑ . එයා එක තැනකට වෙලා වාඩිවෙලා අහස දිහා බලාගෙන කල්පනා කරනවා . එහෙම කල්පනා කර කර ඉන්නකොට බිරිඳට නොදැනීම තමන්ගේ ඇස් වලින් කඳුළු කැට කඩාගෙන හැලෙනවා . පළවෙනි අන්තරා කොටසේ " මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාළු වී ඇත කදුල පමණක් රජවෙලා " කියන්නේ අන්න ඒ අදහස ගීතයෙන් පෙන්වන්න .

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා
ආ....

මේ ගීතයේ මම හරිම කැමති තැනක් තමයි මේ දෙවෙඉනි අත්තරා කොටසේ මුල් පද දෙක වන ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි කියන පද පේලි දෙක . මේ පද දෙකෙන් කියවෙන්නේ ගීතයේ මේ තේරුමට අනුව ස්වාමියා සහ බිරිඳ ඈත් වෙලා ඉන්නේ රාත්‍රී කාලයේ විතරයි කියන එක . මොකද උදේම ස්වාමියා පැලේ ඉඳලා ගෙදර එනවා . නැත්නම් බිරිඳ උදේම ස්වාමියට කෑම බීම හදාගෙන පැලට යනවා . එතකොට තමන්ගේ එකම සැනසිල්ල තමන්ගේ ඇස ගැටෙන මානයේ ඉන්නවා කියලා බිරිඳට තරමක හෝ සැනසිල්ලක් ලබන්න පුළුවන් . තමන් මේ ගෙවන පාළුව ඇතිවීම සහ නැති වීම තීරණය වෙන්නේ ස්වාමියාගේ ලෝකයයි බිරිඳගේ ලෝකයයි එක්වීම සහ වෙන් වීම මත . ඒ දෙක අතරේ තියෙන්නේ එක රැයක් විතරයි . ගීතයේ මේ පද පේලි දෙකෙන් ඒ වෙනස හොඳට පෙන්නලා තියෙනවා .

කිලෝමීටයක් කිව්වම අපේ හිත්වල කොච්චර දුරකද කියලා එකපාරටම අදහසක් ඇතිවෙනවා . ඒත් ගව්වක් කිව්වම ඇතිවෙන්නේ කිලෝමීටරය තරම් පොඩි නැති ඉතාම විශාල දුරක් කියලා . එක ගව්වක් නෙවෙයි . ගව් ගාණක් කිව්වම අපිට හිතෙන්නේ ඉතාම විශාල දුරක් කියලා . මේ බිරිඳ දැන් තනියම ගෙදරට වෙලා ඉන්නකොට පවුලේ වගකීම් තරමක් දුරට තමන්ගේ හිස මතට වැටිලා තියෙනවා කියලා කල්පනා කරනවා. මොකද මේ වගේ ගැමි පරිසරයක කකුල් හතරේ මී හරක් , වල් ඌරෝ , වල් අලි වගේම කකුල් දෙකේ වල් අලි , වල් ඌරෝ පවා නැතිවෙන්න බැරි නැහැ . ඒ නිසා ස්වාමියා ගෙදර නැතිවෙලාවේ තමන්ට , තමන්ගේ දරුවන්ට ඇතිවෙන්න පුළුවන් අතුරු ආන්ත්‍රා ගැන බිරිඳ කල්පනාවෙන් ඉන්න ඕන . මේ අතුරු ආන්ත්‍රා සහ ගෙදර වැඩ කටයුතු , දරුවන්ගේ වැඩ කටයුතු ඔක්කොම එකතුවෙලා තියෙනවා . ඒත් ඒවා කරන්න තරම් හිත එකලස් වෙන්නේ නෑ තමන්ගේ පාළුව නිසා . හිතට ප්‍රශ්නයක් ඇති උනාම අපි කාට කාටත් වෙන්නේ අන්තිමට මේ දේ තමයි .

මේ ගීතයට මම ලියන දෙවෙනි තේරුම පදනම් වෙන්නේ විවාහය සිහිනයක් වෙච්ච තරුණ වයසෙන් මැදි වයසට පා තබපු තරුණියක් . ඔන්න එකෝමත් එක රටක අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවෙකුයි පුතෙකුයි තව දුවෙකුයි ඉන්නවා . මේ පවුලෙන් වැඩිමල් දියණිය තමයි ඔන්න කතා නායිකාව වෙන්නේ . අනිත් අය ගොඩක් බාලයි . ඉස්කෝලේ යන වයසේ . ලොකු දුව ඉස්කෝලේ ගිහිල්ලා අවසාන වෙනවත් එක්කම වගේ හදිස්සියේම තාත්තා මිය යනවා . දැන් මෙයාලට ජීවත් වෙන්න විදියක් නෑ . ආදායමක් නැහැ . නෑදෑයෝ සලකන්නෙත් නැහැ . මේ නිසාම ලොකු දුව තීරණය කරනවා පාසැල් ගිහින් අවසාන් වෙච්ච ගමන්ම රැකියාවකට යන්න .

දැන් ලොකු දුව රැකියාවකට යනවා . පවුල ජීවත් කරන්න පුළුවන් තරම් මුදලක් උපයාගන්නත් පුළුවන් . නංගියි මල්ලියි ඉගෙන ගන්නවා . ඔහොම ඔහොම කාලය ගෙවිලා යනවා . අවුරුදු ගාණක් ගෙවිලා ගියත් තවම එයාට විවාහ වෙන්න විදියක් නැහැ . මොකද පවුලේ වගකීම් තියෙන්නේ තමන්ගේ හිස මත නිසා . කාලයත් එක්ක මේ දුවට අඳුනා ගන්න ලැබුණු කෙනෙක්ට මේ දුව ආදරය කරනවා . ඒත් එයාලට විවාහ වෙන්න තරම් හිතට හයියක් නැහැ . මොකද එය විවාහ වෙලා ගියොත් පවුලේ බර දරන්න , නංගිට මල්ලිට ඉගෙනගන්න වියදම් කරන්න කවුරුවත් නැති නිසා . අම්මව ජීවත් කරවන්න විදියක් නැති නිසා . ඉතින් මේ දෙන්නගේ ආදරය හුදෙක්ම ආදර සම්බන්ධයක්ම විතරක් වෙනවා . ඒත් ආදරයේ උණුසුම විඳින්න බැරි වීම නිසා මේ දුව තනියමම දුක් වෙනවා . ඒ දුක් වීම තමයි මේ ගීතයේ තියෙන්නේ .









සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා
ආ...

ජීවිතය කියන්නේ තත්පරයෙන් තත්පරය ගෙවී ගෙවී යන දෙයක් . ජීවිතය අපිට දවසකට උපමා කරන්න පුළුවන් . අපි ඉපදෙනවත් එක්කම ජීවිතය ආරම්භ වෙනවා . ඒ කියන්නේ ඉර පායනවත් එක්කම දවසක උදාවත් වෙනවා වගේ . ඊට පස්සේ අපි ළමා විය , තරුණ විය මැදි විය , මහළුවිය ගත කරලා මිය යාමත් එක්කම ජීවිතය අවසාන වෙනවා . උදෑසන ඉර පෑයීමත් එක්ක දවසක් උදාවෙනවා වගේ තමයි අළුයම උදෑසන දහවල සවස රාත්‍රිය කියන කාල ප්‍රාන්තර ගත කරලා දවසක නිමාවත් වෙන්නේ . මේ ගීතයේත් මුල්ම පද පේලියෙන් කරලා තියෙන්නේ අන්න ඒ දේ ජීවිතයට උපමා කිරීමක් නේද ?

තරුණ විය ඉක්මවා මැදි වියට පා තබන්න මේ දියණිය දැන් සූදානම් . සැදෑ කළුවර කුරගගා විත් කියන්නේ ජීවිතයේ තරුණ කාලය ගතවෙලා , එහෙමත් නැත්නම් ජීවිතයෙන් භාගයක් විතර ගතවෙලා දැන් ජීවිතයේ සවස් කාලයට ලං වෙනවා කියන එක . ඒ කියන්නේ දුවගේ වයස ඉක්මවා යනවා කියන එක .

දැන් මම කිව්වනේ කලින්ම මේ දුවට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා . ඉතින් දුව කල්පනා කරනවා තමන්ගේ වයස ගෙවිලා යනවත් එක්කම පෙම්වතාගේ පැල්පතක් තමන්ගේ දෑස් මානයෙන් ඈතට යනවා කියලා . ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සඳ කියන්නේ අන්න ඒ විවාහය සිහිනයක් වීම ගැන . ඒත් එක්කම හිතනවා තමන්ගේ ගෙවිලා යන අඳුරු වෙමින් පවතින ජීවිතයට ප්‍රේමයේ ආලෝකය ලබා දෙන්න කැමැත්තෙන් ඉන්න පෙම්වතා , එහෙමත් නැත්නම් සරා සඳත් තමන්ගෙන් ඈත් වෙලා යනවා කියලා .

ඉතින් මේ නිසා මේ දුවට කියාගන්න බැරි තනිකමක් ඇතිවෙනවා . අම්මට මේ ගැන කියන්නත් බැහැ . මොකද එතකොට අම්මගේ හිතට තවත් ප්‍රශ්නයක් ඇති කරා වෙනවා . ඒවගේම නංගිලා මල්ලිලාටත් කියන්න බැහැ . ඒ නිසා මේ දුව තමන්ගේ දුක තනියමම දරාගෙන පැත්තකට වෙලා කල්පනා කරනවා .


වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා
ආ...


ජීවිතය හරියට අහස වගේ . ටිකෙන් ටික වියපත් වෙනකොට ජීවිතයටත් අන්ධකාරය එන්නේ හරියට අහසට අන්ධකාරය එනවා වගේ . මේ අන්ධකාය එන අහසට ආලෝකය දෙන්නේ සඳ . ඒවගේම වියපත්වෙන ජීවිතයට ආලෝකය දෙන්නේ සරා සඳ , එහෙමත් නැත්නම් ප්‍රේමවන්තයා , නැත්නම් ස්වාමි පුර්ෂයා . ඒත් මේ දුව කල්පනා කරනවා තමන්ගේ ජීවිතයේ හඳක් තියා අඩුම තරමේ වලාකුලක්වත් නැහැ කියලා . වලාකුලකුදු නොමැති අහසේ කියලා කියන්නේ අන්න ඒ නිසයි .

මේ දුවගේ හිතේ තියෙන දේවල් කාටවත් කියලා හිත නිදහස් කරගන්නත් විදියක් නැහැ . ඒ නිසාම තමන්ගේ සිතුවිලි ඔක්කොම මලානික වෙලා ගල් ගැහිලා තියෙනවා . ඒ නිසාම පාළුව තනිකම වැඩි වැඩියෙන් මේ දුවට දැනෙනවා . සමහරවිට දුව හිතනවා ඇති අම්මා තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැහැ කියලා . මොකද සමහර පවුල් මම දැකලා තියෙනවා පවුලේ වැඩිමලා පවුල නඩත්තු කරනවා . ඒත් අම්මට අමතක වෙනවා පවුල නඩත්තු කර කර ඉන්න නෙවෙයි මේ ළමයටත් ජීවිතයක් තියෙනවා කියලා . අම්මා වද වෙන්නේ පවුලේ අනිත් බාල ළමයින්ගේ ජීවිත ගැන . පවුලේ වැඩිමලාගෙන් ලැබෙන ආලෝකයෙන් බාල දරුවන්ගේ ජීවිතවල ඉරණම විසඳලා ඉවර උනාට පස්සේ තමයි අම්මට මතක් වෙන්නේ වැඩිමලා තවම එහෙමමයි කියලා . එතකොට වැඩිමලාගේ ජීවිතයට සැදෑ කළුවර කුර ගගා විත් නෙවෙයි හැටට හැටේම ඇවිල්ලා . කොහොමහරි ඉතින් මේ දුවත් තනියමම ඒ දේවල් ගැන කල්පනා කර කර ඉන්නකොට තමන්ට නොදැනීම ඇස්වලින් කඳුළු වැල් ගලාගෙන යනවා . ( කාන්තාවක් නොවුනට චරිත තුනක් නව කතාවේ ඉසා ඉන්නෙත් මේ තැනම තමයි )


ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා
ආ....


මෙහෙම කල්පනා කර කර ඉන්නකොට දුවට හිතෙනවා තමන්ගේ පෙම්වතා එක්ක පැනලා යන්න . නැත්නම් ගෙදර ප්‍රශ්න අමතක කරලා තමන්ට පෙම්වතෙක් ඉන්නවා කියලා ගෙදර අයට කියලා විවාහ වෙලා ගෙදරින් වෙන් වෙලා යන්න . මම කිව්වනේ මේ ගීතයේ හොඳම තැන තමයි මේ අන්තරා කොටස කියලා . ඒ මේ අන්තරා කොටසේ තියෙන පළවෙනි පද දෙක නිසා .

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි

මේ දුව , නැත්නම් පෙම්වතිය කල්පනා කරනවා පැනලා යන්න . සාමාන්‍යයෙන් පැනලා යන්නේ රාත්‍රී කාලයේ නිසා මේ පද දෙක එතනට ගැළපෙනවා . ඔබේ ලෝකය , ඒ කියන්නේ පෙම්වතාගේ ලෝකය . මගේ ලෝකය , ඒ කියන්නේ පෙම්වතියගේ ලෝකය . අතර ඇත්තේ රැයක් පමණයි , ඒ කියන්නේ පැනලා යනවානම් ඒ වෙනුවෙන් ගතවෙන්නේ ඒක රැයක් විතරයි . ඊට පස්සේ දෙනාගේම ලෝක දෙක එකම ලෝකයක් වෙනවා .

එහෙමත් නැත්නම් අපි හිතමුකෝ මේ දුව තමන්ගේ අග හිඟ කම් හැම දේම එක්කම පෙම්වතා එක්ක විවාහ උනා කියලා . එහෙම උනානම් මේ පෙම්වතිය සහ පෙම්වතා මධු සමය ගත කරන රාත්‍රියේ පෙම්වතාගේ ලෝකයට පෙම්වතියත් , පෙම්වතියාගෙ ලෝකයට පෙම්වතාත් පිවිසිලා දෙන්නාගේම ජීවිත එකම ජීවිතයක් බවට පත් වෙනවා . ඉතින් ඒ වෙනුවෙන් උනත් ගතවෙන්නේ එකම එක රැයක් විතරයි . ඒ නිසා මේ දෙන්නාට ඕනනම් එකම රැයකින් එක්කෙනෙක් වෙන්න පුළුවන් කියලා පෙම්වතිය කල්පනා කරනවා .

එහෙම ටික වෙලාවක් තමන්ගේ මේ මනෝ ලෝකයේ සැරිසරමින් ඉන්න පෙම්වතිය ආයෙත් ගෙදර වැඩිමහල් දියණියගේ තත්ත්වයට පත් වෙනවා . ඊට පස්සේ බලෙන් යටපත් කරලා තිබුණු ගෙදර ප්‍රශ්න ඔක්කොම ආයෙත් හිතට එනවා . එතකොට කල්පනා කරනවා එක රැයකින් පෙම්වතාටත් පෙම්වතියටත් එකතු වෙන්න පුළුවන් උනාට ගෙදර ප්‍රශ්න ඔක්කොම අමතක කරලා වගකීම් වලින් කොහොමද වෙන් වෙලා යන්නේ කියලා .

ගවු ගාණක් දුර , ඒ කියන්නේ ගව් ගාණක් දුර අතීතයේ වෙච්ච දේවල් සහ ඒ නිසා ඇති වෙච්ච අනාගතයේ වෙන්න පුළුවන් ප්‍රශ්න නිසා ඇතිවෙන ජීවන බර තමන්ගේ හිස මත බර වෙලා කියලා දුව හිත හදාගන්නවා විවාහයට වඩා මේ ප්‍රශ්න විසඳන එක වැදගත් කියලා . එහෙම හිතලා තමන්ගේ සුපුරුදු ජීවිතය ගත කරන්න මේ පෙම්වතිය හිත හදා ගන්නවා .

ඔහොමත් නැත්නම් මේ ගීතය ගැන තවත් විදියකින් අපිට හිතන්න පුළුවන් . ඒ මෙන්න මෙහෙම .

පෙම්වතෙකුයි පෙම්වතියකුයි ඉන්නවා . දෙන්නා ආදරය කරන්න පටන් අරගෙන දැන් කාලයක් වෙනවා . ඒත් තවම විවාහ වෙන්න වයසක් නැහැ . සමහරවිට වයස තියෙනවා වෙන්න පුළුවන් . ඒත් ආර්ථිකමය ශක්තිමත් බවක් නැහැ . ඒ නිසා මේ පෙම්වතා සහ පෙම්වතිය හමුවෙලා කතා බහ කරලා යනවා එනවා විතරයි . ගෙවල් වලිනුත් මේ සම්බන්ධය ගැන දන්නවා . ඒත් ඒ අයටත් මේ දෙන්නව එකතු කරන්න විදියක් නැහැ මේ තියෙන ප්‍රශ්න නිසා . මේ පෙම්වතාගේ සහ පෙම්වතියගේ ගෙවල් පිහිටලා තියෙන්නේ එකම ගමක ගෙවල් දෙක එකකට එකක් පේන මානයේ . පෙම්වතිය දවසක් පෙම්වතා හමුවෙලා ගෙදර ඇවිල්ලා හවස් වේගෙන එනකොට තමන්ගේ ලෝකයේ තනිවෙලා මෙන්න මෙහෙම හිතනවා .

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා
ආ...

හෙමින් හෙමින් හවස් වේගෙන එනවා . කළුවර වැටීගෙන එනවා . එහෙම කළුවර වේගෙන එනකොට පෙම්වතාගේ නිවස අන්ධකාරය නිසා ටික ටික පේන්නේ නැතුව යනවා . ඒත් එක්කම දවසේ වැඩි කාලයක් පෙම්වතා එක්ක කාලය ගත කරලා හවස් වෙනකොට පෙම්වතාගෙන් ඈත් වෙලා තමන්ගේ ගෙදර තමන්ට තනි වෙන්න වෙනවා .

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා
ආ...

පෙම්වතියට හිතෙන්නේ තමන්ගේ ජීවිතය වලාකුලක්වත් නැති අහසක් වගේ . ඒ අහස මලානික වෙලා තියෙන්නේ පෙම්වතියගේ සිතුවිලි නිසා . ඒ සිතුවිලි මලානික වෙලා නිසාම සිතුවිලි දාමයක් වගේ ගලාගෙන යන්නේ නැතිව ගල් ගැහිලා තියෙනවා . ඒ නිසාම තනිකම පාළුව තමන්ගේ ජීවිතයේ රජ කරන්න පටන් ගන්නවා . කඳුල පමණක් රජවෙලා කියලා තියෙන්නේ අන්න ඒ නිසා .

මේ අන්තරා කොටසත් එක්ක දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි ගොඩක් වෙලාවට පෙම්වතුන් පෙම්වතියන් ආදරයෙන් කතා කරන්න මල් නෙලන්න පටන් ගන්නේ වැඩිපුරම රෑ කාලයේ කියන එක . දවල් කාලයේ කොච්චර ලොකු ටෝක්ස් දුන්නත් , පෙම්වතුන් පෙම්වතියන් රෑට නිදා ගන්න කලින් අනිත් පාර්ශවයෙන් එන ආදර බර වදන් බලාපොරොත්තු වෙනවා . රෑ වේගෙන වේගෙන එනකොට තමයි ඒ දේවල් ගැන තියෙන බලාපොරොත්තුව තව තවත් වැඩි වෙන්නේ . ඒත් ඒවා නොලැබීම නිසා සමහර වෙලාවට දෙන්නම දුක් වෙනවා . ඒ නිසා තමයි මේ ගීතයේ මේ අන්තරා කොටසේ කඳුල පමණක් රජ කරන්නේ .

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා
ආ....


පෙම්වතිය පෙම්වතා නැති දුකෙන් පාලුවෙන් පරිපීඩිත වෙලා හිටියත් පෙම්වතිය දන්නවා අනිවාර්යයෙන්ම හෙට දවසේ ආයෙත් පෙම්වතාව මුණගැහෙනවා කියලා . ඒ නිසා තමයි කියන්නේ ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි කියලා . ඒත් මේ දේවල් එක්කම මේ දෙන්නට ජීවිතය ගෙවන්න ඕන නිසාම ස්වභාවධර්මයා විසින් වෙනමම ජීවන බරක් හිස මත පටවලා තියෙනවා . ඒ නිසා පෙම්වතිය හිතනවා පෙම්වතා නැති දුකට ඒ ගැනවත් හිතන්න හිතට නිදහසක් නැහැ මගේ මේ හිස මත පැටවිලා තියෙන ගවු ගණන් දුර ජීවිතේ බර නිසා කියලා .

ඔන්න මට හිතෙන තේරුම් තුනම ලියලා දැම්මා . මමනම් හිතන්නේ මේ ගීතයට මම ලිව්ව දෙවෙනි තුන්වැනි තේරුම් ටිකක් වැඩිපුර ගැළපෙනවා කියලා . ඔයාලා කියවලා බලලා කියන්නකෝ කොහොමද කියලා . අපි එහෙනම් බලමු දැන් මේ ගීතයේ සංගීතය කොහොමද කියලා .

මේ ගීතයේ සංගීතය ගැන මට අදහසක් ආවේ අදක ඊයෙක නෙවෙයි . මේ ගීතය ගැන මට තියෙන පරණම මතකය තියෙන්නේ මම වයලීන් වාදනය කරන්නත් ඉස්සර කාලේ වගේ කියලා තමයි මට මතක . ඒ කාලේ මම ගාව Double G බටනලාවක් තිබුණා මතකයි .

ඒ කාලේ ස්වර්ණවාහිනී නාලිකාවෙන් , හෙම නලින් කරුණාරත්න මහත්මයා ඉදිරිපත් කළා සංගීත ශිල්පීන් ගෙන්වලා කරන වැඩසටහනක් . මට මතක හැටියට සෙනසුරාදා ඉරිදා දවස්වල රාත්‍රී 7 ඉඳලා 8 වෙනකල් තමයි ඒ වැඩසටහන තිබුණේ . මේ පැය තුල එදාට එන ශිල්පියා හෝ ශිල්පිනිය තමන්ගේ ගීතවල අතීත කතාව ගැන කියමින් , තේරුම ගැන කියමින් ගීත ගායනා කරනවා . මට මතකයි ඒ වැඩසටහනට සුනිල් එදිරිසිංහ , වික්ටර් රත්නායක , නන්දා මාලනී කියන අය පැමිණියා .

නන්දා මාලනී මහත්මිය ආව දවසේ තමයි  මේ ගීතයේ සංගීතය ගැන අදහස ඔලුවට ආවේ . එදා කොහොමහරි බටනලාවෙන් පිඹ පිඹ ඔය ගීතය වාදනය කර කර හිටියා . පස්සේ එහෙමම ඒ ගීතයත් මගේ ප්ලේ ලිස්ට් එකට එකතු උනා .

මේ ගීතයේ තියෙන්නේ පහතරට ශාන්ති කර්ම ගීතවල නාද මාලාවක් කියලා තමයි මට දැනෙන්නේ . අපේ ඉස්කෝලේ කළා උළෙල වෙනුවෙන් මේ ගීතය ගායනය කරනකොට කිව්වේ මේ ගීතයේ කුවේණි අස්න නාද මාලාව තියෙනවා කියලා . ඒත් පහතරට ශාන්තිකර්ම ගීත වල නාද මාලාව තමයි මටනම් ඇහෙන්නේ .






පොදුවේ බැලුවම ගීතයේ සංගීතය සම්පූර්නයෙන්ම වගේ නිර්මාණය කරලා තියෙන්නේ පහල ස්වර ඇසුරු කරගෙන . ගීතයේ  තේමා වාදනය සහ අතුරු වාදන ඔක්කොටම වාදනය වෙන්නේ එකම වාදනයක් . මේ වාදනය ආරම්භ වෙන්නේ වයලීන් සහ චෙලෝ වාදන භාණ්ඩ වලින් වාදනය කරන වාදනයක් එක්ක . වයලීන්වල වාදනය කරන්නෙත් පහල ස්වර . ඒ පහල ස්වර වල තියෙන මන්ද්‍ර බව මදි නිසාම මේ ගීතයට චෙලෝ එකකුත් එකතු කරගෙන තියෙනවා . එතකොට හොඳ බර හඬක් ඇතිවෙනවා .

රාත්‍රී කාලය , සහ පාළුව කියන හැගීම් ඇති කරන්න මේ ආරම්භයම ඇති කියලයි මටනම් හිතෙන්නේ . ඒ පාලු බව වැඩි කරන්න ඒ වෙනුවෙන් තාලය සපයන තබ්ලාව සහ බේස් ගිටාර් වාදනය හොඳින් දායක වෙනවා . බේස් ගිටාර් එකක් වාදනය වෙනවද නැත්ද කියලා හිතාගන්න බැරි තරමටම සංයමයක් ඇතුව තමයි බේස් ගිටාර් එක වාදනය වෙන්නේ .

පෙර වාදනයේ මේ වයලීන් චෙලෝ වාදනයේ අවසාන කොටස් දෙකට සිතාර් වාදනයකුත් එකතු කරලා තියෙනවා . ඒ නිසා රාත්‍රී බව ඇති කරන්න වයලීන් චෙලෝ කියන දෙන්නා ආරම්භය ලබා දුන්නට පස්සේ සිතාරයටත් ඒ දේම කිසිම අපහසුවක් නැතිව පුළුවන් වෙලා තියෙනවා .

ඊට පස්සේ බටනලා වාදනයක් පටන් ගන්නවා . මේ බටනලා වාදනය කරන්න බටනලා දෙකකින් . එකම ස්වර ඉහල සප්තකයකිනුයි පහල සප්තකයකිනුයි වාදනය කරනවා . එතකොට තබ්ලාවේ වාදනයත් වෙනස් වෙනවා . මේ බටනලා වාදනය හොඳට අහගෙන හිටියොත් ඔයාලට අහන්න පුළුවන් වාදකයා තමන්ගේ වාදනය අතරේ වාදනයට අවශ්‍ය සුළං පහර හති දානවා වගේ නැවතත් තමන් වෙත ඇදලා ගන්න සද්දයක් .

සාමාන්‍යයෙන් ඒ සද්දය එන්නේ නැති වෙන්න තමයි වාදනය කරන්නේ . ඒත් මේ ගීතයේ ඒ ගැන හිතලා නැතුවද , නැත්නම් හිතලාම ඇති කරලද කියන්න දන්නේ නැහැ ; ගීතයට කොහොම හරි ඒ හති දාන හඬ හොඳට ගැළපිලා තියෙනවා . මේ ගීතයේ තියෙන්නෙත් වැළපුමක් . ඒ වැළපුම එක්කම මේ හති දාන හඬ නිසා දැනෙන්නේ හරියට ඉකිබිඳිනවා වගේ හඬක් .

දැන් ඔන්න ගීතය පටන් ගන්නවා . ගීතය පටන් ගත්තට පස්සේ පළවෙනි පද දෙක සාමාන්‍ය විදියට ගායනා කරගෙන යනවා . දෙවෙනි පද දෙක ගායනා කරන්න පටන් ගන්න වෙලාවට තමයි වයලීන් චෙලෝ දෙන්නා තමන්ගේ වාදනය එකතු කරන්න පටන් ගන්නේ . ගීතය ස්වර ඔස්සේ ටික ටික ඉහලට යනවා වගේ දැනුනට ගයනාව අතරින් ඇහෙන මේ වාදනය ටික ටික පහල ස්වර හොයාගෙන මන්ද්‍ර සප්තකය ඔස්සේ ගමන් කරනවා . මේ චෙලෝ වාදනය හොඳ සංයමයෙන් ඇහුවොත් තමයි අහගන්න පුළුවන් . නැත්නම් අනිත් වාද්‍ය භාණ්ඩ එක්ක වෙන් කරලා අහන්න බැරි තරම් මේ පහල හඬ වාදනය වෙනවා .

අන්තරා කොටස් වල පලවෙනි පද දෙක වෙනස් උනාට දෙවෙනි පද දෙක ගායනා වෙන්නෙත් ස්ථායි කොටසේ දෙවෙනි පද දෙක වගේමයි . ඒ නිසා ඒ කවුන්ටර් පාට්ස් ටිකම තමයි අන්තරා කොටසේත් වාදනය වෙන්නේ .

ගීතයේ වාදනයෙන් මම කැමතිම තැන පෙර වාදන අතුරු වාදන වල ආරම්භක වයලීන් චෙලෝ වාදනය . ගීතයේ තියෙන හැගීම්බර ස්වභාවය ඒ තැන්වලින් හොඳට ඉස්මතු වෙලා පෙන්නනවා . ගීතයේ . අනිත් වාදනය සාමාන්‍ය විදියට වාදනයේ වෙනවා . ගිටාර් එකකින් කෝඩ්ස් වාදනය කරනවා . ස්වර පුවරුවත් අතරින් පතර කෝඩ්ස් වාදනය කරමින් ගීතයට දායක වෙනවා . ඒ එක්කම තවත් වැදගත් දෙයක් තමයි ගීතයේ තාලස්ථාන වල ඇහෙන ටිරිටිරිටිස් කියන හඬ . ඕක ඇති කරන්නේ මෙන්න මේ සංගීත භාණ්ඩයෙන් . ඔය කූර මේ ලී මිට තියෙන උපකරණයේ කට්ට වල ඇතිල්ලුවම තමයි ටිකි ටිකි ගාලා ඒ හඬ ඇතිවෙන්නේ . රෑ කාලයේ වටපිටාවෙන් ඇහෙන රැහැයියන්ගේ , ගෙම්බන්ගේ හඬට ටිකක් ඒ හඬ සමානයි .

ගීතය ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි . කියවලා බලලා අදහස් දක්වන්නකෝ බලන්න . එහෙනම් ආයෙත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




දැන් ටික දවසක් තිස්සේ කිය කිය ඉන්නවනේ සැදෑ කළුවර ගීතය ගැන ලියන්න හිතාගෙන ඉන්නේ කියලා . ඔන්න අද ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න හදන්නේ . මේ ලිපිය ලියන...

ධීවරී ගීතයෙන් ඔබ්බට ගිය මගෙ අමල්බිසෝ






මට මේ ළඟදී නිකමට වගේ ටවුන් ආව වෙලාවක අපිට උගන්නපු මිස් කෙනෙක් හම්බුණා . දැන් නම් ඒ මිස් හරියට වෙනස් වෙලා වයසට ගිහින් නිසා වෙන්නැති . අපිත් වෙනස් වෙලා මිස්ල සර්ලත් වෙනස් වෙලා ඉස්කෝලෙත් වෙනස් වෙලා ලෝකෙත් වෙනස් වෙලා .

ඔහොම තමයි ලෝකෙ හැටි කියලා හිතුවට ඒ මිස්ලා අපිට උගන්නපු දේවල් , ඒ උගන්නනකොට හිතේ මවපු දේවල් තාමත් චිත්‍රපටයක චිත්‍ර දාමයක් වගේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා . මේ මිස් ඉගැන්නුවේ අපිට සිංහල විෂය . හත වසරේදී තමයි මේ මිස් අපිට උගන්නන්න ආවේ . එතකොටත් ඉස්කෝලේ හිටපු ජේෂ්ඨ ගුරුවරියක් ඒ මිස් .

මේ මිස්ගේ පීරියඩ් එකට ඒ කාලේ මම හරිම අකමැතියි . ඒ පිටපත් ලියන්න ඕන නිසා . මගෙ අකුරු තුන වසරේදී විතර ඉඳලා හකුරු වගේ උනා . වෙද පොත් පුස්කොල පොත් එහෙම බලපු නිසා මගෙ අකුරුත් ටිකක් ඒ වගේ වෙලා කියලා අම්මලා ඉස්සර කතා උනා . ඒත් කොච්චර පිටපත් ලිවීම ලිව්වත් අකුරු තාමත් එදා වගේ තමයි . සිංහල විතරක් නෙවේ ඉංගිරිස් පවා එහෙමයි . ඉතින් මේ මිසුත් මගෙ අකුරු බලලා හැමදාම පිටපත් ලිවීම කරන්න ඕන කියල නියම කළා . කොහොමහරි පන්තියේ ගොඩක් අය පිටපත් ලිවීම ලියනවා අකුරු කැත නිසා .





ඒ මිස්ගේ පුරුද්දක් තමයි උගන්නන්න කලින් භාවනා කරවන එක . ඉතින් අපි ඒ මිස්ගේ පීරියඩ් එකේ හැමදාම භාවනා කරනවා . ඊට පස්සේ පිටපත් ලිව්ව ඒවා බලනවා . ලියලා නැති අයට ගුටි තමයි . මම හැමදාම ඒක ලියාගෙන ගියත් අකුරු කැත නිසා නොවරදවාම බැනුම් අහගන්නවා .

කොහොමහරි ඒ අවුරුද්දම බැණුම් ඇහුවා . හඃ හඃ හඃ . ඔය හේතුව නිසාම ඒ පීරියඩ් එකට හරිම අකමැතියි . බැණුම් අහගෙන මොන ඉගෙන ගැනිලිද . අනික ඉතින් පටන්ගන්නකොටම බැනුමක් අහගත්තට පස්සේ මමනම් ඒ පීරියඩ් එකේම ඉන්නේ යකා වැහුණ ගානට .

කොටින්ම කියනවනම් රිලීෆ් දාලා තියෙන පොත ගෙනියන අයියාගෙන් රිලීෆ් පොත පවා ඉල්ලගෙන බලනවා ඒ කාලේ , වැරදිලාවත් ඒ මිස්ට රිලීෆ් එකක් එහෙම දාලා තියෙනවද දන්නේ නෑ කියලා . දාලා තියෙනවනම් කොහොමහරි ඒක කට් කරගන්න විදියක් තමයි කල්පනා කලේ ඒ කාලේ .

ඒත් ඒ මිස් උගන්නපු පාඩම් අදටත් මතකයි . දැන් නම් හිතෙනවා ඒ කාලේ ඉගෙනගත්ත දේවල් ආයෙත් ඉගෙනගන්න තිබ්බනම් කියලා . මට මතකයි මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ අපේ ගම පොතේ කොටසක් සිංහල පාඩමකට තිබුණා .

ඒකෙ තිබුණා කැළුම් නටන නිල්මිණි තලාවක් ගඟකට උපමා කරන  කතාවක් . ඒ කතාව මාර විදියට හිතට ගියා ඒ මිස් උගන්නපු විදියට . තව චුවාන් ගෙත්තම , අඹ යහළුවෝ , වගේ පාඩම් තාමත් මතකයි . ඔය අතරින් තිබුණ තවත් අමතක නොවන පාඩමක් තමයි ධීවරී ගීතය කියන කවි පංතිය .

වයලීනොගේ අම්මා උසස්පෙළට කරලා තියෙන්නේ කලා විෂය . ඉතින් අම්මා ඒ කාලේ පාඩම් කරපු පොතක තියෙනවා මේ ධීවරී ගීතය ලියපු සාගර පලන්සූරිය මහත්මයා ගැන මෙන්න මෙහෙම විස්තරයක් .

ඉතින් මෙන්න මේ සාගර පලන්සූරිය මහත්මයා තමයි ධීවරී ගීතය කියන කවි පංතිය රචනා කරලා තියෙන්නේ . මේ කවි පන්තියේ තියෙන්නේ මසුන් මරන්නෙක්ගේ බිරිඳක් වැල්ලේ තියෙන එයාලා පදිංචි වෙලා ඉන්න පොල් අතු පැලේ ඉඳගෙන මසුන් මරන්න ගිය තමන්ගේ ස්වාමියා ගැන හිතන සිතුවිලි දාමයක් ගැන .

අපිට සිංහල උගන්නපු මිස් මේ කවි පංතිය කියලා දෙනකොට මගෙ හිතේ මේ කියන විස්තරය චිත්‍රයක් වගේ මැවුනා . එදා මැවුන ඒ චිත්‍රය අදත් ඒ වගේම තියෙනවා . ඉතින් අද කියන්න යන්නේ මේ කවි පන්තියේ තේරුමට විරුද්ධ තේරුමක් තියෙන , ඒ කියන්නේ ස්වාමියා විසින් මුහුදු වැල්ලේ ගෙදරක ජීවත්වෙන බිරිඳ ගැන මවන සිතුවිලි දාමයක් වටා ගෙතිලා තියෙන ගීතයක් ගැන . මට හිතෙනවා ඇත්තටම මේ කියන්නේ මුහුදක් අයිනේ ඉන්න පවුලක් ගැනමද කියලා  .මුලින්ම ගීතය අහලා ඉන්නකෝ .





මගෙ අමල් බිසෝ
දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි, ළං වෙන්න බලයි
නුඹ නොදැක්ක සේ ඉඳපන්

ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
නුඹ හෝදිසියෙන් ඉඳපන්



ගායනය - සුනිල් එදිරිසිංහ




පද - බණ්ඩාර ඇහැළියගොඩ






තනුව - රෝහණ වීරසිංහ 



පොඩිකාලේ මේ ගීතය ඇහෙනකොට මට මතක් වෙන්නේ අමල්බිසෝ කතාවෙ ඉන්න රාක්ෂයව . ඒත් පස්සේ කාලෙකදී තමයි මේ ගීතයේ ඉන්නේ වෙනත් රාක්ෂයෙක් කියලා තේරුනේ . මම හිතන්නේ නම් ඒ රාක්ෂයා මුදල් කියන වෙන්න ඕන කියලා . ගීතයේ ස්ථායි අන්තරා කොටස් අරගෙන බැලුවම , මුදල් කියන රාක්ෂයා මිනිසුන් බිලිගන්න ආකාරයත් ඒ බිලිගැනීමට විරුද්ධව නැගී සිටින්න වෙරදරන මිනිස්සුන්ගේ ශක්තිය සහ හැගීම් ගැනත් මේ ගීතයේ පැහැදිලිවම අන්තර්ගත වෙලා තියෙනවා . 

මගෙ අමල් බිසෝ 
දොර හරින්නෙපා 
හොඳ පරිස්සමින් ඉඳපන් 
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ 
නුඹ මූදුකරේ තනියෙන් 

මූදුකරේ තනියෙන් කියල අවසාන පදෙන් කිව්වට , මමනම් හිතන්නේ මෙතනට මුහුදක් ගෑවෙන්නේ නෑ . මොකද මෙතන මම දීපංකරේ කියලා යෙදුමක් තියෙනවා . ගොඩක් වෙලාවට මුහුදු බඩ පරිසරවල ඉන්න පවුල්වල පිරිමි වෙන පළාත්වල රස්සාවල්වලට යන්න තියෙන ඉඩ හරිම අඩුයි . එයාලා කරන්නේ මාළු අල්ලන ඔරු වලට සම්බන්ධවෙලා මාළු අල්ලන්න යන එක . ඒත් මේ ගීතයේ ස්ථායි කොටසේ කියන්නේ රැකියාවක් කරන්න ගමෙන් හෝ රටෙන් පිටත් වෙච්ච සැමියෙක්ගේ සිතුවිලි කියලා තමයි මම නිගමනය කරන්නේ .

ඔහු කියනවා , මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා නුඹ පරිස්සමෙන් ඉඳපන් කියලා . මෙතන දොර හරින්නෙපා කියලා කියන්නේ විවාහය නමැති බන්ධනයෙන් වැසීගිය දොරටුව නැවත විවර කරලා වෙනත් පිරිමින් වෙත යන්න එපා කියලා වගේ අදහසක් . මොකද ස්වාමියා ඉන්නේ දුර ප්‍රදේශයක , නැත්නම් දුර රටක . පවුලේ ඕනා එපාකම් පිරිමහගන්න තමන් උපයන මුදල හොඳටම මදි කියලා ස්වාමියා දන්නවා . ඒ නිසා ස්වාමියාගේ හිතේ ඇතිවෙනවා පොඩි බයක් , තමන්ගේ බිරිඳ මුදල් වෙනුවෙන් වෙනත් පිරිමින් හොයාගෙන යයිද දන්නේ නෑ කියලා . ඉතින් ගෙදරින් ඈත්වෙලා ඉන්න මේ ස්වාමියා තමන්ගේ කුටුම්භය ගැන ලතවෙනවා වගේම දුක් වෙනවා . එහෙම වෙන්නේ බිරිඳ මූදුකරේ තනියෙන් ඉන්න නිසා .

මූදුකරේ කියන්නේ වෙරලක් කියලා මම හිතන්නේ නෑ . මෙතන පද බැඳුම යෙදීලා තියෙන විදියට මමනම් හිතන්නේ මූදුකරේ කියලා කියන්නේ විනාශ මුඛය කියලා . දැන් බලන්න , මුහුදක් අයිනේම ජීවත්වෙන අයට තමන්ගේ ජීවිතය ගැන ස්ථාවර බවක් හිතේ තියාගෙන ජීවත් වෙන්න පුලුවන්ද ? බැහැ . ඒ මොකද මුහුද විශ්වාස කරන්න බෑ . කොයිවෙලේ ලොකු රැල්ලක් , සුනාමියක් වගේ එකක් නැත්නම් කුණාටුවක් ඇවිත් වෙරළේ තියෙන ගෙවල් බිලිගනියිද දන්නේ නෑ .

අන්න ඒවගේ තමයි මේ ස්ථායි කොටසේ කියන්නේ . තමන්ගේ බිරිඳ ඉන්නේ විනාශ මුඛය ඉදිරිපිට . ඒත් ඒ විනාශ මුඛයට පනින්න නම් එපා කියලා ස්වාමියා බිරිඳගෙන් ඉල්ලනවා වගේම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා . විනාශ මුඛය නමැති මුහුදුකරේ තනියම හිටියත් හිත දැඩි කරගෙන ඉන්න කියලා තමයි කියන්නේ .


යස ඉසුරු අරන් සුදු මහත්වරුන් 
ඒරොප්පෙ ඉඳන් ඇවිදින් 
මුදු බැලුම් හෙලයි, ළං වෙන්න බලයි 
නුඹ නොදැක්ක සේ ඉඳපන් 


දැන් අර මකර කටට පනින්න ඔන්න මෙන්න වගේ ඉන්නකොට මේ බිරිඳව , මකර කටට බලෙන්ම පන්නවන්න බලාගෙන ඉන්න සුදු මහත්තුරු ඒරොප්පේ ඉඳලා ඇවිත් මේ බිරිඳව මුලා කරගන්න බැල්ම හෙලයි , එහෙම බැල්ම දාලා ලං වෙන්න බලයිද දන්නේ නෑ කියලා ස්වාමියා තවදුරටත් හිතනවා . ඊට පස්සේ ස්වාමියා කියනවා එහෙම ලං වෙන්න ආවත් , උඹ ඒවා දැක්කේ නෑ වගේ ඉන්න කියලා .

යස ඉසුරු අරන් සුදු මහත්වරුන් ඒරොප්පේ ඉඳලා එනවා කිව්වට , මේ සුදු මහත්වරු පිටරටවල්වල ඉඳලා එන පොත්ත සුදු මහත්වරුමද ? . නැහැ . මම නම් හිතන්නේ මේ සුදු මහත්වරු කියලා කියන්නේ ධනපති පංතියේ ඉන්න සෙල්ලක්කාර මහත්වරුන්ට කියලා . මොකද දුප්පත් මිනිස්සුන්ට ඒවගේ අය කළු වැඩ කරත් සුදු මහත්වරු , සුදු අයියලා , සුදු අප්පොලා .

ඉතින් පහල පංතියේ මිනිස්සු ඉහල පන්තියේ යට කියන්නේ සුදු මහත්තයා කියලා . අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කට්ට කළු මනුස්සයෙක් . හැබැයි සල්ලි නිසා මිනිහට සුදු අයියා , සුදු මල්ලි නැත්නම් සුදා කියලා තමයි ගමේ අය කියන්නේ . ඒ නිසා කළු අයට සුදු කියල අකියවාගන්න ඕන නම් ඔන්න චාන්ස් එකක් තියෙනවා , ටිකක් වැඩිපුර හම්බ කරානම් වැඩේ ගොඩ .

ඒරොප්පේ කියලා කියන්නේ පිටරටවල්ම කියලා කියන්න බැහැ . මොකද මම එහෙම කියන්නේ , දුප්පත් අය පිටරට වගේ කියලා මවාගන්නේ විශාල මන්දිර තියෙන සුඛෝපභෝගී පරිසරයක් . ඉතින් මේ ස්වාමියා තමන්ගේ බිරිඳට කියන්නේ ඒරොප්පේ ඉඳලා එන සුදු මහත්වරු කියලා , සල්ලිකාර ධනවත් මහත්වරු ගැන වෙන්න ඕන .

ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන් 
ගෙට එබී බලයි හොරැහින් 
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන් 
නුඹ හෝදිසියෙන් ඉඳපන් 


එක එක ජාතියේ වෛවර්ණ ඇඳුම් ඇඳගෙන සමහර වෙලාවල් වලට ගෑණු අය එනවා ළමයි හොරකම්කරගෙන යන්න . සමහරවිට හොරකම් කරගෙනමත් නෙවෙයි , සල්ලි දීලා ළමයි හදාගන්න අරගෙන යන්න . ඉතින් මේ ස්වාමියා හිතනවා අතමන්ගේ බිරිඳ තමන්ගේ පවුලේ තියෙන අගහිඟකම් නිසා දරුන්වන් දන් දෙයිද දන්නේ නෑ කියලා .

ස්වාමියා තමන්ගේ බිරිඳ ගැන එහෙම හිතයි කියලා විශ්වාස කරන්න බැහැ කියලා දැන් ඔයාලා මට කියයි . ඒත් සමාජයේ වෙන දේවල් ඒක බැලුවම එහෙම වෙයි කියලා හිතන්න පුළුවන් නේද ? . මොකද ළමයින්ව ජීවත් කරවන්න අමාරු නිසාම එයාලා අකමත්තෙන්ම කැමතිවෙන්න පුළුවන් ළමයා හදාගන්න දෙන්න . ඉන්නවනම් තවත් ළමයෙක් , ඒ  ළමයා ජීවත් කරවන්න සල්ලි ඉල්ලන්නත් ඉඩ තියෙනවා .

ඉතින් මම කියන්නේ මේ ගීතයේ දෙවෙනි අන්තරා කොටසින් කියන්නේ එහෙම දෙයක් කියලා . ස්වාමියා හිතුවට තමන්ගේ දරුවන් දෙයිද දන්නේ නෑ කියලා ස්වාමියා බිරිඳට පෙන්නන්නේ නෑ තමන් බිරිඳ ගැන එහෙම හිතුවා කියලා . ඒ නිසා ස්වාමියා කියනවා මෙහෙම සල්ලිකාර නෝනලා ආවට කමක් නෑ , ගෙදරට එබිකම් කලත් කමක් නෑ , අපේ දරුවන්ව ළඟට කරගෙන පරිස්සම් කරගෙන ඉන්න කියලා .

ඉතින් මේ ස්ථායි කොටසයි අන්තරා කොටස් දෙකයි අරගෙන බැලුවම මුදල් කියන්නේ අමල්බිසෝ හොයාගෙන ආපු රාක්ෂයාට වඩා භයානක රාක්ෂයෙක් කියලා පේනවා නේද ?

සංගීත සංයෝජනය ගැනත් කියන්න දේවල් ටිකක් තියෙනවා . මට මේ ගීතය ඇහෙන ඇහෙන වාරයක් ගානේ හිතෙන්නේ මේ ගීතය භීම්පලාසි කියන රාගයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් කියලා . සමහරවිට ඒක වැරදි වෙන්න පුළුවන් . ඒත් මේ ගීතයේ ස්වර රචනාව සමහර තැන් වලදී භීම්පලාසි රාගයත් එක්ක කෙලින්ම ගැළපෙනවා .

සිංදුවා ඉස්සර ලිව්වා පෙරදිනයක මා පෙම්කල යුවතිය ගීතය ගැන මෙන්න මේ පෝස්ට් එකේ . එතනදීත් මම කමෙන්ට් එකක කියලා තිබුණා ඒ ගීතයත් භීම්පලාසි රාගයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් කියලා . මෙතනදීත් මට මේ ගීතය ඇහෙන්නේ ඒ වගේ . මේ තියෙන්නේ භීම්පලාසි රාගයේ ගායනයක් . අහලා බලන්න පුළුවන් ඔයාලට කැමතිනම් .



මේ ගීතයේ ඉලෙක්ට්‍රික් ලීඩ් ගිටාර් එකකින් තමයි තේමා වාදනය ආරම්භ කරන්නේ . ඒත් එක්කම යටින් යනවා බේස් ගිටාර් වාදනය . මේ ගිටාර් වාදනයෙන් මට මැවිලා පේනවා නිකන් ක්ෂිතිජයක් වගේ පසුබිමක් . කවදාවත් ලං වෙන්නේ නැති , නැත්නම් දුරස් වීම කියන හැගීම ඇතිකරන්න ඒ ගිටාර් වාදනය හොඳට ගැළපෙනවා .


තේමා වාදනයේ තාල රහිත කොටස ඉවර උනාට පස්සේ තාල වාදනය කෙරෙන්නේ බොන්ගෝ ඩ්‍රම් එකකින් . ඒවගේම ඒ ප්‍රධාන තාලයට හයිහැට් ඒකත් බේස් ගිටාර් එකත් දායක වෙනවා . ඊට පස්සේ එනවා තේමා වාදනයේ තියෙන බටනලා වාදන කොටසට . එතනදී තාල වාදනය කෙරෙන්නේ රබානකින් . මෙතන බටනලා වාදනය කරන්නේ බටනලා දෙකකින් වීම විශේෂ දෙයක් . බේස් ගිටාර් එකෙන් මේ බටනලා වාදනය ඉස්මතු කරන්න දායකවෙන වාදන කණ්ඩයක් ඇහෙන්නේ නෑහෙන්නේ නැති ගානට වාදනය වෙනවා .

දැන් තේමා වාදනය ඉවරවෙලා ගායනය ආරම්භ වෙනවා . ඒ ආරම්භ වීම කරනකොට වාදනය සම්පූර්ණයෙන්ම නවතිනවා . ඊට පස්සේ මගෙ අමල් බිසෝ කියන කොටසේ බිසෝ කියන වචනය උඩදී තමයි ආයෙත් තාල වාද්‍ය භාණ්ඩයකින් තාලය වාදනය කරන්න පටන් ගන්නේ . මෙතන වාදනය කරන්නේ ඩොල්කිය කියන තාල වාද්‍ය භාණ්ඩය .

මේ ගීතයේ තියෙන මම කැමතිම කොටසක් තමයි ඔය ඩොල්කියෙන් ස්ථායි අන්තරා කොටස් ආරම්භ කරන විදිය . ඒ වගේම ඩොල්කිය වාදනය කරන විදියත් ආකර්ශනීයයි . මේ ගීතයේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩ තුනක් හරි හරියට ගීතය පුරාවට වාදන වීම . ඒවා තමයි රබාන ඩොල්කිය සහ බොන්ගෝ ඩ්‍රම් එක .

ඔහොම දැන් ගීතය ගායනා වෙනකොට දීපංකරේ තනියෙන් කියන තැන තනියෙන් කියන වචනය එක්ක ඇහෙනවා බොන්ගෝ ඩ්‍රම් එකෙන් ටක ටක ටක ටක ගාලා වාදනයවෙන තාලයේ හතරගුණය දක්වන තාල කොටසක් වාදනය කරනවා . ඒ කොටසත් මේ ගීතයේ තියෙන මම කැමති කොටසක් . ඒ වගේ කොටසක් තව තිබුණ ඔයාලට මතකද දන්නේ නෑ , රෑ දොළොස් පැයේ ගීතය ගැන මම ලිව්ව මෙන්න මේ පෝස්ට් එකේ .


මේ ගීතයේ කෝඩ්ස් වාදනය කරන්නේ එකොස්ටික් ගිටාර් එකකින් . ඒ වාදනයවෙන කෝඩ්ස් වල ස්වර ග්ලොකන් ස්පීල් එකකිනුත් ගීතය පුරාවටම වාදනය කරනවා .

ආයෙත් කියන්න ඕන මේ ගීතයේ මම වැඩිපුරම සිත්ගත් තැන වෙන්නේ ස්ථායි අන්තරා කොටස් පටන් ගන්නකොටම ඩොල්කියෙන් වාදනය කෙරෙන වාදන කොටස . ඒකට අපි කියන්නේ සාමාන්යෙන් බීට් එක කඩලා ගන්නවා කියලා .

එහෙනම් තවත් ගීතයක්ගැන යක්කු ගැන එව්වා මෙව්වා ගැන පෝස්ට් එකක් අරගෙන ලබන සතියේ එන්නම්කෝ . දැන් වයලීනොට සති අන්තයේ නිවාඩුයි . ඒ නිසා සති අන්තයේ ලියන්න පුළුවන් ගින්නක් නැතුව . එහෙනම් අපි ගියා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




මට මේ ළඟදී නිකමට වගේ ටවුන් ආව වෙලාවක අපිට උගන්නපු මිස් කෙනෙක් හම්බුණා . දැන් නම් ඒ මිස් හරියට වෙනස් වෙලා වයසට ගිහින් නිසා වෙන්නැති . ...

රොෂේනිසේ......




ආලෝකයෙන් ඔබගේ දෑස් පිරී ඇත
මාව ස්පර්ශ කරන්න
එහෙත් ඔවුන් පවසන්නේ මා ස්පර්ශ නොකරන ලෙසය

සිහින වලින් ඔබගේ දෑස් පිරී ඇත
මාව ස්පර්ශ කරන්න
එහෙත් ඔවුන් පවසන්නේ මා ස්පර්ශ නොකරන ලෙසය

මා ඔබව සොයමින් උන්නේ ස්වර්ගයේ ඉහල සහ පහලය
සමහරවිට මා හට
වලාකුළු වලින් දැවටෙමින් තිබෙන විට
ඔබව හමුවීමට ඉඩ තිබේ

මා ඔබව සොයමින් උන්නේ ස්වර්ගයේ ඉහල සහ පහලය
සමහරවිට මාහට
ගංගාවක පාවෙමින් තිබෙන විට
ඔබව හමුවීමට ඉඩ තිබේ

කාලය නැවතී ඇත
මම ඔබගේ ආගිය තොරතුරු ඇසුවෙමි
මට ගංගාවක් හමුවිය
එය කීවේ මා සාගරය පතුලේ ඔබව සෙවූ බවයි

දිය රැලි ඔස්සේ ගමන් කරමින් සිටින විට
එම දියරැළි මා ස්පර්ශ කරයි
ඒ ඔබගේ දෑත් මෙනි
ඒ අයුරින් මා ස්පර්ශ කරන්න







ආලෝකයෙන් ඔබගේ දෑස් පිරී ඇත මාව ස්පර්ශ කරන්න එහෙත් ඔවුන් පවසන්නේ මා ස්පර්ශ නොකරන ලෙසය සිහින වලින් ඔබගේ දෑස් පිරී ඇත මාව ස්පර්ශ කරන්...