කෑම පෙට්ටිය

 


අද මුහුණුපොතේ ගියපු පෝස්ට් එකක් දැකලා මතකය තරමක් ඈතට ඇදිලා ගියා . ඉස්කෝලේ කෑම අරගෙන ගියපු විදිය ගැන . ඇත්තටම ඒ මතකය අලුත් වීම ඇත්තටම හිතට අමුතු සතුටක් අරගෙන ආවා . ඒවගේම තමයි ඒ කාලේ කරපු දේවල් තව තවත් මතක් වුණා . ඒ නිසා මේ වගේ පෝස්ට් ඇත්තටම දැමීමත් එක අතකට මිනිස්සුන්ගේ මනසට යම් සැහැල්ලුවක් අරගෙන දෙනවා . 


මොන්ටිසෝරි යන කාලේ ඉඳලාම මට කෑම ගෙනියන්න කෑම පෙට්ටි තිබුණා . මොන්ටිසෝරි අරගෙන ගියපු කෑම පෙට්ටි තවම තියෙනවා . ඒත් ඊට පස්සේ පාවිච්චි කරපු කෑම පෙට්ටි නම් ඒ වගේ කල් ඉතුරු වුණේ නැහැ . මොකද පාවිච්චි කරන්න බැරි වුණාම වෙන වෙන වැඩ වලට සෙල්ලම් කරන්න එහෙම ගත්ත නිසා . 


මොන්ටිසෝරි යන කාලේ තිබුණේ තට්ටු දෙකක කෑම පෙට්ටියක් . කොළපාට පියනක් සහ මැද කොටස කහපාට කොටසක් . යට තිබුණු කොටස ආයෙත් කොළ පාට එකක් . මට මතකයි මම මොන්ටිසෝරි යවන්න තාත්තා මට බෑග් එකයි කෑම පෙට්ටියයි දෙකම කහ කොළ පාට මිශ්‍ර විදියට ගළපලා . 


මේ කෑම පෙට්ටියේ ගොඩක් වෙලාවට තට්ටු දෙකක් තිබුණට පාවිච්චි කරේ එක තට්ටුවයි . ඒකට ටී බනිස් , ඉඳියාප්ප , නූඩ්ල්ස් එහෙම තමයි අරගෙන යන්න දාලා දුන්නේ . මම වැඩියෙන්ම කැමති ඒ කාලේ ටී බනිස් කන්න . ඒ නිසා වැඩියෙන්ම ලැබුණේ ඒවා . ඒ වුණාට අම්මා වෙනසකට කියලා ටී බනිස් දෙන එක කාලෙන් කාලෙට වෙනස් කරා . මොන්ටිසෝරිය ඇත්තටම හරිම පිළිවෙලට කෙරුණු මොන්ටිසෝරියක් . ඒ නිසා ඒකට ගුරු දෙගුරු සම්බන්ධතා පොතක් එහෙමත් තිබුණා . මේ ගුරු දෙගුරු සම්බන්ධතා පොතයි , කෑම පෙට්ටියයි පරීක්ෂා කරන එක අම්මලාගේ වගකීමක් විදියට නම් කරලා තිබුණේ . ඒ නිසා කෑම ඉතුරු වෙලා වණ වුණේ නැහැ කිසි දවසක . 


1 2 3 වසරවල් වලදීත් ඔය තත්වය ඔහොමම වගේ තිබුණා . 3 වසරේ වගේ ඉඳලා මට මතකයි මම බත් විතරක් ගෙනියන්න පුරුදු වුණා . කඩවල්වල කෑම සහ වෙන වෙන දේවල් එපා වෙච්ච තත්වයක් තිබුණේ . පොල්සම්බෝල එක්ක හරි බත් අරගෙන යන්න තමයි ඕන වුණේ . ඔය තත්වය උසස්පෙළ කරලා අවසන් වෙනකල් ම වගේ තිබුණා . 


4 5 6 7 8 9 වසරවල් වලදී කෑම පෙට්ටිවල තමයි කෑම අරගෙන ගියේ . ඔය කාලයේ ඔය පෝස්ට් එකේ කියලා තියෙනවා වගේ කෑම පෙට්ටි අමතක වීම් , වතුර බෝතල් අමතක වීම් නම් අනන්තවත් වෙලා තියෙනවා . ඊට වඩා හොඳ කතාව කියන්නේ ඔය කාලවල් වලදී මටම කෑම පෙට්ටිය සහ වතුර බෝතලේ හෝදලා තියන්න කියලා අම්මා නියම කරපු එක . 


හවසට ඉස්කෝලේ ඇරිලා ආවට පස්සේ මම කෑම පෙට්ටිය හෝදලා තියනවා . ඊට පස්සේ පහුවෙනිදා උදේට අම්මා ආයෙත් කෑම පෙට්ටිය හෝදලා කෑම දාලා දෙනවා . ආයෙත් හවස මම හෝදලා තියනවා . ඔය චක්‍රය තමයි සාමාන්‍යයෙන් වුණේ . ඒ වුණාට සමහර දවස්වලදී සිකුරාදා ගෙදර ආවම කෑම පෙට්ටිය අම්මටත් මතක් වෙන්නේ සඳුදා උදේට . ඒ වගේ දවස් වලට උදේම අම්මා හොඳට අමතලා කෑම පෙට්ටිය මැදලා මැදලා හෝදලා කෑම දාලා දෙනවා . 


ඊට පස්සේ මේ වැඩේ වෙන සීඝ්‍රතාවය වැඩි වුණු නිසා කෑම පෙට්ටි දෙකක් පාවිච්චි කරා . ඊට පස්සේ ඉස්කෝලේ නිවාඩු දෙන්න ගත්තට පස්සේ නිවාඩු අවසන් වෙන දවසට කෑම පෙට්ටිය එළියට ගන්නා අවස්ථා තිබුණා . ඒ දවස් වලදී කෑම පෙට්ටිය පාවිච්චියට ගන්නේ නැතුව විසි කරපු අවස්ථාත් තියෙනවා . 


ටික ටික පංතියෙන් ඉහළට එනකොට කෑම පෙට්ටිවල කෑම ගැනීම ලැජ්ජාවට කාරණාවක් වුණා . ඒක ඒ වයසේ ළමයි හදාගත්ත කතාවක් . ඒ නිසා ලන්ච්ශීට් එකේ කෑම ඔතලා අරගෙන යන්න පටන් ගත්තා . මේ නිසා පත්තර පාවිච්චියත් අධිකව සිදුවුණා . මේ අතරේ කෙහෙල් කොලේ බත් ගෙනිච්චා . ඒ වුණාට උදේ පාන්දර අම්මාට කරදර කරන්න බැරි නිසා ලන්ච්ශීට්වල බත් අරගෙන ගියා . හැබැයි මම ඒ කාලෙත් කැමැත්ත තිබුණේ කෑම පෙට්ටියක කෑම අරගෙන යන්න . ඒ වුණාට එහෙම කෑම පෙට්ටියක කෑම ගැනීම ලැජ්ජාවට කාරණාවක් නිසා අකමැත්තෙන් වුණත් කොළ වල බත් අරගෙන ගියා . 


ඒවගේ කෑම පෙට්ටිවල බත් අරගෙන ආව අයට හිනා වුණු අය අද මුහුණු පොතේ ශෙයා කරනවා පරිසරය ආරක්ෂා කරන්න අපි කෑම පෙට්ටියක හෝ පිඟානක හෝ කෑම අරගෙන යමු කියලා . ඒවා දැක්කම ඇත්තටම මොන ජීවිතද මේ කියලා හිතෙනවා . 


කොහොම වුණත් කෑම පෙට්ටිය ඒ කාලේ දවසේ එක වතාවක් හරි මතක්වෙන අංගයක් වෙලා තිබුණේ . 


මේ දේවල් ටයිප් කරනකොට මතක් වෙන මතකය ඇත්තටම හරිම සුන්දරයි . 





වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment