මලයාල නාග වෛරෝඩිය ( 1 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

සොහොන් කාලි පූජාව සමථයකට පත්කර අනතුරුව සියාතු සීයාගේ මන්තර පොත් සහිත පෙට්ටගමද රැගෙන මමත් සීයාත් කරත්තයෙන් වලව්වට ආපසු පැමිණියේ දින දෙකක තුනක පමණ ඉබි ගමනකිනි . ඊට හේතුව වූයේ අප ආ අතරවාරයේ පන්සල් දේවාල කීපයක්ම වැඳපුදා ගැනීමට සීයා බලාපොරොත්තු වූ නිසාවෙන් බව කිව යුතුය . ඊටත් වඩා හේතු වූයේ සීයාගේ අයියා , එනම් මාගේ ලොකු සීයා ජීවත් වන්නේ ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ වූ හෙයිනි . සීයාද මමද ආ කරත්තයෙන්ම උඩුගම්පල ගියෙමු . 

ලොකු සීයා මන්තරයට ආදරය කල කෙනෙකු නොවේ . එබැවින් ඔහු තෝරාගන්නා ලද්දේ වෙළඳාමයි එයිනුත් විශේෂයෙන්ම කොප්පරා වෙළඳාමයි . ටිකෙන් ටික තම ව්‍යාපාරය දියුණු කරගත් ලොකු සීයා මේ වනවිට ගම්පහ ප්‍රදේශයේ අක්කර ගණනාවක පොල් වතු වලට හිමිකම් කියන්නෙකි . සීයලාගේ පියාද ඊට විරුද්ධ නොවූ බව දිනක් සීයා මා සමග පැවසීය . ඊට හේතුව වී ඇත්තේ පවුලේ වගකීමක් වන ගුරුකුලය පවත්වාගැනීමට සීයා ඒ වනවිටත් යොමු වී සිටි බැවිනි . 

ලොකු සීයා දැන් දුවපැන වෙළඳාම් කිරීමට සමතෙක් නොවේ . ඒ හිතට වඩා ඔහුගේ ගත දුර්වල වීම නිසාය . ඒ හේතුවෙන් මේ වනවිට ලොකු සීයාගේ පුතාලා දෙදෙනා කොප්පරා වෙළඳාම නොකඩවා කරගෙන යයි . ලොකු සීයා විශ්‍රාම සුවයෙන් කල් ගෙවයි . ඔවුන් අපගේ පැමිණීම කලින් බලාපොරොත්තු වී සිටියේ නැත . අපද එහි යෑමට බලාපොරොත්තු වී සිටියේ නැත . ළඟටම පැමිණ පිට පාරේම යාම යුතු නොවන බැවින් උඩුගම්පල යමු යැයි යෝජනා කලේද එම යෝජනාව ස්ථීර කලේද සීයාමය .

මෙම ගමන් අපට මෙන්ම වලව්වේ කරත්තය දක්කන ජෙමිස්ටද වැදගත් විය . ඒ මීට කලකට ඉහත ඔහුගේ ජීවන හුස්ම රැඳුනු ගමද උඩුගම්පල වීමයි . වලව්වේ පුස්කොල පොතක් සොරාගෙන කදිර දෙව් පුරයට පැනගිය වලව්වේ මීට ප්‍රථමව සිටි කරත්ත දක්කන්නාගේ එම අත්තනෝමතික ක්‍රියාව නිසා කාලයක් පුරප්පාඩුවී තිබුණු කරත්ත දක්කන තනතුර වෙනුවෙන් ජේමිස්ව අපට හඳුන්වා දුන්නේද ලොකු සීයා විසිනි . එබැවින් අපි ලොකු සීයා බැලීමට ගිය අතරතුර දරු කැක්කුම අනෙක් සෑම කැක්කුමකටම වඩා වැඩි බව මොනවට පසක් කරමින් තමාව නොසලකා හරින ලද දරුවන් දැක බලා ගැනීමට කරත්තය ලොකු සීයාගේ ගෙදර නවතා දමා ජේමිස් තමන්ගේ මහගෙවල් බලා ගියේය . 

උඩුගම්පල එක දිනකට වඩා රැදී සිටීමට සීයා බලාපොරොත්තු වූයේ නැත . එබැවින් පසුදාම අපි උඩුගම්පලින් පිටත්ව නැවත වලව්ව බලා ඒමට පිටත් වීමු . වලව්වට එන අතරතුර දෙවිනුවර විෂ්ණු දේවාලය වැඳ පුදා ගැනීමට සීයා අමතක කලේ නැත . එය යම් සලකුණක් අනුව කරන ලද්දක් බව මම සිහිපත් කරමි . වෙනත් පවුලක වෙනත් ගුරු කුලයක මන්තර ශාස්ත්‍රයක් ඒ වනවිට අපගේ වලව්වේ තැම්පත් වීමට නියමිතව තිබිණි . සීයා විශේෂයෙන් දෙවිනුවර යන්නේ මෙවැනි සංක්‍රාන්ති අවස්ථා වෙනුවෙන් දේව ආශිර්වාදය ලබාගැනීමට බව මා හොඳාකාරව දනිමි . ඒ අපගේ මන්ත්‍ර ශාස්ත්‍රය මා අත තැබීමට පළමුව මාද දෙවිනුවර කැඳවාගෙන ගිය හෙයිනි . 

ගමන් බිමන් වන්දනාමාන  සියල්ල අවසානයේ අපි වලව්වට පැමිණියෙමු . සියාතු සීයාගේ මන්තර පොත් පුරවන ලද පෙට්ටගමද මගේ කාමරයට එකතු විය . ඉන් පසු අපගේ මන්තර පොත් කියවීම අතරතුරේ මා වැඩිමනත් කාලය ගත කලේ සියාතු සීයාගේ මන්තර පොත් කියවා බැලීමටය . ඒවා පාඩම් කිරීමට මා තවමත් සූදානම් නැත . ඒ එම පොත් සියල්ල සීයාගේද අවධානයට ලක්වීමට නියමිතව ඇති බැවිණි . 

මලයාලි ගුරුකම් මගින් භූතාත්ම බැඳ වසර හාරසියයකට ආසන්න කාලයක් තිස්සේ කිසිවෙකුගේ අතට පත් නොවී කළුගල් තලාවක අප්‍රකටව ආරක්ෂා වූ , ටිකිරි කුමරු ලෙස හඳුන්වන ලද සීතාවක රාජසිංහ මහ රජුගේ ගෙල බැඳී , වෛරෝඩි ගල් විශාල ප්‍රමාණයක් අමුණන ලද නයි පෙනයක හැඩය ඇති රත්තරන් පෙත්තක් සවිකරන ලද , මලයාලි ඇදුරන්ගේ ශාපලත් , නාග වෛරෝඩිය නමැති ගෙල පළඳනාව වටා පෙළ ගැසුණු මෙම සිදුවීම් මාලාව සිදුවන විට ගම්පහ ගොස් වලව්වට පැමිණ මාසයකට අධික කාලයක් ගතවී ඇතැයි මා අනුමාන කරමි . 

වස් කාලය අවසාන වී චීවර මාසය ආරම්භ වී තිබිණි . ගමේ පන්සලේ කඨින පූජාවට ඇත්තේ තවත් එක් දිනයකි . චීවර පූජාව සිදුවීමට මත්තෙන් කලින් දින රාත්‍රියේ පන්සලේ සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් පැවැත්වීම සාමාන්‍ය සිරිතකි . පිරිත පුරනවාත් සමගම පිටත්වන කඨින චීවරය රැගත් පෙරහැර ගමේ සෑම අස්සක් මුල්ලක් නෑර ගමන් කර අවසානයේ අළුයම් කාලයේ පන්සලට පැමිණේ . චීවර පූජාව සිදුවන්නේ ඉන් අනතුරුවය . 







මෙවර කඨින පූජාව පැවැත්වීමට භාරවී තිබුණේ වෙද ගෙදරටය . වෙද ගෙදර අපට දක්වන නෑදෑකම් පරයා ගමේ කටයුතු වෙනුවෙන් ගුරුන්නාන්සේ වලව්ව නියෝජනය විය යුතු බැවින් සීයා මෙම කටයුතු වලට අවවාද අනුශාසනා ලබාදීමට දින දෙක තුනක් තිස්සේ පන්සලේ කාලය ගත කළේය . පිරිත් මණ්ඩපය සාදන කටයුතු වෙනුවෙන් මමද සහභාගී වීමි . එබැවින් සීයාද මමද සිටියේ පන්සලේය . පිරිත් මණ්ඩපය සාදන්නේ වෙනදා පන්සලේ බණ මඩුවේ ධර්මාසනය පනවා තබන ස්ථානයේය . සැලකිය යුතු දුරක් වලව්ව සහ පන්සල අතර නොපවතින හෙයින් සීයාද මමද වලව්වේ සිට පන්සලට ආවේ පයින්ය . 

මද්දහන පසුවී හිරු අවරට ගියේය . පිරිත් මණ්ඩපයේ කටයුතු කඩිනම් වූයේ හිරු අවරට ගිය බව කාගේ කාගේත් ඇස්පනාපිටම පෙනෙන්නට වූ පසුවය . සියල්ලෝම ගොක්කොල කපා හැඩ වැඩ දමති , කෙසෙල් පතුරු රාමු වලට තබා බඳිති , සල් මල් පෙති ඉරටු කැබලිවල අමුණා කෙසෙල් පතුරුවලට සවි කරති . මමද වඩාත් ප්‍රියජනක කාර්යයක් වූයේ මෙම සල්මල් අමුණන රාජකාරියටය . සල් මලේ හැඩයට පැහැයට වඩා මා ආශා කලේ එහි සුවඳටය . දෙවියන් වඩින්නේ මෙම සුවඳවත් බව නිසා ඇතිවන පවිත්‍ර භූමි වලටය . සීයා පසෙක වූ බංකුවක හිඳගෙන වෙද සීයා සමග චීවර පූජාවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්චා කරමින් සිටී . තාත්තා පන්සලට පැමිණියේ මේ අතරේය . තාත්තා පැමිණ සීයාට කුමක්දෝ කියා නික්ම ගියේය . සල් මල් පෙති සවි කිරීමේ කටයුත්ත වැඩිප්‍රමාණයක් අවසාන කරන ලද හෙයින් මම එය නවතා සීයා අසලට ගියෙමි . 

" සීයේ , තාත්තා ආවා නේද ? " 

" ඔන්න කවුද කෙනෙක් මාව හොයාගෙන සීතාවක පළාතේ ඉඳලා ඇවිල්ල ඉන්නවලු වලව්වේ . මණ්ඩපේ වැඩ කටයුතු තව ටිකක් අහවර වෙනකල් ඉඳලා පුතත් යමු මාත් එක්කම . රෑ වෙලා පිරිත් අහන්න එන්න බැරිය . වෙද සීයා ඉන්න නිසා දැනමුතුකම් දේවි ඒ රාජකාරි වලට . අපි තව ටිකකින් යමු " 

" සීතාවක කියන්නේ කොහෙද සීයේ ? " 

" අවිස්සාවේල්ල පැත්තටනේ පුතේ " 

පිරිත් මණ්ඩපයේ සැරසිලි කටයුතු අවසන්ය . දැන් තිබෙන්නේ ආසන පනවා රාජ ගහ බැඳ නා දළු ආදිය එල්ලීමයි . වෙද සීයාගේ අනුමැතිය අනුව ඒවා සිදුවන්නට ඉඩදී මමද සීයාද වලව්ව බලා පිටත් වීමු . ආ වේගයට වඩා වැඩි වේගයකින් අපි වලව්වට ගියෙමු . ඒ අපගේ අමුත්තා පිළිගැනීමටය . 

වලව්වේ කඩුල්ල පනිනවිටම සීයා තම හඬ අවධි කලේය . 

" අද උදේ කපුටෙක් වලව්ව ඉස්සරහා අඹ ගහේ ඉඳලා හඬ ලෑවා . මම නිකමට වගේ ගණන් කරලා බැලුවා . හොඳ ආරංචියක් එයි කියලා තමයි සාත්තරේ තිබුණේ . මේ ඒ හොඳ ආරංචිය වෙන්න ඇති නේද පුතේ " 

සීයාද සිනාසුනේය . මමද ඔහුගේ අඩිපාරේම සිනාසුනා මිස ඉන් එහා කිසිවක් විමසුවේ හෝ කීවේ නැත .

වලව්වට ඇතුල්වන විට අප හමුවීමට ආ අමුත්තා වලව්වේ ඉදිරිපස පිටත කාමරේ සිට එළියට ආවේය . ඔහු ශාන්ත පෙනුමකින් යුතු වැදගත් පාටක් සහිත පුද්ගලයෙක් බව ඔහුගේ මුහුණින් පෙනිණි . 

" මේ ගුරුන්නාන්සේ වෙන්න ඇති නේද ? " 

" ඔව් මම තමයි අරනෝලිස් ගුරුන්නාන්සේ . මේ ළමයා ...............? " 

ඔහු පිළිතුරු දීමට මත්තෙන් සීයාට දණගසා වැන්දේය . 








" තුණුරුවන්ගේ පිහිටයි . මේ ළමයා ආවේ හදිස්සි කාරණාවකටද ? . මමයි මේ පුතයි පන්සලේ හිටියේ අද උදේ වරුවෙම ඉඳලා . අද චීවර පූජාවනේ අපේ ගමේ පන්සලේ . පිරිතට ලක ලෑස්ති වෙන ඒවාට උදවු කරන්න ගියා අපිත් . ඇඟ පත ටිකක් හෝදගෙන බෙලිමල් ඩිංගක් බීලා එහෙම කතා කරන්න පුළුවන්ද ? "

" ගුරුන්නාන්සේ වැඩ රාජකාරි අහවර කරගෙන ආවට කාරි නෑ . ලොකු හදිස්සියක් නැතත් කතාවනම් ටිකක් විතර බරපතලයි . ඒත් කතාව කියන්න ටිකක් වෙලා ගතවෙයි . ඒ නිසා ගුරුන්නාන්සේ අපි නිවී හැනහිල්ලේම කතා කරමු "

"නිවී හැනහිල්ලක් නම් එන්නේ නැහැ දරුවෝ මේ පිරිත් පිංකම ඉවරවෙනකල් . ඉන්නකෝ මම එකනල් . එතකල් චූටි පුතේ පොඩ්ඩක් මේ දරුවා එක්ක කතා කර කර ඉන්නකෝ " 

අමුත්තාද මමද කතාවට අමුණා සීයා කාමරයට ගියේය . ඔහු මට වඩා අවුරුදු හතර පහකට වඩා වයස නැත . ඒ නිසා මම ඔහුට අයියා කියා ඇමතීමි .

" මේ අයියා කොයි පළාතේ ඉඳලාද මේ එන්නේ ? " 

" මම සීතාවක ඉන්නේ මල්ලි . මේ මල්ලි වලව්වේ කවුද ? " 

" අර ගියේ මගේ සීයා " 

" ආ චූටි ගුරුන්නාන්සේ කියන්නේ එහෙනම් මේ මල්ලි වෙන්න ඕන " 

" අයියට කවුද චූටි ගුරුන්නාන්සේ කතාවල් කිව්වේ " 

" ඉන්නකෝ මම ගුරුන්නාන්සේ ආවම කියන්න " 

" සීතාවක කියන්නේ අවිස්සාවේල්ල පැත්තට කියලා මට සීයා කිව්වා . මමනම් වැඩිය අහලා නැහැ " 

" මල්ලි දන්නවද ටිකිරි කුමාරයා . ටිකිරි කුමාරයා රජකම් කලේ අපේ පළාතේ ඉඳලා නෙව " 

" ඇත්තද . ටිකිරි කුමාරයා ගැන අහලා තියෙනෙවා . ඒත් සීතාවක නම විතරයි අහලා තියෙන්නේ . වැඩි විස්තරයක් නම් දන්නේ නෑ "

" මම ගුරුන්නාන්සේ එක්ක කතා කරනකොට මල්ලිට ගොඩක් විස්තර දැනගන්න පුළුවන් වෙයි .  මට මල්ලිලාට පෙන්නන්න වටිනා දෙයකුත් තියෙනවා " 

" ඒ මොකක්ද ? "

" පුස්කොල පොතක් " 

" පුස්කොල පොත්නම් ඉතින් මම දැකලා තියෙනවා " 

" මේක නිධන් වදුලක් " 







මොහු පැමිණියේ සීයාගේ ආධාරයෙන් නිධන් හැරීමටද ? . පෙනුමෙන් නම් ඔහු සොරෙකු යැයි කිව නොහැකිය . මම නිහඩව සිටි අතරතුරේ සීයා ඇඟපත සෝදාගෙන ආවේය . 

" ආච්චි අම්මා බෙලිමල් තම්බලා . අපිට හකුරුත් එක්ක බොන්න දැන් අරන් එයි . එහෙනම් ඔය ළමයා මෙහෙන් ඉඳගන්නකෝ බලන්න මොකක්ද ඔය ළමයාගේ කතාව කියලා අහන්න " 

" මට ගුරුන්නානසේට පෙන්නන්න යමක් තියෙනවා . මම අරගෙන එන්නම් " 

ආච්චිඅම්මා අප එන්නට ප්‍රමාද වන නිසාවෙන්දෝ අමුත්තාට වලව්වේ ඉදිරිපස කාමරය සූදානම් කරදී තිබිණි . 

" මේ දරුවා දුර පළාතක නිසා අද යන්නත් වෙලාවක් නැති නිසා මම ඉස්සරහා කාමරේ පිළියෙළ කරා " 

බෙලිමල් හකුරු බන්දේසිය රැගෙන ආ ආච්චි අම්මා කීවාය . ඒත් සමගම වලව්වට ආ අමුත්තා පුස්කොල පොතක් අතින්ගෙන කාමරයෙන් පිටතට පැමිණියේය . ඔහු එහි නූල ලිහා කම්බාව දිගහැර සීයා අත තැබීය . කම්බාව මහතට තිබුණද පොතේ වැඩි පිටු ගණනක් තිබුණේ නැත . 

" හ්ම්ම්ම් නිධන් වදුලක් . කියමු බලන්න ඉතින් ඔය ළමයාගේ කතාව " 

" ගුරුන්නාන්සේ මම සීතාවක පැත්තේ ඉන්නේ . ටිකිරි කුමාරයා රජකම් කරපු පැත්තේ . ටිකිරි කුමාරයාගේ මාලිගාවල් එහෙමත් තියෙන්නේ අපි ඉන්න පැත්තේ . ටිකිරි කුමාරයා වැඳපු පුදපු බැරැන්ඩි කෝවිලත් තියෙන්නේ ඒ දිහාවේම තමයි . අපේ පවුලේ වෙන පිරිමි ළමයි නැහැ . තාත්තා මැරුණේ දැනට පෝය පහකට හයකට විතර කලියෙන් . අම්මයි මමයි නංගි කෙනෙකුයි තමයි ගෙදර හිටියේ . නංගිත් ගමේ කෙනෙක් එක්ක විවාහ වෙලා එයාත් දැන් ගෙදර නැහැ . ඉතින් අම්මයි මමයි තමයි ගෙදර ඉන්නේ . මමත් තවම විවාහ වෙලා නැහැ "

කතාව අතරවාරයේ සීයා සිටියේ පුස්කොල පොත පෙරලමින්ය . සීයා එය සම්පූර්ණව කියවා නැත . සීයා පුස්කොල පොත හකුලා කනප්පුව උඩ තබා හරි බරි ගැසී කතාව වෙතම අවධානය යොමු කළේය . මේ වනවිට මේ කතාව ඇසෙන මානයේ සිටියේ මමත් සීයාත් පමණි . 

" ඔව් ඉතින් ? " 

" ඔය පුස්කොල පොත ගුරුන්නාන්සේ කියවලා බැලුවනම් ඉතිහාසයේ තවත් හැංගිලා තියෙන කතාවක් දැනකියාගන්න පුළුවන් . මෙහෙට එන්න පාර කිව්වේ ගම්පහ සියාතු ගුරුන්නාන්සේ . උන්නැහේ මම ටිකක් දන්නවා . මම එහෙ තමයි මුලින්ම ගියේ . දැන් උන්නැහේ ගුරුකම් සාත්තරේ අතෑරලා කියලා මට කිව්වා මෙහෙ යන්න කියලා . මම ඉතින් පාරවල් හොයාගෙන හොයාගෙන ආවා ගුරුන්නාන්සේ හොයාගෙන "

" ආ සියාතු එව්වනම් ලොකු රාජකාරියක් වෙන්න ඇති . ඉතින් දරුවෝ කියමුකෝ බලන්න ඒ කාරණාව "

" ටිකිරි කුමාරයා රජකම් කරේ අපේ පළාතේ ඉඳගෙන කියලා මම මේ මල්ලිත් එක්කත් කිව්වා . එහෙ තමයි සීතාවක රාජාධානිය කියලා මාලිගා එහෙම හදාගෙන රජකම් කරලා තියෙන්නේ . ඉතින් මේ රජතුමාට තිබිලා තියෙනවා ගොඩක් වටිනා වස්තූන් . රජවරුන්ට ඉතින් අපිට වගේ නෙවෙයිනේ ගුරුන්නාන්සේ . රන් රිදී මුතු මැණික් මොනවයින් අඩුවක්ද ? . මේ රජතුමා හිටියෙත් රත්නපුරේ පැත්තට කිට්ටු පැත්තක් නිසා මැණික් වලින් අඩුවක් වෙන්න නැතුව ඇති . ඒවගේ ලැබුණු වෛරෝඩි කියන මැණික් ගල් ගොඩක් අල්ලපු නයි පෙනයක හැඩේට හදවපු රත්තරන් පෙත්තක් හයි කරවපු මාලයක් තිබිලා තියෙනවා මේ රජතුමාට . ඒකට කියන්නේ නාග වෛරෝඩිය කියලා . කියන්නේ නම් පරම්පරාවෙන් ලැබුණා කියලා . 







ඒ කියන්නේ මායාදුන්නේ රජතුමාගෙන් වෙන්න ඇති . ඉතින් ටිකිරි කුමාරයා රජ උනාට පස්සේ තාත්තාවත් මැරෙව්වා කියනවා . ඊට පස්සේ එතුමා හින්දු ආගම අදහන්න ගත්තා කියලා කියනවා . මේ රජතුමාගේ මාලිගාවේ ඉඳලා තියෙනවා ඉන්දියාවේ ඉඳලා ආව මලයාලි ගුරුකම් කරපු ඇදුරෝ . අද කාලේ වගේ නෙවෙයි ඒ කාලේ මේ මලයාලි ගුරුකම් කරන ඇදුරෝ කිසීම අණක් ගුණක් තියෙන අය නෙවෙයිලු . දවසක් රජතුමා දිය කෙළියට ගිය වෙලාවක ගලවලා තියපු නාග වෛරෝඩිය මලයාලි ඇදුරෝ දෙන්නෙක් එකතුවෙලා හොරකම් කරලා . හැබැයි වැඩි දුරක් යන්න වෙලා නැහැ , ඒ අයව අහුවෙලාත් තියෙනවා . පස්සේ රජතුමා මේ නඩුව අහලා කාරිය මේ ඇදුරෝ දෙන්නට මරණ දඬුවම නියම කරනවා . මේ ඇදුරෝ දෙන්නාව හිස ගසලා මරණ වෙලාවේ මේ නාග වෛරෝඩියට සාප කරලා තියෙනවා , මේ මාලය අයිතිවෙන අයිතිවෙන කෙනා තමන් අකාලයේ මැරිලා ගියා වගේම අකාලයේ මැරිලා යන්න ඕන කියලා . අන්තිමට ටිකිරි කුමාරයා අකාලයේ මැරිලා ගියෙත් ඒ ශාපය නිසා කියලා තමයි ඔය පොතේ කියලා තියෙන්නේ " 

" ඉතින් දරුවෝ ඒ කතාවයි ඔය ළමයා ආව කාරණාවයි අතර තියෙන සම්බන්ධය මොකක්ද ? " 

" රජතුමා මැරුණට පස්සේ මේ සාපය ගැන දැනගෙන හිටපු අය මේ මාලය මලයාලි ඇදුරන් ලවාම ආරක්ෂා බන්ධන බන්දවලා නිධන් කරලා තියෙනවා . ඒ වැඩේ කරවපු අයගෙන් කෙනෙක් අපේ පරම්පරාවේ කෙනෙක් වෙනවා . ඒ නිසා අන්තිමට මේ නිධානය නිධන් කරපු තැන , ගන්න විදිය , මන්තර හැමදේම ලියපු නිධන් වදුල අපේ හතරමායිමට ආවා . හැබැයි ඒ එක පිටපතක් විතරයි . තවත් පිටපතක් තිබුණා ගමේ පන්සලේ බුදු පිළිමයේ පාදමේ නිධන් කරලා . අපේ පවුලෙන් ආව නිධන් වදුල පරෙස්සම් වෙලා අදවෙනකොට මගේ අතට ආවා . පන්සලේ තිබ්බ නිධන් වදුල ගැන කවුරු දැනගෙන හිටියද කියලා මම දන්නේ නැහැ . අපේ පවුලේ රැකපු රහස් දෙකයි තිබ්බේ . ඒ මේ නිධන් වදුලයි , පන්සලේ අනිත් පිටපත තියෙනවා කියන එකයි . ඒත් නිධන් හොරු විහින් මේ පාදම කඩලා නිධන් වදුල හොරකම් කරලා . හොරු කිව්වට අපිට පස්සේ දැනගන්න ලැබුණා කවුද හොරකම් කරේ කියලා . මොකද පූජාවල් හරියට කරපු නැති නිසා දෙන්නට පිස්සු හැදුනා . විකාරෙන් තමයි මේක ගැන කියවලා තියෙන්නේ "

" ඉතින් දැන් නිධානෙ අරගෙනද ? "

" අරගෙන නෙවෙන්නන් ගුරුන්නාන්සේ . දැන් ඒක තියෙන්නේ ආණ්ඩුව භාරයේ . පරණ දේවල් තැම්පත් කරන තැනක මේ මාලය තැම්පත් කරලා තියෙනවා . ඒත් ඒ මාලය ආයෙත් නිධන් කරන්න ඕන . මොකද ඒක සාප වැදිච්ච මාලයක් නිසා . ඒක අරගෙන ආයෙත් තැම්පත් කරන්න ගුරුන්නාන්සේගේ උදව් උපකාර ගන්න කියලා හිතාගෙන තමයි මම මේ ගුරුන්නන්සේව හොයාගෙන ආවේ " 

" ඉතින් දරුවෝ ඒක එතන පරෙස්සමට තියෙනවා නේද ? . ආයේ අපි නිධන් කරන්න ඕන නැහැ නේද ? " 

" බැහැ ගුරුන්නාන්සේ . ඒක සාපයක් වැදිච්ච මාලයක් . මලයාලි ගුරුකම් කරපු දෙන්නෙක්නේ සාප කරලා තියෙන්නේ . ඒ සාපය හරිම බලවත්  . මේ නිධන් වදුල හාරලා අරගෙන නිධානෙ ගොඩ ගත්ත දෙන්නා දැන් මැරිලා . නිධානයක් ගොඩගත්තා කියලා ආණ්ඩුවේ ඇත්තෝ දැනගෙන සෝදිසි කරලා තමයි මාලය හොයාගෙන තියෙන්නේ . ඊට ටික කාලෙකට පස්සේ නිධානෙ ගත්ත හොරු දෙන්නා මැරුණා . පස්සේ ආණ්ඩුවෙන් පරණ දේවල් තැම්පත් කරන තැනක මේක තැම්පත් කරලා තියනකොට ටික දවසකින් එතන බලාගන්න හිටපු සුදු මහත්තයත් මැරුණා .

තවත් කෙනෙක් මැරෙන්න කලින් මේක එතනින් ඉවත් කරලා ආයෙත් වෙන කොහෙ හරි නිධන් කරන්න ඕන කියලා මම කල්පනා කරා . ඒක වෙන තැනක නිධන් කරලා මගේ නිධන් වදුලත් විනාස කරලා දැම්මම මේ වගකීමෙන් අපේ පරම්පරාවටත් නිදහස් වෙන්න පුළුවන් . ආයෙත් නිධන් කරන තැනට නිධන් වදුල් ලියන්නේ නැති නිසා මාලෙත් පරෙස්සමට තියේවි . අවුරුදු දාස් ගාණක් ගිහින්හරි පොළවට පස් වෙලා යන්නේ නැතැයි සාපෙත් එක්කම . අනාගතේ හැදෙන උන් කොහොමද කියන්න බැහැනේ ගුරුන්නාන්සේ මේවගේ රහස් දෙන්න . ඒ නිසා මේක කොහොම හරි බෑ කියලා කියන්නේ නැතුව කරලා දෙන්න . පිං සිද්ද වෙයි මේ බේරන ජීවිත ගානට . මාලේ තැම්පත් කරලා තියෙන තැන දැන් ඉන්න සුදුමහත්තයා පිට දේසක්කාරයෙක් උනත් උන්නැහේටත් තියෙන්නේ අපිට තියෙන්නා වාගේ ජීවිතයක්නේ " 







" ඔය ළමයාගේ අදහස නම් හරිම හොඳ වටිනා අදහසක් . ඒත් දරුවෝ මේ තැම්පත් කරලා තියෙන එක අපිට හරි පාරෙන් නම් ගන්න බැහැ . මොකද අහු උනොත් අච්චු විඳින්න වෙනවා . ඒ නිසා මේක කරන විදියක් කල්පනා කරලා බලන්න ඕන . දැන් ඔය නිධානෙ අරගත්ත අය මැරුණේ කොච්චර කාලෙකින් වගේද ? " 

" මාස හතරකින් විතර ගුරුන්නාන්සේ " 

" එහෙනම් අර එතනට ආව අලුත් සුදු මහත්තයා දැනට එතනට ඇවිත් කොච්චර විතර කල් වෙනවද ? " 

" කොහොමත් මාසයක් විතර වෙනවා මයේ හිතේ " 

" එහෙනම් මේ කාරණාව ඉෂ්ට සිද්ද කරගන්න ටිකක් කල් තියෙනවා නේද " 

" එහෙමයි ගුරුන්නාන්සේ " 

" ඒක නෙවෙයි . ඔය ළමයාගේ පවුලේ උදවිය කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ . මට ඒ ගැන ඔය ළමයා කිව්වේ නැහැනේ . කොහොමද ඔය ළමයාගේ පරම්පරාව ? . දන්නවනම් පොඩ්ඩක් ඒ ගැනත් කියමු බලන්න " 

" ගුරුන්නාන්සේ මේ ගැන අහලා කලබල වෙන්න කාරි නෑ . දැන් ඔය ටිකිරි කුමාරයා ඉන්නවනේ . එතුමා රජවෙන්නේ මායාදුන්නේ රජතුමාට පස්සේ . උඩරට පාලනය කරේ කරලියැද්දේ බණ්ඩාර කියලා කෙනෙක් . ටිකිරි කුමාරයාට උවමනාව තිබ්බා පරංගි එළවලා ලංකාව සාමකාමී කරන්න . ඒ නිසා උන්නැහේ කරේ තියෙන අනිත් රාජධානිත් තමන්ගේ යටතට ගත්ත එක . ටිකිරි කුමාරයා කරලියැද්දේ බණ්ඩාරට විරුද්ධව සටන් කරලා උඩරටත් අල්ලගත්තා . 

මේකට උදවු උපකාර කලේ වීරසුන්දර බණ්ඩාර කියලා කෙනෙක් . මේ වීරසුන්දර බණ්ඩාර බුද්ධාගම් කාරයා . ටිකිරි කුමාරයා හින්දු ආගම අදහගෙන හිටියේ . ටිකිරි කුමාරයා යටතේ වීරසුන්දර තමයි උඩරට පාලනය කලේ . ඒත් වීරසුන්දරව උඩරට තනි පාලකයා කරවන්න හාමුදුරුවරු පවා කැමැත්තෙන් හිටියේ . වීරසුන්දරටත් උඩරට රජවෙන්න උවමනාව තිබුණා . කොහොමින් කොහොම හරි වීරසුන්දරට රජකම ඕනවෙලා කියල ටිකිරි කුමාරයා දැනගත්තා . මේ නිසා ටිකිරි කුමාරයා කලේ උපායකින් වීරසුන්දරව සීතාවකට ගෙන්නලා අශ්වයා එක්කම බොරු වලක වට්ටලා මරලා දාපු එක . 

මේ කතාවෙන් පස්සේ වීරසුන්දරගේ පුතා කොනප්පු බණ්ඩාර පරංගි එක්ක එක්කාසු වෙලා සටන් පුරුදු වෙලා ටිකිරි කුමාරයාට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා . පස්සේ බලන කපොල්ල තියෙන හරියේදී තමයි කොනප්පු බණ්ඩාරගේ සේනාවයි ටිකිරි කුමාරයාගේ සේනාවයි අවසානෙට සටන් වදින්නේ . ටිකිරි කුමාරයාගේ සේනාව පැරදෙනවාත් එක්කම ටිකිරි කුමාරයා පැනලා එනවා ආයෙත් සීතාවක පැත්තට . මේ එන අතරේ තමයි ටිකිරි කුමාරයා පෙතංගොඩ උයනට ඇතුළු වෙන්නේ . පෙතංගොඩ උයනේ තියෙන කටු උන පඳුරේ විස කටුවක් ඇනිලා ටිකිරි කුමාරයා මියැදුනා කියලා ගුරුන්නාන්සෙලා අහලා තියෙනවද ? " 

" ඔව් අහලා තියෙනවා . ඔය කතාවටත් කියන්නේ නපුරු උණ කටුව පතුලේ ඇණී වන උනා , එක්ව සිටි සැවොම මතුරා විසද වැඩි උනා කියලා " 







" උන කටුවක් නෙවෙයි ගුරුන්නාන්සේ ඇනෙන්නේ . ඒක මේ කතාවට හැදුනු කටකතාවක් . ඒ වෙලාවේ ටිකිරි කුමාරයට උණ පඳුර කිට්ටුවදී නයෙක් දෂ්ට කරනවා . ඔය නාගයා දෂ්ට කරාට පස්සේ රාජකීය වෛද්‍යවරයා ආවා බෙහෙත් කරන්න . ඒ කාලේ රාජකීය වෛද්‍යවරයා වෙලා ඉඳලා තියෙන්නේ දොඩම්පේ ගණිතයා කියලා කෙනෙක් . වෙදකමට වඩා ජෝතිෂ්‍ය නැකත් සාත්තරේ වැඩකටයුතු තමයි මේ දොඩම්පේ ගණිතයා කරලා තියෙන්නේ . ඒත් වෙදකමත් දන්නා නිසා රජතුමාට විටින් විට වෙදකමුත් කරලා තියෙනවා . 

දොඩම්පේ ගණිතයාගේ දුවව ටිකිරි කුමාරයා බලෙන් අන්තඃපුරයට එක්කාසු කරගත්ත නිසා ගණිතයා තරහෙන් ඉඳලා තියෙන්නේ . ඒත් ටිකිරි කුමාරයාගේ හැටි දන්නා නිසා දොඩම්පේ ගණිතයා මුකුත් කරගන්න විදියකුත් නැතුව තමයි ඉඳලා තියෙන්නේ . ඔන්න ඔය පෙතංගොඩ සර්පයා කෑව වෙලේ තමයි ගණිතයාට පරණ තරහා මතක් වෙන්නේ . ඒ එක්කම නාග වෛරෝඩියට වැදුනු සාපයත් මුදුන් වෙනවා . අන්තිමට දොඩම්පේ ගණිතයා පිටගැස්ම නගින්න බෙහෙත් බැන්දා තුවාලෙට . මේ බෙහෙත් බැඳලා පස්සේ සීතාවක ඔය දිගේ ඔරුවක තමයි ටිකිරි කුමාරයා සීතාවක මාලිගාවට එක්කගෙන එන්නේ . ඒ එන අතරමග තල්දූව ගම කියන කිට්ටුව තියෙනවා කිකිළි බිත්තර වැල්ල කියලා ඔයේ ලොකු වංගුවක් . අන්න එතනදී ටිකිරි කුමාරයා මැරෙනවා " 

" දැන් ඒ කතාව කොහොමද මෙතනට අදාළ වෙන්නේ ? " 

සීයා පුස්කොල පොත නැවත අතට රැගෙන එය පෙරලමින් විමසුවේය . 

" ඒ දොඩම්පේ ගණිතයාගේ හයවෙනි පරම්පරාවේ මුණුබුරා තමයි මම " 

" මොනවා ??????? " 

සීයාගේ ඇස් උඩ ගියේය .

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි . ...

රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල්






මම ලියන කියන ගොඩක් ඒවා වලට ඉතින් මුල් වෙන්නේ මගේ ඉස්කෝලේ තමයි . මේකත් එහෙම කතාවක් . මම සාපෙළ ඉවරවෙලා මාස 6ක් විතර ගෙදර ඉඳලා උසස්පෙළට ඉස්කෝලෙට ගිය අලුතම අපිට සතියක වැඩකඩයක් තිබ්බා . ඒ කිව්වේ වර්ක්ශොප් එකක් . දවසින් දවස එක එක මාතෘකා වලට තමයි මේක පැවැත්වුනේ . සමහර දවස්වලට උදේ ඉඳන් හවස් වෙනකන්ම ඈනුම් අරිනවා .

එක දවසක් අපිට මේ වැඩකඩය මෙහෙයවන්න ඉස්කෝලේම ටිකක් ලොකු කෙනෙක් තමයි ඉදිරිපත් උනේ . මම හිතුවේ නෑ එතුමා ඒවගේ කෙනෙක් කියලා . මොකද එතුමා මහා නීති කාරයා

එතුමා අපිට ඉදිරිපත් කලේ සාර්ථක අධ්‍යාපනයක් ලබාගන්න කරන්න ඕන දේවල් කියාදෙන දේශනයක් . ගොඩක් සාර්ථක උනා ඒ දේශනය . මොකද හැම එකෙක්ම ඒක හොඳට අහගෙන හිටියා  . නිකමට වගේ එදා එතුමා කියපු කරුණු කාරණා ටික මම කොළ කෑල්ලක සටහන් කරගත්තා . ඒක ටිකක් හොඳයි වගේ කියලා පෙනුන නිසා මම ගෙදර ඇවිත් ඒක අයෙත් කොළ කෑල්ලක ලියලා මේස රෙද්ද යට තියලා තිබුණා . ඕක ඉතින් හිටපු ගමන් මම කියවලා බලනවා . ආයෙත් තියනවා . කොහොම හරි මේසෙ රෙද්ද මාරු කලත් 2008 මගේ අතට ආපු මේ කොලය තාම මගේ මේසෙ අතගැටෙන මානයේ තියෙනවා .

මේකේ ලියලා තියෙන ටික මම සටහන් කරනවා ඔන්න .

ඔබට උගත් බුද්ධිමතෙකුවීමට උවමනා නම් ,

ස්ථීර අරමුණක් තිබිය යුතුය .
ආත්ම විශ්වාසය තිබිය යුතුය .
දුප්පත් වේවි ,ලෙඩවේවි , වයසට යාවි කියන බිය නැති කරගත යුතුය .
විවේචනය කරාවි කියන බය නැති  නැති කරගත යුතුය .
පවුලේ කෙනෙක් . හිතවතෙක් තමන්ට නැති වේවි කියන බය නැති කරගත යුතුය .
මරණයට පත්වේවි කියන බය නැති කරගත යුතුය .
දැනුමෙන් පිරිපුන් විය යුතුය .
ඉතිරි කිරීමේ පුරුද්දක් තිබිය යුතුය .
වැඩක් තනිව කිරීමේ හැකියාවක් තිබිය යුතුය .
නිතරම ප්‍රබෝධමත්  විය යුතුය .
පවරන ප්‍රමාණයට වඩා වැඩියෙන් වැඩ කල යුතුය .
වැඩි කාලයක් ඉගෙනීමට යොමු කල යුතුයි .
ආරම්භ කල වැඩක් අවසන් කල යුතුයි .
විනය ආරක්ෂා කල යුතුයි .
මිතුරන් අත්හල යුතුයි .
කල යුතු දේ අමාරුවෙන් හෝ කල යුතුයි .
වෙලාවට වැඩ කල හැකි විය යුතුයි .
තමන්ගේ ගමනට භාධා කරන්නන් අත්හල යුතුයි .

විවේචනය කරන එක හරිම පරිස්සමෙන්  කරන්න ඕන දෙයක් . කෙනෙක්ව යහමගට ගන්න වගේම මේ විවේචන වලින් කෙනෙක්ව මානසිකව වට්ටන්න පුළුවන් . ඒ වගේම මරණයෙන් කෙලවරවෙන තරමේ ආරවුල් ඇතිවෙන්න පුළුවන් . සමහර අය ඉරිසියාවට එක එක්කෙනාව විවේචනය කරනවා . සමහර අය පුරුද්දට විවේචනය කරනවා . 

මේ වැරදි පුරුද්දෙන් එයාලට මිදෙන්න කවදාවත් බැරිවෙනවා . ඊට පස්සේ වෙන්නේ තමන්ට වැඩ කරන තැන උසස්වීම් නැතිවෙනවා , ආයතන ප්‍රධානීන්ගෙන් චෝදනා එල්ලවෙනවා , විවාහය දික්කසාදයකින් කෙලවර වෙනවා . ඔය ඔක්කොටම වඩා හපන් යාළුවො නැත්තටම නැති වෙනවා . ඒ නිසා විවේචනය කරනවා කියන එක හරිම පරිස්සමෙන් කරන්න ඕන .



ඒ වගේම තමයි විවේචන වලට මූණ දෙන එක , සමහර අය තවත් අය විවේචනය කරන්නේ තමන් තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම දන්න පුද්ගලයා කියලා හිතාගෙන . ඒත් කවදාවත් මේ ලෝකේ සියල්ලම ඉගෙනගෙන ඉවර කරන්න කාටවත් බෑ . කලාතුරකින් පහළවෙන බුදු කෙනෙකුට හැර . ඒ වගේ මහා ඥානයක් තියෙන උතුම් පුද්ගලයෙකුගේ චරිතයටත් විවේචන ආපු එකේ ඉතින් තව මොනවද ? නේද ?.

මට අර අපේ ඉස්කෝලේ දේශනයේ ඒ දේශකයා කිව්ව තව දෙයක් මතක් වෙනවා . කවදාවත් තමන්ව පහත් කරලා අනිත් අය එක්ක කතා කරන්න එපා . මම වැරදිද ? මම චාටර් නේද ? මම කලේ මහා බලු වැඩේ , වගේ කතා කරන්න එපා . ඒ වගේම තමයි තමන් කරන දේවල්වල වැරද්දක් කියනකොට සාවදානව අහන් ඉඳලා උත්තර දෙන්න ස්තූති කරන්න .

එයා තවතවත් වනයක් වගේ විවේචනය කරනවානම් පොඩ්ඩක් කරුණු පහදන්න . පිළිගන්නේ නැත්නම් මෝඩයෙක් කියල අතෑරලා දාන්න . ඒ වගේම නිහඬවම තමන්ගේ වැරැද්ද හදා ගන්න . තමන් කරන දේ හරිනම් ඒක දියුණු කරගන්න උපදෙස් දෙන අයගෙන් ඒකට උපදෙස් ගන්න . ඒ උපදෙස් ගන්නකොට හොඳට කල්පනාවෙන් කරන්න ඕන . තමන්ට විශ්වාස අයගෙන් විතරක් උපදෙස් ගන්න .

මම මේ කියන්නේ ඉතින් හැම කෙනාම නෙවෙයි . තමන්ට හොඳ නරක තේරෙන වයසකනම් ඉන්නේ අම්මා තාත්තා කියන දේවල් අහගෙන හොඳින් ඉන්න . එතකොට ඔය කාගේ කාගේ විවේචන ආවත් කිසිම අවුලක් නෑ . මොකද පිහිට වෙන්න අම්මා තාත්තා ඉන්න නිසා . 

අම්මලා තාත්තලාගේ කොන්ඩේ පැහුනේ අකලට නෙවෙයිනම් අම්මලා තාත්තලා සමාජය ගැන හොඳ දැනුමක් තියෙන අය වෙන්න ඕන . සමහර ගම්බද පොතපත  ඉගෙන නොගත් අම්මලා තාත්තලා  උනත් සමාජයේ ඉඳලා අපිට වඩා අත්දැකීම් වලින් පිරිපුන් වෙලා ඉන්න නිසා එයාල කියන දේවල් වරදින්න විදියක් නෑ  .  

කතාවක් තියෙනවා උගත් තරුණයා වැඩිහිටයෙක් කියලා . ඒ කියන්නේ ජීවිතයේ වැඩිපුරම වටින්නේ තමන් සමාජයෙන් ඉගෙනගත් අත්දැකීම .

බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ අත්තානංඋපමන් කත්වා නහනේයියනගාතයේ කියලා . තමන්ට තමාව උපමාවක් කරගන්න කියලා .

නැපෝලියන් හිල් කියන පුද්ගලයා රචනා කරලා තියෙන law of success කියන පොතේ තියෙනවා Golden law කියලා නියමයක් .

 “ අනුන් ඔබට කරනු දකින්නට නොකැමැති දෙය ඔබ අනුන් හට නොකළ යුතුය “  ඕක තමයි ඒ නියමය .

මේ ටික කියාගෙන යනකොට මට හොඳ ගීතයක් මතක් උනා . සිරිල් ඒ සීලවිමල මහතා රචනා කරපු වික්ටර් රත්නායක මහතා ගායනා කරන .

මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිසා කොහේද මේ

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ  
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ - වේ

කේළම් කීමෙන් ඕපදූපුයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වී
බොරුවෙන් රට පිරිහේවී

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙළන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ

අන්තිමටම කියන්න තියෙන්නේ තමන් කරන දේ හරි කියලා දන්නවනම් එක එකා කියන ඒවා කනට ගන්නෙපා කියලා .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මම ලියන කියන ගොඩක් ඒවා වලට ඉතින් මුල් වෙන්නේ මගේ ඉස්කෝලේ තමයි . මේකත් එහෙම කතාවක් . මම සාපෙළ ඉවරවෙලා මාස 6 ක් විතර ගෙදර ඉඳලා උස...

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ( සිංහල තේරුම සමග )




අද ඒ මහා භාග්‍යවතුන් වහන්සේ දහම් සක ලොවට වදාළ ඇසළ පුන් පොහෝ දිනයයි .
ඒ නිමිති කරගෙන අපි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිංහල තේරුම සමග කියවමු .

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. තත්‍ර ඛෝ භගවා පඤ්චවග්ගියේ භික්ඛූ ආමන්තේසි.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන නම් මිගදායේ වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් අමතා මේ ධම්මචක්ක දේශනය වදාළ සේක.
ද්වේ මේ භික්ඛවේ, අන්තා පබ්බජිතේන න සේවිතබ්බා.
පින්වත් මහණෙනි, පැවිද්දන් විසින් සේවනය නො කළ යුතු වූ මේ අන්ත දෙකකි.
යෝචා'යං කාමේසු කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ.
යම් මේ කාමයන්හී කාම සුඛයේ ඇලී ගැලී වාසය කිරීමක් ඇද්ද මෙය හීන වූ දෙයකි, ලාමක වූ දෙයකි, පුහුදුන් ජනයා විසින් සේවනය කරන දෙයකි, උත්තම මිනිසුන් විසින් සේවනය නො කරන දෙයකි, අනර්ථ සහිත දෙයකි.

යෝචා'යං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ.
යම් ඒ තමා ව පීඩාවට පත් කරවන වැඩ පිළිවෙලක් ඇද්ද, එය දුක් සහිත දෙයකි, උත්තම මිනිසුන් විසින් සේවනය නො කරන දෙයකි, අනර්ථ සහිත දෙයකි.
ඒතේ තේ භික්ඛවේ, උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.
පින්වත් මහණෙනි, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදී. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබා දෙයි. නුවණ උදා කරයි. සංසිඳීම ඇති කරයි. විශේෂ ඤාණය ඇති කරයි. අවබෝධය ඇති කරයි. නිවන පිණිස පවතින්නේය.

කතමා ච සා භික්ඛවේ, මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති?
පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද, දහම් ඇස ලබා දෙන, නුවණ උදා කරන, සංසිඳීම ඇති කරන, විශේෂ ඤාණය ඇති කරන, අවබෝධය ඇති කරන, නිවන පිණිස පවතින්නා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක් ද?

අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථිදං; සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි.
ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්, සම්මා දිට්ඨිය ද, සම්මා සංකල්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙය යි.
අයං ඛෝ සා භික්ඛවේ, මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.
පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද, දහම් ඇස ලබා දෙන, නුවණ උදා කරන, සංසිඳීම ඇති කරන,විශේෂ ඤාණය ඇති කරන, අවබෝධය ඇති කරන, නිවන පිණිස පවතින්නා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් මෙයයි.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛං අරියසච්චං. ජාති'පි දුක්ඛා ජරා'පි දුක්ඛා ව්‍යාධි'පි දුක්ඛෝ මරණම්පි'දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය යි. ඉපදීම ද දුකකි. ජරාවට පත් වීම ද දුකකි. රෝග පීඩා වැළඳීම ද දුකකි. මරණය ද දුකකි. අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තූන් සමඟ එක්වීම ද දුකකි. ප්‍රිය පුද්ගලයන් හා ප්‍රිය වස්තූන් ගෙන් වෙන්වීම ද දුකකි. කැමති වන්නා වූ යම් දෙයක් ඇද්ද, එය නොලැබීම ද දුකකි. සංක්ෂේපයෙන් කීවොත් පංච උපාදානස්කන්ධයෝ ම දුකකි.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛසමුදයං අරියසච්චං. යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී. සෙය්‍යථිදං; කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.
පින්වත් මහණෙනි, මෙය වනාහී දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. පුනර්භවය ඇති කරන, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ, ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් ඒ තණ්හාවක් ඇද්ද, එය යි. එනම්, කාම තණ්හාව ය, භව තණ්හාව ය, විභව තණ්හාව ය.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධං අරියසච්චං. යෝ තස්සායේව තණ්හාය අසේසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ.
පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. ඒ තණ්හාවේ ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමක් වේ ද, අත් හැරීමක් වේද, දුරු වීමක් වේ ද, තණ්හාවෙන් මිදීමක් වේ ද, ආලය නැතිවීමක් වේ ද එය යි.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථිදං; සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි.
පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්, සම්මා දිට්ඨිය ද, සම්මා සංකල්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙයයි.

ඉදං දුක්ඛං අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.
පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍යන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.
පින්වත් මහණෙනි, ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.
පින්වත් මහණෙනි, ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ලදි යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඉදං දුක්ඛසමුදයං අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.
පින්වත් මහණෙනි, මෙය වනාහී දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
තං ඛෝ පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.
පින්වත් මහණෙනි, ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
තං ඛෝ පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහීණන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.
පින්වත් මහණෙනි, ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය වූයේ යයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඉදං දුක්ඛනිරෝධං අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.
පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
තං ඛෝ පනිදං දුක්ඛනිරෝධං අරියසච්චං සච්ඡිකාතබ්බන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.
පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
තං ඛෝ පනිදං දුක්ඛනිරෝධං අරියසච්චං සච්ඡිකතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.
පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කරන ලදි යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චන්ති මේ භික්්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.
පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං භාවේතබ්බන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.
පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හිී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං භාවිතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.
පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කරන ලදි යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

යාවකීවඤ්ච මේ භික්ඛවේ, ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං න සුවිසුද්ධං අහෝසි. නේවතාවා'හං භික්ඛවේ, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං.
පින්වත් මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව සැබෑ තත්වය නම් වූ ඤාණ දර්ශනය සුවිශුද්ධ ලෙස මා හට යම් තාක් අවබෝධ නො වූයේ වේ ද, ඒ තාක් කල් ම පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුළ මම වනාහී අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා නො දුන්නෙමි.

යතෝ ච ඛෝ මේ භික්ඛවේ, ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහෝසි. අථා'හං භික්ඛවේ, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං.
යම් කලෙක පින්වත් මහණෙනි, මා හට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව සැබෑ තත්වය නම් වූ ඤාණ දර්ශනය සුවිශුද්ධ ලෙසට ම අවබෝධ වූයේ වේ ද, එකල්හී පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුළ මම වනාහී අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා දුන්නෙමි.

ඤාණඤ්ච පන මේ දස්සනං උදපාදි, අකුප්පා මේ චේතෝ විමුත්ති අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ'ති.
මා හට ඤාණ දර්ශනය පහළ විය. මාගේ චේතෝ විමුක්තිය වෙනස් නොවන්නේ ය. මෙය වනාහී අන්තිම ඉපදීම වේ. දැන් මා හට පුනර්භවයක් නැත්තේ ය.
ඉදමවෝච භගවා. අත්තමනා පඤ්චවග්ගියා භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මේ ධම්මචක්ක දේශනය වදාළ සේක. අතිශයින් ම සතුටට පත් වූ ඒ පස්වග භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ ශ්‍රී සද්ධර්මය මහත් සොම්නසින් යුතුව පිළිගත්තාහු ය.

ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්ඛුං උදපාදි, යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධධම්මන්'ති.
මේ ධම්මචක්ක දේශනය වදාරණ කල්හී ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා වූ යම් දෙයක් ඇද්ද, හේතූන් නිරුද්ධ වීමෙන් ඒ සියල්ල ම නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත යයි කියා කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස පහළ විය.
පවත්තිතේ ච පන භගවතා ධම්මචක්කේ භුම්මා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්'ති.
අප ගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි දී අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහී ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නොහැක්කේ ම යැයි කියා පොළොවවාසී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

භුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා දේවා සද්දමනුස්සාවේසුං ......
පොළොවවාසී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා චාතුම්මහාරාජික දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
චාතුම්මහාරාජිකානං දේවානං සද්දං සුත්වා තාවතිංසා දේවා සද්දමනුස්සාවේසුං ......
චාතුම්මහාරාජික දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා තාවතිංස දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
තාවතිංසානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්දමනුස්සාවේසුං ......
තාවතිංස දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා යාම දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්දමනුස්සාවේසුං ....
යාම දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා තුසිත දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාණරතී දේවා සද්දමනුස්සාවේසුං ....
තුසිත දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා නිම්මාණරතී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
නිම්මාණරතීනං දේවානං සද්දං සුත්වා පරනිම්මිතවසවත්තිනෝ දේවා සද්දමනුස්සාවේසුං. ......
නිම්මාණරතී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා පරනිම්මිතවසවත්තී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
පරනිම්මිතවසවත්තීනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්මපාරිසජ්ජා දේවා සද්දමනුස්සාවේසුං ......
පරනිම්මිතවසවත්තී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා බ්‍රහ්මපාරිසජ්ජ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
බ්‍රහ්මපාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍රහ්මපුරෝහිතා දේවා සද්දමනුස්සාවේසුං....
බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
බ්‍රහ්මපුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහාබ්‍රහ්මා දේවා සද්දමනුස්සාවේසුං ......
බ්‍රහ්ම පුරෝහිත දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා මහා බ්‍රහ්ම දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
මහාබ්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරිත්තාභා දේවා සද්දමනුස්සාවේසුං ....
මහා බ්‍රහ්ම දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා පරිත්තාභ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
පරිත්තාභානං දේවානං සද්දං සුත්වා අප්පමාණාභා දේවා සද්දමනුස්සාවේසුං ...
පරිත්තාභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප්පමාණාභ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
අප්පමාණාභානං දේවානං සද්දං සුත්වා ආභස්සරා දේවා සද්දමනුස්සාවේසුං ...
අප්පමාණාභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා ආභස්සර දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
ආභස්සරානං දේවානං සද්දං සුත්වා පරිත්තසුභා දේවා සද්දමනුස්සාවේසුං ....
ආභස්සර දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා පරිත්තසුභ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
පරිත්තසුභානං දේවානං සද්දං සුත්වා අප්පමාණසුභා දේවා සද්දමනුස්සාවේසුං ....
පරිත්තසුභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප්පමාණසුභ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
අප්පමාණසුභානං දේවානං සද්දං සුත්වා සුභකිණ්හකා දේවා සද්දමනුස්සාවේසුං ......
අප්පමාණසුභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා සුභකිණ්හ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
සුභකිණ්හකානං දේවානං සද්දං සුත්වා වේහප්ඵලා දේවා සද්දමනුස්සාවේසුං ...
සුභකිණ්හ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා වේහප්ඵල දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
වේහප්ඵලානං දේවානං සද්දං සුත්වා අවිහා දේවා සද්දමනුස්සාවේසුං .....
වේහප්ඵල දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අවිහ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
අවිහානං දේවානං සද්දං සුත්වා අතප්පා දේවා සද්දමනුස්සාවේසුං ....
අවිහ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අතප්ප දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
අතප්පානං දේවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්දමනුස්සාවේසුං ...
අතප්ප දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා සුදස්ස දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සී දේවා සද්දමනුස්සාවේසුං ......
සුදස්ස දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා සුදස්සී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.
සුදස්සීනං දේවානං සද්දං සුත්වා අකණිට්ඨකා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්'ති.
සුදස්සී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප ගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි දී අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහී ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නොහැක්කේ ම යැයි කියා අකනිට්ඨ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

ඉතිහ තේන ඛණේන තේන මුහුත්තේන යාව බ්‍රහ්මලෝකා සද්දෝ අබ්භුග්ගඤ්ඡි. අයඤ්ච දසසහස්සී ලෝකධාතු සංකම්පි සම්පකම්පි සම්පවේධි.
ඒ ක්ෂණයෙහි ම, ඒ මොහොතෙහි ම, බ්‍රහ්ම ලෝක යම් තාක් වේ ද, ඒ තාක් ම මේ දහම් ඝෝෂාව පැතිර ගියේ ය. දස දහසක් ලෝක ධාතුව ම කම්පා විය. තදින් ම කම්පා විය. බලවත් ව කම්පා විය.
අප්පමාණෝ ච උළාරෝ ඕභාසෝ ලෝකේ පාතුරහෝසි අතික්කම්ම දේවානං දේවානුභාවන්'ති.
දෙවියන් ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ ආලෝකයක් ලෝකයෙහි පැතිර ගියේ ය.
අථ ඛෝ භගවා උදානං උදානේසි;
එකල්හී භාග්‍යවතුන් වහන්සේ උදානයක් පහළ කළාහු ය.
අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝති.
භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් ම අවබෝධ කළා. භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් ම අවබෝධ කළා.

ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤොත්වේව නාමං අහෝසී'ති.
මේ ආකාරයෙන් ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට අඤ්ඤාකොණ්ඩඤ්ඤ යන මේ නාමය ඇති වූයේ ය.

ඒතේන සච්චේන සුවත්ථි හෝතු!

මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!

-උපුටා ගැණීමකි -

අද ඒ මහා භාග්‍යවතුන් වහන්සේ දහම් සක ලොවට වදාළ ඇසළ පුන් පොහෝ දිනයයි . ඒ නිමිති කරගෙන අපි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිංහල තේරුම සමග ක...

නොපිට ගිය සොහොන් කාලි පූජාව ( 5 ) අවසාන කොටස








මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

ස යු :- මන්තර , කන්නලවු සියල්ල කියවීමෙන් කිසිඳු දොසක් ඇති නොවේ . මන්තර සියල්ල වෙනස් කර ලියන ලද ඒවා වේ . කතාවේ නියම රසය විඳීමට ඒ සියල්ලම කියවිය යුතු බව මතක් කර සිටිමි .

පසුගිය කොටසින්


පසුව ඒවා එකින් එක ගෙන තටුවේ ඒ ඒ ගැබ් වල පිළිවෙලින් තැම්පත් කලෙමි . මට කලියෙන් සීයා පිළියෙළ කරන ලද තටුවේ වැඩ අවසන් වූ නිසා මා පිළියෙළ කල තටුවේ හරි වැරදි බැලීමට සීයා පැමිණියේය . එක් වරක් වැරදුණු මෙම ගුරුකම නැවත වරක් වරදවා ගැනීම නුවණට හුරු නැති බව සීයාද සිතන්නට ඇත .

සීයා සියලුම දේවල් නැවත පරීක්ෂා කර බලා අංජනම කඩුව සහ කිණිස්ස රැගෙන එන ලෙස මා පිටත් කළේය . ඒවා තිබුණේ බණමඩුවේ අපගේ කළමණා තබා තිබූ ස්ථානයේය . මම ඒ සියල්ල රැගෙනවිත් සීයාට දුනෙමි . සීයා පළමුව අතට ගත්තේ කිණිස්සයි . කිණිස්ස අතට ගත් හෙතෙම සියල්ලන්ම අමතා මෙසේ පැවසීය .

අද එතැන් සිට

" එකෙක් වරද්දගත්ත දේ නිසා ආයෙත් පාරක් වරද්දගත්තොත් අපි හැමෝටම මේකට බිලි වෙන්න වෙනවා කියලා මගේ හිත කියනවා . ඒ නිසා මේක ආයෙත් වරද්දගන්න මම කැමති නෑ . මම අකමැති උනාට බැහැ නෙව ඔය හැමෝමත් එහෙම වෙන්න ඕන . ඒකට කරන්න තියෙන්නේ තමාට පැවරිලා තියෙන රාජකාරිය ඒ ඒ වෙලාවට අකුරටම ඉෂ්ට කරන එක විතරයි . අර පැදුර ගෙනැල්ලා මෙන්න මේ හරියෙන් එලන්න . ඔය පිදේනි තටුවල තියෙන පන්දම් පත්තු කරාට පස්සේ ඒවායේ එළිය පැදුරට වැටෙන්න තියෙනවනම් තමයි වඩාත්ම හොඳ " 

" සීයේ අංජනමයි කඩුවයි ? "

" අංජනම තියන්න මෙන්න මේ කනප්පුව උඩ . කඩුව තියන්න සොහොන් කාලි යක්ෂනියට පුද දෙන තටුව උඩ " 

මම පන්සලේ කඩුව පිදේනි තටුව උඩ තබා අංජනම තවදුරටත් අතේම තබාගෙන සිටියෙමි . සීයා අංජනම තබාගැනීමට කුඩා කනප්පුවක් ඉල්ලාගත්තේ පන්සලේ පොඩි හාමුදුරුවන්ගෙනි . උන්වහන්සේ විටින් විට පැමිණ මේ සියල්ල වෙනුවෙන් අපට හැකි අයුරින් උපකාර කලහ . සවස කනප්පුව සෝදා කහදියර ඉස පිරිසුදු කළේය . දැන් එය අංජනම තැබීමට සුදුසු එකකි . නමුත් මම අංජනම එහි නොතබා අතේම තබාගෙන සිටියෙමි . 

මේ අතරතුර සීයාගේ විධානය අනුව ඇබිත්ත කොලුවා දම්වැල් පිටින්ම ඔසවාගෙන අවුත් පිදේනි ඉදිරියේ තබන ලද පැදුරේ තැබීය . ඔහුට තවම සිහියක් නැත . එහෙමයි කියා පරල වී කෑ ගසන්නේද නැත . බෙර ගසන්නන් සීරුවෙන් බලා සිටින්නේ බෙරය හැඬවීම කොයි වේලාවේ ආරම්භ කිරීම කළයුතුදැයි කියා සීයා විධාන කරන තුරුය . පසෙක , පන්සලේ පොඩි හාමුදුරුවන් එලන ලද සුදු පිරුවටයක් සහිත ආසනයක වැඩ සිටී .






මීට අමතරව ගමේ කීප දෙනෙකුම පන්සල් වත්තේ රැදී සිටී . උදව්වට අදාළ නොවන සියලු දෙනා පන්සල් වත්තෙන් පිටමං කරනවන ලෙස සීයා සියාතු සීයාට කිවේය . ඊට හේතුව වුයේ පෙරේත තටු සහ පිදේනි තටු තබන ස්ථාන වල අනවශ්‍ය ලෙස ගැවසීම අමනුෂ්‍ය දෘෂ්ටීන් වැටීමට ඉඩ කඩ සලසන බැවිනි . සියාතු සීයාගේ හඬට අවනත වූ ඔවුන් පන්සල් වත්තෙන් පිටත් වී ගියේය . දැන් වැඩ රාජකාරි ආරම්භ කිරීමට අවස්ථාවයි . 

" සියාතු මේ ඇබිත්ත කොලුවා නැගිට්ටම බඩට ආපත්ති වෙන මොනවා හරි කාලා ඉන්නවනම් ඒවා වමනේ කරවන්න පොවන්න පොල්ගෙඩි දෙකක විතර මිටි කිරි ඕන වෙනවා . ඊට පස්සේ යහමින් කන්න දෙන්න කිරි හොද්දක් එක්ක බතක් ඕන වෙනවා . ඒවා මෙහෙ හදලා හරියන්නේ නෑ . මොකද ඒවටත් යක්ෂ දිෂ්ටි වැටුනොත් . ඒ නිසා සියාතු වෙන ගෙදරකින් ඒවා හදවලා තියාගන්නනවනම් හොඳයි ඕන වෙලාවට කියලා ගෙන්න ගන්න පුළුවන් තැනකින් " 

" මම එහෙනම් අරනෝලිස් අයියේ අපේ ගෙදරින්ම ඒවා හදවලා තියන්නම් . මම ගෙදරට පණිවිඩයක් යවන්නම් " 

සීයා කහ වතුර පුරවා තබන ලද භාජනය අතට ගෙන පන්සල් වත්තේ දෙහි ගසෙන් දෙහි කොළ හතක් ඇති අත්තක් කඩා එයින් කහවතුර මුළු තොවිල් භූමිය පුරාවටම ඉසින්නට විය . පිදේනි තටු , පහන් පැළ පවා කහ වතුර බිඳිති වලින් පවිත්‍ර විය . අනතුරුව සීයා ගිනි දල්වන ලද කුඩා පන්දමක් රැගෙන පන්සල් වත්තේ හතරකොන සාදන ලද පහන් පැළ හතර වෙන සියාතු සීයාද සමග ගොස් දෙවියන්ට කන්නලව් කළේය . 







සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැඳ නමස්‌කාර කොට කියනුයේ ශ්‍රීමත් උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස , ඔබ වහන්සේ වෛකුණ්‌ඨ පර්වතයෙහි ගුරුළු වාහනාරූඪව යහතින්ම ශ්‍රී ලංකාද්විපයත්, සම්බුධ ශාසනයත්, මුළු මහත් දඹදිවත්, ද්වීප සතරත්, දහඅට දේශයත්, සතරදේවාලයත්, , දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයත් දිවැස්‌ බලා වැඩ වදාරන්නා වූ උතුම් ශ්‍රී විෂ්ණු දේව දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස·. අසුර යුද්ධයෙන් මාර යුද්ධයෙන් විජය ශ්‍රී ලබා ලෝක සත්වයාට සෙතත් ශාන්තියත් ලබාදී වැඩ වාසය කරන ශ්‍රීමත් සිද්ධ ශ්‍රී විෂ්ණු දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස මොහුට වැළඳී ඇත්තා වූ දේව දෝෂ යක්ෂ දෝෂ ඇස්‌වහ කටවහ හදි හූනියමකින් ඇතිවූ සියලු දෝසාන්ධකාර දුරුකර දෙවා වදාරා මේ අසරණයාගේ පිනට පිහිට වී පින් ගන්න සේක්‌වායි· ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව්‍ය කර්ණයට වැටී දිව නෙතට පෙනී මොහුගේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ට කර දෙන සේක්‌වායි, ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝ වේවා·ආයු බොහෝ වේවා·ආයු බොහෝ වේවා·!!!!!





සාධු! සාධු!! දොහොත් මුදුනේ තබා වැන්දෙම්, දෙපා වැන්දෙම්, ශ්‍රීමත් සිද්ධ තේජෝබල පරාක්‍රමාන්විත රණමයුර වාහනාරූඪව රක්‌තවර්ණ ශ්‍රී දේහයකින්ද · මුහුණු සයකින් · විචිත්‍ර නානාවිධ ආයුධ දොළසක්‌ අත් දොළොසේ දරා නිතර කන්දේ වැඩ වාසය කරන තෙද ඇති කතරගම දිව්‍යරාජෝත්තමයාණන් වහන්ස· කතරගමට කිරි වෙහෙරට, මැණික්‌ ගංගාවට, රුහුණු මාගම්පුරට, වැඩිහිටි කන්දට, මුන්නේශ්වරම් දේවාලයට, යහතින් දිවැස්‌ලා බලා වැඩ වාසය කරන සිද්ධ ස්‌කන්ධ නාමෝපලක්‌ක්‍ෂිත කතරගම දෙවි මහා රාජෝත්තමයාණන් වහන්ස· ඔබදෙවි හාමුදුරුවන් වහන්සේට අතනගා අයෑද සිටින්නේ මොහුට සිතින්, කයින්, භාරවීමකින්, අමතක වීමකින් මා අත යම් වරදක්‌ ඇතත්, ඔබ වහන්සේ සමා වී මා විසින් නමස්‌කාරයෙන් කියා සිටින අභිමතාර්ථයන් ඉෂ්ට කරදීමෙන්ද· ඇස්‌වහ, කටවහ, නවග්‍රහ හූනියමකින් වැද පැමිණි සියලු දොaෂ ගසා දුරු කොට පිනට පිහිට වී පින් ගන්නා සේක්‌වා· ඔබ කීර්ති පස්‌වාන් දහසකට ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා !!!!!




තෙද වරම් පස්වාන් දහසකට බුදුවන්ඩ සිද්ද පත්තිනි දේව මාතවුනි . තවද මෙලොව සත්වාරයක් පහල වූ හෙයින් සත් පත්තිනි යන නමින් ප්‍රසිද්ද වන ඔබ දිව්යාන්ගනාවුන් වහන්සේ දෙමට මලෙන් නයි කඳුලෙන් ගිනි ජාලාවෙන් පිනි බින්දුවෙන් සිනා රැල්ලෙන් මවිත අඹෙන් මෙසේ සත් වාරයක් ලොව පහල වූ සත් පත්ත්තිනි දිව්යාන්ගනාවුන් වහන්ස.සුර ලොවින් අසුර ලොවට වරම් ලබා අසුර ලොවින් නාග ලොවට වරම් ලබා නාග මානවිකාවන් දසදහසක් පිරිවරා පුන්කලසක් ශ්‍රී හස්තයෙන් දරාගෙන පිහිටි දිව්‍ය මන්දිරාමානව නවගමුව හිමි දේවාලයට අධිගෘහිතව වැඩ වසන සිද්ද පත්තිනි දිව්යානගනාවුන් වහන්ස.ඔබ වහන්සේගේ දිව්‍යනුභව සිඳලමියි සිතා සක්‍ර දිව්‍ය රාජයෝ සුරලොවින් සතර පැත්ත කපා අට බොරදන් ගා එවූ මල කොස් කණුව පොරකවුලා දළු ඇද තුන් දුමාව පලගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් පරංගි සමයක් කාරයන්ගේ යුද්දය තුන් මාසයක් කල්තියා දැනගෙන නවගමුව දේවාලයෙන් රුවන් සළඹ සත් නමක් මැදගොඩ ඇල්ලට ඇලිකිඹුලෙක් පිටෙහි වැඩමවා මැදගොඩ ඇල්ලෙහි කෙලිපුද ගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් තවද ඔබ වහන්සේ අන්දුන්ගිරි පර්වතේ තපස් රකිනවා දැක සක්‍ර දිව්‍ය රාජයා මහලු වෙස්ගෙන අන්දුන්ගිරි පර්වතයට වැඩ නැගෙනියනි මට දානයක් දෙන්නයි කියූ තැනේදී කුමන දානයක්දයි අසු තැනේදී අන්දුන්ගිර පයින් පාගා මඩකර දියෙන් ගිනිගෙන බොජුන් තනා දෙන්නයි කිව තැනේදී අන්දුන්ගිර පාගා මඩකර සුවඳ ඇල් වි ඉස පැලකොට ගොයම් කපා වී කොටා පොලා දියෙන් ගිනි මොලවා සත් පැයෙන් දානය දී හමාර කර මතු බුදු වන්ඩ ප්‍රර්ථනා කර සක්‍ර දිවය රාජයාගේ ආනුභාවයෙන් පඬිපුර අඹ ගෙඩියෙහි පිළිසිඳ පඬි රජුගේ තුන් නෙතින් නළලෙහි නෙත මැකෙන්ඩ වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් තවද ස්වාමී පාලඟ මැරූ පඩිරජුගේ මාලිගාවට වැඩම කරවා තමා රක්ශාකල පතිදම් ශිලයෙන් වම තනය ඉරා ගලවා මාලිගාවෙහි පොලවේ ගසා පඬි රට ගිනිගන්නට සාප කල හෙයින් පඬිරට එක පෑමුක්කාලෙන් ගිනිගෙන අළු දුලි වන්නට වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් නම් මේ ආතුරයාආරක්ෂා කර දෙන්නට දැන වදාරා නවගමුව දිව්‍ය මන්දිරයෙහි චිරාත් කාලයක් වැඩවසමින් ලංකාද්වීපය දිව නෙතින් බලා වදාරන්නට සමා වෙනවයි ඔබ කිර්ති පස්වාන් දහසකට ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා !!!!!






ශ්‍රී සිද්ධ බල ඇති සමන්ත කූඨ පර්වතයේ වැඩවසන සුදු ඇත් වාහනයකින් ගමන් යන ශ්‍රී පාද පද්මයට අරක්‌ ගෙන එය ආරක්‍ෂා කරන මහාධීර වීර තේජාන්විත සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස,
අප තිලෝගුරු අමා මෑණි බුදු රජාණන් වහන්සේ මණිඅක්‌ත නාරජුගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වැඩි ගමනේදී ඔබ වහන්සේගේ ඉල්ලීම පිළිගෙන වසර පන්දහස්‌ පන්සියයක්‌ ශ්‍රී ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනය බැබළෙන බැව් දිව නෙතින් දැක සමන්තකූඨ පර්වත මස්‌තකට වැඩම කොට තමන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාලෙන් බුද්ධ ශාසනයට ඔබ වහන්සේගෙන් සිදු වූයේ ඉමහත් සේවයකි.
එවක්‌ පටන් ඔබ වහන්සේ ශ්‍රී පාදස්‌ථානය භාරව සිංහල දේශයත් බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කරනවා සත්‍යයයි. දොහොත් ඒ සත්‍යානුභාව බලයෙන් මුදුන්දී ඉල්ලා සිටින මෙම කන්නලව්ව ඔබ වහන්සේගේ දිවකනින් අසා දිව නෙතින් බලා අප වෙත බලපාන්නා වූ අණ විණ දෝෂාන්ධකාර යක්‍ෂ, භූත ප්‍රේත පිසාචාදීන්ගේ ඇල්ම, බැල්ම, විද්වංශනය කොට දී වාත පිත්ත සෙලෙස්‌මාදියෙන් වන දොෂාන්ධකාර ග්‍රහ දෝෂ හිරු දුටු පිනි මෙන් දූරී භූත කරවා ඔබ වහන්සේගේ පිහිටපතා වැඳවැටී අයදින්නා වූ අපගේ ඉල්ලීම් ඒ ආකාරයෙන් ඉෂ්ඨ සිද්ධ කර දෙන සේක්‌වා කිර්ති පස්වාන් දහසකට ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා !!!!!

පිළිවෙලින් පහන් පැළ හතර දක්වා ගමන් කල සීයා තමාට නියමිත රාජකාරිය අකුරටම ඉෂ්ට කරමින් කන්නලව් කරමින් සෑම පහන්පැලකම ඇති පහන් දැල්වීය . පහන දැල්වූ සීයා පිදේනි තටු අසලට පැමිණ සූනියම් දෙවියන්ට ආරාධනා කරන්නට කන්නලව්ව කියමින් මන්ත්‍ර මතුරන්නට විය .






....................................ඕං ඉන්ද්‍ර නීල සුර රාම දිෂ්ටි නීල හංස ඔඩ්ඩි මස්සිනේ වර වර චන්ද්‍ර සූර්ය දිෂ්ටි නීල වර්ණ දිෂ්ටියෙන් බබළ බබළා වරෙන් කල්ල කූඨ ධාරණී සුර රාම ඔඩ්ඩි මස්සිනේ මාගේ හදවතට ආරූඪව දිෂ්ටි වර වර ඔඩ්ඩියා නීල පාසාන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං රාම ඔඩ්ඩියා පරමේශ්වර කදිර නාරායනේ වර වර කල්ලු කූඨ මස්සිනා වර වර කාකා උපුට උපුටා වර වර මාදෙස බලා මහවිෂ්ණු ආනුභාවෙන් ඔඩ්ඩිමස්සිනේ හනුමා ලෝක ධාරණී වර වර ඔඩ්ඩියානේ මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං සුර ගුරුළු කල්ලු ගිනි විමානේ උපුට උපුටා වර වර ඔඩ්ඩියා ගර්ජනා කර මුහුදු හතේ කොදෙව් දෙදහසේ නොසිට වර වර ඔඩ්ඩි මස්සිනේ ස්වර්ණ දිෂ්ටි වැටී වර වර මස්සිනා මා ගිලගන් මා රැකගන් වර වර නමඃ ඕං ප්‍රලයං පං කාම රූපනී හං හං වං ත්‍ර එං එං මූර්තු කාකීල ඔඩ්ඩිමස්සිනේ වර වර පිල්ලු පෙරළුසුම් ශූල වර්ණ අවතාර හෙළා දිෂ්ටි වර වර බන්ද බන්ද අයිය ප්පුල්ලේ කල්ලු කූට විමානේ කරකැවි වර වර මස්සිනා උග්‍ර බිම්බේ මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං ගිනි අල්ලා බ්‍රාඩි හනුමන්තා ගිනි ගිනි විෂ්ණු වර වර ඉර බන්දු කාම රූපී යක්‍ෂණියන් පිරිවරා දඹදිව හිමාල වනය රන් තුඹස පිට වැඩ සිටගෙන මේ නරලොවට ගෙන්නූ ආනුභාවෙන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං හනුමන්තා හුලිංග මලේ කච්චින්තු දළපුර හස්ති කන්ද ස්වාමි අණින් එන්ඩ ඔඩ්ඩි මස්සිනේ වේලා පුරන්දා මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං ත්‍රිං ත්‍රිං අස්මාරී මහා බල ඔඩ්ඩි මස්සිනේ සාමානි එන්පුරන්දු ශ්‍රී විෂ්ණු ආනුභාවෙන් මා ගිලගන් මා රැකගන්න වර වර නම................................

සාධු සාධු සාධු..........................!

තෙදවරම් පස්වාන් දහසකට ආයු ලැබ ඉරන්ද නම් වනයේ අජාසත්ත පර්වතයේ යහතින් වැඩ සිටින සිරසමත ධවල ජටාවකින්ද සැඩපලු දහතුනකින්ද පොලොඟුන් දහතුනකින්ද රකුසු මුහුනකින්ද බඳවට නයින් ජාලයක්ද එක උරයක කරවැලුන් හතර දෙනෙක්ද සුරතට වඩිග කඩුවක්ද වමතට ගිනිකබලක්ද ගෙලවට නයෙකුද හිස සිට දෙපතුල දක්වා නාගයන් දෙදෙනෙකුද දරා දිවිසම් වතින් සැරසුන නිල්වන් දේහයකින් යුතුව නිල්වන් අසෙකු පිට පැන නැගී යක්ෂ රාක්ෂ නාග රාජ කුමාරාදී දස අවතාරයකින් පෙනී සිටින දස දෙස විපුල කීර්ති සත්‍යානුභාවයෙන්ද තවද මෙම ශ්‍රී ලංකාද්වීපයේ සහ එක්ලක්ෂ හතලිස්දහසක් ගණ කෝවිල්වලට යහතින් දිවස් ලූ කබලෑවට අරක් ගත් ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයානන් වහන්සේට දෙපා වැඳ මා කරන කන්නලවුව ඔබගේ දිව කනින් අසා දිව නෙතින් බලා ඔබවහන්සේ නමින් ඔප්පු කරන සුවඳ දුම් මල් පහන් පුද පූජා පිළිගෙන මේ ආතුර ප්‍රාණ කාරයන්ට වැදී ඇත්තාවූ සකලවිද උවදුරු දුක්ඛාන්ධකාරයන් දුරින් දුර නසා මොවුන් වෙත බැල්ම දිෂ්ටිලා විනකර අම්ලාකර සිටින්නාවූ යක්‍ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ ආදීන් සැනෙකින් පලවා හැර සෙත් සාන්තිකර සකල රෝගාබාද ධූරීභූතකර ආයු රක්ෂාකර දී වැඩ වදාරන සේක්වා !!!

ශිව මස්තු නමෝ රාමඃ
කන්ධ සේනා සමාගමඃ
වඩිගතන්ත්‍ර මණී කණ්ඨ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ

සීයා මන්තර මතුරා කන්නලව් කර සියල්ල අවසානයේ පන්සලේ පොඩි හාමුදුරුවන් ලවා සෙත් පිරිත් දේශනාවක් සිදුකරවා දෙවින්ට පිං අනුමෝදන් කරවීය . අනතුරුව අංජනම ඇරීම සඳහා මන්තර මතුරා අංජනම ඇරීය . අංජනම සහිත කනප්පුව ඉදිරියේ මා හිඳුවා මන්තර මතුරනවිට අංජනම පැහැදිළි වී හනුමන්තා දෘශ්‍යමාන විය . අනතුරුව සීයාගේ විධානයෙන් බෙර වාදනය ආරම්භ විය . රාත්‍රී දහය පමණ වී ඇතත් පන්සලේ ඇසෙන මෙම බෙර ශබ්දය කුමක්දැයි කියා විමසා බැලීමට ගමේ මිනිසුන් විටින් විට එන්නට පටන්ගත් හෙයින් පන්සලේ ගේට්ටුව අසල කෙනෙකු රඳවා තැබූයේ ඔවුන් නැවත හරවා යැවීමටය . දැන් සියල්ල සූදාන්නම්ය . කාලි අම්මාගේ දිෂ්ටිය ගෙන්වාගැනීමට මන්ත්‍ර පිරීම දැන් ආරම්භ විය යුතුය . ඊට පෙර සීයා මා අමතා මෙසේ පැවසීය .

" පුතේ මම මන්තර මතුරනකොට අංජනමෙන් පෙනෙයි සොහොන් කාලි අම්මා මෙතනට වඩිනවද නැත්ද කියලා . ඒ වගක් දැක්ක ගමන් පුතා මට කතා කරලා කියන්න ඕන හොඳද ? "

" හා සීයේ "

සීයා සොහොන් කාලි අම්මා වෙත දීමට සකසා තිබුණු පිදේනි තටුව අසල කුඩා බංකුවක් තබා හිඳගෙන දුම්මල කුඩු සහිත භාජනය කෙනෙකු ලවා තමා අසලට ගෙන්වා ගත්තේය . කුඩා පන්දමක් අතින් ගත් සීයා පිළිවෙලින් දිෂ්ටි මන්ත්‍ර මතුරා අවසානයේ සොහොන් කාලි අම්මා ගෙන්වා ගැනීමට මන්ත්‍රය මැතිරීම ආරම්භ කළේය . මේ දක්වා නිසොල්මනේ සිටි ඇබිත්ත කොලුවා පරල වී කෑගසන්නටද පටන් ගත්තේය .







...............මරුකාම හස්තිරේ වා වා නසී කොන්ඩු වාරුම් වර සොහොන් කාලි අම්මා හෙන ගිනි බන්ධන ඉඩහැරී එන්ඩ සොහොන් කාලී වා අඩා වා................
ආකාශ වාරුන් පාතාල වාරුන් වර සොහොන් කාලි අම්මා වඩිග බන්ධන ඉඩ හැරී එන් සොහොන් කාලී වා අඩා වා .....................
ඇසුර ගිනි රාක්ෂ සොහොන් කාලි  අම්මා රාම ශර බන්ධන ඉඩහැරී එන් සොහොන් කාලී වා අඩා වා ............
සත් ඉර සත්දන්ත කපාල කොන්ඩු විෂ්ණු දළ කඩවර වර සොහොන් කාලි අම්මා පිල්ලි බන්ධන ඉඩ හැරී එන් සොහොන් කාලී වා අඩා වා.......................
සිවාකා මේ කා කා වාරුන් වර සොහොන් කාලි අම්මා රාම බන්ධන ඉඩ හැරී එන් සොහොන් කාලී වා අඩා වා ................
භාගිනි රාක්ෂයා වඩිග හඬ දැරූ ගිනි රාමයෙන් සොහොන් කාලි අම්මා තෙලිඟු බන්ධන ඉඩ හැරී එන් සොහොන් කාලී වා අඩා වා .........................
කල්ලු ගිනි රාක්ෂ දේව ගිනි නීල රාක්ෂ සොහොන් කාලී අම්මා විෂ්ණු බන්ධන ඉඩ හැරී එන් සොහොන් කාලී වා අඩා වා ........................
කයිරප්පාම් රාඩී වර සොහොන් කාලි අම්මා දෙවගිනි බන්ධන ඉඩ හැරී එන් සොහොන් කාලී වා අඩා වා ............
දේව කාම ගුරුළු නීල කොන්ඩු වැරුම් වර සොහොන් කාලි අම්මා දේව බන්ධන ඉඩ හැරී එන් සොහොන් කාලී වා අඩා වා ...................
ගුරු පේසා හැර ගිනි වඩිග කොන්ඩු වැරුම් වර සොහොන් කාලි අම්මා ජාල බන්ධන ඉඩ හැරී එන් සොහොන් කලී වා අඩා වා .................
සූර්ය නීලා කොන්ඩු ප්පේසා සීසා සොහොන් කාලි අම්මා තාරුකා බන්ධන ඉඩ හැරී එන් සොහොන් කාලී වා අඩා වා ......................
රන් ගිනි කුමාර අප්පොච්චී පාතාල නාග වාරුම් සොහොන් කාලි අම්මා චන්ද්‍ර බන්ධන ඉඩ හැරී එන් සොහොන් කාලී වා අඩා වා ....................
කදිර වා පාතාල සොහොන් කාලි අම්මා ග්‍රහ බන්ධන පිපිරී ඉඩ හැරී එන් සොහොන් කාලී වා අඩා වා ..............

මන්ත්‍රය ක්‍රම ක්‍රමයෙන් පැයක් පැය එකහමාරක් පමණ ජප කිරීම සිදුවීමෙන් අවසානයේ සොහොන් කාලි දිෂ්ටිය අප සොයා පැමිණියාය .

" සීයේ ඔන්න ඔතනින් අයින් වෙන්න සොහොන් කාලි අම්මා ඔය තටුව ගාවට ආවා "

සීයා වහා නැගිට අංජනම අසලට පැමිණියේය .

" එහෙනම් පුතේ සොහොන් කාලි අම්මාට පිදේනිය භාරගන්න කියන්න "

සොහොන් කාලි යක්ෂණිය තම පිදේනිය කැප ගත්තාය . එහි අඩංගු දේවල් අත් දෙකෙන්ම අල්ලා කටේ ඔබාගන්නා ආකාරය මම අංජනමෙන් දිටිමි . සැබවින්ම එය ඉතාම භයංකර දර්ශනයකි . බිත්තර කටේ දමා බිත්තර කටු පිටින්ම ගිල දමයි . කුකුලාගේ බෙල්ලෙන් අල්ලා දෙකට කැඩුවාය . එසැනින් මර ලතෝනි දෙමින් සිටි කුකුලා නිශ්ශබ්ධ විය . අංජනමෙන් පෙනෙන දර්ශනය සැබවින්ම දැකීමට කිසිවෙකුට වරම් නොතිබිණි . එය දෘශ්‍ය මාන වූ එක් අවස්ථාවක් නම් මෙම කුකුලා මිය යාමයි . සොහොන් කාලි දිෂ්ටිය මෙම පිදේනිය කැපගන්නා තුරු කිසිවෙක් ඒ සඳහා බාධා කලේ නැත . බෙර ගසන්නෝ සීයාගේ විධානය අනුව බෙර ගැසීම නවතා බල සිටියහ .








" සීයේ දැන් නම් පිදේනිය අරගෙන ඉවරයි වගේ "

" එහෙනම් අහන්න දැන් මේ අපේ සියාතු කරපු වරදට සමාව දෙන්න පුළුවන්ද කියලා ? "

" සීයේ සමාව දෙන්න පුළුවන් කියනවා . ඒත් එක දෙයකට පොරොන්දු වෙන්න කියලා කියනවා "

" අහන්න පුතේ ඒ මොකක්ද කියලා "

" සීයේ , සියාතු සීයාට ආයෙත් ගුරුකම් කරන්න තහංචියි කියලා කියනවා "

" සියාතු ? "

" අරනෝලිස් අයියේ ? "

" මොකද කියන්නේ ? කැමතිද ? "

" කැමතියි අරනෝලිස් අයියේ "

" එහෙනම් කැමතියි කියන්න පුතේ . දිෂ්ටිය අපිව අතෑරලා ගියා කියලා අපි කොහොමද දැනගන්නේ කියලා අහන්න "

" සීයේ , පන්සල් වත්තේ තියෙන අඹ ගහේ අත්තක් බිමට පාත් කරලා දාලා ඉවත් වෙන්නම් කියලා කියනවා "

" හොඳයි එහෙනම් "

බෙරකරුවන්ගේ බෙර වාදනය නැවත ආරම්භ විය . සීයා සොහොන් කාලි දිෂ්ටිය නවතන මන්ත්‍ර මතුරන්නට විය . මද වෙලාවක් යනවිට හමන සුළඟ ප්‍රචණ්ඩ වන බවක් පෙනී ගියේය . පන්සල් වත්තේ ඉදිරිපසට වන්නට සිටුවා තිබුණු අඹ ගසේ විශාල අත්තක් " බෝස් " හඬ නවමින් බිමට පතිත විය . සොහොන් කාලි දිෂ්ටිය යන්නට ගොසින්ය . තිබූ ලොකුම අවදානම අවසන්ය .








" මගේ සොහොන හදලා තියපල්ලා . තොපි සේරම මරණවා දැනගනිල්ලා . මම රජ්ජුරුවන් වහන්සේ එක්ක රජ මාලිගාවේ වැඩ කටයුතු කරපු නිළමේ . තොපි මගේ සොහොන ආයෙත් ගොඩනගාපියවූ...."

ඇබිත්ත කොලුවාගේ ශරීරයට නිළමේ තුමාගේ ආත්මය ආවේශ වී ඇත . එයද දැන් නිවැරදි කලයුතු ගැටළුවකි . අප සිතුවේ අබිත්තයාගේ ශරීරයට ආවේශ නොවී නිළමේ තුමාගේ දිෂ්ටිය වෙනමම ගෙන්වා ගැනීමටය . එහෙත් බන්ධනය කැඩී ඇබිත්ත කොලුවා ආවේශ වී ඇත .

" සියාතු , මේ නිළමේ තුමාව බන්ධනය කළා කියලා උඹ කිව්වා නේද ? "

" අරනෝලිස් අයියේ , ඒ බන්ධනයත් පූජාව අතපසුවෙලා නිසා කැඩිලා ගිහින් කියලා තමයි මම හිතන්නේ . මම අහගෙන හිටියා අරනෝලිස් අයියා කිව්ව මන්තර . ඒවාට අනුව මේ බන්ධනය ලේසියෙන්ම කැඩෙන්න පුළුවන් "

" හ්ම්ම්ම් , ඒකත් එහෙමද ? "

නිළමේ තුමාට කැප කිරීමට සාදන ලද පෙරේත තටුව අසල හිඳගත් සීයා ප්‍රේතයාට පිදේනිය කැප කිරීම සඳහා මන්තර මතුරා පිදේනිය කැප ගැනීමට අවසර දෙන ලදී . නිළමේ තුමාගේ ප්‍රේතාත්මය පිදේනිය කැපගන්නා ආකාරය මාහට අඳුන හරහා පෙනේ . ඔහුට නිළමේ කෙනෙකුගේ හුළඟක් හෝ වැදී  තිබුණු බක් නොපෙනේ . තටුවේ තබා ඇති ආහාර අත් දෙකෙන්ම රැගෙන කටේද මුහුණෙද හැම තැනම ගාගනිමින් කන අයුරු ඉතාම අප්‍රසන්නය .

පිදේනිය කැපගත් බව දැන්වූ පසු සීයා තම හඬ අවධි කළේය .

" නිළමේ තුමා දැන් බඩ කට පිරෙන්න කෑවද ? "

" ඔව් "

" එහෙනම් දැන් මේ ප්‍රාණකාරයා අතාරලා යන්න ඕන . අපිට කරදර කරන්නේ නැතුව "

" එහෙම බෑ . මේ මගේ වත්ත . මගේ කනත්ත තියෙන්නෙත් මෙතන . මමත් ඉන්නේ මෙතන . මගේ සොහොන හදලා දෙනකල් මම ප්‍රාණකාරයා  දාලා යන්නේ නෑ "

" තෝ දැනගනින් , තෝ මොන මහ නිළමේ කෙනෙක් උනත් මට කමක් නෑ . මම තෝව ගිනියම් වෙවී ඉන්න මතුරනවා . මතුරලා බෝතලේක දාලා හිර කරලා මුහුදේ දානවා දැනගනින් . මේ ඉඩමයි මේ ප්‍රාණ කාරයයි අතෑරලා යනවා හොඳයි මගේ යකා අවුස්සන්නේ නැතුව "

තමන් මෙතෙක් වූ මහන්සිය හා තෙහෙට්ටුව නිසාදෝ මෙවර සීයාට කේන්ති ගොස් තිබිණි . ඇබිත්ත කොලුවා නිහඬ විය .

" ගනින් ඔය කහ වතුර භාජනය "

උදව්වට සිටි අයෙකු ගෙනැත් දුන් කහ වතුර භාජනය අතට රැගෙන සීයා පැයක් පමණ නොනවත්වාම මැතිරුවේය . මන්ත්‍ර මතුරන අතර වාරයේ ඇබිත්ත කොලුවා නිළමේ තුමා ලෙස නැවතත් තම හඬ කළේය .

" අනේ මාව ගිනි ගන්නවා වගේ . මාව නිදහස් කරන්න . මට ඉන්න බැහැ . හතරවටින්ම මාව ගිනි ගන්නවා වගේ . මන්තර මතුරන එක නවත්තන්න . මම යන්නම් "






" දැන් තේරෙනවනේ ඔහේගේ මාන්නෙට වඩා මගේ මන්තරේ ලොකු විත්තිය . ඔහේ යන්නම් කිව්වට මට විශ්වාස කරන්න බැහැ . ඒ නිසා ඔහෙට නිදහසේ ඉන්න තැනක් මම පිළියෙළ කරලා දෙන්නම් "

සීයා දැන් සූදානම් වන්නේ නිළමේ තුමාගේ ප්‍රේතාත්මය කනත්තට රැගෙන ගොස් ඇණ ගැසීමටය . මෙවන් ප්‍රේත ඇණ ගැසීමකට කලින් වතාවකද මා සහභාගී වී තිබිණි . සීයා ප්‍රේතයින් ඇණ ගසන්නේ කනත්තකදීය . කනත්තේ ගසකට පෙරේත තටුව සමග ගෙනගොස් තබා එයට මතුරන ලද කහ දියර ඉසීමෙන් මෙම ඇණ ගැසීම සිදු කරනු ලබයි . එහිදී ප්‍රේතයා එම ස්ථානයට හිර වන අතර එම බන්ධන කඩා දැමීමෙන් පමණක් නැවත නිදහස් කිරීමට හැකියාව තිබේ . එය විශේෂ ගුරුකම් වලින් පමණක් සිදු කරනු ලබන නිසා නැවතත් ප්‍රේතයා පැමිණේය යන බිය කිසිවිටෙක ඇතිවන්නේ නැත .

" ළමයිනේ ඔන්න ඔය ඇබිත්ත කොලුවා පැදුරත් එක්ක ඔතාගන්න සොහොන් පිටියට අරගෙන යන්න . තව කීප දෙනෙක් මෙන්න මේ පෙරේත තටුව පෙරලෙන්නේ නැතිවෙන්න කරතියාගන්න . චූටි පුතේ ඔයා අංජනම වහන්න , මන්තර මතුරලා . පස්සේ අංජනම හාමුදුරුවන්ගේ අතට පරෙස්සමට තියාගන්න කියලා දීලා එන්න මාත් එක්ක කනත්තට යන්න "

මම අංජනම වැසීමට මන්තර මතුරා අඳුන වසා අඳුන් පෙට්ටිය හාමුදුරුවන්ගේ අතේ තැබීමි .

" හාමුදුරුවනේ . කිලි කුණු අහුවෙන්නේ නැතිවෙන තැනක තියන්න "

මම සීයා සමග කනත්තට යාමට පිටත් වීමි . කනත්ත පිහිටා තිබුණේ ගමේ පැත්තකය . පයින්ම ගමන්ගත් අපට පාර පෙන්වන ලද්දේ පන්දම් ආලෝකයයි . කනත්තට පිවිසි අප අවසානයේ නිලමේතුමාගේ ප්‍රාණය සහිත ඇබිත්ත කොලුවා බිම තබා පෙරේත තටුවද ඒ අසලින් තබා ඇණගැසීමේ කාර්යය ආරම්භ කලේය .

සීයා කහ දියර කලය මැතිරුවේය . මතුරා දෙහි කොළ ඇත්තෙන් ඇබිත්ත කොලුවාට කහ දියර ඉස්සේය .

" මාව හිර කරන්න එපා ! "

ඒ ඔහුගේ අවසාන වාක්‍යයයි . කහ දියර ඉසිත්ම හේ නිහඬ විය . සියල්ල සිදුකර හමාරය . ඉතිරි කහ දියර ටිකද සීයා ඇබිත්ත කොලුවාගේ ඇඟටත් පෙරේත තටුවටත් ඉස්සේය . ඉසේ ඉස එම කලය එතැනම පොළවේ ගසා තම කාර්යයේ අවසානය සනිටුහන් කළේය .

        


" එහෙනම් සියාතුවේ ඒ කාරියත් ඉවරයි . උඹ නිදහස් , ඇබිත්ත කොලුවත් නිදහස් . හාමුදුරුවන්වත් මැරෙන්න කලින් නිදහස් කරන්න තිබ්බා මේ වගක් කලින් දැනගෙන හිටියනම් . මොනවා කරන්නද . හාමුදුරුවන්ගේ පූරුවේ කරුමයක් වෙන්න ඇති "

සියාතු සීයා බිම බලා සිටියේ නිහඬවය .

" එහෙනම් හැමෝම ආයෙත් පන්සලට යමු . මේ ඇබිත්ත කොලුවට තාම සිහියක් ඇවිත් නැති හැඩයි . ඒකව පන්සලටත් අරගෙන යමු මේ අරගෙන ආවා වගේම "

අපි නැවතත් පන්සලට පැමිණියෙමු . සියල්ල සංසුන්ය . ඇබිත්ත කොලුවාගේ දම්වැල් සියල්ල ගලවා දැමීය . පසුව පැන් කලයක් මතුරා මුහුණට ඉස්සේය . ටිකෙන් ටික දෑස් විවර කල ඇබිත්ත කොලුවා වටපිට බලා මගේ බඩ රිදෙනවා වගේ කියා සෙමෙන් මිමිණුවේය .

ඔය පොල්කිරි භාජනය ගෙනෙල්ලා මේකට පොවන්න . සීයා ඇබිත්ත කොලුවාගේ හිස ඔසවා අල්ලගෙන පොල් කිරි සියල්ල එක  " හුස්මට බීපන් පුතේ " කියා පෙව්වේය . කිරි භාජනයේ භාගයක් පමණ බීගත් ඇබිත්ත කොලුවා බීගත් ප්‍රමාණයට වඩා වමනේ දමා පිට කළේය . දෙවෙනි වරටද මේ ක්‍රියාව කල පසු ඔහුගේ බඩේ තිබුණු ආපත්ති වූ සියලු ද්‍රවය ඉවත් විය . පසුව සියාතු සීයාගේ නිවසෙන් රැගෙන ආ කෑම භාජන ඔහු ඉදිරියේ තබ්බවා

" උඹට කමති තරමක් කාපන් පුතේ " කියා සීයා කීවේය .

ඇබිත්ත කොලුවා බඩ කට පුරා කෑවේය . ඔහුගේ කෑමත් සමගම සියලු කාරණා අවසාන විය .

" මේ සොහොන් කාලි පිදේන්නත් කනත්තට ගිහින් දාන්න . මේ යාතුකර්මයට ගත්ත අනිත් ගම දේම ගඟට දාන්න . කවුරුවත් මොකවත්ම ගන්න එපා හොඳද ? "

පසුව සීයා පහනකට තෙල් ස්වල්පයක් ගෙන ආරක්ෂා මන්ත්‍රයක් මතුරා එහි සිටි සියල්ලන්ගේම නළලේ තිලක තැබීය . හාමුදුරුවන්ගේ නළලේ පවා තිලක තැබීය .

පසුව පන්සලේ පොඩි හාමුදුරුවන්ට නමස්කාර කල මම සීයා සහ සියාතු සීයා ගත යුතු සියල්ල රැගෙන පන්සලෙන් නික්ම සියාතු සීයාගේ නිවසට පැමිණියෙමු . සියාතු සීයාගේ බිරිඳ අපට නිදාගැනීමට කාමරයක් පිළියෙළ කර තිබූ හෙයින් මුහුණ අත පය සෝදාගෙන සීයාද මමද නිදාගත්තෙමු . මෙතෙක් දවස් පුරාවට අප වූ මහන්සිය නිසාදෝ ඇඳට වැටුණු වහාම අප දෙදෙනාටම නින්ද ගියේය .

උදෑසන සීයාට ප්‍රථමව මම අවදි වීමි . අවදිවී මද වෙලාවක් සිටි මා සීයාට ඇහැරෙන නිසාවෙන් සද්ද ඇතිනොවන ලෙස ඇඳෙන් බිමට බැස සියාතු සීයාගේ නිවසේ සාලයට පැමිණියෙමි . සියාතු සීයා මා පැමිණෙන විට සාලයේ පැත්තක කොපි පොත් සහ පුස්කොල පොත් ගොඩක් වටේට තබාගෙන බලාගත් අත බලාගෙන සිටියේය .

" සියාතු සීයේ . මොකද මේ පොත් ටික එලියට ඇදගෙන ? "







" මම පොරොන්දු ඉෂ්ට කරන්න හදනවා පුතේ . මම ගුරුකම නවත්තනවා . මගේ හත්මුතු පරම්පරාවේම නමට මේ වෙච්ච දේ පරහකට හිටියා . අපේ තාත්තා සීයා මුත්තා කවුරුවත් ජීවිතයක් හානි කරගත්තේ නෑ ගුරුකම නිසා . ඒත් නායක හාමුදුරුවෝ අපවත් උනේ මම නිසා කියලා හිතෙනකොට මට හැමදේම එපා වෙලා ගියා "

" දැන් සීයා මොකද කරන්න හදන්නේ ? "

" ඉන්නකෝ සීයා නැගිට්ටම අපි කතා කරමු "

මම සියාතු සීයාගේ නිවසේ මිදුලට බැස වටපිට සෝදිසි කර බැලීමි . ඒ අතරවාරයේ සීයා අවදි වී මිදුලට ආවේය .

" සියාතු සීයා මන්තර පොත් ටික එළියේ දාලා තියෙනවා දැක්කා . සියාතු මට තවම මුණගැහුනේ නෑ . මොකද දන්නේ නෑ දැන් කරන්න හදන්නේ ? "

" ගුරුකම අතාරිනවා කිව්වා සීයේ "

සීයා දෑස් විශාල කර මාදෙස බැලුවේය .

" පොත් ටික එලියට ඇදගෙන මේ මනුස්සයා මොනවා කරන්න හදනවද දන්නේ නෑ . බලමුකෝ "

" සීය නැගිට්ටම කියන්නම් කිව්වේ "

ඒ අතර වාරයේ සියාතු සීයා මිදුලට පැමිණියේය .

" අරනෝලිස් අයියේ පොඩ්ඩක් ගේ ඇතුලට ආවනං "

" මොකද සියාතු ? "

" ආවනම් මම කියන්න මොකටද කියලා "

මමද සීයාද සියාතු සීයා සමග නිවාස තුලට පිවිසියෙමු . සියාතු සීයා අප කැඳවාගෙන ගියේ තමාගේ පොත් ගොඩ අසලටය .

" අරනෝලිස් අයියේ , මම තීරණය කරා මේවට නැවතුම තියන්න . මම පොරොන්දු වෙච්චි එකේ ආයෙත් මේවා කරන්න මට වරං නැහැ . මේ පොත් සේරම මගේ හත්මුතු පරම්පරාවෙන් මට උරුම වෙච්ච දේවල් . මට පුතාල නැති විත්තිය අරනෝලිස් අයියා දන්නවනේ . දුවත් දැන් ඉන්නේ එයාගේ මනුස්සයාගේ ගෙදර නිසා අපේ ගෙදර දැන් මේවා වෙනුවෙන් කවුරුවත් ඇත්තේ නැහැ . මෙච්චර ඉක්මනට මට මේවා නවත්තන්න වෙයි කියලා මම හිතුවේ නෑ . ඒත් දැන් නවත්තන්න කාලේ හරි . මම පාන්දර ගෙදර ආව වෙලාවේ ඉඳලා මේ පොත් සේරම පෙරල පෙරලා බැලුවා . පවුලෙන් පිටට දෙන්න බැරි පොත් කීපයක් තියෙනවා . මේ තියෙන්නේ ඒවා . මම ඒවාට දැන්මම ගිනි තියනවා "

සීයා නිහඬව බලා සිටියේය . සියාතු සීයා එම පුස්කොල පොත් මිටිය අතට රැගෙන අපත් සමග මිදුලට පැමිණියේය . ඔහුගේ දෙනෙතින් කඳුළු බිංදුවක් රූරා වැටෙනු මම දුටුවෙමි . මෙය පරපුරක අවසානය සනිටුහන් කරන අවස්ථාවක්හෙයින් මගේ සිතේ තදින්ම එම සිදුවීම් මාලාව සටහන්විය .

" අරනෝලිස් අයියේ . මට මේකට ගින්දර තියන්න අත ඉක්මන් වෙන්නේ නැහැ . මම වෙනුවෙන් , අපේ පරම්පරාව වෙනුවෙන් හිතේ කහටක් තියාගන්නේ නැතිව මේ පොත් ටිකට ගින්දර තියන්න "

සීයා කාගේ වුවද ගුරු කමට ගරු කරන පුද්ගලයෙක් බව මා දනී . එහෙයින් හෙතෙම එම පුස්කොල පොත් මිටිය අතට ගෙන සියාතු සීයාගේ මිදුලේ තබා දෑත් එක්කොට නමස්කාර කළේය . සියාතු සීයාගේ ඇස් දෙකෙන්ම කඳුළු කැට කඩා හැලුනද ඔහු අඬන්නට තරම් ලාමක පුද්ගලයෙකු නොවීය .

සීයා ගිනි කූර ගසා පොත් මිටියට ගින්දර තැබීය . පසුව කෝටුවක් ගෙන එම පොත් විසිරුවමින් ගිණිබත් වනතුරුම එහා මෙහා පෙරලීය . සියාතු සීයා එම රාජකාරිය අවසාන වන්නට මත්තෙන් නිවස තුලට පිවිසියේ තමා පන මෙන් මෙපමණ කාලයක් ආරක්ෂා කල මෙම පොත් ගිනි ගන්නවා බලා සිටීමට නොහැකි වූ හෙයින් විය යුතුය .

පොත් සියල්ල ගිනිගෙන අවසාන වීමත් සමගම සීයාද මමද නිවස තුලට පිවිසියෙමි .

" අරනෝලිස් අයියේ උදේ කෑම ලැස්ති කරලා තියෙන්නේ . මුණ කට හෝදගෙන ආවනම් "

මමද සීයාද මුහුණ කට සෝදා පිරිසිදු වී පැමිණ උදෑසන ආහාරය ගත් පසු සියාතු සීයා නැවත අප කැඳවීය .






" අරනෝලිස් අයියේ . මේවා ඔක්කොම මට නැති කරලා දාන්න හිත දෙන්නේ නෑ . මේ පොත් ටික අරනෝලිස් අයියා ගන්න . ඒවායේ තියෙන දේවල් මේ දරුවට උගන්නන්න . සමහර දේවල් අරනෝලිස් අයියගේ ගුරුකම් වලට වඩා මේ පොත් වල තියෙන ඒවා වෙනස් . ඒ නිසා මේවත් මේ දරුවට උගන්නන්න . අපේ පවුලේ නොවුනත් අරනෝලිස් අයියාගේ ගෙදර වගේ තැනක මේවා ආරක්ෂා වෙලා තියෙන නිසා මට හිත හදාගෙන මැරෙන්න පුළුවන් . බෑ කියන්නේ නැතිව මේ ටික භාරගන්න . මේ පොත් දාලා තිබ්බෙ පොඩි ලී පෙට්ටගමක . ඒකත් මම කරත්තයට පටවලා දෙන්නම් . අරනෝලිස් අයියා පෙට්ටගම පිටින්ම පොත් ටික අරගෙන යන්න "

" සියාතුවේ . මේ ගැන තව කල්පනා කරලා බැලුවනම් නරකද . මේ පළාතටම තව කෙනෙක් නැති එකේ කෙනෙක් පුහුණු පුරුදු කරලා උගන්නලා ගත්තනම් නරකද මම අහන්නේ . පවුලේ නොවුනත් විශ්වාස වන්ත කෙනෙක් නැද්ද මේවා උගන්නන්න ? "

" දැන් හැදෙන උන් විශ්වාස කරන්න බැහැ . අනික අයියේ මේවා උගන්නන්න ඕන ඒවා ලේ වලටම කාවැදිලා තියෙන කෙනෙක්ට . මේවා අරනෝලිස් අයියා භාරගන්න . ගිනි තිබ්බ ඒවා දෙන්න කොහෙත්ම විදියක් නැහැ , මොකද මම ඒවා ගන්නකොට පිටට දෙන්නේ නෑ කියලා පොරොන්දු උන නිසා . ඒ නිසා මේ ටිකවත් භාරගන්න . මම මගේ ඉඩකඩම් ටික බලාගෙන කුඹුරු කොටාගෙන ජීවත් වෙනවා "

" හොඳයි එහෙනම් සියාතු . සියාතුට මේ පුණ්‍ය කර්මය හේතු කරගෙන දුකක් අතුරු ආන්තරාවක් නැතිව ජීවත් වෙන්න වාසනාව දහිරිය ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා . චූටි පුතේ මට නෙවෙයි  , මේවා ඔයාට . සියාතු සීයාට වැඳලා මේ ටික භාර ගන්න "

" මම සියාතු සීයාට වැන්දෙමි "

ඔහු මගේ හිස අතගා

" මම දන්නවා පුතාට මේ ගුරුකමත් හොඳට පිහිටනවා කියලා . වගකීමෙන් වැඩකරන්න පුතේ . ජීවිතයක් කියන්නේ මහා වගකීමක් . අපිට හැප්පෙන්න වෙලා තියෙන්නේ පෙනෙන නොපෙනෙන ජීවිත අතරේ "

" හොඳමයි සීයේ . සීයාට ගොඩාක් පිං . පුළු පුළුවන් වෙලාවට සීයා වලව්වට ඇවිත් යන්න එන්න . අපිත් එන්නම් සීයා බලලා යන්න "

සියාතු සීයාගේ දෙනෙත දිළිසෙමින් තිබිණි . සියල්ල අවසානයේ සියාතු සීයා තම කාමරයේ තිබුණු පෙට්ටගම මාත් සමග සාලයට රැගෙනවිත් පොත් සියල්ල එහි පිළිවෙලකට අඩුක්කර පියන වසා අගුලු ලා යතුර මා අත තැබීය .

අනතුරුව සීයා සහ මම නැවත වලව්ව බලා පිටත් වීමට සූදානම් වීමු . වලව්වේ කරත්තකරු සමග සියාතු සීයා පොත් පෙට්ටගම කරත්තයට ඔසවා තැබීය . මම සියාතු සීයාගේ බිරිඳට වැන්දෙමි .

" ඔය පොත් ටික මෙයා පණ වගේ ආරස්ස කලේ දරුවෝ . අනේ මන්දා මේවා ඉතින් "

" ආච්චිඅම්මත් සියාතු සීයා එක්ක එන්න වලව්ව පැත්තේ ඇවිල්ලා ටික දවසක් ඉඳලා යන්න . බුදු සරණයි ආච්චි අම්මේ "

" බුදුසරණයි පුතේ "







සීයා සහ මම වලව්වේ කරත්තයට ගොඩ වූ අතර සියාතු සීයා ඔහුගේ කරත්තයට ගොඩ විය . සියාතු සීයාගේ නිවසට සමුදුන් අපි අනතුරුව ගමන් කලේ පන්සලටය . පන්සලේ පොඩි හාමුදුරුවන් අප පිළිගත්තේය .

" ගුරුන්නාන්සේ හැබෑම දක්ෂයෙක් කියලා ඊයේ තමයි මම දැනගත්තේ "

" ඒක සුළු දෙයක් හාමුදුරුවනේ . මම මේ ගම රට බලා යන්න කියලා . තකහනියෙම පන්සලට ගොඩවුණේ එක දැනමුතුකමක් දීලා යන්න . හාමුදුරුවනේ පුළුවන් නම් මේ නිළමේ තුමාට පිං අනුමෝදන් වෙන්න දානයක් දෙන්න . මොනවා උනත් මේ ඉඩකඩම් පන්සලට පූජා කරපු උත්තමයෙක් නෙව "

" ඒක ඇත්ත . මම මේ පන්සලට එහා ගමේ පන්සලේ දෙවෙනි හාමුදුරුවන් වැඩියයින් පස්සෙන් පහු ඒ වෙනුවෙන් දානයක් දෙන්නම් "

" කෝ හාමුදුරුවනේ ඇබිත්ත කොලුවා ? "

" ඔන්න දන් ගෙයි පැත්තේ හිටියා "

" අපි එහෙනම් ඒ පැත්තට ගිහින්ම බලන්නම් හාමුදුරුවනේ . අපිට යන්න අවසර "

" සුවපත් වේවා ! "

දන් ගෙට යනවිට ඇබිත්ත කොලුවා එහි හිඳ දවල් බුද්ධ පූජා බන්දේසිය පිළියෙළ කරමින් සිටියේය . සීයා දුටු හෙතෙම දිව විත් සීයාට වැන්දේය .

" ආ ඉලන්දාරියා දැන් ඇඟට අමාරුවක් එහෙම දැනෙන්නේ නැහැනේ නේද ? "

" නැහැ ගුරුන්නාන්සේ "

" හ්ම්ම් එහෙනම් අපි මේ ගම රට බලා යන්නය කියලා . අපි ගිහින් එන්නම් දරුවෝ . ඔය දරුවට බුදු සරණයි ! "

ඇබිත්ත කොලුවා නැවත සීයාට වැන්දේය . පසුව අප පන්සලේ දිවා බුද්ධ පූජාව පූජා කිරීමෙන් අනතුරුව හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ලබාගෙන පන්සලෙන් පිටත් වීමු . සියාතු සීයාද කරත්තය පසුපස පන්සලේ ගේට්ටුව තෙක් පයින් පැමිණියේය .

" සියාතුවෝ........................ මම උඹව මරණවා " ඒ ඇබිත්ත කොලුවාගේ කට හඬය . සියල්ලෝම හැරී එකවරම පන්සල දෙස බැලීය .

ඇබිත්ත කොලුවා ආවාස ගෙය ඉදිරිපස සිට සිනහවක් පෑවේය .

              කොටස් පහක් පුරාවට දිව ආ නොපිට ගිය සොහොන් කාලි පූජාව මෙසේ සමාප්ත කරමි .
මෙම කතා මාලාවේ ඊළඟ කතාව මලයාල නාග වෛරෝඩිය ලෙස නම් කරමි . 

( හැබැයි තවම හිතලා තියෙන්නේ නම විතරයි හරිය . ඒ නිසා කතාව එන්න තව කල් යයි ) 
( මියැසියේ රසකතා එක්ක දිගටම රැදී ඉන්න  ) 



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි . ...