රත්නපුර " කාර්තිගේෂන් " ස්මාරකය





( මේක ප්ලේ කරන්න )




( මුල තියෙන්නේ මගෙ කතාව . දෙවෙනි භාගය තමයි ස්මාරකය ගැන කියන කතාව . මගෙ කතාව කියවන්න අකැමති අයට ලිපිය මැද තියෙන ගීතය ගාවින් ඉරක් ගහලා වෙන් කරලා ඇති . එතන ඉඳලා පහලට කියවන්න )

රත්නපුරේ ඉන්න අපිට සමන්දෙවියන්ගේ පිහිටෙන වැස්සෙන් නම් අඩුවක් නැහැ . ඒ නිසාම රත්නපුරේ අපිට කළුගඟ උතුරලා පිටාර ගලාගෙන යන ගං වතුර කියන දේ අරුමයක් නෙවෙයි . අද මම කියන්න යන්නේ ගං වතුර එක්ක බැඳිච්ච කතාවක් . සිංහල අවුරුද්ද පහුවෙලා දවස් හතලිස් පහ පැන්නට පස්සේ රත්නපුරේට අනිවාර්යෙන්ම ගංවතුරක් එනවා කියන එක ප්‍රසිද්ධ රහසක් . මම අද කියන්න යන්නේ මෙහෙම ගංවතුරක් නිසා ජීවිතය පූජා කරපු කෙනෙක් වෙනුවෙන් හදපු ස්මාරකයක් ගැන . ඊට කලින් මම කියන්නම් මට ගං වතුර ගැන තියෙන අත්දැකීම් ගැන .

මම ඉන්නේ නම් කඳුකර ප්‍රදේශයක . අහ් මෙහෙම කියන්න පුළුවන් . පොත්ගුල් විහාරය තියෙන කන්ද තියෙනවනේ . ඒ කන්දේ හරියටම අනික් පැත්තේ පහල තමයි වයලීනෝ පදිංචි වෙලා ඉන්නේ . ඒ නිසා අපිට තියෙන්නේ ගං වතුර බයට වඩා නාය යයි කියන බය . කෙසේ වෙතත් සමන් දෙවියන්ගේ පිහිටෙන් අපි තාමත් යහතින් ඉන්නවා .

මම සීවලියට ගියේ 2002 අවුරුද්දේ . ඒ හය වසරට . 2003 අවුරුද්දේ මම හත වසරේ . මේ සිදුවීම් පෙළ මගේ හිතෙන් කවදාවත් අයින් කරන්න බැරි සිදුවීම් මාලාවක් විදියට තැම්පත් වෙලා තියෙනවා . මම බර්ත්ඩේ එක තියෙන්නේ මැයි මාසයේ හරියටම මාසයේ මැද දවසේ . කොහොමහරි ඉතින් 2003 අවුරුද්දේත් මගෙ උපන්දිනය වෙනුවෙන් අපේ ගෙදර පොඩ්ඩක් විශේෂ උනා . හැමදාම මගෙ උපන් දිනයට එන නෑයෝ කස්ටියක් ඉන්නවා . එදත් ඒ නැන්දලා අක්කලා අයියලා මාමලා මගේ උපන් දිනය දවසට අපේ ගෙදර පුරුදු විදියටම ආවා .

මට මතකයි එදා වෙසක් පොහොය දවසක් . ටීවී එකේ පටාචාරා කියන ෆිල්ම් එකත් පෙන්නුවා . මම ඒ ෆිල්ම් එක බාගෙට වගේ බලනකොට අහස හොඳටම කළුවෙලා ගොරවන්න පටන් ගත්තා . එවෙලේ අම්මා මට කිව්වා ඕක ඔෆ් කරලා දාන්න දැන් අකුණු ගහන වෙලාවනේ කියලා . පස්සේ අර මගේ උපන් දිනය වෙනුවෙන් ආව අයත් කාලා බීලා ඉක්මනටම යන්න ගියා මහා වැස්සක් එන්න හදන නිසා .

දැන් වෙලාව හවස තුනට විතර . ඒත් රෑ වගේ අහස කළුවෙලා . මම නිදාගන්න ඇඳට හරියටම උඩින් උළු කැටයක් වෙනුවට වීදුරුවක් දාලා තිබුණා එලිය වැටෙන්න . මම ඇඳටවෙලා රෙද්දක් පොරවාගෙන වීදුරුවෙන් පේන අකුණු එළි දිහා බලාගෙන හිටියා . මට එහෙමම නින්ද ගිහින් ඇහැරුනේ රෑ හතට විතර . එවෙලේ ගෙදර කරන්ට් ගිහින් තිබුණා . වැස්ස හොඳටම වැඩියි . මම කාලා එහෙමම ආයෙත් නිදාගත්තා . පහුවෙනිදා උදෙත් ඇහැරෙනකොට හොඳටම වහිනවා . ඒ දවසෙත් දිගටම වැස්සා . දිගටම වහිනවා කියන්නේ වැස්ස අඩුවෙලා විනාඩියෙන් ආයෙත් හෝ..............ගාලා වහින්න පටන් ගන්නවා.





කොච්චර වැස්සද කියනවනම් මගෙ උපන් දිනය දවසේ වහින්න පටන් ගත්ත වැස්ස දවස් තුනක් එක දිගට වැස්සා . ගං වතුර ගලලා කියලා ආරංචි උනේ තුන්වෙනි දවසේ . ඒත් එලියට යන්නවත් බෑ වහිනවා . හතරවෙනි දවසේ අපේ අම්මා මාව එක්ක ගියා ටවුන් එකේ ගං වතුර බලන්න . රත්නපුරේ මුවගම තියෙන පාලමේ යට ගෑවෙන නොගෑවෙන ගානට වතුර . මුළු ටවුන් එකම යටවෙලා . වැවක් වගේ .

මම ගං වතුර පෑගුවා . හැමෝම වගේ ගං වතුර පෑගුවා . ඒ ආසාවට . මොකද එහෙම වතුරක් අපි ජීවිතේට දැකලා තිබ්බේ නැති නිසා . ගං වතුර ගලනවද කියලා දැනගන්න අපිට තිබුණ හොඳ මිනුමක් තමයි අපේ ගෙදර ලිඳ . අපේ ගෙදර ලිඳ උතුරන්න තරම් වැස්සොත් අපි දන්නවා අනිවා දැන් රත්නපුරේ නගරය ගංවතුරෙන් යට වෙලා කියලා .

එදා ඉතින් ගංවතුර බලලා ආපහු එනකොට අපිට හම්බුණා අපේ ආච්චිඅම්මගේ හොඳම යාළු ආච්චිව . ඒ ආච්චි පාර අයිනේ ඉන්නවා . ඒ ආච්චිලා ඉන්න පාරෙත් එවෙලේ ගං වතුර තියෙනවා අපි දැක්කා . ඉතින් ඒ ආච්චි අපේ අම්මගේ අත අල්ලගෙන කිව්වා " කන්නාඩිය විතරයි දුවේ ගන්න පුළුවන් උනේ . එක පාරට වතුර එනකොට අපි උඩහට ආවා " කියලා . එවෙලේ තමා ගං වතුරේ තියෙන අසුන්දර බව මට තේරුණේ .

පස්සේ ගෙදර එනකොට අපේ ගෙවල් පැත්තේ අය ගං වතුරෙන් කරදර වෙච්ච අයට කෑම දෙන්න සූදානම් කරනවා . ඒ කාලේ ගමේ හැමතැනම කොස් හැදිලා තිබුණා . අපේ වත්තේ තිබ්බ ගස් වලත් කොස් පැහිලා තිබුණා . ඉතින් හැම ගෙදරකින්ම වගේ ගස්වල තිබ්බ කොස් කඩලා සුද්ද කරලා එක ගෙදරකට එකතු කරලා ඒවා තම්බලා පොල් සම්බෝල හදලා බතුත් එක්ක අරන් ගිහින් අසරණ වෙච්ච අයට බෙදලා දුන්නා බඩගින්න නිවා ගන්න .

මට මතකයි අපේ මාමලා එහෙම බෝට්ටු වලින් තමයි කෑම ගෙනිහින් දීලා තිබුණේ . ඊට පස්සේ මාසයක් විතර යනකල් ගංවතුර ආධාර දීමේ වැඩසටහන් තිබුණා මේ අවතැන් වෙච්ච අයට ආධාර කරන්න . අපේ ඉස්කෝලේන් එකතු කරා අපේ පරණ සටහන් පොත් එක්ක පාසැල් නිල ඇඳුම් . සටහන් පොත් ඇඳුම් ගං වතුරට ගහගෙන ගිය ළමයින්ට පාඩම් කරන්න අඳින්න ඒ පොත් ඇඳුම් බෙදලා දීලා තිබුණා .

අපේ නෑදෑයෝ කස්ටියක් ඉන්නවා කළු ගඟ කිට්ටුවම . එයාලගේ ගෙදරට ගං වතුර ආවම අපේ ගෙදරින් කෑම හදලා ගිහින් දෙනවා . ඉස්සර කලේ ගං වතුර ගැලුවම අපේ සීයා කෑම ටික ඔලුව උඩ තියාගෙන ගං වතුරේ බැහැල එයාලට කෑම ගිහින් දෙනවා කියලා අපේ අම්මා දවසක් මාත් එක්ක කිව්වා . මේ ගං වතුර අවුල නිසාම ගඟ කිට්ටුව තියෙන ගොඩක් ගෙවල් තට්ටු දෙකට තමයි හදලා තියෙන්නේ . වතුර එනකොට බඩුටික අස් කරගෙන උඩ තට්ටුවට වෙලා බලාගෙන ඉන්නවා වතුර බැහැලා යනකල් .

ගං වතුර ලස්සන උනාට ඒ පිටිපස්සේ තියෙන්නේ හරිම දුක්බර කතා ගොඩක් . රත්නපුරේ පලාවෙල ලාවලු කන්ද කියන කන්ද නාය ගිහින් එක ගමක් එහෙම පිටින්ම මිහිදන් කරලා තිබුණා . මමත් ගියා ඒ නාය ගියපු තැන බලන්න . මම යන වෙලෙත් හමුදාවේ අය මිනියක් ගොඩ ගත්තා . ගං වතුර නිසා ගොඩක් අය මැරිලා තිබුණා . තවත් ගොඩක් අය අවතැන් වෙලා තිබුණා . මෙන්න මේ ගීතය ආවේත් ඔන්න ඔය ගං වතුර ආපු කාලේ .






=======================================================================


ඉතින් අද මම කියන්න යන්නේ රත්නපුරයට 1913 අවුරුද්දේ ආපු ගං වතුර ගැන විශේෂ සිදුවීම් ටිකක් . ඒ ගංවතුර මට්ටම රත්නපුර " වේස් අනුස්මරණ " ගොඩනැගිල්ලේ , එහෙමත් නැත්නම් කවුරුත් වගේ දන්න රත්නපුර මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ සටහන් කරලා තියෙන්නේ මෙන්න මෙහෙම .



මම මේ ෆොටෝස් ගන්න ටවුන් එකේ ඇවිදින ගමන් නිකමට වගේ කල්පනා කරලා බැලුවා කොච්චර විතර වතුරක් රත්නපුරේ යටකරන්න ඇත්ද කියලා . මහපාරේ ඉඳල මේ සලකුණට අඩි අටක විතර උසක් තියෙනවා . ඒ උසත් එක්ක හිතලා බැලුවම මේ ගං වතුර කොච්චර බිහිසුණු එකක්ද කියලා හිතාගන්න පුළුවන් . මේ ගංවතුර ගැන ඒ කාලේ හිටපු ආර් එන් තේන් කියන රත්නපුරේ ඒජන්තවරයා තමන්ගේ දින සටහන් වල සටහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම .

එතුමාගේ සටහන් වලට අනුව මේ ගං වතුර ගලන්න වහින්න පටන්ගෙන තියෙන්න 1913 ඔක්තෝම්බර් 4 වෙනිදා . එතුමා කියනවා දිසාපති නිළනිවස පිටිපස්සේ තියෙන වෙල්යාය වතුරෙන් පිරිලා තියෙන්නේ , ඒ නිසා මේ වතුර ඇල දිගේ ගලාගෙන ගිහින් ගඟට එකතු උනාම ගං වතුරක් ඇතිවෙන්න පුළුවන් කියලා .

කොහොමහරි 5 වෙනිදා වෙනකොට ටිකක් වැස්ස පායලා තිබිලා තියෙන්නේ . ඒත් දිසාපති වලව්ව වටේ වතුරෙන් යටවෙලා තිබුන නිසා මේ අය වලව්වේ හිරවෙලා තමයි ඉඳලා තියෙන්නේ . ඒ කාලේ රත්නපුරේ දිස්ත්‍රික් ඉංජිනේරු වරයා වෙලා ඉඳලා තිබුණේ එස් ටී කාර්තිගේෂන් කියන මහත්මයා . එතුමා දිසාපති තුමාගෙන් අහලා තියෙනවා වතුර ගලලද කියලා . ඒ වගේම එවෙලේ දිසාපති තුමා දැනගෙන තියෙනවා රත්නපුරේ පොලීසිය මහජන පොළ එහෙමත් වතුරෙන් යට වෙලා තමයි තිබුනේ කියලා . 

මේ වෙලාවේ දිසාපති තුමා වතුරේ බැහැලා ඇවිත් තියෙනවා නගරය කොහොමද කියලා බලන්න . එතුමා සටහන් කරනවා එවෙලේ වතුර මට්ටම එතුමාගේ වැලමිටට වඩා ඉහලින් තිබුණා කියලා . පස්සේ මෙතුමා ගිහින් තියෙනවා රත්නපුරේ නගර මධ්‍යයේ තියෙන බලකොටුව පැත්තට . කොටුවෙන් ඒ වෙලාවේ ලොකු වතුර පාරක් එන නිසා එතුමා කොටු දොරකඩින් ඇතුල් වෙන්නේ නැතුව දිස්ත්‍රික් ඉංජිනේරු නිල නිවාස පැත්තට ගිහින් .




එවෙලේ තමයි එතුමා දැකලා තියෙන්නේ ඉංජිනේරු තුමාගේ නිළ නිවසේ වගේම කාර්යාලයේත් අවතැන් වෙච්ච අය ඉන්නවා කියලා . හවස් වෙනකොට දිසාපති තුමා ආයෙත් දිසාපති වලව්ව පැත්තට යන්න කල්පනා කරලා තියෙනවා බිරිඳයි දරුවනුයි වලව්වේ හිටපු නිසා . ඒත් පයින් යන්න බැරි තරමට වතුර වැඩිවෙලා නිසා එතුමා පොඩි බෝට්ටුවක් අරගෙන තමයි ගිහින් තියෙන්නේ වලව්වට . 

ඔයාලා දන්නවද දන්නේ නෑ රත්නපුරේ පරණ ආයුර්වේද රෝහල තමයි ඉස්සෙල්ලාම රත්නපුරේ හදපු ඉංග්‍රීසි බෙහෙත් ශාලාව කියලා . ඉතින් මේ වෙලාවේ දිසාපති තුමාට දැනගන්න ලැබිලා තියෙනවා රෝහලත් යට වෙලා කියලා . පස්සේ දිසාපති තුමා බෝට්ටුවකින් ගිහින් බලනකොට තමයි දැකලා තියෙන්නේ රෝහලේ ඉන්න සීයක් විතර ලෙඩ්ඩු අනාත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා කියලා . 


හයවෙනිදා වෙනකොට පිරිමි රෝගීන් එතකොට තිබුණ පරණ හිරගෙදරටත් යවලා තියෙනවා වතුර වැඩි නිසා . පරණ හිරගෙදර මොකක්ද කියලා දැන් අහන්න පුළුවන් . ඒ තමයි දැනට රත්නපුර ගොවිජන සේවා කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල . මම මේ හැම ගොඩනැගිල්ලක් වටේම ඇවිදලා බලලා තියෙනවා . මේවායේ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ තරමක් දුරට තාමත් රැකිලා තියෙන නිසා ඒවායේ පෞරානික බව දැකගන්න පුළුවන් . 

ඉතින් කල දුටුකල වල ඉහගන්න ඕන නිසා බෝට්ටු කාරයෝ මේ වෙලාවේ තමන්ගේ අය කිරීම් වැඩි කරා වැඩිපුර මුදල් උපයාගන්න . ඒ නිසා මේ බෝට්ටු සේවාවා තහනම් කරමු කියලා යෝජනාවක් ආවත් දිසාපති තුමා ඒකට කැමතිවෙලා නැහැ . මොකද පුළුවන් අය හරි ඒකෙන් බේරෙයි කියලා හිතපු නිසා . මෙයාලා පුළුවන් පුළුවන් හැටියට බෝට්ටු යොදාගෙන මිනිස්සු එහා මෙහා කරලා තියෙනවා . හය වෙනිදා හවස් වෙනකොට වතුර සම්පූර්නෙන්ම වගේ අඩුවෙලා ගිහින් . 

ඉතින් දිසාපති තුමා සටහන් කරලා තියෙනවා ගම් වල මිනිස්සු කඩවල් වලින් කන්න බොන්න දේවල් මිලදී ගන්න නගරයට එනකොට කඩවල් ඔක්කොම වගේ වහලා තිබුණේ කියලා . ඒ නිසාම මිනිස්සු කඩවල් කඩලා මංකොල්ල කන්න පටන්ගත්තලු . ඒ නිසාම දිසාපති තුමා කරලා තියෙන්නේ කඩවල් වල ආරක්ෂාවට පොලීසියෙන් යොදවපු එක .

ගං වතුර ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි . දැන් එමු අපේ කාර්තිගේෂන් ස්මාරකය ගැන කතාවට . මම කලින් කිව්වා මතක ඇති ඔයාලට මේ කාලේ රත්නපුරේ ප්‍රධාන ඉංජිනේරු වරයා වෙලා හිටියේ එස් ටී කාර්තිගේෂන් කියන මහත්මයා කියලා . 

ඉතින් මේ ගං වතුර වෙලාවේ මෙතුමා ගොඩක් මහන්සිවෙලා මිනිස්සුන්ගේ සුභ සාධන කටයුතු වලට දායක වෙලා තියෙනවා . ඒත් එතුමා කරපු පවකට වෙන්න ඇති එතුමාට ඒ ගං වතුරෙන්ම තමන්ගේ ජීවිතයට සමු දෙන්නත් සිද්ද වෙලා තියෙන්නේ . 

රත්නපුරේ ඔසුසල දැනට පිහිටලා තියෙන්නේ මධ්‍යම බස්නැවතුම්පල කිට්ටුවමයි . මේ ස්ථානයේ පාරේ එහා පැත්තේ පහලින් තියෙනවා වගුරක් . මේකට කියන්න " නාගහමුත්තෙට්ටුව වගුර " කියලා . එක පැත්තකින් මේ වගුර මායිම් වෙන්නේ රත්නපුර කෞතුකාගාරය පිහිටලා තියෙන ඇහැලේපොළ වලව්වෙන් . ආ මට තව දෙයක් කියන්න අමතක උනා . ඒ ඇහැලේපොළ වලව්ව තමයි මේ දිසාපති වලව්ව කියලා කිව්වෙත් . මොකද ඇහැලේපොළ නිළමේ හිරභාරයට ගත්තට පස්සේ මේ වලව්ව ඉංග්‍රීසි දිසාපති නිල නිවාස බවට පත් උනා . දැන් තමයි කෞතුකාගාරය විදියට භාවිතයට ගන්නේ . 





ඉතින් ගං වතුර තියෙන වෙලාවේ කාන්තාවන් කීප දෙනෙක් මේ නගහමුත්තෙට්ටුව කියන වගුරේ ගහගෙන යනවා දැකලා තියෙනවා මේ කාර්තිගේෂන් කියන ඉන්ජිනේරුතුමා . එතුමා වතුරට බැහැලා පීනලා ගිහින් මේ අයව බේරගන්න උත්සාහ කරන්න . ඒත් අවාසනාවන්ත විදියට එතුමාටත් ඒ වතුර පාරේම අවසන් ගමන් යන්න සිද්දවෙලා . 

පස්සේ රත්නපුරේ පරිපාලන නිලධාරින් සහ ඉංජිනේරු නිලධාරීන් එකතුවෙලා එතුමා වෙනුවෙන් රත්නපුර කෞතුකාගාරය පිහිටලා තියෙන ස්ථානය අසල පාර අයිනේ මෙන්න මේ ස්මාරකය ඉදි කරවලා තියෙනවා . පාර පළල් කරනකොට මේක පේමන්ට් එකට අහුවෙලා අදටත් යහතින් තියෙනවා . වෙලාවකට මල කරදරයක් මේ ස්මාරකය . මොකද පේමන්ට් එක මැදනේ තියෙන්නේ . ඒත් කාර්තිගේෂන් මහත්තයා රත්නපුරේ ජාති ආගම් බේදයක් නැතිව උදවු උපකාර කරපු කෙනෙක් . ඒ නිසා අපි එතනින් යන එන වෙලාවට එතුමාව මතක් කරගෙන යන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනා දෙයක් .

මේ කුලුන කළුගල් කුට්ටි තියලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ . උස මීටර් දෙකක් විතර වෙනවා . පාදම මීටරයක් විතර දිග පළල සමචතුරශ්‍රාකාර හැඩයක් ගන්නවා . ඒත් කුලුනේ උඩට එන්න එන්න දිග පළල ටිකක් අඩුවෙන්න තමයි හදලා තියෙන්නේ . කුලුනේ ඉහල කොටසේ එක පැත්තක මෙන්න මෙහෙම සටහන් කරලා තියෙනවා . ඔයාලත් කවදාහරි මේ කුලුන ගාවින් යනකොට මේක කියවලා බලන්න . රත්නපුරේ පැත්තේ එන්න වෙන්නේ නැති අයට බලන්න මම ඔන්න ඒකෙ ෆොටෝ එකක් අරන් දැම්මා . 


                                      




එහෙනම් ආයෙත් එන්නම් තවත් ලිපියක් අරගෙන . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

This is a short biography of the post author. Maecenas nec odio et ante tincidunt tempus donec vitae sapien ut libero venenatis faucibus nullam quis ante maecenas nec odio et ante tincidunt tempus donec.

No comments:

Post a Comment