අකුණු හෙනගිනි දේවතාවාට මග කියන " මහා හෙනරාජ තෛලය "




අද කියන්න යන මාතෘකාව ගැන කොහොම කියන්නද කියලා හිතාගන්න අමාරුයි . මොකද අද්භූත බලවේග ගැන ගවේෂණය කරන වයලීනෝ විතරක් නෙවේයි ඒ වගේ තවත් අය බොහොම ගෞරවයෙන් කතාකරන මාතෘකාවක් ගැන තමයි අද කතාකරන්න යන්නේ . ඒ ගැන ගින්නක් නැතුවම කතා කරන්න මට සාධාරණ අයිතියක් තියෙනවා කියලා මම හිතනවා . ඒ මොකද කියලා මම කියන්නම්කො පෝස්ට් එකේ අතරමැදදී . 

මම කිව්වා සර්පවෙද දූත ලස්සන විජ්ජාව ගැන කියනකොට , අපේ ආච්චිඅම්මා වෙද පවුලක කියලා . මම ඕක කියන්නේ නැතුව ඉඳලා ඉඳල තමයි ළඟදී ඔය පෝස්ට් එකේ කිව්වේ . ඉතින් දැන් මම කියන්න යන්නේ මට හෙනරාජ තෛලය ගැන තොරතුරු ලැබුන විදිය ගැන . අපේ අච්චිඅම්මා බෙහෙත් වර්ග ගොඩක් මතක තියාගෙන හිටියා මිස එයාගෙ ළඟ පොත් තිබුණේ නෑ . ඒ නිසා එයාගෙන් පස්සේ දැනුම ඉදිරියට ගමන් කලේ නෑ . ඒකෙ එක හොඳක් තියෙනවා නරකකුත් තියෙනවා . හොඳ තමයි ඒ දැනුම පිට නොගිය එක  . නරක තමයි මට ඒවා ඉතුරු නොවුන එක .

අපේ ගමේ ටිකක් වයසක මාමා කෙනෙක් ඉන්නවා , එයා ටිකක් මේ වෙදකම , ගුරුකම් සම්භන්ධව වැඩ කරනවා . මම හතර වසරේ ඉන්න කාලේ තමයි අපේ සීයා නැති උනේ . ඒ මරණෙට මේ මාමත් ආවා . පස්සේ හත් දවසේ දානෙත් ඉවරවෙලා ටිකක් කල් මෙයා අපේ ගෙදර හිටියා . ඒ හිටියේ , මම හොඳටම දන්නවා අපේ ආච්චිගෙන ලකුණු දාගෙන බෙහෙත් අහගෙන යන්න . එත් ආච්චි එයා බලාපොරෝත්තු වෙච්ච ඔක්කොම දේවල් දුන්නේ නෑ .

ඉතින් දවසක් මේ මාමා මාත් එක්ක කතාවට සෙට් උනා . පොර මට කිව්වා ආච්චිඅම්මා ගොඩක් දේවල් දන්න කෙනෙක් ඔහොම හිටියට . ඒ නිසා ආච්චි අම්මගෙන් වෙදකම ගැන ඉගෙන ගන්න කියලා . පස්සේ මම එයාගෙන් ඇහුවා විස්තර . එයා කිව්වා අපේ ආච්චි අම්මගේ පියා ජීවත්වෙලා ඉන්න කාලෙත් එයා හිටියා කියලා . එයා එතකොට පොඩි ළමයෙක්ලු . ඒ වෙද මුත්තා ගාව තිබුණලු තෙල් වර්ග දාලා තිබ්බ කළුවර ලී පෙට්ටියක් . ඒකෙ තිබ්බේ කවදාවත්ම පිට කෙනෙක්ට අල්ලන්නවත් දුන්නේ නැති තෙල් බෝතල් කීපයක්ලු .

හෙනරාජ
රාජ තරංගනී
ඉරු දැපන
විෂ්ණුරාජ
සරස්වතී
චින්තාමාණික්‍යම් කියන තෙල් වර්ග තමයි ඒවායේ නම් .

හෙනරාජය ගැන මම දැන් කියන්නම් . අනිත් තෙල් වර්ග ගැන වැඩිදුර කියන්න යන්නේ නෑ . හැබැයි ඔයාලා දන්නවනේ සරස්වතී තෛලය ගැන . අර තොටගමුවේ හාමුදුරුවෝ බීලා සිහිය නැති උනේ . අන්න ඒක තමයි සරස්වතී තෛලය . ඔය සරස්වතී තෙල පොඩ්ඩක් දිවේ ගාගන්න කෙනාට ඇහෙන ඇහෙන දේවල් මතක හිටිනවාලු .

මම ඉතින් ඒකාලේම වගේ ඔය ගැන ආච්චිගෙන් ඇහුවා . එයා කිව්වේ එයාගේ සීයා එයාට කියා දීපු දේවල් ගැන . ඒ කියන්නේ ආච්චිගේ තාත්තාගේ තාත්තා . එහෙම බලනකොට මම මේ කියන ඒවා පරම්පරා පහක් පරණයි .

ගුරුකම් ශාස්ත්‍රය ඒ කියන්නේ මන්තර ශාස්ත්‍රය සහ වෙදකම කියන ශිල්ප දෙක නැත්නම් විද්‍යාවන් සමහර තැන් වලදී එකට හා වෙනවා . මෙන්න මේ තෙල් වර්ග කියනෙත් අන්න ඒ හා වීම සිදු කරන එක පාලමක් . ඉතින් අතීතයේ හිටපු ඍෂිවරු , රාවණා වගේ මහා නුවණැත්තන් තමන්ගේ තුන්කල් දක්නා නුවණින් සහ ප්‍රඥාවෙන් නිපදවපු ඉතාම වටිනා රහස් බෙහෙත් වට්ටෝරු වලින් තමයි මේ තෙල් වර්ග ඇති උනේ .

නිකන්ම තෙල් හිඳලා ගාලා ලෙඩ සුවපත් කරනවා වගේ නෙවෙයි මේ කලින් කිව්ව විශේෂ තෙල් වර්ග . මේවා හිඳලා අන්තිමට මන්තර වලින් මතුරලා ඒවාට බල පිහිටවන්නත් ඕන . එහෙම බල පිහිටවපු තෙල් සමහර හේතු නිසා බල බිඳිලා බල රහිත වෙනවා .එතකොට ආයෙත් මන්තර පුරලා බල පිහිටවන්න ඕන නැත්නම් ඒවායේ හරි ප්‍රතිඵලය ලබන්න බැරි වෙනවා .







ගුප්ත විද්‍යා ශාස්ත්‍රයේ මව සහ පියා විදියට හඳුන්වන ප්‍රධානම තෙල් වර්ග දෙකක් තියෙනවා . ඒ තමයි මහා හෙන රාජ තෛලය සහ මහා රාජතරංගනී තෛලය . එහෙම හඳුන්වන්නේ මේ තෙල් වර්ග පළඳින , ආලේප කරගත්ත කෙනාට මව සහ පියාගෙන ලැබෙන ආරක්ෂාව ලැබෙන නිසා . මේ තෙල් වර්ග දෙකෙනුත් ප්‍රධානම තෙල තමයි මහා හෙන රාජ තෛලය .

මේ තෛලයට මේ නම ලැබුණේ ඇයි කියලා දන්නවද . මම නම් මුලින් හිතාගෙන හිටියේ හෙන රාජ කියන්නේ ලොකු අයිටම් එකක් නිසා වෙන්නැති කියලා . ඒත් අපේ ආච්චිඅම්මා මට කිව්වා මේ තෙලට මේ නම ලැබුණේ අකුණට අධිපති අකුණු හෙනගිනි දේවතා පුත්‍රයා මේ තෙලට බන්ධනය කරණ නිසා කියලා . ඒ කියන්නේ මන්තර වලින් මේ තෙලට අකුණු හෙනගිනි දේවතාවා බන්ධනය කරල තමයි හදලා තියෙන්නේ කියලා . 

තෙල හිඳින්න ගන්න සම්පූර්ණ බෙහෙත් වට්ටෝරුවෙ මෙන්න මේ බෙහෙත් වර්ග තියෙනවා . ඒ තමයි

ඇත්දෙමට
අංකෙන්ද
වෙනිවැල්
රසකිඳ
අරළු
බුළු
නෙල්ලි
රත් සඳුන්
සුදු සඳුන්
කොකුම්පොතු
ඉරිවේරිය
සපුමල්
නාමල්
ගවරාගේ අං
මුව අං වගේ දේවල් ගොඩක් ගන්නවා .

මේ තෙල හිඳින්න ගන්න බෙහෙත් වර්ගවල තියෙන දුර්ලභ බව නිසාම මේ තෙලේ වටිනාකම වැඩි වෙනවා . තෙලට ගන්න ගවර අං ගැන එක එක මත තියෙනවා . සමහරු කියන්නේ කඟවේන අං නැති නිසා ගවර අං ගන්නවා කියලා . ඒත් අපේ ආච්චිබබා මට කිව්වේ නම් ගවර අං කියලා තමයි . තෙල හිඳින්න ප්ලේස් එක විදියට ඉස්සරම කාලේ ගල් ගුහාවක් තමයි අරගෙන තියෙන්නේ . එත් පස්සේ කාලෙකදී ඒක අලුතෙන් මැටි ගහලා ගත්ත අලුත් නැවුම් මැටි ගෙයක් බවට පත්වෙලා තියෙනවා . ඉස්සර කාලේ මේ තෙල හිඳින්න බෙහෙත් වර්ග හොයාගෙන තියෙන්නේ යක්ෂ ආවේස වෙච්ච පුද්ගලයෙක් මගින් . ඒත් පස්සේ කාලෙකදී මොනාද ඕන බෙහෙත් වර්ග කියලා හොයාගත්තට පස්සේ මේ තෙලට බෙහෙත් සාමාන්‍ය පුද්ගලයෙක්ටම හොයාගන්න පුළුවන් කම ලැබිලා තියෙනවා .

ඔන්න බහෙත් ජාති හොයාගත්ත කියමුකෝ . දැන් තියෙන්නේ තෙල හිඳින්න . තෙල හිඳින එකත් ලේසි වැඩක් නෙවේ . තෙල හිඳින්න ලිප හැදිල්ලේ ඉඳලා ගොඩක් දේවල් කෙරෙන්නේ නැකත් බලල . අනික තමයි මේ තෙල හිඳින්න ලිපට ගින්දර ගන්න ඕන අකුණක් ගහලා පත්තුවෙන ගින්නකින් . ඉස්සර අයනම් මතුරලා ඒ මන්තර වලින් ලිපට ගිනි අවුලවලා තියෙනවා . ඒත් අකුණක් ගහපු තැනකින් ගන්න ගින්දර තමයි මේ තෙල හිඳින්න වඩාත්ම සුදුසුයි කියලා කියන්නේ . මම අහලා තියෙනවා ගුරුකම් වලදීත් දෙවිවරු වඩිනකොට අකුණු පුපුරනවා කියලා . ඒ විදියටත් මේ තෙල හිඳින්න පුරාණයේ හිටපු අය ගිනි ඇවිලෙව්වා කියලා කියනවා .

ඊට පස්සේ කරන්න තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි තෙල හිඳින තැනයි තෙල් භාජනයයි ආරක්ෂා කරණ එක . මේකට මල් තටු හදලා , පහන් පළවල් අටවලා මේ තැන ආරක්ෂා කරන්න අමනුෂ්‍ය බලවේග වලට ආරාධනා කරනවා . මෙතනදී දෙවිවරු වගේම ඇතුල් පංතියේ යක්ෂයින් ගෙන්නනවලු . මේ අමනුෂ්‍ය බලවේග මේ තෙලයි තෙල හිඳින පුද්ගලයි ඒ ස්ථානයයි ආරක්ෂා කරනවලු . තෙලට අවශ්‍ය කරණ සත්තු එහෙම ඉන්නවා . ඒ සත්තු දෙවියන්ගේ බලයෙන් ඉබේම ඇවිත් කැකෑරෙන තෙලට පනිනවා කියලා කියනවා . ඒ කියන්නේ කුරුල්ලෝ පියාඹලා ඇවිත් තෙලට වැටෙනවලු .






තෙල හිඳින වැඩේ ඉවර උනාට පස්සේ තමයි තියෙන්නේ තෙලට අකුණු හෙන ගිනි දේවතාව බන්ධනය කරණ රාජකාරිය . මේ රාජකාරිය එසේ මෙසේ කෙනෙක්ට කරන්න බැරිලු . සාමාන්‍යයෙන් ඒ ශිල්පයේ හොඳ පළපුරුද්දක් තියෙන නිවැරදි ඝන පිහිටවලා මතුරන්න පුළුවන් අයටලු මේ වැඩේ කරන්න පුළුවන් . කාටත් පුළුවන් ඉතින් . එත් ප්‍රතිඵල ෂුවර් වෙන්නේ එහෙම උනාම . මේ බන්ධනය කිරීම කරාට පස්සේ තමයි තෙල පන පිහිටලා සම්පූර්ණ වෙන්නේ . 

සමහර වෙලාවල් වලදී මේ පන පිහිටවීමෙදී මතුරන කෙනා මන්තර වැරැද්දුවොත් ඒ කෙනා පිස්සු වැටෙනවා කියලා අපේ ආච්චිඅම්මා මට කිව්වා . වෙන්න පුළුවන් . යක්ෂයින් බන්ධනය කරනවා වගේ ලේසි වැඩක් නෙවෙයිනේ දෙවිකෙනෙක් බන්ධනය කරනවා කියන එක . අකුණු හෙන ගිනි දේවතාවා කියන්නේ සමහරවිට ග්‍රීක මිත්‍යා කතාවල ඉන්න සියුස් වෙන්න පුළුවන් . නැත්නම් ශක්‍රයා වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා .

දැන් තෙල හැදුවට පස්සේ තෙල තැම්පත් කරලා තියන කරඬුව හරි බෝතලේ හරි ඉතාම පිරිසිදු එකක් වෙන්න ඕන . මේ තෙලට කිලි අහුවෙන්න හොඳ නෑ කියලා මම පිටින් අහලා තිබ්බට ආච්චිඅම්මානම් කිව්වේ මේ තෙලට කිලි වදින්නේ නෑ කියලා . ඒත් තෙලේ බලය අඩු වීමක් පොඩ්ඩක් වෙන්න පුළුවන් , එහෙම උනොත් ආයෙත් මන්තර පුරලා තෙලේ බලේ වැඩි කරන්න පුළුවන්ලු . ඔන්න ඔහොමයි ඉතින් මහා හෙන රාජ තෙලේ බලේ . හරියට හිඳගත්ත තෙල දීප්තිමත් කහපාටකින් වගේම හොඳ සුවඳකින් යුක්ත වෙනවා .

තෙල ගැන කියන්න තව දේවල් මතක් උනොත් කමෙන්ට්ස් වල කොටලා තියන්නම් . තව වැදගත් දෙයක් තමයි මේ තෙලෙන් වෙඩි වදින එක නවතිනවා කියලා කියනවා . එහෙම වෙන්නේ මේ තෙල් වල තියෙන කාබනික අකාබනික සංයෝගවල බලයකින් නම් නෙවෙයි . මේ තෙලට අරක්ගන්න අකුණු හෙනගිනි දේවතාවාගේ බලය නිසා . තමා වෙතට උණ්ඩයක් එනකොට මේ දෙවියන්ට පුළුවන් ඒ උණ්ඩයේ පැත්ත වෙනස් කරන්න .

එහෙමයි වෙඩි වලින් ආරක්ෂාව ලැබෙන්නේ . ඔය රජකාලේ එහෙම වෙඩි පත්තු කිරිල්ලක් තිබිලා නෑහැ . ඒ කාලේ ඊතල විදිල්ලක්නේ තියෙන්නේ . යුද්ධවලදී ඊතල විදගන්නකොට මේ හෙනරාජ තෛලය පැළඳගත් කෙනාගෙ පැත්තට එන ඊතල වල ගමන් මාර්ගය වෙනස් කරන්නත් මේ හෙනරාජ තෛලයට පුළුවන් වෙලා තියෙනවා . මේ තෙලෙන් වෙඩි වදින එක නවතිනවා විතරක් නෙවෙයි ; තවත් ගන්න පුළුවන් ප්‍රයෝජන් ගොඩයි .


තමන්ට කවුරුවත් ගහන්න ඉදිරිපත් වෙන්නේ නෑ
මූණ දිහා එකඑල්ලේ බලාගෙන කතා කරන්නේ නෑ
කඩු කිනිසි වලින් අනතුරක් කරන්න බෑ
සමහර වෙලාවල් වලට තමාට වෙඩි තියනකොට තුවක්කුව පුපුරනවා
රාජ රාජ මහාමාත්‍යාදීන් ගෙන් උදවු ලැබෙනවා
රාජ උදහස්වීම් වලට ලක්වෙන්නේ නෑ
අලි ඇත්තු දිවි වලස් සර්පයින් වගේ සත්තුන්ගෙන් කරදර වෙන්නේ නෑ
පහන් පත්තු කලොත් ඒ එලිය වැටෙන ප්‍රදේශයේ යක්කු භූතයො ඉන්නේ නෑ
තමා හීනෙන් භය වෙන්නේ නෑ
මන්තර ගුරුකම් වලින් ගොඩක් වෙලාවට බේරෙන්නේ පුළුවන්
අද කාලේ තියෙන වාහන අනතුරු වලින් බේරෙන්නත් මේ හෙනරාජ තෙල් පැළඳ ගත්ත කෙනෙක්ට පුළුවන් වෙනවා . 

ඔන්න ඔහොමයි තෙලේ තත්ත්වේ . අර මම කිව්ව මාමා කිව්වා එයා මහගෙදර ඉන්න දවසක , මේ තෙල් බෝතලේ අපේ ආච්චිගේ තාත්තා ඒ තෙල් බෝතල් තිබ්බ කළුවර ලී පෙට්ටියෙන් එළියට ගත්තලු . එහෙම ගත්තට පස්සේ ඒ මුත්තා මෝල් ගස් දෙකක් ගෙන්නලා අරන් මේ තෙල් බෝතලේ දෙපැත්තෙන් තිබ්බලු . ඒ මෝල්ගස් දෙක පෙරලිලා ඇවිත් බෝතලේට වදිනවලු ටික් ගාලා . ආයෙත් මෝල්ගස් දෙක දෙපැත්තට කළාම හෙමීට පෙරලිලා ඇවිත් ආයෙත් බෝතලේට ඇලෙනවලු මෝල්ගස් දෙක . අන්න එහමයි තෙලේ බලේ ඒ කාලේ උදවිය පෙන්නලා තියෙන්නේ . 

මේ තෙල බෙල්ලේ එල්ලගන්නවනම් දඹ රන් සුරයක දාලා තමයි එල්ලගන්න කියන්නේ . ඒ මුත්තා ගාවත් තිබිලා තියෙනවා හෙනරාජ තෙල් දාපු දඹරන් සුරයක් . මම මුලින්ම දාලා ඇති ඒ සුරයේ ෆොටෝ එකක් . අද මට ඉතුරු වෙලා තියෙන්නේ ඒ හිස් සුරය විතරයි .අපේ ආච්චිඅම්මා ඒකත් චෛත්‍යයක් හදනකොට නිධන් කරන්න හැදුවේ . 


ඒ වෙද මුත්තා මැරෙන්න කලින් මේ තෙල් බෝතල් මුහුදට දාලා තියෙනවා . එහෙම කරලා තියෙන්නේ මේවා වැරදි කෙනෙක් අතට ගියොත් ඒකෙන් සමාජෙට වෙන නරක ගැන හිතලාලු . ඒ නිසාම වෙන්න ඇති එයාල ඊළඟ පරපුරට මේ දැනුම දෙන්නේ නැතුව ඉන්න ඇත්තේ . එයාලා ආච්චිඅම්මලට දැනුම දෙන්න නෑ . ආච්චිඅම්මලා අපිට දෙන්න නෑ . ඔහොම ඔහොම දැනුම ක්ෂය වෙලා ගිහින් අන්තිමට මුකුත්ම නැතිවෙන කාලයක් එයි . 

අදකාලේ සමහර අය හෙනරාජ තෛලය කියලා සුර විකුණනවා . ඒත් මමනම් හිතන්නේ නෑ මේ ඔක්කොම වතාවත් කරලා හරියට හිඳපු තෙලකට මුදල්මය වටිනාකමක් දෙන්න පුළුවන් කියලා .

හොරුන්ට අහුවෙන්න එපා !

හෙනරාජ තෙල තරම්ම ගුණ තියෙන වෙනත් යන්තර තෙල් වර්ග තියෙනවා . ඒත් හෙනරාජ තෙලේ ගුණ සියල්ලම ඒවායේ නැහැ . වෙඩි වදින්නේ නැත්නම් වෙඩි වදින්නේ නැහැ විතරයි . ආකර්ෂණය නම් ආකර්ෂණය විතරයි . ඒ වුණත් හෙන රාජ තෙල වගේම හෙනරාජ යන්ත්‍රය කියලා යන්තරයක් පැරැන්නෝ හදලා තියෙනවා . ඒ තෙල හිඳින එක අපහසු වැඩක් නිසා ඒ ගුණය යන්ත්‍රය ඔස්සේම ලබාගන්න ඕන නිසා . 

දියුණුවෙන් දියුණුවට පත්වේවා !
ඔබ සැමට දළදා සමිඳු පිහිට ලැබේවා !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
ශතවර්ශාදී කාලයකට දෙවියන් වහන්සේලාගෙන් දේව ආරක්ෂාව ලැබේවා !

අද කියන්න යන මාතෘකාව ගැන කොහොම කියන්නද කියලා හිතාගන්න අමාරුයි . මොකද අද්භූත බලවේග ගැන ගවේෂණය කරන වයලීනෝ විතරක් නෙවේයි ඒ වගේ තවත් අය බොහොම ගෞ...