දෙව්රජුන් වැඩි මග ඔස්සේ 2015





සබරගමුව මහ සමන් දේවාලයේ 2015 වර්ෂයේ ඇසළ මහා මංගල්‍යය ගිය සතියේ පවත්වලා අවසාන උනා . ඉතින් වෙනදා වගේම මේ පාරත් දෙවේලේ පෙරහැර දවසක සහ මහ පෙරහැර , ඒ කියන්නේ රන්දෝලි පෙරහැර බලන්නත් වයලීනෝ ගම රට බලා ආවා අනිත් වැඩ රාජකාරි ඔක්කොම පැත්තක දාලා . මේ පාර හිතාගෙන හිටියා වගේම දේවාලයේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා වීඩියෝ කරගන්න පුළුවන් උනා . ඉතින් අද පොස්ට් එකෙන් වැඩිය යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ . ඔයාලා මේ වීඩියෝ ටික බලලා සමන් දේවාලයේ පෙරහැර සංස්කෘතිය ගැන අදහසක් ගන්න .

මේ වීඩියෝ ටික ගන්න ඕන නිසාම වයලීනෝ , පෙරහැර පටන්ගන්න කලින් ඉක්මනට දේවාලෙට ගොඩ උනා . ඊට පස්සේ ඉතින් අවුලක් නෑ . වෙන්නේ මොනවද ඔකොටම කැමරාව අල්ල අල්ල වීඩියෝ කරා . දේවාලයේ කාර්යමණ්ඩලය මේ වීඩියෝ කිරීමට භාදා නොකිරීම ගැන ඒ ඇත්තන්ට පිං දෙන්න ඕන මේ වෙලාවේ .

ඒ වගේම දේවාලයේ තේවාව සිද්ද කරන කාර්යමණ්ඩලයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් ඕන . මේ වීඩියෝ කීපයේ කියන්න තරම් විශේෂ දෙයකට තියෙන්නේ සමහර තැන්වල වාදනය කරන බුරම්පෙත්තුව කියලා හඳුන්වන ට්‍රම්පට් වර්ගයේ නලා දෙක . මේ නලා පිඹලා සංකේතවත් කරන්නේ සමන් දෙවියන්ගේ ඇතාගේ කුංචනාද කිරීම කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ . මොකද මේ නලා දෙක පිඹිනකොට ඇතිවෙන්නේ කුංචනාද කිරීමට සමාන නාදයක් .

සමන් දේවාල පෙරහැර එක පෙරහරක් වගේ පෙනුනට මේ පෙරහැරේ කොටස් පහක් තියෙනවා . ඒවා තමයි පිළිවෙලින්

දළදා පෙරහැර
පත්තිනි පෙරහැර
බිසෝ පෙරහැර
කුමාර පෙරහැර
දේව පෙරහැර

මේවායින් දළදා පෙරහැර කියන පෙරහැර පවත්වන්නේ ඉතාමත් වැදගත් හේතුවක් නිසා . ඒ තමයි කාලයක් දළදා වහන්සේ මේ පෙරහැරේ වැඩම කරා කියන හේතුව . දෙල්ගමුව රජමහා විහාරයේ කුරහන් ගලක් යට දළදා වහන්සේ සඟවා තබපු කාලයේ දළදා වහන්සේ වෙනුවෙන් පෙරහැර පවත්වන්න පුළුවන් කමක් තිබිලා නෑ . ඒ නිසා කරලා තියෙන්නේ සමන් දේවාලයේ ඇසල පෙරහැර කාලයේදී දළදා වහන්සේ සමන් දේවාලයට වැඩම කරවලා දේව පෙරහරට ඉදිරියෙන් දළදා වහන්සේ වැඩම කරවපු එක .

ඒ කාලය තුල දළදා වහන්සේ වඩා හිඳුවලා තියෙන්නේ සමන් දේවාලයේ තියෙන මෙන්න මේ බුදු මැදුරේ . මේ බුදු මැදුරට දළදා ගෙය කියලත් කියනවා . ඉතින් පලවෙනි විමලධර්මසූරිය රජතුමා දළදා වහන්සේ ආයෙත් මහනුවරට වැඩම කරවාගෙන යනතුරු සමන් දේවාලයේ තමයි දළදා පෙරහැර පවත්වලා තියෙන්නේ . මේ නිසා සමන් දේවාලයේ අද දක්වාම දළදා පෙරහරත් දේව පෙරහරට ඉදිරියෙන් ගමන් කරනවා .





දළදා වහන්සේ සංකේතවත් කරන්න සධාතුක කරඬුවක් වැඩම කරවනවා . සධාතුක කරඬුව වැඩම කරවන භාග්‍යය මේ අවුරුද්දෙත් ලැබුණේ නැදුන්ගමුවේ රාජා ඇතාට . මේ තියෙන්නේ පෙරහැරේ ඒ විශේෂ අවස්ථා . සිංහාසන මණ්ඩපයේ කෙරෙන විශේෂ චාරිත්‍ර වාරිත්‍ර ගැන තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලබේවා !


















වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment