මහසෝනාගේ හෝරාව







මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.

පන්සලට ගොස් පැමිණි මම සීයා පාඩම් කිරීමට දුන් කවි මතකයට නංවමින් මිදුලේ තිබුණු බංකුව මත හාන්සි වී සිටියෙමි.



සසිරිබර මෙසිරිලක
පොළොන්නරු නම් නුවර
මහ සොහොන් යකු නුඹට
වැඩියකෙක් නැත මෙරට
ගජුන් ඇන බිම ගසා
කමින් මස් ඉර ඉරා
බොමින් ලෙ පෙර පෙරා
යකෙක් නැත මෙමුලුරට
උනද හිසරද කරයි
ධාය ඉදිමුන් කරයි
කැඳ කැවිලි අරුචිවෙයි
මෙවෙනි ලෙඩ කල තැනේ
සුබ අදුරු ගෙන්නවා
අප නූල් අතේ බැඳ
මහසොහොන් බලියටා
දඬු කපා එම විටා
පුලුල ගෙන තුං වියත්
සත් වියත් උස රැගෙන
බබු රුවන් සැදී ඉසකි
බුදුරුවන් සියොගතකි
සිරස මැද පන්දමකි
බඩ මැද්දේ ඔලු තුනකි
දෙකලකට පුර හඳකි
මෙසේ බලි අඹාලා
ඕවිටක තබාලා
පුළුටු බත් අනාලා
බලියපිට තබාලා
මෙදොල බලි දෙන ලෙසට
මෙපිරිපොත හරින්නේ
එපස්වා දහස්කල්
දිනේවා මතු දිනෙවා….



සබරගමු මහ සමන්දෙවාලයේ බිත්තියේ ඇඳ ඇති මහසෝනාගේ යයි කියන සිතුවම සිහි ගන්වමින් ඉහත කවි කීපය සෙමෙන් මුමුණත්ම මගේ හිස ඉබේම හැරුනේ මිදුලේ මැද ඇති මහසෝන් දේවතාවාට පහන පත්තු කරන ස්ථානය වෙතය. එකෙනෙහි මහසෝනා කෙරෙහි සීයාගේ හදවතෙහි ඇති භක්තිය මගේ මතකයට නැගිණි .





දිනක් සීයා තරුණ අවධියේ මල ගෙදරකට සහභාගී වී මරණයක් කරගසා , ගෙදරවිත් නාන්නේ නැතිව , කිල්ලෙන්ම මහසෝන් දේවතාවාට පහන දල්වන වෙලාවේ එකවරම එතනට ආ මහසෝන් දේවතාවා පහනට ගසා පහන පෙරලූ සැටි, සීයා මා සමග කීවේ මගේ සිතෙහිද ඒ භක්තිය ඇති කිරීමට විය යුතුය . මහසෝනා එසේ මෙසේ කෙනෙකු නොවන බව මම සාක්ෂාත් කරගත් කරුණකි . හෙතෙම බුදුන් සරණ ගිය උපාසකයෙකි . එබැවින් ඔහුට පහන් තබන අවස්ථාවේ සීයා විසින් බුදුගුණ හෝ පිරිත් කීම සිරිතක් කරගෙන තිබුනේය . සමහර දින වලට මහසෝනා පෙනෙන ලෙස පහන් පැලට වැඩියත් තමාට හානියක් නොවන බව සීයා කියන්නේ ඉතාම ආඩම්බරයෙනි .

වසර ගණනාවක් දෙවියන් යකුන් භූතයන් සමග ගනුදෙනු කරන සීයා මහසොනාට මුල් තැන දෙන්නේ ඇයිදැයි මම ඇසූවිට සීයා කියා සිටියේ

“කාලයක් තොවිල් වලට ගුරුකම් වලට යනකොට පුතාටත් ඒක තේරුම් ගන්න පුළුවන් වේවි ”
කියාය .

සීයාගේ අඩිපාරේ යන බැවින් ගම්මුන් මට අමතන්නේද චූටි ගුරුන්නාන්සේ යන නමිනි . සීයාට ගමේදී ලැබෙන සැලකිලි එමනිසාවෙන් මටද තරමක් උරුම විය . මනුස්ස ගණයේ උපන් හෙයින් සීයා මට විශේෂ සැලකිල්ලක් දක්වයි . ඒ සීයාගේ අංජනම මටද බැලීමට හැකි වීමයි . එම අංජනම පෙනෙන්නේ මනුස්ස ගණයේ අයට පමණි . ඊට අමතරව බල්ලන් සපා කෑ විට අංජනම නොපෙනී යයි . එනිසා සීයා මාව ඒ හැම දේකින්ම හොඳින් ආරක්ෂා කරනු ලබයි . සමහර දිනවලට සීයාට අංජනම නොපෙනෙන අවස්ථා හෝ සීයාට වැඩ රාජකාරි අධික වූ විට අංජනම් එලිය යවා , උදවු ඉල්ලාගෙන එන අයට එම දේවල් කර දීම මට භාර කෙරේ .
සීයා සමග නිබඳවම එම කටයුතු වලට සහභාගී වුවද තවමත් මහසෝනා සියැසින් දැකගැනීමට මට වාසනාවක් වූයේ නැත .

“ගුරුන්නාන්න්සේ ගුරුන්නාන්න්සේ ”

හති හලමින් වලව්වේ දොරකඩට දිව ආ සියාතු මාමා එළිපත්තේ බිම වාඩි වී නැවතත්

“ගුරුන්නාන්න්සේ ගුරුන්නාන්න්සේ ”

කියමින් කෑගසන්නට විය .

“ඇයි සියාතු මාමේ ඇයි , සීයා එහා ගමේ දේවාලෙට ගියා ”

මම බංකුවේ සිට කතා කරනු දුටු සියාතු මාමා වහා නැගිට සරමේ කැහැපොට ලිහා දමා , කරේ වූ ලේන්සුව අතට ගෙන

“චූටිගුරුන්නාන්සේ , හදිස්සියකට ගුරුන්නාන්සේ හදිගැහෙන්න ආවේ . අපේ කෙල්ල මේ ටිකකට කලින් එක පාරටම මිදුලේ මැද්දේ කෑගහගෙන වැටුනා . අමනුස්ස දෝසයක් වෙන්නැති කියලා හිතලා තමයි ගුරුන්නාන්සේ හම්බවෙන්න ආවේ දැන් මොකද කරන්නේ……….. ”
“කෙල්ල මල විකාරෙන් කෑගහනවා චූටි මහත්තයෝ……. ”

ලෙස අඬන්න මෙන් කියමින් නැවතත් සියාතු මාමා දෑත හිසේ තබා ගනිමින් මිදුලේ ඇන තියා ගත්තේය .
ඉබේම වාගේ මගේ හිස හැරවුණේ සියාතු මාමාගේ සෙවනැල්ල දෙසටය . දැන් හිරු අවරට පැමිණ පැයක් පමණ විය යුතුය . එය එසේ වීනම් මෙය ඉරමුදුන් යක්ෂයාගේ ගේ හෝ මහසෝනාගේ හෝරාව විය යුතුය . මේ වෙලාවට තරුණ වයසේ ගැහැණු ළමුන් මස් මාංශ පුළුස්සා හෝ තෙලේ බැද ආහාරයට ගැනීම අමනුෂ්‍යයින්ට අත වැනීමක්ය . පුළුටු සුවඳට වහ වැටෙන සමහර යක්ෂයින් එම පුළුටු රස බැලීමටත් පසුව එම තරුණියන්ගේ රස වැටී එම තරුණියන් සමග රමණය කිරීමටත් මැලි නොවේ . එවිට එම තරුණියන් පන නැතිව කන්න බොන්නට පිරියක් නොමැතිව පිස්සු විකාරයෙන් කෑ ගසමින් සිටී . මෙම දෝශය මග හැරීමට නූල් බැඳීමේ සිට  තොවිල් නැටීම දක්වා විවිධ ආකාරයේ යාතු කර්ම සිදු කල යුතුය .
ගතවූයේ නිමේෂයකි .

“ජඃ පුතා ජඃ”

වලව්වේ කරත්ත කරුගේ කටහඬද , එත් සමගම වයිරාගේ ගෙලේ එල්ලා තිබුණු ගෙජ්ජි වැලේ ශබ්දයද ඇසෙන්නට විය .
තවත් මොහොතකින් සීයා වලව්වේ මිදුලට සම්ප්‍රාප්ත විය .

“මොකද සියාතුවේ මේ මිදුලෙම , මෙහෙන් ඈඳී ගනිමුකෝ”

කියමින් සීයා ඉස්තෝප්පුවේ වූ හාන්සි පුටුවේ හිඳගත්තේය . සියාතු මාමා දුක්මුසු ස්වරයෙන්

“අනේ ගුරුන්නාන්සේ මේ අපේ කෙලී දැන් ටිකකට කලින් මිදුලේ ඉන්දෙත්දී එක පාරටම කෑගහගෙන වැටුනා . දැන් විකාරෙන් කියෝනවා . වෙද මහත්තයා ගාවට ගියාම කිව්වේ ගුරුන්නාන්සේ ගාවට යන්න කියලා ”

මෙතෙක් සන්සුන්ව සිටි සීයා තම උගුර පාදමින්

“මේ මහසොහොන් සමයම කැරකෙන වෙලාවේ උඹේ කෙල්ල මොකක් කලාද බොල . මොනවා හරි රීරි මාංසයක් පුච්චගෙන කන්න ඇති . මතක් කරපන් අද දවල්ට ගෙදර උන්දා මොනවද ඉවුවේ කියලා”

“ගුරුන්නාන්සේ කිව්වම තමයි මට කල්පනාවට ආවේ . අද දවාට කන්න තෝර කරවල බැදලා තිබුනා . කෙල්ල තමයි තෙල් ලිප ගාව හිටියේ . ගෙදර උන්දා කෙල්ලට කියලා අද කරවල බැද්දෙව්වේ”

එතකොට සීයා

“ඇයි මනුස්සයෝ මේ ගැටිස්සියෙක් ලවා මේ මද්දහනේ ඕවා කරවන සිරිතක් තියෙනවද . දැන් දවස් දෙක තුනකට කලිනුත් මහසෝන ගහලා එකෙක් පන යන්න හදනකොට බේර ගත්තා . යමන් ගෙදර බලන්න ඔහොමම”

කියමින් සීයා මම දෙස බලා

“චූටි පුතේ , මගේ පෙට්ටගම ඇරලා අඳුන් පෙට්ටියයි , කිනිස්සයි අරන් එන්න”



අවුරුදු දහසයක තරම් කුඩා වයසක් වුවද සීයාගේ පෙට්ටගමට ඊළඟට උරුමකම් කියන්න ඉන්න නිසාවෙන් සීයා , මම ලවා මෙවැනි දේවල් ඉතාම යුහුසුලුව කරවා ගැනීමට කැමතිය . තාත්තා කුඩා අවධියේම මෙම ශාස්ත්‍රය අත්හල බැවින් සීයාගේ බලාපොරොත්තුව තිබ්බේ ඒකාන්තයෙන්ම මම පිළිබඳවව විය යුතුය. ආච්චිඅම්මා අතැතිව තිබෙන පෙට්ටගමේ යතුර ඇගෙන් ඉල්ලාගත් මම පෙට්ටගම විවර කර සීයාගේ මහානර්ඝ අඳුනත් කිනිස්සත් අතට ගත්තෙමි . කළුවර ලීයෙන් සාදන ලද අඟල් 6ක් පමණ දිග තරමක් පැතලි මෙම අඳුන සහිත පෙට්ට්ටියේ පියන විවර කරනවිටම පෙනෙන්නේ අඳුන ගා තිබෙන පසුබිමයි . පෙට්ටගමේ මීට අමතරව කඩු කීපයක් හා සීයාගේ පරපුරෙන් පවත එන නානාප්‍රකාර දේවල් තිබිණි .සීරුවට පෙට්ටගමේ පියන වසා යතුරු දමා අඳුන සහ කිනිස්ස සීයා වෙත පෑවෙමි .






සීයා එයින් කිනිස්ස අතට ගෙන සෙමෙන් මතුරමින් මිදුලට බැස බිම ඒ මේ අතට ඉරි ගසා එම ඉරි පාගා එන ලෙස සියාතු මාමාට කීවේය .
මමද සීයාද කරත්තයට ගොඩවූ අතර සියාතු මාමා අප කරත්තය පිටුපසින් ඔහුගේ නිවස බලා යාමට පිටත් විය .

ගමේ ආරච්චිල වලව්වත්, වෙද මුහන්දිරම් වලව්වත් හැරුනුකොට වෙනත් වලව්වකට කියා ගමේ තිබුනේ අපේ වලව්ව පමණි . ආරච්චි මහතාත් , වෙද සීයාත් , අපේ සීයාත් , පන්සලේ ලොකු හාමුදුරුවෝත් සතරවරම් දෙවියන් මෙන් ගමේ හැම දෙයකටම මුල් තැන ගෙන කටයුතු කල අතර ඒ කිසිවෙකුත් අතරේ කවමදාකවත් මත ගැටුම් නොතිබිණි . ගොවිතැනින් ජීවත් වූ ගම් වැසියෝ සරල දිවි පෙවෙතක් ගතකලා මෙන්ම ඔවුන්ගේ අතමිට සරු කරගනීමට වඩා ඔවුන් උනන්දු වූයේ එදා වේල උපයාගැනීම පමණි . එබැවින් ඔවුන්ට ලොකු ලොකු ආශාවන් හෝ බලාපොරොත්තු තිබුනේද නැත .

වතු පිටි වල ආදායම ලද හෙයින් වෙද සීයාත් , අපේ සීයාත් ගමේ අයගේ කටයුතු කරන ලද්දේ පඬුරු පාක්කුඩම් නොගෙනය .
කරත්තයේ ඉන්න අතරේ අඳුන් පෙට්ටිය දෙස බලමින් මම මහසෝන් හෝරාව පිළිබඳව මනෝ රූප මැවූයෙමි . සීයා කියා තිබෙන්නේ රාත්‍රී 11 සහ පාන්දර 1 ත් , උදෑසන 11 සහ දහවල් 1 ත් මහසොහොන් දේවතාවට අයත් හොරා ලෙස නම් කර ඇති වගය . එනම් මගේ නිගමනයද නිවැරදිය . මෙය මහසෝන් හෝරාව තුලු සිදුවී ඇත .

සියාතු මාමගේ නිවසට අපි පැමිණියෙමු . එය පොල් අතු සෙවිලි කල පැල්පතකි . මැටි බිත්ති වූ නමුත් ඒවා හුණු පිරියම් කල ඒවාය . කුඩා පැල්පතක් වුවද එය පිළිවෙලකට සැකසී තිබිණි .
සීයා මල් ආසනයක් සූදානම් කරවා මල් , හඳුන්කූරු හා අඹ කොළ අත්තක් හා අඳුනද නිසි ලෙස එහි තබා සෙමෙන් සෙමෙන් මතුරන්න පටන්ගත්තේය . ටික වෙලාවකින් සීයා පහන දල්වා අඳුන් පෙට්ටිය විවර කළේය.





“……ආතාල බන්ධ පාතාල බන්ධ අටකොන රාක්ෂ බන්ධ ශක්‍ර දේවේන්ද්‍රගේ අනින් කැරකි කැරකී ඇවිලී දැවිලී මහාමේරුවට අත තබා සුරාසුර කොදෙවු සාගර තරණය කර හනුමන්තා දේව රාජා අංජන දේවී අරං එලිය බලා ඕඩු ස්වාමියානේ ඕඩු ඕඩු එස්වාහඃ………”

කියමින් මතුරත්ම එකවරම මල් යහනේ වූ පහන නිවිණි .එය අසාමාන්‍ය පෙර නිමිත්තකි . එවැනි වෙලාවට සීයා කරන්නේ එක්කෝ අංජනම වසා දැමීම හෝ මම ලවා බැලවීමය . මොහොතකින් මම දෙස බැලූ සීයා
“පුතා බලන්න”

කියා මාව අඳුන ඉදිරියේ හිඳුවා ඉතාමත් රළු හඬින් මතුරන්න විය .

මොහොතකින් අන්ජනමේ කළු පැහැති පසුබිමෙහි විශාල අඹ ගසක් පෙනිණි . තවත් ටික වෙලාවකින් එම අඹ ගස මුදුනෙහි හනුමාගේ රුව පෙනෙන්නට විය . කළු පැහැති සිරුර පුරා කෙස් වැවුණු නමුත් හනුමාගේ මුහුණ ඉතාම උපශාන්ත බැල්මකින් යුක්ත විය . හනුමා අවාද කියා සීයා අසූ විට මම හිස වැනීමි .සීයා නැවත මතුරන්නට විය .එකවරම හනුමා තමා සිටි අඹ ගසෙන් බිමට පැන එලිය තුලින් මගෙන් ඇහුවේ දැන ගැනීමට ඕන කුමක්ද කියාය . මම එය වහාම සීයාට දැන්වූ විට

“අහපන් පුතේ මේ හතර මායිමේ වෙලා තියෙන විපත්තිය මොකක්ද කියලා ”

එය අසා සිටි හනුමා අඳුනෙන් නිවසේ ඉදිරිපස අඹ ගස යට වලදමා ඇති බට පුටුකක් පෙන්වන ලදී . මෙම නිමිත්තම ප්‍රමාණවත් විය . කල යුතු දෑ ලෙස හනුමා කීවේ මෙය කවුරුන් හෝ තරහට කල මහසෝන් බන්දනයක් ලෙසත් ආපිට යාමට කැපිය යුතුය , නැතහොත් දවස් හතරක් ඇතුලත මහසෝනා විසින් ආතුරයා බිලි ගන්නා බවත්ය .
සීයාට මේ සියල්ල පැවසූ විට

" මේ දේ කරේ කවුද කියලා අහපන් පුතේ " කියා සීයා පැවසීය
හනුම කියන දේ මට පැහැදිලි නොවිණි . එබැවින් මම එය ලියා පෙන්වන්නට කීවෙමි . මෙම ගුරුකම කල පුද්ගලයාගේ නම පුවරුවක ලියූ හනුමා එය ඔසවා මට විදහා පෑවේය . ඔහු එහා ගමේ කෙනෙක් වග මම දනිමි .

මම මේ සියල්ලම සීයාට කීවෙමි . ආකාසට්ටාච භුම්මට්ටා……….ලෙස දෙවියන්ට පින් දී අංජනම් එලිය වහන මන්තර මතුරත්ම හනුමා නොපෙනී ගියේය .
සීයා මගේ දෑසින් බට පුරුක වලලා ඇති තැන සොයා කිනිස්සෙන් ඒ ස්ථානය හතරැස් කොටුවක් ලෙස සලකුණු කරන ලදී .

“මෙතන මින් මත්තේ මේකේ අවසානයක් වෙනකං පාගන්නේහෙම නෑ බොලව්”

කියමින් සීයා ශෝකාකුලව සිටින සියාතු මාමා වෙත ගියේය .
“සියාතුවේ උඹ බය නොවී හිටහන් අද අඟහරුවාදා වෙච්චි . හෙට නෙවෙයි අනිද්දා දොහාට මේ වැඩේ තීන්දුවක් කරමු . මම ඉන්නකන් මේ ගමේ එකෙක්වත් යක්කුන්ට මල පෙරේතයන්ට බය වෙන්න උවමනාවක් නෑ . මහසෝනා බන්ධනය කරලා මේ දේ කරලා තියෙන්නේ . දිශ්ටියත් ඉන්න ඇත්තේ උඹේ දුවට වැහෙන්න පුළුවන් වෙලාවක් එනකන් වෙන්න ඇති . ඒකනේ මේ කරවල බදින වෙලාවේ අල්ලගෙන තියෙන්නෙ"
“ලොකු කෙසෙල් ගස් හතරක් , පොල් මල් 5ක් , පුවක් මලක් , ලාඩප්ප ලී ,කුරුඳු ලී , කපලා තියා ගනිං”
“අනිත් හොයන්න ඕන ඒවා කියලා දෙන්න හවහට වලව්ව දිහාවට කවුරු හරි ආවනම් හොඳයි”

සීයාත් මමත් කරත්තයට නැග වලව්ව කරා පිටත් වීමු .
සවස ගමේ සාමුහික වැඩ සඳහා නොමදව ශ්‍රමය කැප කරන දෙතුන් දෙනෙකු වලව්ව වෙත පැමිණි අතර සීයා ඔවුන්ට සෙවිය යුතු කළමනා ලැයිස්තුවක් සහ ඊට අවශ්‍ය මුදල්ද දුන්නේය . ඒ සීයාගේ සිරිතය . අතමිට නැත්තාට ඔහු සලකන්නේ ඔහුගේ පවුලේ අයට මෙනි .
මෙම ලයිස්තුවේ

රත්හඳුන්
සුදුහඳුන්
පළතුරු
කොට්ටපොල්
අළු පුහුල් ගෙඩියක්
ආදී දේවල් මෙන්ම
එළවලු වර්ග 32ක්
කුකුලෙක්
රා , පොල් අරක්කු
කිකිළි බිත්තර
වටු බිත්තර
නයි හැව
පස් තෙල්
විළඳ
මීපැණි
දෙහි
අමු කහ
වද කහ

අන්තර්ගතවී තිබිණි . සීයා මේ සැරසෙන්නේ මහසෝන්පිල්ලූ පිදේන්න යන ගුරුකමට විය යුතුය . එයට මහසෝනා ගෙන්වා පූජාව සහිත පිදේන්න දී නැවත අවශ්‍ය තැනට යැවිය යුතු අතර සුළු හෝ වරදකින් තමාගේ ( ඇදුරාගේ ) ජීවිතය නැතිවන බව මම පොත් පත් වලින් කියවා තිබේ. නමුත් එවැන්නකට මට කිසි දිනක සහභාගී වීමට ලැබී නැත .
ලැයිස්තුව දී ඔවුන් පිටවී ගිය පසු මම සීයා ලඟට ගොස්
මහසෝන්පිල්ලූ පිදේන්න ලෙස ඇසෙන නොඇසෙන ලෙස මිමිනූවිට සීයා මද සිනහවක් පා

“ඔව් ඔව් මම එක පාරකුත් මෙහෙම පිදේන්න දීලා තියෙනවා . දැන් කාලයක් තිස්සේ මහසොනා රවට්ටලා වැඩ ගත්ත එකේ මේ පාර පිදේන්න පුරෝලා දෙනවා ”
යයි කිවේය .

පිදේන්න දෙන දිනයේ උදෑසනම මමත් සීයාත් සියාතු මාමගේ නිවසට ගොස් කල කිය යුතු දෑ සහ මල් යහන, ගොප්කොල සැරසිලි හා පිදේනි තටුව නිර්මාණය කරන අන්දම කියාදී ඒවාට උපන් හපන්කම් තියෙන අපේ කටයුතු වලදී නිරතුරුවම බෙරගසමින් උදවු වන බෙරගල මාමා එහි නවතා නැවත නිවසට පැමිණියෙමු .





අවශ්‍ය මන්තර ආදිය සියල්ල පොත් පෙරලා හොඳින් කියවා නැවත බැලූ සීයා නා පිරිසිදුවී සවස් වේගෙන එනවිට නැවත සියාතු මාමගේ නිවසට යාමට සූදානම් විය . සාලේ කොනක තබා ඇති බට්ටා සහිත ඔරලෝසුවේ සවස හතරයි තිහේ කණිසම නාද විය .


සීයා මහසෝනාගේ ස්වාමියා වන සමන් දෙවියන්ගේ රූපය දෙසද මදක් බලා සිට වැන්දේය. සමන් දෙවියන් යනු මහසෝනාගේ ස්වාමියාය . මහසෝනා සමග කටයුතු කිරීමට සමන් දෙවියන්ගේ ආශිර්වාදය තිබිය යුතුය .



මමද එසේ සූදානම් විය . සීයා කිනිස්ස ඉනේ ගහගත් අතර සීයාගේ ගුරුකම් වලට ගන්නා කඩුවත් පොල් ගෙඩියක් තරම් වූ හක් ගෙඩියත් වස්දන්ඩත් මගේ අතට දුන්නේය .





ආච්චි අම්මා අසලට ගිය සීයා

“මැණිකේ මම අද පිදේන්නක් දෙන්න යන්නේ . ගෙදරට එනකන් එයි කියලා විස්වාස කරන්නැතුව දෙයියෝ බුදුන් සිහි කරගෙන ඉන්න . ඇඳිරි වැටුනම දොරවල් ඔක්කොම වහගෙන එලියට බහින්න දෙන්නෙපා ගෙදර කාටවත්” කීවේය . විශේෂයෙන් වින කැපීමේදී දිෂ්ටියක් අවතාරයක් ගෙන්වනවිට එම අවතාරය පළමුවම එන්නේ ඇදුරාගේ නිවස පිහිටි වත්තටය . පසුව එහි සිට අවශ්‍ය තැනට ගමන් කරයි . මෙසේ කීපවරක්ම අප නිවසේ අය මෙවැනි දිෂ්ටි වලට බියවී යාතු කර්ම සිදු කිරීමට වූ හෙයින් සීයා කියන්නේ තමා නිවසට එන තුරු දොර ජනෙල් වසාගෙන සිටින්නට කියාය .

මමද සීයා අනුකරණය කරමින් අම්මටත් තාත්තටත් වැඳ නිවසින් එලියට බහිනවිට පෙරනිමිති ලෙස ඇස ගැටුනේ මිදුලේ පහන් පැලේ ඇති මහසෝන් දෙවි රුවය . හිසේ ජටාවක් ඇති සිවුරක් ලෙස සුදු රෙද්දක් පොරවා සිටන ඔහු මෙතරම් දරුණුද ? කියා සිතමින් මමද සීයා සමග කරත්තයේ නැගී පිටත් වීමි .
බෙරගල මාමා අප පැමිණෙන විට සියල්ල සූදානම් කර පුළුටු බදිමින් සිටියේය . පදමට පිළිස්සුනු පුළුටු සුවඳ හැමතැනකම පැතිරෙන්නට විය .

බෙරගල මාමාට අමතරව තවත් බෙරකරුවන් දෙදෙනෙකු පැමිණ සිටියේය .
සීයා තාම රාජකාරි ආරම්භ කළේය .

පිදේනිය තටුව බෙරගල මාමාගේ අතින් ඉතා අලංකාරව නිර්මාණය වී තිබිණි . එහි කඳ කොළ වලින් ගොටු සාදා තිබුනේ පුළුටු ආදිය වෙන් වෙන් වශයෙන් එක් කිරීමටය .
පුලුස්සනලද කොට්ටපොල් කැබලි පොල් අරක්කුවලින් පොඟවා පිදේනි තටුවේ ගොට්ටකට එක් කළේය .

පුළුටු සහ බත්ද , එළවලු 32 දමා සකසන ලද මාලුවද වෙන වෙනම ගොටු වලට බෙදුවේය . දිය මස් ,ගොඩ මස් වෙනමම බෙදුවේය . බුලත් පුවක් ලදපස්මල් වෙනමම ගොට්ටකට එකතු කළේය . කුකුලාගේ කකුල් ගැටගසා මල් යහන අසලින් තැබුවේය . රා පොල් කටු දෙකක් පිදෙන්නේ තැබුවේය. මීට අමතරව ගලක් උඩ රැඳී තිබුණු වතුර , ඇලක වතුර , ගඟක වතුර , ලුණු වතුර , පොල් වතුර වෙන වෙනම පොල් කටුවල දමා පිදෙනියේ තබන ලදී . පලතුරු ගෙඩි සෝදා හොඳින් පිරිසිදු කර කැබලිවලට කපා පිදෙනියේ ගොටු අතරින් එක් කළේය . පිදේනිය දැන් සම්පූර්ණය .

මෙසේ පිදේනි තටුවේ සියල්ලම එක් කර සැකසීමට පැයක් පමණ ගිය අතර පසුව සීයා සුදු සරම ඇඳ රතු රෙද්ද ඉනේ ගැට ගසා අත් සහිත බැනියම හැඳ ගැටගසා සිටි කොණ්ඩය ලෙහා දමා හිස දෙපසට ගස්සා කොණ්ඩය විහිදුවා නියම ගුරුන්නාන්සේ වෙස් ගත්තේය .

ගලගා ඌරච්චි කරන ලද දෙහඳුන් දියරය සහිත පීරිසිය අතටගෙන බුදුගුණ සහ මන්තර කියමින් මතුරා එම ස්ථානයේ සිටියුතු සියලු දෙනාගේම නළලේ තිලක තබන ලදී . එසේ කරන්නේ ගෙන්වීමට බලාපොරොත්තුවන දිෂ්ටි ආවේශ වීම වැළකීමටය . උදවු දීමට පැමිණි අනෙක් පිරිසට රංග භූමියෙන් ඉවත් වී තම නිවෙස් බලා යාමට අන කෙරිනි .

සීයා මගේ දෙස බලා මදක් සිනහවී

“අද මහසෝනා එනවා . හැමදාම කිව්වේ බලන්න ඕන කියලනේ . දැක්කොත් මට කියන්න”

බෙර කරුවන් දෙස හැරී

“කවියට හෙමින් තලනවා වගේ නෙවේ මන්තරේට තලපල්ලා අත පුරෝලා සුරල් . වැඩිය අත බර කරන්න උවමනා නෑ . දිෂ්ටිය ආවම බෙර පැලෙන්න ඉඩ තියෙනවා පුතෝ ”

අවවාද දීම අවසානය . දැන් ආතුරයා රංග භූමියට ගෙන්වා පැදුරක බිම හිඳුවන ලදී . සීයා ඇයගේ හිසට ඊ ගස තබා
“කරදර නොකර ඉන්න ඕනා ළමයා”

කියා සියල්ලන් සමග පන්සිල් ගැනීම ආරම්භ කළේය . පන්සිල් ගෙන අවසානයේ

සූනියම් දෙවියන් සඳහා සාදන ලද මල්යහනාවේ පහන පත්තු කර



ශිව මස්තු නමෝ රාමඃ
කඳ සේනා සමාගමඃ
වඩිග තන්ත්‍ර මනි කන්ටං
ඔඩ්ඩි මංගල නමෝ නමඃ

ආදී ශ්ලෝක කියා සූනියන් දෙවියන්ගෙන අවසර ගත්තේය . වින කැපීමකදී සූනියම් දෙවියන් විශේෂ කාර්යයක් ඉටු කරයි . හෙතෙම තෝල්කයාය . කතරගම දෙවියන් නඩු කාරයාය . යුක්තිය පසිඳින්නේ කතරගම දෙවියන්ය . විනය කැපීමට මතුරන විට සූනියන් දෙවියන් කතරගම දෙවියන්ට එම විනය පිළිබඳවත් එය සිදුකල , කෙරවූ සහ කැපීමට ඉදිරිපත් වී සිටින අය පිළිබඳවත් වෙන වෙනමම පරීක්ෂා කරනු ලැබේ . පසුව සාධාරණ පාර්ශවය තෝරා සූනිය්න් දෙවියන්ට දැනුම් දෙනු ලැබේ . මෙවිට සූනියම් දෙවියෝ අදාළ දිශ්ටියට කලයුතු දා පිළිබඳව එන කරනු ලැබේ . ඉන් පසුව එම දිෂ්ටිය දඬුවම් දීම සිදු කරනු ලබයි .

දැන් මේක ප්ලේ කරනගමන් කියෝගෙන යන්න






සීයා මගේ අතෙහි වූ හක්ගෙඩිය දැතින් ගෙන මල් යහන ඉදිරිපිට හිඳිමින් හූ……………………ස් ගා හුස්මක් ගෙන මහා හඬින් පිඹින්නට විය ….
එය පිඹ මා අතෙහි තබත්ම මහසොහොන් කවි ගයනාව ආරම්භ විය . වස්දන්ඩ පිඹිමින් මෙසේ කවි ගායනා කරන අතරතුරේ ගුන් ගුන් ගුගුඳ රූං ගත ගුගුඳ ගාමින් බෙර වාදනයද ආරම්භ විය .




මදක් වෙලා යනවිට යක් බෙරයේ අද්භූත හඬ විහිදුවමින්
ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්………රූන්…… ලෙස සුරල් වැයෙමින් බෙර හඬේ සැර වැඩි විය . සීයාගේ මන්තරවල හඬද වැඩි වෙන්නට විය .

“………….. එක්මන්සල යක්ෂයා වර දෙමන්සල යක්ෂයා වර තිස්දහසක් මහසොහොන් පිරිවරන් මහසෝනාවර අමුසෝනවර ලේසෝනාවර ජයසෝනාවර අකාස භවනේ පිල්ලි කට්ටී වරෙන් කඳ කුමාර අවතාර පිල්ලි කට්ටී වරෙන් නාග අවතාර පිල්ලි කට්ටී වරෙන් වෙසමුණි අවතාර පිල්ලි කට්ටී වරෙන් ගෝඩිම්බර දේවතාවාගේ අනින් රත්නකාර දේවතාවගේ අනින් ගජකුම්බකාරී දේවතාවියගේ අනින් ආරූඩ පත්ම කවිලාසනේ කරකවා මෙරඟ ඇදුරා කී බස් අසා දොළ පිදේනි ගන්න කෝලි අවතාරෙන් වර වර විපුල මහසොහොන් දිෂ්ටී වරෝ…………..”

පැයක් පමණ සීයා නොනවත්මා මතුරත්ම ශ්……………. ගාමින් ආ සුළඟ එකවරම මහා මාරුතයක් වී පන්දම් විලක්කු පහන් සියල්ල නිවී ගියේය .
සීයා මැතිරීම නවත්වා පිදේන්න අසල සිටි මා එක් අතකින් අල්ලා පසුපසට කළේය . ඒ මොහොතේ සීයාගේ ඇස් අමුගොරකා මද දෙකක් මෙන් රත් පහ ගැන්වී තිබෙනු මම දුටුවෙමි .

එක් බෙර කරුවෙකුගේ බෙරය ” බ්ලොබ් ” හඬ නංවමින් පැලිනි . ඒ නිමිත්ත අනුව සීයාගේ අනාවැකිය හරිය මහසෝනාගේ අවතාරය දැන් කරලියට ආයුතුය .

කළු පැහැති අශ්වයෙකුගේ පිටේ නැගගත් සුදු රෙද්දක් ගෙලේ සිට පාදය දක්වා පොරවාගත් කෙනෙකු මැවී පෙනිණි . මම සීයාගේ අත අල්ලා “මේ…………” කියනකොට සීයා “ඔව්”කියා මම බය වේ යන සැකයට සීයාගේ කරේ වූ සුරය ගලවා මගේ කරට දමා බලාගත්වනම බලාගෙන සිටියේය .



සුදු හැඳ සිටි මහසොහොන් දේවතාවාගේ ශාන්ත බැල්ම එතරම් නපුරු නොවිණි . ඔහු තමාගේ පිසාච සේනාවද සමග අසු පිටින් පැමිණ සිටියේය. මද වේලාවකින්ම බෙර හඬ නැවත්තවූ සීයා

“දෙයිහාමුදුරුවනේ පිදේනිය බාරගන්න”

කියමින් අචාර කළේය . අවතාරය එවිට

“අරනෝලිස්……. හඃ හඃ හඃ හඃ හා………… ”

පමණක් කියා ක්ෂණිකවම අප අසා තිබෙන හිස නැති ගිනි කබලක් අතින් ගත් රෞද්‍ර අවතාරය බවට පත්විය . අශ්වයා සහ පිසාචයින් අතුරුදන් විය .
හෙතෙම තම අසිපතින් කුකුළාට පහර දුන්නේය . කුකුලා කෑගසා එකවරම නිහඬ විය . ඌ අවසානය . අවතාරය ඉන්පසු පිදේනිය වෙත පැමිණ පොල් කැබලි , පුළුටු ආදිය කන්නට පටන් ගත්තේය . එහි තබා තිබුණු බිත්තර එක එක පිපිරිණි .





මෙය පෙන්නේ සීයාට හා මට පමණද ? බෙරගල මාමා සහ අනෙක් බෙරගසන්නන් මෙන්ම නිවසේ අයද නිසොල්මනේ සිටී .

ආතුරයාගේ සුවපත් කිරීමේ කටයුත්ත දැන් කල යුතුය . විනය හෝ සිදුවී ඇති බන්දනය ආපිට යන ලෙස කපන්නට හනුමා අන්ජනමෙදී කීවේය. එබැවින් මහසෝනා පිදේන්න ගන්න අතරේ සීයා පැන් බඳුනක් ගෙන මතුරා පැත්තක තබා නිවුණු විලක්කු පන්දම් නැවත ආලෝකමත් කළේය .

“මට සිහිය නැති උනොත් මේක ඉහින්න” කියා මට අන කර
පැදුරක් එලා බිම දිගා විය . පපුව උඩින් ලැල්ලක් තියාගත් පසු මම මල් තටුවක් සහ ඒ මත අළු පුහුල් ගෙඩියක් තැබුවෙමි . අනතුරුව සීයා මට කඩුව අතට ගන්නට කියා



“රුවන් දොර පෙරලෙයි අඩා පෙරලෙයි” කියන තැන ඇසුණු විගසම එක පහරින් පුහුල දෙපලු කරන්නට කීවේය .

සීයා නැවත මතුරන්න ගත්තේ බෙර වාදනය ඇරඹීමට සංඥාව දෙන අතරදීය .
අවතාරය පිදේන්න අසල සිට දැන් බන්දනය සහිත බට පුරුක වලලා ඇති තැනට ගොස් ඇත . මං කඩුව අමෝරා අවතාරය දෙසත් සීය දෙසත් බලමින් සිටී .
මන්තර හඬ වැඩිවත්ම ආතුරයා නැගිට නටන්නට පටන් ගත්තේය . මේ අතර සීයා

“…….. කුදිරගිනි හංසවතී චායා රූප හිරු දපනේ විසගිනි උගුල්ලා ආතුර ප්‍රාණය හැර මහසෝන් යක්ෂයා වින කල ඇදුරා ඇදුරී බලා පලයන් රාවණාගේ යගල් කෝවිලේ ඇණ යතුරු පුපුරවා මහසෝන් අවතාර යක්ෂයෝ අටදෙනා වින කල ඇදුරාගේ හර්දය පලා රීරි බීගන් අතුරයා අතහැර පලයන් දේවතාවා පලයන් ඊස් බ්‍රීස් ක්‍රැර ක්‍රාම් මමුර්තු කිඩ ඔට්ටු උච්චාටන අෂ්ට ගතේන්ද්‍ර අටකොනට හැරී විනගිනි කඳ උගුලුවා රුවන් කඩුව ගෙන රාවණාගේ යගල් කෝවිලේ රුවන් දොර අසල තබා වින ගිනිගන් පොහ් කියා කැපූ රුවන්දොර පෙරලුමයි මේ කපන්නේ රුවන්දොර පෙරලෙයි අඩා පෙරලෙයි…………..

කියත්ම මම අත බරකර කඩුවෙන් පුහුලට ගැසුවෙමි .
“චස්”
හඬ නංවමින් පුහුල දෙපලු විය . සියාතු මාමගේ දුව එකවර සිහිය නැති වී වැටිණි . මහසෝන් අවතාරය නොපෙනී ගියේය . සීයාගේද සිහිය නැතිවිය . මම ඉක්මනින් පැන් බඳුනෙන් සීයාගේ මුහුණට පැන් ඉස්සෙමි . සීයාට සිහිය ආවේය . පසුව සීයා ආතුරයාට පැන් ඉස්සේය . ආතුරයාද පියවි සිහිය ලද්දේය . සියල්ල සිදුවී හමාරය .
සීයා පිරිත් කියා පිරිත් පැන් මුළු වත්ත පුරාම ඉසින ලදී.

“එහෙනම් සියාතුවෝ ඔන්න දුවට සනීපයි . මම අද මලානම් උඹලට ගුරෙක් නෑ ආයේ මේ කොල්ලා ලොකු වෙනකන්”
කියලා සියාතු මාමාට මාව පෙන්නා සිනහවක් පෑවේය .

පිදේනිතටුව  සිවුමන්සලක තැබීමටත් තවත් දේවල් ගොන්නක් ගඟට දැමීමටත් සීයා සියාතු මාමාට අණ කලේය . පසුව එදා කිනිස්සෙන් සීමාකළ ස්ථානය තමා විසින්ම හාරා  එහි වලලා තිබුණු බට පුරුක ගොඩ ගත් සීයා එහි ඇත්තේ කුමක්දැයි පරීක්ෂා කළේය . එහි වූයේ යන්ත්‍රයක් අඳින ලද පුස්කොලයකි . සීයා එයද ගඟට දැමීමට දුන්නේය .

මහසෝන් අවතාරය දැන් සියාතු මාමගේ දුවට හූනියම් කල ඇදුරා සොයා යනු ඇත . ආපිට කැපීම සම්පූර්ණය . තව දින කීපයකින් පව්කාර ඇදුරෙකු තීන්දු ගමනේ යනු ඇත . සීයා කොඩි වින කිරීමට ඉදිරිපත් නොවන්නේ කැපීමෙන් තමාට එය ආපිට ඒම වලක්වන්නට නොහැකි බව දන්නා හෙයින් වියයුතුය .

සීයා සියාතු මාමාගේ දුවගේ අතට ඊගහ දී “යන්න දුවේ ගෙට” කියා කීවේය . ඇය සීයාට වැඳ ඊ ගහ අතට රැගෙන ගෙට ගියේය .



සියාතු මාමා සහ නැන්දා සීයාට වැඳ පින් දුන්හ . මටද එම පින් අනුමෝදන් විය .

බෙරගල මාමාත් අනෙක් බෙර කරුවන්ටත් සීයා පඬුරු දුන්නේය . මට සිතෙන්නේ සීයා එකවරම අතුරයා සනීප කරනවාත් සමගම සීයාට කිරීමට උවමනා වී තිබුණු පිදේනිය දීම සිදු කල බවයි .

දැන් එළිවෙන්නට ආසන්නය . සියාතු මාමාගේ බිරිඳ සාදා දුන් තේ පැන් සංග්‍රහය භුක්ති විඳි අපි එලිය වැටීමට පෙර ගෙන ආ අඩුම කුඩුමද රැගෙන වලව්වේ කරත්තයෙන් නිවෙස් බලා පිටත් විය . සීයා මා දෙස බලා සිනහ වී

අද දැක්කා නේද ? කියා ඇසුවේය.

මම හිනා උනා මිස ඒ පිලිබඳ කිසිවක් කිව්වේ නැත . මට සිතාගත නොහැකි එකම දේ මට හා සීයාට පමණක් එය පෙනීමයි .
ටික දුරක් යන විට සීයා මහසෝනාගේ කවියක් කීමට පටන් ගත්තේය

තෙදින් දිනිදානන් යදින් දිනිඳු කරානන….. ආ………
විකුම් මුනිඳානං වඩින් තෙද ගෝඩිම්බරාන.. ආ……
සෝම දන්තයන ඉසිවරා හට දා වුන…….. ආ………..
ගජකුම්බකාරියන බිසව කුසේ වරෙක ඉපදුන…. ආ…….


තවත් කතාවකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිද...

ඓතිහාසික සමන් දේව ප්‍රතිමාව







සමන් දේවාලේ යන්න කියලා දවසේ වෙලාවක් වෙන් කරලා තිබුණට මොකද අද දේවාලේ යන්න උනේ නැහැ . එක එක වැඩ ගොඩක් වැටුණ නිසා ඒවා කරනකොට දවල් වෙලා . දවල් වෙලා දාඩිය පෙරාගෙන දේවාලේ ගියාම එපා වෙනවා . ඉතින් මම කල්පනා කරා දේවාලේ යන්න වෙන් කරපු මේ වෙලාව දෙවියන් වෙනුවෙන්ම කැප කරලා සමන් දෙවියන් ගැන ලිපියක් ලියන්න .

මේ ගැන ලියන්න ලියන්න කියලා වද කරේ අපේ සිංදු අයියාගේ මල්ලි , සිංදුමල්ලි . විස්තර එකතුකරගෙන හිටියට ලියන්න වෙලාවක්වත් ලියන්න මූඩ් එකක්වත් තිබුණේ නෑ . ඒ නිසා තමයි කල් ගියේ . ඉතින් අද මම මේ කියන්න යන්නේ රත්නපුරේ අපිට වඩාත් වැදගත් වන ඒ වගේම ලංකාවේ හැමෝටම වැදගත් වන ශ්‍රී පාදස්ථානයේ සමන් දේවාලයේ ශ්‍රී පාද වන්දනා කාලයට වැඩ හිඳින ශ්‍රී පාද අවාරයේ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ වැඩ හිඳින සමන් දේව ප්‍රතිමාව ගැන විස්තර ටිකක් .




කවුරුත් මේ ගැන කතා කරාට , හැම අවුරුද්දකම සමන් දෙවියන් වැඩම කරවන පෙරහරට සහභාගී වෙලා පඬුරක් දාලා දෙවියන්ගෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරාට , මම දන්නවා මේ ප්‍රතිමාව පිටුපස සැඟවිලා තියෙන තොරතුරු දන්නේ අඩුවෙන් කියලා . ඒ නිසා මම මෙතන ඒ විස්තර සටහන් කරනවා හැමෝටම දැනගන්නත් එක්ක .

මම බ්ලොග් ලියන්න ඇවිත් ඉස්සෙල්ලම ලිව්ව ලිපියේ මම ලිව්වේ සමන් දෙවියන් ගැන . මේ තියෙන්නේ ඒ ලිපිය  . ඉතින් මේ ලිපියේ කියවිලා තියෙන හැටියට දඹදෙණි යුගයේ හිටපු දෙවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ අනුග්‍රහයෙන් තමයි සබරගමු මහා සමන් දේවාලය නිර්මාණය කරලා තියෙන්නේ . ඔයාලට මම මෙතන විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ සබරගමු මහා සමන් දේවාලය නිර්මාණය වෙන්න කලින් මෙතන තිබිලා තියෙන්නේ සමන් විහාරය කියලා පන්සලක් . මේ සමන් විහාරයට සමන් විහාරය කියලා නම ලැබෙන්න කලින් කියලා තියෙන්නේ සපරග්‍රාම විහාරය කියලා .

මේ සපරග්‍රාම විහාරය දුටුගැමුණු රජතුමාගේ කාලේ පවා තිබුණා කියලා යම් යම් සටහන් වලින් ඔප්පුවෙනවා කියලා මම අහලා තියෙනවා . ඉතින් ඒ කෙසේ වෙතත් කමක් නැහැ මම මේ කියාගෙන ආවේ , දෙවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ ඇමති කෙනෙක් වෙච්ච ආර්යකාම දේව ඇමති තුමා රත්නපුරේ සමන් දේවාලය හැදෙව්වා වගේම ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවේ සමන් දේවාලයකුත් නිර්මාණය කෙරෙව්වා . මේ සිද්දිය සිද්ද උනේ ක්‍රිස්තුවර්ෂ 1200ගණන්වල  . ශ්‍රී පාදස්ථානයේ හදවපු අන්න ඒ සමන් දේවාලයේ දේව මණ්ඩපයක් ඉදි කරවලා සමන් දෙවියන්ගේ සුදු හඳුන් දැවයෙන් කරවපු සමන් දේව ප්‍රතිමාවක් තැම්පත් කරවනවා . ඒ සමන් දේව ප්‍රතිමාව රන් රිදී මුතු මැණික් සහ වටිනා දියමන්ති වලින් අලංකාර කරවලා තැම්පත් කරවලා තියෙනවා .




මුලින්ම දෙවෙනි පරාක්‍රමභාහු රජතුමා ආර්යකාමදේව ඇමති තුමාට කියනවා ශ්‍රී පාදස්ථානයේ සමන් දේව ප්‍රතිමාවක් තැම්පත් කරවන්න කියලා . ඉතින් එහෙම කිව්වට දේව ප්‍රතිමාවක් නිර්මාණය කරන්නත් ඕන නේ තැම්පත් කරන්න . ඉතින් ආර්යකාමදේව ඇමති තුමා කරන්නේ බෝතලගම කියන ගමේ නැවතිලා ඉඳගෙන සුදු හඳුන් අරටුවකින් සමන් දෙවියන්ගේ ජීවමාන රූපය මනාව විදහාපාන අන්දමට මේ සමන් දේව ප්‍රතිමාව නිර්මාණය කරවපු එක . දේව ප්‍රතිමාව නිර්මාණය කරාට පස්සේ බෝතලේ ගම ඉඳලා මේ දේව ප්‍රතිමාව සමන් දේවාලයේ උඩ මළුවට වැඩම කරවලා තියෙන්නේ මහා පෙරහරකින් . තැනින් තැන ගිමන් හරිමින් , සමන් දෙවියන්ට පුද පූජා පවත්වමින් තමයි අවසානයේ මේ ප්‍රතිමාව ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවේ තැම්පත් කරලා තියෙන්නේ . ඒ කාලයේ සමන් දෙවියන් වැඩම කරවන්න බෝතලේ ගමේ ඉඳලා ශ්‍රී පාදස්ථානයට තියෙන පාර අලංකාරව සැරසුවා කියලා සඳහන් වෙනවා .

එදා ඉඳලා දැන් අද වෙනකොට අවුරුදු අටසීයක් විතර වෙනවා . අදත් අපි සමන් දෙවියන් වෙනුවෙන් ශ්‍රී පාදස්ථානයේදී වන්දනාමාන කරන්නේ මෙන්න මේ සමන් දේව ප්‍රතිමාවට තමයි . ඉතින් මම දැන් කියන්නම් මේ ප්‍රතිමාව කොහොමද පැල්මඩුල්ලට වැඩම කෙරෙව්වේ කියලා .

මේ ප්‍රතිමාව ශ්‍රී පාදස්ථානයේ තැම්පත් කලාට මොකද අවාරයේදී මේ ප්‍රතිමාවේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන උනා . ඉතින් ඒ වෙනුවෙන් තමයි පලාබද්ගල රාජමහා විහාරය නිර්මාණය කලේ .

සමන් දෙවියන්ගේ දේව ප්‍රතිමාව ශ්‍රී පාද වාරයේ උඩමලුවේත් අවාරයේ පලාබද්ගල රාජමහා විහාරයේත් තැම්පත් කිරීම සම්ප්‍රදායක් වෙලා තිබුණා . ඒ සම්ප්‍රදාය රාජ රාජ මහාමාත්‍ය වරුන්ගේ අනුශාසනා අනුග්‍රහය ඇතිව නොකඩවාම කරගෙන ආවා . ඒත් ඒ සම්ප්‍රදාය වෙනස් වුනේ ඇයි කියලා හේතුව හරියටම කියන්න දන්නේ නැති උනත් ක්‍රිස්තු වර්ෂ 1934 සිඩ්නි එල්ලාවල මහත්මයාගේ ප්‍රදානත්වයෙන් සමන් දේව ප්‍රතිමාව පලාබද්ගල රාජමහා විහාරයේ ඉඳලා පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරයට වැඩම කෙරෙව්වා .





ආරක්ෂාව වෙනුවෙන් එහෙම කරා කියලා සඳහන් වුනාට තවත් මොනවා හරි හේතු තියෙන්න ඇති කියලා මගෙ හිත කියනවා . මොකද ඒක සම්ප්‍රදායක් , චාරිත්‍රයක් වෙනස් කරන්න තරම් හේතුවක් වෙන්න ඕන නිසා . කහොමහරි අද පැල්මඩුල්ලේ වැඩ ඉන්නේ එදා ආර්යකාමදේව ඇමති තුමා ශ්‍රී පාදස්ථානයේ තැම්පත් කරපු සමන් දේව ප්‍රතිමාව . මේ ප්‍රතිමාව එක්ක 1930 ගණන් වල රිදී වලින් හදපු සමන් දේව ප්‍රතිමාවකුත් ශ්‍රී පාදස්ථානයට වැඩම කරවන්න පටන්ගෙන තියෙනවා .

මම මුලින් කිව්වා ඔයාලට රත්නපුර සබරගමුව මහා සමන් දේවාලය ගැන . ඒ කාලේ සපරග්‍රාම විහාරයේ හිටපු හාමුදුරුවරු ශ්‍රී පාදස්ථානයේ වන්දනාවේ යනකොට එක හාමුදුරු කෙනෙක් හිටියා සීලවංශ කියලා . මෙන්න මේ හාමුදුරුවන්ට ලැබෙනවා සුදු හඳුන් වලින් නිර්මාණය කරපු සමන් දේව ප්‍රතිමාවක් . මේ ප්‍රතිමාව උන්වහන්සේට අහම්බෙන් ලැබුණා කියලා කියනවා . දවසක් මේ හාමුදුරුවන්ට හීනෙන් පෙනිලා තියෙනවා ශ්‍රී පාද කන්දේ ගල් ගුහාවක සමන් දෙවියන්ගේ ප්‍රතිමාවක් තැම්පත් කරලා තියෙනවා . ඉතින් උන්වහන්සේ විශාල පිරිසක් යොදවලා මේ ප්‍රතිමාව හොයනකොට ගල් ගුහාවක තිබිලා සමන් දේව ප්‍රතිමාවක් හොයාගත්තා . පස්සේ ඒ ප්‍රතිමාව ශ්‍රී පාද කන්දේ ඉඳලා පෙරහරකින් සබරගමුව මහා සමන් දේවාලයට වැඩම කරවලා තැම්පත් කරලා පූජෝපහාර දක්වලා එතන සමන් දෙවියන්ට කැපවුණු ස්ථානයක් වගට සනාථ කරලා තියෙනවා .







තව මතයක් තියෙනවා දේවප්‍රතිරාජ ඇමති තුමා සමන් දේව ප්‍රතිමා දෙකක් නිර්මාණය කරවලා ශ්‍රී පාදස්ථානයේ තැම්පත් කළා , ඒවායින් සීලවංශ හාමුදුරුවෝ එකක් ගත්තා කියලා . ඒ කහොමහරි සීලවංශ හාමුදුරුවෝ ශ්‍රී පාදස්ථානයේ ඉඳලා සුදු හඳුන් වලින් නිර්මාණය කරපු සමන් දේව ප්‍රතිමාවක් සපරග්‍රාම විහාරයට වැඩම කරවනවා . සමන් දෙවියන් සෝවාන් ඵලයට පැමිණි දෙවි කෙනෙක් නිසා වෙන්නැති සීලවංශ හාමුරුවො එහෙම කරන්න ඇත්තේ . මේ දේ සිද්ද උනෙත් ක්‍රිස්තු වර්ෂ 1200 ගණන්වල දෙවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ කාලේ .


ඉතින් එදා ඉඳලා සප්‍රග්‍රාම විහාරය සමන් වෙහෙර බවට පත් වුනා . ඊට පස්සේ ආර්යකාම දේව ඇමතු තුමා සමන් දේවාලය නිර්මාණය කරවලා තමයි අද තියෙන සමන් දේවාලය නිර්මාණය කරන්න අඩිතාලම දැම්මේ. මම ඒ කතාවත් කිව්වේ සමන් දෙවියන් එක්ක බැඳිච්ච ඓතිහාසික සුදු හඳුන් දේව ප්‍රතිමා දෙකක් වැඩ ඉන්නවා කියල ඔයාලට කියන්න ඕන නිසා . එකක් ගල්පොත්තාවල විහාරයේ ඉඳලා ශ්‍රී පාදස්ථානයට වැඩම කරවන ප්‍රතිමාව . අනික තමයි සබරගමුව මහා සමන් දේවාලයේ වැඩ ඉන්න සමන් දේව ප්‍රතිමාව .





එහෙනම් මම කියන්නම් සමන් දේව ප්‍රතිමාව ගල්පොත්තාවල රජමහා විහාරයේ ඉඳලා ශ්‍රී පාදස්තානය්ට වැඩම කරවන්නේ කොහොමද කියලා . දෙසැම්බර් මාසේ පෝයට තමයි ශ්‍රී පාද වාරය පටන් ගන්නේ . ඉතින් පෝයට දවස් දෙකකට කලින් මේ පෙරහැර සූදානම් වෙනවා . පෝයට කලින් දවසේ පෙරහැර පිටත් වෙනවා . ඉස්සෙල්ලම හක් ගෙඩි සහ හේවිසි වාදනය කරමින් දේවාලය විවෘත කරලා ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනා කරලා සමන් දෙවියන්ට පින් අනුමෝදන් කරනවා . ඊට පස්සේ ශ්‍රී පාදස්ථානයේ සමන් දේවාලයේ ඉන්න කපු මහත්මයා යාතිකාවක් කරලා සමන් දෙවියන්ට ආරාධනා කරනවා ශ්‍රී පාද වාරය ආරම්භ කරන්න ශ්‍රී පාදස්ථානයට වඩින්න කියලා , ඊට පස්සේ තමයි පෙරහැර ආරම්භ වෙන්නේ . හේවිසි ගහමින් පිරිත් දේශනා කරමින් මේ පෙරහැර ගල්පොත්තාවල රජමහා විහාරයේ ඉඳලා සබරගමුව මහා සමන් දේවාලයට වැඩම කරවනවා .

සබරගමුව මහා සමන් දේවාලයේ වාහල්කඩ ළඟ දේවාභරණ වැඩම කරවන රථය නතර කරාට පස්සේ සමන් දේවාලයේ තේවාව භාර හේවිසි කණ්ඩායම පහලට ඇවිත් මේ සමන් දේව ප්‍රතිමාව සමන් දේවාලයේ උඩ මළුවට හේවිසි හා හක්ගෙඩි වාදනය කරමින් වැඩම කරවාගෙන යනවා . පස්සේ දේවාලයේ පූජාවන් තියන මණ්ඩපය උඩ මේ දේව රූප සහිත දෝලාවල් තැම්පත් කරලා මහා සංඝ රත්නය සෙත් පිරිත් දේශනා කරනවා . ඊට පස්සේ සබරගමුව මහා සමන් දේවාලයේ කපු මහතා යාතිකාව කරලා සමන් දෙවියන්ට නැවතත් ආරාධනා කරනවා ශ්‍රී පාදස්තානය්ට වඩින්න කියලා . ඊට පස්සේ ඒ දෝලාවල් ආයෙත් දේවාලයේ ඉඳලා පහලට වැඩම කරවන්නේ සමන් දේවාලයේ තේවාව භාර හේවිසි කණ්ඩායම . ඊට පස්සේ පෙරහැර ශ්‍රී පාදස්ථානය දක්වා ගමන් ආරම්භ කරනවා .






මේ ගමන් කරන අතරවාරයේ මග දෙපස මහා ජනතාවක් පුජාවට්ටි තියන්න පඩුරු දාන්න පෙළගැහිලා ඉන්නවා . නල්ලතන්නියේ ඉඳලා මේ පෙරහැර ගමන් කරන්නේ පයින්මයි . දේව රූප සහිත දෝලාවල් කර තියාගෙන හේවිසි මැද්දේ මේ පෙරහැර ගමන් කරනවා . පෙරහරේ වැදගත්ම අංගයක් තමයි සමන් දේව ප්‍රතිමා දෙක සීත ගඟුලේ ජලයෙන් ස්නානය කරවීම . මේ වෙලාවට දේව රූප සුදු රෙදිවලින් වට කරලා තමයි මේ දේ කරන්නේ . . ස්නානය කිව්වට ඉහෙන් කනෙන් වක්කෙරෙන්න වතුර නාවන්නේ නෑ . සීත ගඟුලේ ජාල බින්දුවක් දේව රූපයේ ගලවලා මේ ස්නානය කිරීම සංකේතවත් කරනවා . ඊට පස්සේ දේව රූප උඩමළුවට වැඩම කරවා ගෙන ගිහින් ශ්‍රී පාදස්ථානයේ උඩමළුවේ තැම්පත් කරනවා . ආයෙත් මේ දේව රූප ගල්පොත්තාවලට වැඩම කරවන්නේ ශ්‍රී පාද අවාරය ආරම්භ කරන වෙසක් පෝය දවසට .

ළඟදී ඉඳලා මේ දේව රූප දෙක ඒ කියන්නේ සුදු හඳුන් දේව රූපය සහ රිදී දේව රූපය වැඩම කරවන්නේ රජමාවතෙන් සහ හැටන් පාරෙන් . වෙනදා එකම පාරකින් වැඩම කරවපු පෙරහැර දැන් කොටස් දෙකකින් තමයි උඩමළුවට ගමන් කරන්නේ . ඒකෙ යම් හොඳක් මම දකිනවා . ඒ එතකොට දෙපැත්තේම ඉන්න අයට මේ පෙරහරට සහභාගී වෙලා ආශිර්වාද ගන්න පුළුවන් නිසා.

මේ සමන් දේව රූපය ඉස්සරම කාලේ පැල්මඩුල්ලේ ඉඳලා ශ්‍රී පාදස්තානය්ට වැඩම කරවලා තියෙන්නේ පෙරහරකින් නෙවෙයි . බස් එකේ තමයි වැඩම කරවලා තියෙන්නේ . කපු මහත්තයා මේ දේව රූපය තවත් සේවකයින් එක්ක බස් එකේ තමයි වැඩම කරවලා තැම්පත් කරනවා කියන්නේ . දවසක් මෙහෙම දේව රූපය වැඩම කරවන වෙලාවේ මේ සේවකයෙක් මේ දේව රූපය සහිත මංජුසාව කරවල කඩයක කරවල කූඩයක් උඩ තියලා මහන්සි නිසා . ඔන්න ඒවෙලාවේ මහා හුළඟක් ඇවිත් ඒ කරවල කඩේ වහල හුළඟට ගහගෙන ගිහිල්ලා . පස්සේ කපු මහත්තයා සමාව ගත්තට පස්සේ තමයි හුළඟ අඩුවෙලා ශ්‍රී පාදස්ථානය දක්වා යන්න පුළුවන් වෙලා තියෙන්නේ . ඒ නිසා මේ දේව රූපය එසේ මෙසේ දේව රූපයක් නෙවෙයි . දෙවියන්ගේ බැල්ම නොඅඩුව ලැබෙන දේව රූපයක් .

හැම අවුරුද්දකම වගේ සමන් දේවාලයේදී මේ පෙරහරට මමත් සහභාගී උනා . ඒත් මේ අවුරුද්දේ සහභාගී වෙන්න උනේ නෑ . කොළඹ ඉඳලා රත්නපුරේට එනකොට සමන් දෙවියෝ ශ්‍රී පාදස්ථානයට වැඩලා . ඊළඟ පෙරහරටවත් එන්න ඕන කියලා හිතාගෙන මම මෙතනින් මේ ලිපිය අවසන් කරනවා .





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

සමන් දේවාලේ යන්න කියලා දවසේ වෙලාවක් වෙන් කරලා තිබුණට මොකද අද දේවාලේ යන්න උනේ නැහැ . එක එක වැඩ ගොඩක් වැටුණ නිසා ඒවා කරනකොට දවල් වෙලා . ...

සර්පවෙද දූතලක්ෂණ විජ්ජාව






ලියන්න කලින් මූලාශ්‍රයත් කියන්න එපාය . විසවෙදකම ගැන පොඩි අයිඩියා එකක් ලබාදුන්නේ අපේ ආච්චිඅම්මා . ආච්චිඅම්මා විසවෙදකම කරපු පවුලක කෙනෙක් . ඒ නිසා එයාට විස වෙදකම , සර්පයින් ගැන පැහැදිලි අවබෝධයක් තිබුණා . සර්පයින් දෂ්ට කලාම ඉහට නගින මරුවිස බස්සන්න ආච්චි අම්මට හැකියාවක් තිබුණා . ලොකුවට වෙදකම කරේ නැති උනාට ආච්චිඅම්මා බෙහෙත් කරලා මතුරලා විස බස්සපු උන්නැහේලා තාමත් අපේ ගමේ ඉන්නවා . ගිය අවුරුද්දේ සිංහල අවුරුද්ද දවසේ අපේ ගෙවල් කිට්ටුව නැන්දා කෙනෙක් ගරුඩෙක් කාලා ගොඩක් අමාරු උනා . ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් අරන් ආවත් විස බැහැල තිබ්බේ නැති නිසා වේදනාව වැඩිවෙලා කෑගගහා තමයි එයා හිටියේ .

එවෙලේ ගමේ ගොඩක් අය ආච්චිඅම්මව ආදරෙන් මතක් කළා හාමිනේ අදත් හිටියනම් කියලා . හාමිනේ නැතුවට මුනුබුරා ඉන්නවා කියලා උන්දලට අමතක වෙලා වෙන්නැති . හැක හැක හැක.......... හැබැයි අන්තිමට වයලීනෝ වෙදමහත්මයා ගමේ සියල්ල විසිර යනකන් ඉඳලා ගෙදර ඇවිත් රත්හඳුන් එකතුකරපු බෙහෙතක් හදලා මමම ගාලා වැඩේ ගොඩ දැම්මා . මොකද ඒ නැන්දා තමයි වයලීනෝ වෙදමහතා බබා කාලේ නෑව්වේ . විස වැඩිවෙලා කෑගහනවා බලාගෙන ඉන්නත් බැහැ ඒ නිසා .







ආච්චිලාගේ පරපුරේ අය වෙදකම කරනකොට සර්පයා ආයෙත් ගෙන්නවලා ඌ ලවාම විස උරවලා ඌව යවන්න දැනගෙන හිටියා  . නයි විස බස්සන්න තමයි ඒ දේ වැඩිපුරම කරලා තියෙන්නේ . 

මේ දූත ලක්ෂණය ගැන නම් ආච්චි අම්මා මට පාඩම් කෙරෙව්වා පොඩි කාලෙම . ඕක කියලා දුන්නෙත් පට්ටම සිද්දියක් වෙච්ච දවසක . අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා හොඳ සයිස් නයෙක් . පොර වෙළඳ කුලේ නැත්නම් ගොවි කුලේ . දවසක් නයා ගෙවල් කිට්ටුවට ඇවිත් වටේ පිටේ කස්ටිය හොඳටම කුලප්පු උනා . ඌ කෑවනම් එතනම පරලොව යන සයිස් එකේ නයෙක් ඌ . එතකොට මම 6 වසරේ විතර .







එදා මමත් එළියට බැහැලා නයා දිහා බල බල ඇවිද ඇවිද හිටියා . කවුරුහරි ඌට වැලි අහුරක් ගැහුවා විතරයි හම්මටසිරි , මූ කිස් ගාලා ආවා මගේ පැත්තට . මට දුවන්නේ කොහාටද කියලා අමතක උනා . මම ඌව මගඇරලා දුවන්න පටන් ගත්තේ මගේ කකුල් වලට අඩියක් විතර දුරට ඌ ආවට පස්සේ . ඒ නයා තාමත් අපේ ගමේ ඉන්නවා . අව්ව තපින්න සමහර දවස්වලට මෙයා එනවා ගල් තලාවක් මුදුනට . කොච්චර උනත් තාම එයා මිනිස්සුන්ට කරදරයක් කරලා කියලා නම් ආරංචි නෑ . හැබැයි එයාට බුරපු බල්ලන්ට , හොටෙන් කොටලා ගේම ඉල්ලපු කුකුලන්ට එහෙම එයා ජම්බු දීලා තියෙනවා .

ඉතින් එදා ආච්චිඅම්මා මට හොඳටම දෙහි කැපුවා විසකුරු සත්තු එක්ක සෙල්ලම් කරන්න යනවා කියලා . ඊට පස්සේ මගෙන් ඇහුවා සර්පයෙක් කෑවට පස්සේ අඳුරගන්න දන්නවද කියලා . මම නෑ කිව්වට පස්සේ තමයි ආච්චිඅම්මා මේ කවි ටික කියලා දුන්නේ . ලියන්නේ නැතුව ගෝලයට කටපාඩම් කරවන්න ආච්චිඅම්මලා හොඳට දන්නවා . ඒත් මම ඒවා ලියලා තිබ්බා අමතක වෙයි කියලා . කිව්වත් වගේම මට දැන් ඒවා මතක නෑ හරියටම . ඇයි ඉතින් පාවිච්චි කරන්නෙත් නෑහැනේ .කාපු සර්පයා කවුද කියලා කියන්න ගණිත කර්මයක් තියෙනවා . ඒකත් මට ආච්චිඅම්මගෙන් හරියටම අහගන්න උනේ නෑ .

(ආච්චිලා ගණන් කරන්නේ අපි වගේ වම් අතේ මහපටගිල්ලෙන් පටන් අරගෙන නෙවෙයි . එයාලා ගණන් කරන්න පටන් ගන්නේ වම් අතේ සුලගිල්ලෙන් . ඊටපස්සේ දහයයි කියලා ගැනලා ඉවර කරන්නේ දකුණු අතේ සුලගිල්ලෙන්)

දූත ලක්සනේ කියලා තමයි ආච්චිඅම්මලා කියන්නේ මේ දූත ලක්ෂණ විජ්ජාවට . සර්පයෙක් කවුරුහරි කෑවට පස්සේ ඒගැන පණිවිඩය අරගෙන වෙද ගෙදරට එන්නේ දූතයා . උන්දා ඉන්න දිශාව , හැසිරෙන ආකාරය ගැන සලකලා බලලා තමයි මේ දූත ලක්සනේ හැදිලා තියෙන්නේ . සමහර වෙලාවල් වලදී වෙද මහත්තයා කියනවා දැන් ගිහින් වැඩක් නෑ කියලා .

සමහර වෙලාවට කියනවා ඉක්මනට යමු මෙච්චර් පැය ගානකට කලින් ගියොත් ලෙඩාව ගොඩ ගන්න පුළුවන් කියලා . එහෙම කියන්නේ මේ දූත ලක්සනෙත් එක්කම එයාලා පංචාංගය ගැනත් සලකලා බලලා .
පංචාංගය කියන්නේ මොකද්ද කියලා දන්නවද මෙයාලා . පංචාංගය කියන්නේ ජෝතිෂ්‍ය විජ්ජාවේ මූලික ඉගැන්වීම් විදියට හඳුන්වන

දින 
තිථි 
නැකත් 
යෝග 
කරණ

කියන මූලික සිද්ධාන්ත පහට . මේවා මත තමයි ගොඩක් දේවල් ගොඩනැගිලා තියෙන්නේ .

කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ වෙදකම කරන අය හරියට කම්පියුටර් වගේ , නැකත් උදාව බැසයාම ගැන කොයිවෙලෙත් හිතෙන් ගණනය කරනවා . එනිසා එයාලගේ ශාස්ත්‍රය කොයිවෙලෙත් අප්ඩේට් වෙවී තියෙන්නේ .

දූත ලක්සනේ කියන්න කලින් තවත් දෙයක් කියන්න ඕන . ඔයාලා මේක කියවලා ඉගෙනගත්තට කමක් නෑ . පොත්වල ප්‍රින්ට් වෙලා තියෙනවා දැක්කට  සයිබරේ දකින්න නොලැබුණ දෙයක් නිසා තමයි මෙහෙම කොටලා මේ දේවල් සයිබර්ගත කරන්න හිතුවේ .

ඒත් දැන් කාලේ මේවා මත තීරණ ගන්න එපා . මේ විද්‍යාව පදනම් වෙන්නේ සිංහල වෙදකම එක්ක . එයාලට තියෙන බෙහෙත් හේත් අනුව තමා ලෙඩා ගැන එයාලා තීරණ ගත්තේ . අනික වෙද ගුරුකුල වලට අනුවත් මේවා වෙනස් වෙනවා . එතකොට එක වෙදෙක්ට බේරන්න බැරි ලෙඩා වෙන වෙදෙක්ට බේරාගන්න පුළුවන් වෙනවා  . ඒ කෙසේ වෙතත් දැන් විෂ බස්සන්න බරහිට වෙදකමට පුළුවන් කමක් තියෙනවා . ඒ නිසා ඉස්සෙල්ලම පස්මහ බැලුම් බල බල ඉන්නේ නැතුව ලෙඩා අරගෙන දුවන්න ඉස්පිරිතාලේ .

ඊට පස්සේ ලෙඩාගේ ජීවිතය ස්ථාවර උනාට පස්සේ සිංහල වෙදකම හරහා ගිහින් ඉතුරුවෙලා තියෙන විසක් තියෙනවනම් ඒවා නැති කරගන්න බලන්න . මොකද සර්ප විසත් එක්ක අක්‍රීය වෙන්න ලොකු අවදානම තියෙන අක්මාව , මොලය , ස්නායු එක්කම වකුගඩු කියන ඉන්ද්‍රියයන් රැකගන්න අපි ඉක්මන් වෙන්න ඕන . එහෙම නැත්නම් ලෙඩාගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි .



ඉඳුරේ සිට කියති නයි වර්ගය කියනු
ගිනිකොණ වයඹ සවුම්‍ය පොළඟා කියනූ
වරුණ කරවැලුන් තෙලිසක් විස කියනු
ගෝනුසු ඉසානේ නියතයි දැන කියනූ

කර කරවැල් උර මාපිල් සබරලකී
දනය පොළොන් වැලමිට නම් තෙලිස්සකී
මූණ බලා රැවුදෙන නාගවිස යකී
මෙලෙස දුට නැතොත් විස නැති සර්පයෙකී

උනා වරල බඳිමින් ඔහු සිටින තැන
උඩ බිම ඉවත විමසා කඳුළු පිසිමින
දෑත දෙවර වසමින් ඔහු සිටින තැන
මෙලෙස දුටෝතින් ඔහු පැමිණි කාලෙන

උදුරා පයින් තණ නෙලමින් සිටින තැන
සොඳුරා ඇඟිල්ලෙන් වල සාරයි එතන
ඇදුරා දුටු කෙනෙක් මෙලකුණු දැන කියන
ඇදුරා කියයි නියතයි පැමිණි කාලෙන

නික්ම ඇදුරු එන යන අවුසදට දැන
දැක්ම පෙරමගට එති වැල් බාන ගෙන
ඉක්ම කළුවතක් ඇඳ දුනු ඊ රැගෙන
රැයක් තමයි මරුගෙන් ඔහුට කැප උන

සොහොන් පෙනෙල්ලක් සුරතින් දරාගෙන
යෙහෙන් දරද හිස්කළ උකුලෙන් රැගෙන
කියා යන ගමන් පෙරමග ගොස් අසන
නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින

සොහොන් පෙනෙල්ලක් අරගෙන එතෙයි දනු
කිළුටු වතයි හිසවට බැම්මයි බලනු
මෙවෙනි ලකුණු ඇතුවම ආ නන් කියනු
නසී තුන් පැයක් ඇතුවම මයි කියනු

වරලස උනා එනබව දැන කියමින්නේ
උතුරේ සිටගනමයි එය පවසන්නේ
වමේ පයින් බිම සාරයි නම් දන්නේ
එසේ දුටුවොතින් දෙපැයින් එනසින්නේ

විසගොර සර්පය කාපි කියන්නේ
එනලකුනෙන් ගුරුවර විමසන්නේ
වමතින් ඔහුගේ උරේ කසන්නේ
තිර සාරේ කරවලයි කියන්නේ

බිලිඳෙක් කැටුවම කතෙක්ද එන්නේ
ඇවිත් තමා ළඟ අඬා වැටෙන්නේ
මූනද පිසිමින් මෙලෙස කියන්නේ
රැවුදෙන නයිවිසමයි පවසන්නේ

ලකුණු අඟේ සොඳ ලෙසට බලන්නේ
දකුණු අතින් උගේ ළමැද කසන්නේ
නැගෙන දෙසේ සිට ගනම කියන්නේ
ලකුණු දෙසේ පොළඟා දැනගන්නේ

නූස් නුමිටි මිනිසෙක් දැන ගන්නේ
ගුරුවර ගෙදරද කියාන එන්නේ
ඉස අතගාමින් කියයි බොලන්නේ
මෙවෙනි ලකුණු මාපිලයි කියන්නේ

රණ දුටු මිනිසෙයි එයි ලසිනේයා
කම්මුල් කසමින් කියයි සොදේයා
එවෙනි ලකුණු දුටුවොත් ලසිනේයා
තිර සාරේ මාපිලි ලකුනේයා

ඇවිත් සිටින ඔහු උදර කසන්නේ
තැනක නොසිට ඇවිදිති දැනගන්නේ
බො සෝ දුකකි අදුරිනියි කියන්නේ
තිරසාරෙන් ගෙමිඩියයි බොලන්නේ

උකුලට අත ගසමින් පවසන්නේ
පමා නැතුව යන් ගුරුනි කියන්නේ
සතුරු භයක් මෙන් දුවගෙන එන්නේ
ඇඟේ ලකුණු සිකනලයි කියන්නේ

දෙවැලමිටක් කසමින්ම කියන්නේ
දෙපය කසාසිට ගනම කියන්නේ
අධික ගායමයි ගුරුනි කියන්නේ
ගත් කුණු මීවිස බවයි කියන්නේ

තිරසරුමක් සේ ඇස නොපෙනෙන්නේ
මුකුළු සිනාසී සිට පවසන්නේ
ලකුණු බලා සොඳ ලෙසට කියන්නේ
එවෙනි ලකුණු තෙලිසෙකි දැනගන්නේ


මේ තියෙන්නේ බෙහෙතක් .

කරඳද මීපොතු එක්කරගන්නේ
ඔලිඳ කොලත් සහ මුරුවට ගන්නේ
එකට කොටා ඔහු හට දීපන්නේ
පැණි රසනං නයි විස දැනගන්නේ

තිත්ත රසේ තෙලිසා දැනගන්නේ
කුණු රසනං කරවලා කියන්නේ
ඇඹුල් රසේ පොළඟා දැනගන්නේ
කසට රසේ කුණු මීය කියන්නේ

දිය රස දිවි මකුලුවයි කියන්නේ
කර රසනං සිකනලයි බොලන්නේ
කට දානං ගෙමඩියා කියන්නේ
මෙලෙසට විස බව බලනු කියන්නේ



මේ තියෙන්නේ ඒ දූත ලක්සනේ එන කවි . මීට වඩා වෙනස් විදිත් තියෙන්න පුළුවන් . දැනුම බෙදාගන්න කැමති අයට පුළුවන් ඒවත් බෙදාගන්න .

ඒවගේම මේවා මට කියලා දීපු ආච්චිඅම්මට මේ සසර ගමනේ කවදාහරි ආයෙත් අපිගාවට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ලියන්න කලින් මූලාශ්‍රයත් කියන්න එපාය . විසවෙදකම ගැන පොඩි අයිඩියා එකක් ලබාදුන්නේ අපේ ආච්චිඅම්මා . ආච්චිඅම්මා විසවෙදකම කරපු පවුලක කෙනෙක...

පරපුරක මතකය

කාලයක් තිස්සේ හිත හිත හිටියට මේ දේවල් වරින්වර මුහුණුපොතේ ෆොටෝස් දැම්මට බ්ලොග් එකට ඒවා අරගෙන එන්න කාලයක් ගතවුණා . සීයා සහ මුනුබුරා කතා මාලාව ආදරයෙන් වැළඳගත්ත අයට මම අද ඒ අය පාවිච්චි කරපු , ඒ අයගේ ගුණ සුවඳ විඳපු දේවල් කීපයක් අරගෙන එනවා . 

සීයා මුණුබුරා කතා මාලාව කියෙව්ව සහ කියවන කෙනෙක් නම් ඒ කතාවල විශේෂයෙන් සඳහන් කරලා ඇති පෙට්ටගමක් . මේ තියෙන්නේ ඒ ඉතිහාසයට හිමිකම් කියන පෙට්ටගම . ඒ කාලේ මේ පෙට්ටගමේ තිබුණු බොහොමයක් දේවල් අද නැති වුණත් අදටත් මේ මොහොතේත් මගේ ඇස් මානයේ මේ පෙට්ටගම පරෙස්සම්වෙලා තියෙනවා . බැරිවෙලාවත් මේ පෙට්ටගමට කතා කරන්න පුළුවන් උනා නම් එයා කියාවි මම ලිව්වටත් වඩා කොහොම ඉතිහාසයක් එයාට තිබුණද කියලා . 





අවුරුදු දෙකකට විතර පස්සේ ළඟදී දවසක පුස්කොල පොත් සහ පරණ පොත් සියල්ලම පෙරලලා බලලා අලුත් වැඩියා කරන්න , පිටපත් කරන්න සහ සංරක්ෂණය කරන්න ඕන පොත් සහ පුස්කොල වෙන් කරගත්තා . මේ තියෙන්නේ ඒවායේ යම් යම් කොටස් .

ඉස්කෝලේ මියුසික් කරලා , උසස්පෙළට බයෝ කරලා , කැම්පස් එකෙත් බයෝ කරලා අන්තිමට ජ්‍යෝතිෂ පැත්තට අත තිබ්බේ ඇයි කියලා ප්‍රශ්න කරන අයට මේ ෆොටෝ කීපය උත්තරයක් වෙයි කියලා හිතනවා .







මේ පත්තිරු කීපයේ පුස්කොල පොතට යම් ඉතිහාසයක් තියෙනවා කියලා කටින් කට පවතැගෙන එනවා . කිසිම ලිඛිත සාක්ෂියක් නම් නැහැ .

ඒත් කියන්නේ මේ පත්තිරු කීපයේ පොත 1500 ගණන්වල හිටපු
" පුංචිත්තා " කියන කෙනා අපේ ඒ කාලේ හිටපු කෙනෙක්ට දුන්න පොතක් හෝ පොතක පිටු කීපයක් කියලා .
පුංචිත්තා කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් ඉතින් වහ කන්න ඕන . තොටගමුවේ ශ්‍රී රාහුල නායක හිමියන්ට හිමිවෙලා තිබුණු යන්තර මන්තර ගුරුකම් සියල්ලම ඉගැන්නුවා කියලා කියන්නේ පුංචිත්තාට . මේ පොත තොටගමුවේ හිමියන්ගේ අත් අකුරු දරන පොතක් කියලා අපේ පවුලේ අයගේ විශ්වාසයක් තියෙනවා .















මහා මාතාන්ගේශ්වරී යන්ත්‍රයේ මම ළඟ තියෙන පැරණිම කඩදාසි අත් පිටපත .
මේකට අවුරුදු 98 ක් වෙනවා දැනට වයස .












කතාවල විස්තර වෙනවා පරපුරක අවසානයේ සියාතු සීයා කියලා චරිතයක් තමන්ගේ දැනුම සියල්ලම පරිත්‍යාග කරා කියලා . මේ ගම්පහ ඉඳලා කරත්තයක පටවලා එව්ව ඒ සියාතු සීයාගේ පුස්කොල පොත් එකතුව තැම්පත් වෙලා තිබුණු පෙට්ටගම .






මේ අරවින්ද මුනුබුරා කියන චරිතයේ අත් අකුරු .





මේ මිණුම් පටිය එංගලන්තේ නිෂ්පාදනය වෙන කාලයේ ලංකාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජ වෙලත් නැහැ . 1914 - 1962 කාල පරාසය තුල මේකේ එක තැනක් කැඩිලා පිත්තල වලින් පතුරු දාලා ආයෙත් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදලා තියෙනවා . වාස්තු විද්‍යා කටයුතු වලට පාවිච්චි කරපු මේ මිණුම් පටිය පසුකාලීනව භාවිතයට ගත්තේ නැහැ . ඒත් තවමත් ඒක ක්‍රියාකාරී තත්වයේ තියෙනවා .








ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!!

කාලයක් තිස්සේ හිත හිත හිටියට මේ දේවල් වරින්වර මුහුණුපොතේ ෆොටෝස් දැම්මට බ්ලොග් එකට ඒවා අරගෙන එන්න කාලයක් ගතවුණා . සීයා සහ මුනුබුරා කතා මාලාව...