සිංහාසන මණ්ඩපයේ මදකට නැවතීමු






පෙරහැරේ ආරම්භය එනම් කස කරුවන් මේවනවිට දේවාලයේ වාහල්කඩින් ඇතුළුවී අවසානය.නමුත් පෙරහැරේ අවසානය තවමත් දේවාලයේ ඇත.ගමන් කරන මාර්ගයටත් වඩා දිගු වූ මෙම පෙරහැරේ තරම සිතාගැනීමට එය ප්‍රමාණවත් යැයි මම සිතමි.දළදා පෙරහැර ක්‍රමයෙන් දේවාලයේ වාහල්කඩින් ඇතුළුවේ.නමුත් සධාතුක කරඬුව රැගත් හස්ථියා දේවාලයට ඇතුළු නොවේ.වාහල්කඩ අසල පැත්තකට වන්නට ඇතා නවතා සිටින අතර අනෙක් නැටුම් කණ්ඩායම් හා අලි ඇතුන් දේවාලයට ඇතුළුවී තම රාජකාරිය අවසන් කරයි.






මෙසේ පෙරහැර ගමන් කරමින් ඉදිරියට එනවිට දේවාභරණ රැගත් දොලාවන්,කුමාර රථය හා අලියා සමන් දේවාලයේ සිංහාසන මණ්ඩපයට ලඟාවේ.මෙම සිංහාසන මණ්ඩපය පිළිබඳව යමක් කිව යුතුය.මෙය පොළවට අඩි 5ක් පමණ උස්ව සෑදුනු තනි කාමරයක් සහිත ගෘහයකි.සමන්දේවාලයේ දොරකඩට හරියටම එකඑල්ලේ මෙම සිංහාසන මණ්ඩපයේ දොරකඩ තබා තිබේ.දේවාලයේ හඳුන්කුඩමේ ඉහළ රාත්‍රී කාලයේ දැල්වෙන පහනේ ආලෝකය සිංහාසන මණ්ඩපයට එල්ලවේ.

පෙරහැරේ වඩමවන දෝලාවල් දෙක පළමුවම මෙම සිංහාසන මණ්ඩපයට ඇතුළුවේ අනතුරුව සමන් දෙවියන්ගේ දේවාභරණ අලියා පිටෙහි සිට මණ්ඩපය තුළට වඩමවයි.කුමාර රථය සිංහාසන මණ්ඩපය අසලට පැමිණිවිට එහි ඇති දේවාභරණයත් සිංහාසන මණ්ඩපයට වඩමවයි.මේත් සමගම සිංහාසන මණ්ඩපය අසලදී කාලතුවක්කුව වෙඩිහඬ නිකුත්කරයි.පෙරහැරගමන මදකට නතරවේ.බස්නායක නිළමේත් මොහොට්ටාලවරුනුත් සිංහාසන මණ්ඩපය අසලඇති කුඩා වේදිකාවේ ගිමන් හරියි.මම දන්නාතරමින් ලංකාවේ පැවැත්වෙන දේව පෙරහැරවල මෙසේ නතරවීමක් වන්නේ සමන්දේවාල පෙරහැරේ පමණි.
මෙම පෙරහැර  නතරවූ අතරේදී තවමත් පෙරහැරේ ගමන් කරන නර්තන ශිල්පීන්ටත් අලි ඇතුන්ටත් සිසිල්පැන් ලබාදේ.සිංහාසන මණ්ඩපය අසල සමන්දෙවියන් වඩමවන අලියා නතරවී සිටින්නේ නැවත පෙරහැර ආරම්භවූ විට සමන් දෙවියන් වැඩමවීමටය.මෙම දෙවියන් වඩමවන අලියා සාමාන්‍යයෙන් කුලප්පුවන බව වැඩි වාර ගණනකදී වාර්තාවී තිබේ.මගේ මිත්තණියටද එම අවස්ථාව දැකීමට වසර ගණනාවකදීම හැකිවූබව ඇය මාහට පැවසීමෙන් එම කරුණ සනාථ විය.කෙසේවෙතත් දැන් පැවැත්වෙන පෙරහැරවල මෙම දේවාභරණ වඩමවන අලියා කුලප්පුවන බවක් මම දුටුවේ නැත.මෙම කුලප්පුවීම දෙවියන් වැඩමවීමට භාධාවක් වී නැත.

සිංහාසන මණ්ඩපයෙන් දේවාභරණ පිටතට වඩමවන නැකත පැය භාගයකට පමණ පසුව එළඹේ.සක් පිඹින්නා සිංහාසන මණ්ඩපයේ දොරකඩ අසලට පැමිණ තම සංඛය තෙවරක් නාද කරයි.තුන්වෙනිවර නාද කරනවිට සමන්දෙවියන්ගේ දේවාභරණ රැගත් කපුමහතා දේවාභරණ වඩමවාගෙනවිත් අලියාපිටට ගොඩවේ.දෙවනුව සක් පිඹින්නා නැවත සක පිඹී.එවිට කුමාර රථයේ ගමන් කරන කපු මහතා දේවාභරණ වඩමවාගෙනවිත් කුමාර රථයට ගොඩවේ.අනතුරුව දෝලා දෙකද පිටතට වඩමවාගෙන ඒමත් සමග නැවත පෙරහැර ආරම්භ වේ.

පෙරහැර ආරම්භ වූ විට වාහල්කඩ අසල නවතා සිටින සධාතුක කරඬුව රැගත් හස්ථියා දේවාලයට ඇතුළුවේ.දළදා පෙරහැර ගෙටගෙවැදීම සම්පූර්ණ වන්නේ එවිටය.පෙරහැර දැන් කලින්ට වඩා ඉක්මනින් දේවාලය කරා ගමන් කෙරේ.පෙරහැරේ නැටුම් කණ්ඩායම් තම නැටුමෙහි විචිත්‍රවත්ම කොටස් දේවාලය ඉදිරියේ රඟ දක්වා දේවාලයට වැඳ ගෙටගෙවැදීම සිදුකෙරේ.මේවනවිට සධාතුක කරඬුව දේවාලයට වැඩමවීමට තේවාව භාර පිරිස් ඇතා අසලට පැමිණේ.සංඛය හා බුරම්පේත්තුව නාදකර හේවිසිහඬ මැද්දේ සධාතුක කරඬුව දේවාලයට වැඩමකෙරේ.

දැන් දේවාභරණ දේවාලයේ වාහල්කඩින් ඇතුළුවී ඇති අතර එම දේවාභරණ දේවාලය තුළට වැඩමවීම චාරිත්‍රාණුකූලව සිදුකිරීම ඇරඹීමට අවස්ථාව එළඹී තිබේ....
















ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා.....!

පෙරහැරේ ආරම්භය එනම් කස කරුවන් මේවනවිට දේවාලයේ වාහල්කඩින් ඇතුළුවී අවසානය.නමුත් පෙරහැරේ අවසානය තවමත් දේවාලයේ ඇත.ගමන් කරන මාර්ගයටත් වඩ...

දෙව් පෙරහැරේ රජ ගමන





වෙඩි හඬ නිකුත් වීමත් සමගම ගම්පහේ වීදියේ හා හුණුවල වීදියේ ඇවිදිමින් සිටින සියළු දෙනා එකවරම කැළඹීමට පත්වේ.සෑමදෙනාම එතැන් පටන් යුහුසුළු වන්නේ පෙරහැර නැරඹීමට හිඳගැනීමට ස්ථානයක් සොයා ගැනීමටය.වැඩිදෙනෙක් තම පවුල් පිටින්ම පැමිණ දේවාලේ උයන්වත්තේ හෝ ගම්පහේ,හුණුවල වීදිවල අයිනට වන්නට පැය ගණනක් තිස්සේ පෙරහැර බලාපොරොත්තුවෙන් බලා සිටී.පාරේ ඇවිදිමින් සිටින පිරිසද පැය භාගයක් යන්නට මත්තෙන් හැකි අයුරින් පාරෙන් ඉවත්වී හිඳගනී.එවිට සම්පූර්ණ වීදියම පැහැදිලි තත්වයට පත්වේ.වෙඩිහඩත් සමගම සිදුවන මෙම සිදුවීම අපේ සංස්කෟතියත් විනයගරුක බවත් ලොවට හඬගා කියන අවස්ථාවකි.

මෙයින් අනතුරුව පාර අතුගාන පිරිස් පාර අතුගා පවිත්‍රකරයි.පවිත්‍ර වූ පොළව මතින් දෙවිහාමුදුරුවන් වැඩමකරවීමට පෙර, කහ දියකළ ජලය ඉසීම සිදුවේ.වර්තමානයේදී වතුර බවුසරයක් මගින් මෙම කහ දියර ඉසීම කරනු ලබයි.දැන් පෙරහැර ගමන් කිරීමට පාර පවිත්‍රවී ඇති අතර පෙරහැර නරඹන කිසිවෙකුට පාර හරහා ගමන් කිරීමට ඉඩ නොදේ.පෙරහැර අතරින්ද කිසිවෙකුට ගමන් කිරීමට ඉඩක් නැත.දෙවියන් වෙනුවෙන් දක්වන ගෞරවය නිසා මෙසේ හැසිරීමට මහජනතාව පුරුදුවී තිබේ.විටෙක මෙය අමතක වූවන් සිටියහොත් එය මතක්කරදීමට පොලිස් නිළදරුවන් වගබලාගනී.

පෙරහැරේ මුලින්ම එන්නේ ආරක්ෂක අංශයේ පිරිසය.ඉන් පසුව කස කණ්ඩායම පැමිණේ.කස කණ්ඩායමට පසුව ගිනිබෝල කරුවන් පැමිණේ.පෙරහැරේ ගමන් කරන පෙරමුණේ රාළ පිටෙහි නංවාගත් පලමු හස්ථියා අනතුරුව පැමිනේ.ඉන් පසුව ගජ නායක නිළමේ ඇතෙකු පිට ගමන් කරයි.සබරගමුවට ආවේණිකවූ මහ බබා කෝලම පෙරහැරට එක්වන්නේ ගජනායක නිළමේට පසුවය.තවත් පිරිසක් දිසා කොඩ් රැගෙන ගමන් කරයි.

මේ ගමන් කරන්නේ සමන් දේවාල පෙරහැරේ පළමුවම ගමන් කරන දළදා පෙරහැරයි.පසුගිය ලිපියක දළදා පෙරහැර සමන් දේවාල පෙරහැරට එක්වීම පිළිබඳව සඳහන් කලෙමි.ඒ අනුව දළදා කරඬුව සිහිගන්වමින් සධාතුක කරඬුවක් ඇතෙකුපිට වඩමවනු ලබයි.දෑලේ ඇතුන් දෙදෙනෙකුද මේ සඳහා සහභාගී වේ.කරඬුව වඩමවන ඇතා ඉදිරියේ සබරගමු සම්ප්‍රධායේ නර්ථන කණ්ඩායමක් නර්තනයේ යෙදේ.ඊට අමතරව දේවාලයේ නිළ රාජකාරි පවුල්වල කුඩා දරුවන් කණ්ඩායමක් බෞද්ධ කොඩි රැගෙන ගමන් කරයි.කරඬුව වැඩමකළපසු දළදා පෙරහැර අවසානවේ.










ඉන් පසුව ආරම්භ වන්නේ පත්තිනි දේවියවෙනුවෙන් පවත්වන පෙරහැරයි.නොයෙක් වර්ගයේ නැටුම් කණ්ඩායම් තම රංගනයන්ගේ යෙදෙමින් මෙම පෙරහැරට සහභාගීවේ.පෙරහැරට කාන්තාවන් සහභාගී වනවානම් ඒ මෙම කොටසටය.දළදා පෙරහැරට කන්තාවන් සහභාගී නොවේ.නර්තනාංග සියල්ල ඉදිරිපත්වූ පසුව දේවාභරන වැඩමවීම සිදුවේ.පත්තිනි දේවියගේ දේවාභරණ රැගත් දෝලාවක් උඩුවියන් යටින් වැඩමවීම සිදුවේ.පත්තිනිදේවාලයේ කපුමහතා තම නිළ ඇඳුම ඇඳ මෙම දෝලාව පිටුපසින් ගමන් කරයි.

ඒත් සමගම පත්තිනි පෙරහැර අවසන්වේ.බිසෝ පෙරහැර ආරම්භවේ.මෙහිදී වෙනත් නර්තනාංග ගමන් නොකරයි.සමන් දෙවියන්ගේ බිසෝ දේවියගේ දේවාභරණ දෝලාවක නංවා වඩමවයි.උඩු වියන යටින් මෙම දෝලාවත් වඩමවන අතර නිළ රාජකාරි කරුවන් තේවාවන් සඳහා අවශ්‍යවන හක්ගෙඩිදෙක,බුරම්පේත්තු දෙක,චාමර,කුඩ සේසත් රැගෙන මෙම දෝලාව සමග ගමන් කරයි.සමන් දේවාලයේ කපු මහතාද මෙම දෝලාව පිටුපසින් ගමන් කරයි.

පත්තිනිපෙරහැරත් බිසෝ පෙරහැරත් පසුපසින් පැමිනෙන්නේ වෙනත් පෙරහැරවල දක්නට නොමැති අංඟයකි.මෙය ආභරණ කරත්තය ලෙස හඳුන්වන කුමාර රථයයි.දේවාලයේ හඳුන් කුඩමේ හැඩයට මෙය සාදාඇති අතර වටතිර වලින් ආවරණය කර තිබේ.මිනිසුන් 30ක් පමණ මෙම රථය ඇදගෙන යන අතර දේවාභරණ රැගත් කපු මහතෙකු මෙම රථය තුළ සිටී.කරත්තය ඉදිරියේ සබරගමු නැටුම් කණ්ඩායමක් නර්තනයේ යෙදෙමින් ගමන් කරයි.සමන් දෙවියන්ගේ පුත් කුමරු සිහිපත් කිරීම සඳහා මෙම පෙරහැර පැවැත්වේ.






වෙනත් පෙරහැරවල දක්නට නොලැබෙනවායැයි කීවත් යම් දෙයක් කිව යුතුය. මෙවැනි ආභරණ කරත්තයක් බලංගොඩ බොල්තුඹේ සමන් දේවාල පෙරහැරේ ගමන් කෙරේ.බොල්තුඹේ සමන් දේවාල පෙරහැරට අලි ඇතුන් සහභාගී නොවේ.මීට හේතුව එම පෙරහැරට එන සියළු අලි ඇතුන් පුදුම සහගතලෙස වියරුවැටීමයි.දෙවියන්ගේ හාස්කම් හෝ අද්භූත බලවේගයක් නිසා මෙය සිදුවේයැයි විශ්වාස කෙරේ.

කුමාර පෙරහැර අවසන් වීම සමග සමන් දේව පෙරහැර ආරම්භවේ.සමන් දෙවියන්ගේ හීය නැමති දේවාභරණය අතින්ගත් කපුමහතෙකු හා පළිහක් අතින්ගත් පුද්ගලයෙකු සුදුවතින් සරසනලද අලියෙකුපිටේ ගමන් කරයි.සධාතුක කරඬුව ඇතෙකු පිටේත් දේවාභරණ අලියෙකු පිටේත් වැඩමවීම බුදුන් වහන්සේට දක්වන ගෞරවයක් ලෙස සැලකේ.පත්තිනි,බිසෝ,කුමාර හා දේව පෙරහැරවල හේවිසි වාදනය ආදී සියළු තේවාවන් සඳහා දේවාලයේ නිළ රාජකාරි පිරිස් සහභාගීවේ.ඒවාට නියමිත නොයෙක් තේවාවන්ද ඇත.

මෙම පෙරහැර පහ අවසන්වූවිට, ඒත් සමගම බස් නායක නිළමේතුමා හා විදානේවරුන්,මොහොට්ටාලවරුන් පැමිණේ.මොවුන් ඉදිරියේ රඟ දක්වන්නේ උඩරට වෙස් නර්තනයක්ය.

මුලින් සඳහන් නොකලත් සමන් දේවාලයේ පෙරහැරට අඩුවක් නොවන අලිඇතුන් පිළිබඳව යමක් කිවයුතු වන්නේ සමන් දෙවියන්ගේ වාහනය සුදු අලියෙකු නිසාවෙනි.මගේ මතකයේ රැඳුනු පළමු සමන් දේවාල පෙරහැර මම නරඹන ලද්දේ මට වයස අවුරුදු හතරක් හෝ පහක් වූ අවධියේය.එතැන් පටන් එක් වසරක් හැර ,වසර 15ක් පමණ මම නැරඹූ පෙරහැර පිළිබඳ සැලකියයුතු මතකයක් රැඳුනේ එහි ගමන් කරන අලි ඇතුන් නිසාවෙන් බව කිව යුතුය.

අලි ඇතුන් ගණන් කිරීමට හැකි කාලයේදී මම ගණන්කළ වැඩිම සංඛාව 64ක් පමණවේ.එම පෙරහැරට අලි තුන්දෙනා බැගින් ගමන් කළ අවස්ථා කීපයක්ද තිබිණි.අදවනවිට මෙම සංඛාව 48 පමණ දක්වා අඩුවී තිබේ.නමුත් නැටුම් කණ්ඩායම් දෙකක් අතරට එක් අලියෙකු හෝ ඇතෙකු යොමුකිරීමට තවමත් අලිඇතුන් ඉතිරිවී පවතී.

පෙරහැර ගමන් කිරීමට අදවනවිට විදුලි ආලෝකය තිබුනද අතීතයේ පෙරහැර සඳහා ආලොකය ලබාදී තිබෙන්නේ කොප්පරා පන්දම් පත්තුකිරීමෙනි.අතීතයේ විඳි එම කොප්පරා සුවඳ අදත් අත් විඳිමට හැකිවන අයුරින් විදුලි ආලොකය තිබුණත් කොප්පරා පන්දම් පත්තුකර, පෙරහැර ගමන් කරන මාර්ගයට වැඩිපුර ආලෝකයක් ලබාදේ...
පෙරහැර විස්තරය අවසන් වූවත් තවමත් රජගමන අවසන්වී නැත...

ඔබසැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා..............!




වෙඩි හඬ නිකුත් වීමත් සමගම ගම්පහේ වීදියේ හා හුණුවල වීදියේ ඇවිදිමින් සිටින සියළු දෙනා එකවරම කැළඹීමට පත්වේ.සෑමදෙනාම එතැන් පටන් යුහුසුළු...

සමන් දේවාලයේ මහ පෙරහැර ආරම්භ වීම




 දින දහයක් පුරාවට කුඹල් පෙරහැර හා දෙවේලේ පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව ඇරඹෙන්නේ මහ සමන් දේවාලයේ ඇසළ පෙරහැරේ මහ පෙරහැරයි.අලි ඇතුන් පනහකට ආසන්න ප්‍රමානයක්ද උඩරට, පහතරට, සබරගමු හා ගැමි නර්තනාංඟ විශාල ප්‍රමානයක්ද මෙම පෙරහැරට සහභාගීවේ.දේවාලය වටා පිහිටාඇති කුඹල් වීදිය, උඩ වීදිය, ගම්පහේ වීදිය හා හුනුවල වීදිය යන සතර වීදියෙහිම මෙම පෙරහැර ගමන්කරයි.පෙරහැර පැවැත්වෙන මාසයේ පසලොස්වක පොහොය දිනයේදී මහ පෙරහැර අවසන් වනලෙස පොහොය දිනයට දින හතරකට පෙර මහ පෙරහැර ආරම්භවේ.අති උත්කර්ශවත් ලෙස පැවැත්වෙන්නේ පස්වන දිනයේ පැවැත්වෙන මහ පෙරහැරයි.මහජනතාව වඩාත් උනන්දුවෙන් නරඹන්නේ මෙම පෙරහැරයි.

සමන් දේවාලයේ මහ පෙරහැර එක් පෙරහැරක්ලෙස පෙනුනත් එය පෙරහැර පහක් එක්වී ගමන් කරන පෙරහැරකි.
දළදා පෙරහැර
පත්තිනි පෙරහැර
බිසෝ පෙරහැර
කුමාර පෙරහැර
සමන්දේව පෙරහැර  යනු එම පෙරහැර පහයි.

හයවන පැරකුම්භා රජුගේ හා දෙවන රාජසිංහ රජුගේ නියම කිරීම් වලට අනුව දේවාලයේ පෙරහැර මංගල්‍යය පැවැත්වේ.එයට බස්නායක නිළමේ ප්‍රමුඛ ඇතුල් කට්ටලේ හා පිටත කට්ටලේ නිළ රාජකාරි කරුවන් අනිවාර්යයෙන් සහභාගීවන අතර සැරසිලි හා අනෙක් සේවාවන් සඳහා දේවාලයෙන් මුදල්ගෙවා යම් පිරිසක් සහභාගී කරවාගනී.එම සේවාවන් සඳහා අතීතයේ රාජකාරි පරම්පරා තිබීඇති අතර අදවනවිට එම පරපුරවල්  දේවාලයෙන් ඈත්වීගොස් තිබේ.අලිඇතුන් සඳහා කෑම සැපයීම බලංගොඩ හුනුවල ප්‍රදේශයෙන් සිදුවේ.

 

පෙරහැර ආරම්භවන නැකත සාමාන්‍යෙයන් යෙදෙන්නේ රත්‍රී නවය හෝ දහය අතර කාලයන්හිදීය.නැකත එළඹීමට පැයකට පමණ පෙරසිට නැටුම් කණ්ඩායම් තම ඇඳුම් ආයිත්තම් ඇඳපැළඳගෙන දේවාලයේ පහත මළුවට එකතුවේ.ඒ අතර අලිඇතුන් සියල්ලම දේවාලයේ පහත මළුවට කැඳවාගෙනවිත් දම්වැල් දමා ගාල්කර ඔවුන්ගේ ඇඳුම් ඇන්දවීම කරනුලබයි.කරඬුව වඩමවන හස්තියා පත්තිරිප්පුව අසල ඇති මණ්ඩපයට ගෙන්වා වතපුටුව බැඳ රන්සිවිගෙය සවිකරනුලබයි.ඉන් පසුව ඇත්සැට්ටයත් නෙත්ති මාලයත් බැඳ හස්තියා සරසනු ලැබේ.මෙම ක්‍රියාදාමය වන අතරතුර බස්නායක නිළමේ සහ මොහොට්ටාලවරුන් උඩරට මුල් ඇඳුම් කට්ටලයෙන් සැරසී උඩමළුවට ගමන් කරයි.දේවාලයේ තේවාවන් මේවනවිට ඇරඹී හමාරය.හේවිසිවාදනයවීම නොකඩවාම සිදුවේ.නිළධාරීන් සමග දේවාලයේ බුදු කුටියට පිවිසි බස්නායක නිළමේ හා කපුමහතා ප්‍රධාන පිරිසට පිරිත් නිළයේ ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනා කරයි.මෙම පිරිත් දේශනාව අවසානයේ කපු මහතාට සහ බස් නායක නිළමේතුමාට පිරිත්පැන් ලබාදේ.පසුව අනෙක් සියල්ලටද පිරිත්පැන් ලබාදේ.එම කාලයතුළ හේවිසිවාදකයන් නිහඬව සිටී.පිරිත් නිළයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ සධාතුක කරඬුව රැගෙන කපු මහතාගේ හිසමත තැම්පත් කරයි.එම මොහොතේදීම හක්ගෙඩි දෙකත් බුරම්පේත්තු දෙකත් නාදකෙරේ.එම නාදයත් සමගම හේවිසි වාදකයින් තම වාදනය ආරම්භ කෙරේ.කුඩා ළමුන් තිස්දෙනෙකු පමණ බෞද්ධ කොඩි රැගෙන කරඬුව වඩමන කපුමහතා ඉදිරියෙන් පැමිණේ.කරඬුව වඩමනවිට සිරිත් පරිදි කිරි,පොරි සහ පොල්මල් ඇට බිමට ඉසීම සිදුවේ.මෙම කුඩා පෙරහැර දේවාලයේ බුදුකුටියේ සිට හස්තිරාජයා සිටින ස්ථානයට පැමිණේ.පෙරහැර අරඹන නැකත හරියටම එළඹිවිට කපුමහතා සධාතුක කරඬුව රන්සිවිගෙයි තැම්පත් කරයි.එම මොහොතේදීද හක්ගෙඩි දෙකත් බුරම්පේත්තු දෙකත් නාද කරයි.කළු ගඟට මුව අයා කුඹල් වීදියේ තබා ඇති ඉපැරණි කාල තුවක්කුව මෙම මොහොතේදී වෙඩිහඬ නිකුත් කරයි.




දළදා පෙරහැර ආරම්භ විය.නිළ ආරම්භය එය වූවත් තවමත් සියල්ල නිහඬය.කරඬුව රැගත් හස්තිරාජයා මණ්ඩපයෙන් ඉවතට පැමිණේ.ඉන්පසුව පිරිත් නිළයේ ස්වාමීන්වහන්සේ නමක් පන්සිල් දීම සිදුකෙරේ.පන්සිල් දීම අවසානවීමත් සමගම හේවිසිවාදනය ආරම්භවේ.පෙරහැර ගමන් කිරීම ඇරඹේ.

දළදාපෙරහැර ගමන් කිරීම ආරම්භ විමෙන් පසුව දේවාලයේ රාජකාරි හේවිසි කණ්ඩායම නැවත දේවාලයට ගමන් කරයි.පළමුව පත්තිනි දේවාලයේ දේවාභරණ රැගත් දෝලාවත් ඉන්පසුව සමන්දෙවියන්ගේ බිසෝ දේවියගේ දේවාභරණ රැගත් දෝලාවත් සමන් දෙවියන්ගේ දේවාභරණත් අවස්ථා කීපයකදී පහත මළුවට වඩමවයි.මෙම වැඩමවීමට ආලත්ති අම්මාවරුන්,කොඩි සේසත්,හක්ගෙඩි කොම්බු බුරම්පේත්තු ආදී තේවාවන් සමභන්ධවේ.සමන් දෙවියන්ගේ දේවාභරණ සුදුපැහැයෙන් අන්දවන ලද අලියෙකුපිට වඩමවයි.කුමාර රථය නම් ලී කරත්තයක කුමාර දෙවියන් වෙනුවෙන් සමන් දෙවියන්ගේ දේවාභරණ වඩමවයි.මෙම කුමාර රථය මිනිසුන් තිස්දෙනෙක් පමණ එක්ව ඇදගෙන යන අතර පෙරහැර ආරම්භයේදී එය පළමුව ඇදදෙන්නේ බස්නායක නිළමේතුමා විසිනි.එය ඉපැරණි චාරිත්‍රයකි.පෙරහැර ගමන් කිරීම මෙසේ ආරම්භවේ.දේවාලයේ නිළ රාජකාරිකරුවන් සියල්ල සුදුඇඳුමින් සැරසී සිටීම අනිවාර්ය වේ......

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා.....!

 දින දහයක් පුරාවට කුඹල් පෙරහැර හා දෙවේලේ පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව ඇරඹෙන්නේ මහ සමන් දේවාලයේ ඇසළ පෙරහැරේ මහ පෙරහැරයි.අලි ඇතුන් පනහ...

මහ සමන් දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භය හා කප් සිටුවීම

    
                                            සබරගමුව මහ සමන් දේවාලයේ කාර්තික මංගල්‍යයන් අතුරින් ඇසළ මහ කාර්තිය ප්‍රධානම අංඟයවේ.ලංකාවේ ඇති සංස්කෘතික උත්සව වලින් සමන් දේවාලයේ පෙරහැර දෙවැනි වන්නේ දළදා පෙරහැරට පමණක් යැයි කීමට තරම් මෙම පෙරහැර උත්කර්ශවත් අන්දමින් සිදුවේ.අලි ඇතුන් පනහකට ආසන්න සංඛ්‍යාවක් හා නැටුම් කණඩායම් ගණනාවක් මෙම පෙරහැරට අනිවාර්යයෙන් සහභාගී වේ.මෙම ඇසළ පෙරහැර පැවැත්වීම හා එහි තේවාවන්ද රාජ සම්මත නීතීන්ට අනුව සිදුකිරීමට බස්නායකවරුන් හා රාජකාරි නිළයන් ඉමහත් වෙහෙසක් දරනුලැබේ.තම පරම්පරාවෙන් ලැබෙන උරුමය අනුව මෙම රාජකාරි නිළයන් දේව කාරිය අකුරටම ඉටු කරීමට බැඳී සිටී.
                                                              සබරගමු වැසියන් ඇසළ පෙරහැර නැරඹීමට එක් දිනක් හෝ යෑමටද පෙරහැර නරඹා පෙරහැර ගෙටගෙවැදීමෙන් පසුව පඬුරු දමා දෙවියන්ගෙන් අශිර්වාද ලබාගැනීමටද අමතක නොකරයි.ඔවුන් විශ්වාස කරන්නේ සැපට දුකට සියල්ලටම දෙවියන් තමන් සමග සිටින වගයි.ඇසළ පෙරහැර පැවැත්වීමට මුලපුරන්නේ බස්නායක නිළමේ විසින්ය.ඔහු නැකැත්රාළත් ඇතුළු කට්ටලේ හා පිටත කට්ටලේ නිළධාරීන්ද දේවාලයට කැඳවා පෙරහැර පිළිබඳ රාජකාරි පවරයි.මේ අතරම දේවාලය පිළිසකර කිරීම් සහ හුනු පිරියම් කිරීමද සංහාසන මණ්ඩපය හා දේවාලය ඉදිරියේ රිට්ටා තොරණ සෑදීම ආරම්භවේ.ඇතුළු කට්ටලය හා පිටත කට්ටලය ලෙස හැඳින්වෙන්නේ පාරම්පරිකව දේවාලයේ රාජකාරි උරුමවූ දෙපිරිසයි.ඇතුළු කට්ටලය සඳහා කපු,බත්තන,පළිහේකාර,කුඩ,චාමර,උඩුවියන්,ලන්ස,මුරුතැන් යන නිළ දෙක බැගින් ඇත.ඔවුන් රාජකාරි කරන්නේ දේවාලයේ ඇතුළු ගබඩාව ආශ්‍රිතවය.පිටත කට්ටලය සඳහා තණ්ඩල රාළ,දවුල්,තම්මැට්ටම්,හොරණෑ,ආලත්ති,හක්ගෙඩි යන නිළයන් හතර බැගින්ද අත්උදව්,වීකොටන,දරගෙනඑන නිළ දෙක බැගින්ද වට්ටෝරු අප්පුද වේ.ඔවුන් ඇතුළු ගබඩාවෙන් පිටත රාජකාරි කරනුලැබේ.
                                                                නැකැත්රාළ පෙරහැරට අවශ්‍ය සියළු නැකැත් සාදා බස්නායකනිළමේට භාරදේ.පෙරහැර එතැන්සිට සංවිධානයවේ.දේවාලයේ ධාතුකරඬුව,ඇත්දළ,පළිහ,මුතුකුඩ,රිදීකුඩ හා ආලවට්ටම් ආදී පූජනීය භාණ්ඩ ඇතුළු ගබඩාවේ තැම්පත්කරතිබේ.මෙම ඇතුළු ගබඩාවේ  භාරකරු කහවත්ත ප්‍රදේශයේ වෙසෙන රත්නකරාළ නිළමේය.බස්නායක නිළමේ මෙම රත්නකරාළ නිළමේට නිළ පණිවුඩයකින් දැනුම්දුන්විට ඔහු දේවාලයටපැමිණ ගියවසරේ ඇතුළුගබඩාවේ දොරට තමා දැමූ නිළමුද්‍රාව පරීක්ෂාකර එය කඩා දොරවල්හැර ඉහත පූජාභාන්ඩ ඉවතටගෙන අදාල අයට භාරදේ.පෙරහැර අවසන්වනතුරු රත්නකරාළ නිළමේ දේවාලයේ රැඳි සිටිය යුතු අතර පෙරහැර අවසන්වූවිට සියළු පුජා භාණ්ඩ පරීක්ෂාකර නැවත ගබඩාවේ තැම්පත්කර දොරගුළුලා මුද්‍රා තබා දේවාලයෙන් පිටවිය යුතුය.නැවත ඔහුට දේවාල භූමියට ඒමට අවසර ලැබෙන්නේ බස්නායක නිළමේ දැනුම් දීමක් කලහොත් පමණි.නැත්නම් ඔහුට දේවාලයට ඇතළුවීම තහනම්ය.
                                                                පසුව දේවාලයේ පරිත්‍රාන ධර්මදේශනයක් හා පසුදින දානමය පිංකමක් පවත්වා සමන් දෙවියන් කෙරෙහි පින් අනුමෝදන්කෙරේ.කප් සිටුවීම සිදුවන්නේ ඊට පසුවය.ඉපැරණි චාරිත්‍ර අනුව ඇසළ මාසයේ අමාවක ගෙවී එලඹෙන පෑලවියෙන් කප් සිටුවිය යුතුය.කප් සිටුවීම භාර වන්නේ කප් සිටුවන රාළටය.එහු කප් සිටුවන දිනට පෙර දින රාත්‍රියේ තනිවම ගොස් කිරිගසක් කපා ගෙනවිත් රිට්ටාගෙය ලෙස හඳුන්වන සිංහාසන මණ්ඩපයේ තැම්පත්කෙරේ.පසුදින එනම් කප් සිටුවන දින එම කිරිගස සුදුපිරුවටයකින් ඔතා හේවිසි වාදනයකරමින් පෙරහැරක්ලෙස කප් සිටුවන ස්ථානයට රැගෙන ඒ.එවිට දේවාලයතුළ සමන් දේව ආභරණත් පත්තිනි දේවියගේ දේවාභරණත් දෝලාවන්හි වඩමවා කුඩා පෙරහැරක් ආරම්භවේ.කප රැගෙනඑන පෙරහැරත් මෙම පෙරහැරත් එකට එක්වී එක් පෙරහැරක්ලෙස උඩමළුවේ දෙවියන් වැඩසිටින හඳුන්කුඩමවටා ගමන් කරයි.පත්තිනි දේවාලය ඉදිරියේදී පෙරහැරට වලං කදක් ගත් කුඹලෙක්ද එක්වේ.ඔහු පෙරහැර ඉදිරියෙන් ගමන් කරයි.දේවාලයේ ඇති පැරණි ළිඳ අසලදී සුභ නැකතින් කප්සිටුවීම සිදුකෙරේ.දේවාභරණ රැගත් පෙරහැර දේවාලයට ගෙවැදේ.කුඹලා ගෙනආ වලං කද දේවාලයේ තබා ඔහු දේවාලයෙන් පිටවේ.එය දේවාලයේ ප්‍රයොජනයට ගැනේ.මෙම ආකාරයෙන් පෞරාණික සිරිත් විරිත් ආරක්ෂා කරමින් මහ සමන් දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භය කුළුගැන්වීම සිදුවේ.....
ඔබසැමට සමන් දෙවි පිහිට ලැබේවා..........!

                                                 සබරගමුව මහ සමන් දේවාලයේ කාර්තික මංගල්‍යයන් අතුරින් ඇසළ මහ කාර්තිය ප්‍රධානම අංඟයවේ.ලංකාවේ...

සබරගමුවට බතසරිකරවන සමන් දේවාලයේ අළුත් සහල් මංගල්‍යය

                                                                 සමන් දේවාලය තුළ වසරකට කාර්තික හතරක් අනුව උත්සවයන් හතරක් ප්‍රධාන වශයෙන් සිදුවේ.ඒවා වන්නේ
දුරුතු මහ කාර්තිය
බක්මහ කාර්තිය
ඇසළ මහ කාර්තිය
ඉල් මහ කාර්තිය ය.
                                                    අළුත් සහල් මංගල්‍යය දුරුතු මහ කාර්තියේ සිදුවන උත්සවයයි.සමන් දේවාලයට අයත් කුඹුරු ඉඩම් එගොඩ බෙත්ම හා මෙගොඩ බෙත්ම ලෙස කොටස් දෙකකි.එගොඩ බෙත්ම යනු කුරුවිට ප්‍රදේශයේ ඇති කුඹුරුය.මෙගොඩ බෙත්ම යනු හංගමුව ප්‍රදේශයේ ඇති කුඹුරුය.මෙම කුඹුරුවල අස්වනු නෙළීමෙන් අළුත්සහල් මංගල්‍යය පැවැත්වීම වසරක්පාසා මාරුවෙන් මාරුවට සිදු කරනු ලැබේ.මෙය සාමාන්‍යයෙන් ජනවාරි පෙබරවාරි මාරතු වැනි මාසයක යෙදෙන සුභ නැකැත් අනුව සිදුකෙරේ.මෙම කටයුත්තට මුල පුරන්නේ අදාල බෙත්මයේ මොහොට්ටාල නිළමේ විසිනි.ඔහු කරල් කැපීමට නැකැත් සාදා මහ සමන් දේවාලයේ බස්නායක නිළමේට කල්තියාම භාරදේ.ඉන් පසුව බස්නායක නිළමේ අවශය කටයුතු සම්පාදනය කරනු ලබයි.
                                                        කරල් කපන දිනයට පෙර දින සවස දේවාලයේ අදාල තේවාව භාර පිරිස පෙරහැරෙන් දේවාලයෙන් පිටත්වී කරල් කපන කුඹුර වෙත ගමන් කරයි.මෙම පෙරහරේදී කරල් කැපීමේ මංගල්‍යයට අදාල කොඩි හතරක්,පන්දමක්,පලිහක්,බුරම්පේත්තුව නම් නළාවක්,කුඩ දෙකක්,කත් රෙදි හතරක්,කත් පටි දෙකක්,උඩු වියනක්,සඳුන් හෙප්පුවක්,දවුල් දෙකක්,තම්මැට්ටම් දෙකක්,හොරණෑ දෙකක්,හක් ගෙඩියක් හා සරසන ලද අලියෙක් යොදාගනුලැබේ.මෙම පිරිස පිළිගන්නා බෙත්මේ මොහොට්ටාල විසින් පෙරහැරෙන් ආ පිරිසට නිවසක් පිරිසිදුකර ලැගුම් ගැනීමට සලසා කෑම බීම වලින් සංග්‍රහ කරනු ලැබේ.අතීතයේදි මෙයට වෙනම වාඩි ගසා තිබී ඇති අතර අදවනවිට නිවසක් පිළියෙල කෙරේ.රාජකාරි කාරයින් මෙම නිවස ඉදිරිපිට මල්පැලක් සාදන අතර පෙරහැරෙන් ගෙනආ පලිහ සඳුන් හෙප්පුව ආදිය මෙම මල්පැලේ තබනුලැබේ.හඳුන් කපුරු දුම් අල්ලා පහන් පත්තුකළපසු හේවිසි පූජාව පවත්වයි.රාත්‍රියගෙවී කරල් කපනදින පහන්වනවිට තේවාව භාර නිළධාරීන් අළුයම් දුරයේ තේවාව එම ස්ථානයේ පවත්වනුලැබේ.
                                                            කරල් කපන නැකත උදාවනවිට කපු මහතා කුඩ සේසත් පලිහ දරමින් කුඹුරවෙත ගමන් කරයි.හේනේ මාමා නම් පුද්ගලයා කරල් කපන ස්ථානය රෙදිවලින් ආවරනය කරයි.නැකත එලඹි වහාම ඉපැරණි කාලතුවක්කුවෙන් වෙඩි හඬක් නිකුත් කරයි.එවිට කපු මහතා වී කරල් මිටියක් කපා එය සුදු සළුවක ඔතා බත්තන කපු මහතාට දේ.බත්තන කපු මහතා එය මල්පැලේ තබයි.පසුව රාජකාරි නිළයන් විසින් කරල් කැපීම සිදිකර එම කරල් නැවුම් මුට්ටිවල බහා නවාතැන් ගෘහයට ගෙනඑනු ලැබේ.
                                                           අනතුරුව මෙම වී කරල් අලියා පිට මතින් දේවාලයට ගෙන ඒ.දේවාලයට ගෙන ආ වී කරල් බුදුගෙයි තැම්පත් කරයි.පසුවදා වී කරල් බුදුගෙයින් භාරගන්නා මුරුතැන් රාල උඩුවියන් යටින් හේවිසි පූජාව අතරතුර මුළුතැන්ගෙටගොස් වී කොටන ගෙය නම් ස්ථානයේදී වී කොටන රාල සමග වී කොටා සහල් ලබාගනී.කරල් කැපීමෙන් පසුව එලඹෙන පසලොස්වක පොහෝදින මෙම නව සහලෙන් පිසූ කිරිබත් මුරුතැන බුදුන්ට හා දෙවියන්ට පූජා කිරීම සිදුකරනුලැබේ.දෙවියන සඳහා මෙම මුරුතැන සමග පස්පැණිත පූජා කරයි.එනම් සහල් නැළියක බත්,හකුරු කෑලි හතක්,කෙසෙල්ගෙඩි හතක් හා හත්මාළුවයි.සමන් දෙවියන්ට මුරුතැන පූජාකරනවිටද කාලතුවක්කුවෙන් වෙඩිහඬ නැංවීම ඉපැරණි සිරිතකි.මෙම දිනයේ දේවාලයට එන බැතිමතුන්ටද කෑම බීම ලබාදේ.එම කෑම ආලත්ති අම්මාවරුන් විසින් පිසිනු ලබයි.මේ ආකාරයට අළුත් සහල් මංගල්‍යය නිමාවේ.සබරගමුවේ ගොවිතැන, දෙවියන් හා යාවෙන්නේ මේ ආකාරයටය....
ඔබ සැමට සමන් දෙවි පිහිට ලැබේවා...!
















                                                                 සමන් දේවාලය තුළ වසරකට කාර්තික හතරක් අනුව උත්සවයන් හතරක් ප්‍රධාන වශයෙන් ස...

සමන් දේවාලයේ දෛනික තේවාව


                                                       සමන් දේවාලය තුළ දෙවියන් වෙනුවෙන් පවත්වන තේවාව ඉපැරණි චාරිත්‍ර වලට අනූව දිනපතා සිදු කරනු ලැබේ.මෙම තේවාවන් බෞද්ධ ආගමික පසුබිමක් තුළ සිදු වේ.මෙය සමන් දේවාලය පිළිබඳ වැදගත් කරුණකි.දිනපතා පවත්වන තේවාවේ ප්‍රධාන කොටස් හයක් අඩංඟුවේ.ඒවා නම්
අළුයම් දුරයේ තේවාව
හීල්ම තේවාව
මහ තේවය
බොලපැන් තේවාව
හැන්දෑ දුරයේ තේවාව
මහ තේවාව යි

අළුයම් දුරයේ තේවාව
===============
                                                              දිනපතාම අළුයම 4 30ත් 5ත් අතර පැවැත්වෙන අළුයම් දුරයේ තේවාව සමන් දෙවියන් වෙනුවෙන් පවත්වන ශබ්ද පූජාවකි.හක්ගෙඩිය,දවුල,හොරණෑව,තම්මැට්ටම එහිදී වාදනය කරනු ලැබේ.

හීල්ම තේවාව
==========
                                                               සමන් දෙවියන් වෙනුවෙන් හීල් දානය පූජා කිරීම මෙහිදී සිදුකරනු ලැබේ.එහි අංඟ කීපයක් ඇත.දෙවියන්ගේ මුහුණ සේදීම සඳහා පැන් සැපයීම දියවඩම් තේවයයි.මල් පූජා කිරීම මල් තේවයයි.දේවාලයට සුවඳ දුම් ඇල්ලීම හඳුන් තේවයයි.පහනක් අතින්ගත් ආලත්ති අම්මා කෙනෙකු දෙවියන්ට ආවැඩීම ආලත්ති තේවයයි.දිනපතාම පෙරවරු 7 30ට මහ සමන් දේවාලයේ ගන්ඨාරය නාද වේ.ඉන්පසුව හේවිසි නාද වේ.මෙම ශබ්ද පූජාව අතරතුර දියවඩම් තේවය ආරම්භවේ.ඊට පසුව හඳුන් තේවය හා මල් තේවය සිදුවේ.ආලත්ති තේවය අවසානයේ සිදුකෙරේ.එයින් පසුව දෙවියන් කෙරෙහි පැන් පූජා කිරීම සිදුවේ.දෙවියන් දානය වළඳන බඳුන “මණ්ඩය“ ලෙස හැඳින්වේ.එය සේදීමද කරන්නේ එම පැන් වලිනි.මුරුතැන් පූජාව අනතුරුව සිදුවේ.මුරුතැන් රාළ මුරුතැන් පිසින අතර බත්තන රාළ මුරුතැන් ගෙයින් මුරුතැන් භාරගෙන කපු මහතාට භාරදේ.කපු මහතා දෙවියන්ට මුරුතැන් පූජා කිරීම සිදුකෙරේ.
                                                                 මුරුතැන යනු දෙවියන් වෙනුවෙන් පූජා කරන සුවිශේෂ ආහාරයකි.එයට බත්, හත්මාළුව හා කැවුම්ගෙඩි තුනක් අයත්වේ.මෙම ආහාර එවෙලේම පිසගනුලැබේ.

මහ තේවය
========
                                                                 මහ තේවයේදී බුදුන් හා දෙවියන්ට දහවල් දානය පූජා කරනුලැබේ.මෙය සෑම දිනකම පෙරවරු 9 30ට සිදුවේ.

බොලපැන් තේවාව
=============
                                                                  දෙවියන් සඳහා පැන් පූජා කිරීම බොලපැන් තේවයයි.මෙය පෙරවරු 6 30ට පමණ ඇරඹේ.දේවාලයේ උඩමළුවේ ඇති ඉපැරණි ලිඳෙන් වතුරගෙන මුරුතැන්ගෙයි තැම්පත් කිරීම මෙහිදී සිදුකෙරේ.නමුත් පෙරහැර සමයට මෙම තේවය සවස 3 30ට සිදුවේ.එවිට පැන් ගන්නේ දේවාලය අසල බොලපැන් කුඹුරේ ඇත් බොලපැන් ලිඳෙනි.

හැන්දෑදුරයේ තේවාව
===============
                                                                   බුදුන් වහන්සේ වෙනුවෙන් සවස ගිලන්පස පිදීමේ පූජාව හැන්දෑදුරයේ තේවාවයි.එය රාත්‍රී 7 00ට සිදුවේ.

මහ තේවය
========
                                                                    දවසේ අවසාන තේවාවයි.රාත්‍රී 9 30ට මෙම මහ තේවය පැවැත්වේ.මෙහිදීද අදෑසන මෙන් හඳුන්,මල්,ආලත්ති,දියවඩම් යන තේවාවන්ද පැවැත්වේ.පසුව මුරුතැන් තේවාවක්ද පැවැත්වේ.මෙය සමන් දෙවියන් වෙනුවෙන්ම පැවැත්වේ.අතීතයේදී දළුමුර තේවයක්ද සිදුවී ඇත.එහිදී දෙවියන්ට අලුත් බුලත් පූජා කිරීම සිදුවී ඇත.නමුත් එය දැන් සිදු නොවේ.

                                                       සමන් දේවාලය තුළ දෙවියන් වෙනුවෙන් පවත්වන තේවාව ඉපැරණි චාරිත්‍ර වලට අනූව දිනපතා සිදු...

සමන් දෙවොල යලි ඉදිවේ

 
                                  
                          වර්ශ 1505 දී කොළොම් තොටට යහපත්වූ ලොරැසෝ ද අල්මේදාගේ පිරිස ලංකාව පිළිබඳ ආශාව වැඩෙත්ම ලංකාවේ පාලනය අත්පත් කර ගැනීමට සැලසුම් සදන්නට විය.දොන් ජුවන් ධර්මපාල කුමරු බෞතීස්ම කරවා සිංහාසනාරූඪ කල පෘතුගීසීන් රූකඩයක් ලෙස ධර්මපාල කුමරු තම අභිමතයන් ලෙස හසුරුවමින් ක්‍රමයෙන් රටේ මධ්‍ය ප්‍රදේශ ආක්‍රමණය කරන්නට සැරසුනි.සීතාවක රජකම්කළ සීතාවක රාජසිංහ රජු මිය යෑම සමගම ක්‍රි ව.1618දී පෘතුගීසීන් සමන් දෙවියන්ගේ අඩවිය ඇතුළුව මුළුමහත් සපරගමුවම යටත්කරගැනීමට සමත් විය.පෘතුගීසීන්ගෙන් සපරගමුවට හා මහ සමන් දේවාලයට අනතුරක් වන බව කළින්ම දැනුනු නිසාදෝ සීතාවක රාජසිංහ රජු බලංගොඩ බොල්තුඹේ සමන් දේවාලයක් ඉදිකරවා යම් හෙයකින් සමන් දේවාලයට ආක්‍රමණයක් එල්ල වුවහොත් සමන් දේව ආභරණ සපරගමු මහ සමන් දේවාලයේ සිට බොල්තුඹේ සමන් දේවාලයට වැඩමවිය යුතු බවට අඥාවක් නිකුත්කර තිබින.රාජ සම්මත නීතිය පිළිපදින ලද රාජකාරි නිළයන් ආක්‍රමණය දැනගත් වහාම දේවාලයේ වැඩ සිටි සමන් දේවාභරණ සහ දේව ප්‍රථිමාවත් තවත් වටිනා වස්තුවත් බොල්තුඹේ සමන් දේවාලයට වඩමවන ලදුව පෘතුගීසීන් සපරගමු මහ සමන් දේවාලය හා සමන් වෙහෙර කඩා විනාශකරන ලදී.එම කොටස් දේවාලය අසලින් ගලා බසින කළු ගඟට විසිකර ඇති අතර ගඟේ ජල මට්ටම අඩු වූවිට මතකයක් පමණක් යළි සිහියට නංවමින් නැවතත් එම නටඹුන් කොටස් දෘශ්‍යමානවේ
                            පෘතුගීසි ජාතිකයින් තම ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරමින් දේවාල භූමියේ  පල්ලියක්,හමුදා කඳවුරක්,ලැගුම්ගෙවල් ඇතුළුව බලකොටුවක් නිර්මාණය කරගත්හ.සපරගමුවේ පන්සල්වල සිටි භික්ෂූන් වහන්සේලා පෘතුගීසි හිරිහැර තවත් ඉවසාගත නොහැකිවූ විට තම ශිෂ්‍ය සාමණේරයන් වහන්සේලා සමග පිටපළාත්වල පන්සල්වලට සංක්‍රමණය විය.ආර්ථිකයද පරිහානියට පත්විය.මෙකළ මල්වාන හා සපරගමුව පාලනය කරන ලද්දේ “දොන් ජෙරනිමෝද අසවේදු“ නැමති සෙන්පතියෙකු විසිනි.හෙතෙම ඉවක් බවක් නොමැතිව මිනිසුන් මරමින් දේපළ මංකොල්ලකෑ බව ඉතිහාසගත වාර්ථාවල සඳහන් වේ.තමන්ගේ සෑම සියළුදේටම පිහිට පතන්නට යන මහ සමන් දේවාලය පල්ලියක් බවට පත් කිරීමත් ඇතුළුව මුළුමහත් සපරගමු සංස්කෘතියම විනාශ කිරීම නිසා සපරගමු වැසියන් පෘතුගීසීන්ට වෛර කල අතර ඒවනවිට පෘතුගීසි විරෝධී අරගල ඉස්මතුවෙමින් පැවතිනි.ක්‍රිව 1635 දී දෙවන රාජසිංහ රජු රජවීමත් සමගම පෘතුගීසින්ගේ ප්‍රචන්ඩත්වය මන්දනය වන්නට විය.දෙවන රාජසිංහ රජු පෘතුගීසීන් එලවා දමමින් සපරගමුව බේරා ගැනීමට සමත් විය.මේ සඳහා එකළ ප්‍රාදේශීය පාළකයෙකු වූ “කුරුවිට රාළ“ නම් පුද්ගලයා පෙරමුණ ගෙන ක්‍රියා කළ බව 1962දී ටී.එස් ධර්මබන්දු මහතා ලියන ලද කෞරව වංශය නම් පොතේ සඳහන් වේ.
                            සෙනරත් රජු මරණාසන්න මොහොතේ කුරුවිට රාළටත් මීගමුවේ රාළටත් තම දරුවා ආරක්ෂා කරනට රාජ්‍ය බලය පවරා දුන් රාජකීය ශ්‍රී සන්නසේ මෙසේ සඳහන් විය.

                                දියතිලක මහවාසලේදීය,
                                                            අසනීපකම් නිසාත් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නැතිකම නිසාත් කුසුමාසන දේවිය හා සෙනරත්රජු වන අපගේ දරුවාවූද ලංකාද්වීපයේ ඔටුන්න හිමි කුමාරයාවූද “කුමාර සිංහස්ථාන“කුමාරයා අපගේ ඇවෑමෙන් රාජප්‍රාප්තවනතුරු ආරක්ෂා කිරීමටත් රාජ්‍ය බලය රැකගැනීමටත් ඌවේ කුමාරයාටත් මීගමුවේ කුමාරයාටත් රාජකීය ශ්‍රී සන්නසක් මගින් පැවරූ වගයි......ඒ අනුව මහ වාසලට ගෙවියයුතු ආදායම් ගණන් සහිතව මෙම කුමාරයින් දෙපළට දියයුතු අතර එය කවුරුන් හෝ නොකෙරෙත්ද? ඔහු මරණීය දණ්ඩනයට යටත්වන බව මෙයින් දැනගත යුතුයැ.ඕනෑ විටකදී සියළුම බලවන්තයන් හා වංශවතුන් මහ වාසලේ පෙනී සිටීමටත් සියළු දෙයෙහි ඔවුන්ට යටත් වීමටත් ඔටුන්න හිමි කුමාරයා හා රාජ්‍යාධිකාරයන් ඉදිරියේ සාමාන්‍ය ප්‍රකාශ කිරීමටත් බල කරනු ලැබේ.ස්වර්ණමය අක්ෂරයෙන් ලියැවුනු අපගේ මෙම සන්නස මීගමුවේ කුමාරයාටත් ඌවේ කුමාරයාටත් ප්‍රදානය කරනු ලැබේ.ක්‍රිමනල් සිවිල් නඩු විසඳීමේ බලයද මොවුන්ට දුන් බව තවදුරටත් ප්‍රකාශ කරමු.එනිසා අපගේ ආඥාවත් බල කිරීමත් සියළු රජවරුන්ද කුමාරයන්ද ආධිපාදයන්ද මාණ්ඩලීකයන්ද ආගමික ප්‍රධානීන්ද වංශාධිපතීන්ද ආණ්ඩුකාරයන්ද පළාත් පාළකයන්ද නගරාධිපතීන්ද කප්පිත්තන්ද සභා නායකයන්ද අනුශාසකයන්ද නෞකාධි පතීන්ද විනිසුරුවන්ද ගොවීන්ද ස්වදේශිකයන්ද හේවායන්ද නාගරිකයන්ද අනෙකුත් සියළු දෙනාද පොදු හා පෞද්ගලික වශයෙන් ඔටුන්න හිමි කුමාරයා නිසි වයසට පැමිනෙනතුරු පළමු කියන ලද බලකාර කුමාරයන් දෙදෙනා රාජ්‍ය පාලකයන් හැටියට පිළිගෙන පක්ෂපාතීත්වය ප්‍රකාශ කරනසේ දිවුරා අපට ගෞරව කරන්නාසේ ඔවුන්ටත් ගෞරව කරන ලෙස තරයේ ප්‍රකාශ කර සිටිමියි වදාරන්නමෝහ.
                                                                                                            ක්‍රිස්තු වර්ශ 1613 අගොස්තු මස 19 වැනි දින
                                                                                                             දියතිලක මහ වාසලේදීය.

                                                                      මෙසේ කුරුවිට රාළ නැමැත්තාට රාජ්‍ය පිළිබඳ වගකීම උරුමවිය.දෙවන රාජසිංහ සමයේදී පෘතුගීසීන් සමූල ඝාතනයකර සබරගමු මහසමන් දේවාලය බේරාගැනීමෙහිලා හේ විශේෂ දායකත්වයක් ලබාදින.සමන් දේවාලය බේරාගැනීමෙහි අදාල ජනකථාව මෙවැන්නක් අඩංගුවේ.
                                                                       කුරුවිට තැඹිලියනරාළ හා කහවත්තේ රත්නැකරාළ එකළ විසූ සිංහල යුධ සෙනෙවියන් දෙදෙනෙකි.තැඹිලියනරාළ ගුවනේ පාවෙමින් යන්නාසේ සටන් කිරීමට දක්ෂවිය.හෙතෙම රත්නපුර ප්‍රදේශයේ “තැඹිලියන බණ්ඩා“ යන නාමයෙන් ප්‍රසිද්ධියට පත් ව සිටියේය.උපායශීලීව පෘතුගීසි බලකොටුවට ඇතුල්වීමට ඔවුහූ සැලසුම් කර, දිනක් සවස් යාමයේ සමන්දේවාලය එනම් එවිට පෘතුගීසි බලකොටුව ඉදිරිපිටට ගැමියන් කීපදෙනෙකු යවා පෘතුගීසි හේවායන් සමග පුරසාරම් දෙඩවීමක් ආරම්භ කරවන ලදී.එහිදී එම ගැමියන් පෘතුගීසි හේවායන් සමග තුඹිලියන රාළගේ හා රත්නැක රාළගේ ගුවන් කරනම් පිළිබඳව විස්තර කරනවිට පෘතුගීසි හේවායන් “එවැනි කරනම් අපටත් පෙන්වන්න උඹලාට පුළුවනිදැයි“ අසන ලදී.ඒ අනුව යමින් එම පිරිස සමග තැඹිලියන රාළ හා රත්නැකරාළද බලකොටුවට ඇතුල්වී තිබේ.ඉන් පසුව බලකොටුවේ කරනම් සංදර්ශනයක් සූදානම් විය.තැඹිලියන රාළ හා රත්නැකරාළ මද වේලාවක් දස්කම්පා පසුව තමතමන්ගේ ඉනෙහි පුස්කොලවලින් ඔතා ආරක්ෂා සහිතව ගෙනා අසිපත් ඉවතටගෙන පෘතුගීසීන් අතරට පැන ඔවුන් පෙතිගසා දමන්නට විය.පුරසාරම් කියන්නවුන් අතරේ තැඹිලියනරාළ හා රත්නැක රාළ ඉන්නාබව පෘතුගීසීන්ට තේරුම් ගැනීමට හැකිවී නැත.කරනම් බැලීමට ආ නිසා පෘතුගීසීන් අතේ ආයුධවත් සතු නොවූහෙයින් ක්‍රියාත්මක වූ සිංහල සේනාව වහාම බලකොටුවට සතරදෙසින් කඩාපැන එහි විසූ සියළුම පෘතුගීසීන් කපා කොටා සමූල ඝාතනය කර බලකොටුව යටත් කරගන්නා ලදී.මෙම සටන බිහිසුනු සටනක් වූවාට සැක නැත.අනතුරුව එහිවූ පල්ලිය හා අනෙක් ගොඩනැගිලි සියල්ලම සිංහලයන් විසින් කඩාබිඳදමා දේවාලය නැවත ගොඩනැංවීම වහාම ආරම්භ කර තිබේ.මෙම කථා පුවතේ සඳහන් කුරුවිට තැඹිලියනරාළ හා කළින් සඳහන් කළ කුරුවිටරාළ යනු එක් අයෙක්ලෙස සමහර විද්වතුන් ප්‍රකාශකර තිබේ.කෙසේ වෙතත් ඒ කව්රුන්හෝ වේවා සමන්දේවාල භූමිය නැවත බෞද්ධයින් අතට පත්කිරීමට ගත් ආයාසය,අප කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතුය.
                                                                           මෙසේ සිංහළ ආධිපත්‍යට නතුකරගත් සමන්දේවාලය සෑම අතින්ම බෞද්ධ පරිසරයකට සුදුසු ලෙස තිබුනේ නැත.එනිසා එය දැන් පවතින ස්වරූපයට ගැනීමට දෙවන රාජසිංහ රජතුමාට අපමන වෙහෙසක් ගැනීමට සිදුවිය.මෙම අවස්ථාවේ සමන් දේවාලය ගොඩනැංවීමෙදී විශාල අඩුපාඩුවක් සිදුවී ඇත.එනම් සැවුල් සංදේශයේ සඳහන් සමන්වෙහෙර නැවත ඉදිනොවීමයි.පෘතුගීසීන්ට භියෙන් සබරගමුවේ සිටි භික්ෂූන් වහන්සේලා වෙනත් පළාත් වලට පළායාම නිසා සමන්වෙහෙරක් තැනීමට රජුට උපදෙස් දෙන්නට කවුරුන්හෝ නොසිටින්නට ඇත.එසේ වූවත් දේවාලයේ පෞරාණික ලක්ෂණ පෙන්වන ආකාරයට බුදුමැදුරක් තැනීමට රජු අමතක කර නැත.පෘතුගීසීන්ගෙන් මුදාගත්පසු, බොල්තුඹේ සමන්දේවාලයට වැඩමෙව් දේවාභරණ ඉක්මනින්ම උරුම ස්ථානයට වඩමවා කඩිනමින් පූජෝපහාර කළයුතුනිසා දේවාලය ඉක්මනින් ඉදිවිය.එකළ වූ ආර්ථික දුෂ්කරතා නිසාදෝ සමන්දේවාලයේ නොයෙක් අංග අඩුපාඩු සහිතය.නමුත් අංගසම්පූර්ණ දේවාලයක අඩංඟු කොටස් යම් පමණකින් හෝ සම්පූර්ණ කිරීමට දෙවන රාජසිංහ රජු ක්‍රියාකර ඇත.එනිසා බැතිමතුන්ගේ දේව භක්තිය පළුදුවීමට එම අඩුපාඩුකම් හේතුවී නැත...
                                                                             පෘතුගීසීන්ගේ කාලය සිහිපත්කරවන හේවායෙකුගේ කැටයමක් අදටද සමන්දේවාලයේ පහත මළුවේ දක්නටලැබේ.එයින් සිංහලයෙකු පාගා සිටින පෘතුගීසි හේවායෙකු පිළිබිඹුවේ.සමන් දේවාලය රැකගැනීමට අතීතයේ දිවිදුන් ඒ සියළුදෙනාවම අපි ගෞරවයෙන් සිහිපත් කරමු.
        
                                     ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා.....!

                                                               වර්ශ 1505 දී කොළොම් තොටට යහපත්වූ ලොරැසෝ ද අල්මේදාගේ පිරිස ලංකාව පිළිබඳ ආශ...

දළදා වහන්සේ වැඩමෙව් සමන් දේව පෙරහැර








                                      බලංගොඩ මානවයාගේ පොසිල සොයා ගැනීමත් සමගම සබරගමුවේ ඉතිහාසය සිතාගත නොහැකි තරම් ඈතට දිව ගියේය.ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සිට මෙසේ පරිණාමය වෙමින් ආ සබරගමුවේ වැසියන්ට නිරහංකාරව ආඩම්බර වීමට හේතු සලසාදුන්,දළදා ඉතිහාසය හා සබරගමු ඉතිහාසය මෙසේ යා වූ වගයි........
            හේම මාලාවගේ කෙස් කළඹෙහි සැඟවී ලාට රටේ සිංහ පුරයේ සිට මෙරටට වැඩි දළදා වහන්සේ අනුරාධපුරය,පොළොන්නරුව,දඹදෙනිය,යාපහුව,කුරුනෑගල,ගම්පොළ, යන රාජධානිවලට, රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ හිස මතින් ආරක්ෂාව හේතුපාදක කරගෙන වඩමවන ලදී.1505 දී පෘතුගීසීන් ලංකාවට ඒමත් සමගම ලංකාවේ සාමකාමීත්වය පිරිහීම ආරම්භ විය.සීතාවක මායාදුන්නේ සමය වනවිට පෘතුගීසීන් තම ආධිපත්‍යය ගාල්ල මාතර දෙවිනුවර කළුතර පානදුර ආදී මුහුදුබඩ ප්‍රදේශවල තර කරන අතරම සිංහල රාජ්‍යය තමා නතුකර ගැනීමට රාජ්‍ය උරුමය ලද ධර්මපාල කුමරු ලාබාල අවදියේදීම දොන් ජුවන් ධර්මපාල ලෙස භෞතීස්ම කරවා වර්ශ 1551 දී, වසර දෙදහස් ගණනක් බෞද්ධයා සතුවූ රාජ්‍යත්වය වංචනිකව ඔවුන් අතට ගන්නා ලදී.හයක් හතරක් නොතේරෙන කුඩා ධර්මපාල කුමරා පෘතුගීසි රූකඩයක් බවට පත් වූ අතර රාජ්‍යත්වයෙන් ඔදවැඩී සිටි නිසාදෝ “මම රජු යන“ හැඟිම පමණක් මුදුන්පත් කරගෙන පෘතුගීසීන්ට අභිමත දෙය කිරීමට ඉඩදී සිංහාසනයේ කල්ගෙවීය.කෙළිදෙලෙන් කල්ගෙවූ හෙතෙම කාලයක් ගතවත්ම පෘතුගීසීන් සමග බෞද්ධ වෙහෙර විහාර මංකොල්ල කෑමට ඉදිරිපත් විය.ඒ අනුව පාරම්පරිකව වෙහෙර විහාරවල තිබූ, අතීතයේ රජ දරුවන් පූජා කළ වටිනා වස්තූන් මංකොල්ල කෑමට ලක් විය.මෙම කාලයේ  සීතාවක රජධානියේ රජකම් කලේ මායාදුන්නේ රජුය.
                                   මේ වන විට කෝට්ටේ දළදා මාළිගාවේ දියවඩන නිළමේ ලෙස කටයුතු කරන ලද්දේ කීරවැල්ලේ හිරිපිටිය නිළමේය.ඔහු දළදා වහන්සේ ලංකාවට වැඩමෙව් දන්ත කුමරුගේ පරම්පරාවට අයත් පුද්ගලයෙකි.එබැවින් හේ දළදාව රැකීමට රාජකාරි මට්ටමෙන් මෙන්ම පාරම්පරික උරුමයෙන්ද බැඳී සිටියේය.කීරවැල්ලේ හිරිපිටිය නිළමේ දිනක් අපූරු හීනයක් දැක්කේය.නිල් පැහැති ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් නැගෙනහිර දිශාවට තම අසිපත දිගුකර “කෝට්ටේ කලාලේ කිසිල්ලේ,දත මැදගන්න රාළේ “ යැයි එම සිහිනයේදී නිළමේට පවසන ලදී.මේ සිහිනයෙන් යම් අනතුරක සේයාවක් පෙනුනත් කීරවැල්ලේ නිළමේට එය හරිහැටි තේරුම් නොවීය.නියම දළදාව තමා අතට ගත් කීරවැල්ලේ නිළමේ දළදාවේ අනුරුවක් කෝට්ටේ දළදා මාළිගාවේ තබා පැපිළියාන විහාරස්ථානයට ගොස් එහි විසූ නාගසේන හිමියන් බැහැදකින ලදී.එහිදී මෙම සිහිනය පිළිබඳව විමසූවිට නාගසේන හිමියන් එම සිහිනය පිළිබඳ විවරණය කර වහාම දළදාව රැගෙන පළායන ලෙස කීරවැල්ලේ නිළමෙට පැවසුවේය.පැපිළියාන විහාරස්ථානයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි විසින් නිර්මානය කළ “ ශබ්ද ද්වනී වාහිනී“ නැමති යන්ත්‍රයක් විය.එය පිළිබඳව වැඩි විස්තරයක් සොයා ගැනීමට නොහැකි වූවත් එයින් සැතපුමක් පමණ දුර සිට කරන කතාබහකට සවන් දීමට හැකි බව වාර්ථාවී තිබේ.ඒ අවස්ථාවේදී එම යන්ත්‍රය ක්‍රියාත්මක කළ විට නාගසේන හිමියන්ට දැනගැනීමට හැකිවී ඇත්තේ ධර්මපාල රජු පෘතුගීසීන් සමග එක්වී දළදා මාළිගාව කොල්ල කෑමට සැලසුම් කරන බවයි.ක්‍රියාත්මකවූ කීරවැල්ලේ නිළමේ දළදාව රැගෙන සීතාවක රාජධානියට එදිනම පළා ගියේය.
                                 දළදා වහන්සේ සීතාවක මායාදුන්නේ රජුට භාරකළ හිරිපිටිය නිළමේ තමා මුහුණපෑ සිද්ධිය රජුට පවසන ලදී.තම රාජධානියේ දළදා වහන්සේට ආරක්ෂාව නොමැති බව සිතූ මායාදුන්නේ රජු කුරුවිට දෙල්ගමුව රජමහ විහාරයේ නව දළදා මාළිගාවක් සාදා දළදා වහන්සේ එහි තැම්පත්කර දළදාවේ භාරකාරත්වය දෙල්ගමුව විහාරයේ ශ්‍රී මහින්දාලංකාර තෙරණුවන්ට භාර කරන ලදී.මුලදී සඳහන් කළ ලෙස මේ ආකාරයට දළදා වංශ කථාවට සබරගමු වංශ කථාව යාවිය.දළදා වහන්සේ වැඩමවීමට තරමක කාලය ගතවූ පසු සබරගමුවටද පෘතුගීසි තර්ජන එල්ලවන්නට විය.මෙය දළදාවේ ආරක්ෂාවට තරජනයක් බව දැනගත් මහින්දාලංකාර තෙරණුවෝ අතිවිශාල කුරහන් ගලක් සාදා එහි පත්ලෙහි දළදා වහන්සේ තැම්පත් කෙරින.  
                                     මෙම යෝධ කුරහන්ගල අඩි 4ක් දිගවේ.පළල අඩි 2 අඟල් 9කි.ගලේ වට ප්‍රමානය අඩි 8 අඟල් 9කි.ශ්‍රීපාද කන්දෙහි සීත ඟඟුලෙන් ඇරඹෙන කුරු ගඟ ගලා බසින්නේ මෙම දෙල්ගමුව විහාරය ආසන්නයෙන්ය.දළදාවේ වැඩි ආරක්ෂාව සඳහා මහින්දාලංකාර හිමි කුරු ගඟෙන් ලද මැණිකකින් කොපුවක් සාදා,දළදා වහන්සේ එහි තැම්පත් කරන ලදී.එමර්සන්ට් ටෙනන්ට් ඉතාහාසඥයාගේ වාර්තා වල එය සඳහන්වේ.එනිසා පෘතුගීසීන්ට සැබෑ දළදාව හසු නොවීය.
                                      මේ අතර කීරවැල්ලේ හිරිපිටිය නිළමේ විසින් කෝට්ටේ දළදා මාළිගාවේ තබා ගිය බොරු දළදාව නියම දළදාව ලෙස සලකා වීදිය බන්ඩාර කුමරු එය රැගෙන යාපනයට පැනයන අතරේදී පෘතුගීසීන්ට හසුවිය.බොරු දළදාව ඔවුන් අතට පත් විය.මෙය සැබෑ දළදාව ලෙස සලකා එය ගෝවට ගෙන ගිය පෘතුගීසීන් දළදාව තමන් විසින් විනාශ කළේ යැයි කියමින් පුළුස්සා විනාශ කළේය.නමුත් කුරුවිට දෙල්ගමුව විහාරයේ දළදා වහන්සේ සුරක්ෂිත විය.මායාදුන්නේ රජු ඇවෑමෙන් සීතාවක රාජධානිය පළමුවන රාජසිංහ රජුට හිමි විය.
                                          දෙල්ගමු විහාරයේ වැඩසිටි දළදා වහන්සේට නියම පූජෝපහාර සිදුවූවත් දළදා පෙරහැරක් පැවැත්වීමට නොහැකි විය.මෙම අඩුව පිරවීම සිදුවූයේ සබරගමුව මහ සමන්දේවාලයෙන්ය.රාජසිංහ රජුගේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පෙරහැර සංවිධානය විය.මහ සමන්දේවාලයේ ඇසළ පෙරහැර පැවැත්වෙන විට දළදා වහන්සේ මහ පෙරහැරෙන් කුරුවිට දෙල්ගමුවේ සිට සමන්දේවාලයට වඩමවා සමන්දේවාල පෙරහැරේ ඉදිරියෙන් දළදා පෙරහැර පෙළගස්වා පෙරහැර මංගල්‍යය සිදුකර දළදා පූජාව සිදුකරන ලදී.අදත් මෙම දළදා පෙරහැර සංකේත කරනු වස්,සමන්දේවාල පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කරන්නේ සධාතුක කරඬුව රැගත් දළදා පෙරහැරකි.දෙල්ගමුවේ සිට කිලෝ මීටර් 20ක් පමණ සමන් දේවාලයට ඇත.මෙම මග ගෙවමින් පුරා වර්ශ 42ක් දළදාව වැඩමෙව්වේ සමන්දේවාල පෙරහැරේය.පළමුවැනි විමළධර්මසූරිය රජු ක්‍රි ව 1593 දී මහනුවරට දළදාව රැගෙන යන තුරු දළදාවට ආරක්ෂාව ගෞරවය දක්වන ලද්දේ සමන්දේවාලය ප්‍රමුඛ සබරගමු වැසියන්ය.


මෙම ඡායා රූපයේ දැක්වෙන්නේ 2012 වසරේ සබරගමු මහ සමන් දේවාලයේ ඇසළ පෙරහැරේ දළදා පෙරහැර ගෙට ගෙවැදී සධාතුක කරඬුව දේවාලයට වැඩමවීමට තේවාව භාර නිළධාරීන් පැමිණෙන තුරු බලා සිටින ගම්පහ නැදුන්ගමුවේ විජයරාජා හස්තියාය.. 




                                      බලංගොඩ මානවයාගේ පොසිල සොයා ගැනීමත් සමගම සබරගමුවේ ඉතිහාසය සිතාගත නොහැකි තරම් ඈතට දිව ගි...

සමන් දෙවිඳු හා සමන් දේවාලය




                                                         සබරගමුවේ ජීවත්වන සියළු දෙනාම තම ජීවිතයේ වැදගත් සෑම අවස්ථාවකදීම සමන් දෙවිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට හුරු පුරුදු වී තිබේ.දෙවියන් පිළිබඳ විශ්වාස කලා හෝ නොකලා වසරකට වරක් හෝ දේවාලය වැඳ පුදා ගැනීමට ඔවුහූ අමතක නොකරති.කාර්මීකරණය නිසාදෝ අද දෙවියන් හුදෙක්ම දේවාලයට හා පෙරහරට පමණක් සීමාවී ඇතත්,දෙවියන් අපගේ ජීවිත වලට නැවතත් කාන්දුවෙමින් ඇතැයි යන්න මගේ පෞද්ගලික හැඟීමයි
                                                           බුදු හිමිගේ ලංකා ගමන පිළිබඳ කථා පුවත් වලදී සමන් දෙවියන් පිළිබඳ තොරතුරු අනාවරනය වේ.විෂ්ණු,ස්කන්ධ,හෙනකඳ බිසෝ බන්ඩාර,අයියානායක ආදී දෙවිවරුන් මෙන්ම සමන් දෙවියන්ද ප්‍රාදේශීය දෙවි කෙනෙකි.ඈත අතීතයේ ලංකාවේ සබරගමුව හා බිංතැන්න ප්‍රදේශ පාලනය කළ ප්‍රාදේශීය පාලකයෙක් ලෙස සුමන සමන් දෙවියන් සලකනු ලැබේ.එම කාලය තුල මොහු ඉතාමත් ධාර්මික ලෙස පාලනය ගෙනගිය නිසාත්,මහජනතාවට හොඳින් සැලකීම නිසාත්,මරණින් පසු දේවත්වයට මොහු ඔසවා තබන්නට ඇතැයි සමහරුන් විශ්වාස කරනු ලැබේ.බුදුන්ගේ ලංකා ගමනේදී සෝවාන් මාර්ගඵලයට පත් වූයේ සමන් දෙවියන්ද නැත්නම් සුමන නම්ව සිටි සමන් දෙවියන්ගේ මනුශ්‍ය ආත්මයද යන්න පිළිබඳව යම් අපැහැදිළි තත්වයක්ද පවතී.ආදි මුතුන්මිත්තන් සතුව තිබූ යන්ත්‍ර මන්ත්‍ර අංජනම්එළි ආදී ගුප්ත ශාස්ත්‍රයන්ට අනුව සමන් දෙවියන් ඇතිවීම පිළිබඳ රසවත් කථා පුවතක් තිබේ.
                                                            අතීතයේ ජීවත් වූ සුමන නම් පුද්ගලයා පන්සිල් රකින,ඉතා දැහැමි ජීවිතයක් ගතකළ පුද්ගලයෙකි.මොහු දේවත්වය ලැබීමට තරම් කල පින්කම් හේතුවෙන් ශක්‍රභවන රත්වන්නට විය.ශක්‍රයා දිවැසින් ඊට හේතුව බැලූවිට සුමන නැමැත්තා පිළිබඳව දැනගන්නට ලැබිනි.ශක්‍රයා මේ පිළිබඳව විෂ්ණුට සැලකළවිට විෂ්ණු, සුමනව දේවත්වයට පත් කිරීමට කටයුතු කරන ලදී.
                                                           දිනක් සුමනට නිවසින් පිටත්ව දුර බැහැරගොස් නැවත නිවසට ඒමට ප්‍රමාද විය.රෑබෝ වීම නිසා සුමන අතරමග නිවසක නවාතැන් ගන්නා ලදී.එම නිවසෙහි වූ මහළු පුද්ගලයෙක් සුමනට හොඳින් සංග්‍රහ කරන ලදී.රාත්‍රී ආහාරයද ලබාගත් පසුව,සුමන නින්දට ගිය අතර මහල්ලාද නින්දට ගියේය.පසුදා උදෑසන සුමන මියගොස් මළකඳ නිවසේ තිබූ අතර මහල්ලෙක් සිට නැත.මෙම නිවසට ඇතුළු වූයේ එය පාළු නිවසක් බව සුමන දැන නොසිටි නිසා වන්නට ඇත.ගම් වාසීන් දින කීපයකට පසුව කුණු ගඳ ගසනවිට පරීක්ෂා කළවිට සුමනගේ කුණුවූ මළසිරුර සොයාගෙන තිබේ.මේවනවිට සුමන දේවත්වයට පත්ව සිටි අතර මහල්ලා ලෙස ආ වීෂ්ණු සුධර්මා නම් දිව්‍ය සභාවේදී සුමනට “සමන්“ යන නාමය ලබාදී ලංකාව ආරක්ෂා කිරීමට පවරන ලදී.මෙම මහල්ලා සිටි නිවහන පිහිටි ප්‍රදේශය අද කුරුවිට දෙවිපහල ලෙස හැදින්වෙන්නේ යැයි සමහර පැරැන්නෝ කියනුලැබේ.දෙවියන් ඇතිවූ එනම් පහලවූ ප්‍රදේශය නිසා මෙය දෙවිපහල ලෙස නම් වන්නට ඇත.දෙවියන්ගේ වාස භවන සමනළ කන්ද ලෙසද වාහනය ලෙස ඇලි හස්තියාද සම්මත විය.බුදුන්ගේ ලංකා ගමන මින් පසුව සිදුවන්නට ඇත.
                                                             මෙය ලිඛිත සාක්ෂි කිවක් හෝ වෙනයම් සාක්ෂි නොමැති කථා පුවතකි.නමුත් එහි යම් රසවත් බවක් තිබේ.කෙසේ හෝ පහළවූ සමන් දෙවියන් සෝවාන් ඵලයට පත් දෙවිකෙනෙකි.කකුසඳ,කෝනාගම,කාශ්‍යප,ගෞතම බුදුවරුන්ගෙන් මතු බුදුබව ලැබීමට විවරණ ලත් කෙනෙක් බව සඳහන්වේ.සමන් දෙවියන් අවලෝතිකේෂ්වර බෝසත් කෙනෙක් යැයි සමහරු කියනු ලැබේ.මේ පිළිබඳ තොරතුරු සොයන විට මට හමු වූ මන්තර හා ගුරුකම් පිළිබඳ නිපුන පුද්ගලයෙකු සමන් දෙවියන් පිළිබඳව වෙනමවූ කථාවක් කියන ලදී. එනම් සමන් දෙවියන් යකුන්ට හා රාක්ෂයින්ට, මිනිසුන් බිලිදුන් කථා පුවත් තම මන්තරවල අඩංඟු බවයි.මහසෝනා හා රීරි යකා සමන් දෙවියන්ගේ ප්‍රදාන සේවකයින් බවත් සමනල කන්ද වටා ඇති කඳු යාය මෙම යකුන් දෙදෙනාගේ වාසස්ථාන වව බවත් සිරිපා කරුණා කරන්නන්ගේ ආරක්ෂාව සඳහා මෙම යකුන් දෙදෙනාව සමන්දෙවියන් විසින් සේවයේ යොදවා ඇති බවත්  ඔහු වැඩිදුර පවසන ලදී.බොධිසත්ව චරිතයක් හා මෙය ගැළපේදැයි තවදුරටත් සිතාබැලිය යුතුය.
                                                          සමන් දෙවියන්ගේ පැරණි රූපයක් පුරාණ දඹුලු ලෙන් විහාරයේ ඇත.අත් ඉදිරියට යොමු කරගෙන “කටක හස්ථ මුද්‍රාව“ දැක්වෙන ලෙස සුදුහඳුන් දැවයෙන් මෙම පිළිරුව නෙලා තිබේ.විහාරය තරමටම මෙම පිළිරුව පැරණි බව හා එය ශ්‍රේෂ්ඨ කළාකෘතියක් බවත් විද්වතුන් ප්‍රකාශ කර තිබේ.
                                                           සමන් දෙවියන් ශ්‍රීපාදයට සබරගමුව මහ සමන් දේවාලයට බොල්තුඹේ,මහියංගනය,දැරණියගල, ආදී දේවාලවලට අධිගෘහිතව වාසය කරනු ලැබේ.එම ප්‍රෙද්ශවල ජනතාවත් ලංකා වාසි සියළුදෙනාවත් ආරක්ෂා කිරීමට සමන් දෙවිඳුන් නිතිපතා දායක වේ...

     සමන් දේවාලය.

                                                                          සමන්දේවාලය මුලින්ම ඉදිවී ඇත්තේ දැනට වර්ශ 776කට පමන පෙර ඳඹදෙනි යුගයේ විසූ කීර්තිමත් නරපතියෙකු වූ දෙවන පරාක්‍රමභාහු රජු විසිනි.පොළොන්නරු යුගයේ බිඳවැටීම සමගම දඹදෙනියට රාජ්‍යය සංක්‍රමනය විය.සොලී ආක්‍රමණ නිසාලංකාවේ ආර්ථිකය බිඳවටී තිබින.දෙවන පැරකුම්බා රජු තම භාන්ඩාගාරය තර කිරීම සඳහා මැණික් රැගෙන එන ලෙස තන ඇමති මණ්ඩලයේ විසූ ආර්යකාමදේව ඇමතිවරයාට උපදෙස් දී තිබේ.එකල පටන් මැණික් සඳහා සබරගමුව ප්‍රසිද්දවී තිබී ඇත.ආර්යකාමදේව පිරිස සමග සබරගමුවට පැමිණ මැණික් ගැරීම සාර්ථක වුවහොත් මහ දෙවොලක් සාදා කැප කරන ලෙස සමන් දෙවියන්ට භාරවී තිබේ.මැණික් ගැරීම සාර්ථක විය.වීශාල මිරිස්ගලක් තරම් මැණික්ද තවත් මැණික් විශාල ප්‍රමානයක්ද ලැබී තිබේ.
                                                                         ආර්යකාමදේව මෙම පුවත දෙවන පැරකුම්බා රජුට දැන්වූ පසු රජු දේවාලයේ කටයුතු ඉටු කිරීමට ආර්යකාමදේව ඇමතිට මුදල් හා පිරිවර ලබාදී තිබේ.සබරගමුවේ මැණික් ව්‍යපාරිකයන් සමන්දෙවියන්වෙත භාර වීම මෙහී සිට සම්ප්‍රදායක් විය.ආර්යකාමදේවයන් දේවාලය සාදා අවසන් කළවිට රජු විසින් ශ්‍රීපාදස්ථානයේ ඇති සමන් දේව ප්‍රතිමාවක් හා දේවාභරණ මෙම දේවාලයට වඩමවා දේවාලය අංග සම්පූර්ණ කරන ලදී.මෙම දෙවොල ඉදි වූයේ පුරාණ සමන් වෙහෙර පිහිටි ස්ථානයේ බවට මතයක් ඇත.නමුත් අද එවැනි වෙහෙරක් දක්නට නැත.මේ ආකාරයට සමන් දේවාලය ඉදිවිය.දේවාලය ශාන්ති මණ්ඩපයක්,දික්ගෙයක්,හේවිසි මණ්ඩපයක්,හඳුන් කුඩම,පෙරහැර ගමන්කරන වීදියකින්ද සමන්විතවිය.දේවාලයේ මහනුවර යුගයට අයත්  බුදුමැදුරක් ඇත.මෙහි මහනුවර යුගයේ චිත්‍ර ඇත.ඊට ඉදිරියෙන් පත්තිනි දේවාලයක් ඇත.මුල් සමන්දේවාලයේ පත්තිනි දේවාලයක් තිබී නැත.නමුත් හංගමුව මගුරුගොඩ පුරාණ පත්තිනි දේවාලයේ ඇති දේවාභරණ කීපයක් සමන්දේවාලයේ පත්තිනි දේවාලයට වඩමවා දේවාලය ඉදි කරන ලදී.මීට අමතරව ලිඳක්,මුරුතැන්ගෙයක්,ඇතුළු ගබඩාවක් දේවාලයට අඩංගුවේ..
                                                                         සැවුල් සංදේශය කියවනවිට සමන්වෙහෙරක් පිළිබඳව රූපයක්  මැවේ.නමුත් පැහැදිළි සාක්ෂි හමුවී නැත.වලගමෟභාරජු විසින් සමන් වෙහෙරක් කරවූ බවට සැකයක් තිබේ.ඊට හේතුව පොත්ගුල් විහාරය ඉදිකලේද වලගම්භා රජු වීමයි.
                                                                          සමන්දේවාලය සාදා වසර 200කට පමණ පසුව එය පිළිසකර කර තිබේ.ක්‍රි.ව.1410 දී හයවන පැරකුම්භා රජු මෙම පිළිසකර කිරීම සඳහා රිදී පඬුරු 26000 ක් ලබා දී ඇති බවට වාර්තාවී තිබේ.මෙම පිළිසකර කිරීම කර තිබෙන්නේ නීලප්පෙරුමාල් පඬිතුමා විසිනි.මොහු ආර්යකාමදේව ඇමකිගේ මුනුබුරෙකි.මුල්වරට දේවාලය සෑදූ විට එහි කපු නිලය “ඇත්ඔය කපුරාල“ට දෙවන පැරකුම්භා රජු විසින් භාර දී තිබේ.රජු විසින් දේවාලයේ බස්නායක ලෙස ආර්යකාමදේව ඇමති පත් කරන ලදී. කපුනිලය පසුව වෙනස් විය.ක්‍රිව 1410 දී දේවාලය පිළිසකර කිරීම සමගම නීලප්පෙරුමාල්ගෙන් ශ්‍රී නාරායන කපු පරපුරත්,මයිලප්පෙරුමාල්ගෙන් ශ්‍රී විජය නාරායන කපු පරපුරත් බිහිවිය.ශ්‍රී නාරායනයෝ ප්‍රධාන කපු පරපුරත් ශ්‍රී විජය නාරායනයෝ දෙවන කපු පරපුරත් නියෝජය කළහ.මොවුන් අද දක්වාම තම රාජකාරිය අකුරටම ඉටු කරමින් පවතී..
                                                                          මුල් සමන්දේවාලය පෟථිගීසීන් විසින් කඩා විනාශ කර දමන ලදී.අප දැනට දකින දේවාලය ඉදිකරන ලද්දේ දෙවන රාජසිංහ රජු මගිනි.එම කාලයේ කලාත්මක හා ගුප්ත හැඟුම් දනවනලෙස දේවාල ඉදිකළහැකි වාතාවරනයක් නොතිබිනි.දේවාලයට ගියවිට මදක් සෝදිසියෙන් බලන්න.දේවාලයේ හඳුන් කුඩමට ගොඩවන පියගැටපෙල දෙපස මුරකාරයින්ගේ රූප අසම්පූර්ණ හා අසමමිතිකය.මකර තොරන් අසම්පූර්ණය.චීත්‍ර ඇඳිමේදී වැඩි රටා, රූප, වර්ණ, යොදා නැත.දේවාලයට පිවිසෙන ගල් උළුවස්ස වෙනත් උළුවහු කීපයක කැබලි වේ.දේවාලයේ ලී කැටයම් ආදිය දක්නට නැති තරම්ය.මෙසේ වීමට හේතු වන්නට ඇත්තේ එකළ වූ දේශපාලනික අරගලයන් තිබීමය.නමුත් දේවාලයක තිබිය යුතු අංග සියල්ල මෙම දේවාලයේ අඩංගුවේ.
                                                                           දේවාලයේ හා දේවාලයට සම්බන්ධ පවුල්වලට යැපීමට කුරුවි,හංගමුව,කලවාන,නිවිතිගල,රත්නපුර ආදී ස්ථානවල නින්දගම්,6වන පැරකුම්භා රජු විසින් ලබාදී තිබේ.ඊට අමතරව දේවාලයේ පුදපූජා වත්පිළිවෙත් පිළිබඳව සඳහන්කළ සන්නසක්ද එම රජු ලබා දී තිබේ.අදත් දේවාලයේ මෙම සන්නසේ දැක්වෙනලෙස පුදපූජා අකුරටම ඉටුකරනුලැබේ.දේවාලයේ නිල රාජකාරියේ ප්‍රධානියා කපුමහතාය.මුරුතැන්රාල මුරුතැන් පිසීම කරයි.බත්තන රාල මුරුතැන්ගෙයිසිට මුරුතන කපුමහතාට ගෙනවිත් භාරදෙයි.උදව්කරන රාල මුරුතැන් රාලට උදව් කරනු ලැබේ.මුරේ හේනේ මාමා නම් පුද්ගලයා දේවාලයේ රෙදි සේදීම,වියන් බැඳීම සිදුකරයි.මුරුතැන ගෙනඑනවිට පන්දම් අල්ලන්නේ පන්දම්කාරයාය.මුරුතැන් පිසීමට බොලපැන් ලෙස හැඳින්වෙන පැන් ගෙනඑන්නේ බොලපැන්කාරයාය.දේවාලයේ පහන් දල්වන්නේ වට්ටොරු අප්පුය.ගබඩාවේ අඩංගු දේවල් ගබඩාමොහොට්ටාල විසින් නිදහස් කරන අතර ඒවා අන් අයට බෙදාදෙන්නේ ගබඩාවිදානේය.දවුල් තම්මැට්ටම් හොරනෑව හක්ගෙඩිය වාදනය කරන පිරිසක් වෙනමම පාරම්පරිකව එම රාජකාරිය කරනු ලබයි.ආලත්ති පෑම නම් රාජකාරිය ආලත්ති අම්මාවරු සිදුකරයි.ඔවුන් පාරම්පරික වැඩිහිටි කාන්තාවන්වේ.දේවාලයේ දික්ගේ දක්නට ලැබුනත් අද දික්ගේ නැටුම සිදුනොවේ.එම පරම්පරා අභාවයට ගොස් ඇත.කාලවේලාව දැනුම් දීමට ගණිතගුරු කෙනෙක් සිටි අතර එම නිලය අද ක්‍රියාත්මක නොවේ.මෙම සියල්ලෝම රාජකාරියේදී තනිසුදු ඇඳුම් පමනක් අඳිනුලබයි.හිසේ සුදු රෙද්දක් බැඳගනී.
                                                                          දේවාලයට සම්බන්ධ හො එම ගමේ මරණයක්සිදුවූවිට දේවාලයේ තේවාව කරන්නේ නැත.ඊට හේතුව කිල්ලට හසුවීම නිසායැයි කියනුලැබේ.මෙම සියළු කාරයන් මෙහෙයවීම බස්නායක නිළමේගේ රාජකාරියයි.අතීතයේ බස්නායක නිලය රජු විසින් පත්කළ අතර අද එය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඡන්දයෙන් පත්කෙරේ.
                                                                           දිනපතා තේවය සෑමදිනකම පවත්වන අතර වාර්ශිකව දුරුතු මහ කාර්තිය,බක්මහ කාර්තිය,ඇසළ මහ කාර්තිය හා ඉල්මහ කාර්තිය යන මංගල්‍යයන් පවත්වනු ලබයි.

                          ඔබසැමට සමන්දෙවිඳුගේ පිහිට ආශිර්වාදය ලැබේවා.






                                                         සබරගමුවේ ජීවත්වන සියළු දෙනාම තම ජීවිතයේ වැදගත් සෑම අවස්ථාවකදීම සමන් දෙවිඳුන් ව...