බෝධීන් වහන්සේ ආරක්ෂා කරත්වා !






මගේ ලිපි කියවන අයට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ සමන් දේවාලයයි මගෙයි තියෙන සම්බන්ධය . සමහර වෙලාවට සමහර අය කියනවා " උඹ පන්සලක නෙවෙයි දෙවාලෙක් මහන වෙයන් " කියලා . ඒ තරමටම මම සමන් දේවාලයට ගොඩක් සමීපයි . සෝවාන් ඵලයට පැමිණි සුමන සමන් දෙවියන්ගේ ප්‍රධාන දේවාලය තමයි සබරගමුව මහ සමන් දේවාලය කියන්නේ . මම ගොඩක් ලිපිවල මේ සමන් දේවාලයේ කවුරුත් දන්නා දේවල් වගේම නොදන්නා දේවල් පවා විස්තර කරලා තියෙනවා . ඒ තොරතුරු හොයන කාලයේ මට දැනගන්න ලැබුණු දෙයක් තමයි සමන් දේවාලයේ තියෙන බෝධීන් වහන්සේලාගේ වැදගත්කම .

ලොකු විස්තරයක් නැතත් මේ කියන්න යන්නේ ඒ බෝධීන් වහන්සේලාගේ වැදගත්කම සහ උන්වහන්සේලාට වෙලා තියෙන නස්පැත්තිය ගැන . මම පොඩි කාලෙ සමන් දේවාලයට යන එන කාලෙ අපි වන්දනාමාන කලේ දැන් තියෙන බෝධීන් වහන්සේට නෙවෙයි . උන්වහන්සේ පැත්තක වැඩ හිටියා . හැමෝම වගේ වන්දනාමාන කලේ දේවාලයේ පහත මළුවේ , ඒ කියන්නේ පහළ තියෙන වැලි අතුරලා තියෙන මිදුල මැද රෝපණය කරලා තිබුණු පෞරාණික බෝධීන් වහන්සේට .

මේ බෝධීන් වහන්සේ මම මතක ඇති කාලෙ දකින කොටත් තමන්ගේ ජීවිතය අවසන් කරන්න ඔන්න මෙන්න තත්ත්වයක තමයි හිටියේ . ඒත් මිනිස්සු ඒ බෝධීන් වහන්සේට වන්දනා මාන කළා . අපි දේවාලයට ඇතුළු වෙච්ච ගමන්ම මේ බෝධීන් වහන්සේට වැඳගෙන තමයි දෙවියන් වැඩ ඉන්න උද මළුවට ගමන් කරන්නේ . මේ බෝධියේ මම දැක්ක විශේෂ දෙයක් තමයි කුණක් බැහැලා බෝ කඳ මැද ලොකු කුහරයක් හැදිලා තියෙන එක .  ඒ නිසා ඒ කුහරයට මිනිස්සු සල්ලි විසි කරන්න පුරුදු වෙලා හිටියා .

මමත් දවසක් ඕකට කාසියක් දාන්න ඕන කියලා කෑගගහා උද පනිනකොට මට මතකයි අපේ ආච්චිඅම්මා මාව නවත්තලා මට කිව්වා මෙන්න මෙහෙම කතාවක් . ඒ තමයි බෝධීන් වහන්සේට එහෙම කාසි දැම්මම මලකඩ කන කාසි එහෙම තිබුණොත් ඒවා මල බැඳිලා බෝධීන් වහන්සේට විෂ වෙලා බෝධීන් වහන්සේ විනාශ වෙන්න පුළුවන් කියන කාරණාවා . ඇත්තටම පස්සේ කාලෙක තමයි මට ඒක තේරුනේ . කාසි ඇතුළට වැටුනම ආම්ලික වැසි වතුරත් එක්ක මේ කාසි ප්‍රතික්‍රියා කරලා ලෝහ විඛාදනය වෙලා ඒ ද්‍රාවනය අන්තිමට ගහට විස වෙන්න පුළුවන් .

ඉතින් කොහොමින් කොහොම හරි මේ බෝධීන් වහන්සේ කඩා වැටිලා විනාශ වෙලා ගියා . පස්සේ එතන තිබ්බ බෝධි ප්‍රාකාරයත් ඉවත් කරලා දැන් සමන් දේවාලයේ පහත මිදුල තනිකරම පිට්ටනියක් වගේ සමතලා වෙලා තමයි තියෙන්නේ . ඒක හොඳයි . ඒත් කවුරුවත් දන්නවද මේ බෝධීන් වහන්සේලාට කොච්චර ඉතිහාසයක් තියෙනවද කියලා .










මේ බෝධීන් වහන්සේලා රෝපණය කරලා තියෙන්නේ මට ලැබුණු කරුණු කාරණා වලට අනුව දෙවෙනි රාජසිංහ රජතුමා විසින් සමන් දේවාලය නැවත ප්‍රතිසංස්කරණය කරාට පස්සේ . පරංගීන් විනාශ කරපු දේවාලය තමයි එතුමා නැවත ප්‍රතිසංස්කරණය කලේ . එතුමා බෝධීන් වහන්සේලා තුන් නමක් රෝපණය කරවලා තියෙනවා . ඒ වැඩම කරවලා තියෙන්නේ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත්ත ඵලයන්ගෙන් ලැබුණු බෝ පැල . ඒවා තමයි දේවාලයේ දෙපැත්තේ සහ මිදුලේ රෝපණය කරලා තිබිලා තියෙන්නේ . අද එයින් වැඩ ඉන්නේ දෙනමයි . එකක් ඔහේ නිසොල්මනේ තියෙනවා . අනිත් බෝධීන් වහන්සේට තමයි වන්දනාමාන කරන්න ප්‍රාකාර බැඳලා රන් වැට සවි කරලා හදලා තියෙන්නේ .

2015 අවුරුද්දේ මුල සහ සිංහල අවුරුද්ද දවසේ මේ බෝධීන් වහන්සේගේ විශාල අතු දෙකක් දෙවාරයකදී කඩා වැටුනා . බෝධීන් වහන්සේ දිහා බැලුවම මට දැන් පෙන්නේ මිදුලේ වැඩ ඉඳලා විනාශ වෙච්ච බෝධීන් වහන්සේගේ පෙනුම . මේ බෝධීන් වහන්සේත් විනාශ වේගෙන එනවා කියලා තමයි මට පේන්නේ . ඇයි මේකට හේතුව ?

මම අදත් සමන් දේවාලයට ගිය වෙලාවේ හොඳටම වැස්ස . කුඩයත් ඉහලාගෙන බෝධියට වඳින වෙලාවේ මහා හුළඟක් ආවා . මම එතන ඉන්නවා දැකලා මුර කරන අයියා කෙනෙක් කෑගැහුවා මල්ලි ඉක්මනට අයින් වෙන්න කියලා . මම උද බලනකොට තමයි දැක්කේ බෝ අතු ජරබර ගගා ඇඹරෙනවා . අතු කඩා වැටෙයි කියලා තමයි මේ අයින් වෙන්න කියන්නේ .

මම ඇහුවා මුර කරන අයියගෙන් අනිත් බෝධියයි මේ බෝධියයි එකම වයස . ඒත් ඇයි මේක ඉක්මනට දිරන්නේ කියලා . පස්සේ ඒ අයියා කිව්වේ මිනිස්සු බෝමුල් කිට්ටුව තෙල් වර්ග වලින් පහන් පත්තු කරන නිසා කියලා . මම ඉස්සරත් මේ බෝධියෙ පාමුලට ගිහින් බලලා තියෙනවා . ඇත්ත කතාව . මේ බෝධියේ මුලට මිනිස්සු ගිලන් පස , අරිෂ්ට , තල තෙල් , අබ තෙල් , එඬරු තෙල් වගේ දේවල් විසි කරනවා පූජා කරලා ඉවර උනාම . තරහා වෙන්න කාරී නෑ මෙහෙම කිව්වට . ගෑණු උදවිය තමයි මේ වැඩේ ගොඩක්ම කරන්නේ . පූජා කරපු දේවල් අන්තිමට පොහොර වෙන්න කියලා හිතාගෙන වෙන්නැති මෙහෙම විසි කරන්නේ . ඉතින් මේ ජාති වලින් තල තෙල් , අබ තෙල් එඬරු තෙල් හරිම විෂයි . ඒ වගේම තමයි එළඟිතෙල් පහන් කියලා විකුණන කහ පාට ඩයි දාපු ඉටි පුරවපු මැටි පහන් . මේ ඉටිත් අන්තිමට බෝධිය මුල තියෙනවා මම දැක්කා .

ඔයාලා ඕන දෙයක් පූජා කරන්න . ඒත් පහන් පත්තු කරනකොට බෝ මුලෙන් ඈතට වෙන්න පත්තු කරන්න පුළුවන් තරම් වගබලා ගන්න . ඒවගේම තමයි පූජා කරපු කිසි දෙයක් බෝ මුලට හලන්න එපා . මල් නම් කමක් නැහැ . ඒත් ඒකත් එපා . බෝ මුල පිරිසිදුවට තියාගන්න උදවු කරන්න . ඔයාලාගේ තියෙන භක්තිය හෝ ශ්‍රද්ධාව හෝ මොකක් හෝ වේවා ඒ කරන්නේ වැරදි දෙයක් . නොදැනුවත්ව හෝ ඔයාලා ඒ විනාශ කරන්නේ බුදුදහමේ සංකේත වගේම අපේ ඓතිහාසික වටිනාකමක් තියෙන දේවල් . ඔයාලට ඒවගේ දේවල් කරන්නෙම නැතුව ඉන්න බැරිනම් . කැලෑවල්වල තියෙන කපුටු බෝ ගස් වලට පුද පූජා කරලා ඒවාට හලන එකක් හලන්න . අඩුම තරමේ ආගම රකින්න බැරිනම් අපේ ඉතිහාසයවත් රකින්න උදවු කරන්න .

ගුරුකම් කරන දේවගැති මහත්වරුන්ගෙන් ඉල්ලන්නෙත් මේ දේවල්ම තමයි . බෝමුලක් ළඟ ඉඳගෙන කරන ගුරුකම් තියෙනවා කියලා මම දන්නවා . ඒත් ඒවා කරන්න පන්සල් වල තියෙන බෝ ගස් පාවිච්චි කරන්න එපා . මිනිස්සු වන්දනාමාන කරන්නේ නැති අප්‍රකට කැලෑවල්වල තියෙන බෝ ගස් පාවිච්චි කරන්න .

අපේ ඉතිහාසය රකින්න උදවු කරන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment