කදිර දෙව්පුරයට පිල්ලියක් !







( කතාවට කලින් මේක ප්ලේ කරන්න )


මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය 
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

මා විසින් මේ අවධි කරවන්නේ දැනට වසරකට පමණ පෙරාතුව වූ සිද්ධියක් පිලිබඳවය . සැබැවින්ම මෙය ගුරුකමක් හෝ රෝගියෙකු සුවපත් කිරීමක් හෝ නොව . මෙය කියවන ඔබට සිතෙනුයේ මෙය පලි ගැනීමක් ලෙසය . නමුදු මෙය දඬුවම් දීමක් ලෙස දකින්නටද නැතිනම් පලදීමක් ලෙස දකින්නටද ඔබට ඉඩ අවකාශය තිබේ .

සීයා පවසන අන්දමට මන්ත්‍රයේද ගුරුකමේද සත්‍යවාදීන්ගේද පැවැත්මේ ආරක්ෂාව වෙනුවෙන් පුරාණයේ සිට මන්ත්‍රය දත් සියල්ලන්ම සිදු කරන්නට යෙදී ඇත්තේ මෙවැනි කාර්යයන්ය . වරදක් නම් එයට හෘද සාක්‍ෂියේ දඬුවම අනිවාර්යයෙන් ලැබෙනමුත් කරන ලද අකටයුත්ත නිවැරදි කරවන්නට ගුප්ත ශාස්ත්‍රයේ මෙවැනි කටයුතු සම්පාදනය වී ඇති බව මගේ පෞද්ගලික අදහසයි .

දැනට අපගේ වලවුවෙහි කරත්තය දක්කන්නට සිටින්නේ මදක් වයසින් මුහුකුරාගිය කරත්ත කරුවෙකි . ඔහු වලව්වට පැමිණියේ දැනට වසරකට පමණ පෙරාතුවය . සීයා ඔහුව කැඳවාගෙන ආවේ ලොකු සීයාගේ ගමෙනි . එනම් ගම්පහ උඩුගම්පල ප්‍රදේශයෙනි . ඔහු දරුවන් සිටිනමුත් ඔවුන්ගේ සැලකිල්ලෙන් මිදුණු හෙයින් ලොකුසීයාගේ ගමේ පන්සලේ රැඳී සිටි අතර වෘත්තියෙන් කරත්ත කරුවෙක් විය . ඔහුගේ කරත්තයද හරක බානද කුඩා නිවසද දරුවන් විසින් බෙදාගත් අනතුරුව යන එනමං නොමැතිව සිටි ඔහුට අපගේ නිවසට පැමිණීම මහත් ආශ්වාද ජනක කටයුත්තක් විය . ඊට ප්‍රධානතම හේතුව වූයේ ඔහුගේ ලේ නහර ඇටමිදුළු දක්වා කාවැදී තිබෙන කරත්ත රැකියාව කරන්නට ලැබීම වන්නට ඇතැයි මම තරයේ විශ්වාස කරමි . ඔහු අප නිවැසියන්ට ඉතාම ලෙන්ගතුව කටයුතු කරන අතර ඔහුගේ විශ්වාසවන්ත බව පිළිබඳව අපට කිසිම සැකයක් ඇතිවන යමක් හෝ මේ දක්වා සිදු වූයේ නැත .





මාගේ පූර්වෝක්ත කතාවට හේතුප්‍රාප්ත වන්නේ මෙම කරත්ත කරුට කලින් සිටි කරත්ත කරු පිලිබඳවය . හෙතෙම තරුණ , වයස අවුරුදු 27ක් පමණ වන්නෙකි . ඔහුගේ මව පියා ජීවත්ව සිටින අතර ඔහුගේ පදිංචිය කතරගම ප්‍රදේශයයි . සීයා ඔහුව වලව්වට කැඳවාගෙන ආවේ වත්තේ පිටියේ වැඩ කිරීමට වුවත් පසුව ඔහුට කරත්තය භාර විය . කිසි දිනෙක වලව්වට අකටයුත්තක නොකළ හා එවැන්නක් කරතැයි අපද නොසිතූ ඔහු ජීවිතයේ අපට කල ලොකුම අකටයුත්ත සහ ඉන් පසු ඔහුගේ ඉරණම තීරණය වූ අන්දම මෙසේ ගෙනහැර දක්වමි .

ගුරුන්නාන්සේ වලවුව ලෙස හඳුන්වන අපගේ නිවසේ ගුරු පරපුරේ සීයාගෙන් අනතුරුව ගුරුකමට මුලපුරන්නට මාව තෝරාගත්තේ මම පිරිවෙණෙන් ලද භාෂා ශාස්ත්‍ර මනාව හදාරා යම් තත්වයකට පැමිණි පසුවය . ඊට හේතු වූයේ ඝන පූර්ණ උච්චාරණය හා කියවීම මන්ත්‍ර ශාස්ත්‍රයට අත්‍යාවශ්‍යම දෙයක් වූ හෙයිනි . අනතුරුව මා ගතකල කාලයෙන් වැඩි ප්‍රමාණයක් වැය කලේ මන්ත්‍ර ගුරුකම් කට පාඩම් කිරීමෙන් හා සීයාගෙන් ගුරුහරුකම් ගැනීමෙනි .

පාරම්පරික සියලුම ගුරුකම් ලියවී තිබුනේ පුස්කොල පොත් වලය . ඒවා අපි ගුරුපොත් ලෙස නම් කරමින් ගෞරවයෙන් යුතුව අධ්‍යනය කළෙමු . මා ඉගෙනීමට ගන්නා මන්ත්‍ර , එම ගුරුපොත් වලින් කොපි පොත්වල ලියා පාඩම් කිරීමට මම සෑම විටම වග බලාගත්තෙමි . එසේ කරන ලද්දේ එම පුස්කොල පොත් වරින් වර පෙරලීමෙන් ඒවායේ ආරක්ෂාව හා කල් පැවැත්මට භාධා වන නිසා සහ මගෙන් පසු එළඹෙන පරපුරට දීමට එම පුස්කොල පොත් සියල්ල ආරක්ෂා කලයුතු නිසාවෙනි .

ගුරුපොත් කියවීම හා ඒවා පිටපත් කිරීම මා විසින් කරන ලද්දේ නිවසේ ඉදිරිපස ඉස්තෝප්පුවේ කනප්පුවක් උඩ තබාගෙනය . එම පොත් අම්මාද තාත්තාද ආච්චිඅම්මාද වලව්වේ වැඩ කරන අයද අල්ලනටවත් ඉදිරිපත් නුවූයේ ඔවුන්ට ඒවා ඇල්ලීමට තහංචි දමා ඇති නිසා නොව . ගමේ කවුරුන් හෝ වලව්වට පැමිණියද ඔවුන්ද එම පොත් කියවීමට පෙළඹුනේ නැත්තේ සීයාගේ මනුස්සකම් පිටුපස සැඟවී සිටින අමනුස්සයින්ට දක්වන ලද අසීමිත බිය නිසා විය යුතුය .





දිනක් මම තරමක් විශාල එහෙත් විශාලම නොවන පුස්කොල පොතක් රැගෙන කනප්පුව උඩ තබාගෙන පෙරල පෙරෙලා බලමින් කලින්දා නැවතුනු පිටුව සොයමින් සිටියෙමි . එම පිටුව සොයා එතැන් සිට පිටපත් කිරීම ආරම්භ කරත්ම අම්මා මා හට උදෑසන බත් කෑමට එන ලෙස හඬ ගැසීය . විමසිල්ලෙන් සොයාගත් පුස්කොල පිට මම නැවත නොවැසුවෙමි . පුස්කොල පෙරලන පෙරලන වාරයක් ගානේ නූල පුස්කොල සිදුරේ ඇතිල්ලීම නිසා පුස්කොල ඉරීයාමට ඉඩ තිබේ . එනිසා පොත එහෙමම තබා මම බත් කෑම සඳහා එතැනින් ඉවත්වීමි .

බත් කා අනතුරුව මීකිරි කෝප්පයකද රස බලා ඉස්තෝප්පුවට එනවිට , තීන්ත කුප්පියත් උල්පත් පෑනත් මාගේ කොපි පොතත් කනප්පුව උඩ තිබුණා මිස පුස්කොල පොත එහි නොවීය . දුර තියාම එය දුටු මගේ ගමන් වේගය බාල විය . පපුව ගැහෙන ශබ්ධය පවා මට ඇසෙන්නාක් මෙන් දැනිණි . එය වර්ෂ එක්දාස් හාරසිය හැත්තතෑවේ අපේ පරපුරේ කෙනෙකු රචනා කල පොතක් බව මම පොත කියවන විට දැන සිටියෙමි   .  දැන් කල යුත්තේ පොත සෙවීම නොව . සීයාට දැනුම් දීමය .

" සීයේ සීයේ "

" පුතේ මම කාමරේ මොකද කතා කරන්නේ "

" සීයේ ඉක්මනට එන්න "

සීයා වහා කාමරයෙන් මා සිටි ස්ථානයට පැමිණියේය .

" සීයේ මම ගුරු පොතක් මෙතන දිගෑරලා බත් කන්න ගියා . ඒත් දැන් ඒක මෙතන නෑනේ . මම වෙන කොහෙවත් ගෙනිච්චේත් නෑ "

අනතුරුව සීයා එහෙ මෙහෙ පොත සොයන අතරතුරේ මම නිවසතුල සිටින අයගෙන් පොත ගැන විමසන්නට වීමි . එහෙත් ඒ කවුරුන් හෝ පොත ගැන හාන්කවිසියක්වත් දන්නා බවක් පෙනුනේ නැත . අවසානයේදී සීයා සුසුම්ලන්නට වීම මට බලාගෙන සිටින්නට නොහැකි විය . මෙවැනි අතුරුදන් වීමක් අප නිවසේ මම දන්නා කාලෙදී සිදුවී නැත .

" සීයේ අඳුන බලමු . මම එලිය අරින්නම් ? "

කියා මම අංජනම රැගෙන ආවෙමි . එහෙත් සීයා එය වැලක්වීය . පසුව එදින සවස සීයා තමා විසින්ම අඳුන බලන්නට විය . පහන් දල්වා මල් ආසනයේ අඳුන තබා බලනවිට හනුමා පළමුවෙන්ම ගොස් ඇත්තේ කරත්තය දෙසටය . කරත්තයට නැගගත් හනුමන්තා පසුව මතුවී පෙනුනේ තිස්සමහාරාමයෙනි . ඔහු කරත්තයක ගමන් කරන කෙනෙකු පිටුපස ගොස් ඇති අතර එකවරම ඔහුගේ අතෙහි වූ පුස්කොල පොත සීයාට පෙන්වා ඇත .



සීයා එය කියත්ම මම කරත්තය අසලටද ගව මඩුවටද ගියෙමි . හනුමන්තාට වරදින්නේ නැත . දැන් වැරදී ඇත්තේ අපටය . හරකාට කන්නට තනකොලද බොන්නට පුන්නක්කුද දමා නැත , එනම් දැන් කරත්ත කාරයා නිවසේ නැත . ඔහු පුස්කොල පොතද හොරෙන් රැගෙන පලාගොස් ඇත . එම පොත පිටස්තරයෙකු අතට පත්වීම හානිදායකය . එය පිල්ලි යැවීම හා වෙනත් අභව්‍ය ක්‍රියා සම්භන්ධව ඉගැන්වෙන පොතකි . සීයා එය දන්නා බැවින් සීයා ඊළඟට කරන්නේ කුමක්ද කියා අසන්නට මම සීයා ලඟට ගියෙමි .

" සීයේ මම හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා , මොකද වෙනදත් මම ඔහොම පොත් තියලා යනවනේ . අනික මෙච්චර කල් ඔහොම දෙයක් වෙලත් නෑනේ . පොත හොයාගන්නේ කොහොමද අපි ? අරූ දැන් පොත අරගෙන ගිහින් මොනවා කරයිද දන්නේ නෑ . ඕවා ගුණමකු මිනිස්සු ගාවට ගියාම මොනවා වෙයිද ? "

" පුතා වැරද්දක් කලේ නෑ . මම ඒක බලාගන්නම් . පොත තියන එකේ නෙවෙයි වැරැද්ද , හොරෙන් ගත්ත එකයි වැරැද්ද . මගේ වලව්වේ බත් කන එකා මගේ ගුරුකම හොරකම් කරා . "



ටිකෙන් ටික සීයා රෞද්‍ර වන බවක් පෙනුන හෙයින් මම ඒ පිළිබඳව වැඩි දුරටත් සීයා සමග කතා කලේ නැත . . සීයා දැන් නිවසේ කා සමගත් කතාවක් නොමැත . ඔහු කඩුවද පොල්තෙල් ,  මල්  , හඳුන්කූරු ඇතුළු පූජා භාණ්ඩ කීපයක් අතැතිව

" යන් සොහොන් පිටියට , පුතා උදැල්ලක් ගන්න "
කියමින් මා කැඳවීය .

මම උදල්ලද රැගෙන සීයා සමග සොහොනට ගියෙමි . සීයා මට මිනීවළක් පෙන්නා

" මෙතන ඔය උදැල්ල තියන්න , තියලා වෙන්නේ මොනවද කියලා බලාගෙන ඉන්න "

කියා පහන් දල්වා හඳුන්කූරුද දල්වා මතුරන්නට පටන් ගත්තේය . මාගේ ගණනය හරිනම් පැයක් පැය එකහමාරක් පමණ සීයා මන්තර පුරත්ම අඩි තුනක් පමණ උස පුද්ගලයෙක් එකවරම අප දෙදෙනා අසල මතුවී පෙනෙන්නට විය .

" ඔය මිනී වල හාරපන් "
සීයා ඔහුට විධාන කර මාත් සමගම මිනීවලෙන් පසුපසට විය .

එකෙනෙහිම ඉහතකී මිටි පුද්ගලයා මා ගෙන ආ උදැල්ල රැගෙන මිනීවල හාරන්නට විය . ඔහු පොළව කණින වේගය මෙතෙකැයි කියා නිම කල නොහැක . තවත් පැයක් පමණ වන විට ඔහු මිනීවල හාරා පෙට්ටිය මතුකරගත්තේය .

" දැන් ඔය පෙට්ටිය ඇරලා මිනිය ගොඩට ගනින් "

එම මිටි පුද්ගලයා මිනීපෙට්ටිය විවර කර මල කඳ ගොඩට රැගෙන පැන්නේය . මේ සීයා වැඩට ගෙන්වා ගත් අමනුස්ස දිශ්ටියක් බව මට වැටහී ගියේය .

" හා මේ වැඩේ ඉවරයක් වෙනකල් මේ මල කඳ කෙලින් කරන් ඉන්න ඕන "

මිටි පුද්ගලයා ටිකෙන් ටික තරමක් උස පුද්ගලයෙකු බවට පත්වී මළකඳ කෙලින් කර ගත්තේය .



සීයා මල කදට මතුරන්නට විය . වැලි අහුරු අහුරු අතට ගනිමින් මතුරමින් ඒවා මල කඳ දෙසට විසි කළේය . මේ මල කඳ දිරා ගිය මිනියක් නොව . දැනට සතියකට පමණ කලින් මිය ගිය පිරිමියෙකුගේ මල කඳක් බව සොහොන්පල්ලා මා සමග පසු දිනකදී කීවේය .

මන්තර මතුරමින් වැලි ගසත්ම මල කඳේ මුඛය විවෘත වී දිව එලියට එන්නට වීය . එය අඩි දෙකක් පමණ වන විට සීයා මැතිරිල්ල නවතා කඩු පහරකින් එම දිව වෙන් කර ගත්තේය . අනතුරුව අසල පිහිටි හබරල පඳුරකින් කඩා ගත් හබරල කොලයක දිව ඔතා පසෙකින් තැබීය .

" හා දැන් මල කඳ පෙට්ටියට දාලා මිනීවල වහනවා හොඳයි "
මල කඳ අල්ලාගෙන සිටින අමනුස්සයා නැවතත් මිටි වී මල කඳ පෙට්ටියේ දමා උදැල්ලෙන් පස් දමමින් මිනී වල වැසුවේය . වල වසා අවසන් වූ විට සීයා එම පුද්ගලයාට මතුරන ලද වැලි ස්වල්පයක් ගැසුවේය . එවිය ඔහු ක්‍රමයෙන් කුඩා වී නොපෙනී ගියේය .

අප දෙදෙනා නැවත වලව්වට එනවිට අලුයම දෙකට පමණ විය . ඒ ආවේ හබරල කොලයේ ඔතාගත් මිනී දිවද රැගෙනය . සීයා එය පහන් පළ අසල බිම තබා ගෙට ගොඩවී වතුර බී පහන් පැල අසලට නිවසේ සියල්ලන්ටම  එන්නට යැයි කීවේය .

සියල්ලන්ම පැමිණි පසු සීයා මල් බුලත් තටුවක දිව තබා කතරගම දෙවියන්ට කන්නලවු කරන්න පටන් ගත්තේය .



තෙද වරම් පස්වාන් දහසකට බුදුවන්ඩ , රුහුණු කතරගම මහා දේවාලයට කැබලිත්තේ ඔරුබැඳි සියඹලාවට වැඩහිටි කන්දට අදිගෘහිතව වැඩ වාසය කරන කතරගම දිව්‍ය රාජෝත්තමයානන්ට මෙසේ මා කන්නලවු කර සිටින්නේ එදා පටන් අද දක්වා මා කල ශාස්ත්‍රය මනුස්ස පරානයකට සතෙකුට තිරිසනෙකුට කිසියම් අයුරකින් හෝ නරකක් නොකළ බව සත්‍ය වාදී සැබෑවීනම් සතවරුස ගණනක කාලාන්තරයක් තිස්සේ අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා ආදී සියලුදෙනා විසින් සරීරයේ පන සේ රැකගෙන ආ ගුරුකම හොරකම් කල පුද්ගලයා සොයා ඔහු හට පලදී මාගේ ගුරුකම ආරක්ෂා කරදෙන්න ඔබ වහන්සේට මා කරන කනලවුව දිවනෙතින් බලා දිව කනින් අසා වදාරන සේක්වා !!!!!!!!!!!!!!!!!

ලෙස කියමින් සීයා කතරගම දෙවියන්ට බාරවී පඩුරක් ගැටගැසීය . පසුව නිවසේ අනිත් අයට නිවසට යන්නට අවසර දෙනලදී . දැන් සීයා මිනී දිව තබා තිබෙන මල් ආසනය අසල වාඩිවී මන්තර එකින් එක පුරන්නට විය . මම සීයා අසල ඉඳගෙන නිවෙන්නට ආසන්න වන පොල් තෙල් පහන් වලට තෙල් වත් කරමින් ආවතේව සත්කාරයේ යෙදුනෙමි .

" පුතේ පොල් කටු 10ක් විතර අරගෙන ඇවිත් මෙතන ගිනි මැලයක් බෝ කරන්න "

සීයා මට විධාන කළේය .

මම පොල්කටු සොයා වහා ගිනිමැලය දැල්වීමි . සීයා මතුරමින් කිසිම පිළිකුලක් හඟවන්නේ නැතිව මිනී දිව අතට ගත්තේය . අතට ගත් මිනී දිව දෙස බලාගෙන සීයා මතුරන්නට විය .

............ඔඩ්ඩි පිල්ලි දේවතාවා ම කියනා තුරු මෙරඟ මඩලට දිෂ්ටිලාගන් මාගේ ගුරුපොත හොරකම් කල හොරා එලාගන් දිෂ්ටිලාගන් , ඔහුගේ සිරස කල්ලු ගිනි රාම දේවතාවට භාරයි , දෙකන් ඔඩ්ඩි කුමාර දේවතාවාට භාරයි , දෑස නහය පිල්ලි කුමාරී දෙවතාවීට භාරයි , මුඛය ඉන්ද්‍ර නීල දේවතාවාට භාරයි , මුඛය මල් කඩවරීට භාරයි , බෙල්ල මදන ඔඩ්ඩි කුමාරී දෙවතාවීට  භාරයි  , පපුව පිළිකුල් යක්ෂයාට භාරයි , උදරය කාල ඔඩ්ඩි කුමාර දේවතාවට භාරයි , දෑත හෙනගිනි දේවතාවට භාරයි  , දෙකකුල නීල මදන ඔඩ්ඩි කුමාර දේවතාවාට භාරයි දෙදන මරුළු පිල්ලි ඔඩ්ඩි කුමාර දේවතාවාට භාරයි , ප්‍රාණය පිල්ලි මඩුල්ලේ දේවතා හත් කට්ටුවට භාරයි . මාගේ ගුරුකම පිටට නොයවා අන් අතට නොයවා රැකදෙන්න පිල්ලි මණ්ඩලේ දේවතා හත් කට්ටුවට භාරයි ඕඩු ස්වාමියානේ ඕඩු.......

කියමින් සීයා මිනී දිව ගිනි මලයට අතහැරියේය . පසුව තවත් දර පොල් කටු ආදිය දමමින් රැය පහන්වනතුරුම අපි දෙදෙනා තනිවම මේ ගිනි මැලය නිවෙන්නට නොදී ගිනි දැල්වූයෙමු . ඒ අතරතුර මල් යහන ආදිය මම විසින් ඇස කලෙමි . පසුදා උදෑසන සීයා මා සමග ගුරුකමට ගත සියල්ල රැගෙන ගොස් ගඟට දැම්මේය . පොත නැතිවීම පිළිබඳව මාගේ කනස්සල්ල එතෙකින් නිමාවට පත් වූයේ නැත . දින තුනක් එසේ ගතවිය .

හතරවන දිනයේ හිමිදිරි පාන්දර කවුදෝ කෙනෙක්

" අරනෝලිස් අරනෝලිස් " කියමින් සීයා අමතනු මට ඇසිනි .

එවිට එලිය වැටී තිබුනේද නැත . මම ඇඳෙන් නැගිට ගොස් ඉස්සරහා දොර ඇර කවුද කියා බැලුවෙමි . එහෙත් කවුරුවත් සිටියේ නැත . මම නැවත දොර වසා කාමරයට පැමිණ ඇඳට වැටුනෙමි . විනාඩියක්වත් යන්නට පළමුව නැවතත්

" අරනෝලිස් අරනෝලිස් "

කියමින් සීයා ඇමතීය . මම නැවතත් නැගිට වේලාව කීයදැයි බැලුවෙමි . පාන්දර හතරට තව තිබුනේ පැය කාලක් පමණි . මම දොරපොල්ලද රැගෙන ඉස්සරහා දොර විවර කර එලියට බැස්සෙමි . කිසිම හැලහොල්මනක් නැත .

මම මිදුල වටේ ඇවිද නැවතත් නිවසට පැමිණෙන විට සුදු ඇඳගත් ශාන්ත පුද්ගලයෙකු මා ඉදිරියට පැමිණියේය .

" පුතේ අරනෝලිස් ඉන්නවද ? මම උන්නැහේගේ යාලුවෙක් . පොඩ්ඩක් එන්න කියන්න "

එම වචන කන්ඩයද ඔහු පිට කලේ ඉතාම ශාන්තාවය .

" මෙතනින් ඉඳගන්න සීයේ , ගෙදර හැමෝම නිදි , අරනෝලිස් කිය කිය සීයට කතා කරනවා ඇහිලා තමයි මම මේ එලියට ආවේ කවුද බලන්න ඉන්න මම සීයාට කතා කරන්නම්  "

ඉස්තෝප්පුවේ තිබුණු පුටුවක ඔහු හිඳගත්තේය . මා වහාම සීයා අවදි කලෙමි . සීයා අවදිවී ඉස්තෝප්පුවට මා සමග පැමිණියේය . එහෙත් සුදු හැඳගත් පුද්ගලයා එහි නොවීය .

" ඇයි සීයේ මේ මම දැන් එයාට මෙතන වාඩිවෙන්න කියලනේ ගෙට ගියේ සීයා එක්ක එන්න "

" පුතාට හීනයක්වත් පෙනිලා වෙන්නැති හා හා දැන් ගිහින් නිදාගන්න "



මමද සීයාද නිවස තුලට හැරෙනවිට සෙබඩියක් කෑගසනු මට ඇසිනි . මිදුල දෙස බලන විට පිල් කළඹ හකුලාගත් මොණරෙකු හා සෙබඩියන් දෙදෙනෙකු මිදුලේ දක්නට ලැබිණි . මා කිසි දිනක මොනරුන් අපේ ගමේ ඉන්නවා දැක නැත . අපි උන් අසලට ගියෙමු . රජතුන් කට්ටුව සේ ඔවුහූ නොසැලී අපව පිළිගත්හ . සීයාද මමද උන් අසලට ගිය පසු දුටුවේ මොනරාගේ බෙල්ලේ විශාල නාගයෙකු එතී සිටින බවයි . එම නාගයා දරණය ටික ටික දිගහරිමින් මොනරාගේ බෙල්ලෙන් ඉවත්වනවිට අප දුටුවේ අපගේ නැතිවූ අගනා වස්තුවය .

නාගයා අපගේ නැතිවුණු පුස්කොලපොත මොනරාගේ බෙල්ලට තබා එතී ඇති අතර ඔවුන් අපවෙත ඇවිත් තිබෙන්නේ එය උරුමක්කරුවන් හට භාර දීමටය . සීයා දන බිම ඔබා මොණරාට වඳිමින් පුස්කොලපොත දෑතින් ගත්තේය . සීයා ආකාසට්ටාච භුම්මට්ටා ගාථාව කියා දෙවියන්ට පින් දුන්නේය . මොනරා සහ සෙබඩියන් දෙදෙනා මිදුල අයිනේ වදුලට වැදී අතුරුදන් විය . නාගයාද ඔවුන් පසුපස ගමන් කළේය .

අපට අපගේ පොත ලැබිණ . එය කියා නිමකළ නොහැකි සතුටක් ගෙන දෙන්නට විය . සීයාද මමද  මොනරුන් ගැන කථිකා කරන්නට පෙළඹුනේ නැත . ඒත් ඒ කවුදැයි කියා අපට නිගමනය කරගත හැකිවිණි .



මාසයක් යන්නට මත්තෙන් සීයා නිවසේ සියල්ලෝම සමග කතරගම දේවාලයට වන්දනා ගමනක ගියේය . එහිදී සීයා දෙවියන් වෙනුවෙන් කතරගම දේවාලයට පිත්තල පහන් දෙකක් පූජා කළේය . දේවාලයේ සිට එන අතරමගදී පොත සොරකම් කල කරත්ත කරුගේ පියා අපට මුණගැසිනි . සීයා ඔහු සමග කතාබහ කර පුතා ගැන තොරතුරු විමසීය .

" අනේ ගුරුන්නාන්සේ පුතා වලව්වේ ඉඳලා ගෙදර එනගමන් අතරමග වැටිලා ඉඳලා තියෙනවා . පස්සේ ගමේ කෙනෙක් දැකලා වෙද ගෙදරට අරගෙන ගියාම තමයි කියල තියෙන්නේ නයෙක් ගහලා කියලා . කකුලේ දල පාරවල් තිබුණා . නයි විස බස්සන්න බැරුව සති දෙකක් විතර සිහි නැතුව ඉඳලා යන්තම් සිහිය ආවා . ඒත් දැන් පුතාට ඇවිදින්න බෑ . නයා කාපු කකුල පණ නෑ . පස්සේ තමයි පුතා අපිට කිව්වේ උන්දා කරපු විනාසය .

අපි පුතා වැටිච්ච තැන පොත හෙව්වා . ඒත් හොයාගන්න බැරි උනා . ගුරුන්නාන්සේට මූණ දෙන්න බැරි කමටයි වලව්වට ආවේ නැත්තේ . අපේ එකා උනත් මොකද ගුරුන්නාන්සේ ඔය ඌට දෙවියෝ දඬුවම් දීලා තියෙන්නේ මේක කතරගම දෙවියන්ගේ අඩවිය වෙච්චිකොට "


තවත් කතාවකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

6 comments:

  1. කාලෙකට පස්සෙ සීයා සහ මුණුපුරා ඇවිත්. දිගටම ලියන්න. ජය ශ්‍රී.

    ReplyDelete
    Replies
    1. අලුත් චැප්ටර් එකක පලවෙනි කමෙන්ට් එක . මේ බ්ලොග් එකේ කමෙන්ට්ස් ඔක්කොම අයින් කරලා තිබුණේ . මේක තමයි පළවෙනි කමෙන්ට් එක . බොහොම ස්තූතියි ! . ඔව් දිගටම කතා ටික පබ්ලිෂ් කරලා අලුත් කතාවක් ලියන්නත් එක්ක තමයි ඉන්නේ .

      Delete
  2. කතා 3ම එක හුස්මට ආයේත් කියේව්වා..... වයලගේ කාමරයට මුලින්ම එන්නේ අහම්බෙන්.... ඒ එන කොට දාල තිබ්බ කතාව තමයි මලයාලි නාග වෛරොඩිය... ඒක තමයි මුලින්ම කියේව්වෙ... ඊට පස්සේ අයේත් දවසක අහම්බන් වයලගේ කාමරේට ආව... ඒ එද්දි සද එලියේ අසිපත දාල තිබ්බා... ඒක කියවද්දි මතක් උනා කලිනුත් මේ වගේ කතාවච කියේව්වා කියලා... ඊට පස්සේ.. පස්සට පස්සට ඇවිත් බලද්දි කතා ගොඩයි... එදා දවසම කතා ටික කියවලා ඉවර කලා ... ඒ තරම් පට්ටයි...

    ආයෙත් දකින්න ලැබීම සතුටක්.... අර ප්රභාෂ්වර කතාව ආයේ ලියන්නේ නැද්ද..?

    ReplyDelete
    Replies
    1. ඒක මම ඒ බ්ලොග් එකේ ලියන්න හිතුවේ . මේක මේ බ්ලොග් එකේ ලියන්න ඉන්නේ . ඒ කතාවට ප්‍රතිචාර නම් හොඳ මදි . ඒ කතාවේ භාෂාව ටිකක් මහප්‍රාණ වැඩියි කියලා කස්ටිය කියනවා . ඒත් චරිතත් එක්ක මේ භාෂාව ඒකට ගැළපෙන්නේ නෑ වගේ . කල්පනා කරලා බලන්න ඕන .

      බොහොම ස්තූතියි !

      Delete
  3. Anga kilipola yana kathandara..bohoma asawen kiyewwa..Theruwan saranai, siyalu devi rekawaranai..

    ReplyDelete