පෙරහැර ඉවරයි....!




මගේ කතාව කියන්න අරන් දැන් ඔන්න ගොඩක් කාලයක් වෙනවනේ. පොඩ්ඩක් සමාවෙන්න ඕන . පොඩි අකරතැබ්බයකට මුණ දෙන්න උනා . මට උන දෙයක් නෙවේ. මම සමන් දේවාලේ ගැන විස්තර අහගන්න දේවාලේ තේවාවට සහභාගී වෙන සීයා කෙනෙක් හදිස්සියේම අසනීප උනා. ඒ සීයා දේවාලෙට මාස දෙකක් තුනක්ම ආවේ නෑ. මමත් සතියකට සැරයක් විතර දේවාලෙට ගියා සීය අද ඇවිත් ඇති කියලා හිත හිත . එත් සීයා හම්බෙන්න පුළුවන් උනේ අවුරුද්දත් ඉවර  වෙලා දේවාලෙට ගියපු දවසක. දැන් ඒ සීයා අසනීප නිසා තේවාවට එන්නේ නෑ කියලා තමයි මට කිව්වේ. පොස්ට් දාන එක පරක්කු උනත් මම කලක් ගත්තේ ඒ සීයා ගෙන්ම මේ කතාව අහලා ඉවරයක් කරගෙනම දාන්න. යන්තම් වැඩේ ගොඩ දාගත්තා .නොදන්නා දේවල් ටික හොයාගන්න තමයි ඔන්න වෙලාව ගත්තේ හොඳේ....

අන්තිම ලිපියෙන් ඔන්න දේවාලෙට පෙරහැර ඇතුල් උනානේ . අමතකනම් මෙන්න මේ ලිපියෙන් කියවන්න පෙරහැර ගෙට ගෙවදීම ගැන .
ඒ ලිපියේ අන්තිමටම මම කියලා තියෙනවා දේවාලේ එක හේවිසි කණ්ඩායමක් පෙරහැර ඉවර වෙලා දේවාලේ ළඟ තියෙන පන්සලට ගමන් කරනවා කියලා.

මේ කණ්ඩායමේ දවුලක් තම්මැට්ටමක් හොරණෑවක්  වාදනය කරන්නන් ගමන් කරනවා. ඒ වගේම අත් පන්දම් දෙකක් ඉදිරියෙන් සහ පසු පසින් ගමන් කරනවා.
ඒවගේම දෙදෙනෙකු විසින් ඉහලාගෙන එන්න පුළුවන් මිටවල් දෙකක් හයි කරලා තියෙන උඩු වියනකුත් අරගෙන යනවා. මේ පිරිස යන්නෙත් හේවිසි වාදනය කරගෙනමයි.

මෙයාල දෙවාලෙන් පිටත්වෙන අතරේම, ගෙට ගෙවදුනු දේවාභරණ වලට දේව පූජාව පැවැත්වීම කෙරෙනවා.

මේ පූජාවට හරිනම් සහභාගී වෙන්නේ දේවාලේ තේවාව කරන පවුල් වල අය විතරයි . මමයි මගේ යාලුවයි සුදු ඇඳුමකුත් ඇඳගෙන හිටපු නිසා සේප් එකේ දේවාලේ අය වගේ දේවාලේ පුජාව තියනවා බලන්න ගියා . පිට අයත් කීප දෙනෙක් ඇවිත් හිටියට ගොඩක් ලොකු සෙනගක් හිටියේ නෑ.

මුලින්ම කරන්නේ ආලත්ති බෑම කියන කාර්යය. ආලත්ති අම්මලා කියලා ඉන්න ආච්චිලා හතරදෙනෙක් බුලත් කොලයක් උඩ පොල් තෙල් පහනක් පත්තු කරලා අතින් අරගෙන හතර දෙනාම ඒ පහන් හඳුන් කුඩමට ඇතුල්වෙන තැන පොලවට අඟල් 6ක් විතර ඉහලින් එහාට මෙහාට කීප වතාවක් ගෙනියනවා.

මම හිතන්නේ නම් දේවාභරණ දෙවාලෙන් එලියට වඩමපු නිසා විශබීජ නැත්නම් කිලි නැති කිරීමක් මේකෙන් කරනවා කියලා.

ඊට පස්සේ මේ ආච්චි අම්මලා දේවාලේ පූජාව ගෙනියන ප්‍රදේශය අතුගාලා පිරිසිදු කරනවා .
බත්තන රාල කියන නිලධාරියා හඳුන් කුඩමේ තියෙන  කලින් තියපු පැන්න් කෙන්ඩිය අරන් එලියට එනවා . හඳුන් කුඩමේ ඉඳලා මුරුතැන් ගෙට යනකන් මේ පැන්න් කෙන්ඩිය ගෙනියන කෙනාට උඩු වියනක සිරිත් වලට අනුව ඉහලනවා . ඒවගේම රෙදි සෝදන කුලයට අයත් තේවා කරුවෙක් පාවාඩයක් එලනවා .
පස්සේ අලුත් පැන් පුරවපු පැන්කෙණ්ඩියක් නැවතත් පූජා කරනවා . ඊට පස්සේ ගිලන් පස පූජාවක් කෙරෙනවා .

මේ පූජාවල් මුරුතැන් ගෙයි ඉඳලා වැඩමවන වෙලාවටත් ඒ ඉදිරියෙන් අත් පන්දමක් ගෙනියනවා . මේකත් ගෙනියන්නේ මම හිතන විදියට කිලි වැදීමක් උනොත් එකෙන් ඇතිවෙන දෝශය නැති කරගන්න වෙන්න ඕන.

මේ පූජාව කෙරෙන අතර තුරේදී නොකඩවාම හේවිසි වාදනය වීමක් සිද්ද වෙනවා. ඒවගේම හක්ගෙඩිය පිඹිමකුත් සිද්ද වෙනවා . හේවිසි වාදනය කරන්නේ දේවාලේ ඇතුල්වෙන මකර තොරණ ළඟ ඉඳගෙනමයි. ඒ ඉස්සරහින් කවුරුවත් ඇවිදින්නේ නෑ. මොකද තේවාව දේවාලේ පාරම්පරික පිරිස්වලට විතරක් සීමා වෙලා තියෙන නිසා.

මේ පූජාව ඉවර වෙනකොට අර කලින් මම කිව්ව හේවිසි කණ්ඩායම පන්සලෙන් හාමුදුරුවෝ වැඩමවාගෙන දේවාලෙට ලඟා වෙනවා .

මේ සමන් දේවාලේ පිරිත් නිලයේ ස්වාමීන් වහන්සේලා .
මේ පිරිත් නිලය පත් කිරීම ගැන විස්තර මම පස්සේ කියන්නම්කෝ.

මේ ස්වාමීන් වහන්සේලා දේවාලේ හඳුන් කුඩමට ඇතුල් වෙන්න තියෙන දොරටුවෙන් ඇතුල්වෙලා පහලම මාලයේ ඉඳගෙන දෙවියන් සතුටු කිරීමට සහ දෙවියන් කෙරෙහි පින් පෙත් අනුමෝදන් කරන්න පිරිත් දේශනා කරනවා .

පිරිත් දේශනාව අවසාන උනාම තමයි පෙරහැර ගෙට ගෙවදීම අවසාන වෙන්නේ .
පෙරහැර සම්භන්දයෙන් කෙරෙන තේවාවන් ගොඩක් තියෙනවා .ඒවා කරන්න රජ කාලේ ඉන්දන්ම පැවතගෙන එන පරම්පරාවල් තාමත් දේවාලේ අවට ජීවත් වෙනවා

සක් තේවාව
දුම් තේවාව
ආලත්ති තේවාව
දවුල් තේවාව 
කොම්බු තේවාව
කවි තේවාව
පේලිය තේවාව 
පියවිල්ල තේවාව 
හඳුන් කිරි පැන් තේවාව
දෝලිය තේවාව
සමන් දෙවි තේවාව
බිසෝ දෙවි තේවාව
කුමාර දෙවි තේවාව
තම්මැට්ට තේවාව
හොරණෑ තේවාව
කුඩ තේවාව
පන්දම් තේවාව
කොඩි තේවාව
පලිහ තේවාව
චාමර තේවාව
මුර ආයුධ තේවාව
අවු අතු තේවාව
මානික්‍යලා තේවාව
මුලාදෑනි තේවාව




මේ තමයි ඒ තෙවාවල් ටික . මේවාට අමතරව තව තේවාවන් කීපයක් තිබිලා තියෙනවා . එත් ඒ පරම්පරා නැති වී ගිහින් තියෙන නිසා ඒවා දැන් දේවාලේ කෙරෙන්නේ නෑ.

දේවාලේ සරසන්නත් අතීතයේදී වෙනමම පරම්පරා පත් කරලා තිබුනලු . එත් ඒ සමහර අය දැන් වෙන පළාත් වල පදිංචිවෙලා නිසා සහ පරම්පරා නෂ්ටවෙලා ගිහින් තියෙන නිසා ඒවාට අවශ්‍ය ශ්‍රමය දෙවාලෙන් ලබා ගන්නේ මුදල් ගෙවීමෙන් කම්කරුවන් යොදවාගෙන .

දේවාලේ තෙවාවල් වල තියෙන පාරම්පරික රහස්‍ය බව තාමත් ඉතාම හොඳින් ආරක්ෂාවෙලා තියෙනවා. මොකද සමහර විස්තර අහනකොට හොයනකොට ,ඒවාට පිළිතුරු දීපු අය මට ප්‍රතිචාර දුන්නේ සීමාවක් ඇතුව .

ඊළඟට දිය කැපීමේ පෙරහැර ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු ..........
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා.........!
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment