පුහුල් දෝසි හදමු !






ඔන්න අද ඉදන් ඔයාලට කෑම සුත්‍ර අරන් එන්නේ වයලීනො මහත්මිය . වයලීනෝ මහතා දැන් පැත්තකට වෙන්න . 


මන් ඉස්සෙල්ලම ඔයාලට කියල දෙන්න යන්නේ පුහුල් දෝසි හදාගන්නේ කොහොමද කියල . පුහුල් කියල  කියන්නේ ගොඩක් ගුණ කෑමක් . පුහුල් වලට පුළුවන් අපේ ඇගේ තියෙන උෂ්ණ ගතිය අඩු කරලා ඇඟ සිසිල් කරන්න .


පුහුල් දෝසි හදන ප්‍රධාන ක්‍රම 2ක් තියෙනවා . එකක් තමයි පුහුල් සිහින්ව ලියා ගෙන අලුවා හදනවා වගේ හදල කැට කපාගෙන සීනි දවටන එක . අනිත් ක්‍රමේ තමා පුහුල් කැට කපල ඊට පස්සේ දෝසි හදන එක . මේ ක්‍රම දෙකෙන් මන් නම් වැඩියම ආස දෙවෙනි ක්‍රමේට . මොකද ඒ විදියට හැදුවම කැලි ඇතුලේ තෙත ගතියට පුහුල් රසට නියමෙට තියෙනවා .  


මන් දැන් ඔයාලට කියල දෙන්න යන්නේ කැට විදියටම දෝසි හදාගන්න විදිය . මේ විදියට හැදුවොත් හරි පදම එයිද නැද්ද කියල බය වෙන්න ඕන නැ . ඉස්සෙල්ලාම අපි බලමු පුහුල් දෝසි හදාගන්න අපිට මොනවද ඕන වෙන්නේ කියල .

හොදට පැහුණ  පුහුල් ගෙඩියක්
සීනි
විට කන හුණු ස්වල්පයක්

ඔන්න ඔච්චරයි අපිට පුහුල් දෝසි හදාගන්න ඕන වෙන්නේ . දැන් අපි බලමු හදා ගන්න විදිය . ඉස්සෙල්ලම පුහුල් ගෙඩිය හොදට හෝදලා පොතු ඇර ගන්න ඕන . ඊට පස්සේ පුහුල් ගෙඩිය දෙකට කපල ඇට අයින් කරලා අඟලේ අඟලේ වගේ පොඩි කොටු කපා ගන්න ඕන .







ඊට පස්සේ ගෑරප්පුවක් අරන් මේ හැම කොටුවකටම අනින්න ඕන . හැබැයි ගොඩක්ම ගැඹුරට අනින්න එපා . එහෙම ඇන්නම තමා පුහුල් කෑලි ඇතුලට හොදින් පැණි උරා ගන්නේ .



ඊට පස්සේ විට කන හුණු තේ හැන්දක් විතර වතුර ටිකක දිය කරලා ඒකට කපා ගත්ත පුහුල් කැලි ටික දාලා පැය තුනක් විතර තියන්න ඕන . පුහුල් කැලි වැහෙන තරමට හුණු වතුර තියෙන්න ඕන . මෙහෙම පුහුල් හුණු වතුරේ දාන්නේ පුහුල් වල තියෙන ඇසිඩ් ගතිය ඉවත් කර ගන්න ඕන නිසයි .





පැය තුනකින් මේ හුණු වතුර පෙරලා පුහුල් කැලි හෝදලා පිරිසිදු වතුර භාජනේක දාලා පැයක් විතර තියන්න ඕන . පැයකට පස්සේ වතුර පෙරලා අයින් කරලා පුහුල් කෑලි ටිකට ආයේ පිරිසිදු වතුර දාලා පැයක් තියන්න ඕන . ඒ කියන්නේ දෙසැරයක් පිරිසිදු වතුර මාරු කරනවා . මෙහෙම කරන්නේ පුහුල් වල තියෙන හුණු ඉවත් කර ගන්න . 





ඊට පස්සේ තියෙන්නේ මේ පුහුල් කෑලි ටිකේ වතුර හොදට තෙත මාත්තු කරලා ඉවත් කර ගන්න එක .





ඔන්න දැන් බරපතල වැඩ ටික ඉවරයි , දැන් වතුර ඉවත් කරගත්ත පුහුල් කෑලි ටිකේ බර කිරා ගන්න ඕන . පුහුල් බරට සමාන බරක් සීනි කිරල ගන්න ඕන . ඒ කියන්නේ පුහුල් කෑලි කිලෝ එකක් තියෙනවා නම් සීනිත් කිලෝ එකක් ගන්න ඕන .


දැන් ලොකු තාච්චියක් අරන් ඒකට කිරා ගත්ත සීනි ටිකයි , ලුණු චුට්ටකුත් දාලා වතුර අඩු කෝප්පයක් විතර දාල ලිපේ තියන්න ඕන . එතකොට අපිට උකු සීනි ද්‍රාවණයක් හම්බෙනවා . දැන් මේ සීනි දිය වෙලා උතුරනකොට පුහුල් කෑලි ටික එකට දාලා කලවම් කරන්න ඕන .






ටික වෙලාවක් යනකොට පුහුල් කෑලි වල තියෙන වතුර එලියට ඇවිත් සීනි ද්‍රවණය දියාරු වෙනවා . ඒත් දිගටම ලිපේ  තියලා හැඳි ගන්න ඕන.


මෙහෙම කලවම් කරගෙන යනකොට තාච්චිය වටේට සීනි කැට ගැහීගෙන එනවා . එතකොට ලිපේ ගින්දර අඩුම කරලා දිගටම හැඳි ගන්න ඕන . අන්තිමට සීනි කැටි ගැහිලා පුහුල් කෑලි වටේ දැවටිලා ලස්සනට පුහුල් දෝසි හැදෙනවා .






මේ හදන පුහුල් දෝසි වල තියෙන්නේ චුටිම චුටි සීනි ඇට . කඩේ පුහුල් දෝසි වලට වඩා ගොඩාක් රසයි . අපි මේකට කල් තියා ගන්න දේවල් මොකුත් දාන්නේ නැති නිසා ගොඩක් දවස් තියා ගන්න අමාරුයි . හැබයි ෆ්‍රිජ් එකේ දාලා මාසයක් උනත් තිය ගන්න පුළුවන් . පොඩි බබාලට උනත් බය නැතුව දෙන්න පුළුවන් ගෙදර පිරිසිදුවට රසකාරක නොදා හදන නිසා.   


මේ පුහුල් දෝසි හදාලා අවසන් වෙනකොට භාජනයේ සීනි ටිකක් පවුඩර් වගේ ඉතුරු වෙනවා . ඒවා හුළං වදින්නේ නැතිවෙන්න අරන් තියලා දිවුල් වගේ බීම වර්ග හදනකොට පාවිච්චියට ගන්න පුළුවන් . ඒ නිසා ඒවා අපතේ යන්නේ නැහැ . 


අපි තවත් රසම රස කෑමක් අරගෙන තවත් ලිපියකින් හමුවෙමු . 





ඔන්න අද ඉදන් ඔයාලට කෑම සුත්‍ර අරන් එන්නේ වයලීනො මහත්මිය . වයලීනෝ මහතා දැන් පැත්තකට වෙන්න .  මන් ඉස්සෙල්ලම ඔයාලට කියල දෙන්...

වයලීනිත් අද ඉඳලා බ්ලොග් ලියන්න හදන්නේ





හස්තිනාපුර බ්ලොග් එකේ තනියම රජ කරගෙන හිටපු කාලේ අවසාන වෙලා සියළුම බලතල මේ වෙනකොටත් බෙදිලා ගිහින් තියෙන්නේ . කාලයක් තිස්සේ ප්ලෑන් කර කර හිටියට අද තමයි වයලීනිව බ්ලොග් එකට සම්බන්ධ කරගන්න පුළුවන් වුණේ .

වයලීනි කෑම බීම සම්බන්ධව තමයි වැඩියෙන්ම ලියන්න හිතාගෙන ඉන්නේ . ඒත් ඒවගේ දේවල් වලට අමතරව තවත් දේවල් මතක් උනොත් ඒවාත් ලියයි . ඒවාටත් අමතරව තවත් දේවල් මතක් උනොත් ඒවාත් ලියයි .

දීර්ඝ කාලයක් තිස්සේ වයලීනිත් ජ්‍යෝතිෂ විද්‍යාව හදාරලා දැන් හොඳ තත්වයකට ඇවිත් ඉන්නවා . ඒ නිසා වයලීනි එයාගේ ජ්‍යෝතිෂ සේවයක් වෙනමම පටන් ගන්න කල්පනා කරලා තියෙනවා . ඒ නිසා ජ්‍යෝතිෂ සම්බන්ධ ලිපි වුණත් වයලීනි අතින් ලියවෙන්න බැරි කමක් නැහැ . අපි බලමු බ්ලොග් එකේ මොනවද වෙන්නේ කියලා .

එහෙනම් හස්තිනාපුරයට වයලීනිව සාදරයෙන් පිළිගන්නවා .

ආයුබෝවේවා !

හස්තිනාපුර බ්ලොග් එකේ තනියම රජ කරගෙන හිටපු කාලේ අවසාන වෙලා සියළුම බලතල මේ වෙනකොටත් බෙදිලා ගිහින් තියෙන්නේ . කාලයක් තිස්සේ ප්ලෑන් කර ක...