මාතලේ අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය




අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් . පත්තිනි දේවිය වෙනුවෙන් කැපවුණු කෝවිලක් නිසා මේ කෝවිලට බෞද්ධ සහ හින්දු කියන සෑම කෙනෙක්ම වන්දනාමාන කරන්න යනවා . කීප වතාවක්ම ආව ගිය තැනක් නිසා නිකමට වගේ මේ කෝවිලේ ඉතිහාසය කොහොමද කියලා හාරවුස්සලා බලන්න හිතුනා . 



මාතලේ පුරවරයේ දෙමළ ජනතාව වාසය කිරීම සාමාන්‍ය දෙයක් . මේ දෙමළ ජනතාව ව්‍යාප්ත වීමට වඩාත් ආසන්නම හේතුව වෙන්න ඇත්තේ යාපනය පාලනය කල ආර්යචක්‍රවර්තිවරුන් විසින් ලංකාවේ මධ්‍යම ප්‍රදේශය ආක්‍රමණය කරගෙන එනකොට ඒ දෙමළ ජනතාව ඒ ඒ ස්ථානවල පදිංචිවීම වෙන්න ඕන . කොහොම නමුත් ඉතාම පිරිසිදු දෙමළ ජනතාවක් මේ ප්‍රදේශයේ වාසය කරනවා . මේ දෙමළ ජනතාව නිසාම හින්දු ආගම මේ ප්‍රදේශයේ වඩාත් ප්‍රචලිත වෙලා තියෙනවා . මුත්තුමාරි අම්මාන් කෝවිලත් ඇතිවෙන්නේ මේ දෙමළ ජනතාවගේ වන්දනාමාන කිරීම වෙනුවෙන් . 





මේ කෝවිල පත්තිනි දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන්න හේතුවුණු යම් නිමිත්තක් තියෙනවා . දැනට වසර 200කට වගේ කලින් . ඒ කියන්නේ කෝවිල නිර්මාණය කරන්න කලින් මේ කෝවිල තියෙන ප්‍රදේශයේ දවසක් ඉතාම ලස්සන ඇඳුමෙන් සැරසුණු පුංචි ගැහැණු ළමයෙක් ඉඳලා තියෙනවා . පහුවෙනිදා උදේ බලනකොට මේ ළමයාගේ අඳුන් එහෙමත් හොඳටම පරණ වෙලා නිකං හිඟන ගැහැණු දරුවෙක් වගේ පෙනුමක් තමයි තිබිලා තියෙන්නේ . මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා නල්ලමුත්තු කියලා ඉතාමත් භක්තිවන්ත දෙමළ කෙනෙක් . මේ කෙනා මේ ගැහැණු දරුවාව ඔය කියන ලස්සනට සහ වැරහැලි ඇඳගෙන ඉන්න දවස් දෙකේම දැකලා තියෙනවා . දවසක් නල්ලමුත්තු හීනෙන් පත්තිනි දේවියව දකිනවා . පත්තිනි දේවිය නල්ලමුත්තුට කියනවා එදා ඒ කෝවිල තියෙන භූමියේ ඉන්නවා දැක්ක ගැහැණු ළමයා තමන්ම තමයි . ඒ භූමිය ශුද්ද භූමියක් . ඒ නිසා එතන පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිලක් හදවන්න කියලා . 




මේ කාලේ වෙනකොට මේ ප්‍රදේශයේ හිටපු දෙමළ ජනතාව සහ වෙළඳාම් කරන්න ආව දකුණු ඉන්දීය දෙමළ ජනතාව මේ කෝවිල හදන්න දායක වෙලා තියෙනවා මේ කතාව ප්‍රසිද්ධ වුණාට පස්සේ . 




කලින් මේ ස්ථානය වෙල් යායක් විදියට තමයි පැවතිලා තියෙන්නේ . ඒත් ඊට පස්සේ 1852 වසරේ තමයි මේ ඉඩම හිමි අය මේ කෝවිලට මේ ඉඩම පවරලා දීලා තියෙන්නේ . කෝවිල ඉදිකරලා තියෙන්නේ 1874 වසරේ . කෝවිල හදන්න ධන පරිත්‍යාග කරලා තියෙනෙන් නාට්ටුකෝට්ටෙයි චෙට්ටියාර් කියල කෙනෙක් . කලින් ගහක් යට කුඩා පිළිමයක් තියලා වන්දනාමාන කරපු ස්ථානයේ තමයි මෙහෙම කෝවිලක් හදලා වන්දනාකිරීම ආරම්භ වෙලා තියෙන්නේ . ටිකෙන් ටික මේ ප්‍රදේශයේ ජනතාවගේ මුදල්මය පරිත්‍යාග මේ කෝවිල අද පවතින තත්වයට සංවර්ධනය කරන්න දායක වෙලා තියෙනවා . 




83 කළු ජූලිය කාලයේ මේ කෝවිලට හානි වීම් කීප වතාවක්ම සිදුවෙලා තියෙනවා . ඒත් නැවතත් කෝවිල යතා තත්වයට පත් කරලා සංවර්ධනය කරලා තියෙනවා . අද වෙනකොට කෝවිලේ පෙනුම ගැන බලනකොට විශේෂයෙන්ම කැපිලා පෙන්නේ කෝවිලේ තියෙන සුවිශාල ගෝ පුරය . මේ ගෝපුරය අඩි 108 ක් උස වෙනවා . ඒවගේම තමයි කුඩා කුඩා පිළිම 1008 ක් මේ ගෝපුරයේ අන්තර්ගත වෙනවා . දැනට ලංකාවේ තියෙන උසම ගෝපුර වලින් එකක් කියලා තමයි මේ කෝවිලේ ගෝ පුරය හඳුන්වන්නේ . 







මේ ගෝපුරය නිර්මාණය කරන්න දායක වෙලා තියෙන්නේ දකුණු ඉන්දීය නිර්මාණ ශිල්පී නාගලිංගම් සහ ඔහුගේ පුත් රාමනාදන් කියන මූර්ති ශිල්පීන් දෙදෙනා . මේ දෙදෙනාට 100 ක පමණ පිරිසක් උදවු උපකාර කරලා තියෙනවා මේ කටයුත්ත සම්පූර්ණ කරන්න . 2007 වසරේ තමයි කෝවිලේ ගෝපුරයේ වැඩ කටයුතු සම්පූර්ණ කරලා අවසන් වෙලා තියෙන්නේ . ඒ වෙනකොට මේ නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 150ක් පමණ වියදම් වෙලා තියෙනවා . මේ ගෝ පුරය නිර්මාණය කරලා සායම් වලින් පින්තාරු කිරීමට කේරලීය ශිල්පීන් සහ ශ්‍රී ලාංකික ශිල්පීන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා . 





අද වෙනකොට කෝවිලේ දෛනික පූජා කටයුතු වලට අමතරව වාර්ෂික උත්සවත් පැවැත්වෙනවා . මාතලේ ප්‍රදේශයේ තියෙන විශාලම ආගමික උත්සවය විදියට මේ කෝවිලේ තේරු පෙරහැර හඳුන්වන්න පුළුවන් . මේ ලිපිය ලියන අද සහ ඊයේ දිනයේ තමයි 2020 වසරේ තේරු පෙරහැර පැවැත්වුණේ . තේරු පෙරහැර ආරම්භවන අවස්ථාවේ ඒ වෙනුවෙන් සහභාගී වෙන්න සහ තේරු කරත්තය අදින්න දායක වෙන්න මට අවස්ථාව උදා වුනා . 




පහළ තියෙන වීඩියෝ දෙකේ තියෙනවා පෙරහැර ආරම්භවෙන්න කලින් තේරු කරත්ත වලට දේව ප්‍රතිමා තැම්පත් කිරීමේ විශේෂ අවස්ථා සහ සුභ මොහොතින් තේරු කරත්ත කෝවිලෙන් පිටත්වන අවස්ථා . කැමති අය වීඩියෝ ප්ලේ කරලා බලන්න . ඇත්තටම දෙවියන් වෙනුවෙන් කරන නියමම පුද පූජා සහ භක්තිමත් හැගීමෙන් කරන භක්ති පූජා මේ අවස්ථාවේ බහුතරයක් අයගෙන් දැකගන්න පුළුවන් . 
























ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
ඔබ සැමට මුත්තුමාරි අම්මාගේ පිහිට ලැබේවා !





අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමා...