ඓතිහාසික සමන් දේව ප්‍රතිමාව







සමන් දේවාලේ යන්න කියලා දවසේ වෙලාවක් වෙන් කරලා තිබුණට මොකද අද දේවාලේ යන්න උනේ නැහැ . එක එක වැඩ ගොඩක් වැටුණ නිසා ඒවා කරනකොට දවල් වෙලා . දවල් වෙලා දාඩිය පෙරාගෙන දේවාලේ ගියාම එපා වෙනවා . ඉතින් මම කල්පනා කරා දේවාලේ යන්න වෙන් කරපු මේ වෙලාව දෙවියන් වෙනුවෙන්ම කැප කරලා සමන් දෙවියන් ගැන ලිපියක් ලියන්න .

මේ ගැන ලියන්න ලියන්න කියලා වද කරේ අපේ සිංදු අයියාගේ මල්ලි , සිංදුමල්ලි . විස්තර එකතුකරගෙන හිටියට ලියන්න වෙලාවක්වත් ලියන්න මූඩ් එකක්වත් තිබුණේ නෑ . ඒ නිසා තමයි කල් ගියේ . ඉතින් අද මම මේ කියන්න යන්නේ රත්නපුරේ අපිට වඩාත් වැදගත් වන ඒ වගේම ලංකාවේ හැමෝටම වැදගත් වන ශ්‍රී පාදස්ථානයේ සමන් දේවාලයේ ශ්‍රී පාද වන්දනා කාලයට වැඩ හිඳින ශ්‍රී පාද අවාරයේ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ වැඩ හිඳින සමන් දේව ප්‍රතිමාව ගැන විස්තර ටිකක් .




කවුරුත් මේ ගැන කතා කරාට , හැම අවුරුද්දකම සමන් දෙවියන් වැඩම කරවන පෙරහරට සහභාගී වෙලා පඬුරක් දාලා දෙවියන්ගෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරාට , මම දන්නවා මේ ප්‍රතිමාව පිටුපස සැඟවිලා තියෙන තොරතුරු දන්නේ අඩුවෙන් කියලා . ඒ නිසා මම මෙතන ඒ විස්තර සටහන් කරනවා හැමෝටම දැනගන්නත් එක්ක .

මම බ්ලොග් ලියන්න ඇවිත් ඉස්සෙල්ලම ලිව්ව ලිපියේ මම ලිව්වේ සමන් දෙවියන් ගැන . මේ තියෙන්නේ ඒ ලිපිය  . ඉතින් මේ ලිපියේ කියවිලා තියෙන හැටියට දඹදෙණි යුගයේ හිටපු දෙවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ අනුග්‍රහයෙන් තමයි සබරගමු මහා සමන් දේවාලය නිර්මාණය කරලා තියෙන්නේ . ඔයාලට මම මෙතන විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ සබරගමු මහා සමන් දේවාලය නිර්මාණය වෙන්න කලින් මෙතන තිබිලා තියෙන්නේ සමන් විහාරය කියලා පන්සලක් . මේ සමන් විහාරයට සමන් විහාරය කියලා නම ලැබෙන්න කලින් කියලා තියෙන්නේ සපරග්‍රාම විහාරය කියලා .

මේ සපරග්‍රාම විහාරය දුටුගැමුණු රජතුමාගේ කාලේ පවා තිබුණා කියලා යම් යම් සටහන් වලින් ඔප්පුවෙනවා කියලා මම අහලා තියෙනවා . ඉතින් ඒ කෙසේ වෙතත් කමක් නැහැ මම මේ කියාගෙන ආවේ , දෙවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ ඇමති කෙනෙක් වෙච්ච ආර්යකාම දේව ඇමති තුමා රත්නපුරේ සමන් දේවාලය හැදෙව්වා වගේම ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවේ සමන් දේවාලයකුත් නිර්මාණය කෙරෙව්වා . මේ සිද්දිය සිද්ද උනේ ක්‍රිස්තුවර්ෂ 1200ගණන්වල  . ශ්‍රී පාදස්ථානයේ හදවපු අන්න ඒ සමන් දේවාලයේ දේව මණ්ඩපයක් ඉදි කරවලා සමන් දෙවියන්ගේ සුදු හඳුන් දැවයෙන් කරවපු සමන් දේව ප්‍රතිමාවක් තැම්පත් කරවනවා . ඒ සමන් දේව ප්‍රතිමාව රන් රිදී මුතු මැණික් සහ වටිනා දියමන්ති වලින් අලංකාර කරවලා තැම්පත් කරවලා තියෙනවා .




මුලින්ම දෙවෙනි පරාක්‍රමභාහු රජතුමා ආර්යකාමදේව ඇමති තුමාට කියනවා ශ්‍රී පාදස්ථානයේ සමන් දේව ප්‍රතිමාවක් තැම්පත් කරවන්න කියලා . ඉතින් එහෙම කිව්වට දේව ප්‍රතිමාවක් නිර්මාණය කරන්නත් ඕන නේ තැම්පත් කරන්න . ඉතින් ආර්යකාමදේව ඇමති තුමා කරන්නේ බෝතලගම කියන ගමේ නැවතිලා ඉඳගෙන සුදු හඳුන් අරටුවකින් සමන් දෙවියන්ගේ ජීවමාන රූපය මනාව විදහාපාන අන්දමට මේ සමන් දේව ප්‍රතිමාව නිර්මාණය කරවපු එක . දේව ප්‍රතිමාව නිර්මාණය කරාට පස්සේ බෝතලේ ගම ඉඳලා මේ දේව ප්‍රතිමාව සමන් දේවාලයේ උඩ මළුවට වැඩම කරවලා තියෙන්නේ මහා පෙරහරකින් . තැනින් තැන ගිමන් හරිමින් , සමන් දෙවියන්ට පුද පූජා පවත්වමින් තමයි අවසානයේ මේ ප්‍රතිමාව ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවේ තැම්පත් කරලා තියෙන්නේ . ඒ කාලයේ සමන් දෙවියන් වැඩම කරවන්න බෝතලේ ගමේ ඉඳලා ශ්‍රී පාදස්ථානයට තියෙන පාර අලංකාරව සැරසුවා කියලා සඳහන් වෙනවා .

එදා ඉඳලා දැන් අද වෙනකොට අවුරුදු අටසීයක් විතර වෙනවා . අදත් අපි සමන් දෙවියන් වෙනුවෙන් ශ්‍රී පාදස්ථානයේදී වන්දනාමාන කරන්නේ මෙන්න මේ සමන් දේව ප්‍රතිමාවට තමයි . ඉතින් මම දැන් කියන්නම් මේ ප්‍රතිමාව කොහොමද පැල්මඩුල්ලට වැඩම කෙරෙව්වේ කියලා .

මේ ප්‍රතිමාව ශ්‍රී පාදස්ථානයේ තැම්පත් කලාට මොකද අවාරයේදී මේ ප්‍රතිමාවේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන උනා . ඉතින් ඒ වෙනුවෙන් තමයි පලාබද්ගල රාජමහා විහාරය නිර්මාණය කලේ .

සමන් දෙවියන්ගේ දේව ප්‍රතිමාව ශ්‍රී පාද වාරයේ උඩමලුවේත් අවාරයේ පලාබද්ගල රාජමහා විහාරයේත් තැම්පත් කිරීම සම්ප්‍රදායක් වෙලා තිබුණා . ඒ සම්ප්‍රදාය රාජ රාජ මහාමාත්‍ය වරුන්ගේ අනුශාසනා අනුග්‍රහය ඇතිව නොකඩවාම කරගෙන ආවා . ඒත් ඒ සම්ප්‍රදාය වෙනස් වුනේ ඇයි කියලා හේතුව හරියටම කියන්න දන්නේ නැති උනත් ක්‍රිස්තු වර්ෂ 1934 සිඩ්නි එල්ලාවල මහත්මයාගේ ප්‍රදානත්වයෙන් සමන් දේව ප්‍රතිමාව පලාබද්ගල රාජමහා විහාරයේ ඉඳලා පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරයට වැඩම කෙරෙව්වා .





ආරක්ෂාව වෙනුවෙන් එහෙම කරා කියලා සඳහන් වුනාට තවත් මොනවා හරි හේතු තියෙන්න ඇති කියලා මගෙ හිත කියනවා . මොකද ඒක සම්ප්‍රදායක් , චාරිත්‍රයක් වෙනස් කරන්න තරම් හේතුවක් වෙන්න ඕන නිසා . කහොමහරි අද පැල්මඩුල්ලේ වැඩ ඉන්නේ එදා ආර්යකාමදේව ඇමති තුමා ශ්‍රී පාදස්ථානයේ තැම්පත් කරපු සමන් දේව ප්‍රතිමාව . මේ ප්‍රතිමාව එක්ක 1930 ගණන් වල රිදී වලින් හදපු සමන් දේව ප්‍රතිමාවකුත් ශ්‍රී පාදස්ථානයට වැඩම කරවන්න පටන්ගෙන තියෙනවා .

මම මුලින් කිව්වා ඔයාලට රත්නපුර සබරගමුව මහා සමන් දේවාලය ගැන . ඒ කාලේ සපරග්‍රාම විහාරයේ හිටපු හාමුදුරුවරු ශ්‍රී පාදස්ථානයේ වන්දනාවේ යනකොට එක හාමුදුරු කෙනෙක් හිටියා සීලවංශ කියලා . මෙන්න මේ හාමුදුරුවන්ට ලැබෙනවා සුදු හඳුන් වලින් නිර්මාණය කරපු සමන් දේව ප්‍රතිමාවක් . මේ ප්‍රතිමාව උන්වහන්සේට අහම්බෙන් ලැබුණා කියලා කියනවා . දවසක් මේ හාමුදුරුවන්ට හීනෙන් පෙනිලා තියෙනවා ශ්‍රී පාද කන්දේ ගල් ගුහාවක සමන් දෙවියන්ගේ ප්‍රතිමාවක් තැම්පත් කරලා තියෙනවා . ඉතින් උන්වහන්සේ විශාල පිරිසක් යොදවලා මේ ප්‍රතිමාව හොයනකොට ගල් ගුහාවක තිබිලා සමන් දේව ප්‍රතිමාවක් හොයාගත්තා . පස්සේ ඒ ප්‍රතිමාව ශ්‍රී පාද කන්දේ ඉඳලා පෙරහරකින් සබරගමුව මහා සමන් දේවාලයට වැඩම කරවලා තැම්පත් කරලා පූජෝපහාර දක්වලා එතන සමන් දෙවියන්ට කැපවුණු ස්ථානයක් වගට සනාථ කරලා තියෙනවා .







තව මතයක් තියෙනවා දේවප්‍රතිරාජ ඇමති තුමා සමන් දේව ප්‍රතිමා දෙකක් නිර්මාණය කරවලා ශ්‍රී පාදස්ථානයේ තැම්පත් කළා , ඒවායින් සීලවංශ හාමුදුරුවෝ එකක් ගත්තා කියලා . ඒ කහොමහරි සීලවංශ හාමුදුරුවෝ ශ්‍රී පාදස්ථානයේ ඉඳලා සුදු හඳුන් වලින් නිර්මාණය කරපු සමන් දේව ප්‍රතිමාවක් සපරග්‍රාම විහාරයට වැඩම කරවනවා . සමන් දෙවියන් සෝවාන් ඵලයට පැමිණි දෙවි කෙනෙක් නිසා වෙන්නැති සීලවංශ හාමුරුවො එහෙම කරන්න ඇත්තේ . මේ දේ සිද්ද උනෙත් ක්‍රිස්තු වර්ෂ 1200 ගණන්වල දෙවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ කාලේ .


ඉතින් එදා ඉඳලා සප්‍රග්‍රාම විහාරය සමන් වෙහෙර බවට පත් වුනා . ඊට පස්සේ ආර්යකාම දේව ඇමතු තුමා සමන් දේවාලය නිර්මාණය කරවලා තමයි අද තියෙන සමන් දේවාලය නිර්මාණය කරන්න අඩිතාලම දැම්මේ. මම ඒ කතාවත් කිව්වේ සමන් දෙවියන් එක්ක බැඳිච්ච ඓතිහාසික සුදු හඳුන් දේව ප්‍රතිමා දෙකක් වැඩ ඉන්නවා කියල ඔයාලට කියන්න ඕන නිසා . එකක් ගල්පොත්තාවල විහාරයේ ඉඳලා ශ්‍රී පාදස්ථානයට වැඩම කරවන ප්‍රතිමාව . අනික තමයි සබරගමුව මහා සමන් දේවාලයේ වැඩ ඉන්න සමන් දේව ප්‍රතිමාව .





එහෙනම් මම කියන්නම් සමන් දේව ප්‍රතිමාව ගල්පොත්තාවල රජමහා විහාරයේ ඉඳලා ශ්‍රී පාදස්තානය්ට වැඩම කරවන්නේ කොහොමද කියලා . දෙසැම්බර් මාසේ පෝයට තමයි ශ්‍රී පාද වාරය පටන් ගන්නේ . ඉතින් පෝයට දවස් දෙකකට කලින් මේ පෙරහැර සූදානම් වෙනවා . පෝයට කලින් දවසේ පෙරහැර පිටත් වෙනවා . ඉස්සෙල්ලම හක් ගෙඩි සහ හේවිසි වාදනය කරමින් දේවාලය විවෘත කරලා ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනා කරලා සමන් දෙවියන්ට පින් අනුමෝදන් කරනවා . ඊට පස්සේ ශ්‍රී පාදස්ථානයේ සමන් දේවාලයේ ඉන්න කපු මහත්මයා යාතිකාවක් කරලා සමන් දෙවියන්ට ආරාධනා කරනවා ශ්‍රී පාද වාරය ආරම්භ කරන්න ශ්‍රී පාදස්ථානයට වඩින්න කියලා , ඊට පස්සේ තමයි පෙරහැර ආරම්භ වෙන්නේ . හේවිසි ගහමින් පිරිත් දේශනා කරමින් මේ පෙරහැර ගල්පොත්තාවල රජමහා විහාරයේ ඉඳලා සබරගමුව මහා සමන් දේවාලයට වැඩම කරවනවා .

සබරගමුව මහා සමන් දේවාලයේ වාහල්කඩ ළඟ දේවාභරණ වැඩම කරවන රථය නතර කරාට පස්සේ සමන් දේවාලයේ තේවාව භාර හේවිසි කණ්ඩායම පහලට ඇවිත් මේ සමන් දේව ප්‍රතිමාව සමන් දේවාලයේ උඩ මළුවට හේවිසි හා හක්ගෙඩි වාදනය කරමින් වැඩම කරවාගෙන යනවා . පස්සේ දේවාලයේ පූජාවන් තියන මණ්ඩපය උඩ මේ දේව රූප සහිත දෝලාවල් තැම්පත් කරලා මහා සංඝ රත්නය සෙත් පිරිත් දේශනා කරනවා . ඊට පස්සේ සබරගමුව මහා සමන් දේවාලයේ කපු මහතා යාතිකාව කරලා සමන් දෙවියන්ට නැවතත් ආරාධනා කරනවා ශ්‍රී පාදස්තානය්ට වඩින්න කියලා . ඊට පස්සේ ඒ දෝලාවල් ආයෙත් දේවාලයේ ඉඳලා පහලට වැඩම කරවන්නේ සමන් දේවාලයේ තේවාව භාර හේවිසි කණ්ඩායම . ඊට පස්සේ පෙරහැර ශ්‍රී පාදස්ථානය දක්වා ගමන් ආරම්භ කරනවා .






මේ ගමන් කරන අතරවාරයේ මග දෙපස මහා ජනතාවක් පුජාවට්ටි තියන්න පඩුරු දාන්න පෙළගැහිලා ඉන්නවා . නල්ලතන්නියේ ඉඳලා මේ පෙරහැර ගමන් කරන්නේ පයින්මයි . දේව රූප සහිත දෝලාවල් කර තියාගෙන හේවිසි මැද්දේ මේ පෙරහැර ගමන් කරනවා . පෙරහරේ වැදගත්ම අංගයක් තමයි සමන් දේව ප්‍රතිමා දෙක සීත ගඟුලේ ජලයෙන් ස්නානය කරවීම . මේ වෙලාවට දේව රූප සුදු රෙදිවලින් වට කරලා තමයි මේ දේ කරන්නේ . . ස්නානය කිව්වට ඉහෙන් කනෙන් වක්කෙරෙන්න වතුර නාවන්නේ නෑ . සීත ගඟුලේ ජාල බින්දුවක් දේව රූපයේ ගලවලා මේ ස්නානය කිරීම සංකේතවත් කරනවා . ඊට පස්සේ දේව රූප උඩමළුවට වැඩම කරවා ගෙන ගිහින් ශ්‍රී පාදස්ථානයේ උඩමළුවේ තැම්පත් කරනවා . ආයෙත් මේ දේව රූප ගල්පොත්තාවලට වැඩම කරවන්නේ ශ්‍රී පාද අවාරය ආරම්භ කරන වෙසක් පෝය දවසට .

ළඟදී ඉඳලා මේ දේව රූප දෙක ඒ කියන්නේ සුදු හඳුන් දේව රූපය සහ රිදී දේව රූපය වැඩම කරවන්නේ රජමාවතෙන් සහ හැටන් පාරෙන් . වෙනදා එකම පාරකින් වැඩම කරවපු පෙරහැර දැන් කොටස් දෙකකින් තමයි උඩමළුවට ගමන් කරන්නේ . ඒකෙ යම් හොඳක් මම දකිනවා . ඒ එතකොට දෙපැත්තේම ඉන්න අයට මේ පෙරහරට සහභාගී වෙලා ආශිර්වාද ගන්න පුළුවන් නිසා.

මේ සමන් දේව රූපය ඉස්සරම කාලේ පැල්මඩුල්ලේ ඉඳලා ශ්‍රී පාදස්තානය්ට වැඩම කරවලා තියෙන්නේ පෙරහරකින් නෙවෙයි . බස් එකේ තමයි වැඩම කරවලා තියෙන්නේ . කපු මහත්තයා මේ දේව රූපය තවත් සේවකයින් එක්ක බස් එකේ තමයි වැඩම කරවලා තැම්පත් කරනවා කියන්නේ . දවසක් මෙහෙම දේව රූපය වැඩම කරවන වෙලාවේ මේ සේවකයෙක් මේ දේව රූපය සහිත මංජුසාව කරවල කඩයක කරවල කූඩයක් උඩ තියලා මහන්සි නිසා . ඔන්න ඒවෙලාවේ මහා හුළඟක් ඇවිත් ඒ කරවල කඩේ වහල හුළඟට ගහගෙන ගිහිල්ලා . පස්සේ කපු මහත්තයා සමාව ගත්තට පස්සේ තමයි හුළඟ අඩුවෙලා ශ්‍රී පාදස්ථානය දක්වා යන්න පුළුවන් වෙලා තියෙන්නේ . ඒ නිසා මේ දේව රූපය එසේ මෙසේ දේව රූපයක් නෙවෙයි . දෙවියන්ගේ බැල්ම නොඅඩුව ලැබෙන දේව රූපයක් .

හැම අවුරුද්දකම වගේ සමන් දේවාලයේදී මේ පෙරහරට මමත් සහභාගී උනා . ඒත් මේ අවුරුද්දේ සහභාගී වෙන්න උනේ නෑ . කොළඹ ඉඳලා රත්නපුරේට එනකොට සමන් දෙවියෝ ශ්‍රී පාදස්ථානයට වැඩලා . ඊළඟ පෙරහරටවත් එන්න ඕන කියලා හිතාගෙන මම මෙතනින් මේ ලිපිය අවසන් කරනවා .





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය