අලි ඇතුන්ගේ කුල




<< නැදුන්ගමුවේ රාජා >>
දෙව්පුර ඇතෙකී - කුඹු දහසයකී
දිග දළ අටෙකී - සත් ගැබකී
වැව් පොකුණු ද කී - සත් සිය ගැන කී
එක පොකුණෙකී - සිවු මලෙකී
සිවු මල පෙති කී - ගැන තිස් දෙකකී
පෙත්තක නටු කී - සිවු සැටෙකී
කව් කර වැනුකී - ලෙවු ඉසි බසෙකී
ගජගා නමකී - වන්නමකී


මේ පහුගිය සඳුදා රත්නපුරේ , සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය ආරම්භ උනා . කප් සිටුවීම කියන පුරාන චාරිත්‍රයට අනුව සඳුදා උදේ නැකතකට කප් හිටවලා පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරුනා . 

පෙරහැර බලන්න වැඩිපුරම උවමනාව තියෙන්නේ එදාට දෙවාලෙන් එලියට වඩම්මන දේවාභරණ බලාගන්නයි ලංකාවේ හතර වටින්ම දේවාලෙට ඇවිත් ඉන්න අලි ඇත්තු ටික බලාගන්නයි තමයි . මේ අතරේ දේවාලෙට එන කකුල් දෙකේ ඇතින්නියෝ ගැනත් බලන්න ඕන .

දේවාලෙට අලි ඇත්තු 60කට ආසන්න සංඛ්‍යාවක් පෙරහර කාලෙට එක්ක එනවා . ඒ හැම කෙනෙක්ම දැකලා දැකලා දැන් නම් මේ ඉන්නේ අර පන්සලේ මෙයා අර දේවාලේ එයා කියලා පොඩි මතකයක් තියෙනවා . ඒ කෙසේ වෙතත් අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නෑ කියනවා වගේ අලි දිහා කොච්චර බලා හිටියත් එපා වෙන්නේ නෑ . මේ ළඟදී අපේ කැම්පස් එකේ යාලුවෙක් අහනවා උඹලට අලි ඉන්නවද බං කියලා . 




<< මිල්ලන්ගොඩ රාජා >>


අපිට මේ සෙමෙස්ටර් එකේ තියෙනවා පාරිසරික විද්‍යාව කියලා විෂයක් . ඒ විෂයට අපිට කරන්න වැඩක් දුන්නා . අපිට සමීප සතෙක්ගේ හැසිරීමේ ඉඳලා ඔක්කොම වැඩ ටික අධ්‍යනය කරලා ඒ සතා ගැන රිපෝට් එකක් හදන්න කියලා . 

හිතට එකපාරටම ආවේ මාළු . මොකද අපේ මල්ලියි මමයි ඇලවල් වලින් දොළවල් වලින් මාළු අල්ලන් ඇවිල්ලා උන්ට එක එක ට්‍රීට්මන්ට් කරලා උන්ව පරලොව යවලා තියෙන නිසා මාළුන්ගේ පරිසර තත්ත්ව වෙනස් උනාම මොකද වෙන්නේ කියලා පොඩි අයිඩියා එකක් තිබුණ නිසා . 

ඔන්න ඉතින් අයියයි මල්ලියි මාළු අල්ලාගෙන ඇවිල්ලා දැන් ගෙදර ඉන්නවලු . ඒත් අනිත්මට ඕකුන්ගේ වැඩ කිඩ දිහා බලන් හිටියට ලියන්න ගියාම තමා මොකවත් නැතිවෙන්නේ කියලා තේරුණා . අන්තිමට මට මතක් උනේ සමන් දේවාලේ අලියා . හැම සෙනසුරාදාම දකින ඒ මිත්‍රයා ගැන ලිව්වනම් හරි කියලා තේරුනේ පහුවෙලා . ඉතින් අලි ඇත්තු ගැන හොයන්න ගත්තා තව දුරටත් ඊට පස්සේ . 

මෙහෙම හොයාගෙන යනකොට අලියාගේ කෑම බීම , නෑම , මූණ හේදීම ආ මූණ හෝදන්නේ නෑ , නිදාගැනීම , කක්කි දැමීම චූචු දැමීම වගේ හැම දේම ගැන විස්තර හොයාගත්තා . ඒ අතරේම අලි මන්තර , අලි බෙහෙත් , වගේම අද මේ කියන්න යන අලි කුල ගැනත් හොයාගන්න පුළුවන් උනා . එක දවසක් අලි බලන කෙනෙක් එක්ක කතා කරනකොට මේ අලි කුල ගැන අහන්න ලැබුනට කිසිම මතකයක් ඒ ගැන ඉතුරු උනේ නෑ . ඒත් දැන් ඔක්කොම එකතු කරගන්න වෙලාවේ අලි කුල ගැනත් අයිඩියා එකක් ඉතුරු උනා . 

ඔයාලා දන්නවා ඇති ලංකාවේ අලි ගාල් කිරීම ජයටම සිද්දවෙච්ච කාලයක් තිබුණා . ඔය පනාමුරේ අන්තිම අලි ගාල නැති උනාට පස්සේ අලි ගාල් කිරීම නැතිවෙලා ගියා . ඒත් මේ ළඟදී ඉඳලා පෙරහැරවල් වල අඩි හතරක් පහක් උස පොඩි අලි පැටවූ ටිකක් යනවා දැක්කා . ඒ අලි පැටවූ කොහෙන් ආවත් හීලෑ අලි ඇතුන් ගණන වැඩිවෙන්න එයාලා දායක වෙනවා කියලා දැනෙනකොට පොඩි සතුටක් හිතේ තියෙනවා .

ඉස්සර ඔහොම ගාල් කරලා අලි අල්ලනකොට අලි අල්ලන අය , අලින්ගේ තියෙන විශේෂ ලක්ෂණ බලලා හොඳ ලක්ෂණ තියෙන අලි ඇත්තු තමයි අල්ලගන්නේ . එහෙම අල්ලගන්න අලි ඇත්තු මිලදීගන්න අය වාසනාවන්ත දියුණුවෙන් දියුණුවට පත්වෙන අය බවට පත්වෙනවා . ඒත් සමහර ලක්ෂණ තියෙන අලි ඇත්තු මිලදීගත්ත අය නැත්තටම නැතිවෙලා යනවා . 

අලි අත්තුන්ගේ කුල බෙදීම ඇති උනේ මෙන්න මේ දේ නිසා . අලි ඇතුන්ගේ තියෙන මංගල ලක්ෂණ වගේම අභව්‍ය ලක්ෂණ මේ වැඩේට යොදාගන්නවා . අලියෙක් ඇතෙක් දැක්ක ගමන් අපිට ඌ ගැන ප්‍රිය මනාප හැගීමක් ඇතිවෙන්නේ හරි , ඒ ඇතාගේ හෝ අලියාගේ තේජස් ස්වරූපයක් පෙන්නුම් කරන්නේ මේ ලක්ෂණ නිසා . සමහර අලි ඇත්තු දැක්කම ඒ වගේ හැගීමක් ඇති නොවෙන්නේ ඒ අලියට හෝ ඇතාට ඒ මංගල ලක්ෂණ නැති නිසා . 

මෙන්න මෙහෙමයි අලි ඇත්තු කුල වලට බෙදන්නේ . තියෙනවා ඔක්කොම අලි කුල 10ක් 

කලාවක 
ගන්ගෙයිය 
පන්දර
තම්බ
පිංගල
ගන්ධ 
මංගල 
හේම
උපෝසථ 
ඡද්දන්ත

මේ අය මේ කුල වලට බෙදලා වෙන් කරලා තියෙන්නේ මෙයාලට තියෙන වෙනස් ලක්ෂණ නිසා . තැපෑලෙන් පීනන්න උගන්නනවා වගේ ඒ ලක්ෂණ ටිකත් දාන්නම් . හැබැයි මෙහෙම කියවලා ඒ ගැන අවබෝධයක් ලබාගන්න අමාරුයි කියලා මට හිතෙනවා . මොකද අලි ඇත්තුන්ගේ පොඩි පොඩි වෙනස්කම් දකින්න පුළුවන් කමක් නැති අයට ඔක්කොම අලි ඇත්තු එක වගේ පේන්නත් ඉඩ තියෙන නිසා . කොහොම උනත් මේවා තමයි ඒ ලක්ෂණ වෙන්නේ . අලි ඇත්තුන්ගේ ෆොටෝ ටිකක් අරගෙන මේවා එක්ක සසඳලා බලන්න මේ ලක්ෂණ අනුව අලි ඇත්තු වෙන් කරන්න පුළුවන් ද කියලා . 



මගේ Online හරහා සිදු කෙරෙන ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේ සේවාවට සම්බන්ධ වී ජන්ම පත්‍රය පරීක්ෂා කරගැනීමට පහත Image එක මත Click karanna 





කලාවක 
======

මෙයාලගේ ඇස් ඉතාම අඳුරු පැහැතියි . ඒ වගේම පාද කොටයි . සම තද කළු පාටයි . වලිගය වක් වෙලා පිහිටනවා . ඒ වගේම කකුලේ නිය පොතුත් හොඳට වක් වෙලා පිහිටනවා .

ගංගෙයිය
======

විශාල හිසක් තියෙනවා මෙයාලට . ඒ වගේම මෙයාලගේ කකුල් හොඩවැල වලිගය තරමක් දිගයි . නියපොතු විශාලයි . ඒ වගේම කකුල් වල යටිපතුල් පළල වැඩි ස්වභාවයක් ගන්නවා .

පන්දර
=====

දිගටි විශාල හිසක් පිහිටනවා මෙයාලට . හොඩය පටන්ගන්න හරිය තරමක් පළලින් වැඩියි . නියපොතු තද කහ පාටක් ගන්නවා . ඒ වගේම මෙයාලගේ සම අළු පාටට හුරු කළු පාටක් වෙනවා .

තම්බ
====

මෙයාලගේ ඔලුව වැඩිය ලොකු නෑ . ඒ වගේම හොඩය කොටයි පටුයි . කකුල් සිහින් වෙනවා . කන්දෙක ලොකුවට පිහිටනවා . ඒ වගේම ශරීරය තඹ පාටට හුරු කළු පාටක් ගන්නවා මෙයාලගේ .

පිංගල
====

ලොකු හිසක් තියෙනවා මෙයාලට . හොඩය පටන්ගන්න තැන ගොඩක් විශාලයි . දිගත් නැති කොටත් නැති කකුල් තියෙනවා . ඒ වගේම දිගටි ඇස් දෙකක් මෙයාලට හිමි වෙනවා . 

ගන්ධ
====

හිස , හොඩය . කකුල් කුඩාවට පිහිටනවා මෙයාලගේ .ඇඟ තද කළු පාටයි වගේම හම තරමක් වැඩිපුර ගොරෝසු වෙනවා .වලිගය නැමිලා නැත්නම් දඟර ගැහිලා තියෙන්න පුළුවන් . ඒ වගේම ඇඟේ ගොඩක් රෝම පිහිටනවා මෙයාලගේ .

මංගල 
====

හිස හොඩය දල දෙක පාද හතර සහ කන් දෙක විශාලව පිහිටනවා . යටිපතුල වෙන අයට වඩා පළල වෙනවා . ඒ වගේම මහතින් වැඩි ශරීරයක් සහ බිම ගෑවෙන වලිගයක් මේ අයට ලැබෙනවා .

හේම 
====

තරමක් ඉදිරියට නැවුන ශක්තිමත් හිසක් තියෙනවා මෙයාලට . දිගටි ඇස් වගේම මධ්‍යම ප්‍රමාණයේ හොඩයක් තියෙනවා .ඇඟ සහ කකුල් විශාලයි වගේම මහතයි . වලිගය නැවිලා තියෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා . නියපොතු රතු පාටට හුරු වෙනවා .

උපෝසථ  
======

හිස , කන්දෙක , ශරීරය මධ්‍යම ප්‍රමාණයේ පිහිටනවා . ඒවගේම දිගටි පාද හතරකන් යුක්ත වෙනවා . නියපොතු කහ පාටයි . හොඩය ලිංගය වලිගය කියන තුන බිම ස්පර්ෂ වෙනවා . ශරීරය අළු පාටට හුරු කළු පාටක් ගන්නවා . 

ඡද්දන්ත
======

ශරීරය ඉතාම මහතයි . ඒ වගේම ඇස් දිගටියි . කකුල් හතරත් දිගින් වැඩියි . ඇස් දෙක රන් වන් පාටයි . ඒවගේම ශරීරයත් දීප්තිමත් පැහැයක් ගන්නවා . හොඩය , ලිංගය වලිගය කියන තුනම බිම ස්පර්ශ වෙනවා . 


මෙන්න මෙහෙමයි මේ අයගේ ලක්ෂණ පිහිටලා තියෙන්නේ . මේවට කවි ශ්ලෝක වගේ දේවල් අලි බලන ය පාඩම් කරගෙන ඉන්නවා. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න ඕන මේ අලි කුල වලට එක එක අලි නිසා අලි හාම්පුත්තුන්ගේ ඉරණම තීරණය වෙන හැටි ගැනත් යම් කිසි පිළිගැනීමක් තියෙනවා . ඒ මෙන්න මෙහෙම .

කලාවක = හාම්පුතාට අවාසනාව අරගෙන එනවා .
ගන්ගෙයිය = හාම්පුතාට ශෝකය සහ අවාසනාව අරගෙන එනවා .
පන්දර = හාම්පුතා දුප්පත් කෙනෙක් වෙනවා .
තම්බ = හාම්පුතාට හා පවුලේ අයට හදිස්සි මරණය ගෙන එනවා . 
පිංගල = හාම්පුතාට මරණය ධන හානි වීම ගෙන එනවා .
ගන්ධ = හාම්පුතාට මධ්‍යස්ථ ලැබීමක් ලැබෙනවා .
මංගල = හාම්පුතාගේ තේජස වැඩි වෙනවා .
හේම = හාම්පුතාට වාසනාව යහපත ලැබ දෙනවා .
උපෝසථ = හාම්පුතා දීර්ගායුෂ විඳිනවා වාසනාවන්ත වෙනවා .
ඡද්දන්ත = හාම්පුතාට කීර්තිය තේජස වාසනාව මහජන බලය අරගෙන එනවා .

මම වගේම අලි ඇත්තු ගැන ඇල්මක් දක්වන අය විශ්වාස කරන හැටියට මිල්ලන්ගොඩ රාජා උපෝසථ කුලයට ආසන්නයි . නැදුන්ගමුවේ රාජා සහ කතරගම වාසනා ඡද්දන්ත කුලයට ආසන්නයි .

මෙන්න මේ කරුණු ගැන සලකලා බලලා තමයි ඉස්සර අලි බලන අය සහ අලි හාම්පුත්තු අලි ඇත්තු තෝරාගත්තේ . අලි ඇත්තු ගැන විස්තර කරනකොට සක් දෙවිඳුට අයිති ඓරාවණ හස්තියා පිලිබඳ ගජගා වන්නමේ කියවෙන ලක්ෂණ සම්බන්ධව සිහිපත් කිරීමක් කරන්න ඕන . උතුම් මංගල හස්තියෙක්ට හිමි වෙන්න ඕන ලක්ෂණ මොනවද කියලා මේ ගජගා වන්නමේ සඳහන් කරුණු අපිට අදහසක් ලබා දෙනවා . 

තවත් ලිපියකින් හමුවෙමු ,

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!



වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

This is a short biography of the post author. Maecenas nec odio et ante tincidunt tempus donec vitae sapien ut libero venenatis faucibus nullam quis ante maecenas nec odio et ante tincidunt tempus donec.