කොඩිවින උපත , කොඩිවින කිරීම හා කොඩිවින කැපීම




දන්නවද පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේව .


රේරුකානේ හාමුදුරුවෝ කියලා තමයි වැඩිදෙනෙක් මේ හාමුදුරුවන්ව හඳුන්වන්නේ . විද්‍යාලංකාර පිරිවෙනෙන් මේ හාමුදුරුවන්ට අභිධර්මය පිළිබඳව මහාචාර්ය පදවිය පිරිනමල තියෙනවා . බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන් වගේම රේරුකානේ හාමුදුරුවොත් හරිම වැදගත් පොත් ගොඩක් ලියලා තියෙනවා . 

ධර්මාචාර්ය කරන දවස්වල දහම්පාසලේ ධර්මාචාර්ය පංතියට ගියේ නෑ . පොත් ටික කියවලා තමයි විභාගය ලිව්වේ . අභිධර්මයයි බෞද්ධ විනයයි කියන සබ්ජෙක්ට් දෙක අච්චුපොත කියෙව්වට තේරෙන්නෙ නෑ . රේරුකානේ හාමුදුරුවන්ගේ මේ විෂයන් වලට අදාළ පොත් දෙක කියවලා තමයි ඒ දේවල් තේරුම් ගත්තේ .



තව පොත් ගොඩක් තියෙනවා මේ හාමුදුරුවන් ලියපු . මමගාව තව තියෙනවා මේ හාමුදුරුවෝ ලියපු වංචක ධර්ම හා චිත්තෝපක්ලේෂ ධර්ම කියලා පොතකුත් . ඔන්න ඔය පොතේ මුල් අයිතිකාරයා තමයි අද කතාවේ කතා නායකයා වෙන්නේ . එයා අපේ ලඟින්ම නෑයෝ වෙන සීයා කෙනෙක් .

මේ සීයා හිටියේ මාතර . එයාට අච්චු කන්තෝරුවක් තිබුණා . මාතර දැනට ඉන්න වැඩිහිටි පරපුරේ වැඩි දෙනෙක් ඒ අච්චු කන්තෝරුවේ නම කිව්වම දන්නවා කවුද කින්ද මන්ද කියලා . ඉතින් මේ සීයාට රේරුකානේ හාමුදුරුවෝ තමයි අර මම කලින් කිව්ව වංචක ධර්ම කියන පොත දීලා තියෙන්නේ .

පොතේ රේරුකානේ හාමුදුරුවන් තමන්ගේම අත් අකුරෙන් ලියලා තියෙනවා කර්තෘ විසින් පරිත්‍යාග කරන ලදී කියලා . කොහොමහරි ඒ පොත කැරකිලා කැරකිලා අපේ ගෙදරට ආවා . ඒ පොතට වඩා මටනම් වටින්නේ රේරුකානේ හාමුදුරුවන්ගේ ඒ වචන ටික .





එහෙනම් ඔන්න මම දැන් එන්නම් මගේ කතාවට . ඉතින් මේ සීයා තමන්ගේ ව්‍යාපාරය හොඳින් කරගෙන දියුණු කරගෙන ජීවත් උනා . එයාගේ වයිෆ්ආච්චි පාසල් ගුරුවරියක් . ඉතින් මෙයාලට හොඳට සල්ලි එහෙමත් තිබිලා තියෙනවා . එයාලා හැදුව තට්ටු තුනක ලොකු ගෙයක් . දැනට අවුරුදු 50 කට විතර කලින් වගේ කාලේ තට්ටු තුනක ගෙයක් කියන්නේ ටිකක් විශේෂ දෙයක් . මොකද එ වගේ දෙයක් කරන්න තරම් පුළුවන් අය ඉඳලා තියෙන්නේ ටික දෙනයි . ඒ කාලේ එව්වා එහෙම උනා . පස්සේ ඉතින් මේ අච්චු කන්තෝරුව කරගෙන ගීයපු සීයා මියගියා . මම දෙකවසරේ විතර හිටියේ ඒ සීයා මැරෙනකොට .

මට තාම මතකයි එයාගේ මරණ දැන්වීම උදේ රේඩියෝ එකේ කියනවා මම අහගෙන හිටපු හැටි . මරණෙට මාවත් එක්ක ගියා . කෞරව වංශික අයගේ මරණ වලදී කරන විශේෂ චාරිත්තර එහෙම මට දැකගන්න පුළුවන් උනා ඒ මරණේදී . එව්වා ඉතින් එහෙම උනා කියමුකෝ . මේ සීයාගේ වයිෆ් ආච්චි මේ ළඟදී අපේ ගෙදර ආවා . ඇවිත් සතියක් විතර නැවතිලා හිටියා . එයා අපිත් එක්ක කතා කරනගමන් මට කිව්වා " මම පුතේ තට්ටු තුනක ගෙදරක හිටපු කෙනෙක් , දැන් මෙහෙම උනාට " කියලා . එයා ඒක කිව්වේ ලොකු කමකට නෙවේ . කිව්ව විදියට තේරුනේ එයා මේක කිව්වේ අසරණ කම මුල් කරගෙන වගේ කියලා .

එයාලට වෙච්ච දේවල් බොහොම ඉස්සර මට අපේ ආච්චිඅම්මා පිළිවෙලකට කියලා තිබුණා . කොඩිවිනයක් පවුලක් විනාස කරේ කොහොමද කියලා ඔයාලට කියන්න ඕන නිසයි පඳුර තලාගෙන ආවේ . සමහරවිට ඔයාලා හිතයි මේක මනෝවිද්‍යානුකූලව පදනමක් රහිත කතාවක් කියලා . ඒත් ඒවා ඇහින් දැකපු අය තාමත් ඉන්න නිසා මමනම් හිතන්නේ මේක ඇත්ත කතාවක් කියලා . ඒවගේම තමයි පවුලේ ශාස්ත්‍රයේ වත්මන් හිමිකාරයා මම නිසා ඒවායේ දිග පළල ගැන මට යම් අවබෝධයක් ඇත්තටම තියෙනවා . 

මේ කට්ටිය අර තට්ටු තුනේ ගෙදර හදන්න පටන්ගෙන තට්ටු දෙකක් විතර ඔන්න දැන් හැදුවලු . මේ කාලේ අපේ ආච්චිඅම්මගේ තාත්තා , ඒ කිව්වේ මම අර කලින් තෙල් වර්ග ගැන කිව්ව කතා කීපයකම කියලා තියෙන වෙදමුත්තා ජීවත් වෙලා ඉඳලා තියෙනවා . හැබැයි ගොඩක් වයසයි . ඇවිදින්නෙත් වෙන අයගේ වාරුවෙන් . ඉතින් මේ මුත්තා කිව්වලු අපේ ආච්චිඅම්මට




" මට අර අච්චු කන්තෝරුවේ ළමයා අලුතෙන් හදන ගෙදර බලන්න යන්න ආසයි " කියලා . ඊට පස්සේ ඒ වෙදමුත්තව එතනට එක්ක ගියාලු . එයාව ඒ අලුත් ගෙදර වටේ රවුමක් එක්ක ගියාට පස්සේ එක තැනක එයා නවතුනාලු . එයා ඒ ගෙයි අඩිතාලමේ ඉඳලා උඩට විහිදිලා ගිහින් තියෙන ලොකු පැල්මක් පෙන්නලා කියලා තියෙනවා  "  මේ ගෙදරට කාලයක් තිස්සේ පවතින කොඩිවිනයක් කරලා තියෙනවා . මේ පැල්ම තියෙන හැටියට එහෙම දෙයක් පේනවා . මේක හරි හමන් අදුරෙකුට කියලා කප්පවන්න වෙයි , නැත්නම් කවදා හරි මේක ඔය ළමයිගේ ජීවිත වලට හරහට හිටිනවා කියලා .


දැන් ඉතින් මේක කියවන අයටත් මතක් වෙනවා ඇති ගෙදර කොහේ හරි පැලුම් තියෙනවනම් . මේ කියන්නේ , ඔය කොහේ හරි තියෙන වගුරකට පස් දාලා ගොඩ කරලා එතන උඩට පහලට ගෙවල් හැදුවම බිත්ති පුපුරන එක ගැන නෙවෙයි . හරි විදියට , පිහිටි පොළවට යනකං හාරලා අඩිතාලම් දාලා හදපු ගෙවල්වල ඇතිවෙන පැලුම් ගැන තමයි මේ කියන්නේ .





ඉතින් වෙදමුත්තා එහෙම කිවම , අර අච්චුකන්තෝරුවේ සීයා ඒවා අහගෙන හිටියට ඒවා ගණන් අරගෙන නෑ . එයා පස්සේ වෙලාවක කියලා තියෙනවා " ලොකු තාත්තට දැන් වයස නිසා කල්පනාව අඩු ඇති , එහෙම කියන කතා ඕවා " කියලා . ඒත් එයාලට වැරදුනා .එයාලගේ ගෙදරට ලොකු ගුරුකමක් කරලා තිබුණා .

සමහර දවස්වල ගෙදර කවුරුවත් ඉඳලත් නෑ . ඒත් එයාලගේ ගෙදර අල්මාරි ඉබේම ගිනි අරගෙන . සේප්පුව ඇතුලේ සල්ලි , සේප්පුව ඇරලා බලනකොට අළු වෙලා . ගෙදර රත්තරන් බඩු තිබුණේ නාන ලිඳේ . අන්තිමට අච්චු කන්තොරුවත් වැහිලා ගියා . එයාලගේ බාල පුතාට පිස්සු වැටුණා . එහෙම පිස්සු වැටිලා එහේ මෙහෙ ඇවිදලා අන්තිමටම එයා ගඟේ පැනලා ජීවිතේ නැති කරගත්තා .

මේවා වෙනකොට එයාලට මතක් වෙලා තියෙනවා අර මුත්තා කිව්ව විනය ගැන . මාතර මැද්දවත්ත කියන පැත්තේ හිටියා ගුරුකම් කරන්න දස්ස කිරි අම්මා කියලා ආච්චි කෙනෙක් . එයා ලවා තමා මෙයාලා ඒ විනය කැප්පෙව්වේ . හැබැයි මේ ගෙදර අය ගුරුකම කරනකොට බෙරගහන්න එපා කිව්වලු . වැඩිය මුකුත් කරන්න එපා කිව්වලු .

ඒ නිසා මේ විනය කපපු කිරිඅම්මා කිව්වලු " මේ ගුරුකමෙන් අවුරුද්දකට විතරයි මේ අමනුස්සයා බන්ධනය වෙන්නේ , අවුරුද්ද ගෙවුනම අමනුස්සයා ඒ බන්ධනය කඩාගෙන එනවා , එ නිසා අවුරුද්දකට කලින් මේක සම්පූර්නෙන් කපන්න ඕන තොවිලයකුත් නටලා " කියලා . ඒත් මෙයාලාට අවුරුද්දක් යනකොට වෙච්චි ඒවා අමතක වෙලා . ආයෙත් මතක් වෙලා තියෙන්නේ ගෙදර කරදර වැඩිවෙනකොට . පස්සේ එයාලා ඒ ගෙදර විකුණලා දැම්මා . දැන් එයාලට ඉන්න හිටින්න තැනක් හරියට නෑ . ඔන්න ඔහොමයි ඒක උනේ .

දැන් කාලේ කරන වින සහ වින කැපිලි කොහොමද දන්නේ නෑ . හැබැයි ඒ කාලේ ඒවා කිරිගහට ඇන්නා වගේ වෙලා තියෙනවා . කොඩිවින උපත ගැන එක එක මතවාද කවි කතා තියෙනවා . 


                                                     


මුහුණුපොතේ සුභපතලා මේ ළගදී මල්ලි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබුණා . ඒ මල්ලි කියලා තිබුණා අඩු වයසකින් මේ දේවල් ගැන අත්දැකීම් ලබන්න මම වාසනාවන්තයි කියලා  . ඉතින් ඒ වාසනාව එක්කම යන්තර මන්තර ගැන ලිව්වට මට තාම කියන්න බැරි උනා මේවා ගැන හොයන්න මට ආසාවක් ඇති උනේ ඇයි කියල .

මම ඉපදුන වෙලාවේ කේන්දරේ හදපු කෙනා කේන්දරේ පලාපල කියනකොට ඒකෙ කියලා තිබුණා මම ඉපදෙනකොට මට ලබලා තිබුණ ග්‍රහයා එච්චර හොඳ නෑ කියලා . මම ඉපදිලා තිබුනේ අඟහරු ග්‍රහයාට අයිති වෙලා තිබ්බ කාලෙ ඉවර වෙන්න සති දෙකක් තියාගෙන .

සති දෙකෙන් එහෙමම අඟහරුගේ කාලේ ඉවර උනා . ඊට පස්සේ අවුරුදු 18ක්ම දෙයියනේ කියලා රාහු ග්‍රහයාගේ කාලේ ගෙව්වේ . සමහරවිට පොඩිකාලේ අත්දකින්න ලැබුන දේවල් , මම දැන් ජෝතිෂ දේවල් කියවලා බලලා ඉගෙනගෙන ඒවා ප්‍රායෝගිකව භාවිතා කරලා දන්න දේවල් එක්ක ගළපලා බැලුවම ඒ කිව්ව දේවල්වල මහලොකු වැරැද්දකුත් නෑ කියලා හිතෙනවා . මොකද රාහු කියන්නේ ඔලුවක් නැති කඳ විතරක් තියෙන රූපයකින් පෙන්වන ග්‍රහයෙක් නිසා . ඒ කාලේ වැඩිපුර කරේ ඔලුවට මුල්තැන නොදී වෙන වෙන තැන් වලට මුල් තැන දීලා කරපු වැඩනේ . 

මේ මොනවා උනත් පොඩි කාලේ මට උන හැදුනම අපේ අම්මටත් වඩා ආච්චිඅම්මා හරියට බය වෙනවා . කේන්දරේ කතා නිසාද , නැත්නම් මට අමාරු වෙන නිසාද කියලා දන්නේ නෑ ඒ බය වීමට හේතුව . ඒ කාලේ උණක් හැදුනත් මම දුර්වල වෙලා ඇඳට වැටෙනවා හරි ඉක්මනට . දැන් තමයි ඒ ගතිය අඩු . ඒත් ඉඳලා ඉඳලා උණක් හැදුනොත් ටිකක් තදට ඒ උනේ හැදෙනවා . ඉතින් අපේ ආච්චිඅම්මා ඒ කාලේ මාසෙකට වතාවක් වත් මට වතුර කලයක් මතුරලා බොන්න දෙනවා . මට උන හැදුනම බෙහෙත් ගන්න යනකල් ගින්දර වගේ රත් වෙන නළලට අත තියාගෙන ඒ වතුර මතුරන මන්තර ටිකම කිය කිය ආච්චි අම්මා මට මතුරපු වාර ගණන මෙච්චරක් කියලා කියන්න බැහැ .



වැඩිපුරම මතුරන්න ඇත්තේ මට ඇපෙන්ඩිසයිටීස් හැදිච්ච දවස්වල . එතකොට මම හතර වසරේ . ලෙඩේ මොකද්ද කියලා හොයාගන්න බැරුව සමහර දවස් වලට චෙක් කරන්න ගියාම හතර පස් පලක්ම විද විද ලේ ගන්නකොට ගෙදර අය ගොඩක් බයෙන් හිටියේ . පස්සේ කාලෙකදී ආච්චි අම්මට වයස වැඩි වෙනකොට මතුරන එක නැවැත්තුවා . ආච්චි අම්මා අපිව දාලා ගියා . ඒත් තාමත් මට ඒ මන්තර සද්දේ ඇහෙනවා ඇහෙනවා වගේ .ඒ හඬ තමයි මට ආසාවක් ඇතිකරවන්න ඇත්තේ .

එක මන්තරයක් තියෙනවා......ත්‍රී භුවන ග්‍රහණ දිෂ්ටි ගං....... කියලා පටන් ගන්න එකක් . ඕකත් අපේ ආච්චිඅම්මා ඉස්සර කියනවා . ඒක බඩේ අමාරු වලට උනට වගේ ඒවාට මතුරන එකක් . ඒකෙ ඔය තියෙන දිෂ්ටි ගං කියන කෑල්ල මට හෙනට වැදිලා තිබ්බේ . පොඩි කාලේ මම ආතල් එකට වගේ

දිෂ්ටි ගං දිෂ්ටි ගම්මිරිස් දිෂ්ටි

කියලා කිය කිය ගෙදර කෑගහනවා . ආච්චි අම්මටත් හිනා ඉතින් මම බට්ටා වගේ ඕක කිය කිය කෑගහනකොට .

මම අපේ පවුලේ අයට වෙද නමක් ගෑවිලා තියෙන නිසා ඒ ඇඳුනුම්කම් නිසාම පරපුරවල් කීපයකටම අයිති මන්තර ගුරුකම් ගැන ලියවිච්ච පොත්පත් ගොඩක් කියෙව්වා . සාපෙළ කරලා ගෙදර ඉන්න කාලේ වගේ තමා වැඩිපුරම මේවා ගැන හෙව්වේ . ඒ පරපුරවල් වලින් සමහර පරපුරවල් දැන් නැවතිලා . ඒ කියන්නේ මුකුත් ඒ දේවල් කරන්නේ නෑ . ඒත් සමහර පරපුරවල් තාම වැඩ .

වැඩිපුරම කියවන්න ලැබුනේ පහතරට ගුරුකම් . ඒත් උඩරට පළාතේ ගුරුකම් වගේම නුවරකලාවිය පැත්තේ කෙරෙන මේ වගේ ගුරුකම් වලට අදාළ දේවල් ගැනත් කියවන්න ලැබුණා . අඩුවෙන්ම අත්දකින්න ලැබුණේ මලයාලම් ගුරුකම් ගැන . ඒත් ඒ ගැන සාමාන්‍ය දුරකට හොයාගන්න ලැබුණා . ඒ ඔක්කොම ගැන සලකලා බලලා තමයි මෙයින් පස්සේ මේ කොඩිවින ගැන ලියවෙන පෝස්ට් එක ලියන්නේ .

කොඩිවින උපත ගැන කියනකොට මට ඉස්සෙල්ලම මතක් වෙනවා හත් අඩියේ ගුරුකම කියලා තියෙන කොඩි වින කැපීමේ මහා ශාන්තිකර්මයේ කියවෙන වින උපත ගැන කියන කවි කීපයක් . කීපයක් කිව්වට කීපයක්ම නෙවේ . ටිකක් වැඩිපුර කවි එකතු කරන්නම් . මොකද මේකෙ විස්තර හලන එක අපරාදේ නිසා .


පළමු කප නැසුණි මේ කුළු වසින ජල ගලා
දෙවැනි බඹ උපත සම්මත නිරිඳු රජ කළා
එවෙනි දෙව් ලොවට ගිය කල ගන්න බැරි වෙලා
පෙනුනි රජ හැඳින වසවතු බිසව සිහි වෙලා



පැළඳ ආභරණ සම්මත රජුසෙ සැරසිලා
බොලඳ කල කථා මාලිග ජනෙල අත හෙලා
පැළඳ බිසවු යහනෙන් නැගී එදෙස එන කළා
රළුද ගුණ ඇඳින දාසිය පුවත ඒ බලා



කරන ලද වෛර වසවතු පුවත කල එලී
දෙරණ පිට එලා නාරජ අසා මැසිවිලී
සරණ නොවැ බිසව නැසුමට සොයා වින බැලී
මරණ ලෙස නපුරු පොළගෙකු මවා බිම හෙළී



විස්වාසෙට උන්නු බිසවු සෙනෙහෙ වඩාලා
රොස්ව එවසවතු කල වින වැදුනි ලැබ ඉඩා
අස්ව බිසවු සිටිති බොජුන් නොලැබ මේ වඩා
රැස්ව එපුර සියලු දෙවියො සිටිති අඬ අඬා



එවිට එනාරද නම් මුනි වඩින කාරනු
ඇසට ඇස රවා යකු බැලු කලට බිය උනූ
කූට වසවතා ගැසූ වින යකා තද උනූ
මීට කොයි උපා නොදැනම අඬන කාරනු



රොස්ව වසවතා ගැසූ වින යකා මහ ගරු
ලක්ෂ එරන් කෙන්ඩි අතින් රැගෙන පැන් පිරූ
තොස්ව පන යේය එක් පැය ගිලන් වෙන තුරු
විෂ්ණු ගෙන්නවා නාරද අසා තොරතුරු



යන්ඩ දිවි නොදී රකිනට බැරිව කල වැඩේ
උණ්ඩ දුන් පඬුරු රන් මුතු මැණික් දී ගොඩේ
එන්ඩ දෙව් ලොවට බුදු රැස් ඇරපු එක විඩේ
යන්ඩ ඔඩිස කුමරුන් ළඟ උනා පණිවිඩේ



විෂ්ණු අජා කූටෙට වැඩ කියා සිතු ලෙසින්
තොස්ව නයි බරණ සියො ළඟ දරා ලේ පොළොන්
රොස්ව හඬ තලා බියකරු මකා වින යකුන්
විෂ්ණු දෙවි සමග සම්මත පුරට නික්මෙමින්



රුවන් උස මහත් වෙස් ගෙන නිකට අද වෙලා
අතින් මිණි කඩුව නියපිට රැගෙන ලෙළවලා
සෙමෙන් ඉස පොවා බැලු කල රජුන් බියවෙලා
බයෙන් වින යකා ගීය රඟ මුදුන හිස පලා


ඔය කවි වලින් ෂෝට් කරලා කියන්නේ වින උපත ගැන . ඔන්න ඔහොමලු වින ඉපදුනා කියන්නේ . මම කියන්නම්කො කතාව . මෙන්න මෙහෙමයි කොඩිවින සහ ගුරුකම් ඉපදුනා කියන්නේ . වසවර්ති මාරයා කියලා එක්කෙනෙක් ඉන්නවනේ . ඔය වසවර්ති මාරයාටයි විෂ්ණු දෙවියන්ටයි ගණුදෙනුවක් තිබුණා . ඒකෙ හැටියට විෂ්ණුගේ නැගෙණිය වෙච්ච මැණික්පාල කුමරියව වසවර්ති මාරයාට විවාහ කරවලා දෙන්න තමයි තීන්දු වෙලා තිබුනේ . ඒත් විෂ්ණු උපායශීලීව තමන්ගේ නංගිව මහාසම්මත රජතුමාට විවාහ කරවනවා .


ඔයින් පස්සේ වසවර්ති මාරයා විෂ්ණු එක්ක තරහෙන් හිටියේ . පස්සේ ඒකට පලි ගන්න ඕන කියලා දවසක් මහාසම්මත රජතුමා මාලිගාවෙන් පිටත්වෙලා ගිය වෙලාවක මහා සම්මත රජතුමා වගේ වෙස් පෙරලාගෙන වසවර්ති මාරයා එනවා මහාසම්මත රජතුමාගේ මාළිගාවට . එහෙම ඇවිත් මැණික්පාල බිසව ඉන්න සිරියහන් ගබඩාවට යනවා . මේ වෙලාවේ මැණික්පාල බිසවට තමන්ගේ ස්වාමියාගේ වෙනසක් තේරුණ නිසා අහනවා ඇයි ස්වාමීනී අද කලින්ම ආවේ කියලා .






පස්සේ වසවර්ති මාරයා තමන්ගේ ඇත්ත වෙස් අරගෙන කියනවා විෂ්ණු මාව රැවට්ටුවා . ඒකෙ පලිය මම තමුන්ගෙන් ගන්නවා කියලා . ඒ කියලා වසවර්ති මාරයා විෂ දූමයක් පිට කරන පොළගෙක්ව මවලා මැණික්පාල බිසවගේ පැත්තට දමලා ගහනවා . මේකෙන් මැණික්පාල බිසව ලෙඩ වෙනවා . ඔන්න ඔතනින් තමයි වින ඉපදුනා කියලා කියන්නේ . මන්තර සාහිත්‍යයේ එන පළවෙනි විනය ඒක තමයි .

ඔතනදී කරන විනය කපන්න විෂ්ණු , ඔඩ්ඩි කියලා අසුරයෙක්ට භාර කරනවා . ඒ අසුරයා තමාගේ ගාස්තුව විදියට ඉල්ලන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න අවස්ථාව ලබාදෙන්න කියලා කියන එක . වැඩේ කෙරෙන්න ඕන නිසා විෂ්ණු ඒකට කැමති වෙනවා . පස්සේ ඔඩ්ඩි කියන අසුරයා විනය කපලා මැණික්පාල බිසව සනීප කරනවා . එතන ඉඳලා ඔඩ්ඩි කියන අසුරයා දිව්‍යලෝකේ වාසය කරනවා තමන්ගේ ගණුදෙනුවේ කියලා තියෙන හැටියට .

ඒත් එල හරකයි මී හරකයි එකතැන තියන්න බැහැ කියනවා වගේ අසුරයාට සුරයින් එක්ක එකට ජීවත් වෙන්න බැරි වෙනවා . අසුරයෙක් තමන් එක්ක ජීවත් වෙනවට සුරයින් කැමති වෙන්නෙත් නෑ . මේ නිසාම සුරයින් කරන්නේ මේ ඔඩ්ඩි කියන අසුරයාව දිව්‍යලෝකෙන් එළවලා දාන එක . 

ඊට පස්සේ මේ ඔඩ්ඩි කියන අසුරයා සූනියම් යකා බවට පත්වෙලා පොළවට ඇවිත් මිනිස්සු මර මර මිනිස්සුන්ට හදි හූනියං කරන කර මනුස්ස ලෝකය විනාශ කරන්න පටන් ගන්නවා . දැන් සූනියම් යකා නරලොව විනාශ කරනවා කියල ආයෙත් දිව්‍යලෝකේ දෙවිවරු කතා වෙනවා . මේකට පිළියමක් විදියට සක්‍ර දේවේන්ද්‍රයා කියනවා සූනියම් යකාව දමනය කරන්න පුළුවන් කෙනෙක් මනුස්ස ලෝකෙට යන්න කියලා .

පස්සේ ඒකට සමත්කම තියෙන දෙවි කෙනෙක්ව දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකේ ඉපදෙනවා . එයාගේ නමත් ඔඩ්ඩි . මේ ඔඩ්ඩි කියන කෙනා පොලවට ආවා කියලා සූනියම් යකා දැන ගන්නවා . යකා මේ ළමයා කවුද කියලා හොයාගන්න බැරුව රටින් රට ගිහින් ළමයින් ගැන හොයමින් ඒ ළමයින් ගැන සැක හිතුනොත් එයාලට ලෙඩ හදමින් රටවල් විනාස කරා . ඒත් හරි ඔඩ්ඩි කවුද කියලා මේ සූනියම් යකාට හොයා ගන්න බැරිවෙනවා .

පස්සේ මේ ඔඩ්ඩි කියන දිව්‍ය ලෝකෙන් ආව කෙනා බමුණන්ගෙන් සෘෂිවරුන් ගෙන් මන්තර ශාස්ත්‍රය එහෙම ඉගෙන ගන්නවා . ඒ ශිල්පය ගැන හොඳට ඉගෙනගෙන වඩිග රටේ වඩිග රජ්ජුරුන්වන්ට මන්තර සාත්තරෙන් උදවු උපකාරකරන රාජකීය ඇදුරු තුමා බවට පත් වෙනවා . මේ වඩිග රජතුමා මිටි කෙනෙක් . ඒ කියන්නේ කුරු කෙනෙක් . ඒත් රාජ බිසව ලස්සන කුමාරිකාවක් . මේ අතරේ සූනියම් යකා හොයා ගන්නවා ඔඩ්ඩි කියන කෙනා ඉන්නේ වඩිග රජ්ජුරුවන්ගේ රජ මාලිගාවේ කියලා . පස්සේ සූනියම් යකා උපායකින් මේ ඔඩ්ඩිව විනාශ කරන්න කල්පනා කරලා ඔඩ්ඩිගේ ඇඟට ආවේස වෙනවා .

පස්සේ ඒ ආවේසය නිසා ඔඩ්ඩිගේ සිත වෙනස් වෙලා රාජ බිසව ඉන්න කුටියට යනවා . ගිහින් රජ බිසව එක්ක ලිංගික එක්වීමකට සූදානම් වෙනවා . බිසවත් බෝරින් වෙලා හිටපු මිටි රජතුමා වෙනුවට තමන්ට සෙට් වෙච්ච මේ ලස්සන තරුණ ඔඩ්ඩිට කැමති වෙනවා . ඔහොම සෙට් වෙලා අන්තිමට දෙන්නම සිරියහන් ගබඩාවේ ඇඳට වැටෙනකොටම සූනියම් යකා රජ බිසවගේ කටහඬින් කෑගැහුවා මෙන්න මේ ඔඩ්ඩි මට කරදර කරන්න හදනාවා කියලා . පස්සේ රාජ පුර්ෂයෝ ඔඩ්ඩිව අල්ලගන්නවා .

නඩුව අහත්දී උනත් ඔඩ්ඩි කිව්වට තමන් හිතා මතා එහෙම කරේ නෑ කියලා රජතුමා ඒක පිළිගන්නේ නෑ . ඒ නිසාම ඔඩ්ඩිට මරණ දණ්ඩනය නියම වෙනවා . දිව්‍ය ලෝකෙන් ආව කෙනෙක් මරන්න දෙන්න බෑ කියල සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා . පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා වඩිග රජතුමාට දෘශ්‍යමාන වෙලා කියනවා ඔඩ්ඩිව මරන්න එපා එයා වැරදි නෑ කියලා . පස්සේ වඩිග රජ තුමා ඇත්ත තේරුම් ගන්නවා . ඒත් රජ බිසවට වෙච්ච අවමානය නිසා ඔඩ්ඩිව රටෙන් පිටුවහල් කරන්න කියලා නියෝග කරනවා . මේ ඔඩ්ඩි පස්සේ කාලෙකදී ඍෂිවරු ඉන්න පළාතකට පිටුවහල් කරනවා .

මෙයා මන්තර සාත්තරේ අනුව මන්තර හදලා ලියලා ගුරුකම් කරලා සූනියම් යකා බන්ධනය කරලා සූනියම් යකාගෙන් පොළවේ ඉන්න මනුස්ස ජනතාව බේරා ගත්තා .

මේ ඔඩ්ඩි , ඔඩ්ඩි සෘෂි තුමා කියලා හැඳින් වුනා . මේ ඔඩ්ඩි ඍෂි තුමා මන්තර ගුරුකම් රාශියක් රචනා කර කර පොත්වල ලිව්වා . පස්සේ ලංකාවට මේ ගුරුකම් ලියවුනු පොත් රාශියක් ලැබුණා . වඩිග පටුන නර්තනයේ දැක්වෙන වඩිග බමුණෝ අතේ පුස්කොල පොතක් තියාගෙන ඉන්නවා ඔයාලා දැකලා ඇති .






මම හිතන්නේ මේ වඩිග බමුණෝ තමයි ඒ ඔඩ්ඩි මන්තර පොත් අරගෙන ලංකාවට ආවේ කියලා . මේ පොත්වල වින මන්තර වගේම වින කපන මන්තරත් ලියවිලා තිබුණා . මිනිස්සු මේවායින් වැඩිපුර ඉගෙනගත්තේ වින කරන මන්තර . වින කපන මන්තර කියලා ඉගෙන ගත්තේ හරිම ටිකයි . ඒ නිසා ගුරුකම් ශාස්ත්‍රයේ අද කාලේ වෙනකොට වින කපන මන්තර වලට වඩා වින කරන මන්තර වැඩි වෙලා තියෙනවා . මම උඩින් ලියලා තියෙන කතාව වගේ ඒ කිට්ටුවෙන් යන තවත් කතා තියෙන්න පුළුවන් . ජනශ්‍රැතියේ එන කතා මේවා . ඒ නිසා ඉතින් ටික ටික වෙනස් වෙන්න පුලුවන් .

ඔය මන්තර පොත් ආවේ මාතර පැත්තට කියලත් මතයක් තියෙනවා . ඒ නිසා මාතර පැත්තේ මන්තර ගුරුකම් වලට ප්‍රසිද්ධ උනා කියලාත් කියනවා . ඒ නිසාම මාතර පීතරලා සෙල්ලම් නෑ කියලත් කියනවා . ඔන්න ඔහොමයි කොඩිවින ඉපදුනා කියන්නේ . 







අද පෝස්ට් එකෙන් කියන්නේ කොඩිවින කියන්නේ මොනවද කොඩිවින කරන්නේ කොහොමද සහ කොඩිවින කරන මන්තරවල තියෙන්නේ මොනවද කියලා . මන්තර කෑලි ටිකක් දානවා .

එව්වා ඉතින් කියවන්න බය වෙන්න ඕන නෑ . මොකද ඒවායින් නරකක් වෙන්නේ නැහැ කියලා මට ෂුවර් . ඔව්වා වැඩ කරන්න නම් සම්පූර්ණ මන්තරේම තියෙන්න ඕන . මන්තරයක තියෙනවනේ කොටස් කීපයක් . ඒවායින් මම මේ පෝස්ට් එකේ ලියලා තියෙන්නේ කොටස් කීපයක් විතරයි . ඒ නිසා ඒවා වැඩ කරන්නේ නෑ .

කොඩිවින කියලා කියන්නේ සරළව විග්‍රහ කරනවානම් ශබ්ධ තරංග වලින් ඒ ශබ්ධ තරංග භාවිතා කරලා යම් කෙනෙකුට යම්තැනකට නරකක් නපුරක් කරන්න පුළුවන් ක්‍රියාදාමයකට . අපි නොහිතන දේවල් වලින් පවා සමහරවිට අපිට නරකක් වෙන්න පුළුවන් . මේකට සරළම උදාහරණයක් ගන්නවානම් , ඔයාලට මතක ඇති බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු රජ කෙනෙක්ගේ මගුල් ඇතා කුලප්පු වීම ගැන කියවෙන කථාවක් .

මේ ඇතා ඉන්න ගාල කිට්ටුව රෑට හොරු සෙට් එකක් ඇවිත් තමන්ගේ කතාවල් කරනවා . ඒ අය භාවිතා කරන වචන කැතයි , නරකයි . ඉතින් ඒ අනුව යමින් මේ ඇතත් නරක් උනා . පස්සේ ඒ හොරු කස්ටිය ඉවත් කරලා ඇතාට බමුණු පඬි වරුන්ගේ යහපත් වචන අහන්න සැලැස්වුවාට පස්සේ තමයි ඇතා මෙල්ල උනා කියලා කියන්නේ .

කොඩිවින හදි හූනියං වලත් තියෙන්නේ මෙන්න මේ වගේ අභව්‍ය අක්ෂර වචන මාලාවක් එක්ක ගොඩ නැගිලා තියෙන ශක්තියක් එක තැනක ඉඳලා තවත් තැනකට යවන්න පුළුවන් ක්‍රමවේදයක් . ඒවා යක්කු භූතයෝ පෙරේතයෝ වගේ අය එක්ක බැඳිලා තියෙනවා . කොඩිවින කරනකොට මිනිස්සු කරන්නේ වැඩි හරියක්ම මරන්න කරන ඒවා නෙවෙයි . පවුල් අවුල් කරන්න , ලෙඩ කරන්න , ව්‍යාපාර බිඳ වට්ටන්න වගේ දේවල් .

කෙනෙක් මරන්න විනයක් කරනවනම් ඒක ටිකක් වගකීමෙන් වගේම නිරවුල් මනසකින් කෙරෙන්න ඕන . මොකද මාරණ කර්මය තමයි ගුප්ත විජ්ජාවේ අවදානම්ම ක්‍රියාව විදියට සලකන්නේ . පොඩ්ඩ වැරදුනු ගමන් මාරයා එන්නේ විනය කරපු එකාගේ පැත්තට හැරිලා . අනික තමයි වින කරන කෙනෙක් නම් තමන්ට අනිවාර්යෙන්ම බලගතු ආරක්ෂාවක් තියාගන්න ඕන .

මම එහෙම කියන්නේ මොකද දන්නවද . ඔයාලා දන්නවත් ඇති නොදන්නවත් ඇති . අපේ සමාජයේ තියෙනවනේ

" මට මාරයා නග්ගන්න එපා "

" මට මාරයා ආවේස උනා "

" මට මාරයා ආවේස කරන්න එපා "







කියලා වගේ යෙදුම් . ඔන්න ඔය යෙදුම් එන්නේ මේ මන්තර සාත්තරේ හරහා තමයි . කෙනෙක්ට විනයක් කරනකොට වගේම විනයක් කපනකොටත් " මරු නැංවීම " කියලා දෙයක් කරනවා . එහෙම කරනවානම් අනිවාර්යෙන්ම ප්‍රථිපලය මරණයක් තමයි . ඉතින් මේ මරු නැංවීම කරන්නේ විනය කරන්න පටන් ගන්නකොටමයි . එහෙම කරනකොට තමන්ව මරු වසඟයට පත් කරලා වෙන කෙනෙක් තමාට මොනවා හරි කරලා තියෙනවානම් හරි , තමන් කරපු වැරදි තියෙනවානම් හරි ඉස්සෙල්ලම කෙලවෙන්නේ තමන්ට .

ඒ නිසා මාරණ කර්මය කරන්න කලින් තමන්ට ආරක්ෂාවක් තියාගන්න ඕන . එහෙම නැතුව ඔය පොඩි පොඩි වින බන්ධන අංගම් කාලම් වගේ ඒවා කරන්න නම් ඉතින් වැඩිය අවදානමක් නැහැ . ඒත් වින කරන කෙනෙක් නම් තමන් අනිවාර්යෙන්ම ආරක්ෂාවක් තියාගන්න එක හොඳයි .

ඒ මොකද , කවදා හරි දක්ෂ ඇදුරෙක් ආයෙත් මරු නංවලා මේ විනය ආපිට යන්න කැපුවොත් ඉස්සෙල්ලාම මරු දිෂ්ටිය හරි නැත්නම් යක්ෂ දිෂ්ටිය එන්නේ විනය කරපු ඇදුරා හොයාගෙන . වින කපන මන්තර මතුරනකොට පැහැදිළිවම අදාළ අමනුස්සයාට නියම කරලා කියනවා ඇදුරා හොයාගෙන ඇදුරා පාරේ එළවලා ඇදුරා මරන්න කියලා . ඒ නිසා වින කරන්න දන්නා කෙනෙක් ඉන්නවා නම් තරයේ හිතා ගන්න . දන්නා දේවල් කරන්න එපා . වරදින් තොර වීමයි මනුෂ්‍යයෙක් පිරිසිදු වෙනවා කියන්නේ . ඒ නිසා වින කරන්න එපා කවමදාකවත් .

සමහර වෙලාවල් වලට ඇදුරාගේ පවුලේ ඔක්කොම උනත් මරු වසඟයට පත් කරලා වින කපන්න පුළුවන් . ඒ නිසා ඇදුරා ආරක්ෂාවක් කරගෙන තමයි වින කරන්නේ . එහෙම උනාම විනයක් කැපුවට පස්සේ කරපු ඇදුරා ගාවට එන්න බැරිනම් ඊට පස්සේ දිෂ්ටිය යන්නේ විනය කරවපු කෙනා හොයාගෙන . ඒ නිසා වින කිරීමත් වින කරවීමත් ජීවිතය අවදානමට තැබීමක් කියලා මතක තියාගන්න ඕන . මගේ පරපුරේ පැවතගෙන ආව සියල්ලෝම වගේ වින කැපීම පිළිබඳව විශාරදත්වයක් තිබුණු අය . එයාලාගේ ජීවිත මතක සටහන්වල තියෙනවා මෙහෙම තිබුණු දරුණු වින කපලා කරපු අයට ඒවා වැදිලා දඬුවම් ලැබුණු අවස්ථා . 

මම බ්ලොග් ලියන්න පටන් ගත්ත මුල්ම කාලේ වැඩිපුර කරේ ලිව්ව එක නෙවෙයි , කියවපු එක . වැඩිපුර කියෙව්වේ බ්ලොග් කියන්නේ මොනවද කියලාවත් හරියට දාන්නේ නැති නිසා . මම මුලින්ම ලිව්ව මේ බ්ලොග් එකේ මුල්ම පෝස්ට් කියවලා බැලුවනම් ඔයාලට තේරෙයි මම ලියන්න පටන් ගත්තේ කොහොමද කියලා . බාසාව ලොවෙත් අවුල් . 


ඉතින් එහෙම කියවන කාලේ මම එක බ්ලොග් එකකට කමෙන්ට් කළා මේ වින කැපීම සම්භන්ධව ලියලා තිබ්බ ලිපියකට . පස්සේ ඒ බ්ලොග් එකේ ඇඩ්මින් මට දොස් කියලා කමෙන්ට් එකක් දාලා තිබුණා මැරෙන්න ඉන්න කෙනෙක් කොහොමද සනීප කරන්නේ , කළකම් පළදෙනවා , මාරයා බන්ධනය කරලා මැරෙන්න ඉන්න කෙනෙක් බෙරනවානම් මිනිස්සුන්ට අමරණීය වෙන්න පුළුවන් කියලා .

එයාට තේරුනේ නැහැ මම කිව්වේ මොකද්ද කියලා . එයාගේ ආවේගශීලී බව නිසා මම ඊට පස්සේ ඒවාට උත්තර දෙන්න ගියේ නැහැ . මම කියන්නේ විනයක් කරලා මැරෙන්න ඉන්න කෙනෙක්ව විනය කපලා මරු බන්ධනය කරලා බේරගන්න පුළුවන් භූත විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා කියලා . කළකම් පල දීමක් නම් ඉතින් මැරෙන්නත් පුළුවන් . ඒත් බුදුහාමුදුරුවෝ තමන්ගේ ධර්මයේ ත්‍රිලක්ෂණයට අනුව අනාත්ම බව කියන සංකල්පයෙන් ඉදිරිපත් කලේ හැමදේම ආත්මීය වශයෙන් බැඳිලා නැහැ කියලා .

ඒ කියන්නේ මේ ලෝකේ සමහර දේවල් උතු බීජ කම්ම ධම්ම චිත්ත කියන පංච නියාම ධර්ම වලට අනුව වෙන්නත් පුළුවන් කියලා . ඉතින් මේ වගේ වෙලාවට කළකම් පලදීම කියලා බලාගෙන ඉන්නේ නැතුව ඒවාට අදාළ ප්‍රතිකාර කරලා බලන්න ඕන විනය වැදුණු කෙනාව බේරාගන්න පුළුවන්ද කියලා .

ඒ නිසා අපි බලමු මොනවද තියෙන වින වර්ග සහ කොච්චර වින වර්ග තියෙනවද කියලා . ඒත් ගණන් කරලා කියන්න බැහැ වින කොච්චරක් මේ ලෝකේ ඉපදිලා තියෙනවද කියලා . බුදුහාමුදුරුවෝ ජලනන්දන පිරිතේදි දේශනා කරනවා " දස කෝටි සහස්සානී සර්ව බන්ධන චේදනං " කියලා . ඒ කියන්නේ කෝටි දහදාහක් තියෙන සියලුම බන්ධන විනාශ වෙනවා චේදනය වෙනවා කැපෙනවා කියලා . ඉතින් උඩින් පල්ලෙන් අතගානවා වගේ තමයි වින ගැන කියන්නේ .

හිර කිරීම් කරනවා කියලා කරන වින වර්ග වලින් කරන්නේ යම් කෙනෙක්ගේ නමට විනයක් කරලා ඒක යම් තැනක හිර කරලා තියන එක .මෙහෙම කරන වින හිර කරනවා ඔරු යට , පාරු යට , පහුරු යට , නැවු යට , දිය යට , මඩ යට , වැලි යට , ඔයක , විලක , අමුණක , ඇලක , දොලක , ගංගාවක , කළයක , කොතලයක වගේ තැනක . එහෙම හිර කරපු වින කපනකොට සමහර ඒවා නම් තියෙන තැන හොයාගෙන ගොඩ ගන්නම ඕන . නැත්නම් තවත් සමහර ඒවා බලගතු මන්තර වලින් මතුරලා ඒවා ගොඩ ගන්නේ නැතුව කපන්නත් පුළුවන් .

තවත් වින වර්ග තියෙනවා ඉර හඳ තරු වල තියෙන ශක්තිය බන්ධනය කරලා , ඒ කියන්නේ ග්‍රහයෝ නවදෙනා බන්ධනය කරලා කරන වින වර්ග . මේවා සමහරවිට අදාළ පුද්ගලයාට මරණය අරගෙන ඒවා වෙන්න පුළුවන් .

ගස් පාවිච්චි කරලා කරන වින බන්ධන ගැන කියනවානම් , නූල් මතුරලා ගස්වල ඒ නූල් ගැටගහලා වින කරන්න පුළුවන් . මේ වින නිසා සමහරවිට ඒ ගහේ ගෙඩි කන කෙනාට අමනුස්ස දිෂ්ටිය වැටෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් ගහ යටින් යන කෙනාට දිෂ්ටිය වැටෙන්න පුළුවන් . නැත්නම් ඒ ගහ තියෙන ගෙදර අයට වත්තේ ඉන්න බැරි වෙන්න පුළුවන් .

එහෙමත් නැත්නම් ගහ තියෙන ගම පාළු වෙලා යන්න පුළුවන් . එකියන්නේ ගමේ ඉන්න බැරුව මිනිස්සු ගම අතැරල යන තත්වෙට පත් වෙන්න පුළුවන් . සමහර වින වර්ග තියෙනවා එක ළඟ තියෙන ගස් දෙකකට මතුරනවා . එකක් මතුරන්නේ ගැහැණු කෙනාගේ නමට භාර කරලා . අනික මතුරන්නේ පිරිමි කෙනාගේ නමට භාර කරලා . පස්සේ මේ ගස් දෙකේ අතු හුළඟට ගෑවෙනකොට ගෑණුකෙනයි පිරිමි කෙනයි දෙන්නම රණ්ඩු වෙනවා . පවුල් අවුල් කරන්න තමයි මේවා හදලා තියෙන්නේ .

ගස්වල කොළ භාවිතා කරලා කරන වින වර්ග ගැන කියනවනම් දෙහි දොඩම් නාරං පබුරු වගේ ගස්වල කොළ වල රූප ඇඳලා නමට සිද්දි කරලා වින කරන්න පුළුවන් . නමට සිද්දි කරනවා කියන්නේ අදාළ පුද්ගලයාගේ සම්පූර්ණ නම ලියලා එයා වෙතට දිෂ්ටිය යන එක කන්ෆර්ම් කරන එක .

තවත් වින වර්ග තියෙනවා ඇණ වලට මතුරලා වහලවල් හදනකොට මුදුන් යටලීයට වගේ වැදගත් ස්ථාන වලට ශේප් එකේ ගහලා දානවා . ඒවායින් සමහර වෙලාවට ගෘහමූලිකයා ගේ පදිංචි වෙන්න කලින්ම පරලොව යවන්න පුළුවන් .

උතුර නැගෙනහිර වගේ දිශා අට අල්ලලා කරන වින බන්ධන වර්ග තියෙනවා . ඒවා කරන්නේ අටදික් පාලනය කරන බහිරවයින් අල්ලලා බහිරව බන්ධනය කරගෙන . මේ වින වලින් වැඩි හරියක්ම වෙන්නේ ගෙවල් වල සල්ලි ධනය විනාස කරලා දාන එක .

ඔයාලා දන්නේ නැතුවත් ඇති . සමහර පිරිත්වල අකුරු වෙනස් කරලා වැරදියට කියලා පිරිත් වලින් වින කරන්නත් පුළුවන් . සබ්බ පාපස්ස අකරනං කියන ගාථාවේ අකුරු වෙනස් කරලා වින කරන හැටි ගැන මම කියවලා තියෙනවා . ඒවා එච්චර භයානක දේවල් නෙවෙයි . ඒත් සැලකියයුතු දෙයක් ඒවායින් කරන්න පුළුවන් .

තව ඉතින් බන්ධන වර්ග තියෙනවා ගමකට .

වඩිග බන්ධන 
කල්ලු  බන්ධන  
පිල්ලූ  බන්ධන 
සන්නාසි බන්ධන 
ආඬි  බන්ධන 
පට්ටාඩි බන්ධන 
කණ්නාඩි බන්ධන 
තෙලිඟු  බන්ධන 
වීසි බන්ධන 
කාබේරි  බන්ධන 
වල්ලව බන්ධන 
මලයාල බන්ධන 
පරංගි බන්ධන
කාශ්මීර බන්ධන 
කාම්බෝජ බන්ධන 
නේපාල බන්ධන 
දෙමල බන්ධන 
සිංහල බන්ධන 
නවගුණ ගාථා බන්ධන 
යන්ත්‍ර බන්ධන 
මන්ත්‍ර බන්ධන 
යක්ෂ බන්ධන 
යක්ෂනී බන්ධන 
දේව බන්ධන 
දේවතා බන්ධන 
ප්‍රේත බන්ධන 
ආදර බන්ධන 
ඊනා බන්ධන 
කටහඬ බන්ධන 

කියලා බන්ධන වර්ග විශාල ගණනක් තියෙනවා .

හිර කියලා වින වර්ගයක් තියෙනවා .

වැලි හිර 
නූල් හිර 
දුනු හිර 
අඩි හිර 
ඇට හිර 
මස් හිර 
කටු හිර 
යන්ත්‍ර හිර 
මන්ත්‍ර හිර 
ගාථා හිර 

කියලා තමයි මේ හිර වර්ග නම් වෙන්නේ . මේ වින වර්ග ඔක්කොම වගේ කියවලා බැලුවම පේන්නේ මේ හැම එකක්ම යක්ෂයින් භූතයින් එක්ක බැඳිලා තියෙන ඒවා කියලා . ඒත් ඊට වඩා බලගතු දේවල් තමයි අංගම් කාලම් සහ පිල්ලූ නොහොත් පිල්ලි කියන්නේ .

අංගම් තියෙනවා ගොඩක් .

දුවන අංගම් 
පිඹින අංගම් 
පනින අංගම් 
පෙරලන අංගම් 
ගහන අංගම් 
අනින අංගම් 


කියලා තමයි ඒවා නම් කෙරෙන්නේ .


කාලම් තියෙනවා කීපයක්ම . ඒවා වෙන් වෙන්නේ

යක්ෂ කාලම් 
දේව කාලම් කියලා .


පිල්ලි කියන්නේ ආත්මයක් මගින් වින කිරීම . මේ පිල්ලි වලින් කරන්නේ සතෙක්ගේ ආත්මයක් බන්ධනය කරලා ඒ සතාව හරි සතාගේ ආත්මය හරි යවලා මනුස්සයෙක් විනාශ කරන එක . මනුස්ස පිල්ලි වලට වඩා බලගතුම පිල්ලිය තමයි නාග පිල්ලිය . නයෙක් නොමරා අල්ලාගෙන මන්තරවලින් මතුරලා දිෂ්ටි කරලා හතුරාගේ නමට සිද්ධි කරලා නාග පිල්ලියක් යැව්වම නයා ගිහින් දෂ්ට කරනවා .


මෙහෙම් දෂ්ට කරාම කොච්චර නයි නටවන දොස්තරලා වෙද්දු හිටියත් මැරෙනවා සත්තයි කියලා මන්තර පොත්වල ලියවිලා තියෙනවා . ඒවගේ තියෙනවා කටුසු බඹර දෙබර මැසි පිලවු බලු බළල් නාග ගැරඬි පොළොන් තෙලිස් කරවල් පත්තෑ කුරුමිණි පිල්ලි කියලා පිල්ලි ගොඩක් . මේවායේ බලගතුබව වෙනස් වෙන්නේ අදාළ සතාගේ ශක්තිය මත තමයි .





රන් රිදී තඹ පිත්තල වානේ කියන ලෝහ වර්ගවලින් රූපයක් හදලා නම ලියලා නමට සිද්දි කරලා වින කරන්න පුළුවන් . මැටිවලින් රූපය අඹලා වින කරන්න පුළුවන් . දෙහි ගෙඩි පුහුල් ගෙඩි හොඬල අල හබරල අල වගේ ඒවායේ රූපය ඇඳලා නම ලියලා වින කරන්න පුළුවන් . ඔය මොකවත් ඕන නෑ . කාලයක් යක්ෂ දිෂ්ටි එක්ක වැඩ කරපු කෙනෙක් කේන්තියෙන් පිට කරන හුස්ම පොද වැදෙන වැලි අහුර උනත් ඇති විනයක් වෙන්න . වින කරන මන්තර කියනකොට සමහර වෙලාවල් වලට කෙළවත් ගිලින්න බෑ . එහෙම උනොත් විනේ වෙන්නේ මතුරන කෙනාට . ඒ නිසා වින නොකර ඉන්න එක තමා හොඳ .

සාගරයක් වගේ තියෙන වින බන්ධන වලින් මේ කිව්වේ ටිකයි . ඉස්සර කාලේ මන්තර හදපු අය සම සම ප්‍රමාන වලින් වින සහ වින කපන මන්තර හදලා තියෙනවා . ඒත් ඒවා පිටපත් කරපු අය වැඩිපුර අරගෙන තියෙන්නේ වින කරන මන්තර ක්‍රම . ඒ නිසා ශිල්පයේ හැටියට වින කරන ආකාර ගණන වැඩියි . වින කපන්න තියෙන මන්තර අඩුයි .

එක කතුරකින් රෙදි කඩදාසි පොලිතීන් ඔක්කොම කපනවා වගේ කීපයකට සීමා වෙලා තියෙන මන්තර වලින් තමයි වින කපන්නේ . වින කරනහැටි ගැන ලිව්වේ අඩුවෙන් . මොකද මමත් කැමති නෑ වින කරන හැටි ගැන කල්පනා කරන්න . වින කරන ඇදුරන්ගේ මුහුණේ තියෙන රෞද්‍ර පෙනුම එයාලට ලැබිලා තියෙන්නේ ඒ මන්තරවලට අරක්ගන්න නපුරු දිෂ්ටි නිසා තමයි .






කොඩිවිනයක් කරලා තියෙනවද නැත්ද කියලා අපි දැනගන්න ඕන ඉස්සෙල්ලම . මොකද එහෙම නැතුව වෙන වෙන දේවල් වලටත් ගෙවල් වල අඩදබර ලෙඩ රෝග කරදර ඇතිවෙන්න පුළුවන් නේ නේද . බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නේ උතු බීජ කම්ම ධම්ම චිත්ත කියන නියාම ධර්ම පහට අනුව මේ ලෝකයේ වෙන දේවල් ප්‍රමාණයකුත් තියෙනවා කියලා .

මම ගුරුකම් කරන පරපුරවල් කීපයක්ම එක්ක මේ ගැන කතා කරලා ඒ ඒ අයගේ ශිල්පීය ක්‍රම ගැන අධ්‍යනය කරා . ඒවායින් මම ලියන්න සුදුසුයි කියලා හිතෙන ක්‍රම කීපයක් මෙතන සටහන් කරනවා . මොනයම් ආකාරයක හෝ ගුරුකමක් අපිට කරලා තියෙනවනම් ඒක අඳුරගන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි අඳුනක් භාවිතා කරලා හනුමාගෙන් හරි අංජන දේවියගෙන් හරි අහගන්න එක . මොකද එයාලා කියනවා එයාලාට පේනවනම් අදාළ තැන ගුරුකමක් කරලා තියෙනවා කියලා .

මම දන්න කීප දෙනෙක් ළඟම ක්‍රියාකාරීත්වයේ තියෙන අඳුන් කීපයක්ම තියෙනවා . ඒ අය අඳුන් වලින් කියන දේවල් අනුව ඒවා විශ්වාස නොකර බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ . ඒක අවස්ථාවක හනුමා කියලා තිබුණා එක ගෙදරකට ගේ හදන්න කලින් අඩිතාලමට දාලා තිබුණ මිනී ඔලුවක් ගැන . ගෙදර අය ඒක විශ්වාස කලේ නැතුව ඉඳලා අවසානයේ අඩිතාලම හාරලා බලනකොට මිනී ඔලුවක් ගොඩ අරගෙන තිබුණා . දැන් කියන්න පුළුවන් සල්ලි ගන්න කරපු වැඩක් වෙන්නැති කියලා . ඒත් මේ අඳුන බලන කෙනා සල්ලි ගත්තේ නෑ ඒ වැඩ වලට . සමාජ සේවයක් විදියට තමයි ඒවා කරලා තිබුණේ .

කොඩිවින කරලාද නැත්ද කියලා බලාගන්න ඊළඟට තියෙන හොඳ ක්‍රමයක් තමයි දෙහි කපලා බලන එක . මේ වෙනුවෙන් රචනා වෙලා තියෙන මන්තර ගණනාවක් තියෙනවා . වැඩිය ලොකු ඒවත් නෙවෙයි . ඒවායින් අදාළ වාර ගණනක් ජීවන් කරපු දෙහි අදාළ ගෙදර බිම කහ වතුර භාජනයක් තියෙලා මන්තර මතුරන ගමන් ගිරයකින් කපලා දැම්මම , විනයක් තියෙනවනම් ඒ දෙහි පලු බේසමේ පතුල බඳාගෙන ගිලා බහිනවා . විනයක් නැත්නම් උඩ පාවෙනවා .

තව තියෙනවා මන්තර වර්ග කීපයක් " වින කෝෂ මන්තර , වින රාජ මන්තර , වින ධාරණ මන්තර " කියලා . මේවා ඉතාම බලගතු අමාරු මන්තර . මේවා කට පාඩම් තියෙන අයට කොඩිවින වදින්නේ නැති තරමටම මේවා බලගතුයි කියලා තමයි කියන්නේ . හැබැයි කටපාඩම් කරන්න හරිම අමාරුයි . මොකද ඒවායේ භාෂාව ඉතාම පැටලිලි සහගත වචන වලින් තමයි හැදිලා තියෙන්නේ .

මේ මන්තර වලින් මතුරලා දෙහි නාරං අන්නාසි වගේ දේවල් ඒ ඒ මන්තරවලට නියම කරලා තියෙන හැටියට හපලා බලනකොට එන රස අනුව තීරණය කරන්න පුළුවන් වින තියෙනවද නැත්ද කියලා . මේවා හපලා බලන්නේ ඇදුරා නෙවෙයි . ඒවා හපලා බලන්නේ ගෙදර කෙනා . එයාට දැනෙන රස අනුව තමයි තීරණය කරන්නේ . තව මේ මන්තර වලින් දෙහි කපනකොට සමහර වෙලාවල් වලට දෙහි වලින් ලේ පාට දියරයක් වෑස්සෙන්න ගන්නවා . එතකොටත් තීරණය කරනවා මෙතන කොඩිවිනයක් තියෙනවා කියලා .

තවත් ක්‍රමයක් තියෙනවා ගොප් කොලයකට මතුරලා වින තියෙනවද නැතද කියලා හොයන විදියක් . මෙතනදී කරන්නේ ගොප්කොලයට මතුරලා තෙල් ගාලා අදාළ ගෙදර අයගේ කෙනෙක්ගේ ඉනේ දිගට ගොප්කොලේ කඩනවා . පස්සේ ටික වෙලාවක් ඉඳලා ආයෙත් ඒ ගොප්කොලේ ඒ කෙනාගේ ඉනේ එතුවම කලින්ට වඩා දිග වැඩිවෙලා නම් එතන විනයක් තියෙනවා කියලා තීරණය කරනවා . විනයක් නැත්නම් ඒ ගොප් කොලේ දිග වැඩි වෙන්නේ නෑ .

ඔන්න ඔයවගේ තවත් එක එක ශිල්පීය ක්‍රම තියෙනවා කොඩිවින බලන්න . කොඩිවින කපනකොට ඒවා කපන්නත් එක එක දේවල් කරනවා . වින කපන්න කියලා කිව්වට ඔයාලා දන්නේ නැතුව ඇති වින කපනවා කියන්නේ මොකක්ද කියන එක . විනයක් කරන්නේ මොකක් හරි විදියකින් අමනුස්සයෙක් බන්ධනය කරන එක . වින කපනකොට කරන්නේ ඒ බන්ධනය කඩලා ඒ අමනුස්සයා එතනින් ඉවත් කරන එක . මේ දේ කරන්න තමයි ගොඩක් දේවල් කරන්න වෙන්නේ . වින කපන්නත් ක්‍රම දෙකක් තියෙනවා . සමහර වෙලාවට ඉතින් පලි ගන්න ඕනේ නැත්නම් නිකන්ම විනය කපලා දාන්න පුළුවන් . ඒත් කරපු දේ වෙනුවෙන් පලි ගන්න ඕන නම් ආපිට කපනවා කියල වෙනමම ක්‍රියාදාමයක් කරනවා .

මෙතනදී මාරයා ගෙන්නලා මාරයාගේ තියෙන මරණ ශක්තිය වැඩිකරලා විනය කරපු කෙනාව මරලා දාන්න තරම් මේ ආපිට කැපීම දරුණු වෙනවා . ආපිට කැපීමේදී මේ කරන මාරයා අවධි කරවීමට ගුරුකම් ශාස්ත්‍රයේ කියන්නේ මරු නග්ගනවා කියලා . ඔය නිසාම තමයි මම කලින් පෝස්ට් වල වැඩිදුර කියලා තියෙන්නේ වින කරන්න නම් යන්නෙපා , කැපුවොත් අනිවා බඩු හම්බෙනවා කියලා . මෙහෙම අපිට කැපුවම ඉස්සෙල්ලම දිෂ්ටිය එන්නේ විනය කරපු ඇදුරා හොයාගෙන . ඇදුරා ප්‍රභල ආරක්ෂාවක් කරගෙන ඉන්නවනම් දිෂ්ටිය ඊළඟට යන්නේ විනය කරවපු කෙනාව හොයාගෙන . ඒ නිසා වින කරවීමත් වින කිරීම තරමටම භයානක දෙයක් වෙනවා .

වින කපනකොට වින කපන්න ගන්න දේවල් කීපයක් මම මෙතන සටහන් කරන්නම් .



දෙහි
එක ඉත්තක දෙහි
යකිනාරං
එක ඉත්තක යකිනාරං
පුහුල් 
තැඹිලි 
අන්නාසි
පොල්
ඉටි රූප
මැටි රූප
හබරල අල
හොඬල අල
අලුකෙසෙල් අල
බිත්තර
මිනී ඔලු
හරක් ඔලු
නියඟලා අල
කැහිපිත්තන් ගස්
ඉඹුල් කොළ
දිවුල් කොළ
කොලොන් කොළ
නික කොළ
බෝ කොළ
කරඳ කොළ 
නුග කොළ
නෙලුම් මල්
මානෙල් මල්
ගැටතුඹ මල්
සමන් මල්
කිනිහිරි මල්
රත් මල්
මා රත් මල්
ඉද්ද මල්
සප්සඳ වැල්
ඉරමුසු වැල්
කයිල වැල්
සමන්පිච්ච වැල් 
කරවිල වැල්
මෑ වැල්
කැකිරි වැල්
ගොන් කැකිරි වැල්
වෙනිවැල් 
වේවැල්
මදුවැල්

වගේ දේවල් ගොඩක් ගන්නවා . මේ වැල් ජාතිනම් එකසිය අටක් තියෙනවා . ආයේ වෙලාවක එකසිය අටේම නම් දාන්නම් .

ඉතින් ඔයවගේ දේවල් ගොඩක් එක්ක වින කැපීමේ ක්‍රම ශිල්ප විවිධ ආකාරයෙන් වෙනස් වෙමින් ඇතිවෙලා තියෙනවා . කලින් කිව්වා වගේ මේ ලෝකේ නරක වැඩියි . හොඳ තමයි අඩු . ඒවගේම වින කපන්න නිර්මානයවෙලා තියෙන මන්තරත් අඩුයි . වින කරන්න තියෙන මන්තර තමයි වැඩි . මේ මන්තර එක එක දේවල් වලට විශේෂ වෙනවා . 

වින කපන මන්තර වලට අරක්ගත්ත එක එක අමනුස්සයෝ ඉන්නවා . ඒ වගේම වින කපන මන්තර හීන කුලයේ මන්තර සහ මහා කුලයේ මන්තර විදියට කොටස් වෙනවා . හීන කුලයේ මන්තර විදියට රොඩී හෙල්ලොලි වගේ මන්තර ගණන් ගැනෙනවා . මහා කුලයේ මන්තර වෙන්නේ ඍෂිවරු හදපු මන්තර , පඬිවරු හාමුදුරුවරු හදපු මන්තර . මේවා කවුරු හැදුවත් ඒවායේ බලය නම් වෙනසක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ . 

මම දාන්නම් මට කියවන්න ලැබුණ වින කපන මන්තරවල ලැයිස්තුවක් . 

රුවන්දොර පෙරළුම
සත්භූමි කම්පාව 
විෂ්ණු සංහාරය
මහා සොහොන් අලගුව
නවගුනරාජ මන්තරය
සායි දැහැන
හනුමා වෙට්ටුව
සැවුලා තීන්දුව
කින්කිලියා තීන්දුව
ලක්ෂේට නායක අලගුව 
ලංකෙෂ්ට නා අලගුව
ඔඩ්ඩි කුමාර දැහැන් හත
මරු සුරුන්ඩුව
ලේ කාලි තීන්දුව
නවකුන්ට රාජ තීන්දුව
වෙසමුණි සැරය
දැඩිමුන්ඩ ඉනාව
දැඩිමුන්ඩ ජීවම 
දැඩිමුන්ඩ පෙරළුම
අරවලී දැහැන
ගිනි විල්ලොඩිය
කිසිඹිලි කතුර 
ක්‍රෝධ බන්ධන පෙරළුම
හෙනගිනි තීන්දුව
නාග වල්ලි විදුර
අග්නි සැරය
ගෝඩිම්බර දැහැන 
අග්නි මාලාව
මයුර සංහාර පෙරළුම
ඔඩ්ඩි පෙරළුම
කඩවර පෙරළුම
හූනියන් පෙරළුම
පිල්ලි පාරාව
පිල්ලූ පිදෙන්න
නීචකුල තීන්දුව
මරු බන්ධනය
රාජ ගින්ගිලියාව
පළවෙනි තීන්දුව
දෙවෙනි තීන්දුව
තුන්වෙනි තීන්දුව
දෙවොල් බාගේ අලගුව
මලයාල රීරි තීන්දුව
බස්නාහිර තීන්දුව
රීරි කාම තීන්දුව
සිවයන් අලගුව
කල්ලු වින රාජය
අශ්ටෝත්තර අලගුව
විජ්ජාපලුව
කළුවැදි තීන්දුව
වලාශ්‍රී තීන්දුව
ගුරුළු වලා බන්ධනය
ගුරුළු මාල බන්ධනය
ගුරුළු මාල තීන්දුව
කාකු දැහැන් හත
ඊශ්වර අලගුව
ක්‍රලාඩිබාහේ අලගුව
ආඬිබාගේ අලගුව
කයිවීර හනුමා වෙට්ටුව
ශ්‍රී පාද කතුර

මේවායින් මම දන්නා තරමින් දිගම මන්තර දෙක තමයි රුවන්දොර පෙරළුම සහ සත් භූමි කම්පාව . එකක් කොපිපොත් පිටු නවයක් තියෙනවා . අනික කොපිපොත් පිටු දොළහක් තියෙනවා . මේවා ඒකාලේ අය කොහොම පාඩම් කරාද කියලා හිතාගන්න අමාරුයි . ඒත් සරස්වතී තෙල් වගේ දේවල් මේවට උදවු වෙන්න ඇති . 

මේ මන්තර වලින් භයානකම එකක් තමයි රුවන්දොර පෙරළුම කියන්නේ . මොකද මාරයාට භාර කරන මන්තරයක් ඒක . වැරදුනොත් විනේ කැපෙන්න කලින් තමන්ට වැරද්දක් වෙන්නත් පුළුවන් . මේ මන්තර වලින් ජීවම් කරපු මම උඩින් කියලා තියෙන දේවල් වලින් වින කපනවා . තව වින කපනකොට භාවිතා කරන අඩි තියෙනවා . අඩි කියන්නේ මේවා බිම ඇඳලා ඒවා උඩට ලෙඩා ගෙන්නලා , ලෙඩා ඒවා උඩ තියාගෙන මතුරමින් වින කපනවා . මේවාට කියන්නේ ශක්‍රන් කියලා . මේ ශක්‍රන් නිර්මාණය වෙලා තියෙන්නේ සිදුහත් කුමාරයා ඉපදුන වෙලාවේ නෙලුම් මල් හතක උඩ ඇවිදපු සිද්දිය මුල් කරගෙන . මම ඔයාලට බලන්න මේ ශක්‍රන් වල ෆොටෝ ටිකක් දාලා තියෙනවා . 




වින කපනකොට ඉස්සෙල්ලම හූනියන් දෙවියන්ට ආරාධනා කරනවා . පස්සේ යක්ෂ දිෂ්ටි වලට ආරාධනා කරනවා . ඊටත් පස්සේ අදාළ යකාට ආරාධනා කරනවා . මහසෝනා රීරි යකා අභිමාන යකා කළු යකා වගේ යක්කු මේ විදියට ආරාධනා ලබනවා . පස්සේ මාරයා ගෙන්නනවානම් මාරයාට ආරාධනා කරනවා . මාරයා ගෙන්නන්න විශේෂ මන්තර කොටසක් නිර්මාණය වෙලා තියෙනවා . ඇදුරෝ මේ මන්තර කවදාවත් පිටට දෙන්නේ නෑ . ඒක සම්ප්‍රදායක් . පරපුරවල් වලින් රකින දෙයක් ඒක . මොකද ආපිට කපන්න මාරයා ගෙන්නන්න හොඳ පළපුරුද්දක් තියෙන්න ඕන නිසා වගේම මාරයා එක්ක සෙල්ලම් නැති නිසා .

පස්සේ අදාලා වින කපන මන්තරය කියලා විනේ කැපුවට පස්සේ කරන්න ඕන දේවල් ඉතින් ඉවරයි . ප්‍රතිපල එනකල් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ . වින කපන මන්තරවල භයානකකම තේරෙන්න එක්ක මම ඒ මන්තරවල ආපිට යවන කොටස් ටිකක් මෙතන සටහන් කරනවා . මේ තියෙනේ ඒවා .


........අල්ලල්ලා හූ කිඩ ඔට්ටු මරු කුදිර අඩා කුදිර විස කණ්ඩී ඔන්න අරගන් බා බා වින කල අදුරා එලාගන් පෙරලාගන් තීන්දු තීන්දු යමදොරට ගෙන ගිය ඉර ශර අවර බිල්ල ඉරා ශර උර උරා මරණ පුරි ගිනි ගන් මරණ පුරු අඩා පුර ශර මරු පෙරළෙයි හිර ගිනි උපුටයි දෙපයට ගිනි ලයි විෂයට මරණයි අට කොන භාරයි රුවන් දොර පෙරළෙයි සතියට මරණයි අවරට බිල්ලයි මාරුවට භාරයි නව දොර පෙරළෙයි විස පෙවූ කඩුවයි පෙරලා කැපුවයි යාම දේවී භාරයි වින කල ඇදුරට මරණයි රුවන් දොර පෙරළෙයි අඩා පෙරළෙයි.......... 



විෂ්ණු රන්දුනු සැරෙන් වින පෙරලා ගිනිගන් මේ වින කල ඇදුරාට වැදී ගිනි ගං පෙරලගන් රවී කුජ ඔට්ටු බිලි පාරේ පන්දු අෂ්ට ගතේ දැලේ රේඛා තරු ................

...........ඔන් කාමී මිනී රාක්ෂී නීච ග්‍රී හනුමන්තා වින ධාරණී උගුළුවා ගං හිර බන්ධන කැපී වෙසමුණි රජ්ජුරුවෝ සෑම යකුන් යක්ෂණියන් ගෙන්නවා කුල වීදි වලට කුල විජ්ජා බන්ධනයට අසු කරවා සියලු විජ්ජාවල් පාළුකර ආනුභාවෙන් කුල බිලි යක්ෂයා වින කල ඇදුරා බිලි ගං විජ්ජා මරණ දිෂ්ටි ආපිට හැරී පලයන් තීන්දු .............

..............වින කල ඇදුරා රීරි මඩුල්ලේ රීරි දේවතාවුන් වහන්සේට භාරයි ඔහුගේ අඹු දරුවන් නුඹට භාරයි ඔහු මරු භීත කරවා එලා ගන්ඩ තනිපල රීරි මස්සිනා නුඹට භාරයි රීරි යක්ෂනී වින කල ඇදුරා දිෂ්ටි ගං තෝස්වාහඃ......

................වින කල ස්ත්‍රී පුරුෂයෝ ඇත්නම් විනකළ ඇදුරෙක් ඇදුරියෙක් ඇත්නම් ඔහු හිස පුළුටු කුම්බරයාට භාරයි ගැබ දරණය ලේ කුරුම්බරයාට භාරයි උකුල දෙපා කෙන්ඩ පතුල හෙන කුරුම්බරයාට භාරයි දෙවොල් තුන් සමයමට අරක් ගත් රීරි සොහොන් යක්ෂයෝ සත් දෙනාට මේ වින කල ඇදුරාගේ ලේ රීරි ඇට සන්ධි නහර කැප ගං ................


වින කැපීම ගැන කියන්න තියෙන ඒවා ඔච්චරයි වගේ මතක් වෙන්නේ . තව මොනවා හරි මතක් උනොත් ආයෙත් පෝස්ට් එකක් ලියන්නම් . ඒත් මේ ලිපි මාලාව මෙතනින් මම ඉවර කරනවා . මේ ලිපිය ලිව්වේ වින ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න . මොකද අපේ පැත්තේ ඉන්න කාලි යක්ෂනී වසඟයට ගත්ත කෙනෙක් දැන් අංශබාගය වැළඳිලා ඔත්පල වෙලා ඉන්නවා . ඔත්පල කිව්වට දැන් නම් ටිකක් ඇවිදින්න පුළුවන් . ඒත් මෙයාට ගුරුකම් වැරදිලා තමයි ඒ දේ උනේ කියන එක කාටත් නොරහසක් . මොකද ගුරුකම් වැරදිලා මැරෙන , ලෙඩවෙන ඇදුරන් ගැන මම හොඳට දැකලා තියෙනවා . 

මේ ලිපි කියවලා කවුරුවත් අන්තගාමී වෙන්න ඕන නෑ . මම කියන්නේ නෑ මේවා පිළිගන්න කියලා . ඒත් තව අවුරුදු දෙතුන්සීයක් විතර ගියාම මේ දේවල් ගැන කතා කරන්නවත් කෙනෙක් නැති කාලයක් එයි . එතකොට මේ ලිපි සයිබරේ රැකිලා තිබුණොත් කවුරුහරි කියවලා ඉගෙන ගනීවි ලංකාවේ මෙහෙමත් ඒවා තිබුණා කියලා . 

මේ දවස්වල මම කොඩිවින වදින්නේ නැති යන්තර ගැන අධ්‍යනය කරමින් සහ අත්හදා බලමින් පවතිනවා . බොහෝ දෙනාගේ හිත සුව පිණිස ඒ දේවල් සාර්ථක උනොත් කිසිම පැකිලීමකින් තොරව ඒවා කරලා දෙන්න කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා . 

එහෙනම් වින ගැන ලිව්ව ලිපි කීපය මෙතනින් අවසන් කරනවා . 


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !





වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

1 comment: