ඉන්ද්‍රධ්වජය හෙවත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය






බුද්ධාගමට සහ බුද්ධාගමේ තියෙන යම් යම් පිළිවෙත් ගැන මේ වෙනකොට ඇතිවෙලා තියෙන්නේ යම් කළකිරීමක් . ඒවාට එක අතකට ගිහියොත් වග කියන්න ඕන . ඒත් ඒවා විවේචනය ගිහියන්ට නොකටයුතු දෙයක් නිසා එතනින් පරිබාහිරව ඉඳගෙන මගේ කතාව මම පටන් ගන්නවා . ලිපියේ මාතෘකාව ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය සම්බන්ධව . ඊට කලින් මට යමක් කියන්න මතක් වුණා . 

බලන්න අද කාලේ කොඩි කියනකොට මතක් වෙන්නේ මොනවද කියලා . පන්සලක බෝධියක් ළඟට ගියාම බෝධියේ අතු ඉති හැම එකකම කොඩි එල්ලලා . ඒවා කොඩි නෙවෙයි බැනර් . ඊට හපන් බැනර් වලට වඩා තියෙන දේවල් බලනකොට . කොඩි බැනර්මත් නෙවෙයි දැන් දැන් බෝ ගස්වල දකින්න තියෙන්නේ . අහවලාගේ අර අපල දුරුවේවා කියලා ප්‍රින්ටවුට්ස් අරගෙන ඒවා ලැමිනේට් කරලා එල්ලලා තියෙනවා . මොන විහිළුවක්ද මේ ? කියලා හිතෙනවා වෙලාවකට . 

ප්‍රාර්ථනා ශක්තිය ඇත්තටම බලපෑමක් කරන්න පුළුවන් දෙයක් තමයි . ඒත් මේවගේ නාම පුවරු ප්‍රදර්ශනය කරන තැනක් නෙවෙයිනේ බෝධි මලුව කියලා කියන්නේ . බෝධි මලුව හිත සන්සුන් කරන තැනක් වෙන්න ඕන . 

බෝධිය කියන්නේ බුදුන්වහන්සේගේ පාරිභෝගික වස්තුවක් . අපිට ගිහින් වන්දනා කරන්නවත් ඉන්දියාවේ මුල්ම බෝධීන් වහන්සේ අද වෙනකොට එතන නැහැ . ඒත් අපි වාසනාවන්තයි ඒ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකාව ; ශ්‍රීමහා බෝධීන් වහන්සේ අනුරාධපුරයේ වැඩ ඉන්න නිසා . ඒ බෝධීන් වහන්සේගෙන් ලබාගත්ත ඵල සහ ඒ ඵල වලින් හටගත් බෝධීන් වහන්සේලාගේ ඵල වලින් ලබාගත් බෝධීන් වහන්සේලා තමයි දැන් ඔය පන්සල්වල රෝපණය කරලා තියෙන්නේ . 





වෘක්ෂ වන්දනාව බෝධි වන්දනාවෙන් ප්‍රතිස්ථාපනය කරපු මිහිඳු හාමුදුරුවෝ මේ බෝධි ශාඛා ලංකාවේ එක එක තැන්වල රෝපණය කරන්න කියලා කිව්වේ දුර ඉන්න අයට බෝධිය වන්දනා කරන්න අවස්තාවක් ලැබෙන්නේ කලාතුරකින් නිසා . ඒ නිසා එයාලට එයාලගේ ගම්වල තියෙන පන්සලේ බෝධිය වැඳලා ශ්‍රී මහා බෝධියට කරන සැලකිල්ල කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා . ඒ එක කතාවක් . 

අනිත් කතාව තමයි බෝධියකට අරක්ගත්ත දෙවියන් ඉන්නවා . දෙවියන්ට කරන පුද සත්කාර තමයි සාමාන්‍යයෙන් බෝධි පූජාවකදී කරනු ලබන්නේ . නැතුව බෝ ගහට පූජාවල් කරා කියලා අපිට යමක් ලැබෙන්නේ නැහැ . බෝධියට අරක්ගත්ත යම් යම් දිව්‍ය කොට්ඨාස තමයි අපිට පිහිටක් වෙනවානම් වෙන්නේ . ඒ නිසා ඒ දෙවියන්ට කරන සැලකිල්ලක් තමයි බෝධි පූජාවෙන් කරන්නේ . 

ඉතින් මේදේවල් එක්කම මම එන්නම් ඇයි අද මම මේ මාතෘකාව ගැන ලියන්න හිතුවේ කියලා . ජන්ම පත්‍ර පරීක්ෂා කරන අවස්ථා වලදී යම් යම් අපල තත්ව වලට මම කියනවා සහ කියලා තියෙනවා කොඩියක් පූජා කරන්න මෙන්න මේ පාටින් කියලා . කීයෙන් කීදෙනාද මේ දේ හරියටම අනුගමනය කරන්නේ . කොඩියක් පූජා කරන්න කිව්ව ගමන් කරන්නේ ගිහින් රෙද්දක් එල්ලනවා බෝධියේ , මෙයාගේ මෙන්න මේ අපල දුරුවේවා කියලා . 





එහෙම කරා කියලා වැඩක් නැහැ . බෝධියට කොඩියක් එල්ලගෙන ඉන්නවා කියන එකෙන් වෙන්නේ වේදනාවක් ඇති කිරීමක් . බෝධියේ බෝ අත්තට අපි වේදනාවක් ඇති කරනවා . ඉතින් බෝධියෙන් අපිට කිසිම ආකාරයක සෙතක් වෙයිද ? . කෙරෙන්න ඕන ඒ කොඩියෙන් අනුන්ට සෙවනක් ලැබීම . ඔන්න ඔය නිසා මම කල්පනා කරා කොඩි පූජා කිරීමේ සහ කොඩියක බලය කොයි තරම්ද කියලා කියන්න පුළුවන් පැරණිම අවස්ථාව සම්බන්ධ කරලා මේ ලිපිය ලියන්න . 

ලංකාවට තියෙනවා කොඩියක් . වෙනත් රටවල් වලටත් තියෙනවා කොඩි . ඒවගේ තමයි යම් යම් ආයතන වලට වගේම යම් යම් දේවල් සංකේතවත් කරන්නත් කොඩි තියෙනවා . ඕනෑම කෙනෙක් තමන්ගේ බලය පරාක්‍රමය සංකේතවත් කරන්න ඒ කාලේ ඉඳලාම කොඩි පාවිච්චි කරලා තියෙනවා . කුරු පාණ්ඩව යුද්ධයේදී කියවෙන කුරු කුල වංශිකයින්ට තියෙනවා ඒ අයටම අනන්‍ය වෙච්ච කොඩි සමූහයක් . විෂ්ණු දේවාලයේ කතාවල කියවෙන දේවරාජ ප්‍රතිකඩයත් ඒවගේ කොඩියක් . 

ඒ වගේම තමයි දෙවියනුත් කොඩි පාවිච්චි කරලා තියෙනවා . ඒක අපි නෙවෙයි කියන්නේ . බුද්ධ දේශනාවේම සඳහන් වෙනවා . 

ලිපියට මම ප්‍රධාන වශයෙන්ම දායක කරගත්තේ ධජග්ග සූත්‍රය . මේ ධජග්ග සූත්‍රයේ කියලා තියෙන්නේ සුර අසුර යුද්ධය සහ ශක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන වෙනත් දෙවිවරුන් ඒ යුද්ධයේදී තමන් තමන්ගේ කොඩි පාවිච්චි කරපු බවත් ඒවායේ ඇති බලයේ ප්‍රමාණය සහ ඊට වඩා වැඩියෙන් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේම තියෙන බලය තියෙනවා කියන එකයි . 

බුදුන් වහන්සේ මේ කතාව තමන්ගේ දේශනාවට උදාහරණයක් විදියට යොදාගැනීම මමනම් දකින්නේ ත්‍රිවේදයේ පරිපූර්ණ දැනුමැති මහා පුරුෂයෙක් තමන්ගේ ශ්‍රාවක සමූහයාට ඒ වෙනකොට තිබ්බ වෛදික ශාස්ත්‍රය උපයෝගී කරගෙන ඒ හරහා තමන්ගේ දර්ශනය කාවැද්දවීමක් විදියට . 

මොකද ඒ වෙනකොට ඉන්දියාවේ වෛදික අධ්‍යාපනය තමයි මූලිකව තිබුණේ . ඒ නිසා සුර අසුර යුද්ධය වගේ දේවල් ඒඅය ඉගෙන ගන්නවා . ඒවගේ දේවල් උදාහරණයට අරගෙන ධර්මය ඒ හරහා දේශනා කරනකොට ඕනෑම කෙනෙක්ට ඒක අවබෝධ කරගන්න පහසුවක් තියෙනවා . 

ඉතින් මෙන්න මෙහෙමයි ධජග්ග සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ සහ අනිත් ප්‍රධාන දෙවිවරුන්ගේ කොඩි සම්බන්ධව . 


මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ෙවෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. ( හෙතෙම ) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක, ( එහෙයිනි. )

මෙන්න මේ විදියට ඒ ඒ දෙවිවරුන්ගේ කොඩි ගැන විස්තර කරලා තියෙනවා . ඒවගේම ඒවා බැලුවාම බය නැතිවෙනවා හෝ නැති නොවෙනවා කියලා දේශනා කරලා තියෙනවා . 

බය නැතිවීම වෙනවා කියලා ශක්‍රයා විශ්වාස කරපු නිසා තමයි එයා කියලා තියෙන්නේ ඒ ඒ අයගේ කොඩි දිහා බලන්න තමන්ගේ බය නැතිවෙනවා කියලා . 

මේ කතාවට සම්බන්ධ ශක්‍රයාගේ කොඩිය ගැන වේද ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා . ඒ කොඩිය ගැන ජ්‍යෝතිෂ විද්‍යාවේ ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධව ලියවිලා තියෙන කොටස්වල සහ පළාපල කියවෙන කොටස්වල සඳහන් වෙලාත් තියෙනවා . 

ජ්‍යෝතිෂ විද්‍යාවේ උන්නතිය උදෙසා ඉමහත් සේවාවක් කරපු ශක රජතුමාගේ රාජසභාවේ හිටපු වරහාමිහිර ආචාර්යවරයා තමන්ගේ ප්‍රධානතම ජ්‍යෝතිෂ ග්‍රන්ථය වන බෘහත් සම්හිතාවේ 43වෙනි අධ්‍යායේ මේ ශක්‍රයාගේ ධ්වජය හෙවත් ඉන්ද්‍රධ්වජය සම්බන්ධව යම් සටහනක් තියලා තියෙනවා . මමනම් විශ්වාස කරන්නේ කොඩියක තියෙන බල පරාක්‍රමය සහ බලය මොකක්ද කියලා තේරුම්ගන්න තියෙන පැරණිතම කතාව තමයි මේ සුර අසුර යුද්ධය සහ ඉන්ද්‍රධ්වජය සම්බන්ධ කතාව කියලා . මෙන්න මෙහෙමයි ඉන්ද්‍රධ්වජයේ කතාව . 

දැන් සුර අසුර යුද්ධය තිබිලා සුරයෝ පැරදුනා . ඒක තියෙනවනේ බුද්ධ දේශනාවේත් . පැරදිලා පලායන ශක්‍රයා කිව්වා කියලා මාතලීට පරෙස්සමෙන් රථය පදවන්න කියලා , කින්නර පැටවූ එහෙම හැප්පිලා එයාලට අනතුරක් වෙන්න පුළුවන් කියලා . ඉතින් මෙහෙම පැරදිලා පලාගිය ශක්‍රයා යන්නේ මහා බ්‍රහ්මයා හමුවෙන්න . ගිහින් මහා බ්‍රහ්මයාට කියනවා 






" පිංවත් මහෝත්තමය , අපි සුර අසුර යුද්ධයෙන් පැරද පලා ගියහ . ඔවුන් හා යුද්ධ කිරීමට අපොහොසත් වූ අපි ඔබවහන්සේ සොයා ආහ " කියලා . 

මේ වෙලාවේ මහා බ්‍රහ්මයා කියනවා මෙන්න මෙහෙම . 

" එම්බා දේවේන්ද්‍රය , කිරිමුහුදේ වාසය කරනු ලබන විෂ්ණු දේවරාජයා නුඹලාට යම්කිසි ධ්වජයක් ලබා දෙන්නේ නම් , එම ධ්වජය රැගෙන යුද්ධයට යන තොප සියල්ලෝම දැක අසුරයෝ පලා යති " 

මේ කතාව ඇහුවට පස්සේ ශක්‍රයා තමන්ගේ පිරිවරත් එක්ක යනවා කිරි මුහුදට . ගිහින් විෂ්ණු දෙවියන්ට කියනවා මහා බ්‍රහ්ම තෙමේ මෙන්න මෙහෙම දෙයක් කිව්වා කියලා . ඒ වෙලාවේ විෂ්ණු දෙවියන් තමන්ගේ දිව්‍ය ආනුභාවයෙන් රෝද අටක් තියෙන මැණික් වලින් දිදුළන රථයක සවිකරලා තිබුණු සූර්යාලෝකය වගේ දිදුළන ඒ බලවත් ධ්වජය රථයත් සමගම ශක්‍ර දේවේන්ද්‍රයාට ලබා දෙනවා . 

ශක්‍ර දේවේන්ද්‍රයා මේ කොඩිය සහිත රථය අරගෙන විෂ්ණු දෙවියන්ට ස්තූතිවන්ත වෙලා ඒකත් අරගෙන යුද්ධයට ගියා . ගිහින් යුද්ධ භූමියේ මැද මේ ධ්වජය සිටවලා යුද්ධය ආරම්භ කරා . ඒ ආකාරයට තමයි ශක්‍ර දේවේන්ද්‍රයා යුද්ධය ජයග්‍රහණය කරේ . 

මේ ධ්වජය ඊට පස්සේ ඉන්දියාවේ පාලනය කරපු වසු කියන රජුට ලබා දුන්නා කියලාත් වැඩිදුර සඳහන් වෙලා තියෙනවා . 

ඉතින් මෙන්න මේ විදියේ බලයක් තියෙන ඉන්ද්‍රධ්වජය වගේම තමයි අනිත් ධ්වජයනුත් කියලා වරහාමිහිර ආචාර්යවරයා තමන්ගේ ග්‍රන්ථයේ රජෙකුගේ ධ්වජයේ සිදුවෙන වෙනස්කම් අනුව පලාඵල කියලා තියෙනවා . අද වෙනකොට භාවිතා වෙන්නේ නැති වුණත් ඒ පලාඵල කීම තවමත් ආරක්ෂා වෙලා තියෙනවා . 

මම මේ කතාව කිව්වේ අපල වලට කොඩි පූජා කරන්න කිව්වාම ඇයි එහෙම කියන්නේ කියන දේ යම් ප්‍රමාණයකට ඒත්තු ගන්වන්න . කොඩි පූජා කරාම ඒ කොඩියට ලැබෙන වටිනාකම හා සමාන වටිනාකමක් ඒ කොඩියේ හිමිකරුට ලැබෙනවා . ඒවගේම ඒ කොඩියේ හෙවනේ ඉන්න අයගෙන් පිං ලැබෙනවා . ඒවගේම ඒ කොඩියෙන් අවු වැසි සුළං වලින් ආරක්ෂා වෙන අයගෙන් පිං ලැබෙනවා . එතකොට තමන්ට ඒ පිං ලැබිලා අහෝසි වෙන්න පුළුවන් කර්ම ඵල අහෝසි වෙනවා . 

ඒ නිසයි කොඩි පූජා කරන්න කියලා කියන්නේ . කොඩි කියන්නේ බැනර් වත් , ප්‍රින්ට් කරපු ලැමිනේට් කරපු A4 කොලවත් නෙවෙයි කියලා මතක තියාගන්න ඕන කියලා කියන්නයි මම මේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය ගැන ලිපියක සටහන් කරේ . 

මතක තියාගන්න මේ හැමදේටම වඩා තෙරුවන් ගුණ ඉහළයි . ඒ නිසා තෙරුවන් ගුණ සිහිකරලා වැඩ කරනවානම් හැමදේම සාර්ථක වේවි . අපල දුරු වේවි . ගාථා වලට කරන්න බැරි දේවල් මන්තර වලින් කරනවා වගේම තමයි අපල වලට කරන්න කියන මේ පිළිවෙත් වලිනුත් යමක් කෙරෙන්නේ . 

ධජග්ග සූත්‍රය කියවන්න කැමති අයට මම ඒ කොටස ලිපිය අවසානයේ සටහන් කරනවා . කියවලා බලන්න . මේ තමයි අපේ තෙරුවන් වන්දනා කිරීමේ ගාථා ත්‍රිත්වයේ ආරම්භය . 






1.එවං මේ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. තත්‍ර ඛො භගවා භික්‌ඛූ ආමන්‌තෙසි ‘භික්‌ඛවො’ති . භදන්‌තෙ’ති තෙ භික්‌ඛූ භගවතො පච්‌චස්‌සොසුං. භගවා එතදවොච

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3.භූතපුබ්‌බං, භික්‌ඛවෙ, දෙවාසුරසඞ්‌ගාමො සමුපබ්‍යූළ්‌හො අහොසි. අථ ඛො, භික්‌ඛවෙ, සක්‌කො දෙවානමින්‌දො දෙවෙ තාවතිංසෙ ආමන්‌තෙසි ,
‘සචෙ, මාරිසා, දෙවානං සඞ්‌ගාමගතානං උප්‌පජ්‌ජෙය්‍ය භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, මමෙව තස්‌මිං සමයෙ ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. මමඤ්‌හි වො ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති’.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

4.නො චෙ මෙ ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ පජාපතිස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. පජාපතිස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

4. ´´ ´ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

5.නො චෙ පජාපතිස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ වරුණස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. වරුණස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

5. ´´ ´ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

6.නො චෙ වරුණස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ ඊසානස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. ඊසානස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සතී ති.

6. ´´ ´ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

7.තං ඛො පන, භික්‌ඛවෙ, සක්‌කස්‌ස වා දෙවානමින්‌දස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, පජාපතිස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, වරුණස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, ඊසානස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයෙථාපි නොපි පහීයෙථ [නො පහීයෙථ (ක.)].

තං කිස්‌ස හෙතු? සක්‌කො හි, භික්‌ඛවෙ, දෙවානමින්‌දො අවීතරාගො අවීතදොසො අවීතමොහො භීරු ඡම්‌භී උත්‍රාසී පලායීති.

7. ´´මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ෙවෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. ( හෙතෙම ) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක, ( එහෙයිනි. )

8.අහඤ්‌ච ඛො, භික්‌ඛවෙ, එවං වදාමි
සචෙ තුම්‌හාකං, භික්‌ඛවෙ, අරඤ්‌ඤගතානං වා රුක්‌ඛමූලගතානං වා සුඤ්‌ඤාගාරගතානං වා උප්‌පජ්‌ජෙය්‍ය භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, මමෙව තස්‌මිං සමයෙ අනුස්‌සරෙය්‍යාථ
ඉතිපි සො භගවා අරහං සම්‌මාසම්‌බුද්‌ධො විජ්‌ජාචරණසම්‌පන්‌නො සුගතො ලොකවිදූ අනුත්‌තරො පුරිසදම්‌මසාරථි සත්‌ථා දෙවමනුස්‌සානං බුද්‌ධො භගවා’ති. මමඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

8. ´´මහණෙනි, මමද තොපට මෙසේ කියමි: මහණෙනි, ඉදින් වනයට ගියාවූ හෝ මිනිසුන් නොගැවසෙන තැනට ගියාවූ හෝ තොපට බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ උපදින්නේ නම් ඒ වේලායෙහි මා ම ( මෙසේ ) සිහිකරව් ´ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණසම්පන්න වනසේක, සුගතවන සේක, ලෝකවිදූ වන අනුත්තර පුරිසධම්මසාරථී වනසේක, දෙවි මිනිසුන්ට ශාස්තෘ වනසේක, බුද්ධ වනසේක, භාග්‍යවත් වනසේක´ ( කියායි. ) මහණෙනි, ( මෙසේ ) මා සිහි කරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

9.නො චෙ මං අනුස්‌සරෙය්‍යාථ, අථ ධම්‌මං අනුස්‌සරෙය්‍යාථ
ස්‌වාක්‌ඛාතො භගවතා ධම්‌මො සන්‌දිට්‌ඨිකො අකාලිකො එහිපස්‌සිකො ඔපනෙය්‍යිකො පච්‌චත්‌තං වෙදිතබ්‌බො විඤ්‌ඤූහී’ති. ධම්‌මඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

9. ´´ඉදින් තොපි මා සිහි නොකරන්නහුනම්, අනතුරුව ධර්‍මය ( මෙසේ ) සිහිකරව්. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්කොට දේශනා කරන ලද්දේය. ( ඒ ධර්‍මය ) තමා විසින්ම දැක්ක යුත්තේය, කල් නොයවා විපාක දෙන්නේය, ´එව බලව´ යි කීමට සුදුසුය, ( භාවනා වශයෙන් ) තම සිත්හි පැමිණවීමට ( දරා ගැනීමට ) සුදුසුය, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දැක්ක යුතුය´ ( කියායි, ) මහණෙනි ඉදින් ධර්‍මය සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුඩැහැගැන්මෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

10.නො චෙ ධම්‌මං අනුස්‌සරෙය්‍යාථ, අථ සඞ්‌ඝං අනුස්‌සරෙය්‍යාථ
සුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො උජුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො ඤායප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො සාමීචිප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො, යදිදං චත්‌තාරි පුරිසයුගානි අට්‌ඨ පුරිසපුග්‌ගලා එස භගවතො සාවකසඞ්‌ඝො, ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්‌ඛිණෙය්‍යො අඤ්‌ජලිකරණීයො අනුත්‌තරං පුඤ්‌ඤක්‌ඛෙත්‌තං ලොකස්‌සා’ති. සඞ්‌ඝඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

10. ´´ඉදින් තෙපි ධර්‍මය සිහි නොකරව් නම්, සඞ්ඝයා ( මෙසේ ) සිහි කරව්. ´භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම මනා පිළිවෙත්හි පිළිපන්නේය. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම ඎජු පිළිවෙත්හි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සත්‍ය මාර්‍ගයෙහි පි්ළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ සතර පුරිසයුගලකෙනෙක් ඇද්ද, පුරිස පුද්ගලයෝ අට දෙනෙක් ඇද්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝයා ආහුණෙය්‍යය ( කැඳවා සිවුපසය දීමට සුදුසුය, පාහුණෙය්‍යය ( අමුතු පඬුරු පිළිගැන්වීමට සුදුසුය ), දක්ඛිනෙය්‍යය ( පරලොව අදහා දන් දෙන්නට සුදුසුය ), අඤ්ජලි කරණීයය ( දොහොත් මුදුන්දී නමස්කාරයට සුදුසුය ), සියලු ලෝකයාගේ ඉතා උතුම් පින් කෙතය´ ( යි කියායි. ) මහණෙනි, ( මෙසේ ) සඞ්ඝයා සිහිනරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

11. තං කිස්‌ස හෙතු? තථාගතො හි, භික්‌ඛවෙ, අරහං සම්‌මාසම්‌බුද්‌ධො වීතරාගො වීතදොසො වීතමොහො අභීරු අච්‌ඡම්‌භී අනුත්‍රාසී අපලායී’ති.

11. ´´එයට හේතු කුමක්ද ? මහණෙනි, තථාගතවූ, අර්හත්වූ, සම්මා සම්බුද්ධයන් වහන්සේ පහවූ රාග ඇතිසේක, පහවූ මෝහ ඇතිසේක, බිය නොවන ස්වභාව ඇතිසේක. තැති නොගන්නා ස්වභාව ඇතිසේක, පලායන ස්වභාව නැතිසේක ( එහෙයිනි. ) ´´

12.ඉදමවොච භගවා. ඉදං වත්‌වාන සුගතො අථාපරං එතදවොච සත්‌ථා –

අරඤ්‌ඤෙ රුක්‌ඛමූලෙ වා, සුඤ්‌ඤාගාරෙව භික්‌ඛවො;
අනුස්‌සරෙය්‍යාථ සම්‌බුද්‌ධං, භයං තුම්‌හාක නො සියා.
නො චෙ බුද්‌ධං සරෙය්‍යාථ, ලොකජෙට්‌ඨං නරාසභං

අථ ධම්‌මං සරෙය්‍යාථ, නිය්‍යානිකං සුදෙසිතං.
නො චෙ ධම්‌මං සරෙය්‍යාථ, නිය්‍යානිකං සුදෙසිතං

අථ සඞ්‌ඝං සරෙය්‍යාථ, පුඤ්‌ඤක්‌ඛෙත්‌තං අනුත්‌තරං.
එවං බුද්‌ධං සරන්‌තානං, ධම්‌මං සඞ්‌ඝඤ්‌ච භික්‌ඛවො;
භයං වා ඡම්‌භිතත්‌තං වා, ලොමහංසො න හෙස්‌සතී”ති.

12. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගතවූ ශාස්තෲන් වහන්සේ නැවත එයම ( මෙසේ ) වදාළසේක.
´´මහණෙනි, වන සෙනසුනක හෝ වෘක්‍ෂමූල සෙනසුනක හෝ මිනිසුන් නොගවසෙන තැනක හෝ සම්මා සම්බුදුන් සිහි කරව්. තොපට භයක් නොවන්නේය.
´´ඉදින්, ලෝකයට ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ බුදුන් සිහි නොකරන්නහු නම්, එවිට නිවණට පමුණුවන්නාවූ, යහපත්කොට දේශනා කරන ලද්දාවූ, සද්ධර්‍මය සිහි කරව්.
´´නිවණට පමුණුවන්නාවූ, හොඳින් දේශනා කරන ලද්දාවූ, ධර්‍මය ඉදින් සිහි නොකරන්නහු නම්, එවිට පින් කෙතවූ, ඉතා උතුම්වූ සඞ්ඝයා සිහි කරව්.
´´මහණෙනි, යම්සේ බුදුන්ද, ධර්‍මයද, සඞ්ඝයාද සිහි කරන්නාවූ තොපට භයෙක් හෝ තැතිගැනීමෙක් හෝ ලොමුඩැහැගැනුමක් හෝ නොවන්නේය.´´

ධජග්ග සූත්‍රය නිමි.


තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

බුද්ධාගමට සහ බුද්ධාගමේ තියෙන යම් යම් පිළිවෙත් ගැන මේ වෙනකොට ඇතිවෙලා තියෙන්නේ යම් කළකිරීමක් . ඒවාට එක අතකට ගිහියොත් වග කියන්න ඕන ...

ළිඳක් වැසීම හා වැනසීම






වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා කරවපු රත්නපුර පොත්ගුල් විහාරය පිහිටලා තියෙන්නේ අපි ඉන්න නිවස පිහිටලා තියෙන කන්දේ දකුණු බෑවුමේ . අපි ඉන්නේ කන්දේ උතුරු බෑවුමේ . සමන් දේවාලය පිහිටලා තියෙන්නේ කන්දේ වයඹ බෑවුමට ආසන්න වෙන්න පහළම කොටසේ . මේ කන්ද හරහා සමන් දේවාලයේ ඉඳලා පොත්ගුල් විහාරය දක්වා විහිදිලා තියෙන උමගක් තියෙනවා කියලා කතාවක් තියෙනවා . මේ උමග ගිලා බැසීම හේතු කරගෙන ඒ ආශ්‍රිත නාය යෑමක් තියෙනවා කියලා ඉස්සර ඉඳලාම කියනවා . ළඟදීම නාය යයි කියලා තමයි හිතන්නේ . මොකද දැන් ගිලා බැසීම් ගොඩක් තියෙන නිසා . පස මතුපිට මුල් පද්ද්ධතිය දුර්වල වෙන්න වෙන්න පස් ගිලා බහිනවා . දැන් ඉතින් ලොකු ගස් වලට වඩා තේ ගස් සහ තේ වලින් ලැබෙන සල්ලිනෙ වටින්නේ .

ඉතින් මේ කන්දේ අපි ඉන්න බෑවුමේ මුල් පදිංචිකාරයින් වුණේ අපේ සීයලා . සීයා සහ තවත් කීප දෙනෙක් මේ ප්‍රදේශයේ එලි පෙහෙළි කරලා ගෙවල් හදාගෙන පදිංචි වුණා . ඉතින් ආච්චි අම්මාත් රත්නපුරේට ආවට පස්සේ ආච්චිඅම්මාගේ ප්‍රධානම අවශ්‍යතාවය වෙලා තියෙන්නේ ගෙදර ලිඳක් හාරගන්නා එක . එතකල් වතුර ලබාගෙන තියෙන්නේ කිට්ටුව ඇලකින් . ඒ වෙනකොට, මම ඉතාම ගෞරවයෙන් සලකන අපේ මුත්තා , ඒ කියන්නේ ආච්චිඅම්මාගේ තාත්තාත් ජීවත් වෙලා ඉඳලා තියෙනවා . ඒ මුත්තට ඒ වෙනකොට මාතර ඉඳලා රත්නපුරේට එන්න පුළුවන් හොඳ සෞඛ්‍ය තත්වයක් තිබිලා නැහැ . ඒත් එයාගේ දැනුමේ අඩුවක් වෙලා තිබිලා නැහැ .

ඒ මුත්තා ආච්චි අම්මාට කියලාදීලා තියෙනවා පොළවක වතුර ගමන් කරන ජල ශිරා විහිදිලා තියෙන පැති අඳුරගන්නා විදි සහ ඒ ජල ශිරා තියෙන ස්ථාන පොලව මතුපිට තියෙන සලකුණු වලින් අඳුරගන්නා විදිය . ඒ අනුව යමින් ආච්චි අම්මා අපේ ගමේ හැමෝටම වතුර දෙන්න ළිඳක් හාරලා තියෙනවා තනියමම . තමන්ට වඩා තරමක් උසට හාරගත්තාට පස්සේ පස් ඉවත් කරන්න විතරක් වෙනත් අයගේ උදවු ගත්තත් වෙන අය ළිඳ හාරනවට කැමති නැතිව ආච්චිඅම්මා තමන්ම ඒ ළිඳ හාරලා තියෙනවා . අවසානයේ තමන්ට වඩා අඩි කීපයක් හාරනකොට ළිඳේ ජල ශිරා මතුවෙලා තියෙනවා . ඒ ළිඳ තමයි අපේ ගමේ පළවෙනි ළිඳ වුනේ . මොකද ඒ වෙනකල් කවුරුවත් විශ්වාස කරලා නැහැ කඳු ප්‍රදේශයක් නිසා ඒ ප්‍රදේශයේ වතුර උල්පත් අහුවෙයි කියලා . ඒත් කන්ද පහළ තියෙන්නේ කළු ගඟ නිසාත් ගඟ පැත්තට වතුර බහින නිසාත් මේ පැත්තේ වතුර හම්බෙනවා කියලා ආච්චිඅම්මාට විශ්වාසයක් තිබිලා තියෙනවා .

මේ සලකුණු අනුව ආච්චි අම්මා අපේ ඉඩමේ තවත් ළිඳක් හෑරුවා . ඒකත් වතුර තියෙන ලිඳක් . හැබැයි පායන කාලෙට ඒ ළිඳ නම් හිඳෙනවා . එත් පළවෙනි ළිඳ නම් තවමත් වතුර තියෙනවා . ඒ විදියට ළිඳ හාරන කාලේ කරපු වත් පිළිවෙත් ගැන ආච්චි අම්මා දවසක් මමත් එක්ක කිව්වා මතකයි . ළිඳේ ඉස්සෙල්ලම වතුර උල්පත් වලින් ආව වතුර කලයකට එකතු කරගෙන ඒ වතුරෙන් බෝධිය නාවලා දෙවියන්ට පිං දීලා කිරි ආහාර පූජා කරලා තියෙනවා . ඒවගේම තමයි හැම අවුරුද්දකම වතුර කලයක් අරගෙන ගිහින් බෝධිය නාවන සිරිතක් ආච්චිඅම්මට තිබුණා .

පළවෙනි ළිඳේ වතුර උනන්න කලින් දවසේ ආච්චිඅම්මා හීනයක් දැකලා තිබුණා . ආච්චිඅම්මා දැක්ක හීනයේ ජීවමාන බුදුන්වහන්සේ නමක් ඉඳලා තියෙනවා . ඒ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන විදියට ළිඳ ඇතුලේ පුටුවක ඉඳගෙන තමයි  වැඩ ඉඳලා තියෙන්නේ . එකපාරටම බුදුන්වහන්සේගේ ධර්ම දේශනාව නතරවෙලා නහයෙන් කටෙන් කන්වලින් පවා වතුර විහිදවනවා ආච්චි අම්මා හීනෙන් දැකලා තියෙනවා . පහුවෙනිදා මේ හීනය ගැන කා එක්කවත් කියන්නේ නැතුව ළිඳ හාරන්න ගත්තට පස්සේ අහස කළු කරලා වහින්න ලං වෙලා තියෙනවා .

එත් හවස් වෙලා නැති නිසා පුළුවන් තරම් හාරනවා කියලා හිතාගෙන ආච්චි අම්මා ළිඳ හාරන වැඩ කරගෙන යනකොට ආච්චිඅම්මාගේ පුතා , ඒ කියන්නේ මගේ මාමා දුවගෙන ඇවිත් කියලා තියෙනවා ගොරවන්න හදන්නේ ගොඩට එන්න කියලා . ඒ කියනවත් එක්කම අහසේ අකුණක් පුපුරලා තියෙනවා . ඊට පස්සේ ගහපු උදළු පාරවල් කීපයෙන් ජල ශිරාව පුපුරලා වතුර ගලාගෙන ඇවිත් තියෙනවා ළිඳට . මේ කතාව ඊට පස්සේ අවුරුදු ගානක් ගිහින් තමයි ආච්චිඅම්මා අනිත් අයට කියලා තිබුණේ .

මේ ළිඳේ වතුර රැඳීම ආරක්ෂා කරගන්න ඕන නිසා ආච්චිඅම්මා යම් උපායශීලී වැඩ කීපයක් අපේ ගෙදර කරලා තිබුණා . එකක් තමයි ඒ ළිඳට උඩ කොටසේ ලොකු උන පඳුරක් වගා කිරීම .ඒ ආසන්නයේ කළුගල් වලක් වගේ පිහිටලා තියෙන නිසා උන පඳුරට වතුරත් ඒ වලේ වතුර එකතුවෙන් ලැබුනා . උන පඳුරේ මුල් නිසා ස්පොන්ජ් වගේ ව්‍යුහයක් ගත්ත පසෙන් වතුර රඳවා තියාගෙන ළිඳ පෝෂණය කරා . පුරසාරමක් විදියට නොවුනත් ආච්චි අම්මා නිතරම මතක් කරේ මේ ළිං දෙක දෙවියන්ගේ පිහිටෙන් ලබා දුන්න දෙයක් . ඒ නිසා ළිං පරෙස්සම් කරන්න කියලා .

එදා කිව්ව දේවල්වල ඇත්ත දැන් දැන් පේන බවක් තියෙනවා . මොකද රත්නපුරේ මිනිස්සුන්ගේ පුරුද්දක්නේ පොළව හාරන එක ඒ නිසා , අපිත් ආතල් එකට වගේ තවත් ළිඳක් හෑරුවා . ඒ ළිඳ වැඩිය ගැඹුරු එකක් නෙවෙයි . ඒත් දෙවියන්ගේ පිහිටෙන් ඒකටත් වතුර ඉනුවා අඩි දහයක් විතර හාරනකොට . ඒ ළිඳ අලුත් නිසා අපි දැන් පාවිච්චි කරන්නේ ඒ ළිඳ . ළඟදී දවසක නොසිතුවිරු විදියට ළිඳේ වතුර හිඳුනා . ඒත් ආච්චිඅම්මා හාරලා තියපු ළිං දෙකේ වතුර තිබුණා . එකම ඉඩම වුණත් වතුර රඳා හිටින්නේ ළිඳ හාරපු කෙනාගේ වාසනාව මත කියලා අපේ ගෙදර අය කතා වුණා .

මට මතකයි මඝ මානවකයා සක්‍රත්වය ලබාගන්න කරපු පිං දහම් වලදීත් ළිං හාරපු බවක් සඳහන් වෙලා තිබුණා කියලා . ඒ නිසා ලිඳක් කියලා කියන්නේ ඇත්තටම ඉතාම වටිනා දෙයක් කියලා මතක තියාගන්න ඕන . මේ කතා කියන්න මට මතක් වුණේ ලිඳක් වහන්න නැකතක් ඉල්ලලා කෙනෙක් කතා කරපු නිසා . මම ඒ සටහන ලියන්න පටන් ගත්තේ ලිඳක් වහනවා කියන්නේ මහා පවුකාර වැඩක් කියලා ලියාගෙන . මොකද අතීතයේ සෘෂිවරු ළිං හැරීම කියන දේ කරලා තියෙන්නේ ඉතාම ගෞරවයෙන් . මොකද ජීවය පවතින්නේ ජලය නිසා . ජලය පවතින්නේ ළිඳ නිසා . ඒ නිසා ළිඳක් කියන්නේ රත්තරන් වටිනා දෙයක් කියලා ඒ කාලේ උදවිය විශ්වාස කරා .

අද කාලේ නම් වතුර එන්නේ ටැප් වලින් . ක්ලෝරීන් කලවම් කරලා එන වතුර නිසා එක එක ප්‍රශ්න තියෙනවා . කියන්නේ නැති වුණත් ක්ලෝරීන් ශරීරයට විෂ වෙනවා . සමට විෂ වෙනවා . ඒවගේම තමයි ඇස්වලට අසාද්මිකතාවයන් ඇති කරවනවා . ඊටත් වඩා ගැටළුව වෙන්නේ හිසකෙස් ගැළවී යාමට හේතු වීම .

ඒත් අතීතයේදී වතුර පිරිසිදු කරන්න පාවිච්චි කරලා තියෙන්නේ බෙහෙත් වර්ග . ඒවා ශරීරයට අහිතකර වෙන්නේ නැහැ . ඒ නිසා කිසිම ගැටළුවක් ඇතිවෙලා නැහැ .ඒ නිසා අද අපි ඉන්නේ දියුණු තත්වයක කියලා කිව්වාට අපි ඉන්නේ දියුණු තත්වයක නෙවෙයි කියලා මතක තියාගන්න ඕන .

පාවිච්චි කරපු ලිඳක් වහනවානම් ඒ ළිඳ වහන්න ඕන ඒ ළිඳේ තියෙන ජල ශිරා අවහිර වෙන්නේ නැති වෙන විදියට . මොකද ලිඳක් හාරලා අපි කරන්නේ පොළවේ තියෙන නහරයක් කපලා ලේ ගන්නවා වගේ වැඩක් . ආයෙත් ඒ නහරය හරියට අග මුල සම්බන්ධ වෙන්න ලේසි වෙන විදියට තමයි ළිඳ වහන්න ඕන . මේ ක්‍රියාමාර්ගය හරියට කරන්න ඒකාලේ අය සමත් වෙලා තියෙනවා . ඒවගේම තමයි ජලය ගමන් කරන ශිරාවේ ජල ගමන අඩු වෙලාවක තමයි ළිඳ වහන්න ඕන . ඒ ජල ගමන අඩු වෙලාවල් තමයි නැකත් වලදී හොයලා බලන්නේ . මොකද එහෙම වතුර ගමන් කරන පීඩනය අඩු වෙලාවට ළිඳ වහන්න ලේසියි , සහ අපිරිසුදු වතුර වෙනත් ළිං වලට ඉක්මණට යන්නෙත් නැහැ .

එයාලා ළිඳේ වතුරේ පිරිසිදු භාවය තමයි ඉස්සෙල්ලම බලලා තියෙන්නේ ලිඳක් වහන්න කලින් . ඒ නිසා ලිඳක් වහන්න කළු ගල් කැබලි , ගඟේ වැලි කියන දේවල් තමයි භාවිතා කරන්නේ . අද තියෙන ගංගා නෙවෙයි . ඉස්සර තිබ්බ ගංගාවල වැලි පිරිසිදුයි . මොකද හැමවෙලේම හේදෙන නිසාත් ගඟේ කුණු නැති නිසාත් . ඒවගේම තමයි ඒ මාධ්‍යයේ සවිවර බව ආරක්ෂා වෙන්න ඕන නිසා කළුගල් කැබලි එකතු කරනවා .

වතුර මට්ටම වැහෙනකල්ම ළිඳට දාන්නේ කළුගල් කැබලි සහ වැලි . ඒ නිසා ළිඳ තුලට සහ ළිඳෙන් පිටට තියෙන ජල ශිරා සම්බන්ධ වෙලා අපිට එපා වුණත් වතුර ඕන ළිං වලට අවහිර වීමක් නැතුව ජලය ගලාගෙන යෑම වෙනවා . ඊට පස්සේ පිරිසිදු පස් වලින් තමයි ළිඳ වහන්නේ . මොකද ජල ශිරා ආරක්ෂා කරා වගේම ඒ ජලයේ පිරිසිදු බවත් ආරක්ෂා කරන්න මිනිස්සු හිතලා තියෙන නිසා .

එහෙම ලිඳක් වැහුවම වෙනත් ළිං වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ . ඒවගේම මෙන්න මේ පිළිවෙත් එහෙමත් අනුගමනය කරනවානම තමයි හොඳ .

ජලය අයිති වෙන්නේ වරුණ දෙවියන්ට . ඒ නිසා වරුණ දෙවියන්ට පිං දීම සහ පූජා පැවැත්වීම කරන්න ඕන . ඒවගේම තමයි විෂ්ණු දෙවියන්ට පිං දෙන්න ඕන . ඊටත් අමතරව ජලයේ හිමිකාරීත්වය හිමි වෙන්නේ සඳුට . ඒ නිසා සඳු වෙනුවෙන් පූජා පැවැත්වීම සහ පිං දීමත් කරන්න අවශ්‍ය වෙනවා .


චන්ද්‍රයාගේ ගමන ජලය ජලශිරා වලින් ඇදී එන්න ඉතාමත් අත්‍යාවශ්‍ය දෙයක් . පොළව මතුපිට උදම් ඇතිවෙනවා වගේම තමයි පොලව තුලත් ජලයේ ඇදීම සිද්ද වෙන්නේ . ඒ නිසා සඳු සහ භූගත ජලය අතර තියෙන්නේ තද බැඳීමක් . ඒ නිසා පිං දීලා අවසර ගන්න ඕන ළිඳ වහන්න .

ළිඳේ වතුරෙන් බෝධිය නාවන්න ඕන . එහෙම බෝධිය නාවලා ළිඳ හාරපු අයටත් දෙවියන්ටත් පිං දෙන්න ඕන . ඒවගේම තමයි ළිඳ වහන්න කලින් ළිඳේ වතුරට මෙන්න මේ බෙහෙත් වර්ග එකතු කරන්න පුළුවන් නම් හොඳයි .

සුවඳ හොට
වම්මුතු
විෂ්ණු ක්‍රාන්ති
සුදුහඳුන්
රත් හඳුන්
නෙල්ලි
ඉඟිනි

මේ දේවල් පොඩියට කුඩු කරලා වතුරට දාලා හොඳට මිශ්‍ර වුණාට පස්සේ ළිඳ වහන්න ඕන . නැත්නම් අපිරිසිදුවෙන ජලයෙන් වෙනත් ළිං අපවිත්‍ර වෙන්න පුළුවන් . තවත් පිළිවෙත් කීපයක් තියෙනවා . ඒවාත් කරලා තමයි ඉතින් වැඩේ සම්පූර්ණ කරන්න ඕන .

අද කාලේ මේ පිළිවෙත් සපුරලා නෙවෙයි ළිං වහන්නේ . ඉස්සෙල්ලාම පටන් ගන්නේ ගෙදර කුණු දාන්න . කුණු දාලා තියෙන තියෙන ලට්ට ලොට්ටත් දාලා . පුළුවන් නම් වැසිකිලි නළයත් ළිඳට හරවලා එහෙමත් පුරවලා තමයි ළිඳ වහලා දාන්නේ . එත් තමන් ඒ කරන්නේ වෙනත් අය වතුර බොන ජල ශිරා සම්බන්ධ තැනකට බව මතක තියාගන්න . අද මිනිස්සු වෙනස් . ඒ නිසා අනිත් අය ගැන හිතන්නේ නැහැ . ඒ වගේම පරිසරය ගැන හිතන්නෙත් නැහැ . තමන්ගේ වැඩේ වෙනවානම් හොඳයි කියලා හිතාගෙන ඒ දේවල් කරනවා . ඒ නිසා මේ වගේ දේවල් ගැන තරමක් විමසිල්ලෙන් හිතලා බලන්න . මේ වගේ කරන අකුසල කර්ම සහ අනවබෝධය නිසා තමයි සමහරුන් කඳු යට ළිං හෑරුවත් අනෝරා වැසි වැස්සත් ලිංවල වතුර නොපිරෙන්නේ .

භූගත ජල සම්පත ආරක්ෂා කරගන්න . තමන්ට එපා නම් අනුන්ටවත් ආරක්ෂා කරලා දෙන්න . භූගත ජලය සම්බන්ධව තවත් ලියන්න තියෙනවා . ඒ නිසා තවත් ලිපි කීපයක් භූගත ජලය සම්බන්ධව ලියවේවි .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා කරවපු රත්...

දෙවිනුවර සිංහාසන දේවාලය






ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය ෆේස්බුක් පිටුවට ආ ගිය අයට මතක ඇති මම ඒ පිටුවේ මුල්ම පෝස්ට් එක විදියට දාලා තියෙන ෆොටෝ එක සහ විස්තරය . පිටුවට ආව නැති අයට මතක් වෙන්නත් එක්ක මම ඒ ෆොටෝ එක සහ විස්තරය මෙතන උපුටා දක්වනවා .




- නමස්කාරය -


මානාවඩුගේ දියෝනිස් ගුණවර්ධන 
පාරම්පරික ජ්‍යෝතිෂ්‍යාචාර්ය , මන්ත්‍රාචාර්ය , විෂ වෛද්‍යාචාර්ය 


( 1882 - 1965 )

පරපුරින් පරපුර පැවතගෙන ආ ජ්‍යෝතිෂ දැනුමේත් විෂ වෙදකමේත් මන්ත්‍ර ශාස්ත්‍රයේත් අවසාන සාඩම්බර හිමිකරු වූයේ මගේ මී මුත්තනුවන් වූ එතුමන්ය . මානාවඩුගේ දියෝනිස් ගුණවර්ධන නම් එතුමන් එක් යුගයක දකුණු ලක පහළවූ මහා දැනුම් සම්භාරයක උරුමකරු විය .

උපුල්වන් දෙවිඳුන් නැමඳීමට ගිය සමහර අවස්ථා වලදී දෙවිනුවර සිංහාසන පාරේ ඇවිදින වාරයක් වාරයක් පාසා මාගේ සිතෙහි ඇඳෙන්නේ දැනට වසර සියයකට පමණ පෙර සුදු පැහැති කබායත් කළු පැහැති පට රෙද්දත් හැඳ , පනාව හිසේ ගසා , කිතුල් ලීයෙන් ලියවා දෙපැත්තේ පිත්තල විලි දෙකක් යොදා නිමවන ලද කළු පැහැති බස්තම අතින් ගෙන , දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය දෙසට සංසුන් ගමනින් ගමන් කරන මගේ මී මුත්තනුවන්ගේ රූප කායයි .

තමන් දන්නා සෑම විෂය පථයක් ඔස්සේම මහජනතාවට සෙත සැලසූ එතුමන් තම පරපුරේ ඉදිරි පුරුක් වෙත අධ්‍යනය සඳහා තම ජීවන ගමනේ ස්වර්ණමය පියසටහන් පමණක් ඉතිරිකර 1965 - 05 - 12 දින මාතරදී අභාවප්‍රාප්ත විය .

මා කියවූ පළමු ඈපා පංචාංග ලිත එතුමන්ගේ බව මා සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙන්ය . වයස 11දී ජ්‍යෝතිෂ විද්‍යාවට මා අතපොත් තැබුවේ එතුමන් අපට ඉතිරිකර ගිය සමහර සටහන් සහ ලිත් වලිනි . කුඩාකල සිට මා අනුකරණය කලේ එතුමන්ගේ ජීවිත කතාවය . එබැවින් මගේ හදවතේ ජ්‍යෝතිෂ විද්‍යාව පිලිබඳ නැගෙන භක්ති ප්‍රණාමයේ වැඩි කොටසක් හිමිවිය යුත්තේ ඔබටය .
දියෝනිස් ගුණවර්ධන අදුරු තුමණි , 

මාගේ ජ්‍යෝතිෂ ජීවිතය ඔබට උපහාරයක්ම වේවා !



ඔන්න ඔය විස්තරය ලියන වෙලාවේ තමයි මම කල්පනා කරේ සිංහාසන පාර කොයිතරම් අපේ ජීවිත වලට බද්ධ වෙලා තියෙනවද කියලා . රත්නපුරේ පදිංචිවෙලා හිටියත් තවමත් අපේ අය යම් යම් අවස්ථා වලදී මේ සිංහාසන පාර ගැන ඒ පාරේ දෙපැත්තේ ගෙවල් ගැන කතා වෙනවා . ඒත් මොකක්ද මේ සිංහාසන පාර කියලා කියන්නේ කියලා මටත් දැනගන්න ලැබුණේ පස්සේ කාලෙකදී . කොයි ආකාරයේ කොයි තරාතිරමක කෙනෙක් වුණත් සිංහාසන පාරේ පදිංචි වෙලා ඉන්නවා කියලා කියන්නේ යම් තරමක ආඩම්බරයෙන් . 

මොකද දෙවිනුවර සිංහාසන පාර ඒ තරමටම වැදගත් කමක් තිබුණු පාරක් කියලා පිළිගැනෙන නිසා . මේ අද ලියන්න යන්න ඒ සිංහාසන පාර සහ සිංහාසන පාරේ එහා කෙලවරේ තියෙන දෙවිනුවර පැරණිතම දේවාලය විදියට හඳුන්වන සිංහාසන දේවාලය සම්බන්ධව . දෙවිනුවර විෂ්ණු දෙවියන්ට අයත් ස්ථානය කියලා කිව්වත් අපිට කතාව පටන් ගන්න වෙන්නේ කතරගම දෙවියන්ගෙන් . 

ඉන්දීය කතා සහ ලංකාවේ කතා වලට අනුව පාර්වතියගේ පුත්‍රයා විදියට හඳුන්වන කතරගම දෙවියන් ලංකාවට ආවේ සුර අසුර යුද්ධය මැඩ පවත්වන්න . ඒ යුද්ධය නතරකරන්න පාර්වතී දේවිය තමන්ගේ වේලායුධය කතරගම දෙවියන්ට ලබා දෙනවා . අසුර යුද්ධයෙන් ජය අරගෙන එන කතරගම දෙවියන් ලංකාවට මුලින්ම පය තියන්නේ මේ දෙවිනුවරට . 

දෙවිනුවර ප්‍රදෙශයේ ඉස්සර තිබිලා තියෙනවා දූපත් හතක් . මේවායේත් ඉඳලා තියෙන්නේ අසුරයින් . ඒ අයවත් පරාජය කරපු කතරගම දෙවියන් අවසානයේ තමන්ගේ පියා , ශිව දෙවියන් කලින් වාසය කරපු කඳු හතකින් වටවෙච්ච කතරගම ප්‍රදේශය තමන්ගේ වාසස්ථානය විදියට තෝරාගෙන තමන්ගේ ඉන්දීය බිරිඳ තේවානි අම්මාත් ලංකාවේ බිරිඳ වල්ලි අම්මාත් කියන දෙදෙනා එක්ක ඒ ප්‍රදේශයේ නතර වෙනවා . 

මෙන්න මේ කතරගම දෙවියන් ලංකාවට ගොඩ බැස්ස තැන තමයි අවසානයේදී දාපුළුසෙන් රජතුමාගේ ප්‍රධානත්වයෙන් දේවාලයක් ඉදිවෙන්නේ සිංහාසන දේවාලය කියලා . මේ දේවාලය පිටිපස්සේ තියෙන්නේ මුහුද . ඒ මුහුදු වෙරළට කියන්නේ සිංහාසන වැල්ල කියලා . 

දැන් එමු අපි විෂ්ණු දෙවියන්ගේ කතාවට . විෂ්ණු දෙවියන් කිහිරි කොටයක් විදියට ලංකාවට පාවෙලා ආවා කියන කතාවේදී ඒ කිහිරි කොටය දෙවුන්දරට එනවා කියලා ඉස්සෙල්ලම හීනෙන් දැක්කේ සීනිගම දේවාලයේ කපු නිලය . ඒ කපු මහතා දෙවුන්දරට පෙරහරින් එන්න කලින් කිහිරි කොටය දෙවුන්දරට පාවෙලා ඇවිත් තියෙනවා . තමාව පිළිගන්න කෙනෙක් නැති නිසා අන්තිමට මගුල් වැල්ල කියන ස්ථානයට මේ කිහිරි කොටය පාවෙලා යනවා . ඒ කිහිරි කොටය මගුල් වැල්ලෙන් ගොඩගත්ත සීනිගම දේවාලයේ කපු මහතා මහ පෙරහරින් මේ කිහිරි කොටය කරතියාගෙන ඇවිත් අද විෂ්ණු දේවාලය තැම්පත් කරපු ස්ථානයේ තැම්පත් කරනවා . 

ඊට කලින් දාපුළුසෙන් රජතුමාටත් හීනෙන් පෙනිලා තියෙනවා මෙහෙම පාවෙලා එන කිහිරි කොටයෙන් දේව රූපය කප්පවලා දේවාලයක හදවලා එතන ඒ රූපය තැම්පත් කරවන්න ඕන කියලා . ඉතින් රාජ ගෞරවය ඇතිව තමයි මේ පෙරහැර සිද්ද කරලා තියෙන්නේ . ඉතින් ඒ කිහිරි කඳ දේවාලය හදන ස්ථානයට රැගෙන ආව පාර තමයි සිංහාසන පාර කියලා කියන්නේ . 

සිංහාසන වැල්ලේ අද පිහිටලා තියෙන සිංහාසන දේවාලය පෙරහැර කාලයට බැතිමතුන්ට විවෘත වෙනවා . මේ දේවාලයේ කපු පරම්පරාව තමයි " අන්රාහැන්නදි " කියන නම් ලබාගෙන තියෙන්නේ . ඉන්දියාවේ ආන්ද්‍ර දේශයෙන් ආව අය තමයි මේ කපු පරපුර නියෝජනය කරන්නේ . අන්ද්‍රා කියන නම තමයි පස්සේ කාලෙක අන්රා වෙලා තියෙන්නේ . 

ඔය අන්දරේ කියලා කියන්නෙත් ඒවගේ ඉන්දියන් පරපුරක ශ්‍රී ලංකන් චරිතයක් තමයි . චරිතයක් විදියට කතා කරන අන්දරේ ඉපදිලා තියෙන්නේ දෙවුන්දර කිරල වැල්ලේ . මේ අන්ද්‍රා දේශයෙන් ආව අයගෙන් අන්දරේ පැවත එනවා කියලා තමයි විශ්වාස කරන්නේ . අන්දරේ ජනකතා වල කියවෙන විදියට සුදු චරිතයක්ම නෙවෙයි කියලා තමයි මමනම් විශ්වාස කරන්නේ . අන්දරේගේ වස්කවි ගැන හිතනකොට අන්දරේ යන්තර මන්තර වගේ දේවල් පවා දැනගෙන හිටපු කෙනෙක් කියලා තමයි මම විශ්වාස කරන්නේ . 

දෙවිනුවර වන්දනා කරන්න ගිය කෙනෙක් දැකලා ඇති දේවාලයේ ප්‍රධාන දොරටුවෙන් අංශක 180 ක් හැරුනාම තියෙන කෙලින්ම මුහුදට විහිදිලා යන පාර . ඒක තමයි සිංහාසන පාර . ඒ පාර ආරම්භවෙන  දේවාලයට ආසනයේ තියෙනවා ගල්කණු පේළි කිහිපයක් . 

මම දෙවුන්දර ආවේ ගියේ දැනට අවුරුදු 25 කට කලින් ඉඳලා . ඒ කාලයේ ඉඳලා අද වෙනකොට මේ ගල්කණු පේළි අවුරුද්දට කීපයක් ගානේ කණු ගලවා වැටීම නිසා නැත්තටම නැතිවෙලා තියෙනවා . එකක් පෙරහරට අලි ගැට ගැසීම . අනික හිතා මතාම ගැලවීම . බස්නායකලා ඒවා ආරක්ෂා කරන්නෙත් නැහැ . කවුරුවත් බලන්නෙත් නැහැ . රත්නපුරේ සමන් දේවාලයේ වහල තවම තෙමෙනවා . ඒක හදන්න දෙන්නේ නැති පුරා විද්‍යාව වත් දෙවුන්දර දේවාලයේ මේ ගල් කණු පේළි ආරක්ෂා කරේ නැහැ . මොකද එයාලට ඒවායේ ඉතිහාසයක් අදාළ නැති නිසා වෙන්න ඇති . 

මේ ගල් කණු පේළි අද දේවාලය අසල නතර වෙලා තිබුනට මේවා ඒ කාලයේ සිංහාසන පාර දිගේ සිංහාසන දේවාලය දක්වාම පාර දෙපැත්තෙන් විහිදිලා ගිහින් තියෙනවා පේළි කීපයක් විදියට . පස්සේ කාලෙක තමයි මේ පාරේ ගෙවල් හදලා මේ ගල් කණු ගලවලා තියෙන්නේ . මේ සිංහාසන පාරේ දෙපැත්තේ තිබ්බ ගල් කණු මතින් විශාල වහළයක් තිබිලා තියෙනවා . මේ වහලය සහිත ආවරණයට කියලා තියෙන්නේ මහවත් මඩුව කියලා . මාවතක් ආවරණය කරගෙන ඉන්න මඩුව කියන අදහස වෙන්න ඇති මේ කියන්නේ . 

අවුරුද්දක් ගානේ මේ මඩුව යටින් දේවාභරණ සිංහාසන දේවාලයට වැඩම කරවලා ඒ සිංහාසනේ තැම්පත් කරලා උපචාර විධි පවත්වලා නැවතත් මහ දේවාලයට වැඩම කරලා තැම්පත් කරලා තියෙනවා . අද මහවත් මඩුව නැතත් දැනට අවුරුදු කීපයක් දක්වා ඒ චාරිතයට කෙරුණා . ඒත් යම් දේශපාලන අරමුණක් නිසා මේ ගමන වෙනස් වුණා . දැන් පෙරහැර පිටත් වෙන්නේ සිංහාසන පාර දිගේ නෙවෙයි . පෙරහැර සම්පූර්ණයෙන්ම කණපිට පැත්තට තමයි ගමන් කරන්නේ . ඉතිහාසයක් නැති මහීෂයන් නිසා අවුරුදු 700 ගානක සිරිත් වෙනස් වෙලා තියෙනවා . ලංකාවට කෙලවෙනවානම් කෙළවෙන්න ඒවත් බලපානවා ඇති කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා . අවුරුදු 700 ගානක් පෙරහැර පිටත් වුණේ දේවාලයට පිටුපාලා . මේ ඊයේ පෙරේදා ආව අයට කොහොමද ඒ සිරිත වෙනස් කරන්න පුළුවන් වුණේ ? . අඩුම තරමේ දේවාලයේ ඉතිහාසයවත් දන්නේ නැති පිරිසක් මේ සිරිත වෙනස් කරා . හේතුව දේවාලයට පිටුපා පෙරහැර ගමන් කිරීම . ඒත් ඒ වෙනසට හේතුව නම් මුළු ගමම දැනගෙන හිටියා . 

ඉතින් මේ මහවත් මඩුව සිංහාසන පාර ගැන එහෙම වැඩි විස්තර සංදේශ කාව්‍ය වල සඳහන් වෙලා තියෙනවා . අද කාලේ ඉන්නේ ඉතින් ලංකාව ජම්බුද්වීපය කියලා කියන අයනේ . ඒ අයට පුළුවන් ඔය සංදේශ කාව්‍යවල මහවත් මඩුව ගැනත් තියෙනවද නැත්ද කියලා විස්තර හොයලා බලන්න වෙන වෙන ඒවා හොයන අතරේ . 

පරණ ෆොටෝ දෙකක් එක්ක තවත් ෆොටෝ කීපයක් මම එකතු කරනවා . ඒවාත් බලලා මතක තියාගන්න අද ඉතිරිවෙලා තියෙනවාට වඩා යමක් අපි නැතිකරගෙන තියෙනවා කියලා . 

රත්නපුරේ ජීවත් වුණත් , සමන් දේවාලයට ආවා ගියා වුණත් , මම තවමත් දෙවුන්දර දේවාලයට ආදරෙයි . අපේ හදවත් ගැහෙන්නේ දෙවුන්දර දේවාලය ගැන තියෙන භක්තිය මුල් කරගෙන හැමදාටම . 










ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය ෆේස්බුක් පිටුවට ආ ගිය අයට මතක ඇති මම ඒ පිටුවේ මුල්ම පෝස්ට් එක විදියට දාලා තියෙන ෆොටෝ එක සහ විස්තරය . පිටුවට...

විවාහ පරීක්ෂාව සහ පොරොන්දම්









ජෛවීය විද්‍යාවේ ඉගැන්වෙන විදියට යම් විශේෂයක අකණ්ඩ පැවැත්ම තහවුරු වෙන්න නම් ඒ ජීව විශේෂය අනිවාර්යයෙන්ම තමන්ගේ ජාන පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා . ඒ අරමුණ ඉටුවෙන්නේ ප්‍රජනනය කියන මූලික ජෛවීය ක්‍රියාව මත . මට මතක් වෙනවා දවසක් කැම්පස් එකේ සර් කෙනෙක් ලෙක්චර් එකකදී අපෙන් අහපු ප්‍රශ්නයක් . සර් ඇහුවා

“ ළමයි , ඇයි අපි ජීවත් වෙන්නේ ?  “ කියලා .

ඒ වෙලාවේ ළමයි උත්තර දුන්නේ නැතුව ටිකක් වෙලා ඉඳලා කීප දෙනෙක් එක එක උත්තර දුන්නත් අවසානයේ සර්ගේ උත්තරය වුණේ
“ ඔය මොනවත් නෙවෙයි ළමයි , අපි ජීවත් වෙන්නේ ප්‍රජනනය කරන්න “ කියලා .

අපි ඒ වෙලාවේ ඇහෙන්න හිනා වුණේ නැතත් හිතෙන් හිනා වුණා මේ මොන විකාරයක්ද කියලා හිතලා  . අවසානයේ මානව පරිණාමය කියන ඉතාම සරළ මට්ටමේ ඉඳලා සංකීර්ණ මට්ටම් දක්වා ඒ දේවල් අධ්‍යනය කරනකොට සහ ඉගැන්වීම් වලට කන් දෙනකොට තේරුණා මේ මොන දේ කරත් අවසානයේ අපි හැමදේම වගේ සැලසුම් කරන්නේ නව ජීවී පරපුරක් ඇති කරලා ඒ අය පෝෂණය කරලා අපි නැතිවෙලා යනකොට අපේ මූලික සැකසුම ඉදිරියට පවත්වන්න පුළුවන් තත්වයක් ඇතිකරන්න නේද කියලා .

විද්‍යාත්මකව මේ දේ මේ විදියට විස්තර වුණත් සාමාජීය වශයෙන් සහ සංස්කෘතික වශයෙන් ප්‍රජනනය කියන මාතෘකාව ගැන වැඩි වශයෙන් කතා වෙන්නේ ඒකෙ මූලික පියවර විදියට සලකන දෙදෙනෙක් විවාහයට පත්වීම කියන කඩතුරාවෙන් මෙපිට ඉඳගෙන . ප්‍රජනනය කියන දේ කෙලින්ම කියන්නේ නැතුව විවාහය කියන මාතෘකාව අනුව තමයි මේ ක්‍රියාවලිය විස්තර කෙරෙන්නේ .

ශිෂ්ඨ සම්පන්න ජීවින් කොට්ඨාසයක් වෙන්න කලින් විවාහයක් වෙනුවෙන් ගැළපීමක් කෙරුනේ නැහැ . ඒත් කාලෙන් කාලෙට සංස්කෘතික වශයෙන් සිදුවුණ යම් යම් වෙනස්වීම් සම්බන්ධ කරගෙන විවාහ වීම කියන අංගයෙන් එක්වෙන ස්ත්‍රීය සහ පුර්ෂයා එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් ගැළපෙනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න විවිධ ක්‍රම ශිල්ප ඇතිවුණා .

තවමත් යම් යම් ගෝත්‍රික සමාජවල සිටින අය පිරිමින්ට විශාල ලිංගයක් පැවතීම , විශාල උදරයක් පැවතීම , ස්ත්‍රීන්ට සිහින් දිගටි ගෙල ප්‍රදේශයක් පැවතීම , දිග කොණ්ඩයක් පැවතීම වගේ ලක්ෂණ පදනම් කරගෙන විවාහ වීමට ඇති ගැළපීම පරීක්ෂා කෙරෙනවා . ජ්‍යෝතිෂ විද්‍යාව කියන්නෙත් ඉතාමත් දියුණු ඉගැන්වීම් ක්‍රම ශිල්පයක් තමයි මේ විවාහය කියන දේ සිදු කිරීමට ගැළපෙනවාද නැත්ද කියන දේ තීරණය කරන්න .

සෘෂිවරයෙක් කියන්නේ භෞතික ඉන්ද්‍රීයයන්ට හසු නොවෙන අතීන්ද්‍රිය ඥානයන් දියුණු කරවපු භෞතික කයෙන් මනස කියන දේ වෙන් කරවලා ඒ ආශ්‍රයෙන් පර්යේෂණ පවත්වලා විශ්වයේ යම් යම් සැඟවුණු විද්‍යාවන් ඉගැන්වීම් වගේ දේවල් , තමා විසින්ම අවබෝධ කරගත් මහා ධ්‍යාන ලාභීන්ට .

ජ්‍යෝතිෂ විද්‍යාව පැවත එන්නෙත් මේ කියන සෘෂිවරුන්ගේ ඉගැන්වීම් පදනම් කරගෙන . ඒවගේ සෘෂි වරුන් තමන්ගේ අතීන්ද්‍රිය ඥානයෙන් මේ විද්‍යාවන් බිහිකරා වගේම තමන්ගේ අත්දැකීම් සහ පර්යේෂණ මත පදනම් වෙලා පුරාණ ආචාර්ය වරුන් විසින් සෘෂිවරුන් බිහි කරපු ඒ ජ්‍යෝතිෂ විද්‍යාව ඔපවත් කරා . පාරාශරය , වරහාමිහිරය , වගේ පොත්පත්වල සඳහන් වෙලා තියෙන මේ සියළු ඉගැන්වීම් සහ න්‍යායාත්මක පර්යේෂණාත්මක දැනුම පාවිච්චි කරලා තමයි ජ්‍යෝතිෂ විද්‍යාව හරහා දෙදෙනෙක් විවාහ වෙන්න සුදුසුද නැත්ද කියලා ගැළපීම සහ නොගැළපීම තීරණය කරන්නේ .

අද වෙනකොට විවාහයක් කිරීමේදී සිංහල බෞද්ධ අය වගේම තමයි වෙනත් ආගම් අදහන අය පවා මේ විවාහ ගැළපීම තියෙනවද නැත්ද කියලා පරීක්ෂා කරවන්න පෙළඹිලා තියෙනවා . ඒ නිසා මේ ලිපියේ දීර්ඝ පූර්විකාවක් ඇතුව සටහන් කරගෙන ආවේ විවාහ පරීක්ෂාව කියන ජ්‍යෝතිෂ කටයුත්ත ගැන යම් දළ අදහසක් ලබා දෙන්න කියලා හිතාගෙන . සමහර අවස්ථා වලදී සමහරු , දෙන්නෙක්ගේ කේන්දර දීලා පොරොන්දම් ගැළපෙනවද කියලා බලන්න ඕන කියලා කියනවා .

ඒත් විවාහ පරීක්ෂාවේ එක් ලාබාල අවස්ථාවක් විතරයි මේ පොරොන්දම් ගැළපෙනවද නැද්ද කියලා කියන්නේ . විවාහ පරීක්ෂාවකදී වැදගත් වෙන්නේ පොරොන්දම් පරීක්ෂාව නෙවෙයි ඇත්තටම . විශේෂයෙන්ම වැදගත් වෙන්නේ කේන්ද්‍ර සටහන්වල ග්‍රහ පිහිටීම් වල තියෙන ගැළපීම සහ නොගැලපීම පරීක්ෂා කිරීම . ඉතාම සරළ අවස්ථාවේ ඉඳලා සංකීර්ණ අවස්ථා දක්වා  මේ කේන්දර පරීක්ෂාව පැතිරිලා යනවා . සමහර වෙලාවල් වලදී පොරොන්දම් 80 %  දක්වා ගැළපෙන දෙන්නෙක් වුණත් දික්කසාද වෙනකොට කියනවා ඔය දෙන්නාගේ පොරොන්දම් ගැලපුනා , එත් වෙන් වුණානේ . තවම මෙයාලට දරුවෝ නැහැනේ කියලා . එහෙම වෙන්නේ ඒ කේන්දර ගැලපීම නොකළ නිසා වෙන්න පුළුවන් . එහෙම දේවල් කලින් දැනගත්තා නම් ප්‍රතිකාර වලින් යම් සුවයක් ලබන්නත් සමහර විට වාසනාව තිබුණා වෙන්න පුළුවන් .

ඒ නිසා ජ්‍යෝතිෂවේදියෙකුගේ පරම යුතුකම වෙන්නේ පොරොන්දම් පරීක්ෂා කරලා දෙන්න කියලා කේන්දර දෙකක් තමන්ට දුන්නත් කේන්දර සටහන් ගැළපෙනවාද කියලාත් පරීක්ෂා කිරීම . ග්‍රහ පොරොන්දම කියන පොරොන්දමේ දී කේන්දර වල ග්‍රහ පිහිටීම් යම් තරමකට යම් සම්මත ගණිත ක්‍රමයක් යටතේ පරීක්ෂා කරලා බැලුවත් කේන්දර ගැළපීම කියන දේ වෙනමම කරන්න ඕන දෙයක් . ඒකෙදී ගොඩක් වෙලාවට ජීවිතය ගැන අදාළ හැමදේම වගේ ඇතුලත් වීමක් වෙනවා .






මුලින්ම අපි බලමු පොරොන්දම් කියන්නේ මොනවද කියලා . පොරොන්දම් 20 ක් තියෙනවා .

නැකැත් පොරොන්දම
වෘක්‍ෂ පොරොන්දම
ගණ පොරොන්දම
ආයුෂ පොරොන්දම
මහේන්ද්‍ර පොරොන්දම
පක්‍ෂි පොරොන්දම
ස්ත‍්‍රී දීර්ඝ පාරොන්දම
භූත පොරොන්දම
යෝනි පොරොන්දම
ගෝත‍්‍ර පොරොන්දම
රාශි පොරොන්දම
වර්ණ පොරොන්දම
රාශ්‍යාධිපති පොරොන්දම
ලිංග පොරොන්දම
වශ්‍ය පොරොන්දම
නාඩි පොරොන්දම
රජ්ජු පොරොන්දම
දින පොරොන්දම
වේධ පොරොන්දම
ග‍්‍රහ පොරොන්දම

මේවා තමයි ඒ පොරොන්දම් 20 . මේ පොරොන්දම් වලින් මොනවාද කියවෙන්නේ සහ ඒවා ගැළපෙන්නේ කොහොමද නොගැළපෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු .

නැකැත් පොරොන්දම
==============
නැකත් පොරොන්දමෙන් කරන්නේ දෙන්නෙක් ඉපදුනු නැකත අනුව ගැලපෙනවද කියලා බලන එක . මේ ගැලපීමෙන් දෙන්නගේ ධනය බලය සැප හා සාමය කියන කාරනා මුදුන් පත් වෙනවා . අස්විද බෙරණ කැති රෙහෙන මුවසිරස ........කියලා නැකත් 27ක් තියෙනවා . මේ නැකත් 27න් ජන්ම, සම්පත්, විපත්, ක්‍ෂේම, ප‍්‍රත්‍යාරි, සාධක, වධ, මෛත‍්‍රී, පරමමෛත‍්‍රී කියන නම් අනුව නැකත් වෙන්කර ගණන් කරන ක්‍රමයක් තියෙනවා . ඒ අනුව නැකත් කොහොමද කියලා බලන සංකීර්ණ ක්‍රම ශිල්පයක් තියෙනවා ජ්‍යෝතිෂ විද්‍යාවේ . ඒ අනුව මේ නැකත් ගැළපීම කරනවා . එහෙම ගැළපෙන්නේ නැත්නම් ඒ දෝෂය භංග වෙනවද කියලාත් බලන්න ඉගැන්වීම් තියෙනවා .
ගණ පොරොන්දම
============
දෙදෙනෙක්ගේ රුධිරය , ධන සම්පත්තිය සහ ජීවන පැවැත්ම ගැලපෙනවද කියලා බලන පොරොන්දම තමයි ගණ පොරොන්දමෙන් කරන්නේ . ජෝතිශ්‍යයේ ගණ තුනක් සඳහන් වෙනවා . ඒ තමා දේව , රාක්ෂ ,  මනුෂ්‍ය කියන ගණ තුන . මෙයින් ගැලපෙනවාද බලන්නේ . මේ ගණ පොරොන්දමේ දෝෂය දෙන්නගේ උපන් ලග්නාධිපති දෙන්නගේ ගැලපීමෙන් ඒ කියන්නේ ඒ ග්‍රහයන් දෙදෙනාගේ මිත්‍රත්වයෙන් නැතිවෙලා භංග වෙනවා . ගණ ගැළපෙන්නේ නැතුව වෙන විවාහ වලදී දෙන්නා අතරේ ආරවුල් තත්ත්ව ඇතිවෙන්න පුළුවන් යම් සම්භාවිතාවයක් තියෙනවා කියලා කියන්න පුළුවන් . ඒත් ඒක පරීක්ෂා කරලා බලලා තමයි හරියටම කියන්න ඕන .

මහේන්ද්‍ර පොරොන්දම
===============
මහේන්ද්‍ර පොරොන්දමෙන් ආයුෂ සහ දරු සම්පත්තිය ගැන ගැලපීමට ලක් කරනවා . උපන් නැකත්වල ඉඳලා නැකත් චක්‍රයේ ගණන් කරන ක්‍රමයක් අනුව ඒ ඒ ස්ථානවල ඉන්නේ කීවෙනි නැකතද කියලා පරීක්ෂා කරලා බලලා තමයි මේ මහේන්ද්‍ර පොරොන්දම ගැළපීම කරන්නේ .

ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
==============
දෙන්නෙක් විවාහ වෙලා දෙන්නා එකට ජීවත් වෙනකොට දෙන්නට දෙන්නා තම තමන්ගේ ලිංගික ආශාවල් ගැන යම්කිසි අවබෝධයක් ලබාගන්න මේ පොරොන්දම ගැලපීම වඩාත් දායක වෙනවා . කාන්තාවගේ උපන් නැකතේ ඉඳලා 13කින් එහාට පිරිමියාගේ නැකත පිහිටලා තියෙනවනම් ඒක ශුභයි කියලා ගණන් ගන්නවා . පලවෙනි 9 අතරේනම් තියෙන්නේ දෙන්නා අතරේ ගොඩක් ආරවුල් ඇතිවෙනවා කියලා කියන්න පුළුවන් .

යෝනි පොරොන්දම
==============
යෝනි පොරොන්දමෙන් දෙන්නගේ ලිංගික වෙනස සංකේතවත් කරනවා . එකම සත්වයෙක්ට අයිති පුර්ෂ යෝනිය පුර්ශයාටත් ස්ත්‍රී යෝනිය ස්ත්‍රියටත් පිහිටලා තියෙනවනම් ඒක හොඳ ගැලපීමක් වෙනවා .
ඇත් යෝනියට සිංහ (හෝ මිනිස් හෝ කිඳුරු) යෝනිය ද,
අශ්ව යෝනියට ගොන්, මීගොන් යෝනිය ද
ගොන්, මී ගොන්, එළු, මුව, බලූ යන යොනිවලට ව්‍යාඝ‍්‍ර යෝනිය ද
වඳුරු යෝනියට එළු, බලූ යෝනි දෙක ද
මුෂික යෝනියට බළල් සප_ යෝනි දෙක ද
සප_ යෝනියට මුගටි එළු යෝනි දෙක ද
බළල් යෝනියට බලූ, ව්‍යාඝ‍්‍ර යෝනි දෙක ද සතුරු වෙයි .

මුව යෝනියට ගව යෝනිය ද
එළු යෝනියට අශ්ව යෝනිය ද
බලූ යෝනියට මිනිස් යෝනිය ද මිත‍්‍ර වේ. ශුභ වේ.
වෙනත් විදියකට යෝනි සිටිනවම් මධ්‍යමයි
සියළු යෝනිවලටම වඳුරු යෝනිය මිත‍්‍ර වෙනවා කියලා පිළිගැනීමකුත් තියෙනවා . ලිංගික තෘප්තිය සම්බන්ධව යම් අදහසක් ගන්න මේ යෝනි පොරොන්දම අදාළ කරගන්න පුළුවන් . ඒත් පෙරදිග කාම විද්‍යාවේ ඉගැන්වෙන ස්ත්‍රී වර්ග සහ පුර්ෂ වර්ග අතර විවාහය ගැළපීමත් මේ ලිංගික තෘප්තිය සම්බන්ධ ප්‍රශ්න වලට හොඳ විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙනවා .

රාශි පොරොන්දම
============
වැදගත්ම පොරොන්දමක් විදියට මේ රාශි පොරොන්දම හඳුන්වන්න පුළුවන් . දෙදෙනෙක්ගේ බාහිර සිතුම් පැතුම් රුචි අරුචිකම් ගැලපීම මෙයින් සිද්ද වෙනවා . රාශි චක්‍රයේ රාශි තියෙන්නේ 12 යි වුණාට එක එක ක්‍රම වලට රාශි බෙදා වෙන් කරනවා . රාශි පොරොන්දම ගළපනකොට ඒ රාශි දෙකයි ඒ රාශි වලට අධිපති ග්‍රහයෝයි ගැලපෙන්න ඕන . නැත්නම් මිත්‍ර වෙන්න ඕන . නැත්නම් දෙන්නම එකම රාශියේ වෙන්න ඕන .

රාශ්‍යාධිපති පොරොන්දම
=================
මේ රාශ්‍යාධිපති පොරොන්දමෙන් දෙදෙනක්ගේ අභ්‍යන්තර රුචි අරුචිකම් ගැන කියවෙනවා . ඒ කියන්නේ මානසික ආශාවන් වගේ දේවල් . රාශියකට අධිපති වෙන , ඒ කියන්නේ රාශිය අයිති ග්‍රහයෙක් ඉන්නවා . උදාහරණයක් වශයෙන් මේෂ රාශිය අඟහරුගේ , සිංහ රාශිය රවිගේ කියලා අධිපති කම් වෙන් කරනවා . මේ වගේ ඒ ඒ රාශිවල අධිපති ග්‍රහයින්ගේ ගැළපීම තමයි මේ පොරොන්දමෙන් ගළපන්නේ .

වශ්‍ය පොරොන්දම
==============
විවාහවෙන දෙන්නගේ සමගියට හරස්වෙන හේතු ගැන හොයාගන්න මේ පොරොන්දම දායක වෙනවා . ඒ කරදර මගඇර ගන්න මේ පොරොන්දම ගැලපීම කරනවා .

රජ්ජු පොරොන්දම
=============
විවාහ වෙන දෙන්නගේ ලිංගික සංසර්ගයෙන් අලුත් ජීවියෙක් ඇති කරන්න දෙන්නට තියෙන ශක්තිය මේ පොරොන්දමෙන් ගලපනවා .
පාද රජ්ජුව - අස්විද අසලිස  මා දේට මුල රේවතී
ඌරු රජ්ජුව - බෙරණ පුස පුවපල් අනුර පුවසල උත්රපුටුප
නාභි රජ්ජුව - කැති පුනාවස උත්‍රපල් විසා උත්රසල පුවපුටුප
බාහු රජ්ජුව - රෙහෙන අද හත සා සුවන සියාවස
මෙන්න මේ විදියටයි නැකත් 27 රජ්ජු වලට වෙන කරලා තියෙන්නේ .

වේධ පොරොන්දම
=============
දෙන්නෙක් ඉපදුන නැකත් වේධ වෙනවනම් ඒක අශුභ වෙනවා . වේධ පොරොන්දම ගැළපෙන්න නම් මේ යුගලක් නොවීම තමයි වෙන්න ඕන .

වෘක්ෂ පොරොන්දම
================
දෙදෙනාගේ ප්‍රජනක ධාතුවල සරුබව මේ වෘක්ෂ පොරොන්දමෙන් ගලපනවා . දරුවන් ඇතිවීමේ හැකියාව පරීක්ෂා කෙරෙනවා . හර වෘක්ෂ සහ කිරි වෘක්ෂ කියලා වෘක්ෂ වර්ග වලට වෙන් කරලා තියෙනවා . ඒ ඒ වෘක්ෂ වල ගැළපීම වෙනවානම් දරුවන් අධිකව ලබනවා කියලා පිළිගැනෙනවා .

ආයුෂ පොරොන්දම
===============
විවාහ වන දෙන්නගේ ආයුෂ ගැන මේ පොරොන්දමෙන් කියවෙනවා . ස්ත්‍රිය උපන් නැකතේ ඉඳලා පිරිමියා උපන් නැකත වෙනකන් ගණන් කරලා ඒ ගණන අරගෙන 27න් වැඩි කරලා 28න් බෙදනවා . ලැබෙන පිළිතුර තියාගන්නවා . මේ විදියට පුරෂයාගේ නැකතේ ඉඳලා ස්ත්‍රියගේ නැකතටත් ගණන් කරලා එ ගණන 27න් වැඩි කරලා 28න් බෙදනවා . ලැබෙන පිළිතුර ගන්නවා . මෙයින් වැඩි අගය තියෙන කෙනා තමයි වැඩිපුර ජීවත් වෙන්නේ කියලා පිළිගැනෙනවා .

පක්ෂි පොරොන්දම
===============
කුලා - රාජාලියා බකමූණ
මොනරා - රාජාලියා බකමූණා
කපුටා - බකමූනා
රාජාලියා - බකමූණා කුකුලා මොනරා
කියන පිලිවෙළට පක්‍ෂීන් සතුරු වෙනවා . දෙන්නගෙම නැකත් එකම පක්ෂියාට අයිති නම් ශුභයි . කලින් කිව්වා වගේ සතුරුනම් ගැලපෙන්න නෑ . සතුරු නැත්නම් ගැලපෙනවා .

භූත පොරොන්දම
=============
දෙන්නගෙම උපන් නැකත් එකම භූත නම් ශුභයි , ආපෝ තේජෝ භූත දෙකට අයිතිනම් අශුභයි . ඊට වඩා වෙනස් වෙනවනම් ශුභයි .

ගෝත්‍ර පොරොන්දම
================
මේකනම් ඉන්දියාවේ බමුණෝ හදාගත්ත දෙයක් . දෙන්නම එකම ගෝත්‍රයට අයිතිනම් ගැලපෙන්න නෑ . වෙනස් ගෝත්‍ර නම් ගැලපෙනවා .

වර්ණ පොරොන්දම
================
මේකත් ඉන්දියාවේ බමුණෝ හදාගත්ත එකක් . ස්ත්‍රී පුර්ෂ දෙන්නම එකම වර්ණයට අයිති නැකත් වලනම් ශුභයි . පුර්ෂයා උසස් වර්ණයකත් ස්ත්‍රිය පහත වර්ණයකත් නම් මධ්‍යමයි . ස්ත්‍රිය උසස් වර්ණයක වෙලා පුර්ෂයා පහත් වර්නයකනම් ගැලපෙන්නේ නෑ .

ලිංග පොරොන්දම
===============
මෙන්න මේ පොරොන්දම ගැන විශේෂයෙන් කියන්න ඕන . කේන්දරේ ලිංග කියලා සටහන් වෙන ඒ වචනය අනුව කෙනා වෙනස් වෙන්නේ නැහැ . ඒක ජ්‍යෝතිෂ විග්‍රහය අනුව නම් කිරීමක් විතරයි . ස්ත්‍රී ලිංග නැකත් ස්ත්‍රීන්ටත් පුර්ෂ ලිංග නැකත් පුර්ෂයන්ටත් හිමිවීම උතුම් විදියට සලකනවා . දෙදෙනාම ස්ත්‍රී ලිංග නම් එත් ශුභයි . දෙදෙනාම පුර්ෂ ලින්ගනම් අශුභයි . දෙදෙනාම නපුන්ෂක ලින්ගනම් අශුභයි . ස්ත්‍රී නැකත් පුර්ශයාටත් පුර්ෂ නැකත් ස්ත්‍රියටත් හිමිවීම ඉතාම අශුභයි . ගැලපෙන්නේ නෑ .

නාඩි පොරොන්දම
==============
ලේවල ගමන , නහර ශක්තිය , ජාන ශක්තිය මේ පොරොන්දමෙන් ගලපනවා . දෙදෙනාම එකම නාඩියේනම් ගැලපෙන්නේ නෑ . වෙනස් නාඩිවලනම් ශුභයි .

දින පොරොන්දම
==============
දෙදෙනාම එකම දිනයේනම් ශුභයි . ස්ත්‍රිය උපන් දවසට පසු දිනය පුර්ෂයා උපන්නානම් ශුභයි ( ඉරිදා සඳුදා වගේ ) . ස්ත්‍රිය උපන් දවසට 3 4 5 කියන දවස්වල පුර්ෂයා උපන්නානම් ශුභයි . ස්ත්‍රිය උපන් දවසට 6 7 කියන දවස්වල පුර්ෂයා ඉපදුනා නම් අශුභයි .

ග්‍රහ පොරොන්දම
=============
අන්තිම පොරොන්දම තමයි ග්‍රහ පොරොන්දම . ඉස්සෙල්ලම ස්ත්‍රී කේන්දරේ 1 7 8 2 4 12  කියන තැන්වල රවී කුජ ශනි රාහු කේතු කියන පාපී ග්‍රහයෝ ඉන්නවද කියලා බලනවා . එයාලා උච්චව ක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව මිත්‍රව සතුරුව නීචව ඉන්නවද කියලත් බලනවා . ඊට පස්සේ ගණිත ක්‍රම මගින් පාපංශක ගණනය කරලා ඒ මගින් යම් නිගමනයන්ට එළඹිලා ග්‍රහ පොරොන්දම ගැලපෙනවාද නැද්ද කියලා තීරණය කරනවා .

ඔන්න ඔය පොරොන්දම් තමයි පොරොන්දම් පරීක්ෂාව කියලා මූලිකවම කෙරෙන පොරොන්දම් පරීක්ෂාවේදී කෙරෙන්නේ . ඒත් මේ පොරොන්දම් පරීක්ෂාව වෙනස් වෙන විධි කීපයක් තියෙනවා . ඒ තමයි දස පොරොන්දම සහ අෂ්ට පොරොන්දම කියලා කියන්නේ . පොරොන්දම් 20 ම ගත්තම ඒක විසි පොරොන්දම වෙනවා . යම් මතයක් තියෙනවා මේවායින් තෝරාගත් 10 ක් ගැළපීම පමණක් ඇති කියලා . තවත් මතයක් තියෙනවා තෝරාගත් අටක ගැළපීම මගින් ඒවාට දෙනු ලබන ලකුණු සංක්‍යාව අනුව ගැළපීම වෙනවද නැත්ද කියලා පරීක්ෂා කරන ක්‍රම ශිල්පයක් .

දස පොරොන්දමට අයත් වෙන්නේ නැකත් , ගණ , යෝනි , නාඩි , රාශි , රාශ්‍යාධිපති , රජ්ජු , වේධ , වශ්‍ය , පක්ෂි කියන පොරොන්දම් දහය .
අෂ්ට කූටයට අදාළ වෙන්නේ නාඩි , රාශි , ගණ , රාශ්‍යාධිපති , යෝනි , නැකත් , වශ්‍ය , වර්ණ කියන පොරොන්දම් 8 . මේවාට පිලිවෙළින් 8 7 6 5 4 3 2 1 කියලා ලකුණු දෙනවා . ගැළපෙනවා නම් එම ලකුණම දෙනවා . නැත්නම් බිංදුවයි . මධ්‍යම නම් ඒ ලකුණෙන් භාගයක වටිනාකම දෙනවා . ඊට පස්සේ මේවා එකතු කරනවා . පොරොන්දම් 8 ම ගැළපෙනවා නම් එකතුව 36 ක් වෙන්න ඕන . එහෙම නම් ගැළපීම 100 % ක් වෙනවා . එහෙම නැත්නම් එකතුව 36 න් බෙදලා 100 න් වැඩි කරලා කොච්චරක් ගැළපෙනවද කියලා පරීක්ෂා කරනවා .

චන්ද්‍ර නක්ෂස්ත්‍රධිපති පොරොන්දම , ලග්න නක්ෂස්ත්‍රධිපති පොරොන්දම වගේම මීට අමතරව තියෙනවා යෝගිනි පොරොන්දම , අයවැය පොරොන්දම කියලා යම් යම් ගණිත කර්ම එක්ක අදාළ වෙන සහ න්‍යායාත්මක පිළිගැනීම් වලට අදාළ වෙනත් පොරොන්දම් . ඒවාත් ගැළපීම කරන එකේ වරදක් නම් මම දකින්නේ නැහැ . ඒත් මේ 20 පොරොන්දමට වඩා ඉතාමත්ම වැදගත් වෙන්නේ කේන්දර සටහන් ගැළපීම තමයි .

කේන්දර ගැළපීමේදී එන විශේෂම දේවල් කීපයක් ගැන අපි ඊළඟට බලමු .






එයින් එකක් තමයි කුජ දෝෂය . මට මේ කුජ දෝෂයත් එක්ක කියන්න යම් කතාවක් මතක් වෙනවා . ළඟදී දෙන්නෙක් මට කේන්දර දෙකක් දීලා කිව්වා මේ කේන්දර ගැළපෙන්නේ නැහැ කියලා කිව්වා . කෙනෙක් මැරෙනවා කියලා කිව්වා . ඒ නිසා දැන් ගෙවල් වලින් කැමති නැහැ . මේ වෙනුවෙන් කරන්න දේවල් තියෙනවද ? . එහෙමත් නැත්නම් මේ කියන කතාව ඇත්තද කියලා බලලා දෙන්න කියලා . මම ඊට පස්සේ පොරොන්දම් පරීක්ෂාවේ ඉඳලා සේරම දේවල් බලලා විග්‍රහ කරලා පිටු ගණනාවක දීර්ඝ විස්තරයක් ලිව්වා ඒ දෙන්නා වෙනුවෙන් ඒ දෝෂ නැතිවෙන විදි කේන්දර වල තියෙන හැටි විස්තර කරන්න . තනිකරම ඒ විවාහ පරීක්ෂාව ජ්‍යෝතිෂ පංතියක සටහනක් වගේ වුණා පැහැදිලි කරලාම .

ඒ උදාහරණය වාසනාවන්ත උදාහරණයක් . මොකද දෙන්නාට කොහොම හරි එකතුවෙන්න ලැබෙන නිසා . එත් ඒවගේම තමයි තවත් කේන්දර දෙකක් මට ලැබුණා බැන්දොත් මැරෙනවාමයි කියලා ආයේ කතා දෙකක් නැහැ කියලා කියන්න පුළුවන් කේන්දර දෙකක් . මේ වගේ වෙලාවල් වලදී ජ්‍යෝතිෂ විද්‍යාව හසුරුවන අය තරමක් අසරණ වෙනවා . මොකද විවාහ යෝජනාවක් නම් මේක අතෑරලා වෙන එකක් බලන්න කියන්න පුළුවන් . එත් ප්‍රේම සම්බන්ධතා වලදී මොකද වෙන්නේ ? . අන්න එතනදී යම් ගැටළුවකට මූණ දෙන්න වෙනවා .  එතනදී අපේ අදහස ඉදිරිපත් කරලා එයාලාට කැමති තීරණයක් ගන්න කියන මතයේ තමයි මමනම් ඉන්නේ . එහෙම බඳිනවානම් මම කියන්නේ ආයෙත් මට කතා කරන්න කරන්න ඕන වත් පිළිවෙත් මොනවාද කියලා කියන්නම් . ඒවා කරන්න . එතකොට මරණය අනතුරකිනුත් , අනතුර තුවාලයකිනුත් , තුවාලය දදයකිනුත් , දදය සුළු කැසීමකිනුත් සංකීර්ණ තත්වයෙන් සරළ තත්වයට පත්වෙන්න යම් ප්‍රතිකාරයක් කියලා දෙන්න පුළුවන් කියලා .

විවාහයේදී ග්‍රහ බලපෑම කොහොමද වෙන්නේ කියලා බලාගන්න පුළුවන් වෙන්නේ දෙන්නා කඩදාසියේ ලියලා එක ඇඳක නිදාගත්ත පලියට නෙවෙයි . දෙන්නාගේ ලිංගික වශයෙන් කායික එක්වීමක් වෙන්න ඕන ඒ බලපෑම් වෙනවාද නැත්ද කියලා බලන්න . මේ කතාව මට කියන්න මතක් වුණේ හැම කෙනාම වගේ කියන්නේ අපි යාළුවෙලා අවුරුදු මෙච්චරක් වෙනවා අච්චරක් වෙනවා . ඒත් අපිට මොකවත් අනතුරක් නෑනේ කියලා . එහෙම වෙන්නේ නැහැ .

ලිංගික එක්වීමකට පස්සේ තමයි මේ බලපෑම් හුවමාරු වෙන්න ගන්නේ . ජ්‍යෝතිෂවේදයේ සහෝදරයා විදියට සලකන ආයුර්වේදයේදී කියවෙන්නේ පුරුෂයා සහ ස්ත්‍රිය ලිංගිකව එක්වීමෙන් හුවමාරුවෙන දේවල් අනුව ඒ ඒ අයගේ ග්‍රහ බලපෑමුත් හුවමාරු වෙනවා කියලා . විවාහයෙන් යම් අපල තත්වයක් එනවානම් එන්නේ ඒ දේ වීමෙන් පසුව කියලා තමයි විග්‍රහ කෙරෙන්නේ . ඒ නිසා කායික එක්වීමට කලින් නම් නොගැළපීම කියන දේ හරි හැටි පෙන්නු කරන්නේ නැහැ . ඒ නිසා තමයි පුළුවන් හැම පැත්තකින්ම ගැළපෙන කෙනෙක් බඳින්න තෝරාගන්න  කියලා හැමදෙනාම කියන්නේ .

සමහරු කියනවා “ ආ එයාගේ කුජ හතේ ඉන්නේ . ඒ නිසා බඳින්න හොඳ නෑ කියලා . එහෙම කියන එක වැරදියි . හරියට බලන්නේ නැතුව කුජ දෝෂ තියෙන අයට තියෙනවා කියන එකත් දෝෂ නැති අයට නැහැ කියලා කියන එකත් වැරදියි . කුජ දෝෂය , එහෙමත් නැත්නම් භෞම දෝෂය එන්නේ කුජ හත්වැන්නේ උන්නු පළියටම නෙවෙයි . කුජ දෝෂ එන විදි මම ඔයාලට දැනගන්න මෙතන සටහන් කරන්නම් .

ලග්නයෙන් 1 2 4 7 8 12 කියන තැන්වල
චන්ද්‍රයා ඉන්න තැනින් 1 2 4 7 8 12 කියන තැන්වල
සිකුරු ඉන්න තැනින් 1 2 4 7 8 12 කියන තැන්වල ඉන්න නිසාත් මේ කුජ දෝෂය එන්න පුළුවන් .

ඒවගේම තමයි ශනි මංගල දෝෂය . මංගල කියන්නේ කුජ . සෙනසුරු සහ අඟහරු නිසා එන විවාහ දෝෂය තමයි මේ ශනි මංගල දෝෂය කියන්නේ . ශනි සහ කුජ එකට ඉන්න එක හෝ අන්‍යෝන්‍ය වශයෙන් දෘෂ්ටි ලැබීම නිසා තමයි මේ දෝෂය ඇතිවෙන්නේ .

ඒ නිසා කුජ දෝෂය තියෙනවා හෝ නෑ කියලා නිකන්ම කියන්න එපා . ඒවා පරීක්ෂා කරවලා තමයි බලන්න ඕන . කුජ දෝෂ තියෙනවා වගේම තමයි ඒවා නැතිවෙන්නත් ග්‍රහ පිහිටීම් තියෙනවා .

කුජ කියන්නේ ග්‍රහ මණ්ඩලයේ සටන් කාමි සෙන්පතියා . ඒ කියන්නේ ගින්දර වගේ සටන් කාමියෙක් . කුජ දෝෂය කේන්දරේ තියෙනවානම් , කුජ විසින් කලත්‍රයා මරන්න සූදානමින් ඉන්නවා . කේන්දරේ චන්ද්‍රයා තමයි රැජින . ඒවගේම චන්ද්‍රයා සිසිල් ග්‍රහයෙක් . ඉතින් කුජට චන්ද්‍රයාගේ බලපෑම එල්ලවෙනවානම් ගිනි ගොඩකට වතුර වත් කරනවා වාගේ මේ කුජ දෝෂය දුර්වල වෙලා හෝ නැති වෙලා යනවා . පුරෝහිත තනතුරේ ඉන්න බ්‍රහපතී වගේ බලවත් ග්‍රහයෙක්ගේ සංයෝගය හෝ දෘෂ්ටි වැටීම නිසා මේ දෝෂ නැතිවෙනවා . ග්‍රහයින්ගේ නීච ස්වක්ෂේත්‍ර වීම නිසා දෝෂ නැති වෙනවා . ඒ වගේ ඉගැන්වීම් රාශියක් තියෙනවා මේ දෝෂය නැති වීමට .

විවාහ වලට බලපෑම් කරන තවත් බහුල දෝෂයක් තමයි කාලසර්ප දෝෂය කියලා කියන්නේ . කේන්දරේක රාහු සහ කේතු ඉන්න ස්ථාන වලට අනුව ඒ දෙන්නාගෙන් එක පැත්තකට අනෙක් ග්‍රහයින් තැම්පත් වීම තමයි කාල සර්ප දෝෂය කියලා කියන්නේ . මේ දෝෂය එන විදි 12 ක් තියෙනවා . ඒ අනුව පලාඵල එන විදිත් වෙනස් වෙනවා . කේන්දරේ 1 , 7 හරහා මේ දෝෂය වැටෙනවානම් විවාහය සම්බන්ධව ටිකක් දුරට බලන්න වෙනවා කොහොම තත්වයක්ද තියෙන්නේ කියලා . ඒ වෙනුවෙන් පිළිවෙත් කරලා දෝෂය පාලනය කරගන්න පුළුවන් .

විෂ කන්‍යා යෝග පිහිටීම තවත් විවාහ දෝෂයක් . උපන් දිනය තිථිය නැකත අනුව විෂ කන්‍යා යෝග පිහිටනවා . මේවා නම් විවාහයට අශුභ තත්ත්ව තමයි අරගෙන එන්නේ . විෂ කන්‍යා යෝග තියෙන කේන්දර සහිත ස්ත්‍රීන් විවාහයෙන් පෙර වගේම පසුවත් දුක්බර ජීවිතයක් තමයි ගොඩක් වෙලාවට ගත කරන්නේ . විෂ කන්‍යා යෝග යෙදෙන හැටිත් භංග වීමත් තරමක් සංකීර්ණ ඉගැන්වීමක් .

කඩහන්දී දෝෂය කියලා තවත් දෝෂයක් තියෙනවා . විවාහ වෙන දෙන්නාට එකම මහ දසාවක් ලැබීම නිසා මේ දෝෂය ඇතිවෙනවා . මේක තරමක් මාරක තත්වයක් වෙන්න පුළුවන් කියලා ඉගැන්වෙන නිසා මේ දෝෂය පරීක්ෂා කිරීම සිදු වෙනවානම් හොඳයි කියලා තමයි කියන්න ඕන .

මීට අමතරව තවත් දෝෂ නම් රාශියක් තියෙනවා . වඳ යෝග , ප්‍රසූත දෝෂ , අමනුෂ්‍ය දෝෂ , අවිවාහ යෝග , කාමුක යෝග , සරාගී යෝග වගේ දෝෂ ගොඩක් විස්තර කෙරෙනවා . ඒ ඒ දේවල් පිළිබඳව සැලකිල්ලක් දක්වලා විවාහ පරීක්ෂාව කරනවානම් තමයි අද කාලේ හැටියට හොඳ . මොකද විවාහයක ප්‍රධාන අරමුණ වෙන්නේ දරුඵල ලැබීම . දරුවන් නැතිවීම අදකාලේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා .

පොරොන්දම් පරීක්ෂාවේදී වෘක්‍ෂ විතරක් බලලා විවාහ වීම නිසා දරුවන් ඇතිවීම ගැන කියන එක වැරදියි . කේන්දරේක 5 7 11 කියන ස්ථාන වල අධිපතීන් ඉන්න ග්‍රහයන් සහ ඒ අයගේ මිත්‍ර වීම අදාළ වෙනවා දරුඵල ලැබෙන්න . ඒවගේම පුත්‍රකාරක ගුරු බලවත් වීම වැදගත් වෙනවා දරුවන් ලැබෙන්න . මේ නිසා දරුඵල ලැබීම කියන දේත් පොරොන්දම් මත විතරක් පදනම් වෙලා බලන්න එපා . කේන්දරත් ගැළපෙනවද කියලා පරීක්ෂා කරලා බලලා තමයි තීරණය කරන්න ඕන .

විවාහයක තියෙන අනෙක් ප්‍රශ්නය තමයි දික්කසාද වීම . නොගැළපෙන අය විවාහ වුණාම විවාහයේ යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න බලනවා . ඒ නිසා පුළුවන් තරම් ගැළපෙන කෙනාම විවාහයට තෝරාගන්න බලන්න . එහෙමත් නැතුව විවාහ වෙන්න වුණා නම් ඊළඟට කරන්න ඕන සාමාජීය වශයෙන් වැරදි අඩුපාඩු හදාගෙන , තමන්ගේ ආශාවන් හැගීම් පාලනය කරගෙන , ලැබෙන දෙයින් සතුටු වෙලා ජීවත් වෙන එක . මොකද විවාහයේ ප්‍රතිඵල විදියට දරුවන් ලැබෙනවානම් දරුවන් ආරක්ෂා කිරීම සහ ඒ අයට ඕන සමාජීය සංස්කෘතිකමය වටපිටාව හදලා දීම තමයි දරුවන් ලැබීමෙන් පස්සේ විවාහය තුල වැඩියෙන්ම වැදගත් වෙන්නේ .






විවාහයේ දෙදරා යාමට දරුවන් නැතිවීම යම් හේතුවක් වෙන්න පුළුවන් . ඒ දේට මුණ දෙන්න බැරිකම නිසා මනස අවුල් කරගෙන පවුලත් අවුල් කරගන්නා අය නැතුවම නෙවෙයි . විවාහ වෙලා ළමයි නෑ කියලා කේන්දර අරගෙන එන අයත් නැතුවාම නෙවෙයි . මේ ප්‍රශ්න විසඳගන්න ඕන විවාහ වෙලා ඊට පස්සේ නෙවෙයි . විවාහ වෙන්න කලින් .

තමන්ට යම් ගැටළුවක් තියෙනවා කියලා කේන්දර බලලා කියනවානම් ඒවාට ප්‍රතිකාරත් ඒ විෂය හරහා තියෙනවා . ඒවා විවාහ වෙන්න කලින් ඉඳලාම කරනවානම් විවාහ වෙලා දරුවෙක් ලබාගන්න පුළුවන් යම් සම්භාවිතාවයක් ඇතිකරගන්න පුළුවන් . මොකද මේ ප්‍රතිකාර වලදී කෑම බීම , අඳින ඇඳුම පැළඳුම , වගේ දේවල් වල ඉඳලා යම් සංයමයක් ඇතිකරගන්න උවමනා වෙනවා . විවාහ වෙලා මේ ප්‍රතිකාර කරලා , අද කරන ප්‍රතිකාරයෙන් හෙට දරුවෙක් පිළිසිඳ ගන්නේ නැහැ . සමහර විට අවුරුද්දක වගේ කාලයක් වත් ප්‍රතිකාර කරන්න වෙනවා . මොකද ඇඟට තියෙන ග්‍රහ කිරණ බලපෑම අඩුවෙලා යන්න කාලයක් ගන්නා නිසා . අවුරුදු 20ක් 30ක් ඇඟට තියෙන ග්‍රහ බලපෑම ඉවත් වෙන්න දවසෙන් දෙකෙන් කරන ප්‍රතිකාර වලින් බැහැ .

ඒ නිසා අවදානමට පෙර සූදානම් කියලා ජ්‍යෝතිෂ විද්‍යාව අනුව විවාහ පරීක්ෂා කිරීමේ ඉහළ වැදගත් කමක් තියෙනවා . දැන් දැන් ඒ ප්‍රවණතාවය වැඩි වෙනවා වගේම තමයි මේ විෂයට ගරහන අයත් වැඩි වෙනවා . ඒත් නූතන විද්‍යාවේ දියුණුව තියෙන්නේ තමන් ළඟ කියලා පෙන්වන ඇමරිකාව එංගලන්තය රුසියාව වගේ රටවල් වලත් ජ්‍යෝතිෂ විද්‍යාව අනුව පර්යේෂණ කෙරෙනවා . මොකද ක්වොන්ටම් විද්‍යාව දියුණු වෙන්න වෙන්නම ඒ විෂය සහ ජ්‍යෝතිෂ විෂය අතර බැඳීම වැඩිවෙන නිසා .

පෙරදිග ජ්‍යෝතිෂ සිද්ධාන්ත වගේම බටහිර ජ්‍යෝතිෂ සිද්ධාන්තත් බිහිවෙලා තියෙනවා . ඒවායේත් පැහැදිලි සත්‍ය තාවයක් පෙන්නුම් කරන නිසා ඒවාත් නරකයි කියලා විසි කරන්න බැහැ . පාරම්පරිකයි කියලා පරණ දේ විසි කරන්නත් නූතන දේ හරි කියන්නත් බෑ වගේම තමයි අලුත් කියලා නූතන දේ විසි කරන්නත් පාරම්පරිකයි කියලා පරණ දේ බැඳ තබාගන්නත් බැහැ . බුද්ධිමය විමසුම අනුව වැඩ කිරීමයි අද කාලේ වැදගත් .

අවසාන වශයෙන් මම ජ්‍යෝතිෂ විද්‍යාව ගැන අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රීය මහානායක ස්වාමීන් වහන්සේ විසින් ආචාර්ය රෝහන් සිසිරකුමාර මහතාගේ ජ්‍යෝතිෂ පිවිසුම 1 පොතට ලිව්ව පූර්විකාවේ කොටසක් සටහන් කරන්නම් . ලිපිය අවසානයේ ඔයාලාගේ හිත් වලට එන ප්‍රශ්නයට ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ ඒ අදහස සාර්ථක උත්තරයක් දේවි .

“ යම් තම් පංචාංග ලිතක් බලාගෙන වේලාව වත් හරියට ශුද්ධ කොට නොගෙන දළ කේන්ද්‍රයත් තනාගෙන රාශි භාව දෙකේ වෙනස වත් හරියට තේරුම් නොගෙන වරදවා අනාගත ඵල කියන අයගේ ප්‍රකාශන බොරුවී යෑම නිසා මේ විශ්ෂ්ඨ ශාස්ත්‍රය සමහර විද්වතුන්ගේ නිග්‍රහයට ද ලක්ව ඇත “


අවසාන වශයෙන් ,
ජ්‍යෝතිෂ විද්‍යාව ඇතිකළ දියුණුකළ ප්‍රධාන වශයෙන් දහඅටක් වූ මහා සෘෂි වරුන්ටත්
පර්යේෂණ කරමින් තම අත්දැකීම් සෘෂි මතය හා ගළපමින් ජ්‍යෝතිෂය දියුණු කල පුරාණ ආචාර්ය වරයින්ටත්
මාගේ ගුරුවරයින්ටත්
නමස්කාරය වේවා !

දියුණුවෙන් දියුණුවට පත්වේවා !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

වයලීනෝ
පාරම්පරික ජ්‍යෝතිෂවේදී ( ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය )
විද්‍යාවේදී ( ජෛවීය විද්‍යා )  ශ්‍රී ජයවර්ධනපුර
Fb - ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය - Prabhashwara Jyothisha Sewaya
Email – prabhashwara.astro@gmail.com

ජෛවීය විද්‍යාවේ ඉගැන්වෙන විදියට යම් විශේෂයක අකණ්ඩ පැවැත්ම තහවුරු වෙන්න නම් ඒ ජීව විශේෂය අනිවාර්යයෙන්ම තමන්ගේ ජාන පරම්පරාව ඉදිරියට ...

යන්ත්‍ර පැළඳවීම









යන්ත්‍ර පැළඳවීම යන කාර්යය සාමාන්‍යයෙන් කේන්ද්‍ර සටහන් පරීක්ෂා කිරීම තරම් පහසු සරල කාර්යයක් නොවේ . එය ඒ වෙනුවෙන් යම් කැප කිරීමක් සිදුකර ඒ වෙනුවෙන් කලයුතු උපචාර විධි අනුගමනය කරමින් සිදු කරනු ලබන කාර්යයකි . නමුත් මෙය මැජික් එකක් ද නොවේ . අක්ෂර ගණ මාත්‍රා සහ ශක්තිය යම් විනයක් සහිතව හැසිරවීම මගින් සාදන යන්ත්‍ර මගින් ස්වභාවික ශක්තිය යම් වෙනස්කම් වලට භාජනය කිරීමට හැකි වීම යන්ත්‍ර විද්‍යාවේ මූලික සිද්ධාන්තයයි . සිද්ධාන්ත නොදැනීමත් , ශිල්පීය ක්‍රම නොදැනීමත් සහ මුදල් පසුපස හඹා යාමත් නිසා මෙම ප්‍රතිකාර ක්‍රමය අද අභාවයට ගොස් තිබෙන අතරම වංචනිකයින් විසින් පිරිවරාගත් ශිල්පයක් බවට පත් වී ඇත .

කාලයක් තිස්සේ අධ්‍යනය කරගෙන එන ලද පාරම්පරික උරුමයෙන් ලත් එම විෂය පථය ඔස්සේ අප විසින් යම් යම් අත්හදා බැලීම් සිදුකරන ලද අතර එම අත් හදාබැලීම් සාර්ථක වීම මගින් අනාදිමත් කාලයක සිට පැවත එන ලද එම විෂයයේ අද්විතීය බව මනාව පැහැදිළි විය .

ජ්‍යෝතිෂ ශාස්ත්‍රය සහ යන්ත්‍ර විද්‍යාව යන විද්‍යාවන් දෙක සම්මිශ්‍රණය කරමින් කරන ලද මෙම කාර්යයන්ගේ අප ලද වඩාත් ඉහළම ජයග්‍රහණය වූයේ පිළිකා තත්වයකට ගොදුරු වූ රෝගීන් කීහිප දෙනෙකුගේ පිළිකා තත්වය , ඖෂධ ලබාදීමටත් ප්‍රථමයෙන් පාලනය කිරීමට හැකියාව ලැබීමයි .

සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . ඒ සඳහා මූලිකව යන්ත්‍ර ඇඳීම මම විසින්ම අතින්ම සිදු කරනු ලබන අතර ඒවායේ අනෙක් කටයුතු අවශ්‍යතාවය පරිදි අපගේ පාරම්පරික ශිල්පීන් දායක කරගනිමින් සිදු කරනු ලැබේ .

ග්‍රහ අපල සඳහා යන්ත්‍ර පැළඳවීම ආකාර දෙකකට සිදු කරනු ලැබේ . ඔබවෙත යම් යන්ත්‍රයක් පැළඳවීම නියම වී තිබේ නම් එය ඉටුකර දීම එක් සේවාවකි . අපගේ ජ්‍යෝතිෂ සේවය මගින් ජන්මපත්‍ර පරීක්ෂා කිරීමෙන් අනතුරුව නියම කරනු ලබන යන්ත්‍ර පැළඳවීම අනෙක් සේවාවයි .

හෙනරාජ , රාජතරංගනී , මහා මාතාන්ගේශ්වරී , කක්ෂ ආදී මහා යන්ත්‍ර කෙනෙකුට අවශ්‍ය වන්නේ නම් පළමුවෙන් ම අපගේ ජ්‍යෝතිෂ සේවාව හා සම්බන්ධ වී ජන්ම පත්‍ර සටහන පරීක්ෂා කරවා එය තමන්ට ගැළපෙන්නේ ද කියා තහවුරු කරගැනීම අවශ්‍ය වේ . එබැවින් යම් කෙනෙකු තමන්ට පැළඳීමට නියම කරනු ලබන ග්‍රහ අපල නිවාරණ යන්ත්‍ර හැරෙන්නට අනෙක් සියලුම යන්ත්‍ර පැළඳවීම අප විසින් සිදු කරනු ලබන්නේ පුරාන චාරිත්‍රාණුකූලව ජන්ම පත්‍ර සටහන පරීක්ෂා කිරීමෙන් පසුව බව සිහි තබාගත යුතුය .

මෙය ව්‍යාපාරයක් නොවන අතර මෙම යන්ත්‍ර පැළඳවීම වැඩි වශයෙන්ම ආරම්භ කරන ලද්දේ පිළිකා රෝගීන් ගේ යහපත උදෙසා මෙම විෂය ඔස්සේ යමක් කිරීමට හැකිබව සනාථ කරගත් පසු බව ඔබ සිහි තබාගත යුතුය .




වැඩි විස්තර සඳහා අපගේ ෆේස් බුක් පිටුව හරහා සම්බන්ධ වන්න .

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය 

යන්ත්‍ර පැළඳවීම යන කාර්යය සාමාන්‍යයෙන් කේන්ද්‍ර සටහන් පරීක්ෂා කිරීම තරම් පහසු සරල කාර්යයක් නොවේ . එය ඒ වෙනුවෙන් යම් කැප කිරීමක් ...

මරු විස කලාව






අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ පහුගිය පසළොස්වක පෝය දවසේ ඔය කැලෑවට බැහැලා මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලා බලලා ටිකක් සුද්ද කරලා දන්න ඕන කියලා කල්පනා කරා . අම්මගෙන් ලකුණු ටිකක් දාගන්නත් එපාය .

වැඩිපුරම උවමනාව තිබ්බේ බෙහෙත් පැළෑටි මොනවද තියෙන්නේ කියලා බලන්න . මේ පැත්තත් නිවර්තන තෙත් සදාහරිත පැත්තක් නිසා මේ වනාන්තරවල වැවෙන රාජකීය පැළෑටි මේ වත්තෙත් තියෙනවද කියලා බලන්න තමයි වැඩිපුරම උවමනාව තිබ්බේ . වේවැල් පුස් රසකිඳ හොර නැදුන් වගේ නිවර්තන තෙත් වනාතරවල දකින්න ලැබෙන ගස් වැල් කීපයක්ම ඒ වත්තේ තියෙනවා . රාජකීය පැළෑටිනම් පේන්න නැහැ . ඒ නිසා මම හිතාගෙන ඉන්නේ රාජකීය පැළෑටි ඇතුළුව මොනවා මොනවාහරි වවලා තියන්න .

ඉතින් සුද්ද කර කර ඉන්නකොට අම්මා ඉස්සෙල්ලම කියන්න ගත්තා මේ පෝය දවසේ කැලෑව ඇතුලේ රිංගන්න එපා , එන්න කියලා . ඊට පස්සේ පුංචිත් එලාම් එක නාද කළා . ඒ මදිවට කොහේදෝ ඉඳලා ආව අපේ මාමත් කියන්න ගත්තා මේ පසළොස්වක පෝය දවසේ මොන එහෙකට කැලේ රිංගනවද කියලා .


පස්සේ තමයි මට මතක් උනේ . පසළොස්වක දවසට සර්ප විෂ උග්‍ර වෙනවා කියලා ආච්චි අම්මා වෙදකමේදි ඉගැන්නුවා නේද කියලා . හඳේ ගමනත් එක්ක සර්ප විෂ අඩු වැඩි වෙනවා . පසළොස්වක වෙනකොට වැඩිවෙන විෂ අමාවක වෙනකොට අඩුවෙලා අමාවක ඉඳලා ආයෙත් වැඩිවෙන්න පටන් ගන්නවා . ගොඩක් දේවල් ඒ වගේ තමයි . සෙත් කවි උනත් කියන්න හොඳ අමාවක දවසට පටන් අරගෙන . එතකොට හඳ පිරෙනවා වගේ ජීව ගුණයත් වැඩි වෙනවා . පසළොස්වක දවසට පටන් ගත්තම වෙන්නේ හඳ බහින කාලේ එන නිසා හඳ අඩුවෙනවා වගේම ජීව ගුණයත් අඩුවෙන එක . එකනේ හඳ මෝරනකොට පිස්සන්ට පිස්සු වැඩි වෙන්නේ . සිංදුවා අයියා නම් මේ හඳ ගමන වැඩි වෙනකොට පිස්සන්ට පිස්සු වැඩි වෙන එක ගැන හොඳට දන්නවා .

ඉතින් අද කියන්න යන්නේ විස වෙදකමේ කියන මේ මරු විස කලාව කියන එක සතියේ දවස් හතට කොහොමද බලපාන්නේ කියලා . ඉස්සෙල්ලම කියන්න ඕන මේ මරු විස කලාව ගැන මම හිතන දේ . මෙතන මමනම් හිතන්නේ මරු ඉන්නවා කියලා කියන්නේ වසවර්ති මාරයා ඉන්නවා කියන එක නෙවෙයි . මෙතන කියන්නේ මරු ඉන්නවා කියල , ඒ දවසේ ඒ වෙලාවට ශරීරයේ මේ කියන තැන ක්‍රියා කාරීත්වයේ වෙනසක් තියෙනවා කියන එක .

සඳුදා අයිති සඳුට
අඟහරුවාදා අයිති අඟහරුට
බදාදා අයිති බුධට
බ්‍රහස්පතින්දා අයිති ගුරුට
සිකුරාදා අයිති සිකුරුට
සෙනසුරාදා අයිති සෙනසුරුට
ඉරිදා අයිති රවිට

මෙහෙම අයිතියි කියලා කියන්නේ ඒ දවසට ඒ ග්‍රහයාගේ බලපෑම වැඩි නිසා . මේ දවසට මේ ග්‍රහයාගේ බලපෑම වැඩියි කියලා කියන්නේ ඒ ග්‍රහයාගේ ඉඳලා පොළවට එන කිරණ වල යම් කිසි අසමතුලිත බවක් තියෙන එක . ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව අනුව මේ කිරණවල යම් විශේෂිත සංඛ්‍යාතයකට අයත් ශක්තියක් ගබඩා වෙලා තියෙනවා .මේ ශක්තිය ශරීරයේ ඒ ඒ තැන්වලට බලපාන ආකාරය අනුව මේ මරු කලාව ඇතිවෙලා තියෙනවා කියලා තමයි මමනම් හිතන්නේ . ග්‍රහයින්ගේ ගමන අපිට නොදැනුවත්වම උනත් අපේ ඇඟට බලපානවා . සූර්යයාගේ කිරණ , සූර්යයාගේ ගමන අනුව ප්‍රභාසංශ්ලේෂණය , ශාක ආවර්තී චලන වගේ දේවල් ක්‍රියාත්මකවෙන යාන්ත්‍රණ සිද්ද වෙනවා වගේම තමයි මනුෂ්‍ය ශරීරයටත් මේ ග්‍රහයින්ගේ ගමන බලපවත්වන්නේ .

විස වෙදකමේ මේ මරු විස කලාව අනිවාර්යෙන්ම බලනවා . වෙදකම් කරනකොට මන්තර මතුරලා , නැත්නම් බෙහෙත් ඖෂධවලින් ඇඟේ තියෙන විස එහා මෙහා කරලා තමයි විස බස්සන්නේ . මේ විස බස්සන ශිල්පයේදී ඒ ඒ වෙලාවට මරු විස කලාව නැගලා තියෙන තැනට විෂ සාන්ද්‍රගත වෙන්නේ නැතිවෙන්න වෙදකම කරන අය වගබලා ගන්නවා . එහෙම වගබලාගත්තත් ස්වාභාවික නැඹුරුතාවය තියෙන්නේ මේ තැන් වලට විෂ සාන්ද්‍රගත වෙන්න .

ඒනිසාම විෂ වෙදකමේදී මේ අදාළ වෙලාවේ අදාළ තැන් වලට විෂ එන්න දෙන්නේ නැහැ . බෙහෙත් වලට වඩා මන්තර තමයි විෂ එහා මෙහා කරන්න දායක වෙන්නේ . දෙහි කොළ අත්ත , අහු කොළ අත්ත , කොහොඹ කොළ අත්ත , ගුරුල්ල  කොළ  අත්ත වගේ එක එක අතු වලින් මතුරලා විෂ බස්සනවා . ඊට වඩා භයානක දේ තමයි ඒ වෙලාවට විස තියෙන සතෙක් ඔය මරු කලාව පිහිටලා තියෙන තැනට දෂ්ට කිරීම .

එහෙම දෂ්ට කිරීමක් උනොත් එතන විෂ සාන්ද්‍රණය එකපාරටම ඉහල යන නිසා අනිවාර්යෙන්ම මරණයට පත්වෙනවා කියල පුරාණ වෛද්‍ය ග්‍රන්ථ වල සඳහන් වෙලා තියෙනවා . මේ විස මරු කලාව විස වෙදකමට විතරක් නෙවෙයි . නිල වෙදකමටත් ඉතාම දායක වෙන දෙයක් . මොකද ඇඟේ වැදගත් මරමස්ථාන වල තියෙන නිල වලටත් මේ විස මරු කලාව පිහිටන නිසා . ඒවගේම තමයි මේ තැන් වල මේ වෙලාවට තුවාල වීම් තැලීම් එහෙම උනත් ඒවා සුවපත් වෙන්න ටිකක් කල් ගන්නවා කියලා අත්දැකීම් අනුව කියලා තියෙනවා . මෙන්න මෙහෙමයි මරු විස කලාව දවස් හතේ පිහිටන්නේ .

ඉරිදා උදයට නෙත් පිට සිටියා
ඉරමුදුනට මරු තන කිහ සිටියා
එමදා සවසට හිස පිට සිටියා
ඉරිදා දින මරු මේ ලෙස සිටියා

සඳුදා උදයට වළලු කරේයා
ඉර මුදුනට මරු දකුණු දනේයා
සවසට ඉන්නේ හිස් මුදුනේයා
සඳු දින මරු එයි මේ සැටියේයා

කුජ දින උදයට පිටි පතුලේයා
ඉර මුදුනට දනහිස් පිට සිටියා
සවස දිනට ගොස් තන කිහ සිටියා
කුජ දින තුන් වරුවට මෙලෙසේයා

බුද දින උදයට දකුණු උරේයා
ඉර මුදුනේ සංදිය වැලමිටෙයා
සවසට මරුයෙයි මැණික් කටුවෙයා
බුද දින මරු යෙයි දැන මෙලෙසේයා

ගුරු දින උදයට දකුණු දනේයා
ඉර මුදුනට උරයට එන්නේයා
සවසට මරු ගොස් හිස්මුදුනේයා
ගුරු දින මරු එයි මේ විලසේයා

කිවි දින උදයට සඳුන් පොතේයා
ඉර මුදුනට වෙයි දකුණු උරේයා
සවසට මරු එයි හිස්මුදුනේයා
කිවි දින විස මරු එයි මෙලෙසේයා

සැනි දින උදයට හිස් මුදුනේයා
ඉර මුදුනට වම් උරපිට සිටියා
සවසට තන මඩලේ මරු සිටියා
සැනි දින විස මරු එයි මෙලෙසේයා

කවිවල තේරුම් ඉතින් අමුතුවෙන් ලියන්න උවමනා නැහැනේ . ඒ නිසා මරු විස කලාව මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා දැනගෙන කටයුතු කරන්න කියලා කියමින් අද ලිපිය අවසන් කරනවා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ පහුගිය පසළොස්වක පෝය දවසේ ඔය කැලෑවට බ...