ලස්සන ගෙවල් අපායක් කරන ව්‍යාජ වාස්තු වේදීන්ගේ ගිණි කතිර මිත්‍යාව






වාස්තු විද්‍යාව සම්බන්ධව , වාස්තු විද්‍යාවට අතපොත් තියන ආධුනික අයට සහ සාමාන්‍ය කාටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා කරන්න කල්පනා කරේ . වැඩිය දීර්ඝව විස්තර කරන්න අවශ්‍ය දෙයක් නොවුණත් සමාජය සහ මේ විෂය සම්බන්ධව සම්බන්ධ වෙලා ඉන්න අයත් මේ කාරණාව වැරදියට තේරුම් ගැනීම නිසා හෝ කෙනෙක්ගේ යම් වැරදි අදහසක් නිසා සමාජගත වීම නිසා හෝ ඉතාම ශක්තිමත්ව නිවැරදිව හදලා තියෙන නිවාස කඩලා බිඳලා දාන අවස්ථා තියෙනවා . 

මේ ලිපිය ලියන්න ඕන කියලා වැඩියෙන්ම කල්පනා කරෙත් මම බලන්න ගියපු ගෙවල් බහුතරයක මේ තත්වය වෙලා තියෙන නිසා . මම සරළවම කාටත් තේරුම් ගන්න පුළුවන් විදියට විස්තර කරන්නම් . 

ඔන්න ගෙයක් හදනවා . ඒ ගෙයි මැද ලක්ෂය ඉතාම වැදගත් වෙනවා . සමහරු බ්‍රහ්ම පාදය කියලා මේක නම් කරනවා . එහෙම නම් කරලා කියනවා මේ ගෙයි බ්‍රහ්ම පාදය පෑගෙනවා ඒ නිසා මේක වැරදියි කියලා . ඇත්තටම මෙතනට කියන්නේ බ්‍රහ්ම පාදය කියලා නෙවෙයි . බ්‍රහ්ම පාද දේව පාද මනුෂ්‍ය හා ප්‍රේත පාද විදියට පාද බෙදලා දෝෂයක් එන්නේ නැතිවෙන්න ගෙයක් හදන්න නම් ඒ ඉඩම අක්කර ගානක් විශාල එකක් වෙන්න ඕන . 

ඔන්න වලව් වගේ තැන් වල නම් මේ වැඩේ හරියට කරන්න පුළුවන් . ඒත් ලිඳ , කුණු වල , ටොයිලට් පිට් එක කියන සෑම අංගයක්ම නැති නිවාස තමයි අද කාලේ තියෙන්නේ . තියෙන්නේ මේවායින් ටොයිලට් පිට් විතරයි . ඒ නිසා මේ නිවාස පාද බෙදීමට බ්‍රහ්ම දේව කියන පාද ක්‍රමය ගාවගන්න බැහැ . සහ ගාවගන්න අවශ්‍යත් නැහැ . ඒ නිසා බ්‍රහ්ම පාදය කියන වචනය අයින් කරලා අපි පාවිච්චි කරන්න ඕන මධ්‍ය ලක්ෂය කියන වචනය . 

මේ මධ්‍ය ලක්ෂය නිවසක ඉතාම වැදගත් තැනක් වෙනවා . මොකද ගෙදර සම්පූර්ණ ස්කන්ධය අනුව ගෙයි බර ක්‍රියාත්මක වෙන්න වැඩි ඉඩක් තියෙන්නේ මේ මධ්‍ය ලක්ෂය තුල නිසා . මේ නිසා මධ්‍ය ලක්ෂය මත විශාල ශක්තියක් ක්‍රියාත්මක වෙනවා . නිවසේ මුළු වලින් පහළට ක්‍රියා කරන බර නිසා මේ මධ්‍ය ලක්ෂය තුල ශක්තිය අඩු වැඩි වශයෙන් පිහිටනවා . 

මෙන්න මේ නිසා මධ්‍ය ලක්ෂය නිවසක පැහැදිලි වෙන්න ඕන . ඒ නිසා නිවසේ මධ්‍ය ලක්ෂයේ , බිත්ති , උළුවහු , බර අධික කණු , පඩිපෙළ , වතුර ටැංකි , නිදන ඇඳන් , ලිප , විදුලි උපකරණ කියන දේවල් සහ බර අධික ගෘහ භාණ්ඩ ස්ථානගත කරන්නේ නැහැ . 

දැන් නිවසක මධ්‍ය ලක්ෂය හොයා ගන්න ඕන ඉස්සෙල්ලම . ඒ නිසා අපි වාස්තු විද්‍යාත්මක න්‍යායන් අනුව කරන්නේ නිවසේ විකර්ණ යාවෙන විදියට රේඛා දෙකක් ඇඳලා ඒ රේඛා කැපෙන තැන සලකුණු කරගැනීම . මෙන්න මේ රේඛා දෙකට කියනවා කතිර රේඛා කියලා . ශක්තියට අදාළ රේඛා නිසා ආයෙත් හැඳින්වෙනවා ගිණිකතිර රේඛා කියලාත් . 

මේ කතිරය කතුරක ස්වභාවයක් පෙන්නුම් කරන නිසා කටවහරේ හැදිලා තියෙන්නේ මේකට ගිණි කතිරය කියලා . මේ ගිණි කතිරයේ මධ්‍ය ලක්ෂය තමයි ඇත්තටම වාස්තු විද්‍යාවේ මධ්‍ය ලක්ෂය වෙන්නේ . මේ මධ්‍ය ලක්ෂයේ අර මම කියලා තියෙන දේවල් ස්ථානගත කරන්න හොඳ නැහැ . ඒකෙන් නිවසේ සියල්ලන් ම රෝගී වෙන්න ඉඩ තියෙනවා . මම අත් දැකීමෙන් දැකලා තියෙනවා මම පරීක්ෂා කරපු නිවාසවල ඇත්තටම ඒ තත්වය තියෙනවා . 

ඉතින් ඒ නිසා ඔන්න දැන් ඒ නිවස ගිණි කතිරයට අහුවෙලා කියමුකෝ . ඒ වුණාට මේ රේඛාවල උළුවහු බිත්ති වගේ ඕනෑම දෙයක් ස්ථානගත කරන්න පුළුවන් . ඒක කිසිම වරදක් නැහැ . ඒ වුණාට අද වෙනකොට වාස්තු විද්‍යාව කරන බහුතරයක් අය ගෙවල් කඩලා උඩු යටිකුරු කරනවා මේ රේඛාවල උළුවහු තියෙනවා කියලා . කෙලින්ම කියන්නේ මේ උළුවස්ස ගිණි කතිරයට අහුවෙලා තියෙනවා කියලා . ඒක වැරදියි . මම වැරදි සහ නිවැරදි කියන තත්ත්ව බොහොම පැහැදිළිව රූපයක සටහන් කරලා තියෙනවා වැඩිදුර තේරුම් ගන්න පහසු වෙන්න . 

                            

මේ ගිණි කතිරය ඇත්තටම අවශ්‍ය වෙන්නේ මධ්‍ය ලක්ෂය හොයාගන්න විතරයි . ඒ නිසා ඒ අඳින ඉරිවල කිසිම තේරුමක් ඊට පස්සේ නැහැ .ඒ නිසා ඔයාලාගේ නිවාස ශක්තිමත්ව හදලා ඊට පස්සේ ඒවා කඩලා විනාශ කරගන්න එපා . මධ්‍ය ලක්ෂය පිරිසිදුව පාගෙන්නේ නැතිවෙන්න මේසයක් වගේ දෙයක් තියෙන්න හෝ කාමරයක මුල්ලකට වගේ එන්න හෝ නිර්මාණය කරගන්න නිවසේ සැලසුම අඳිනකොටම . 

බැරි වෙලාවත් මධ්‍ය ලක්ෂය නිවසේ විවෘත ස්ථානයක පෑගෙන්න හෝ බිත්ති වලට හෝ උළුවහු වලට අහුවෙලා තියෙනවා නම් ඒ දෝෂය නැති කරන්න ක්‍රම තියෙනවා . ඒවා වාස්තු විද්‍යාව ගැන පැහැදිලි දැනුමක් තියෙන කෙනෙක් ලවා ඕන පරීක්ෂා කරවාගන්න . ඒකෙන් නිවස කඩන්නේ නැතුව වෙනස් කරලා නිවැරදි කරගන්න පුළුවන් . 

මෙන්න මේ දේත් මතක තියාගන්න . වාස්තු විද්‍යාව නිර්මාණය කරේ ඍෂිවරු 18 දෙනෙක් විවිධ කාල වලදී තම තමන්ගේ දැනුම එකතු කරලා . ඒ අනුව කාලයත් එක්ක වෙනස් වෙන්න දායක වුණේ මේ විෂයට කිසිම සම්බන්ධයක් නැති අය ඒවා කරන්න පටන් ගත්ත නිසා . මේකට ලොකුම හේතුව වෙන්නේ තමන් දන්නවා කියලා පෙන්නන්න යෑම . අනික තමයි තේරුම් ගැනීමේ වැරදි . දැන් මේ කතිරය වුණත් ගිණි කතිරයට අහුවෙලා තියෙනවා කියනවා . ඒ වුණාට කවුරුවත් දන්නේ නැහැ කතිරයේ කොතනටද අහුවෙන්න හොඳ නැත්තේ කියලා .

මේසන් බාසුන්නහේලා විශේෂයෙන්ම මේ වැඩේ කරනවා . තමන් යම් යම් කරුණු කාරණා ටිකක් හිතාගෙන ඒවා විතරක් නිවැරදිද බලලා ඒ ටික නැත්නම් ඔක්කොම විනාසයි කියලා කියනවා . මේ නිසා නිවාස හදවන අයත් බය වෙනවා . මොකද බාසුන්නහේලා මේ දේවල් දන්නවා ඇති කියලා හිතලා . 

දවසක් ඔය විදියට එක මේසන් බාසුන්නහේ කෙනෙක් මම හදලා දුන්නු නැකතට වහලේ මුදුල් ලීය තියන එක ප්‍රතික්ෂේප කරා . එයාට ඕන කිව්වේ බ්‍රහස්පතින්දා දවසක් . මම දුන්නේ බදාදා දවසක නැකතක් . මේ නිසා බාසුන්නහේ වෙනස් කරලා අපි වහලේ ලී තිබ්බා . ගෙදර වැඩ ටිකත් කිසිම ප්‍රශ්නයක් නැතුව අවසන් කරගත්තා . 

මේ වගේ අය නිසා විෂයට දුර්මත එකතුවෙලා විෂය බාල්දු වෙලා තියෙනවා මිනිස්සු අතරේ . ඒ ගැන තියෙන්නේ කලකිරීමක් . කොහොම වුණත් අපේ ලිපි එක්ක රැඳෙන්න . විෂයේ තියෙන දුර්මත මේ ඔස්සේ හරි නිවැරදි කරන්න උත්සාහ කරනවා .  

තවත් ලිපියකින් හමුවෙමු . 

දියුණුවෙන් දියුණුවට පත්වේවා !
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !





වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment