හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු ( 3 කොටස )




මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවස මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.

( කථාවට කලින් මේක ප්ලේ කරන්න )





පසුගිය කොටසෙන් 

" අලින්ට මිනිස්සුන්ගේ ඉව ඉක්මනට දැනෙනවා කියනවා නේද ? "

" ඒකට මම කරා හොඳ වැඩක් . මහත්තයටනම් කැත හිතෙයිද දන්නේ නෑ . මම වැඩි හරියක්ම ඔතනට අලි එන වෙලාවට , ඇඟේ අලිබෙටි ගාගෙන තමයි හිටියේ "

එය ඇසීමත් සමගම මට මහත් අප්‍රසන්න හැගීමක් ඇති වුවද අලිබලන්නා වෙත එය නොපෙන්වා සිටීමට මා වගබලාගත්තෙමි .

" අලි බෙටිවල මහත්තයෝ හිතන තරම් මහලොකු කැතක් අපිටනම් නෑ . අපි අතින් අරන් තමයි අලිබෙටි අස් කරන්නෙත් "

" ඉතින් මාමා කෑවේ බිව්වේ ? "

" ඒ කාලෙම කෑවේ ගස්වල ගෙඩි ජාති තමයි .සුදු අලියෙක් බලන්න තිබ්බ උවමනාව නිසා මට එක දුකක් කියලා දැනුනේ නෑ "

" ඉතින් කියන්නකෝ මාමට සුදු අලියෙක් හම්බුනාද ? " 

අද එතැන් සිට 

" සුදු අලියෙක් නෙවෙයි මහත්තයෝ . මට හම්බුණා සුදු ඇතෙක් . හැබැයි සුදුම සුදු පාට නෙවෙයි . රෝස පාටට හුරු සුදු පාටක් තිබුණේ ඒ ඇතාගේ . දල දෙකත් හරිම දිගයි . ඇතින්නියෝ කීපදෙනෙක්ම පිරිවරාගෙන ඉන්නවා දැක්කා "

" ඉතින් මාමා ඒ ඇතා කිට්ටුවට ගියේ නැද්ද ? "

" නැහැ . සමන් දෙවියන්ට අයිති දේවල් අපිට අල්ලන්න තහංචියි මහත්තයෝ . සමන් දෙවියන්ගේ අඩවියේ ඉන්නේ සමන් දෙවියන්ගේ වාහනය විදියට වැඩ කරන අලි ඇත්තු . ඒ නිසා උන්ට වග කියන්න අපිට තහංචියි මහත්තයෝ . ඇත් සොහොනේ වැටිලා තිබුණ ඇත් දල ගොඩක් තිබුණා . ගජමුතු ඇට පවා කීප පලකම තිබුණා දැක්කා . ඒත් මම ඒ එකක්වත් ගත්තේ නැහැ . සමන් දෙවියන්ගේ අඩවියට මම ඇතුළු උනේ මහත්තයෝ සුදු අලියෙක් බලන්න ඕන කියලා හිතාගෙන . ඒ මොක උනත් සල්ලි වලට වඩා අපිට දෙවියන්ගේ පිහිට වටිනවා මහත්තයෝ . ඒ නිසාම මම මුකුත්ම ගන්නේ නැතුව අලි ඇත්තු එහෙට මෙහෙට වෙනකල් ඉඳලා එන්න ආවා "

" මාමා ඊට පස්සෙද මෙහේ වැඩට ආවේ ? "

" ඔව් . මට ආරංචියක් ආවා මෙහේ අලි බලන්න කෙනෙක් හොයනවා කියලා . පස්සේ මම මෙහෙට ආවා . මෙහෙ අලි බලන්න උන්න මහ උන්දා අලියෙක් ගහලා මැරුණට පස්සේ මම මෙහෙ අලි බලන උන්ගේ මහ එකා උනා "

මේ කතාබහ අතරතුර සීයා මෙම භාරදූර කාර්යය සඳහා අවශ්‍ය දේවල් සූදානම් කරගෙන ඒමට වලව්වෙන් පිටත්වී ගියේය . පැය කීපයකට පසුව සීයා නැවත වලව්වට පැමිණියේය . හෙතෙම සුදු රෙද්දක ඔතාගෙන රැගෙන ආවේ තරමක විශාල පුහුල් ගෙඩියකි . එම පුහුල් ගෙඩිය අළු වලින් වැසී සුදු පැහ ගැන්වී තිබිණි . මා එය අල්ලන්නට තැත් කල අවස්ථාවේ සීයා එය වලක්වන ලදී .

" හා හා පුතේ ඕක අල්ලන්න එපා දැන්මම . ඔයාට වැඩක් තියෙනවා කරන්න . නාලා පිරිසිදුවෙලා එන්නකෝ ගිහින් , මම ඒ මොකක්ද කියලා කියන්න "

" මම නාන්න යන්න තමයි හැදුවේ සීයේ . මම වලව්වේ වටේ ඇවිදලා බැලුවා මොනවද තියෙන්නේ කියලා මේ පැත්තේ . තව අර අලි බලන කෙනා එක්ක කතා කළා ඇත් සොහොන තියෙන තැන කොහොමද හොයාගත්තේ කියලා දැනගන්න . සීයා නෑවද ? "

" ඔව් පුතේ මම නාලා තමයි ගියේ . පුතා නාලා එන්නකෝ . තියෙනවා වැඩක් කරන්න මේ පුහුල් ගෙඩිය ගෙනියන්න කලින් "

මම එතැනින් නික්ම නාන්නට ගියෙමි . මම නෑමෙන් පසුව නැවත සීයා හමුවට පැමිණියෙමි .

" සීයේ මම නාලා ඉවරයි "

" එහෙනම් ඔය ඇඳුම් මාරු කරගෙන සුදු සරමක් ඇඳගෙන එන්න . මේ පුහුල් ගෙඩියට පුතාට කියලා රූපයක් අන්දවා ගන්න ඕන . රාක්ෂයෙක්ගේ රූපයක් . පුතාට මතකද ගජදල රාක්ෂයාගේ රූපය . මම දවසක් පොතක තිබිලා පුතාට පෙන්නුවා කියලා මට මතකයි . අන්න ඒ රූපය මෙන්න මේ පුහුලේ අඳින්න ඕන උල් කරපු ඉරටුවකින් "

මම සුදු ඇඳුමින් සැරසී එනවිට සීයා , වලව්වේ සාලයේ පැදුරක් එලා ඒමත සුදු රෙද්දක් දමා සුදු රෙද්ද මත මෙම පුහුල් ගෙඩිය තබා බලාගෙන සිටියේය . ගජදල රාක්ෂයා යනු රාක්ෂයින්ගෙන් බලසම්පන්න රාක්ෂයෙකි . හෙතෙම ගුරුකම් වලට ගෙන්නනු ලබන්නේ විශේෂ අවස්ථා වලදී පමණි . ඒ එම රාක්ෂයා රාක්ෂ වර්ගයාගෙන් ඉතාම දරුණු රාක්ෂයෙකු වන නිසාවෙනි .

එක් දිනෙක මමද ගජදල රාක්ෂයා ගුරුකමක් සඳහා කැඳවීමි . රූපයෙන් පෙනෙන්නට ආවේ නැතිවූවද ගජදල රාක්ෂයා හක්ගෙඩියකට ආවේශ කරවාගත්පසු අපට අවශ්‍ය සමහර කාර්යයන් ඔහු ලවා කරගත හැක . මෙම රාක්ෂයා ආවේශ වූ හක්ගෙඩිය අවශ්‍ය තැනකට යැවීමටද හැකියාව තිබේ .ඒ කෙසේ වෙතත් අවශ්‍ය වෙලාවට එන රාක්ෂයා අනවශ්‍ය වෙලාවට පිටත් කර හැරියේ නැතිනම් රඟමඩලට ආරාධනා කරන ඇදුරාගේ ජීවිතය අවදානමකට පත්වන බව මම සීයාගෙන් අසා තිබේ .

" හා එහෙනම් මෙන්න ඉරටුව . මේ පුහුල් ගෙඩියේ අඳින්න ඕන රාක්ෂයාගේ රූපය "

මම කෙමෙන් කෙමෙන් හැඩ ගන්වමින් ගජදල රාක්ෂයාගේ රූපය පුහුලේ සටහන් කලෙමි . මෙම රූපය ඇඳීමෙන් පසුව පුහුල ජීවම් කල යුතුය .


" සීයේ දැන් පුහුල් ගෙඩිය ජීවම් කරන්නේ කොහොමද ? "

" ඒක පුතේ මෙතන කරන්නේ නැහැ . අපි එකට තමයි ඇත් සොහොනක් හොයාගෙන යන්නේ . ඇත් සොහොනක ඉඳගෙන තමයි පුහුල් ගෙඩිය ජීවම් කරන්න ඕන . ගජදල රාක්ෂයා වගේම මේ පුහුලට බන්ධනය කරගෙන අරන් එන්න ඕන මැරිච්ච ඇතෙකුගේ ආත්මයක් . ඒක තමයි අපි ඇත් සොහොනට යන්න ඕන වෙන්නේ "

" දැන් මටනම් ඇත් සොහොනට යන්න බයයි වගේ සීයේ "

" බයවෙන්න කාරී නෑ . මම ඉන්නවනේ . ශ්‍රී පාද අඩවියේ වලස්සු දිවියෝ එහෙම ඉන්නවා කියලා කියනවා . ඒත් බයවෙන්න උවමනා කරන්නේ නැහැ . ඒවට මන්තර තියෙනවා . ඒ නැතත් සමන් දෙවි හාමුදුරුවෝ අපිව ආරක්ෂා කරනවා කියලා මට විශ්වාසයි "

කතාවෙන් කතාවෙන් මම රාක්ෂ රූපය පුහුලේ ඇඳ අවසන් කලෙමි . එය සිතු තරම් රුදුරු පෙනුමක් නොගත් නිසා මම දල දෙක තවත් දික් කලෙමි . ඉන්පසුව රාක්ෂයාගේ රුදුරු පෙනුම මනාව එම රූපය හරහා දෘශ්‍යමාන විය . දැන් ඉතිරිව ඇත්තේ පුහුල ජීවම් කිරීම පමිණි . මෙය ජීවම් කිරීමට අවශ්‍ය සියලු කළමණා ද්‍රව්‍ය සීයා විසින් වලව්වේ ප්‍රධානියා වෙත දන්වා පිළියෙළ කළේය .





එදින රාත්‍රියේ මා නින්දට ගියේ හෙට දින අප කරන්නට මුලපුරනු ලබන වික්‍රමය පිළිබඳ මනඃකල්පිත චිත්‍රයක් මවාගැනීමෙනි . මන්තර කියා යකුන් ගෙන්වා වින බන්ධන කැපීම සීයාටද මටද හුරුපුරුදු දෙයකි . නමුත් මෙවන් සද්දන්ත අලියෙකුගේ දොස් දුරු කිරීමට මෙවන් ගුරුකමක් කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය විය . එබැවින් මා එය කෙසේ වන්නේද කියලා බලාපොරොත්තුවක් පමණක් හිතේ පැලපදියම් කරවාගෙන දෑස් ගුලිකරවා නිදාගත්තෙමි .

පසුවදා උදෑසනම මමත් සීයාත් වලව්වේ ප්‍රධාන අලි බලන්නාත් වලව්වේ කරත්තයකින් ශ්‍රී පාදස්ථානය කරා ගමන් කිරීම ආරම්භ කලෙමි . සෙමෙන් සෙමෙන් ගමන් කල කරත්තය පලාබත්ගල පුරාණ රජමහා විහාරය අසලට පැමිණීමට සැලකියයුතු කාලයක් ගතවිය . පලාබත්ගල රජමහා විහාරයේ , විහාර භූමියේ කරත්තය ගාල් කරවා මමත් සීයාත් ප්‍රධාන අලි බලන්නාත් ශ්‍රී පාද කන්ද තරණය කිරීම ආරම්භ කලෙමු .

" පුතාලා ඉස්සර වෙන්න "

කියා අපව ඉස්සර කරවූ සීයා අප පිටුපසින් මන්තර මතුරමින් ආවේය . ඒ මතුරන්නේ දිවියන් වලසුන් සහ සද්දන්ත අලි ඇතුන් පන්නා දමන මන්තර පෙළකි . සීයා මුළු ගමන් මග පුරාවටම මතුරන ලද්දේ මෙම මන්තර පෙළය . සමහර අවස්ථා වලදී සීයා ගස්වල කොළ අතු කඩා එල්ලමින් මන්තර මැතිරුවේය . අවසානයේ ධර්මරාජගල අසලට පැමිණි පසු වලව්වේ ප්‍රධාන අලි බලන්නා තම හඬ අවදි කළේය .

" ගුරුන්නාන්සේ , අපිට මෙතනින් තමයි කැලේ ඇතුලට යන්න වෙන්නේ . නයි පොළොන්ගු පිඹුරෝ එහෙම ඉන්නවා මේ කැලේ . ඒ නිසා කල්පනාවෙන් අඩිය තියාගෙන එන්න ඕන "

පසුව සීයා මගේත් අලි බලන්නාගේත් කකුල් වලට කොළ අත්තකින් මතුරා පවන් සලන ලදී . එසේ කරන්නේ නයි පොළොගුන් වැනි සතුන්ගෙන් ආරක්ෂා වීමටය .  එම මන්තර වලින් මැතිරු පසු සර්පයින් ලංවන්නේ නැති බව මම පුස්කොල පොත් කීපයකම තිබී ඉගෙන ගෙන සිටියෙමි .

වනාන්තරය අඳුරුය . සීයාද මමද අලි බලන්නාගේ පසුපසින් ගමන් කරමින් තව තවත් මහා ඝන වනාන්තරය තුලට පිවිසියෙමු . රැහැයියන්ගේ හඬ ඇතිකරනු ලබන බියජනක හඬ හමුවේ මගේ ශරීරය කිලිපොලා ගියේය . සීයා හට කිසිඳු හෝ අමුත්තක් ඇතිබවක් පෙනුනේ නැතත් මෙම ගමන මාගේ හදවත තරමක් සසල කරවන ගමනක් වීය .

අමනුස්සයින් පිළිබඳව මම හරියාකාරව දනිමි . ශාස්ත්‍රානුකූලව ඔවුන් ගෙන්වීමටත් අවශ්‍ය වැඩ කරවාගෙන නැවත යැවීමටත් මම හොඳින් දනිමි . එබැවින් මොන යකෙකු මා ඉදිරියට පැමිණියද මා මෙසේ සසල වී නැත . අද දින මා මේ ගමන් කරන්නේ අලි ඇතුන් දිවි වග වලසුන් ගහන මහා ඝන වනාන්තරයකය . ඒ නැතත් මෙම මාවත පිළිබඳව සීයා හෝ මම හෝ හරියාකාරව දන්නේ නැත . එබැවින් පැහැදිලි අවසාන අරමුණක් තිබුණද අප මේ ගමන් කරන ලද්දේ අපැහැදිලි මාවතකය .


" ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්  "

" ගුරුන්නාන්සේ ඔන්න ඇහෙනවා නේද ? . දිවියෙක් වගේ . පොඩ්ඩක් මේ ගල් කුලට මුවා වෙලා බලන්න අර ඈත තියෙන පඳුර ළඟ හෙලවෙනවා වගේ පේනවා "

අලි බලන්නා සෙමෙන් කොඳුරා කීවේය . සැබවින්ම ඒ දිවියෙක්ය . නමුත් ඌ විශාල දිවියෙකු නොවේ . නමුත් ගිනි පුලිඟුවත් , සාමණේර නමත් , නයි පැටියාත් මෙන් දිවියාද කුඩා යයි සිතා සුළුකොට තැකීම නුවණට හුරු සතෙකු නොවේ . සීයා වැලි අහුරක් ගෙන මතුරන්නට විය . සෙමෙන් මතුරන මන්තරය වුවද දිවියාට ඇසෙන්නට ඇත . ඒ නිසාවෙන් දිවියා අපව ඉලක්ක කරගත් බව අපට පෙනිණි . දිවියා කෙමෙන් කෙමෙන් දැන් අප ඉන්නා දෙසට එන වේගය වැඩි කරයි .

සීයා එකෙනෙහිම මතුරන ලද වැලි අහුර දිවියා වෙතට වීසි කරන ලදී . වැලි අහුර වැටෙත්ම දිවියා තමා ආ මග වෙනස් කර වනය තුල සැඟවී ගියේය .පරිසරය තරම් වනාන්තරය තුල ජීවත් වන අය සුන්දර නැත . එබැවින් අප ගමන් කලේ නිහඬවමය . ඒ වනාන්තරය තුල නිහඬව ගමන් කිරීම ඇඟට ගුණ නිසාවෙනි . පැය භාගයක් පමණ ගමන් කල පසු වලව්වේ අලි බලන්නා නැවත අප ඇමතීය .

" මෙන්න මේ ඇලෙන් එහා තමයි ගුරුන්නාන්සේ ඇත් සොහොන තියෙන්නේ "

" සමන් දෙවියන්ගේ පිහිටයි එහෙනම් . අපි කන්න ගෙනාපු දේවල් සප්පායම්වෙලා අපේ රාජකාරියට සූදානම් වෙමු එහෙනම් "

සීයාට මෙන්ම මමද සිටියේ බඩගින්නේය . අප ගෙනෙන ලද කෑම බීම වලින් කුසපුරවාගත් අප ,  ගජදල රාක්ෂයා ඇතුළු ඇත් සොහොනට අරක්ගත් සියලු යක්ෂ රාක්ෂ සේනාව කළඹවන ඒ මහඟු රාජකාරියට මුල පිරීය . අප විසින් ගෙනෙන ලද පුහුල් ගෙඩිය තිබුණේ මා කරේ හොවාගත් මල්ලෙහිය . මම එය ගලක් මත ප්‍රවේසමෙන් තැබීමි . සීයා ඒ අසල සිට කට්ටකුමන්ජල් කුඩු මුල අතට රැගෙන පළමුව සමන් දෙවියන්ට පින්දෙන ගාථාව සජ්ජායනා කළේය .






සම්බුද්ද පාද වරලාංජන සොභිතස්මින්
වාසෝ සමන්ත ගිරි මුද්දනිදේව රාජා
පුඤ්ඤාණු මෝදිය ඉදං සුමනාභිදානෝ
පාලේතු මං සතත සාත හිතා වහන්තෝ

අනතුරුව සීයා කෙමෙන් කෙමෙන් මන්තර පුරන්නට ආරම්භ කළේය . මේ මන්තර පුරන්නේ කට්ටකුමන්ජල් ජීවම් කිරීමටය . ඒ අතරතුර මමද අලිබලන්නාද එක්ව ගිනිගොඩක් ගසා අප විසින් ගෙනෙන ලද පොල්කටු කීපය අඟුරු බවට පත්කිරීමේ රාජකාරිය ආරම්භ කළෙමු . පැය භාගයක් පමණ වෙලාවක් මන්තර මතුරමින් සිටි සීයා අපව ඇමතීය .

" හා එහෙනම් යමු සොහොන මැද හරියට "

ගිනියම් නොකරන ලද පොල් කටුවකට ගිනිගෙන දිලිසෙන අඟුරු පුරවාගත් අලිබලන්නාත් , පුහුල තුරුළුකරගත් මමත් කට්ටකුමන්ජල් අතින්ගත් සීයාත් ඇල පාරෙන් එගොඩවී එදා මෙදාතුර ශ්‍රී පාද අඩවියේ පහල වූ අලි ඇතුන්ගේ එම පූජනීය ඇත් සොහොනට පා තැබීමු .

" පුතා පුහුල මතුරන්න . මදාරා සුරය දාගෙන නේද ඉන්නේ ? "

" ඔව් සීයේ "

කියමින් මම මගෙ පපුව මත අත තබා කමිසය ඇතුලෙන් අතට හසුවන ගජමදාරා කැබැල්ල ස්පර්ශ කලෙමි . පසුව මම බිම දිගාවී පුහුල් ගෙඩිය පපුව මත තබා ගත්තෙමි . සීයා කට්ටකුමන්ජල් අහුරක් ගෙන අඟුරු සහිත පොල්කටුවට දමා දුම් ගස්සා ඉන්පසුව එම පොල් කටුව මාගේ හිස අසලට වන්නට තැබුවේය . පසුව සීයා මාගේ හිස අතගා

" පටන් ගන්න පුතේ " කියා කීවේය . කනත්තක දපා ඒ මත සමයං කරමින් පුහුලක් පපුවමත තබාගෙන මන්තර කීම තරමක් අසීරු කාර්යයකි . ඒ මක් නිසාදයත් පුහුලේ බර එකහෙලාම දැනෙන්නේ මාගේ පපුවට වීමයි . එහෙත් කට්ටකුමන්ජල් දුම්වලින් ආ සුවඳින් මාහට අමුතුම පණක් ලැබිණි . මා සිටින්නේ අලි ඇතුන් දිවි වග වලසුන් පිරිවරා සිටින මහා ඝන වනාන්තරයක බව මා හට අමතක විය . මම හැකි තරම් වීරිය යොදා ගජදල රාක්ෂයා ගෙන්නවීමට මන්තර පුරන්නට වීමි .



................................. ඔං නමෝ ගජන්ත දේසේ ගජ රීරි නුවර ගජරීරී කෝවිලේ වාසස්ථානය කරන වඳමල් සැටකෙළක් බිසෝවරුන් සැම කෙලි ගන්නවා දැක වඳ දල රාක්ෂ බිසවුන් වහන්සේගේ කුසය පලාගෙන උපන් සිද්ද ගජදල රාක්ෂ දේවතාවා රීරි දෝ එදා රීරි විලේ රීරි ඔරුවේ සැඟවුණු තැනේදී සමනල සමන් දෙවියන් වහන්සේ දිවසින් දැක මොහු ගෙන්නවා බිලි පුළුටු කැපකර දෙන්නෙමයි කියා දකුණු අතින් රන් කඩුවක් ගෙන වම් අතින් කීල පන්දමක් ගෙන  රීරි අස්නක් සරසා අකල් ප්‍රාණ අලි ඇතුන් බිලි ආරක්ෂාවට ගෙන ඔන් කඩී වින්ද කල මේ රේස් පොඩියෝ රීරි යාළුවා ගජදල රාක්ෂ දේවතාවා ගුරු වානේරුම් කියා මතුරා හඬ ගසූ තැනේදී සිද්ද ගජදල රාක්ෂයා රීරිවිලේ බැස ඉස්නානය කරවා සමනල සමන් දෙවියන්ගේ දෙපතුල් ළඟ වැඳ වැටී සමන් දෙවියන් දුන් බිලි මොර්තු කරගත් ආනුභාවයෙන් අදත් මාගේ මෙරඟමඩලට දිෂ්ටි ලා වරෙන්........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................ ඔන් වෙසමුණි රජ්ජුරුවන්ගෙන් වරම් ගත් සිද්ද ගජදල රාක්ෂයා යක්ෂණියන් පිරිවරා සැටකෙළක් ගජුන් පිරිවරා අවමංගල්ලේ මලකදේ සේමන් ගන්න මා කී තැන බලා වර වර සිද්ද ගජදල රාක්ෂයා වර වර එස්වාහඃ ..... රීරි විල කළඹා වරෙන් අට කොනෙන් වා සොළොස් කොනෙන් වා ආතාල දිෂ්ටියෙන් වා පාතාල දිෂ්ටියෙන් වා අඩි අඩි පුඩි පුඩි වාවා මා කී තැනට නාවොත් ඉන් තැන ගිනි කරන් සිටි තැන ගිනි කරන් ගිනි කුරුම්බරයා මාගේ හඬ අසා සිද්ද ගජදල රාක්ෂයා නවලක්‍ෂ හැත්තෑ අටදහසක් අලි ඇතුන්ගේ දිෂ්ටි පිරිවරා වරෙන් වර වර එස්වාහඃ මම හඬ ගැසූ හඬට නාවොන් බිල්ල කෙලගන්න සමනල සමන් දෙවියන් අනින් ගුරුන් දකින්න වරෙන් ස්වාමියානේ ගුරුවා ලංකරේ එප්පේයුම් ඕන් රීන් සිද්ද ගජදල දේවතාවා මාගේ රන් පුහුලට දිෂ්ටි ලා වර වර එස්වාහඃ ...............................

මන්තර පිළිවෙලින් මතුරත්ම දිෂ්ටිය මගේ ඇඟට ආවේස වී මාගේ හඬ තව තවත් වර්ධනය විය . ඒ නිසාම මාගේ සිහිය තුරන් වී ඇත . සීයා පැවසු අන්දමට මේ අවස්ථාවේ අලි ඇතුන් කීපදෙනෙකුම ඇත් සොහොන වටා කැරකෙන්නට වී තිබේ . මා මතුරන මන්තර අනුව එය සිදුවීමට ඉඩ තිබේ . ගජදල රාක්ෂයා අලි ඇතුන් පිරිවරා එන්නට ඇත . එක් අවස්ථාවකදී සද්දන්ත ඇතෙකු ක්‍රම ක්‍රමයෙන් මා සිටින ස්ථානයට පැමිණ තිබේ . හෙතෙම නවත්තන්නට අලිබලන්නාද සීයාද නොයෙක් ක්‍රියා කලද ඒවා සියල්ල ව්‍යර්ථ වීමෙන් පසුව ඔවුන් ක්‍රම ක්‍රමයෙන් මාගෙන් පිටුපසට වී ඇත .

ඇතා මා අසලට පැමිණි මොහොතේ සීයා මහත් කම්පනයට පත්වූ බව සීයා පැවසුවේය . ඒ තමන්ගේ පූජනීය ඇත් සොහොන අපවිත්‍ර කිරීමේ වරදට එම ඇතා විසින් මා මරා දමන්නට ඇතැයි කියා සිතුනු නිසාවෙනි . නමුත් ඇතා මා අසලට පැමිණ මා මන්තර මතුරන පුහුලට තම හොඩය තබාගෙන සැලකියයුතු වෙලාවක් හිඳ එතැනින් ඉවත් වී ඇත . ඇතා ඉවත් වූ පසුව සොහොන වටා සිටි අනෙක් අලි ඇතුන්ද සොහොන සහිත භූමියෙන් ඉවත් වී යන්නට ගොස් ඇත . ඉන්පසුව මාගේ මන්තර හඬ නැවතී ඇත . ප්‍රකෘති සිහිය ලබාගැනීම සඳහා සීයා විසින් මතුරන ලද වතුර ස්වල්පයක් මාගේ මුහුණට ඉසීමෙන් පසුව මට සිහිය ආවේය .

" හරි පුතේ රාජකාරිය අහවරයි . මන්තර ටික හොඳට කියවුණා "

සීයා මාගේ ක්‍රියාව අගය කළේය . පසුව අප සියල්ල රැගෙන ඇත් සොහොනට සමුදී , ශ්‍රී පාද මාවත වෙත ගමන් කරන්නට වීමු . ගජදල දිෂ්ටියෙන් ප්‍රාණවත් වූ පුහුල මම තුරුළු කරගෙන සිටියෙමි . මේ ගමන අවසන් වීමට මත්තෙන් අපට වටිනා යමක් ලැබිණි . අලි බලන්නා එකවරම සීයා ඇමතීය .

" ගුරුන්නාන්සේ මේ මොකක්ද සුදු රෙද්දකින් ඔතලා තියෙන්නේ ? "

" මම ගෙනාව දේවල් නම් නෙවෙයි . අපි බලමු මොකක්ද කියලා "

" මටනම් බැහැ ගුරුන්නාන්සේ . ගුරුන්නාන්සේම බලන්න මොකක්ද කියලා . සමන් දෙවියන්ගේ අඩවියේ දේවල් අල්ලන්න මමනම් බයයි ඔන්න "

සීයා බිමට පහත්වී එය පරීක්ෂා කළේය . සුදු රෙද්දක ඔතා තිබුණේ රත්‍රන් වලින් නිමවන ලද ත්‍රී ශුලයකි , සීයා පසුව නැවත එය සුදු රෙද්දෙන්ම ඔතා අතට ගත්තේය . මේ මහ වනාන්තරයේ මෙවැන්නක් මතු වූයේ කෙසේද ? පිළිතුරක් රහිත පැනයකි . එය පිළිබඳව කිසිවෙකු ඉන් පසුව කතා කලේ නැත . ධර්මරාජගල අසලින් නැවත ශ්‍රී පාද මාවතට එළඹී අප තිදෙනා වහ වහා කන්දෙන් බැස පලාබත්ගල රජමහා විහාරයට ගියේය . විහාරයේ ගාල් කර තබන ලද කරත්තය සූදානම් කල කරත්ත කරුවා අපව රැගෙන ලහි ලහියේ වලව්ව බලා ගමන් කරන්නට විය .

මේ ගතවන්නේ ශ්‍රී පාද අවාරය නිසා පාරවල් පාලුවට ගොස් තිබිණි . එබැවින් අපගේ ගමන ඉක්මන් විය . දින දෙකක ක්‍රියාදාමයකට පසුව අප රත්නපුරයේ වලව්වට සම්ප්‍රාප්ත විය .





" හා බෙරගල ඇවිත් තියෙන්නේ . අද රෑටම මේ වැඩේ ඉවර කරන්න ඕන . බෙර තට්ටු කරන්නේ නැතිව මේ වැඩේ හරියන්නේ නැහැ . ඒ නිසා මම එන්න කියලා කිව්වේ "

වලව්වට පැමිණ සිටි බෙරගල මාමා ඇතුළු බෙරගසන අය අමතා සීයා කීවේය .

" ගුරුන්නාන්සේ මේ තමයි අර වෙඩි තියන්න පුළුවන් කෙනෙක් ඕන කිව්ව නිසා මම එක්ක ආව කෙනා . මෙයාට හොඳ ඉලක්කෙට වෙඩි තියන්න පුළුවන් "

" මෙහෙමයි වෙන්න ඕන . මේ ගුරුකම කරන ටිකටත් අලියා සිහි නැති කරන්න ඕන . සිහි නැතිවෙන අලියාගේ ඔලුවෙන් මම මේ පුහුල තියනවා . ගුරුකම කරලා ඉවරවෙන්නේ ඒ පුහුලට තියන වෙඩි පාරකින් . පුහුල කුඩුවෙලා යන්න වෙඩිල්ල තියන්නත් ඕන . හැබැයි එකක් "

සීයා දබරගිල්ල දිගුකර කීවේය .

" මේ සතාගේ ජීවිතේට අනතුරක් වෙන්න බැහැ . මොකද එහෙම උනොත් මේ වැඩ ඔක්කොම වතුරේ යන්න පුළුවන් "

ඉන්පසුව සීයා තම රාජකාරි එකින් එක කිරීමට පටන්ගත්තේය . සීයා ගෙන්නවාගත් සුදු නූල් බෝලය තුන්පට වන්නට සකසා එහි ගැට දමා ගැටවලට මන්තර කියා ගැට හිර කළේය . පසුව ගුරුකම කිරීමට අවශ්‍ය වෙඩිල්ල කෙටීමට පෙරාතුව මූනිස්සම් රැගෙන මූනිස්සම්ද මතුරන්නට විය . මාහට යමක් අමතක වී ඇත . එනම් මෙම වෙඩි බෙහෙත් මැතිරීම පිළිබඳව ඔබව දැනුවත් කිරීමය . සමහර ගුරුකම් වර්ග පසු කාලීනව නිර්මාණය වූ ඒවා වේ . මෙයද එවැන්නකි . තුවක්කු භාවිතය ලංකාවට හුරු වූ පසුව එම තුවක්කු වලින් වෙඩි තබා ගුරුකම් කරන්නටද පුරුදු පුහුණු විය . මෙයද එවැන්නකි .

පුහුල තුරුළු කරගත් මාහට වූයේ කොටි වලිගය අල්ලාගත් කෙනාට වූ අකරතැබ්බය ය . සීයාගේ අණ පරිදි පුහුල බිම තැබීම තහංචි විය . එබැවින් මා ගුරුකම කරන වේලාව දක්වාම පුහුල අතේ හොවාගෙන සිටියෙමි . අවශ්‍ය වෙටෙක එය සීයාට දී මා පිටත් වුවද මුළු කාලය පුරාවටම මම මෙම පුහුල අතේ හොවාගෙන සිටියෙමි . සවස් ජාමය පසුවී ක්‍රම ක්‍රමයෙන් ගොම්මන් සමයම උදාවිය .

සීයාද මමද වලව්වේ අනෙක් සියල්ලෝද අලියා සිටින භූමිය කරා පියමැන්නෝය .

" බෙරගලලා මගෙ කිට්ටුවෙන් ඉන්න . මේ අලි බලන උන්නැහේ , එදා කළා වගේම අලියාගේ සිහිය නැති කරන්න ඕන "

එසැනින් ක්‍රියාත්මක වූ අලි බලන්නා හෙණ්ඩුවෙන් ඇන අලියාව සිහිසුන් කළේය . අලියා බිම ඇදගෙන වැටිණි . පසුව මෙතෙක් වෙලා තුරුල් කරගෙන හුන් පුහුල් ගෙඩිය අතට ගත් සීයා එය රැගෙන ගොස් අලියාගේ කන අසල වල ගැසී තිබෙන ප්‍රදේශයක් මත නොපෙරලෙන ලෙස තැබීය . ඉන්පසුව හෙතෙම තුන්පොට දමා සකසන ලද නූල් පන්දුව ගෙන පුහුල වටා ඔතා අලියාගේ ඇඟට වන්නට තරමක නූල් ප්‍රමාණයක් දමා අනිත් කොන ගෙනවුත් තුවක්කුවේ ගැටගසන ලදී .

" මම මතුරනවා . ඔය දරුවා පුහුලට තුවක්කුව මානගෙන ඉන්න ඕන . මම මතුරලා ඉවර වෙනකොටම වෙඩි තියපන් කියලා කියනවා . එතකොට අර පුහුල කුඩුවෙලා යන්න වෙඩිල්ල පත්තු කරන්න  . බෙරගලලා දිගටම බෙර ගහන්න . වෙඩි තිබ්බට පස්සේ නවත්තන්න "

කියමින් සීයා මතුරන්නට පටන් ගත්තේය . ඒත් සමගම බෙරගල මාමා ඇතුළු පිරිස හඬ ක්‍රමයෙන් වර්ධනය කරමින් පලාතම දෙවනත් වන ලෙස යක් බෙරයේ බිරාන්ත හඬ අවදි කළහ .


( මේක ප්ලේ කරගෙන කියවන්න )


...................... ඕන් ඊශ්වර මහීතාක්කු හෙන ගිනි උපුල්ලා අප්පා තාන්ගුනේ සරි ඊශ්වර තා වෙක්කුන් සූනියන් හැරී ඉගිල්ලී මරු තට්ටු නාඩේ වෙච්චා ලික්කන් සිද්ද ගජදල මරු දැපනේ හඃ .... ඔන් වාඩාවෙරි වා වෙක්කී කදිර සූනියන් හැරී ඉගිල්ලී මරු දැපනේ සිද්ද ගජදල මරු දැපනේ හඃ .... ඔන් මාකා ජාරිඹු මහිතා මුරිච්චි වෙච්චී බීතේ හයි ඔන් රාමා ගිනි කඩ වෙ වෙතංගු සූනියන් කදිර මාධානේ සිද්ද ගජදල මරු දැපනේ හඃ ...... ඔන් මරණ බිල්ල බලා සිද්ද ගජදල මරු දැපනේ හඃ . ඔන් සමන් දෙවියෝ ඇරිය විදුරු ගිනි ජල සැරේ අද මම අරින්නේ අදත් සත් පැයින් මෙපිට ලේ කෙලිය බලා සිද්ද ගජදල මරු දැපනේ හඃ ............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................ ඔන් නමෝ බස්නාහිරට අධිපති වන්නාවූ කළුගල් මාන්කලානේ කළුගල් බණ්ඩාර පාත හාමුදුරුවන්ට මුරුතනට මස් නැත කියා අයිලේ දේවතාවට කී තැනේදී අයිලේ දේවතාවා එළ සපු ලීයෙන් අච්චුව කපා යකඩෙන් හත් වියතක් තුවක්කුව වාත්තු කරවා එම බස්නාහිර දෙවියන්නේ දෙස් කියා අදත් මගේ හෙන ගිනි වැලක්කුමක් අනයක් විනය නැතිය කියා බස්නාහිර දෙවියන්නේ මිණි කුකුළාට ඇරිය හෙනගිනි රාම වෙඩි සැරය එම කුකුලාගේ පපුව පලා හ්රදය පලා පිටවුනු ආනුභාවයෙන් අදත් මේ බන්දන කඩා පිපිරී හෙනගිනි වෙඩි ශරය පිපිරී යන්නට බස්නාහිර දෙවියන්නෙන් වරමී ....... ......................................................................................................................................................................................................................................................................................................................................................................................................... අහස පොලව උපන් දවසේ උපන් අකුණු හෙන ගිනි දේවතාව හෙන අටක් අටකොන ඇරියේය ලෝ දැල් පුපුරවා ගිනි ගතීය පොලව පලා ගිනි ගතීය අහස පලා ගිනි ගතීය අනෝතප්ත විල දෙබෑ කර ආ හෙන ගිනි සැරේ මහකෙල නාගරාජයාගේ පෙන ගොබය පුපුරුවා රාවණාට ගොස් රාවණාගේ යගල් කෝවිලේ අණ යතුරු පුපුරුවා රාවණාගේ ඔටුණු මාලාව සුනු විසුනු කල ආනුභාවයෙන් මුදුන් මාල බිසවුන් වහන්සේගේ මුතු ගබඩාවට ගිනි ගත් ආනුභාවයෙන් පන්සියක් රුසිවරයෝ කල බන්දන කැඩී කැඩී පිපිරී පිපිරී පලයන් හෙනගිනි දේවතාව සිද්ද ගජදල දේවතාව රැගෙන බන්දන පුපුරුවගන පලයන් තොස්වාහඃ ................................ වෙඩි තියපන්..........

" ඩොන්............ "

බෙරහඬ අඩුවී ගියේය . සීයාට පෙරාතුව මම අලියා අසලට කිට්ටුවී පරීක්ෂා කලෙමි . පුහුල පුපුරා සුනු විසුනු වී ගොස් තිබිණි . ගුරුකම සම්පූර්ණ වී ඇත . දැන් අලියාට සිහිය එනතුරු බලා සිටිය යුතුය . වලව්වේ ප්‍රධානියාද අලියා අසලට පැමිණියේය . සීයා වතුර කලයක් රැගෙන එය අලියාගේ හිසට වත් කළේය .

" හා නැගිටපන් පුතා "





සීයා අලියාගේ හිස අතගා කීවේය . මදවේලාවක් යන විට අලියාගේ කනක් සෙලවිය . හොඩය සෙලවිය . සියල්ලෝම පිටුපසට විය . අලියා සෙමෙන් සෙමෙන් වාරු ගෙන නැගී සිට ඒ පැත්තටත් මේ පැත්තටත් වැනෙන්නට විය . මෙය අලියෙකුගේ සාමාන්‍ය පුරුද්දය . එය දුටු වලව්වේ ප්‍රධානියාගේ මුහුණේ සිනහවක් පහල විය . අලියාට සුවපත් වී ඇති බව අප දැනගත්තේ වලව්වේ ප්‍රධානියා විසින් මේ එම අලියාගේ සාමාන්‍ය ස්වභාවය යයි කියා අපහට පැවසීමෙන් පසුවය . අනතුරුව වලව්වේ ප්‍රධාන අලි බලන්නා අලියා අසලට කිට්ටු වී අලියාට විධාන කළේය .

" අලියා මෙහෙ දහඃ "

අලියා එවිය ඔහු දෙසට හැරිණි .

" අලියා හිද අලියා හිද "

එවිට අලියා නැවතත් බිම ඇලවිය . අලියාට සුවපත්වී ඇත . අලි බලන්නා අලියාගේ කකුල් දෙක පරීක්ෂා කළේය . හෙන්ඩුව ඇනීම නිසා වූ තුවාල නිසා අලියා වේදනාවට පත්වී ඇති බව හෙතෙම පැවසීය . අනතුරුව සියල්ලෝම වලව්ව වෙත පියමැන්නහ  . එදින රාත්‍රියේ අපහට වලව්වෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබිණි . ඒවා බුක්ති විදීමෙන් පසුව සියල්ලෝම නින්දට ගියහ .

පසුවදා උදෑසනම අප ගෙන ආ සියල්ල රැගෙන ගම රට බලා යන්නට සූදානම් විය .

" ගුරුන්නාන්සේ කලේ ලොකු උදව්වක් . නැත්නම් අද වෙනකොට මම මේ සතාට වෙඩි තියලා . ගුරුන්නාන්සේට කොහොම ස්තූති කරන්නද කියලා හිතාගන්න බැහැ . මෙන්න මගෙන් පොඩි තෑග්ගක් . මේ පඬුරු ටිකත් තියාගන්න ගුරුන්නාන්සේ "

" පඬුරු උවමනා කරන්නේ නැහැ මට . අපිට ඉතින් ගම රට ඉඩකඩම් වලින් ආදායම් තියෙනවා නෙව . මෙන්න මේ බෙරගහන ඇත්තන්ට පඬුරු බෙදලා දෙන්න . ඒ ඇත්තනුත් මේ වැඩේට මහන්සි උනා නෙව . අනික තමයි අර අලි බලන මහ උන්දැටත් මොනවා හරි තුටු පඬුරු දෙනවනම් හොඳයි . මට මේ ඇත් රූපය විතරක් දෙන්න . වලව්ව මතක් වෙන්න මම ඒක විතරක් මම ළඟ තියාගනනම් "

වලව්වේ ප්‍රධානියා දුන් කළුවර ලීයෙන් නිමවන ලද ඇත් රූපය සීයා අතට ගත්තේය .

" මේ අලියා සමන් දේවාලෙට එක්ක ගිහින් දෙවියන් වන්දවලා එක්ක එන්න . ඒක කොයිකටත් හොඳයි . එහෙනම් අපි ගිහින් එන්නම් . හැමෝටම සමන් දෙවියන්ගේ පිහිටයි "

බෙරගල මාමලා පැමිණ සිටියේ අපගේ වලව්වේ කරත්තයෙන්ය . පසුව අපද අපගේ වලව්වට යාම සඳහා පිටත්ව ගියේ බෙරගල මාමලා පැමිණි වලව්වේ කරත්තයෙනි .

මෙම ගමන මාහට කිසි දිනෙක අමතක වන්නේ නැත . අපගේ වලව්වේ බිත්තියේ සවිකර ඇති  සමන් දෙවියන්ගේ දේව රූපය අසල තැම්පත් කර තිබෙන දෙවියන් විසින් අපට තෑගී දුන් මෙම ත්‍රී ශුලය දකින වාරයක් පාසා මාගේ සිත පියමනින්නේ හිමවතේ පිහිටි එම ඇත් සොහොන දෙසටය .





                                            හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු මෙතෙකින් නිමි !




මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19 වන සියවස මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි. ( ක...

හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු ( 2 කොටස )



මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවස මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.

පසුගිය කොටසින් ......

" මට පේන හැටියට අලියගේ ජීවිතේ ගන්න යක්ෂ බැල්ම වැටිලා තියෙන්නේ . මේ යකා එලවන්න මෙහෙම බෑ . ගුරුකමක් තියෙනවා . ඒත් ඒක කරන්න ඇත් සොහොනක් හොයාගෙන ගිහින් ඇත් සොහොනෙන් යක්ෂ දිශ්ටියක් බන්ධනය කරගෙන එන්න ඕන . මොකද කරන්නේ . යමු වලව්වට මේ ගැන කතා කරගන්න "

සීයා නැවත වලව්වට පැමිණ වලව්වේ ප්‍රධානියා සමග මේ පිළිබඳව වැඩිදුර සාකච්චා කළේය . පසුව ඇත් සොහොනක් සොයා යාමට තීරණය කළේය . නමුත් ඇත් සොහොනක් තිබෙන්නේ කුමන ප්‍රදේශයකද කියා අපට වැටහීමක් තිබුණේ නැත . වලව්වේ ප්‍රධාන අලි බලන්නා ඇත් සොහොනක් පිළිබඳව දන්නා බව පැවසීම නිසා එම මොහොතේ අපට සතුටට පත් වීමට හැකි විය .

ඇත් සොහොන පිහිටා තිබුණේ ශ්‍රීපාද කන්දේ මහා ඝන කැලයේය . එබැවින් ඇත්සොහොන සොයා යෑම තවත් වික්‍රමයක ආරම්භයක් විය .





අද එතැන් සිට ...........

ඇත්සොහොන සොයාගැනීම පිළිබඳව මාගේ සිතෙහි කිසිඳු හෝ පැහැදිලි අරමුණක් අධිරෝපණයවී තිබුනේ නැත . ඊට හේතුව මෙම ඇත් සොහොන පිළිබඳව තතු දත් පුද්ගලයා වූයේ මෙම වලව්වේ ප්‍රධාන අලිබලන්නා පමණක් වීම නිසා විය යුතු යැයි මම සිතමි . සැබවින්ම අලි ඇතුන් තමන් ජීවත් වන වනාන්තරයේ තම සම්පූරණ ජීවිත කාලය ගෙවා අවසන් කල පසු මිය ගියද , ඔවුන්ගේ ඇටසකිල්ලක් හෝ සොයාගැනීමට හැකියාවක් අපට ලැබෙන්නේ නැත .

එවැනි ඇටසැකිල්ලක් ඇසින් දුටු පුද්ගලයෙකු හෝ මාහට මෙතෙක් හමුවී නැත . අලි ඇතුන්ට තිබෙන්නේ තේජවන්ත මහේ ශාක්‍ය ජීවන පැවත්මක්ය . එබැවින් ඔවුන්ගේ අවසානයද එවැන්නක් විය යුතුයැයි මම අනුමාන කරමි .

සීයාද වලව්වේ ප්‍රධානියාද දිගින් දිගටම සාකච්චාකරන ලද්දේ ඇත්සොහොන වෙත යාමට කටයුතු සූදානම්කලයුත්තේ කෙසේද යන්න පිලිබඳවය . ඒ අතරතුර ඔවුන්ගේ එම සංවාද මණ්ඩපයෙන් මම හෙමින් සීරුවේ නික්ම වලව්ව වටා ඇවිදීම ආරම්භ කලෙමි .

මෙම වලව්ව සිංහල රජකාලේ සිට පැවත එන්නක් යයි සීයා මා හා පැවසුවද , එහි ඇති ගෘහ නිර්මාණ ලක්ෂණ අනුව එය ලන්දේසි පාලන සමයට අයත් එකක් බව මම නිගමනය කලෙමි . නමුත් එම නිගමනය මත මා කෙතෙක් දුරට නිවැරදිදැයි මම නොදනිමි .

වලව්වේ සියලුම බිත්ති කබොක් ගල් වලින් බඳිනලද බිත්ති බව , වලව්වේ පිටුපස ප්‍රදේශයේ ඇවිදින විට දැකගත හැකිවිය . ලැටිස් ගසන ලද ඉදිරිපස ඉස්තෝප්පුව සහ සාලයට පිවිසෙන ස්ථානය අවට ඉදිකිරීම් , අමතර ලී කැටයම්ද එකතු කිරීමෙන් තවත් අලංකාර කර තිබිණි . සාලයේ තබා තිබුණු පිත්තල පහන් සහ මල්පෝච්චි කාලයක් තිස්සේ ඔප නොදැමීම හේතුවෙන් දිස්නය දීමෙන් වැළකී සිටියේය . නමුත් ඒවායේ තේජවන්ත ලීලාවේ අඩුවක් නම් නොවීය .

වලව්වේ මැද මිදුල් කීපයකි . ඉන් එක් මැද මිදුලක අලංකාර මල් වවා තිබිණි . තවත් මැද මිදුලක සිහින් වැලි අතුරා තිබුණද එහි වෙනත් කිසිවක් තිබුනේ නැත . එය වලව්වේ කුඹුරු වලින් ගෙනෙන වී වේලන මාගල් එළනු ලබන මැද මිදුලක් විය යුතය . තවත් මැද මිදුලක පොකුණක් නිමවා තිබිණි . එය දෙකොනෙන් වෘතාකාර වන අතර මැදින් දිගටි හැඩයක් ගත්තේය .

එහි මසුන් ඇතියි කියා මම සැක කලෙමි . නමුත් එහි මසුන් සිටියේ නැත . නෙලුම් මල් පමණක් එහි සිටුවා තිබිණි . වැසි ජලය එකතුවන ලෙසත් වැඩි වතුර ඉන් ඉවත් වන ලෙසත් එහි පිටත බැම්ම මනාව ආනත කර තිබූ අතර වැඩි ජලය ඉවත්වන්නට සාදා තිබුණු කවුළුව ආරම්භ වූයේ කළු ගලින් නිමවන ලද කටකින්ය . එයින් ඇරඹෙන නලයක් මගින් ජලය පිටවීම සකසා තිබිණි . අපගේ වලව්වේ නැති මෙම අංගය මාගේ වඩාත් සිත්ගත් අංගයක් විය .

වලව්වේ මුළුතැන්ගෙය තරමක් විශාල මුළුතැන් ගෙයක්ය . එහි චිමිනිය බැඳ තිබිණි . පැත්තකින් ලෙලිගැසූ පොල් ගොඩක් තිබිණි . ඊට අමතරව මුළුතැන් ගෙයකට අවශ්‍ය ගල් වංගෙඩියක් මෝල් ගස් දෙකක් හිරමන කැති මන්න පිහි ආදියෙන් එම මුළුතැන්ගෙය පරිපූර්ණය . කුස්සියේ වැඩ කිරීමට මැදිවයස ඉක්මවා ගිය කාන්තාවක් හා තවත් මෙහෙකරුවෙකු සැදී පැහැදී සිටියහ .

වලව්වේ මා සිත්ගත් තවත් වැදගත් අංගයක් වූයේ වී කොටනගෙය තුල බිම වූ වී කොටන ගලයි . එය වෘතාකාර තැටියක් මෙන් නිමවා තිබිණි . අපගේ වලව්වේ වූ වී කොටන ගල හරි හතරැස් ගලකි . එබැවින් වෘත්තාකාර වීකොටන ගලක් මා දුටුවේ පළමු වතාවටය .

" පුංචි මහත්තයා වලව්වේ වටේ ඇවිදිනවා වගේ "

වීකොටන ගෙය අසලදී මා අමතන ලද්දේ තෙගිරිස් විසිනි . හෙතෙම වලව්වේ සේවය කරන ශාන්ත පෙනුමක් සහිත පුද්ගලයෙකි .

" ඔව් මාමේ . මම ටිකක්වලව්වේ ඇවිදලා බැලුවා මේ පැත්තේ කොහොමද කියලා .මම කැමතියි මේ වගේ පරණ දේවල් දැකබලා ගන්න . මේ වීකොටන ගල හරිම අපූරුයි . මම මේ වගේ වීකොටන ගලක් දැක්කේ අදමයි "

" පුංචි මහත්තයා ගුරුන්නාන්සෙගේ කවුරු වෙනවා කියලද කිව්වේ ? "

" ඒ අපේ සීයා " මම සිනහ මුසු මුහුණින් පැවසුවෙමි .

" ආ මේ ගුරුන්නාන්සෙගේ මුණුබුරා "

එයටද පිළිතුරු වශයෙන් මා සිනහසුනා මිස කිසිවක් පැවසුවේ නැත .

" මාමේ , මේ වලව්වේ තව කවුද ඉන්නේ ? "

" වලව්වේ හාමුදුරුවෝ ඉන්නවා . තව කුමාරිහාමියි එයාලගේ දරුවෝ දෙන්නයි ඉන්නවා . එක්කෙනෙක් පුතා . අනිත් කෙනා දුව . පොඩි අප්පෝ තමයි වැඩිමලා . කුමාරිහාමියි පොඩි අප්පොයි පොඩි මැණිකෙයි , කුමාරිහාමිගේ අම්මලා ඉන්න වලව්වට ගියා දැන් තුන් දොහකට විතර කලියෙන් . සමහරවිට පුංචි මහත්තයට දැකගන්න පුළුවන් වෙයි එයාලා ඉක්මනටම ආවොත් . ඔය ලෙඩවෙලා ඉන්න අලියා අපේ පොඩි අප්පොට හරිම ලෙන්ගතුයි . දැන් තමයි ඔය අසනීප උනාට පස්සේ කවුරුවත්ම පේන්න බැරි උනේ . පොඩි අප්පොත් හිටියේ හරිම විස්සෝපෙන් ඒ ගැන "






මා අසන්නටද පෙර තේගිරිස් වැඩි විස්තරද කියාගෙන ගියේය .

" මම එහෙනම් යන්නම් මාමේ . අපි තව දවස් ඉන්නවනේ . මම එන්නම්කෝ මාමා එක්ක ටිකක් කතා කරලා රත්නපුරේ පැත්තේ විස්තර අහගන්න "

" මහත්තයා වලව්වේ වත්තේ ඇවිදින්නේ බලාගෙන . වලව් වත්තේ පහල විසාල නයි දෙන්නෙක් ඉන්නවා . තාම කාටවත් කරදර කරලා නම් නැහැ . ඒත් මහත්තයා ආගන්තුක නිසයි මම කිව්වේ "

මම එයටද සිනහවක් පෑවා මිස , ඉන් එහා කිසිවක් කියන්නට ගියේ නැත . පසුව මම තේගිරිස්ට සමු දී සීයා සහ වලව්වේ ප්‍රධානියා කතාකරමින් සිටි තැනට ගියෙමි . තවමත් දෙදෙනාගේ සාකච්චාව ඉවර වී නැත .

" මට ඇත් සොහොනට යන්න කලියෙන් මේ වැඩේට ඕන කරනවා පුහුල් ගෙඩියක් . ඒක මමම ගිහින් හොඳට හොයලා බලලා පුහුල් වැලකින් කඩාගන්න ඕන . තව අත් උදව්වට කෙනෙක් ඕන . මේ අලි බලන අයගේ මහ උන්දත් එක්ක . මමයි , අත් උදව්වට එක්කෙනයි , පුතයි හිටියම ඇති මේ ගමනට . දවස් දෙකතුනකට විතර කන්න කෑමට මොනවාහරි ගෙනියන්න වෙයි . තව පැදුරක් , සුදු රෙද්දක් , සාම්බ්‍රානි , අඟුරු කබලක් , හුළු අතු ඕන කරනවා  "

සීයා එකදිගට වලව්වේ ප්‍රධානියා වෙත කියාගෙන කියාගෙන ගියේය .

" අපි ගිහිල්ලා ඒ රාජකාරිය අහවර කරගෙන එනකං මෙන්න මේ දේවල් කෙරෙන්න ඕන . අපේ ගුරුන්නාන්සේ වලව්වටට මෙහෙන් කවුරුහරි යවන්න ඕන . ඒ යවලා කියන්න බෙරගහන බෙරගල කියන කෙනාට මම එන්න කිව්වා කියලා . එතකොට බෙරගලයි තවත් බෙරගහන කෙනෙකුයි එයි . අපේ වලව්වේ කරත්තෙන් එයාලව එක්ක එන්න කියන්න . එතකොට මට මේ වැඩ අහවර කරලා මගේ කරත්තෙන්ම ආපහු යන්න පුළුවන් . තව ඕන කරනවා වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් , වෙඩිබෙහෙත් . වැදගත්ම දේ තමයි හරියට ඉලක්කෙට වෙඩි තියන්න පුළුවන් කෙනෙක් ඕන . ඉලක්කේ වැරදුනොත් හැමදේම අපතේ ගිහින් අලියත් මැරිලා මේ කටයුත්තෙන් වැඩක් ගන්න බැරි වෙනවා . ඒ නිසා ඉලක්කෙට වෙඩි තියන කෙනාගෙ ඉලක්කය හරිම වැදගත් . තව මම ලියල දෙන්නම් මේ ගමේ එහෙන් මෙහෙන් ඕන කරන දේවල් . ඒවා එකතු කරලා තියන්න අපි ඇත් සොහොනට ගිහින් එනකං "




වලව්වේ ප්‍රධානියා මේ සියල්ල සාවදානව අසා සිටියා මිස සීයාගේ කතාවට බාධා කරේ නැත . පසුව ඔහු වලව්වේ සේවය කරන කීප දෙනෙකු සීයාට හඳුන්වාදී අවශ්‍ය සියල්ල ඔවුන්ගෙන් ඉටුකරවාගන්නට අවස්ථාව ලබාදුන්නේය . මාහට කිරීමට කිසිවක් නොවූයෙන් අසනීප අලියා සිටින අලිගාලවෙත නැවත පියමැන්නෙමි .

අලියාට පියවි සිහිය ලැබී නැවතත් ගොරවමින් කෑගසමින් සිටියේය . ප්‍රධාන අලි බලන්නා ඒ අසල බිම ඇණ තියාගෙන සිටි අතර මා ඔහු අසලට ලං වත්ම හෙතෙම මා සමග සිනාසුනේය . මමද ඔහු සමග මද සිනහවක් පා ඔහු අසලින් හිඳගතිමි .

" මහත්තයාගේ බෙල්ලේ ගැටගහලා තියෙන්නේ ගජමදාරා ලී කෑල්ලක් නේද ? "

" ඔව් මාමේ . මාමා දන්නවද ඒවා ? "

ඔහු මා ඇසූ පැනයට පිළිතුරක් නොදී ඔහුගේ ඉනේ ගැටගසා සිටින සුරය මාහට පෙන්වීය . එයද රිදී කොපු දමා සාදන ලද ගජ මදාරා සුරයකි .

" අලියා මේවට මෙල්ල වෙනවද මාමේ ? "

" පුංචි මහත්තයා මේ මොනවා කියනවද , ඕන අලියෙක් මෙහෙම කරනකොට මෙල්ල වෙනවා මේවට . ඒත් මදකිපුන අලි ඇත්තුන්ටනම් මේවා අහන්නේ නෑ "

" මාමා කොහොමද ඇත් සොහොන ගැන දන්නේ ? "

මෙතෙක් වෙලා මා හා කුළුපගවී කතාකරමින් සිටි ප්‍රධාන අලිබලන්නා එම පැනයත් සමගම මදක් නිහඬවී කල්පනා කරන්නට විය . මම ඔහුගේ දැහැන නොබිඳ ඔහුගෙන් පිළිතුරු ලැබෙනතුරු බලා සිටියෙමි . ඔහු එම කාලය තුල තමාගේ අතීතයට ගියේය .






" මම අලි සාත්තරේ ඉගෙනගත්තේ මඩුවන්වෙල වලව්වේ අලිබලන්න හිටපු ගුරුවේ නයිදේ කියන කෙනාගෙන් . උන්නැහේ තමයි මගේ ගුරුන්නාන්සේ . කාලයක් මම මඩුවන්වෙල වලව්වේ අලි ගාලේ වැඩ කරා . මුලින්ම කරේ අලින්ට කෑම හොයන එක . පොල්ගස් නැගලා පොල් අතු කැපුවා , කිතුල් ගස් කැපුවා වගේ ඒවා තමයි කරේ . පස්සේ මටත් ආසාවක් ආවා අලි බලන සාත්තරේ ඉගෙන ගන්න . මම වැඩිපුර වැඩ කරේ ගුරුවේ නයිදේ එක්ක . උන්නැහේ අලි බලන්න හරි හපනා . ඕනෑම කුලප්පුවෙච්ච අලියෙක් පැයක් හමාරක් යන්න කලින් ගස් බඳිනවා . අලි අල්ලන්නත් හරිම සූරයා . ඉතින් මම උන්නැහේට කිව්වා මටත් සාත්තරේ උගන්නන්න කියලා . ඉස්සෙල්ලම මම අලින්ගේ පිටේ ගියා . ඊට පස්සේ තමයි හෙන්ඩුව අතට දුන්නේ . හෙන්ඩුව අතට දෙන්න නැකතකුත් බැලුවා . ඊටපස්සේ ඉඳලා ටික ටික මට මේ සාත්තරේ කියලා දුන්නා . අලි නිල ගැන ඉගැන්නුවට පස්සේ ගුරුවේ නයිදේ වයස නිසා වලව්වේ අලි බලන වැඩෙන් අයින් උනා . ඊට පස්සේ මම ටික කාලයක් ගුරුවේ නයිදේ බලපු අලියා බලාගෙන මඩුවන්වෙල වලව්වේ හිටියා . ඊට පස්සේ තමයි මට ඇත් සොහොනට යන්න පුළුවන් උනේ "

කතා කරන අත්දැකීම් හමුවේ ඔහුගේ දරදඬු හදවත තරමක් මෘදු වූ බවක් මට පෙනී ගියේය . ඔහුගේ අත්දැකීම් වචන බවට පෙරලා ගැනීමට සුදුසුම අවස්තාව මෙය බව මට වැටහී ගියේය .

" එහෙනම් මාමා කියන්නකෝ කතාව . මම ආසයි දැනගන්න ඒ කතාව "

" සුදුඅලි ඇත්තු ගැන මහත්තයා අහලා තියෙනවද ? "

" වෙස්සන්තර ජාතකේ වෙස්සන්තර රජතුමාට හිටියේ සුදු ඇතෙක් . තව මතක නෑ . හැබැයි ගොඩක් කතාවල් වල මම අහලා තියෙනවා සුදු ඇත්තු හිටියා කියලා "

" මට ඕන උනා සුදු ඇත්තු ඉන්නවද කියලා බලන්න . ඉතින් මම ඒ කාලේ හැමවෙලේම හිත හිත හිටියේ කැලෑවල්වල ඇවිදලා සුදු අලි ඇත්තු ඉන්නවද නැද්ද කියලා ඇත්තටම බලන්න ඕන කියලා . ඔය කාලෙම කොහොමහරි ගුරුවේ නයිදේ බල බල ඉඳලා මට බලන්න කියලා පවරපු අලියා මැරුණා . ඊටපස්සේ වලව්වේ තව අලි හිටියත් මම වලව්වේ ඉන්නේ නැතුව සුදු අලි හොයන්න පටන් ගත්තා "

" ඉතින් මාම කසාද බැඳලා එහෙම නෙවෙයිද හිටියේ ? රස්සාවත් නැති උනාම ඉතින් පවුලක් නඩත්තු කරන්න බැරිවෙනවනේ "

" නෑ මහත්තයෝ මම ඒ කාලේ තනිකඩයා . ඒ නිසා තමයි මගවැරදුන ඇතා දුවන්නහේ සුදු අලින්ගේ පස්සේ දුවන්න ගත්තේ . මට වටින් ගොඩින් ආරංචියක් ආව සමන්දෙයියන්ගේ අඩවියේ සුදු අලියෙක් ඉන්නවා කියලා කීප දෙනෙක් දැක්කා කියලා "

" ඉතින් ? " මම දෑස් විශාල කර ඇසුවෙමි .

" මම හෙන්ඩුව වත් ගත්තේ නෑ . ඉනේ ගහන් ඉන්න පිහිය විතරයි තිබුණේ . සමන්දෙයියන්ගේ අඩවියට ඇතුල් උනා සුදු අලියෙක් දැකගෙන මිසක් ආයේ යන්නේ නෑ කියලා . මම දෙවියන්ගෙනුත් ඉල්ලුවා මට කොහොමහරි සුදු අලියෙක් මුනගස්සන්න කියලා . මම රත්නපුර පාරෙන් සිරීපාද කන්දට යන්න පිටත් උනා . සිරීපාද කන්ද මායිමට ඇවිත් මම කල්පනා කරා මිනිස්සු වැඩිපුර ගැවසෙන  මේ පාර කිට්ටුවට අලි වැඩිය එන්න ඉඩකඩක් නෑ කියලා . ඒ නිසා මම පාර මග ඇරලා මහ ඝන කැලේට ඇතුල් උනා "

" ඉතින් මාමට සුදු අලියෙක් හම්බුනාද ? "

" මම දවස් ගානක් තිස්සේ ඇවිද්දා ඇවිද්දා . ඒත් සුදු අලියෙක් හම්බුනේ නෑ . මම පස්සේ තවත් කැලේ ඇතුලට ගමන් කරනකොට මම දන්නෙම නැතුව ඇවිත් තියෙන්නේ ඇත් සොහොනකට "

" ඉතින් මාමා කොහොමද දැනගත්තේ මේක ඇත් සොහොනක් කියලා ? "

" ඒතන ගස්වල අතු අතරේ ඇත් දල ගහලා තියෙනවා මම දැක්කා . පස්සේ ටිකක් වටපිට සෝදිසි කරලා බලනකොට තිබුනා අලින්ගේ ඇත්තුන්ගේ ඇටකටු ගොඩක් "

" ඉතින් මාමේ එහෙමයි කියලා කොහොමද එතන ඇත් සොහොනක් තියෙනවා කියලා මාමා හරියටම දැනගත්තේ ? "

" පුංචි මහත්තයා දන්නේ නෑ . මට ගුරුවේ නයිදේ මේ සාත්තරේ උගන්නනකොට ඇත් සොහොන් ගැනත් කියා දුන්නා . අලි ඇත්තු මැරෙන්න ලං උනාම මේ ඇත් සොහොන් කිට්ටුවට එනවා . ඒ එන්නේ තනියම නෙවෙයි . තවත් රැලේ අලිත් එක්ක . ඒ ඇවිත් ඉන්නකොට තමන්ගේ මැරෙන මොහොත ලං උනාම අනිත් අලි ඇත්තු ඇවිත් මේ මැරෙන සතාගේ වටේට හේත්තු වෙලා ඒ සතා වැටෙන්නේ නැති වෙන්න අල්ලාගෙන ඉන්නවා . පස්සේ හිටගෙන ඉන්නකොටම තමයි මැරෙන සතාගේ පන යන්නේ . පස්සේ වටේ ඉන්න අලි ඇත්තු අයින් වෙනකොට මරුන සතා බිමට ඇදගෙන වැටෙනවා "

" ඉතින් ඇටකටු ගොඩගහන්නේ කවුද ? ඇත් දල ගස්වල රඳවන්නේ කවුද ? "





" මැරුණ සතාගේ මස් කුණුවෙලා දිරලා ගියාට පස්සේ අනිත් අලි ඇත්තු ඇවිත් ඒ සතාගේ ඇටකටු එක ගොඩකට ගෙනත් දානවා . එහෙම ගෙනත් දාන ඇටකටු ගොඩක් තමයි ඇත් සොහොනක තියෙන්නේ . මැරුණේ ඇතෙක් නම් ඒ ඇතාගේ දල දෙක මේ ඇටකටු ගොඩට දාන්නේ නෑ . ඒ දලදෙක වෙනත් සත්තුන්ට අල්ලන්න බැරිවෙන්න උස ගස්වල අතු අතරේ හිර කරනවා . තිරිසන් සත්තු උනත් අලියා කියන්නේ හරිම අමුතු සතෙක් . වෙලාවකට මනුස්සයෙක්ට වඩා මොලේ තියෙන වැඩ කරනවා අලි ඇත්තු උනත් "

"  ඉතින් මාමට සුදු ඇතෙක් හරි සුදු අලියෙක් හරි බලාගන්න පුළුවන් උනාද ? "

" මම මේ ඇත් සොහොනක් තමයි කියලා දැනගත්තට පස්සේ එතන නැවතිලා ඉන්න ඕන කියලා හිතුවා . මොකද කොයිවෙලේ හරි මෙතනට සුදු අලියෙක් හරි ඇතෙක් හරි ඉන්නවනම් එනවා කියලා හිතුන නිසා . පස්සේ මම එතන වටපිට කරක්ගහලා බලනකොට තමයි දැක්කේ ගල්වලින් වටවෙච්ච ගුහාවක් වගේ තැනක් තියෙනවා ඇත් සොහොන පේන මායිමේ . මම හිතුවා එතන ඉන්න ඕන කියලා. ඒ කිට්ටුවම වතුරපාරකුත් තිබුන නිසා වතුර කරදරයක් උනේ නෑ "

" අලින්ට මිනිස්සුන්ගේ ඉව ඉක්මනට දැනෙනවා කියනවා නේද ? "

" ඒකට මම කරා හොඳ වැඩක් . මහත්තයටනම් කැත හිතෙයිද දන්නේ නෑ . මම වැඩි හරියක්ම ඔතනට අලි එන වෙලාවට ඇඟේ අලිබෙටි ගාගෙන තමයි හිටියේ "

එය ඇසීමත් සමගම මට මහත් අප්‍රසන්න හැගීමක් ඇති වුවද අලිබලන්නා වෙත එය නොපෙන්වා සිටීමට මා වගබලාගත්තෙමි .

" අලි බෙටිවල මහත්තයෝ හිතන තරම් මහලොකු කැතක් අපිටනම් නෑ . අපි අතින් අරන් තමයි අලිබෙටි අස් කරන්නෙත් "

" ඉතින් මාමා කෑවේ බිව්වේ ? "

" ඒ කාලෙම කෑවේ ගස්වල ගෙඩි ජාති තමයි . සුදු අලියෙක් බලන්න තිබ්බ උවමනාව නිසා මට එක දුකක් කියලා දැනුනේ නෑ "

" ඉතින් කියන්නකෝ මාමට සුදු අලියෙක් හම්බුනාද ? "


                                                  - තුන්වන කොටසින් හමුවෙමු -




මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19 වන සියවස මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි. පසුගිය ක...

හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු ( 1 කොටස )





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවස මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.

( කථාවට කලින් මේක ප්ලේ කරන්න )




මීට පෙරාතුව ලියන ලද ලිපියේ සඳහන් සිදුවීම පිළිබඳව මා විස්තර කරන අතරතුර සීයාට වැළඳුනු අමනුෂ්‍ය දෝෂය සමනය කිරීම සඳහා පැමිණි අනෙක් ඇදුරන් එම කාර්යය අවසාන කර නැවත පිටව යාමට පෙර සීයාට වැඳ නිවසින් පිටවීම පිළිබඳව සඳහන් කලෙමි . ඊට හේතුව මම සීයාගෙන් එම අවස්ථාවේම විමසුවද සීයා ඒ සඳහා සෘජු පිළිතුරක් ලබාදුන්නේ නැත . සීයාගේ උපදෙස වූයේ රජතුමා විසින් අපගේ පෙළපත් නාමය ලබාදෙන අවස්ථාවේ නලල්පත සමග ලබාදුන් තඹ සන්නසේ ඊට හේතුව ඇති බවයි .

එක් කාර්යයක් අවසන් වීමට පෙර නැවතත් සිදුවන නොයෙක් අමනුෂ්‍ය ක්‍රියා සඳහා පිළියම් කිරීමට යාමෙන් තඹ සන්නස කියවීමට ලද අවකාශය නැතිවිය . එහෙත් එම හේතුව දැනගැනීමේ ආශාව මාගේ යටි සිතෙහි තදින්ම රෝපණය වී තිබුණු නිසාවෙන් ඒ සඳහාම මම වෙලාවක් වෙන් කර සන්නස කියවීමට සූදානම් වීමි . සන්නස හා රන් නලල්පත තිබෙන මංජුසාව බහා තිබෙන්නේ අපගේ අනෙක් පුස්කොල පොත් තැම්පත් කර තිබෙන පෙට්ට්ගමෙහිය . මේවනවිට එම පොත් සියල්ල මාහට ලැබී ඇති බැවින් ඒ සියල්ලත් සමගම එම පෙට්ටගම තිබෙන්නේ මගේ කාමරයේය .


මම සන්නස කියවීමට සුදුසු වෙලාව එළඹුණු මොහොතේ කාමරයට වැදී දොරගුළුලාගතිමි . පෙට්ටගමේ දොර විවරකර ඒ පිටුපස ඇති බිත්තියට දොර පියන සීරුවෙන් හේත්තු කලෙමි . පෙට්ටගමේ ඇති පුස්කොල පොත් සුවඳ මාගේ ලේ මස් ඇට නහර හරහා ගොස් ඇටමිදුළු දක්වාම කාවදින බව මට දැනිණි . සැබෑ පරපුරක හිමිකරුවෙකු සතු එම ශිල්පයේ ගරුත්වය රැකීම හදවතටම කාවදින්නේ එම අත්දැකීම ලද මොහොතක විය යුතුය .


මම සන්නස බහා තිබෙන මංජුසාව අතින් ගෙන ඇඳ මත වාඩිඋනෙමි . මෙම සන්නස විශාල පිටුගනණක් සහිත වූවක් නොවේ . එහි තිබුණේ පිටු හතරක් පමණකි . එම පිටු ආරක්ෂාවීම සඳහා කම්බා දෙකක් ඊට යොදා තිබිණි . මම ඒ සියල්ල විමසිල්ලෙන් පරීක්ෂා කරන අතරතුරේදීම සන්නසේ මුලසිට පිටුවෙන් පිටුව කියවීමද ආරම්භ කලෙමි .


වර්ෂ 1596 ඇසල මස දියවක ලත් බුධ දින සෙංකඩගල මහවාසලේදී මෙම සන්නස ලියා දෙවා වදාලේ නම් ඒ කෙසේද යත් රාජගුරුපද්ම කුරුකුලසේකර මුදියන්සේලාගේ සුගුණා ගුණවර්ධන නම් මොහු හා මොහුගෙන් පසුව ඇතිවන වරිග පරම්පරාවට...............

යනුවෙන් ආරම්භවී එම සන්නස දීර්ඝ ලෙස සඳහන් කර තිබිණි . නළල් පත ප්‍රදානය කිරීම , ගම වරයක් ලබාදීම සහ මුතු මැණික් සහිත වස්තුව ලබාදීම පිළිබඳව එම සන්නසේ විස්තර කර තිබිණි . අවසානයේ එහි මෙසේ සඳහන්ව තිබිණි .

............. අදින් මතුව ඇතිවන මොහුගේ වරිග පරම්පරාවේ සියළුම දෙනා ගුරුකම් ශාස්ත්‍රයේ සියල්ලන්ගෙන්ම වන්දනාමාන ගරුබුහුමන් ලබන්නන් විය යුතුය..........

එය කියවීමෙන් පසුව මට එදා සිද්දිය සිහියට නැගිණි . සීයාට අනෙක් ඇදුරන් වඳින ලද්දේ මෙම හේතුව නිසාය . එහෙත් අද එම සිරිත පිරිහී ගොස ඇතිබවද කිවයුතුය . මෙම සිරිත පිළිබඳව කිසිවක් නොදන්නා අය වුවද සීයාගෙන් ගුරුහරුකම් ගන්නට වලව්වට පැමිණේ . ඔවුන් සීයාට ආචාර කරනවා විනා වඳින්නේ නැත . ඒ පිළිබඳව සීයාගෙ විස්සෝපයක් කිසිවිටෙකත් නැගෙන්නේ නැත .  ඒ සීයා සතු නිහතමානී ගතිගුණ නිසාවෙනි .

සන්නසේ දුරක් කියවාගෙන යන අතරතුරේදී මාහට තවත් වැදගත් දෙයක් කියවන්නට ලැබිණි . එනම් රජතුමා විසින් අප පවුලේ එවකට සිටි මුත්තාට ඇත් බානක්ද ලබාදී ඇති බවයි . එය විශේෂ පිරිනැමීමකි . සාමාන්‍යයෙන් අලි ඇතුන් ලබන්නේ විශේෂ වරප්‍රසාද හිමි පුද්ගලයින් පමණක් නිසාවෙනි . සන්නස කියවා අවසාන කර තවත් ස්වල්ප වෙලාවක් එහි පොත් කම්බාවේ ඇති කැටයම් දෙස බලා සිටි මම , මංජුසාවේ එය තැම්පත් කර පෙට්ටගමට දමා අගුළු දැම්මෙමි .





කාමරයෙන් එලියට එනවිට ඇඳිරි වැටී තිබිණි . නමුත් කාලය ගතවනවා දැනුනේම නැත . ඉස්තෝප්පුව වෙත මා පැමිණෙන විට සීයා ඔහුගේ හාන්සි පුටුවේ ඇලවී කල්පනා කරමින් සිටියේය . මම සීයාගෙන් අලි ඇතුන් ගැන විමසීමට කල්පනා කලෙමි .

" සීයේ ඉස්සර අපේ වලව්වෙත් අලි හිටියද ? "

" ටිකක් ඉස්සර හිටියා පුතේ , ඒත් මගේ සීයා ඉන්න කාලේ තමයි අන්තිම අලියා මේ වලව්වේ ජීවත් උනේ . ඌ මැරෙනකොට මට වයස අවුරුදු 20ක් විතර ඇති . ඊට පස්සේ වලව්වේ අලි හිටියේ නෑ . ඔය අපේ පරම්පරාවේ පෙළපත් නාමය දෙන වෙලාවේ රජතුමාත් අපේ වලව්වට අලි ඇත්තු ලබාදුන්නා කියලා සන්නසේ සඳහන් වෙලා තියෙනවා . ඊට පස්සේ තවත් අලි ඇත්තු ඉඳලා , මම දැක්ක අලියා තමයි අන්තිමයා උනේ . ඊට පස්සේ අලි හදන්න එච්චර ඕනා කරේ නෑ . අහිංසක සත්තු , උන්ට නිදැල්ලේ ඉන්න තියෙන පුළුවන් කමනේ අපි නැති කරන්නේ කියලා හිතුනා "

" මම සන්නස කියෙව්වේ අද . සීයා එදා සන්නස දුන්නට ඒක කියවන්න මට වෙලාවක් තිබ්බේ නෑ ඉතින් "

" ආ.... පුතා අදද ඒක කියෙව්වේ . මම හිතුවා එදාම ඒක කියවන්න ඇති කියලා "

" මම ඔක්කොම විස්තරේ කියවලා බැලුවා . අලි ඇත්තු හිටියා කියලා දැනගත්තෙත් සන්නස කියෙව්වට පස්සේ තමයි "

" අලි ඇත්තු ගැන කිව්වම තමයි මට මතක් උනේ , දවස් දෙකකින් විතර අපිට යන්න තියෙනවා රත්නපුරේ පැත්තේ වලව්වකට . ඒ වලව්ව අලි ඇත්තුන්ට හරිම ප්‍රසිද්දයි . වලව්වේ ඉන්න අලියෙක්ට ගුරුකමක් කරන්න තියෙනවා "

" ආ එහෙනම් අලියා මදකිපිලා වෙන්න ඇති . ඒකට ගුරුකම් කලාම හරියනවද සීයේ "

" නෑ පුතේ මම හිතන්නේ මෙතන වෙන දෝසයක් තියෙනවා . අලින්ට උනත් අමනුස්ස බැල්ම වැටෙන්න පුළුවන් . ඔය සමහර යක්කු කැමතියි අලින්ගේ මස් කන්න වගේම සේමං ගන්න . රීරි යකා , ගජදල රාක්ෂයා වගේ අය කැමතියි අලින්ගේ මස් කන්න . ඒ නිසා ඒ යක්කු කරන්නේ අලින්ගේ ඇඟට වැහිලා උන්ව දුර්වල වෙනකන් බලාගෙන ඉඳලා උන්ව මරලා දාන එක . ඊට පස්සේ අලියාගේ මලකඳේ සේමං ගන්නවා , ඒ යක්කුන්ගේ දොළ සංසිඳුවා ගන්න "

" මම සීයේ , පුස්කොල පොතක තිබිලා ඔය ගැන කියවලා බැලුවා දවසක් . ඒත් මන්තරවත් පාඩම් කලේ නෑ . මොකද ඕවා ඉතින් අද කාලෙට වලංගුද කියලා හිතුනා මට "

" එහෙම කියන්න එපා පුතේ . සාත්තරේ හැමදේම දැනගෙන ඉන්න එක තමයි වටින්නේ . එහෙම කෙනෙක්ට තමයි මේ සාත්තරේ ඉහලටම ගිහින් මිනිස්සුන්ට උදවු කරන්න පුළුවන් වෙන්නේ "

" ඔය වලව්ව කොහෙද සීයේ තියෙන්නේ "

" රත්නපුරේ පැත්තේ තමයි . මමත් හරියටම දන්නේ නෑ . පෙරේදා ඒ වලව්වේ අලි බලන කෙනෙක් තමයි පණිවිඩේ අරගෙන ආවේ . වලව්වේ ඉන්න අලිබලාගන්න අයගෙන් ප්‍රධානියා වෙන්න ඕන ඒ ආවේ . මට කතාවෙන් තේරුනා එහෙම කෙනෙක් කියලා "

" ඉතින් සීයා දන්නේ නැත්නම් ඒ අලියා ඉන්න දිහාව , අපි කොහොමද එහාට යන්නේ "

" මම වැඩේට අවශ්‍ය කළමනා ටික කියලා කිව්වා දවස් දෙකකින් එන්න කියලා අපිව එහෙ එක්ක යන්න . වලව්වට යන පාර දන්නෙත් නැති නිසා එහෙන් කවුරු හරි ඇවිත් එක්ක යන එක තමයි හොඳ කියලා මම හිතුවා "

" ඒක හොඳයි . අපිට සමන් දේවාලේ වඳින්නත් යන්න පුළුවන් , මම සමන් දේවාලේ ගියේ තාත්තත් එක්ක ගොඩක් ඉස්සර "

" ඒක නම් පුතේ මටත් හිතුනා . අපි හැමදාම දෙවියන්ට පිං දුන්නට මොකද මටත් සමන් දේවාලේ යන්න උවමනාව ලොකුවටම තියෙනවා මමත් කාලෙකින් ගියේ නැති නිසා "

සීයා සමග කතාව අවසන් වී මම නැවත මාගේ කාමරය වෙත පැමිණ දොරගුළුලාගතිමි . ඇඳෙහි හාන්සි වූ මම දිනෙන් දින අපට කිරීමට හමුවන මෙවන් අසාමාන්‍ය භූත බලවේග මගින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳව තනියමම මෙනෙහි කරන්නට වීමි . වරෙක මෙම භූත ආත්ම හෝ යක්ෂ ආත්ම මිනිසුන්ට හදි කරනු ලබයි . නැතිනම් මිනිසුන් ඔවුන් ලවා තවත් පුද්ගලියින් වෙත අවැඩක් සිදු කරනු ලබයි . සීයා වැනි පිරිස් මෙම අසාමාන්‍ය බලවේග සමග හරි හරියට හැප්පී අහිංසක ජීවිත බේරාගනු ලබයි . මෙය චක්‍රයක් වැනිය . නැවතීමක් නැත .

කාමරයේ බිත්තියේ ඇණයක එල්ලා ඇති මාගේ ගජමදාරා සුරය එවිට මට දිස් විය . " ගජමදාරා " යනු සතුන් මෙන්ම මනුෂ්‍යයින් පවා මෙල්ල කිරීමට සමත් , මහා බලසම්පන්න ශාකයකි . ගජමදාරා ගස් කිසිදීනෙක මා දෑසින් දැක නැත . නමුත් අප සතුව ගජමදාරා ලී කැබලි කීපයක් තවමත් සුරක්ෂිතව පවතී . මම ඇඳෙන් බැස බිත්තිය අසලට ගොස් ගජමදාරා සුරය අතට ගත්තෙමි . එහි කොටියෙකුගේ දතක්ද එල්ලා ඇත . එය එල්ලන ලද්දේ පසු කාලීනවය . නමුත් ගජමදාරා කැබැල්ල කලින් සිටම පැවතිනි . මම ගජමදාරා කැබැල්ල රැගෙන කාමරයෙන් පිටවී සීයා අසලට නැවත ගියෙමි .


" සීයේ , මේ මදාරා සුරය "

" ඔව් ඉතින් "

" මදාරා වලට බැරිද අලි ඇත්තු මෙල්ල කරන්න . මම අහලා තියෙන්නේ මදාරා ගහක් යටින් අලියෙක් බැරිවෙලාවත් යන්නේ නෑ කියලා . ඉතින් මේ අසනීප අලියා මෙල්ල කරන්න ගජ මදාරා වලට බැරි වෙයිද "

" මට තාම මුකුත් ඒ ගැන කියන්න බෑ පුතේ . අපි ගිහින්ම බලමු . පුතා කෝකටත් ඕක බෙල්ලේ ගැටගහගන්න . මම හිතන්නේ ඕකත් අපිට ඕනා උනොත් ප්‍රයෝජනේට ගන්න පුළුවන් "

" ගජමදාරා සුරය රැගෙන මම නැවතත් කාමරයට වන්නෙමි "

මෙම ගජමදාරා කැබලි ලැබීම සිදු වූයේ මා කුඩා අවධියේදීය . එය දෙවියන් විසින් අපවෙත ලබා දුන්නා වැනි දෙයක් යැයි මම විශ්වාස කරමි . දිනක් අප නිවසේ නවාතැන් ගැනීමට ඈත ගමක උපාසක මහත්මයෙකු පැමිණියේය . හෙතෙම ඉතාම ශීලවන්ත කෙනෙක් බව කතාවෙන්ම අපට වැටහිණි . ඒ වනවිට මම ගුරුකම් පිළිබඳව කිසිවක් නොකළ කාලයක් විය . එහෙත් සීයා පවා එම උපාසක මහතා පිළිබඳව පැහැදුන හෙයින් ඔහුට අප නිවසේ එදින රාත්‍රියේ නවාතැන් ගැනීමට හැකිවිය .

ඔහු කතරගම දෙවියන් වැඳ පුදා ගැනීම සඳහා කැබලිත්ත මහ සියඹලාව වෙත ගොස් නැවත එන අතරතුරේ රෑබෝ වීම නිසා නවාතැන් ගැනීමට තැනක් සොයන අවස්ථාවේ ගමේ කෙනෙකු ඔහුව අප වලව්ව වෙත කැඳවාගෙන ආවේය . එසේ කැඳවාගෙන ආවේ එවැනි පුද්ගලයෙකුට නවාතැන් දීමට ගැළපෙන වෙනත් ස්ථානයක් ගමේ නොතිබුණු හෙයිනි . ඔහුට අප ඉතා සුහදව සංග්‍රහ සත්කාර කල අතර පසුවදා උදේ හෙතෙම නැවත පිටත්ව යාමට සූදානම් විය .


" ගුරුන්නාන්සේ මට මේ කරපු උදව් උපකාර වෙනුවෙන් මම ඉතින් මොනවා කියලා දෙන්නද . කැබලිත්තට යන අතර වාරයේ අලි අත්තුන්ගෙන් උපද්‍රව වෙයි කියලා මම ගජමදාරා සුරයක් ගැටගහගෙන ආවේ . මට කරපු උපකාර වෙනුවෙන් මම එහෙනම් ගුරුන්නාන්සේට මගේ මේ මදාරා සුරය පඬුරක් විදියට දෙන්නම් . තරහා වෙන්න කාරී නෑ . මට මේ කරපු උදව්ව මායිම් කරන්න බෑ මේ දෙයින් , ඒත් මට දෙන්න තියෙන්නේ ඕක තමයි . තරහා නැතුව මේක ගත්තනම් "

යයි කියමින් ඔහුගේ බෙල්ලේ ගැටගසාගෙන සිටි ගජමදාරා සුරය ගලවා සීයා අතේ තැබීය . ඔහු ඉතාම නිර්ලෝභීව එය ලබාදුන් නිසාවෙන්දෝ සීයා එය ප්‍රතික්ෂේප කළේය .

" නෑ නෑ උපාසක මහත්තයා මේ දේවල් මොකටද . මේක මේ සුළු උපකාරයක් නෙව . ඕනා වෙන්නේ නෑ තෑගී බෝග . ආයෙත් කැබලිත්ත වඳින්න යන වෙලාවට එන්නකෝ මේ පැත්තේ නැවතිලා ඉඳලා නිස්කලංකේ යන්න "





" ඒ උනාට ගුරුන්නාන්සේ මම හිත සතුටෙන් දෙන දේ නිසා ඔන්න මේක ගන්න . මම හිටවලා තියෙනවා අපේ ගෙදර ගජමදාරා ගහක් . ඒ නිසා මට ආයෙත් එකක් හදාගන්න පුළුවන් . මේක තියාගන්න "

කියමින් හෙතෙම නැවතත් ගජමදාරා සුරය සීයා අතේ තැබීය . මෙන්න මේ ආකාරයට වලව්වට ආ ගජමදාරා සුරයේ වූ විශාල ගජමදාරා කැබැල්ල කුඩා කැබලි හතරකට කපා රත්තරන් කොපු දමා නැවතත් සාදවා එකක් මගේ කරේ එල්ලන ලද්දේ සීයා විසිනි .

තව දින දෙකින් එළඹෙන්නේ ගජමදාරා කැබැල්ලේ ඇත්ත නැත්ත පරීක්ෂා කිරීමට කදිම අවස්ථාවක් බව මට සිහි විය . කුමන හෝ අවස්තාවකදී ගජමදාරා කැබල්ලද උවමනා වේ යයි සිතමින් මා සුරය කරේ ගැටගහ ගත්තෙමි . දිනෙන් දින ගෙවීයත්ම රත්නපුරය බලා ගමන් කිරීමේ කාර්යය නොදැනීම උදාවිය . මනාව සකසන ලද බක්කි කරත්තයක් අපගේ වලව්ව ඉදිරියේ නවතන ලදී . එයින් බැස ආවේ තරමක රෞද්‍ර පෙනුමක් සහිත පුද්ගලයෙකි .

" අරනෝලිස් ගුරුන්නාන්සේ "

" කවුරු ආවා කියලද කියන්න ඕන , සීයා ඉන්නවා "

" කියන්න රත්නපුරෙන් ඇවිත් ඉන්නවා කියලා උන්නැහේව එක්ක යන්න "

එවිට සීයා නිවසින් පිටතට පැමිණ පැමිණි පුද්ගලයා සමග සිනහවිය . නමුත් ඔහුගේ මුවේ කිසිඳු සිනහ පොදක් නොවීය . මේ නිසැකවම කලින් ආ අලිබලන්නා විය යුතුය . අලි බලන්නන් ඉතාම නපුරු පුද්ගලයින් බව මා කලින් අසා තිබේ . නමුත් එය හැබැහින් අත්විඳීමට ලැබුණේ මෙම පුද්ගලයා සමග කතාකල වචන දෙකතුනෙන් ය . බිඳකුදු හෝ තෙතමනයක් සහිත වචනයක් ඔහුගේ මුවින් නික්මුනේ නැත .





සීයා සහ මම අවශ්‍ය දේවල් රැගෙන කරත්තයට නැග්ගෙමු . කරත්තය වේගයෙන් ගමන් කරන්නට විය . කරත්තයේ බැඳ සිටි ගොනාට පහර පිට පහර වදින්නට විය .

" මෙච්චර වේගෙන් මොකද , අපි හෙමිහිට යමු . මේ සතාටත් අමාරු ඇතිනේ " සීයා පැවසීය .

" ගුරුන්නාන්සේ දන්නේ නෑ නෙව . මේ සතාට මේවා පුරුදුයි . අපි ඉක්මනට ගියේ නැත්නම් රෑබෝ වෙලා අපිට අද රත්නපුරේට යාගන්න වෙන්නේ නෑ "

අලි බලන්නා තම ගොරෝසු හඬින් පැවසීය . එය සැබෑවක් විය යුතුය . රත්නපුරයට අප සිටිනා ගමේ සිට සැලකියයුතු දුරක් පවතී . එබැවින් ඉක්මනින් නොගියහොත් ප්‍රමාද වී රෑබෝ වීමට පුළුවන .

රාත්‍රී වනවිට අපට රත්නපුරයට ළඟාවීමට හැකිවිය . කළුගඟ හරහා දමා ඇති පාරු පාළම මගින් අප ගඟෙන් එගොඩවිය . අප ඉන් පසුව ගමන් කරන ලද්දේ පොත්ගුල් රජමහා විහාරය වෙත ගමන් කරන මාවතේය . එම මාවතේද තරමක් දුර ගමන් කරනවිට පූර්වෝක්ත වලව්ව වෙත ළඟාවීමට හැකි විය .

" එන්න ගුරුන්නාන්සේ "

කියමින් බොහොම සුහදශීලී ලෙස නමුත් ගාම්භීර හඬින් යම් පුද්ගලයෙකු පැමිණ අප පිළිගන්නා ලදී . ඔහු මේ වලව්වේ ප්‍රධානියා විය යුතුයයි මම නිගමනය කලෙමි . එය නිවැරදිය . හෙතෙම එම වලව්වේ ප්‍රධානියාය . සීයා ඔහුට මා කවුද කියා හඳුන්වාදී පසුව අලියා ගැන විමසීය .

" අපිට කියන්න අමාරුයි ගුරුන්නාන්සේ මේ අලියට මොනවා උනාද කියලා . හොඳට හිටියා . දැන් වයස අවුරුදු තිහක් විතර වෙනවා . මද කිපෙන කාලෙට වියරු වැටුනට මද කාලේ අවසාන උනාම ළමයෙක් වගේ හරිම හීලා වෙනවා . දැන් මද කිපෙන කාලේ ඉවරවෙලා මාස දෙකක් විතර වෙනවා . ඒත් තාම මෙයා සන්සුන් වෙලා නෑ . දැන් වෙනදා තරම් කන්නෙත් නෑ . කෑගගහා ඉන්නවා . කාටවත් කිට්ටුවෙන්න දෙන්නෙත් නෑ . අපිට මෙයාට කන්න බොන්න දෙන්න ගොඩක් මහන්සි වෙන්න වෙලා තියෙනවා . අලියා සනීප කරගන්න බැරි උනොත් මම අලියා මරන්න තමයි හිතාගෙන ඉන්නේ . මෙහෙම විඳව විඳව ඉන්නවට වඩා ඒක සැපයි "

" හා හා මේ මහත්තුරු ඒවාට ඉක්මන් වෙන්න හොඳ නෑ . අපි බලමු සතාව සනීප කරගන්න පුළුවන් විදියක් ගැන . මන්තරවලින් අලි ඇත්තු සනීප කරන විදි තියෙනවා . අපිට අදම නම් අලියව බලන්න බැහැ . මට හෙට සමන් දේවාලෙට යන්න ඕන . උදෙන්ම එහෙ ගිහින් ඇවිත් තමයි මේ ගැන බලන්න ඕන "

" හොඳයි ගුරුන්නාන්සේ මම ඒකට කටයුතු සූදානම් කරන්නම් . තේගිරිස්.......  මේ ගුරුන්නාන්සේලව සූදානම් කරපු කාමරේට එක්ක යන්න . ගිහින් එයාලට කන්න බොන්න උවමනා කරන දේවල් ගැන බලන්න . උඹ මේ ඇත්තන්ට මොකවත් අඩුවක් එහෙම කරන්නේ නෑ හොඳද . බොහොම පුරාණ පවුලකින් පවත එන උදවිය මෙයාලා "

සීයා ඉන් අනතුරුව මද සිනහවක් පා මාත් කැටිව තේගිරිස් සමග අපට සූදානම් කර තිබුණු කාමරයට පිය මැන්නහ .

පසු දින එලිය වැටෙත්ම සීයාත් මමත් කරත්තයකින් සමන් දේවාලය වෙත පිටත් කිරීමට වලව්වේ ප්‍රධානියා ක්‍රියා කළේය . සමන් දේවාලයේ වාහල්කඩ අසලින් බැහැගත් සීයාත් මමත් දේවාලයට පියමැන්නෙමු .

" හරිම නිස්කලංක තැනක් නේද සීයේ "

" ඒවගේම තමයි සිව වටුක කියන රාක්ෂයෝ දෙන්නත් ඉන්න තැනක් මේක . ඒ නිසා පුතේ මේ දේවාලය බොහොම බලගතු තැනක් . නාග ගෝත්‍රයේ නායකයෙක් තමයි මේ සමන් දෙවියන් . ඒ නිසා බොහොම බලසම්පන්නයි . සෝවාන් ඵලයට පත්වෙලා වැඩ ඉන්න නිසා පිං කරන අයට ආශිර්වාද කරනවා උන්වහන්සේ "
දේවාලයේ යාතිකාවට සහභාගී වූ සීයාත් මමත නැවතත් අප ආ රාජකාරිය ඉෂ්ට කිරීම සඳහා වලව්ව වෙත පැමිණියෙමු . සීයා කෙලින්ම ගියේ අලි ගාල වෙතටය . මෙය පුදුම අලිගාලකි . අලින් හතරදෙනෙක් සහ ඇතුන් දෙදෙනෙකු මෙම ගාලේ ගාල් කර සිටියහ . අසනීප අලියා එහි නොවීය . පසුව අපි ඒ පිළිබඳව අලි බලන්නෙකුගෙන් විමසුවෙමු .

" ඒ අලියා ඉන්නේ පහල . මද කිපෙන කාලෙට ඒ සත්තුන්ව අපි කොහොමත් අලි ගාලෙන් අයින් කරලා වෙනත් තැනක බඳිනවා . නැත්නම් අනිත් සත්තුත් එක්ක ආරවුල් ඇතිකරගන්න යනවා මේ අය . මෙහෙන් ආවනම් මම එක්ක යන්න ඒ සතා ගාවට "

වත්ත පහල වෙනමම තැනක එම අලියා ගැටගසා තිබිණි . හෙතෙම එක විදියකට ඉන්නේම නැති බවක් ඈත සිටම අපි දුටුවෙමු . සීයා අතට වැලි අහුරක් ගත්තේය .....

..... නමෝ හර්නීලා ගුරුලා ගුලදී හෙන දේවතාවා වර වර දහර දහර දහානි දහානි තෝගුන් තෝඟුන් ඉගිල ඉගිල වර වර ප්‍රතාදේ ගිනි ගිනි දෙදරාඩි පිල්ලි දෙස් කට්ටු හර හර දෙදරාඩි අල්ලං කිඩ දහරේ වර වර අද්දද් දහරේ ධඃ.........

යයි මතුරමින් අලියා අසලට කිට්ටුවත්ම වැලි අහුරා අලියා දෙසට වීසි කළේය . වැලි අහුර වදිත්ම අලියා මහා හඬින් ගුගුරා අසල වූ කිතුල් පොල්ලක් හොඩයෙන් ගෙන සීයා දෙසට වීසි කළේය . සීයා එකවරම බිමට පහත් වී තම මුහුණ වෙතට එන කිතුල් පොල්ල මගහරින ලදී . නැවත නැවත සීයා විසින් අලියාට මන්තර මතුරමින් වැලි ඉසින ලදී . එහෙත් අලියාගේ වෙනසක් නොවීය . දැන් ටිකෙන් ටික සීයාගේ දෑස් රතු වේගෙන එන බවක් මට පෙනිණි . සීයාද වියරුවටෙන්නේ මෙවැනි අසීරු අවස්ථා වලදීය . සීයා එකවරම අප අසල සිටි අලි බලන්නා වෙත හැරී ,

" ගිහින් එක්ක වරෙන් මෙතන අලි බලන උන්ගේ මහ එකා " යැයි සැරෙන් හඬ නැගීය . මන්තරත් සමග ඇඟට එන දිෂ්ටිය හමුවේ සීයා මෙසේ ගුගුරන්නට ඇත . ඒ හඬට අලි බලන්නා මදක් බිය වූ බවක් පෙනිණි . හෙතෙම අතෙහි වූ හෙන්ඩුවද බිම දමා වලව්වේ අලිගාල වෙත දිව ගියේය . එසැනින් ඔහු නැවත පැමිණියේ සීයා සා මා කැඳවාගෙන යාමට අපගේ වලව්වට පැමිණි ප්‍රධාන අලි බලන්නාද කැටිවය .

" උඹ දන්නවද අලින්ගේ සිහි නැති කරන්න පුළුවන් නිලයක් "

" ඔවු නිලයක් නම් තියෙනවා................... "

" එහෙනම් ගනින් හෙන්ඩුව . අරගෙන ඇනපන් ඕකට සිහි නැති වෙන්න . මුන්දා මෙල්ල වෙන්නේ නෑ මගේ මන්තරේට . මට මුන්දා ගාවට කිට්ට්ටු වෙන්න වෙන විදියක් නෑ "

සීයාගේ සෘජු හඬත් සමගම වහා ක්‍රියාත්මක වූ ප්‍රධාන අලි බලන්නා හෙන්ඩුව අතට ගෙන මදක් වෙලා අලියා දෙස බලා හිඳ විදුලි වේගයෙන් දිව ගොස් නිලය කේන්ද්‍ර කොට තම හෙන්ඩුව දමා ගැසීය . හෙන්ඩුව අලියාගේ සමෙහි වදිනවාත් සමගම අලි බලන්නා පිටුපසට පැන්නේය .







හෙන්ඩුවේ සියුම් තුඩ අලියාගේ සම හරහා විනිවිද ගියේය . විනාඩියක් පමණ යනවාත් සමගම අලියාගේ දැඟලිල්ල අඩුවී ගියේය . තවත් මිනිත්තු කීපයක් නිසොල්මනේ සිටි අලියා පෙරේතයා පොලවේ ගහන්නහේ බිමට පතිත විය . මේවනවිට සීයාගේ කේන්ති ස්වභාවය පහවී ගොස් තිබිණි . සීයා ටිකෙන් ටික අලියා අසලට කිට්ටු විය . එසේ කිට්ටුවී අලියාගේ ඇසක් විවෘත කර ඇස පරීක්ෂා කළේය .

" මට පේන හැටියට අලියගේ ජීවිතේ ගන්න යක්ෂ බැල්ම වැටිලා තියෙන්නේ . මේ යකා එලවන්න මෙහෙම බෑ . ගුරුකමක් තියෙනවා . ඒත් ඒක කරන්න ඇත් සොහොනක් හොයාගෙන ගිහින් ඇත් සොහොනෙන් යක්ෂ දිශ්ටියක් බන්ධනය කරගෙන එන්න ඕන . මොකද කරන්නේ . යමු වලව්වට මේ ගැන කතා කරගන්න "

සීයා නැවත වලව්වට පැමිණ වලව්වේ ප්‍රධානියා සමග මේ පිළිබඳව වැඩිදුර සාකච්චා කළේය . පසුව ඇත් සොහොනක් සොයා යාමට තීරණය කළේය . නමුත් ඇත් සොහොනක් තිබෙන්නේ කුමන ප්‍රදේශයකද කියා අපට වැටහීමක් තිබුණේ නැත . වලව්වේ ප්‍රධාන අලි බලන්නා ඇත් සොහොනක් පිළිබඳව දන්නා බව පැවසීම නිසා එම මොහොතේ අපට සතුටට පත් වීමට හැකි විය .

ඇත් සොහොන පිහිටා තිබුණේ ශ්‍රීපාද කන්දේ මහා ඝන කැලයේය . එබැවින් ඇත්සොහොන සොයා යෑම තවත් වික්‍රමයක ආරම්භයක් විය .





                                                     ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


                    .....දෙවැනි කොටසින් හමුවෙමු...




මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19 වන සියවස මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි. ( ...