සර්පවෙද දූතලක්ෂණ විජ්ජාව






ලියන්න කලින් මූලාශ්‍රයත් කියන්න එපාය . විසවෙදකම ගැන පොඩි අයිඩියා එකක් ලබාදුන්නේ අපේ ආච්චිඅම්මා . ආච්චිඅම්මා විසවෙදකම කරපු පවුලක කෙනෙක් . ඒ නිසා එයාට විස වෙදකම , සර්පයින් ගැන පැහැදිලි අවබෝධයක් තිබුණා . සර්පයින් දෂ්ට කලාම ඉහට නගින මරුවිස බස්සන්න ආච්චි අම්මට හැකියාවක් තිබුණා . ලොකුවට වෙදකම කරේ නැති උනාට ආච්චිඅම්මා බෙහෙත් කරලා මතුරලා විස බස්සපු උන්නැහේලා තාමත් අපේ ගමේ ඉන්නවා . ගිය අවුරුද්දේ සිංහල අවුරුද්ද දවසේ අපේ ගෙවල් කිට්ටුව නැන්දා කෙනෙක් ගරුඩෙක් කාලා ගොඩක් අමාරු උනා . ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් අරන් ආවත් විස බැහැල තිබ්බේ නැති නිසා වේදනාව වැඩිවෙලා කෑගගහා තමයි එයා හිටියේ .

එවෙලේ ගමේ ගොඩක් අය ආච්චිඅම්මව ආදරෙන් මතක් කළා හාමිනේ අදත් හිටියනම් කියලා . හාමිනේ නැතුවට මුනුබුරා ඉන්නවා කියලා උන්දලට අමතක වෙලා වෙන්නැති . හැක හැක හැක.......... හැබැයි අන්තිමට වයලීනෝ වෙදමහත්මයා ගමේ සියල්ල විසිර යනකන් ඉඳලා ගෙදර ඇවිත් රත්හඳුන් එකතුකරපු බෙහෙතක් හදලා මමම ගාලා වැඩේ ගොඩ දැම්මා . මොකද ඒ නැන්දා තමයි වයලීනෝ වෙදමහතා බබා කාලේ නෑව්වේ . විස වැඩිවෙලා කෑගහනවා බලාගෙන ඉන්නත් බැහැ ඒ නිසා .







ආච්චිලාගේ පරපුරේ අය වෙදකම කරනකොට සර්පයා ආයෙත් ගෙන්නවලා ඌ ලවාම විස උරවලා ඌව යවන්න දැනගෙන හිටියා  . නයි විස බස්සන්න තමයි ඒ දේ වැඩිපුරම කරලා තියෙන්නේ . 

මේ දූත ලක්ෂණය ගැන නම් ආච්චි අම්මා මට පාඩම් කෙරෙව්වා පොඩි කාලෙම . ඕක කියලා දුන්නෙත් පට්ටම සිද්දියක් වෙච්ච දවසක . අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා හොඳ සයිස් නයෙක් . පොර වෙළඳ කුලේ නැත්නම් ගොවි කුලේ . දවසක් නයා ගෙවල් කිට්ටුවට ඇවිත් වටේ පිටේ කස්ටිය හොඳටම කුලප්පු උනා . ඌ කෑවනම් එතනම පරලොව යන සයිස් එකේ නයෙක් ඌ . එතකොට මම 6 වසරේ විතර .







එදා මමත් එළියට බැහැලා නයා දිහා බල බල ඇවිද ඇවිද හිටියා . කවුරුහරි ඌට වැලි අහුරක් ගැහුවා විතරයි හම්මටසිරි , මූ කිස් ගාලා ආවා මගේ පැත්තට . මට දුවන්නේ කොහාටද කියලා අමතක උනා . මම ඌව මගඇරලා දුවන්න පටන් ගත්තේ මගේ කකුල් වලට අඩියක් විතර දුරට ඌ ආවට පස්සේ . ඒ නයා තාමත් අපේ ගමේ ඉන්නවා . අව්ව තපින්න සමහර දවස්වලට මෙයා එනවා ගල් තලාවක් මුදුනට . කොච්චර උනත් තාම එයා මිනිස්සුන්ට කරදරයක් කරලා කියලා නම් ආරංචි නෑ . හැබැයි එයාට බුරපු බල්ලන්ට , හොටෙන් කොටලා ගේම ඉල්ලපු කුකුලන්ට එහෙම එයා ජම්බු දීලා තියෙනවා .

ඉතින් එදා ආච්චිඅම්මා මට හොඳටම දෙහි කැපුවා විසකුරු සත්තු එක්ක සෙල්ලම් කරන්න යනවා කියලා . ඊට පස්සේ මගෙන් ඇහුවා සර්පයෙක් කෑවට පස්සේ අඳුරගන්න දන්නවද කියලා . මම නෑ කිව්වට පස්සේ තමයි ආච්චිඅම්මා මේ කවි ටික කියලා දුන්නේ . ලියන්නේ නැතුව ගෝලයට කටපාඩම් කරවන්න ආච්චිඅම්මලා හොඳට දන්නවා . ඒත් මම ඒවා ලියලා තිබ්බා අමතක වෙයි කියලා . කිව්වත් වගේම මට දැන් ඒවා මතක නෑ හරියටම . ඇයි ඉතින් පාවිච්චි කරන්නෙත් නෑහැනේ .කාපු සර්පයා කවුද කියලා කියන්න ගණිත කර්මයක් තියෙනවා . ඒකත් මට ආච්චිඅම්මගෙන් හරියටම අහගන්න උනේ නෑ .

(ආච්චිලා ගණන් කරන්නේ අපි වගේ වම් අතේ මහපටගිල්ලෙන් පටන් අරගෙන නෙවෙයි . එයාලා ගණන් කරන්න පටන් ගන්නේ වම් අතේ සුලගිල්ලෙන් . ඊටපස්සේ දහයයි කියලා ගැනලා ඉවර කරන්නේ දකුණු අතේ සුලගිල්ලෙන්)

දූත ලක්සනේ කියලා තමයි ආච්චිඅම්මලා කියන්නේ මේ දූත ලක්ෂණ විජ්ජාවට . සර්පයෙක් කවුරුහරි කෑවට පස්සේ ඒගැන පණිවිඩය අරගෙන වෙද ගෙදරට එන්නේ දූතයා . උන්දා ඉන්න දිශාව , හැසිරෙන ආකාරය ගැන සලකලා බලලා තමයි මේ දූත ලක්සනේ හැදිලා තියෙන්නේ . සමහර වෙලාවල් වලදී වෙද මහත්තයා කියනවා දැන් ගිහින් වැඩක් නෑ කියලා .

සමහර වෙලාවට කියනවා ඉක්මනට යමු මෙච්චර් පැය ගානකට කලින් ගියොත් ලෙඩාව ගොඩ ගන්න පුළුවන් කියලා . එහෙම කියන්නේ මේ දූත ලක්සනෙත් එක්කම එයාලා පංචාංගය ගැනත් සලකලා බලලා .
පංචාංගය කියන්නේ මොකද්ද කියලා දන්නවද මෙයාලා . පංචාංගය කියන්නේ ජෝතිෂ්‍ය විජ්ජාවේ මූලික ඉගැන්වීම් විදියට හඳුන්වන

දින 
තිථි 
නැකත් 
යෝග 
කරණ

කියන මූලික සිද්ධාන්ත පහට . මේවා මත තමයි ගොඩක් දේවල් ගොඩනැගිලා තියෙන්නේ .

කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ වෙදකම කරන අය හරියට කම්පියුටර් වගේ , නැකත් උදාව බැසයාම ගැන කොයිවෙලෙත් හිතෙන් ගණනය කරනවා . එනිසා එයාලගේ ශාස්ත්‍රය කොයිවෙලෙත් අප්ඩේට් වෙවී තියෙන්නේ .

දූත ලක්සනේ කියන්න කලින් තවත් දෙයක් කියන්න ඕන . ඔයාලා මේක කියවලා ඉගෙනගත්තට කමක් නෑ . පොත්වල ප්‍රින්ට් වෙලා තියෙනවා දැක්කට  සයිබරේ දකින්න නොලැබුණ දෙයක් නිසා තමයි මෙහෙම කොටලා මේ දේවල් සයිබර්ගත කරන්න හිතුවේ .

ඒත් දැන් කාලේ මේවා මත තීරණ ගන්න එපා . මේ විද්‍යාව පදනම් වෙන්නේ සිංහල වෙදකම එක්ක . එයාලට තියෙන බෙහෙත් හේත් අනුව තමා ලෙඩා ගැන එයාලා තීරණ ගත්තේ . අනික වෙද ගුරුකුල වලට අනුවත් මේවා වෙනස් වෙනවා . එතකොට එක වෙදෙක්ට බේරන්න බැරි ලෙඩා වෙන වෙදෙක්ට බේරාගන්න පුළුවන් වෙනවා  . ඒ කෙසේ වෙතත් දැන් විෂ බස්සන්න බරහිට වෙදකමට පුළුවන් කමක් තියෙනවා . ඒ නිසා ඉස්සෙල්ලම පස්මහ බැලුම් බල බල ඉන්නේ නැතුව ලෙඩා අරගෙන දුවන්න ඉස්පිරිතාලේ .

ඊට පස්සේ ලෙඩාගේ ජීවිතය ස්ථාවර උනාට පස්සේ සිංහල වෙදකම හරහා ගිහින් ඉතුරුවෙලා තියෙන විසක් තියෙනවනම් ඒවා නැති කරගන්න බලන්න . මොකද සර්ප විසත් එක්ක අක්‍රීය වෙන්න ලොකු අවදානම තියෙන අක්මාව , මොලය , ස්නායු එක්කම වකුගඩු කියන ඉන්ද්‍රියයන් රැකගන්න අපි ඉක්මන් වෙන්න ඕන . එහෙම නැත්නම් ලෙඩාගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි .



ඉඳුරේ සිට කියති නයි වර්ගය කියනු
ගිනිකොණ වයඹ සවුම්‍ය පොළඟා කියනූ
වරුණ කරවැලුන් තෙලිසක් විස කියනු
ගෝනුසු ඉසානේ නියතයි දැන කියනූ

කර කරවැල් උර මාපිල් සබරලකී
දනය පොළොන් වැලමිට නම් තෙලිස්සකී
මූණ බලා රැවුදෙන නාගවිස යකී
මෙලෙස දුට නැතොත් විස නැති සර්පයෙකී

උනා වරල බඳිමින් ඔහු සිටින තැන
උඩ බිම ඉවත විමසා කඳුළු පිසිමින
දෑත දෙවර වසමින් ඔහු සිටින තැන
මෙලෙස දුටෝතින් ඔහු පැමිණි කාලෙන

උදුරා පයින් තණ නෙලමින් සිටින තැන
සොඳුරා ඇඟිල්ලෙන් වල සාරයි එතන
ඇදුරා දුටු කෙනෙක් මෙලකුණු දැන කියන
ඇදුරා කියයි නියතයි පැමිණි කාලෙන

නික්ම ඇදුරු එන යන අවුසදට දැන
දැක්ම පෙරමගට එති වැල් බාන ගෙන
ඉක්ම කළුවතක් ඇඳ දුනු ඊ රැගෙන
රැයක් තමයි මරුගෙන් ඔහුට කැප උන

සොහොන් පෙනෙල්ලක් සුරතින් දරාගෙන
යෙහෙන් දරද හිස්කළ උකුලෙන් රැගෙන
කියා යන ගමන් පෙරමග ගොස් අසන
නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින

සොහොන් පෙනෙල්ලක් අරගෙන එතෙයි දනු
කිළුටු වතයි හිසවට බැම්මයි බලනු
මෙවෙනි ලකුණු ඇතුවම ආ නන් කියනු
නසී තුන් පැයක් ඇතුවම මයි කියනු

වරලස උනා එනබව දැන කියමින්නේ
උතුරේ සිටගනමයි එය පවසන්නේ
වමේ පයින් බිම සාරයි නම් දන්නේ
එසේ දුටුවොතින් දෙපැයින් එනසින්නේ

විසගොර සර්පය කාපි කියන්නේ
එනලකුනෙන් ගුරුවර විමසන්නේ
වමතින් ඔහුගේ උරේ කසන්නේ
තිර සාරේ කරවලයි කියන්නේ

බිලිඳෙක් කැටුවම කතෙක්ද එන්නේ
ඇවිත් තමා ළඟ අඬා වැටෙන්නේ
මූනද පිසිමින් මෙලෙස කියන්නේ
රැවුදෙන නයිවිසමයි පවසන්නේ

ලකුණු අඟේ සොඳ ලෙසට බලන්නේ
දකුණු අතින් උගේ ළමැද කසන්නේ
නැගෙන දෙසේ සිට ගනම කියන්නේ
ලකුණු දෙසේ පොළඟා දැනගන්නේ

නූස් නුමිටි මිනිසෙක් දැන ගන්නේ
ගුරුවර ගෙදරද කියාන එන්නේ
ඉස අතගාමින් කියයි බොලන්නේ
මෙවෙනි ලකුණු මාපිලයි කියන්නේ

රණ දුටු මිනිසෙයි එයි ලසිනේයා
කම්මුල් කසමින් කියයි සොදේයා
එවෙනි ලකුණු දුටුවොත් ලසිනේයා
තිර සාරේ මාපිලි ලකුනේයා

ඇවිත් සිටින ඔහු උදර කසන්නේ
තැනක නොසිට ඇවිදිති දැනගන්නේ
බො සෝ දුකකි අදුරිනියි කියන්නේ
තිරසාරෙන් ගෙමිඩියයි බොලන්නේ

උකුලට අත ගසමින් පවසන්නේ
පමා නැතුව යන් ගුරුනි කියන්නේ
සතුරු භයක් මෙන් දුවගෙන එන්නේ
ඇඟේ ලකුණු සිකනලයි කියන්නේ

දෙවැලමිටක් කසමින්ම කියන්නේ
දෙපය කසාසිට ගනම කියන්නේ
අධික ගායමයි ගුරුනි කියන්නේ
ගත් කුණු මීවිස බවයි කියන්නේ

තිරසරුමක් සේ ඇස නොපෙනෙන්නේ
මුකුළු සිනාසී සිට පවසන්නේ
ලකුණු බලා සොඳ ලෙසට කියන්නේ
එවෙනි ලකුණු තෙලිසෙකි දැනගන්නේ


මේ තියෙන්නේ බෙහෙතක් .

කරඳද මීපොතු එක්කරගන්නේ
ඔලිඳ කොලත් සහ මුරුවට ගන්නේ
එකට කොටා ඔහු හට දීපන්නේ
පැණි රසනං නයි විස දැනගන්නේ

තිත්ත රසේ තෙලිසා දැනගන්නේ
කුණු රසනං කරවලා කියන්නේ
ඇඹුල් රසේ පොළඟා දැනගන්නේ
කසට රසේ කුණු මීය කියන්නේ

දිය රස දිවි මකුලුවයි කියන්නේ
කර රසනං සිකනලයි බොලන්නේ
කට දානං ගෙමඩියා කියන්නේ
මෙලෙසට විස බව බලනු කියන්නේ



මේ තියෙන්නේ ඒ දූත ලක්සනේ එන කවි . මීට වඩා වෙනස් විදිත් තියෙන්න පුළුවන් . දැනුම බෙදාගන්න කැමති අයට පුළුවන් ඒවත් බෙදාගන්න .

ඒවගේම මේවා මට කියලා දීපු ආච්චිඅම්මට මේ සසර ගමනේ කවදාහරි ආයෙත් අපිගාවට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment