ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම ( 3 )






කියවන අය පොඩ්ඩක් සමාවෙන්න ඕන . මේ දවස්වල වයලීනොට වැඩ ටිකක් වැඩි උනා . අලිගැන කරපු මගේ පුංචි පරීක්ෂණයේ රිපෝට් එක කැම්පස් එකට දෙන්න තිබුණා මේ සිකුරාදාට කලින් . තව ඉතින් කැම්පස් පටන් ගත්ත නිසා වැඩත් වැඩි උනා . දැන් අපි ජේෂ්ඨ උත්තමයන් නෙව .

ඒ ඔක්කොම නිසා බ්ලොග් පැත්තේ එන්නම බැරි උනා . මේ ලිපි ටයිප් කරලා තිබුනට ෆොටෝ කෑලි ටිකක් දාලා හැඩ වැඩ කරලා පබ්ලිෂ් කරන්න ඕන නිසා තමයි කාලය ගත වුනේ . 

දෙවෙනි පෝස්ට් එකෙන් මම කිව්වා ඔයාලට මතක ඇති ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ආයෙත් අපේ සබරගමුවට ලැබීම ගැන . අද ලිපියෙන් මම කියන්න යන්නේ නායක පදවිය විකාශනය වෙලා අද දක්වා ගමන් කරගෙන ආපු විදිය ගැන විස්තර ටිකක් . 


ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ගාල්ලේ මේධංකර හිමියන්ට ලැබුනට පස්සේ ව්‍යාකූල වෙලා තිබුණු ශ්‍රී පාදස්ථානයේ පරිපාලන කටයුතු ආයෙත් පිළිවෙලකට කරගෙන යන්න ඒ හිමියන් වැඩකටයුතු කළා .





ගාල්ලේ මේධංකර හාමුදුරුවෝ ධර්ම ශාස්ත්‍රීය සේවාව මනාව ඉෂ්ට කළා වගේම තමන්ගේ වගකීම් නොපිරිහෙලා ඉෂ්ට කළා . ඒ විතරක් නෙවෙයි ශ්‍රී පාදස්ථානයේ ආගමික පසුබිම එදා වගේම රැකගන්නත් උන්වහන්සේ වැඩ කටයුතු සිද්ද කළා .

මම දැන් සටහන් කරන්නම් ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය දරපු නායක ස්වාමීන් වහන්සේලාගේ නම් ලිස්ට් එක . ඒ ලිස්ට් ඒක අනුව අපිට තව මේ ගැන සාකච්චා කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා .


වේහැල්ලේ ධම්මදින්න හිමි
කඹුරුපිටියේ සඟිධර ගුණරතන හිමි
මාලිම්බඩ ධම්මධර හිමි
කුඩා කඹුරුපිටියේ හිමි 
කරතොට ධර්මාරාම
මොරතොට නායක හිමි  
කොබ්බෑකඩුවේ නායක හිමි
වැලිවිට නායක හිමි
ගම්මුල්ලේ නායක හිමි
ගාල්ලේ මේධංකර හිමි
ඉඳුරුවේ සුමංගල හිමි 
ගලගම අත්ථදස්සී හිමි
හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි
පරගල සෝභිත හිමි
රඹුක්පොත පඤ්ඤාසාර හිමි
මොරන්තුඩුවේ ධම්මානන්ද හිමි
බටුගෙදර යසස්සී හිමි
හඳපාන්ගොඩ විමල හිමි
2012 වසරේ දි බෙන්ගමුවේ ශී‍්‍ර ධම්මදින්න හිමි මේ දක්වා 


මෙන්න මේ ස්වාමීන් වහන්සේලා පිලිවෙලින් අද දක්වා ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය දරමින් කටයුතු කරලා තියෙනවා . ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය එක්කම බැඳුනු පදවිය තමයි සබරගමුව ඇතුළු පහතරට සංඝ නායක පදවිය . මේ පදවි දෙකම එකම ස්වාමීන් වහන්සේ නමක් තමයි මුල ඉඳලා පවත්වාගෙන ආවේ . ඒත් පස්සේ කාලෙකදී මේ පදවි දෙක වෙන් උනා .

මේ නායක හිමිවරුන්ගේ ලිස්ට් එකේ වැඩ ඉන්නවා ඉඳුරුවේ සුමංගල කියලා නායක ස්වාමීන් වහන්සේ නමක් . මුන්වහන්සේට 1830 ජූලි 25 වෙනිදා තමයි රොබට් විල්මර්ට් හෝර්ටන් කියන ආණ්ඩුකාර තුමා සබරගමුව ඇතුළුව පහතරට සංඝ නායක පදවිය ලබා දුන්නේ .

ඊට පස්සේ 1836 සැප්තැම්බර් 17 වෙනිදා ශ්‍රී පාදස්ථානයේ නායක පදවියත් භාර දුන්නා . මේ ලබාදීම සිදු කෙරුනේ අක්ත පත්‍ර දෙකකින් . ඒකට හේතුව මොකක්ද කියල මම පොත් ගණනාවක හෙව්වා . ඒත් එකට හේතුව මොකක්ද කියලා හොයාගන්න ලැබුනේ නෑ . හැබැයි තනතුරු දෙක දීලා තිබුණේ එකට නෙවෙයි දෙපාරකට .

ඒකැ නිසා මම හිතන්නේ මෙතනින් තමයි මේ නායක පදවිය ද්වි කන්ඩනයට ලක් උනේ  කියලා . මේ ලිපි දෙකම පැල්මඩුල්ලේ විහාරයේ අදත් පරෙස්සමට තැම්පත් කරලා තියෙනවා . ගිහි පැවිදි සභාවක් මගින් සහ ආණ්ඩුවේ බලතල මත තීරණය අරගෙන ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය පත්කරන පිළිවෙල පටන් ගත්තේ මෙන්න මේ හෝර්ටන් ආණ්ඩුකාර තුමාගේ කාලයේ ඉඳලා තමයි . ඉතින් අද දක්වාම පැවත එන්නෙ එදා හෝර්ටන් පටන්ගත්ත ඒ ක්‍රමය .

ඉඳුරුවේ හාමුදුරුවන්ට පස්සේ ශ්‍රී පාදස්ථානයේ නායක කම ලැබෙන්නේ ගලගම අත්තදස්සී කියන හිමියන්ට . මේ හිමියන් ශ්‍රී පාදස්ථානයට විතරයි නායක උනේ . ඒ කියන්නේ එතනින් මේ තනතුර දෙකඩ උනා කියන එක . සියඹලාකටුවේ අත්තදස්සී කියන හාමුදුරුවන්ට සබරගමුව ඇතුළු පහතරට නායක පදවිය ලැබුණා .

සියඹලාකටුවේ හාමුදුරුවෝ වැඩහිටියේ ගල්පොත්තාවල විහාරයේ . ඉතින් ගලගම අත්තදස්සී හාමුදුරුවෝ ශ්‍රී පාදස්ථානයේ වගකීම් හරියට ඉෂ්ට කරන්නේ නැති විත්තිය දැනගෙන සියඹලාකටුවේ හාමුදුරවො ගල්පොත්තාවල විහාරයෙන් යන්න යනවා . ඒ යන්න යන්නේ ඇත්දළ කුට්ටමත් ගල්පොත්තාවල විහාරයේම දාලා .

මේ ගැන සංඝ සම්මේලනයකදී කතාවෙනවා  . ඊට පස්සේ සර් රිචර්ඩ් මෝර්ගන් කියන නීතිඥ වරයා මේ ගැන ආණ්ඩුවට දැන්වුවාට පස්සේ රත්නපුරයේ රැස් කරපු නායක හාමුදුරුවරු දහ දෙනෙකුගෙන් සමන්විත සංඝ සභාවක් මගින් ශ්‍රී පාදස්ථානයේ නායක කමෙන් ගලගම අත්තදස්සී හිමියන්ව ඉවත් කරනවා .

ඊට පස්සේ දිගටම නායක හිමිවරුන් පත්කරේ රජයේ බලයලත් නිලධාරීන් සහ නායක ස්වාමීන් වහන්සේලාගේ චන්දයෙන් වැඩිම චන්ද ගනු ලබන හිමිවරු . ඒත් නඩු තීන්දුවකින් තමයි හික්කඩුවේ සුමංගල හිමියන්ගේ නායක පදවිය ස්ථීර වෙන්නේ .

ඔහොම ඔහොම ඉතින් ශ්‍රී පාදස්ථානයේ නයක් පදවිය අද දක්වා විවිධ හල හැප්පීම් වලට ලක් උනත් පැවතගෙන එනවා . මට මතක අවසන් නායක හිමියන් හඳපාන්ගොඩ විමල නායක හිමියන් . ඒ කාලේ බෙංගමුවේ නායක හිමියන් තමයි සබරගමු පළාතේ නායක පදවිය දැරුවේ .

තවත් ලිපියකින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !







වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment