උපුල්වන් දෙව් පිළිමය පිලිබඳ ඉඟියක්







රාම දෙව්රද දෙවුන්දර සිට අලුත්නුවරට වඩින ගමනේ
සෑම සිව්රඟ සෙනඟ සැදෙමින් මඟුල් දිව පෙරහැරින් සොඳිනේ
සෝම රිවිරුව පිහිටි කොඩියද පෙරටු කර ආ සෙයින් එදිනේ
ඒ මහත් මානයක්‌ සිව් කෝරළේ හට වනි එතැන් පටනේ

වේද ව්‍යාසර මෙකුන් පුත් තේනුවර පෙරුමා හස්තිනා
හාද වී විත් දෙවුන්දර දේවාලෙ අධිපති වීමෙනා
පෑද සිත තම කොඩිය ඉර හඳ පෙරටුකර ආවා විනා
ඒ ද මානය එයින් සිවු කෝරළේ හට ඇන්නෑ හිනා


                                                                   





මේ අවුරුද්දේ දෙවුන්දර පෙරහැර බලන්න ගිය වෙලාවේ ගත්ත වීඩියෝ සහ ෆොටෝ අප්ලෝඩ් කරන්න පුළුවන් ගොඩක් තැන්වලට මම අප්ලෝඩ් කලේ ඒවා දකින්න ලැබෙන්නේ නැති , ඒත් දකින්න ආසාකරන අයට බලාගන්න පුළුවන් වෙන නිසා . මේ වීඩියෝ සහ ෆොටෝ දැක්ක ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවේ මේ වැඩම කරවන්නේ අතීතයේ මහ මුහුදෙන් පාවෙලා ආව උපුල්වන් දෙවියන්ගේ කිහිරි රූපයද කියලා . මේකට දෙන්න උත්තරයක් මම ගාව තිබුණා . 


ඒත් කාලෙක ඉඳලා මම ඒ උත්තරේ දෙන්න අකමැත්තෙන් හිටිය නිසා මම ඒ ගැන මුකුත් කිව්වේ නැහැ . හීන කියන්නේ මහ පුදුම සහගත දේවල් .අසනීප වෙන වෙලාවට මට එක එක ජාතියේ හීන පේනවා . අදත් මට හීනයක් දකින්න ලැබුණා යම් පෙරනිමිත්තක් සඳහන් වෙලා තියෙන . ඒ නිසා මම කල්පනා කළා මේ කතාව දැන් කියන්න කාලේ හොඳයි කියලා .


අපේ ආච්චිඅම්මාගේ ජීවන ගමන සීමා වුණේ 1914 - 2009 කියන කාලයට . ශ්‍රී ලංකාවේ වැදගත් ඉතිහාසගත සිදුවීම් ගොඩක් ආච්චිඅම්මා ඉන්න කාලේ වෙච්ච නිසා මට ඒ දේවල් කොහොමද වුණේ කියලා අහගන්න හැකියාව ලැබුණා ඇයගේ මතකයට තැම්පත් වෙලා තිබුණු දේවල් විතරක් . පොඩි කාලේ ඉස්කෝලේ ගිහින් ආවාම ඇඳට වෙලා ආච්චිඅම්මාගේ මේ කතා අහගෙන ඉන්න එක තමයි ඒ කාලේ මට ලැබුණු වටිනාම දේ වුණේ .






දෙවන ලෝක යුද්ධය කාලේ ආච්චිඅම්මලා කොහොමද ජීවත් වුණේ කියලා මට අහන්න ලැබුනෙත් මේ කාලෙම තමයි . අහසේ හෙලිකොප්ටර් යනකොට එයාලා බයේ හැංගුණු හැටි , කෝටු කෑල්ලක් හපාගෙන ගුලිවෙලා බයේ හිටපු හැටි එහෙම ආච්චිඅම්මා මතක් කලේ අමිහිරි වුණත් මිහිරි මතකයක් ගානට . ඒත් ඒ අතරේ අමිහිරි මතකයකුත් තිබුණා . මේ ඒ මතකය .


ආච්චිඅම්මාට බාල මල්ලිලා තුන් දෙනෙක් හිටියා . එක්කෙනෙක් පොළොන්නරුවේ , අනිත් කෙනා ශ්‍රී පාද කන්ද අසබඩමයි , අනිත් කෙනා තමයි දෙවුන්දර හිටියේ . මේ දෙවුන්දර හිටපු මල්ලි දෙවන ලෝක යුද්ධය කාලේ ගෙදරට හොරෙන්ම ලියුමක් ලියලා තියලා හමුදාවට බැඳිලා යුද්ධ කරන්න පිට රට ගිහින් තියෙනවා . 

මේ කාලේ ආච්චිඅම්මලා බොහොම දුකෙන් තමයි ඉඳලා තියෙන්නේ . ලියුමක් වත් ගෙදරට එවන්න පුළුවන් කමක් තිබිලා නැහැ . අවුරුද්දකට විතර පස්සේ තමයි තමන් හොඳින් ඉන්නවා කියලා ලියුමක් එවලා තියෙන්නේ . ඒත් ඒ ලියුම්වල යුද්ධයේ අමිහිරි මතක සටහන් ඒ සීයා සටහන් කරලා තිබුණා . තමන් ඒ ගැන ලොකු කම්පනයකින් ජීවත් වෙන්නේ කියලත් ඒ ලියුම් වල සටහන් කරලා තිබුණා .


මේ ඉන්නේ මගේ මුත්තයි ඔය කියන එයාගේ පුතයි






තමන්ගේ පියාගේ ,  ඒ කියන්නේ මගේ මුත්තාගේ  ජ්‍යෝතිෂ , වෙදකම , හෙදකම , ගුරුකම එක්ක හැදුණු වැඩුණු කෙනෙක් හැටියට ඒ සීයාට යුද්ධය වගේ බිහිසුණු දෙයක් දරාගන්න තරමක නොහැකියාවක් තිබුණා කියලා තමයි මට ආච්චිඅම්මා කිව්වේ . කාලයක් ගියාට පස්සේ ඒ සීයා ආයෙත් ලංකාවට එනවා . යුද්ධය ඉවර වෙලා තමයි ලංකාවට ආවේ . ඒ එනකොට එයා ගෙනාව එහෙදි ගත්ත චායාරූප කීපයක් අලවපු ඇල්බම් එකක් , පිඟන් තොගයක් , ට්‍රංකා පෙට්ටි දෙකක් මම ගාව තවමත් පරෙස්සමට තියාගෙන ඉන්නවා . ඉතින් මේ සීයා යුද්ද්ධය ඉවරවෙලා ලංකාවට එනකොට තමන් විවාහ වෙන්න හිතාගෙන හිටපු කෙනත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා .









යුද්ධයේ කම්පනයයි තමන්ගේ අනාගත බලාපොරොත්තු බිඳ වැටීමේ කම්පනයයි කියන දෙකම නිසා අවසානයේ මේ සීයාට පිස්සු හැදෙනවා . තමන්ගේ පියාගේ ගුරුකමත් , වෙදකම නිසා යටපත් කරගෙන උන්නට මේ පිස්සුව ටිකෙන් ටික උත්සන්න වෙලා අන්තිමට මේ සීයා කකුල් වලට දාලා තිබුණු දම්වැල් පවා ගලවාගෙන ගෙදරින් යන්න යනවා .


අද කාලේ වගේ මෙහෙම දෙයක් වුණාම කෙනෙක් හොයාගන්න විදියක් තිබුණේ නැහැ . පොලිසියට කියලා හොයන එක අද කාලේ වගේ ඒ කාලේ ප්‍රායෝගික නැහැ . මේ වැඩේට අවසානයේ උදවු වුණේ ගෙදර තිබුණු අංජනම . තමන්ගේ පුතා හොයාගන්න බැරිව අවසානයේ මුත්තා කරන්නේ අංජනම ඇරලා කොහෙද ඉන්නේ කියලා බලන එක . පිස්සුවෙන් යන මේ පුද්ගලයාගේ පස්සේ හඹාගෙන ගියපු හනුමා අවසානයේ නතර වෙන්නේ දඹුල්ලේ . දවස් දෙකකින් දෙවුන්දර ඉඳලා දඹුල්ලට යන්න තරම් සවියක් ඒ පිස්සුවෙන් ලැබිලා තිබුණා .


දඹුල්ලේ පන්සල අවට තිබුණු කැලයක තමයි මේ සීයා පිස්සුවෙන් ගිහින් නැවතිලා තිබුණේ . මේ වෙලාවේ වෙන කෙනෙක් යවනවට වඩා තමන්ම යන එක හොඳයි කියලා හිතලා මුත්තාම පිටත් වෙනවා තමන්ගේ පුතාව දඹුල්ලේ ඉඳලා එක්ක එන්න . මේ ගමනේදී මුත්තාට හනුමා අංජනම හරහා ඇවිත් කියලා තිබුණා දඹුල්ල රජමහා විහාරයේ තිබෙන උපුල්වන් දේවාලයට ගිහින් භාර වෙලා තමන්ගේ පුතාව හොයන්න යන්න කියලා .


ඉතින් මුත්තා ඉස්සෙල්ලම දඹුල්ල රජමහා විහාරයට යනවා තමන්ගේ පුතනුවන් වෙනුවෙන් භාර වෙන්න . ඒත් ඒ යන වෙලාව වෙනකොට දේවාලය වහලා . මුත්තට දැන් පරක්කු වෙන්නත් බැහැ . දේවාලයට යන්නත් ඕන . පස්සේ දේවාලයේ කපු මහත්මයා මුණගැහෙන්න ගියපු මුත්තා තමන් කවුද කියලා හඳුන්වලා දීලා දෙවිනුවර ඉඳලා ආවේ මෙන්න මේ රාජකාරියට නිසා දේවාලය විවෘත කරලා දෙන්න කියලා ඉල්ලුවම කපු මහමහත්මයා දේවාලය විවෘත කරලා දීලා තමන්ගේ පූජාව තියන්න අවස්ථාව ලබා දීලා තියෙනවා . දෙවිනුවර උපන් අයට මේ දේවාලයේ විශේෂ සැලකිල්ලක් තියෙනවා කියලා තමයි ඉතින් ආච්චිඅම්මා මමත් එක්ක කිව්වේ . දැන් කොහොමද දන්නේ නැහැ .


මේ දේවාලයේ දේව රූපය තිර හතක් දාලා වහලා තමයි තිබිලා තියෙන්නේ . මුත්තා කියලා තියෙනවා තිර තියෙත්දී පූජාව කරන්න බැහැ තිර රෙදි අයින් කරන්න කියලා . එවෙලෙ කපු මහත්මයා කියලා තියෙනවා මේ දේව රූපය මහා බලගතු දේව රූපයක් බලන බලන කෙනාට වස් වදිනවා , ඒ නිසා මේ දේව රූපය දිහා බලනවානම් එක එල්ලේම දේව රූපය දිහා බලන්නේ නැතිව දේව රූපයේ පාදයේ ඉඳලා ටික ටික ඉහලට බලලා දේව මුහුණ දිහා බලන්න කියලා . ඊට පස්සේ තමයි තිර හත ඉවත් කරලා දේව රූපය විවෘත කරලා තියෙන්නේ . මේ දේව රූපය ශාන්ත බැල්මක් තියෙන දේව රූපයක් වුනාට ජීවමාන ගති ලක්ෂණ තිබුණා කියලා මුත්තා කියලා තියෙනවා අපේ ආච්චිලත් එක්ක .


ඉතින් තමන්ගේ පූජාව කරාට පස්සේ මුත්තා අංජනමෙන් පෙන්නපු කැලෑවට ගිහින් තමන්ගේ පුතාගේ නමට ජීවම් කරලා වස් දණ්ඩක් පිඹිනවා . මේ වස්දන්ඩේ හඬ ඇහුණාම තමයි පිස්සුවෙන් හිටපු අපේ ආච්චිඅම්මගේ මල්ලි නැවතත් මුත්තා ඉන්න කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ . ඒ කියන්නේ ඒ කාලේ ඒවගේ දේවල් තිබිලා තියෙනවා ඇත්තටම . ඉතින් මේ සීයව ආයෙත් දෙවුන්දරට ගෙනත් බෙහෙත් කරලා සනීප කරන්න හැදුවත් සම්පූර්ණ සනීපයක් ලැබිලා නැහැ . තරමක අසාමාන්‍ය ගුප්ත වැඩ මේ සීයාගේ තිබිලා තියෙනවා . විවාහ වෙලත් නැහැ . ඒ නිසා ඒ පවුල ඉදිරියට ගිහින් නැති නිසා මම එයාගේ ෆොටෝ කීපයක් මේකේ අප්ලෝඩ් කරනවා ඒ කාලේ කොහොමද කියලා බලාගන්නයි මම කියන්නේ බොරු කියලා හිතන අයට බලාගන්නයි .


මට කියන්න ඕන වුණ කතාව තමයි දඹුල්ලේ විෂ්ණු දේව ප්‍රතිමාව පිලිබඳ කතාව . මේ කතාව කියවනකොට තියෙන විශේෂ දෙයක් තමයි කෙලින්ම මූණ දිහා බලන්න එපා කියන කතාව . ඒ කතාව මතක තියාගෙන අපි යමු මේ කතාවට .


ඔන්න බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී ශක්‍රයාටත් ශක්‍රයා විසින් උපුල්වන් දෙවියන්ටත් ශ්‍රී ලංකාව භාර කරනවා . ඊට පස්සේ උපුල්වන් දෙවියන් කල් යල් බලලා කිහිරි කොටයක වෙස් අරගෙන ලංකාවට පාවෙලා එනවා . මේ කිහිරි කොටය පාවෙලා ඒම සීනිගම දේවාලයේ කපු මහත්මයාටත් , එවකට දෙවිනුවර පාලකයා වෙලා හිටපු දාපුළුසෙන් කියන රජතුමාටත් හීනෙන් පෙනිලා තියෙනවා . කිහිරි කොටය පාවෙලා ආවට පස්සේ සිදුවුණු සිදුවීම් මාලාවකට පස්සේ මේ කිහිරි කොටය දැන් දෙවිනුවර දේවාලය තියෙන ස්ථානයේ කුටියක තැම්පත් කරනවා .


කතාවේ තියෙන්නේ දාපුළුසෙන් රජතුමාට ශක්‍රයා හීනෙන් ඇවිත් කියනවා කියලා මේ කිහිරි කොටයෙන් උපුල්වන් දෙවියන්ගේ රූපයක් කප්පවලා පුද පූජා පවත්වන්න කියලා . ඒත් මේ කොටයෙන් රූපයක් කපන්න තරම් සමත් වඩුවෙක් ඉඳලා නැහැ . ඒ නිසා ශක්‍රයාගේ අණ කිරීම මත විස්මකර්ම දිව්‍යපුත්‍රයා මහලු වෙස් අරගෙන මාලිගාවට වැඩම කරනවා . ඒ එන්නේ නිකන් නෙවෙයි . තමන්ගේ වඩු ආයුධත් අරගෙන . ඇවිත් කියනවා මට මේ කොටයෙන් උපුල්වන් දෙවු රූපය කපන්න පුළුවන් කියලා . මෙතරම් වඩුවන් ඉන්න පළාතකත් දෙව් රූපය කපන්න කෙනෙක් නැති එකේ මහළු ඔබට ඒ දේ කරන්න පුලුවන්ද කියලා දාපුළුසෙන් රජතුමා අහනවා . ඒත් මහල්ලා තැති ගන්නේ නැහැ . තමන්ට මේ කාර්යය භාර කරන්න කියලාම තමයි කියන්නේ . ඒ නිසා රජතුමා වැඩේ බාර දෙනවා . ඒත් හිතේ අවිශ්වාසයක් ඇතිවයි භාර දෙන්නේ .


පහුවෙනිදා රජතුමාට හිතෙනවා මේ මහල්ලාගේ වැඩ කිරීමේ හැකියාව පරීක්ෂා කරලා බලන්න . ඉතින් රජතුමා සද්ද නැතිව යනවා කොටය තැම්පත් කරලා තියෙන කාමරයට . ගිහින් කාමරයේ දොර විවෘත කරනකොටම ඇස ගැටිලා තියෙන්නේ විස්කම් දෙවියන් නිර්මාණය කරපු උපුල්වන් දෙවියන්ගේ ජීවමාන ආකාරයේ ප්‍රතිමාවේ මුහුණ . දෙවියන් දැකපු ප්‍රතිමාවේ මුහුණ වතාවත් රහිතව රජතුමා එක එල්ලේම දැක්ක නිසා එවෙලේම දාපුළුසෙන් රජතුමා සිහි නැතිවෙලා ඇද වැටෙනවා වස් වැදිලා . පස්සේ රජතුමා මෙතන මහා දේවාලයක් කරවලා දෙවියන්ගෙන් සමාව අරගෙන මේ දේව ප්‍රතිමාව දිහා එක එල්ලේ බැලීම කිසිම කෙනෙක්ට සිදු නොකරන ලෙස තහනම් කරලා තියෙනවා . ඒ මිනිස්සුන්ගේ හොඳට . ඒ කතාවයි අර කතාවයි ගළපලා බලනකොට මට පැහැදිළිවුණේ එහෙනම් දඹුල්ලේ වැඩ ඉන්නේ ඒ දේව ප්‍රතිමාව නේද කියලා .


මේ කතාව අපේ අම්මා දන්නේ නැති වුනත් අර අපේ මුත්තා දඹුල්ලේ ගිය කතාව ආච්චි එහෙන් මෙහෙන් කියලා අම්මා දන්නවා . මේ ළඟදී දඹුල්ලේ රජමහා විහාරය වැඳ පුදාගන්න ගිය වෙලාවේ අම්මා ඒ දේවාලය පෙන්නලා මට කනට කරලා කිව්වා මේ තියෙන්නේ අපේ සීයා අර එදා ආව කියන දේවාලේ නේද කියලා . ඒත් එවෙලෙ ඒ ගැන වැඩිය විමසලා බලන්න වුණේ නැහැ අපි ඉක්මනට පිටත් වුණු නිසා .


මේ කිහිරි රූපය දෙවුන්දර ඉඳලා දඹදෙණියටත් එතනින් අලුත් නුවරටත් , අලුත් නුවර ඉඳලා මහනුවර විෂ්ණු දේවාලයටත් , අනතුරුව ආරක්ෂාව සඳහා දඹුල්ල රජමහා විහාරයටත් වැඩම කරලා තියෙනවා කියලා මට මූලාශ්‍ර කීපයකම කියවන්න ලැබුණා .


මෙහෙමයි වෙලා තියෙනවා කියලා ඒවායේ සඳහන් වෙන්නේ . දෙවෙනි පරාක්‍රමභාහු රජතුමා දේවප්‍රතිරාජ ඇමතිතුමා දෙවුන්දරට එවලා තියෙනවා දේවරාජ ප්‍රතිකඩයත් මහා රන් ආයුධත් පිහිටි රටේ මිනිස්සුන්ට වැඳ පුදාගන්න වැඩම කරගෙන එන්න කියලා . පස්සේ දේවප්‍රතිරාජ මේ පිළිමයත් මහ රන් ආවුධත් දඹදෙණියට වැඩම කරවලා තැම්පත් කරලා තිබිලා තියෙනවා .


ඊට පස්සේ මහනුවර ආව රජකෙනෙක් තමයි මේ ප්‍රතිමාව නැවතත් අලුත්නුවර දේවාලයට වැඩම කරවලා තියෙන්නේ . ඊට පස්සේ ආයෙත් ආව රජකෙනෙක් තමයි මේ පිළිමය මහනුවර මහා දේවාලය , විෂ්ණු දේවාලයට වැඩම කරවලා තැම්පත් කරලා තියෙන්නේ . ඒත් පෘතුගීසි ප්‍රශ්න නිසා අවසානයේ තීරණය කරනවා මේ දේව ප්‍රතිමාව පරෙස්සම් කිරීම වෙනුවෙන් දඹුල්ලට වැඩම කරවන්න . පැහැදිළි සාක්ෂි නැති වුණත් මේ කතාව සහ මගේ පවුලේ අතීත කතාවේ යම් සමානාත්ම බවක් තියෙන නිසා මම විශ්වාස කරනවා දඹුල්ලේ වැඩ ඉන්නේ නියම උපුල්වන් දෙව් ප්‍රතිමාව කියලා .


කොයි ප්‍රතිමාවට වැඳුම් පිදුම් කලත් ඒවා කැපවෙන්නේ උපුල්වන් දෙවියන් වෙනුවෙන් තමයි . ඒත් නියම දේව රූපය වැඩ ඉන්නේ දඹුල්ලේ කියලා මට විශ්වාසයක් තියෙනවා . ඉතිහාසය හදාරන කෙනෙක්ට මගේ මේ කතාව වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ සටහන තියන්න කල්පනා කලේ . ඒ නිසා අධ්‍යනය කරන කෙනෙක් මේ ගැන තවත් දුරට කරනවානම් අධ්‍යනය කරලා බලන්න . මගේත් තියෙන්නේ විශ්වාසයක් විතරයි . ඒක මට පෞද්ගලික එකක් මිසක් පොදු විශ්වාසයක් නෙවෙයි . ඒ නිසා මේ ගැන හොයන්න කැමති කෙනෙක් හොයලා බලන්න . ඒ වගේම මම කියන්න කැමතියි  මම මේ සම්බන්ධව කියන්න දන්නේ මෙච්චරයි කියලා . මොකද නැත්නම් පස්සේ ප්‍රශ්න කෝටියකට පිළිතුරු දෙන්න වෙනවා මට .




එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




රාම දෙව්රද දෙවුන්දර සිට අලුත්නුවරට වඩින ගමනේ සෑම සිව්රඟ සෙනඟ සැදෙමින් මඟුල් දිව පෙරහැරින් සොඳිනේ සෝම රිවිරුව පිහිටි කොඩියද පෙරටු ක...

කඳ සුරිඳු වෙනුවෙන් පබැඳි ගී





ඓතිහාසික පසුබිමක් සහිත ගුරු පරම්පරාවක් වටා ගෙතුණු කතා පුවත් රාශියක් ගොනුකරලා ලියන සීයා සහ මුණුබුරා කතා මාලාවේ කදිර පුරයට පිල්ලියක් කියන්න මෙන්න මේ ලිපිය ලියන දවස්වල තමයි කතරගම දෙවියන් වටා ගොඩනැගිලා තියෙන දේව සාහිත්‍යය සහ ගීත සාහිත්‍යය ගැන වැඩිපුර යමක් හොයන්න ඕන කියලා හිතුනේ . ඒ ලිපියේ ආරම්භය ගත්ත සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන කිරි වෙහෙරේ කොත් කැරැල්ල කියන ගීතය අහපු වාර ගාන මෙච්චරක් කියලා කියන්න අමාරුයි .

ඒ තරමටම ඒ ගීතවල දේවත්වය ගැබ් වෙලා තියෙනවා . සමහරවිට ඒ වචන වල තියෙන දේවත්වයට වඩා සංගීතයේ තියෙන දේවත්වය නිසා වෙන්න පුළුවන් . ඒ මොකක් නමුත් ඉතාම පැහැදිලි විදියට කරලා තියෙන ගැලපීම නිසා ඒ ගීත දෙවියන් වෙනුවෙන් ගායනා කරන ප්‍රශස්ති ගීත තත්ත්වයට අදවෙනකොට වැටිලා තියෙනවා . කතරගම පෙරහැර කාලයට රූපවාහිනියේ ගුවන්විදුලියේ හැමතැනකම වාගේ මේ ගීත වාදනය වෙනවා . ඉතින් අද කියන්න යන්නේ මේ ගීත සියල්ලටම පාදක කරගත්ත දේවල් ගැන පොඩි............... විස්තරයක් එක්ක ඒ ගීත මොනවද කියලා .

කතරගම දෙවියෝ කවුද කියන එක ගැන මත රාශියක් තියෙනවා . රාවණා කාලයේ තිබුණ සිවු හෙළය ඒ කියන්නේ යක්ෂ දේව නාග රාක්ෂ කියන සිවු පිරිසෙන් රාක්ෂ කියන පිරිස නියෝජනය කරපු දෙවියන් විදියට කතරගම දෙවියන් සලකනවා . සමහර අය කියනවා දේව කොට්ටාශයේ නායකයා කතරගම දෙවියන් කියලා . මම විශ්වාස කරන්නෙත් රාක්ෂ පිරිසේ නායකයා කතරගම දෙවියන් කියලා . මන්තර සාහිත්‍යයේ සමහර වෙලාවට කියවෙන දේවල් එක්ක රාක්ෂයින් එක්ක තමයි කතරගම දෙවියන්ගේ ගනුදෙනු වැඩිවශයෙන් වෙලා තියෙන්නේ . කතරගම දෙවියෝ ශිව පාර්වතී දෙදෙනාගේ බාල පුත්‍රයා කියල ඉන්දීය ඉතිහාසයේ සඳහන් වෙනවා .

ශිව පාර්වතියගේ වැඩිමල් පුත්‍රයා ගණ දෙවියෝ . බාල පුත්‍රයා තමයි කතරගම දෙවියෝ . ඉතින් මේ දෙන්නා එකතුවෙලා වල්ලි අම්මා දේවිය කතරගම දෙවියන් වෙනුවෙන් පාවා ගන්න ප්ලෑන් කරපු කතා පුවතකුත් තියෙනවා . ඒ එක්කම මට මතක් වෙනවා ඇම්බැක්කේ දේවාලය ආශ්‍රිතව වැඩඉන්න හෙනකඳ බිසොබණ්ඩාර දේවතාවිය . සිංහල රාජ මහේශිකාවක් වෙලා හිටපු මේ හෙනකඳ බිසෝබණ්ඩාර දේවිය ඉතාම රූප ශෝභාවෙන් පිරිපුන් කෙනෙක් . කතරගම දෙවියන්ට උවමනා උනා මේ දේවිය තමන්ගේ බිරිඳක් කරගන්න . ඒ නිසා මේ දේවිය පලතුරු උයනට ගමන් කරන වෙලාවේ දෝලාව අතුලේදීම මරා දාලා දේවියගේ ආත්මය දේවත්වයට පත්කරලා තමන්ගේ මහේෂිකාවක් බවට පත් කරගන්නවා .

කතරගම දෙවියන් ඉන්දීය දෙවි කෙනෙක් කියලාත් සමහර අය කියනවා . ඉන්දියාවේ හිටපු කතරගම දෙවියෝ ලංකාවේ හිටපු ඇසුරක් පරාජය කරන්න ලංකාවට ඇවිත් ඒ අසුරයා පරාජය කරලා ලංකාවේ මිනිසුන්ගේ ජනප්‍රසාදය දිනාගන්නවා . මොකද මේ අසුරයා ලංකාව පාලනය කලේ මිනිසුන් තලා පෙළා පීඩනයට පත්කරමින් . කතරගම දෙවියන් ඇවිත් මේ අසුරයා විනාශ කිරීම නිසා ලංකාවේ මිනිස්සු කතරගම දෙවියන්ට ඉතාම භක්තියක් ඇතිකරගෙන කතරගම දෙවියන්ට දේවත්වයෙන් සලකන්න පටන් ගන්නවා . ස්කන්ධ කුමාරයා විදියට ලංකාවට පැමිණි මේ දෙවියන් අවසානයේ ලංකාවේ දේවත්වයට පත් වෙනවා .

තාරක අසුරයා පරාජය කරලා අසුරයින් කපා දමපු තමන්ගේ මංගල කඩුව ජීවමාලී තොටුපලේදී මැණික් ගඟේ ශුද්ධවූ ජලයෙන් සෝදනවා . අන්න ඒ සිරිත තමයි අද දක්වා දිය කැපීමේ මහා මංගල්‍යය කියලා පැවත එන්නේ . අද වෙනකොට ලංකාවේ ගොඩක් තැන්වල දිය කැපීම කරාට , මේ දිය කැපීමේ නියම හිමිකාරිත්වය තියෙන්නේ කතරගම දේවාලයට . ඒ සිරිත සංකේතවත් කරන්න තමයි අනිත් දේවාල වලත් දිය කැපීම කරන්නේ .






දැන් අපි එමු දුටුගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් අතර තිබ්බ ගනුදෙනුව ගැන හොයලා බලන්න . ද්‍රවිඩයින් විනාශ කරලා ලංකාව එක්සේසත් කරන්න දුටුගැමුණු රජතුමා මාගම් පුරයෙන් යුද්ධ කටයුතු සංවිධානය කරනවා . මෙහෙම යුධ කටයුතු සංවිධානය කරනකොට කතරගම මැණික් ගඟ අසලදී දවසක් දුටුගැමුණු රජතුමා තනියම කල්පනා කරනවා මේ යුද්ධය දිනන්න කොහොම සැලසුමක්ද කරන්න ඕන කියලා . ඒ වෙලාවේ කතරගම දෙවියන් ජීවමාන වෙනවා හරිම අපූරු විදියකට .


ඒ කතරගම දෙවියන් තමන්ගේ මගුල් කඩුවෙන් ගහලා මැණික් ගඟේ දිය දෙබෑ කරගෙන ගඟේ එගොඩටත් මෙගොඩටත් ගමන් කරන දර්ශනයක් . මේ වෙලාවේ දුටුගැමුණු රජතුමා පුදුම වෙලා අහනවා ඔබ කවුද කියලා . මෙතනදී තමයි දුටුගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් අතර ගනුදෙනුව ආරම්භ වෙන්නේ . මේ වෙලාවේ කතරගම දෙවියන් තමන්ගේ මගුල් කඩුව දුටුගැමුණු රජතුමාට දීලා යුධ කටයුතු වෙනුවෙන් ආශිර්වාද කරනවා .

මෙන්න මේ විදියට දුටුගැමුණු රජතුමා යුද්ධය කරගෙන කරගෙන ගිහින් දැන් විජිතපුර බලකොටුව අල්ලාගෙන එළාර රජතුමා විනාශ කරන්න විතරයි තිබුණේ . ඒත් විජිතපුරය විනාශ කරන්න අමාරුයි . යුද්ධය කරන වෙලාවේ කඩොල් ඇතාගේ පිටට ලෝදිය හලලා කඩොල් ඇතා පවා මේ වෙලාවේ දුර්වල වෙනවා . මුළු සේනාවම දුර්වල තත්ත්වයට පත් වෙච්ච වෙලාවේ දුටුගැමුණු රජතුමා ආයෙත් කතරගමට එනවා කතරගම දෙවියන් හම්බෙලා ඒ ගැන කතා කරන්න සහ ආශිර්වාද ගන්න . මේ වෙලාවේ කතරගම දෙවියන් දුටුගැමුණු රජතුමා හමුවෙන්න එන්නේ තනියම නෙවෙයි . ඒ තමන්ගේ වැඩිමල් සහෝදර ගණ දෙවියනුත් එක්ක .


අයියයි මල්ලියි දුටුගැමුණු රජතුමාට උපදෙස් දෙනවා යුද්ධය කරන්න ඕන විදිය කියලා . ඊට පස්සේ කතරගම දෙවියන් දුටූගැමුනු රජතුමාට හෙල්ලයක් ලබා දෙනවා , එළාර රජතුමා විනාශ කරන්න මේ හෙල්ල භාවිතා කරන්න කියලා . ඒ හෙල්ලයේ තියෙන තවත් වැදගත් කමක් තමයි මේ හෙල්ලයේ ඔතලා තිබිලා තියෙනවා මහා මාතාන්ගේෂ්වරී කියන යන්ත්‍රය . මේ යන්ත්‍රය බලගතු යන්ත්‍ර මණ්ඩල කීපයෙන් අද දක්වා පැවතගෙන ආව ඒවායින් එකක් . මේ හෙල්ලෙන් ඇනලා තමයි අවසානයේ එළාර රජතුමා මරණයට පත් කරන්නේ . ඒ නිසා කතරගම දෙවියන් කෙරෙහි දුටුගැමුණු රජතුමා ඉතාමත් පැහැදීමකට පත්වෙලා කතරගම දෙවියන්ට තමන් වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරනවා . ආ මට කලින් ඒක කියන්න අමතක උනා .

කතරගම දෙවියන්ට දුටුගැමුණු රජතුමා මුලින්ම භාර වෙනවා යුද්ධය දිනුවොත් රන් උළු සෙවිලි කරපු රන් කොතක් සහිත දේවාලයක් නිර්මාණය කරලා දෙනවා කියලා . යුද්ධය දිනපු වෙලාවේ රජතුමාට මේක මතක් වෙනවා . පස්සේ රජතුමා කතරගමට එනකොට කතරගම වැඩහිටි කන්දේදී කතරගම දෙවියන් දුටුගැමුණු රජතුමාට දෘශ්‍යමාන වෙනවා . මේ වෙලාවේ රජතුමා අහනවා ඔබතුමා වෙනුවෙන් රන් උළු සෙවිලි කරන ලද රන්කොත් මාලිගාව මොන ස්ථානයේද නිර්මාණය කරන්න ඕන කියලා . මේ වෙලාවේ කතරගම දෙවියන් කියනවා අනාගතයෙදී රන් උළු මාලිගාවක් කලොත් ඒකට උපද්‍රව වෙන්න පුළුවන් නිසා තඹ උළු සෙවිලි කරපු රන් කොතක් තියෙන දේවාලයක් නිර්මාණය කරන්න කියලා .

එහෙම කියලා වැඩහිටි කන්දේ ඉඳලා තමන්ගේ දුන්නෙන් හීයක් විදිනවා . මේ හීය ඇවිත් පොළවේ අනෙන්නේ අද කතරගම දේවාලය පිහිටලා තියෙන ස්ථානයේ . මේ ඊතලය නිධන් වෙන විදියට තමයි දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය නිර්මාණය කරන්නේ . එහෙම නිර්මාණය කරලා නන්දිමිත්‍ර යෝධයාට කතරගම දේවාලයේ කපු නිලය භාර කරනවා . අද දක්වාම කතරගම කපු නිලය පැවත එන්නේ මෙන්න මේ නන්දිමිත්‍ර යෝධයාගේ පරම්පරාවෙන් කියලා තමයි කියන්නේ .

තව දෙයක් කියන්න ඕන . කතරගම තියෙන්නේ වැඩහිටි කන්ද . ඒ කියන්නේ කතරගම දෙවියන් වැඩ හිටපු කන්ද . නැතුව වැඩිහිටි කන්ද නෙවෙයි . අද ඒක වැඩිහිටි කන්ද කියලා ව්‍යවහාර වෙලා වෙලා නිකන් වයසක මිනිස්සු විතරක් ඉන්න කන්දක් වගේ වෙලා කියලා හැගීමක් තමයි එන්නේ . කතරගම දේවාලයේ මහා පෙරහැර දවසට වැඩහිටි කන්දේ ඉඳලා කතරගම මහ දේවාලයට අකුණු සැරයක් එනවා කියන එකත් ගොඩක් දෙනෙක් දන්නා කාරනාවක් . කතරගම දෙවියන් සහ වල්ලි අම්මාගේ විවාහය සමරන මේ ඇසල මංගල්‍යය වෙනුවෙන් මේ දෙදෙනා වැඩහිටි කන්දේ ඉඳලා අකුණු සැරයක් විදියට දේවාලයට වඩිනවා කියලා තමයි ඉස්සර ඉඳලා මිනිස්සු විශ්වාස කරන්නේ .






කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩවසනවා කියන්නේ කැබලිත්ත මහ සියඹලාව දේවාලය පිහිටලා තියෙන ස්ථානයේ . මෙතනට යන එන අය කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්මට භාජනය වෙනවා කියන ඒකත් රහසක් නෙවෙයි . මස් කාලා කිලි වැදිලා යන අයට මේ මාර්ගයේදී වෙන අනතුරු ගැනත් ගොඩක් තැන් වෙලා සඳහන් වෙලා තියෙනවා .

තවත් වැදගත් කාරනාවක් කියලා මම මේ කතා ටික නවත්වන්නම් . ඒ තමයි සිද්ධාර්ථ කුමාරයාගේ මගුල් කඩුව ගැන කියවෙන කතාවක් . සිදුහත් කුමාරයා නේරංජන ගංගාවේ සුදුවැලි තලයේ නැවතිලා කේශ ධාතුව කපා දාමපු තමන්ගේ මගුල් කඩුව ආයෙත් චන්න ඇමති අතේ මාලිගාවට යවනවා . පස්සේ මේ කඩුවට මොකද උනේ කියලා කවුරුත් දන්නේ නෑ . කතාව තියෙන්නේ මේ මගුල් කඩුව කතරගම කිරිවෙහෙරේ නිධන් කරන්න අවස්ථාව ලැබුණා කියලා . මේ කඩුවේ ආරක්ෂාවට කතරගම දෙවියන් පත් වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ . ඇත්ත නැත්ත කෙසේවෙතත් එහෙමත් කතාවක් තියෙනවා ඔන්න .

ඉතින් මේ අද කිව්ව විස්තර ටික කිව්වේ කතරගම දෙවියන් වෙනුවෙන් රචනා වෙලා තියෙන ගීත කීපයක් එක ලිපියකට එකතු කරලා ඉදිරිපත් කරන්න හිතුන නිසා . ගීතවල තේරුම්නම් දාන්න තරම් අමාරු තේරුම් තියෙන ගීත නෙවෙයි . ඒ නිසා වචන ටිකයි සිංදුව අහන්න පුළුවන් ලින්ක් එකකුයි විතරක් මේ ලිපියට එකතු කරන්නම් .

(1)

කදිර සුරිඳුනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ

මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න
කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිඳූනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ

සිතින් කයින් වන වරද නොගන්නයි
ගමන් මගට දෙවි පිහිට දෙවන්නයි
ගිමන් නිවන තැන සෙවණ සදන්නයි
පුළුන් රොදක් සේ අප වන්දන්නයි

අනන්ත අනුහස අණ පතුරන්නයි
තැවුල් අවුල් සෝ දුක දුරලන්නයි
දෙමවුපියන් සේ අප රැකගන්නයි
පිනෙන් මෙතුන් ලොව මතු බුදුවන්නයි

කදිර සුරිඳුනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ

මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න
කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිඳූනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ...

ගායනය :- ඩබ්ලියු ඩී අමරදේව




(2)

සරවනබව කඳ සුරිඳුගෙ තෙදබල
පලකල තුරුලිය ඔදකල මද නල

සිඹ සිඹ දෙවු සැපත මැණික් ගං තලේ
සැතපුව මැන සුව යහනක තුන්හෙලෙ

සය මුහුනකි නෙත් දොළොසකි පෑවුල
කිතු ලෙස මිනි පිල් විහිදෙන වාහනෙ
බැබළෙන ලෙස සිරි ලංක සාසනේ
එක නෙතකින් බලනු මැනවි සාමිනේ

හිස මුදුනත ලෙල දෙයි සැවුළිඳු දද
දොළසතකින් රණ අවිද වූ කඳ රජ
ඔබ පිය මැන මැන හොබ කල හැම සඳ
මෙම පිරිසගේ දුක බිය සැක සංසිඳ


ගායනය :- අල්හාජ් මොහිදීන් බෙග්




(3)

කිරිවෙහෙරේ කොත් කැරැල්ල
මතින් නැගෙන දහම් රැල්ල
සාදු දනන් දෙවු පුදවන් මැණික් ගං තෙරේ
එරන් මයුර අසුන් අරා දොළොස් අතක බරණ දරා
රුහුණු පුරේ ඔද තෙද වන් කදිර සුරිඳේ

කපුරු සුවඳ දුමින් නැගෙන සුවෙන් හදේ තැවුල් නිවන
දොළොස් නෙතින් ලොව නරඹන දිව්‍ය විමානේ
දනන් නගන දුක් නිවන්න කදිර සුරින්ඳේ

මයුර කලඹ සිරස දරා දවුල් හඬට පද තබා
පුද දෙන බැතිමල් සරසා දිව්‍ය විමානේ
තැවුල් අවුල් නිවන් හදේ කදිර සුරින්දේ


ගායනය :- සුනිල් එදිරිසිංහ






(4)

කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා

සත්ගිරි වට කොට ඔබේ නිවහන ඇත
සත්සිඳු පතලව ඔබේ කිතුගොස ඇත
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා අද
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා

මයුරාසන මත වැජඹෙන තෙදැතිව
උතුරන හදකින් පුදදෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා අද
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා

කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා
මගෙ රට සවුසිරියෙන් සපිරේවා
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා අද
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා


ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන





(5)


තෙදිනි විරාජ රුවිනි විරාජ
රුහුණු සුරාජ ක‍ඳ දෙව්රාජ //

එරන් මයුර වාහනයෙන්
රුපුසෙන් බිඳ වැඩමවන්න
වැඩහිටි කඳු මත වැඩසිට
නර කැළ වෙත සෙතසදන්න
කතරගමේ බලමහිමේ
දියත පතළ කර හරින්න..

අන වින වස් දොස් තුන් බිය
දුරළා සත රැකදෙවන්න
මැණික් ග‍ඟේ නිමල දියෙන
කිලි-කුණු සෝදා හරින්න
කතරගමේ බලමහිමේ
දියත පතළ කර හරින්න..


ගායනය   - එඩ්වර්ඩ් ජයකොඩි 








(6)

අසුර බලේ සිදුරි කලේ මේ සිංහලේ
කතරගමේ දෙවිඳ ඔබේ තේජෝ බලේ
සතට දැයේ කුළුණු ගුනේ පානා සෙනේ
බැතිනි සිතේ වඳිමි ඔබේ පාදේ මෙසෙ

දොළොස් නෙතම ලොවට හෙලා
ද්වේශ අන්ධකාර නිවා
රක්තවර්ණ දේහ දිලේ මයුර ආසනේ
තේජවන්ත ධීර වීර පුණ්‍යවන්ත පාරිශුද්ධ
සකල සතට සෙතම සදන කදිර සුරිඳුනේ

අතින් රැගෙන රුදුරු අවිය
උපන් බිමට තරඟ වදින
දනන් වෙතේ බලනු මැනේ දිවැස පා ඔබේ
වෛර නිවා සාම සිසිල දෙන්න මවා දැයට නිබඳ
සකල සතට සෙතම සදන කදිර සුරිඳුනේ


ගායනය :- ජගත් වික්‍රමසිංහ



(7)

මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජනේ
මනු ලෝ සත වෙත පෑව නෙතින
සුරකිනු අප ස්වාමිනේ
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජනේ

සාමයේ චේතනා රැඳුණු සිතැඟි නෑ මෙදා
දේවනේ

මෝහයේ ද්වේශයේ ගිලෙන ලොවට පා තබා
දේවනේ


ගායනය :- සුනිල් එදිරිසිංහ






(9)

මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පාමුල මම වැඳ වැටෙමී

මුහුණු සයකි අත් දොළසින් සොබනා
සවන යොමනු කඳ සුරිඳේ
මිනිසා මිනිසාට ගරහන්නේ
මවුපියො නෑ ඔහු හඳුනන්නේ

ශක්තිය බලපා යුක්තිය පාගා
පුහු මානය හද රන්දා
වස්තුව නිළ බලතල හින්දා
මිනිසා මිනිසට දෙයි නින්දා


ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක





තව ගීත ඇති ඒත් මතක් වෙන්නේ නෑ . ඔයාලටත් මතක් උනොත් කමෙන්ට් කරන්න . එතකොට ඒවත් මේ ලිපියටම එකතු කරන්න පුළුවන් .

ඔබ සැමට කඳ සුරිඳුගේ පිහිට ලැබේවා !




ඓතිහාසික පසුබිමක් සහිත ගුරු පරම්පරාවක් වටා ගෙතුණු කතා පුවත් රාශියක් ගොනුකරලා ලියන සීයා සහ මුණුබුරා කතා මාලාවේ කදිර පුරයට පිල්ලියක්...

ජ්‍යෝතිෂ විද්‍යාව සහ මැණික් භාවිතය ( 1 )





දැනට ටික කාලෙකට කලින් වෙච්ච සිද්ධියක් මතක් වුණා මේ ලිපි ලියන්න කල්පනා කර කර ඉන්නකොට . මේ ලිපි මාලාව ලියන්න හිතලා ටික කාලයක් වුණත් ලියන්න කල් ගත්තේ කරුණු කාරනා හරි හැටි එකතුකරගන්න උවමනා නිසා . ඒ කරුණු කාරනා එකතු කරන කාලයේ තමයි මේ සිද්ධිය වුණේ . ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය ආරම්භ කරපු මුල්ම කාලයේ ජන්මපත්‍ර පරීක්ෂා කිරීමට සම්බන්ධ වෙන්න අවස්ථාව හදලා තිබුණේ ෆේස්බුක් මැසේජ් කිරීම් හරහා විතරයි .

ඒ නිසා සම්බන්ධ වෙන්න ලැබුණු පිරිස සීමා වුණා . ඒවගේම යම් යම් අයගෙන් අදහස් උදහස් එන්න ගත්තා දුරකථන හරහා හෝ සම්බන්ධ වෙන්න තිබ්බා නම් හොඳයි කියලා . ඒ නිසාම imo viber whatsapp කියන සේවාවන් හරහා ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය වෙත සම්බන්ධවෙන්න අවස්ථාව සලසා දුන්නා . මේ නිසා විශේෂයෙන්ම විදේශගත උදවියට අපේ සේවාව එක්ක සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා . මම මේ ලිපි මාලාව ලියන්න හාහාපුරා කියලා මුලපුරන කතාවේ ප්‍රධාන චරිතයත් ඒවගේ සම්බන්ධ වෙච්ච එක්කෙනෙක් .





දවසක් ලැප් එක on කරගෙන ඉන්නකොට ඔන්න imo හරහා දුරකථන ඇමතුමක් ආවා . මම ඉතින් ආන්ස්වර් කරා . කතා කරපු කෙනා ඇහුවා තමන්ගේ ජන්මපත්‍රය පරීක්ෂා කරලා දෙන්න පුලුවන්ද ? කියලා . මම ඊට පස්සේ ඒ වෙනුවෙන් මට අවශ්‍යවෙන දත්ත මොනවද කියලා ඇහුවා කොහෙද ඉන්නේ කියලා . එතකොට කතාකරපු කෙනා කිව්වා  " මම මල්ලි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ හිරගෙදර " කියලා . මම පුදුම වුණා . හිරගෙදරට කොහොමද ජ්‍යෝතිෂ සේවය ගියේ කියලා . ඒත් එයාලට දුරකථන භාවිතා කරන්න යම් අවස්ථාවක් තියෙනවා කියලා පස්සේ දැනගන්න ලැබුණා . ඊට පස්සේ මම ජන්මපත්‍ර සටහන පරීක්ෂා කරලා දුන්නට පස්සේ එයා එයාගේ කතාව කිව්වා . එයා ඒ වෙනකොට සෙනසුරු එරාෂ්ටක අපලයක් , සෙනසුරු මහ දසාවක් සහ සෙනසුරු අතුරුදසාවක් ගතකරමින් හිටියේ . උත්පත්ති කේන්දරෙත් සෙනසුරු සතුරුවීම කියන තත්වයේ තමයි තිබුණේ .

මෙයා දෙමළ කෙනෙක් . ඉගෙන ගෙන තියෙන්නේ සිංහල පාසලක . ඒ නිසා කතා කරනකොටවත් විශ්වාස කරන්න බැහැ දෙමළ කෙනෙක් කියලා . මෙයාගේ තාත්තා සීයා සහ මෙයා හැමෝම කරලා තියෙන්නේ හලාවත මීගමුව පැත්තෙන් කොළඹට කරවල පටවන එක . එහෙන් අරං කොටුවෙන් බාලා සල්ලි ගන්නවා . ඒ නිසා යම් හොඳ ආර්ථික තත්වයක් තිබිලා තියෙනවා . ඊට පස්සේ මෙයා විවාහ වෙනවා . විවාහ වෙලා දරුවෙකුත් මෙයාලට ලැබෙනවා . දරුවා ලැබුණට පස්සේ මෙයා කල්පනා කරනවා බිරිඳ සහ දරුවා ඔස්ට්‍රේලියාවට එක්කගෙන ගිහින් පදිංචි වෙන්න . ඊට පස්සේ මෙයා බෝට්ටුවක නැගලා ඕස්ට්‍රේලියාවේ යනවා . ගිහින් කාලයක් ඉඳලා තාවකාලික වීසා හදාගෙන එහෙ යම් ආදායමක් උපයාගෙන ගෙදරටත් සලකාගෙන ඉන්නවා . ඊට පස්සේ මෙයාගේ වීසා කාලය අවසන් වෙනවා . එතකොට වෙන්නේ පොලිසියෙන් අල්ලන එක . මෙයා එහෙම පොලිසියට අහුවෙලා නඩු දාලා හිරේ යනවා . ඊට පස්සේ ලංකාවේ ඉන්න බිරිඳ දරුවා අතෑරලා වෙන මනුස්සයෙක් එක්ක යනවා .දරුවා ඒ බිරිඳගේ අම්මා තාත්තා ළඟ තමයි දැන් ඉන්නේ .


මේ මනුස්සයා හිරේ ඉඳලා වුණත් තමන්ගේ හම්බ කරලා තිබ්බ මුදල් වලින් කොටස කොටස දරුවාගේ වියදමට එවලා තියෙනවා . ඒත් සල්ලි අවසාන වුණාට පස්සේ එයාට කරන්න දෙයක් නැතුව ඉඳලා තියෙනවා . ලංකාවේ ඉන්න නැන්දම්මා සහ මාමණ්ඩි විශ්වාස කරලා නැහැ මෙයා ඉන්නේ හිරේ කියලා . ඒ නිසා හිතලා තියෙන්නේ දරුවට සල්ලි එවන්නේ නැහැ කියලා . ඒ නිසා දැන් ඒ අයත් මෙයා එක්ක කතා කරන්නේ නැහැ කියලා කියනවා . මෙයාට ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ පෙම්වතියක් මුණගැහෙනවා . ඒ කෙනා පුළුවන් විදියට අවශ්‍ය දේවල් කරත් දැන් කරකියාගන්න දෙයක් නැතුව මෙයා ඕස්ට්‍රේලියාවේ හිරවෙලා ඉන්නවා .

ලංකාවේ බිරිඳ එහෙන් නඩු දාලා ඩිවෝස් සහ වන්දි ඉල්ලලා . කවුරුවත් මෙයාගේ ඇත්ත තත්වය හරියට තේරුම් ගන්නේ නැහැ කියලා තමයි කියනේ . ඒ නිසා උසාවි නියෝගයේ පිටපතක් ලංකාවට එව්වත් නැන්දම්මා සහ මාමණ්ඩි හිතන්නේ මෙයා බොරු කරනවා කියලා ලු . ඒ නිසා මෙයා දැන් ඉන්නේ ඉතාම අසරණ තත්වයක .

ජ්‍යෝතිෂ විද්‍යාව අනුව බලනකොට සෙනසුරු සතුරුවීම සෙනසුරු දසාව සහ එරාෂ්ටක අපල කියන්නේ ටිකක් වැදගත් කාරණාවක් . සමහර අය මේ මාතෘකා ඉස්සරහට දාගෙන සල්ලි හම්බකරන්න හදනවා . ඒත් ඊට වඩා මේ සංකල්පවල ගැඹුරු කරුණු කාරනා තියෙනවා . හරියටම ප්‍රශ්නයක් තියෙනවද නැත්ද කියලා බලන්න . මෙයාට ඒ දසාවල් එරාෂ්ටක ලබාගෙන එනකොටම මෙයා කරලා තියෙනවා බොහොම ලොකු වැරද්දක් . එතනින් තමයි මැණික් කතාවට මම එන්නේ .

මෙයාට එහෙ ඉඳල තියෙනවා රත්තරන් බඩු වෙළඳසලක යාලුවෙක් . එයා මෙයාට පෙන්නලා තියෙනවා නවරත්න මුද්දක් . මෙයත් ආසාවට ඒ මුද්ද අරගෙන දාගෙන ඉඳලා තියෙනවා . සෙනසුරුට හිමි මැණික් ගල විතරයි ශරීරයේ ස්පර්ශ වෙන්න හදලා තිබිලා තියෙන්නේ . අනිත් ගල් සේරම යට පැත්ත වහලා හදලා තියෙන්නේ . ඔය මුද්ද දාගෙන කාලයක් හිටියට පස්සේ තමයි අපලත් ඇවිත් හිරෙත් යන්න වෙලා තියෙන්නේ . දැන් හිරෙන් එලියට එන්නත් වීසා හදාගන්නත් අවශ්‍යතාවය තමයි එයා කියන්නේ නිතරම .






ප්‍රතිකාර විදියට ලොකුවට යමක් කරන්නත් විදියක් නැහැ . මොකද ඉන්නේ හිරේ නිසා . ඒත් කරන්න පුළුවන් යම් යම් දේවල් කියලා තියෙනවා . එයාගේ ප්‍රතිඵල එනකල් තමයි අපි දැන් පර්යේෂණ මට්ටමින් බලාගෙන ඉන්නේ . මමනම් දකින්නේ මෙයා දාපු ඒ නවරත්න මුද්ද අනිත් ග්‍රහයින්ගේ බලපෑම් සේරම නවත්තලා සෙනසුරු බලවත් කරලා මෙයා හිරේ යැව්වා කියලා . කාල සීමාවත් ග්‍රහචාරයත් අනුව බලනකොට එහෙම තමයි තියෙන්නේ කතාව . ඔන්න ඔහොමයි මැණික් වලට කරන්න පුළුවන් දේවල් . අන්න ඒ මැණික් ගැන තමයි අපි මේ ලිපි මාලාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ .

මැණික් කියන්නේ වසර ගණනාවක් තිස්සේ පොළවේ යම් යම් රසායනික විපර්යාස වලට ලක්වෙලා ඇතිවෙච්ච අධික දෘඩතාවයකින් යුක්ත යම් කිරණ සංඛ්‍යාත පරාසයක් තියෙන පාෂාණ ස්ඵටික විශේෂයක් . මේවායේ අභ්‍යන්තරයේ තියෙන රසායනික සංයුතිය සහ වර්තනයැ වීම , පරාවර්තනය වීම වගේ භෞතික සිද්ධි නිසා මේ මැණික් වර්ග ඉතාමත් වටිනාකමකින් යුක්ත වෙනවා . අතීතයේ මැණික් භාවිතා වුණේ විශේෂයෙන්ම වෛද්‍ය කර්මය සහ පළඳනා විදියට . ඒ වගේම වටිනා වස්තූන් විදියට මැණික් කරඬු , බුදුපිළිම වගේ දේවල් හදන්නත් මැණික් භාවිතා කරලා තියෙනවා .

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා දෙවුලොව සිළුමිණි සෑය සහ බඹලොව සළුමිණි සෑය කියලා . ඒ අනුව තමයි මම දකින විදියට අතීතයේ රජ දරුවන් ධාතු කරඬු එහෙමත් මැණික් වලින් හදලා තියෙන්නේ . රස වෙදකම අනුව මැණික් සහ මැණික් භෂ්ම වගේ දේවල් ඉතාමත් වැදගත් වෙනවා බෙහෙත් වර්ග හදන්න . ඊටත් අමතරව ජ්‍යෝතිෂ විද්‍යාව තුලින් තමයි මැණික් වලට යම් ස්ථානයක් ලැබිලා තියෙන්නේ . ගුප්ත ශාස්ත්‍රයේ මැණික් භාවිතා කරලා තියෙනවා අඳුන් බෙහෙත් හදන්න . සමහර වට්ටෝරුවල මැණික් වර්ග පහ හය පවා අඹරනවා .

ඉස්සර බෙහෙත් හදන්න ඕන නම් මැණික් අරගෙන බෙහෙත් හදන්න වැඩි කරදරයක් තිබිලා නැහැ . ඒත් අද වෙනකොට මැණික් කියන්නේ තියෙන තැනින් ගොඩ අරගෙන රට යවන දෙයක් . මුදල් වෙනුවෙන් මැණික් විකිණෙනවා . ඒ විකිණීම නිසා මැණික්වල මුදල්මය වටිනාකම ඉහල ගිහින් තියෙනවා . ඒ නිසා පරම ලාභී වූ ආරෝග්‍යාව වෙනුවෙන් වත් මැණික් දාලා බෙහෙත් හදන්න පුළුවන් තත්වයක් දැන් නැහැ . ඒ නිසා මැණික් වලින් බෙහෙත් කිරීම ගැන කතා කරලා වැඩක් නැහැ . මැණික් හුදෙක්ම ලස්සන පෙන්නන සහ වත්කම් පෙන්නන දෙයක් බවට පත්වෙලා තියෙනවා .





ඒත් වාග්භට ආචාර්යවරයා රචනා කරලා තියෙන රස රත්න සමුච්චය කියන රස වෙදකමට අදාළ යම් යම් කොටස් එකතුවෙලා තියෙන හස්තසාර ග්‍රන්ථයේ සඳහන් වෙන ආකාරයට මැණික් කියන්නේ සෘෂිවරුන් නියම කරපු බෙහෙත් වර්ග වලට අවශ්‍යම වෙන දෙයක් . මේ වගේ දේවල් කරන්න නොහැකි වීම නිසා තමයි අදවෙනකොට ආයුර්වේද වෙදකම පරිහානියට පත්වෙමින් පවතින්නේත් .

වාග්භට තමන්ගේ පොතේ මෙන්න මෙහෙම සඳහා කරලා තියෙනවා මැණික්වල පොදු ගුණ ගැන .

" රත්න ධාරණය කිරීමෙන් සූර්යයා ආදී ග්‍රහයන්ගේ නිග්‍රහ වැළකේ . දීර්ඝායුෂ හා ආරෝග්‍යය හා අත්වේ . සෞභාග්‍ය උදා වේ , භාග්‍යයට වසඟ වූ සම්පත් හා උත්සාහයද ලද හැකිය . ධෛර්යය වැඩී යෙයි . කාන්තිහීනතාව මෙන්ම ගල් දූවිලි ආදියේ සංසර්ගයෙන් ඇතිවන දුර්භාග්‍යයද විනාශ වේ , භූත දෝෂ ආදියද නිවාරණය වේ "

විවිධ මැණික් භාවිතා කෙරෙනවා මේ මැණික් ප්‍රතිකාර වලදී . ජ්‍යෝතිෂ විද්‍යාව අනුව මැණික් ප්‍රතිකාර කරන්න මෙන්න මේ මැණික් වර්ග ප්‍රධාන වශයෙන්ම භාවිතා වෙනවා .

පද්මරාග
මුතු
රතුකොරල්
එමරල්ඩ්
පුෂ්පරාග
දියමන්ති
නිල් මැණික්
ගෝමේද
වෛරෝඩි
චන්ද්‍ර කාන්ති
රෝස තිරුවානා
කිරිගරුඬ
සුදුනිල
පච්ච
රතුරබස්
පඩියං
කාකනිල්
ආරුනූල්

මීට අමතරව මේ මැණික් වර්ගවලින් යම් තරමක් වෙනස් ගතිගුණ තියෙන පාෂාණ වර්ගත් ඒ ඒ අවසථා වලදී යොදාගන්නවා . ඊළඟ ලිපියෙන් අපි මේ මැණික් වර්ගවල ගුණ මොනවද කියලා පරීක්ෂා කරලා බලමු .

තවත් ලිපියකින් හමුවෙමු !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




දැනට ටික කාලෙකට කලින් වෙච්ච සිද්ධියක් මතක් වුණා මේ ලිපි ලියන්න කල්පනා කර කර ඉන්නකොට . මේ ලිපි මාලාව ලියන්න හිතලා ටික කාලයක් වුණත් ලියන...

පැල්මඩුල්ල ගණේගම අරමණපොළ රංකොත් රජමහා විහාරය සහ දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ






සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන තවත් වැදගත් ඓතිහාසික මෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලද සිද්ධස්ථානයක් ගැන කියන්න තමයි මම අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ . මේ ලිපියත් ලියන්න ඕන කියලා හිතේ තිබුණට ඒක ලියන්න මාව වැඩිපුර පෙළඹවීම කරේ සිංදුවගෙ මලණුවන් .

මොකද මේ විහාරය පිහිටලා තියෙන්නේ රත්නපුරේ ඉඳලා සිංදුවගේ මහගෙදරට යන අතරමග . ඉතින් හැමදාම අපි ඔතනින් යනකොට මේ විහාරය ඉදිරියේදී බස් එකේ ඉඳගෙන ඉන්න ආසනයෙන් පොඩ්ඩක් නැගිටලා ගෞරව කරලා යන්න පුරුදු වෙලා තියෙනවා . අඩුවෙන් හෝ වේවා අපේපරපුර ඒ ගෞරව දැක්වීම සිදුකරත් අපෙන් පසු පරපුරවල් ඒ දේවල් කරන්නේ නැතිබවක් තමයි පේන්නේ .


අනිත් කාරණාව තමයි මෙහෙම ගෞරව කරන අයත් සමහර දෙනෙක් දන්නේ නැහැ ඇයි මෙතනදී නැගිටින්නේ කියලා . දකින දකින පන්සලක් බෝධියක් ගානේ නැගිටින්න තරම් අපි අන්ධ බෞද්ධයෝ නෙවෙයි . ඒත් මේ වගේ උතුම් තැනකදී නැගිට්ටා කියලා පස්සේ ගෙඩි එන්නේ නැහැ . අතීතයේ ඉඳලා මිනිස්සු මේ විහාරයට ගරු කරන්නේ මේ විහාරයේ රෝපණය කරලා තියෙන බෝධීන් වහන්සේ නිසා කියලා කවුරු කවුරුත් දැනගන්න ඕන .

මොකද කියනවනම් මේ බෝධීන් වහන්සේ දේවානම් පියතිස්ස මහ රජතුමාගේ කාලයේ රෝපණය කරපු එකක් . ඉන්දියාවේ ඉඳලා වැඩම කරවපු විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකාවෙන් හටගත්ත අෂ්ට පලරුහ බෝධීන් වහන්සේලාගේ දෙතිස් පලරුහ බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් තමයි මේ රෝපණය කරලා තියෙන්නේ . ඒ නිසා තමයි මෙතනදී මිනිස්සු මේ බෝධීන් වහන්සේට ගෞරව දැක්වීමක් විදියට අඩුම තරමේ නැගිටින්න බැරිනම් වැඳලාවත් යන්න පුරුදු වෙලා තියෙන්නේ .

බුදුහාමුදුරුවෝ වෘක්ෂ වන්දනාව තමයි බෝධි වන්දනාවෙන් ප්‍රතිස්ථාපනය කලේ . ඒ වන්දනා ක්‍රමය නිසා බූ දහම ව්‍යාප්ත වීම ඉක්මන් උනා කියලා මම හිතනවා . ඒ නිසා දේවානම් පියතිස්ස රජතුමාත් දෙතිස්පලරුහ බෝධීන් වහන්සේලා ලංකාව හැමතැනම රෝපණය කරවලා බුදු දහම ප්‍රචලිත කරන්න ඒ දේවල් උදවු කරගත්තා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් .

මට සිංදු මල්ලි කිව්වා සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ මෙතන තියෙන මේ බුදුපිළිමය නිසා මිනිස්සු නැගිටිනවා කියලා . බුදුන්වහන්සේගේ දසබලධාරී දෙතිස්මහා පුර්ෂ ලක්ෂණ පෙන්නුම් කරන ඒවගේ බුදුපිළිමයක් ඉදිරියේදී බෞද්ධයෙක් ඉබේ උනත් නැගිටෙන එක පුදුමයක් නෙවෙයි . ඒත් මේ ගෞරව දැක්වීම කරන්නේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස් පලරුහ බෝධීන් වහන්සේට කියන එක හැමෝම මතකයේ තියාගන්න කියලා වයලීනෝ ඉල්ලා හිටිනවා . ඒ වගේම මේ කතාව දන්න දන්න හැම කෙනා එක්කම කියලා ප්‍රචාරය කරන්න . මොකද ගොඩක් දෙනෙක් ඒ කතාව දන්නේ නැහැ . අනාගත පරපුර උනත් දැනුවත් කරන එක අපේ වගකීමක් කියලා තමයි මමනම් සලකන්නේ .




මෙන්න තියෙනවා සිංහල බෝධි වංශයේ මේ බෝධීන් වහන්සේ ගැන කියවෙන ඡේදය

පස් ලා ගඳ කළල් පුරා, එහි රෝපණය කොටැ මහ ආසන ස්ථානයෙහි තැබුහ. එකෙනෙහි සියල්ලවුන් බලබලා සිටියැ දී මැ සතර රියනක් පමණ ඇති තරුණ වු බෝපැල අටෙක් නැංගේ යැ’ රජ්ජුරුවෝ ඒ ආශ්චර්ය්මණ දැකැ ධවලච්ඡත්රනයෙන් පූජා කොටැ ත්රිරශඬ්ඛයෙන් අභිෂේක ජලය වක් කොටැ පූජා කොළෝ යැ.

එයින් එක් බෝපැළයක්එයින් එක් බෝපැළයක් සමුද්රපතීරයෙහි සිටැ එන ගමනේ මහා බෝධින් වහන්සේ පිහිටි තැන දඹුලු තොටැ රෝපණය කෙළේ යැ. එකක් තවක්ක නම් බ්ර්හ්මණ ග්රාුමයෙහි පිහිටුවුයේ යැ. එකක් ථුපාරාමයෙහි පිහිටු වුයේ යැ. එකක් කසුන්ගිරි වෙහෙරැ පිහිටු වුයේ යැ. එකක් ප්ර්ථමක චෛත්යිස්ථානයෙහි පිහටුවුයේ යැ. එකක් සෑගිරියෙහි පිහිටුවුයේ යැ. එකක් රෝහණ ජනපදයෙහි කදරගම පිහිටුවුයේ යැ, එක් බෝපැලයක් එහි මැ සඳුන්ගමැ රෝපණය කැරැවුයේ යැ.

ඉක්බිත්තෙන් ඉතිරි ඵල සතර දෙනාගේ බිජුවටින් අට අට බැගින් උපන් දෙතිස් ඵලරුහ ශ්රීත මහා බෝධීන් වහන්සේ අතුරින් මල් වැස්සා වෙහෙරැ එක් ඵලරුහ බෝධියක් ද, එසේ මැ තන්ත්රිසමාල නම් වෙහෙරැ එකක් ද පිහිටියේ යැ, මුහුදු බඩ මහාජල්ලික නම් කෙවුල් ගමැ එක් බෝධියක් ද, මෙසේ මැ කොට්ටියාරම ද, පොලොන්නරුවෙහි ද, මාතලේ රුයිගම ද, රුහුණු රටැ මාගම ද, වීල්වලද, මහියඬ්ගණයෙහි ද, සේරුවිල සමීපයෙහි නයින් ගේ විල්ගම්වෙහෙරැ ද, ඌව බදුල්ලේ මුතියඬ්ගණයෙහි ද, එම රටැ බුත්හල හප්පෝරු වෙහෙරැ ද රුහුණු රටැ සිතුල්පවු වෙහෙරැ ද, තංගලු වෙහෙරට බටහිර දික්හි වු වනවාස වෙහෙරැ ද, වැලිගම් වෙහෙරැ ද, පරගොඩැ ද, මැද්දේගමැ ද, ගණේගමැ ද, කොත්මලේ පුසුල් පිටියෙහි ද, මායාරට වතුරේ ද, බෙලිගලැ ද, බෙල්ලන්විලැ ද, වඳුරව ද, වට්ටාරමේ රජමහාවිහාරයෙහි ද, සුලුගල්ලේ ද, රැස්වෙරුවේ ද, කථියාවෙහි ද, ගිරිබා වෙහෙරෙ ද, යාපවු සුන්දරගිරි පවුවෙහි ද, කසාගලු වෙහෙරෙහි ද, ඇඹලව රහත් ගල්වෙහෙරෙහි දැ”යි මෙසේ සමසතළිස් මහා බෝධි රාජයෝ බුදුරජාණන් වහන්නේ ගේ අධිෂ්ඨාන වු ලෙසට මැ මේ ශ්රීරලඬ්කාද්වීපයෙහි පිහිටියාහු යැ.

ඉතින් දේවානම්පියතිස්ස රජතුමා මේ විහාරය කරවලා විහාරයේ පැවැත්ම තහවුරු කරාට පස්සේ කාලයත් එක්ක මේ විහාරය දියුණුවෙන් දියුණුවට පත්වෙලා තිබිලා තියෙනවා . ඒත් පළවෙනි විජයබාහු රජතුමාගේ කාලේ ලංකාවේ තිබ්බ වාතාවරණයත් එක්ක බුදුදහම විනාශවෙලා තමයි තිබිලා තියෙන්නේ . ඒ නිසා රජතුමා බුරුම රටින් ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා ලංකාවේ බුදුදහම සහ උපසම්පදාව නැවත පිහිටවනවා . ඒ වෙලාවේ වැඩම කරපු ස්වාමීන් වහන්සේලා ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න වඩින ගමනේදී මේ විහාරයේ නවාතැන් අරගෙන තියෙනවා . අරමණ දේශයේ ඉඳලා වැඩපු හිමිවරු නැවතුණු තැන අරමණ පොළ විදියට නම් කරලා අවසානයේ මේ විහාරය අරමණපොළ විහාරය විදියට නම් කරලා තියෙනවා .

මේ විහාරය නම් පොතේ සඳහන් වෙන්නේ දෙනවක හෙවත් ද්‍රෝනවක්ක විහාරය කියලා . ද්‍රෝනවක්ක කියලා කියන්නේ මෙන්න මේ නිසා . විජයබාහු රජතුමා යුද්ධ කරන සමයේ මේ විහාරය කිට්ටුව තියෙන කෙහෙල්බද්දල හා දෙනවක කියන ගංගා එකතුවෙන තැන කඳවුරක් ඉදිකරලා තියෙනවා . ද්‍රෝණයක් වැනි ස්ථානයක් නිසා අන්තිමට මේ ප්‍රදේශය දෙනවක කියලා හඳුන්වලා තියෙනවා . ඒ වගේම මේ විහාරයත් දෙනවක කියලා නම් කරලා තියෙනවා .

පස්සේ මේ විහාරය කෝට්ටේ යුගයේ තමයි නැවතත් සංවර්ධනය වෙන්නේ . ඒ හයවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ අනුග්‍රාහකත්වයෙන් . එතුමා මේ විහාරය පිළිසකර කරවලා අද පවතින බුද්ධ මන්දීරයත් ඉදිකරවලා එතුමන්ගේ මව , සුනේත්‍රා දේවියට පිං පෙත් අනුමෝදන් වීම සඳහා පැපිලියානේ සුනේත්‍රා දේවී මහ පිරිවෙණට මේ විහාරයත් පූජා කරලා තියෙනවා . ඒත් අදවෙනකොට නම් ඒ සම්බන්ධතා ගිලිහිලා තියෙන්නේ . මේ විහාරයේ තියෙන සමහර කැටයම් එහෙම ඒ කාලෙට ගැළපෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා .





ආයෙත් ඔන්න ලංකාවේ හාමුදුරුවරු නැති කාලයක් ආවා අපේ සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගේ කාලේ . පස්සේ උන්වහන්සේනේ සියමෙන් හිමිවරු වැඩම කරවගෙන ලංකාවේ උපසම්පදාව නැවත ස්ථාපිත කරන්න වැඩ කටයුතු කලේ . මේ කාලේ ලංකාවේ ඉඳලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලා නෙවෙයි . ගණින්නාන්සේලා . ඒ අය පැවිදි උනාට විවාහ වෙලා එහෙම ගිහි ජීවිතයකුත් ගෙවලා තියෙනවා . ඒ නිසා ඒ අයට ගනින්නාසේලා කියලා කියලා තියෙනවා . මේ විහාරය තිබුණු පැත්තෙත් ගණින්නාන්සේලා ඉඳලා තියෙනවා . ඒ නිසා මේ පැත්තට ගණේගම කියලා නම් ලැබිලා තියෙනවා . සරණංකර හිමිගේ කාලයේ එවකට හිටපු රජතුමා මේ විහාරය අනෝමදස්සී කියලා හාමුදුරුකෙනෙක්ට පූජා කරලා තියෙනවා කියලා සන්නස් වල සඳහන් වෙනවා .

මේ විහාරයට රංකොත් වෙහෙර කියලත් කියනවා . ඒකට හේතුවෙලා තියෙන්නේ 6වෙනි පරාක්‍රමබාහු රජතුමා කරවපු විහාර ගෙයි වහලයේ සවිකරලා තිබුණු රන් කොත් දෙක කියලා තමයි කියන්නේ . පෘතිගීසීන් ලංකාව ආක්‍රමණය කරපු කාලේ මේ විහාරයටත් අවාසනාවන්ත කාලයක් උදා වුණා . මේ විහාරය අසල බල කඳවුරක් ඉදිවෙලා තිබුණ . ඔවුන් මේ විහාරයේ වස්තුව මංකොල්ල කාලා පිළිම සහ වෙනත් දේවල් අසල තියෙන ගඟට විසිකරලා තියෙනවා . අද විහාරගෙයි තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාව ගඟේ තිබිලා ආයෙත් හොයාගත්ත පිළිමයක් කියලා තමයි කියන්නේ .

මේ විහාරයේ චිත්‍ර ආයෙත් මතුකරගන්නකොට පෘතුගීසි සෙබලෙකුගේ සහ පූසන් දෙදෙනෙකුගේ චිත්‍ර මතුවෙලා තියෙනවා . ඒ නිසා මේ ස්ථානයේ පෘතිගීසීන් ඉඳලා තියෙනවා කියලා අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන් .

මේ විහාරයේ ගල් කණු සහ තවත් කළුගල් නිර්මාණ පිහිටලා තියෙනවා . ඒ වගේම පෘතුගීසීන් විසිකරලා දාලා ගඟේ ගිලිලා තිබුණු සමහර දේවල් නැවතත් ගොඩ අරගෙන පන්සලේ තැම්පත් කරලා තියෙනවා . ඔයාලටත් විහාරයට යන්න ලැබුණොත් ගිහින් බලන්න . මේ විහාරය තමයි මම දාන්න හැටියට රත්නපුරේ තියෙන පැරණිම විහාරය වෙන්නේ . ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි . මේ විහාරයේ වැඩ ඉන්න දෙතිස් පලරුහ බෝධීන් වහන්සේ නිසා .


තවත් වැදගත් කාරණාවක් තමයි මේ ස්ථානය අදවෙනකොට වෙඩින් ෆොටෝ ගන්න ලොකේෂන් එකක් වෙලා තියෙන එක . කමක් නැහැ එහෙම කරාට . ඒත් මේ ස්ථානයේ ගෞරවය ආගමික ස්වරූපයට හානි වෙන්නේ නැතිවෙන්න ඒ දේවල් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා . අපේ සිංදු අයියත් මෙතන ෆොටෝ ගත්ත නිසා තමයි මම මේ දේවල් දැනගත්තේ . මෙතන ෆොටෝ ගන්න කපල් එකට උදේම පන්සලේ හාමුදුරුවෝ පිරිත් කියලා ආශිර්වාද කරලා පොඩි බුදුපිළිමයක් තෑගී දෙනවා . පස්සේ විවාහ යුවල පොරොන්දු කරගන්නවා සෑම වසරකම නොකඩවා පන්සලකට දානයක් දෙනවා කියලා . අන්න ඒ දේ හරිම වටිනවා . මේ තැන ෆොටෝ ගන්න දෙනවා වගේම බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන්න උන්වහන්සේ ක්‍රියා කරන එක බෞද්ධ අපි අගේ කොට සලකන්න ඕන

ඒ වගේම මම මුලින් කිව්වා කරුණු කාරණා ටිකත් මතක තියාගන්න . ඒ මේ විහාරයේ වැදගත්ම දෙය බෝධීන් වහන්සේ මිසක් පිළිම වහන්සේ නෙවෙයි කියන කාරණාව .

එහෙනම් ආයෙත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන තවත් වැදගත් ඓතිහාසික මෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලද සිද්ධස්ථානයක් ගැන කියන්න තමයි මම අ...

තෙදින් පතිනි සඳ එති නරලොවටා !






මේක මාගලක් ඔන්න දැන්ම කිව්වා . කතාවට පෙරවදනක් ගන්නවානම් ඊයේ පෙරේදා වෙච්ච සිද්දියක් නිසා තමයි මේ කතාව ලියන්න හිතුවේ . මම කෑම්ප් ගිහින් ආවට පස්සේ දවස් හතරකින් විතර පැපොල් රෝගය වැළඳුනා . වැළඳුනා කියන්නේ රෝගය මාව සහ මගේ මුහුණත් තහඩුව වැළඳුවා . 

ගෙදර කස්ටිය කොහොම හරි කරන්න තියෙන ඔක්කොම ඒවා කරා . තව වෙද හාමිනේ කෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා . ප්‍රවීණ සූප වේදියෝ දෙන්නෙක් තරඟෙට අහලා අහලා කෑමට බීමට අනං මනං සප්ලයි කරා . ඔන්න ඔහොමයි කාලේ ගත කලේ .

හැබැයි ලෙඩවෙලා දෙවෙනි දවසේ වයලීනෝට හොඳටම අමාරු උනා . ඇවිදින්නත් බැරුව අම්මයි තාත්තයි දෙන්නගේ කරේ එල්ලිලා තමා දවස් දෙකක් තුනක් ඇවිද්දේ . නැත්නම් හිටගත්ත ගමන් පීසාහි ඇලවෙන කුලුන වගේ මම එහෙට මෙහෙට වැනෙනවා . දවසක් ඇඳෙන් නැගිටගන්නම බෑ , නාඩිත් හොඳටම weak , කන්නත් බෑ වතුර බිව්වත් ඔන්ද ස්පොට් වමනේ . ඔන්න එදානම් පොඩ්ඩක් බය හිතුනා . කොටින්ම කියනවනම් මරණ බය කියන එක දෙවෙනිපාරට දැනුනේ ඔන්න ඔය දවසේ තමා . චඃ දැන්ම මැරෙන්න බෑ අෆ්ෆා . තව පෝස්ට් තියෙනවා ලියන්න කියලා හිතුනා .




මේ ෆොටෝ එක ගැන පස්සේ මගේ යාල්ලුවෙක් සහ එයාගේ යාලුවෝ විස්තර ඇහුවා . මට එවෙලේ තමයි හිතුනේ පත්තිනි දේවිය ගැන ලියන්න ඕන කියලා . 

පත්තිනි දේවියගේ උපත ගැන කතාවනම් ටිකක් දිගයි . හැබැයි මම ඔන්නොහෙ එකටම ලියනවා . කොටස් දෙකකට වෙන් කරන එක අපරාදයක් . කවදා හරි මේ ගැන හොයන අය ගැනත් හිතලා එකම පෝස්ට් එකට දැම්මා. 

මත වාද තියෙන්න පුළුවන් . සමහර අය තර්ක කරා මේ එයා නෙවෙයි මෙයා . හා මේ එයා නෙවේ මෙයා කියලා . හැබැයි මම දන්න හැටියට මේ මෙයා තමා .

දකුණු ඉන්දියාවේ කාවේරි ගඟ කිට්ටුව තමයි ඒ කාලේ චෝල රාජ්‍යය පිහිටලා තිබුනේ . කරිකාල කියලා රජතුමෙක් මේ රාජ්‍යය පාලනය කළා . අගනුවර උනේ පූනාර් කියන නගරය හැබැයි කාවේරි පට්ට්ටන කියලත් ඒ නගරයට කියනවා . ලංකාව සහ ඉන්දියාව අතරේ වෙළඳාම් වලට මේ කාවේරි පට්ටන කියන ප්‍රදේශය ඉතාම වැදගත් උනා . 

මේ නගරයේ මනෙයික්කන් කියලා ධනවත් වෙළෙන්දෙක් හිටියා . මේ වෙළෙන්දාට දාව තමයි කන්නගීඑහෙමත් නැත්නම් අපි මේ කියන පත්තිනි දේවිය උපදින්නේ . මෙතුමියගේ උපත ගැන විවිධ කතා තියෙනවා . නයි කඳුලෙන් , ගිනිජාලාවෙන් , අඹ ගෙඩියෙන් ඔහොම ඔහොම එක එක ඒවායින් ඉපදිලා තියෙනවා . 

මම මේ කියාගෙන යන්නේ වෙනත් කතාවක් . ඉතින් ඒ නගරයේ හිටපු තවත් ධනවත් මුතු වෙළෙන්දෙක් තමයි මස්සෙට්ටුවාන් කියන්නේ . මේ වෙළෙන්දාගේ පුතා තමයි කෝවලාන් එහෙමත් නැත්නම පාලඟ කියන්නේ . මේ වෙළඳ පවුල් දෙකම ඉතාම සමීපයි . ඒ වගේම මේ කෝවලාන් තරුණයා සහ කන්නගී කියනන් දෙන්නම එකම වයසේ . ඉතින් පවුල් දෙකේ තිබ්බ ෆිට් එක නිසාම මේ දෙන්නව විවාහ කරවනවා . 

Posted Image


ඉතාම ලොකු විවාහ මංගල්‍යක් උනා මේක . රටේ රජතුමා පවා ආවා මේ මංගල්‍යයට . ඉතින් විවාහ වෙලා මේ දෙන්නට තිබ්බේ තමන්ට උරුම ධනය පාවිච්චි කරමින් සතුටින් ඉන්න තමයි . මහා මාලිගා , ඇත් අස් වාහන අරවද මේවද එව්වා මෙව්වා ඔක්කොම තිබ්බා . වසර කීපයක් මෙයාලා කෝවලාන්ගේ මහගෙදර හිටියා . පස්සේ ඉතින් දෙන්නා වෙන ගෙදරක පදිංචියට යනවා .


ඊට පස්සේ දෙන්නා පොඩ්ඩක් කාර්ය බහුල වෙනවා . මොකද කන්නගී ස්වාමි දුවකගේ වගකීම් කරට ගන්නවා . කෝවලාන් හැබැයි මේවාට එච්චර කැමති නෑ . ධනවත් වෙළෙන්දෙක්ගේ පුතෙක් නිසා මෙයා හැදිලා තිබුනේ පියාගේ දේවල් වලින් කන්න විතරයි . ඉතින් මෙයා ව්‍යාපාර වලට ඇතුළු වෙන්නේ නෑ . හැබැයි සංගීතයට ඉතාම කැමති ඒ වගේම සංගීතය ගැන පරතෙරට ඉගෙනගත්ත කෙනෙක් තමයි මේ කෝවලාන් .

මෙයා ධනවත් කෙනෙක් නිසා රටේ ඉන්න දක්ෂ ශිල්පීන් මෙයා තමාගේ මන්දීරයට ගෙන්න ගන්නවා ඒ නැටුම් ගැයුම් වලින් විනෝද වෙනවා . මෙයා ආශ්‍රය කලෙත් ව්‍යාපාරිකයින් නෙවේ . කළා කරුවන් . මෙහෙම කාලයක් යනකොට දවසක් මේ කෝවලාන්ට දැනගන්න ලැබෙනවා නවක නර්තන ශිල්පිනියකගේ මංගල අරන්ගේත්රම් උළෙලක් තියෙනවා කියල . මේ නර්තන ශිල්පිනියගේ නම මාධවී . ඉතින් මේ නර්තන උළෙල දැකබලාගත්ත කෝවලාන් මේ මාධවීගේ රූසපුවට ආදරය කරන්න ගන්නවා .

එදා මාධවී යෙදුන නර්තනය ඉතාම අලංකාරයි . ඒවගේම දීර්ඝ වෙලාවක් මාධවී නර්තනයේ යෙදෙනවා . ඉතින් දක්ෂකම වගේම ලස්සන නිසාම කෝවලාන් දෙවුලොවින් ආපු සුරංගනාවියක් වගේ හිටපු මාධවී කෙරෙහිම හිත යොදවලා සති ගානක් ගෙදර යන්නේ නැතුව නිවසින් පිටත වාසය කරනවා . මෙයාගේ හිත හොඳටම අවුල් වෙනවා . මාධවී ගැන හිතලා හිතලා තවත් දුක් විඳින්න බැරි නිසා කියලා කෝවලාන් මාධවීගේ මැදුරට යනවා මාධවී එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා . මැදුරේදී දෙන්නාගේ හමුවීම දුරදිග යනවා . ඒවගේම මාධවීත් මේ කෝවලාන්ට ආදරය කරන්න පටන් ගන්නවා .

අන්තිමට කෝවලාන් ගෙදර ගියේම නෑ . මාධවී එක්කම නවතිනවා . කෝවලාන් සංගීතයටත් මාධවී නැටුමටත් ලැදි නිසා කෝවලාන් මේ මේ අලුත් ජීවිතයට ඉතාම ප්‍රිය කරනවා . මොකද කන්නගී ඒ කියන්නේ අපේ පත්තිනි දේවිය මේ දේවල් වලට කැමති නැති නිසා . කන්නගීත් හැබැයි මේ ගැන දුක් උනේ නෑ . ඒ වගේම කන්නගී කෝවලාන් බැඳීමට වඩා මාධවී කෝවලාන් බැඳීම වඩා ශක්තිමත් උනා . 

කාලයක් යනකොට කෝවලාන්ට දාව මාධවී මණිමේකලා කියලා දියණියක් බිහි කරනවා . ඉතින් ඊටපස්සේ කාලයක් යනකොට මාධවීගේ ලාලිත්‍යය නැතිවෙලා ලස්සන නැතිවෙලා ශරීරය වැහැරුනාම කෝවලාන්ට මාධවී එපා වෙනවා . දෙන්න අතරේ පොඩි පොඩි අවුල් ඇති වෙනවා . ඉතින් පස්සේ කෝවලාන්, මාධවී සහ මණිමේඛලා දියණිය අතැරලා ආයෙත් කන්නගී ගාවටම යනවා . මාධවී කියන්නේ නැට්ටුක්කාරියක් . ඒ නිසා එයා මුදල් කළමනාකරණයක් ගැන දන්නේ නෑ . එනිසාම ධනකුවෙරයෙකුගේ පුත්‍ර කෝවලාන් අවසානයේ කන්නගී වෙතට යන්නේ හිඟන්නෙක් වෙලා . 






මාධවී ගැන තව දෙයක් කියන්න අමතක උනා මුලින් . මාධවී කලින් තවුතිසාවේ හිටපු දෙවඟනක් . සක්‍රයා එක්ක වෙච්ච මත භේදයක් නිසා සක්‍රයා මේ දෙවඟනට සාප කරනවා . මේ සාපය නිසා මාධවීට වෙන්නේ මනුස්ස ලෝකේ ඉපදෙනකොට ගණිකාවකගේ දියණියක් වෙන්න . ලස්සන ගියාට පස්සේ මෙයත් ගණිකාවක් උනා . මණිමේඛලා දියණිය මාධවී විසින් හදාගත්තා . මොකද ඒ කාලේ ගණිකාවෝ පිරිමි දරුවෝ හදාගන්නේ නෑ ( ජීවක වෙදැදුරුතුමාගේ කතාව අහලා ඇතිනේ ) . ගෑනු දරුවොනම් හදාගෙන ලොකු උනාම ගණිකා වෘත්තියට යොමු කරවනවා . මධවීත් අන්තිමට මේ පාරේම යනවා . නැට්ටුක්කාරියන්ගේ ජීවිතයට ඉන්දියාවේ ඒ කාලේ අත් උනේ මේ ඉරණම තමයි .

කෝවලාන් ඉතින් කන්නගී ගාවට අත් වන වන ආවට කන්නගී ඉතාම ආදරෙන් කෝවලාන්ව භාර ගන්නවා . හැබැයි මාධවී හිතන් හිටියේ කෝවලාන් සල්ලි හොයාගෙන ආයෙත් එයි කියලා ඒත් කෝවලාන් ආවේ නෑ . කන්නගී තමාට සමාව දුන්න නිසා කෝවලාන්ට කන්නගී ගැන ලොකු ආදරයක් හිතෙනවා . ඉතින් ආයෙත් කන්නගීව දාලා ගියේ නෑ . මේ නිසා මාධවී කෝවලාන්ට පණිවිඩයක් එවනවා ආයෙත් එන්න කියලා . ඒත් කෝවලාන් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා . මේ දුකට මාධවී මිය යනවා . මියගියාම සක්‍රයාගේ සාපය ඉවරවෙලා නිසා මාධවී ආයෙත් තවුතිසාවේ ඉපදෙනවා .

තමන් කරපු පදිරි වැඩ නිසා කෝවලාන්ට රටට මුණ දෙන්න බැරි වෙනවා . ඒ නිසා කෝවලාන් කියනවා කන්නගීට අපි වෙන රටකට යන් කියලා . වෙලා පළාතකට ගිහින් රස්සාවක් කරන්න තමා හිතන් ඉන්නේ . දෙන්නා දැන් කාවේරි ගඟ දිගේ යාත්‍රා කරලා වනාන්තර පසු කරලා මධුරා පුරයට සම්ප්‍රාප්ත වෙනවා .

මේ වෙලාවේ මට මතක් වෙනවා සළු පාලියේ කවියක කොටසක් . 

" මධුරා පුර වැඩි පතිනි සදේය " කියලා . ඔය මධුරා පුරයට පැමිණීම තමයි ඒ කවියේ කියල තියෙන්නේ . 

ඉතින් මධුරා පුරයේ තිබ්බ ගොපලු ගෙදරක මේ යුවල නවතිනවා . ඒ නවතිලා කෝවලාන් පොඩි ජොබ් එකක් කරනවා . කන්නගී ගෙදර වැඩ කරනවා . ඒත් දැන් දෙන්නට වියදමට ලැබෙන සල්ලි මදි නිසා කන්නගී ගාව තිබ්බ එයාගේ දෙමාපියන් හදලා දුන්න මැණික් ඔබ්බපු රන් සළඹ විකුනමු කියලා කෝවලන්ට කියනවා .

මධුරාපුරයේ මේ සළඹ මිල කරන්න ලේසි පුතෙක් හිටියේ නෑ . ඒක තනි රත්තරන් වලින් හදපු මැණික් අල්ලපු ඉතා වටිනා සලඹක් . පස්සේ කෝවලාන් රජගෙදර රන්කරුවා හොයාගෙන යනවා මේක විකුනන්න . කරුමේ කියන්නේ මධුරාවේ රජතුමාගේ බිසවගේත් සළඹ මේ කාලෙම නැතිවෙලා තියෙනවා . ඉතින් රන්කරුවා ගාවට ගියාම රන් කරුවා කට්ටය , රන් කරුවා හිතනවා මේ සළඹ රජතුමාගේ බිසවගේ කියලා මම රජතුමාගෙන් තෑගී ගන්නවා කියලා . 

පස්සේ රන්කරුවා කියනවා කෝවලාන්ට මම රජතුමාට මේක මිල කරලා මුදල් ගේන්නම් මම එනකං ඉන්න කියලා . කෝවලාන් ඉන්නවා රන්කරුවගේ ගෙදර .

ඉතින් රන් කරුවා කරන්නේ මේ සළඹ ගැනයි කෝවලාන් ගැනයි රජතුමාට කියනවා , මේ තමයි මම හදලා දුන්න බිසවගේ රන් සළඹ මෙයා තමා හොරා කියලා . පස්සේ රජතුමා රාජපුර්ෂයින් යවලා කෝවලන් අල්ලාගෙන එනවා . නඩු අහන්නෙත් නැතුවම රජතුමා කොවලාන්ගේ හිස සිඳින්න නියෝග කරනවා . නගරයේ මිනිස්සු මේ සළඹ හොරා මැරීම ගැන කතාවෙනවා . ඔහොම ඔහොම කතාව අන්තිමට කන්නගීට දැනගන්න ලැබෙනවා .

කන්නගී හොඳටම දුක් වෙනවා . පස්සේ මෙයා මාලිගාවට ගමන් කරනවා . මේ අතරේ තමයි රන් කරුවා කරපු වැඩේ මගදී ආරංචි වෙන්නේ . පස්සේ කන්නගීට හොඳටම තරහා යනවා . මෙහෙම තරහා ගිහින් කෝපයෙන් මාලිගාවට යනවා . කෝපයෙන් ඇය කොච්චර වියරු වැටුනද කියනවනම් ඇය දකින රාජ පුර්ශයින්ට ඇයව නවත්තන්න වත් මතක් වෙනේ නෑ අයගේ තිබ්බ නපුරු පාටට . 

කන්නගී මාලිගාවට ගිහින් රජතුමා ඉස්සරහා කෑගහලා කියනවා මේ මගේ අනිත් සළඹ . අපි ආවේ කාවේරි නුවර ඉඳලා . මේ මගේ සැමියා , අපිට සල්ලි නැති නිසා මගේ සළඹ විකුනන්න ආවම තමයි මේ නිස්කාරනේ මරලා තියෙන්නේ කියලා . කන්නගී කෙන්තියටම තමන්ගේ අනිත් සළඹ අතට අරගෙන මහා හයියෙන් රජතුමා ඉදිරියේ සාප කරමින් පොලවේ ගහනවා . සළඹේ තිබ්බ සාපලත් මැණික් කැට ගැලවිලා වීසිවෙලා ඒ මැණික් කැටයක් වැදිලා රජතුමා මිය යනවා . 






දුක ඉවසගන්න බැරුව කන්නගී තමාගේ වම පියයුර අතින් ඇදලා ගලවලා එතනම පොලවේ ගහනවා . මේ පියයුර පොලවේ ගහපු නිසා නැගුන ගිනි දැල් වලින් මුළු මදුරාපුරයම ගිනි ගත්තා කියලා තමයි කියන්නේ . ඉතිරිවෙලා තියෙන්නේ සිල්වත් අය විතරයි . කන්නගී මේ වෙලාවේ දේවත්වයට පත් වෙනවා .
අපේ ආච්චි ඉස්සර හවසට බුදුන් වඳිනකොට පත්තිනි දෙවියන්ට පින් දෙන්න කියන කවි කීපයක් මේ .

බාලේ පෙම් බැඳී හිමියට ආලේ
අත්හැර ආවේ ගම ඒ කාලේ 
පඬි රජ මැරවූයෙන් සිහි විකලේ
පත්තිනි පෑවේ පතිදම් සීලේ

සළඹ නිසා තම සොරෙකුන් ලෙසටා 
හිමියා මැරවූයෙන් රජ එවිටා
පත්තිනි දේවිය ගොස් රජු වෙතටා
තනය කඩා වම ගැසුවේ බිමටා 

මැවුනි එතන ගිනි ජාලා එවෙලේ
පඬි පුර අළු වී ගියා ඇසිල්ලේ
එවැනි උතුම් බල පත්තිනි ආලේ 
සිහිකර පින් දෙමි නිතර දෙවේලේ

සිත් සනසන සොඳ ගුණති අමාවන් 
උත්තම පතිදම් සුරැකි අමාවන් 
සත් හට සෙත් දෙන රුවැති ලමාවන් 
පත්තිනි දෙවියෝ පින් අනුමෝවන්

පස්සේ කන්නගී මේ ගින්න නිවා දානවා . මෙයාගේ ශරීරයේ වම නිල්පාට වෙනවා , දකුණ රන්වන් පාට වෙනවා . වම් අතේ රන්පාට නෙළුමක් දරාගන්නවා , දකුනතට අසිපතක් ලැබෙනවා , වම පයේ අලංකාර සිහින් හඬ තියෙන සළඹක් සහ දකුණු පාදයේ මහත් සළඹක් පළඳිනවා . ඒ වෙලාවේ ඒ පුරයට අරක් ගත්ත දෙවියෙක් ඇවිත් කියනවා මියගිය කෝවලාන් එසේ මිය ගියේ ගිය ආත්මයේ සොල්දාදුවෙක් කියලා හිතලා අහිංසකයෙක් මරාදාපු පවට කියලා . 

පස්සේ කන්නගී අහනවා කෝවලාන් දැන් කොහේද ඉපදිලා ඉන්නේ කියලා . ඉතින් දෙවියා කියනවා කෝවලාන් දැන් දිව්‍යලෝකේ ඉන්නේ ඔබතුමිය රැගෙන යන්න එයි කියලා . 



පස්සේ දිව්‍යරථයක් ඇවිත් කන්නගී දෙව්ලොවට රැගෙන යනවා . කන්නගී ගහක් මුල ඉන්නකොට තමයි මෙහෙම දිව්‍ය ලෝකෙන් දිව්‍ය රථය ඇවිත් අරගෙන යන්නේ . ඉතින් මිනිස්සු මේ සිද්දිය ගැන පුදුමයෙන් කතා වෙනවා . මේ කතාව මදුරාපුරයේ හිටපු කවියෙක් වන සත්තනාර් කියන කවියා මගින් වංග රටේ සෙන්ගුට්ටුවාන් කියන රජතුමාට දැනගන්න ලැබෙනවා . පස්සේ මේ රජතුමා මධුරාවට ඇවිත් මේ කන්නගී දෙව්ලොවට ගිය තැන ගහ ගාව දේවාලයක් හදලා එතන කන්නගීගේ පිළිමයක් පිහිටවනවා . ඔන්න ඔහොම තමයි පත්තිනි දේවියගේ උපත ගැන සඳහන් වෙන්නේ . එහේ කන්නගී දේවිය මෙහෙ පත්තිනි දේවිය උනා කියලා තමා පිළිගැනීම .

පසු කාලෙකදී ගජබා රජතුමා ලංකාවට පත්තිනි සලඹක් වැඩම කෙරෙව්වා . ඊට පස්සේ තමයි නවගමුවේ දේවාලය හදලා සඳුන් දැවයෙන් කල පත්තිනි දේවියගේ පිළිමයක් සහ සළඹ හත් කට්ටුවක් තැම්පත් කරලා ඒක පත්තිනි දේවියට කැප කරලා තියෙන්නේ . අද ලංකාවේ තියෙන ප්‍රධානම පත්තිනි දේවාලය නවගමුවේ පත්තිනි දේවාලය . 

ඒ වගේම කඩුවෙල නගරය අසල තියෙන රන්කඩු පත්තිනි දේවාලයත් ප්‍රධාන පත්තිනි දේවාලයක් .

දවසක් නවගමුවේ පත්තිනි දේවාලේ කපු මහත්මයට හීනෙන් පේනවා දේවාලය අසල කැළණි ගඟේ අටබොරදම් ගාලා සකස් කරපු කොස් කොටයක් පාවෙනවා . ඒක දේවාලෙට ගෙනත් දේවාලේ සවි කරන්න කියලා හීනෙන් නියෝග කරලා තියෙනවා . පස්සේ කපු මහත්මයා මේක ගෙනත් හයි කරගන්නවා . ටික කලක් යනකොට පත්තිනි දෙවියන්ගේ ආනුභාවයෙන් මේ මල කොස් කණුව බිත්තියේ තියෙත්දිම දළු දාලා පස්සේ ගෙඩිත් හටගන්නවා . මේ කොස් කණුව එව්වේ සක්‍රයා කියලා තමයි කියන්නේ . පත්තිනි දේවියගේ දේව බලය පරීක්ෂා කරන්නලු එහෙම කොස් කණුවක් එව්වේ .

Posted Image


ලියාගෙන ලියාගෙන යනකොට තව කතා කීපයක් මතක් උනා . ගොඩගම සන්නස ගැන එහෙමත් කියන්න තියෙනවා . ඒ නිසා ආයෙත් මේ වගේ මාගලක් ලියන්නම් . මේ පහල තියෙන්නේ පත්තිනි පදය නටන අවස්ථාවක් . 

මෙතන කපු මහත්මයා පත්තිනි දේවිය වගේ ඇඳගෙන මේ ශාන්ති කර්මය ඉදිරිපත් කරනවා . මම කැමතිම ගායනාවක් . හැමදාම ඕක අහ අහ ඉන්නවා . පත්තිනි පදය කියලා කිව්වට පද හතක් තියෙනවලු . එක කපුමහත්මයයිලු නටන්නේ . මේ පත්තිනි පදය ගැන මට කිව්වේ වතී අක්කා ඔන්න . වතී අක්ක ටිකක් මෙව්වා ගැන දන්නවා . ගම්මඩු දෙවොල් මඩු වගේ ශාන්ති කර්මවල මේ පත්තිනි නැටුම් ඉදිරිපත් වෙනවා .





පත්තිනි දෙවියන්ට කන්නලවු කරන්නේ මෙන්න මෙහෙම . 

තෙද වරම් පස්වාන් දහසකට බුදුවන්ඩ සිද්ද පත්තිනි දේව මාතවුනි.තවද මෙලොව සත්වාරයක් පහල වූ හෙයින් සත් පත්තිනි යන නමින් ප්‍රසිද්ද වන ඔබ දිව්යාන්ගනාවුන් වහන්සේ දෙමට මලෙන් නයි කඳුලෙන් ගිනි ජාලාවෙන් පිනි බින්දුවෙන් සිනා රැල්ලෙන් මවිත අඹෙන් මෙසේ සත් වාරයක් ලොව පහල වූ සත් පත්ත්තිනි දිව්යාන්ගනාවුන් වහන්ස.සුර ලොවින් අසුර ලොවට වරම් ලබා අසුර ලොවින් නාග ලොවට වරම් ලබා නාග මානවිකාවන් දසදහසක් පිරිවරා පුන්කලසක් ශ්‍රී හස්තයෙන් දරාගෙන පිහිටි දිව්‍ය මන්දිරාමානව නවගමුව හිමි දේවාලයට අධිගෘහිතව වැඩ වසන සිද්ද පත්තිනි දිව්යානගනාවුන් වහන්ස.ඔබ වහන්සේගේ දිව්‍යනුභව සිඳලමියි සිතා සක්‍ර දිව්‍ය රාජයෝ සුරලොවින් සතර පැත්ත කපා අට බොරදන් ගා එවූ මල කොස් කණුව පොරකවුලා දළු ඇද තුන් දුමාව පලගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් පරංගි සමයක් කාරයන්ගේ යුද්දය තුන් මාසයක් කල්තියා දැනගෙන නවගමුව දේවාලයෙන් රුවන් සළඹ සත් නමක් මැදගොඩ ඇල්ලට ඇලිකිඹුලෙක් පිටෙහි වැඩමවා මැදගොඩ ඇල්ලෙහි කෙලිපුද ගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් තවද ඔබ වහන්සේ අන්දුන්ගිරි පර්වතේ තපස් රකිනවා දැක සක්‍ර දිව්‍ය රාජයා මහලු වෙස්ගෙන අන්දුන්ගිරි පර්වතයට වැඩ නැගෙනියනි මට දානයක් දෙන්නයි කියූ තැනේදී කුමන දානයක්දයි අසු තැනේදී අන්දුන්ගිර පයින් පාගා මඩකර දියෙන් ගිනිගෙන බොජුන් තනා දෙන්නයි කිව තැනේදී අන්දුන්ගිර පාගා මඩකර සුවඳ ඇල් වි ඉස පැලකොට ගොයම් කපා වී කොටා පොලා දියෙන් ගිනි මොලවා සත් පැයෙන් දානය දී හමාර කර මතු බුදු වන්ඩ ප්‍රර්ථනා කර සක්‍ර දිවය රාජයාගේ ආනුභාවයෙන් පඬිපුර අඹ ගෙඩියෙහි පිළිසිඳ පඬි රජුගේ තුන් නෙතින් නළලෙහි නෙත මැකෙන්ඩ වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් තවද ස්වාමී පාලඟ මැරූ පඩිරජුගේ මාලිගාවට වැඩම කරවා තමා රක්ශාකල පතිදම් ශිලයෙන් වම තනය ඉරා ගලවා මාලිගාවෙහි පොලවේ ගසා පඬි රට ගිනිගන්නට සාප කල හෙයින් පඬිරට එක පෑමුක්කාලෙන් ගිනිගෙන අළු දුලි වන්නට වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් නම් සියලු ආතුරයින් ආරක්ෂා කර දෙන්නට දැන වදාරා නවගමුව දිව්‍ය මන්දිරයෙහි චිරාත් කාලයක් වැඩවසමින් ලංකාද්වීපය දිව නෙතින් බලා වදාරන්නට සමා වෙනවයි ඔබ කිර්ති පස්වාන් දහසකට ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා......!

තවත් ලිපියකින් හමුවෙමු !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




මේක මාගලක් ඔන්න දැන්ම කිව්වා . කතාවට පෙරවදනක් ගන්නවානම් ඊයේ පෙරේදා වෙච්ච සිද්දියක් නිසා තමයි මේ කතාව ලියන්න හිතුවේ . මම කෑම්ප් ගිහින් ආව...

සූර්ය ග්‍රී පර්වතේ දෙදරවා වඩින කඩවර සෙනෙවිරත්න අධිකාරම් දේවතාවුන් වහන්සේ




ලංකාවේ මුල් බැසගත් දේව වන්දනා වලදී කඩවර දෙවියන් හෝ කඩවර යක්ෂයා වන්දනා කිරීම ඈත අතීතයේ ඉඳලාම සිදුවෙන දෙයක් . කඩවර දෙවියන් නුවර කලාවිය ප්‍රදේශයට සම්බන්ධ පුද ලබන්නෙක් විදියට ප්‍රසිද්ධ වුණත් දකුණු පළාතේ වුණත් කඩවර වන්දනාව කෙරෙනවා . කඩවර දෙවියන් කොහොඹා කංකාරියේ පුද ලැබීම සම්බන්ධව මත කීපයක් තියෙනවා . මොකද කොහොඹා කංකාරිය පඬුවස්දෙව් රජුගේ කාලයේ සිදුවීම සහ කඩවර උපත ධාතුසේන රජතුමාගේ කාලයේ සිදුවීම නිසා . මේ පරස්පර කතා කෙසේ වෙතත් කඩවර උත්පත්ති කතාව සම්බන්ධව මෙහෙම කතා කීපයක් තියෙනවා .


මෙන්න මෙහෙමයි මේ කඩවර උත්පත්ති කතාව ගැන සඳහන් වෙන්නේ


අනුරාධපුරය පැත්තේ ගමක ඉතාම ඈත අතීතයේ ජීවත් උනා එක්තරා මනුස්සයෙක් . මේ මනුස්සයා ඇඟේ පතේ හයිය හත්තිය තියෙන හොඳ ඇඟ පත තියෙන මනුස්සයෙක් . ඉතින් මෙයා ගොවිතැන් කරන කාලෙට ගොවිතැන් කරනවා . කුඹුරු කොටන්න , නියර බඳින්න ඇලවල් කපන්න වගේ වැඩවලට මෙයා හරිම දක්ෂ කෙනෙක් . ඉතින් මේ නිසා මෙයාගේ කුඹුරු වල වී වලින් නම් අඩුවක් උනේ නැහැ . ගොවිතැන් කරන කාලෙට ගොවිතැන් කරාට ඊට පස්සේ මෙයා වැඩි හරියක් කරන්නේ නිදාගන්න එක . ඒත් නිකන්ම නෙවෙයි නිදා ගන්නේ කණපැලෙන්න රා බීලා තමයි නිදා ගන්නේ . ඒ වගේම හොඳට බඩ කට පිරෙන්න කන්නත් ඕන මෙයාට .


දවසක් මෙයාගේ බිරිඳ මෙයාට ගෙදර වැඩ රාජකාරි වගයක් කරන්න කියලා එයාගේ රාජකාරි වගයකට ගෙදරින් බැහැරට යනවා . ඒත් ඉතින් මේ මනුස්සයා කිව්ව වැඩ කරන්නේ නෑ . උයලා තිබ්බ කෑම බීම බඩ කට පිරෙන්න කාලා , රා බීලා ගොරව ගොරව නිදාගත්තා . මෙහෙම නිදාගෙන ඉන්නකොට බිරිඳ එනවා ගෙදර . ඒ එනකොට දකිනවා තමන් කරන්න කිව්ව දේවල් මොකවත් කරන්නේ නැතුව මනුස්සයා කාලා බීලා හොඳට නිදාගෙන ඉන්න හැටි . මේකට මේ බිරිඳට හොඳටම කේන්ති යනවා . ඒ නිසා කරන්නේ උයලා තිබ්බ බත් මුට්ටිය අරගෙන ඇවිත් මේ මනුස්සයට හොඳටම බැනලා බත් මුට්ටිය ඔලුවේ ගහපු එක .


බිරිඳ මෙහෙම කරාට පස්සේ මනුස්සයා හොඳටම කලකිරෙනවා . මොකද කාලා බීලා නිදාගන්නේ කන්න බොන්න ඕන දේවල් හම්බ කරලා තියලා . ඒත් සැනසිල්ලේ ඉන්න නැති නිසා මේ මනුස්සයා බිරිඳට කියන්නෙම නැතුව ගෙදරින් යන්න යනවා . මේ විදියට යන්න ගියාට මෙයට යන්න කියලා තැනක් තිබුණේ නෑ . ඉතින් එයා ජීවත් වෙන්න කල්පනා කරේ වනාන්තරයේ . වනාන්තරයේ ඉන්නකොට මෙයා කෑවේ බිව්වේ ගස්වල කොළ ගෙඩි වගේ දේවල් . කැලේ ඉන්න සත්තුත් එක්ක මෙයා හරිම සමගියෙන් ජීවත් උනා . සමහරවිට ඒ අය මෙල්ල කරගන්න විදියක් මෙයා දැනගෙන ඉන්න ඇති . එහෙමත් නැත්නම් සත්තුන් තේරුම් ගන්න ඇති මේ මනුස්සයාගෙන් තමන්ට කරදරයක් නැහැ කියල . ඒ නිසා සත්තුයි මේ මනුස්සයයි කැලයේ කිසිම් කරදරයක් නැතුව ජීවත් උනා .


දවසක් රජතුමාගේ සේනාව මේ මනුස්සයා හිටපු කැලයේ දඩයමේ ආවා . මුවෝ ගෝන්නු වගේ සත්තු මසට මරාගෙන යන්න තමයි ආවේ . සමහරවිට රජතුමාගේ රාජ භෝජනයට වෙන්න ඇති . එහෙමත් නැත්නම් සෙල්ලමට දඩයමට යන්න වෙන්න ඇති . ඉතින් මෙහෙම දඩයමේ ආවට මේ අයට මොකෙක්වත් අල්ල ගන්න ලැබුණේ නෑ . මොකද මේ කලින් කිව්ව අර ගෙදරින් පැනලා ආව මනුස්සයා රාජ පුර්ෂයින් අලාගෙන ඒ අයට පොලු මුගුරු වලින් ගහලා එළවන නිසා .


දැන් ඉතින් අහන්න එපා රාජ පුර්ශයෝ ගාව දුනු ඊතල කඩු තියෙනවනේ , මේ එක්කෙනා ගාව ඒවා නැහැනේ කියලා . එක කඩුවක් විතරක් තියාගෙන මිනිස්සු 999ක් මරන්න අංගුලි මාලට පුළුවන් උනේ කොසොල් රජතුමාගේ රාජපුර්ෂයින් එක්ක පවා තනියම සටන් කරමින් . ඒ නිසා මෙයාටත් ඒ වගේ හැකියාවක් තියෙන්න ඇති මොකක් හරි . මොකද මම කලින් කිව්වනේ මෙයා හොඳට කන බොන කෙනෙක් කියලා . අනික කැලයේ හිටපු සත්තුන් ගෙන් පවා මෙයාට උදව් ලැබෙන්න ඇති සටන් කරන්න .


ඉතින් අන්තිමට රාජ පුර්ෂයින් හිස් අතින්ම ආයෙත් මාලිගාවට ගියා . මෙහෙම දවස් කීපයක් හිස් අතින් ගියාට පස්සේ දැන් රජ තුමාටත් මස් නැහැ . ඉතින් අන්තිමට කරේ මොකක්ද රජතුමාට පැමිණිලි කරා මෙන්න මෙහෙම යකෙක් වගේ කෙනෙක් ඇවිත් අපිට කරදර කරලා සත්තුන්ව බේරා ගන්නවා . ඒ නිසා අපිට දඩයම් කරන්න විදියක් නැහැ කියලා . පස්සේ රජතුමා විශේෂ සේනාවක් සූදානම් කරවලා ඒ අයව පිටත් කරලා යැව්වා කොහොම හරි මේ කෙනාව අල්ලාගෙන එන්න කියලා .


පස්සේ ඒ සේනාව ගිහින් මේ කෙනාව අල්ලගෙන එනවා . ඒ ආවට ඉතින් වැඩක් නැහැ . මොකද මේ මනුස්සයා කතා කරන්නේ නැහැ . ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා . ඉතින් රජතුමා එක එක උපායවල් යොදවලා බැලුවා මේ මනුස්සයා කතා කරවන්න . ඒත් කතා කරේ නෑ . පස්සේ නගරය පුරා අඬබෙර ගහන්න සූදානම් කෙරෙව්වා මේ කෙනාව කතා කරවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට වටිනා තෑගී ලබා දෙනවා කියලා .


මේ කතාව ආරංචි වෙනවා අර කෙනාගේ බිරිඳට . ඊට පස්සේ මේ බිරිඳ මාලිගාවට ඇවිල්ලා කියනවා මේ ඉන්නේ තමන්ගේ ස්වාමි පුර්ශයා . මේ මනුස්සයා ගෙදර ඉන්න කාලේ හොඳට බඩ කට පිරෙන්න කාපු කෙනෙක් . දැන් මේ සද්ද නැතුව ඉන්නේ කන්න නැති නිසා . හොඳ රහට කෑම කන්න දුන්නොත් මෙයා කතා කරයි කියලා . පස්සේ රජතුමා ඒ වෙනුවෙන් කටයුතු කරා . ටික දවසක් හොඳට කාපු මේ මනුස්සයා අන්තිමටම කතා කරා .


පස්සේ රජතුමා වෙච්ච දේවල් හිටියේ කොහෙද කෑවේ බිව්වේ කොහොමද වගේ හැම විස්තරයක්ම අහලා දැනගෙන පස්සේ ඇහුවා මේ යන්නේ නියං කාලය වෙච්චි එකේ කැලේ ඇතුලේ ඉන්නකොට කොහොමද වතුර හොයාගත්තේ කියලා . පස්සේ මේ මනුස්සයා කියනවා කැලේ මැද ථියෙනවෙආ දිය බුබුලකින් පෝෂණය වෙන වතුර නොසිඳෙන කඩ වලක් . ඒ කියන්නේ වතුර පිරිලා තියෙන පොකුණක් වගේ තැනක් . මෙතනින් වතුර පාරක් ගලාගෙන යනවා . අන්න එතනින් තමයි වතුර හොයා ගත්තේ කියලා . පස්සේ රජතුමා එතන කලා වැව හදවලා තියෙනවා .


මීට අසමාන වෙනත් කතාවකුත් මම අහලා තියෙනවා . ඒ තමයි මේ මනුස්සයා කතා කරන්නේ නැතුව ඉන්න නිසා අන්තිමට රජතුමා මේ මනුස්සයට මරණ දඬුවම දෙන්න කියලා නියම කරනවා . ඒ වෙලාවේ මේ මනුස්සයා කතා කරා . පස්සේ එයා කිව්වා මම හිටපු කලය ඇතුලේ කවදාවත් නොසිඳෙන දිය බුබුලක් තියෙනවා . එතනට වතුර බොන්න හැමදාම සුදු ඇතෙක් එනවා . මට අභය දානය දෙනවනම් මම ඒ ඇතාව රජතුමාට අල්ලලා දෙන්නම් කියලා . පස්සේ රජතුමා කැලයේ තියෙන මේ තැන බලන්න යනවා . සුදු ඇතාවත් අල්ල ගන්නවා . පස්සේ මේ තැන වට කරලා බැමි බන්දවලා කලාවැව කියන විශාල වැව හදවනවා . මේ වැවේ වැඩ කරවන්නෙත් මේ මනුස්සයාම තමයි .


ඉතින් මේ මනුස්සයාට අන්තිමට ඇමති කමක් ලැබෙනවා . කලා වැවේ සොරොව් බිසෝකොටුවල ක්‍රියාකාරීත්වය , මඩ ඉවත් කරවීම , රැක බලා ගැනීම වගේ හැම දෙයක්ම බලාගන්න දුන්නේ මේ ඇමතිට . කාලයක් යනකොට මේ ඇමතිට අනෙක් ඇමතිවරු ඉරිසියා කරන්න පටන් ගත්තා . මොකද මේ ඇමති ඒක පාරටම ඇමති කෙනෙක් වෙච්ච කෙනෙක් . අනිත් ඇමතිලා වගේ කිසිම වෙනත් සුදුසුකම් නැතිවයි මේ ඇමති පත් වුනේ . ඒ මදිවට වැව් කර්මාන්තය කරවන පිරිසට අධිපති සෙනෙවිරත්න පදවියත් මේ ඇමතිට ලැබුණා . ඉතින් අනිත් ඇමතිලා තවත් ඉරිසියා කළා .

ඔහොම කාලයක් යනකොට එක නියං කාලයක් ආවා . මේ නිසා කලා වැවත් හිඳිලා ගියා . හිඳුනා කියන්නේ ඉතින් වතුර නැත්තටම නැති වුනා කියන එක නෙවෙයි . කුඹුරු වැඩ වලටත් වතුර මදි උනා කියන එක . මේකට ඒ කාලේ තිබ්බ හොඳම බෙහෙත් තමයි දවස් හතක් වැසි පිරිත් සහිතව පිරිත් දේශනා කිරීම . සාම්ප්‍රදායානුකූලව වැසි පිරිත් දේශනා කරන්නේ වැවේ වැව් බැම්මේ සාදවන ලද පිරිත් මණ්ඩපයක . මේ පිරිත් මණ්ඩපය සාදවලා හාමුදුරුවරු වැඩම කරවලා පිරිත් දේශනා කරවලා ඒ කටයුත්ත සම්පූර්ණ කරන්න සියලුම වගකීම් පැවරිලා තිබුණේ මේ ඇමති තුමාට .


ඉතින් ඔන්න පිරිත් දේශනා කරනන සියලුම දේවල් සම්පූර්ණ කරලා හාමුදුරුවරු පිරිතට වඩිනවා . මේ වැවේ වැව් බැම්මේ තියලා තියෙනවා විශාල මැටි කොතලයක් . වහිනකොට මේකට වතුර පිරෙන තරම අනුව වැවේ වතුර පිරෙන ප්‍රමාණයත් මැනගන්න පුළුවන් . ඉතින් මේ කොතලය හිල් කරන්න කියලා මේ ඇමති තුමාට ඉරිසියා කරන අනිත් අමතිලාගෙන් කෙනෙක් හාමුදුරු කෙනෙක්ට කිව්වා . මේ හාමුදුරුවෝ වයසයි . ඒ නිසා අතේ අරගෙන ආව හැරමිටියෙන් කාටවත් පේන්නේ නැති වෙන්න අර කොතලයේ අඩියට ඇනලා ඒක හිල් කරා . ඊට පස්සේ සුපුරුදු පරිදි පිරිත් දේශනාව ආරම්භකලා .


දවස් හත පිරීගෙන එනකොට ඔන්න වහින්න පටන් ගත්තා . වහිනවා වහිනවා දැන් නවතින්නෙම නෑ . වැවත් ටික ටික පිරෙන්න පටන් ගත්තා . ඇමති තුමාත් සන්තෝසෙන් බලාගෙන හිටියා කොතලය පිරෙනකල් . ඒත් කොතලය පිරෙන්නේ නෑ . වැවේ වතුර වැඩි උනාට පස්සේ ඇමති තුමා කොතලය පරීක්ෂා කරලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා . එතකොට තමයි ඇමති තුමා දැනගත්තේ කොතලය හිල් කරලා කියලා . හාමුදුරුවරුන්ට ඇරෙන්න වෙන කෙනෙක්ට කොතලය තියෙන තැනට යන්න උනෙත් නැති නිසා කොතලය හිල් වෙන්න හාමුදුරුවරුන්ගේ සම්බන්ධයක් තියෙන්න ඕන කියලා ඇමති තුමා කල්පනා කරා


මේ කල්පනාව අතරේ තමයි දැනගන්න ලැබුණේ වැවේ වතුර වැඩිවෙලා එක පැත්තක වැව් බැම්ම කඩාගෙන ගමක් යට කරගෙන මහා ජාල කඳක් පල්ලම් බහින්න අරගෙන කියලා . ඇමති තුමාට තරහක් වගේම භයක් ඇති උනා . මොකද දැන් රජතුමාගෙන් තමන්ට මරණ දඬුවම ලැබෙන නිසා . පස්සේ තමන්ගේ කඩුවෙන් අර පිරිත් කිව්ව හාමුදුරුවරු සියලු දෙනාම මරලා දාලා කලා වැවට පැනලා තමනුත් ජීවිතය නැති කරගත්තා . මෙහෙම ජීවිතය නැති කරගත්තට පස්සේ මෙයා යක්ෂයෙක් වෙලා ඉපදුනා . කඩවලට පැනලා ජීවිතය නැති කරගත්ත යකා කඩවර කියලා නම් උනා . ඔන්න ඔහොම තමයි කඩවර යකා ඉපදුනා කියලා කියන්නේ .


කඩවර යකා වෙලා ඉපදුනාට පස්සේ මේ යක්ෂ රූපය විටින් විට ගමේ මිනිස්සුන්ට පේන්න වැවේ ඉඳලා මතුවෙලා නැතිවෙලා තියෙනවා . කළා වැව හැදෙව්වේ තමන් නිසා . මෙන්න මේ නිසා කලා වැව තමන්ගේ වාසස්ථානය කරගන්නත් කඩවර යක්ෂයා අමතක කලේ නෑ . කඩවර මනුස්සයෙක් වෙලා ඉන්න කාලෙත් හොඳට කාපු බීපු කෙනෙක් . ඒ නිසාම යක්ෂ ආත්මය ලැබුණත් මෙයාට හොඳට කන්න බොන්න නම් ඕන උනා . ඒ නිසා මේ යක්ෂයා තැනින් තැන ඇවිද ඇවිද කන්න පුළුවන් දේවල් කෑවා . රා බිව්වා . හැබැයි සත්තු මරාගෙන කෑවේ නෑ . වැඩිපුරම කෑවේ තොවිල් වගේ දේවල් වලදී පූජා කරන පුළුටු ද්‍රව්‍ය .


කාලයක් යනකොට මෙයාට හොඳ කෑමක් ලැබෙන්න පටන් ගත්තා . මෙයා ඒ වෙනකොට හිටියේ කතරගම දෙවියන්ගේ දකුණු ආසනය පිහිටලා තියෙන ප්‍රදේශයේ . මේ පැත්තෙන් තමයි කතරගම දෙවියන්ට දේවාලයේ කපු මහත්වරු මුරුතැන අරගෙන යන්නේ . දෙවියන්ට තියන මුරුතැන අඩුම තරමේ හදන කෙනාටවත් රස බලන්න වරම් නැහැ . ඒත් මේ කඩවර යක්ෂයා ඒකට බය උනේ නෑ . කපු මහත්වරුන්ගේ ගමන භාදා කරලා කඩවර යක්ෂයා කතරගම දෙවියන් වෙනුවෙන් හදපු මුරුතැන කන්න පටන් ගත්තා . පස්සේ දවසේ කපු මහත්තයා මේ ගැන කතරගම දේවාලයේ දෙවියන් ඉදිරියේ කන්නලව් කරා . එදා රෑ කතරගම දේවාලයේ කපු මහත්තයට කතරගම දෙවියන් දෘශ්‍ය මාන උනා .


පස්සේ කතරගම දෙවියෝ ඇහුවා කවුද මේ මුරුතැන ගන්න කෙනා කියලා . පස්සේ කපු මහත්තයා කිව්වා ඔබ වහන්සේගේ දකුණු ආසනය කිට්ටුව ඉන්න යක්ෂයෙක් මුරුතැන කනවා කියලා . පස්සේ කතරගම දෙවියෝ යනවා දකුණු ආසනය පිහිටලා තිබුණු ප්‍රදේශයට . එහෙදී කතරගම දෙවියන්ය ඈත ඉඳලාම කඩවර යක්ෂයා දකින්න ලැබුණා . පස්සේ කතරගම දෙවියෝ කඩවර එක්ක කතා කරලා අන්තිමට කඩුවකුත් දීලා කිව්වා අසුරයින් එක්ක යුද්ධ කරලා එන්න . දිනුවොත් තමන්ගේ සේනාවට එකතුකරගන්නවා කියලා . පස්සේ කඩවර අසුරයින් එක්ක යුද්ධ කරලා ජය ගන්නවා . මේ ජයග්‍රහණය පත්තිනි දේවිය දකිනවා.

පත්තිනි දේවිය තමයි කඩවර යක්ෂයා අර්ධ දේව තත්ත්වයට පත් කරන්නේ . පස්සේ කඩවර දේවත්වයට පත්වෙලා තමයි කඩවර කතරගම දෙවියන් හමුවෙන්න එන්නේ . කතරගම දෙවියන් කඩවර දෙවියන්ට තමන්ගේ දකුණු ආසනයේ වැඩ ඉන්න වරම් දෙනවා . ඒ වගේම තමන්ගේ යක්ෂ සේනාවට අධිපති සෙනෙවිරත්න අධිකාරම් තනුතුර ලබා දෙනවා . ඒ වගේම තමයි රුහුණු කතමගම මහා දේවාලයේ ඉදිරියේ පිහිටලා තියෙනවා කියලා කියන සාමාන්‍ය මනුෂ්‍යයින්ට නොපෙනෙන අදෘශ්‍යමාන දිව්‍යමය රන් තොරණේ දකුණු පැත්තේ මුර තේවය දිනකට වරක් කරන්නත් කඩවර දෙවියන්ට නියම කරනවා .


ඔන්න ඔහොමයි කඩවර දෙවියෝ ඇතිවෙන්නේ . යක්ෂයෙක් උනත් කඩවර කියන්නේ අර්ධ දේව තත්ත්වයේ ඉන්න කෙනෙක් . ඒ නිසා කඩවර දෙවියන් හා යක්ෂයා කියන තත්ත්ව දෙකේම ඉන්නවා කියලා තමයි කියන්නේ . හැම දවසකම රෑ වූ හත් පැය හමාරට කඩවර දෙවියන් යක්ෂ තත්ත්වයට පත් වෙනවා . පහු වෙනිදා හිරු නැග හත් පැය හමාරට ආයෙත් දේවත්වයට පත් වෙනවා . ඒ කියන්නේ මේ හතහාමාරට නෙවෙයි . මේ කියන්නේ දවස පැය හැටකට බෙදලා තියෙනකොට ගන්න වෙලාව අනුව . ඒ කියන්නේ සිංහල පැයකට තියෙනවා විනාඩි 24ක් . එහෙම බැලුවම ඉර උදාවෙන වෙලාව අනුවත් ඉර බසින වෙලාව අනුවත් මේ වෙලාව වෙනස් වෙනවා . ඒ අනුව තමයි අදාළ වෙලාව ගණනය කරලා ගන්න වෙන්නේ . මොකද අපිට ඔරලෝසු තිබුණට අමනුස්සයින්ට ඔරලෝසු නැහැනේ .


ඉතින් කඩවර දෙවියන් ඉතාම බලසම්පන්න දෙවි කෙනෙක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . කඩවර කියන්නේ ලංකේශ්වර උතුම් මහ රාවණා මහරජතුමාගේ කාලේ ඉඳලා පැවත එන කෙනෙක් කියලා සමහර අය සාක්ෂි සහිතව කරුණු ගෙනහැර දක්වනවා . ඒකත් වෙන්න පුළුවන් . ඒත් ඒ කතාම මම මෙතන ගාවන්න කැමති නැහැ . කඩවර කංකාරිය ගැන යමක් ලියන්න හිතුනු දවසට ඒක ලියන්න කියලා පසුවට කල් තියනවා .


කඩවර දෙවියෝ දේවත්වයට පත් උනාට පස්සේ ලංකාවේ කරදිය වළල්ල වටේ එක වතාවක් ඇවිදලා බලනවා කියලා මතයක් තියෙනවා . මේ වෙලාවට මේ පාර කිසිම කෙනෙක්ට අවහිර කරන්න දෙන්නේ නැහැ කියලත් කියනවා . කඩවර කට්ටුවේ සේනාව කඩවර දෙවියෝ වඩින පාර පැහැදිලි කරලා තියනවා කියලා කියනවා . ඒත් දවසක් ජයරත්න කලුකම්බිලි දේවතාවා මේ පාර අමතක වීමකින් අවහිර කරපු නිසා කඩවර දෙවියෝ කම්බිලි දේවතාවාට දඬුවම් දුන්නා කියලාත් කතාවක් තියෙනවා . ඒ දඬුවම තමයි කිල්ලෝටෙකින් වැලි ඇදලා බිංගිරිය රාජමහා විහාරයේ මළුව පුරවන්න කියපු එක .


කඩවර දෙවියන් කතරගම දෙවියන්ගේ සහ වල්ලිඅම්මාගේ විවාහය වෙනුවෙන් පත්තිනි දේවතාවිය නියෝජනය කරන්න වැඩියා කියලා කතාවකුත් තියෙනවා . තව දවසක කතරගම දෙවියෝ වඩිනවා කඩවර දෙවියන්ගේ විමානයට . ඒවෙලාවේ කතරගම දෙවියෝ දකිනවා කඩවර දෙවියන්ගේ මුරුතැන් ගොටුව . මේ මුරුතැනෙන් ටිකක් කන්න කතරගම දෙවියන්ට ආසා හිතිලා මුරුතැන් ගොටුව අරගෙන යනකොට කඩවර දැකලා තියෙනවා ඒක . පස්සේ කඩවර කරලා තියෙන්නේ කතරගම දෙවියන්ගේ අතින් ඒක උදුරාගෙන කාපු එක . ඔන්න ඔය වගේ කඩවර ගැන රසවත් කතා තියෙනවා . කඩවරට කැපවෙච්ච ප්‍රධාන දේවාලය තියෙන්නේ කලාවැවේ වැව් ඉස්මත්තේ . ඒවගේ තවත් දේවාල ගණනාවක් තියෙනවා .


කඩවරට කැපවුණු මේ කලා වැවේ මුල් කඩවර දේවාලයේ තියෙන කඩවර දේව ප්‍රතිමාව මහානුභාව සම්පන්න ප්‍රතිමාවක් කියලා කියනවා . මොකද මේ ප්‍රතිමාව කිසිම කෙනෙක්ට ඒ තියෙන තැනින් හොලවන්න වත් බැහැ කියලා කියනවා . මේ නිසා මේ ප්‍රතිමාව බලවත් ප්‍රතිමාවක් විදියට හඳුන්වනවා . ඒ වගේම තමයි මේ ප්‍රතිමාව හොලවන්න උත්සාහ කරපු දේවාලයේ කෙනෙක්ට අංශභාගය හැදුනු කතාවක් ගැනත් මම අහලා තියෙනවා .


කඩවර වෙනුවෙන් පහන් දල්වන අයට මම දෙයක් කියන්න කැමතියි . සූනියම් දෙවියන්ට වගේම කඩවර දෙවියන්ටත් පහන් දල්වනකොට අමතක කිරීම් නම් කරන්න එපා . කරනවානම් ඒ වෙනුවෙන් කැප වෙලා කරන්න . නැත්නම් කරන්නේ නැතුව ඉන්න . කඩවර සම්බන්ධව මම අහලා තියෙන කතා අනුව බැලුවම මේවා අතපසු කරන්න නම් එපා කියලා තමයි මම කියන්නේ .


මම දන්න හැටියට කතරගම දෙවියන්ගේ වමත් මුර තේවය හිමි වෙන්නේ සූනියම් දෙවියන්ට . දකුණත් මුර තේවය හිමි වෙන්නේ කඩවර දෙවියන්ට . ඒ නිසා දෙන්නම එක වගේ තමයි දඬුවම් දෙන්න ගත්තම දෙන්න පටන් ගන්නේ . නයි එනවනම් තමන් තියන පහනට , එතන මොඅක්ක් හරි වැරද්දක් තියෙනවා . ඒ නිසා මම කියන්නේ මේ වගේ දේවල් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා .


කඩවර දෙවියන් පුද ලබන ප්‍රධානම ශාන්ති කර්ම දෙක තමයි කඩවර කංකාරිය සහ කොහොඹා කංකාරිය . මේ කංකාරි වලදී කඩවර ගොටුව කියන එක හරිම වැදගත් දෙයක් . මේ කදවෙඅර ගොටුවට ගොඩක් වෙලාවට දෙවියන්ට අදාළ කෑම වර්ග වගේම යක්ෂයින්ට අදාළ මස් පුළුටු අරක්කු රා වගේ දේවල් පවා තියනවා . ඒක කඩවරගේ හැටියට සම්මත කරගත්ත දෙයක් . ඒවගේ දේවල් තියලා තමයි කඩවර දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්නේ .

කඩවර යක්ෂ කට්ටුව ගත්තම එක එක නම් තියෙන කඩවරලා ඉන්නවා .


අඳුන් කඩවර

සඳුන් කඩවර

මල් කඩවර

පුළුටු කඩවර

කළු කඩවර

දළ කඩවර

කුමාර කඩවර

අලුයම් කඩවර

සැන්දෑ කඩවර

මැදියම් කඩවර

රීරි කඩවර


මේ ඔක්කොම අර කලින් කිව්ව මුල් කඩවරගේ පරිවාර යක්ෂ කට්ටුවේ කඩවර යකුන් මිස මුල් කඩවර දෙවියන් නෙවෙයි . මුල් කඩවර දෙවියන් ගුරුකම් හැම එකකටම වඩින්නේ නැති එක කවුරුත් දන්නා ඇත්තක් . ඒ වෙනුවෙන් එන්නේ මේ වගේ පරිවාර සේනාවේ කෙනෙක් තමයි . මුල් කඩවරට තියන පූජාව කැප ගන්න මේ අය අදාළ කාරණාව ඉෂ්ට සිද්ධ කරලා දෙනවා


කඩවර යක්ෂයාගේ මල් පැන්නිල්ල වගේ ගුරුකම් වල ඉඳලා සංකීර්ණ ගුරුකම් කොඩිවින වගේ දේවල් කඩවර එක්ක බැඳිලා තියෙනවා . කඩවර පෙරළුම කියන මහානුභාව සම්පන්න මන්ත්‍රයේ ඉඳලා කඩවර කට්ටුවේ වින කපන්න විවිධ මන්තරත් ගොඩ නැගිලා තියෙනවා .


මේ සඳහන් වෙන්නේ කඩවර දෙවියන් වෙනුවෙන් කියනු ලබන කඩවර කන්නලව්ව


" පස්වාන් දහසකට තෙද වරම් බල වරම් අණ වරම් ඇති සෙනෙවිරත්න මුල් කඩවර දේවතාවුන් වහන්ස, රාහුලු දාහක් ලෝහුලු දාහක් ද නිමෙනා අතර තුරේදී කතරගම කන්දස්වාමින් වහන්සේ කැටුව මුහුදු කරදිය වළල්ලේ සත් වාරයක් ගමන් කරමින් ඇසුර භවනයට වැඩ අසුරයන් සමග යුධ කොට දිනා සූර්ය මණ්ඩලය උණු කරවා කතරගම අදෘශ්‍යමාන දිව්‍යමය රන් තොරණේ මුරතේවේ වැඩ වසන සෙනෙවිරත්න කඩවර හාමුදුරුවනේ, මාගේ පුද පූජා බලා ඒ කෙරේ බැල්ම ලා මාගේ අභිමතාර්ථ ඉෂ්ඨ කර දෙන්ටත් මා කීවා අසන්ටත් මා කීවා කරන්ටත් කතරගම කන්දස්වාමි වහන්සේගෙන් වරම්.තවද ලංකාවේ අග්‍රරාජධානිය කොට දෙවිවරුන්ට අයත් ලෝක එක්දහස් අටක් පාලනය කොට පද්මාසුර නම් අසුර රාජාධිරාජයාගේ මහ සෙනෙවි පදවිය දරා ප්‍රකටව සිටින ඔබ වහන්සේට කරන කන්නලව්ව දිව නෙතින් බලා දිව කනින් අසා ගැත්තන් ගේ සකල දෝෂාන්ධකාරය දුරුවන් කර දී පිනට පිහිට වෙනවයි. සිය වැරදි දහස් වැරදි තිබුණත් කමා කරනවයි.සතුරන් මැඩ ගැත්තන්ට සෙත සලසනවයි.ඔබ කීර්ති පස්වාන් දහසකට ආයු බෝ වේවා “


කඩවර දෙවියන් ගෙන්වන්න පරම්පරා ගණනාවකට කලින් භාවිතා කරපු මන්ත්‍රයක් මේක . මේක ඇත්තම මන්තරයක් . ඒ නිසා සද්දෙට රැප් කරනවා වගේ කියන්න එපා .


ඕන්නමෝ සූර්යග්‍රී නුවර වේතාල නම් හිමයේ සීතාපතී බිසවුන් වහන්සේගේ ලයපලා උඩගිය ලේ ගොබයෙන් උපන් රීරි කඩවරයා දිෂ්ටි බන්ධ වර වර ලමැද පපු කැවුතු මොලින් උපන් මිනී කඩවරයා දිෂ්ටී බන්ධ වර වර රාජ කඩවරයා දිෂ්ටී බන්ධ වර වර වැදී කඩවරයා දිෂ්ටී බන්ධ වර වර සොහොන් කඩවරයා දිෂ්ටී බන්ධ වර වර වැදී කුමාරී දිෂ්ටී බන්ධ වර වර සොහොන් කුමාරී දිෂ්ටී බන්ධ වර වර සීතා පතී දේවතාවී දිෂ්ටී බන්ධ වර වර ගොබර අම්මා දිෂ්ටී බන්ධ වර වර පත්තිනි අම්මා දිෂ්ටී බන්ධ වර වර සූර්ය ග්‍රී පර්වතේ දෙදරවා වර වර අකනිට්ටා බ්‍රහ්ම ලෝකේ ඉඩ හරවා වර වර රාම ග්‍රී කූට පර්වතේ වෙව්ලවා වර වර කියා මල රජ්ජුරුවෝ සූර්ය ග්‍රී පර්වතේදී ඊතන කෙන්දෙන් බැඳ මැණික් කරඬුවට දමා තනිපල බන්ධනේට හිර තඩුත්තු කල මිනී කඩවර යක්ෂයා දිෂ්ටී බන්ධ වර වර එස්වාහඃ.........


මේක තමයි වින කපන්න භාවිතා කරන මහානුභාව සම්පන්න කඩවර පෙරළුම


ඕන් පත්‍රාඩි ශර ගිනි කඩවර පෙරලුම් ආපිට හැරී වින කල අයගේ හිස ලේ පපු මස් බිලි ගං ඕඩු පලයන් අප්පොච්චි එලේන්ද්‍රි ඕඩු..............

ඕන් කන්දප්පා ශර ගිනි විසි ලේ කඩවර පෙරලුම් වර වර බන්ධන සුං සුං නමඃ ...........................

ඕන් රාම රාම කන්ධ කුමාර කළු කම්බිලි තොට කඩවර පෙරළුම් වින බන්ධන පිපිරී ආපිට හැරී පයලන් තෝස්වාහඃ.................

ඕන් ඊශ්වර කාඩේරියුම් දළ කඩවර පෙරලුම් කට්ටු බන්ධන ඉනා බන්ධන හැට හතරක් බන්ධන කැපී පලයන් තෝස්වාහඃ...............

ඕන් ඊශ්වර ගිනි මාලාව පැළඳි කඩවර පෙරළුම් තොටයක් දෙමල පිල්ලි බන්ධන කැපී ඉඩහැරී එලාගන් දේවතාවා එලාගන් ........................

ඕන් කමල ගිනි විෂ්ණු නාරායනේ රන් දුනු පුපුරුවා වැදි කඩවර පෙරලුම් එකසිය අටක් අංගං නවසියයක් සූනියම් වඩාපු ඇදුරාගේ හදවත පපු මස් කැපකර එලාගන් පලයන් තෝස්වාහඃ....................

ඕන් විෂ්ණු ශර භෛරව තෝංගු මල් කඩවර පෙරලුම් බන්ධන කැපී ආපිට පෙරලීයන් තෝස්වාහඃ..................


මේ වගේ කඩවර දෙවියන්ට අදාළ ගොඩක් යන්තර මන්තර ගුරුකම් තියෙනවා .


තවත් ලිපියකින් හමුවෙමු .


ඔබ සැමට දළදා සමිඳු පිහිට ලැබේවා !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




ලංකාවේ මුල් බැසගත් දේව වන්දනා වලදී කඩවර දෙවියන් හෝ කඩවර යක්ෂයා වන්දනා කිරීම ඈත අතීතයේ ඉඳලාම සිදුවෙන දෙයක් . කඩවර දෙවියන් නුවර කලාවිය ප්‍රදේශ...