දෙවිනුවර සිංහාසන දේවාලය






ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය ෆේස්බුක් පිටුවට ආ ගිය අයට මතක ඇති මම ඒ පිටුවේ මුල්ම පෝස්ට් එක විදියට දාලා තියෙන ෆොටෝ එක සහ විස්තරය . පිටුවට ආව නැති අයට මතක් වෙන්නත් එක්ක මම ඒ ෆොටෝ එක සහ විස්තරය මෙතන උපුටා දක්වනවා .




- නමස්කාරය -


මානාවඩුගේ දියෝනිස් ගුණවර්ධන 
පාරම්පරික ජ්‍යෝතිෂ්‍යාචාර්ය , මන්ත්‍රාචාර්ය , විෂ වෛද්‍යාචාර්ය 


( 1882 - 1965 )

පරපුරින් පරපුර පැවතගෙන ආ ජ්‍යෝතිෂ දැනුමේත් විෂ වෙදකමේත් මන්ත්‍ර ශාස්ත්‍රයේත් අවසාන සාඩම්බර හිමිකරු වූයේ මගේ මී මුත්තනුවන් වූ එතුමන්ය . මානාවඩුගේ දියෝනිස් ගුණවර්ධන නම් එතුමන් එක් යුගයක දකුණු ලක පහළවූ මහා දැනුම් සම්භාරයක උරුමකරු විය .

උපුල්වන් දෙවිඳුන් නැමඳීමට ගිය සමහර අවස්ථා වලදී දෙවිනුවර සිංහාසන පාරේ ඇවිදින වාරයක් වාරයක් පාසා මාගේ සිතෙහි ඇඳෙන්නේ දැනට වසර සියයකට පමණ පෙර සුදු පැහැති කබායත් කළු පැහැති පට රෙද්දත් හැඳ , පනාව හිසේ ගසා , කිතුල් ලීයෙන් ලියවා දෙපැත්තේ පිත්තල විලි දෙකක් යොදා නිමවන ලද කළු පැහැති බස්තම අතින් ගෙන , දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය දෙසට සංසුන් ගමනින් ගමන් කරන මගේ මී මුත්තනුවන්ගේ රූප කායයි .

තමන් දන්නා සෑම විෂය පථයක් ඔස්සේම මහජනතාවට සෙත සැලසූ එතුමන් තම පරපුරේ ඉදිරි පුරුක් වෙත අධ්‍යනය සඳහා තම ජීවන ගමනේ ස්වර්ණමය පියසටහන් පමණක් ඉතිරිකර 1965 - 05 - 12 දින මාතරදී අභාවප්‍රාප්ත විය .

මා කියවූ පළමු ඈපා පංචාංග ලිත එතුමන්ගේ බව මා සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙන්ය . වයස 11දී ජ්‍යෝතිෂ විද්‍යාවට මා අතපොත් තැබුවේ එතුමන් අපට ඉතිරිකර ගිය සමහර සටහන් සහ ලිත් වලිනි . කුඩාකල සිට මා අනුකරණය කලේ එතුමන්ගේ ජීවිත කතාවය . එබැවින් මගේ හදවතේ ජ්‍යෝතිෂ විද්‍යාව පිලිබඳ නැගෙන භක්ති ප්‍රණාමයේ වැඩි කොටසක් හිමිවිය යුත්තේ ඔබටය .
දියෝනිස් ගුණවර්ධන අදුරු තුමණි , 

මාගේ ජ්‍යෝතිෂ ජීවිතය ඔබට උපහාරයක්ම වේවා !



ඔන්න ඔය විස්තරය ලියන වෙලාවේ තමයි මම කල්පනා කරේ සිංහාසන පාර කොයිතරම් අපේ ජීවිත වලට බද්ධ වෙලා තියෙනවද කියලා . රත්නපුරේ පදිංචිවෙලා හිටියත් තවමත් අපේ අය යම් යම් අවස්ථා වලදී මේ සිංහාසන පාර ගැන ඒ පාරේ දෙපැත්තේ ගෙවල් ගැන කතා වෙනවා . ඒත් මොකක්ද මේ සිංහාසන පාර කියලා කියන්නේ කියලා මටත් දැනගන්න ලැබුණේ පස්සේ කාලෙකදී . කොයි ආකාරයේ කොයි තරාතිරමක කෙනෙක් වුණත් සිංහාසන පාරේ පදිංචි වෙලා ඉන්නවා කියලා කියන්නේ යම් තරමක ආඩම්බරයෙන් . 

මොකද දෙවිනුවර සිංහාසන පාර ඒ තරමටම වැදගත් කමක් තිබුණු පාරක් කියලා පිළිගැනෙන නිසා . මේ අද ලියන්න යන්න ඒ සිංහාසන පාර සහ සිංහාසන පාරේ එහා කෙලවරේ තියෙන දෙවිනුවර පැරණිතම දේවාලය විදියට හඳුන්වන සිංහාසන දේවාලය සම්බන්ධව . දෙවිනුවර විෂ්ණු දෙවියන්ට අයත් ස්ථානය කියලා කිව්වත් අපිට කතාව පටන් ගන්න වෙන්නේ කතරගම දෙවියන්ගෙන් . 

ඉන්දීය කතා සහ ලංකාවේ කතා වලට අනුව පාර්වතියගේ පුත්‍රයා විදියට හඳුන්වන කතරගම දෙවියන් ලංකාවට ආවේ සුර අසුර යුද්ධය මැඩ පවත්වන්න . ඒ යුද්ධය නතරකරන්න පාර්වතී දේවිය තමන්ගේ වේලායුධය කතරගම දෙවියන්ට ලබා දෙනවා . අසුර යුද්ධයෙන් ජය අරගෙන එන කතරගම දෙවියන් ලංකාවට මුලින්ම පය තියන්නේ මේ දෙවිනුවරට . 

දෙවිනුවර ප්‍රදෙශයේ ඉස්සර තිබිලා තියෙනවා දූපත් හතක් . මේවායේත් ඉඳලා තියෙන්නේ අසුරයින් . ඒ අයවත් පරාජය කරපු කතරගම දෙවියන් අවසානයේ තමන්ගේ පියා , ශිව දෙවියන් කලින් වාසය කරපු කඳු හතකින් වටවෙච්ච කතරගම ප්‍රදේශය තමන්ගේ වාසස්ථානය විදියට තෝරාගෙන තමන්ගේ ඉන්දීය බිරිඳ තේවානි අම්මාත් ලංකාවේ බිරිඳ වල්ලි අම්මාත් කියන දෙදෙනා එක්ක ඒ ප්‍රදේශයේ නතර වෙනවා . 

මෙන්න මේ කතරගම දෙවියන් ලංකාවට ගොඩ බැස්ස තැන තමයි අවසානයේදී දාපුළුසෙන් රජතුමාගේ ප්‍රධානත්වයෙන් දේවාලයක් ඉදිවෙන්නේ සිංහාසන දේවාලය කියලා . මේ දේවාලය පිටිපස්සේ තියෙන්නේ මුහුද . ඒ මුහුදු වෙරළට කියන්නේ සිංහාසන වැල්ල කියලා . 

දැන් එමු අපි විෂ්ණු දෙවියන්ගේ කතාවට . විෂ්ණු දෙවියන් කිහිරි කොටයක් විදියට ලංකාවට පාවෙලා ආවා කියන කතාවේදී ඒ කිහිරි කොටය දෙවුන්දරට එනවා කියලා ඉස්සෙල්ලම හීනෙන් දැක්කේ සීනිගම දේවාලයේ කපු නිලය . ඒ කපු මහතා දෙවුන්දරට පෙරහරින් එන්න කලින් කිහිරි කොටය දෙවුන්දරට පාවෙලා ඇවිත් තියෙනවා . තමාව පිළිගන්න කෙනෙක් නැති නිසා අන්තිමට මගුල් වැල්ල කියන ස්ථානයට මේ කිහිරි කොටය පාවෙලා යනවා . ඒ කිහිරි කොටය මගුල් වැල්ලෙන් ගොඩගත්ත සීනිගම දේවාලයේ කපු මහතා මහ පෙරහරින් මේ කිහිරි කොටය කරතියාගෙන ඇවිත් අද විෂ්ණු දේවාලය තැම්පත් කරපු ස්ථානයේ තැම්පත් කරනවා . 

ඊට කලින් දාපුළුසෙන් රජතුමාටත් හීනෙන් පෙනිලා තියෙනවා මෙහෙම පාවෙලා එන කිහිරි කොටයෙන් දේව රූපය කප්පවලා දේවාලයක හදවලා එතන ඒ රූපය තැම්පත් කරවන්න ඕන කියලා . ඉතින් රාජ ගෞරවය ඇතිව තමයි මේ පෙරහැර සිද්ද කරලා තියෙන්නේ . ඉතින් ඒ කිහිරි කඳ දේවාලය හදන ස්ථානයට රැගෙන ආව පාර තමයි සිංහාසන පාර කියලා කියන්නේ . 

සිංහාසන වැල්ලේ අද පිහිටලා තියෙන සිංහාසන දේවාලය පෙරහැර කාලයට බැතිමතුන්ට විවෘත වෙනවා . මේ දේවාලයේ කපු පරම්පරාව තමයි " අන්රාහැන්නදි " කියන නම් ලබාගෙන තියෙන්නේ . ඉන්දියාවේ ආන්ද්‍ර දේශයෙන් ආව අය තමයි මේ කපු පරපුර නියෝජනය කරන්නේ . අන්ද්‍රා කියන නම තමයි පස්සේ කාලෙක අන්රා වෙලා තියෙන්නේ . 

ඔය අන්දරේ කියලා කියන්නෙත් ඒවගේ ඉන්දියන් පරපුරක ශ්‍රී ලංකන් චරිතයක් තමයි . චරිතයක් විදියට කතා කරන අන්දරේ ඉපදිලා තියෙන්නේ දෙවුන්දර කිරල වැල්ලේ . මේ අන්ද්‍රා දේශයෙන් ආව අයගෙන් අන්දරේ පැවත එනවා කියලා තමයි විශ්වාස කරන්නේ . අන්දරේ ජනකතා වල කියවෙන විදියට සුදු චරිතයක්ම නෙවෙයි කියලා තමයි මමනම් විශ්වාස කරන්නේ . අන්දරේගේ වස්කවි ගැන හිතනකොට අන්දරේ යන්තර මන්තර වගේ දේවල් පවා දැනගෙන හිටපු කෙනෙක් කියලා තමයි මම විශ්වාස කරන්නේ . 

දෙවිනුවර වන්දනා කරන්න ගිය කෙනෙක් දැකලා ඇති දේවාලයේ ප්‍රධාන දොරටුවෙන් අංශක 180 ක් හැරුනාම තියෙන කෙලින්ම මුහුදට විහිදිලා යන පාර . ඒක තමයි සිංහාසන පාර . ඒ පාර ආරම්භවෙන  දේවාලයට ආසනයේ තියෙනවා ගල්කණු පේළි කිහිපයක් . 

මම දෙවුන්දර ආවේ ගියේ දැනට අවුරුදු 25 කට කලින් ඉඳලා . ඒ කාලයේ ඉඳලා අද වෙනකොට මේ ගල්කණු පේළි අවුරුද්දට කීපයක් ගානේ කණු ගලවා වැටීම නිසා නැත්තටම නැතිවෙලා තියෙනවා . එකක් පෙරහරට අලි ගැට ගැසීම . අනික හිතා මතාම ගැලවීම . බස්නායකලා ඒවා ආරක්ෂා කරන්නෙත් නැහැ . කවුරුවත් බලන්නෙත් නැහැ . රත්නපුරේ සමන් දේවාලයේ වහල තවම තෙමෙනවා . ඒක හදන්න දෙන්නේ නැති පුරා විද්‍යාව වත් දෙවුන්දර දේවාලයේ මේ ගල් කණු පේළි ආරක්ෂා කරේ නැහැ . මොකද එයාලට ඒවායේ ඉතිහාසයක් අදාළ නැති නිසා වෙන්න ඇති . 

මේ ගල් කණු පේළි අද දේවාලය අසල නතර වෙලා තිබුනට මේවා ඒ කාලයේ සිංහාසන පාර දිගේ සිංහාසන දේවාලය දක්වාම පාර දෙපැත්තෙන් විහිදිලා ගිහින් තියෙනවා පේළි කීපයක් විදියට . පස්සේ කාලෙක තමයි මේ පාරේ ගෙවල් හදලා මේ ගල් කණු ගලවලා තියෙන්නේ . මේ සිංහාසන පාරේ දෙපැත්තේ තිබ්බ ගල් කණු මතින් විශාල වහළයක් තිබිලා තියෙනවා . මේ වහලය සහිත ආවරණයට කියලා තියෙන්නේ මහවත් මඩුව කියලා . මාවතක් ආවරණය කරගෙන ඉන්න මඩුව කියන අදහස වෙන්න ඇති මේ කියන්නේ . 

අවුරුද්දක් ගානේ මේ මඩුව යටින් දේවාභරණ සිංහාසන දේවාලයට වැඩම කරවලා ඒ සිංහාසනේ තැම්පත් කරලා උපචාර විධි පවත්වලා නැවතත් මහ දේවාලයට වැඩම කරලා තැම්පත් කරලා තියෙනවා . අද මහවත් මඩුව නැතත් දැනට අවුරුදු කීපයක් දක්වා ඒ චාරිතයට කෙරුණා . ඒත් යම් දේශපාලන අරමුණක් නිසා මේ ගමන වෙනස් වුණා . දැන් පෙරහැර පිටත් වෙන්නේ සිංහාසන පාර දිගේ නෙවෙයි . පෙරහැර සම්පූර්ණයෙන්ම කණපිට පැත්තට තමයි ගමන් කරන්නේ . ඉතිහාසයක් නැති මහීෂයන් නිසා අවුරුදු 700 ගානක සිරිත් වෙනස් වෙලා තියෙනවා . ලංකාවට කෙලවෙනවානම් කෙළවෙන්න ඒවත් බලපානවා ඇති කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා . අවුරුදු 700 ගානක් පෙරහැර පිටත් වුණේ දේවාලයට පිටුපාලා . මේ ඊයේ පෙරේදා ආව අයට කොහොමද ඒ සිරිත වෙනස් කරන්න පුළුවන් වුණේ ? . අඩුම තරමේ දේවාලයේ ඉතිහාසයවත් දන්නේ නැති පිරිසක් මේ සිරිත වෙනස් කරා . හේතුව දේවාලයට පිටුපා පෙරහැර ගමන් කිරීම . ඒත් ඒ වෙනසට හේතුව නම් මුළු ගමම දැනගෙන හිටියා . 

ඉතින් මේ මහවත් මඩුව සිංහාසන පාර ගැන එහෙම වැඩි විස්තර සංදේශ කාව්‍ය වල සඳහන් වෙලා තියෙනවා . අද කාලේ ඉන්නේ ඉතින් ලංකාව ජම්බුද්වීපය කියලා කියන අයනේ . ඒ අයට පුළුවන් ඔය සංදේශ කාව්‍යවල මහවත් මඩුව ගැනත් තියෙනවද නැත්ද කියලා විස්තර හොයලා බලන්න වෙන වෙන ඒවා හොයන අතරේ . 

පරණ ෆොටෝ දෙකක් එක්ක තවත් ෆොටෝ කීපයක් මම එකතු කරනවා . ඒවාත් බලලා මතක තියාගන්න අද ඉතිරිවෙලා තියෙනවාට වඩා යමක් අපි නැතිකරගෙන තියෙනවා කියලා . 

රත්නපුරේ ජීවත් වුණත් , සමන් දේවාලයට ආවා ගියා වුණත් , මම තවමත් දෙවුන්දර දේවාලයට ආදරෙයි . අපේ හදවත් ගැහෙන්නේ දෙවුන්දර දේවාලය ගැන තියෙන භක්තිය මුල් කරගෙන හැමදාටම . 










ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment