අදිසි දෙවියන් සදිසි මානයට කැඳවන දේවාභරණ

සමන් දෙවියන් ගැන විස්තර හොයනකොට සමහරවෙලාවට දැනගන්න ලැබෙන්නේ අපි හිතන දේවල් නෙවෙයි . මේ පෝස්ට් එකේ ලියලා තියෙන සමහර දේවල් වලට මටත් එකඟ වෙන්න බෑ . ඒවගේම සමහර දේවල් ලියන්නත් මම කැමති නෑ . ඒත් මෙහෙමත් දේවල් තියෙනවා කියලා දැනුවත් කරන්න ඕන නිසා මේ ලිපිය ලියන්න කරුණු ටිකක් ගොනු කරගත්තේ .

දෙවියන් ගැන කතා කරනකොට අපිට ඉතින් දෙවියන් පේන්නේ නැහැනේ . එහෙම පේන්න නම් විශේෂ පුද්ගලයෙක් වෙන්න ඕන . ඒ කියන්නේ බුදුවරයෙක් , රහතන් වහන්සේ කෙනෙක් නැත්නම් දෙවියන්ගෙන් විශේෂ වරම් ලද කෙනෙක් වෙන්න ඕන . ඒත් දෙවියන්ගෙන් විශේෂ වරම් ලද අය ගැන අද කාලේ විශ්වාස කරන්න බෑ . මේ සියල්ල අද වෙනකොට කොහොම සිද්ද උනත් අනාදිමත් කාලෙක ඉඳලා මිනිස්සු දෙවියන්ට වැඳුම් පිදුම් කරන්න පුරුදුවෙලා හිටියේ දෙවියන් වෙනුවෙන් කියලා කැපවෙච්ච දේවාලවල තියෙන දේව රූප වලට වගේම දෙවාභාරණ වලට .


මගේ ජීවිතය වැඩිපුරම සම්භන්ධ සමන් දේවාලයත් එක්ක නෙවෙයි . දෙවුන්දර විෂ්ණු දේවාලයත් එක්ක . ඒ අපේ අම්මලාගේ මහ ගෙවල් තියෙන්නේ දෙවිනුවර දේවාලෙ දේවරූපේ මැවෙන්න මුහුදෙන් පාවෙලා ආව කිහිරි කොටය , මුහුදු වෙරළේ ඉඳලා දේවාලයට වැඩම කරවපු සිංහාසන පාරේ නිසා . ආච්චි අම්මා ඉන්නකාලේ ඉඳලා අපේ හැම වැඩකටම ඉස්සර කරගත්තේ දෙවිනුවර දේවාලේ .

ඒ ආරට යමින් අම්මලා උනත් තාම දෙවිනුවර දේවාලය අපේ ජීවිතවල විශේෂ අවස්ථා වලදී මුල් කරගන්නවා . දේවාලය දැන් අපිට ඇහැට පේන මානයේ නැතත් අපේ ගෙදර මිදුලේ හැමදාම රෑ 10ට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් , නිල් මල් පීරිසියක් , හඳුන් කූරක් පූජා වෙනවා . දෙවියන්ගෙන් ඒ වෙනුවෙන් අපි මොකවත් ඉල්ලන්නේ නෑ . ඒත් දෙවියන්ට කරන සැලකිල්ලක් විදියට මේ සිරිත කරගෙන යනවා .





මේ පහන පත්තු කරන පහන් පැලේ තියෙනවා දේව රූපයක් , ත්‍රී ශූලයක් එක්කම හක් ගෙඩියක් . ඔය තුනෙන් මම ගෙනාවේ දේවරූපය විතරයි . දැනට අවුරුදු කීපයකට කලින් මගේ උපන්දිනයක් දවසේ මම ඔය පිළිමය අරගෙන ආවේ . එදා කොහොමහරි මගේ යාළුවො ටිකත් ප්ලෑන් කරගෙන ඉඳලා තියෙන්නේ දේවරූපයක් මට තෑගී දෙන්න පහන් පැලේ තියන්න . ඒත් ඊට කලින් මම පිළිමයක් ගත්තා . හක්ගෙඩියයි ත්‍රී ශූලයයි දුන්නෙත් මගේ යාළුවො දෙන්නෙක් . ආච්චි අම්මා අපිට දීපු සිරිතක් නිසා මේ පහන පත්තු කරන සිරිත කඩන්න අම්මා කැමති උනේ නෑ . දැන් කොහොමහරි මමත් ඒකට පුරුදු වෙලා .

සමහර දවස්වලට අපේ ගෙදරට එන අය මේ ගැන එක එක විග්‍රහ කිරීම් කරනවා . හපෝ ගෙට එලිය වැටෙන්න තියන්න එපා , මේ දිශාවේ පහන් පත්තු කරන්න හොඳ නෑ , දෙවියන්ට ගෙවල්වල පහන් පත්තු කරන්න හොඳ නෑ අරකයි මේකයි කතා ගොඩයි . එව්වා ඉතින් ගඟට කපන ඉනි වගේ තමා . අම්මා කෙසේ වෙතත් මමනම් දැන් ඕක හොල්ලන්නවත් දෙන්නේ නෑ .


මම ඉතින් කියාගෙන ආවේ ඔය වගේ දෙවියන් වෙනුවෙන් දෙයක් වෙන් කරාම ඒක පූජනීය දෙයක් වෙනවා කියලා කියන්න . සමහර දේවාල වලත් දේවාභරණ කියලා වෙන්නේ මේ දෙයම තමයි . දෙවියන් වෙනුවෙන් කියලා වෙන් කරපු දේවල් අන්තිමට පූජනීය වන්දනාමාන කරන දේවල් බවට පත් වෙනවා . සමහර දේවාල වලටනම් දේවාභරණ ලැබිලා තියෙන්නේ දෙවියන් හීනෙන් ඇවිත් කපු මහත්වරුන්ට දේවාභරණ තියෙන තැන් ගැන කිව්වට පස්සේ කපු මහත්වරු ඒවා දේවාලයට වැඩම කරවලා තැම්පත් කරාට පස්සේ .

සමන්දේවාලයට දේවාභරණ ලැබුණහැටි කොහොමද කියලා කීප දෙනෙක්ගෙන්ම විස්තර ඇහුවට ඒ ගැන පැහැදිලි කතාවක් දැනගන්න ලැබුණේ නෑ . මොකද ඒ අය දෙවියන්ට තියෙන ගෞරවය නිසාද භය නිසාද දන්නේ නෑ මේ දේවල් ගැන පැහැදිලිව කියන්න කැමැත්තක් දැක්වුවේ නෑ . එයාල කිව්වේ රජකාලේ ඉඳලා මේවා පැවත එන චාරිත්‍රනේ මහත්තයෝ ,  ඒ නිසා අපිත් දෙවියන් වෙනුවෙන් මේවා ඉෂ්ට කරනවා ඇරෙන්න ඒවායේ දිග පළල මනින්න යන්නේ නෑ කියලා .

දැනට සතියකට කලින් මම ගියා සමන් දේවාලේ . ගිහින් වැඳලා කියලා දේවාලේ වටේ ඇවිද ඇවිද ඉන්න ගමන් දේවාලේ හඳුන්කුඩමේ ෆොටෝ එකක් ගන්න කියලා ඒ දිහා බලාගෙන කල්පනා කරා දැන් දේවාභරණ ගැන මොනවද ලියන්නේ කියලා . දන්න කතාව හරිම පරස්පර විරෝධියි .ඒත් දැන් ලියන්න වෙන්නේ ඒක තමයි . ඔන්න එහෙනම් ඒක ලියනවා . හැබැයි මමත් මේකට එකඟ වෙන්නේ අඩුවෙන් . මේ කතාව කියවලා සමන් දෙවියන් ගැන කිළුටක් කහටක් ඇති කරගන්න එහෙම ඕන නෑ ඔන්න අපේ කස්ටිය හරිය .

ලංකේශ්වර උතුම් මහා රාවණ රජතුමා සීතා දේවිය පැහැරගෙන ආවට පස්සේ වානර සේනාව එක්ක ලංකාවට ඇවිත් රාම කුමාරයා සීතා දේවිය නැවතත් ඉන්දියාවට රැගෙන යනවා . මේ වෙනුවෙන් රාම හා රාවණා අතර විශාල යුද්ධයක් ඇතිවෙනවා . මේ කතාව හැමෝම අහලා ඇතිනේ . මේ යුද්ධයෙදි රාවණා මරන්න බැරිමතැන රාවණා මරන්න අවශ්‍ය ආකාරය විභීෂණ කුමාරයා රාම කුමාරයට කියනවා . ඒ හෝඩුවාව මත පදනම් වෙලා රාම කුමාරයා දෙතනගල කන්දේ කඳු මුදුන් දෙකට තමන්ගේ එක දණහිසක් හිරකරලා රාවණාගේ බල කේන්ද්‍රස්ථානය වෙච්ච පෙකනියට හී පහරක් විදිනවා .

මේ විදින හී පහර නිසා රාවණා මිය යනවා හරි නැත්නම් සිහිසුන් වෙනවාහරි දෙකෙන් එකක් වෙනවා . ඒක නෙවෙයි වැදගත් සිද්ධිය . පෙකණිය පලාගෙන ඇතුල්වෙන ඊතලය රාවණාගේ පිටත් පළාගෙන පිටවෙලා ඇවිත් වටෙන්නේ හබරල ගාලක් අස්සට . ඒ හබරල ගාල තිබ්බ ප්‍රදේශය හබරල ගොමුව හබරගොමුව පස්සේ සබර ගමුව බවට පත් උනා . මේ ඊතලය සබරගමුවේ අය දේවාලයක් හදලා තැම්පත් කරලා තියෙනවා . මේ දේවාලය පස්සේ කාලෙකදී සමන් දේවාලය බවට පත් උනා කියලා තමයි කියන්නේ . රාවණා හිටියේ ඉතාම ඈත අතීතයේ . ඒ කාලයේ ඉඳලා මේ සමන් දේවාලය පැවත එනවා වෙන්න පුළුවන් .

මොකද මම එහෙම කියන්නේ අපේ ආගිය කතා බ්ලොග් එකේ හසිත චාමිකර අයියා මගේ පළවෙනි පෝස්ට් එකේ ලියලා තියෙනවා කමෙන්ට් එකක දුටුගැමුණු රජතුමාගේ කාලයේ මේ සමන් දේවාලය තිබුණා කියලා සාක්ෂි කීපයක් තියෙනවා කියලා . ඒ නිසා මේ කතාව ඇත්ත වෙන්න පුළුවන් .





ඒවගේම බලංගොඩ බොල්තුඹේ ප්‍රදේශය එක්ක රාවණාගේ සම්භන්ධයක් තියෙනවා කියලත් මම කියවලා තියෙනවා ලිපි කීපයක . බොල්තුඹේ තියෙන්නෙත් සමන් දේවාලයක් . මේ බොල්තුඹේ සමන් දේවාලය මගින් කරන ලද විශේෂම රාජකාරිය තමයි පෘතුගීසි ආක්‍රමණයන් තියෙන කාලේ සබරගමුව මහා සමන් දේවාලයේ දේවාභරණ ආරක්ෂා කරන එක .

දැන් මෙහෙම කිව්වට සමන් දේවාලයේ ඊතල වගේ දේවාභරණ කීපයක් තියෙනවා . ඒ නිසා මට මෙහෙමත් අදහසක් කියන්න පුළුවන් . මේ සමන් දේවාලයේ තියෙනවා හයවෙනි පරකුම්බා රජතුමා ලබාදීපු සන්නසක් . ඒකෙ තියෙන්නේ ලක්ෂමණ දේවාලය කියලා . ඔන්න ඒ සන්නස කිරිඇල්ලේ ඥාණවිමල හාමුදුරුවන්ගේ සබරගමුවේ පැරණි ලියකියවිලි කියන පොතෙන් මම උපුටා ගත්තා .

















මට හිතනවා එහෙම යනකොට මේ රාමගේ මල්ලි ලක්‍ෂ්මන කුමාරයා වෙනුවෙන් හදපු දේවාලයක්ද කියලා . රාම විදපු ඊතලය තැම්පත් කරලා ලක්‍ෂ්මන වෙනුවෙන් දේවාලයක් හැදුවා වෙන්නත් පුළුවන් . තව මෙන්න මෙහෙමත් කතාවක් තියෙනවා .

මේ සමන් දේවාලය දැන් තියෙන තැන ඉස්සර පන්සලක් තිබුනලු . ඒ පන්සල හඳුන්වලා තියෙන්නේ සපරග්‍රාම විහාරය කියලා . මේ කාලයේ ඉඳලා තියෙනවා සීලවංශ කියලා හාමුදුරු කෙනෙක් . උන්නාන්සේ සිරීපාදයේ තිබුණ සමන් දෙවියන්ගේ සුදුහඳුන් දේව ප්‍රතිමාවක් මේ සපරග්‍රාම විහාරයට වැඩම කරවලා මේ විහාරය සමන් විහාරය බවට පත් කලාලු . පස්සේ සමන් වෙහෙර සමන් දේවාලය බවට පත් උනා කියලත් කියනවා .

මේ කොයි ආකාරයකටහරි සමන් දේවාලයේ දේව ප්‍රතිමාවලට අමතරව ඊතල කීපයක් තියෙනවා කියලා මට විශ්වාසයි . තව දෙවියන් වෙනුවෙන් රජවරු පූජා කරපු ආභරණත් දේවාභරණ විදියට පිළිගැනෙනවා . සමන් දේවාලයේ වාර්ෂික අසල මහා පෙරහැරේ , අලියා පිටේ වැඩම කරවන්නෙත් , කුමාර රථයේ වැඩම කරවන්නෙත් , දෝලාවේ වැඩම කරවන්නෙත් මේ ඊතල .

දේවාලේ පෙරහැර ගෙට ගෙවදිනකොට මම කොහොමහරි මේ ඊතල වැඩම කරවනවා බලන්න දේවාලේ උඩමළුවට දුවනවා . ගිය අවුරුද්දේ සිංදුවත් සෙට් උනා මේ දිවිල්ලට . කුඹල් පෙරහැර දවසකත් මම දැක්කා දේවාලේ ඇතුලෙදි දෝලාවෙන් ඊතලය එලියට අරගෙන හඳුන් කුඩමට වැඩම කරවන්න කපු මහත්මයාගේ හිස මතට ගන්නවා .


ඒ නැතත් සමන් දේවාලයේ දවල් පෙරහැර දවසට ඕනෑම කෙනෙක්ට පුළුවන් අලියා පිටේ වැඩම කරවන රන් පැහැති මේ ඊතලය හැබැහින්ම දැක ගන්න . මොකද දවල් පෙරහරට මේ ඊතලය සුදු රෙදිවලින් ඔතන්නේ නැතුවම වැඩම කරවන නිසා . දේවාභරණ ගැන කියන්න තියෙන්නේ ඔහොම කතාවක් තමයි .

සමන් දේවාලය සමන් දෙවියන් වෙනුවෙන් කැපවෙලා තියෙන්නේ . ඒනිසා මේ රාවණා රාම කතා හිතට ගන්නේ නැතුව සමන් දෙවියන්ට පින් දුන්නට කමක් නෑ ඉතින් . කොහොම වෙතත් මේ දේවාභරණ දේවාලයෙන් පිටතට වැඩම කරනකොට අහසින් වතුර බිංදුවක් පොලවට වැටුනේ නැති දවසක් කියන්නම බැරි තරම් . සමහර අවුරුදුවල මේ ආභරණ වැඩම කරවන අලියා වස්වැදිලා වියරුවටෙනවා . ඒකත් දෙවියන්ගේ අනුහසක් කියලා තමයි කියන්නේ

මේ තියෙන්නේ සමන් දේවාලේ පෙරහැර ගෙට ගෙවදිනකොට දේවාභරණ වැඩම කරවන වීඩියෝ එකක් . 

එහෙනම් ආයෙත් පෝස්ට් එකකින් එන්නම් .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!!

වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment