මගෙ අමල් බිසෝ




මට මේ ළඟදී නිකමට වගේ ටවුන් ආව වෙලාවක අපිට උගන්නපු මිස් කෙනෙක් හම්බුණා . දැන් නම් ඒ මිස් හරියට වෙනස් වෙලා වයසට ගිහින් නිසා වෙන්නැති . අපිත් වෙනස් වෙලා මිස්ල සර්ලත් වෙනස් වෙලා ඉස්කෝලෙත් වෙනස් වෙලා ලෝකෙත් වෙනස් වෙලා .


ඔහොම තමයි ලෝකෙ හැටි කියලා හිතුවට ඒ මිස්ලා අපිට උගන්නපු දේවල් , ඒ උගන්නනකොට හිතේ මවපු දේවල් තාමත් චිත්‍රපටයක චිත්‍ර දාමයක් වගේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා . මේ මිස් ඉගැන්නුවේ අපිට සිංහල විෂය . හත වසරේදී තමයි මේ මිස් අපිට උගන්නන්න ආවේ . එතකොටත් ඉස්කෝලේ හිටපු ජේෂ්ඨ ගුරුවරියක් ඒ මිස් .


මේ මිස්ගේ පීරියඩ් එකට ඒ කාලේ මම හරිම අකමැතියි . ඒ පිටපත් ලියන්න ඕන නිසා . මගෙ අකුරු තුන වසරේදී විතර ඉඳලා හකුරු වගේ උනා . වෙද පොත් පුස්කොල පොත් එහෙම බලපු නිසා මගෙ අකුරුත් ටිකක් ඒ වගේ වෙලා කියලා අම්මලා ඉස්සර කතා උනා . ඒත් කොච්චර පිටපත් ලිවීම ලිව්වත් අකුරු තාමත් එදා වගේ තමයි . සිංහල විතරක් නෙවේ ඉංගිරිස් පවා එහෙමයි . ඉතින් මේ මිසුත් මගෙ අකුරු බලලා හැමදාම පිටපත් ලිවීම කරන්න ඕන කියල නියම කළා . කොහොමහරි පන්තියේ ගොඩක් අය පිටපත් ලිවීම ලියනවා අකුරු කැත නිසා.

ඒ මිස්ගේ පුරුද්දක් තමයි උගන්නන්න කලින් භාවනා කරවන එක . ඉතින් අපි ඒ මිස්ගේ පීරියඩ් එකේ හැමදාම භාවනා කරනවා . ඊට පස්සේ පිටපත් ලිව්ව ඒවා බලනවා . ලියලා නැති අයට ගුටි තමයි . මම හැමදාම ඒක ලියාගෙන ගියත් අකුරු කැත නිසා නොවරදවාම බැනුම් අහගන්නවා .


කොහොමහරි ඒ අවුරුද්දම බැණුම් ඇහුවා . හඃ හඃ හඃ . ඔය හේතුව නිසාම ඒ පීරියඩ් එකට හරිම අකමැතියි . බැණුම් අහගෙන මොන ඉගෙන ගැනිලිද . අනික ඉතින් පටන්ගන්නකොටම බැනුමක් අහගත්තට පස්සේ මමනම් ඒ පීරියඩ් එකේම ඉන්නේ යකා වැහුණ ගානට .


කොටින්ම කියනවනම් රිලීෆ් දාලා තියෙන පොත ගෙනියන අයියාගෙන් රිලීෆ් පොත පවා ඉල්ලගෙන බලනවා ඒ කාලේ , වැරදිලාවත් ඒ මිස්ට රිලීෆ් එකක් එහෙම දාලා තියෙනවද දන්නේ නෑ කියලා . දාලා තියෙනවනම් කොහොමහරි ඒක කට් කරගන්න විදියක් තමයි කල්පනා කලේ ඒ කාලේ .


ඒත් ඒ මිස් උගන්නපු පාඩම් අදටත් මතකයි . දැන් නම් හිතෙනවා ඒ කාලේ ඉගෙනගත්ත දේවල් ආයෙත් ඉගෙනගන්න තිබ්බනම් කියලා . මට මතකයි මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ අපේ ගම පොතේ කොටසක් සිංහල පාඩමකට තිබුණා .


ඒකෙ තිබුණා කැළුම් නටන නිල්මිණි තලාවක් ගඟකට උපමා කරන  කතාවක් . ඒ කතාව මාර විදියට හිතට ගියා ඒ මිස් උගන්නපු විදියට . තව චුවාන් ගෙත්තම , අඹ යහළුවෝ , වගේ පාඩම් තාමත් මතකයි . ඔය අතරින් තිබුණ තවත් අමතක නොවන පාඩමක් තමයි ධීවරී ගීතය කියන කවි පංතිය .


වයලීනොගේ අම්මා උසස්පෙළට කරලා තියෙන්නේ කලා විෂය . ඉතින් අම්මා ඒ කාලේ පාඩම් කරපු පොතක තියෙනවා මේ ධීවරී ගීතය ලියපු සාගර පලන්සූරිය මහත්මයා ගැන මෙන්න මෙහෙම විස්තරයක් ..

ඉතින් මෙන්න මේ සාගර පලන්සූරිය මහත්මයා තමයි ධීවරී ගීතය කියන කවි පංතිය රචනා කරලා තියෙන්නේ . මේ කවි පන්තියේ තියෙන්නේ මසුන් මරන්නෙක්ගේ බිරිඳක් වැල්ලේ තියෙන එයාලා පදිංචි වෙලා ඉන්න පොල් අතු පැලේ ඉඳගෙන මසුන් මරන්න ගිය තමන්ගේ ස්වාමියා ගැන හිතන සිතුවිලි දාමයක් ගැන .

අපිට සිංහල උගන්නපු මිස් මේ කවි පංතිය කියලා දෙනකොට මගෙ හිතේ මේ කියන විස්තරය චිත්‍රයක් වගේ මැවුනා . එදා මැවුන ඒ චිත්‍රය අදත් ඒ වගේම තියෙනවා . ඉතින් අද කියන්න යන්නේ මේ කවි පන්තියේ තේරුමට විරුද්ධ තේරුමක් තියෙන , ඒ කියන්නේ ස්වාමියා විසින් මුහුදු වැල්ලේ ගෙදරක ජීවත්වෙන බිරිඳ ගැන මවන සිතුවිලි දාමයක් වටා ගෙතිලා තියෙන ගීතයක් ගැන . මට හිතෙනවා ඇත්තටම මේ කියන්නේ මුහුදක් අයිනේ ඉන්න පවුලක් ගැනමද කියලා  .මුලින්ම ගීතය අහලා ඉන්නකෝ .



මගෙ අමල් බිසෝ

දොර හරින්නෙපා

හොඳ පරිස්සමින් ඉඳපන්

මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ

නුඹ මූදුකරේ තනියෙන්



යස ඉසුරු අරන් සුදු මහත්වරුන්

ඒරොප්පෙ ඉඳන් ඇවිදින්

මුදු බැලුම් හෙලයි, ළං වෙන්න බලයි

නුඹ නොදැක්ක සේ ඉඳපන්



ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන්

ගෙට එබී බලයි හොරැහින්

මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්

නුඹ හෝදිසියෙන් ඉඳපන්



ගායනය - සුනිල් එදිරිසිංහ
පද - බණ්ඩාර ඇහැළියගොඩ
තනුව - රෝහණ වීරසිංහ


පොඩිකාලේ මේ ගීතය ඇහෙනකොට මට මතක් වෙන්නේ අමල්බිසෝ කතාවෙ ඉන්න රාක්ෂයව . ඒත් පස්සේ කාලෙකදී තමයි මේ ගීතයේ ඉන්නේ වෙනත් රාක්ෂයෙක් කියලා තේරුනේ . මම හිතන්නේ නම් ඒ රාක්ෂයා මුදල් කියන වෙන්න ඕන කියලා . ගීතයේ ස්ථායි අන්තරා කොටස් අරගෙන බැලුවම , මුදල් කියන රාක්ෂයා මිනිසුන් බිලිගන්න ආකාරයත් ඒ බිලිගැනීමට විරුද්ධව නැගී සිටින්න වෙරදරන මිනිස්සුන්ගේ ශක්තිය සහ හැගීම් ගැනත් මේ ගීතයේ පැහැදිලිවම අන්තර්ගත වෙලා තියෙනවා .


මගෙ අමල් බිසෝ

දොර හරින්නෙපා

හොඳ පරිස්සමින් ඉඳපන්

මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ

නුඹ මූදුකරේ තනියෙන්


මූදුකරේ තනියෙන් කියල අවසාන පදෙන් කිව්වට , මමනම් හිතන්නේ මෙතනට මුහුදක් ගෑවෙන්නේ නෑ . මොකද මෙතන මම දීපංකරේ කියලා යෙදුමක් තියෙනවා . ගොඩක් වෙලාවට මුහුදු බඩ පරිසරවල ඉන්න පවුල්වල පිරිමි වෙන පළාත්වල රස්සාවල්වලට යන්න තියෙන ඉඩ හරිම අඩුයි . එයාලා කරන්නේ මාළු අල්ලන ඔරු වලට සම්බන්ධවෙලා මාළු අල්ලන්න යන එක . ඒත් මේ ගීතයේ ස්ථායි කොටසේ කියන්නේ රැකියාවක් කරන්න ගමෙන් හෝ රටෙන් පිටත් වෙච්ච සැමියෙක්ගේ සිතුවිලි කියලා තමයි මම නිගමනය කරන්නේ .

ඔහු කියනවා , මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා නුඹ පරිස්සමෙන් ඉඳපන් කියලා . මෙතන දොර හරින්නෙපා කියලා කියන්නේ විවාහය නමැති බන්ධනයෙන් වැසීගිය දොරටුව නැවත විවර කරලා වෙනත් පිරිමින් වෙත යන්න එපා කියලා වගේ අදහසක් . මොකද ස්වාමියා ඉන්නේ දුර ප්‍රදේශයක , නැත්නම් දුර රටක . පවුලේ ඕනා එපාකම් පිරිමහගන්න තමන් උපයන මුදල හොඳටම මදි කියලා ස්වාමියා දන්නවා . ඒ නිසා ස්වාමියාගේ හිතේ ඇතිවෙනවා පොඩි බයක් , තමන්ගේ බිරිඳ මුදල් වෙනුවෙන් වෙනත් පිරිමින් හොයාගෙන යයිද දන්නේ නෑ කියලා . ඉතින් ගෙදරින් ඈත්වෙලා ඉන්න මේ ස්වාමියා තමන්ගේ කුටුම්භය ගැන ලතවෙනවා වගේම දුක් වෙනවා . එහෙම වෙන්නේ බිරිඳ මූදුකරේ තනියෙන් ඉන්න නිසා .

මූදුකරේ කියන්නේ වෙරලක් කියලා මම හිතන්නේ නෑ . මෙතන පද බැඳුම යෙදීලා තියෙන විදියට මමනම් හිතන්නේ මූදුකරේ කියලා කියන්නේ විනාශ මුඛය කියලා . දැන් බලන්න , මුහුදක් අයිනේම ජීවත්වෙන අයට තමන්ගේ ජීවිතය ගැන ස්ථාවර බවක් හිතේ තියාගෙන ජීවත් වෙන්න පුලුවන්ද ? බැහැ . ඒ මොකද මුහුද විශ්වාස කරන්න බෑ . කොයිවෙලේ ලොකු රැල්ලක් , සුනාමියක් වගේ එකක් නැත්නම් කුණාටුවක් ඇවිත් වෙරළේ තියෙන ගෙවල් බිලිගනියිද දන්නේ නෑ .

අන්න ඒවගේ තමයි මේ ස්ථායි කොටසේ කියන්නේ . තමන්ගේ බිරිඳ ඉන්නේ විනාශ මුඛය ඉදිරිපිට . ඒත් ඒ විනාශ මුඛයට පනින්න නම් එපා කියලා ස්වාමියා බිරිඳගෙන් ඉල්ලනවා වගේම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා . විනාශ මුඛය නමැති මුහුදුකරේ තනියම හිටියත් හිත දැඩි කරගෙන ඉන්න කියලා තමයි කියන්නේ .


යස ඉසුරු අරන් සුදු මහත්වරුන්

ඒරොප්පෙ ඉඳන් ඇවිදින්

මුදු බැලුම් හෙලයි, ළං වෙන්න බලයි

නුඹ නොදැක්ක සේ ඉඳපන්

දැන් අර මකර කටට පනින්න ඔන්න මෙන්න වගේ ඉන්නකොට මේ බිරිඳව , මකර කටට බලෙන්ම පන්නවන්න බලාගෙන ඉන්න සුදු මහත්තුරු ඒරොප්පේ ඉඳලා ඇවිත් මේ බිරිඳව මුලා කරගන්න බැල්ම හෙලයි , එහෙම බැල්ම දාලා ලං වෙන්න බලයිද දන්නේ නෑ කියලා ස්වාමියා තවදුරටත් හිතනවා . ඊට පස්සේ ස්වාමියා කියනවා එහෙම ලං වෙන්න ආවත් , උඹ ඒවා දැක්කේ නෑ වගේ ඉන්න කියලා .

යස ඉසුරු අරන් සුදු මහත්වරුන් ඒරොප්පේ ඉඳලා එනවා කිව්වට , මේ සුදු මහත්වරු පිටරටවල්වල ඉඳලා එන පොත්ත සුදු මහත්වරුමද ? . නැහැ . මම නම් හිතන්නේ මේ සුදු මහත්වරු කියලා කියන්නේ ධනපති පංතියේ ඉන්න සෙල්ලක්කාර මහත්වරුන්ට කියලා . මොකද දුප්පත් මිනිස්සුන්ට ඒවගේ අය කළු වැඩ කරත් සුදු මහත්වරු , සුදු අයියලා , සුදු අප්පොලා .


ඉතින් පහල පංතියේ මිනිස්සු ඉහල පන්තියේ යට කියන්නේ සුදු මහත්තයා කියලා . අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කට්ට කළු මනුස්සයෙක් . හැබැයි සල්ලි නිසා මිනිහට සුදු අයියා , සුදු මල්ලි නැත්නම් සුදා කියලා තමයි ගමේ අය කියන්නේ . ඒ නිසා කළු අයට සුදු කියල අකියවාගන්න ඕන නම් ඔන්න චාන්ස් එකක් තියෙනවා , ටිකක් වැඩිපුර හම්බ කරානම් වැඩේ ගොඩ .


ඒරොප්පේ කියලා කියන්නේ පිටරටවල්ම කියලා කියන්න බැහැ . මොකද මම එහෙම කියන්නේ , දුප්පත් අය පිටරට වගේ කියලා මවාගන්නේ විශාල මන්දිර තියෙන සුඛෝපභෝගී පරිසරයක් . ඉතින් මේ ස්වාමියා තමන්ගේ බිරිඳට කියන්නේ ඒරොප්පේ ඉඳලා එන සුදු මහත්වරු කියලා , සල්ලිකාර ධනවත් මහත්වරු ගැන වෙන්න ඕන .


ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන්

ගෙට එබී බලයි හොරැහින්

මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්

නුඹ හෝදිසියෙන් ඉඳපන්


එක එක ජාතියේ වෛවර්ණ ඇඳුම් ඇඳගෙන සමහර වෙලාවල් වලට ගෑණු අය එනවා ළමයි හොරකම්කරගෙන යන්න . සමහරවිට හොරකම් කරගෙනමත් නෙවෙයි , සල්ලි දීලා ළමයි හදාගන්න අරගෙන යන්න . ඉතින් මේ ස්වාමියා හිතනවා අතමන්ගේ බිරිඳ තමන්ගේ පවුලේ තියෙන අගහිඟකම් නිසා දරුන්වන් දන් දෙයිද දන්නේ නෑ කියලා .

ස්වාමියා තමන්ගේ බිරිඳ ගැන එහෙම හිතයි කියලා විශ්වාස කරන්න බැහැ කියලා දැන් ඔයාලා මට කියයි . ඒත් සමාජයේ වෙන දේවල් ඒක බැලුවම එහෙම වෙයි කියලා හිතන්න පුළුවන් නේද ? . මොකද ළමයින්ව ජීවත් කරවන්න අමාරු නිසාම එයාලා අකමත්තෙන්ම කැමතිවෙන්න පුළුවන් ළමයා හදාගන්න දෙන්න . ඉන්නවනම් තවත් ළමයෙක් , ඒ  ළමයා ජීවත් කරවන්න සල්ලි ඉල්ලන්නත් ඉඩ තියෙනවා .

ඉතින් මම කියන්නේ මේ ගීතයේ දෙවෙනි අන්තරා කොටසින් කියන්නේ එහෙම දෙයක් කියලා . ස්වාමියා හිතුවට තමන්ගේ දරුවන් දෙයිද දන්නේ නෑ කියලා ස්වාමියා බිරිඳට පෙන්නන්නේ නෑ තමන් බිරිඳ ගැන එහෙම හිතුවා කියලා . ඒ නිසා ස්වාමියා කියනවා මෙහෙම සල්ලිකාර නෝනලා ආවට කමක් නෑ , ගෙදරට එබිකම් කලත් කමක් නෑ , අපේ දරුවන්ව ළඟට කරගෙන පරිස්සම් කරගෙන ඉන්න කියලා .

ඉතින් මේ ස්ථායි කොටසයි අන්තරා කොටස් දෙකයි අරගෙන බැලුවම මුදල් කියන්නේ අමල්බිසෝ හොයාගෙන ආපු රාක්ෂයාට වඩා භයානක රාක්ෂයෙක් කියලා පේනවා නේද ?

සංගීත සංයෝජනය ගැනත් කියන්න දේවල් ටිකක් තියෙනවා . මට මේ ගීතය ඇහෙන ඇහෙන වාරයක් ගානේ හිතෙන්නේ මේ ගීතය භීම්පලාසි කියන රාගයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් කියලා . සමහරවිට ඒක වැරදි වෙන්න පුළුවන් . ඒත් මේ ගීතයේ ස්වර රචනාව සමහර තැන් වලදී භීම්පලාසි රාගයත් එක්ක කෙලින්ම ගැළපෙනවා .

සිංදුවා ඉස්සර ලිව්වා පෙරදිනයක මා පෙම්කල යුවතිය ගීතය ගැන මෙන්න මේ පෝස්ට් එකේ . එතනදීත් මම කමෙන්ට් එකක කියලා තිබුණා ඒ ගීතයත් භීම්පලාසි රාගයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් කියලා . මෙතනදීත් මට මේ ගීතය ඇහෙන්නේ ඒ වගේ . මේ තියෙන්නේ භීම්පලාසි රාගයේ ගායනයක් . අහලා බලන්න පුළුවන් ඔයාලට කැමතිනම් .


මේ ගීතයේ ඉලෙක්ට්‍රික් ලීඩ් ගිටාර් එකකින් තමයි තේමා වාදනය ආරම්භ කරන්නේ . ඒත් එක්කම යටින් යනවා බේස් ගිටාර් වාදනය . මේ ගිටාර් වාදනයෙන් මට මැවිලා පේනවා නිකන් ක්ෂිතිජයක් වගේ පසුබිමක් . කවදාවත් ලං වෙන්නේ නැති , නැත්නම් දුරස් වීම කියන හැගීම ඇතිකරන්න ඒ ගිටාර් වාදනය හොඳට ගැළපෙනවා .

තේමා වාදනයේ තාල රහිත කොටස ඉවර උනාට පස්සේ තාල වාදනය කෙරෙන්නේ බොන්ගෝ ඩ්‍රම් එකකින් . ඒවගේම ඒ ප්‍රධාන තාලයට හයිහැට් ඒකත් බේස් ගිටාර් එකත් දායක වෙනවා . ඊට පස්සේ එනවා තේමා වාදනයේ තියෙන බටනලා වාදන කොටසට . එතනදී තාල වාදනය කෙරෙන්නේ රබානකින් . මෙතන බටනලා වාදනය කරන්නේ බටනලා දෙකකින් වීම විශේෂ දෙයක් . බේස් ගිටාර් එකෙන් මේ බටනලා වාදනය ඉස්මතු කරන්න දායකවෙන වාදන කණ්ඩයක් ඇහෙන්නේ නෑහෙන්නේ නැති ගානට වාදනය වෙනවා .

දැන් තේමා වාදනය ඉවරවෙලා ගායනය ආරම්භ වෙනවා . ඒ ආරම්භ වීම කරනකොට වාදනය සම්පූර්ණයෙන්ම නවතිනවා . ඊට පස්සේ මගෙ අමල් බිසෝ කියන කොටසේ බිසෝ කියන වචනය උඩදී තමයි ආයෙත් තාල වාද්‍ය භාණ්ඩයකින් තාලය වාදනය කරන්න පටන් ගන්නේ . මෙතන වාදනය කරන්නේ ඩොල්කිය කියන තාල වාද්‍ය භාණ්ඩය .

මේ ගීතයේ තියෙන මම කැමතිම කොටසක් තමයි ඔය ඩොල්කියෙන් ස්ථායි අන්තරා කොටස් ආරම්භ කරන විදිය . ඒ වගේම ඩොල්කිය වාදනය කරන විදියත් ආකර්ශනීයයි . මේ ගීතයේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩ තුනක් හරි හරියට ගීතය පුරාවට වාදන වීම . ඒවා තමයි රබාන ඩොල්කිය සහ බොන්ගෝ ඩ්‍රම් එක .

ඔහොම දැන් ගීතය ගායනා වෙනකොට දීපංකරේ තනියෙන් කියන තැන තනියෙන් කියන වචනය එක්ක ඇහෙනවා බොන්ගෝ ඩ්‍රම් එකෙන් ටක ටක ටක ටක ගාලා වාදනයවෙන තාලයේ හතරගුණය දක්වන තාල කොටසක් වාදනය කරනවා . ඒ කොටසත් මේ ගීතයේ තියෙන මම කැමති කොටසක් . ඒ වගේ කොටසක් තව තිබුණ ඔයාලට මතකද දන්නේ නෑ , රෑ දොළොස් පැයේ ගීතය ගැන මම ලිව්ව මෙන්න මේ පෝස්ට් එකේ .

මේ ගීතයේ කෝඩ්ස් වාදනය කරන්නේ එකොස්ටික් ගිටාර් එකකින් . ඒ වාදනයවෙන කෝඩ්ස් වල ස්වර ග්ලොකන් ස්පීල් එකකිනුත් ගීතය පුරාවටම වාදනය කරනවා .

ආයෙත් කියන්න ඕන මේ ගීතයේ මම වැඩිපුරම සිත්ගත් තැන වෙන්නේ ස්ථායි අන්තරා කොටස් පටන් ගන්නකොටම ඩොල්කියෙන් වාදනය කෙරෙන වාදන කොටස . ඒකට අපි කියන්නේ සාමාන්යෙන් බීට් එක කඩලා ගන්නවා කියලා .


එහෙනම් තවත් ගීතයක්ගැන යක්කු ගැන එව්වා මෙව්වා ගැන පෝස්ට් එකක් අරගෙන ලබන සතියේ එන්නම්කෝ . දැන් වයලීනොට සති අන්තයේ නිවාඩුයි . ඒ නිසා සති අන්තයේ ලියන්න පුළුවන් ගින්නක් නැතුව . එහෙනම් අපි ගියා .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


මට මේ ළඟදී නිකමට වගේ ටවුන් ආව වෙලාවක අපිට උගන්නපු මිස් කෙනෙක් හම්බුණා . දැන් නම් ඒ මිස් හරියට වෙනස් වෙලා වයසට ගිහින් නිසා වෙන්නැති . අප...

වාස්තු පුරුෂයාගේ උපත







පෙරදිග විද්‍යාවන් ඇත්තටම පිළිගන්න සමහරු අකමැති නිසාත් , ඒවා බහුභූත මිත්‍යා මත කියලා ඉවත දාන්න හදන සමහර අය නිසාත් තමයි වාස්තු විද්‍යාව ගැන ලියන්න අත තියන්න කලින් දිශාවන් වෙන් වීම සිදුකරලා තියෙන මේ වාස්තු පුරුෂ සංකල්පය ගැන සටහනක් තියන්න ඕන කියලා කල්පනා කරේ . ඇත්තටම පළවෙනි රූපය සහ දෙවෙනි රූපය දිහා බලනකොට කාට වුණත් මේ සංසිද්ධිය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් ඇති කියලා මම විශ්වාස කරනවා .

පසුකාලීනව N S කියලා උතුර දකුණ දිශා වෙන් කරලා ඒවායේ සත්‍ය උතුර , චුම්භක උතුර සහ සිතියම් උතුර වගේ විවිධ න්‍යායන් අනුව දිශා දක්වන්න පුරුදු වුණත් සෘෂිවරුන්ගේ කාලයේ ඉඳලා ඒ දිශා වෙන් කිරීම වෙනත් සංකල්ප අනුව සිදු කරලා තියෙනවා කියලා පෙන්වන්න තමයි මම මේ ෆොටෝ දෙක ඇත්තටම එක ළඟම දැම්මේ . දේවත්වය කියලා කියන්නේ ශක්තියක් . ශක්තිය දේවත්වයෙන් සලකපු ඒ කාලේ මේවගේ රූපයක් අනුව ඒ ශක්තීන් විස්තර කරන්න එයාලා සැලසුම් කරා කියලා හිතන්න පුළුවන් අපිට .

බලන්න ඒ කාලේ වාස්තු පුරුෂයා කියලා දෙවි කෙනෙක් නිර්මාණය කරලා එයා පොළවේ සැතපිලා ඉන්නේ ඊසානට ඔලුව දාලා කියලා විස්තර කරලා තියෙන විදිය . මේ වාස්තු පුරුෂයාගේ හිස ඊසානට තියෙන නිසාත් එයාගේ පාද නිරිත දිශාවට තියෙන නිසාත් ඒ ශක්ති පැතිර යාම අනුකූල කරගෙන තමයි අතීතයේ සෘෂිවරුන් තමන්ගේ තුන්කල් දක්නා නුවණ මෙහෙයවලා වාස්තු විද්‍යාව නිර්මාණය කිරීමේදී දිශාවන් සහ යම් යම් අංග දිශාණුගත කිරීම් සිදු කරලා තියෙන්නේ .

අද කාලේ නවීන විද්‍යාව අනුව මේ දිශාණුගත කිරීම කරලා තියෙන්නේ පෘථිවියේ අංශක 23 .5 කට ආසන්න ඇල වීම නිසා කියලා කියනවා . ඒත් ඒ කාලේ එහෙම දෙයක් නෙවෙයි කියලා තියෙන්නේ . ශක්තිය ගමන් කිරීම කියන දේ , ඒ කියන්නේ මැග්නටික් ෆීල්ඩ් එක ගමන් කිරීම සංකේත කරලා තියෙන්නේ මේ වාස්තු පුරුෂයාගෙ ආකෘතියෙන් . නිවසක් අලුතෙන් හදනකොට ඒ නිවසේ යම් යම් කොටස් දිශාණුගත කරලා තියෙන්නේ ඒ අනුව . එහෙම බලනකොට අපි හිතන්නෙම නැතුව ස්වභාවික ශක්තිය අනුව නිවාස ඉදි කිරීම කියන දේට පෙළඹිලා තියෙනවා ඒ කාලේ ඉඳලාම .






ඉතින් අද වෙනකොට සැටලයිට් ආශ්‍රයෙන් සොයාගෙන තියෙන මේ කරුණු කාරණා ඒ කාලේ සෘෂිවරු තමන්ගේ නුවණැසින් බලලා ඒවා විශ්ලේෂණය කරලා වාස්තු විද්‍යාව නිර්මාණය කිරීම ඇත්තටම පුදුම සහගතයි . ඒවගේම හිතලා බලන්න වෙනවා අද නවීන විද්‍යාව දියුණුයි කියලා කිව්වට ඇත්තටම ලබා ගන්න අවශ්‍ය දියුණුව ලබාගෙනද තියෙන්නේ කියලා . මේ කරුණු කාරණා මතක් කරේ වාස්තු පුරුෂ උත්පත්තිය කොහොමද සිදු වුණේ කියලා දැනුවත් කිරීමට පෙරවදනක් වශයෙන් .







වේද සාහිත්‍යයේ සඳහන්වෙන ආකාරයට වාස්තු පුරුෂයා ඇතිවෙනවා කියන්නේ අන්ධකාසුර සහ ඊශ්වර දෙවියන් අතර ඇතිවෙන සටනක් නිසා ඊශ්වර දෙවියන්ගේ ශරීරයේ පොළවට වැටුණු ඩහදිය හේතු කරගෙන . මේ ඩහදියෙන් ඇතිවුණු විශාල පුරුෂයා භූතයෙක් විදියට දෙවියන් විසින් හඳුනාගත්තා . ඉතාම භයානක රූප කායක් තමයි මේ වාස්තු පුරුෂයාට තිබිලා තියෙන්නේ . ඒ නිසා පොළවේ ජීවත් වූවන් සහ අහසේ වාසය කරපු දෙවියන් ඉතාමත් විශාල භයකට පත් වුණා කියලා කියනවා . මේ භය නිසා දෙවියන් විසින් මේ වාස්තු පුරුෂයාව අල්ලලා මුණින් අතට හරවලා පොළවට පතිත කරලා තියෙනවා . ඊට පස්සේ දෙවියන්ගෙන් ලැබුණු ශක්තිය නිසා වාස්තු පුරුෂයා බලවත් වෙලා තියෙනවා . ඒ ශක්තිය තමයි ඔය වාස්තු පුරුෂයා කියලා වාස්තු විද්‍යාවේදී නිතරම භාවිතා කරන්නේ .

දැනුවත්ව හෝ නොදැනුවත්ව වාස්තු පුරුෂයාගේ ශරීර කොටස් වලට අදාලව නිර්මාණය වෙලා තියෙන වාස්තු විද්‍යාත්මක සංකල්ප වාස්තු විද්‍යාවේ පාවිච්චි වෙනවා . සමහරු වාස්තු පුරුෂයා කියලා කෙනෙක් නැහැ කියලා කියනවා . ඒත් සංකල්ප පාවිච්චි කරනවා . ඇත්තටම ඉතින් වාස්තු පුරුෂයා කියලා කෙනෙක් හිටියත් නැති වුණත් ඒක ගැටළුවක් කරගන්න අවශ්‍ය නැහැ .

වාස්තු සංකල්ප නිර්මාණය කරලා තියෙන්නේ මිනිසාගේ ආයුෂ වර්ධනවන ආකාරයට සහ ස්වභාවික පරිසරයට බාධාවක් ඇතිකරන්නේ නැති විදියට වාසස්ථාන නිර්මාණය කරගන්න පුළුවන් වෙන විදියට . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නේ නිර්මාණය කරන ලද මිත්‍යා ආකෘතියක් නෙවෙයි . ස්වභාවික දේවල් ම ප්‍රායෝගිකව සාර්ථකව පාවිච්චි කරන්නේ කොහොමද කියලා නිර්මාණය කරලා තියෙන ශිල්පයක් .

ස්වභාවික පරිසරයෙ ගල්ගුහා ආශ්‍රිතව ජීවත්වුණු මිනිසා ක්‍රම ක්‍රමයෙන් තමන් විසින් නිවාස හදාන්න පෙළඹීම එක්ක ඒ නිවාස තැනීම පරිසරයට අනුකූලව කොහොමද කරන්නේ කියලා වාස්තු විද්‍යාවේ කියලා දෙනවා . පරිසරයට අනුගත වෙන්නේ නැති කෙනා වැඩි කල් ඉන්නේ නැහැ . පරිණාමවාදයේ යම් කොටස් වලින් ඒක කියවෙනවා . අන්න ඒවගේ වාස්තු විද්‍යාත්මකව නිවැරදිව නිවාස හදන්නේ නැති අයටත් යම් යම් කරදර ඇතිවෙනවා . ඒ ගැන කතා කරන්න ගන්න මූලාරම්භය තමයි වාස්තු පුරුෂ උපත .


තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!



ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සහ ප්‍රභාශ්වර වාස්තු විද්‍යා සේවය ඔස්සේ ඔබට අවශ්‍ය ජ්‍යෝතිෂ සහ වාස්තු කටයුතු සිදුකර ගැනීමට එම සේවාවන්  සමග සම්බන්ධ වීමට පහත ෆෝරමය පුරවා ඔබගේ තොරතුරු එවීමට සලස්වන්න . දුරකථන අංකය ඔස්සේ ඔබව සම්බන්ධ කරගැනීමට හැකි ඉක්මණින් කටයුතු කරනු ලැබේ .

 
ඔබේ නම : ( අත්‍යාවශ්‍ය වේ )


ඊමේල් ලිපිනය : ( අත්‍යාවශ්‍ය වේ  )




ඔබගේ නම
ඔබගේ දුරකථන අංකය
ඔබට අවශ්‍ය සේවාව කුමක් ද ?
පහත එම දත්ත ඇතුළත්කර එවීමට කටයුතු කරන්න








පෙරදිග විද්‍යාවන් ඇත්තටම පිළිගන්න සමහරු අකමැති නිසාත් , ඒවා බහුභූත මිත්‍යා මත කියලා ඉවත දාන්න හදන සමහර අය නිසාත් තමයි වාස්තු ...

ඇත් සොහොන් සංකල්පය






පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන් , අම්මා වැඩ කරන ඔෆිස් එක කිට්ටුව නවත්තලා ලන්ච් අවර් එකේ අම්මවත් දාගෙන තමා එන්නේ . අම්මා ත්‍රීවිල් එකට නැග්ගම මම වැඩි හරියක්ම අම්මගේ උකුලට පැනලා ඒ ටික දුරටත් නින්දක් දානවා .

දවසක් ඔහොම එනකොට අපේ ත්‍රීවිල් එක ඉස්සරහට ආවා අපේ සබරගමුව මහ සමන් දේවාලේ අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් ගොයම් කපාගෙන වී කරල් මිටිය දේවාලෙට වැඩම කරවන පෙරහැර . මම ඉතින් නින්ද පැත්තක තියලා ත්‍රීවිල් එක නවත්තන්න කියලා පෙරහැර යනකල් බලාගෙන හිටියා මට මතකයි . මේ අලුත් සහල් මංගල්‍යය ගැන මම ඉස්සර මගේ බ්ලොග් එකේ සවිස්තරව ලිව්වා .

මෙන්න මේ ලිපියේ ඇති ඒ චාරිත්‍ර වාරිත්‍ර ගැන . අලියෙක් පිටේ තමයි මේ වී කරල් මිටිය වැඩම කරවන්නේ . එවෙලේ ඔන්න ඔය අලියා දැකලා අපේ තාත්තා කිව්වා " ආ අද ටවුන් එකේ කට්ටිය කතා උනා ඇහුනා ඇන්ටන් අප්පොගේ අලියෙක් වලව්වේ ටොයිලට් වලක් කඩාගෙන වැටිලා මැරිලා " කියලා .

ඇන්ටන් අප්පෝ කියන්නේ මෑත කාලයේ සබරගමුව මහ සමන් දේවාලය සංවර්ධනය කරපු බස්නායක නිලමේ තුමා  . දැනට අවුරුද්දකට කලින් වගේ එතුමා මිය ගියා . එතුමා තමයි දේවාලේ ගොඩක් ඉඩම් එහෙම නිරවුල් කරලා පූජා නගර ව්‍යාපෘතිය යටතේ දේවාලේ තියෙන ගරාවැටුන ගොඩනැගිලි අලුත් කරලා , තාප්ප බන්දලා දේවාලේ හැදුවේ . එතුමාට අලි ඇත්තු හිටියා . දළදාව වැඩම කරවපු සුප්‍රසිද්ධ " රත්නපුර මුද්දුව වලව්වේ විජේදන්ත " කියන ඇතා මෙන්න මේ ඇන්ටන් අප්පොට අයිති ඇතෙක් .

කොහොම හරි මට කියන්න ඕන උනේ අලියෙක්ගේ මරණයක් ගැන අහන්න මට ලැබුණු වඩා........ත්ම පරණ මතකය තමයි මම අර කලින් කිව්ව අලියා වැසිකිලි වලක් කඩාගෙන වැටිලා මිය යාම .

ඒ සිද්දියත් කියාගෙනම අද මේ කියන්න යන්නේ හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු කතාව ලිව්වට පස්සේ ලියන්න ඕන කියලා හිතුන අලි ඇතුන්ගේ ආයු කාලය සහ මරණය එක්ක සම්බන්ධ වෙලා තියෙන ඇත් සොහොන් කියන සංකල්පය ගැන .

මේක ලියන්න යොදාගන්න තොරතුරුත් එක්කම අලි ඇත්තු ගැන වැඩිපුර තොරතුරු මම හොයාගත්තේ අපේ කැම්පස් එකේ ලයිබ්රියට රිංගලා කියවපු පොත් පත් වලින් . සහ අලි බලන අයියලා මාමලා සීයලා එක්ක කරපු කතාබහ වලින් මම එකතු කරගත්ත කරුණු වලින් .

අලියෙක්ගේ ඇතෙක්ගේ සාමාන්‍ය ආයු කාලය අද කාලේ මනුස්සයෙක්ගේ ආයු කාලයට ආසන්න වශයෙන් සමානයි . හීලා අලි ඇත්තු සාමාන්යෙන් අවුරුදු 65 - 75 අතර කාලයක් වගේම කැලේ ඉන්න අලි ඇත්තු අවුරුදු 70 - 80 අතර කාලයක් ජීවත් වෙනවා කියලා පර්යේෂණ මගින් තහවුරු කරලා තියෙනවා .

සාමාන්‍ය ක්‍රමයට අලි ඇතුන්ගේ වයස නිර්ණය කරන්නේ අලින්ගේ දන්ත වින්‍යාසයයි දත්වල වර්ධනයයි ඇතෙක් වගේනම් එයාගේ දල දෙකේ වර්ධනයයි දල දෙකේ පරිධියයි එයාලගේ උස සහ කකුලේ පරිධිය වගේ මිනුම් අරගෙන . ඒ වගේම ආසියාතික අලින්ගේ වයස නිර්ණය කරන්න උපයෝගී වෙනවා එයාලගේ ඇඟේ වයසත් එක්ක හැදෙන ගෝමර නැත්නම් අලි බලන අය නම් කියන්නේ කබර හැදෙනවා කියලා . මෙන්න මේ ගෝමර වල වර්ණයේ තීව්‍රතාවය , ගෝමර ගණන වගේ දේවල් .

වයසට යනකොට අලි ඇතුන්ගේ මුහුණ ගිලාබැහැපු බවක් , කන් දෙකේ තියෙන පෘෂ්ටිමත් බව නැති වීමත් ඇස්වල තියෙන දීප්තිමත් බව අඩු වීමත් වගේ දේවල් වෙනවා . ඇත්තුන්ගේ නම් සමහර වෙලාවට දලයේ ඇතුලේ තියෙන ගජමුතු ගැලවිලා දතේ කුහරයේ එහා මෙහා හෙලවෙන නිසා ඇතා මුණ හොලවනකොට දලෙන් ඇහෙනවා ඒ ගජමුතු පෙරලෙන සද්දේ ටක ටක ගාලා . වයසට ගියාම අලි ඇත්තු රළු ආහාර වලින් අයින් වෙනවා .

කැලෑවල් වල ඇත් සොහොන් කියලා අද වෙනකොට හොයාගෙන තියෙන ආසියාතික සහ අප්‍රිකානු කියන ඇත්සොහොන් දෙවර්ගයම වැඩි හරියක් පිහිටලා තියෙන්නේ වතුර වැඩිපුර තියෙන තෘණ වර්ග වැඩිපුර තියෙන ප්‍රදේශ වල . තෘණ කියන්නේ හරක් කන තෘණ නෙවේ . ඊට වඩා උසින් වැඩි මානා වගේ තෘණ වර්ග .

ඒ කියන්නේ වයසින් වැඩි වෙනකොට අලි ඇත්තු තෘණ වර්ග ආහාරයට ගන්න පෙළඹෙනවා . පස්සේ ඒ කිට්ටුවම වගේ තමයි මිය යන්නේ . ඒ අනුසාරයෙන් තමයි ඇත් සොහොන් නිර්මාණය වෙලා තියෙන්නේ .
අලි ඇත්තු මිය යන්න තවත් රෝග ගොඩක් හේතු වෙනවා . ප්‍රධානම හේතුව තමයි ආහාර නොදිරවීම . බර ආහාර වර්ග උනත් බර නැති ඒවා උනත් කාලයත් එක්කම ආහාර දිරවන්නේ නැති වෙනවා .

ඒ වගේම ඊළඟ හේතුව තමයි කොච්චර හොඳට සෞඛ්‍ය සම්පන්නව හිටියත් මෙයාලගේ දත් ගෙවිලා ගිහිල්ලා කෑම හපන්න බැරි වෙනවා . එතකොට මෙයාලා කන්න බැරුව මන්ද පෝෂණය වගේ හැදිලා මිය යනවා . අලි ඇත්තු මිය යන්න හේතු වෙන ප්‍රධානම හේතු දෙක තමයි ඔය දෙක . හීලෑ වල් ආසියාතික අප්‍රිකානු කියන කාටත් පොදුයි මේ හේතු දෙක .

ඊට අමතරම අලින්ටත් අපිට වගේ ලෙඩ හැදෙනවා . මෙයාලට හැදෙනවා හෘද සනාල රෝග , වැඩිපුරම මෙයාලට ඒ වගේ හැදෙන ලෙඩක් තමයි අපිට වගේම කලෙස්ටරෝල් තැම්පත් වීම . ඒ නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපන වෙලා මිය යනවා . ආතරය්ටීස් , ක්‍ෂය , ජලභීතිකාව , පිටගැස්ම , නිව්මෝනියාව , ආමාශ ප්‍රදාහය , මුඛය සහ පාද ඉදිමීම වගේ ලෙඩ මෙයාලට හැදෙනවා . තව මෙයාලට හැදෙනවා අපිට චිකන් පොක්ස් පැපොල හැදෙනවා වගේ එලිෆන්ට් පොක්ස් කියලා පැපොල රෝගයක් . තව ආහාර මාර්ගයේ පනුවෝ හැදිලා පණුවෝ ලේ බීලා බීලා ලේ අඩුකම නිසාම අලි මැරෙනවා . ඒ නිසා අලි උනත් සෙල්ලන් නෑ . උන්ටත් මාර ලෙඩ හැදෙන්නේ . තව අලි ඇත්තු මැරෙන හේතුවක් තමයි ගෑණි බෙදාගන්න බැරුව ඇත්තු ඇත්තු හරි අලි ඇත්තු හරි අලි අලි හරි කෙලගන්න එක . අවසානේ එකෙක් මැරෙනකල්ම කෙළගෙන ඉවරයක් වෙලා ගිහින් මැරෙන වෙලාවලුත් තියෙනවා .

ඉතින් මේ ලෙඩ ගැන හිතලා බැලුවම මට මතක් වෙනවා මගේ යාලුවා , නැදුන්ගමුවේ රාජා . වෙද මහත්තයා කියන්නේ මේ ඇතාව පයින් ඇවිද්දවන එක ඇතාගේ සෞඛ්‍යයට හොඳයි කියලා . ඇත්තටම අලියෙක් ඇතෙක් කැලයේ ඉන්නකොට දවසකට කිලෝමීටර් 4 - 5 අතර දුරක් අවිදිනවා කියලා හොයාගෙන තියෙනවා . එනිසා හීලා අලි ඇතුන්ට වඩා වල් අලි ඇත්තු හෘද සනාල රෝග වලට ගොදුරුවෙන ඉඩ අඩුයි . ඉතින් මගේ යාලුවත් ගම්පහ ඉඳලා නුවරට බෙල්ලන්විලට රත්නපුරේට පයින් එන එක අලි බලන අයට කරදර උනත් එයාගේ පැවැත්මට ඒක ලොකු උදව්වක් වෙලා තියෙනවා .






එහෙනම් දැන් අපි එමු ඇත් සොහොන් ගැන බලන්න . මේක ඉතින් අදාළ වෙන්නේ වල් අලි ඇතුන්ට තමයි . මට ඔය ඇත්සොහොන් කියන කතාව ඉස්සර අදාළ වෙලා තිබෙම නෑ . මොකද මමත් ඕක ගැන විශ්වාස කලේ නෑ . ඒත් කියවපු පොත් වල එක එක අය තමන්ගේ අත්දැකීම් වලට ලියලා තියෙන ඒවා එක්ක ඇත් සොහොන් සංකල්පය ඇත්ත කියලා කියන්න පුළුවන් . සමහර අයනම් මාස ගණන් කැලේ රැකගෙන ඉඳලා තමයි මේවා හොයාගෙන තියෙන්නේ .

එයාලා කියලා තියෙන හැම දෙකම සාරාංශයක් වගේ ගත්තම මෙහෙම තමයි අලියෙක්ගේ ඇතෙක්ගේ අවසානය වෙන්නේ . මෙයාලගේ අවසානය කිට්ටු උනාම මෙයාලා ක්‍රම ක්‍රමයෙන් කැලයේ ජලාශ තෙත් බිම් වගේ තියෙන තැන් වලට එකතු වෙනවා . එයාලා ඊට පස්සේ කන්නේ ඒ තෙත් බිම් ආශ්‍රිතව තියෙන තෘණ වර්ග පොඩි පොඩි පැලැටි වර්ග . ඒවායින් ජීවිතේ අල්ලාගෙන ගියාට ඒවායෙන් එයාලට ලැබෙන පෝෂණය හරිම අඩුයි . ඊට පස්සේ මෙයාලා වැඩි හරියක් කෑම ගන්නේ නැති වෙලාවට මේ ජලාශ හෝ තෙත්බිම් වල වැතිරිලා ඉන්නවා .

අලි ඇතුන්ට ඇඟේ හරි ගිනියමක් තියෙනවා කියලා කියනවනේ . එනිසා වෙන්නැති එහෙම කරන්නේ . නැත්නම් මම හිතන්නේ වයස නිසා උෂ්ණත්ව යාමනය කරගන්න අපොහොසත් නිසා මෙහෙම වෙනවා ඇති . පස්සේ එයාලා එහෙමම මැරන අයත් ඉන්නවා . සමහර අය මැරෙන්න ආසන්න මොහොතේ හිටගෙන ඉන්නකොට අනිත් අලි ඇත්තු ඇවිත් එයාට හිටගෙන ඉන්න සපෝට් කරන්න වගේ හේත්තු වෙලා ඉන්නවා ඒ මැරෙන එක්කෙනාගේ වටේට . පස්සේ පන ගියාට පස්සේ වටේ අය අයින් වෙනකොට තමයි මැරුන කෙනා බිමට වැටෙන්නේ .

මැරුණට පස්සේ මෙයාලගේ මස් කන්න නරි වල්ඌරෝ වගේ සත්තු එනවා . ඊට පස්සේ ඉතුරු මසත් දියවෙලා දිරලා ගියාම අනිත් අලි ඇත්තු කරන්නේ මේ මැරුණු සතාගේ දල තියෙනවනම් ඒ දල එක්කෝ කඩල බිඳලා කුඩු කරලා දානවා . නැත්නම් ඒවා උස ගස්වල මුදුන්වල රඳවනවා . ඇටකටු එක තැනකට ගෙනත් දානවා . ඔන්න ඔහොම ගෙනත් දාන තැන තමයි ඇත් සොහොන කියලා කියන්නේ .

අප්‍රිකානු අලි ඇතුන්ගේ මේ ඇත් සොහොන් ගැන දීර්ඝ ලිපි ලියලා තියෙනවා පර්යේෂණ කරපු අය . ලංකාවේ වගේම ආසියාතික අලින් ගැනත් මෙහෙම ලිපි ලියවිලා තියෙනවා . ඉස්සර දේශාටනයේ යෙදුන අය ලංකාවේ ඇත් සොහොනක් ගැන කියනවා . ඔයාලා මම කිව්වා කියලා ඉතින් හොයන්න ගිහිල්ලා වැඩ වරද්දගන්න එපා . මේක ගොඩක් ඉස්සර කාලේ තිබ්බ වාර්තාවකට අනුව කියන්නේ . ශ්‍රීපාද කන්දේ ධර්මරාජ ගල කිට්ටුවෙන් කැලේට වැදුනම මහ ඝන වනාන්තරේ ගොඩක් ඈතුලේ තවත් ඇතුලේ ඇතුලේ පහු කරගෙන පහු කරගෙන පහු කරගෙන තවත් ඇතුලට ඇතුලට ගියාම ඇත් සොහොනක් තිබිලා තියෙනවා .

ඇත් දල එකතු කරන්න හොඳ තැනක් කියලා කියනවා ඇත් සොහොන් . ඒ නිසා මිනිස්සු ඇත් සොහොන් හොයාගත්තම කොනක ඉඳන් එතන සුද්ද කරනවනේ . ඉතින් අලි ඇත්තු තමන්ගේ පූජනීය ඇත් සොහොන් පිහිටලා තියෙන තැන් වෙනස් කරලා තියෙනවා කියලත් මේ ගැන පර්යේෂණ කරපු අය වැඩි දුර විස්තර කරලා තියෙනවා . එහෙනම් එච්චර තමා අලි මරණ ගැන කියන්න තියෙන්නේ .

මම කලින් පෝස්ට් එකක කියලා ඇති කමෙන්ට් එකකට අලි නිල ගැන කියනවා කියලා . ඊළඟට අපි බලමු අලි නිල කොහොමද බෙදෙන්නේ සහ ඒවායින් මොනවද කරන්නේ කියලා . දැන් ඉතින් ධර්මරාජ ගල ගාවින් කරුණා කරනකොට කස්ටිය වයලීනොවත් මතක් කරයිනේ නේද ?

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන් , අම්මා වැඩ කරන ඔෆිස් එක...

රෑ දොළොස් පැයේ මා ඔබ එනතුරු බලා සිටියා පෙම්බර කුමාරයෝ !





( මේක ටිකක් වෙනදට ලියන ලිපි වලට වඩා දිගින් වැඩි ලිපියක් . ඒ නිසා කියවන අය පත්වන අපහසුතාවය පිළිබඳව මගේ බලවත් කණගාටුව :)  :)  :) )

මට මතකයි මීට කලින් මම ලිව්ව පෝස්ට් කීපයකම මම කියලා තියෙනවා අපේ ආච්චිඅම්මගේ පවුල ඉතාම පුළුල් විදියට පැතිරිලා ගියපු පවුලක් කියලා . සහෝදරියෝ පහයි සහෝදරයෝ පහයි හිටපු ඒ පවුලේ ආච්චි තමා ලොක්කි . ඉතින් ආච්චි අම්මගේ උපන් ගම වෙච්ච දෙවිනුවර මුල් කරගෙන මේ ආච්චිලා සීයලා ටික විවාහවෙලා , නැත්නම් වෙළඳාමට යොමුවෙලා වගේ විවිධ හේතුන් උඩ රටේ හැමතැනම විසිරිලා ගියා . ඒනිසා පවුලේ නම ගෑවිච්ච මොකෙක්හරි කොහේ හරි අනිවාර්යෙන්ම ඉන්නවා .

ඔහොම විහිදිලා ගියපු පවුලෙන් එක අත්තක් විහිදුනේ අනුරාධපුර කැකිරාව කියන ප්‍රදේශයට . එහෙ හිටියේ අපේ ආච්චිගේ එක නංගි කෙනෙක් . ඒ ආච්චි විවාහ වෙලා හිටියේ කැකිරාවේ සීයා කෙනෙක් එක්ක . ඒ සීයලට ඉඩ කඩම් හරකා බාන හේන් කුඹුරු අරවා මේවා ඔය ඔක්කොම යුගල පද ටික තිබුණා . අපේ අම්මා දෙවිනුවර ඉස්කෝලෙකට ගිහින් අතරමගදී කැකිරාවේ මේ ආච්චිලගේ ගෙදර නැවතිලා කැකිරාව මධ්‍යමහා විද්‍යාලයේ තමයි උසස්පෙළ වෙනකං ඉගෙනගෙන තියෙන්නේ . කැකිරාව මධ්‍යමහා විද්‍යාලය විශේෂ පාසලක් . ලංකාවේ තාමත් ගෑණුලමයි ළමාසාරී ඇඳලා පාසල් යන එකම පාසල තමයි කැකිරාව මධ්‍යමහා විද්‍යාලය කියන්නේ . ඒ කාලේ ඉස්කෝලේ නිවාඩුවට අපේ පුංචිත් යනවලු කැකිරාවේ ඔය ගෙදරට . ඒ ගියාම ඒ ගෙදර අයත් එක්ක යනවලු එයාලගේ හේන් කුඹුරු වලට .





ගිහින් සමහර වෙලාවට සුද්ද කරන්න අස්වැන්න නෙලන්න වගේ දේවල් වලටත් උදවු වෙනවලු . ඔහොම කාලය ගතවෙනකොට අපේ අම්මට රැකියාව ලැබෙනවා මහඉලුප්පල්ලම ගොවි කටයුතු පර්යේෂණායතනයේ . ඊට පස්සේ පුලියන්කුලම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ . 

අපේ පුංචිඅම්මා ස්වෙච්චා ගුරුවරියක් විදියට කාලයක් වැඩ කරලා තියෙනවා අනුරාධපුරේ පැත්තේ අතිදුෂ්කර පාසලක . එතකොට නවාතැන් ගත්ත ගෙදර අයටත් හේන් තිබ්බලු . 

මම ගොඩක් පොඩි කාලේ ඉඳලා අපේ අම්මලා මාව ඔය ගෙවල් වල එක්ක ගියා . ඒ යනකොට සමහර වෙලාවල් වලට හේන් දකින්න ලැබුණා . දවසක් එහේ මාමා කෙනෙක්ගේ විවාහ උත්සවයක් තිබුණා . මමත් ඕකට අපේ ගෙදර අයත් එක්ක ගියා . ඒ ගිහින් සතියක් විතර එහෙ හිටියා . දවසක් ඒ පැත්තේ දඩයම් කරන කෙනෙක් එහෙට මුව මස් ගෙනත් දුන්නා . මම රස බැලුවෙනම් නෑ . ඒත් දඩමස් කියලා අහලා තිබ්බට දඩමස් ඇහැට දැක්කේ එදා තමයි . මම තුන වසරේ විතර ඇති එතකොට . ඊට පස්සේ වතාවක එහෙ ගියාම හවස් වරුවේ මමයි අපේ පුංචිඅම්මයි දවල් කෑම කාලා ඒ ගෙවල් පැත්තේ හතරවටේ රවුමක් ඇවිද්දා . 

මම කියන මේ කැකිරාවේ ආච්චිලගේ ගෙදර ඉස්සරහා තියෙනවා ලොකු වැවක් . වැවේ නමනම් කියන්න බෑ . එතකොට වැඩේ මාට්ටු වෙනවා . මොකද වැවේ වාන ඉස්සරහ තමයි මේ ගෙදර තියෙන්නේ .  :p :p  ඔය වැව අයිනේ තියෙනවා පන්සලක් . ඒ පන්සලට ගියාම ඈතින් පේනවා වැවේ ඉහත්තාවේ වැව් පිටියට ඇවිත් ඉන්න අලි රංචු . තව ඒ වැවේ ඉන්නවා කිඹුලෝ . ඉතින් වැවට නාන්න බැස්ස කීප දෙනෙක්ටම ඔය කිඹුල් හාමිලා වග කියලත් තිබුණා . ඔය ප්‍රදේශයේ ගොඩක් මිනිස්සු තාමත් හේන් ගොවිතැන දඩයම් කිරීම වගේ දේවල් කරනවා . දඩයම් කරන්න දැන් ඉතින් තුවක්කු පාවිච්චි කරන්න තහනම් නිසා උගුල් අටවලා හරි සත්තු දඩයම් කරනවා . හාවෝ මුවෝ ගෝන්නු ඉත්තැවෝ වගේ සත්තු මේ විදියට දඩයම් කෙරෙනවා .





ඒ පැත්තේ ජන ජීවිතය ගැන මම මෙහෙම වටින් ගොඩින් මතක් කලේ අපේ අම්මා මේ ඊයේ පෙරේදා දවසක ඒ කාලේ ඒ පැත්තේ අහපු දැකපු දේවල් ගැන මතක් කර කර මාත් එක්ක විස්තර කරා . මට ඉතින් ඒ අත්දැකීම් විඳින්න නොලැබුනට අම්මා පුංචිඅම්මා කිව්ව රස කතාවලින් ඒ ජීවිතය මවා ගන්න පුළුවන් . තව පොඩිකාලේ මං ගත්තා විජය පත්තරය . ඒකෙ කොටස් විදියට පලඋනා නවදැලි හේන කියලා පියසේන කහඳගම මහතා රචනා කරපු ළමා නවකතාවක් . ඒ කතාවේ මුල කොටසේ ඉඳලා පත්තර පිටු ටික කපලා එකතු කරලා පොතක් හැදුවා මම . හේන් ගොවිතැන හා ඒ සම්භන්ධ ජන ජීවිතය කිව්වම මට මතක්වෙන කතා වලින් හොඳම කතාව ඒක . 

ඉතින් මේ ඔක්කොම කියාගෙන ආවේ මේ ගීතයේ අර්ථාලංකාරය විවරණය කරන්න පසුබිම හදාගන්න හිතාගෙන . 

රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
කර ඔසවා බලා උන්නා
හබ කර ගිය ආලවන්ත මගෙම 
මිහිරා වනයෙන් 
දැන් එතැයි කියා

දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත්  සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කං නැතුවට කම් නැතුවා
කරවට පදක්කං නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ

කාසි පඬුරු කතරගමට ගැට ගහලා
බාර වුනා රූපෙට රූපේ පුදලා
බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ


ගීතය රචනා කරලා තියෙන්නේ ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ මහතා . මේ මම අජන්තා රණසිංහ මහත්මයාගේ ගීතයක් අල්ලපු පළවෙනි වතාව වෙන්න ඕන මට මතක හැටියට :)





තනුව සහ සංගීත සංයෝජනය කරලා තියෙන්නේ කාලයක් සිහ ශක්ති වාදක මණ්ඩලයේ මැන්ඩලීන් හා ගිටාර් වාදකයෙක් විදියට කටයුතු කරනලද ලංකාවේ දැනට ඉන්න දක්‍ෂම මැන්ඩලීන් වාදන ශිල්පියා විදියට හඳුන්වන් ඇන්තනී සුරේන්ද මහත්මයා .





මේ ඔහුගේ වාදනයක් 

ගායනය කරන්නේ කලින් මම ලිව්ව පුන්සඳ රෑට ඇවිදින් හේනේ කියන ගීතය ගායනා කරන නිරෝෂා විරාජිනී මහත්මිය .





මේ ගීතය ගැන මතක් කරේ අපේ බ්ලොග් එකේ පෝස්ට් කියවලා ඒවා ගැන සාර්ථක අදහස් දක්වන තිසර අයියා . අයියා කිව්වට මම හිතන්නේ මාමා . ඒ නිසා තිසර අයියා මාමා තමා මේ ගීතය ගැන සිහිගැන්වීමක් කලේ . ඒ වචන කීපය මත පදනම් වෙලා තමයි මේ ගීතය ගැන අදහස් ඉදිරිපත් කරන්නේ . ඒ නිසා තිසර අයියා මාමට ස්තූති වන්ත වෙමින් අපි මේ ගීතය එක්ක ගමනක් ගිහින් බලමු .

ගීතයේ සංගීත සංයෝජනය වාදන භාණ්ඩ හා තනුවේ නාද මාලාව ගැන හිතලා බලනකොට මට මැවෙන්නේ අප්‍රිකානු ගෝත්‍රික ජන සමාජයේ ගැමි සංගීත ආර මේ ගීතයේ ගැබ් වෙලා තියෙන බවක් . මොකද මේ ගීතයේ වාදනය කෙරෙන සමහර වාදන භාණ්ඩ අයිති අප්‍රිකානු ජන සංගීතයට . ඒවගේම ගීතයේ තනුව ගැන හිතලා බැලුවොත් ශ්‍රී ලාංකික ආදිවාසීන්ගේ වැදි සංගීතයේ නාදමාලාව එක්ක බොහොම හොඳ සබැඳියාවක් මේ ගීතයේ දක්නට ලැබෙනවා .

මෙන්න අප්‍රිකානු සංගීත කණ්ඩයක්

මෙන්න වැදී ගීතයක් 

කලින් මම ලිව්ව පුන්සඳ රෑට ඇවිදින් හේනේ ගීතයේ පෝස්ට් එකේ අඩුපාඩුවක් උනා මගේ අතින් . ඒ සංගීත සංයෝජනය ගැන කියලා තමයි ගීතයේ අර්ථය පැත්තට හැරුනේ . මම හිතනවා ගීතයේ අර්ථය පැහැදිලි කරලා සංගීතය ගැන පැහැදිලි කිරීම ඊට වඩා සාර්ථකයි කියලා . මේ ගීතයේ අකුරු දෙකක එක වචනයක් නිසා මට මේ ගීතයට අර්ථ විග්‍රහ දෙකක් දෙන්න පුළුවන් . ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ මේ පෝස්ට් එක කලින්ට වඩා දිග වැඩි වෙනවා කියලා . ඒ වචනය තමයි " හබ " කියන වචනය .

හබ කියන වචනයට සාමාන්‍ය තේරුම් දෙකක් දෙන්න පුළුවන් . ඒවායින් එකක් තමයි ආරවුල කියන තේරුම . හබයක් ඇතිවෙනවා කියන්නේ බහින්බස් වීමක් ඇතිවෙනවා වගේ කියන එකට . එහෙමත් නැත්නම් ගීතයේ හැටියට මට මෙතනට ගන්න පුළුවන් " උගුල " කියන අර්ථය හබ කියන වචනයෙන් දෙනවා කියලා .





ඉස්සෙල්ලම මම කියන්නම් උගුල කියන තේරුම හබ කියන වචනයට දුන්නම මේ ගීතයට අත්වෙන ඉරණම මොකක්ද කියලා






රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
කර ඔසවා බලා උන්නා
හබ කර ගිය ආලවන්ත මගෙම 
මිහිරා වනයෙන් 
දැන් එතැයි කියා

ස්ථායි කොටස ගැන හිතලා බලනකොට මට මැවෙන්නේ මෙන්න මෙහෙම දෙයක් . ස්වාමියා සහ බිරිඳ පමණක් ජීවත්වෙන , වියලි කලාපයේ , හේන් ගොවිතැන් කරන ජනතාව ජීවත්වෙන ජන සමාජයක , දඩයම් කරලා දඩමස් විකුනලා එදා වේල සරිකරගන්න පවුලක් වෙසෙනා මැටි ගහන ලද පිදුරු හෝ පොල් අතු සෙවිලිකල පැල්පතක් .

කලින් දවසේ දවල් තමාගේ ස්වාමියා කැලයේ සතුන් ගැවසෙන දියමංකඩක් අසල උගුලක් අටවනවා . ඉතින් හවස්වෙලා වතුර බොන්න මුවෝ ගෝන්නු වල් ඌරෝ වගේ සත්තු මේ දියමංකඩ අසලට පැමිණෙනකොට මේ උගුලට අහුවෙනවා . ඉතින් පහුවෙනිදා උදේ තමාගේ ස්වාමියා යනවා කැලයට උගුලට සතෙක් අහුවෙලාද කියලා බලලා එහෙම අහුවෙලානම් ඒ සතාව මස් කරලා අරගෙන එන්න .

හබ කර ගිය ආලවන්ත මගෙම 
මිහිරා වනයෙන්
කියන පද දෙක මගින් අදහස් කරන්නේ අන්න ඒ ක්‍රියාවලිය .

ඒත් වෙනදා හවස්වෙනකොට නවමු ප්‍රතිඵලය මොකක් උනත් ඒ දේ අරගෙන ගෙදර එන ස්වාමියා එදා රෑ දොළොස් පැය ගතවෙන තුරු බලාගෙන හිටියත් තාම ගෙදර ආවේ නෑ . ඉතින් මේ ගෙදර බිරිඳ පහුවෙනිදා උදේ පාන්දර ගෙයින් එලියට ඇවිල්ලා මිදුලේ කඩුල්ලවත් වහන්නේ නැතුව තමන්ගේ ආලවන්ත මිහිරා දැන් එයි දැන් එයි කියලා කර උස්සමින් ඈත බලාගෙන ඉන්නවා .

රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
කර ඔසවා බලා උන්නා
දැන් එතැයි කියා

කියන පද පේලියෙන් අපේ හිතේ මවන්න උත්සාහ ගන්නේ මෙන්න මේ ආකාරයට ස්වාමියා අපේක්ෂාවෙන් ඉන්න බිරිඳකගේ රූපයක් .

හැබැයි මට හිතෙනවා මෙන්න මෙහෙමත් . ස්වාමියා කැලේට ගියාම එදා රාත්‍රියේ දැන් ස්වාමියා ගෙදර ආවේ නෑ . එක්කෝ මගදී අනතුරක් වෙලා , නැත්නම් වැස්සට අහුවෙලා වගේ මොකක් හරි කාරණයක් නිසා . ඉතින් බිරිඳ රාත්‍රියේ නිදාගන්නේ නැතුවම ඇහැරලා ඉන්නවා ගේ ඇතුලට වෙලා දොර වහගෙන .

ඉඳි කඩුලු ඇරන් කියලා කියන්නේ නිදාගන්නේ නැතුව පියවි සිහින්ම අවදිවෙලා හිටියා කියන බව උපමා කරන්න වෙන්න පුළුවන් . කර ඔසවා බලා උන්නා කියලා කියන්නේ ඇඳේ හරි එහෙමත් නැත්නම් පැදුරේ හරි කොට්ටය තියලා හරියට නිදාගන්නේ නැතුව ඇඳ මිට්ටමට කොට්ටය හේත්තු කරලා , නැත්නම් බිත්තියකට කොට්ටය හේත්තු කරලා , ඒ උදවුවෙන් කර ඔසවාගෙන බලාගෙන ඉඳීම වෙන්න පුළුවන් .

කොහොමහරි සමස්ථයක් විදියට මේ ස්ථායි කොටසෙන් කියන්නේ ස්වාමියා බලාපොරොත්තුවෙන් රෑ එලිවෙනතුරු ඇහැරලා ඉන්න බිරිඳක් පිළිබඳව .


දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත්  සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කං නැතුවට කම් නැතුවා
කරවට පදක්කං නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ


දැන් තියෙන්නේ බිරිඳගේ ප්‍රාර්ථනාවන් පෙළක් . නොවේවා කියලා ප්‍රාර්ථනා කරාට මොකද බිරිඳට සැකයි තමන්ගේ ස්වාමියාට සතෙක් දෂ්ට කරලා , වලහෙක් පහරදීලා නිසාවත්ද තාමත් ගෙදර ආවේ නැත්තේ කියලා . ඒනිසා බිරිඳ ප්‍රාර්ථනා කරනවා මගේ ස්වාමියාට කිසිම දොසක් අතුරු ආන්තරාවක් වෙන්න එපා කියලා

දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත්  සිදු නොවියන් නුඹට අනේ

කියන පද පේලි දෙකෙන් අර්ථවත් වෙන්නේ අන්න ඒ ප්‍රාර්ථනාව .

දෙකනට දෙමික්කං නැතුවට කම් නැතුවා
කරවට පදක්කං නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ

මගේ පෙම්බර කුමාරයා මහන්සි වෙලා හම්බ කරන්නේ මට කනට කරාබු ( දෙමික්කං ) අරන් දෙන්නද ? . මට ඒවා උවමනා කරන්නේ නෑ . ඔබගේ කරට පදක්කම් නොලැබුනාට ඔබගැන මගේ හිතේ තියෙන ආදරයේ කිසිම අඩුවක් වෙන්නේ නෑ කියලා තමයි පළවෙනි අන්තරා කොටසේ අවසන් පේලි තුනෙන් කියවෙන්නේ . මෙතන කරවට පදක්කං කියලා යොදලා තියෙන යෙදුමෙන් අදහස් කරන්නේ ලොකු සල්ලිකාරයෙක් වෙලා සිටුවරයෙක් වගේ ජීවත් වෙනකොට පිටස්තර අයගෙන් ලැබෙන සැලකුම් වලට කියලා තමයි මම හිතන්නේ . මේක විහිළුවක් . සත්තු මස් කරලා කොහොම සිටුවරයෙක් වෙන්නද ? . ඒත් බිරිඳගේ හිතේ තියෙන ආදරය සෙනෙහස එක්ක එයා හිතාගෙන ඉන්නේ තමාගේ ස්වාමියා තමන්ට සිටු මාලිගා හදන්න හම්බ කරන්න තමයි මේ වගේ අවදානමක් ගන්නේ කියලා .


කාසි පඬුරු කතරගමට ගැට ගහලා
බාර වුනා රූපෙට රූපේ පුදලා
බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ

දෙවෙනි අන්තරා කොටස වෙන් කරලා තියෙන්නේ ස්වාමියා රැකදෙන්න කියලා දෙවියන් යදින බිරිඳගේ යාදින්න සිහිපත් කරවන්න .

කාසි පඬුරු කතරගමට ගැට ගහලා


බාර වුනා රූපෙට රූපේ පුදලා

මේ බිරිඳ තමාගේ දුක ඉවසාගන්න බැරුව වෙන කරන්නම දෙයක් නැති නිසා රූපෙට රූපේ පූජා කරලා ඔප්පු කරන්නම් කියලා කතරගම දෙවියනට භාර වෙනවා අනේ දෙවියනේ මට දැන් කියන්න වෙන කවුරුවත් නෑ . ඒ නිසා මගේ පෙම්බර කුමාරයා රැකදෙන්න කියලා . 

බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ

මෙහෙම දෙවියන්ට කන්නලවු කරනකොට මේ බිරිඳට දුක වැඩිකමටම ඇහෙන කඳුළු වැක්කෙරෙනවා . ඒත් එක්කම හිතට එන බිඳවැටුන මානසිකත්වය හමුවේ මේ බිරිඳ කියන්නේ අනේ දෙවියනේ මගේ කන්නලව්ව අහන්නේ නැතුව පපුවට දුක් ගින්දර අවුලලා යන්න නම් එපා කියලා . 

වැඩි ආලවට්ටන් නැතුව මේ ගීතයටම් මම දෙන අනිත් අදහසත් දෙන්නම් . 
ඊළඟ අදහස වෙනස් වෙන්නේ හබ කියන වචනයට ආරවුල කියන තේරුම ආරෝපණය කිරීමෙන් .




රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
කර ඔසවා බලා උන්නා
හබ කර ගිය ආලවන්ත මගෙම 
මිහිරා වනයෙන් 
දැන් එතැයි කියා

හේන් ගොවිතැන් කරන බොහොම දුප්පත් ගෙදරක් . දවසක් ගෙදර බිරිඳයි ස්වාමියයි ගෙදර අඩුපාඩුකම් මුල් කරගෙන ආරවුලක් ඇති කරගන්නවා . දන්නවනේ ගෑණු ඉතින් ලද දෙයින් ලේසියෙන් සතුටු වෙන්නේ අඩුවෙන්නේ . ඉතින් මේ බිරිඳ ස්වාමියා එක්ක නෝක්කාඩු කියාගන්නවා තමන්ට කිසිම සැපක් නෑ කියලා . ඒ නිසා ගෙදර ස්වාමියා බිරිඳ එක්ක තරහට හෝ තමාගේ දෛවය පිළිබඳව තියෙන කලකිරීමට ගෙදරින් යන්න යනවා . ගෙදරින් එහා තියෙන්නේ මහා ගන වනාන්තරයක් . ඉතින් තමන්ගේ ස්වාමියා එක්ක මෙහෙම කෝලහාල කරගත්තත් බිරිඳ ස්වාමියාට හරිම සෙනෙහසින් සලකනවා .

" මගේ මිහිරා මාත් එක්ක ආරවුලක් ඇතිකරගෙන කේන්තියෙන් කැලේට ගියා . රෑ එළිවෙනකන් ඉඳි කඩුලු ඇරගෙන බලාගෙන හිටියා මගේ කුමාරයා ගෙදර එයි කියලා . ඒත් තාම ආවේ නෑ . මම තාමත් බලාගෙන ඉන්නවා මගේ මිහිරා ගෙදර එයි කියලා "

මෙන්න මේවගේ අදහසක් තමයි මම යෝජනා කරන්නේ .  කලින් තේරුමෙදී ඉඳි කඩුලු ඇරන් කර ඔසවා බලා උන්නා කියන යෙදුමට  කරපු උපමා කිරීම් මේකටත් උපමා කරන්න පුළුවන් .

දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත්  සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කං නැතුවට කම් නැතුවා
කරවට පදක්කං නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ

ස්වාමියා තමා එක්ක දබර කරලා ගියේ දාර පිඹුරෝ වග වලසුන් නිතරම එහා මෙහා යන වනාන්තරයට . මට කනට කරාබු කරට මාල නැතුවට කමක් නෑ . මගේ පෙම්බරා එක්ක තියෙන දුක විඳගෙන ජීවත් වෙන්න මට පුළුවන් , වනාන්තරේදී කිසිම දෝසයක් වෙන්නේ නැතුව ඉක්මනට ගෙදර එන්න ඔබගේ පෙම්බරිය ඔබ එනතුරු බලාගෙන ඉන්නවා මගේ පෙම්බර කුමාරයෝ කියන අදහස දෙනවා මේ අන්තරා කොටසෙන් .

කාසි පඬුරු කතරගමට ගැට ගහලා
බාර වුනා රූපෙට රූපේ පුදලා
බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ

මෙහෙම බයේ ඉන්න බිරිඳ තමාගේ ස්වාමියාට අතුරු ආන්තරාවක් වෙන්නේ නැතුව හිත හැදිලා ආයෙත් ගෙදර එන්න හැකියාව ලබාදෙන්න කියලා රූපෙට රූපේ පූජා කරලා ඔප්පු කරන්නම් කියලා කතරගම දෙවියන්ට පඬුරු ගැටගහලා භාර වෙනවා . දෙවියනි මගේ හිමියන්ට කරදරයක් වෙන්න දෙන්න එපා . ඔහු නැති දුකින් මගේ ඇසට නැගෙන කඳුළු හදවතේ අවුලවන්නේ මහා ගින්නක් . ඔබවහන්සේ ඒ ගින්න තවත් ඇවිලෙන්න දීලා මගේ හිමියන්ට කරදරයක් වෙන්න ඉඩ දෙන්න එපා කියලා ඇය දෙවියන්ගෙන් ඉල්ලනවා .

ගීතයට මම දෙන අර්ථ දෙක ඔය විදියට තමයි ඉදිරිපත් කරන්නේ . මම හිතනවා මේ අදහස සාධාරණයි කියලා .

ගීතයේ සංගීතය ගැන විග්‍රහයක් කරන්නම ඕන . මොකද ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයාගේ තනු නිර්මාණ ගොඩක් නෑ . ගීතයේ අර්ථය ඉතාමත් සාර්ථක විදියට ඉස්මතුවෙලා එන්න පුළුවන් විදියේ සංගීත සංයෝජනයක් මේ ගීතයේ යොදලා තියෙනවා .

මේ ගීතයේ මුල් වාදනය තුල වාදනයවෙනවා කොංගෝ ඩ්‍රම්ස් යුගලක් . මේ ඩ්‍රම් යුගල මගින් ඇතිකරන තාල වාදනය අප්‍රිකානු තාල වාදනයට සමානත්වයක් දක්වනවා . අප්‍රිකාවේ ජන සංගීත ශෛලියට අනුව එයාලා භාවිතා කරනවා කුඩා බෙර වර්ග . මේ බෙර වලින් එන්නේ හරියට කලයක කටට තට්ටු කරලා එනවා වගේ ඊට වඩා තරමක් තීව්‍ර හඬක් . මේ හඬ ඇහෙනකොට අපේ හිතේ ඇතිවෙන්නේ කැලය ඇතුලේ ඉන්නවා වගේ හැගීමක් .





ගිටාර් එකක එක හීනිම කම්බිය ඒ කියන්නේ ඊ ෆස්ට් කම්බිය පික් එකකින් තාලයට අනුව වාදනය වෙනවා . ඒ වගේම බස්වල සිංදු කියන අය භාවිතා කරන රබානක් උපයෝගී කරගෙන තියෙනවා පන්තෙරුවක ශබ්ධය ලබා ගන්න . එකට කියන්නේ ටැම්බරීන් කියලා . මේ ටැම්බරීන් එකෙන් ඇහෙන බීට් එක නිසා රැහයියෝ කෑගහනවා වගේ හැගීමක් ඇතිවෙනවා . ඒවගේම රාත්‍රිය සහ පාළුව කියන හැගීම් ඉස්මතු කරන්නත් මේ වාදන භාන්ඩ උපයෝගී වෙනවා .




ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයා තමා කැමතිම වාද්‍ය භාණ්ඩයක්වන බැන්ජෝ ගිටාර් එක මේ ගීතයට උපයෝගී කරගෙන තියෙනවා . මේ වාදනය එක්ක මට ඇහෙන්නේ ආයෙත් අප්‍රිකානු නාද මාලාවක් . ඒ මගින් ඇතිවෙන්නේ වියලි ශුෂ්ක පරිසරයක් තුල ජීවත් වෙනවා කියන හැගීම .





මේ මුල වාදනය අතරතුරේ ඒ වාදනයේ මැද කොටසේ ඉඳලා හයිහැට් එකක් වාදනය වෙන්න පටන් ගන්නවා

චිකි චිකි චිකි චිකි
චිකි චිකි චිකි චිකි

කියලා . ඒ හඬ එක්ක මට මතක් වෙන්නේ සමහර සර්පයින්ගේ අපර කෙලවරේ තියෙන ඔය සිරි සිරි හඬ නංවමින් ඔවුන් සොලවනු ලබන අවයවය . ඒ හඬට කැලයක පසුබිම ඇතිකරන්න පුදුමාකාර හැකියාවක් තියෙනවා . එහෙමත් නැත්නම් වනාන්තරයේ තියෙන බියකරු බව මේ හඬින් ඇතිවෙනවා .

පෙරවාදනයේ මුල කොටසේ නිරෝෂාගේ කටහඬින් අකාරයෙන් කියවෙන ආලාප කොටසක් ගායනා කෙරෙනවා . මේ ආලාප කොටස මගින් කෙරෙන්නේ වාදනය මගින් ඇති කෙරෙන වනාන්තරයේ බියකරු ස්වභාවය තවත් වැඩි කරන එක . ඒවගේම ඔක්ටර් පෑඩ් එකකින් සහ බේස් ගිටාර් එකකින් මේ සියලුම වාද්‍ය භාණ්ඩවල නිකුත් කෙරෙන ස්වර වර්ණ උපුටා දක්වන්න පහසුවෙන ආකාරයේ වාදනයක් අපිට නොදනේන්නම ඉදිරිපත් කෙරෙනවා . ඒක ඇහෙන්නේ ඉතාම සාවධානයෙන් ගීතයට සවන් දුන්නොත් .

තවත් වාදනයවෙන වැදගත්ම තාල වාද්‍ය භාණ්ඩයක් තමයි අප්‍රිකානු ජන සංගීතයේ වාද්‍ය භාන්දයක්වන ජෙම්බේ කියන වාද්‍ය භාණ්ඩය . මේ වාද්‍ය භාණ්ඩය ගැන දන්නා අයත් ඇති නොදන්නා අය වෙනුවෙන් ඔන්න පොඩි වීඩියෝ එකක් දැම්මා ඒ වාද්‍ය භාණ්ඩයේ වාදනයක් තියෙන . මේකෙන් නිකුත් වෙන්නේ තම්මැට්ටමක තීව්‍ර හඬ නිකුත් කරන කොටසින් ඇතිවෙන ආකාරයේ තීව්‍ර හඬක් . මේ හඬ ගීතය පුරාම විහිදී යනවා . වනාන්තර පරිසරය ඇතිකරවන්න මේ වාද්‍ය භාණ්ඩයත් ඉතා ඉහල දායකත්වයක් ලබා දෙනවා .





මේ ජෙම්බේ සෝලෝ එකක්


ඔහොම ඉතින් පෙර වාදනය අවසන් වෙනවා . ඊට පස්සේ ගීතය ආරම්භ වෙනවා .

ගීතය පුරාවටම තාල වාදන භාණ්ඩ වලින් මේ ගීතයට පුදුමාකාර විදියේ සහයෝගයක් ලබාදෙනවා ගීතයේ තියෙන හැගීම් ඉස්මතු කරලා පෙන්නන්න . අර මම කලින් කිව්වා ජෙම්බේ ඩ්‍රම් එක දිගටම ගීතයට තාලය සපයන්න වාදනය වෙනවා . ඒවගේම කියන්න ඕන බේස් ගිටාර් එකෙන් හොඳ සහයක් ලබා දෙනවා බිරිඳගේ හිතේ තියෙන භය කියන හැගීම ඉස්මතු කරලා පෙන්නන්න . බේස් ඩ්‍රම් එකක් වාදනය වෙනවා

ඩග් ඩග් ඩග් ඩග්
ඩග් ඩග් ඩග් ඩග්

කියලා . මේ ඩග් ඩග් ඩග් ඩග්  තාලයෙන් පෙන්වන්නේ මම හිතන විදියට බිරිඳ බයෙන් ඉන්න නිසා බිරිඳගේ හදගැස්මේ ස්වභාවය . :)

දැන් බලමු අපි අතුරු වාදනය ගැන .
ගීතයේ අතුරු වාදනයේ අරම්භයෙදී ඕසේ ගායනා කිරීම කියන ගායනාවක් ඇහෙනවා පිරිමී කටහඬකින් . ඒ කටහඬ හරියට හේනක කියන පැල් කවියක් වගේ තමයි හිතට දැනෙන්නේ . ඒ අතරේ ඇහෙනවා

දුම්ත දුම්ත දුම්ත දුම්ත දුම්තහ් කියලා හරියට බෙර පදයක් කියනවා වගේ පිරිමි හඬකින් කෙරෙන ගායනයක් . ඒ හඬ ගැළපෙන්නේ ගෙම්බෙක්ගේ හඬට . ඊට පස්සේ බැන්ජෝ ගිටාර් වාදනයට පස්සේ වයලීන් වාදනයක් සහ බටනලා ඇහෙනවා . ඒත් ඒ වයලීන් එකක්වත් බටනලාවක්වත් නෙවෙයි . ඉලෙක්ට්‍රික් ඕගන් එකකින් තමයි ඒ වාදනය කෙරෙන්නේ .

ඒ කොටස එක්ක ඉඳලා අතුරු වාදනය අවසාන වෙනතුරුම අර ජෙම්බේ ඩ්‍රම් එකේ හොඳ වාදන කොටසක් ඇතුලත් කරලා තියෙනවා . ඒ වාදන කොටසින් මානසික ගැටීම ඉස්මතුවෙනවා කියලා කියන්න පුළුවන් .



මම මේ ගීතයේ වැඩියෙන්ම කැමති අන්තරා කොටසට . මොකද හරිම ආදරනීයයි මේ අන්තරා කොටසේ තියෙන පෙම්බර කුමාරයෝ කියන පද පේලිය . ඒ වගේම මේ අන්තරා කොටසේ තියෙන බේස් ගිටාර් සහ බේස් ඩ්‍රම් වාදනය මගින් සත්තුන්ගේ භයංකර ශබ්ධය පිළිබිඹු වෙනවා . අන්තරා කොටසේ දාර පිඹුරන් වග වලසුන් කියලා කියනකොට ඇහෙන මේ බියකරු බේස් වාදනයෙන් ඒ වලසුන්ගේ කෑගහන ශබ්දය ඇහෙනවා කියලා මට හිතෙනවා . නැත්නම් අලියෙක් හයියෙන් කකුල් බිම තියනකොට පොලව දෙදරන හඬක් මේ බේස් වාදනයෙන් ඇහෙනවා . ඒ වාදනය අන්තරා කොටසින් කියන අර්ථය ශ්‍රාවකයාගේ හදවතට ඉතාම පහසුවෙන් ඇතුල් කරන්න දායක වෙනවා . 





නැතුවට හිත ඇතුවා 
පපුවට ගිනි අවුලා  කියලා අන්තරා කොටස් දෙක ගායනය වෙලා ආ.... කියලා ඇදලා පෙම්බර කුමාරයෝ කොටස ගායනා කරන්න පෙ අකුර පටන් ගන්නකන් අර අකාරයෙන් කියන කොටස අතරේ වාදනය කෙරෙන බේස් ගිටාර් වදන කණ්ඩයත් හරිම ආකර්ෂණීයයි .

ගීතයේ තනුව ගැනත් මේ වෙලාවේ යමක් කියන්න ඕන කියලා මම හිතුවා . මේ ගීතයේ වැදී ගීතවල තනුවලට කිට්ටු ගතියක් තියෙනවා . මට එහෙම හිතෙන්නේ වාද්‍ය භාණ්ඩ වලින් වැදී ගතියක් අරන් දීලා තියෙන නිසාද නැත්නම් තනුවේ තියෙන්නේ වැදී ගීතවලට ආසන්න තනුවක් නිසාද කියලා කියන්න අමාරුයි . ඒ කොහොම වෙතත් මේ ගීතය හැම අතින්ම ඉතාම සාර්තකත්වයට ආ ගීතයක් .
                                                                                                                                           

ඔන්න ඔහොමයි මේ ගීතය ගැන මගේ අදහස . සුපුරුදු විදියට ආයෙත් ගීතය අහලා යන්න . 

කවදාවත් නැතුව පෝස්ට් එක ඉවර කරනකොට හිතට ආවේ බුදු සරණයි කියලා . එහෙනම් හැමෝටම 

බුදු සරණයි !




තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


( මේක ටිකක් වෙනදට ලියන ලිපි වලට වඩා දිගින් වැඩි ලිපියක් . ඒ නිසා කියවන අය පත්වන අපහසුතාවය පිළිබඳව මගේ බලවත් කණගාටුව :)  :)  :) ) මට ...

විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී.......



අද කියන්න යන ගීතයට පූර්විකාව වෙනදා වගේම මගේ අත්දැකීමකින්ම ගන්නම් . වල්පල් කියාගෙන එනකොට ඉතින් පොඩි රහක් තියෙනවනේ .

මම දහම් පාසල් ගියේ අපේ ගෙදර අය හැමදාම ආපු ගියපු පන්සලේ තිබ්බ දහම් පාසලටම තමයි . අපේ අම්මා පුංචිඅම්මා දෙන්නම මේ දහම්පාසලේ ඉගැන්නුවා . මුලින් අම්මා ඉගැන්නුවා . ඊටපස්සේ මම එලොව ඉඳලා මෙලොව ආවම අම්මා නැවතිලා පුංචිඅම්මා උගන්නන්න ගත්තා . දෙන්නම පොඩි කාලේ දහම්පාසල් අධ්‍යාපනය හොඳින් හදාරපු අය නිසා දහම්පාසලේ අනිත් අයත් කැමතියි මේ දෙන්නා උගන්නන්න එනවට .

කොහොමහරි මම දහම්පාසල් යන්න ගත්තේ එක වසරේ ඉඳලා . එතකොට දහම්පාසලේ උගන්නමින් හිටියේ මගේ පුංචිඅම්මා . එයත් එක්ක තමයි හැමදාම දහම්පාසල් ගියේ . හතර වසරේදී පුංචි දහම්පාසල් යන්නේ නැතුව නැවතුනා එයාගේ උපාධි අධ්‍යාපන කටයුතු පටන්ගත්ත නිසා . පස්සේ මම කොක්ක දැම්මා මට බෑ තනියම යන්න කියලා . මොකද ගෙදර කෙනෙක් ටීචර් කෙනෙක් උනාම පොඩි ගතියක් තියෙනවනේ . නිශේධක බලය උපරිමයෙන් පාවිච්චි කරන්න පුළුවන් එහෙම උනාම .   


දැන් මමනම් යන්නේ නෑ දහම්පාසල් . ඒත් අම්මා තාම උගන්නනවා . අම්මට දැන් ටිකක් අසනීප වගේ නිසා මමනම් කැමති නෑ මහන්සි වෙන්න යනවට . ඒත් අම්මා හැමදාම ඉරිදා උදේට මම දාන දෝෂාරෝපණය ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරලා ගිහින් එනවා .

මේ සතියෙත් ගිහින් ආවා සුපුරුදු පරිදිම . එදා ඉතින් අම්මත් ගෙදර ආවම දවල් බත් කන ගමන් මාත් එක්ක කිව්වා දහම්පාසලේ ලවු කතාවක් . දහම්පාසලේ හොඳට වැඩ කරන නංගි කෙනෙක් හොඳට වැඩ කරන මල්ලි කෙනෙක් එක්ක යාලු වෙලාලු  .  මම කිව්වා ඉතින් ඕක මහ දෙයක්යැ අපේ කාලෙත් එහෙම තිබ්බනේ , අනික උන් හොඳට වැඩ කරනවනේ  කියලා . මට පස්සේ තමයි මතක් උනේ මම ඇදගෙන නෑවා කියලා .

 නංගියි මල්ලියි දෙන්නම මම හොඳට දන්නවා . ඒ නංගිගේ අම්මා කොහොමහරි මේක දැනගෙන ඒ නංගිට ගහලා . පස්සේ ඒ නංගිගේ අම්මම තමයි මේගැන අපේ අම්මා එක්ක කියලා තිබුනේ . අම්මා කිව්වලු ගහන්නේ නැතුව හොඳින් කියලා තේරුම් කරලා දෙන්න කියලා . ඒත් ඒ නංගිගේ අම්මා ටිකක් අවුට් ඔෆ් ද ට්‍රැක් ඇන්ටි කෙනෙක් . ඒ නිසා වැඩේ අවුල් වගේ .

අපේ අම්මා කිව්වා මට ඒ නංගියි මල්ලියි දෙන්නම මම දන්න දෙන්නෙක් නිසා ශේප් එකේ යාලු කමින් කතා කරලා දෙන්නට හොඳට ඉගෙනගන්න කියන්න පස්සේ ඕවා හෙමීට කරගන්න පුළුවන්නේ කියලා අවවාද ටිකක් දෙන්න , අම්මලා කියනවට වඩා යාළුවො කිව්වම එයාලා අහයි කියලා .

ඒ නංගි පවුලේ එකම ළමයා . ඉතින් එයාට පරිස්සමටවත් කවුරුවත් වෙන නෑ . ඉන්නේ අම්මයි තාත්තයි විතරයි . අපේ අම්මත් කිව්වේ ඒ කෙල්ල පවු තනියම හැදිච්ච කෙල්ලනේ කියල . ඇත්තටම පවු තමා . ගොඩක් ඔහොම නංගිලා කියන්නේ පරිස්සමට අයියා කෙනෙක්වත් හිටියනම් හොඳයි කියලා . 

කොල්ලා රෝන් ට්‍රැක් වගේනම් අයියා කෙනෙක් ඉන්න එක කෙල්ලොන්ට ලොකු හයියක් තමයි . හැබැයි අයියලා ඉන්න උන්ට අයියලාගේ කිසිම අගයක් නෑ කියලත් පේනවා පින්වතුනී .
දැන් ඉතින් දන්නවා ඇතිනේ අද ගීතය මොකක්ද කියලා නේද ???
අද ගීතය තමයි මේ....

විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී..

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..

බමරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..

මේ ගීතය ලියලා තියෙන්නේ බන්දුල නානායක්කාරවසම් මහතා

සංගීත නිර්මාණය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ මහතා

ගායනයෙන් දායක වෙන්නේ අතුල අධිකාරී

අතුල අධිකාරීගේ ලයාන්විත කටහඬ මේ ගීතයට ඉතාම හොඳින් ගැළපෙනවා . අයියා කෙනෙක් නංගි කෙනෙක්ට ඔහොම අවවාද කෙරෙනවානම් අඩුයි . මොකද පොඩි කාලේ ඉඳලා අයියලා නංගිලා එකට වැටිලා ඉන්න නිසා ආදරේ වැඩි කමටම වෙන්නැති අයියලා නංගිලාට අවවාද කෙරෙන්නේ මීට වඩා ටිකක් උණුසුම් විදියට . 





ත් මේ වගේ ආදරෙන් කියන අයියලා නැතුවමත් නෙවෙයි . සමහරවිට අයියලා නංගිලාට සැරෙන් අවවාද කරන්නේ කොල්ලන්ගේ සල්ලාල වැඩ ගැන නංගිලාට වඩා අයියලා දන්නවා කියලා හිතලා වෙන්නැති නැත්නම් අයියටත් අත්දැකීම් තියෙනවා වෙන්න පුළුවන් . ඒත් කමක් නෑ එහෙම හරි නංගිලා අමාරුවේ වැටෙන්නේ නැතුව ඉන්නවනම් .

අතුලගේ කටහඬේ වැඩිපුරම හැඟුම්බර අවස්ථාවක් විදියට පෙන්නන්න පුළුවන් , සරදම් නොකරමි ආදරයෙන් කියමී කියන පද පේලියේ ආදරයෙන් කියන වචනය ගායනා කරන අවස්ථාව .

මේ ගීතයෙන් කියවෙන්නේ මෙහෙම අදහසක් .







විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී..

ආදරය කරුණාව සෙනෙහස ආකර්ෂණය වැනි හැගීම් නමැති මල්පෙති එක් කර ප්‍රේමය නමැති මල සොයමින් ප්‍රේමය පසුපස ගමන් කිරීමට වෙරදරන නව යෞවනයේ එළිපත්ත මත හිඳින , නමුත් ළමාවියේ බොළඳ දඟකාර ගතිපැවතුම් තවමත් තුරුලේ හොවාගෙන සිටින නැගෙණියනි . ඔබට ඇති අසීමිත සෙනෙහසින් යුතුව මා ඔබට මේ කරනුයේ සරදමක් නොව . ඔබ එක් කරගත් විසිරී තිබුණු මල්පෙති වලින් තනනු ලබන ප්‍රේමය නමැති මල සදාකල් ප්‍රවේසම් කරගැනීමට හැකිවේදැයි දෙවරක් සිතන්න . කෙසේ හෝ එම මලේ පෙති  විසිරුනහොත් නැවත කිසිදිනෙක මලක් තැනීමට හැකියාවක් නොලැබේ . එනම් ඔබගේ ජීවිතය කිලිටු වුවහොත් කිසිදිනෙක එය පිරිසිදු කරගැනීමට හැකියාවක් නොලැබේ .
වීදුරුවක් බිඳුනහොත් නැවත එය කෑලි අලවා පාවිච්චි කල නොහැක ......................!


වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..

මුහුදේ සෑමදිනකම සිදුවන්නේ රලපෙළ විසින් වෙරල සොයාගෙන දිවගෙන ඒමයි . නමුත් දියඹේ දිග පළල සොයා කිසි දිනෙක වෙරල , දියඹ වෙත ගමන් කරන්නේ නැත . එමෙන්ම ජීවිතය ඔස්සේ පියඹා යාමට පියාපත් යුවලක් ඔබට ලැබුනත් ඔබට ජීවිතයේ ඉගිලීමට යම්කිසි සීමාවක් සමාජය විසින් පනවා තිබේ . එලෙසින්ම ප්‍රේමය නමැති අහසේ ඔබට ඉගිලීමට හැකියාව තිබෙන්නේ යම්කිසි සීමාවකට පමණි . ඉන් එහා ඉගිලීමට තැත් කිරීම අනුවණ ක්‍රියාවකි .
සරුංගලයේ නූල කැඩුනහොත් ඔහේ පාවී යනTop of Form සරුංගලය නැවත අල්ලාගැනීමට නොහැක ....................!







බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..

රොන්ගන්නට ඇති ලෝභකමෙන් යුතුව මල් සොයාගෙන එන්නේ බඹරුන්ය . කිසිදාක බඹර තුඩක පහස සොයමින් ඔවුන් සොයාගෙන මල් යන්නේ නැත . එහෙත් රොන්ගෙන බඹරා ගියවිට බඹරුන් ලෙස හඳුන්වන පිරිමින්ට , රොන් ගන්න ඉඩදුන්නේ ඇයි කියමින් සමාජය විසින් දොස් නගන්නේ මල් නැමැති ගැහැණු කුලයටය . නැගෙණියනි , ඔබත් ප්‍රවේසම් නොවුනහොත් ඔබටත් සිදුවන්නේද ඒ ඉරණමටම මුහුණ දීමටය . මේ දේවල් ඔබ නුවණින් අවබෝධ කරගත්තේ නැතිනම් ඉන්පසුව ඔබට සිදුවන්නේ පසුතැවෙමින් ඔබ නිකුත් කරනු ලබන සුසුම් රැල් බොල් අහසට මුසු කිරීමට පමණි . එවිට ඔබගේ සමාජය ඔබව අතහැර බොහෝ දුර ගොස් තිබේ .................!


ඒක නිසා ඔන්න මේ බ්ලොග් එකට එන නංගිලට වයලීන් අයියයි සිංදු අයියයි දෙන්නම කියන්නේ 18+ ලේබල් එක බැලුවට දැන්ම අත්හදා බලන්න යන්න නම් එපා කියලා . 



මොකද කියන්නේ , අර මම කලින් කිව්ව නංගිට මේ සිංදුව කිව්වනම් හරිනේද ?? 






තවත් ලිපියකින් හමුවෙමු !


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


අද කියන්න යන ගීතයට පූර්විකාව වෙනදා වගේම මගේ අත්දැකීමකින්ම ගන්නම් . වල්පල් කියාගෙන එනකොට ඉතින් පොඩි රහක් තියෙනවනේ . මම දහම් පාසල් ...

දරුවන් නැති අම්මෙකුගේ විලාපය - රන්කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතිව





වයලීන් එකට කලින් මගේ අතට ඉස්සෙල්ලම හම්බෙච්ච සංගීත බඩ්ඩ බටනලාව . පොඩිකාලේ ඉඳලම බටනලාවට තමා හිත තිබ්බේ . මට මතකයි ඉස්සර අම්මා ඔෆිස් ගිහිල්ලා එනකොට මම අම්මට කියනවා ඔෆිස් එක ළඟ අන්ටිලගේ ගෙදරින් මට බට ගස් ගෙනත් දෙන්න කියලා බට නලා හදන්න ඕන කියලා .

එතකොට මම 1 වසරේ විතර . ඒත් අම්මලා ගෙනත් දුන්නේ නෑ . මොකද ඕක විදින්න මම ලිප කිට්ටුවට එන නිසා . ඇයි ඉතින් බට නලා විදින්න යකඩ කූරක් රත් කරලා විදින්න එපාය . හැබැයි අම්මා මට සෙල්ලම් රෙකෝඩ් එකක් ගෙනත් දුන්නා . ඒක බටනලාවක් වගේ ඒත් හරහට නෙවේ කෙලින් පිඹින්න තියෙන්නේ .

ඔහොම යනකොට මම 4 වසරේ විතර ඉන්නකොට දහම්පාසලෙන් අපි නුවර ගියා . ඒ අපේ දහම්පාසලේ ලොකු හාමුදුරුවන්ට විචිත්‍රභානක කර්මාචාර්ය කියන පදවියට අක්ත පත්‍ර භාර දෙන උත්සවය වෙනුවෙන් සහභාගී වෙන්න . ඒක තිබ්බේ මල්වතු විහාරයේ . ඒ යනගමන් පින්නවල ගියා අලි බලන්න . ඒවෙලාවේ අලි වතුරට දාන වෙලාව . ඉතින් අලිටික ඔක්කොම වතුරේ නාවනවා . අලි නාන තැනට යනකොට ඒ යන පාර අයිනේ කඩේක බටනලා තිබ්බා .

මම අම්මට කිව්වා මට එකක් අරන් දෙන්න කියලා . අම්මා මාව කඩේට එක්ක ගිහින් ඕන එකක් ගන්න කිව්වා . ඒ කාලේ මම දාන්න පිච් එකක් නෑ . ලස්සන පාටට තිබ්බ ඇහැ වැදිච්ච බටනලාව ඇදලා ගත්තා මේක ඕන කියලා . ඔන්න ඉතින් ඕක ගෙනාව වෙලාවේ ඉඳලා ගෙදර අයට කනක් ඇහිලා ඉන්න උනේ නෑ . මම හිතන්නේ එදා ඉඳලා තාම අපේ ගෙදර අය කනක් ඇහිලා ඉඳලා නෑ . දැන්නම් ඉතින් ටිකක් අවුලක් නැතුව ඇති මම ගෙදර නැති නිසා .

ඒ බටනලාව හම්බුනාට පස්සේ මම එක එක තැන් වලින් එක එක වර්ගයේ බට ගෙනත් විදලා නලා හැදුවා . ඒකත් ඉතින් එපා වෙන වැඩක් . යකඩ කම්බි ගිනියම් කර කර ඕක විදින්න එපාය බොලේ . ටික කලක් යනකොට මියුසික් ඉගෙන ගන්නකොට බටනලාවක් ගත්තා . රුපියල් 75යි . අරගෙන පිඹ පිඹ හිටියා .

පස්සේ පිච් එක වෙනස් එකක් ගත්තා . ඒක ටිකක් දිග එකක් . ඩබල් c , සිංගල් c ,ඩබල් g, ඩබල් f , වගේ එක එක පිච් වල තියෙන ෆ්ලූට් අල්ලන්න හම්බුනේ ඊට පස්සේ . ඒ ඔක්කොමත් හරි වෙස්ටන් ෆ්ලූට් පිඹින්න ඉගැන්නුවේ මට අපේ ඉස්කෝලේ ෆ්ලූට් ගහන්න හිටපු අයියා කෙනෙක් . එයා තමයි ඒ කාලේ බටනලා පිඹින්න ඉස්කෝලේ හිටපු දක්ෂයා . ඊට පස්සේ ඉස්කෝලේ බටනලා පිඹින්න කීප දෙනෙක්ම ආවා . ඒ එක එක අයගේ තිබ්බේ එක එක ටෙක්නික්ස් .

ඒවා මම ඒ අයගෙන් අහගත්තා වගේම මම දන්න ඒවා එයාලටත් කියා දුන්නා . අන්තිමටම ඉස්කෝලේ බටනලා පිඹින්න ආවේ මම හොඳට දාන්න අඳුරන අපේ ගෙවල් පැත්තේ හිටපු මල්ලි කෙනෙක් . දැන් මිනිහා දොස්තර මහත්තෙක් වෙන්න කැම්පස් එනකං ඉන්නවා . එයාගේ බටනලා ටික දැන් තියෙන්නේ මම ගාව . මොකද එයාගාව තියෙනවට වඩා මම ගාව තියෙන එක පරිස්සම් කියලා මිනිහා මට ගෙනත් දුන්නා .

එහෙම ගෙනාවේ මම දවසක් මට එක බටනලාවක් ඕන කියලා කිව්වම . ඒ බටනලාව ඉල්ලුවේ අද මේ මම කියන්න යන ගීතය වාදනය කරන්න තිබ්බ ආසාව නිසා . බටනලාව ලාබ දෙයක උනාට සරල දෙයක් නෙවේ . එහෙම ලාබයි සරළයි කියලා බටනලාව පහත් කරලා කතා කරනවා මම අහලා තියෙනවා සමහර අය .





සංගීත භාණ්ඩ වලින් හදවතට කතා කරන්න පුළුවන් හොඳම වාද්‍ය භාණ්ඩය මේක කියලා ගොඩ දෙනෙක් කියනවා මම අහලා තියෙනවා . ඉන්දියන් ෆ්ලූට් සෙට් එකක් ගන්න කියලා සල්ලි එකතු කරා . අන්තිමට ඒවා වෙන වෙන ඒවට වියදම් වෙලා ගියා . දුක තමා මෙයාලා...... මට බටනලා පිඹින්න ඉස්සෙල්ලම ආසාවක් ඇති උනේ මෙන්න මේ සර් නිසා .





පොඩි කාලේ දැක්කා මේ සර් වාදනය කරනවා ටීවී එකේ . එදා වාදනය කරපු හඬ හිතට වැදුන නිසා වෙන්න ඕන බටනලා පිඹින්න අයිඩියා එන්න ඇත්තේ මටත් . අපි බලමුකෝ එහෙනම් මේ පඳුරු තලාගෙන ආපු ගීතය මොකක්ද කියලා .
සංගීතය නිසා මම ආදරේ කරපු ගීත වලින් එකක් මේක . මේ ගීතයේ යොදලා තියෙන සංගීතය , හිත වෙනමම තැනකට අරන් යන්න පුළුවන් සංගීතයක් .


පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...


පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ






සංගීතය : ඔස්ටින් මුණසිංහ





ගායනය : නිරෝෂා විරාජිනි






මේ ගීතයේ අර්ථය ගැන හිතන්න කලින් අපි බලමු ගීතයේ සංගීත සංයෝජනය ගැන . මේ ගීතයේ ඉන්ට්‍රොඩක්ෂන් එක . එහෙමත් නැත්නම් පෙරවාදනය වාදනය කරන්න භාවිතා කරලා තියෙන්නේ බැන්ජෝ කියන වාද්‍ය භාණ්ඩය . ඒ වාද්‍ය භාන්ඩයට තියෙන්නේ ඒකටම අනන්‍ය වෙච්ච හඬක් . ගීතයට අනුව ගත්තොත් ඒ හඬේ ගැබ් වෙලා තියෙන්නේ රාත්‍රී අන්ධකාරය එක්කම හිතට නැගෙන දුක සහ ජීවිතයේ අවිනිශ්චිත බව .





ජීවිතයේ අවිනිශ්චිත බව කියලා මෙතන කිව්වේ , ගීතයේ කථා නායිකාව මේ ගීතයෙන් කියන්නේ තමාගේ සැමියා හේන පරිස්සම් කරගන්න පැල් රකින අවස්ථාවක් ගැන . ඉතින් මේ හේනට ඌරුමීයගේ ඉඳලා වල් ඌරා , වල් අලියා දක්වා සතුන් එන්න පුළුවන් . ඉතින් තමාගේ සැමියා ජීවිතය අනතුරක තියාගෙනම තමයි මේ පැල් රැල්කිල්ල කරන්නේ . ඉතින් ඒක ජීවිතයට අවදානමක් නේද ?





ඒ වගේම ගීතයට සවන් දෙනකොට විමසිල්ලෙන් ඇහුවනම් බාර් එකක් ඇර බාර් එකක් වාදනය කෙරෙන හයිහැට් වාදනයක් අහන්න පුළුවන් . ගීතය ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම මේ හයිහැට් බීට් එකත් වාදනය කෙරෙනවා . ඔයාලට ඒක අහන්න පුළුවන් උනානම් පොඩ්ඩක් මතක් කරලා බලන්න ඒ හඬ රෑට ඇහෙන රැහැයියන්ගේ සද්දෙට සමානයි නේද කියලා . මම හිතන්නේ මේ හයිහැට් එකට තට්ටු කරන්නේ ස්ටික් එකකින් නෙවෙයි . මේ හඬ ලබාගන්න නම් තට්ටු කරන්න ඕන බ්‍රෂ් එකකින් . බ්‍රෂ් එක කියලා කියන එක හරියට ඉරටු මිටියක් වගේ . ඒත් හදලා තියෙන්නේ ලෝහ කම්බි වලින් .




රාත්‍රියක් කියන හැගීම වැඩි දියුණු වෙනවා මේ හයිහැට් බීට් එකත් එක්ක වාදනය වෙන ගෙජ්ජි සද්දයත් එක්ක . සද්දේ ගෙජ්ජි උනාට මේ වාදනය වෙන්නේ නම් ගෙජ්ජි වෙන්න බෑ . පන්තේරුවකට පොඩි තට්ටුවක් දානවා වෙන්න ඕන . නැත්නම් ඕගන් එකකින් මේ නාදය ලබාගන්නවා වෙන්න ඕන .

ගීතයේ තාල වාදනය සඳහා භාවිතා වෙන්නේ තබ්ලාවක ජිල් එකක් ( පොඩි ගෙඩිය ) සහ ටිකක් මූණ ලොකු රබානක් . තබ්ලාවේ ජිල් කොටසින් වාදනයවන වාදනයයි රබානෙන් වාදනයවන වාදනයයි දෙකම එකට මිශ්‍රවෙලා අපිට අහෙන්නේ මම කලින් කිව්වා වගේම භය සහ අවිනිශ්චිත බවක් .








ගීතයේ වැඩිපුරම මම කැමති බටනලා වාදනයට . ඊට පස්සේ වැඩිපුරම අවදානෙන් අහගෙන ඉන්නේ බේස් ගිටාර් එකට . පෙර වාදනයත් එක්ක බේස් ගිටාර් එකත් වාදනය වෙනවා. පෙර වාදනය අවසන් වෙලා පුන්සඳ රෑට ඇවිදින් හේ කියලා කියනකොට බේස් ගිටාර් එක නිහඬයි . නේ යන්න කියනවත් එක්කම තමයි බේස් ගිටාර් එක නැවතත් තමාගේ ගුප්ත හඬ නිකුත් කරන්න පටන් ගන්නේ . ඒ අවස්ථාව ගීතයේ හොඳ තැනක් කියලා කියන්න පුළුවන් . ඒ වගේම මේ ගීතයේ බේස් ගිටාර් වාදන ශෛලිය වෙනත් ගීතවල බේස් ගිටාර් වාදනය කෙරෙන ශෛලියට වඩා වෙනස් . මේ ශෛලිය යොදාගන්න ඇත්තේ මම කලින් කිව්ව හැගීම් , ඒ කියන්නේ දුක භය අවිනිශ්චිත බව වගේම රාත්‍රිය කියන දේවල් ඉස්මතු කරන්න ඒ වාදන ශෛලියට හොඳින්ම පුළුවන් නිසා වෙන්න ඕන .





ගිටාර් කෝඩ් පංච් එකත් වාදනය වෙන්නේ
චන්ක් +   ච   චන්ක්
චන්ක් +   ච   චන්ක්
කියන රිද්මයකට . බේස් ගිටාර් එකෙන් එන බේස් බීට් එකත් එක්කම මේ ගිටාර් පන්ච් එකත් හොඳට ගැලපිලා යන්න වෙන්නැති මේ රිද්මයට පන්ච් කරන්නේ . ගීතයේ ගායනයවෙන අතරතුර වචන වලට යටින් වාදනය කෙරෙන කවුන්ටර් කොටස් මේ ගීතයේ වාදනය කරන්නේ ඕබෝ කියන වාද්‍ය භාණ්ඩයෙන් . වෙනත් ගීතවල සාමාන්‍යෙන් මේ කවුන්ටර් වාදනය වෙන්නේ වයලීන් වලින් . ඒත් මේ ගීතයේ කවුන්ටර් වාදනය කරන්න ඕබෝ එකක් යොදාගැනීම විශේෂිතයි . මොකද ඕබෝ එකේ තියෙන්නේ ටිකක් මූසල පාලු හැගීමක් ගෙනත්දෙන හඬක් .


මේ ගීතයේ කතා නායිකාව කියන්නෙත් තමන්ගේ පාළුව . ඉතින් වචනවලින් කියන පාළුව හිතට තවත් වැඩිපුර කාවද්දන්න පුළුවන් වෙලා තියෙනවා ඕබෝ එකක් මගින් කවුන්ටර් වාදනය කරන නිසා . ඕබෝ එකේ හඬ අහලා තියෙනවද දන්නේ නෑ සමහර අය . ඔය ගීතයේ වචන ගායනා කෙරෙනකොට ඒ යටින් ඇහෙනවා හොරණවක හඬක් . අන්න ඒ හඬ එන්නේ ඕබෝ එකකින් . කවුන්ටර් කියන්නේ ගීතය එහෙම ගායනාවෙනකොට ඒ එක්කම යටින් වාදනය කරන වාදන කොටස් වලට .


ගීතයේ අතුරු වාදනවලදී වාදනය කෙරෙන ෆ්ලූට් පාට් එකට තමයි ඔන්න වයලීනෝ නම් වැඩිපුරම කැමති . ඒක පට්ට . හේන් ගොවිතැන කියන හැගීම ඉස්මතු කරන්න ඒ වාදන කොටස දායක වෙනවා කියල කියන්නත් පුළුවන් වෙලාවකට . එහෙමත් නැත්නම හිතෙන්නේ ගෙවිලියගේ පාළුව ඉස්මතු කරන්න ෆ්ලූට් පාට් එක උදවු වෙනවා කියලා .

මේ ඔක්කොමත් හරි ඉතින් ගායිකාව ගැන කියන්නත් එපාය . නිරෝෂා මේ ගීතය ගායනා කරනකොට මමත් හෙන පොඩියි . නිරෝෂත් දැනට වඩා ගොඩක් වයසින් අඩුයි . ඒ කාලේ නිරෝෂට තිබ්බ කටහඬ නෙවෙයි දැන් තියෙන්නේ . මේ ගීතයට නිරෝෂගේ ඒ කාලේ කටහඬට වඩා ගැළපෙන්නේ දැන් කටහඬ කියලා සමහර වෙලාවල් වලදී මට හිතෙනවා . ඒක කොච්චර දුරට සාධාරණද නැත්ද කියලා දන්නේ නෑ . හැබැයි නිරෝෂාගේ දැන් කටහඬේ කලින්ට වඩා දුක මිශ්‍රවෙලා තියෙනවා .


ගීතයේ පද රචනය ගැන බලනවානම් මම හිතන්නේ මේ ගීතයෙන් අර්ථවත් කරන්නේ ගෙදර ස්වාමියා හේනේ පැල් රකින්න ගියාම ගෙදර තනියම ඉන්න බිරිඳගේ හිතේ ඇතිවෙන සිතිවිලි සමුදායක් ගැන .



පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

පුන්සද රෑට ඇවිදින් හේනේ කලුව බිඳ . ඒ කියන්නේ මේ කාලයේ රාත්‍රියට හොඳින් හඳ පායලා තියෙනවා කියන එකම වෙන්න බෑ . මෙතනින් අදහස් වෙන්නේ දවස ගෙවිලා රාත්‍රිය උදාවීම . කළුවර උනා රෑ උනා කියලා කියනවට වඩා ශ්‍රාවකයින්ගේ හිතේ රාත්‍රිය කියන හැගීම වැඩි දියුණු කරන්න උළුවන් පුන්සද රෑට ඇවිදින් හේනේ කළුව බිඳ කියලා කිව්වම . මේ හඳ එලිය නිසා අපේ ජීවිතයට , අපේ බඩගින්නට එළියක් දෙන්න පුළුවන් රත්තරන් කෙඳි වැනි වූ කිරිවැදීගෙන එන බඩඉරිඟු කරල් දීප්තිමත්ව දිළිසෙනවා . රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවාද කියලා කියන්නේ කාලය ගතවීමත් එක්කම හේන දැන් සශ්‍රීක වීගෙන එනවා කියන අවස්ථාව .

ඉතින් බඩඉරිඟු කරල් කිරිවැදීගෙන එනවානම් තුන්යම හීන බල බල ගෙදර ඉඳලා මොනවා කරන්නද . සමහරවිට මේ කාලයේ හීන බල බල ගෙදර හිටියනම් සත්තු ඇවිත් හේනේ තියෙන ඔක්කොම බඩඉරිඟු කාලා විනාස කරන්න පුළුවන් . ඉතින් එහෙම වෙන්න නොදී මේ වෙනකොට මගේ රන්කඳ නිදි මරාගෙන හේනේ පැල් රකිනවා ඇති .
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..
කියන පද දෙකෙන් අදහස් වෙන්නේ එහෙම දෙයක් .

හැබැයි මේ දෙන්නට ළමයි නෑ තාම . තාම නැත්ද නැත්නම් දෙන්නගෙන් කවුරුහරි ළමයි හදන්න අපොහොසත්ද කියලා හිතන්නත් පුළුවන් . එහෙමත් නැත්නම් ගෙදර අගහිඟකම් නිසා මෙයාලා ළමයි හදන්න තාම හිතලා නෑ වෙන්නත් පුළුවන් . ඒ ඔක්කොම නෙවෙයිනම් මේ දුක් ගීය ගායනා කරන කාන්තාව දැනට මාස දෙකතුනකට කලින් විවාහ උන කාන්තාවක් වෙන්න පුළුවන් . ස්වාමියා එක්ක යහන්ගත වීම අලුත බැඳපු කාන්තාවන්ට ඉතාම හැඟුම්බර අවස්ථාවක් . ඉතින් දැන් තුරුල් වෙලා යහන්ගත වෙන්න ස්වාමියත් ගෙදර නෑ . තාම දරුවෙකුත් නෑ , මොකද බැඳලා මාස කීපයයිනේ වෙන්නේ . ඉතින් පාළුව ඉවසාගන්න බැරුව මේ කාන්තාව පොල් අතු පැලේ මැටි පොළවේ හාන්සිවෙලා මෙහෙම හිතනවා .

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...


නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
කියන පද දෙකෙන් කියවෙන්නේ මේ ගෙවිලිය දැන් ඉන්නේ ගෙදර ඉස්සරහා තියෙන මැටි පිල උඩ හාන්සි වෙලා . එතකොට එයාට පේනවා රාත්‍රී අහසේ පායන තරු කැට . මේ තරු තමා දිහා බලාගෙන ඉන්නේ හරියට තමන්ගේ හදවතේ තියෙන තනිකමට ඔච්චම් කරන්න වගේ .

මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...
මෙතන මමනම් හිතන්නේ උපමාවක් තියෙන්නේ . මී අඹ කියන්නේ ඕපාදූප . ගිරවුන් කියන්නේ ගමේ ඕපාදූප හොයන කාන්තාවන් . මීඅඹ කන්න ගිරවුනි එන්න එපා හෙට කියලා කියන්නේ , දැන් ඔය සමහර ඕපාදූප හොයන ගෑණු ගෙවල් වලට ඇවිත් ඕපාදූප හොයනවනේ . එහෙම හොයන ගමන් මේ ගෙදරටත් එන්න පුළුවන් . ඒ ආවම ඒ අයටත් ඕන නැති එකක් නෑ කියලා පවුලේ විස්තර කතා වෙනවා . එහෙම කතා වෙනකොට ඒ අය අහන්න පුළුවන් මේ කාන්තාවගෙන්  “ දැන් බැඳලා මාස ගානක් වෙනවා නේද ? තාම පැටියෙක් බඩට ආවේ එහෙම නැත්ද “ කියලා . මේ කාන්තාවට රාත්‍රිය උදාවෙන්න කලින් සමහරවිට එදාම දවල් මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ද වෙන්න ඇති . ඉතින් ආයෙත් එහෙම අහන්න එපා මට තාම දරුවන් නැති නිසා එහෙම අහනකොට දුක හිතෙනවා කියලා මේ කාන්තාව මැටි පිලේ ඉඳගෙන ප්‍රාර්ථනා කරනවා . මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට කියලා කියන්නේ , ආදරය සෙනෙහස වගේම රාගය වගේ සිතිවිලි නමැති මල් සිත නමැති ගහේ පිපුනට ඒවා පලගෙන දරුවන් නමැති පලය තාමත් ඇතිවෙලා නෑ කියන අදහස දෙන්න කියලයි මම හිතන්නේ .





රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...


රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..

මේ පද දෙක ඇතුළුව දෙවෙනි අන්තරා කොටසින් කියවෙන්නේ තමන්ගේ ස්වාමියා ගෙදර නැති නිසා ඉදිරියේ තමන්ට අත්වෙයිද දන්නේ නෑ කියලා හිතන ඉරණම ගැන දුක්වෙන සිතුවිලි කීපයක් . හේනේ බඩඉරිඟු කිරිවැදිලා තියෙන නිසා ස්වාමියා දවල්ටත් හේනේ වැඩ . රෑටත් පල රකිනවා . තව කොච්චර කාලයක් මෙහෙම ඉන්න වෙයිද දන්නේ නෑ . සමහරවිට බඩඉරිඟු කපලා ගෙට ගන්නකන්ම දෙන්නට මෙහෙම ඉන්න වෙයි . දවසක් හරි පහු උනොත් සත්තු ඇවිත් ඔක්කොම කළා විනාස කර\නවා . ඉතින් ඒ නිසා දෙන්නට යහන්ගත වෙන්න කාලයක් ළඟදී නම් එන එකක් නෑ . ඒ නිසා ස්වාමියා සහ තමන් එකට නිදන යහන හීනයක් විතරයි කියලා එම පද දෙකින් කියන්නේ .

තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...

ඉතින් මෙහෙම වැඩ කරන්න ගත්තම එකදිගටම කවදානම් අපි දරුවෝ හදන්නද . එහෙම දරුවෝ හදන්න ලැබෙන්නේ නැත්නම් මට හැමදාම වෙන්නේ මේ මැටි පිලේ තනියම ඉන්න නේද කියලා ගෙවිලිය කල්පනා කරනවා . එහෙම හිතලා මෙයා තව දුරටත් හිතනවා , මේ කන්නය ඉවර උනාම ආයෙත් වගා කරන්න පටන් ගනියි . එහෙම උනාම ආයෙත් වැඩ , අපිට යහන ගත වෙන්න වෙන එකක් නෑ ආයෙත් , ඒ නිසා මගේ කුස නමැති යහනාව දස මාසයක් තිස්සේ දරුවෙක් සතපවාගෙන ඉන්න පින් කරලා නැතිවදෝ කියලා .......

ගීතය අහන්න . පුළුවන් නම් මේ ලිපිය ආයෙත් කියවන ගමන් ගීතය අහන්න . එතකොට ගීතය කලින්ට වඩා හිතට දැනෙයි .





වයලීන් එකට කලින් මගේ අතට ඉස්සෙල්ලම හම්බෙච්ච සංගීත බඩ්ඩ බටනලාව . පොඩිකාලේ ඉඳලම බටනලාවට තමා හිත තිබ්බේ . මට මතකයි ඉස්සර අම්මා ඔෆිස් ...