සඳ එළියේ අසිපත ( 3 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි




පසුගිය කොටසෙන්


" සාධු සාධු සාධු !!!!! "

" දැන් ගමේ උදවියට කියන්න ඕන ඇවිත් ධාතුන් වහන්සේලා වැඳ පුදාගන්න ඇවිත් යන්නය කියලා . ආයේ කවදා ඉතින් මේ වගේ අවස්ථාවක් ගමේ උදවියට ලැබෙනවා කියලද ? "

" හාමුදුරුවනේ සන්නස කියවන්න දැන් වෙලාවක් නැහැ නෙව . ඒ නිසා පන්සලේම ඒවා තැම්පත් කරලා තියාගන්න . මමයි චූටි පුතයි එන්නම් ආයෙත් වෙලාවක . නැත්නම් හාමුදුරුවෝ ඒ දේවල් පොඩ්ඩක් කියවලා බැලුවනම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ . කොහොමත් ඒ භාෂාව මම දන්නෙත් නැහැ . ඒ නිසා හාමුදුරුවන්ට තමයි ඒක කියවලා බලන්න වෙන්නේ "

" මම අද රෑටම ඒක කියවන්න පටන් ගන්නවා අරනෝලිස් . අපි එහෙනම් ගිහින් නිධන් පෙට්ටියේ පියන තියලා තියමු . දැන් මට ඒක උවමනා වෙලාවට බලන්නත් පුළුවන් නිසා ඕන වෙලාවක සන්නස අරගෙන කියවලා බලන්න පුළුවන් "

මමත් සීයාත් නායක ස්වාමීන් වහන්සේත් ආවාසගෙය තුලට නැවත ඇතුල්වීමු . සන්නස ගැනීමට නායක ස්වාමීන් වහන්සේ නිධන් පෙට්ටිය තුලට අත දමනවිටම සීයා කෑගැසුවේය .

" හාමුදුරුවනේ බලාගෙන ඔන්න ඔතන නයෙක් "

අද එතැන් සිට





" සීයේ නයාව එළවන්න පුළුවන් වෙයි කියලානම් මම හිතන්නේ නැහැ . මේවගේ දේවල් ආරක්ෂා කරන්න නයි තමන්ගේ ජීවිත කාලෙම කැපවෙලා ඉන්නවා කියලා මම අහලා තියෙනවා "

සීයා කිසිවක් නොකියා අනවසරයෙන් නිධන් පෙට්ටියට පැමිණි නාග රාජයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට මන්තර මැතිරීමට පටන් ගත්තේය .

..............ඕං සුරවරා සුරවරියා දෙහේන්ද්‍රෝ දෙහේන්ද්‍රෝ පෙරිය මරින්දු මුක්කෝල් ඌසිවානේ නාග තඹිරානේ පෝග පෝග ඒස්වාහඃ මණිඅරින්දු දේහොලාකේ නාග තඹිරානේ පෝග පෝග ඒස්වාහඃ ................

සීයා මන්තර කීපයක්ම මතුරමින් අතට මතුරා අත පෑවද , පිම්බද නාගයා එතනින් ඉවත්වන පාටක් පෙනුනේ නැත . අවසානය නායක ස්වාමීන් වහ්සේ යෝජනා කරන ලද්දේ සෙත් පිරිත් සජ්ජායනා කිරීමයි . ආවාසගෙයි දොර වසා දැමූ නායක ස්වාමීන් වහන්සේ එක හුස්මට පිරිත් සූත්‍ර පුරන්නට වන්හ . අවසානයේ රතනසූත්‍රය අවසන් වීමත් සමගම නාගයා එතනින් නික්මීමට සූදානම්වී නිධන් පෙට්ටියෙන් බිමට බැස්සේය . සීයා වහා ක්‍රියාත්මක වී අවාසගෙයි දොර විවෘත කළේය . නාගයා කෙමෙන් කෙමෙන් නික්ම ගියේය .

" ඈ අරනෝලිස් . අද රාත්තිරියේ පන්සලේම නැවතිලා ඉඳලා මේ සන්නස කියවලා අහවර කරලා මොනවද තියෙන්නේ කියලා බලලා ගියොත් නරකද මම අහන්නේ ? "

" මටත් හිතෙනෙවා හාමුදුරුවනේ මොකක් හරි හැංගිච්ච දෙයක් මේ නිධන් පෙට්ටිය එක්ක තියෙනවා කියලා . අපි එහෙනම් මේක කියවලා බලමු . හාමුදුරුවන්ට තමයි කියවන්න වෙන්නේ හාමුදුරුවෝ ඕක කියවන්න . මමයි චූටි පුතයි මෙහෙට වෙලා අහගෙන ඉන්නම් "

" හාමුදුරුවනේ මට පුළුවනි ඕන නම් සන්නසේ විස්තර සටහන් කරගන්න "

" එහෙනම් චූටි ගුරුන්නාන්සේට මම පැන්සලකුයි කොපි පොතකුයි දෙන්නම් . පොඩි නම ........."

නයක ස්වාමීන් වහන්සේ පොඩි හාමුදුරුවන් වහන්සේ නම කැඳවා උන්වහන්සේ ලවා පැන්සලක් සහ කොපි පොතක් ගෙන්වාගත්හ .

" එහෙනම් අපි නමෝ විත්තියෙන් මේ සන්නස කියවන කාරිය ආරම්භ කරමු "





නායක ස්වාමීන් වහන්සේ සන්නසේ වචනයෙන් වචනය කියවමින් ඒවායේ අර්ථ විග්‍රහ කල අතර මම ඒවා සියල්ල විදුළි වේගයෙන් සටහන් කරගත්තෙමි . ඉතිහාසය වළලා දැමීමට නොහැකිබව මෙම සන්නස කියවන අතරේ මම තනිවම සිතමින් ඒවා සටහන් කරගත්තෙමි . මහාවංශය ථූපවංශය ආදී වංශ කතා මා කියවන ලද්දේ ඉගෙන ගන්නා අවධියේය . ඇත්තෙන්ම ඒවා පක්ෂපාතීව ලියන ලද පොත් බව විශ්වාස කල හැක . බුද්ධාගම වෙනුවෙන් මිනිසුන්ගේ භක්තිය වැඩි කිරීම සඳහා එම පොත් ලියවෙන්නට ඇත . එහෙත් ඒවාට හාත්පසින්ම වෙනස් ඉතිහාසයක් අපට උරුමවන්නට තිබෙන්නට තිබී නැතිවී ගොස් ඇත . සුළුවෙන් හෝ එය ආරක්ෂා වී තිබෙන්නේ මෙවැනි නිධන් , ගල්ගුහා වැනි ස්ථාන වල පමණි . සන්නේ තිබුණු කතාන්දරය සැබවින්ම විශ්වාස කිරීමට නොහැකි කතාපුවතකි . එහෙත් එය සත්‍ය කතාපුවතක් බව මම පසුව තේරුම්ගත්තෙමි .

දුටුගැමුණු මහ රජතුමාගේ ජීවිතය අකාලයේ කෙළවර වන්නේ නාග කන්‍යාවියක දූෂණය කිරීමේ වරදට ජීවිතයෙන් වන්දි ගෙවීමට වූ හේතුවෙනි . නමුත් එය සිදුවූ වතාවට කලින් වතාවන් කීපයකදීම දුටුගැමුණු මහරජුගේ මරණයත් වළකාලන ලද්දේ කපුරුනාථ නම් වූ මහරජතුමාගේ රාජකීය විෂ වෛද්‍යවරයා විසිනි . නාගකන්‍යාවියගේ පවුලේ අය කීප වතාවකදීම දුටුගැමුණු මහරජතුමාට දෂ්ට කලද රජතුමා මරණින් බේරී ජීවත් වුණේ කපුරුනාථ වෙදමහතාගේ විෂ ඉවත් කිරීමේ මාහැඟි ශිල්පක්‍රමය සහ එතුමාගේ දක්ෂකම නිසාවෙන්ය . එහෙත් අවසාන වතාවේ දුටුගැමුණු මහරජතුමා වෙනුවෙන් කපුරුනාථ වෙදමතාටද තම ජීවිතය නැතිකරගනීමට සිදුවිය .

දුටුගැමුණු මහරජතුමා මරන්නට නොහැකි වූයේ කපුරුනාථ නිසාය . එනිසා පළමුව මැරියයුත්තේ කපුරුනාථය . එවිට විෂ ඉවත් කිරීමට නොහැකිව දුටුගැමුණු රජතුමාද මියයයි . නාග ගෝත්‍රිකයින් තම සැලසුම සාදන ලද්දේ මේ ආකාරයටය . අවසානයේ ජීවිත දහස්ගණනක් සර්ප විෂ ඉවත් කරවා සුවපත්කල කපුරුනාථ නිදි පැදුරේම මියගියේ නාගවෙස්ගත් නාග ගෝත්‍රිකයාගේ විෂ දල හතරම පාදයේ කිඳාබැස්සායින් පසුවය . දුටුගැමුණු මහරජතුමාට දෂ්ට කරන ලද්දේ ඉන් අනතුරුවය . දුටුගැමුණු මහරජතුමාගේ විෂ ඉවත් කරවීමට අශෝකමාලා නම්වූ මහරජුගේ ලේලියගේ පාර්ශවය ඉදිරිපත් වුවද කුල මාන්නය කරපින්නාගත් රාජකීයයන් එයට ඉඩක් දුන්නේ නැත . එනිසා සිංහලේ මහා පෞර්ෂයක් වූ දුටුගැමුණු මහරජතුමාද කපුරුනාථ ගිය තැනටම ගියේය . සෝනුත්තර හිමි ලවා උපායශීලීව ධාතුන් වහන්සේලා ගැනීමේ සිට සිදුවූ සියලු අකටයුතුකම් වෙනුවෙන් නාග ගෝත්‍රිකයින් පලිගත්තේය .

ජනකතාවක් ලෙස කුඩා කාලයේ මම මෙම කතාව අසා ඇත්තෙමි . එහෙත් එම කාලයේ වූ විශ්මය දනවන තවත් සිද්ධියක් දැනගන්නා ලද්දේ මෙම සන්නස කියවීමෙන් අනතුරුවය . කපුරුනාථ වෙදමහතා මනුෂ්‍ය ශරීරයක් නැවත පණගැන්වීමට හැකි ලෙස ගල්ගුහාවක සඟවා තබා ඇතිබව මෙම සන්නසේ ලියවී තිබිණි . එහෙත් ඊට අවශ්‍ය එම අනර්ඝ ඖෂධ මංජුසාව නිධන් කර තිබෙන්නේ මහ වනාන්තරයක නිධානයක් ලෙසය . එය ගැනීමට කළයුතු වත් පිළිවෙත් , පුද පූජා , බිලි දීම වැනි වතාවත් විශාල ප්‍රමාණයක් එම සන්නසේ  විස්තර කර තිබිණි . එම සිරුර තිබෙන ස්ථානය හරියටම සොයාගන්නා ආකාරය සටහන්වී ඇත්තේ ඖෂධ මංජුසාව සහිත නිධානය සමගය . එනිසා ඖෂධ මංජුසාව පළමුවෙන්ම සොයාගතයුතුය .





" ඉතින් හාමුදුරුවනේ ඔය සරීරකූඩුව කාගේද කියලා සඳහන් වෙලා නැත්ද ? "

නායක ස්වාමීන්වහන්සේගේ දීර්ඝ විස්තරකිරීමට සීයා විසින් බාධා කරන ලද්දේය . නායක ස්වාමීන් වහන්සේ මද වේලාවක් ගෙන සන්නසේ තවත් පත්තිරු කීපයක් නිශ්ශබ්ධව කියවා බලා විස්තර කිරීමට පටන්ගත්හ .

" අරනෝලිස් දන්නවා නේද දුටුගැමුණු මහරජතුමාට හිටියා දසමහා යෝධයෝ කියලා යෝධයින් දහ දෙනෙක් . අන්න ඒ අයගෙන් සුරනිමල කියලා යෝධයෙක් ඉඳලා තියෙනවා . ඒ යෝධයාගේ අතවැසියා විදියට හිටපු , එහෙමත් නැත්නම් විශ්වාසවන්තම යාළුවා වෙලා හිටපු කෙනාගේ ශරීරය තමයි ඔය බෙහෙත් ඔරුවක තැම්පත් කරලා තියෙනවා කියලා මේ සන්නසේ සඳහන් වෙන්නේ . එතනට යන පාරවල් නම් මේකේ සඳහන් වෙලා නැහැ මොකක්වත් . ඒත් ඖෂධ මංජුසාව ගන්න යන්න ඕන විදිය , කරන්න ඕන දේවල් ඔක්කොම සඳහන් වෙලා තියෙනවා "





" හාමුදුරුවනේ දැන් පාන්දර වෙන්නත් ආවා නෙව . ඒ නිසා මමයි චූටි පුතයි දැන් යන්නම් වලව්වට . හාමුදුරුවොත් ඩිංගක් සැතපුනානම් නේද හොඳ මේ වෙලාවේ . අපි උදෑහනම පන්සලට ආයෙත් එන්නම් "

" අරනෝලිස් මොකද කියන්නේ මේ වෙච්ච දේ ගැන . මේ ශරීරයට අයෙත් පන දෙනවද ? . නැත්නම් මේ සන්නස ආයෙත් නිධන් කරලා ආනාගතයට මේක ඉතුරු කරනවද ? "

" හාමුදුරුවනේ මමනම් හිතන්නේ ශරීර කූඩුවට පන දීලා සන්නස විතරක් අනාගතයට ඉතුරු කරොත් හොඳයි කියලා . එන්න එන්නම සුද්දා ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුව වෙනස් කරලයි තියෙන්නේ . ඒ නිසා ඉස්සරහට හැදෙන උන් මේවගේ වටිනාකමක් හිතට අරගෙන වැඩ කටයුතු කරන එකක් නැහැ . අනික මේ ශරීරකූඩුවත් තොටගමුවේ හාමුදුරුවන්ගේ සරීරය වගේ පරදේසක්කාරයින් අතට යනවාට වඩා හොඳයි අපිම ඒගැන බලාගන්න එක . ඇත්තටම හාමුදුරුවනේ මොකක්ද අර දැක්කයි කියන හීනය ? "

" ආ , මට අරනොලිස්ට ඒ ගැන කියන්න වෙලාවක් ලැබුණේ නැහැ නෙව . මම ඔය හීනය ගණන් ගත්තේ නැහැ අරනෝලිස් . ඒත් බලන්න චෛත්‍යයට අකුණු පහර වැදුණුවෙලේ තමයි මම තේරුම් ගත්තේ ඒ අකුණුපහර මගේ හීනයත් එක්කම සම්බන්ධයි කියලා . හීනය විස්තර කරලා දැන් වෙලාව නාස්ති කරන්න ඕන නැහැ . අරනෝලිස්ලා වලව්වට යන්න . මටත් දැන් තෙහෙට්ටුයි . ඒ නිසා මමත් ඩිංගක් සැතපිලා ඉඳලා උදෑහනම අපි කතාකරමු මේ වෙනුවෙන් මොකද කරන්නේ කියලා "

" එහෙනම් අපිට ආවසර "

" සුවපත් වේවා ! "

සීයාත් මමත් පන්සලෙන් පිටත්වනවිට කුකුළා හඬලන්න තිබුණේ පැයක් පැය එකහමාරක් පමණි . වලව්වට යන අතරේ සීයා සහ මම කතාකරන ලද්දේ ඉදිරියේදී අපිට මුහුණපාන්නට වන ප්‍රශ්න පිළිබඳවය .

" සීයේ "

" ම්ම්ම්ම් "

" දැන් ඔය මනුස්සයට අපි පන දුන්නයි කියමුකෝ . එයාට අපි කතා කරන ඒවා තේරෙයිද ? "

" මමනම් හිතන්නේ පුතේ සන්නස වෙන බහකින් ලියවිලා තිබුණට ඒකාලෙත් කතා කරන්න ඇත්තේ මේ සිංහලම තමයි . අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා "

" මටනම් හිතට හරි නැහැ වගේ "

" ඇයි පුතේ ? "

" නැහැ ඉතින් අතීතයේ ඉඳලා එකපාරටම වගේ සැතපුණු කෙනෙක් ආයෙත් අවුරුදු දහස් ගානකට පස්සේ අවධිවෙනකොට ? "

" හ්ම්ම්ම්  . මටත් හිතාගන්න බැහැ ඒ මනුස්සයා කොහොම කෙනෙක්ද කියලා . අන්තිමට ගාලකඩාගත්ත හරකා වගේ දුවන්න තියාගනියිද දන්නේ නැහැ "

කතාවෙන් කතාව අපි වලව්වට ළඟාවීමු . මේ පිළිබඳව සීයාත් මමත් වලව්වේ සියල්ල දැනුවත් කිරීමට කථිකා කරගත් අතර ඊට ඇතුළත් වූයේ අම්මාත් තාත්තාත් ආච්චිඅම්මාත් පමණි . වලව්වට ආ අපි පසුදා උදෑසන වනතුරු නිදාගත්තෙමු . ඉන්පසුව වලව්වේ ඉහත කී පිරිස මේ පිළිබඳව දැනුවත් කර නැවතත් පන්සලට යාමට පිටත් වීමු .

නායක ස්වාමීන් වහන්සේ පන්සල් වත්ත අමදිමින් සිටියහ .

" අරනොලිස්ලටත් නින්දගිහින් නැති පාටයි "

" එහෙමයි හාමුදුරුවනේ . වැඩි නිදිමතක් තිබුණෙත් නැහැ . අර තෙහෙට්ටුවට වගේ නිසා ඩිංගක් හාන්සි උනා . ඒත් නින්දක් කියලා තිබුණේ නැහැ . වෙච්චි දේවල් සිහිපත් වෙනකොට ඉස්සරහට මොනවා වෙයිද කියලා හිත හිත ඉන්නකොට නිදිමත නැතිවෙලා ගිහින් "

" මටත් හිතාගන්න බැරි ඒකමයි අරනෝලිස් "

" අපි යමු ආවාසගෙය පැත්තට . එළියේ ඉඳගෙන මේවා කතා කරන එක එච්චර නුවණට හුරු නැහැ "

ආවාසගෙය තුළට ආපසු නායක ස්වාමීන් වහන්සේ නැවතත් තම හඬ අවධි කළහ .

" මම සන්නසම කියවලා අවසන් කරා අරනෝලිස් . ඊට පස්සේ තමයි පොඩ්ඩක් සතපුනේ . මේ තැම්පත් කරලා තියෙන මනුස්ස පරාණය තමයි සුරනිමල යෝධයාට දෙවෙනි නොවෙච්ච එකම කඩු හරඹ කාරයා වෙලා තියෙන්නේ . එසේ මේසේ කෙනෙක් නෙවෙයි මේ ඉන්නේ . විජිතපුර සටනේ මහ මොළකාරයින්ගෙන් එක්කෙනෙක් කියලත් කියලා තියෙනවා . අපිට මේ කෙනා ලවා ගොඩක් විස්තර අහගන්න පුළුවන් වෙයි අතීතය ගැන . ඒ නිසා මේ පරාණය ආයෙත් උපද්දන එක තමයි හොඳම දේ . ඒවායින් අපිට තවත් ඉතිහාස පොතක් ලියලා අනාගතයට ඉතුරු කරලා තියන්න පුළුවන් "

" හාමුදුරුවනේ මම අංජනම ඇරලා බලන්නද මේ මංජුසාවයි ශරීරය තැම්පත් කරලා තියෙන බෙහෙත් ඔරුව තියෙන ගල් ගුහාවයි කොහෙද තියෙන්නේ කියලා ? "

" කමක් නැහැ අරනෝලිස් . සන්නසේ කඩයිම් වගයක්නම් සටහන් කරලා තියෙනවා . ඒවා අනුව ගිහින් අපිට පුළුවන් වෙයි හොයාගන්න . ඒත් අංජනමෙන් අරනොලිස්ට පාර බලාගන්න පුළුවන් නම් අපිට පුළුවන්වෙයි කොහොමද යන්නේ කියලා බලාගන්න "





" චූටි පුතේ ඔයා වලව්වට ගිහින් අංජනම අරගෙන එන්න . අපි පන්සලේ දේවාලගෙයි ඉඳගෙන අංජනම ඇරලා බලමු කොහොමද මේ තැන් වලට යන්නේ කියලා "

මම වහා වලව්වට ගොස් අංජනම රැගෙන නැවතත් පන්සලට පැමිණියෙමි . සීයා මම සහ නායක ස්වාමීන් වහන්සේ පන්සලේ ඇති කතරගම දේවාලයට ඇතුල්වී මල් ආසනයමත අංජනම තබා අංජනම ඇරීමේ කටයුත්තට මුල පිරුවෙමු .

“……ආතාල බන්ධ පාතාල බන්ධ අටකොන රාක්ෂ බන්ධ ශක්‍ර දේවේන්ද්‍රගේ අනින් කැරකි කැරකී ඇවිලී දැවිලී මහාමේරුවට අත තබා සුරාසුර කොදෙවු සාගර තරණය කර හනුමන්තා දේව රාජා අංජන දේවී අරං එලිය බලා ඕඩු ස්වාමියානේ ඕඩු ඕඩු එස්වාහඃ………”

" අහන්න පුතේ මේ මංජුසාව කොහෙද තියෙන්නේ කියලා . අපිට පාර පෙන්නන්න කියන්න "

" සීයේ හනුමා යනවා ඉස්සෙල්ලම අපේ වලව්වට "

" ඔව් , එතන ඉඳලා කොහාටද යන්නේ ? "

" ඊට පස්සේ යනවා පාරට . පර දිගේ ගිහින් ගිහින් ගමේ මායිමෙන් ඉවත් වෙලා අල්ලපු ගමට ඇතුළු වෙනවා . ඊට පස්සේ අල්ලපුගමේ කෙළවරේ තියෙන වනාන්තරයට ඇතුල් වෙනවා . එතනින් එහාට යන්නේ නැහැ . යන්න බැහැ කියලා කියනවා . හනුමාගේ ගමනට මග අවුරලා තියෙන්නේ කියලා කියනවා "

" එහෙනම් පුතේ හනුමට කියන්න අංජනම් දේවියට ආරාධනා කරන්න කියලා "

" හරි සීයේ අංජනම් දේවිය වැඩියා "

" අංජනම් දේවියට අවහිරය නැතිකරගෙන යන්න පුලුවන්ද කියලා බලන්න කියන්න "

" සීයේ අංජනම් දේවියටත් මග අවුරලා තියෙන්නේ කියනවා "

අනතුරුව සීයා අංජනම් එලි සඳහා මතුරන මන්තර සියල්ලම පාහේ මතුරමින් හනුමාට සහ අංජනම් දේවියට අවුරා ඇති මග පැහැදිළි කරදීමට උත්සාහ ගත්තේය . එහෙත් අවසානයේ හනුමා විසින් කියන ලද්දේ එම ස්ථාන ලේසියෙන් සොයාගැනීම වළකාලීම සඳහා මග අවුරා තිබෙන බවයි .


" හාමුදුරුවනේ , මේ වැඩේ ලේසි වෙන්නේ නැති පාටයි . හනුමට මග අවුරන්න පුළුවන් තරම් කෙනෙක් ලේසියෙන් ඉඳියි කියලා මම හිතුවේ නැහැ . මේ සරීරයයි මංජුසාවයි හොඳට මන්තර ගුරුකම් දන්නා කෙනෙක් තමයි ආරස්සා කරලා තියෙන්නේ . අපි එහෙනම් එතනට ගිහිල්ලම බලමු "

ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි පසුගි...

සඳ එළියේ අසිපත ( 2 )







මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි




පසුගිය කොටසෙන්

" චූඩාමාණික්කය කෑලි කෑලිවලට කැඩිලා ගුරුන්නාන්සේ . හතරැස් කොටුව දේවතා කොටුව කොත් කැරැල්ල නම් හදන්න පුළුවනි . ඒත් චූඩාමාණික්කයක් හොයන්න නම් ලේසි වෙන එකක් නැහැ "

" රත්නපුරේ පැත්තේ වලව් කීපයක්ම මම අඳුරනවා ගුරුකම් වලට ගිහිල්ලා . ඒ වලව් වලින් මට මේ වෙලාවේ උදව්වක් ගන්න පුළුවන් වෙයි හාමුදුරුවනේ "

මේ අතරේ වෙද සීයා ගම්මුන් සමග කතාවට වැටුණු අතරේ ලත් අවස්ථාවෙන් නායක ස්වාමීන් වහන්සේ උපරිම ප්‍රයෝජනය ගත්හ .

" අරනෝලිස් . නිවීහැනහිල්ලේ වෙලාවක චූටි පුතා එක්ක පන්සලට එන්න . හතරැස් කොටුව කෑලි කෑලිවලට කැඩිලා විසිවෙනවා මම ඇහැටම දැක්කා . හතරැස් කොටුවේ තිබුණු නිධන් පෙට්ටිය කළුගල් පෙට්ටියක් . මම ඒක කාටවත් පෙන්නේ නැතිවෙන්න එවෙලේම වැස්සේ තෙමි තෙමීම අරගෙන ඇවිත් ආවාස ගෙයි මගේ කුටියේ තැම්පත් කළා . ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා ඇත්තෙත් මේ පෙට්ටියේ වෙන්න ඕන . ඒක ආයෙත් තැම්පත් කරන්න කලියෙන් මට ඒක විවෘත කරලා බලන්න හිතයි . මේ ළඟදී මම හීනයක් දැක්කා ඔය සම්බන්ධව . මේකේ පෙරනිමිත්තක් වෙන්න බැරි නැහැ ඒ හීනෙන් කියවුනේ කියලා මට හිතෙනවා "

අද එතැන් සිට






" ඉතින් හාමුදුරුවනේ නිධන් පෙට්ටිය ඔබවහන්සේට තනියම උස්සාගන්න පුළුවන් උනාද ? "

" අඩි එකහමාරක් විතර දිග පළල ඇති මයේ හිතේ . ඒත් වැඩිය උස නැහැ . ඒ නිසා මම පුළුවන් හැටියට නිධන් පෙට්ටිය ආවාසගෙට අරගෙන ගියා "

" හාමුදුරුවනේ මේවා වෙන කවුරුවත් දැක්කේ එහෙම නැත්ද ඉතින් ? "

" පොඩිඋන්නාන්සේලා හොඳටම නිදි . ඇබිත්ත උන්නැහේත් සනීප නැතිව නිදාගෙන හිටියේ . ඒ නිසා දකින්න නැහැ කවුරුවත් . දැක්කත් ඉතින් ඒක එච්චර ගැටළුවක් වෙන්නේ නැහැ අරනෝලිස් . මොකද එවෙලේ මොකවත් පේන්නෙවත් නැහැ . ඒ වෙලාවට මිනිස්සුන්ගේ අවධානය වැඩිපුරම යොමු වෙන්නේ නිධන් පෙට්ටියට නෙවෙයි , චෛත්‍යයේ කැඩිච්ච කොත් වහන්සේ පැත්තට "

" හාමුදුරුවනේ එහෙනම් අපි මේ කතාව මෙතනින් නවත්තමු . මම වෙලාවක නිවී හැනහිල්ලේ පන්සලට එන්නම් . කොහොමත් නිධන් පෙට්ටිය විවෘත කරනවානම් ඒක චෛත්‍යය අලුත්වැඩියා කරන්න කලින් කරලා අහවර කරන්න වෙයි . මොකද හතරැස් කොටුව ඉක්මනටම හදන්න මුල පුරන්න වෙන නිසා නිධන් පෙට්ටිය ඉකමන්ටම බලන්න වෙයි හාමුදුරුවනේ "

" පන්සල පැත්තේ එන්නකෝ අරනෝලිස් එහෙනම් වෙලාවක "

" අපිට අවසර "

" සුවපත් වේවා ! "

සීයාත් මමත් පන්සල් වත්තේ රැඳෙමින් එහි වූ කීප දෙනෙක් සමග චෛත්‍යයේ වැඩකටයුතු පිළිබඳව කථිකා කර පැය කීපයක් ගතවීමෙන් අනතුරුව නැවතත් වලව්වට පිටත්වී ගියෙමු . ගම්මුන් සමහරෙක් මෙම අකුණු පහර පිළිබඳව පවසන ලද්දේ මෙය ගමට වූ දේව ශාපයක් ලෙසය . එහෙත් නායක ස්වාමීන් වහන්සේගේ සිහිනය සහ මෙම අකුණු පහර අතර කුමන හෝ සම්බන්ධයක් තිබිය යුතු බව මගේ විශ්වාසය විය .

" චූටි පුතේ "

" ඇයි සීයේ ? "

" අපි අංජනම ඇරලා බලමුද මොකක්ද මේ ගල් පෙට්ටිය කියලා ? "

" ඔව් නේද සීයේ . මටත් හිතෙනවා මොකක් හරි දෙයක් ඇති කියලා "

" දවල්ට කාලා නාලා කියලා ලැස්ති වෙන්නකෝ එහෙනම් . අපි බලමු මේක මොකක්ද කියලා "

සීයාටද යම් කුතුහලයක් ඇතිවූවිට එය විසඳා නිරාකරණය කරගන්නා තුරු නිවනක් නැති බව එයින් මොනවට පැහැදිළි වේ . පන්සලේ සිට ආ මොහොතේ සිට මම එතරම් වැදගත් රාජකාරියක් නොකළ අතර වැඩිමනත් කාලය ගත කලේ වත්ත පිටියේ අවිදමින්ය . අනතුරුව දවල් ආහාරවේල නිමවූ බව අම්මා කී විගස මම බත් කෑමෙන් පසුව ලිඳට ගොස් නා පිරිසිදුවී කාමරයට පැමිණියෙමි . පෙට්ටගම විවෘත කර අංජනම අතට ගත් මම සීරුවට පෙට්ටගම වසා සීයාගේ කාමරයට ගියෙමි .





" සීයේ අපි අංජනම ඇරලා බලමු එහෙනම් "

" එහෙනම් පුතා මල් බුලත් අඹ කොළ අත්තක් එහෙම තියලා මල් ආසනයක් හදන්නකෝ "

" හොඳමයි සීයේ "

අවසර ලත් ඇසිල්ලේ මල් බුලත් ආසනයක් සාදා නිම කල මම අංජනම එහි තබා මන්තර මතුරන්නට සැරසෙන විට සීයා මා වළකා සීයා විසින්ම මන්තර මැතිරීම ආරම්භ කළේය .

..... ආතාල බන්ධ පාතාල බන්ධ සිවුකොන අටකොන සොළොස්කොන බන්ධ බන්ධාමි හනුමන්තා දේව රාජා බන්ධාමි අදත් මාගේ මෙරඟ මඩලට දිෂ්ටි ලා ගිනි ගිනි හනුමා දේවරාජා සෙල්ලුම් ක්‍රලාඩි බාහේස් ගුරුලා වන්දනේ ඉරන්ද පෝනුම් සුවරවර වරියේ වෙල්ලක් කොන්ඩු ඉරිනුත්තු සෙල්ලුම් පේසු වර වර දේව රාජා පුර මෙත්ත පුඩයුම් කයිවීර හනුමා දේව රාජා බන්ධ බන්ධාමි වර වර ඒස්වාහඃ ...... ඕන් හරගුරු හනුමා දේවරාජා වර වර ...............

" සීයේ හනුමා ආවා . දැන් මොනවද අහන්න ඕන ? "

" අහන්න පන්සලේ කොත් කැරැල්ලට අකුණු පහරක් වැදුනේ ඇයි කියලා "

" සීයේ හනුමා කියනවා අකුණු පහර වැදුනේ හාමුදුරුවන්ට පෙර දීපු දැනුම් දීමක් සිහියට ගත්තේ නැති නිසාය කියලා . මොකක්ද කියලා නම් කියන්නේ නැහැ "

" එහෙනම් දැන් අහන්න අර කළුගල් පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා " 

" සීයේ ඒ කළුගල් පෙට්ටියේ සර්වඥ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා තියෙන දඹ රන් කරඬුවක් තියෙනවා කියනවා . ඊට අමතරව රන් පත්තිරුවල ලියලා තියෙන සන්නසක් තියෙනවා කියලාත් කියනවා . ඒ සන්නස හාමුදුරුවන් ලවා කියවන්න කියලා කියනවා . ඒක දුටුගැමුණු රජතුමාගේ කාලෙ ලියලා තැම්පත් කරපු සන්නසක් කියලා කියනවා . ඒ සන්නස ලියලා තියෙන අකුරු කියවන්න හාමුදුරුවන්ට පුළුවන් කියලාත් කියනවා " 

" හා එහෙමද . එහෙනම් අපි ඒ කළුගල් පෙට්ටිය විවෘත කරලා බලමු . දැන් අහන්න ඒ පියන අරින්නේ කොහොමද කියලා . මොකද ඕකට කුළුගෙඩි පහරවල් ගහන්නත් බැරි නිසා " 

" සීයේ සීයාගේ පොත්වල එක පොතක තියෙනවා කියනවා බාල ලෝහවලින් රත්තරන් හදන බෙහෙත් වට්ටෝරුවක් . ඒ වට්ටෝරුවට තව බෙහෙත් වර්ග කීපයක් දාලා බෙහෙත වෙනස් කරලා හදලා අඹරලා ගල් පියනේ ගාලා අව්වේ තිබ්බට පස්සේ පියන බුරුල් වෙලා අරින්න පුළුවන් වෙයි කියලා කියනවා " 

" එහෙනම් පුතේ අහන්න කොහොමද ඒ බෙහෙත් වට්ටෝරුව වෙනස් කරන්නේ කියලා "

" සීයේ , එහෙනම් සීයා ලියාගන්න මම අහලා කියන ඒවා " 

හනුමා විසින් පවසන ලද බෙහෙත් වට්ටෝරුව වෙනස් කිරීමේ විධිය සම්පූර්ණයෙන්ම සටහන කරගත් සීයා දෙවියන්ට පිං දී අංජනම වසා එම කාර්යය අවසාන කළේය . 

" පුතේ එහෙනම් මේ බෙහෙත් වට්ටෝරුව වෙනස් කරනහැටි ඔය ඉඩ තියෙන හොඳ බෙහෙත් ලියලා තියෙන පොතක ලියලා තියන්න . මේ වතාවේ වගේම අපිට කවදාහරි ආයෙත් උවමනා වෙන්න බැරි නැහැ . ඒ නිසා ඕක රහසක් විදියට පවත්වාගන්න මතක තියාගන්න හොඳද ? " 

" හොඳයි සීයේ " 

" එහෙනම් එන්න බලන්න අපි පෙට්ටගමේ පොත් පෙරළලා බලමු අර රත්තරන් හදන බෙහෙත් වට්ටෝරුව කොහොමද කියලා " 

සීයාත් මමත් පෙට්ටගමේ ඇති පොත් පෙරලා බලමින් අවසානයේ අවශ්‍ය බෙහෙත් වට්ටෝරුව සහිත පොත සොයාගතිමු . එම පොත මම පෙට්ටගමේ උඩට වන්නට තබා පොත් සියල්ල නැවත අසුරා පොත් වලට වැඳ පෙට්ටගම වසා යතුර කරකැවීමි . " ටක්ස් " යන ශබ්ධය නංවමින් පෙට්ටගමේ අගුලු හිරවිය .




දින කීපයක් ගතවිය . සීයා සහ මම ඉර අවරට යන්නට හෝරා කිහිපයක් තබා පන්සලට පයින්ම ගමන් කළෙමු . 

" පුතේ නායක හාමුදුරුවන්ට ගල් බෙහෙත් ගැන දැන්මම මොකවත් දැනගන්න තියන්න එපා . ඒක එච්චර නුවණට හුරු නැහැ කියලයි මමනම් හිතන්නේ . අපි පස්සේ උවමනා උනොත් විතරක් ඒක කියමු " 

" හොඳයි සීයේ " 

" මමනම් හිතන්නේ මේ නිධන් පෙට්ටියත් මොකක් හරි වැදගත් හෝඩුවාවක් තියාගෙන තමයි හතරැස් කොටුවෙන් පිටතට එන්න ඇත්තේ . බලමුකෝ මොකද වෙන්නේ කියලා " 

අපි පන්සල වත්තට ඇතුළුවන විට නායක ස්වාමීන් වහන්සේ සාමණේරයන් වහන්සේ නම සමග ආවාසගෙයි දොරකඩ අසල වැඩ සිටියහ . සාමණේරයන් වහන්සේ පොතක් අතේ තබාගෙන වැඩ සිටි අතර නායක ස්වාමීන් වහන්සේ අවවාදාත්ම ස්වරූපයෙන් සාමණේරයන් වහන්සේ අමතමින් සිටියහ . 

" හා පොඩි නම මේ පිරිත් සූත්‍ර ටික පාඩම් කරලා ආයෙත් පාඩම් දෙන්න ඕන හොඳද ? . දැන් යන්න එහෙනම් ආවාස ගෙට " 

" අවසර හාමුදුරුවනේ " 

" සුවපත් වේවා " 

" අරනෝලිස් එහෙනම් එන්නකෝ ආවාසගෙට " 

" චූටි පුතේ , පුතත් එන්න ඇතුළට " 

" අරනෝලිස් මම ඉන්නගමන් මේ පෙට්ටගම විවෘත කරන්න උත්සාහ කළා . ඒත් ලේසියෙන් අරින්න බැහැ . ඒ නිසා මම එහෙමම තියෙන්න ඇරලා නිකං උන්නා  . මේක මම හිතන්නේ ගල් බෙහෙත් ගාලා උණු කරලා අලවලා තියෙන්නේ . ඒ නිසා එක්කෝ කුළුගෙඩි පාරවල් ගහලා මේක කඩන්න ඕන . නැත්නම් පියන අරින්න විදියක් කල්පනා කරන්න ඕන " 

" හා ! හා ! හාමුදුරුවනේ . මේකේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා තමයි මට අංජනමෙන් දැනගන්න ලැබුණේ . ඒ නිසා මේකට කුළුගෙඩි පාරවල් ගහන්න එපා . අපි පියන අරින්න වෙන විදියක් කල්පනා කරමු " 

" අරනෝලිස් එහෙනම් මටත් වඩා ඉක්මන් වෙලා වගේ . ඒක හොඳයි . නැත්නම් මම බැරිවෙලාවත් මේකට කුළුගෙඩි පාරවල් ගහලා කොච්චර පාප කර්මයක්ද කරගන්නේ " 

" හාමුදුරුවනේ මේ පෙට්ටියේ තියෙනවා කියන්නේ ධාතු කරඬුවක් එක්ක සන්නසක් . මොකක්ද කියලා දන්නේ නැහැ . ඒක කියවන්න හාමුදුරුවෝ දන්නවා කියලා තමයි හනුමා කිව්වේ " 

" ඔය සෙල්ලිපි එහෙම ලියලා තියෙන අකුරු නම් කියවන්න මමත් ඒකාලේ ඉගෙනගත්තා . අපි එහෙනම් මේ සන්නස අරගෙන බලමු මොනවද තියෙන්නේ කියලා " 

" හාමුදුරුවනේ , හාමුදුරුවෝ දන්නේ එහෙම නැත්ද ඔය කළුගල් උණු කරන්න ගන්න බෙහෙත් ගැන එහෙම ? "






" මම මහන වෙන්න කලින් දවසක් අපේ ධම්මරුචි නායක හාමුදුරුවෝ ඔයගැන දවසක් මමත් එක්ක කිව්වා මතකයි . ඒත් ඒවා හරියට මමත් දන්නේ නැහැ අරනෝලිස් . චූටි ගුරුන්නාන්සේට ලැබුණේ නැත්ද පොත් ගුලේ තිබිලා ඒ ගැන ලියවිලා තියෙන පොත් පත් එහෙම ? " 

" මටනම් මුකුත් ඒ සම්බන්ධව කියවන්න ලැබුණේ නැහැ හාමුදුරුවනේ " 

" හ්ම්ම්ම් ඒකත් එහෙමද ? "

" කමක් නැහැ හාමුදුරුවනේ . මම පොඩ්ඩක් හොයලා බලන්නම් . සමහරවිට හොයාගන්න බැරිවෙන එකක් නැහැ මේ වෙනුවෙන් මොනවා හරි . මම දන්නා වෙද මහත්තයෙක් ඉන්නවා ඈත පළාතක . ඒ වෙද මහත්තයාගෙන් හරි මම මේ ගැන අහලා බලන්නම් "

" ඒක හොඳයි අරනෝලිස් "

" හාමුදුරුවනේ අපිට ඔය නිධන් පෙට්ටිය බලාන්න අවසරද ? "

" එන්නකෝ අරනෝලිස් . මම ආවාසගෙයි ඇතුල් කාමරේ තමයි ඒක තැම්පත් කරලා තියෙන්නේ "

නායක ස්වාමීන් වහන්සේ මමත් සීයාත් කැටිව ඇතුළු කාමරය වෙත ගමන් කළහ . එය කාලෙකින් අතුපතුගා සුද්ද කර නැති එහෙත් සැලකියයුතු තරම් අපිරිසිදු ස්ථානයක්ද නොවේ . නිධන් පෙට්ටිය ලෙස හැඳින්වූ එම කළුගල් පෙට්ටිය සිවුරු රෙද්දකින් වසා තිබිණි .

" මේ තියෙන්නේ අරනෝලිස් ඒ නිධන් පෙට්ටිය තමයි "

" චෛත්‍යයේ උඩ තැම්පත් කරලා තියෙනකොට මේක තැම්පත් කරන්න තරම් හතරැස් කොටුව විසාලද කියලාත් හිතෙනවා . ඒත් බලනකොට හතරැස් කොටුව තරමක් ලොකුයි නේද හාමුදුරුවනේ ? "

" ඒක නෙවෙන්නන් අරනෝලිස් . මමත් පන්සලේම උන්නට මොකද මටවත් එච්චර නිච්චි නැහැ මේ චෛත්‍යයේ හතරැස් කොටුව මේ තරම් විසාලයි කියලා "

" හාමුදුරුවනේ මට ඩිංගිත්තක් මේ නිධන් පෙට්ටිය බලන්න අවසරද ? "

" කමක් නැහැ අරනෝලිස් . මේක ඉතින් කොහොමත් අරනොලිස්ට තමයි පරීක්ෂා කරලා බලන්නේ වෙන්නේ "




සීයා නිධන් පෙට්ටිය අසලට ළං වෙන විටදී මමද සීයා සමග ඒ අසළට ළං වීමි . සැබවින්ම එය ඉතාමත් සුමට ලෙස නිමවා තිබුණු කළුගල් පෙට්ටියකි . එහෙත් එහි එක් පැත්තක් තරමක් පළුදු වූ ස්වභාවයක් ගෙන තිබිණි .

" හාමුදුරුවනේ මේ මෙතන පළුදු වෙලා තියෙන්නේ වැටිච්ච පාරට වෙන්නැති නේද ? "

" ඔව් දරුවෝ . නැත්නම් බලන්න වෙන කිසිම තැනක් කිසිම පළුද්දක් ඇතිවෙන්නේ නැතිවෙන්න මේ නිධන් පෙට්ටිය හදලා තියෙනවා නෙව "

" ඒත් කමක් නැහැ . නිධන් පෙට්ටිය විනාස වෙලා නැති නිසා දුකක් නැහැ "

" හාමුදුරුවනේ . මම මේකට විසඳුමක් බලන්නම් . පියනක් වහලා කියලා කියන්න බැහැ මේ තියෙන හැටි දැක්කම . බලන්න පිහිටි ගලක් තියලා වගේම තමයි පියන වහලා ගල් බහෙත් වලින් උණු කරලා තියෙන්නේ "

" ඒක තමයි අරනෝලිස් . ඒ කාලෙ මිනිස්සු කොච්චර් දේවල් කරලා තියෙනවද . ඒ අතින් අද කාලෙ අයට සුද්දගේ ආයුධේ නැත්නම් කිසිම දෙයක් කරගන්න බැරිවෙලා තියෙනවානේ . මේ වගේ ගම්වල තමයි මේ ශිල්ප ටිකක් හරි රැකිලා තියෙන්නේ . එහෙනම් අරනෝලිස් මොකක් හරි පිලියමක් බලන්නකෝ . මම චෛත්‍යය හදන වැඩේ පහු කරන්න තමයි හිතාගෙන ඉන්නේ මේ රාජකාරිය අහවරක් වෙන්න ඕන නිසා "

" මේ සුනු විසුණු වෙලා තියෙන දේවල් අස්පස් කරන්න ටික කාලයක් යයිනේ හාමුදුරුවනේ . ඒ නිසා අපිට කාලෙ ඇතිවෙයි . අපි එහෙනම් ගිහින් එන්නම් හාමුදුරුවනේ "

" හොඳයි අරනෝලිස් , සුවපත් වේවා ! "

සීයා සහ මම පන්සලෙන් පිටත්වීමට සැරසෙන විට රෑබෝ වී තිබිණි . හුළු අත්තක් පත්තුකරගත් සීයාත් මමත් වලව්වට එන අතරතුරේ මගේ සිත්ගත් රුවැත්තිය පිලිබඳ කතාවක් ආරම්භ විය .

" චූටි පුතේ , අර වෙද ගෙදර ඉන්න ගෑණු ළමයා දහම් පාසලේ වැඩ කටයුතු හොඳට කරගෙන යනවද ? "

" ඔවු සීයේ , සඳමලී නංගිට උගන්වන්න ටිකක් පුළුවන් කියලා මටත් හිතෙනෙවා . සමහරවෙලාවට මට ඇහෙනවා නංගි ළමයින්ට උගන්වන හැටි "

" වෙදගෙදර පිරිමි ළමයි කවුරුවත් වෙදකම ඉගෙන ගත්තේ නැති නිසා මම හිතන්නේ ඔය කෙල්ලට තමයි වෙදගෙදර වෙදකම උගන්වන්න හිතාගෙන ඉන්නේ . දවසක් මාත් එක්ක වෙද උන්ද කිව්වා එහෙම දෙයක් "

" ඔව් සීයේ සඳමලී නංගිට තමයි වෙදකම් උගන්වන්නේ . මම වෙදකම් ඉගෙනගන්න ගියාම සමහරවෙලාවට වෙද සීයා එයාටත් වෙදකම් කියලා දෙනවා . දවසක් නංගි මගෙන් විෂ බස්සන මන්තර ගැන ඇහුවා . මට කියලා දෙන්න වෙලාවක් උනේ නැහැ "

" ඒවානම් කියලා දුන්නට කමක් නැහැ . ඒත් දන්නවනේ ? . රහස් රහස්ම තමයි . විශේෂයෙන්ම මේ ශිල්පය සම්බන්ධව කාන්තා පාර්ශවයත් එක්ක වැඩ කටයුතු පරෙස්සමට කරන්න ඕන හොඳද පුතේ . අමනුස්සයෝ සම්බන්ධ මන්තර මොකවත් කියන්න යන්න එහෙම ඕන නැහැ "

" හොඳයි සීයේ "

" සීයේ අපි දැන් අර බෙහෙත් හදන්නේ අපි හදනවා කියලා කියන්නේ නැතිවද ? "

" ඔව් . මම හිතාගත්තේ එහෙම කියන්න . මොකද ඕක පිට අය දැනගන්න ඕන නැහැ . නැත්නම් පස්සේ කරදර වෙනවා "

සීයාත් මමත් ඉන් පසු දින කීපයෙක වෙහෙසවෙන ලද්දේ කළුගල් උණුවී මෙලෙක්වී යන වටිනා ඖෂධය සෑදීමේ කටයුතු කිරීමටය . ඊට අවශ්‍ය බෙහෙත් වර්ග , පාසානම් වර්ග සෙවීම ලේසි පහසු කාර්යයක් නොවීය . සමහර බෙහෙත් වර්ග ගමේ සමහර උදවිය ලවා සොයාගැනීමට හැකිවිය . එහෙත් ඒ කුමන අරමුණක් සඳහාද යන්න මුවින් නිදහස් නොකිරීමට මමද සීයාද වගබලා ගතිමු .

බෙහෙත් වර්ග සොයා අඹරා කළයුතු සියලු දේවල් සිදුකර අවසානයේ කළුගල් මෘදු කරනු ලබන එක මාහැඟි ඖෂධය සාදා අවසන් කරන ලදී . මෙම ඖෂධය පරීක්ෂා කරබැලීමට සීයා දිනක් කටයුතු කළේය . බෙහෙත් ගෑ කළුගල් කැබැල්ල සීයා විසින් පිරිමැද බැලුවේය . පුදුමයකි . එය මැටි පිඩක් සේ මෙලෙක් වී තිබිණි .

" සීයේ හරිම පුදුමයි නේද ? "

" ඒ කාලෙ ලොකු ලොකු බුදුපිළිම නෙලන්න , ගල් කැටයම් නෙළන්න මේ වගේ බෙහෙත් තමයි පුතේ උදවු උපකාර වෙන්න ඇත්තේ . නැත්නම් කොහොමද ඒ තරම් සුමුදුවට ඒ කැටයම් නෙලන්නේ "

" මටනම් හරිම පුදුමයි සීයේ "

" එහෙනම් අපි නිධන් පෙට්ටිය විවෘත කරන්න සූදානම් . හෙටම යමු පන්සලට "

සීයාත් මමත් පසුදා පන්සලට ගියෙමු . නායක ස්වාමෙන් වහන්සේගේ අනුදැනුම ඇතිව නිධන් පෙට්ටිය විවෘත කිරීමට කටයුතු කරන ලද්දේ සීයා විසිනි . එම කාලය තුල මා කරන ලද්දේ පැත්තකට වී බලා සිටීම පමණි . සීයා පළමුව පිරිසිදු පොල් කොස්සක් රැගෙන ගල් පෙට්ටියේ පියන වටා හොඳින් පිරිසිදු කළේය . ඉන්පසුව ඖෂධ කුප්පිය රැගෙන එය විවෘත කර පියන වටේටම එම බෙහෙත් ආලේප කළේය . පසුව අව්ව වැටීමට සැලසීම ගැටළුවක් විය . ඒ නිසා සීයාත් මමත් නායක ස්වාමීන් වහන්සේත් එක්ව නිධන් පෙට්ටිය ආවාස ගෙයින් පිටතට රැගෙන විත් නැවත ආවාසගෙය තුලට රැගෙන ගියෙමු .

මද වෙලාවක් සිට සීයා තම හඬ අවධි කළේය .


" හාමුදුරුවනේ පොඩ්ඩක් බෙහෙත් ගලවපු හරියෙන් අත තියලා බැලුවනම් "

" හරිම පුදුමයි අරනෝලිස් . හරියට දැන් අනාපු මැටි වගේ මුර්දු වෙලා "

සීයා ඉනේ ගසා සිටින කිස්නිස්ස රැගෙන දොදොල් කපන්නා ගානට සීරුවට බෙහෙත් ගලවපු ස්ථානය වටේ පිහියෙන් කපාගෙන ගියේය . ඉන්පසුව සෙමෙන් සෙමෙන් පියන එසවීමට තැත් කරත්දී මමද ඊට සහාය විමි . මද ආයාසයකින්ම පියන විවෘත විය .

ගල් පෙට්ටිය පිරෙන්නම සෑදුනු රත්රන් පෙට්ටියක් ඒ තුල විය . එහි අගුලු ලා තිබුණේ නැත . පියන ඔසවා ඉවත් කිරීමට හැකි අයුරින් එය නිමවා තිබිණි . සීයා එහිද පියන විවෘත කළේය . අංජනමෙන් කියවුණු සධාතුක කරඬුව , සන්නස ඇතුළුව තවත් පූජා භාණ්ඩ කීපයක් ඒ තුල අන්තර්ගතවී තිබිණි . ඒ අතර මාගේ සිත් ගත් දෙයක් වූයේ එහි වූ කුඩා රත්රන් කඩුවයි .

" හාමුදුරුවනේ එහෙනම් ඔන්න අපි අමාරුම රාජකාරිය ඉෂ්ට සිද්ද කරගත්තා "

" අරනෝලිස් . ධාතු කරඬුව තැම්පත් කරන්න ඕන බුදු කුටියේ . අරනොලිස්ම ශාතු කරඬුව හිස මතට ගත්තනම් තමයි හොඳ "

" හොඳමයි හාමුදුරුවනේ "

සීයා සධාතුක කරඬුව රැගෙන හිසමත වඩා හිඳුවා ඇත දෙකෙන්ම එය අලාගෙන බුදුකුටියවෙත සංයමයෙන් යුතුව ගමන් කළේය . නායක ස්වාමීන් වහන්සේ එය සීයාගේ හිස මතින් රැගෙන බුදු කුටියේ බුද්ධ රූපයේ දෑත් මත තැම්පත් කළහ .

" සාධු සාධු සාධු !!!!! "

" දැන් ගමේ උදවියට කියන්න ඕන ඇවිත් ධාතුන් වහන්සේලා වැඳ පුදාගන්න ඇවිත් යන්නය කියලා . ආයේ කවදා ඉතින් මේ වගේ අවස්ථාවක් ගමේ උදවියට ලැබෙනවා කියලද ? "

" හාමුදුරුවනේ සන්නස කියවන්න දැන් වෙලාවක් නැහැ නෙව . ඒ නිසා පන්සලේම ඒවා තැම්පත් කරලා තියාගන්න . මමයි චූටි පුතයි එන්නම් ආයෙත් වෙලාවක . නැත්නම් හාමුදුරුවෝ ඒ දේවල් පොඩ්ඩක් කියවලා බැලුවනම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ . කොහොමත් ඒ භාෂාව මම දන්නෙත් නැහැ . ඒ නිසා හාමුදුරුවන්ට තමයි ඒක කියවලා බලන්න වෙන්නේ "

" මම අද රෑටම ඒක කියවන්න පටන් ගන්නවා අරනෝලිස් . අපි එහෙනම් ගිහින් නිධන් පෙට්ටියේ පියන තියලා තියමු . දැන් මට ඒක උවමනා වෙලාවට බලන්නත් පුළුවන් නිසා ඕන වෙලාවක සන්නස අරගෙන කියවලා බලන්න පුළුවන් "

මමත් සීයාත් නායක ස්වාමීන් වහන්සේත් ආවාසගෙය තුලට නැවත ඇතුල්වීමු . සන්නස ගැනීමට නායක ස්වාමීන් වහන්සේ නිධන් පෙට්ටිය තුලට අත දමනවිටම සීයා කෑගැසුවේය .

" හාමුදුරුවනේ බලාගෙන ඔන්න ඔතන නයෙක් "

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි පස...

සඳ එළියේ අසිපත ( 1 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .




ලිඛිත සාක්ෂි නොමැති වුවද ගමේ පන්සල කාවන්තිස්ස රජතුමාගේ කාලයේ පටන් පැවත එන පුරාණ රජමහා විහාරයක් බව ගමේ කවුරුත් විශ්වාසති . රුහුණු රටේ සිට දුටුගැමුණු මහ රජතුමා එළාර රජුට විරුද්ධව සටන් මෙහෙයවන සමයේ මෙම පන්සලද එතුමන්ගේ සැලකිලි සත්කාර ලද බව ගම්මුන් පවසන්නේ ඇතැම්විට ඉමහත්වූ ආඩම්බරයකිනි . ඊට හේතුව වන්නට ඇත්තේ දුටුගැමුණු මහ රජු යනු ලංකා ඉතිහාසයේ අමිල මෙහෙයක් ඉටු කරන ලද නරෙශ්වරයෙකු නිසා බැව් මම විශ්වාස කරමි . කටින් කට පැවත එන මෙවැනි ඉතිහාස කතා සමහරක් තුල පමණට වඩා අතිශයෝක්තිය පවා අන්තර්ගත වන්නට ඇත . එහෙත් හයක් හතර නොදත් සමහර ගම්මුන් මෙන්ම ගමේ ජීවත් වූ වෙද මහතා , ආරච්චි මහතා , සීයා වැනි උදවිය පවා මෙම කතා පිළිබඳ තම අදහස් දක්වන ලද්දේ සිත තුල තදින් කිඳා බැසගත් විශ්වාසයකින් යුතුවය . එබැවින් ඒවා අතිශයෝක්තිය මත පමණක් පදනම්වී ඉවත දැමීම අකටයුත්තක් බව මමද තරයේ විශ්වාස කරමි .

වලව්ව මෙන්ම පන්සලද මගේ ජීවිතයේ ඉතාමත් වැදගත් ස්ථානයක් බව සිහිපත් කල යුතුය . වලව්ව හා සමාන මෙහෙවරක් ඉටු කරමින් මාගේ ජීවිතය මේ ආ ගමන් මග වෙතට නැඹුරු කරන ලද්දේ පන්සලයි . ඒ වලව්වෙන් ඉගෙනගත් මන්තර ශාස්ත්‍රය ඉගෙන ගැනීමට මූලික වූ භාෂා දැනුම මා ලබාගත්තේ  පන්සලේදී ලබාගත් පිරිවෙන් අධ්‍යාපනයෙන් වීමයි . පිරිවෙන් අධ්‍යාපනය තුළදී බෞද්ධ දර්ශනය මෙන්ම සිංහල පාලි සංස්කෘත හා දෙමළ භාෂාවද තරමක් දුරට හැදෑරීමට මට හැකියාව ලැබිණි . දෙමළ භාෂාව ඉගැන්වීම සඳහා දෙමළ භාෂාව දැනඋගත් ස්වාමීන් වහන්සේ නමක් ඒ කාලය තුළ පන්සලට වැඩම කරවාගැනීමට සීයා සහ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ කටයුතු කළහ . ඊට හේතුව වූයේ සමහර පුස්කොල පොත්වල මන්තර ලියවී ඇත්තේ දෙමළ අකුරු වලින් වීමයි . අපගේ පවුලට අයත් නොවුවද , සමහර අවස්ථා වලදී දෙමළ බසින් ලියවුණු මන්තර සහිත පුස්කොල පොත් කීපයක් පරිත්‍යාගශීලී වෙදැදුරන් විසින් ඒ ඒ කාලවලදී අප වෙත ලබා දී තිබේ . එනිසා ඒවා පරිශීලනය කිරීම සඳහා දෙමළ භාෂාව ලිවීමට කියවීමට දැනගෙන සිටීම තරමක් වැදගත් කාරණාවක් විය .





පිරිවෙන් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව මම වැඩි කාලයක් ගත කලේ මන්තර ශාස්ත්‍රය ධාරණය කරගැනීම සඳහා පමණක්ම නොවේ . වෙද සීයාගෙන් වෙදකම ඉගෙනගැනීමටද සීයා මා යොමු කළේය . එබැවින් ඉඩ අවකාශය ලද සෑම මොහොතකම මම වෙද සීයා හමුවීමට ගොස් වෙදකම ඉගෙනගැනීමට කටයුතු කලෙමි . සියාතු සීයාගේ මන්තර පොත් සහිත පෙට්ටගම වලව්වට පැමිණෙන කාලයේද මම වෙද සීයාගෙන් වෙදකම් ඉගෙන ගනිමින් සිටියෙමි . මා වෙද සීයාගේ නිවසේ සිටින දිනයක වලව්වේ කරත්තය දක්කන ජේමිස් මා වෙත පණිවුඩයක් රැගෙන ආවේය . කල් වේලා ගත කිරීම යුතු නොවන බැවින් මම ඉක්මණින්ම වලව්වට ගියෙමි . පන්සලේ නායක හාමුදුරුවෝ වලව්වට වැඩ වලව්වේ ඉදිරිපස තබා ඇති ආසනයක තැම්පත් වී සීයා සමග සුහද පිළිසඳරක යෙදෙමින් සිටියහ .

" ආ , ඉලන්දාරියා දැන් මන්තර සාත්තරේ අතෑරලා වගේ "

මම ඊට පිළිතුරු දීමට මත්තෙන් නායක ස්වාමීන් වහන්සේගේ දෙපා වැන්දෙමි .

 " සුවපත් වේවා ! "

" සමහර වෙලාවල් වලදී මන්තරේට වෙදකමත් තිබ්බනම් හොඳයි කියලා මටත් හිතිලා තියෙනවා හාමුදුරුවනේ . ඒත් අපේ සීයා තමයි මාව වෙදකම ඉගෙනගන්න වෙද සීයලාගේ ගෙදරට යවන්න පිළයෙල කලේ . වැඩි දුරට නැතත් , තරමක් දුරට හරි වෙදකම ඉගෙන ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ . අඩුම තරමේ බෙහෙත් පැළෑටි මොනවද කියලාවත් ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා "

" ඒක හොඳයි දරුවො . කොච්චර දෙයක්ද මේ සාත්තරේ ඉස්සරහට නැතිවෙන්න නොදී පවත්වාගෙන යන එක . අපේ නායක හාමුදුරුවෝ ඉස්සර මම මහන වෙන්නත් කලින් කියලා තියෙනවා මේ වලව්වේ උදවිය කරපු කියපු දේවල් ගැන . මමත් පොඩි කාලෙ ලොකු ගුරුන්නාන්සේගෙන් , ඒ කියන්නේ අරනෝලිස්ගේ තාත්තාගෙන් තෙල් මතුරාගන්න එහෙම ඇවිත් තියෙනවා . මට මතකයි වතාවක් ගමේ ගෑණු කෙනෙක්ට සර්පයෙක් ගහලා විස බස්සන්න බැරුව ඉන්න වෙලාවක ලොකු ගුරුන්නාන්සේ ඇවිත් මතුරලා තෙල් ගාලා විස බස්සලා සනීප කරා . ඇත්තටම ඒ මිනිස්සු බුදුන් දැක නිවන් දකින්න තරම් පිං දහම් රැස්කරගත්තා ඒ කාලෙ "

" හාමුදුරුවනේ ගිලන්පස ටිකක්වත්......???? "

" මම චුටි ගුරුන්නාන්සේ එන්න කලියෙන් ගිලන්පස ටිකක් වළඳලා ඉන්නේ . මම මේ ආවේ වැදගත් රාජකාරියක් ගැන කතා කරගන්න හිතාගෙන . අපේ පන්සලේ දැන් පිරිවෙනට එන ළමයි ගණන කලියෙන් උන්නු ගන්නට වඩා වැඩි වෙලා තියෙනවා . ඒ නිසා පිරිවෙනට අමතරව මම කල්පනා කරා ඉරිදා දහම්පාසලක් ආරම්භ කරානම් ගමේ ළමයින්ට දහම් අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් කියලා . පිරිවෙනට හැමෝම ආවම මූලික දැනුම දෙන්න කාලෙ වැය කරනකොට මූලික දැනුම තියෙන අයට තමන්ගේ කාලය නාස්ති කරනවා කියලා හිතෙන්න පුළුවන් . ඒ නිසා මම කල්පනා කරා මූලික දහම් අධ්‍යාපනය දෙන්න ඉරිදා දහම්පාසලක් අපේ පන්සලෙත් ආරම්භ කරන්න "

" චූටි පුතේ , නායක හාමුදුරුවෝ වැඩලා තියෙන්නේ පුතාටත් ඉරිදා දහම්පාසලේ උගන්වන්න එන්න පුලුවන්ද කියලා අහන්න "

" ඉරිදා දවසේ කියලා ඉතින් මට ලොකු ලොකු රාජකාරිනම් නැහැ හාමුදුරුවනේ . ඒත් ගුරුකම් වලදී සමහර නැකත් යෙදිලා තියෙන්නේ ඉරිදා දවස්වල නිසා මට සමහර ඉරිදාවල් වලදී වැඩක් යෙදුනොත් නම් එන්න ලැබෙන්නේ නැහැ . ඒකට ඔබවහන්සේගේ අමනාපයක් නැත්නම් මට මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් "

" ඒක ඉතින් මම නොදන්නවය . ඒකට කාරී නැහැ . අපට උවමනා කරන්නේ දහම් අධ්‍යාපනය හොඳින් තියෙන උදවිය පන්සලට එකතු කරගෙන ඉරිදා දහම් පාසල ආරම්භ කරන්න . එතකොට ඉගෙන ගන්න දරුවන්ට හොඳ අධ්‍යාපනයක් අපට ලබාදෙන්න පුළුවන් වෙනවා "

" ඉතින් හාමුදුරුවනේ කොහොමද අපි මේ දහම්පාසල ගැන ගමේ උදවිය දැනුවත් කරන්නේ ? "

" මම අනිද්දා හවස දිහාවට පන්සලේ බන ශාලාවට ගමේ උදවියට රැස් වෙන්නය කියලා පණිවුඩයක් යවාගෙන තමයි වලව්වට ආවේ චුටි ගුරුන්නාන්සේ මේ කාරියට සම්බන්ධ කරගන්න . මොකද කියන්නේ එහෙනම් මම චුටි ගුරුන්නාන්සේවත් මේ වැඩේට එකතු කරගත්තා ඔන්න එහෙනම් හොඳද ? "

" හොඳමයි හාමුදුරුවනේ . මගේ අකමැත්තක් නැහැ . මට එන්න බැරි දවස්වලට පිලියමක් යොදලා අපි මේ දහම්පාසල ආරම්භ කරමු එහෙනම් "






නායක ස්වාමීන් වහන්සේ වලව්වට සමු දුන් අවස්ථාවේ සිට මාගේ සිත තුල නලියන්නට වූයේ තවත් නොබෝ දිනකින් මා ආරූඪ කරගැනීමට නියමිත ගුරුවරයෙකුගේ භූමිකාව කෙසේ රඟපෑමට මට සිදුවන්නේද යන්න පිලිබඳවය . එහෙත් පැය කීපයකින් එම කුතුහලය පහව ගියේ එය මට රඟ දැක්වීමට එතරම් අපහසුවක් නොවේය යන හැගීම සිත තුල ටිකෙන් ටික මෝදුවීමත් සමගය .

නායක ස්වාමීන් වහන්සේගේ අභිමතය පරිදි අදාළ දිනයේ අදාළ වේලාවට ගමේ සියල්ලම පාහේ රැස්කරවා ඉරිදා දහම්පාසල පිළිබඳව දැනුවත් කළෙමු . මෙම දැනුවත් කිරීම සඳහා සීයාද , මමද , වෙද සීයාද , ආරච්චි මහතාද සහභාගී වීමු . මීට අමතරව මීට කලකට ඉහතදී පිරිවෙනෙන් අධ්‍යාපනය ලත් කිහිප දෙනෙක්ද වූ අතර ඔවුන්ටද අත්වී තිබුණේ මගේ ඉරණමමය . මේ අතර වෙද සීයාගේ වැඩිමල් පුතාගේ දියණියද ඇතුළත්ව තවත් ගැහැණු ළමයෙකුද ඇතුළත් වී තිබිණි . පිරිවෙන් අධ්‍යාපනය කාන්තාවන්ට අකැපය යන මතය බිඳ හෙලමින් නායක ස්වාමීන් වහන්සේ මා ඉගෙන ගන්නා කාලයේ පිරිවෙන් අධ්‍යාපනය ලබාගැනීමට කැමති ගමේ ගැහැණු ළමයින්ටද අවස්ථාව ලබා දී තිබිණි . එහෙත් පිරිමි ළමුන් සහ සාමනේර හිමිවරුන් වෙනමත් ගැහැණු ළමුන් වෙනමත් සිටින සේ වෙන් කරවා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට නායක ස්වාමීන් වහන්සේ වගබලා ගත්හ . ඒ තවත් ගජමන් නෝනලා සහ ඇලපාත මුදළිලා ඇතිවීම වැලැක්වීමටය .

ඉරිදා දහම්පාසල ආරම්භ කෙරිණි . ගමේ ළමුන් විශාල ප්‍රමාණයක් දහම්පාසලට පැමිණ සිටි අතර ඔවුන් පංති කීපයකට බෙදා ඉගැන්වීම් කටයුතු කිරීමට නායක ස්වාමීන් වහන්සේ තීරණය කළහ . ඒ අනුව ඒ ඒ පංති වලට එක් එක් ගුරුවරුන් තමන් වැඩියෙන් දක්ෂ විෂයන් ඉගැන්වීම කළයුතු බවද නායක ස්වාමීන් වහන්සේ විසින්ම තීරණය කළහ . සතියක් දෙකක් ගත වීමත් සමගම ඉගෙන ගන්නවාට වඩා ඉගැන්වීම ඉතාමත් වෙනස්ම රාජකාරියක් බව මම වටහා ගත්තෙමි .

ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් මම ඉගැන්වීම් කටයුතු දියුණු කරගැනීමට උනන්දු වීමි . ඒ අතර ගුරුකමටද , වෙදකමටද මුල් තැන දීමට අමතක නොකලෙමි . කාලය ගතවීමත් සමගම අවුරුදු 26ක් තිස්සේ වලව්වේ ගතකල ජීවිතය තරමක් වෙනස් විය . ඒ පන්සලට කලින්ට වඩා වැඩියෙන් සම්බන්ධ වීමට සිදුවීම සහ එකම පවුලක සහෝදර සහෝදරියන් ලෙස කටයුතු කරනු ලබන වසර කීපයක අඩු වැඩි වයසින් යුත් ගුරුවරුන් පිරිසක් සමග සිටීමට ලැබීමයි .

ඉරිදා දහම්පාසල මගේ ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෙනස් කිරීමට දායක විය . ඒ ගුරුන්නාන්සේ වලව්වට එක්වන නවතම සාමාජිකාව ඉරිදා දහම්පාසලේදී මාහට මුණගැසීමෙනි . වෙඩි බෙහෙත් සහ ඉඹුල් පුළුන් ගෙඩියක් ලෙස සිටි අවධියේ පිරිවෙනට ආගිය ඇය හා මා ඉරිදා දහම්පාසලේ ඉගැන්වීමට පැමිණි අවධියේ ගත කරන ලද්දේ ගින්දර සහ පුළුන් වැනි තත්ත්වයකය . එහෙත් ඇයද මමද හදවතට ඉක්මන් වීමට ඉඩ නොදී ඔලුවටම මුල් තැන දී කටයුතු කළෙමු .

අවසානයේ දර්ශනං චිත්ත වෛකල්‍යන් යන පාඨය මොනවට පසක් කරමින් දැකීමෙන් සිත වසඟයටම පත්වී ගියේය . එහෙත් ඇයගේද මගේද එම ගණුදෙනුව කාටත් රහසක්ම වී තිබිණි . ඊට හේතුව වන්නට ඇත්තේ ඇය හා මා ගත කල සහෝදර බැඳීමක් හා සමාන කුළුපග වීම යැයි මම විශ්වාස කරමි . ඇයද මමද ගෞරවය රැකගනිමින් කාලය ගතකල අතර මේ පිළිබඳව අදාළ නිවෙස් දෙකෙහිම වැඩිහිටියන් සමග කතා කරන තුරු කිසිම ආකාරයකින් මේ පිළිබඳව කතාවක් ඇති නොවන ආකාරයෙන් ජීවත් වීමට ඇයද මමද කථිකා කරගතිමු .




පිරිවෙනට අයත් වටිනා පුස්කොල පොත් රාශියක් ගබඩා කර ඇති පොත්ගුලක් පන්සලේ තිබේ . මෙම පොත්ගුල පරිශීලනය කිරීමේ අවසරය හිමි වූයේ සිවුරටම පමණි . එහෙත් පන්සලේ නායක ස්වාමීන් වහන්සේ දිනක් එම අවස්ථාව සිවුර නොලත් මා වෙත ලබා දුන්හ .

" චූටි ගුරුන්නාන්සේ , දැන් කොහොමද ඉරිදා දහම් පාසලේ වැඩ කටයුතු "

" වරදක් නැහැ හාමුදුරුවනේ . හොඳින් කරගෙන යනවා . ගමේ ළමයින්ට සමහර කරුණු කාරණා අව්වබෝධ කරවන්න නම් ටිකක් අපහසුයි . ඒ වෙලාවට සරළම කාරනාවේ ඉඳලා පැහැදිළි කරන්න මම උත්සාහ කරනවා . ඒ නිසා හිතුවට වඩා කාලයක් ගත වෙනවා කියලා නම් මට දැනෙනවා . ඒත් කාලයට වඩා මම කල්පනා කරේ අවබෝධය වැදගත් නේද කියලා "

" බොහොම හරි චූටි ගුරුන්නාන්සේ , බොහොම හරි . ඒක තමයි වෙන්න ඕන . අද හැදෙන උන් වගේ නෙවෙයි හෙට හැදෙන උන් . ඒ නිසා ධර්මයේ පිහිටලා කටයුතු කරන්න හැම කෙනාවම දැනුවත් කරන්න තමයි ඕන . ඒ වෙනුවෙන් කාලය ගත වුනා කියලා හිත් අමනාප කරගන්න කාරී නැහැ . බුදුහාමුදුරුවෝ සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා අවුරුදු හයක් දුෂ්කරක්‍රියා කරලා ඒ උත්තරීතර බුදුදහම අවබෝධ කරගත්තා වගේම අනුන්ටත් ඒ දහම අවබෝධ කෙරෙව්වා වගේ අපිත් උත්සාහ කරන්න ඕන අපි දන්නා ටික හරි පැහැදිලිව අවබෝධ කරවලා දෙන්න . ඒ වෙනුවන් කාලයක් ගත වුණා කියලා පාඩුවක් වෙන්නේ නැහැ"

" ඒක ඇත්ත හාමුදුරුවනේ "

" මම මේ කියන්න හිටියේ චූටි ගුරුනාන්සේ , අපේ මේ පන්සලේ පොත්ගුල පරිහරණය කරන්න චූටි ගුරුන්නාන්සේටත් ඉඩක් පාඩුවක් තියෙන වෙලාවක පුළුවන්ය කියලා . ගොඩක් පරණ පොත් පත් එහෙමත් තියෙනවා . පුස්කොල පොත් නිසා පරෙස්සමට පාවිච්චි කරන්න ඕන . ඔය ළමයා ඉතින් පුස්කොල පොත් එක්කම ජීවත් වෙන කෙනා වෙච්චි එකේ මම හිතනවා ඒවා පරෙස්සම් කරලා පාවිච්චි කරයි කියලා . මේ පොත්වල ගොඩක් පරණ ඉතිහාස කතා ලියවිලා තියෙනවා . ඒවා කියවලා ඉරිදා දහම්පාසලේ දරුවන්ටත් ඒවා කියලා දෙන්න පුළුවන් නම් අපේ ගම ගැන මේ පොඩි එවුන් තවත් දේවල් දැනගනියි කියලා මට හිතෙනවා . ඉඩ පාඩුව තියෙන වෙලාවට එන්නකෝ . මම යතුර දෙන්නම් පොත් ගුලේ . පොත් පත් ටිකක් කියවලා බලමුකෝ කොහොමද කියලා "

" ගොඩක් පිං හාමුදුරුවනේ "





පන්සලේ පොත්ගුලේ ඇති සමහර පොත්වල ඇති ඉතිහාස කතා ඇදහීමට නොහැකි තරමේ විස්මය දනවන කරුණු කාරණා සහිත දේවල් විය . ඒවා කියවීමට වෙලාව මදි වූ අවස්ථා වලදී නායක ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතිව එම පොත් වලව්වට රැගෙන ගොස් කියවා නැවත ඒවා පොත්ගුලේ තැම්පත් කිරීමටද මම කටයුතු කලෙමි . ඒ අතරේ කැඩුණු පොත් කම්බා වෙනුවට අලුත් කම්බා දැමීමටද , පොත් වල දිරා ගිය නූල් වෙනුවට අලුත් නූල් දැමීමටද මම වගබලා ගතිමි . පොතක් විනාශ වීම නැවත පිරවිය නොහැකි පාඩුවක් බව මා හොඳාකාරවම දන්නා නිසා එසේ කිරීමට මගේ යටි සිත මා වඩ වඩාත් පෙළඹවීය .

ඇයද මමද ඉරිදා දහම්පාසල් එන්නේත් යන්නෙත් එකටමය . ඇයගේ නිවහද මාගේ නිවහනද ඇත්තේ එකිනෙක මුහුණලා ඇති මාවත් දෙකකය . දුරුතු මාසයේ මැද භාගයේ සිට ආරම්භ කරන ලද ඉරිදා දහම්පාසල පොසොන් මාසයද පසුකරමින් තිබිණි . ඉඳුරු දෙවියන් විසින් සඳ එළියේ අසිපත උපලිප්ත කරවීමේ අකුණු සැරය මුදාහරින ලද්දේ පොසොන් මාසයේ දෙවෙනි ඉරිදා දිනයේ රාත්‍රීයේදීය .

ඉරිදා දහම්පාසල නිමවී ඇයද මමද දහම්පාසලට ආ අනෙකුත් දරුවන් සමග නිවෙස් බලා ආවේ වෙනදා මෙන් දහම්පාසලේ දරු දැරියන්ගේ සිදුවීම් පිළිබඳව කතා කරමින්ය .







" අයියා දන්නේ නැහැනේ අද මගෙන් ළමයෙක් අහපු ප්‍රශ්නයක් ? "

" ඇයි මොකක්ද ඇහුවේ ? "

" සංසාර චක්කරේ කැරකෙන එකක්ද කියලා ඇහුවනේ "

" ඉතින් "

" මට හිනහත් ගියා . මම ඉතින් පුළුවන් විදියට පහදලා දුන්නා . ඒත් මට තේරුනා ඒ ළමයට ඒක තේරුනේ නැහැ කියලා "

" අපි නායක හාමුදුරුවන්ට කියමු ඒ වගේ දේවල් ළමයින්ට කියලා දෙන්න සරල උදාහරණ තියෙන දේවල් අපිට උගන්වන්න කියලා . එතකොට අපි ඉගෙන ගත්ත නැති දේවල් මොනවා හරි තවත් දැනගෙන ළමයින්ට වැඩිපුර කියලා දෙන්න පුළුවන් "

" ඒක නෙවෙයි . අයියා ආයෙත් ඉරිදාමද එන්නේ පන්සල පැත්තේ ? "

" මම පන්සලේ පොත්ගුලෙන් අරගෙන ආව පොත් වගයක් නම් තියෙනවා දෙන්න . ඒක දෙන්න පන්සල පැත්තේ එන්න ඉන්නේ දවසක . නංගිත් එදාට පන්සල් එන්න නම් අහන්නේ මට කියන්න තියෙන්නේ එන්න එපා කියලා තමයි "

" ඇයි ඒ ? "

" නායක හාමුදුරුවන්ට මේ වගක් දැනගන්න ලැබුණොත් අපි දෙන්නාටමයි අපේ ගෙවල් වලටයි දෙකටම හොඳ නැහැ . ඒ නිසා මම නංගිලාගේ ගෙදර ආව වෙලාවට ඔය පුළුවන් විදියට කතා බහ කරලා ඉමු . දැන්මම අපි කතා බහ කරනවා වැඩිද මන්දා කියලා මට වෙලාවකට හිතෙනවා . මම ඉතින් වෙදකම් ඉගෙනගන්න වෙද සීයා හම්බෙන්න එන වෙලාවට කොහොමත් නංගි ගෙදර ඉන්නවනේ . කෝ ඒ ආවට වචනයක්වත් කතා කරන්නේ නැහැනේ "

" හපෝ මට බැහැ . සීයා දැනගත්තොත් මට ඉසකුඩිච්චි දාවි "

" සීයා නෙවේ එහෙනම් මම දාන්නම්කො ඉසකුඩිච්චියක් නංගිට තියෙන හිතේ අමාරුව සනීප වෙලා යන්න "

" අයියට මන්තර එක්ක ජීවත් වෙනවා වගේ තමයි මට වෙදකමත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ . අයියත් රහස් රකිනවා . මමත් රහස් රකිනවා . බලනකොට අපි දෙන්නම එක වගේ නේද ? "

" හ්ම්ම්ම්ම්ම්ම්................... "

" මම එහෙනම් ගිහින් එන්නම් අයියේ . බුදුසරණයි "

" හ්ම්ම්ම්ම්ම්.................. "

" හ්ම්ම් නෙවේ , බුදුසරණයි කියන්න "

" හා බුදුසරණයි "

මද සිනහවක් පෑ ඇය වෙද ගෙදරට හැරෙනවාත් සමගම වැහි ලිහිණින් ඉගිළී යනවා මම ඈතින් දුටුවෙමි . සති කීපයක් තිස්සේ ගමට හරි හමන් වැහි බිංදුවක් වැටුණේ නැත . පොළව ඉරිතලා වියලී ගොස් තිබිණි . තණකොළ පාගනවිට කොකිස් ගෙඩියක් පොඩිවී යන්නා සේ කරස් කරස් ගා වියලි තණකොළ පොඩිවී යයි . මම වලව්වට අඩිය තියනවාත් සමගම වාගේ පරිසරයේ ආලෝකමත් බව තුරන් වී එකවරම පරිසරය අඳුරු වී ගියේය . පැය කීපයක් ගතව යන්නට ඇත . කෙමෙන් කෙමෙන් වැහි පොදය දෙක වැටෙන්නට විය .

" චූටි පුතේ , අදනම් මේ දවස් ටිකේම පායපුවට හරියන්න වහින්න එන පාටයි "

" ඒක තමයි සීයේ තාත්තත් තවම ගෙදර ආවේ නැහැ නේද ? . වහින්න ගත්තොත් කරත්තේ යවන්න වෙයි නේද ? "

" ආ කරත්තේ යවන්න ඕන නැහැ . ඔය එන්නේ තාත්තා කියනකොටම "

තාත්තා කඩුල්ල අසල සිට වලව්වට එන ටිකට ඔහු තෙතබරි වීමට තරම් වැස්සක් ඇදවැටිණි . වර්ෂාව අඩුවක් නැත . කෙමෙන් කෙමෙන් වැස්සේ සැරබව වැඩිවීමත් සමගම මම කාමරයට ගොස් දොර වසා ඇඳට වී රෙද්දක් පොරවාගෙන නිදාගන්නට සැරසුනෙමි . හිසේ සිට පොරවාගෙන සිටි රෙද්ද හිසෙන් ඉවත් කර ජනේලයෙන් පෙනෙන අකුණු එළිය බලා සිටීම හිතට තරමක ආශ්වාද ජනක කටයුත්තක් විය . එකපිට එකපිට අකුණු උපුරමින් තිබී මද වෙලාවකට අකුණු පිපිරීම නතර විය . එසේ නතරවී සිටි අකුණු පිපිරීම ඊළඟ අවස්ථාවේ පුපුරා ගියේ ඇඟ කිළිපොලා යන තරමේ හඬක් නිකුත් කරමින්ය .දැන් රාත්‍රී හත අට පමණ වන්නට ඇත . මේ දක්වාම නොකඩවා වර්ෂාව අද හැලිණි .

" කොහාට හරි හෙන ගෙඩිය පාත් වුණා ඒ සද්දේ හැටියටනම් "

ඒ සීයාය . මම සීතලට රෙද්ද පොරවාගෙනම කාමරයේ දොර ඇර සාලය පැත්තට ගමන් කලෙමි . තවමත් අකුණු පුපුරමින් වර්ෂාව අද හැලේ .

" සීයේ කොයි පැත්තටද එළිය වැටුණේ ? . සීයා දැක්කද ? "

" පන්සල පැත්තෙන් තමයි එළිය පාත් උනේ . උදේට බැරිය කොහාටද වැදුනේ කියලා දැනගන්න "




අකුණු එවන්නේ දෙවියන් විසින් බව පොඩිකාලේ අම්මා මට කතන්දර කියාදෙන විය කියා දී තිබේ . අකුණු එවීම අයත් වී තිබෙන්නේ ඉන්ද්‍ර දෙවියන්ටය . ඉන්ද්‍ර දෙවියන් තමන්ගේ යුද්ධ වලදී නිකුත් කරන අකුණු වෙනත් දෙවිවරුන්ගේ පලිහවල් වල වැදී පොළවට පැමිණෙන බව අම්මා මට කියා දී තිබේ . දෙවියන් විසින් මේ අකුණ එව්වේ කොතනටද ? . අකුණ ගැන සිතමින් මම නැවතත් කාමරයට වැදී හොඳින් පොරවාගෙන නිදාගත්තෙමි .

උදෑසන වනවිට වැස්ස අඩුවී යන්තම් පොදයක් පමණක් ඉතුරු වී තිබිණි . වලව්වට ආ වෙද සීයා රැගෙන ආවේ හදවත සසල කරවන පුවතකි .

" පන්සලේ චෛත්‍යයේ කොත් කැරැල්ලට ඊයේ රාත්තිරියේ අකුණක් වැදිලා . චූඩා මාණික්කයේ ඉඳලා හතරැස් කොටුවට වෙනකල්ම පුපුරලා කෑලි කෑලිවලට කැඩිලා ගිහින් "

" සීයේ අපිත් යමු පන්සලට "

ජේමිස් කරත්තය සූදානම්කර ආ සැනින් මමද සීයාද වෙද සීයාද එහි ගොඩවී පන්සල බලා ගමන් කළෙමු . පන්සලට යන විය ගමේ කීපදෙනෙක්ම පන්සලේ චෛත්‍යය වටා රොක් වී සිදුවූ විපත පිළිබඳව විමසමින් සිටියහ . නායක ස්වාමීන් වහන්සේද ඒ අසල විය .

" අවසර නායක හාමුදුරුවනේ "

" ස්වභාවධර්මයා විපරිත උනාම ඔහොම තමයි අරනෝලිස් . ආ මේ වෙද මහත්තයත් ඇවිත් ඉන්නේ "

" දැන් ඉතින් ගමම එක්කාසු වෙලා චෛත්‍යය ගොඩනගන්න කතා කරගත්තනම් නේද හාමුදුරුවනේ "






" චූඩාමාණික්කය කෑලි කෑලිවලට කැඩිලා ගුරුන්නාන්සේ . හතරැස් කොටුව දේවතා කොටුව කොත් කැරැල්ල නම් හදන්න පුළුවනි . ඒත් චූඩාමාණික්කයක් හොයන්න නම් ලේසි වෙන එකක් නැහැ "

" රත්නපුරේ පැත්තේ වලව් කීපයක්ම මම අඳුරනවා ගුරුකම් වලට ගිහිල්ලා . ඒ වලව් වලින් මට මේ වෙලාවේ උදව්වක් ගන්න පුළුවන් වෙයි හාමුදුරුවනේ "

මේ අතරේ වෙද සීයා ගම්මුන් සමග කතාවට වැටුණු අතරේ ලත් අවස්ථාවෙන් නායක ස්වාමීන් වහන්සේ උපරිම ප්‍රයෝජනය ගත්හ .

" අරනෝලිස් . නිවීහැනහිල්ලේ වෙලාවක චූටි පුතා එක්ක පන්සලට එන්න . හතරැස් කොටුව කෑලි කෑලිවලට කැඩිලා විසිවෙනවා මම ඇහැටම දැක්කා . හතරැස් කොටුවේ තිබුණු නිධන් පෙට්ටිය කළුගල් පෙට්ටියක් . මම ඒක කාටවත් පෙන්නේ නැතිවෙන්න එවෙලේම වැස්සේ තෙමි තෙමීම අරගෙන ඇවිත් ආවාස ගෙයි මගේ කුටියේ තැම්පත් කළා . ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා ඇත්තෙත් මේ පෙට්ටියේ වෙන්න ඕන . ඒක ආයෙත් තැම්පත් කරන්න කලියෙන් මට ඒක විවෘත කරලා බලන්න හිතයි . මේ ළඟදී මම හීනයක් දැක්කා ඔය සම්බන්ධව . මේකේ පෙරනිමිත්තක් වෙන්න බැරි නැහැ ඒ හීනෙන් කියවුනේ කියලා මට හිතෙනවා "


ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

පලි :- ඔන්න එහෙනම් අලුත්ම කතාව පටන් ගත්තා . කාලයක් තිස්සේ ලියනවා ලියනවා කිය කිය ඉඳලා දැන් තමයි ලියන්න පටන් ගත්තේ . වෙලාව තියෙන හැටියට ලියන්නම්කෝ .

අලුත්ම ලිපි පබ්ලිෂ් උනාද කියලා බලාගන්න අපේ ෆේස්බුක් ග්රූප් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න . පහළ තියෙනවා ලින්ක් එක .

- මකරාගේ සන්නස -

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි . ල...

ළිඳක් වැසීම හා වැනසීම





වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා කරවපු රත්නපුර පොත්ගුල් විහාරය පිහිටලා තියෙන්නේ අපි ඉන්න නිවස පිහිටලා තියෙන කන්දේ දකුණු බෑවුමේ . අපි ඉන්නේ කන්දේ උතුරු බෑවුමේ . සමන් දේවාලය පිහිටලා තියෙන්නේ කන්දේ වයඹ බෑවුමට ආසන්න වෙන්න පහළම කොටසේ . මේ කන්ද හරහා සමන් දේවාලයේ ඉඳලා පොත්ගුල් විහාරය දක්වා විහිදිලා තියෙන උමගක් තියෙනවා කියලා කතාවක් තියෙනවා . මේ උමග ගිලා බැසීම හේතු කරගෙන ඒ ආශ්‍රිත නාය යෑමක් තියෙනවා කියලා ඉස්සර ඉඳලාම කියනවා . ළඟදීම නාය යයි කියලා තමයි හිතන්නේ . මොකද දැන් ගිලා බැසීම් ගොඩක් තියෙන නිසා . පස මතුපිට මුල් පද්ද්ධතිය දුර්වල වෙන්න වෙන්න පස් ගිලා බහිනවා . දැන් ඉතින් ලොකු ගස් වලට වඩා තේ ගස් සහ තේ වලින් ලැබෙන සල්ලිනෙ වටින්නේ .

ඉතින් මේ කන්දේ අපි ඉන්න බෑවුමේ මුල් පදිංචිකාරයින් වුණේ අපේ සීයලා . සීයා සහ තවත් කීප දෙනෙක් මේ ප්‍රදේශයේ එලි පෙහෙළි කරලා ගෙවල් හදාගෙන පදිංචි වුණා . ඉතින් ආච්චි අම්මාත් රත්නපුරේට ආවට පස්සේ ආච්චිඅම්මාගේ ප්‍රධානම අවශ්‍යතාවය වෙලා තියෙන්නේ ගෙදර ලිඳක් හාරගන්නා එක . එතකල් වතුර ලබාගෙන තියෙන්නේ කිට්ටුව ඇලකින් . ඒ වෙනකොට, මම ඉතාම ගෞරවයෙන් සලකන අපේ මුත්තා , ඒ කියන්නේ ආච්චිඅම්මාගේ තාත්තාත් ජීවත් වෙලා ඉඳලා තියෙනවා . ඒ මුත්තට ඒ වෙනකොට මාතර ඉඳලා රත්නපුරේට එන්න පුළුවන් හොඳ සෞඛ්‍ය තත්වයක් තිබිලා නැහැ . ඒත් එයාගේ දැනුමේ අඩුවක් වෙලා තිබිලා නැහැ .

ඒ මුත්තා ආච්චි අම්මාට කියලාදීලා තියෙනවා පොළවක වතුර ගමන් කරන ජල ශිරා විහිදිලා තියෙන පැති අඳුරගන්නා විදි සහ ඒ ජල ශිරා තියෙන ස්ථාන පොලව මතුපිට තියෙන සලකුණු වලින් අඳුරගන්නා විදිය . ඒ අනුව යමින් ආච්චි අම්මා අපේ ගමේ හැමෝටම වතුර දෙන්න ළිඳක් හාරලා තියෙනවා තනියමම . තමන්ට වඩා තරමක් උසට හාරගත්තාට පස්සේ පස් ඉවත් කරන්න විතරක් වෙනත් අයගේ උදවු ගත්තත් වෙන අය ළිඳ හාරනවට කැමති නැතිව ආච්චිඅම්මා තමන්ම ඒ ළිඳ හාරලා තියෙනවා . අවසානයේ තමන්ට වඩා අඩි කීපයක් හාරනකොට ළිඳේ ජල ශිරා මතුවෙලා තියෙනවා . ඒ ළිඳ තමයි අපේ ගමේ පළවෙනි ළිඳ වුනේ . මොකද ඒ වෙනකල් කවුරුවත් විශ්වාස කරලා නැහැ කඳු ප්‍රදේශයක් නිසා ඒ ප්‍රදේශයේ වතුර උල්පත් අහුවෙයි කියලා . ඒත් කන්ද පහළ තියෙන්නේ කළු ගඟ නිසාත් ගඟ පැත්තට වතුර බහින නිසාත් මේ පැත්තේ වතුර හම්බෙනවා කියලා ආච්චිඅම්මාට විශ්වාසයක් තිබිලා තියෙනවා .

මේ සලකුණු අනුව ආච්චි අම්මා අපේ ඉඩමේ තවත් ළිඳක් හෑරුවා . ඒකත් වතුර තියෙන ලිඳක් . හැබැයි පායන කාලෙට ඒ ළිඳ නම් හිඳෙනවා . එත් පළවෙනි ළිඳ නම් තවමත් වතුර තියෙනවා . ඒ විදියට ළිඳ හාරන කාලේ කරපු වත් පිළිවෙත් ගැන ආච්චි අම්මා දවසක් මමත් එක්ක කිව්වා මතකයි . ළිඳේ ඉස්සෙල්ලම වතුර උල්පත් වලින් ආව වතුර කලයකට එකතු කරගෙන ඒ වතුරෙන් බෝධිය නාවලා දෙවියන්ට පිං දීලා කිරි ආහාර පූජා කරලා තියෙනවා . ඒවගේම තමයි හැම අවුරුද්දකම වතුර කලයක් අරගෙන ගිහින් බෝධිය නාවන සිරිතක් ආච්චිඅම්මට තිබුණා .

පළවෙනි ළිඳේ වතුර උනන්න කලින් දවසේ ආච්චිඅම්මා හීනයක් දැකලා තිබුණා . ආච්චිඅම්මා දැක්ක හීනයේ ජීවමාන බුදුන්වහන්සේ නමක් ඉඳලා තියෙනවා . ඒ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන විදියට ළිඳ ඇතුලේ පුටුවක ඉඳගෙන තමයි  වැඩ ඉඳලා තියෙන්නේ . එකපාරටම බුදුන්වහන්සේගේ ධර්ම දේශනාව නතරවෙලා නහයෙන් කටෙන් කන්වලින් පවා වතුර විහිදවනවා ආච්චි අම්මා හීනෙන් දැකලා තියෙනවා . පහුවෙනිදා මේ හීනය ගැන කා එක්කවත් කියන්නේ නැතුව ළිඳ හාරන්න ගත්තට පස්සේ අහස කළු කරලා වහින්න ලං වෙලා තියෙනවා .





එත් හවස් වෙලා නැති නිසා පුළුවන් තරම් හාරනවා කියලා හිතාගෙන ආච්චි අම්මා ළිඳ හාරන වැඩ කරගෙන යනකොට ආච්චිඅම්මාගේ පුතා , ඒ කියන්නේ මගේ මාමා දුවගෙන ඇවිත් කියලා තියෙනවා ගොරවන්න හදන්නේ ගොඩට එන්න කියලා . ඒ කියනවත් එක්කම අහසේ අකුණක් පුපුරලා තියෙනවා . ඊට පස්සේ ගහපු උදළු පාරවල් කීපයෙන් ජල ශිරාව පුපුරලා වතුර ගලාගෙන ඇවිත් තියෙනවා ළිඳට . මේ කතාව ඊට පස්සේ අවුරුදු ගානක් ගිහින් තමයි ආච්චිඅම්මා අනිත් අයට කියලා තිබුණේ .

මේ ළිඳේ වතුර රැඳීම ආරක්ෂා කරගන්න ඕන නිසා ආච්චිඅම්මා යම් උපායශීලී වැඩ කීපයක් අපේ ගෙදර කරලා තිබුණා . එකක් තමයි ඒ ළිඳට උඩ කොටසේ ලොකු උන පඳුරක් වගා කිරීම .ඒ ආසන්නයේ කළුගල් වලක් වගේ පිහිටලා තියෙන නිසා උන පඳුරට වතුරත් ඒ වලේ වතුර එකතුවෙන් ලැබුනා . උන පඳුරේ මුල් නිසා ස්පොන්ජ් වගේ ව්‍යුහයක් ගත්ත පසෙන් වතුර රඳවා තියාගෙන ළිඳ පෝෂණය කරා . පුරසාරමක් විදියට නොවුනත් ආච්චි අම්මා නිතරම මතක් කරේ මේ ළිං දෙක දෙවියන්ගේ පිහිටෙන් ලබා දුන්න දෙයක් . ඒ නිසා ළිං පරෙස්සම් කරන්න කියලා .

එදා කිව්ව දේවල්වල ඇත්ත දැන් දැන් පේන බවක් තියෙනවා . මොකද රත්නපුරේ මිනිස්සුන්ගේ පුරුද්දක්නේ පොළව හාරන එක ඒ නිසා , අපිත් ආතල් එකට වගේ තවත් ළිඳක් හෑරුවා . ඒ ළිඳ වැඩිය ගැඹුරු එකක් නෙවෙයි . ඒත් දෙවියන්ගේ පිහිටෙන් ඒකටත් වතුර ඉනුවා අඩි දහයක් විතර හාරනකොට . ඒ ළිඳ අලුත් නිසා අපි දැන් පාවිච්චි කරන්නේ ඒ ළිඳ . ළඟදී දවසක නොසිතුවිරු විදියට ළිඳේ වතුර හිඳුනා . ඒත් ආච්චිඅම්මා හාරලා තියපු ළිං දෙකේ වතුර තිබුණා . එකම ඉඩම වුණත් වතුර රඳා හිටින්නේ ළිඳ හාරපු කෙනාගේ වාසනාව මත කියලා අපේ ගෙදර අය කතා වුණා .





මට මතකයි මඝ මානවකයා සක්‍රත්වය ලබාගන්න කරපු පිං දහම් වලදීත් ළිං හාරපු බවක් සඳහන් වෙලා තිබුණා කියලා . ඒ නිසා ලිඳක් කියලා කියන්නේ ඇත්තටම ඉතාම වටිනා දෙයක් කියලා මතක තියාගන්න ඕන . මේ කතා කියන්න මට මතක් වුණේ ලිඳක් වහන්න නැකතක් ඉල්ලලා කෙනෙක් කතා කරපු නිසා . මම ඒ සටහන ලියන්න පටන් ගත්තේ ලිඳක් වහනවා කියන්නේ මහා පවුකාර වැඩක් කියලා ලියාගෙන . මොකද අතීතයේ සෘෂිවරු ළිං හැරීම කියන දේ කරලා තියෙන්නේ ඉතාම ගෞරවයෙන් . මොකද ජීවය පවතින්නේ ජලය නිසා . ජලය පවතින්නේ ළිඳ නිසා . ඒ නිසා ළිඳක් කියන්නේ රත්තරන් වටිනා දෙයක් කියලා ඒ කාලේ උදවිය විශ්වාස කරා .

අද කාලේ නම් වතුර එන්නේ ටැප් වලින් . ක්ලෝරීන් කලවම් කරලා එන වතුර නිසා එක එක ප්‍රශ්න තියෙනවා . කියන්නේ නැති වුණත් ක්ලෝරීන් ශරීරයට විෂ වෙනවා . සමට විෂ වෙනවා . ඒවගේම තමයි ඇස්වලට අසාද්මිකතාවයන් ඇති කරවනවා . ඊටත් වඩා ගැටළුව වෙන්නේ හිසකෙස් ගැළවී යාමට හේතු වීම .

ඒත් අතීතයේදී වතුර පිරිසිදු කරන්න පාවිච්චි කරලා තියෙන්නේ බෙහෙත් වර්ග . ඒවා ශරීරයට අහිතකර වෙන්නේ නැහැ . ඒ නිසා කිසිම ගැටළුවක් ඇතිවෙලා නැහැ .ඒ නිසා අද අපි ඉන්නේ දියුණු තත්වයක කියලා කිව්වාට අපි ඉන්නේ දියුණු තත්වයක නෙවෙයි කියලා මතක තියාගන්න ඕන .

පාවිච්චි කරපු ලිඳක් වහනවානම් ඒ ළිඳ වහන්න ඕන ඒ ළිඳේ තියෙන ජල ශිරා අවහිර වෙන්නේ නැති වෙන විදියට . මොකද ලිඳක් හාරලා අපි කරන්නේ පොළවේ තියෙන නහරයක් කපලා ලේ ගන්නවා වගේ වැඩක් . ආයෙත් ඒ නහරය හරියට අග මුල සම්බන්ධ වෙන්න ලේසි වෙන විදියට තමයි ළිඳ වහන්න ඕන . මේ ක්‍රියාමාර්ගය හරියට කරන්න ඒකාලේ අය සමත් වෙලා තියෙනවා . ඒවගේම තමයි ජලය ගමන් කරන ශිරාවේ ජල ගමන අඩු වෙලාවක තමයි ළිඳ වහන්න ඕන . ඒ ජල ගමන අඩු වෙලාවල් තමයි නැකත් වලදී හොයලා බලන්නේ . මොකද එහෙම වතුර ගමන් කරන පීඩනය අඩු වෙලාවට ළිඳ වහන්න ලේසියි , සහ අපිරිසුදු වතුර වෙනත් ළිං වලට ඉක්මණට යන්නෙත් නැහැ .





එයාලා ළිඳේ වතුරේ පිරිසිදු භාවය තමයි ඉස්සෙල්ලම බලලා තියෙන්නේ ලිඳක් වහන්න කලින් . ඒ නිසා ලිඳක් වහන්න කළු ගල් කැබලි , ගඟේ වැලි කියන දේවල් තමයි භාවිතා කරන්නේ . අද තියෙන ගංගා නෙවෙයි . ඉස්සර තිබ්බ ගංගාවල වැලි පිරිසිදුයි . මොකද හැමවෙලේම හේදෙන නිසාත් ගඟේ කුණු නැති නිසාත් . ඒවගේම තමයි ඒ මාධ්‍යයේ සවිවර බව ආරක්ෂා වෙන්න ඕන නිසා කළුගල් කැබලි එකතු කරනවා .

වතුර මට්ටම වැහෙනකල්ම ළිඳට දාන්නේ කළුගල් කැබලි සහ වැලි . ඒ නිසා ළිඳ තුලට සහ ළිඳෙන් පිටට තියෙන ජල ශිරා සම්බන්ධ වෙලා අපිට එපා වුණත් වතුර ඕන ළිං වලට අවහිර වීමක් නැතුව ජලය ගලාගෙන යෑම වෙනවා . ඊට පස්සේ පිරිසිදු පස් වලින් තමයි ළිඳ වහන්නේ . මොකද ජල ශිරා ආරක්ෂා කරා වගේම ඒ ජලයේ පිරිසිදු බවත් ආරක්ෂා කරන්න මිනිස්සු හිතලා තියෙන නිසා .

එහෙම ලිඳක් වැහුවම වෙනත් ළිං වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ . ඒවගේම මෙන්න මේ පිළිවෙත් එහෙමත් අනුගමනය කරනවානම තමයි හොඳ .

ජලය අයිති වෙන්නේ වරුණ දෙවියන්ට . ඒ නිසා වරුණ දෙවියන්ට පිං දීම සහ පූජා පැවැත්වීම කරන්න ඕන . ඒවගේම තමයි විෂ්ණු දෙවියන්ට පිං දෙන්න ඕන . ඊටත් අමතරව ජලයේ හිමිකාරීත්වය හිමි වෙන්නේ සඳුට . ඒ නිසා සඳු වෙනුවෙන් පූජා පැවැත්වීම සහ පිං දීමත් කරන්න අවශ්‍ය වෙනවා .





චන්ද්‍රයාගේ ගමන ජලය ජලශිරා වලින් ඇදී එන්න ඉතාමත් අත්‍යාවශ්‍ය දෙයක් . පොළව මතුපිට උදම් ඇතිවෙනවා වගේම තමයි පොලව තුලත් ජලයේ ඇදීම සිද්ද වෙන්නේ . ඒ නිසා සඳු සහ භූගත ජලය අතර තියෙන්නේ තද බැඳීමක් . ඒ නිසා පිං දීලා අවසර ගන්න ඕන ළිඳ වහන්න .

ළිඳේ වතුරෙන් බෝධිය නාවන්න ඕන . එහෙම බෝධිය නාවලා ළිඳ හාරපු අයටත් දෙවියන්ටත් පිං දෙන්න ඕන . ඒවගේම තමයි ළිඳ වහන්න කලින් ළිඳේ වතුරට මෙන්න මේ බෙහෙත් වර්ග එකතු කරන්න පුළුවන් නම් හොඳයි .

සුවඳ හොට
වම්මුතු
විෂ්ණු ක්‍රාන්ති
සුදුහඳුන්
රත් හඳුන්
නෙල්ලි
ඉඟිනි

මේ දේවල් පොඩියට කුඩු කරලා වතුරට දාලා හොඳට මිශ්‍ර වුණාට පස්සේ ළිඳ වහන්න ඕන . නැත්නම් අපිරිසිදුවෙන ජලයෙන් වෙනත් ළිං අපවිත්‍ර වෙන්න පුළුවන් . තවත් පිළිවෙත් කීපයක් තියෙනවා . ඒවාත් කරලා තමයි ඉතින් වැඩේ සම්පූර්ණ කරන්න ඕන .

අද කාලේ මේ පිළිවෙත් සපුරලා නෙවෙයි ළිං වහන්නේ . ඉස්සෙල්ලාම පටන් ගන්නේ ගෙදර කුණු දාන්න . කුණු දාලා තියෙන තියෙන ලට්ට ලොට්ටත් දාලා . පුළුවන් නම් වැසිකිලි නළයත් ළිඳට හරවලා එහෙමත් පුරවලා තමයි ළිඳ වහලා දාන්නේ . එත් තමන් ඒ කරන්නේ වෙනත් අය වතුර බොන ජල ශිරා සම්බන්ධ තැනකට බව මතක තියාගන්න . අද මිනිස්සු වෙනස් . ඒ නිසා අනිත් අය ගැන හිතන්නේ නැහැ . ඒ වගේම පරිසරය ගැන හිතන්නෙත් නැහැ . තමන්ගේ වැඩේ වෙනවානම් හොඳයි කියලා හිතාගෙන ඒ දේවල් කරනවා . ඒ නිසා මේ වගේ දේවල් ගැන තරමක් විමසිල්ලෙන් හිතලා බලන්න . මේ වගේ කරන අකුසල කර්ම සහ අනවබෝධය නිසා තමයි සමහරුන් කඳු යට ළිං හෑරුවත් අනෝරා වැසි වැස්සත් ලිංවල වතුර නොපිරෙන්නේ .

භූගත ජල සම්පත ආරක්ෂා කරගන්න . තමන්ට එපා නම් අනුන්ටවත් ආරක්ෂා කරලා දෙන්න . භූගත ජලය සම්බන්ධව තවත් ලියන්න තියෙනවා . ඒ නිසා තවත් ලිපි කීපයක් භූගත ජලය සම්බන්ධව ලියවේවි .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා කරවපු රත්නප...