මරු වසඟයට පෙළගැසෙමු






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.


පරපුරෙන් පරපුරට රැකගෙන ආ ගුරුකම උවද කලින් වූ උරුමකරුවන් කරනලද ගුරුකම් සියල්ලම සීයා විසින් භාවිතයට ගෙන නැත . ඊට හේතුව සමහර ගුරුකම් එක පරපුරක කෙනෙකුට මුළු ජීවිත කාලයටම කල හැක්කේ එක වරක් පමණක් වීමය . සමහර ඒවා අත්හදා බලන්නට සීයා ඉදිරිපත් වූයේද නැත . ඊට හේතුව මම නොදනිමි . හේතුව විමසන වාරයක් පාසා සීයා ඊට මද සිනහවක් පානවා මිස වෙනත් ප්‍රතිචාරයක් දක්වන්නේද නැත .

සීයා පිළිබඳ කීර්තිය අපේ ගමේ පමණක් නොව අහල පහල සෑම ගමක් පාසාම පැතිරී තිබුණේ සීයාගේ දස්කම් නිසා නොව ඔහුගේ වූ මනුස්සකම් නිසාවෙනි . ඒ හේතූන් කෙසේ වෙතත් සතියක පමණ වූ දීර්ග කාලයක් තුල සිදු කිරීමට නියමිත ප්‍රභල ගුරුකමක් සඳහා සීයාට ගමෙන් පිට යාමට සිදුවිය . වෙනදාට නම් සීයා මාව කැටුව නොගියද මෙවර මාද ඒ සඳහා සහභාගී කරවා ගැනීම මට මහත් අභිමානවත් හැගීමක් ඇති කරන්නට සමත් වීය .

" පුතේ අපි හෙට ගමෙන් පිට යනවා ; අල්ලපු ගමේ ගෙදරකට . ඒ ගමේ ගෙදරක මනුස්සයා මැරෙන්න ඔන්න මෙන්න වගේ තිබිලා මම ඇප නූල් බැඳලා ආවේ . ගුරුකම කරන්න හෙට යන්න ඕන . අපිට සතියක් විතර එහෙ නවතින්න වෙනවා . ඒ නිසා අඳින්න ඇඳුම් ටිකක් ලැස්ති කරගන්න . මතක ඇතුව පුතාට මම දීපු අර රතු පාට රෙදි පටියත් ගන්න . මේ ගුරුකම ටිකක් බරපතලයි . ඒ ලෙඩා මාරයාට කැප කරලා කරපු ගුරුකමක් නිසා තමයි ලෙඩ වෙලා තියෙන්නේ . ඒ නිසා මටත් මරු වසඟයට පෙළ ගැහෙන්න වෙයි "

" මරු වසඟයට ගන්න ? "





කියමින් මම දෑස් ලොකු කර සීයා දෙස බැලීමි . ඊට සීයා සිනහා උනා මිස වෙනත් කිසිවක් නොකියා කවියක් තොල් මතුරමින් කාමරයට ගියේය . සුපුරුදු පරිදි මම මරු වසඟය ගැන සෙවීමට පුස්කොල පොත් එකින් එක පෙරලන්නට වීමි . " මරු වසඟය මරු වසඟය මරු වසඟය " ලෙස මුමුනමින් මම පොත් පිටු එකිනෙක පෙරලීමි . අවසානයේ එය සොයාගත නොහැකිව මම පොත් පෙරලීම පසෙක තබා හෙට  දිනයේ යාමට තිබෙන ගමන සඳහා සූදානම් වීමි . සවස් වන විට සීයා පන්සලට ගොස් පිරිත් නූල් රැගෙන අවුත් නිවසේ සියලු දෙනාගේම අත්වල පිරිත් නූල් ගැට ගසන ලදී . වෙනදා සීයා මෙසේ නිවසේ අයගේ නූල් ගැට ගසන්නේ නැත .

මරු වසඟය ගැන සොයාගැනීමට නොහැකි වූ නිසා මම සීයා කරන සියලුම දේවල් ගැන විමසිල්ලෙන් සිටියෙමි . පිරිත් නූල් ගැටගසා අවසානයේ සීයා මහසෝනාට පහන් දල්වන ස්ථානය අසල ගොප් කොළ වලින් තවත් පහන් පැලක් සාදන්නට යැයි අපේ වලව්වේ කරත්ත කරුට කියා නැවතත් නිවසින් පිටව ගියේය . නැවතත් රාත්‍රියේ ඔහු නිවසට පැමිණියේ සුදු රෙදි කඩකින් ඔතාගත් යමක් අතැතිවය ,

" චුටි පුතේ මෙහාට එන්න " කියමින් සීයා මාව ගොප්කොල පහන් පැළ අසලට කැඳවීය . රෙදිකඩින් එතු ගෝලාකාර යම්දෙයක් මා අත තබා ;

" මම එනකන් ඕක අතේ තියාගෙනම ඉන්න ; ගෙට එන්න එපා " කියමින් සීයා ගෙට ඇතුළු විය .

සීයා එනවාදැයි වට පිට බලමින් මම රෙදි කඩින් ඔතා ඇත්තේ කුමක්දැයි විපරම් කලෙමි . එය මිනී හිස් කබලකි . මොහොතකින් සීයා නිවසේ සියලු දෙනාම පහන් පැළ අසලට කැඳවාගෙන ආවේය . අම්මා තාත්තා ආච්චිඅම්මා වගේම කරත්ත කාරයාත් වලව්වේ කුස්සියේ උයන ජේන් නැන්දාත් යන නිවසේ වසන සියලු දෙනාම එහි ඇතුලත් විය .





සීයා රෙදිකඩ ඉවත් කර මිනි හිස්කබල පහන් පැලේ තබා පහන් දැල්වීය . අපි සියලු දෙනාටම බිම හිඳගන්න යයි විධාන කරමින් ; හූනියම් දෙවියන්ට ආරාධනා කරන්නට විය . ආරාධනාව අවසානයේ සීයා දෙවියන්ට පින් දී මහසෝනාට පහන දැල්වීය . මහසෝනාටද ආරාධනා කර පින් දී බිම හිඳගෙන සිටින අප වෙත හැරී මෙසේ කියන්නට විය .

" මම ජීවිතේ පලවෙනි වතාවට නොකළ ගුරුකමක් කරන්න යන්නේ , මේකෙන් මගේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන් . මේක නොකලොත් අර ලෙඩාගේ ජීවිතේ නැතිවෙන්නත් පුළුවන් . මම මේ ගුරුකම් කරන්නේ මට හොඳින් ඉන්න නෙවෙයි අනිත් මිනිස්සුන්ට යහපතක් වෙන්න . ඒ නිසා අවදානම අරගෙන හරි මම මේ පාර මේක කරනවා . මෙච්චර කාලෙකට මම මේ ගුරුකම වෙන ලෙඩ්ඩුන්ට නොකළේ මම මළොත් ගුරුකමට යන කලදසාවක් නැති වෙන නිසා . ඒත් දැන් මේ ළමයා මේක ඉස්සරහට කරගෙන යයි කියලා මට විශ්වාසයක් තියෙන නිසා මට බයකුත් නැහැ . හෙට මම යනවා මේ ළමයත් එක්ක . ආයෙත් මේ ගෙදරට මට පන පිටින් එන්න බැරි උනොත් මේ ගෙදර චූටි පුතා තමයි ගුරුන්නාන්සේ "





කියමින් සීයා කතාව නවත්තා මිනී ඔලුව අතට ගෙන සුදු රෙද්දෙන් ඔතා පහන් පැලේම තියෙන්නට හැර ගෙට ගියේය . මිදුලට පැමිණි සෙසු පිරිසද ගෙට ගිය පසු අහස දෙස බලමින් මම කල්පනා කරන්නට වීමි . මේ සිදුවන්නේ කුමක්ද ? . මරු වසඟයට ගැනීම පිළිබඳව ලියැවුණු පුස්කොල පොත මට සොයාගත නොහැකි වූයේ ඇයි ? . අනෙක් සියලු පොත් පත් තිබෙන පෙට්ටගමට මේ පොත නාවේ ඇයි ? මෙවැනි ප්‍රශ්න රැසක් මගේ සිතෙහි හොල්මන් කරන්නට විය . හෙට දින මුල පුරන මේ කටයුත්තට දෙවි රැකවරණ පතමින් පහන් පැළ දෙස වරක් හැරී බැලූ මම කාමරයට වැදී නින්දට වන්නෙමි .

පසුදින පාන්දරම අම්මා

" අන්න සීයා යන්න ලැස්ති වෙනවා ; මේ ළමයා තාම නිදි ; හා හා දැන් නැගිටින්න " කියමින් මාව ඇහැරෙව්වාය .

මම ඇඟ මැලි කඩමින් සීයාගේ කාමරය අසලට ගොස්

" සීයේ කෝ............ දැන්ම යනවද ? " අසමින් කෙඳිරි ගෑවෙමි .

" හා හා දැන් ඉක්මනට ලැස්ති වෙන්න . අපිට මේ ගමන යන්නම ටිකක් වෙලා යනවා "

මමද සීයාද ගමනට සැරසී නිවසේ සිටින්නන්ට සමු දී වලව්වේ පිටත් වීමු .

උදේ 7ට පමණ නිවසින් පිටත් වුවද අදාළ නිවස වෙත ලඟා වනවිට ඉර අවරට ගොස් පැය හතරක් පමණ ගෙවී තිබිණ . එය නිවසක් නොව . මේ ගමේ තිබෙන එකම පාරම්පරික වලව්වය . විශාල පොල් වත්තක් මැද එම වලව්ව පිහිටා තිබුණු අතර වලව්වේ පාරම්පරික ගතිය මනාව ඉස්මතුවී පෙනිණි . අප එන අතරතුර ඔවුන් සීයාගේ මග පෙන්වීම අනුව අවශ්‍ය කළමනා සියල්ල සූදානම් කර තිබුණද අවශ්‍යම දෙයක් වූ මිනි හිස්කබල ගෙන ගියේ අප විසිනි .

එම නිවසේ අප දෙදෙනා සඳහා කාමරයක්ද වෙන්කර තිබූ අතර අපි අපගේ කළමනා සියල්ල එම කාමරයේ තැබුවෙමු . මගදී කෑමට කියා අම්මා සාදා දුන් පිට්ටු සහ කිරිහොදි මමත් සීයාත් කරත්තකරුත් ගමනේ අතරමග නැවතී සප්පායම් වූයේ හිරු මුදුන්වන්නටත් පෙරදී හෙයින් අපට බඩගින්න හොඳින් දැනෙන්නට විය . නිවසේ සියල්ලෝම එක්ව අපට බත් කෑමට ආරාධනා කළහ . විනාඩියට දෙකට බත් කා අවසන් කල පසු මමද සීයාද රෝගියාගේ කාමරයට පිවිසියෙමු .

ඔහු හුස්ම ගන්නවාද නැත්ද කියා මට සැකය .

" සීයේ මොකද මේ වෙලා තියෙන්නේ ? "

" මේ ඉන්නේ පුතේ ගෙදර ගෘහ මූලිකයා . මේ දේපල වල නියම උරුමක්කාරයා . ඒත් මේ දේපල අයිති කරගන්න මාන බලන එකෙක් දේපල කඩා වඩා ගන්න බැරිවෙච්ච පලියට මරු සන්නිය බන්ධනය කරලා ගුරුකමක් කරලා . මාරයාට කැප කිරීමක් කරලා තියෙන්නේ . ඒ නිසා මරු යක්ෂයා එක්ක තමයි මේ පාර ගනුදෙනුව තියෙන්නේ "





" ඉතිං සීයා මරුයක්ෂයා ගෙන්නනවද ? "

" නෑ පුතේ , මම මරු යක්ෂයා මට ආවේස කරගෙන මේ ගුරුකම ආපිට හරවන්නයි හදන්නේ . මරුවසඟය කියන්නේ ඒකයි "

සීයා සහ මගේ මේ කතාව අතරතුර , සීයා සුදුනූල් පොටක් ගෙන නෑසෙන ස්වරයෙන් මතුරා ආතුරයාගේ බෙල්ලේ ගැට ගසා බෙල්ලේ තිබුණු පැරැණි ඇප නූල ගලවා ඉවත් කළේය .

" කෝ මේ ගෙදර උදවිය , පොඩ්ඩක් මෙහාට ආවනං . මම කිව්වා සොහොනේ කටයුත්තක් කරන්න කියලා . ඒක සොහොන් පල්ලට දැනුම් දුන්නද මේ ළමයි ? "

" එහෙමයි එහෙමයි ; ගුරුන්නාන්සේ කිව්ව විදියට අපි පන්සලේ ලොකු හාමුදුරුවන්ටත් ඒ අවශ්‍ය කටයුත්ත දැනුම් දුන්නා . ලොකු හාමුදුරුවෝ ගුරුන්නාන්සේව දන්නා නිසා ඒ කටයුත්ත හරියාකාරව ඉස්ටකරන්න භාරගත්තා  . පන්සලට අපි නවුම් කළයක් ගිහින් දුන්නා . පැන් කළය සතියක්  පිරිත් කරන වැඩේ අද ඉඳලා ආරම්භ කරනවා කියලා ලොකු හාමුදුරුවෝ කිව්වා ගුරුන්නාන්සේ "

" හොඳයි . එහෙනම් දැන් හැන්දෑ වේගෙන එන නිසා මට සොහොන් පිටියට යන්න ඕන . මිනීවල හාරන එකට හොඳ හයිහත්තිය තියෙන දෙතුන් දෙනෙක් සූදානම් කරලා තියාගන්න . ඒක කෙරෙන්න ඕන අන්තිම දවසට . සතියක්ම තිබුනත් අමතක වෙයි කියලා මම මේ ඔය ඇත්තන්ට කිව්වේ "

කියමින් සීයා මා වෙත හැරෙමින් :

" පුතේ මම සොහොනට යනවා , සොහොනේ ඉඳලා මේ හිස් කබල දවස් හතක් ජීවම් කරන්න ඕන . පුතා මෙහෙ ඉන්න ඕන . මොකක් හරි අමුතු දෙයක් උනොත් හරි සද්දයක් ඇහුනොත් හරි ලෙඩා ළඟ පුතා ඉන්න ඕන මම එනකං . එහෙ මෙහෙ යන්න බෑ . ලෙඩාට අමාරුයි වගේ දැනුනොත් ඉක්මනටම වතුර ටිකක් අරගෙන දේවතාබන්ධන මන්තරයක් කියලා මතුරලා ලෙඩාට ඉහින්න ඕන හොඳද ? මම සොහොනේ මතුරනකොට එක එක දිෂ්ටි එන්න පටන්ගන්නවා . ඒ අය සමහරවිට මෙහෙටත් එන්න පුළුවන් . අපි වැඩිපුරම හිතන්න ඕන ලෙඩාව පරිස්සම් කරගන්න එක ගැනයි තේරුනාද මගේ පුතාට ? "





සියල්ලම සාවධානව අසා සිටි මම හිස දෙපසට වැනුවෙමි . සීයා හිස්කබලද රැගෙන තනිවම සොහොනට ගියේය . මම වතුර භාජනයක් තබාගෙන ලෙඩා අසලට වී නිසොල්මනේ කාලය ගත කලෙමි . මෙම මුර සේවය මා අතින් දින හත පුරාවටම කෙරිණි . සීයා උදේ හවස වේල් දෙකේම හිස් කබල රැගෙන සොහොනට ගොස් ජීවම් කරමින් රැගෙන එයි .

සීයා කී අන්දමට හතරවන දිනයේ ලෙඩාට තරමක් අමාරු විය . ඒ අතරම අමුතු පෙරේත ගඳක්ද කාමරයේ හමන්නට විය . මම වහා මතුර පැන් ස්වල්පයක් රෝගියාට ඉස වැඩි හොඳට කාමරයේද ඉස්සෙමි . මේ රෝගියා ගැන විශ්වාසයක් තැබීම ඉතාම පුදුම සහගත කරුණක් විය . කන්නේද බොන්නේද නැත . නිවැසියන් වතුර උගුරක් හෝ කැඳ උගුරක් හෝ බලෙන් පොවනවා මිස කෑමට කිසිම පිරියක් නැත . මල කඳක් සේ ඇදේ වැතිරී සිටී . කතා කරන්නේද නැත .

දින හත තුල සීයා සොහොනට යාම හැර වෙනත් විශේෂ දෙයකට කියා සිදු වූයේ සීයාද මමද ගමේ පන්සලට යාමයි . එහිදී සීයා හාමුදුරුවන් සමග මේ ගුරුකම පිළිබඳව වැඩිදුර කතාකල අතර ගුරුකම කෙසේ වෙතත් මාරයා ආවේස වූ පසු මරු දිෂ්ටිය ඇගෙන් ඉවත්ව නොගියහොත් පිරිත් පැන් ඉසිය යුතු බව හා පිරිත් සජ්ජායනය කලයුතු බවත් ඒ සඳහා තමාව මරු ආවේසයෙන්ම පන්සලට ගෙන එන බවද සීයා හාමුදුරුවන්ට සඳහන් කළේය . පන්සලේ පත්තිනි දේවාලයේ කපුමහතා සීයාගේ ගජයෙකි . පත්තිනි ශාන්තියක් කරන්නට හැකි බවද ඔහු සීයා සමග කීවේය .





මරුවසගයට ගන්නා දිනය උදාවිය . සීයා තවත් පිරිසක් සමග වේලාසනින් සොහොනට ගොස් මිනීවල හැරීමට මග පෙන්වා නැවත නිවසට ආවේය . සවස 6ට පමණ ආතුරයා කරත්තයට නංවාගෙන ගෙදර සියලු දෙනාද සොහොනට යාමට පිටත් විය . මමද සීයාද සියල්ලන්ටම ඉස්සර වන්නට දී පිටුපසින්ම ගමන් කළෙමු . සීයා වැඩි කතාවක් කලේ නැත . බිම බලාගෙන ගමන් කළා පමණි . මමද කතාකරන්නට ඉදිරිපත් වුයේ නැත . අනිවාර්යයෙන්ම ඔහු දැන් මරුවසඟයට පෙළගැසෙන බව මට තේරුම් ගියේය . කෙමෙන් කෙමෙන් අපි සොහොන වෙත පැමිණියෙමු . සීයාගේ දැනුම් දීම අනුව බෙරගල මාමා සහ අනෙක් බෙරකරුවන් සොහොනට පැමිණ සිටියේය .
සීයා ඔවුන් සමග කතාකරන අතරතුරේ මම මිනීවල දෙස එබිකම්කර බැලුවෙමි .

මිනීවල හාරා මිනී පෙට්ටිය පාදාගෙන තිබිණි . ඊට අමතරව මිනී වල වටා ගොප්කොල හා කෙසෙල් පතුරුවලින් සාදන ලද මල් තටු කීපයක් තිබිණි . වැඩි දෙයක් පූජාවන් ලෙස තබා ඇති බවක්නම් පෙනෙන්නට නැත .

මිනීවලට බැසීමට කුඩා ඉනිමගක් වලේ අයිනෙන් හේත්තු කර සීයා මිනී වල තුලට පිවිසියේය . මිනී පෙට්ටිය තවම දිරාගොස් නැත . සීයා ඒ මත පැදුරක් එලා එහි කහ දියර ඉස්සේය . අනතුරුව පැදුරේ එක් කොනක අප ගෙන ආ මිනී හිස්කබල තබා කට්ට කුමන්ජල් දුම් අල්ලමින් මතුරන්නට පටන් ගත්තේය . පැය භාගයක් පමණ මතුරා සීයා ගොඩට පැමිණියේය .

පසුව සීයා එක් එක් මල් තටුවේ පහන් දල්වා ආතුරයා එම මල් තටුවක් ඉදිරියේ හාන්සි කරවා වින ඉගිලෙන්න කවි ගායනා කරන්නට පටන් ගත්තේය .



මේෂ රැසය අස්විද හා බෙරණය යන නැකත් රෙහෙන
උපන් රාසිගතව නැකත් බලා එ මරකුරද රැගෙන
හිස නළලත දෙබැම නහය යන සිවු තැන හෙලා ගින්න
බොටුව කඩා ඔරුවේ ගසා ගංගා නම් ගඟේ හරින

මුව සිරසය අද පුනවස පුස අස්ලිස වෘෂභ රැසේ
අව පුර හිමි නැකත් පහට තනා වහසි කවිය මෙසේ
ගහන සවන මුඛය බෙල්ල පැමිණි ගින්න එයින් තොසේ
කඩුව ගසා දමමි දෑත  යමුනා නම් ගඟට මෙසේ

මා නැකතය පුවපල් තුරුපල් හත සිත කන්නි රැසට
පපුවට කඩු ගසා මිතුන කටක රැසින් මර යෝගෙට
දෙවුර ලමැද එමර කට්ට ගසන නසන පෙකණිය පිට
පපුව පලා ඉල දැම්මෙමි අචිරවතී ගංගාවට

විසා අනුර දෙට මුව පුවසල දයසිත කන්නි රැසට
නැකත බලා කඩු ගාලා දෙතන මඩල සුං කරන්ට
හෘදය අක්ම කැවුතු රීරි සොහොන් යකුට භාර දෙන්ට
දෑතට ගෙන ඒ සියල්ල දමමි සරභූ ගංගාවට

දෙරැස තුලා කර විකාර උත්තරසල සුවන දෙනට
එ නැකත් අල්ලා වෙලාව බලා කඩුව ගෙන සුරතට
රහසඟ යුග කලවා දන පලා රීරි මස්ස රැගෙන
අවමගුලේ යකුට දෙන්ට දමමි මහිය ගංගාවට

සියවාසය පුවපුටුපය ධනු මකරය නැකත් රැගෙන
රැගෙන ගොසින් ඒ මළකඳ මහ සොහොනේ හිර කරගෙන
දෙදන කෙන්ඩ වලලුයකර විලුඹ ඇඟිලි හතට පලන
සුනුකොට විසි කර දැම්මෙමි ගංගාවට නේරංජන

උත්‍රපුටුප රේවතියද අනුව බලා සියොගත වට
උපන් නැකත ලග්න පක්ෂි හෝරා අවගුණ සිහිකොට
හිස සිට දෙපතුල වෙත ගසමින් ලෙලවන විදුරු කඩුව
රීරි මස් ගොටුව සාදා දමමි මුහුදෙ මකර කටට


එක එක කවි කියමින් සීයා තරමක් සීරුවට ආතුරයා ලඟට පැමිණියේය . මටද ආතුරයා අසලින් සිටින්නට නියම කරන අතර තුරේ සීයා මෙසේ කීවේය .

" මට පුතේ කවදාවත් නැතුව අද මරණ බය දැනෙනවා . ඒත් මම මේක කරලා මේ ලෙඩා සනීප කරනවා . මම මළොත් පුතා මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න ඕන . මට මෙතන සිහිය නැති උනොත් මාව කරත්තෙන් පන්සලට ගෙනියන්න . හාමුදුරුවන්ට මම කියලා තියෙන්නේ කරන්න ඕන ඒවා . මට සිහිය නාවොත් ආයේ අරනෝලිස් කෙනෙක් නෑ "

කියන්නට කිසිවක් ගොනු කරගන්නට මත්තෙන් සීයා මිනීවලට බැස මිනීපෙට්ටිය මත පැදුරේ වූ හිස් කබල දෙසට හිසලා හාන්සි විය . සීයාගේ විධානයෙන් බෙර ගසන්නන් ඇඟ කිලිපොලා යන තරම් වේගයෙන් හඬ නංවමින් බෙර වාදනය ආරම්භ කලේය . සීයා මතුරන්නට විය .


..... කර්ණමාලි හස්තං ගිනි ගිනි උපුටා දෑතට අල්ලා තැනෙ තට්ටු බී ඉන්ද්‍ර නීල ගුරු සෛර වර ස්වර්ණ මණ්ඩලේ මල රූප තල මරණ කාම දේවතාවා මුරුත්තාල් ප්‍රාණ නලල මරුකුල යක්ෂයා මල කඳේ සේමන් ගන්න මරණ මණ්ඩලේ බලා දිෂ්ටි හෙලා යමපුර සෙල්ලුම් අකාල ලෝදම් පුපුර පුපුරා ඔට්ටු සර්ව වින ධාරනේ තීන්දු වින සැරගිනි මරුවා , භූමි කිලම්බු මරු යක්ෂයා මරු විසගිනි කන්ද සැනෙන් උගුලා මෙරඟ මඩලට දිෂ්ටි හෙලන්න වරෙන් මරුවා .....................

ලෙසට මන්තර ගණනාවක් එක දිගට මැතිරෙන්නට විය . බෙර හඬ මධ්‍යයේ සීයාගේ හඬ තව තවත් වැඩි විය . එකවරම මැතිරිල්ල නැවතිණි . ආතුරයා ළඟ සිටින මට මිනී වල තුල සිදුවන කිසිවක් නොපෙනේ . සීයා නිහඬ වූ විට මගේ හදවතද සසල වන්නට විය . එම සසල වීම දෙගුණ තෙගුණ කරමින් සීයා එක වරම මිනී වලෙන් ගොඩට ආවේය . මේ එන්නේ සීයා නොව , සීයාගේ ශරීරයට ආවේස වූ මරුවාය . වියරු වැටුණු අලියෙකු පරිද්දෙන් සීයා සොහොනේ ඒ මේ අත දුවන්නට විය .

සීයා අල්ලා ගැනීමට මමද දිව්වෙමි . එහෙත් එය කරන්නට අසීරු කටයුත්තක් විය . එකවරම සීයා ආතුරයාගේ නිවස දෙසට දුවන්නට විය . මමද ආතුරයා පසෙක දමා සීයා පසුපස දුවන්නට වීමි . බෙරගල මාමාද බෙරය සොහොනේ තබා පන්දමක් රැගෙන අප පිටුපසින් දිව ආවේය . සීයා ඉතාම වේගයෙන් දිවයයි . මරු වසඟයට ගත ඔහු දැන් සීයා නොවන බව මම තරයේම මතකයේ තබා ගනිමින් සීයාට ලං නොවී ඈතින් සිටීමට වගබලා ගත්තෙමි .

සීයා නැවතුනේ ආතුරයාගේ නිවස ඉදිරියේය . පසුව නිවස වටා ඒ මේ අත දුවමින් සීයා යමක් සොයන බව පෙනුනේය . ඔහු අතට ගත්තේ නිවස පිටුපස ඇති අලවංගුවය . පසුව එම නිවසේ ඉදිරියට දිව ආ හෙතෙම මිදුල මැද හාරන්නට පටන්ගත්තේය .

" චූටි මහත්තයට පේනවද ගුරුන්නාන්සේ අවේසයෙන්ම වළලලා තියෙන විනේ ගොඩ ගන්නවා "

කියා බෙරගල මාමා මගේ කනට කොඳුරා කීවේය . මදක් යටට පොලව හාරාගත් පසු සීයා යමක් අතට ගන්නට බිමට නැවුනේය . මම ඒ අසලට යන්නට හදන විට බෙරගල මාමා මාව වැළක්වීය .

" චූටි මහත්තයා යන්න එපා . ඔහොම ඉන්න . ගුරුන්නාන්සේ ඉන්නේ දැන් මාරයා වැහිලා "

සීයා හාරන ලද වලෙන් ගොඩට ගත්තේ මිනී ඔලු දෙකකි . ඒවාද අතට ගත් සීයා නැවතත් විදුලි වේගයෙන් සොහොන වෙත දුවන්නට විය . අපිද ඒ අනුව සීයා පසුපස දිව්වෙමු . සොහොනට ආ සීයා වළදා තිබී ගොඩ ගත හිස් කබල් දෙක ආතුරයා ඉදිරියේ තබා නැවතත් මිනීවලට පැන්නේය . ඇඟේ පතේ හයිය කෙසේ වෙතත් මේ ඉන්නේ සීයා නොවන වග මා හට එයින් සහසුද්දෙන්ම ඔප්පු විය .

සීයා මිනීවලේ නැවතත් වැතිරුණු පසු බෙර වාදනය ආරම්භ විය . සීයා මන්තර කිසිවක් කියමින් මරු ආවේසයෙන්ම නැවතත් ගොඩට පැමිණ කඩුව අතට ගෙන ආතුරයා ඉදිරියේ ඇති හිස් කබල් දෙකට කඩු පහරවල් ගසා ඒවා සුනු විසුනු කළේය . ඒ සමගම ආතුරයා හයියෙන් හූ කියමින් නින්දෙන් පිබිදුනා මෙන් පියවි සිහියට පැමිණියේය . නමුත් මේ සිද්ධියේ අවදානම දක්වමින් සීයා සිහිය නැතිවී බිම අද වැටුනේය . මම සීයා අසලට දිවගොස් මුහුණට වතුර ස්වල්පයක් ඉස්සෙමි .

" සීයේ සීයේ නැගිටින්න "

සීයා නිහඬය . මම බයටම සීයාගේ පපුවට අත තබා බැලුවෙමි . පපුව සීතල වී ඇතත් අපගේ වාසනවට සීයාගේ ප්‍රාණය නිරුද්ද වී නැත .

" ගෙනෙන් යකෝ කරත්තේ මෙතනට "

කරත්තය අසල බිම වැතිරී සිටි කරත්ත කරුට මම කෑ ගැසුවෙමි .

කඩිනමින් සීයා කරත්තයට ඔසවා තබාගත් පසු කරත්ත කරු මගේ කීමට අනුව පන්සලවෙත කරත්තය පදවන්නට විය . කරත්තයේ වේගය බාල වත්ම මම

" දීපන් මෙහාට කෙවිට "

කියා කරත්තකරුගෙන් කෙවිට ගෙන ගොනාට වැරෙන් පහරක් එල්ල කලෙමි . වේගවත් වන කරත්තය සමග මම පිටුපස හැරී බැලුවෙමි . බෙරගල මාමාද ආතුරයාගේ නිවසේ සිටි පිරිමින් දෙතුන් දෙනෙකුද කරත්තය පසු පස දිව එමින් තිබිණි .

වැඩිවෙලාවක් යන්නට පෙර අපි පන්සලට පිවිසියෙමු . දැන් පාන්දර දෙකට පමණය . පත්තිනි දේවාලයේ කපු මහතා නොනිඳා අප වෙනුවෙන් ආවාසයේ දොරකඩ වාඩිවී සිටියේය . අප එනු දුටු වහාම ඔහු ආවාසයේ දොරට තඩිබාමින්

" ලොකු හාමුදුරුවනේ ලොකු හාමුදුරුවනේ අරනෝලිස් අයියට මාරයා වැහිලා ඔන්න ගේනවා . ඉක්මනට වඩින්න හාමුදුරුවනේ "

හාමුදුරුවන්ද සැතපී සිට නැති ඇති අතර පන්සලේ සිටින හාමුදුරුවරුන් හය නමක් පමණ ආවාසයේ දොර විවෘත කරගෙන ආවාසයේ සාලයට වැඩියෝය . අපි දෙතුන් දෙනා විසින් සීයාව ඔසවාගෙන අවුත් කපු මහතා විසින් ආවාසයේ සාලයේ බිම එලූ පැදුර මත දිගාකලෙමු .

පන්සලේ ස්වාමීන් වහන්සේලා දෙවතාරධනාවද නොකරම පිරිත් සූත්‍ර එකින් එක පුරන්නට පටන්ගත්හ . උන්වහන්සේලා සාම්ප්‍රධායික පිරිත් ස්වරය පසෙක ලා වේගයෙන් සූත්‍ර පුරත්ම නායක ස්වාමීන් වහන්සේ පිරිත් පැන් කලය සීයාගේ හිසට වත්කරන්නට විය . අනෙක් ස්වාමීන් වහන්සේලා වටාපතින් සීයාට පවන් සලමින් පිරිතේ ආනුභාවය සීයාවෙත යොමුකළහ . කලය හිස් වන්නට මත්තෙන් සීයා ඇස් ඇරියේය . මගේ ඇඟට ලේ පොදක් ඉනුවේ සීයා ඇසිපිය ගසනවා දැකීමෙනි .





මද වෙලාවක් සිට සීයා නැගිට්ටේය . පත්තිනි දේවාලයේ කපු මහතා සීයාට පත්තිනි දෙවියන්ගේ ආරක්ෂාව ලබා දෙන්නට සෙත් ශාන්ති කරනට සීයාව පත්තිනි දේවාලය වෙත කැඳවාගෙන ගියේය . දේවාලයේ දොරටු විවෘත කර සීයා එහි හිඳුවා සෙත් පැතුවේ මේ ආකාරයටය . බෙරගල මාමා බෙරය රැගෙන ආවේ අපගේ වෙලාවටය . නැත සීයාගේ වෙලාවටය .

මේක ප්ලේ කරගෙන කතාව කියවන්න .



කපුමහතා අවසානයේ සක් හඬ නංවා සීයාට සෙත් පැතීය .

ස්වාමීන් වහන්සේලාට වැඳ අවසරගෙන නැවතත් අප ගියේ සොහොනටය . ආතුරයාට දැන් සිහිය තිබේ . සීයා ආතුරයාගේ බෙල්ලේ වූ අප නූල කඩා දමා

" දැන් කොහොමද ? " කියා ඇසුවේය .

ඔහුට කතාකිරීමටවත් පන තිබුණේ නැත . පැන් බාජනයක් ගෙන පුවක් මල් කිනිත්තකින් එය මතුරා ආතුරයාගේ ඇඟට එම පැන් ඉසීමෙන් අනතුරුව නිවසේ අය සමග ඔහුට නිවාස කරා යාමට අවසර ලැබිණි . මෙම කටයුත්ත නැරඹීම සඳහාද මිනීවල හැරීම සඳහාද ගමේ කීප දෙනෙක්ම සොහොනට පැමිණ සිටි හෙයින් ඔවුනටද සීයා පුවක් මල් කිනිත්තෙන් මතුරන ලද පැන් ඉස්සේය . පසුව සීයා මරු වසඟයෙන් ගොඩ ගත් කුඩු කරන ලද හිස්කබලේ කැබලිද , අනෙක් මල් තටු පන්දම් සියල්ලද හාරන ලද මිනීවලටම දැම්මේය . ඒ දැමීමෙන් පසුව නැවතද සීයා මිනීවල වටේ යමින් මතුරමින් පස් කැටියක් ගෙන වලට දමා

" හොඳයි කොල්ලනේ දැන් මිනීවල වහපල්ලා " යැයි කීවේය .

මිනීවල වසා අවසන්වන තුරු මමද සීයාද බෙරගසන මාමලාද සොහොනේ සිටියෙමු . ආතුරයා ඇරලවා කරත්තය නැවත සොහොනට පැමිණ සිටි හෙයින් සීයාද මමද කරත්තයට ගොඩවී හිඳ ගත්තෙමු .

" සීයා කවදාවත් නැතුව අද දිව්වා නේද "

" ඔව් පුතේ වාසනාවට මම අද බේරුනා , කවදාවත් නැතුව මටත් අද බයක් හිතුනා . මේ ගුරුකම ආයේ මට කරන්න බෑ . ඊළඟට පුතාට තමයි "

" ඒත් සීයේ කෝ මට ඒක ලියල තියෙන පොතක් හම්බුනේ නෑනේ "

" ගෙදර යන්කො පුතේ මම ඒක වෙන තැනක හංගලා තිබ්බේ . "

සියලු කටයුතු අවසානයේ අපි සියල්ලෝම ආතුරයාගේ නිවස බලා පිටත් වීමු . නිවසට යන විට ආතුරයාට හොඳටම නින්ද ගොස් තිබුණු අතර නිවසේ අනෙක් අය අපට කෑම සූදානම් කර තිබිණි . නිවී හැනහිල්ලේ බත් කෑ පසු සීයා , බෙරගල මාමාටද අනෙක් බෙර කරුවන්ටද පඬුරු දී ඔවුන් පිටත් කළේය .

පසුව සීයාද මමද නින්දට ගියෙමු . සීයාට හොඳටම ඇඟට තෙහෙට්ටු බව මට වැටහිණි .  එලිවනතුරුම මට හරියාකාරව නින්ද ගියේ නැත . එහෙත් සීයාට හොඳටම නින්ද ගොස් බව මට පෙනිණි . දැන් මගේ සිතේ රඟ දෙන්නේ මා නොලද ඒ පුස්කොල පොතයි .

පසුවදා උදෑසන අපි දෙදෙනා නැවත අපේ වලව්වට ඒමට සූදානම් වීමු . ආතුරයාට දැන් ගුණ දායක බවක් පෙනිණ . සීයා අතුරයා අසලට ගොස් ,

" මේ දරුවා සාධාරණ විදියට තමන්ගේ අම්මලා තාත්තලාගේ දේපල රැකගන්න ඕන . එතකොට කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් . ඒවගේම අම්මලා තාත්තලා දැන් ඉන්න තැනවල ඉඳලා මේ ළමයාට ආශීර්වාද කරාවි . හොඳට කාලා බීලා දවස් දෙක තුනක් ඇඳට වෙලාම ඉන්න . එතකොට ඔය කෙඩේත්තු ගතිය ඇරිලා යාවි . මම ආයෙත් දවසක ඔය ළමයාගෙ ගුණ අගුණ බලලා යන්න එන්නම් . මේ ගුරුකම කරපු එකා ගැන සෝදිසියෙන් ඉන්න . මොකක් හරි වෙනසක් උනොත් මට ඇවිත් කියන්න . දවස් තුනක් යන්න කලින් එයාට දඬුවම් ලැබෙන්න ඕන "

ආතුරයාට නැගිටගැනීමට නොහැකි හෙයින් ඔහු ඉතාම අමාරුවෙන් මදසිනහවක් පා සීයාට ආචාර කළේය . නිවසේ සියල්ලෝද සීයාට වැන්දෝය . ආතුරයාගේ බිරිඳ සීයාට මුදල් පොදියක් දෙන්නට සැරසෙන විට සීයා

" මට පඬුරු ඕන නෑ ළමයෝ , මේ පඬුරු ටික පන්සලේ පින් කැටේට දාන්න "

කියමින් කරත්තයට නැග්ගේය . රාත්‍රියේ හරියාකාරව නින්ද නොගීය නිසා මට කරත්තයේ බංකුව උඩම නින්ද ගියේය . අපි නිවසට ළඟාවන විට සවස්වී තිබිණි . මගේ සිතේ තිබුණේ පුස්කොල පොත පිළිබඳවය . නිවසට ආ වහාම

" සීයේ පොත ?? "

කියා විමසුවෙමි . පොත මෙතෙක් කල් තිබී ඇත්තේ ආච්චි අම්මාගේ අල්මාරියේය . සීයා ආච්චි අම්මාගෙන් පොත ඉල්ලා ගෙනවිත් මගේ අතේ තබා නිදාගන්නය කාමරයට පිවිසියේය .

පොත මා අත තබන අතරවාරයේ සීයා මුමුනමින් සිටියේ

" අද අද එයි මරු පින් කරගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ "

යන කවියයි ...............................


තවත් කතාවකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි. පර...