වැරදි නැකතකින් විවෘතකළ සිංහල ජාතියේ මළගම ( ශ්‍රී ලංකා නව පාර්ලිමේන්තුව විවෘත කිරීමේ නැකත පිලිබඳ )



දැන් ගතවෙන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉතාම තීරණාත්මක කාල වකවානුවක් . ලංකාවේ මූලාසනය කාටද හිමි වෙන්නේ කියලා ඒ පැත්තත් මේ පැත්තත් බල බල ඉන්න වෙලා තියෙන කාලයක් තමයි තියෙන්නේ . දේශපාලන වශයෙන් පෞද්ගලික මතයක් තිබුණට ජ්‍යෝතිෂ විෂය හරහා දේශපාලන මතයක් තහවුරු කරන්න මම උත්සාහ කරන්නේ නැහැ . 

ජ්‍යෝතිෂ විද්‍යාව කියලා කියන්නේ ඇත්තටම පොල් කඩන මිනිහාගේ ඉඳලා රජපුටුව දක්වා හැම දෙනාටම පොදු විෂයක් . ඒ නිසා ජ්‍යෝතිෂ වේදියෙක් විදියට නිල් පාට රතු පාට කොළ පාට කහ පාට මොන පාටක කෙනෙක් ආවත් කේන්දරේ බලලා අපල තියෙනවා නම් ඒවාට මොකද කරන්නේ කියලා කියල දෙන එක තමයි ජ්‍යෝතිෂ වේදියෙක් ගේ වගකීම වෙන්නේ . හැබැයි රට වලට යනවා නම් ඒ වෙනුවෙන් යමක් කරන්නත් ජ්‍යෝතිෂ වේදියෙක් අපක්ෂපාතීව කටයුතු කරන එක වැදගත් . 

දැනට කාලයක් තිස්සේ කේන්දර බලලා බලලා මිනිස්සු අහන ප්‍රශ්න කීපයක් තියෙනවා හැමදාම අහන ඒවා . විවාහය , රැකියාව , මුදල් ලාභ . මේ ඔක්කොම අහලා අන්තිමට අහනවා මට විදේශගත වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා . විදේශගත වෙලා ඉන්න අය අහන්නේ මගේ වීසා එක දීර්ඝ කරගන්න පුළුවන් වෙයිද කියලා . වීසා දීර්ඝ කරගන්න අය අහන්නේ මට PR හදාගන්න පුළුවන් ද කියලා . ඇයි මෙහෙම වුණේ ? .


විනාඩියක් අරගෙන මේ ගීතය අහන්න . 


තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්…
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්…


සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්…
සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්…


අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්...
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්...


පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - රෝහණ වීරසිංහ.
ගායනය - නන්දා මාලනී 




මේ ගීතය එදාට වඩා අදට තමයි ගැළපෙන්නේ . හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ . ඒ නිසා බහුතරයක් සිංහ පැටවූ රට අත්හැර යන්න සූදානම් වෙලා ඉන්නේ . කොහොම වුණත් සිංහ පැටවුන්ට මෙහෙම පැනලා යන්න හරි වලිගය හංගාගෙන ඉන්න හරි වෙලා තියෙන්නේ ඇයි කියලා කල්පනා කරනකොට මේ හේතුවක් වෙන්න පුළුවන් කියලා හිතලා තමයි මම නව පාර්ලිමේන්තුව ගැන විස්තර හොයන්න පටන් ගත්තේ . කාලයක් තිස්සේ හොයාගත්ත විස්තර අනුවත් ජ්‍යෝතිෂ ගැන තියෙන යම් තරමක හරි දැණුමත් එක්කත් බලනකොට සිංහලයාට මොකද වෙන්නේ කියලා හිතන්න පුළුවන් සාධාරණ හේතුවක් තමයි මම මේ විස්තර කරන්නේ . 

ලංකාවට නිදහස ලැබුණට පස්සේ ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ ලංකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විදියට පාවිච්චි කරේ ගෝල්ෆේස්වල පිහිටලා තියෙන පරණ පාර්ලිමේන්තුව . අමාත්‍යවරු ගණන වැඩි වීමත් සහ වෙනත් පරිපාලන සේවාවන් වලට ඉඩ කඩ මදි වීමත් එක්කම නව පාර්ලිමේන්තු ගොඩ නැගිල්ලක අවශ්‍යතාවයක් පැන නැගුනා . ඊට පස්සේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න එවකට සිටි පාලනය විසින් තීරණය කළා .

පාර්ලිමේන්තුව හදන්න තීරණය කරේ කොට්ටේ රාජධානිය පැවතුනු යුගයේ කොට්ටේ ප්‍රදේශයේ ජය භූමියක් විදියට නිශ්ශංක අලගක්කෝනාර කියන ඇමති වරයා විසින් තමන්ගේ බල මූලස්ථානය පිහිටවලා තිබුණු ස්ථානයේ . පාර්ලිමේන්තුව තියෙන තැනට මිනිස්සු අද බෝම්බ දාන්න ඕන කිය කිය fb පෝස්ට් හදලා දැම්මට , ඇත්තටම මේක ශ්‍රී ලංකාවේ රාජකීයත්වය සනාථ කරන්න උදවු වුණු ස්ථානයක් . ඒ නිසා ඒ ස්ථානයේ ඓතිහාසික වටිනාකමක් තියෙනවා .

3වෙනි වික්‍රමභාහු රජතුමාගේ කාලේ රයිගම ප්‍රදේශයේ තමයි මේ නිශ්ශංක අලගක්කෝනාර කියන ප්‍රභූවරයා ජීවත් වුණේ . රජතුමාගේ සහෝදරියක් විවාහ කරගෙන හිටපු නිසා මෙතුමාට රාජකීය සම්බන්ධයක් තිබුණා . මේ කාලයේදී උතුර ආශ්‍රිත ප්‍රදේශවල ආර්යචක්‍රවර්ති කියල ප්‍රභූ වරයෙක් තමන්ගේ බලය විහිදුවමින් ජීවත් වෙලා තියෙනවා . ආර්යචක්‍රවර්ති රටේ වරායවල්වල බදු එකතුකිරීම කරපු නිසා රජතුමාට ලැබෙන ආදායම් අඩු වුණා . ආර්යචක්‍රවර්ති මේ වෙනකොට කෝට්ටේ ප්‍රදේශයටත් එන්න සූදානම තිබිලා තියෙනවා බදු එකතු කරන්න .

ඊට පස්සේ මේ නිශ්ශංක අලගක්කෝනාර කියන ප්‍රභූවරයා මේ දියවන්නාව ප්‍රදේශයේ දැනට පාර්ලිමේන්තුව පිහිටලා තියෙන ස්ථානයේ බලකොටුවක් සහ මාලිගාවක් නිර්මාණය කරලා මුලින්ම ඒ තුලට ආහාර සහ ආරක්ෂක උපකරණ එකතු කරලා ආර්යචක්‍රවර්තිගේ බදු එකතුකරන්නන්ට පහර දෙනවා . ඊට පස්සේ ආර්යචක්‍රවර්තී විසින් නැවතත් පහර දීම් සිදුකරනවා . අන්තිමට ද්‍රවිඩයන් විසින් නැවු වලින් ඇවිත් පහර දෙන්නත් සූදානම් වෙනකොට අලගක්කෝනාර විසින් පහර දීලා ද්‍රවිඩයන් ලංකාවෙන් පන්නා දමනවා . මේ නිසා ලංකාව නැවතත් එක්සේසත් කරන්න හැකියාව ලැබෙනවා .

මාතලේ ප්‍රදේශයේ ආර්යචක්‍රවර්තීන් විසින් කඳවුරු බැඳගත් නිසා ගම්පොළ හිටපු රජතුමා කොට්ටේ පිහිටි අලගක්කොනාරගේ මාළිගාවට , එහෙමත් නැත්නම් බලකොටුවට පසුබසිනවා . සිංහල සේනාව පස්සේ මේ මාතලේ හිටපු ආර්යචක්‍රවර්තී සේනාව එලවා දමනවා . අවසානයේ රයිගම ප්‍රදේශයේ පාලනය අලගක්කෝනාර විසින් කරගෙන යනවා . මේ අනුව තමයි දැනට පාර්ලිමේන්තුව පිහිටලා තියෙන භූමිය ඓතිහාසික භූමියක් බවට පත්වෙන්නේ .

සිංහලයා ආරක්ෂා වුණේ මේ ස්ථානයේ නිසා පාර්ලිමේන්තුව මේ ස්ථානයේ නිර්මාණය කරන්න තීරණය කරනවා . වටෙන්ම දියවන්නා ඔයෙන් වටවෙලා තියෙන නිසා මෙතන ආරක්ෂාව වුණත් හොඳ මට්ටමක තියෙනවා . අලගක්කෝනාරටත් ඒ ස්ථානය තමන්ගේ පරිපාලන කටයුතු වලට වාසිදායක වුණා වගේ ලංකාවේ පසුකාලීන පාලනයත් පාලන ස්ථානයේ ආරක්ෂාව ගැන හිතලා ඒ ස්ථානය තෝරාගන්න ඇති කියලා සාධාරණ නිගමනයකට එන්න පුළුවන් .

එවකට අගමැතිව හිටපු රණසිංහ ප්‍රේමදාස මහත්මයා තමයි පාර්ලිමේන්තුව හදන්න අනුමැතිය ලබාදෙන්නේ . ඒ 1979 07 04 වෙනිදා . සෙනසුරු ග්‍රහයා සතුරු තත්වයේ පවතින කාලවකවාණුවක තමයි මේ පාර්ලිමේන්තු සංකීර්ණය හදන්න අනුමැතිය ලබාදෙන්නේ . රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ කේන්දරේ සෙනසුරු සම්බන්ධ විශේෂ පිහිටීමක් තියෙනවා . එහෙම වෙලා තිබුණත් , ජ්‍යෝතිෂ විෂය සම්බන්ධව ප්‍රමාණිකව දැනගෙන හිටියා වුණත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුව නිර්මාණය කිරීමේ කටයුත්ත වෙනුවෙන් සෙනසුරු ග්‍රහයා සතුරු වේලාවකදී අත තියනවා .

මහින්ද රාජපක්ෂ මහත්මයාත් ජනාධිපති වෙලා ඉඳලා ගෙදර යන තැනට වැඩ සිද්ධ කරගන්නේ සෙනසුරු ග්‍රහයා සතුරු වෙලා ඉන්න කාලයක . මේ නිසා සෙනසුරු ග්‍රහයා රාජ්‍ය පාලනයේ විශේෂ තැනක් හිමිකරගන්නවා . පොලවට අධිපති වීමත් සස යෝගය හරහා මහජන බලය ලබාදීම කියන කටයුත්තත් හිමි නිසා සෙනසුරු හැසිරෙන්නේ පාලකයින්ගේ පාලන කාර්යය ආරක්ෂා කරන්න . මේ නිසා රාජ්‍ය පාලනමය කටයුත්තක් කරනකොට සෙනසුරුගේ පිහිටීම ගැන සැලකිලිමත් වීම වැදගත් වෙනවා . සෙනසුරු අයිති විෂ්ණුට . මේ නිසා තමයි කවුරු කවුරුත් තිරුපති කෝවිලට බඩගාන්නේ බලය තහවුරු කරගන්න පිහිටක් ගන්න හිතාගෙන .

ප්‍රේමදාස මහත්මයා මෙන්න මේ විදියට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සඳහා අවසර ලබාදුන්නට පස්සේ කීර්තිමත් ගෘහනිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා විසින් තමයි පාර්ලිමේන්තුවේ ගෘහනිර්මාණ සැලසුම් කටයුතු කරන්නේ . ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භවෙලා ඉදිරියට කරගෙන යනවා . පාර්ලිමේන්තුව විවෘත කරන්නේ 1982 අප්‍රේල් 29 වැනිදා ලංකාවේ එවකට ජනාධිපති ධූරය දරපු JR ජයවර්ධන මහත්මයා විසින් .

82 අප්‍රේල් 29 වැනිදා ග්‍රහචාරය ගැන කල්පනා කරලා බලනකොට පාර්ලිමේන්තුවේ විවෘත කිරීමත් එක්ක මේ දක්වා ලංකාවට වෙච්ච දේවල් ගැනත් හිතලා බලනකොට ලංකාවේ විනාශය ආරම්භවීම ගැන අදහසක් ගන්න පුළුවන් .

මේ දවසේ අහසේ

රවි ග්‍රහයා උච්ච
චන්ද්‍ර ග්‍රහයා මිත්‍ර
කුජ ග්‍රහයා සතුරු
බුධ ග්‍රහයා මිත්‍ර
ගුරු ග්‍රහයා සතුරු
ශුක්‍ර ග්‍රහයා උච්ච
ශනි ග්‍රහයා මිත්‍ර
රාහු ග්‍රහයා මිත්‍ර
කේතු ග්‍රහයා මිත්‍ර

විදියට ග්‍රහයින් පිහිටනවා . මේ ග්‍රහ පිහිටීම්වල සියුම් කරුණු කාරණා සලකලා බැලුවත් කියවන බහුතරයකට තේරුම් ගන්න සතුරු මිත්‍ර ස්වරූප අනුව මේ දවස ගැන විස්තර කරනවා නම් රවි උච්ච වීම රජු උච්ච වීම විදියට සලකලා තියෙනවා .චන්ද්‍රයා මිත්‍ර වීම රජ බිසව මිත්‍ර තත්වයේ සිටීම සලකනවා . කුජ ග්‍රහයා , ඒ කියන්නේ ග්‍රහ මණ්ඩලයේ සෙන්පති ග්‍රහයා සතුරු වෙලා තමයි පිහිටන්නේ . බුධ ග්‍රහයා කියන්නේ රාජ කුමාරයා . රාජ කුමාරයා මිත්‍ර තත්වයේ තියෙනවා . ගුරු ග්‍රහයා කියනෙන් රාජ පුරෝහිත මන්ත්‍රී වරයා . ගුරු සතුරු අවස්ථාවේ පිහිටීම වෙනවා . සිකුරු කියන්නේ ග්‍රහ මණ්ඩලයේ මනමාලිය විදියට හඳුන්වන්නේ . සිකුරු උච්ච වෙලා බලවත්ව පිහිටනවා . සෙනසුරු රාහු කේතු තුන්දෙනාම මිත්‍ර වීම වෙලා තියෙනවා .

කුජ ග්‍රහයා සතුරු වීම මේ විවෘත කිරීමට තදබල විදියට අහිතකර විදියට බලපාලා තියෙනවා . කුජ කියන්නේ යුද්ධයට අධිපති ග්‍රහයා . කුජ ග්‍රහයා ග්‍රහ මණ්ඩලයේ සෙන්පති ග්‍රහයා විදියට තමයි සලකන්නේ . ඒවගේම කුජ ග්‍රහයා ගින්දරට අධිපති විදියට හඳුන්වනවා . කුජ ග්‍රහයා සතුරු වීම නිසා සටන්කාමී තත්වය වර්ධනය වීමක් වෙනවා . රවි ග්‍රහයා උච්ච වීමත් ගුරු ග්‍රහයා සතුරු වීමත් සිකුරු උච්ච් වීමත් නිසා බහුශෘත භාවය අඩු පාලන බලය වැඩි සැප විඳින්න කැමති අරුමෝසම් වැඩ වැඩි කෙනෙක් රජවීම සම්බන්ධව හිතන්න පුළුවන් .

මේ සියල්ලටම වඩා අහිතකර තත්වය තමයි සෙනසුරු ග්‍රහයා සහ කුජ ග්‍රහයා එකම භාවයක තැම්පත් වී තිබීම . ග්‍රහයින්ගේ දුරස් වීම සම්බන්ධව සලකලා බැලුවත් ග්‍රහයින්ගේ භාවය තුල පිහිටන ස්ථානය ගැන හිතලා බැලුවත් මේ වෙලාව පාලන කටයුත්තක් ආරම්භ කරන්න හොඳ නැහැ . කුජ විසින් සෙනසුරුට බලපෑම් වෙනවා . ඒ කියන්නේ ගින්දර හමුදා කටයුතු යුද්ධ කටයුතු විනාශකාරී පිපිරීම් වගේ දේවල් වලින් මහජනතාව පීඩනයට පත්වෙනවා කියන එක .

තවත් මාස ගණන හෝ අවුරුද්දක් වත් මේ විවෘත කිරීම පහු කරලා ගුරු කුජ දෙන්නා හොඳ තැනකට ආවට පස්සේ හෝ , සෙනසුරු ග්‍රහයා බලවත් වුණාට පස්සේ හෝ මේ පාලන කේන්ද්‍රස්ථානය විවෘත කරා නම් මීට වඩා මහා ජාතියේ පැවැත්ම තහවුරු වෙන්න ඉඩ තිබුණා . මේවා පුහු තර්ක විතරයි කියලා හිතන අය පොඩ්ඩක් හිතලා බලන්න අනුර නැකතෙන් අනුරාධපුරයත් රෙහෙණ නැකතෙන් රෝහණයත් නිර්මාණය කරපු මිනිස්සු කොච්චර කාලයක් තමන්ගේ පාලන කේන්ද්‍රස්ථානය ආරක්ෂාකරගෙන මිනිස්සුන්ගේ පැවැත්මත් සනාථ කරගෙන ජීවත් වුනාද කියලා . 82 ඉඳලා අද වෙනකොට අවුරුදු කීයද ගතවෙලා තියෙන්නේ . 80 වගේ ඉඳලා ආරම්භ වෙච්ච කැරලි 83 වගේ කාලයක් වෙනකොට යුද්ධයක් දක්වා බලවත් වෙනවා . ඒ නිසා කොච්චර පිපිරීම් , ගිණි ගැනීම , ජීවිත හානි වුණාද ? . මේ වෙනකොටත් ලංකාවේ පරිපාලනය ගිණිගත්ත තත්වයක තමයි තියෙන්නේ .

කොහොම වුණත් ලංකාවට ලොකු කාලයක් නැහැ . සිංහල ජාතිය ආරක්ෂාවෙන තත්වයක් නැහැ . අඟහරුගේ සතුරු කිරණ සමතුලිත වෙච්ච වෙලාවක ආරම්භ කරපු කටයුත්ත තව තවත් සතුරු වෙනවා මිස මිතුරු වීමක් වෙන්නේ නැහැ . සිකුරු බලවත් වීම නිසා තාවකාලික සැපය වෙනුවෙන් වැඩ කරයි . පේනවනේ ඉන්න 225 ම විඳින සැප . පස්සේ පසුතැවෙන්නේ වෙයි හැබැයි හැම දෙනාටම .

ඒ නිසා තුන්හෙලේ කැලෑ තුල ඉන්න සිංහ පැටවුන්ටත් අපේ ධජයේ ඉන්නා සිංහ පැටවුන්ටත් රට අතර යන්න හිතෙන එක අරුමයක් නෙවෙයි .

අවසානයේ කියන්න තියෙන්නේ , මේ තත්වය තරමක් හරි වෙනස් කරන්න ඕන නම් පරිපාලනය නැවතත් රට මැදට නියම කාලයක අරගෙන එන්න ඕන . මේ වැරදි හදන්න තව අවුරුදු 5ක් තියෙනවා ඉදිරියට . මේ අවුරුදු 5 දී මොලේ කල්පනා කරලා වැඩ කරේ නැත්නම් ආයේ බලාපොරොත්තු තියාගන්න බැහැ .

කතරගම දෙවියන් වෙනුවෙන් නිසියාකාර වතාවත් කරන දේවාලයක් හෝ කෝවිලක් නිර්මාණය කරන්න ඕන . විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිසියාකාර වතාවක් සිදුකෙරෙන දේවාලයක් නිර්මාණය කරන්න ඕන . ඒවායේ හරියාකාර වත් පිළිවෙත් වලින් රට නැවතත් දෙවියන්ට ලබා දීලා රටේ පාලනය නිසියාකාරව කරගෙන යන්න බලය ලබාගන්න ඕන .

ඒ අනුව මගේ රට දෙවියන්ටම භාරයි කියලා මම මේ ලිපිය අවසන් කරනවා .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!




දැන් ගතවෙන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉතාම තීරණාත්මක කාල වකවානුවක් . ලංකාවේ මූලාසනය කාටද හිමි වෙන්නේ කියලා ඒ පැත්තත් මේ පැත්තත් බල බල ඉ...