වයලීනෝ සබැඳි කතා ( 1 )







බ්ලොග් ලියන්න ඇවිත් මට හම්බවුණු යාළුවො යෙහෙළියෝ ගොඩක් ඉන්නවා . සමහර අය ඉතාම ළඟ යාළුවො . මේත් එයින් එක්කෙනෙක්ගේ වැඩක් . දනුල වික්‍රමආරච්චි . බ්ලොග් එකේ ලිපි කියවලා මුහුනුපොතෙන් මාව හොයාගෙන ඇවිත් ලිපි ලියන්න ගවේෂණය කරන්න මාව දිරිමත් කරපු තවත් එක යාලුවෙක් . පස්සේ තමයි දන්නේ දනුල ඉන්නේ මටත් දැකබලාගන්න පුළුවන් කිට්ටුවක කියල . මමත් ඉතින් දවසක් වෙලාවක් දාගෙන ඒ පැත්තේ ගිහිල්ලා කතාබහ කරලා එයාලව අඳුරගත්තා .

දනුලගේ අම්මා තාත්තා වගේම පවුලේ අයත් දැන් මගේ හොඳ යාළුවො . දනුලගේ ගෙදර පොත් රාක්කයේ තියෙන පොත් එක එක දැන් විජේරාමේ ඉඳලා රත්නපුරේ ඇවිත් ආයෙත් විජේරාමෙට යනවා . දනුලගේ අධ්‍යාපන වැඩ වලටත් අපෙන් උදවු උපකාර ලබාගන්නවා .

දනුල දවසක් මට කිව්වා සම්මුඛ සාකච්චාවක් කරලා ආටිකල් එකක් කරන්න ඕන කියලා . මුලින් මම මේක විහිලුවට ගත්තා . පස්සේ වැඩේට සීරියස් බැහැලා ඔන්න ලිපියට උත්තර බැඳලා ඒ සාකච්චාව ෆේස්බුක් හරහා සිද්ද කළා . දැන් මේ පබ්ලිෂ් කරන්නේ දනාගේ පළාමල්ල වෙබ් අඩවියේ පලවෙච්ච ඒ සම්මුඛ සාකච්චාව .







අපි ජීවත්වෙන සහ අපිට පෙනෙන ලෝකය තුළ, අපිට නොපෙනෙන ලෝකයක් තියෙනවා කියලා බුද්ධ දේශනාවේ සදහන් වෙනවා. අමනුෂ්‍ය ලෝක, අමනුෂ්‍යයෝ, පුනර්භවය සහ පුනරුත්පත්තිය, අක්ෂර සිද්ධි ගැන එදා විශ්වාස කළේ නැතත්, අද ඒවා විශ්වාස කරන්න තරම් බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. අවුරුදු දෙදහස් පන්සීයකට කලින් බුදු හාමුදුරුවන් තමන්ගේ ලෝකවිදූ ඤාණයෙන් දේශනා කරන ලද බොහෝ දේවල්, අද තමයි නූතන විද්‍යාවට අහු වෙන්න ගන්නේ.

ලෝකය කොච්චර විද්‍යාවෙන් සහ තාක්ෂණයෙන් දියුණු වුණත්, ඒ සෑම සියලු දෙයක්ම සොයා ගන්න නම් හම්බවෙන එකක් නෑ. මොකද විද්‍යාව කියන්නේ බුදු දහමේ කොටසක් වුණාට, බුදු දහම කියන්නේ විද්‍යාවේ කොටසක් නෙවේ. අනිත් හේතුව තමයි බුද්ධ ඤාණය අචින්ත්‍යයි. අප්‍රමාණයි.

ඉතින් අද හිතුනා අමනුෂ්‍ය ලෝක, අමනුෂ්‍යයෝ, යන්තර සහ මන්තර, ජෝතිශ්‍ය විද්‍යාව, වෛද්‍ය ශාස්ත්‍රය ගැන කතා කරන්න. මොකද අපේ රටේ නම් ඉස්සර ඉදලම මේ ඔක්කොම සහ සම්බන්ධ වෙලා තියෙන්නේ එක පුරුකක් වගේ. ඉතින් මේ වගේ ඒවා ගැන සාකච්ඡා කරන්න වයලීනෝට වඩා සුදුස්සෙක් ඉන්නවද මේ බ්ලොග් අවකාශයේ?

වයලීනෝ ප්‍රභාත් ධර්මවර්ධන, එහෙමත් නැත්නම් වයලීනෝ කියන්නේ කවුද කියලා බ්ලොග් අවකාශයේ ලිපි ලියන අය වගේම, ලිපි කියවන අයත් අනිවාර්යෙන්ම දන්නවා. ඒ අයට නම් මෙයා ගැන අටුවා, ටීකා අවශ්‍ය නෑ. මියැසියේ රස කතා හරහා යක්ෂ දේව කතා ලියන්නේ වයලීනෝ තමයි. ගොඩක් දෙනෙක් දන්නේ නැති වුණාට, හස්තිනාපුරයේ ඉදන් සමන් දෙවියන් ගැන ලිපි ලියන්නෙත් මෙයාම තමයි. ඒ නිසා ඒ මාතෘකා යටතේ තියෙන ලිපි ඉතාමත්ම ජනප්‍රිය වුණා.

මේවා අවිශ්වාස කරන අයත් ගොඩක් ඉන්නවා. මේ ලිපිය ලියන්න හිතුවේ "මෙහෙම දේවල් ඇත්තටම තියෙනවා, මේවා අනිවාර්යෙන්ම විශ්වාස කරන්න ඕන" කියලා සමාජයට ඒත්තු ගන්වන්න නෙවේ. සමාජයට යම්කිසි දැනුමක් ලබා දීමේ සුපිරිසිදු චේතනාවෙන්. මේ ලිපිය කියවලා නොදන්න යමක් දැන ගන්න ලැබුණා නම් අපිට ඒ ඇති. හොදයි එහෙනං. දැන් ඉතින් මේ කටයුත්තට නමෝ විත්තියෙන් මුල පුරමු.







01. උප්පැන්න සහතිකයෙන් ලැබුණු නම? 

**   හිටිනාමළුව හේවගේ දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන

02. අද ඔබව හදුනන්නෙ? 

**  වයලීනෝ කියලා තමයි වැඩි දෙනෙක් දන්නේ. ඉස්කෝලේ කාලේ වෙන වෙන නම් ගොඩක් තිබුණා. ඒවා ඉතින් ඒ කාලේ විතරයි.

03. උපන්න ගම් පළාත? 

**   රත්නපුර

04. ඉගෙන ගත්ත පාසල?

**   ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ගැටන්ගම රත්නමහා විද්‍යාලයෙන්. මේ විද්‍යාලය කලින් මධ්‍යමහා විද්‍යාලයක්. කන්නංගර මහත්මයාගේ මධ්‍යමහා විද්‍යාල සංකල්පය යටතට වැටෙන විද්‍යාලයක් මේක.
පස්සේ කාලෙක බිල්ඩින්වල ඉඩ මදි නිසා අලුත් තැනකට මධ්‍යමහා විද්‍යාලය අරගෙන ගියා . මේක මහා විද්‍යාලයක් උනා . මම ශිෂ්‍යත්වෙන් රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයට ඇතුළු උනා . උසස්පෙළ දක්වා ඉගෙන ගත්තේ සීවලී මධ්‍යමහා විද්‍යාලයේ.

05. උසස් පෙළට පිවිසෙන්නෙ?

** 2008 ජුනි 26 වෙනිදා. ඒත් රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයට.
ජීවවිද්‍යා අංශයෙන් තමයි උසස්පෙළ හැදෑරුවේ.

06. දැන් මොනවද කරන්නෙ? 

** ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා අධ්‍යන අංශයේ ජීවවිද්‍යා අංශයේ උපාධිදාරියෙක්. මම සත්ත්ව විද්‍යාව, රසායන විද්‍යාව සහ කළමනාකරණ විද්‍යාව කියන විෂයන් තුන අධ්‍යනය කරා . ජීව විද්‍යාව කරේ ඇත්තටම වෛද්‍යවරයෙක් වෙන්න තියෙන ආසාව නිසා . වෛද්‍ය විද්‍යාල ප්‍රවේශයට මගේ ප්‍රතිඵල ඇතිවුණේ නැහැ . ඒ නිසා ජීව විද්‍යාව අංශයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා . මම උද්භිද විද්‍යාවට ඒ තරම් දක්ෂ නැහැ ; ආසත් නැහැ . ඒ නිසා සත්ත්ව විද්‍යාව තෝරගත්තා . රසායන විද්‍යාව නැති ජීව විද්‍යාවක් නැහැ .

භෞතික විද්‍යාත්මක සංකල්ප එක්ක ක්‍රියාත්මකවෙන රසායන විද්‍යාව තමයි ජීව විද්‍යාවේ පදනම වෙන්නේ . ඒ නිසා රසායන විද්‍යාව තෝරාගත්තා . කොහොමත් අපේ කැම්පස් එකේ බයෝ කරන ළමයි රසායන විද්‍යාව කරන්න අනිවාර්යයි . ඊට අමතරව අහසයි පොළවයි වගේ ගැළපෙන්නේ නැති කළමනාකරණ විද්‍යාව විෂයත් මම තෝරාගත්තා ඉගෙනගන්න . කළමනාකරණ විද්‍යාව විෂය තෝරාගත්තේ පොඩියට හරි ව්‍යාපාර ක්ෂේත්‍රයට එන්න ආසාවක් තිබුණු නිසා මට .

උත්තරේ දීර්ඝ වුණත් පැහැදිලි කරේ මම දැනට මොනවද කරන්නේ කියලා කියන්න ඒ දේවල් අවශ්‍ය වෙන නිසා . මම දැන් කියන්නම් දැන් මම මොනවද කරන්නේ කියලා .

මම දැනට සුළු පරිමාණයේ හවුල් ව්‍යාපාර කීපයකට සම්බන්ධ වෙලා තියෙනවා . මගේම ව්‍යාපාරයකුත් කරගෙන යනවා . කළමනාකරණ විද්‍යාවෙන් මට ලැබුණු දැනුම මම එහෙමම පාවිච්චි කරන්නේ ව්‍යාපාර සංවර්ධනය ට . ඒ විශයෙන් ලැබෙන විනය සහ ශික්ෂණය ව්‍යාපාර කළමනාකරණය කරන්න මට උදවු වෙනවා .

රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව කොටස් වලින් මගේ ඊළඟ අරමුණ තමයි බාහිර ඖෂධවේදි වරයෙක් වීම . ඒ වෙනුවෙන් ඉගෙන ගන්න ලියාපදිංචිය ලැබිලා තියෙනවා මේ වෙනකොට . ඒ නිසා විභාගයට මුහුණ දෙන්න ඖෂධ විද්‍යාව ඉගෙන ගන්නවා .

මාව හඳුන්වනකොට මම හැමතැනකම වගේ ලියලා තියෙන්නේ විද්‍යාවේදියෙක් ඒ වගේම ජ්‍යෝතිෂ වේදියෙක් කියලා . පරපුරෙන් ලැබුණ උරුමය මම ඉදිරියට අරගෙන යන්න ඕන . ඒ නිසා මම පාරම්පරික ජ්‍යෝතිෂ දැනුමෙන් මම ලබාගත් ප්‍රමාණයෙන් ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය පවත්වාගෙන යනවා .

ඊට අමතරව පොත් කියවනවා . බ්ලොග් ලියනවා . බ්ලොග් කියවනවා වගේ දේවල් තමයි මේ දවස්වල කෙරීගෙන යන්නේ . විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධව තියෙන පරණ ගුරු පොත් කියවනවා . චරක සංහිතාව සුශ්‍රුත සංහිතාව අෂ්ටාංග හෘදය සහිතාව රසරත්න සමුච්චය කියන පොත් ටිකට තමයි වැඩියෙන්ම අවධානය දීලා තියෙන්නේ .


07. මොකක්ද මියැසියේ රස කතා කියන්නේ?

**  මිසැසියේ රස කතා පටන් ගත්තේ සිංදුවා අයියා , ඒ ගීතවල අර්ථ විග්‍රහ කරන්න. ඒත් මම ඒකට සම්බන්ධ උනාට පස්සේ මියැසියේ යක්ස කතා, මියැසියේ කෙටිකතා වගේ එක එක මාතෘකා යටතේ ලිපි පලවෙන තැනක් බවට පත් උනා. ඒත් මියසියේ රසකතා , මියසියේ රසකතා විදියටම පවත්වාගෙන යන්න මම උනන්දු වෙනවා . මොකද බ්ලොග් එක පටන් ගත්තේ සංගීතය නිසා . ඒ පාදම ශක්තිමත් නිසා තමයි අනිත් දේවල් උනත් බය නැතුව මේකේ ලියන්න පුළුවන් උනේ . දැන් මියැසියේ රසකතා බ්ලොග් අඩවිය වයලගෙ කාමරේ කියලා නම වෙනස් කරලා තියෙනවා .

08. එතකොට හස්තිනාපුර කියන්නේ ?

**  හස්තිනාපුර කියන්නේ මම ඉස්සෙල්ලම ලියන්න පටන්ගත්ත තැන . බ්ලොග් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතිව හිටපු කාලෙක ලියන්න ඉගෙනගත්ත තැන තමයි හස්තිනාපුර කියන්නේ . අදත් මම ඒකෙ ඉබි ගමනින් ලියනවා . හස්තිනාපුරය යම් සීමාවකට කොටු කරලා තියෙන නිසා වැඩිපුරම නිදහස තියෙන මියසියේ රසකතාවලට හස්තිනපුරයට වඩා මගේ අවධානය යොමු වෙනවා කිව්වොත් හරි .

09. මොකක්ද ඔය තරමටම දෙව්වරුත් එක්ක තියෙන සම්බන්ධය ?

**   දෙවිවරු ගැන මට අදහසක් දුන්නේ අපේ ආච්චිඅම්මා . ආච්චිඅම්මා ගොඩක් වෙලාවට දෙවිනුවර දේවාලය අපේ පවුලේ වැදගත් අවස්ථා වලට මුල් කරගත්තා . අපි විභාගයක් ලිව්වත් අපි ඊට කලින් දෙවුන්දර දේවාලෙට ගිහින් වැඳලා එන සිරිතක් තියෙනවා . හැබැයි ආච්චිඅම්මා නැති උනාට පස්සේ ඒ සිරිත ටිකක් අඩුවෙලා තියෙන්නේ . ඒ නිසා වැඩිපුරම යන්නේ ගෙවල් කිට්ටුව තියෙන සමන් දේවාලෙට .

පන්සල් යනවා වගේ හිත නිදහස් කරගන්න ඕන උනාම මම යන්නේ සමන් දේවාලෙට . මොකද යන්න තියෙන පන්සල් වලට ගියාම හිත නිදහස් වෙන්නේ නෑ , තවත් විකල් වෙනවා විතරයි වෙන්නේ . සමන් දේවාලේ තියෙන්නේ නිස්කලංක පරිසරයක් වගේම පන්සලක වටපිටාවක් . ඒ නිසා සමන් දේවාලෙට , දේවාලයේ පසුබිමේ තියෙන සුවඳට මම කැමතියි . දේවාලේ ගියාට , දෙවියන්ට වැන්දට , දෙවියන්ගෙන් හැමදේම ඉල්ලන පුරුද්දක් මට නැහැ . මට දෙවියන් ගැන තියෙන්නේ ගෞරවයක් . ඒ ගෞරවය ඇතිවුණේ ආච්චිඅම්මා නිසා කියලා තමයි කියන්න තියෙන්නේ .

10. එතකොට යන්තර සහ මන්තර ශාස්ත්‍රය ගැන ලියන්නේ? 

**  මම වෙද පවුලක කෙනෙක්. තෝම්බුව සම්පූර්නෙන් දිගාරින්න මම කැමති නැහැ . ඒ නිසා කෙටියෙන් කියනවනම් මම වෙද පවුලක කෙනෙක් නිසා මට යන්තර මන්තර ගැන ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණා කිව්වොත් හරි . වෙදකම් කියලා අපේ අය වැඩිපුරම කරලා තිබුණේ විස වෙදකම .

විස වෙදකම එක්කම මන්තරත් ගෑවිලා තියෙනවා . විෂ බස්සන්න , ඕන නම් විෂ නග්ගන්න , සර්පයින් ගෙන්නලා ඌ ලවාම විෂ උරවලා ආයෙත් ඒ සතාව පිටත් කරලා යවන්න වගේ ගොඩක් දේවල් එක්ක මන්තර සම්බන්ධ වෙනවා . ඒ නිසා ඒ හැමදේම යම් තරමකට මටත් උගන්නලා තියෙනවා .

11. යන්තර මන්තර ඉගෙන ගත්තා විතරමද? අත්හදා බලලා නැද්ද? 

**  ඔව් යන්තර ගැන ඉගෙනගෙන තියෙනවා . ඒ ඉගෙනගන්න තියෙන උවමනාවට විතරයි . මම මන්තරවලින් සර්පවිෂ බස්වන්න කරන්න ඕන විධි ගැන ඉගෙනගෙන තියෙනවා. කීප වතාවක් අත්හදා බලන්නත් පුළුවන් උනා. විෂ බස්වනවා වගේම විෂ නග්ගන්නත් ගුප්ත විද්‍යාව එක එක මාර්ග පිළියෙළ කරලා තියෙනවා . ඒවා ඉතින් වචන වලින් කියන්න අමාරුයි . කරලා ප්‍රතිපල ගන්න තමයි තියෙන්නේ .








12. තව ටිකක් විස්තර කරමු බලන්න ඒ ගැන.

**  වෙදකම සහ මන්තර එකට බැඳිලා තියෙන්නේ. සමහර වෙලාවට විෂ ශරීරගත උනාම ඒවා ඇඟට පත්තියන් වෙනවා. ඊට පස්සේ ඒවා අඩු කරලා විෂ බස්සන්න මන්තර මතුරන්න වෙනවා. නොකරම බැරි වෙලාවල් කීපයක මම ඒ දේවල් අත්හදා බලන්න වගේ කරලා බැලුවා . කියන්න තරම් වරදක් උනේ නම් නැහැ . ඉගෙනගත්ත ඒවා ඇත්තද බලන්නත් ඕනනේ.

උසස්පෙළ කරන්න ගත්තට පස්සේ ඒ දේවල් ටික ටික මතකයෙන් ඈත් වෙලා ගියා . සමහර මන්තරවල කෑලි කෑලි ඉඳලා හිටලා කියවෙනවා . එත් ගොඩක් දේවල් දැන් අමතකයි පාවිච්චි කරන්නේ නැති නිසා . අමතක වෙන්න කලින් මම ගොඩක් දේවල් ලියලා පරිස්සම් කරලා තියෙනවා . ගුරුකුලේ රකින්න ඕන නිසා පස්සේ කාලෙක කාටහරි ඒ දේවල් උගන්නන්නත් බලාපොරොත්තුවක් තියෙනවා .

වෙද මහත්වරු ගොඩක් වෙලාවට කරන්නේ විෂ බස්සලා විෂ නැති කරලා රෝගියා සනීප කරන එක . එත් විෂ නග්ගනවා කියලා එකකුත් තියෙනවා . ඒ කියන්නේ බහින විෂ ආයෙත් ඕන නම් නග්ගලා තිබ්බ ප්‍රමාණයට වඩා වැඩි කරලා ඒකෙන් මිනිස්සුන්ගේ ජීවිත කෙලවර කරන්නත් පුලුවන් වැඩකට. ඒකත් මම ඉගෙනගෙන තියෙනවා. ඒත් ඒ ඉගෙනගත්තේ එහෙම කරන්න නෙවෙයි. ඒවා ඉගෙනගත්තම විෂ බස්වන්න ලේසියි. මොකද තුවාලයකට බෙහෙත් දාන්නේ තුවාලේ පෑරෙන විදියට ශුද්ද කරාට පස්සෙනේ . විසෙන් විස නසන්නත් සමහර වෙලාවල් වලට යම් ප්‍රමානෙකට විෂ නග්ගන්න වෙනවා .

13. මොකක්ද එතකොට මන්තර කියන්නේ? මන්තර සහ යන්තර අතර තියෙන වෙනස මොකක්ද?

**  මන්තර කියන්නේ අකුරු එකතුවක්. ඒ අකුරු එකතුව කරන්න විශේෂ දැනුමක් ඕන. අකුරුවල උච්චාරණයට අනුව ඒ ඒ අකුරුවලට විශේෂිත සංඛ්‍යාත තියෙනවා. ඒ අනුව ඒවා කම්පනය කරලා ශක්ති උත්පාදනය කරලා තමයි මන්තරවලින් එක එක ඒවා කරගන්නේ. යන්තර කියන්නේ සංකේත වර්ගයක්. ඒවා තඹ පිත්තල තහඩුවල ලියපු ඒවා වගේම වෙනත් සංකේත උනත් වෙන්න පුළුවන්.

අටමගල පංචායුධය කියන්නේ ඒවගේ යන්තර ගණයට වැටෙන සංකේත. යන්තර වලට මන්තර මතුරලා ශක්ති පිහිටවලා ගත්තම ඒවාත් ඒ සංඛ්‍යාත වලට කම්පනය වෙනවා. ඉතින් ඒ කම්පන වලට අදාලා වැඩ සිද්දවෙනවා. යන්තරයක් හදන එක විද්‍යානුකුලව තමයි කරන්නේ. ඒ ගන්න තහඩුවල දිග පළල, මතුරන කාලය, වාර ගණන, කොටින්ම කියනවනම් යන්තරය එල්ලන්න ගන්න නූලත් ඒ ඒ ක්‍රියා වලට විශේෂ වෙනවා.

14. එතකොට අක්ෂර සිද්ධියෙන් සිද්ධ කරන යන්තර සහ මන්තර කටයුතු වලට දිව්‍ය, යක්ෂ, භූත, ප්‍රේත ආදී අමනුෂ්‍ය ලෝකවල ඉන්න ජීවී කොට්ඨාස සම්බන්ධ වෙන්නේ කොහොමද?

**  ඉස්සර හිටපු ඍෂිවරු තමයි මේවා නිර්මාණය කරා කියලා කියන්නේ. මට එතුමාගේ නම හරියටම මතක නෑ . අවුරුදු 9000කට කලින් පහල වෙච්ච මේ ඍෂිවරයා තමයි ප්‍රාචීන විද්‍යාවන් නිර්මාණය කළා කියලා කියන්නේ . ග්‍රහ තාරකා චලනයේ ඉඳලා ප්‍රාචීන විද්‍යාවන් වලට අදාළ භෞතික මිනුම් ඔක්කොම සම්මත කරා කියන්නේ මේ ඍෂි වරයා . අක්ෂර ශක්ති විශේෂ සංයෝජනය කරලා මන්තර නිපදවන ශාස්ත්‍රයත් එතුමාගේ නිර්මාණයක් කියලා තමයි මමනම් දන්නේ .

මම නම් හිතන්නේ අමනුස්සයොත් ශක්තියක් කියලා. එයාලාට වෙනමම වෙන් වුණු විශේෂ ශක්තියක් තියෙනවා. මන්තරවලින් කරන්නේ ඒ ශක්තිය අපිට ඕනා විදියට හසුරුවන එක .

15. ඒ අය එහෙම සම්බන්ධ වෙන්නේ කැමැත්තෙන්ද? නැත්නම් අකමැත්තෙන්ද?

**  අමනුස්සයෝ ගොඩක් අකමැත්තෙන් තමයි එන්නේ. මොකද මේවා අමනුස්සයින්ගෙන් අහලා නෙවෙයිනේ කරන්නේ. ඒත් සමහර වෙලාවට අමනුස්සයෝ කැමැත්තෙනුත් වැඩ කරනවා. දෙවිවරු බන්ධනය කරොත් එන්නේ අකමැත්තෙන්. දෙවිවරුන්ට ආරාධනා කරොත් එන්නේ කැමැත්තෙන්. අංජනම්වලට නම් ගොඩක් වෙලාවට හනුමන්තා එන්නේ කැමැත්තෙන්. ඒ වගේ ඒ ඒ අවස්ථාවේ හැටියට අමනුස්සයෝ ඉදිරිපත් වෙන්නේ වෙනස් ස්වරූප වලින්. කැමැත්තෙන් එන අයගෙන් වැඩ කරගන්න වැඩි අමාරුවක් නෑ . එත් අකමැත්තෙන් එන අය එක්ක ගණුදෙනු කරන එක ටිකක් අවදානම් .







16. තාරකා විද්‍යාවට අනුව නම් ජීවය පවතින ලෝකවල ඉන්න ජීවීන්ව හදුන්වන්නේ පිටසක්වල ජීවීන් කියලා. එතකොට අමනුෂ්‍ය ලෝකවල ඉන්න ජීවීන් අයත් වෙන්නෙත් ඒ කුලකයටමද?

**   ආටානාටිය සුත්‍රයේ සිංහල තේරුම කියවලා බලන්න. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ මම දෙනවට වඩා හොඳට දැනගන්න පුළුවන්. අමනුෂ්‍ය ලෝක කියලා මමනම් හිතන්නේ වෙනමම සංඛ්‍යාත පරාසයක ජීවත්වෙන ජීවින් පිරිසකට කියලා .


17. බුදු හාමුදුරුවන් දේශනා කරපු සූත්‍ර දේශනා වලත් තියෙන්නේ අකුරුවල එකතුවක්. අක්ෂර සිද්ධියක්. ඒවාත් මහා බලසම්පන්නයි. ඒ කියන්නේ බුදු හාමුදුරුවන් දේශනා කරපු සූත්‍ර අයිති වෙන්නෙත් මන්තර වලට කියන එකද?

** අකුරු උනාට මන්තර, සූත්‍ර වෙන්නෙත් නෑ. සූත්‍ර, මන්තර වෙන්නෙත් නෑ. හැබැයි බුදු හාමුදුරුවන්ගේ සූත්‍ර සමහර ඒවායේ අක්ෂර සිද්ධිය අද්විතීය විදියට ගළපලා හෝ ගැලපිලා තියෙනවා. ඒ නිසා ඒවටත් අද්විතීය බලයක් හිමිවෙලා තියෙනවා.

18. 2014 දෙසැම්බර් 29 වෙනිදා, මියැසියේ රස කතාවල, ගජ අංගම (අලි මන්තර) ගැන ලියපු ලිපිය ගමු. අලි මන්තරේ කිව්වායින් පස්සේ අලියා නැවතුනොත් ඒ මන්තරයේ බලය නිසා කියලා කියනවා. 
අලියා මන්තරේ ඇහුවේ නැත්නම් අලියගේ පිටේ දෙවි කෙනෙක් ඉන්නවා කියලා කියනවා. තවත් සමහරු කියනවා මන්තරෙන් බලාපොරොත්තු වුණු ප්‍රතිඵල ආවේ නැති වුණාම, කිලි වලට අහු වුණ නිසයි හරි නොගියේ කියලා. ඒ නිසා මේ ශාස්ත්‍රය හසුරුවන කෙනා හැම තිස්සෙම Backup Plan එකක් එක්ක, එහෙමත් නැත්නම් අතිරේක සැලැස්මක් එක්ක ඉන්නවා කියලා චෝදනාවක් එල්ල කළොත්? 

** මම ලියන්න කලින් ඉගෙන ගත්තා. ඒ නිසා මම ඇත්ත නැත්ත මොකක්ද කියලා වටහාගෙනයි ලිව්වේ. ඒ නිසා මට ඔය ප්‍රශ්නයට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මිනිස්සු ඔහොම කියන්නේ එක්කෝ හොරු ගාවට ගිහින් රැවටිලා නිසා, නැත්නම් මේවා පිළිගන්න තියෙන අකමැත්ත නිසා. ඒත් ප්‍රතිපල තියෙන සහ ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් අය තමන්ගේ මේ ක්‍රියාකාරකම් නිහඬව එදත් අදත් හෙටත් ඉටු කරනවා කියලා මට විශ්වාසයි.

තොටගමුවේ රාහුල හාමුදුරුවෝ දක්ෂ මන්තර හසුරුවන්නෙක් කියලා ඔයාලා දන්නවා ඇති . උන්වහන්සේ රචනා කරපු මන්තර මමත් කියවලා අහලා දැකලා තියෙනවා . ඉතින් ඒවා බොරු වෙන්න පුළුවන්ද ? . ඒවා බොරු කියන අයම උන්වහන්සේගේ සැළලිහිණි සංදේශය අනර්ඝ වස්තුවක් හැටියට වර්ණනා කරනවා . මෙතන තියෙන්නේ මිනිස්සු වාසියට යම් යම් දේවල් පිළිගෙන අනිත් දේවල් ඉවත දාලා තියෙන එක .

කමක් නෑ ඉතින් . තම තමන්ගේ කැමැත්ත නිසා . ඒත් සයනයිට් වස කියලා පිළිගත්තත් පිළිනොගත්තත් ඕන නම් ඒක බලෙන් හරි කැවුවොත් මැරෙන්න වෙනවා වගේ මන්තර ශාස්ත්‍රයත් පිළිගත්තා හෝ නැතා තමන්ට එයින් කවුරුහරි නියමාකාර විදියට බලපෑමක් කරනවානම් ඒක බලපානවාම තමයි . ධනාත්මක චින්තනයෙන් නම් මේවට අභියෝග කරන්න ශක්තිමත් වෙන්න බෑ . අධ්‍යාත්මික ශක්තිය නම් මේවාට අභියෝග කරන්න පුළුවන් තරම් ශක්තිමත් . ඒ නිසා ඔන්න ධනාත්මක චින්තනය නැතුව ආධ්‍යාත්මය දියුණු කරනවානම් මේවායින් බලපෑම් එල්ල නොවී ජීවත් වෙන්න පුළුවන් .


19. බෞද්ධ දෙව්වරු. හින්දු දෙව්වරු. මිත්‍යා දෙව්වරු. මේ දෙව්වරු තුන් වර්ගයම අද ශ්‍රී ලාංකිකයෝ පටලවාගෙන තියෙනවා. කොහොමද බෞද්ධ දෙවි කෙනෙක්ව අනිත් දෙව්වරුන්ගෙන් වෙන් කරලා හදුනා ගන්න පුලුවන් වෙන්නේ?

**   මම නම් එහෙම වෙන් කරන්න කැමති නෑ. සක්‍රයා, ඉන්ද්‍ර, සියුස් තුන්දෙනාම එක්කෙනෙක් කියලා මම හිතනවා. ඒ වගේම විෂ්ණු උපුල්වන් කියලා මම හිතනවා. ඒ නිසා කොයි දෙවියන්ට කොහොම වැන්දත් මම නම් හිතන්නේ එකයි කියලා. හැබැයි මගේ නම් විෂ්නුටයි, සමන් දෙවියන්ටයි වැඩි කැමැත්තක් තියෙනවා. ඒ විෂ්ණු දෙව්ලොව නායකයෙක් නිසා සහ සමන් දෙවියෝ සෝවාන් වෙලා නිසා. ඒ වගේ එක එක්කෙනා තම තමන්ට කැමති විදියට ඒ ඇදහීම් කරනවා නේද ?

20. ගොඩක් බෞද්ධයන් කතරගම, උපුල්වන්, සුමන සමන් වගේ දෙව්වරුන්ව බැති සිතින් වන්දනාමාන කරනවා. ඒත් මේ දෙව්වරු ගැන අපිට අහන්න ලැබෙන්නේ ජනප්‍රවාද සහ ජන කතා එක්කම වගේ. ඒත් ජීවමාන බුදු හාමුදුරුවන්ගේ කාලයේ හිටපු බුද්ධ ශ්‍රාවක දෙව්වරු ගැන බුද්ධ දේශනාවලම සදහන් වෙනවා. මාතෘ දිව්‍යරාජයා, සක්‍ර දේවේන්ද්‍රයා, ජනවසභ දෙවියන්, සතර වරම් දෙව්වරු ගැන බුද්ධ දේශනාවල කියවෙනවා. ඒත් ඒ දෙව්වරුන් ගැන අපේ බෞද්ධ ජනතාවට මතක් වෙන්නෙත් නැති තරම්. ඒකට හේතුවක් විදිහට ඔබ දකින්නේ මොකක්ද?

** ජනකතා හැදුන කාලේ මිනිස්සු පොත් එක්ක සමීප නෑ. එයාලට බෞද්ධ දෙවිවරු ගැන දැනගන්න ලැබෙන්නේ බණ අහනකොට විතරයි. ඉස්සර පුරුද්දක් තිබිලා තියෙනවා අකුරු දන්නා කෙනෙක් අනිත් අයට ඇහෙන්න පන්සීය පනස් ජාතක කතා වලින් එක එක ජාතක කතා කියවන එක.  ඒ නිසා බෞද්ධ දෙවිවරු මිනිස්සුන්ට ලං උනේ අඩුවෙන්. ඒත් අනිත් දෙවිවරු මෙයාලට ළඟයි. ඒ මොකද ගමේ දේවාලේදී ඒ දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන නිසා. හැමදේටම දේවාලෙට ගිහින් පඬුරක් තියලා භාරවෙලා වැඩ කරපු නිසා බෞද්ධ සාහිත්‍යයේ දෙවිවරු ජනප්‍රවාද වලින් වෙන්වෙලා වෙනමම තියෙනවා කියන්න පුළුවන්. ඒ සාමාන්‍ය පරිසරයේ . මන්තරත් එක්ක ගණුදෙනු කරන අයට ඔය කවුරුත් මන්තර වලදී හම්බෙනවා .

ආලවක යක්ෂයා පවා මන්තර වල දකින්න ඉන්නවා . ඒ කියන්නේ හැම අමනුෂ්‍යයෙක්ම මන්තර වලදී වැදගත් වෙනවා කියන එක . එක මන්තරයක් තියෙනවා ඒ මන්තරයේ කියවෙනවා මාරයා විසින් බුදුන් වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාවේ බුදුන් වහන්සේගේ ප්‍රාණය ශරීරයෙන් නිරුද්ද වෙන්න කලින් මාරබන්ධනය කරන්න ඉදිරිපත් වෙච්ච සිදුවීමක් ගැන . පස්සේ ඒක වැළකුණා කියලත් අන්තිමට කියනවා . ඒ නිසා මන්තර සාහිත්‍යයේනම් ඔක්කොම අය ඉන්නවා . වැරැද්ද තියෙන්නේ මන්තර හැමෝටම කියවන්න දකින්න ලැබෙන්නේ නැති එක . ඒ නිසා වරණීයව තමයි මේවා සමාජගත වෙලා තියෙන්නේ .






21. කවදා හරි දවසක අමනුස්සයෙක්ව දැකලා තියෙනවද? ඒ අයත් එක්ක මේ ශාස්ත්‍රය හරහා ගණුදෙනු කරලා තියෙනවද?

**  මම තදබල විදියට අසනීප වෙන වෙලාවට ඒ ගැන පෙරනිමිත්තක් මට දකින්න ලැබෙනවා. ඒ පෙරනිමිත්ත කොහොම එකක්ද කියලා කියන්න මම කැමති නෑ. ඒත් මම හිතනවා මම ඒ දකින්නේ අමනුෂ්‍ය බලවේගයක් කියලා . මට ඇපෙන්ඩිසයිටීස් හැදිලා ලෙඩේ හොයාගන්න බැරිව සති දෙකකට වඩා වැඩි කාලයක් අසනීපෙන් හිටියා . පැපොල හැදිලා ඒත් ගොඩක් අමාරු උනා . ඔය වගේ දරුණුවට අසනීප වෙන වෙලාවල් වලදී මට එක පෙරනිමිත්තක් දකින්න ලැබෙනවා . ඒක අමනුෂ්‍ය බලවේගයක්දෝ කියලා මම වෙලාවකට සැක කරනවා . හැබැයි හැමදේම සංසුන් උනාට පස්සේ තමයි මතක් වෙන්නේ මම අර පෙරනිමිත්ත මේ දේ වෙන්න කලින් දැක්කා නේද කියලා .


22. වඩාත්ම බලවත් මන්තරද? පිරිත්ද? 

**  පිරිත්. ඒත් පිරිත් වලින් කරන්න බැරි ඒවත් තියෙනවා. ඒ තැන් වලදී පිරිත් වලට වඩා මන්තර ඉස්සරහට එනවා. ඒත් පිරිත බලවත් කියන එක ගුප්ත ශාස්ත්‍රයේ සම්මතයක් . අවුල වෙන්නේ ඕන ඕන හැම දේම පිරිතෙන් කරන්න බැරි එක. බන්ඩි කියතෙන් පාන් කපන්නේ නැහැනේ. ඒත් ඕන නම් ට්‍රයි කරලා කපාගන්න බැරිකමකුත් නෑ. ඒත් පාන් කන්න පුළුවන් වෙයිද කියලා තමයි සැකයි.


23. වඩා බලවත් පිරිත් නම් යන්තර සහ මන්තර ශාස්ත්‍ර භාවිතා වෙන්නේ ඇයි?

**  පිරිත් බලවත් උනාට පිරිත ඕන එකටයි එපා එකටයි හැම දේටම ගත්තම ගෞරවය නැති වෙනවා. නැත්නම් පිරිත් වලිනුත් වින මිනිස්සු මරන්න කරන්න පුළුවන් . සමහර පිරිත්වල තියෙන්නේ හොඳ කොටස් සහ නරක කොටස් එකතුවෙලා උදාසීන හෝ හොඳ කොටස් වැඩිවෙලා නිසා නරක දුරු වෙලා . ඒත් ශිල්පය දන්නා අය මේ පිරිත්වල කොටස් වෙන් කරලා තම තමන්ට ඕනා දේවල් කරනවා .
උදාහරණයක් ගත්තොත් සබ්බ පාපස්ස අකරනං ගාථාවේ කොටස් වෙන් කරලා ඒවායින් මතුරලා අංගම් පිඹලා මිනිස්සුන්ට අවැඩක් කරන්න පුළුවන් විදි ඒ ශිල්පයේ කියවෙනවා . ඒවා රහස්. ඒ රහස් නිසාම තමයි පිරිත වෙන් කරලා මන්තර හදලා තියෙන්නේ .






24. " නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ මේ සරණං වරං "...... අදටත් මේක වලංගුද? කෙනෙක්ට මොකක් හරි කරදරයක් වුණාම බුදු හාමුදුරුවන්ටත් වඩා දෙව්වරුන්වයි මතක් වෙන්නේ. ඒත් බුදු හාමුදුරුවන් කියන්නේ දෙව්වරුන්ගේ පවා වන්දනාවට පාත්‍ර වුණු උත්තරීතර ශාස්තෘවරයෙක්. දෙව්වරු හැම තිස්සෙම ඉන්නේ බුදුවරුන්ට පහළින්. මෙහෙම තියෙද්දිත් විපතක් වුණු වෙලාවට මිනිස්සු තුනුරුවන් ගැන අමතක කරලා දෙව්වරුන්ගෙන් උදව් උපකාර ලබා ගන්න උත්සාහ කිරීම ගැන මොකද හිතන්නේ?

**   මට මේ වෙලාවේ මතක් වෙන්නේ සමන් දේවාලයේ වැඩ කරන්න ඉන්න සීයා කෙනෙක් හැමවෙලේම එන අයට කියන කතාවක් . ඒ “ බුදු සරණයි දෙවි පිහිටයි කියනවා මිස, බුදු පිහිටයි දෙවි සරණයි කියන්නේ නැහැනේ “ කියන කතාව . මොකද සමහර අය බුදුන්ට වඳින්නේ දෙවියන්ට වැඳලා . ඒත් කරන්න ඕන බුදුන්ට වැඳලා පස්සේ දෙවියන්ගෙන් පිහිට ඉල්ලන එක . ඒ නිසා මම හිතන්නේ කරදර වලදී දෙවිවරු මතක් කළාට කමක් නැහැ. ඒත් බුදුගුණ හිතේ තියෙනවා නම් බුදුන් ඇතුළු තෙරුවන් සරණ ගිහින් ඉන්නවානම් තමන්ට වෙන කරදර අඩු වෙයි කියලා .


25. ඒ කාලේ යුද්ධ ජයග්‍රහණය කරවන්න හිටං කොඩිවින, වින බන්ධන, පිල්ලි යැවීම්  කළා කියලා කියවෙනවා. ලංකාවේ මෑත ඉතිහාසය තුළ පැවති 30 වසරක යුද්ධය ජයග්‍රහණය කරන්න ඇයි මේ ක්‍රම උපයෝගී කර ගන්න, මේවා ප්‍රගුණ කරපු අය ඉදිරිපත් වුණේ නැත්තේ? එහෙම කළා නම් ජීවිත සහ දේපල විශාල ප්‍රමාණයක් රැකෙන්න තිබුණා.

** ඒවා පිළිගන්න උන් නැති රටක ඒවා කරන්න ඉදිරිපත් වෙයිද? අනික සාත්තරේ උගන්නන අය දැන් උගන්වන්නේ ශාස්ත්‍රයේ පැවැත්ම සඳහා මිස වැඩ කරන්න නෙවෙයි. මටත් ඔය ප්‍රශ්නය ඉස්සර තිබුණා. මට හම්බුණ එක ගුරුන්නාන්සේ සීයා කෙනෙක් කිව්ව උත්තරයම තමයි මමත් මේ මුලින්ම කිව්වේ. අනික ඔන්න දක්ෂ කෙනෙක් ඕවා කරා කියමුකෝ ඊට පස්සේ එයාට වෙන්නේ මොකක්ද කියලා කාටද කියන්න පුළුවන් . සමහරවිට එයාට සැනසිල්ලේ ඉන්න නැති වෙනවා . ප්‍රසිද්ධිය වදයක් වෙනවා . ටීවීවල පත්තරේ හැමතැනම එයා . ඒ දේවල් නිසාම කවුරුවත් මේවා කරන්න ඉදිරිපත් වෙන්න නෑ . අනික මන්තර එක්ක මිනිස්සුන්ගේ හිත් දරදඬු වෙනවා . මන්තර එක්ක හැප්පෙන අයගේ හිත ටිකක් තදයි . ඒ නිසා මානුෂීය පදනම මත පිහිටලාවත් මේවා කරන්න ඒ කාලේ ඒ අය ඉදිරිපත් වෙන්න නැතුව ඇති . අනික තමයි ගුරුකම් වල යාවත්කාලීන වීම් වෙන්නේ නැති එක . වෙඩි හිර කරන මන්තර හැදිලා තිබුණා . ඒත් එතනින් එහාට ඒවා දියුණු උනේ නෑ . ඒකට හේතුව සම්පත් දායකයින්ගේ හිඟ තාවය . ඒ නිසා බෙහෙත් කොටන තුවක්කුවේ වෙඩිල්ල මන්තරෙන් හිර කරන්න පුළුවන් උනාට පතරොම් දාලා පත්තු කරන මැෂින් ගන් එකේ උණ්ඩය හිර කරන්න මන්තර බිහිවෙලා නෑ . ඔයවගේ ප්‍රශ්න නිසාත් මේ දේවල් කරන්න එයාලා ඉදිරිපත් වෙලා නෑ කියලා මට හිතෙනවා .







26. අපි හිතමු කවුරු හරි කෙනෙක්ට හූනියමක් කරලා තිබ්බා කියලා. මේක ගැන දැන ගත්ත දවසේ ඉදලම මේ කෙනා ඉන්නේ නොසන්සුන් වෙලා. බැරි වෙලාවත් මෙයා පාරේ යන කොට බස් එකකට හැප්පුනොත්, මෙයා නිගමනය කරනවා ඒක වුණේ හූනියම නිසා කියලා. ඒත් එයා මීට කලින් දවසක හැප්පුනොත් නිගමනය කරනවා එහෙම වුණේ රියදුරාගේ තියෙන නොසැළකිලිමත්කම නිසා කියලා. පුද්ගලයෙක් තමන් හූනියමකට ලක්වෙලා බව දැනගත්තහම ඒක හිතෙන් අයින් කරලා මට කරදරයක් වෙන්නේ නැහැ කියලා තමන් විසින් තමන්වම සනසා ගන්න හදනවා. නමුත් මෙහිදී අමතක වෙනවා වෙනුවට නැවත නැවත අවිඥාණිකවම මතකයට නැගීමක් සිදුවෙනවා. මේ හේතුවෙන් එදිනෙදා සිදුවන අහඹු සිදුවීම් පවා වෙන්නේ මේ හූනියම නිසයි කියන සිතුවිල්ල අදාල පුද්ගලයා තුල පහල වෙනවා. මේ නිසා කෙනෙක්ට හිතේ ඇතිවන අධික භය නිසා ඔහුට හෝ ඇයට යම් හානියක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. අධික කම්පනයට ලක්වෙන පුද්ගලයන් හදවත් රෝග, අධික උණ ගතිය, ආහාර අරුචිය, නින්ද නොයාම, මායාවන් පෙනීව, හැඟීම් දැනීම් අවුල් වීම ඇතුලුව විවිධ රෝග වලට ගොදුරු වෙන්න පුලුවන්. ඉතින් හූනියමක් කියන්නේ පුද්ගලයෙක් අධිකව විශ්වාස කරන මතයක් උපයෝගී කරගෙන ඔහුගේ හෝ ඇයගේ භීතිය ඇවිස්සීමෙන් හෝ ඔවුන්ගේ මානසිකත්වය අවුල් කර ඔවුන්ව පීඩාවට පත් කිරීමට ගන්නා කුරිරු සහ කපටි උපක්‍රමයක් බවට යම් කෙනෙක් තර්ක කලොත්?

** ජලනන්දන පිරිත බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකටද කියලා දන්නවද දන්නේ නෑ? දවසක් ආනන්ද හාමුදුරුවන්ව දැක්ක රොඩී කාන්තාවක් ආනන්ද හාමුදුරුවන්ට ආදරේ කරනවා. පස්සේ මේ කාන්තාවට ආනන්ද හාමුදුරුවෝ ඕන වෙනවා. පස්සේ මෙයා ඒක මෙයාගේ අම්මට කිව්වම මෙයාගේ අම්මා ආනන්ද හාමුදුරුවන්ට බන්ධනයක් කරනවා. ආනන්ද හාමුදුරුවෝ මේ බන්ධනයෙන් වශී වෙලා රොඩී ගුබ්බෑයමට යනකොට බුදු හාමුදුරුවන්ව සිහි කරනවා මාව බේරා ගන්න කියලා. ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුවෝ ජලනන්දන පිරිත දේශනා කරන්නේ. "ආනන්දොති මහා තේරං උත්තමං ධම්ම භාණ්ඩකං යෙන භික්කු මහා තේරං සයනේ බන්ධන විද්වන්සනං" කියලා දේශනා කළේ ඒක තමයි.

මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ එහෙම කළේ මේ බන්ධනය වැඩ කරපු නිසා නේද? ඒ නිසා මේවා කාටත් බලපාන්න පුළුවන්. මනුස්සයෙක්ගේ මානසිකත්වය අඩුවෙන වෙලාවක මේවායින් ප්‍රයෝජන ගන්නවා කියන්නේ අද කාලේ ඉන්න හොර කට්ටඩීන්ගේ වැඩ නිසා. ඒ නිසා ඒවා විශ්වාස කරන්න බෑ. අනික අද කාලේ ඉන්න සාමාන්‍ය මිනිස්සුත් අන්ධ වෙලා මේවා පස්සේ යන නිසා රවට්ටන්න ලේසියි. රවට්ටන්නේ නැති එක කට්ටඩියාගේ යුතුකම.

රැවටෙන්නේ නැති එක මිනිස්සුන්ගේ වැඩක්. එතකොට මල්ලි මේ අහන ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ. කොච්චර මේ ශිල්පෙ ගැන මම හෙව්වත් මම ඒ දේවල් කරන්නේවත් කරන්න අනුබල දෙන්නේවත් නැත්තේ ඒ නිසා . අදකාලේ මිනිස්සුන්ගේ මානසික තත්ත්වය හරිම අඩුයි . ඉන්ද්‍රියන් පහම හරිම අඩුවෙන් වැඩ කරන්නේ . ඒ දේවල් එක්ක ඒවායින් අරමුණු කරන දේවල් සාර්ථක වෙයි කියලා විශ්වාස කරන්න බැහැනේ . ඒ නිසා ඕන වෙලාවක බෝලේ බස්සලා ගානට රවට්ටන්න පුළුවන් .


27. පහුගිය ජනාධිපතිවරණයත් එක්ක කරලියට ආපු මාතෘකාවක් තමයි ජෝතිශ්‍ය කියලා කියන්නේ. කොහොමද අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන අජීවී ග්‍රහලෝක, පෘතුවියේ ඉන්න පෘතුවි වාසීන්ට බලපෑම් එල්ල කරන්නේ?

** සූර්යාගේ ඉඳලා එන ශක්තියෙන් තමයි ප්‍රභාසන්ශ්ලේෂණය වෙන්නේ. ඒක පිළිගන්නවනේ නේද? ඒ වගේ තමයි සූර්යාලෝකය හැමදේටම බලපානවා. මේ ආලෝකය ඒ ඒ ග්‍රහලෝකවල වැදිලා පරාවර්තනය වෙන ආලෝකය පොලවට එනවා. ඒවායේ තියෙන්නේ එක එක තරංග ආයාම වගේම එක එක ශක්තීන්. ඉතින් මේවා නිසා මිනිස්සුන්ට එක එක බලපෑම් වෙනවා. ඍෂිවරු මේවා අනුව බලලා තමයි ජෝතිෂ්‍ය විද්‍යාව ගොඩනගලා තියෙන්නේ. ජනාධිපතිවරණය කාලේ වෙච්ච දේවල් ගැන මගෙ තියෙන්නේ කලකිරීමක්. ඊට පස්සේ ජෝතිෂ්‍යය බොරු බොරු කියලා ගොඩක් දෙනෙක් කෑගැහුවා.

මමත් යාලුවොත් එක්ක හිනාවෙන්න ඕන උනාම ඔයවගේ දේවල් කියලා හිනාවෙනවා . එත් ශිල්පයට වෙච්ච දේ ගැන නම් මට ඇත්තටම දුකයි . ඕනෑම ශිල්පයක් මගින් සේවයක් කරන කෙනෙක් ස්වාධීන වෙන්න ඕන . ස්වාධීන නැත්නම් ශිල්පෙ පැත්තක දාලා ගෙදර ඉන්න ඕන බලයට අධිකාරීත්වයට බයේ මේ දේවල් කරලා ඒවා හෑල්ලු කරන්නේ නැතිව . ජෝතිෂ්‍ය විද්‍යාවේ තව හෑල්ලු වෙන්න දෙයක් නෑ . නම් දරාපු උදවිය කියලා ඉන්න අය කරන එක එක විකාර වැඩ නිසා කවුරුවත් මේවා ඉස්සරහට පිළිගන්න එකක් නෑ .

එක එහෙමයි කියමුකෝ. ඒත් මම අහන්න කැමතියි ඒ බොරු බොරු කියලා කෑගහන අය මේක ඉගෙනගෙනද කෑගහන්නේ කියලා? එක පැත්තකින් සාධාරණයි. රාජකීය දෛවඥයා කිව්ව දේ බොරු උනාම තව කවර කතාද? . වෙදකමට නැකත් මුහුර්ථ ඒවා මේවා ඕන වෙනවා . ඒ  නිසාම මම නම් ජෝතිෂ්‍ය  ඉගෙනගන්නවා. මම වටේ ඉන්න ආශ්‍රය කරන ගොඩක් අයගේ කේන්දර මට ලැබෙනවානම් මම කැමතියි . ඒ එයාලගේ ජීවන තත්ත්වය මට පේන නිසා පොතේ දැනුම ප්‍රායෝගිකද කියලා බලන්න එකෙන් අවස්තාවක් ලැබෙන නිසා . කැමති කෙනෙක්ට මගෙන් උදවු ගන්න පුළුවන්.

හැබැයි මම බලෙන් උදවු කරන්න යන්නේ නෑ. මුල කාලේ මනුස්ස කමට කියලා බලෙන් උදවු කරලා හොඳ අත්දැකීම් තියෙනවා මට වැරදුනු නිසා . හැබැයි ඒ අය මේ ලිපිය කියවනවනම් මම කියන්න කැමතියි මම කිව්ව දේවල් මම වගකීමක් නැතිව කියලා නෑ කියලා . ඒ වගේම මගේ පරීක්ෂණ වලට අහුවෙච්ච අයගේ ජීවන තත්ත්වය ගැන මම තාමත් විමසිල්ලෙන් ඉන්නවා කියලත් කියන්න ඕන . එතකොට තමයි මේ ශිල්පය හරිද වැරදිද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ .


අද කාලේ ජෝතිෂ්‍ය නැතිවෙන්න ලොකුම හේතුවක් තමයි බාගෙට ඉගෙනගෙන පලාපල කියන එක. ඒක අසාර්ථකයි. ජෝතිෂ්‍ය විද්‍යාව හරියට ඉගෙනගන්නවානම් මැරෙනකල් ඉගෙනගත්තත් ඉවර කරන්න බෑ. ඒත් යම් යම් සීමාවල්වල තියෙන විශාල කරුණු තොගයක් ඉගෙනගෙන ඕන ඒවා ප්‍රයෝජනයට ගන්න. ජෝතිෂ්‍ය වේදියෙක් හොඳ පරීක්ෂකයෙක් වෙන්න ඕන ගිරවා දාලා වැඩ කරන්නේ නැතුව . මොකද ලෝකේ අලුත් වෙනවා . සංකල්ප ස්ථාවර උනත් ඒ සංකල්ප එක්ක බැඳිලා තියෙන සමහර දේවල් අලුත් වෙන්න ඕන . එතකොටයි ශිල්පය පවතින්නේ .

දැන් තියෙන ලොකුම අවශ්‍යතාවයක් තමයි ජෝතිෂ්‍ය සංගායනාවක් තියලා එකඟතාවයකට එන්න තියෙන උවමනාව . ඒත් ඒවා වෙයි කියලානම් හිතන්න බෑ . කේන්දර බලන අය කේන්දර අතේ තියන් බලන්න එන මිනිස්සුන්ට කියන්නේ සල්ලි නෙවෙයි ජීවිතේ කියලා . ඒත් කියන උන්දැගේ අතේ සල්ලි තිබ්බේ නැත්නම් උන්ද මුකුත් කියන්නේ නෑ . ඒ නිසා මුදලින් හැම දේකම අද්විතීය බව අයට ගිහින් . උත්තරේ දිග වැඩි උනේ මෙහෙම කියන්න අවස්ථාවක් එන්නේ නැති නිසා .

28. කොහොමද ලිපි වලට ලැබෙන ප්‍රතිචාර?

** හිතුවට වඩා හොඳයි. ඒත් තව ලියන්න ඕන නිසා වැඩිය ප්‍රතිචාර ගැන හිතන්නේ නෑ .

29. අවසාන වශයෙන් පාඨකයින්ට මොනවා හරි විවෘතව කියනවා නම්?

** කියන්න ඕන ඔක්කොම බ්ලොග් එකේ පෝස්ට්වල මම කියලා තියෙනවා. හැබැයි මම කැමතියි එයාලා මගෙ අඩුපාඩු කියනවනම්. ලියන ඒවා වෙනස් වෙන්න ඕන හැටි , ලියන්න ඕන මොනවාද කියලා කියනවනම්. අනික තමයි මම ලියලා තියෙන දේවල් කොපි කරලා දානවනම් කතෘ අයිතිය ගැන සැලකිලිමත් වෙන්න කියලත් කියනවා . මම ඔය දේවල් හොයලා බලලා දාන්නේ මගේ අධ්‍යාපන වැඩත් එක්ක . විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වැඩිපුරම තියෙන්නේ තනියම හොයලා ඉගෙනගැනිල්ලක්.

ඒවත් එක්ක මේවට වෙලාව හදාගන්නේ සමහර දේවල් කැප කරලා . ඒ නිසා ඒ කැප කරන දේවල් වලට වටිනාකමක් මේවායින් තියෙන්න ඕන කියලයි මම හිතන්නේ  . වෙන සයිට් වලින් කොපි කරලා මම මොකවත් දාන්නේ නෑ . දැම්මොත් දාන්නේ සිංදුවක පද රචනය විතරයි . ඒකත් අහලා බලනවා හරිද කියලා . සංකල්පය විග්‍රහ කරන්න පුළුවන් තරම් මම ටයිප් කරනවා . ඒ වගේම මම ලියන ඒවා කවුරු හරි කොපි කලොත් හොයාගන්නත් සලකුණු තියනවා . මම ටයිප් කරලා දාලා තියෙන ගොඩක් සිද්දාන්තමය දේවල් කොපි කලොත් මට ඒ සලකුණු වලින් අඳුරගන්න පුළුවන් . ඒ නිසා කොපි කරන අය කතෘ අයිතිය සඳහන් කරන්න කාරුණික වෙන්න කියලා ඉල්ලනවා .

මම ඇදුරෙක්වත් සාත්තර කාරයෙක්වත් නෙවෙයි . ඒ නිසා මගෙන් එහෙම උදවු ඉල්ලන්න එපා . මට පරම්පරාගත උරුමයක් තිබුණට මම බටහිර විද්‍යාව ඉගෙනගන්න අතරේ තමයි මේවා ගවේෂණය කරන්නේ . ඒ නිසා මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා මගෙන් අහලා මුණු පොතේ මැසේජ් දාන්න එපා . කේන්දර ගැන ප්‍රශ්න නම් ඇහුවත් කමක් නෑ . මම පුළුවන් හැටියට කියන්න පුළුවන් දෙයක් කියන්නම් විෂය තුල හොයලා බලලා . ඒත් හොරට පොරොන්දම් බලන්න , හොර කේන්දර හදන්න මාව හොයාගෙන එන්න එපා , බෑ කිව්වම තරහා වෙන්නත් එපා . මම ඒවා කරන කෙනෙක් නෙවෙයි . ජ්‍යෝතිෂ විෂයේදී මම කරන දේ හරියට කරනවා . නැත්නම් නෑ .

සමහර වෙලාවට මම දාන කමෙන්ට් රිප්ලයි සමහර අයට වැරදි විදියට තේරුම් යනවා මම ආවේගශීලීව කතා කරනවා කියලා . මට ආවේගශීලීව කතා කරලා මගේ මතය සම්මත කරන්න කිසිම උවමනාවක් නෑ . ඇත්ත නැත්ත මම දන්නවා . ඒවායින් මට ඕන දෙයක් කරගන්නවා ඇරෙන්න අනිත් අය ඒවා පිළිගත්තත් එකයි මට නැතත් එකයි . කමෙන්ට් එකකින් හැගීම් එවන්න අමාරු නිසා මම සමහරවෙලාවට දාන ඩිරෙක්ට් කමෙන්ට් වලට හිත් අමනාපකම් ඇතිකරගන්න උවමනා නෑ කියලා මම ඉල්ලන්න කැමතියි .


30. වයලීනෝට ලියනවා නම්? 

** darshanaprabhath1@gmail.com

වයලීනෝගෙන් අහන්න තව ගොඩාක් ප්‍රශ්න තිබුණත් "සොදුරු කතා බහේ" ආකෘතියට අනුව අකමැත්තෙන් වුණත් මේ සංවාදය ප්‍රශ්න 30කට සීමා කරන්න සිද්ධ වුණා. අද සාකච්ඡාවට යොදා ගත්තේ නිතරම සමාජයේ කතා බහට ලක්වෙන මාතෘකා කිහිපයක්. දනා ඔව්වා විශ්වාස කළත්, සාකච්ඡාවකදී පැත්තක් ගන්න බැරි නිසා වැට උඩ ඉදගෙන තමයි ප්‍රශ්න ටික හැදුවේ. කොටින්ම කියනවා නම් භෞතිකවාදීන්ගේ කෝණයෙන් තමයි ප්‍රශ්න හැදුවේ. ඒවායෙන් ගොඩක් ප්‍රශ්න වලට වයලීනොත් සාර්ථකව උත්තර බැන්දා.

ඔන්න ඔහොමයි සාකච්චාව කෙරුනේ . ඔයාලත්

දනාගේ පලාමල්ල

ගොඩවෙලා දනුලගේ ලිපිත් කියවලා දැනුම එකතුකරගන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment