සාත්තර ආතා ( 6 අවසන් කොටස )





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

" හොඳයි සීයේ " 

අංජනම වසා රැගෙන යායුතු සියල්ලද සූදානම් කර මම පන්සලේම ස්වාමීන් වහන්සේ නමක විසින් සකසා දුන් ස්ථානයක ඇලවුණේ මහන්සියට වඩා දරාගත නොහැකි නිදිමත තුනී කරගැනීමටය . 

පසුදා උදෑසනම අවදි වූ මම සීයාගේ අනුදැනුම ඇතුව රැගෙන යායුතු සියල්ලද රැගෙන නැවතත් සිටිනාමළුව දක්වා පිටත් වීමි . එහි ප්‍රධාන අරමුණ වූයේ අංජනම කිල්ලෙන් ආරක්ෂා කරගැනීමයි . 

මරණයේ වැඩකටයුතු අවසාන වී සීයා වලව්වට පැමිණියේ පසුදා හවස් වන විටදීය . සාත්තර ආතා එසේ මාතරින් නික්ම ගියද ඔහුගේ බැල්ම තවමත් මාතරින් තුරන්වී නොතිබිණි . එහි ඊළඟ ඔට්ටුව ආරම්භ වූයේ සාත්තර ආතා මිය ගොස් දවස් හත ගතවූවාට පසුව වලව්වට ආ පණිවුඩයත් සමගය . එබැවින් විනය කැපීම ආකාරයකට කතාවේ නවමු ආරම්භයක් ලෙස සටහන් කල හැක . 

අද එතැන් සිට 

" මොකද මේ දරුවා ආයෙත් කරත්තේ දක්කාගෙන වලව්වට ආවේ . එපාර කාටද අපිව ඕන වෙලා තියෙන්නේ ? " 

" ගුරුන්නාන්සේ , මේකනම හදිස්සි කාරණාවක්මත් නෙවෙයි . ඒත් ඉක්මන් වෙන්න උවමනා දෙයක් " 

" හ්ම්ම් . ඔහෙන් ඉඳගෙන කියමු බලන්න එහෙනම් කතාව සහසුද්දෙන්ම "





සාත්තර ආතාට අසනීප බව කියා සීයාත් මමත් කැඳවාගෙන යාමට ආ කරත්තයම නැවතත් වලව්වට පැමිණියේය . ඒ නැවතත් සීයා කැඳවාගෙන යාමටය . නමුත් සීයා අතර සහ එම කරත්ත කරු අතර කතාව තවමත් අවසන් වී නැත .

" මරණේ කටයුතු අහවර වුණායින් පස්සෙන් පහු ගුරුන්නාන්සේ වලව්වට ආවා නෙව . ගුරුන්නාන්සේට මතකද අර පොඩි කොලු ගැටයෙක් හිටියා සාත්තර ආතට උදවු උපකාර කරපු පවුලේ අයගේ " 

" ආ . මට ඔය කියන ළමයා මතකයි සීයේ . ඒ ළමයා මගෙන් මන්තර ගැන අංජනම ගැන එහෙමත් වැඩි වැඩියන් හාරවුස්සන ප්‍රශ්න අහ අහා තමයි හිටියේ " 

" මටනම් එච්චර නිච්චි නැහැ . ඒත් දැක්කොත් අඳුරාගන්න පුළුවන් . හා කතාව කියමුකෝ බලන්න " 

" අන්න ඒ දරුවට සාත්තර ආතා ඇවිත් වහලා නෙව "

" ආ උන්දා එහෙනම් මිය ගියාට ගම අතෑරලා ගිහින් නැහැ . දැන් ඉතින් මොකද ඒ දරුවාට ගොඩක් අමාරුද ? කලබල කරනවද ? " 

" හැම වෙලේම නැහැ ගුරුන්නාන්සේ . රාත්තිරියට ඔන්න ටිකක් කලබල කරනවා . ඇඟේ පතේ මස් පොදක් නැති වුණාට මොකද ආවේස වුනාට පස්සේ අලියා වගේ . කිසි කෙනෙක්ට මෙල්ල කරන්න බැහැ . ඇඟ පත යකඩ පරාදයි " 

" හ්ම්ම් . දැන් ආවේ මාව එක්කාසුකරගෙන යන්නද ? " 

" එහෙමයි ගුරුන්නාන්සේ . ඒ ගෙවල් කිට්ටුව ඉන්න ඇදුරෙක් ලවා ඇප නූලක් දැම්මා සතියකට කල් යල් ඉල්ලාගෙන . ඒත් දරුවා මෙල්ල කරන්න බැහැ . ඒ නිසා ඒ ඇදුරාත් කිව්වා ගුරුන්නාන්සෙ එක්ක එන්නය කියලා " 

" හ්ම්ම්ම්ම් . එහෙනම් යමුකෝ බලන්න . චූටි පුතා මේ කරත්තේ ඉස්සරවෙලා ගිහින් යමක් කමක් කරන්න පටන් ගන්න . මම එන්නම් වලව්වේ කරත්තෙන් " 

" හොඳයි සීයේ " 


සීයාගේ අවසරය ලත් ඇසිල්ලේම මම සූදානම්වී වලව්වෙන් පිටත් වීමි . දහවල් කාලයේ මෙවැනි දීර්ඝ ගමනක් යාම තරමක අසීරු කටයුත්තක් විය . එහෙත් රෝගී දරුවාගේ සුබසෙත උදෙසා මටත් වඩා වෙහෙස වූයේ කරත්තය ඇදගෙන ගිය ගවයාය . ඒ කරත්ත කරුගේ කෙවිටි පහර අනුව පෙන්වන පාරේ ගමන් කිරීමටයි . දරුවා සිටි නිවස තිබුණේ පන්සල් වත්තට අනෙක් පසින්ය . සාත්තර ආතාගේ නිවස පන්සලෙන් එහා පැත්තේද දරුවා ජීවත් වන නිවස මෙහා පැත්තේද පිහිටා තිබීම නිසා මෙම නිවාස දෙක අතර එකිනෙකා යහමින් ඇඳුරුම්කම් කල බව මට තේරුම් ගියේය . 

දරුවා අප යනවිට කිසිඳු හැලහොල්මනක් නැතිව සිටියේය . මම ඔහුගේ ඇස් අනුව තේරුම් ගතිමි ඔහුගේ ශරීරයේ අමනුෂ්‍යයෙකු වැසී සිටිනා බව . මම සීයා අනුකරණය කරමින් අමනුෂ්‍යයාට කෑගැසුවෙමි . 

" උඹ හිතාගෙන ඉන්නේ මම උඹ ඉන්නවා කියලා දන්නේ නැහැ කියලද ? . කතා කරපං " 

මගේ හඬට අමනුෂ්‍යයා අවදි වුයේය .

" උඹ පොඩි එකෙක් . අරනෝලිස් අයියා ආවත් මම මේ පරාණ කූඩුව දාලා යන්නේ නැහැ " 

" හඃ හඃ හඃ හඃ . වෙසමුණි සැරේ රස්නේ ගැන දන්නේ නැතුව වගේ සාත්තර ආතා කතා කරන්නේ " 

" ගියත් මම මේ පරාණ කූඩුව අරගන්න එනවා . දැන් එකෙක් ඇවිත් සතියයි කියලා නූල් දාලා ගියා . මම නූල කැඩේව්වා . කවුරු ආවත් ඔච්චර තමයි . මුන් මට සැලකුවේ මගේ මන්තර සාත්තරේ හූරගන්න . කපටි හැත්ත . මුන් මගේ පොත් පත් හොරෙන් ගන්න හැදුවා . මං ඒවා දන්නවා . මම ඒක නිසා තමයි පොත් පත් ගිණි තිබ්බෙව්වේ " 

" ඉතින් මේ ළමය මොකවත් කරේ නැහැනේ . ඒ නිසා මේ ළමයා අතෑරලා යන්න " 

" මේ ළමයාට උගන්නවන්න තමයි උන්ගේ මහ උන් දෙන්නට ඕන වෙලා තිබුණේ . ඒ නිසා මම පලි ගන්නවා . මම මුට වරමක් දෙනවා . මූ වරම ගන්න ඕන . නැත්නම් මම මූව ගන්නවා " 

" කේ මේ ළමයාගේ අම්මා තාත්තා දෙන්නා එන්න මෙහාට " 

" අනේ ගුරුන්නාන්සේ අපේ දරුවා බේරලා දෙන්න " 

" හා . කියමු බලන්න මේ කතාව " 

" අපි හරිම දුප්පත් මිනිස්සු . ළමයින්ගේ තාත්තා මාළු රස්සාව තමයි කරන්නේ . හැමදාම ඔරු නැගලා ඔය අල්ලන් එන මාළු විකුණලා තමයි අපි ජීවත් වෙන්නේ . ඒත් ඒ මුදල අපිට හොඳටම මදී . ඒ නිසා ජීවත් වෙන්න විදියක් හොය හොයා තමයි අපි උන්නේ ගුරුන්නාන්සේ " 

" ඉතින් " 

" සාත්තර ආතා මියැදෙන්න වැටුණු වෙලාවේ අපි උදවු කරා තමයි . අපි හිතුවා සාත්තර ආතා අපිට මන්තර සාත්තරේ උගන්නයි කියලා . පස්සෙන් පහු අපි කිව්වා දරුවට මන්තර සාත්තරේ උගන්නන්න කියලා සාත්තර ආතාට කියන්න කියලා " 

" ඉතින් වැඩක් වුණාද ? " 

" ඒකට උන්දා කැමැත්තෙන් හිටියේ . ඒත් අපිට මොකවත් කියලා දුන්නේ නැහැ . අන්තිමට උන්දා මියැදුනා . මගේ දරුවා ලෙඩ වුණා . අනේ මගේ දරුවා බේරලා දෙන්න ගුරුන්නාන්සේ " 

" හ්ම්ම් . මට දැන් තේරෙනවා මොකද වෙලා තියෙන්නේ කියලා . සීයා දැන් එනවා කියලා කිව්වා . මාව කලියෙන් එව්වේ කලබල කරනවානම් ඒක ගැන මොනවා හරි කරන්න කියලා . මේ ළමයා අපි පන්සලට එක්කගෙන යමු " 

මම දරුවාගේ අතින් අල්ලාගත්තෙමි . එහෙත් ඔහුගේ අත ඉතාමත් දරදඬු වී තිබේ . මම අත අතාරින්නේ නැතිවම පන්සල කරා ඔහු කැඳවාගෙන ගියෙමි . 

" පොඩි හාමුදුරුවනේ , නායක හාමුදුරුවෝ ඉන්නවද ? " 

" ආ මේ අර ගුරුන්නාන්සෙ එක්ක ආව අනිත් ගුරුන්නාන්සේ නේද ? . මෙහෙන් ඉන්නකෝ . මම නායක හාමුදුරුවන්ට කතා කරන්නම් " 





නායක ස්වාමීන්වහන්සේ සමග මම මෙම දරුවා සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කලෙමි . නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ සාත්තර ආතා ඈත කාලයකට නෑකම් කියන පරපුරක හිමිකරුවෙක් බවයි . එවැනි පුද්ගලයෙකු ඔහුගේ ශාස්ත්‍රය සිල්ලර වෙළඳාමේ යොදවන්නේ නැති බව නායක ස්වාමීන් වහන්සේ පැවසූහ . 

" උන්දා කරේ නරක නොහොඹිනා දේ වුනාට දරුවෝ පරපුර ගැන උන්දැගේ හිතේ බොහොම ගෞරවයක් තිබුණා .ඒ  නිසා උන්දා මන්තර කාටවත් දෙන්නේ නැහැ කියලා මමත් දන්නවා . මටත් වින කරානේ උන්දා . දැන් ඉතින් මේ තවත් පවු කරගන්න තමයි උත්සාහ ගන්නේ " 

අවසානයේ සීයා පැමිණ ආතාගේ ආත්මය රත්තරන් කෙන්දකින් බැඳ බෝතලයක දමා හිර කර පොලවේ අඩි දොළහක ගැඹුරේ වැළලුවේය . දරුවා සනීප වූයේ එයින් පසුවය .

මෙහි එන නම් ගම සියල්ල මනඃකල්පිතය 
විසිඑක්වන  සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

ඔන්න දැන් කට්ටිය බලනවා ඇති ආයෙත් සීයා මුනුබුරා කතාවක්ද එන්නේ කියලා . මේකත් ඇවිල්ලා ඒවගේ කතාවක් . හැබැයි මේකේ මමත් ඉන්නවා . මේක වෙලා දැනට ඕන නම් මාස තුනක් වත් වෙන්න ඇති . මම එදාම කල්පනා කරා මේ කතාව බ්ලොග් එකේ ලිව්වනම් හරි කියලා . මොකද මේ කතාවට මමත් සම්බන්ධ නිසා . හැමදේම දැනගෙනත් පොරොන්දුවක් නිසා මම අසරණ වෙච්ච අවස්ථාවක් මේක . කියවලා බලන්නකෝ .

හොල්මන් භූතයින් ආරූඪවීම් බොරු කියලා කියන අයට කවදා හරි කියවන්න තමයි මම මේ සාත්තර ආතා කතාව ලියලා තියන්නේ . ඒවගේම කියන්න ඕන මේක තමයි මට අත්දකින්න ලැබුණු ආරූඪ වෙච්ච කෙනෙක් එක්ක හැප්පෙන්න ලැබුණු පළවෙනි අවස්ථාව කියලාත් . මේකෙන් ගන්න ආදර්ශයකුත් තියෙනවා . ඒක අන්තිමට කියන්නම් .

පසුගිය අවුරුද්දේ සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහැර පැවැත්වුණු දවස්වලින් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ . දෙවිනුවර ජීවත්වෙන අපේ නෑදෑ වෙන පවුලක් අපේ ගෙදර ආවා පෙරහැර බලන්න . පෙරහැර කාලෙට එහෙම නෑදෑයෝ එන එක දෙවිනුවර පැත්තට නම් සිරිතක් වුණාට රත්නපුරේටනම් සිරිතක් නෙවෙයි .

ඒත් එයාලා පෙරහැර බලලා නැති නිසා එන්න ඕන කිය කිය ඉඳලා ආවා . ඇවිත් පෙරහැරත් බැලුවා . පෙරහැර බලලා දවස් දෙකක් විතර අපේ ගෙදර ඉඳලා එයාලා ආයෙත් දෙවිනුවර ගියා . ඊට මාසෙකට විතර පස්සේ මට දැනගන්න ලැබුණු දෙයින් මම ටිකක් පුදුම වුණා . ඒ තමයි එදා ඒ ආව පවුලේ මල්ලි ආරූඪ වෙනවා කියන කතාව .

පස්සේ විපරම් කරලා බලනකොට තමයි දැනගන්න ලැබුණේ මගෙන් පුරුදු වෙච්ච දෙයක් නිසා මෙයා ආරූඪ වෙනවා කියන කතාව . මමනම් ඒක එච්චර ගණන් ගත්තේ නැහැ . වවුලගේ ගෙදර ආවනම් එල්ලිලා හිටු කියන පිළිවෙලටනෙ මම ඉන්නේ . මම කිය කිය හිටියේ " මම පහන් තියන පලියට උනුත් පහන් තියන්න ඕනද ? " කියන කතාව .

ඒත් ටික ටික ආරංචි එන්න ගත්තා ඒ ළමයාත් මම වගේම ගෙදර විෂ්ණු දෙවියන්ට පහනක් පත්තු කරනවා කියලා . අපේ ගෙදර විෂ්ණු දෙවියන්ට මම පත්තු කරන පහන තියනවා බලාගෙන ඉඳලා තමයි ඒ ළමයාත් එයාගේ ගෙදර පහන තියන්න පටන් අරගෙන තියෙන්නේ .

අපේ ගෙදර මම පහන තියනවා කියලා කන්නලව් කර කර පැය ගණන් වඳින්නේ නැහැ . පහන පත්තු කරලා දෙවියන්ට පිං දෙනවා විතරයි . ඒත් පහන පත්තු කරන එක කවදාවත් අපේ ගෙදරින් අතපසු කරන්නේ නැහැ . මම නැත්නම් ගෙදර වෙන කෙනෙක් හරි පහන පත්තු කරනවා . අපි ඒක වැඩි හරියක්ම කරන්නේ සිරිතක් විදියට . ගෙදරට එනකොටම මිදුලේ තියෙන පහන් පැල දකින හැමෝම එක එක ඒවා කියනවා . ඒත් මම සහ අපේ ගෙදර අය ඒවා ගණන් ගන්නේ නැහැ . අපේ චේතනාව හොඳ නම් ඇයි කාටවත් වේදනා .

ඒත් දෙවියන්ට පහන් තියනවා කියන්නේ එසේ මේසේ වැඩක් නෙවෙයි . පහන තියනවානම් අනිවාර්යෙන්ම මම එදාට නාලා තමයි පහන තියන්නේ . ඒ කියන්නේ හැමදාම මම සාමන්‍යයෙන් නානවා . ඒ පිළිවෙතත් හැමදාම අපි කරනවා . මේ කිසි දෙයක් දන්නේ නැති ළමයෙක් තමයි මම පහන පත්තු කරනවා බලාගෙන ඉඳලා ගිහින් පහන පත්තු කරන්න පටන් අරගෙන තියෙන්නේ .

ටික ටික ආරංචි ආවත් මේ කතාව අපි එච්චර ගණන් ගත්තේ නැහැ . අනික තමයි මේ පවුලේ කවුරුවත් අපිට මේ ආරූඪ වෙන කතාව කිව්වෙත් නැහැ . ඒ ළමයාට ඉගෙන ගන්න අපේ ගෙදරින් උදවු කරා . ආරූඪ වෙලා සාත්තර කියන්න ගත්තම ඉගෙන ගන්න කරන ඒ උදවු නතරවෙයි කියලා එයාලා විස්තර කියන්නේ නැතුව හිටියා .

ටික කාලයක් ඔහොම ගියාම මේ ගෙදර ඉන්න අර පිරිමි ළමයාගේ නංගි වැඩිවියට පත් වෙනවා . ඒ වෙනුවෙන් තිබුණු මංගල උත්සවයට අපිත් සහභාගී වුණා . කලින් දවසේ අපි එහෙ ගියා උදවු කරන්න එහෙම හිතාගෙන . යනකොට දවල් දොළහ විතර ඇති .

ගෙදර වැඩ කරලා අනං මනං උදවු එහෙම කරලා රෑ හත විතර වෙනකොට මමත් නාලා කියලා කාමරේට වෙලා ඇඳේ හාන්සියක් දාගෙන මලක් කඩ කඩ හිටියා . එවෙලේ මම අර කිව්ව මල්ලි කාමරේට ආව කේන්තියෙන් වගේ . ඇවිත් මගෙන් කේන්තියෙන් ඇහුවා

" අයියේ මගේ බෑග් එක දැක්කද ? " කියලා .

මම " නෑ " කියලා උත්තර දුන්නා .

ඒත් මම කාමරේට වෙලා ඉන්න අතරේ ඒ වෙනකොට ගෙදර කට්ටිය මේ ළමයාට ආරක්ෂා නූලක් දාන්න සැලසුම් කරලා තිබිලා තියෙන්නේ . මොකද පහුවෙනිදා තියෙන මංගල උත්සවයේදී මේ ළමයා ආරූඪ වෙයි කියන බයට . මම කාමරේ ඉන්න අතරේ සාලය පැත්තෙන් ඇහෙනවා මතුරන සද්දයක් . මම හෙමීට කාමරේ උළුවස්ස ගාවට ගිහින් බලාගෙන හිටියා .

කවුද මනුස්සයෙක් ඇවිත් මතුරනවා නූලක් . ඊට පස්සේ පිරිමි ළමයාගේ කරෙත් ගෑණු ළමයාගේ කරෙත් නූල දැම්මා . මට මතකයි මම අපේ පුංචිඅම්මා එක්ක කිව්වා ඔය දාන්නේ නූල අමනුස්සයෙක් එලවන්න නම් ඕක හරියන්නේ නැහැ කියලා . නූල දාලා ඒ මනුස්සයා ගියාට පස්සේ මමත් ගෙයින් එලියට ඇවිත් එළියේ හදලා තිබුණු ටකරං හට් එකේ වාඩිවෙලා ඉන්නකොට ගේ ඇතුළෙන් ලොකු සද්දයක් ආවා . හැමෝම කෑගහනවා .

අර ළමයා ආරූඪ වෙලා දඟලනවා . මට හිතුනා පෙරේතය වැහිලා තමයි කියලා . ඒත් මම පැත්තකට වෙලා හිටියා මොකවත් කියන්නේ කරන්නේ නැතුව . ඊට පස්සේ මේ ළමයා පිහියක් ඉල්ලුවා අත කපාගන්න . ඊට පස්සේ අත කපාගෙන ලේ බිංදු බිංදු පත්තුවෙන පහනකට දැම්මා .

දැන් ඉන්නේ සාමාන්‍ය කෙනා නෙවෙයි . මෙයාගේ ඇඟ හරිම දරදඬුයි මේ වෙලාවේ . ඇස් රතුපාට වෙලා දෙතුන් දෙනක් මෙයාගේ අත් කකුල් ඉනෙන් එහෙම අල්ලාගෙන ඉන්නේ . ඔහොම ඉඳලා දඟලලා දඟලලා බිම වැටිලා බිමත් දඟල දඟල ඉන්නකොට ගෙදර කෙනෙක් රතන සූත්‍රය කියන්න ගත්තා .

එයාට ඒකෙ තියෙන වචන හරියට උච්චාරණය කරගන්න බැහැ . ඊට පස්සේ අර ළමයා දඟලනවා බලාගෙන ඉන්න බැරි නිසා පිරිත් පොත උදුරලා අරගෙන මමත් අපේ පුංචි අම්මාත් ඔන්න රතනසූත්‍රය කියන්න ගත්තා . පිරිත ඉවරවෙනකල් සද්ද නැතුව ඉන්න ළමයා ආයෙත් නවත්තනකොට ඔන්න දඟලන්න ගන්නවා . ඊට පස්සේ ඒ ළමයා ආරූඪයෙන්ම කෑ ගැහුවා ඕක නවත්තපන් ඕක නවත්තපන් කියලා . ඒත් මම නැවැත්තුවේ නැහැ . පස්සේ ඒ ළමයට සිහිය ආවා .

මම ඊට පස්සේ පිරිත් කීම නවත්තලා ඒ ළමයගේ කම්මුලට ටිකක් සැර පාරක් දීලා " ආ දැන් හරි හරි " කියලා කාමරෙන් එළියට ආවා විතරයි මේ ළමයා කාමරේ ජනේලෙන් පැනලා පන්සල් වත්තට පැනලා දිව්වා . දුවලා දුවලා ගිහින් බෝධිය ළඟ නැවතුනා . ළමයා අල්ලගන්න ගෙදර පිරිමි කස්ටිය ඔක්කොම දිව්වා . පස්සේ මේ ළමයට වැහිලා ඉන්න අමනුස්සයා කතා කරා .

" මට පිං දෙන්න . කතරගම කිරිවෙහෙරට අටපිරිකරක් පූජා කරලා පිං දෙන්න " කිව්වා . ඔන්න එදා එයින් ඉවරයි .

පහුවෙනිදා හවස තමයි කොටහළු මංගල්ලේ උත්සවය තිබ්බේ . ඒකට මෙයා ලෑස්ති වෙලා ඉන්නකොට ළඟ පන්සලේ හාමුදුරුවෝ කියලා තිබ්බා පන්සලට එන්න පිරිත් නූලක් දාන්න කියලා . ගෙදර හැමෝම බයයි යන්න . ඊට පස්සේ මට පුලුවන්ද ඇහුවම මම හා කියලා මෙයත් එක්ක ගියා පන්සලට . පන්සලේ තියෙනවා දේවාල ගෙවල් . විෂ්ණු දේවාලය ඉස්සරහා මේ ළමයා වාඩි කරවලා ඔන්න හාමුදුරුවෝ මහා සද්දෙට නමෝ තස්ස කියන්න ගත්තා විතරයි ළමයා දරදඬු වුණා .

ආරුඪ වෙන්න කලින් මම ගෙදර සෙට් එකට කතා කළා එන්න කියලා ළමයා අල්ලගන්න . එදාත් ඒ ළමයා දරදඬු වෙලා දඟලලා දඟලලා අන්තිමට පිරිත් නූල කරේ දැම්මේ ඇප නූලක් විදියට . සතියක් ඇතුලත කරන දෙයක් කරනවා කියලා ඒ අමනුස්සයාට පොරොන්දු වුණා . ඒ අමනුස්සයා ළමයා ගෙනියන්නම තමයි කතා කලේ . ඒත් කරගන්න දෙයක් නැති නිසා සතියක විරාමයකට අපි පොරොන්දු වුණා හා එහෙනම් ළමයා සතියකින් දෙනවා කියලා .

මේ වැහිලා ඉන්නේ ගෙවල් ළඟ හිටපු පාරම්පරික ඇදුරෙක් ගේ ආත්මය . මේ මනුස්සයා මැරෙන්න පන අදින කාලේ ආරූඪ වෙන ළමයාගේ පවුලේ අය සහ ළමයා තමයි උපස්ථාන කරලා තියෙන්නේ . එයාලාගේ යටි අරමුණක් තිබුනා මන්තර ශාස්ත්‍රය ඒ මනුස්සයාගෙන් ඉගෙන ගන්න සහ පොත් ටික ගන්න . මේ ආරුඪ වෙන ළමයට ඒ දේවල් උගන්නවන්නත් ඒ අම්මට තාත්තට උවමනාව තිබ්බා . කොහොම නමුත් පාරම්පරික මිනිස්සු තමන්ගේ දේවල් ලේසියෙන් පිටට දෙන්නේ නැහැ විනාශ වෙලා ගියත් . මේ මනුස්සයාත් කරේ ඒක . අන්තිමට මේ ළමයාට ආසාවෙන් මැරුණා සහ ඒ ළමයටම වැහුනා .

මේ කතාව දැනගෙන ඒ ගෙදර අම්මටයි තාත්තටයි මම හොඳටම දොස් කිව්වා . අපේ ගෙදර ආයෙත් එන්න එපා කියලා තමයි මම ආවේ . මොකද එහෙන් මෙහෙන් කතාව තිබුණා අපේ ගෙදර ඇවිත් පහන තියනවා බලාගෙන ඉඳලා තමයි මේ ළමයට අමනුස්ස දෝසෙ හැදුනේ කියලා . නෑකම් නොනෑකම් වුනත් කමක් නැහැ කියලා එදා නම් මම හොඳට ඇමතුවා  . ගෙදරින් එන වෙලාවෙත් බලනකොට ඒ ළමයාගේ ඇස්වලින් ඒ අමනුස්සයා ඉන්නවා කියලා දැනුනු නිසා මම කිව්වා " ඔන්න තවම ගිහින් නැහැ . තනියට තියාගන්න හොඳ කෙනෙක් ඉන්නේ " කියලා . එවෙලේ ඒ ළමයා මගේ දිහා රවලා බැලුවා . ඒත් මුකුත් කිව්වේ කරේ නැහැ .

පස්සේ මම ඒ පන්සලේ හාමුදුරුවෝ එක්ක ගොඩක් දේවල් මේ ගැන කතා වුණා . ඒ හාමුදුරුවෝ කිව්වා භාවනා කරන හිත දියුණු කරන හෝ සිවුර දාගත්ත කෙනෙක් මෙයාව අල්ලනකොටත් ඒ දිෂ්ටිය ඇඟේ තියෙන්නේ නැහැ හැබැයි අතාරිනකොටම ආයෙත් එනවා කියලා . කියනවා වගේම එහෙම වුණා .

ඊට පස්සේ තමයි දැනගන්න ලැබුණේ සතියකට පස්සේ ඒ ළමයා වෙනුවෙන් තොවිලයක් නටවනවා කියලා . 40000 / = මුදලක් ඒකට අය කරා . අපි නෑදෑයෝ හැමෝමත් ඒ තොවිලය කරන්න ආධාර කරා . එහෙම තමයි ඒක කරේ . ඒ කරාට පස්සේත් මම ඒ ළමයට අපේ ගෙදර එන්න එපා කියලා තහංචි දැම්මා .

අපේ ගෙදර මරණයක් වෙලා මම මාස තුනක් පහන පත්තු නොකර හිටියා . තුන්මාසේ බන දවසේ පහන් පැලත් හෝදලා හක්ගෙඩියෙන් පැන් වත්කරලා පහන පත්තු කරා . ඒවගේ දවසකට අමනුස්සයින් ඒ පහනට එන වග දන්නා නිසා තමයි මම ඒ ළමයට දානෙට බනටත් එන්න එපා කියලා තිබ්බේ . ඒකට ඒ පවුලෙන් දෝෂාරෝපණත් තිබුනා . ඒත් මම තනි තීරනයේම තමයි හිටියේ .

දැනට සති දෙකකට වගේ කලින් දැනගන්න ලැබුණා ඒ ළමයට ආයෙත් අමනුස්සයා වැහිලා කියලා . ඒ වැහෙන ඇදුරා ඒ ළමයව දාලා යන්නේ නැති තත්වයක් තමයි තියෙන්නේ . බුදු බණට හැමදේම යටයි කියලා තිබුණට මෙතනදී ඒ දේවල් වල පොඩි පරස්පරයක් තියෙනවා .

කොච්චර පිරිත් කිව්වත් ආටානාටිය කිව්වත් මොන දේ කරත් ඒ අමනුස්සයා යන්නේ නැහැ . මට මතක් වුණේ කොක්ගල නිලමේ කතාව . මේකයි ඒකයි සමානයි වගේ . දැන් ඒ ළමයාට වැහිලා ඉන්න අමනුස්සයා ඇදුරා වෙලා හිටපු කාලේ කරපු කොඩිවින ගොඩ ගන්නවාලු . පන්සලටත් විනයක් කරලා තිබිලා . ඒකත් ගොඩ අරන් තිබුණා . ඒ ළමයට වරමක් හිමි වෙනවා ඒ වරම ගත්තේ නැත්නම් මැරෙනවා කියලත් කියලා තිබුණා .

සමහර දවසට මේ ළමයා ලංකාවේ දක්ෂ මන්ත්‍ර කරුවන්ට දුරකථන ඇමතුම් අරගෙන එයාලාගේ පොත්වල මන්තරවල තියෙන අඩුපාඩු කියලා දොස් කියනවාලු ආරූඪයෙන් . මුද්‍රිත පොත්වල මන්තරවල තියෙන අඩුපාඩු කියලා තියෙනවා ආරූඪ වෙලා . සුප්‍රසිද්ධ කවි රචකයෙක් වෙච්ච සේන අම්බලංගොඩ මහත්මයාටත් කතා කරලා තිබුණා මේ වගේ . ඔන්න ඕකයි තත්වය දැන් . ඒ ළමය ගොඩ එන එකක් නැහැ කියලා තමයි මමනම් හිතන්නේ . දක්ෂ අදුරෙක්ට අහු වුණොත් හොඳයි . නැත්නම් ජීවිතේ පවා ප්‍රශ්නයක් .

මෙන්න මේ සිද්ධිය අනුව තමයි මම කතාව ලිව්වේ . සීයා මුණුබුරා කතා මාලාවට අදාළ සිද්ධි සමූහයෙන් මේ කතාව තරමක් දුරස් වුණත් මේ සිද්ධිය ගැන මෙහෙම කතාවකින්ම කියන එක හොඳයි කියලා මම හිතුවා .

අමනුස්සයින්ට බය අයට කියන්න ඕන දෙයක් තමයි භාවනා කරන්න කියන එක . හිත ශක්තිමත් නම් කිසිම කරදරයක් වෙන්නේ නැහැ . ධනාත්මක චින්තනය නෙවෙයි හිත ශක්තිමත් කියන්නේ . ඒක කාලයක් භාවනා කරලා ලබාගන්න ඕන දෙයක් .හිත එකතැන් වෙන්න වෙන්න හිතේ ඇතිවෙනවා මානසික බලයක් .

මෙහෙම අමනුස්සයෙක් වැහිලා ඉන්න කෙනෙක් ලඟට ආවොත් තමන් ඒවගේ භාවනා කරන ශක්තිමත් කෙනෙක් නම් ඒ ආරුඪ වෙලා ඉන්න කෙනාව අල්ලගන්න . එතකොට ටිකක් එයා මෙල්ල වෙනවා . හිත සසල කරගන්නේ නැතුව එයා එක්ක කතා කරන්න . භාවනා කරන හිත දියුණු අයගේ ඇඟේ තියෙන රශ්මි මාලාවට ඒ අමනුෂ්‍යයින් ලං වෙන්න බයයි . ඒ රශ්මිය නිසා තමයි අපි ආරක්ෂා වෙන්නේ .

අනික තමයි පාරම්පරික ඇදුරන්ගෙන් , මන්ත්‍ර දත් අයගෙන් මන්ත්‍ර ඉල්ලන්න එපා දෙන්න අකමැතියි කියලා දන්නවානම් . මොකද එයාලා ඒවා පරපුරකින් තව පරපුරකට දෙන්නේ ලෙයට ලෙය තියලා පොරොන්දු කරගෙන . එක අකුරක් එයාලා පිටට දෙන්නේ නැහැ පොරොන්දුව කඩලා . ඒ නිසා ඒ වගේ අයගෙන් මන්තර ඉල්ලලා ප්‍රශ්න ඇතිකරගන්න එපා මේ වගේ .

මැරෙන්න යන ඇදුරන් එක්ක ගනුදෙනු කරනවානම් පරෙස්සමට කරන්න . මොකද එයාලා වැඩියෙන්ම යන්නේ එයාලා වන්දනා කරපු දෙවියන් හෝ යකුන්ගේ සමාගමයට . එතකොට හොඳ තැනකට නොගිය කෙනෙක් නම් කරදර වෙන්න පුළුවන් .

මේ මම කියන ඇදුරා කාලිඅම්මා ලඟට තමයි ගිහින් තියෙන්නේ . ඉතින් එහෙම තමයි එයාගේ වැඩත් .

අනුන් කරන දේවල් බලාගෙන ඉඳලා කරන්න යන්න එපා . මේ කතාවේදී මේ ළමයාට පහන තියන හැටි , කියන දේවල් , පිං දෙන හැටි මම කියලා දුන්නේ නැහැ . මොකද එයා මගෙන් ඇහුවෙවත් පහනක් තියනවා කියලා කිව්වෙවත් නැති නිසා . අනික ඒවගේ දේවල් අඩබෙර ගගහා කරන දේවලුත් නෙවෙයි නිසා .

දැක්ක පලියට කරපු නිසා තමයි ඒ ළමයා අද අනවශ්‍ය ප්‍රශ්නයකට පැටලුනේ . මොකද පහනෙන් තමයි ඒ අමනුස්සයාට පාර කැපුනේ . විෂ්ණු දෙවියන්ට තිබ්බ පහනට බැල්ම දැම්මේ අර මැරුණු ඇදුරාගේ ආත්මය . දෙවියන්ට පහන තියන්නේ නැති තරමට හොඳයි . පහන් තියනවානම් ඒවා කරන්න ඕන විදි තියෙනවා . ඒ විදියට කරන්න ඕන . කොටින්ම කියනවානම් පහන තියන උස පවා වැදගත් වෙනවා . නැත්නම් පහනට බහිරවයෝ අරක් ගන්නවා .

අනික තමයි මෙන්න මේ දේ මතක තියාගන්න ඕන . මන්තර කියන්නේ ආයුධයක් . හොඳ මුවහත් කඩුවක් . ඒක යුද්ධයට පාවිච්චි කරන්නත් පුළුවන් ආරක්ෂාවට ළඟ තියාගන්නත් පුළුවන් ඕන නම් තමන්ගේම බෙල්ල කපාගන්නත් පුළුවන් අනුන්ගේ බෙල්ල කපන්නත් පුළුවන් පිහියක් නැත්නම් පාන් කපන්නත් පුළුවන් . ඒ නිසා මේ ආයුධය පාවිච්චි කරන්න දන්නා අය සහ ආයුධය ළඟ තියාගෙන ඉන්නා උදවිය ඒක ලේසියෙන් දෙන්නේ නැහැ . ඒ නිසා ආයුධ ඉල්ලලා තරහා වෙන්න එපා . ඒ ආයුධය නොදීමෙන් ඉල්ලන කෙනාටත් වෙන්නේ හොඳක් වක්‍රාකාරව . ඒක තේරුම් ගන්න .

ඔය සිද්ධි මාලාව තමයි සාත්තර ආතා කතා මාලාවට නිධාන වුනේ . වෙනදා නම් සීයා මුණුබුරා කතා මාලාවට අදාල කරගත්තේ ඒ අයටම වෙන් වෙච්ච කතා . ඒත් හදිස්සියේම මට මේ කතාව මෙහෙම ලිව්වානම් හොඳයි කියලා හිතුන නිසා වෙද ගෙදරත් ගුරුන්නාන්සේ වලව්වත් සම්බන්ධ කරලා ඒ කතාව ලිව්වා . වැඩියෙන්ම මේක ලිව්වේ දැනුවත් කරන්න ඕන නිසා .

රුපියල් 60 ට 70 ට තියෙන මන්තර පොත් අරන් ඇවිත් මතුරලා වැඩ කරනවානම් පරෙස්සම් වෙන්න . මොකද ඒවායේ බලපෑම නරක එකක් වුණොත් ලේසියෙන් ගොඩ එන්න බැහැ .

කොටස් හයක් පුරාවට දිව ආ සාත්තර ආතා කතා මාලාව මෙතෙකින් සමාප්ත කරමි .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි . පසුගිය...

සාත්තර ආතා ( 5 )




මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

" අත ගනින් පරයා පුහුල් ගෙඩියෙන් . මම උඹව ගිණි තියනවා කල්ප කාලාන්තරේකට නිවෙන්නේ නැතිවෙන්න . අත ගනිං "

මේ වනවිට පන්සල් වත්තේ සිටින්නේ පන්සලේ සිටින අනෙක් හාමුදුරුවරුන් සහ සීයාත් මමත් බෙරගල මාමාත් ආදී මෙම කටයුත්තට අත්‍යාවශ්‍යම අය පමණි. සීයාගේ ගිගිරීමත් සමගම ගමේ සියල්ලෝම පන්සල් වත්තෙන් පිටත් විය . නායක ස්වාමීන් වහන්සේ පරල වීම ගමේ අය දැකගත යුතු නැත . එය උන්වහන්සේගේ චරිතයට නොහොඳ කාරණාවක් නිසාවෙන් ගමේ අය ඒවා දැකගත යුතු නැත . සීයා ඒ නිසාවෙන් ගමේ අය එළවන්නට ඇත .

" හා දැන් මොකද කියන්නේ . ඔය පරාණ කූඩුවෙන් පිටත් වෙලා මේ පරාණ කූඩුවට එන්න හොඳයි "

" මම එන්නේ නැහැ................ මාව බන්දලා තියෙන්නේ කිසිම ගුරුකමකට යටත් වෙන්න එපාය කියලා.................මාව අයින් කරන්න කාටවත් බෑ................................. "

හාමුදුරුවන්ට වැසී සිටින අමනුෂ්‍යයා ගොරහැඩි හඬින් සීයාට අවනත නොවූවාක් සේ කීවේය .

" එහෙනම් බලාගනිං මං උඹට කරන දේ "

අද එතැන් සිට 





සීයා සඳ එළියේ අසිපත සිහිගන්වමින් වෙසමුණි සැරය පිඹින්නට මුල පිරුවේය . 

.................. ඕන් ද්රීඟ ද්රීඟ වෛමණ්ඩල සුබාහානා අතීන්ද්‍ර ප්‍රාතා තීල ගවරාමා ජළඟ කර්ග්ග විෂ්ණු පූට්ටු ආදේසා දේවගුරු සක්කෝල සාමා සර පූට්ටු ආදීග්ර වූ සූරිය මණ්ඩල ඉරු රැස් රාම ශර පූට්ටු කඳ කුමාර නාරයනේ විෂ්ණු ගිනි පූට්ටු කියා මයුර විල්ලෝඩි දැපනේ සිටු කියා මේසේ මේ මන්ත්‍ර රාජයාගේ ආනුභාවයෙන් වෙසමුණි දිව්‍ය රාජයින් වහන්සේත් නමස්කාර කර සිටියාහ ඕන් ගරුඬ ජාල කදිර නාරායනේ විෂ්ණු ගිනි පූට්ටු කියා සමන් දෙවියොත් නමස්කාර කර සිටියාහ ඕන් සුක්‍රී ගුරු ලාදාර දේස් රාජාහෝ පූට්ටු කියා මයුරාසන කඳ ස්වාමීන් වහන්සේත් නමස්කාර කර සිටියාහ වෛමණ්ඩල විෂ්නුගිනි පූට්ටු නාරායනේ වෙසමුණි සැර දහර දහර මත මත චම්පා සැර දහර හෙනගිණි පටලවා බන්ධ බන්ධ යක්ෂ යක්ෂයා යක්ෂනී ආලෝක දැපනේ හිටු යක්ෂයා ආලෝක දැපනේ හිටු .....................


" මාව ගිණි තියන්න එපා............ ගුරුන්නාන්සේ............. මම යන්නම් මම යන්නම් " 

පන්සලේ නායක ස්වාමීන් වහන්සේට ආවේශ වී සිටි අමනුෂ්‍යයා වහා නිදහස්වී සාත්තර ආතාගේ ශරීර කූඩුවට පැමිණියේය . ඒත් සමගම අසනීපවී සිටි සාත්තර ආතාගේ ශරීර කූඩුව අමුතු ප්‍රාණයක් ලත් කෙනෙකු මෙන් අවදි වී නැගී සිටියේය . පන්සලේ නායක ස්වාමීන් වහන්සේ සිහිනැතිව තොරණ අසල ඇදවැටුණාහ . 

" ඔය හාමුදුරුවරු මෙහාට වැඩියනම් . පුතේ මූ මොකද කරන්නේ කියලා බලාගෙන ඉන්න . මම නායක හාමුදුරුවෝ ගැන බලලා එනකල් " 

" හොඳයි සීයේ " 

සීයා නායක හාමුදුරුවන් අසළට ගොස් පැන් ස්වල්පයක් මතුරා නායක ස්වාමීන් වහන්සේගේ මුහුණට ඉස්සේය . නායක ස්වාමීන් වහන්සේට ප්‍රකෘති සිහිය ලැබුණු බව සහතික වූයේ උන් වහන්සේ පන්සලේ වැඩ බලන ස්වාමීන් වහන්සේගේ නම කියා ආමන්ත්‍රණය කිරීම නිසාය . මම අංජනම අසල හිඳගෙන සාත්තර ආතා දෙසද නායක ස්වාමීන් වහන්සේ දෙසද බලමින් සිටියෙමි . නායක ස්වාමීන් වහන්සේට දැන් කතා කිරීමට හැකියාව තිබේ . එනම කරන ලද හූනියම හේතුකරගෙන උන්වහන්සේගේ කටේ එක් පැත්තක් පන නැතිවී තිබෙන්නට ඇත . දැන් ඒ සියල්ල දුරුවී ඇත . සාත්තර ආතා තවමත් අවේශයෙන් සිටගෙන සිටී . ඔහු කිසිවක් කියන්නේ නැත . සිදුවන්නේ කුමක්ද කියා බලාගෙන සිටී . අනතුරුව ඔහු සෙමෙන් සෙමෙන් වටපිට බලමින් පුද පූජා තබා තිබෙන තොරණ අසලට පැමිණියේය . 



" සීයේ ඔන්න " 

" උඹ මොකද ඇවිදින්නේ එතන මෙතන ? " 

සාත්තර ආතා සීයාගේ ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ නැත . ඒ වෙනුවට ඔහු කරන ලද්දේ සොහොනට ගෙන ගොස් දිෂ්ටි කර රැගෙන ආ පුහුල එකවරම එය තබා තිබුණු තැනින් රැගෙන දුවන්නට වීමයි . විදුළි වේගයෙන් පුහුල අතට ගත් සාත්තර ආතා පුහුල රැගෙන විදුළි සැරයක් පරිද්දෙන් දුවන්නට විය . පන්සලේ කඩුල්ල අසල ගමේ මිනිසුන් තවමත් පන්සල් වත්තට එන්නට අවසර ලැබෙන තුරු බලා සිටී . ඔවුන්ද බය කරමින් සාත්තර ආතා පන්සල් වත්තෙන් පිටවිය . නමුත් ඔහු දිව ගියේ සොහොන් පිටිය දෙසටය . 

සීයා එකවරම ක්‍රියාත්මක වූයේ සාත්තර ආතා සිටගෙන සිටි තැනින් වැලි අහුරක් අතට රැගෙනය . එය අතට ගත් සීයා වැලි අහුරා අතින් ගුලි කරගෙන මතුරන්නට විය . මම ඒත් සමහම හනුමාට අඬගසා අංජනමෙන් සාත්තර ආතා හඹා යන්නට පටන් ගත්තෙමි . සැබවින්ම ඔහු යන්නේ සොහොන් පිටිය දෙසටය . ඔහු පුහුලේ දිෂ්ටිය මුදාහරින්නය සූදානම් වැන්නේ . එවිට බන්ධනය කැපීම වළකා ඔහුට නැවතත් නායක ස්වාමීන් වහන්සේගේ ශරීරයට ඇතුළු වීමට පුළුවන . එහෙත් සීයා ඒවාට කළයුත්ත හොඳාකාරවම දන්නා බව මම දනිමි . 
සීයා  වැලි අහුර මතුරා අඟුරු කබලට එම වැලි අහුරා දමා පිදේන්න අසල තබා තිබුණු වස් දණ්ඩ අතට ගෙන වෙර දමා පිම්බේය . එය පිඹිනවාත් සමගම අංජනමෙන් මම දුටුවේ සාත්තර ආතා ගල් ගැසුණු පරිද්දෙන් නතර වීමයි . සොහොන් පිටියට යාමට තිබුණේ තවත් පියවර විස්සක් පමණ දුරකි . ඉද්ද ගැසුවා සේ නැවතුනු සාත්තර ආතා සීයාගේ වස්දඬු නාදය ඔස්සේ නැවතත් පන්සලට ඒමට හැරුණේය . නමුත් සාත්තර ආතා එනතුරු සීයා වස්දන්ඩේ හඬ නවත්තන්නේ නැත . ඔහු එය නොනවත්වාම පිම්බේය . 

" ගුරුන්නාන්සේ . ගමේ මිනිස්සු යවන්නද ඒ පාර දිගේ සාත්තර උදන්ව අල්ලාගෙන එන්න කියලා  ? " 

එසේ ප්‍රශ්න කරන ලද්දේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේය . උන්වහන්සේ සිහි ඒමත් සමගම පැදුරේ හිඳගෙන සිදුවන්නේ කුමක්ද කියා බලාගෙන සිටියහ . නමුත් සීයා එසේ අවශ්‍ය වැන්නේ නැති බව පවසා අතින් සංඥා කළේය . 

" සීයේ ඔන්න දැන් කනත්තේ ඉඳලා මේ පැත්තට එනවා " 

සීයා එවිටය දැනගත්තේ මම අංජනම් එළිය ඇර සිදුවන්නේ කුමක්ද කියා බලා සිටිනා බව . 

" ඔන්න දැන් පන්සලේ කඩුල්ලට ළඟයි " 

ඒත් සමගම ඈතින් සාත්තර ආතා පන්සල් වත්තට ඇතුළු විය . සීයා විසින් දිෂ්ටි කරන ලද පුහුල ඔහු විසින් පපුවට තබාගෙන තදකරගෙන සිටී . වැඩි වෙලාවක් යන්නට මත්තෙන් සාත්තර ආතා රඟ මඩලට පැමිණියේය . 

" ආ ඉලන්දාරියා කොහෙද දිව්වේ ? " 

සාත්තර කිසිවක් නොකියාම ඇවිදගෙන ගොස් පුහුල තිබුණු තැනින්ම තැබුවේය . මේ සියල්ල කරන්නේ සාත්තර ආතා නොවේ . සාත්තර ආතාගේ ශරීරයට දමන ලද නායක ස්වාමීන් වහන්සේගේ හූනියමට බැඳුනු අමනුස්සයාය . 

" මේක වැඩිවෙලා තියාගෙන ඉන්න බැහැ . මූ තව කොහේ කොහේ දුවයිද දන්නේ නැහැ . හූනියම කපමු . මාරු නග්ගන්න වෙනවා අපේ හාමුදුරුවනේ . මේක සොහොන් කාලි යක්ෂණියගේ තීන්දුවක් . ඒ නිසා අපිට මොකවත් ඒ හරහා යන්න කරන්න බැහැ . කිව්ව දේ කරන්න වෙනවා . මම මේ මනුස්සයා මරණවා නෙවෙයි මේ . කරපු දේ පල දෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ " 

" මට ඒක තේරෙනවා ගුරුන්නාන්සේ . කරන්න ඕන දේවල් ඒ ආකාරයට කරන්න . අපෙන් බාධාවක් නැහැ " 

සීයා පහන්ළපැ සහිත තොරණ ඉදිරියේ පැදුරක් එලා හාන්සි වීමට සූදානම් විය . මම සීයාට උදවු කිරීමට අංජනම සහිත ස්ථානයෙන් නැගිට සීයා අසලට ගියෙමි . 





" පුතේ කඩුව අරගන්න ඔය රෙදි කෑල්ලෙන් පිටතට " 

මම කඩුව ඔතා තිබුණු රෙදි කෑල්ල සීරුවට ඉවත්කර කඩුව පිටතට ගත්තෙමි . 

" ඔය ගමේ දරුවෝ ටික මෙහාට දැන් ආවට කාරී නැහැ " 

සීයාගෙන් ලත් එම අවසරයෙන් කලින් හිටියාටත් වඩා පිරිසක් පන්සල් වත්තේ අප සිටිනා තැන වටකරගත්හ . බෙරගල මාමා තමන්ගේ බෙර පදය අඩු ලයකින් නැවතත් ආරම්භ කළේය . ඒත් එක්කම සීයා තම පපුව උඩට පුහුල් ගෙඩිය රැගෙන එය පපුව මත ඇති ලෑලි පටිය උඩින් තබාගෙන කඩුව පුහුල උඩින් සිටින සේ තබාගෙන මට එතැනින් ඉවත්වී අංජනම දෙස බලාගෙන සිටින්න යැයි කීවේය . 

මම අංජනම අසල හිදගෙන බන්ධන කැපුනා ද කියා හනුමාගෙන් අසන්නට සූදානම්ව බලාගෙන සිටියෙමි . සීයා ඒත් සමගම මන්ත්‍ර මැතිරීම ආරම්භ කළේය . මුලින්ම සීයා නවනීල දිෂ්ටිය කියා දිෂ්ටි වලට නැවතත් ආරාධනා කළේය . 

ඕන් නමෝ ඉන්දීර වඩිග නවනීල දිෂ්ටි වාරුං වාවා 
සිව වඩිග නාරායනේ ක්‍රේමසූනියන් මුළු දිෂ්ටි වාරුං වාවා 
ආතාල දිෂ්ටි පාතාල දිෂ්ටි 
සර්ව දිෂ්ටි යක්ෂ දිෂ්ටි 
කුමාර දිෂ්ටි ශ්‍රී විෂ්ණු දිෂ්ටි 
ඔඩ්ඩි රූඩ මණි මකුට දිෂ්ටි 
කල්ලු ගිනි නාග වෛරෝඩි දිෂ්ටි වරෙන්
ඉර සඳ බලාගෙන වරෙන්
අහස ගුගුරුවාගෙන වරෙන් 
පොළව වෙව්ලුවාගෙන වරෙන්
මහ මුහුද සලිත කරවාගෙන වරෙන්
මහ මෙර දෙබෑ කරගෙන වරෙන්
විල් හතේ නොසිට වරෙන් 
ඇලි හතේ නොසිට වරෙන්
කඳු හතේ නොසිට වරෙන් 
මුහුදු හතේ නොසිට වරෙන්
කෝවිල් දහසේ නොසිට වරෙන් 
හා අට දේසේ නොසිට වරෙන්
කෛලාස යුගන්දර සප්ත සමන්ත කූට පර්වතේ නොසිට වරෙන්
පොත්ගුල් හතරේ නිදන් යතුරු හිර උගුලුවාගෙන වරෙන් 
විස ගිනි ධූම කේතුමාලාවෙන් වරෙන් 
සොහොන් කට්ටුවෙන් වරෙන් 
මදන කට්ටුවෙන් වරෙන්
මෙමා දුන් දොළ බිලි කැප ගන්න වරෙන් 
රීරි කුමාරයා වරෙන් 
තුන් බිල්ලේ මල සොහොන් යක්ෂයා වරෙන් 
රති කාම මල් මදන මුළු සූනියන් පලිප්පු දැඩිමුණ්ඩ දෙවොල් සැර දේව සමයන් භූත කුරුම්බර දිෂ්ටි දිෂ්ටි වර වර එස්වාහඃ............................





මන්ත්‍රය අවසාන වනවාත් සමගම අංජනමෙන් පෙන්නුම් කරේ රඟ මඩල අවට ප්‍රදේශයට අමනුෂ්‍ය දිෂ්ටි වැටී තිබෙන ආකාරයයි . ඉන් පසුව සීයා මරු නැංවීම ආරම්භ කළේය . 

ඕන් සුරුන්ඩු මරු දිෂ්ටි වර වර විෂ්ණු රාම ආනුභාවයෙන් මරුවාට අඬගසා මරු නැගී නැගී මරු රීරි යක්ෂයා වර වර ඉජ , ඕන් ක්‍රලාදී කොන්ඩු වර වර ඊශ්වර ආනුභාවයෙන් මරු බිල්ල දිෂ්ටියෙන් මරු නැගී නැගී වර වර මම කැප කර දෙන මරු බිල්ල තුන් විනාඩියෙන් මෙපිට මරුවාට භාරයි වන් අන්සෙන් ගොස් දකුණු අන්සේ නේත්‍රය කැප ගන්න මරු පොල්ලෙන් තරව තරව ගසා ඉස මොළ කටු ගලවා දෙකන්සකින් විදුරු දිව ගසා ඇට සංදී නහර කුලල් මරු හඬ ගස ගසා ඇද ඇද කා ඉරාපන් අකුණු හෙණක් මෙන් මරු නැගී නැගී බාරගන් ඔහුගේ සිටිනා තැනට නැගෙනහිරෙන් පැන භාරගන් වරුණ දිග භාගයෙන් ක්‍රේම මරු රීරි යක්ෂයා වත්ත වටේ තුන් වළල්ලක් මරු හඬ තුනක් ගසා බිල්ල කෙලගන් ඕන් කංකාල මරු දිෂ්ටි මා ලෝ දැල් බැන්ද ආනුභාවයෙන් මරුවාට මම භාර දෙන මරු බිල්ල තුන් විනාඩියෙන් මරුවාට භාරයි හිටුපිය නොසොල්වා මරු දිෂ්ටි හිරයි ඕන් නමෝ ශ්‍රී විෂ්ණු රාම වාලි මකුට මාල........................................


මරු නැංවීම අවසාන වනවාත් සමගම සීයා විනය පෙරලා කපන්නට මන්ත්‍ර පිරීමද ආරම්භ කළේය . 

...............ඕන් ජෙතා ලංක ක්‍රලාඩිංද හොරවා ගිනි ගිනි දෙස් ගිනි ගිනි පට්ටා ක්‍රින්තු ක්‍රිස් ගිනි දළුන හෙහෙස් කුමාර ශර අලගු පෙසු පෙසු සලාහම්.
ඕන් ආදෙස් ක්‍රාලා එමා ඉස්පු ලෙන්ද කොඩෙන් අඝොර විර පත්ත්‍ර නාරායනේ ගිනි ගිනි සිලංබර කතානඩි තෙලංග දොළුවර දෙස් සර්‍වසූනියන් නාරායනේ ඉගිල වර වර සලාහම්.
ඕන් විර පශාඩි තෙලිහ දොළුවරදෙස් ගිනි ගිනි සහර ගිනි දැපන මන්ත්‍ර දෙස් දෙවගුරුධාරිනේ පෙසු පෙසු සලාහම්.
ඕන් තල්ලාත් ක්‍රාන්තු කායිල් කරුවන්ද්ලි හං තෙසු පිල්ලි සුනියන් ගිනි ගිනි කන්දස්වාමි නාරායනේ ගිනි පත්ති තිස ලඹ සරිචි ගිනි ගිනි ආදෙස් ආදෙස් සලාහම්.
ඕන් හ්‍රී ජලතිදෙස් පෙසු පෙසු ලාහෙස් ගිනි ගිනි නහි නහි ලාකාසුර ළුව් හැම දෙවි දෙස් සර්‍ව සූනියන් අරු අරු ඉකිල වර නාරායනේ සලාහම්.
ඕන් ක්‍රයිවුලා ඩිවාතේ තෙගු තෙගු වයිර වා වා පෙසු පෙසු කුල ඉක් පෙසනිපෙසුං කවල දෙහොලාඩබුවිඩි නොබාක්‍රලහත්ති අජාහෙ ජලර්‍ල භූතානාහිත හො පුල්ලි ලාවාඩි හෙනතු ශ්‍රන්බෙත තුබා හෙස් ගිනි ගිනි පෙරිය කමල ඉර්‍ලලඩි ගිනි අලගු සෙල්ලූම්............

සීයා විනය කැපීම ආරම්භ කිරීමත් සමගම සාත්තර ආතා පරලවෙමින් කෑගසන්නට පටන් ගත්තේය . ඔහු කියනා කිසිවක් තේරෙන්නේ නැති වුවද ඔහු අපහසුතාවයකින් සිටිනා බව මට ප්‍රත්‍යක්ෂ විය . අවසානයේ සීයා මන්ත්‍ර මතුරා පුහුල කපනවාත් සමගම සාත්තර ආතා ගිරියටින් කෑ ගසමින් බිම ඇදගෙන වැටුනේය . සීයාට සිහිය නැතිවිය . මම අංජනමෙන් ඉවත්වී දිවගොස් සීයාට පැන් මතුරා මුහුණට පැන් ස්වල්පයක් ඉස්සෙමි . සීයාට සිහිය ආවේය . 





" කෝ සාත්තර උන්දා " 

" අන්න අතන වැටුණා සීයේ බිමටම . මම සීයාට සිහිය නැති වුණ නිසා මෙතනට දුවගෙන ආවා " 

" යමු යමු ඉක්මණට මොකද වෙලා තියෙන්නේ බලන්න උන්දට " 

සීයා පැදුරෙන් නැගිට කඩුව මගේ අතට දී ඉක්මන් ගමණින් ගියේ සාත්තර ආතා දෙසටය . ඒවනවිටත් සාත්තර ආතාගේ ප්‍රාණය නිරුද්ධ වූ ශරීරය අසලට කවුරුන් හෝ අත තිබ්බේවත් නැත . සීයා සාත්තර ආතාගේ ශරීරය අසල දන ගසා හිඳගෙන සාත්තර ආතාගේ අතින් අල්ලා බැලුවේ නාඩි වැටෙනවාද කියාය . සාත්තර ආතා කරනලද කර්ම විපාකයන්ද රැගෙනම යන්නට ගොසින්ය . සීයා සාත්තර ආතාගේ දෑස් වසා දැමූ විට ගමේ පිරිසද සාත්තර ආතා මියගිය බව දැනගත්හ . 

සාත්තර ආතා වෙනුවෙන් අඬන්නට වත් කවුරුන් හෝ සිටියේ නැත . එහෙත් සාත්තර ආතාට උපස්ථාන කරන ලද පවුලේ කීප දෙනා වඩාත් දුක් විය . 

" දැන් මේ මළකඳ උන්දැගේ ගෙදරට අරගෙන ගියානම් තමයි හොඳ . මේක පන්සලක් නෙව " 

සාත්තර ආතාගේ මළකඳ පදුරක තබා ඔසවාගෙන ගමේ පිරිමින් කීප දෙනෙක් සාත්තර ආතාගේ නිවසට එය රැගෙන ගියහ . ඒ අතරේ සීයා පන්සලේ නායක ස්වාමීන් වහන්සේගේ තත්වය පරීක්ෂා කර බැලුවේය . 

" නායක හාමුදුරුවනේ ඇඟට පතට අමාරු එහෙම තියෙනවද ? " 

" මුළු ඇඟම තලා දාලා වගේ තමයි දැනෙන්නේ ගුරුන්නාන්සේ " 

" ඕකට වෙනිවැල් ගැට තම්බලා බිව්වානම් හොඳයි . අපි බලමු ඉස්සරහට මොකද කරන්නේ කියලා . කතා කරන එකේ අපහසුවක් එහෙම දැන් නැහැ නේද හාමුදුරුවනේ ? " 

" ටිකක් නුහුරු ගතියක් තියෙනවා " 

සීයා මැද සිනහවක් පා නායක ස්වාමීන් වහන්සේට පන්සල ඇතුළට වැඩීම හොඳ යැයි කියා පන්සල් වත්තේ හතර කොනේ ආරක්ෂා මුට්ටි වල දැමීමට කටයුතු සූදානම් කළේය . අංජනම තවමත් වසා දමා නැත . 

" සීයේ "

" ඇයි පුතේ ? " 

" අංජනම තියාගෙන මෙහෙ ඉන්න බැහැ නේද ? " 

" මටත් ඒක කල්පනා වුණා . පන්සලේ තියලා ගියත් මළගෙදර නිසා කිලි වදිනවා . පුතා වලව්වට යන්න හෙට උදේම " 

" හොඳයි සීයේ . සීයා දැන්මම එන්නේ නැද්ද ඒ කියන්නේ ? " 





" නැහැ . මම මළගෙදර වැඩ කටයුතු බලලා එන්නම් . මොනවා වුණත් විනේ කැපුවේ මමනේ . ඒ නිසා මේ දේවල් මම බලන්න ඕන " 

" හොඳයි සීයේ " 

" දැන් එහෙනම් පන්සල් වත්තේ දිෂ්ටි තියෙනවද නැද්ද කියලා බලලා කියන්න . ඊට පස්සේ මම ආරස්සා මුට්ටි වලදානවා " 

මම අංජනම අසල නැවතත් හිඳගෙන අංජනමෙන් පන්සල්වත්ත පරීක්ෂා කර බැලුවෙමි . කිසිවක් නැත . හූනියම කැපී ඇති නිසා දැන් පොළව හාරා යමක් ගොඩ ගැනීමටද අවශ්‍ය නැත . 

" සීයේ පන්සල් වත්ත පිරිසිදුයි " 

" එහෙනම් ඒ රාජකාරියත් අහවරයි . පුතා අංජනම වහලා දාලා මේ තියෙන දේවල් බලලා අපිට ගෙදර ගෙනයන්න ඕන දේවල් ලෑස්ති කරගන්න . කඩුව අංජනම කිණිස්ස එහෙම මතක ඇතුව අරගන්න . අනිත් දේවල් ගමේ අය අස් පස් කරාවි . මම සාත්තර උන්දැගේ ගෙවල් පැත්තට යනවා මේ ආරස්සා මුට්ටි හතර යට කරායින් පස්සේ " 

" හොඳයි සීයේ " 

අංජනම වසා රැගෙන යායුතු සියල්ලද සූදානම් කර මම පන්සලේම ස්වාමීන් වහන්සේ නමක විසින් සකසා දුන් ස්ථානයක ඇලවුණේ මහන්සියට වඩා දරාගත නොහැකි නිදිමත තුනී කරගැනීමටය . 

පසුදා උදෑසනම අවදි වූ මම සීයාගේ අනුදැනුම ඇතුව රැගෙන යායුතු සියල්ලද රැගෙන නැවතත් සිටිනාමළුව දක්වා පිටත් වීමි . එහි ප්‍රධාන අරමුණ වූයේ අංජනම කිල්ලෙන් ආරක්ෂා කරගැනීමයි . 

මරණයේ වැඩකටයුතු අවසාන වී සීයා වලව්වට පැමිණියේ පසුදා හවස් වන විටදීය . සාත්තර ආතා එසේ මාතරින් නික්ම ගියද ඔහුගේ බැල්ම තවමත් මාතරින් තුරන්වී නොතිබිණි . එහි ඊළඟ ඔට්ටුව ආරම්භ වූයේ සාත්තර ආතා මිය ගොස් දවස් හත ගතවූවාට පසුව වලව්වට ආ පණිවුඩයත් සමගය . එබැවින් විනය කැපීම ආකාරයකට කතාවේ නවමු ආරම්භයක් ලෙස සටහන් කල හැක . 

ඊලග කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි . පසුගිය ...

සාත්තර ආතා ( 4 )





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

" හොඳමයි හාමුදුරුවනේ "

මම විහාරගෙයි යතුරද රැගෙන ගොස් විහාර ගෙයි දොර හැර එයාට ඇතුළු වුණෙමි . ඉතාම අලංකාර චිත්‍ර ඇඳ තිබුණු අතර හිඳි පිළිමයක් සහ හිටි පිළිම වහන්සේලා දෙනමක් එහි වැඩ සිටියහ .

විහාර ගෙයි චිත්‍රත් , පිළිම වහන්සේලාත් බලමින් වටයක් ගමන් කල මම විහාර ගෙයි දොරටුවෙන් දුටුවේ ඈත මිදුලේ සීයාත් තවත් කීප දෙනෙකුත් කොප්කොල අතු සහ කෙසෙල් කොටන් කීපයක් රැගෙන විත් කතා කර කර සිටින ආකාරයයි .

එය දුටු මම ඉක්මන් ගමණින් ගමන් කලේ සීයා ඉන්නා දෙසටය .


අද එතැන් සිට





" මෙන්න මෙතන තමයි තොරණයි පහන් පැලයි දෙකම හදන්න ඕන . තව එක පිදේනි තටුවක් තිබුනම ඇති . තව මට ඕනා කරන අඩුම කුඩුම දේවල් තියෙනවා . ඒවා මම කොලේක ලියලා දෙන්නම් . අකුරු කියවන්න දන්නා කෙනෙක් එන්න මාත් එක්ක " 

සීයා ඔහු සමග පැමිණ සිටි පිරිසට හූනියම කැපීම සඳහා අවශ්‍ය කරන ගොප්කොල තොරණ සහ පෙරේත පිදේනි තටු සැකසීම පිළිබඳව විස්තර කළේය . එම පිරිස අතර මෙම දේවල් සම්බන්ධව හසුරු කෞශල්‍ය ඇති කෙනෙක් අපට මුණගැසිනි . එනිසා කටයුතු වඩාත් පහසු විය . අනතුරුව එම දවසේ වැඩි වෙලාවක් මම ගත කරන ලද්දේ එම පිරිස සමගය . අපට අවශ්‍ය දේවල් ඒ ඒ ආකාරයෙන් සූදානම් කරගැනීමට ඔවුන් මෙහෙයවීමට සීයා මට උපදෙස් දුන්නේය .

සවස්වන විටදී බෙරගල මාමා පන්සලට පැමිණියේය . ඒ වලව්වේ කරත්තයෙනි . බෙරගල මාමා කරත්තයෙන් කෙලින්ම ආවේ පන්සලටය . ඒ නිසා ඔහුට ලැගුම් ගැනීමට පන්සලේම ස්ථානයක් සාදා දීමට පන්සලේ වැඩ බලනු ලබන හිමිනම විසින් කටයුතු සම්පාදනය කළහ .

ජේමිස් දවස පුරාවටම කරත්තය දක්කමින් එහාටත් මෙහාටත් ගමන් කල නිසා නිදිමතේ සිටි හෙයින් ඔහුද කරත්තය ලිහා දමා බෙරගල මාමාට ලැගුම් ගැනීමට සාදා දුන් ස්ථානයේ පසෙකින්ම හාන්සි විය . වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ඔහු ගොරවමින් නින්දට වන්නේය . එක් අතකට අප මෙන්මම ඔවුහූ සියල්ලෝද මෙම කාර්යයන් වලදී එකා මෙන් මහන්සි වෙති . එබැවිනි සීයා ඔවුන්ටද පවුලේ අයට මෙන් සලකනු ලබන්නේ .





සවස් වන විට කෙමෙන් කෙමෙන් පුළුටු බදින සුවඳත් සමගම තොවිලයක් කියන පසුබිම පන්සල පුරාවටම පැතිරී ගියේය . ඒ අතරේ සීයා විසින් සාත්තර ආතාර මතුරන ලද දෙළුම් ඉස්ම පොවන්නට කටයුතු කළේය . විනයක් වැදී හෝ එවැනි කටයුත්තකදී මරණය ළඟා කරගත් පුද්ගලයින් බේරා ගැනීමට සමත් වටිනා කියනා මන්තරයක් අපගේ පරපුරේ පැවතගෙන ඒ . සීයා එම මන්ත්‍රයද හඬ නගා මතුරණු මට ඇසිණි . එහෙත් සාත්තර ආතා අද අවසන් ගමන් යනවා නියතය . මට එවැන්නක් ඔහුගේ දෑසෙන් පෙනිණි . ඔහු දැන් සැහැල්ලුය . විනය කැපුවායින් පසුව ඔහුගේ සිත සැහැල්ලු වනවා නියතය .

සවස හය හත පමණ වන විට පුළුටු බෙදා පිදෙන්නත් තොරණත් සියල්ල සාදා අවසාන විය . දැන් අමනුෂ්‍යයින් රඟ මඩලට ගෙන්නවා ඔවුන් ලවා වැරදි නිවැරදි කරවා නැවත පිටත් කරවීමට කාලය හරිය . බෙරගල මාමා බෙරය සුදු රෙදි කඩෙන් පිටතට ගෙන තට්ටු කරමින් එය නියම හඬ නිකුත් වන සේ සාදයි . සීයා ඒ අතරේ මා කැඳවා නා පිරිසිදු වීමට කීවේය . අංජනම ඇරිය යුතුය . එනිසාය නා පිරිසිදු වීම අනිවාර්ය වූයේ .

මම පන්සලේ ළිඳෙන් වතුර ඇද නා පිරිසිදු වී එන විට සීයාද නා පිරිසිදු වීමට ළිඳ අසලට පැමිණියේය .

" පුතේ මම වතුර බාල්දි දෙකක් ඇඟට හලාගෙන එනකල් අංජනම අරින්න ලෑස්ති කරන්න . අංජනම ඇරලා කොහොමද කියලා බලලා තමයි මේ වැඩේ කරන්න වෙන්නේ . සාත්තර ගොයියා අද මේක කපනකොටම මැරෙයි කියලා තමයි මම හිතන්නේ . ආපිට කපන්නේ නැතුව පරෙස්සම් කරගන්න බලන්න ඕන . අංජනමෙන් හරියටම දැනගන්න ඕන . ඒ නිසා බලමු මොකද කියන්නේ කියලා . පුතා අංජනම මතුරන්න පටන් ගන්න . මම නාලා කියලා විගහට එන්නම් "





" සීයේ අංජනම කොතනද තියාගන්නේ . මිදුලේම තියාගන්නම් නේද ? . තොරණ හදලා තියෙන තැනින් පුටුව තියාගන්නම් ? "

" ඔව් කොහොමත් විනේ කපන්න ගත්තම අපි දෙන්නට කිට්ටුවෙන් ඉන්න වෙයි අංජනමෙන් බලාගෙන . ඒ නිසා පිදේන්න තියෙන අහළින්ම අංජනමත් තියාගන්න "

" හොඳයි සීයේ "

මම පන්සලට ගොස් මගේ ඇඳුම් දමා තිබුණු මල්ලෙන් සුදු සරමත් කමිසයත් ගෙන එය ඉක්මණින් ඇඟේ ලා අංජනමත් අනෙක් අතින් කඩුවත් රැගෙන කිණිස්ස ඉනේ ගසාගෙන පන්සලේ මිදුලට වන්නෙමි . පන්සලේ වැඩ කටයුතු සඳහා එහා මෙහා දුවන අතර වාරයේ එම ප්‍රදේශයේ සිටි එක්තරා පවුලක පිරිමි දරුවෙකු මාත් සමග වඩාත් කුළුපග විය . හෙතෙම මන්ත්‍ර ශාස්ත්‍රය පිලිබඳ මගෙන් අනවශ්‍ය තරමේ ප්‍රශ්න රාශියක් ඇසූ අතර දිය යුතු සීමාවේ උත්තර පමණක් මම ඔහුට දුන්නෙමි . අංජනම රැගෙන මිදුලට බහින විටදී ඔහු නැවතත් මා අසලට පැමිණියේය .

" අයියා , දැන් මොකද කරන්න හදන්නේ ? "

" දැන් වැඩ පටන් ගන්න හදන්නේ . සීයා නාලා එනකල් මම අංජනම් එළිය අරින්න හදන්නේ . මට ඔය අහල පහළ තියෙන අඹ ගහකින් අඹ දළු අත්තක් කඩාගෙන එන්න "

" හොඳයි අයියේ "

ඔහු වැඩි වෙලාවක් යන්නට මත්තෙන් අඹ දළු සහිත කොළ අත්තක් කඩාගෙන ආවේය .

" මෙන්න අයියේ අඹ කොළ අත්තක් . දැන් මොකද කරන්නේ ? "

" මල්ලි මේ වැඩ වලට කැමතියි වගේ නේද ? "

" එහෙමයි අයියේ . මමත් කැමතියි මේවා ඉගෙන ගන්න . අයියට බැරිද මටත් උගන්වන්න ? "

" එහෙම ඉතින් මේවා උගන්වන්නේ නැහැනේ "

" ඒක තමයි දවසක් සාත්තර ආතාත් කිව්වා මට "

එය අමතක කර දමා මම අංජනම මල් බුලත් පුද සහිත පුටුවේ තබා කට්ට කුමන්ජල් රැගෙන මතුරන්නට වීමි .





..................ඕන් හ්රීන් හවුඩි හලුඩි සෙල්ලුම් ග්‍රමාහි භූමි සෙල්ලුම් කදිර මාලා සෙල්ලුම් වීර හනුමා සෙල්ලුම් වීර පත්‍ර කාලි සකිරණ දෙරණ සෙල්ලුම් වල්ලි අම්මා සෙල්ලුම් භද්‍රකාලි සෙල්ලුම් අංජන දේවී සෙල්ලුම් ශ්‍රියා කාන්තා දෙවි සෙල්ලුම් සබරි කුන්ජරී සෙල්ලුම් තත්‍ර වීර කොන්ඩෙන් හනුමා වෛරෝඩි ගං නමෝ නමඃ ......................

කට්ට කුමන්ජල් මතුරන්නට වූ වහාම පන්සල් භූමියේ සිටි සියල්ලෝම මා සිටිනා අවට රොක් වන්නට විය . මම ඒ කිසිවක් ගණන් නොගෙන කට්ට කුමන්ජල් මතුරා අඟුරු කබලට දැමීමි . පහන් දැල්ල තුළින් හනුමන්තා පෙනී සිටියේය .

හනුමා අංජනමට වඩිනවාත් සමගම සීයාද නා පිරිසිදු වී සුදු ඇඳුමක් හැඳ මා අසලට පැමිණියේය .

" හා මොනවද කියන්නේ ? "

" මම මේ දැන් අංජනම ඇරියා විතරයි සීයේ . මොනවද දැනගන්න ඕන ? . හනුමා ඇවිත් ඉන්නේ "

" අහන්න මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා "

හනුමා එකවරම බෝධීන් වහන්සේ අසල බෝ මළුවේ ඒක ස්ථානයක් පෙන්නුවේය .

" සීයේ . ඔන්න ඔය බෝධිය ඉස්සරහා අර තියෙන පහන් වැට කිට්ටුව තැනක් හනුමා පෙන්නුම් කරනවා . එතන අඩියක් විතර යටට හාරලා බලන්න කියලා කියනවා . එතන ඇතිලු උණ බට පුරුකක දාලා හිර කරපු හූනියමක් "

" ආ එහෙම එකක්ද මෙතන තියෙන්නේ . එහෙනම් අපි වැඩ රාජකාරි වලට ලෑස්ති වෙමු "

" ඔය කාන්තා පාර්සවේ උදවිය පන්සල් වත්තෙන් පිටත් වෙනවනම් තමයි හොඳ . පිරිමි ළමයි දෙතුන් දෙනෙක් එන්න මාත් එක්ක . සාත්තර උන්දැව මෙතනට එක්කගෙන එන්න "

සීයා කිහිපදෙනෙකු සමග ගොස් සාත්තර ආතා ඔසවාගෙන අවුත් පැදුරක හාන්සි කරවීය . ඒත් සමගම පන්සලේ නායක හාමුදුරුවන්ද කැඳවාගෙන අවුත් පිදේන්න අසල අසුන් පනවා දුන්නේය . දැන් සියල්ල සූදානම්ය . සීයා වටපිට බලා කිසිවක් අඩු නොවූ බව ප්‍රත්‍යක්ෂ කර බලා ගෙන බෙරගල මාමාටද රඟ මඩලට ආරාධනා කළේය .





සීයා පිදේන්න අසලින් හිඳ ගෙන ඒ අසල තබා තිබුණු අලුපුහුල් ගෙඩිය රැගෙන එය ජීවම් කරන්නට පටන් ගත්තේය . මන්තරේ හඬ වැඩි වනවාත් සමගම බෙරගල මාමාද තම බෙර පදය නියම ගානට ලය වැඩිකරගෙන ආවේය . සීයා දැන් ආවේශයෙන් මෙන් මන්ත්‍ර මතුරාගෙන යයි . මම අංජනම දෙස බලාගත්වනම බලාගෙන සිටියෙමි . හනුමා දැන් පසුබිමේ නැත . එහෙත් අංජනම වැසී ගොස් නැත . මම අවධානයෙන් බලාගෙන සිටියෙමි . එකවරම අංජනම හරහා පෙනී සිටියේ කාලකයට කලින් අප හමුට ආ අමුත්තියකි . ඇය වෙන කවුරුවත් නොව . නම ඇසූ පමණින් මිනිසුන් භය බිරාන්තව ගුලිවන සොහොන් කාලි යක්ෂණියයි .

" සීයේ , මතුරන එක නවත්තන්න කියනවා . සොහොන් කාලි යක්ෂණිය ඇවිත් ඉන්නවා . ඔය මතුරන එක නවත්තන්න කියලා කියනවා "

" අහන්න ඇයි මගේ මන්තරේට බාධා කරන්නේ කියලා "

" සීයේ මේ සේරම දේවල් අරගෙන කනත්තට යන්න කියලා කියනවා "

" කියන්න මේ වෙලාවේ මේ හාමුදුරු නමකුත් ඉන්නා නිසා කරදරයි කියලා "

" සීයේ යක්ෂණිය කියනවා පුහුල් ගෙඩිය අරගෙන සොහොන් පිටියකට ගිහින් දිෂ්ටිය හිරකරගෙන එන්න කියලා . මෙතන මේ දේ කරන්න එපා කියලා කියනවා "

" හොඳයි එහෙනම් යමු කනත්තට . දරුවනේ මෙහෙ වරෙල්ලා මේ පිදේනිය අල්ලන්න අපි කනත්තට යන්න ඕන දැන් "

සීයා පුහුල් ගෙඩිය සුදු රෙදි කඩක ඔතාගෙන දෑතින් ගත් අතර පිදේනි තටුව කිහිප දෙනෙකු විසින් ඔසවා ගන්නා ලදී . අනතුරුව මා පන්සලේ රඳවා සීයා පිදේනි තටුව සහ පුහුල් ගෙඩිය රැගෙන සොහොන් පිටියට නික්ම ගියේය .





මද වෙලාවකට පන්සල් භූමිය නිහඬ විය . මම අංජනම ඇරගෙන නොහොන් පිටියේ වෙන්නේ මොනවාද කියා බලන්නට තීරණය කලෙමි . අනතුරුව මම දිෂ්ටි නවත්තන්නට මතුරා නැවතත් හනුමාට ආරාධනා කලෙමි . පසුව සොහොන් පිටියේ වෙන්නේ කුමක්ද කියා පෙන්වන්න යැයි ඉල්ලා සිටියෙමි . ඒ අතර වාරයේ මට මහත් හිසරදයක්ව සිටි ඉහත කී පිරිමි ළමයා නැවතත් මා අසලට පැමිණියේය .

අංජනමෙන් සොහොන් පිටියේ සිදුවන්නේ කුමක්ද කියා පෙන්නුම් කරන අතර වාරයේ මේ කොලුගැටයාගේ බාධා කිරීම නිසා මාගේ ඉහ මොළ රත් වී එන්නා සේ දැනිණි . එහෙත් මම කරබාගෙන සිටියෙමි . අනතුරුව ඔහු මාගේ ප්‍රතික්ෂේප කිරීම තේරුම් ගත් නිසාදෝ පැත්තකට වී බලාගත් අත බලාගෙන සිටි අතර නැවතත් මම සිත සංසුන් කරගෙන සොහොන් පිටියේ සිදුවන දේ පිළිබඳ අවදානය යොමු කළෙමි .

සීයා මිණී වලක් උඩ පැදුරක් එළා , ඒ මත හාන්සි වී මන්ත්‍ර මතුරමින් පුහුල් ගෙඩිය පපුව උද තබාගෙන ජීවම් කරයි . බෙරගල මාමාගේ බෙර ගැසීමද ඒ අතරේ පෙනේ . පැය භාගයක් පමණවත් මෙම මන්ත්‍ර මැතිරීම සිදු වන්නට ඇත . අනතුරුව සීයා පැදුරෙන් නැගිට කිසිවෙකුට කිසිවක්ම නොකියා එම ස්ථානයෙන් පිටත්වී ආවේය . පිදේන්න ඔසවාගත් පිරිසද කරන්නේ කුමක්ද නොදන්නා බැවින් පිදෙන්නද කර තියාගෙන සියා පසුපසම පැමිණියහ .

" කෝ සොහොන් කාලි යක්ෂණිය ඉන්නවද ? "

" නෑ සීයේ යක්ෂණිය ගියා . මම ආයෙත් එන්න කියන්නම් "

මම හනුමන්තා ලවා නැවතත් සොහොන් කාලි යක්ෂණිය අඳුනට ගෙන්වා ගත්තෙමි .

" සීයේ යක්ෂණිය ඇවිත් ඉන්නේ "

" අහන්න මේ විනය කොහොමද කපන්න ඕන කියලා "

" සීයේ ආපිට යන්නම කපන්න වෙනවා කියනවා . ඒ නැතත් සාත්තර ආතාට දීලා තියෙන වරම ඉවර වෙලා තියෙන නිසා තව තුන් වරුවක් විතරයි ඉන්නේ කියලා කියනවා "

" ආපිට කපන්නේ නැතුව වෙනත් විදියක් කරන්න බැරිද කියලා අහන්න "

" සීයේ ආපිට කපන්නම වෙනවා කියලා කියනවා . සාත්තර ආතා මැරුණට පස්සේ සොහොන් කාලි යක්ෂනියගේ යක්ෂ සමාගමයට එක්කාසු වෙනවා කියලා කියනවා "

" හොඳයි එහෙනම් අපි ආපිට කපන්නම් කියලා කියන්න "

සොහොන් කාලි යක්ෂණිය නැවතත් අතුරුදන් විය .

" සීයේ , මොකද දැන් කරන්නේ ? "

" මම මේ පවුකාරයා ලවාම විනේ ගොඩ ගන්නවා . මම මේ විනයට බැඳලා ඉන්න ප්‍රාණ කාරයා සාත්තර උන්දැගේ ඇඟට දාලා ඌ ලවාම මේ විනේ ගොඩ ගන්නවා "

එසේ කියමින් සීයා පුහුල් ගෙඩිය පහන් පැලේ මැද කුටියේ තබා කට්ට කුමන්ජල් රැගෙන ජීවම් කරන්නට පටන් ගත්තේය .






................................ශැක්ක්‍රම් අරුපන් ශකකම් ඉරපිදා ශැක්ක්‍රම් උරුතාල් ශැක්ක්‍රම් පත්තුඩුළුසුවන්නේ කට්ටි කාබල් ඉරිමුත්තුඩ ළුසුවනේ කට්ටි කාබිල් ඉරිමුත්තුඩල් එමුක් කොල් පෙරිය වානේ කට්ටුනක්කානයි ලාඟ කට්ටි මුක්ක්‍ර මුකකු කොල කට්ට ඉක්කා ඉරිනාල් කට්ටි ඉන්ද ඉරිශ්‍රිශ්‍රතයි කතොත් සංකර දුක දරනි කට්ටු ශැර විශ්නු ගිනි කරනේ කට්ටු නකකානයි ලන්ග කට්ටි මුක්කා මුක්කු කෙල් කට්ටි ඉක්කා ඉරිනාල් කට්ටි ඉන්ද ඉරිශ්‍රශ්‍රතයි කනෙත් ශංකං රදුතදරති කට්ටු ශැර විශ්නු ගිනි තට්ටු ශෙන්ගු පලශෙකුං දෙවි කට්ටු වයි රඩ වාහ ගුරුන්චර කාකට්ටු පුර වින්දුන දෙවි කට්ටු පිත් රොම දිට්ඨි ගුරු දෙවි කට්ටු ඉරමුන්නයි කට්ටු සුක්‍රාශ්‍රදිර කට්ටු යන් කින් නාරනි කට්ටු....................................

සීයා මෙසේ කට්ටකුමන්ජල් මතුරා දුම් කබල රැගෙන ගොස් සාත්තර ආතා හාන්සි වී සිටින පැදුර අසල හිඳගෙන නැවත මතුරමින්දුම් අල්ලන්නට විය . ඒත් සමගම නායක ස්වාමීන් වහන්සේට වැසි සිටින අමනුෂ්‍යයා කලබලයට පත්වී නායක ස්වාමීන් වහන්සේ පරල වන්නට විය .

" පලයවූ තොපි සේරම පන්සල් වත්තෙන් එළියට . පලයවූ "

සීයා මහා හඬින් පන්සලේ සිටි ගමේ සියල්ලටම කා ගැසුවේය . නායක ස්වාමීන් වහන්සේ පරළ වී සිවුර බිම දමා අඳනය පමණක් ශරීරයේ ඇතිව නටමින් පහන් පැළ අසලට පැමිණියහ . අනතුරුව පුහුල් ගෙඩියට අත තියන්නට සැරසෙනවාත් සමගම සීයා නැවතත් කේන්තියෙන් කා ගැසුවේය .

" අත ගනින් පරයා පුහුල් ගෙඩියෙන් . මම උඹව ගිණි තියනවා කල්ප කාලාන්තරේකට නිවෙන්නේ නැතිවෙන්න . අත ගනිං "

මේ වනවිට පන්සල් වත්තේ සිටින්නේ පන්සලේ සිටින අනෙක් හාමුදුරුවරුන් සහ සීයාත් මමත් බෙරගල මාමාත් ආදී මෙම කටයුත්තට අත්‍යාවශ්‍යම අය පමණි. සීයාගේ ගිගිරීමත් සමගම ගමේ සියල්ලෝම පන්සල් වත්තෙන් පිටත් විය . නායක ස්වාමීන් වහන්සේ පරල වීම ගමේ අය දැකගත යුතු නැත . එය උන්වහන්සේගේ චරිතයට නොහොඳ කාරණාවක් නිසාවෙන් ගමේ අය ඒවා දැකගත යුතු නැත . සීයා ඒ නිසාවෙන් ගමේ අය එළවන්නට ඇත .

" හා දැන් මොකද කියන්නේ . ඔය පරාණ කූඩුවෙන් පිටත් වෙලා මේ පරාණ කූඩුවට එන්න හොඳයි "

" මම එන්නේ නැහැ................ මාව බන්දලා තියෙන්නේ කිසිම ගුරුකමකට යටත් වෙන්න එපාය කියලා.................මාව අයින් කරන්න කාටවත් බෑ................................. "

හාමුදුරුවන්ට වැසී සිටින අමනුෂ්‍යයා ගොරහැඩි හඬින් සීයාට අවනත නොවූවාක් සේ කීවේය .

" එහෙනම් බලාගනිං මං උඹට කරන දේ "



ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි . පසුග...

සාත්තර ආතා ( 3 )







මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .





පසුගිය කොටසින්

" හොඳයි එහෙනම් ඔය දරුවා කරත්තෙන් ඉස්සර වෙන්න . මම වලව්වේ කරත්තෙන් එන්නම් "

" කවුද ගුරුන්නාන්සේ එක්ක යන්න මම එනවා කියලා කලින් කිව්වේ ? "

" අද හදිස්සියකට අංජනම් එළිය ඇරපු වෙලාවේ හනුමා තමයි කියලා තියෙන්නේ මාව එක්ක යන්න කරත්තයක් මේ වෙලාවට එනවා කියලා . වැඩිය සුනංගු වෙන්න හොඳ නෑ . අපි යමු එහෙනම් "

" හොඳමයි ගුරුන්නාන්සේ "

ගතයුතු සියල්ල රැගෙන මමත් සීයාත් වලව්වේ කරත්තයට ගොඩ වූ අතර අප කැඳවාගෙන යාමට ආ කරත්තය ඉදිරි කරගෙන අපේ කරත්තය ගමන ආරම්භ කළේය .

සාත්තර ආතා අප යන තුරු ජීවත් වෙයිද ?

අද එතැන් සිට

සිටිනාමළුවේ සිට මාතරට යාමට ඉර දෙවියන් නැගෙනහිර අහසින් වඩින්නට සැරසෙන වේලාව දක්වාම නොනවත්වා කරත්තය දැක්කීමට සිදුවිය . සීයා නින්දට වන්නේ නැත . මම විටින් විට නිදා වැටුනෙමි . සාත්තර ආතා සිටින නිවසට ළඟාවන විටද එහි කීප දෙනෙකු සාත්තර ආතාට උපස්ථාන කිරීමට නැවතී සිටියහ .

" පුතේ , ගෙනාපු දේවල් කරත්තේම තියලා ගෙට ඇතුළුවෙලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා . කලින් තියාම මේ දේවල් ගේ ඇතුලට ගෙනියන්න උවමනා කරන්නේ නැහැ "

" හොඳයි සීයේ "




සීයාත් මමත් කරත්තයෙන් බැස සාත්තර ආතා සිටින නිවසට ඇතුළුවිය . එය එතරම්ම කුඩා නිවසක් නොවීය . හුණු බදාම කපරාරු කරන ලද සිංහල උළු හෙවිලි කරන ලද තරමක පිළිවෙලට සාදන ලද නිවසකි . ඇතුළු කාමරයක සාත්තර ආතා සිටින බව එම නිවසේ සිටි , සාත්තර ආතාට උපස්ථාන කරනු ලබන කෙනෙකු පැවසුවේය . ඒ අනුව ඔහු පසුපස අපි ගමන් කළෙමු . සීයා සාත්තර ආතා සිටින කාමරයට ඇතුළු වූ වහාම සාත්තර ආතා සීයාව හඳුනා ගත්තේය .

" අර්ර්...........රනෝලිස් අයි....යේ "

" හා හා වඳින්න උවමනා නැහැ . හුඟ කාලෙකින් නේද දැක්කේ . දැන් කොහොමද ? "

" ම...........ගේ අවසා................නේ ක්ක්ක්කි........ට්ටුවේගෙන එනවා වගෙ ක්කීය.....ලා තමයි දැන් "

" මොකද ඉතින් මේ තකහනියෙම මට එන්නය කියලා පණිවිඩ එව්වේ . අසනීප වලට මොනවද කරන්න ඕන ? . මම කරත්තෙන් අපේ වෙද ගෙදර එක්ක යන්නම් . එහෙ නැවතිලා වෙදකම් කරගනිමු ? "

" ඕ......නැ නෑ . මම වළලාපු හූනියම් දැන් ම්ම්ම්ම්..............මගේ පස්සෙන් එළවනවා වගෙයි මට දැනෙන්නේ . ම්ම්...මේ මේ වතාවේ . මට ග්ග්ග්ග්....ගොඩ එන්න ඇහැක් වෙන එකක් නැහැ "

" මම ඉතින් ඒ කාලෙම කිව්වනේ ඔය දේවල් වලින් ඉවත් වෙන්න කියලා . කෝ ඇහුවේ නැහැනේ . දැන් මොකද කරන්න ඕන . මේකත් මැරෙන්න වයසකද ? . මම බේරගන්නම් "

" එපා අරනෝලිස් අයි.....යේ...... . මම මම ම්ම්ම්ම්මහා...... පවු කාරයෙක් . මම වළලාපු හූනියමක් තියෙනවා ඔය එහා ව්ව්ව්ව්වත්තේ..... "

" මොනවා ? . පන්සල් වත්තේ ? "

" හ්ම්ම්ම්ම්........ "

" ඒක ගොඩ අරගෙන ඒ විනේ කපලා දාන්න . මම මැරෙයි තව වැඩි කාලයක් ය්ය්ය්ය්ය්යන්න.... ක්කලියෙන් .... "

" මම මැරෙන්න කලියෙන් ඒ හූනියම ගොඩ ගන්න . ඔන්න ඔය ඔතන තියෙන.... ; මට දැන් හුස්ම ගන්නත් අමාරුයි වගේ "

එසේ කියමින් සාත්තර ආතා කහින්නට පටන් ගත්තේය . ඔහු හොඳටම දුර්වල වී තිබේ .

" මේ දරුවනේ . ඔය කවුරුහරි ගිහිල්ලා මාතර පොළෙන් දෙළුම් ගෙඩියක් අරගෙන වරෙල්ලා "

සීයා , සාත්තර ආතාගේ නිවසේ සාත්තුවට නැවතී සිටින අයට ඇසෙන්නට හයියෙන් කීවේය .

" ඕවා ..... ගේ.....න්න මහන්සි වෙන්න උවමනා ... නැහැ... . මේ වතාවේ මම මැරෙනවා කියලා මම මම හොඳටම  දන්නවා..... . අරනෝලිස් අයියේ ? "

" ඔව් කියන්න "





" ඔය අල්මාරියේ තියෙන්නේ මගේ පොත් ටික . ඕවා....... මට තව කෙනෙක්ට දෙන්න බැහැ. ඕවයේ හොඳ දේවල්........... මොක......වත් නැහැ..... . ඒ නිසා මට පේන ඉහව්ව්වේ ..... තියලා මේ පොත් ටික ගිණි තියන්න . මට සැනසිල්ලේ මැරෙන්න පුළුවනි "

" හොඳයි හොඳයි . ඒවා අපි කරමුකෝ . ඉස්සෙල්ලා පන රැකගන්න උත්සාහ ගමු ගොයියෝ "

" පිං අයිතිවෙයි අරනෝලිස් අය්යේ . ද..........දැන්මම මේවා ගිණි දාන්න . මට දැන් අමාරුයි වගේ දැනෙනවා "

" උඹට කන්න බොන්න මොනවද මනාප දේවල් තියෙන්නේ . මම හදවලා ගෙනැත් දෙන්නම් "

සාත්තර ආතා එම මොහොතේ නිහඬව හිඳ ඔහුගේ කැමති කෑම වට්ටෝරුව සිහිපත් කළේය .

"අ....රනෝලිස් අයියේ . ම්ම්.......මට . බල මාළු හොදි හදලා . කොස් තම්බලා , තම්බපු හාලේ බත් ඩිංගිත්තක් කන්න ආසයි "

" හොඳයි . මම ඒ දේවල් ඉක්මණට පිළියෙළ කරවන්නම් . හිතට හයිය ගනින් . කරන්න ඕන දේවල් මම සූදානම් කරන්නම් . චූටි පුතේ . පුතා මෙතන ඉන්න "

 " හා සීයේ "

සීයා කාමරයෙන් පිටව ගියේ අවශ්‍ය දේවල් ලක ලෑස්ති කිරීමටය . ඒ අතරේ සාත්තර ආතා සහ මම කතාවට වැටිණි .

" ඔය දරුවා නේද ? අ........ අරවින්ද "

" ඔව් ආතේ . ආතා මාව දන්නවද ? "

" මම බොහොම ඉස්සර දවසක වලව්වට ඇවිත් තියෙනවා . එතකොට ඔය දරුවා...... බොහම බොහොම කුඩා දරුවා . දරුවෝ "

" ඇයි ආතේ ? "

" මගේ මේ කොට්ටේ ඇතුළට අත දාලා . සෝ......දිසි ක්.......කරලා බලන්න යතුරක් තියෙනවද කියලා "

සාත්තර ආතා හිස තියා සිටි කොට්ටය ඇතුළට සෙමෙන් අත දමා එය පරීක්ෂා කලෙමි . එහි තිබී ඔහුගේ අල්මාරියේ යතුර මට හමුවිය .

" ආතේ . මේ තියෙන්නේ යතුර නේද ? "

" ඔය අල්මාරිය අරින්න බලන්න "

මම සාත්තර ආතාගේ පොත් අල්මාරිය විවෘත කලෙමි . එහි පුස්කොල පොත් සහ කොපි පොත් පිළිවෙලට අසුරා තිබිණි .





" ආතේ , දැන් මොකද කරන්න ඕන ? "

" ඔය තියෙන පොත් සේරම ගිණි තියලා දාන්නයි තියෙන්නේ "

එසේ කියමින් ඔහු නිහඬ විය .

සීයා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ගොස් නැවතත් කාමරයට පැමිණියේය . පසුව සාත්තර ආතාගේ සියලුම පොත් බිම එලන ලද පදුරක ගොඩ ගසා පැදුරෙන් එතුවේය . අල්මාරියන් එම පොත් සියල්ල ගෙන දුන්නේ මම විසිනි . සීයා ඒ සියල්ල පැදුරේ ඔතා අවසානයේ නැවතත් සාත්තර ආතාව ඇමතුවේය .

" දැන් ඉතින් මේවා උඹට පේන්නම ගිණි තියන්න උවමනා කරන එකේ කොතනද ගිණි තියන්න ඕන ? "

" මාව උස්සගෙන යන්න එළියට . අර ඒ..........ලියෙන් ඉන්න උදවියට කිව්වම ම්.......මාව එක්ක යයි "

සීයා නැවතත් එලියට ගොස් පිරිමින් දෙදෙනෙකු කැඳවාගෙන ආවේය . පසුව සාත්තර ආතා සීරුවට ඔසවාගෙන යන්නට උපදෙස් දුන්නේය . ඒ අනුව සාත්තර ආතා ඔසවාගෙන ගොස් නිවසේ ඉස්තෝප්පුවේ පදුරක හාන්සි කරවන ලදී . ඉන් පසුව සීයාත් මමත් පොත් ටික ඔතන ලද පැදුර ගෙන ගොස් මිදුලේ තබා ගිණි තැබීමට සූදානම් කළෙමු .

සාත්තර ආතාගේ මුහුණේ දුක්මුසු ස්වභාවය තරමක් පහවගියේ පොත් කන්දරාවෙන් අඩකටත් වඩා ගිණිගත් පසුවය .

" මගේ හිතට දැන් තරමක් හොඳයි . මේවා වෙන කෙනෙක් අතට යයි කියලා මම බයෙන් උන්නේ "

" මම දන්නවා මේවයේ මොනවද තියෙන්නේ කියලා . ඒ නිසා තමයි මමත් මේවා පුච්චලා දාන්න උපකාර කලේ . නැත්නම් ඉතින් අවුරුදු ගානක් රැකගෙන ආව දේවල් නේ මේ ගිණි තියන්නේ "

" අරනෝලිස් අයියේ . පන්සලේ රාජකාරියත් අහවර කරන්න . මම තව වැඩි වෙලාවක් ඉන්න එකක් නැහැ "

" පන්සලට මොකක්ද කරලා තියෙන්නේ ? "

" පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ නමට විනයක් කරලා තියෙනවා . ඒක බෝධීන් වහන්සේ කිට්ටුව වළලා තියෙනවා . ඒක ගොඩ අරගෙන කපන්න . මම සමහර විට ඒක කපනකොට මියැදෙයි . ඒත් කමක් නැහැ . ඒක කපා දාන්න "

" පන්සල් වලටත් වින කරනවද මිනිහෝ ? "

" මගේ කරුමක්කාර කම තමයි අරනෝලිස් අයියේ "

" ආයෙත් මේ මනුස්සයාව අර කාමරේට එක්ක යන්න දරුවනේ "

සාත්තර ආතා කාමරෙන් ඉවතට ඔසවාගෙන ආ දෙදෙනා විසින්ම නැවතත් ඔහුව කාමරයට ඔසවාගෙන ගියහ . ඒ අතර සීයා පන්සලට ගොස් විනය පිළිබඳව සොයා බැලීමට කටයුතු කළේය . පොත් සියල්ල ගිනිගෙන අවසාන වනතුරු ගිණි ගොඩ අසල හිඳින ලෙස සීයා මට අවධාරණයෙන් කීවේය .

සීයා පන්සලට ගොස් නැවත පැමිණීමට වැඩි වේලාවක් ගත්තේ නැත .

" ඒ පන්සලේ නායක හාමුදුරුවන්ගේ කටේ පැත්තක් පණ නැහැ . හාමුදුරුවරුන්ට වින කරන්නේ කවුද කියලා විස්වාස කරන්නේ නැති නිසා වෙදකම් විතරයි කරලා තියෙන්නේ . ගුණයක් නැතිලු . දැන් ඉතින් ඉස්සරහට වැඩ තියෙයි . මේ මනුස්සයානම් කවදාවත් හැදෙන්නේ නැහැ කියලා මට තේරුණා . ඒත් පෙර පිනක්වත් ඇති කියලා හිතලා හැදෙයි කියලා විස්වාසෙන් තමයි ගිය වතාවේ මම මේ මනුස්සයව බේරුවේ . මේ වතාවේ නම් විනේ කපනකොට මේ මනුස්සයා මැරෙයි "

" නොමැරෙන්න මොකවත් කරන්න බැරිවෙයිද සීයේ ? "

" මම හිතන්නේ නැහැ පණ රැකෙයි කියලා . කාල ප්‍රාණ හැර අකල් ප්‍රානයකට දිෂ්ටි හෙලාගන් කිව්වම මොනවා වෙයිද කියලා කොහොමද දන්නේ "

" කමක් නැහැ . හාමුදුරුවන්ගේ ජීවිතේ ඊට වඩා වටිනවා . මේක කපමු . අද රෑම වැඩේ කරන්න ඕන . මේ සාත්තර උන්දා විනේ කපන්න කලින් මළොත් එහෙම උන්දැගේ ඊළඟ ආත්මේට ඒක බලපාන්න පුළුවන් . සතුටෙන් මළොත් අඩුම තරමේ ටිකක් හරි හොඳ තත්වයකට එයි . ඒ නිසා මේක ජීවත් වෙලා ඉන්නකොට පේන්නම කපන්න ඕන "

" සීයේ මොනවද එහෙනම් කරන්න ඕන ? "

" දැන් තවම උදේ නිසා බෙරගල ගෙන්න ගන්න වෙලාව තියෙනවා හවස් වෙනකොට . ජේමිස් යවමු බෙරගල එක්ක එන්න කියලා " අංජනමයි කඩුවයි අපේ රෙදි මලු දෙකයි කරත්තෙන් අරගෙන පුතා ඉන්න කිට්ටුවම තියාගන්න . අනිත් දේවල් මම සූදානම් කරවන්නම් "





සීයා සමගම මම කරත්තය අසලට ගමන් කලෙමි . කඩුවත් අංජනමත් රෙදි මලුත් අතටගත් මට පන්සල මතක් විය .

" සීයේ ? "

" ඇයි පුතේ ? "

" මම පන්සලට යන්නද ? . මෙහෙ ලෙඩෙක් ඉන්න නිසා අපිරිසිදුද දන්නෙත් නැහැ . ගේ ඇතුලට වෙලා ඉන්නවට වඩා මට පන්සලේ ඉන්න පුළුවන් "

" ඔව් . ඒකත් කමක් නැහැ . අපිරිසිදුවක් නම් පේන්න නැහැ . පන්සල කෝකටත් පරෙස්සම් . එහෙනම් යමු පන්සලට . මම හාමුදුරුවන්ට කතා කරන්නම් "

සීයා මාව පන්සලට කැඳවාගෙන ගියේය . පන්සලේ ලොකු හාමුදුරුවන් අසනීප වූ පසු පන්සලේ වැඩ කටයුතු සියල්ල පැවරී තිබුණේ ඉන් පසුව ජ්‍යෙෂ්ට තනතුරේ හිටි හිමි නමකයට . උන් වහන්සේ උණුසුම් ලෙස අපව පිළිගත්හ .

" අවසර හාමුදුරුවනේ "

" මේ ගුරුන්නාන්සේගේ මුණුබුරා කිව්වා නේද ? "

" එහෙමයි හාමුදුරුවනේ . අපේ මේ කඩුවයි , අංජනමයි තියෙනවා පරෙස්සම් කරගන්න . පන්සලේ සුදුසු තැනක තියන්න අවසරද කියලා බලන්නයි මේ පැත්තට ආවේ "

" ආ එන්න එන්න . මේ ඇතුල් කාමරේට කවුරුවත් එන්නේ නැහැ . මේ මේසය උඩ තියන්න . පරෙස්සම ගැන බයවෙන්න කාරී නැහැ . වෙන කවුරුවත් එන්නේ නැහැ පන්සලට "

" හොඳමයි හාමුදුරුවනේ "

මම හාමුදුරුවන් සමග ගොස් අංජනමත් කඩුවත් මේසය මත තබා රෙදි මලු දෙකඩ බිම තැබුවෙමි .

" කෝ පුතේ කිණිස්ස ? "

සීයා කිණිස්ස පිලිබඳ විමසුවේ එය දකින්නට නොලැබුණු නිසාය . මම හැඳ සිටි කමිසයේ පැත්තක් මදකට ඔසවා ඉනේ ගසා සිටි කිණිස්ස පෙන්නුවෙමි .

එය දුටු පසු සීයා පන්සලේම මට රැඳෙන්නට කියමින් සාත්තර ආතාගේ නිවස දෙසට ගමන් කළේය . ඒ අතරේ මම පන්සලේ නායක ස්වාමීන් වහන්සේ බැලීමට අවශ්‍ය බව පවසූ නිසා පන්සලේ කටයුතු බලාගන්නා ස්වාමීන් වහන්සේ විසින් මා කැඳවාගෙන ගියේ වෙනත් කාමරයකටය . එහි හාන්සි වී සිටි නායක ස්වාමීන් වහන්සේ මා දෙස බැලූහ . මම උන්වහන්සේට වැන්දෙමි . නමුත් උන්වහන්සේට සුවපත් වේවා කියන්නටවත් වාරු නැත .

" නායක හාමුදුරුවන්ට දානේ වළඳන්න අපහසු වුනු නිසා ටික ටික ඇඟ දුර්වල වුණා . නැත්නම් කතා කරන්න අපහසු වුනත් උන්වහන්සේ කෙලින් කටින් කාලයක් වැඩ හිටියා . දන්නා හැම තැනකින්ම වෙදකම් කලත් සනීප වුනේ නැහැ "

" සීයා මොනවා හරි කරයි හාමුදුරුවනේ "

" ඒක තමයි . අල්ලපු වත්තේ ඉන්න උපාසක මහත්තයාත් මේ වගේ දෙයක් කරයි කියලා මම හිතුවෙම නැහැ . හාමුදුරු නමකට පන්සලකට මෙහෙමත් දේවල් කරනවද මම අහන්නේ "

" එක තමයි හාමුදුරුවනේ . හේතුවක් නම් කිව්වේ නැහැ ඇයි එහෙම කළේ කියලා "

" බලමුකෝ "

" මම එහෙනම් පන්සලේ පොඩ්ඩක් ඇවිදලා එන්නම් හාමුදුරුවනේ "

" හොඳයි . සුවපත් වේවා ! "

" මම හාමුදුරුවන්ට වැඳ පන්සලේ බෝ මළුවේ සිට විහාර ගෙය දෙසට ගමන් කලෙමි "




" දරුවෝ විහාර ගෙය දැන් වහලා තියෙන්නේ . මෙන්න යතුර අරගෙන යන්න . දොර ඇරගෙන තමයි යන්න වෙන්නේ . හවස් වේගෙන එනකොට තමයි දොරවල් අරින්නේ . නැත්නම් බලු නකුටෝ ටික විහාර ගෙය අපවිත්‍ර කරනවා නෙව . එහෙමයි  කියලා මම ඒ සත්තුන්ව එළවන්නේත් නැහැ . අපිට පුළුවන් දේ අපි කරනවා . හවසට මිනිස්සු ආවම එයාලා ඉන්න නිසා සත්තු ඇතුළට යන්නේ නැහැ "

" හොඳමයි හාමුදුරුවනේ "

මම විහාරගෙයි යතුරද රැගෙන ගොස් විහාර ගෙයි දොර හැර එයාට ඇතුළු වුණෙමි . ඉතාම අලංකාර චිත්‍ර ඇඳ තිබුණු අතර හිඳි පිළිමයක් සහ හිටි පිළිම වහන්සේලා දෙනමක් එහි වැඩ සිටියහ .

විහාර ගෙයි චිත්‍රත් , පිළිම වහන්සේලාත් බලමින් වටයක් ගමන් කල මම විහාර ගෙයි දොරටුවෙන් දුටුවේ ඈත මිදුලේ සීයාත් තවත් කීප දෙනෙකුත් කොප්කොල අතු සහ කෙසෙල් කොටන් කීපයක් රැගෙන විත් කතා කර කර සිටින ආකාරයයි .

එය දුටු මම ඉක්මන් ගමණින් ගමන් කලේ සීයා ඉන්නා දෙසටය .

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි . ...

සාත්තර ආතා ( 2 )





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .



පසුගිය කොටසින්

" දිගටම මාස තුනක් මේ බෙහෙත් සහ කෑම වර්ගම ඇඟ ඇතුලට වැටෙනවානම් සනීප කරන්න පුළුවන් කියලා තමයි සීයේ කියන්නේ "

" ඒක තමයි . ඔන්න ගොයියෝ . උඹට මාස තුනක් වෙද ගෙදර තපින්න තමයි වෙන්නේ "

වෙද සීයා රෝගී පුද්ගලයාට බැරෑරුම් ස්වරයෙන් කීවේය .

මම දෙවියන්ට පිං දී අංජනමෙන් ඉවත්වන්න යැයි හනුමාට ආරාධනා කලෙමි . එහෙත් හනුමා ඉවත්ව යන්නේ නැත . හනුමා ඉවත්ව යන්නට මත්තෙන් පහන නිවීම පාරම්පරික ඇදුරන් විසින් කරන්නේ නැත . හනුමා ඉවත්ව නොයන්නේ වැදගත් කාරණාවක් නිසා විය යුතුය . මම හනුමාගෙන් ඒ පිළිබඳව විව්මසීමි .

හනුමා එම අවස්ථාවේ කියන ලද කාරණාවෙන් මම වික්ෂිප්ත වීමි .

" මොනවා සාත්තර ආතා පන අදිනවා ? "

මම මාහටම කියා ගත්තෙමි .

අද එතැන් සිට

" මොකද චූටි අයියේ පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නේ ? . මොකක්ද සාත්තර ආතා පන අදිනවා කියන්නේ "

" සාත්තර ආතා කියන්නේ දරුවෝ අර මාතර දිහාවේ ඉන්න සාත්තර ආතා කියන මනුස්සයද ? "

" ආ වෙද සීයා දන්නවද එයාව ? "

" නෙවෙන්නන් . උන්දා ඉතින් අපේ පරම්පරාවේ කෙනා නෙව . ඔය අරනෝලිස් අයියා එහෙමත් උන්දැව දන්නවා මයේ හිතේ සහසුද්දෙන්ම "

" සීයේ අංජනම වහලා අපි කතා කරමු . තවම හනුමා ගිහින් නැහැ "





මම හනුමාට අංජනමෙන් ඉවත් වීමට ආරාධනා කළෙමි . හනුමා එකවරම නොපෙනී ගොස් පහන් දැල්ලේ ආලෝකය පමණක් දෑස් මානයේ ඉතිරි විය . සීයා දුන් අවවාදය මට සිහිපත් විය .

................ ක්‍රඩාතුඩාප්පොරුකී හන්තී සංක්‍රේස් භාහු කීලාඩි දේස් දේස් ආදේස් කීමා වෛර්ලාඩි දේහෝ ආක්‍රෙන්තු බාහේස් ශ්‍රී විෂ්ණු නාරායනේ දේස් දේස්......................

කියා විෂ්ණු සැරය මතුරා රඟමඩලට වැටී තිබෙන සියළු දිෂ්ටි නවතා දමා දුම් අල්ලා අංජනම් බැලීම කාර්යය අවසාන කලෙමි .

" මම අංජනම් එළිය වහන්න හනුමාට යන්න ආරාධනා කරාම හනුමා යන්නේ නැතිව හිටියා . ඊට පස්සේ තමයි මම ඇහුවේ ඇයි ඉවත් වෙන්නේ නැත්තේ කියලා . එතකොට මට සාත්තර ආතා කියන කෙනාව පෙන්නුවා . දැන් ඇඳක හාන්සි වෙලා පන අදිනවා . එයා අපේ සීයාව එක්ක එන්න කියලා කියනවා කියලා හනුමා කිව්වා . දැන් මාතරින් කරත්තයක් පිටත් කරලාලු තියෙන්නේ . සීයාව එක්ක යන්න මධ්‍යම රාත්‍රිය උදාවෙලා පැයක් ගතවෙන්න මත්තෙන් වලව්වට එනවා කියලා යන්න ලෑස්ති වෙලා ඉන්න කියන්න කිව්වා . මම දැන්මම වලව්වට යන්න ඕන "

" ඔව් දරුවෝ . ඔය දරුවා ඉක්මණට ඒ ගමන ලකලෑස්ති කරගන්න . ගොඩක් පිං මේ මනුස්සයට බෙහෙත් හේත් හොයලා දුන්නට . මම ඒ දේවල් හෙටම දෙන්න පටන් ගන්නවා . මාස තුන යනකොට නිට්ටාවටම සනීප කරගන්න පුළුවන් කියලා කිව්ව නිසා මටත් විස්වාසේ තියාගන්න පුළුවන් ලෙඩා සනීප වෙනවා කියලා "

මම වලව්වෙන් පිටත් වෙන්න මත්තෙන් රෝගී පුද්ගලයා මගේ දෙපා අල්ලා වඳින්නට සූදානම් විය .

" නැහැ නැහැ උවමනා කරන්නේ නැහැ මට වඳින්න . ඔය ඇත්තා මම වගේ දෙගුණයකටත් වඩා වයසයි මයේ හිතේ . මට පවු පිරේවි ඔය ඇත්තගෙන් වැඳුම් අරගෙන . අර ඈත පේන පාරෙන් ගියාම අපේ වලව්ව තියෙන්නේ . සනීප වෙලා යන දවසට ඒ පැත්තේ එන්න . මමත් නිතරම එන නිසා අපිට කතා බහ කරන්න පුළුවන් "

" හොඳමයි ගුරුන්නාන්සේ "

" නංගි මම ගිහින් එන්නම් , සීයේ මම ගිහින් එන්නම් "





මම වෙද සීයාට වැන්දෙමි . වැඳ වෙද ගෙදරින් සමුගත්තෙමි . මගේ පසුපසින් සඳමලී නංගි මද දුරක් ඇවිදගෙන ආවාය . ඇය යමක් කියන්නට සැරසෙන බවක් ඇයගේ මුහුණ අවසන් වතාවට දකින මොහොතේ ඇය පෙන්වූවාය . එය මතක් වූ හෙයින් මම ගමනේ වේගය බාල කලෙමි .

" චූටි අයියේ "

" ම්ම්ම්.... "

" ගොඩක් දුර යනවද අද ? "

" මාතර නේ යන්නේ "

" දවස් ගානක් ඉන්නවද එහෙ ? "

" කියන්න බැහැ ඉතින් . සමහරවිට ඉන්න වෙයි . සාත්තර ආතා මැරුණොත් මරණේ වැඩ කටයුතු කරනකල් ඉන්න වෙයි "

" වැඩ ටිකත් ඉවර කරලා ඉක්මණට මාව බලන්න එන්න "

ඇය දැන් වෙනදාට වඩා මා හට සමීපය . මම අයගේ හිස අතගා වෙද ගෙදර දෙස බලනවිට වෙද සීයා අප දෙස බලා හිඳ නොදැක්කා සේ වෙද ගෙදර ඇතුළට නික්ම ගියේය .

" මම ඉක්මණට එන්නම්කෝ . පරෙස්සමෙන් ඉන්න වෙද හාමිනේ "

මම ඉක්මන් ගමණින් වලව්වට ගියෙමි . හනුමා කී ආකාරයට අද රාත්‍රී යක්කු ගස් නගිනා වේලාවට සීයා කැඳවාගෙන යාමට වලව්වට කරත්තය පැමිණේ . එයාට අනිවාර්යෙන්ම මටද යාමට සිදුවේ . සඳමලී නංගි පවා එය දන්නා බැවින්ය නැවත ඒමට දිගු කාලයක් ගතවෙනවා දැයි අසන ලද්දේ .

මම වලව්වට යනවිට සීයා මහසෝනාට පහන පත්තුකර වලව්වේ ඉස්තෝප්පුවට පය තිබ්බා පමණි .

" ආ පුතේ . ගිය වැඩේ සාර්ථකද ? "

" ලෙඩාට බෙහෙත් නම් අහගත්තා . තව දේවලුත් දැනගන්න ලැබුණා "

" ඒ මොනවද ? "

සීයා දෑස් හකුළුවා මා දෙස බලා ප්‍රශ්න කළේය .

" මම බෙහෙත් අහලා එළිය වහන්න හනුමාට එළියෙන් ඉවත් වෙන්න කියලා ආරාධනා කලාම යන්නේ නැතුව හිටියා . පස්සේ ඇයි කියලා දැනගන්න අහනකොට මට වයසක කෙනෙක් පෙන්නලා කිව්වා එයා සාත්තර ආතා කියන කෙනා කියලා "

" ඈ ......... සාත්තර ආතා . අර මාතර ඉන්න වරං කාරයාද ? "

" මම දන්නේ නැහැ සීයේ . මට හනුමා කිව්වා එයා පන අදිනවාලු . සීයාව එක්ක එන්න කියලා කියනවාලු . ඒ නිසා මාතරින් කරත්තයක් එනවා කියලා කිව්වා අද සීයාව එක්ක යන්න "

" හ්ම්ම් . ඔය මිනිහා ඉන්නකල් කරේ හූනියං . එකපාරක් හූනියම කපනකොට වදිනවා කියලා දැනගෙන මම උන්දැව බේරලා හූනියමකුත් කපලා තියෙනවා . ඒත් පස්සෙත් කරේ හූනියම් ම තමයි "

" වරං කතාවක් කිව්වේ ? "






" ඔය මනුස්සයට කාලිගෙ වරමක් තියෙනවා . ඒ වරමත් උදවු කරගන්නේ අනුන්ට වින කටින්න තමයි . දැන් මැරෙන මොහොතේ යමපල්ලෝ පේනවා ඇති . කමක් නැහැ ඒත් . කරන්න පුළුවන් දෙයක් කරන්න යමුකෝ බලන්න "

" අද රෑ මැදියම පහුවෙලා පැයක් යන්න කලියෙන් කරත්තේ එයි කිව්වා වලව්වට . යන්න ලෑස්ති වෙලා ඉන්න කිව්වා "

" හ්ම්ම් . පුතත් යන් . ගිහින් මොනවා හරි කරන්න වෙනවා කියලා එහෙම කිව්වේ නැද්ද ? "

" එහෙම නම් මොකවත් කිව්වේ නැහැ . හදිස්සියට මට අහගන්නත් අමතක වුණා "

" කමක් නැහැ . ගිහින් බලමු . අංජනමයි කිණිස්සයි කඩුවයි ගන්න . සමහරවිට ඕන වෙයි . කඩුව කරත්තේ බංකුවේ ලෑල්ල යට දාන්න ඕන වුණොත් විතරක් ගන්න . ආ එහෙන් කරත්තයක් එනවා කිව්වා නේද ? . කමක් නෑ අපි අපේ කරත්තෙන් යමු . ජේමිස්ට මම කියන්නම් කරත්තේ ලෑස්ති කරන්න කියලා . ජේමිස්වත් එක්ක ගියානම් හොඳයි "

" හොඳයි සීයේ "

මම කාමරයට පැමිණ පෙට්ටගම විවෘත කර අංජනම පෙට්ටගමට දමා අගුළු ලා යතුර බිත්තියේ එල්ලා ඇඳෙන් හාන්සි වීමි . හනුමාද පුදුමාකාර චරිතයකි . සියල්ල පිළිබඳව එම අමනුෂ්‍යයින් අවදානයෙන් සිටීම පුදුම සහගත කරුණකි . අංජනම කෙතරම් වටිනා කියන දෙයක්ද යන්න සිතමින්ම මම නින්දට වැටුනෙමි . නැවතත් අවදි වූයේ අම්මා විසින් රාත්‍රී ආහාර ගැනීමට එන්න යැයි කියමින් මාගේ නින්දට බාධා කරන විටදීය .

" කෝ , පුතා ගෙනියන දේවල් සූදානම් කරගෙනද තියෙන්නේ ? "

" මම ගන්නම් සීයේ . මහන්සියට නින්ද ගියා "

" එහෙනම් කෑම කාලා ගෙනියන දේවල් එකතු කරගන්න . ඇඳුමක් දෙකක් ගන්න කෝකටත් . මමත් ගන්නවා සරමක් කමිසයක් එහෙම කාරිය . සාත්තර උන්දා පන අදිනවානම් පාන්සකූලෙටත් ඉඳලාම තමයි එන්න වෙන්නේ මයේ හිතේ . අද හෙට කියලා විශ්වාස නැහැ නෙව . ඒ නිසා ඒවටත් ලෑස්ති පිටම යන එකයි නුවණට හුරු "

" හොඳයි සීයේ "

මමත් සීයාත් ආහාරගත් පසුව මාතර යෑමට සූදානම් වීමු . මම අංජනම නැවතත් ගෙන සුදු රෙද්දේ ඔතා මල්ලට දමාගත්තෙමි . කඩුව ගෙන එය ඔතා තිබෙන සුදු පැහැති රෙදි කඩ තරමක් ඉවත් කර පරීක්ෂා කර බැලුවෙමි . එය එදා මෙන් දිස්නය දෙමින් තිබේ . නැවතත් රෙද්ද ඔතා කඩුව ඇඳෙන් තැබුවෙමි . තවත් උවමනා කරන්නේ කිණිස්සයි . එය මම වෙද ගෙදර ගොස් පැමිණ පෙට්ටගමට දැමුවේ නැත . කිණිස්සද ගෙන ඇඳෙන්ම තැබුවෙමි . අඳින්නට අවශ්‍ය ඇඳුම් දෙකක් තෝරාගෙන එය වෙනමම රෙදි මල්ලේ දමාගත්තෙමි . ගෙනයන්නට තිබෙන්නේ එපමණකි .





මම නැවතත් වටපිට බැලුවෙමි . සියල්ල ගත බව සහතිකය . මම ඒ සියල්ලද රැගෙන ඉස්තෝප්පුවට ගොස් ඒවා ඉස්තෝප්පුවේ කනප්පුව උඩ තබා ඒ අසලින් හිඳ ගත්තෙමි . වෙද ගෙදර ගොස් පැමිණීමෙන් අනතුරුව සැලකියයුතු වෙලාවක් නිදාගත් හෙයින් මට නිදිමතක් තිබුණේ නැත .

සීයාද ඔහුගේ ගෙනයන කළමණා සියල්ල මල්ලක දමා ගෙනවිත් කනප්පුව මත තැබුවේය .

" දැන් ඉතින් තව පැය දෙකක් විතර වගේ නෙව තියෙන්නේ . පුතා ටිකක් ඇලවෙන්න කාමරේට ගිහින් . මම කතා කරන්නම් "

" ඕන නැහැ සීයේ . මම නිදාගත්ත නිසා නිදිමත නැහැ මට "

අනතුරුව සීයාත් මමත් යන්තර මන්තර පිළිබඳ යම් යම් දේවල් කතා කරමින් කවි කියමින් මන්තර මතක් කරමින් පැය දෙකක දෙකහමාරක පමණ කාලයක් වලව්වේ ඉස්තෝප්පුවට වී කාලය ගත කළෙමු . ආච්චිඅම්මාත් අම්මාත් තාත්තාත් අප අසලට පැමිණ ටික වෙලාවක් කතා කරමින් හිඳ නිදාගැනීමට ගියහ . වලව්වේ දොරවල් වසා දැමීමට සීයා ආච්චි අම්මාට කීවේය . දැල්වෙන පහනේ එළියෙන් සීයාත් මමත් ඉස්තෝප්පුවට වී කල් ගතකළෙමු . ටික වෙලාවකින් කරත්තයේ ගොනා බැඳගෙනම ජේමිස් වලව්වේ මිදුලට පැමිණියේය .

" ඔය සතාට කන්න බොන්න දීලද ජේමිස් ? "

" එහෙමයි ගුරුන්නාන්සේ "

" එහෙනම් තව ටික වෙලාවක් තියෙනවා . ජේමිස් මෙහෙන් ඉඳගෙන ඉන්න . එලියට වෙලා නිස්කාරණේ හිටගෙන ඉන්න උවමනා නැහැ "

" හොඳමයි ගුරුනාන්සේ "

ටික වෙලාවක් යන විට අපව කැඳවාගෙන යන්නට එන කරත්තය වලව්වේ කඩුල්ල අසලට පැමිණ නතර විය .

" ආ ඔය එන්නේ "

කඩුල්ලේ ලී ගලවා දමා කරත්තය වලව්වේ මිදුලටම පැමිණියේය .

" ගුරුනාන්සේ , මේ මම . අඳුරන්න පුලුවනිද ? "

" මොකද බැරිවෙන්නේ . මේ අර මාතර බෝධීන් වහන්සේ ළඟ කරත්තය තියාගෙන ඉන්න දරුවා නෙව . මට මතකයි දවසක් මාත් එක්ක ආව වලව්වට නේද ? "

" එහෙමයි එහෙමයි . මම මේ තකහනියක් ආවේ ගුරුන්නාන්සේ මාතර එක්ක යන්න . ඒත් මේ දැන් ගුරුන්නාන්සේ කොහේ හරි යන්නවත්ද එලියට බැහැලා ඉන්නේ ? "

" ඔය දරුවා එන වග අපි දැනගත්තා . අපිත් මේ ඉන්නේ එහෙ යන්න සූදන්නම් වෙලා තමයි "

" සාත්තර ගුරුන්නාන්සෙ පන අදිනවා . දැන් දවස් දෙකක් විතර කන්නේ බොන්නේ නැහැ . පවුලේ කවුරුවත් ඉන්නවා කියලය . පස්සේ ගත්ත ගෑණිත් යන්න ගිහින් වෙන එකෙක් එක්ක . දැන් පන අදින වෙලාවේ ගමේ ඉන්න ඔය කීප දෙනෙන්ක් තමයි උපස්ථාන කරන්නේ . ඒ ඇරෙන්න ගමේ බලු බල්ලෙක් ඒ ගෙදරට අඩිය තිබ්බේ නැහැ . මටත් මේ ඒ උදවු කරන පවුලේ කෙනෙක් තමයි කිව්වේ සාත්තර ගුරුන්නාන්සෙ කිව්වා කියලා අරනෝලිස් ගුරුන්නාන්සේව එක්ක එන්න කිව්වා කියලා . මම එවෙලේම මාතරින් පිටත් වුණා . නැවතුනේ ආන්න අර කඩුල්ල ළඟ තමයි ඔන්න "

" හොඳයි එහෙනම් ඔය දරුවා කරත්තෙන් ඉස්සර වෙන්න . මම වලව්වේ කරත්තෙන් එන්නම් "

" කවුද ගුරුන්නාන්සේ එක්ක යන්න මම එනවා කියලා කලින් කිව්වේ ? "

" අද හදිස්සියකට අංජනම් එළිය ඇරපු වෙලාවේ හනුමා තමයි කියලා තියෙන්නේ මාව එක්ක යන්න කරත්තයක් මේ වෙලාවට එනවා කියලා . වැඩිය සුනංගු වෙන්න හොඳ නෑ . අපි යමු එහෙනම් "

" හොඳමයි ගුරුන්නාන්සේ "

ගතයුතු සියල්ල රැගෙන මමත් සීයාත් වලව්වේ කරත්තයට ගොඩ වූ අතර අප කැඳවාගෙන යාමට ආ කරත්තය ඉදිරි කරගෙන අපේ කරත්තය ගමන ආරම්භ කළේය .

සාත්තර ආතා අප යන තුරු ජීවත් වෙයිද ?

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි . පස...

සාත්තර ආතා ( 1 )






ස්වස්ති සිද්ධම්

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .





" චූටි අයියේ "

" ම්ම්ම්ම්ම්ම්................ "

" දැන් අයියලගේ වලව්වෙන් අපේ වලව්වට ඇවිත් පෝය දොළහකටත් කිට්ටුයි නේද ? "

" හ්ම්ම්ම්....................... "

" හැම එකටම හ්ම්ම්ම් හ්ම්ම්ම් කියන්නෙපා මූකලන් බස්සා වගේ . අපි බඳින්නේ නැද්ද ? "

" හ්ම්ම්ම්ම්.................. "

" මම යනව යන්න . බස්සොත් එක්ක කතා කරලා වැඩක් නැහැ "

ඇය යන්නට සැරසෙන විටදී මම මහසෝනා හට ආරාධනා කලෙමි .

" තිස්දහසක් මහසොහොන් පිරිවරන් මහසෝනාවර අමුසෝනවර ලේසෝනාවර ජයසෝනාවර අකාස භවනේ පිල්ලි කට්ටී වරෙන් කඳ කුමාර අවතාර පිල්ලි කට්ටී වරෙන් නාග අවතාර පිල්ලි කට්ටී වරෙන් වෙසමුණි අවතාර පිල්ලි කට්ටී වරෙන් "

" ඔය ඉතින් , දැන් මාව බය කරානම් වෙද ගෙදරට ගිහින් ඇරලවන්න . මහ නපුරුයි "





මට ඒත් සමග සිනහ පහළවිය . එහෙත් මන්තරයේ ඉතිරි කොටසකුත් දිව අගම රැඳෙමින් තිබුණු බැවින් එයද කියා දැමීමට මම දෙවරක් නොසිතුවෙමි .

" ගෝඩිම්බර දේවතාවාගේ අනින් රත්නකාර දේවතාවගේ අනින් ගජකුම්බකාරී දේවතාවියගේ අනින් ආරූඩ පත්ම කවිලාසනේ කරකවා මෙරඟ ඇදුරා කී බස් "

" ඇති ඇති ඇති . ඉන්නකො ........ මම ගුරුන්නාන්සෙ සීයට කියනවා වැරදි මනුස්සයට මන්තර උගන්නලා තියෙන්නේ කියලා "

" හ්ම්ම්ම්....... "

" බස්සා . දැන් මාව වෙද ගෙදරට එක්ක යන්න . මට බෑ යක්කු මතක් කර කර මේ ගොම්මන් වෙලාවේ තනියම යන්න "

" බඳින්න ඕන නෑ . අපි මෙහෙම ඉමු දිගටම "

" ආ ඇත්තද චූටි ගුරුන්නාන්සේ ? "

ඇය මගේ පිටට වැරෙන් පහරක් ගසා

" යමු යමු දැන් හවස් වේගෙන එන්නේ . මම අයියත් එක්ක පන්සලට ගොහින් එනවා කියලා ආවේ . අද ලෙඩෙක් ඉන්නවා තැවිලි කරන්න බලාගෙන . උන්දැට තැවිලි හදන්නත් ඕන "

" මොනවා වෙච්ච ලෙඩෙක්ද ? "

" පිළිකාවක් කියලා තමයි සීයා කියන්නේ . මට තවම එච්චර දුරක් ගැන පැහැදිළියක් නැහැ වෙදකමේ . මම දන්නා කාලෙක පිළිකා ලෙඩෙක් වෙද ගෙදරට ඇවිල්ලත් නැහැ "

" ම්ම්ම්... පිළිකාවක් නම් තියෙන තැන කොහෙද කියලා බලන්න පුළුවන් අංජනමෙන් . හනුමා ඇඟ ඇතුලේ පිළිකාව කොහෙද තියෙන්නේ කියලා පෙන්නනවා "

" ඇත්තටමද...........................? "

" ඔව් . ඔය සීයා දවසක් ලෙඩෙක් බලන්න ගිය වෙලාවක හනුමා ඇවිත් පිළිකාව තියෙන තැනත් කියලා බෙහෙතුත් කියලා දුන්නා කරන්න . හැබැයි මැරෙන කාලෙත් කිව්වා බෙහෙත් කරොත් ඒ කාලේ වෙනකල් ඉන්න පුළුවන් ඒ නැත්නම් සති දෙකකින් වගේ මැරෙනවා කියලා . බෙහෙත් වලට ඒ ලෙඩා සනීපවෙලා කාලයක් ඉඳලා හනුමා කිව්ව කාලේ වගේ තමයි මැරුණේ "

" එහෙනම් හවස වෙද ගෙදරට එන්න අංජනමත් අරගෙන "

" මං සීයාගෙන් අහලා එන්නම් "

" ගුරුන්නාන්සේ සීයා එපා කියන එකක් නැහැ "


බෝධි පූජාවක් වෙනුවෙන් පන්සල් ගිය මමත් සඳමලී නංගිත් සෙමෙන් සෙමෙන් පිය නැගුවේ ගමේ කුඹුරු යායට වතුර හරවා බඳින ලද කළුගල් වේල්ල මත හිඳ මද වේලාවක් කතා කර කර හිඳීමෙන් අනතුරුවය . ඇය අමනුෂ්‍යයින්ට පොඩ්ඩ ඇත්නම් බිය වන , එසේ බියවී මුහුණ වසාගන්නා තත්වයට පත්වූයේ කළුකුමාරයා වැසී අසනීප වී සනීප වූවාටත් පසුවය . ඇයගේ එම බිය කෙමෙන් කෙමෙන් පහවී ගියත් තවමත් අළුයට සැඟවගත් ගිණිපුපුරු සේ ගිණි දමමින් තිබේ . ඇගේ එම බිය තුරන් කිරීම සඳහා වරින් වර මා යම් යම් දේවල් කලද අධික ලෙස මනසේ කිඳා බැස තිබෙන එම බිය තුරන් කිරීම ලේසි පහසු දෙයක් වූයේ නැත .

සෙමෙන් සෙමෙන් ගමන් ගත් අපි දෙදෙනා අවසානයේ වෙද ගෙදරටත් ගුරුන්නාන්සේ වලව්වටත් පාරවල් වෙනව යන ස්ථානයේ නැවතීමු .

" අයියා වෙද ගෙදර එන්නේ නැද්ද ? "

" දැන් බැහැ . නංගි යන්න . සීයා කැමති වුණොත් මම අංජනමත් අරගෙන එන්නම් ලෙඩාව බලන්න "

" අයියා එන්නේ ලෙඩා බලන්නමද ? "

" ඔව් "

" නපුරා නපුරා . ඕන නෑ . මම ලෙඩාව බලාගන්නම් "

" ආතුර ප්‍රාණය හැර මහසෝන් යක්ෂයා වින කල ඇදුරා ඇදුරී බලා පලයන් රාවණාගේ යගල් කෝවිලේ ඇණ යතුරු පුපුරවා මහසෝන් අවතාර යක්ෂයෝ අටදෙනා වින කල ඇදුරාගේ හර්දය පලා "

" හ්ම්හ් . ඔයා මහ නරකයි චූටි අයියේ . ඉන්නවා . මම ගුරුන්නාන්සේ සීයට දැන්මම කියනවා "

ඇය වේගවත් ගමණින් මා ද පසුකරමින් වලව්වට යාමට පිටත් වූවාය . එහෙත් මම ඇය නොනැවත්වීමි . ඇයගේ එම බොළඳ බය දැකීමට මම ආශා කලාදෝ යැයි මම සිතමින් ඇය පසුපසම ගමන් කර වලව්වේ මිදුලට සේන්දු වීමි .

" අරනෝලිස් සීයේ......................... "

ඇය සීයාට කතා කළාය .

" ආ මගේ වෙද මිණිබිරී මොකද මේ හවස් ජාමේ . දෙන්නා එක්ක පන්සල් යන්න නේද පිටත් වුණේ . බෝධි පූජාව තියලා අහවර වුණාද ? "

" සීයේ නඩුවක් තියෙනවා කියන්න "

" ඈ.......හ්හ් ඒ මොකක්ද ඒ . හා හා කියමු බලන්න එහෙනම් "

සීයා හාන්සි පුටුවේ හිඳ ගනිමින් සඳමලී නංගිට හිඳ ගැනීමට ඉස්තෝප්පුවේ පසෙක තබා තිබුණු පුටුවක් පෙන්නුවේය . සීයා ඉදිරියේ මා කෙතරම් කුඩා දරුවෙක්ද යන්න මා හට තේරුම් ගියේ සීයා බනීවිද යන සිතුවිල්ල ටිකෙන් ටික සිත තුල මෝරා ඒමත් සමගය . ඇය හිඳ ගන්නේ නැත්වම අයගේ හඬ අවදි කළාය .

" සීයේ , අපේ වෙදගෙදරට ඇවිත් ඉන්නවා පිළිකාවක් තියෙන ලෙඩෙක් "

" හා ඉතින් ? "

" ඒ මනුස්සයා ගැන දැනගන්නයි පිළිකාව තියෙන තැන දැනගන්නයි අංජනම බලමුද කියලා මම චූටි අයියගෙන් ඇහුවම අයියා කියනවා සීයාගෙන් අහලා ඕනි බලන්න කයලා . ඉතින් මම ආවේ සීයාගෙන් අවසර ගන්න "

" හාහ් හඃ හඃ හඃ ...................... "

මගේ බිය කෙමෙන් කෙමෙන් පහව ගියේ සීයාගේ සිනහව දැකීමත් සමගය .







" ඕකට මගෙන් අවසර පත්තර උවමනාය . ඔය තියෙන්නේ අංජනම . නා කියාගෙන පිරිසිදුවෙලා අරගෙන ගිහින් බලන එකනේ තියෙන්නේ "

" ඒකනේ චූටි අයියේ මම කිව්වේ සීයා අකමැති වෙන්නේ නැහැ කියලා . ඔයා බොරුවටනේ බය වුණේ . අයියා නාලා කියලා අංජනමත් අරගෙන එන්නකෝ . මම එනකල් වලව්වේ ඉන්නම් . කෝ ආච්චි අම්මා , අම්මා එහෙම ? "

" ඔන්න ඔය පැත්තේ හිටියා . රෑට කන බොන කළමණා පිළියෙළ කරනවා ඇති මයේ හිතේ . දූම ගිහින් බලන්නකෝ............... "

ඇය මා දෙස බලා අහිංසක සිනහවක් පා වලව්වේ පිටුපසට ගමන් කළාය . මම කාමරය දෙසට හැරෙත්ම සීයා අමුතු සිනහවක් පා

" ගෑණු මායම් නේද පුතේ ? "

කියා සෙමෙන් මාහට ඇසෙන සේ පමණක් කීවේය . සැබෑවකි . ඇය මේ වනවිට වලව්වේ සියල්ලෝම දිනාගෙන අවසානය . ඇය සැබවින්ම කාටත් ලෙන්ගතු චරිතයකි . වෙදකමත් සමග ඇයට එම ලෙන්ගතු බව උරුමවන්නට ඇත . කය සනීප කරන්නට පෙර සිත සනීප කලයුතු බව වෙදකමේත් හෙදකමේත් සෑම තැනකම කියනු මම අසා තිබේ .

මම නා පිරිසිදුවී පෙට්ටගමේ යතුර ගෙන පෙට්ටගමට වැඳ යතුර කරකවා එය විවෘත කලෙමි . සති දෙකක් පමණ කාලයක් අංජනමට වැඩක් ලැබුණේ නැත . හනුමන්තා හට දැන් නැවතත් තම සේවය ඉටු කිරීමට අවස්තාව ලැබී තිබේ .

මම අංජනම ගෙන සුදු රෙදිකඩක ඔතා රෙදි මල්ලේ දමා කිනිස්සද ගෙන ඉනේ ගසා ගත්තෙමි . දැන් ඕනෑ කරන්නේ අඹ කොළ අත්තක් , බුලත් කොළ සහ සුදු මල් ටිකකි . එය වෙද ගෙදරින් ලබාගත හැකිය .

" සඳමලී නංගි , අපි යමු එහෙනම් ? "

" සීයේ අපි ගිහින් එන්නම් "

" බුදුසරණයි දුවේ , බුදුසරණයි පුතේ "

සඳමලී නංගිත් මමත් වලව්වෙන් පිටත් වීමු . ඒත් සමගම සීයා නැවතත් මා ඇමතුවේය .

" ඔය ගෙවල් වල දිෂ්ටි නවත්තලා එන්නෙපා . දිෂ්ටි යන්න මතුරලා දුම් අල්ලලා එන්න "

" හොඳයි සීයේ "

" ඇහුණා නේද ? . දිෂ්ටි නවත්තලා එන්න එපා . ඒවත් අරගෙනම යන්න "

" අරගෙන තමයි යන්න ඕන මේ දිෂ්ටියව "





මම ඇයගේ කණ මිරිකුවෙමි . රෑ බෝ වී තිබුණු බැවින් මම සඳමලී නංගි සමග ඉක්මන් ගමණින් වෙදගෙදරට ගියෙමි . වෙද ගෙදර වෙද සීයා ඉස්තෝප්පුවට වී පාර බලාගෙන සිටියේය .

" මම මේ ඇඳිරි වැටීගෙන එන නිසා බලාගෙන උන්නේ මේ වෙද හාමිනේ පරක්කු මොකද කියලා බලාගෙන . අර ලෙඩෙක් ඉන්නවා නෙව නැවතිලා . තැවිල්ලක් තියෙනවා හදන්න . ඒකට "

" ඒක තමයි වෙද සීයේ . මේ මම කියන දේ අහන්නෙත් නැතුවම වලව්වට ගියානේ "

" ඔන්න සීයේ මම අද තව වෙද මහත්තයෙක් එක්ක ආවා ලෙඩාට බෙහෙත් කරන්න "

වෙද සීයාට සිනහ පහළ විය .

" හා හා එහෙනම් දෙන්නා එක්ක වෙදකම් කරන්නකෝ . මම පැත්තකට වෙලා ඉන්නම් "

" සීයේ චූටි අයියා අංජනම අරගෙන ආවා . අපි බලමු පිළිකාව කොහෙද තියෙන්නේ කියලා "

" ඒක මට කල්පනාවට ආවේම නැහැ නෙව . මමත් මේ පිළිකාවක් කියලා තේරුම් ගත්තත් කොහෙද තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරිවයි උන්නේ . තැවිල්ලෙන් වේදනාව අඩුකරගන්න පුලුවන්ද කියලා තමයි බැලුවේ "

" බලමුකෝ සීයේ . හනුමා ලෙඩ තියෙන්නේ කොහෙද කියලා කියනවා . දවසක් අපි එහෙම ලෙඩෙක් බලලා තියෙනවා . බලමුකෝ බෙහෙත් අහගන්න . ලෙඩේ තියෙන තැනත් එක්ක බෙහෙත් අහගන්න පුළුවන් වුණොත් සීයට පහසු වෙයි බෙහෙත් හේත් කරන්න "





" සඳමලී නංගි , ගෙන්නකෝ ලී පුටුවකුයි සුදු රෙද්දකුයි . සුදු මල් ටිකකුත් ඕන . ආ අඹ කොළ අත්තක් කඩාගත්තේ නැහැනේ "

" අඹ කොළ කඩාගන්න පුළුවන් දරුවෝ ඔය මිදුලේ අඹ ගහ ළඟ තියෙන පොඩි අඹ පැළයෙන් "

" හොඳයි සීයේ "

මම අඹ කොළ අත්තක් කඩාගෙන ආවෙමි . සඳමලී නංගි අවශ්‍ය අනෙක් සියල්ල සූදානම් කළාය . මම ලී පුටුවේ සුදු රෙද්ද එලා ඒ මත බුලත් අතුරා අංජනම තබා මල් අසුරා පහන දල්වා අංජනම් එළිය ඇරීමට සූදානම් වීමි . සඳමලී නංගි රෝගියාව කැඳවාගෙන අවුත් මා අසල පදුරක හාන්සි කරවූවාය . ඊට ඇයගේ පියාද උදවු විය . මම කට්ටකුමංජල් අහුරක් ගෙන අල්ලේ තබාගෙන අනෙක් අතේ දබරගිල්ලෙන් කලවම් කරමින් ජීවම් කරන්නට පටන් ගත්තෙමි .

.............. ගජවරණ දිල්ලී පිල්ලී බාහේස් සාහේස් බ්‍රලාන්තු පුරදේව ගිරි රාම ඉන්දුපුර වාන්දූතමේ දේව රාජා අණින් හනුමා පලිප්පු වෛරෝඩි වාවා යමකරුවාල් ගිරි හන්දි දෙරණ තර්ජනා වාවා සර්ප සාම්බු මුහුද කම්පා චලිත වාවා දේවගිනි මුද්‍රාසනී අහස තර්ජනා වාවා කල්ලෝඩි බාහේස් ගිණි කදිර කමලාසනේ පෙරලී වාවා  රාම නාරායනේ අණින් කදිර දේව මාලා ගිණි කරවා හනුමා පලිප්පු වෛරෝඩි වාවා බ්‍රාබුසාලා හෝ හෝ විරූල්හමේ දේවරාජා අණින් හනුමා පලිප්පු වෛරෝඩි වාවා අෂ්ටප්‍රලෝක ඉරන්දුක්කාල් ශර ගිණි බන්ධ විරූපාක්ෂ දේවරාජා අණින් හනුමා පලිප්පු වෛරෝඩි වාවා කුන්සුඩාප්පෝර පෙරියෙල් මරු මරණ තෝඩ මුඩොන් කුවේර වෛශ්‍රවණ දේවරාජා අණින් හනුමා පලිප්පු වෛරෝඩි වාවා ......................

හනුමා වෛරෝඩියෙන් පලිප්පු කරවා කට්ටකුමන්ජල් දිෂ්ටි කරවා මම අඟුරු කබලට දමා හනුමන්තාට ආරාධනා කලෙමි .

පහන් දැල්ලේ එළිය දෙබෑ කරගෙන හනුමා පෙනී සිටියේය . මම අතින් රෝගියා පෙන්වා හනුමාගෙන් රෝගියා පිලිබඳ විමසුවෙමි . හනුමා රෝගියාගේ ශරීර අභ්‍යන්තරය පෙන්වීය . ඔහුගේ ශරීරයේ සෑම තැනකම පාහේ පිළිකාව පැතිරී තිබිණි . ලේ සමග පිළිකාව පැතිරී තිබිණි . හනුමා පැවසූයේ ප්‍රතිකාර කිරීමෙන් මෙම රෝගියා නිට්ටාවටම සුව කිරීමට හැකි බවත්ය . ඒ සඳහා අවශ්‍ය ඖෂධ වට්ටෝරුද හනුමා පැවසුවේය . මම විසින් වෙද සීයාට එම බෙහෙත් වට්ටෝරු කියවූ අතර ඔහු ඒවා කඩදාසියක සටහන් කරගත්තේය .





" මමනම් මෙහෙම බෙහෙත් ගැන අහලාවත් නැහැ . කරලා බලන්න ඕන "

" දිගටම මාස තුනක් මේ බෙහෙත් සහ කෑම වර්ගම ඇඟ ඇතුලට වැටෙනවානම් සනීප කරන්න පුළුවන් කියලා තමයි සීයේ කියන්නේ "

" ඒක තමයි . ඔන්න ගොයියෝ . උඹට මාස තුනක් වෙද ගෙදර තපින්න තමයි වෙන්නේ "

වෙද සීයා රෝගී පුද්ගලයාට බැරෑරුම් ස්වරයෙන් කීවේය .

මම දෙවියන්ට පිං දී අංජනමෙන් ඉවත්වන්න යැයි හනුමාට ආරාධනා කලෙමි . එහෙත් හනුමා ඉවත්ව යන්නේ නැත . හනුමා ඉවත්ව යන්නට මත්තෙන් පහන නිවීම පාරම්පරික ඇදුරන් විසින් කරන්නේ නැත . හනුමා ඉවත්ව නොයන්නේ වැදගත් කාරණාවක් නිසා විය යුතුය . මම හනුමාගෙන් ඒ පිළිබඳව විව්මසීමි .

හනුමා එම අවස්ථාවේ කියන ලද කාරණාවෙන් මම වික්ෂිප්ත වීමි .

" මොනවා සාත්තර ආතා පන අදිනවා ? "

මම මාහටම කියා ගත්තෙමි .

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ස්වස්ති සිද්ධම් මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආ...