හනුමා වසඟය






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.

( කියවන්න කලින් මේක ප්ලේ කරන්න )




වසර නවසියයකට අධික කාලයක් ඈතට දිව යන අපගේ පවුලේ ලේඛනගත ප්‍රෞඩ ඉතිහාසය , සීයා සිදුකල කුඩා සහ මහා පරිමානයේ ගුරුකම් හා ඒවායේ සඵලත්වය මගින් ලොවට හඬගා කියනු ලැබේ . අප ජීවත් වන ගමටද ඉන් එපිට වෙනත් ගම් වලටද පමණක් නොව , සීයාගේ සේවය ගම්පහ කුරුණෑගල අනුරාධපුරය පොළොන්නරුව ආදී විවිධ පළාත් වල අසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් සිදු කෙරිණි . මේ මොහොතේ මා විසින් ඔබ සියල්ලටම කලයුතු කිසියම් වූ යුතුකමක් ඇත . එනම් පරම්පරාවේ ගුරුකම් ශාස්ත්‍රය වෙනුවෙන් මා අවතීර්ණ වීම පිලිබඳ කිසියම් යමක් පැවසීමයි .

පිරිවෙන් ශාස්ත්‍රය අවසාන කල පසු පවුලේ ඊළඟ උරුමක්කාරයා වශයෙන් මා දිගු ගමනක් යාමට සූදානම් බව , සීයා පවුලේ සියලු දෙනා ඉදිරියේ එක හඬින් ප්‍රකාශ කළේය . ඒ වෙනතුරු මා හට මන්තර ගුරුකම් තියා වෙනත් කිසිඳු ගුප්ත කටයුත්තකට සම්භන්ධ වීමට හෝ ඒ පිළිබඳව අධ්‍යනය කිරීමට ඉඩ අවකාශය ලැබුණේ නැත .

පූර්වෝක්ත වරණයට පසු මා මාස තුනක් කිල්ලෙන් හා මස් මාළු පිළී අනුභවයෙන් වැළකුනෙමි . ඒ සීයාගේ විධානයකට අනුවය . මාස තුන නික්ම ගිය අනතුරුව සීයා මා කැටිව දෙවිනුවර උත්පල වර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයට ගොස් පරපුරේ චිරාගත සම්ප්‍රදායානුකූල ගිවිසුමකට මා ඇතුලත් කළේය . අපගේ හදගැස්ම පවා දෙවිනුවර දේවාලයට අයත් බව වරෙක සීයා පවසයි . ඒ එතරමටම දෙවිනුවර දේවාලය හා අප පවුල අතර පවතින බැඳීම හේතුවෙනි .



මහපටඟිල්ල දෙහි කටුවකින් සිදුරුකර ඉන් වැහෙන රුධිර බිංදුව දේවාලයේ ඉදිරිපස සඳකඩපහනේ තවරා , ජීවිතය පරදුවට තබමින් ගුරුකම රැකීමටත් , පරපුරේ ලෙයින් පිටට ගුරුකම නොයැවීමටත් , ලාභ ප්‍රයෝජන තකා ජීවිත හානි නොකිරීමටත් , ඊළඟ උරුමකරුවෙකු එක්නොවුනහොත් පොත් සියල්ල ගිනි තබා ගුරුකම හා පරපුර එතනින් හමාර කිරීමටත් දෙවියන් ඉදිරියේ මම පොරොන්දු වීමි .

එය එසේ කරන්නේ ඇයි කියා එදින මාහට නොවැටහුනද , ගුරුකම පිළිබඳව යම් තරමක දැනුමක් ලද පසු මා හට එය මනාව ප්‍රත්‍යක්ෂ විය . මෙම දැනුම ලබන්නා පුද්ගලයා මනා හික්මීමක් සහිත , මනුෂ්‍ය හා අමනුෂ්‍ය උභය ගති පැවතුම්වල සම්ප්‍රයුක්තයක් සහිත පුද්ගලයෙකු විය යුතුය . නැතිනම් මෙම ගුරුකම ඔහුට පිහිටන්නේ නැත .
මාහටද එවැනි මානුෂීය කඩතුරාවෙන් වැසුණු අමනුස්ස ගති පැවතුම් ඇති බව පසු කාලෙක මාගේ ජීවිතය දෙස හැරී බලනවිට මටම ප්‍රත්‍යක්ෂ විය .

අද දින මා සිංහාවලෝකනහි යෙදෙනුයේ අපගේ වලව්වට අලුත් අංජනමක්  ලැබීම හා සීයා විසින් හනුමා වසඟයට ගැනීම පිලිබඳවය . මෙම විශේෂ කටයුත්තට සීයා අත තැබුවේ මා මන්ත්‍ර ශාස්ත්‍රය පිලිබඳ යම් ප්‍රවීනත්වයක් ලද පසුවය . සීයා සතුව පැවති පැරණි අංජනම සීයාගේ පියා විසින් සීයාට සාදා දෙන්නක් විය . එය ඉතාම බලගතු අංජනමක් විය . ඕනෑම මොහොතක එය ක්‍රියාත්මක කරවා අංජනම් එලිය යවා එයින් අවශ්‍ය කටයුතු කරගැනීමට හැකියාව තිබිණි . සක්‍රයාගේ සිට ගෙවලයා දක්වා ඕනෑම අමනුෂ්‍යයෙකු මෙම අංජනමට ගෙන්විය හැකි විය . මෙම අංජනම සකසා තිබුනේ පිඟන් මැටියෙන් සාදන ලද කුඩා පෙට්ටියක ඇතුල් පැත්තේ අඳුන් බෙහෙත් තවරා මනාව පිළියෙළ කිරීමෙනි .



දිනක් සීයා බලගතු ගුරුකමක් සිදුකර නිවසට පැමිණීමේදී අදාළ දිෂ්ටිය සීයාගේ සිරුරෙන් හරියාකාරව බැහැර නොවීම හේතුකොට , වලව්ව ඉදිරියේම හෙහෙම සිහිසුන්ව ඇද වැටුනේය . මේ මොහොතේ සීයා අතැතිව තිබිණු අඳුන් මංජුසාවද බිම වැටී තුන් හතර කඩකට කැඩී පොඩි වී ගියේය . මෙය අප වලව්වේ ඉතාමත්ම තීරණාත්මක සංසිද්ධියක් විය . ඊට හේතුව ගුරුකම් කරන්නන්ට අංජනම ඉතාමත් වටිනා වස්තුවක් වීමයි . සීයා යථා තත්වයට පැමිණියද අංජනම නැවත යථා තත්වයට ගන්නට පුළුවන් කමක් තිබුනේ නැත .

එහෙයින් නව අංජනමක් සෑදීමට අවශ්‍ය බව තදින්ම සීයාට වැටහෙන්නට ඇත . සීයා අංජනමක් සෑදීමට අවශ්‍ය බව මාහට පවසා ඒ සඳහා මුල පිරුවේය . එහෙත් ඔහුට මේ පිළිබඳව යම් චකිතයක් තිබුණු බව මා හට යම් යම් අවස්ථා වලදී දැනිණි . ඒ ඇයිද කියා මට අදටද හිතාගත නොහැක .

" පුතේ දැන් නම් අංජනම නැතුව මුකුත් කරන්න බෑ . අපි අලුත් එකක් හදමු . මම පාවිච්චි කලේ අපේ තාත්තා මට හදලා දීපු එක . ඒකෙ වැරැද්ද උනේ පිඟන් මැටි භාජනෙක තිබුණු එක . නැත්නම් ඕක තාමත් යස අගේට තියෙනවා . මේ වතාවේ ඉන්නකෝ මම ඕක කල් පවතින්න හදන්නම් "

යයි පවසමින් සීයා එම මහඟු කර්තව්‍යයට මුල පිරුවේය . පළමුවම සීයා නැකත් බලා පක්ෂියා රජ කරන සුදුසු නැකතකට අනුව නිවසේ  එක් පැත්තක කුඩා මැටි ගෘහයක් තැනීමට මුල පිරීය . අංජනම් සෑදීමට භාවිතා කරන්නේ නැවුම් නිවෙස්නයක් වීම ඊට හේතුවයි .

" සීයේ , ඇයි මේ අලුතෙන් මැටි කාමරයක් හදන්නේ ? . අපිට ගෙදර කාමරයක් සුද්ද කරලා හදන්න බැරිද ? "

" නෑ පුතේ එහෙම කරනකොට අංජනම සාර්ථක වෙනවද නැත්ද කියලා විශ්වාස කරන්න බෑ . මොකද දෙවි දේවතාවුන් වහන්සේලාට අමනුස්සයින්ට වඩින්න පුළුවන් තැනක තමයි මේ වැඩේ කරන්න ඕන . ඔන්න පුතා මේ චාරිත්‍ර වාරිත්‍ර හොඳට බලාගන්න ඕන හොඳද ? "

මේ ආකාරයෙන් සීයා එකින් එක පහදමින් මෙම ක්‍රියාදාමය සිදු කරන්නට විය . කිවයුතු වැදගත්ම කරුණක් නම් මෙම වත්පිළිවෙත් සඳහා පිටස්තරයෙකු සම්භන්ධ කර නොගැනීමයි . මැටි නිවස තැනීමේ සිට අවසානය තෙක් සියල්ල කරන ලද්දේ සීයා සහ මම විසිනි .

දින දෙකකදී පමණ සීයා සහ මා විසින් දඬු සිටුවා හරස් ලී බැඳ මැටි ගසා එක් පුද්ගලයෙකුට සිටීමට හැකි මැටි කාමරයක් සකස් කළේය . දැන් එළැඹ ඇත්තේ එම නිවෙස්නය දෙවියන්ට කැප කිරීමයි . සීයා වරු 7ක් මෙම නිවසේ පහන් දල්වා කහ දියර ඉසිමින් සුවඳ දුම් අල්ලමින් පිරිත් සහ මන්ත්‍ර රාශියක් ජපා කළේය . ඒ අතරතුර හනුමා අංජනදේවී ආදී අංජනම් භාර දෙවිවරුන් සහ මහසෝනා රීරි යකා ආදී යක්ෂ සමූහයාටද මෙම නිවෙස්නයට ආරාධනා කළේය . එතැන් පටන් සීයා මෙම නිවසට ඇතුළුවීමට හෝ අසලට පැමිණීමට හෝ නිවසේ සියල්ලන්ටම තහංචි පැමිණීය . එය මාහටද එසේම ක්‍රියාත්මක විය .



වත් පිළිවෙත් ඉටු කිරීමට නිවසට ඇතුළු වූයේ සීයා පමණි . දිනක් සීයා අලුත් මිරිස් ගලක් රැගෙන ආවේය .

" පුතේ මේ මිරිස් ගල කහ වතුරෙන් හෝදන්න ඕන හොඳට . අපි හෙට මේ වැඩේ පටන්ගමු . ඊට පස්සේ ඉතින් මේක ඉවර වෙනකං පුතාට තමයි වැඩ තියෙන්නේ "

කියමින් සීයා මද සිනහවක් පෑවේය .

මම මිරිස්ගල සේදූ පසු සීයා එය රැගෙන ගොස් ඉහත කී මැටි නිවසේ පසෙක විශේෂයෙන් සකසන ලද උස ස්ථානයක තැම්පත් කළේය . එතැන අපහසුවකින් තොරව හිඳ ගැනීමට හැකි බංකුවක්ද තැබීය .

පසුවදා සීයා අංජනම සෑදීම ආරම්භ කළේය . සීයා කලින් කී ලෙස මා හට වැඩ වැඩි වූයේ මෙතැන් සිටය .
පසුවදා සීයාගේ විධානයට අනුව මා හොඳින් නා පිරිසිදු උනෙමි . පසුව මාහට දෙහි ගෙඩි විශාල සංඛ්‍යාවක් කපමින් මාගේ වස් දොස් දුරු කිරීමට සීයා ක්‍රියා කළේය .

ආයු බෝ වෙවා
කල සෙත උතුම් වේවා
දෝස දුරු වේවා
සක්‍ර මහ බඹු ආයුබෝවා


කියමින් සීයා මා හට ආශිර්වාද කළේය . අනතුරුව මා සීයාගේ මග පෙන්වීම අනුව පළමුව සීයා ඇතුළුව අම්මා තාත්තා ආච්චිඅම්මා යන අයගේ දෙපා වැඳ  නිවස ඉදිරියේ ඇති අඹ ගසට නැග ගත්තෙමි . සීයා මේ පෙළගැසෙන්නේ හනුමන්තා මාගේ සිරුරට ආවේශ කරවීමට විය යුතුය . ගුරුකුලයේ පැවැත්ම වෙනුවෙන් මෙවන් වික්‍රමයන් සිදුකලද සීයාගේ මනුස්සකම් පසුපස සැඟවී සිටින අමනුස්සයින්ගේ රෞද්‍ර ස්වරූපය මාගේ හදවතට ඒ මොහොතේ දැනෙන්නට විය . එහෙත් දිවි පරදුවට තැබීමට මා උපුල්වන් දෙවියන් වෙත කල පොරොන්දුව මත හිඳිමින් මා අඹ ගසට නැග ගත්තෙමි .

සීයා ක්‍රමක්‍රමයෙන් වේගවත් වන ස්වරයෙන් හනුමන්තා හට ආරාධනා කරන්නට විය .

..... ආතාල බන්ධ පාතාල බන්ධ සිවුකොන අටකොන සොළොස්කොන බන්ධ බන්ධාමි හනුමන්තා දේව රාජා බන්ධාමි අදත් මාගේ මෙරඟ මඩලට දිෂ්ටි ලා ගිනි ගිනි හනුමා දේවරාජා සෙල්ලුම් ක්‍රලාඩි බාහේස් ගුරුලා වන්දනේ ඉරන්ද පෝනුම් සුවරවර වරියේ වෙල්ලක් කොන්ඩු ඉරිනුත්තු සෙල්ලුම් පේසු වර වර දේව රාජා පුර මෙත්ත පුඩයුම් කයිවීර හනුමා දේව රාජා බන්ධ බන්ධාමි වර වර ඒස්වාහඃ ...... ඕන් හරගුරු හනුමා දේවරාජා වර වර ...............

ආදී මන්ත්‍ර ජප කරන්නට විය . පැය භාගයක් පමණ වනතුරු මන්ත්‍ර මතුරත්ම මාගේ සිරුර ගිනි ගන්නාක් මෙන් දැනිණි . සීයා එකවරම අතට ගත් හක්ගෙඩිය නාද කළේය . මාගේ මතකයේ ඇත්තේ එපමණකි . ඉන් පසුව දින තුනක් ගතවනතුරු මා හට ප්‍රකෘති සිහිය තිබී නැත . ආවේශ වූ හනුමා දිෂ්ටිය විසින් මාගේ සිරුර මෙහෙයවා තිබෙන්නේ අංජනම සෑදීමට අවශ්‍ය බෙහෙත් වර්ග සොයාගනීමටය . මෙම දින තුනම ආහාර පවා නොගෙන සිටීම පිළිබඳව ඔබ වික්ෂිප්ත වනවාට සැකයක් නොමැත .



නමුදු සිදු වූයේ එයයි . එහෙත් සමහර විටෙක ආවේශ වූ දිෂ්ටියෙන් ගමන් කරන අතරවාරයේ මා පලතුරු හෝ වෙනත් ගෙඩි වර්ග කා ඇලක දොලක ජලය පානය කරන්නට ඇත . එසේ කීමට හේතුව වූයේ මා හට පියවි සිහිය එන මොහොතේ කිසිඳු බඩගින්නක් හෝ පිපාසාවක් නොදැනීමයි . සෑම දිනකම සවස 6ට සීයා විසින් මන්ත්‍ර මතුරා සක් පිඹ මා කැලයට මුදා හැර ඇත . නැවත මා සොයාගන්නේ පසුවදා මධ්‍යන්‍යයයේ .

සීයා කැලයේ කෙලවටකට කරත්තයෙන් පැමිණ මන්ත්‍ර මතුරා වස් දණ්ඩ කීප වතාවක් නාදකර ඇත . එවිට ඊට අවනත වන දිෂ්ටිය විසින් මා සීයා අසලට ගෙන යයි . එවිට මා ගොස් තිබෙන්නේ අංජනමට අවශ්‍ය බෙහෙත් වර්ගද අතැතිව බව සීයා පසු දවසෙක මාහට සිහිය ආවිට පැවසීය . දිෂ්ටියෙන් සිටි මා දිවා කාලයේ සිට සවස තෙක් කලින් සාදන ලද මැටි නිවසේ ඉතාම තද නින්දක පසු වූ බව සීයා පැවසීය . මා නිදි ගැන්වීමට හා ඇහැරවීමට වෙන වෙනම මන්ත්‍ර ජපා කරන්නට යෙදුන බවද සීයා කීවේය .

ඉර රාජ සඳ රාජ ආදී බෙහෙත් වර්ගද විවිධ පාසානම් වර්ගද මම එකතු කල බෙහෙත් වර්ග අතරතුර තිබූ බව සීයා පැවසීය . නමුත් ඒවා මොනවාද කියා බැලීමට මට අවස්ථාවක් ලැබුණේ නැත . අංජනම සෑදීමේ මෙම කර්තව්‍යයේ තවත් විශේෂ සිද්දියක් වූයේ මා විසින් වඳුරෙකු මරා ඔහුගේ ඇස් උගුලා ගැනීමයි . මරණ ලද වඳුරා කරපින්නාගත් මා පෙර පරිදිම සීයා අසලට පැමිණ ඇත . පසුව සීයා වඳුරු කුණ සමග මා කරත්තයේ නංවාගෙන වලව්වට පැමිණි විට මා විසින් ඉහත කී වඳුරාගේ දෑස් උගුලා ඇත්තේ මගේම දෑතිනි .



එය මා හට අදටද විශ්වාස කල නොහැක . නමුත් මා එසේ කල වග සීයා පැවසීය . පිහියක්වත් නොමැතිව අතින්ම ඇස් උගුලා දැමීම බලා සිටින්නට සීයාටද නොහැකිව හෙතෙම පසෙක බලා සිටි වග සීයා මාහට වැඩි දුරටත් පැවසීය . දැන් සියල්ල සිදුවී හමාරය . පවක් සිදු වූවත් මේ සියල්ල කරන ලද්දේ අසරණ ජනතාවට පිහිට වීමේ අදිටනින් බැවින් මා ව්‍යාකූල සිත බලෙන්ම ප්‍රකෘති තත්වයට පත් කරගත්තෙමි .

අංජනමට අවශ්‍ය බෙහෙත් වර්ග සියල්ල එකතු කරගත් පසු සීයා මාගේ සිරුරෙන් දිෂ්ටිය ඉවත් කළේය . බෙහෙත් සියල්ල එකතු වී ඇති බව සොයාගෙන තිබෙන්නේ මා හිස් අතින්ම ආ පසුය . දැන් අංජනම් බෙහෙත් ඇඹරීමට අවශ්‍යය . එහි මනා පදමක් ඇත . මන්ත්‍ර මතුරමින් බෙහෙත් ඇඹරීම මමද සීයාද මාරුවෙන් මාරුවට සිදු කලෙමි . එහි පදම කවදා එයිද කියා විශ්වාස කල නොහැකි බව සීයා පැවසීය .

" අංජනම් අඹරන එක පුතේ නියමයක් නැති වැඩක් . සමහරවිට මාස දෙක තුනක්ම අඹරන්න වෙනවා "

යැයි සීය පැවසීය . අංජනම අඹරන ගල යට කාසියක් දමා තිබේ . අංජනම පදමට ආ විට මෙම ගල පලාගෙන යටින් ඇති කාසිය පෙනීමට පටන් ගනී . සැබවින්ම එම ගල පැලෙන්නේ නැත . සිදුවන්නේ අඳුන් බෙහෙතේ බල මහිමයෙන් එම ගල පැලුනාක්මෙන් දිස් වීමයි .

දින දෙක තුනක්  බෙහෙත් ඇඹරීමේ යෙදුනමුත් කිසිඳු සුභ දායක නිරීක්ෂණයක් නොවිණි . මෙම දින දෙක තුන සති එක හමාරක් දක්වාම දික් විය . මමද සීයාද තවමත් මාරුවෙන් මාරුවට බෙහෙත් ඇඹරීම හා මතිරීම කලෙමි . මේ අතරතුර කාලයේ සීයා හා මා නිදා ගනු ලැබුවේද මෙම මැටි ගෘහයේම පැත්තකය .

දිනක් අප බලාපොරොත්තු නොවූ එම ආශ්චර්ය ජනක සිදුවීම සිදුවිය . සීයාද මමද තද නින්දේ සිටියෙමි . රාත්‍රියේ මට තද නින්දක් නොලැබිණි . එබැවින් අද නින්දේ සිටි මා හට සිහින් හඬකින් කවුදෝ බෙහෙත් අඹරනවා ඇසිනි . සීයා කලුවරේම බෙහෙත් අඹරනවාද ?

" සීයේ "

කියා මා කතා කලෙමි . එහෙත් පිළිතුරක් නොමැත . මම නැවත නැවතත් කතා කලෙමි . එහෙත් පිළිතුරක් නැත . පසුව මා මහ හයියෙන් " සීයේ " කියා කෑගසීමි . එවිට මා අසල නිදා සිටි සීයා

" ඇයි ඇයි පුතේ මම මෙහේ "

යයි පැවසීය . මේ වනවිටද බෙහෙත් අඹරන ශබ්ධය අප දෙදෙනාටම ඇසිනි .

" කවුද ඔය බෙහෙත් ගල ඇල්ලුවේ මගේ අනුදැනුමක් නැතිව ආ ?? "

කියා සීයා තරමක කේන්තියෙන් විචාළේය . ඉතාම තද අඳුර නිසා මා හා සීයා හට කිසිවක් පේන්නේ නැත . පසුව සීයා ඔහු අසල තිබුණු මැටි පහන දල්වන ලදී .



එවිට දුටු දසුනෙන මා තරමක් තිගැස්සිණි . බෙහෙත් ගල අසල සිටියේ හැදී දැඩි සිරුරෙන් හෙබි වඳුරෙකි . හෙතෙම නිසොල්මනේ බෙහෙත අඹරමින් සිටි අතර අප දෙදෙනා නිදි පැදුරන් නැගිටින විට අප දෙසට හැරී දත් කූට්ටම විලිස්සා නැවතත් බෙහෙත් අඹරන්නට විය .

" කාගෙන් අහලද මේ ඇත්තා මෙතනට ආවේ ආ " යැයි සීයා ප්‍රශ්න කළේය . එහෙත් පිළිතුරු නැත . පිළිතුරු ලෙස ලැබුණේ දත් වීලිස්සීමක් හා ගෙරවීමක් පමණි .

සීයා මතුරන්නට විය . ක්‍රමයෙන් මතුරන විට එකවරම දල්වා තිබුණු පොල්තෙල් පහන නිවී ගියේය . එබැවින් අප දෙදෙනාට කිසිවක් දක්නට නොලැබිණි .

පසුව නැවතත් එහෙ මෙහෙ අතගා ගිනි පෙට්ටිය සොයා පහන පත්තු කරන විට කලින් සිටි වඳුරා එහි සිටියේ නැත . දැන් බෙහෙත් ගල ක්‍රියා කරන්නේද නැත .

" අද පුතේ මම මේකේ දෙකෙන් එකක් බේරාගන්නවා "

යයි දැඩි අදිටනින් යුතුව පවසමින් සීයා මතුරන්නට විය . මතුරා අවසානයෙ සීයා බෙහෙත් අඹරන්නට පටන් ගත්තේය . මමද ඒ අසල බලා සිටියෙමි .

ටික වෙලාවකින් අප බලාපොරොත්තු වූ ඒ දුර්ලභ දසුන මාහට දිස් විය .

" සීයේ සීයේ ඔන්න කාසිය පේනවා "

" කෝ පුතේ මට පේන්නේ නෑනේ "

" පේනවා පේනවා සීයේ හොඳට බලන්න "

" දෙවි හාමුදුරුවන්ට පිං සිද්දවෙන්න මාස ගානක් දුක් විඳින්නේ නැතිව එහෙනම් මගේ ක්‍රියාව ඉස්ට සිද්ද උනා . පුතා දන්නවද අර ආපු වඳුරා කවුද කියලා ? . මම හිතන්නේ ඒ හනුමන්තා වෙන්න ඕන . අංජනමෙන් හනුමන්තා පේන්නේ ඒ විදියට . අංජනමෙන් දැක්කට මම අද තමයි හැබැහින් දැක්කේ . කාටවත් කියන්න එහෙම එපා . මේ වගේ දේවල් එහෙම කියන්න හොඳ නෑ . හොඳද ? "

" හොඳයි සීයේ "

අප දෙදෙනාටම එම මොහොතේ මහත් සැනසුමක් ඇති විය . ඒ මන්ද යත් පුරා සති තුනක් තිස්සේ කරන ලද ක්‍රියාව , මාස ගණනක් කල් නොයා ඉක්මනින්ම ඉටු වීමයි .

අඳුන අඹරා අවසන් වන විට පාන්දර කුකුලා හඬලා තිබුනේද නැත . අඳුන දැමීමට සීයා කළුවර ලීයෙන් තනන ලද කුඩා මංජුසාවක් පිළියෙළ කර තිබිණි .

" මම පුතේ කළුවර ලී පෙට්ටියක් හැදෙව්වා . කලින් අංජනම නැති උනේ බිඳෙන එකක දාපු නිසානේ . ලී පෙට්ටිය බිම වැටුනත් ලොකු හානියක් වෙන්නේ නෑ "

සීයා ඉදිරිය බලා මා වෙනුවෙන් එසේ කරන්නට ඇත . ඒ මෙවන් අංජනමක් සෑදීමට තරම් ශාස්ත්‍රයේ පරිනත පුද්ගලයෙකු වීමට මා හට විශාල කාලයක් ගතවන හෙයින් විය යුතුය .



සීයා පළවෙනි වතාවට මෙම අංජනම විවර කරන ලද්දේද පෙර කී මැටි ගෘහයෙදීමය . එවිට හනුමා සහ අංජන දේවිය අංජනමෙන් පෙනී සිටි බව සීයා කීවේය . දෙවෙනිවර අංජනම බැලුවේ මා විසිනි . එවිට හනුමා මා හට මෙසේ කියන ලදී .

" වසඟයට ගත්තා වසඟයට ගත්තා "

මට මෙහි කිසිවක් තේරුම් ගන්නට නොහැකිතැන සීයා හට එය පැවසීමි .

එවිට සීයාගේ මුවග මද සිනහවක් පහළවිය .

" ඔන්න පුතේ අපි අද හනුමා වසඟයට ගත්තා , ඒක තමයි ඔය හනුමා කියන්නේ "

යැයි සීයා පැවසීය . එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවූවත් සීයාගේ සහ අපගේ පවුලේ අයගේ සිත් තුල දෙවියන් කෙරෙහි ඇති අසීමිත හැගීම හේතුවෙන් එසේ වන්නට ඇතැයි මම අදටද විශ්වාස කරමි .

අංජනම සාදා නිමකළ පසු අප මාස තුනක් පමණ කිල්ලට හසු නොවී අංජනමද කිල්ලෙන් රැක ගැනීමට කටයුතු කළෙමු . පසුව අංජනම් පෙට්ටිය රැගෙන සීයා සහ මා දෙවිනුවර උපුල්වන් දෙවොලට ගොස් අංජනම දේවරාජප්‍රතිකඩය මත තබා යාතිකා කරවා දෙවියන්ට භාර කර නැවත වලවුවට රැගෙන ආවෙමු .

අදටද අප වලවුවේ පුස්කොල පොත් වලට අමතරව ඇති අනර්ගතම වස්තුවක් වන්නේ මෙම අංජනමයි . දෙවි දේවතාවුන්ට අමතරව ආගෝර සිව වටුක ආදී රාක්ෂයන් පවා ගෙන්වන්නේ මෙම අංජනමටයි . මහා රාවණ රජුගේ කාලයේ සිට පවත එන මෙම දැනුම ඉදිරියටත් නොනැසී පවතීද ?

සීයාටත් මටත් ඇති ප්‍රශ්නාර්ථයත් එයයි .


තවත් කතාවකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි. ( කිය...