මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්රයෙනි.
පන්සලට ගොස් පැමිණි මම සීයා පාඩම් කිරීමට දුන් කවි මතකයට නංවමින් මිදුලේ තිබුණු බංකුව මත හාන්සි වී සිටියෙමි.
සසිරිබර මෙසිරිලක
පොළොන්නරු නම් නුවර
මහ සොහොන් යකු නුඹට
වැඩියකෙක් නැත මෙරට
ගජුන් ඇන බිම ගසා
කමින් මස් ඉර ඉරා
බොමින් ලෙ පෙර පෙරා
යකෙක් නැත මෙමුලුරට
උනද හිසරද කරයි
ධාය ඉදිමුන් කරයි
කැඳ කැවිලි අරුචිවෙයි
මෙවෙනි ලෙඩ කල තැනේ
සුබ අදුරු ගෙන්නවා
අප නූල් අතේ බැඳ
මහසොහොන් බලියටා
දඬු කපා එම විටා
පුලුල ගෙන තුං වියත්
සත් වියත් උස රැගෙන
බබු රුවන් සැදී ඉසකි
බුදුරුවන් සියොගතකි
සිරස මැද පන්දමකි
බඩ මැද්දේ ඔලු තුනකි
දෙකලකට පුර හඳකි
මෙසේ බලි අඹාලා
ඕවිටක තබාලා
පුළුටු බත් අනාලා
බලියපිට තබාලා
මෙදොල බලි දෙන ලෙසට
මෙපිරිපොත හරින්නේ
එපස්වා දහස්කල්
දිනේවා මතු දිනෙවා….
සබරගමු මහ සමන්දෙවාලයේ බිත්තියේ ඇඳ ඇති මහසෝනාගේ යයි කියන සිතුවම සිහි ගන්වමින් ඉහත කවි කීපය සෙමෙන් මුමුණත්ම මගේ හිස ඉබේම හැරුනේ මිදුලේ මැද ඇති මහසෝන් දේවතාවාට පහන පත්තු කරන ස්ථානය වෙතය. එකෙනෙහි මහසෝනා කෙරෙහි සීයාගේ හදවතෙහි ඇති භක්තිය මගේ මතකයට නැගිණි .
දිනක් සීයා තරුණ අවධියේ මල ගෙදරකට සහභාගී වී මරණයක් කරගසා , ගෙදරවිත් නාන්නේ නැතිව , කිල්ලෙන්ම මහසෝන් දේවතාවාට පහන දල්වන වෙලාවේ එකවරම එතනට ආ මහසෝන් දේවතාවා පහනට ගසා පහන පෙරලූ සැටි, සීයා මා සමග කීවේ මගේ සිතෙහිද ඒ භක්තිය ඇති කිරීමට විය යුතුය . මහසෝනා එසේ මෙසේ කෙනෙකු නොවන බව මම සාක්ෂාත් කරගත් කරුණකි . හෙතෙම බුදුන් සරණ ගිය උපාසකයෙකි . එබැවින් ඔහුට පහන් තබන අවස්ථාවේ සීයා විසින් බුදුගුණ හෝ පිරිත් කීම සිරිතක් කරගෙන තිබුනේය . සමහර දින වලට මහසෝනා පෙනෙන ලෙස පහන් පැලට වැඩියත් තමාට හානියක් නොවන බව සීයා කියන්නේ ඉතාම ආඩම්බරයෙනි .
වසර ගණනාවක් දෙවියන් යකුන් භූතයන් සමග ගනුදෙනු කරන සීයා මහසොනාට මුල් තැන දෙන්නේ ඇයිදැයි මම ඇසූවිට සීයා කියා සිටියේ
“කාලයක් තොවිල් වලට ගුරුකම් වලට යනකොට පුතාටත් ඒක තේරුම් ගන්න පුළුවන් වේවි ”
කියාය .
සීයාගේ අඩිපාරේ යන බැවින් ගම්මුන් මට අමතන්නේද චූටි ගුරුන්නාන්සේ යන නමිනි . සීයාට ගමේදී ලැබෙන සැලකිලි එමනිසාවෙන් මටද තරමක් උරුම විය . මනුස්ස ගණයේ උපන් හෙයින් සීයා මට විශේෂ සැලකිල්ලක් දක්වයි . ඒ සීයාගේ අංජනම මටද බැලීමට හැකි වීමයි . එම අංජනම පෙනෙන්නේ මනුස්ස ගණයේ අයට පමණි . ඊට අමතරව බල්ලන් සපා කෑ විට අංජනම නොපෙනී යයි . එනිසා සීයා මාව ඒ හැම දේකින්ම හොඳින් ආරක්ෂා කරනු ලබයි . සමහර දිනවලට සීයාට අංජනම නොපෙනෙන අවස්ථා හෝ සීයාට වැඩ රාජකාරි අධික වූ විට අංජනම් එලිය යවා , උදවු ඉල්ලාගෙන එන අයට එම දේවල් කර දීම මට භාර කෙරේ .
සීයා සමග නිබඳවම එම කටයුතු වලට සහභාගී වුවද තවමත් මහසෝනා සියැසින් දැකගැනීමට මට වාසනාවක් වූයේ නැත .
“ගුරුන්නාන්න්සේ ගුරුන්නාන්න්සේ ”
හති හලමින් වලව්වේ දොරකඩට දිව ආ සියාතු මාමා එළිපත්තේ බිම වාඩි වී නැවතත්
“ගුරුන්නාන්න්සේ ගුරුන්නාන්න්සේ ”
කියමින් කෑගසන්නට විය .
“ඇයි සියාතු මාමේ ඇයි , සීයා එහා ගමේ දේවාලෙට ගියා ”
මම බංකුවේ සිට කතා කරනු දුටු සියාතු මාමා වහා නැගිට සරමේ කැහැපොට ලිහා දමා , කරේ වූ ලේන්සුව අතට ගෙන
“චූටිගුරුන්නාන්සේ , හදිස්සියකට ගුරුන්නාන්සේ හදිගැහෙන්න ආවේ . අපේ කෙල්ල මේ ටිකකට කලින් එක පාරටම මිදුලේ මැද්දේ කෑගහගෙන වැටුනා . අමනුස්ස දෝසයක් වෙන්නැති කියලා හිතලා තමයි ගුරුන්නාන්සේ හම්බවෙන්න ආවේ දැන් මොකද කරන්නේ……….. ”
“කෙල්ල මල විකාරෙන් කෑගහනවා චූටි මහත්තයෝ……. ”
ලෙස අඬන්න මෙන් කියමින් නැවතත් සියාතු මාමා දෑත හිසේ තබා ගනිමින් මිදුලේ ඇන තියා ගත්තේය .
ඉබේම වාගේ මගේ හිස හැරවුණේ සියාතු මාමාගේ සෙවනැල්ල දෙසටය . දැන් හිරු අවරට පැමිණ පැයක් පමණ විය යුතුය . එය එසේ වීනම් මෙය ඉරමුදුන් යක්ෂයාගේ ගේ හෝ මහසෝනාගේ හෝරාව විය යුතුය . මේ වෙලාවට තරුණ වයසේ ගැහැණු ළමුන් මස් මාංශ පුළුස්සා හෝ තෙලේ බැද ආහාරයට ගැනීම අමනුෂ්‍යයින්ට අත වැනීමක්ය . පුළුටු සුවඳට වහ වැටෙන සමහර යක්ෂයින් එම පුළුටු රස බැලීමටත් පසුව එම තරුණියන්ගේ රස වැටී එම තරුණියන් සමග රමණය කිරීමටත් මැලි නොවේ . එවිට එම තරුණියන් පන නැතිව කන්න බොන්නට පිරියක් නොමැතිව පිස්සු විකාරයෙන් කෑ ගසමින් සිටී . මෙම දෝශය මග හැරීමට නූල් බැඳීමේ සිට තොවිල් නැටීම දක්වා විවිධ ආකාරයේ යාතු කර්ම සිදු කල යුතුය .
ගතවූයේ නිමේෂයකි .
“ජඃ පුතා ජඃ”
වලව්වේ කරත්ත කරුගේ කටහඬද , එත් සමගම වයිරාගේ ගෙලේ එල්ලා තිබුණු ගෙජ්ජි වැලේ ශබ්දයද ඇසෙන්නට විය .
තවත් මොහොතකින් සීයා වලව්වේ මිදුලට සම්ප්‍රාප්ත විය .
“මොකද සියාතුවේ මේ මිදුලෙම , මෙහෙන් ඈඳී ගනිමුකෝ”
කියමින් සීයා ඉස්තෝප්පුවේ වූ හාන්සි පුටුවේ හිඳගත්තේය . සියාතු මාමා දුක්මුසු ස්වරයෙන්
“අනේ ගුරුන්නාන්සේ මේ අපේ කෙලී දැන් ටිකකට කලින් මිදුලේ ඉන්දෙත්දී එක පාරටම කෑගහගෙන වැටුනා . දැන් විකාරෙන් කියෝනවා . වෙද මහත්තයා ගාවට ගියාම කිව්වේ ගුරුන්නාන්සේ ගාවට යන්න කියලා ”
මෙතෙක් සන්සුන්ව සිටි සීයා තම උගුර පාදමින්
“මේ මහසොහොන් සමයම කැරකෙන වෙලාවේ උඹේ කෙල්ල මොකක් කලාද බොල . මොනවා හරි රීරි මාංසයක් පුච්චගෙන කන්න ඇති . මතක් කරපන් අද දවල්ට ගෙදර උන්දා මොනවද ඉවුවේ කියලා”
“ගුරුන්නාන්සේ කිව්වම තමයි මට කල්පනාවට ආවේ . අද දවාට කන්න තෝර කරවල බැදලා තිබුනා . කෙල්ල තමයි තෙල් ලිප ගාව හිටියේ . ගෙදර උන්දා කෙල්ලට කියලා අද කරවල බැද්දෙව්වේ”
එතකොට සීයා
“ඇයි මනුස්සයෝ මේ ගැටිස්සියෙක් ලවා මේ මද්දහනේ ඕවා කරවන සිරිතක් තියෙනවද . දැන් දවස් දෙක තුනකට කලිනුත් මහසෝන ගහලා එකෙක් පන යන්න හදනකොට බේර ගත්තා . යමන් ගෙදර බලන්න ඔහොමම”
කියමින් සීයා මම දෙස බලා
“චූටි පුතේ , මගේ පෙට්ටගම ඇරලා අඳුන් පෙට්ටියයි , කිනිස්සයි අරන් එන්න”
අවුරුදු දහසයක තරම් කුඩා වයසක් වුවද සීයාගේ පෙට්ටගමට ඊළඟට උරුමකම් කියන්න ඉන්න නිසාවෙන් සීයා , මම ලවා මෙවැනි දේවල් ඉතාම යුහුසුලුව කරවා ගැනීමට කැමතිය . තාත්තා කුඩා අවධියේම මෙම ශාස්ත්‍රය අත්හල බැවින් සීයාගේ බලාපොරොත්තුව තිබ්බේ ඒකාන්තයෙන්ම මම පිළිබඳවව විය යුතුය. ආච්චිඅම්මා අතැතිව තිබෙන පෙට්ටගමේ යතුර ඇගෙන් ඉල්ලාගත් මම පෙට්ටගම විවර කර සීයාගේ මහානර්ඝ අඳුනත් කිනිස්සත් අතට ගත්තෙමි . කළුවර ලීයෙන් සාදන ලද අඟල් 6ක් පමණ දිග තරමක් පැතලි මෙම අඳුන සහිත පෙට්ට්ටියේ පියන විවර කරනවිටම පෙනෙන්නේ අඳුන ගා තිබෙන පසුබිමයි . පෙට්ටගමේ මීට අමතරව කඩු කීපයක් හා සීයාගේ පරපුරෙන් පවත එන නානාප්‍රකාර දේවල් තිබිණි .සීරුවට පෙට්ටගමේ පියන වසා යතුරු දමා අඳුන සහ කිනිස්ස සීයා වෙත පෑවෙමි .
සීයා එයින් කිනිස්ස අතට ගෙන සෙමෙන් මතුරමින් මිදුලට බැස බිම ඒ මේ අතට ඉරි ගසා එම ඉරි පාගා එන ලෙස සියාතු මාමාට කීවේය .
මමද සීයාද කරත්තයට ගොඩවූ අතර සියාතු මාමා අප කරත්තය පිටුපසින් ඔහුගේ නිවස බලා යාමට පිටත් විය .
ගමේ ආරච්චිල වලව්වත්, වෙද මුහන්දිරම් වලව්වත් හැරුනුකොට වෙනත් වලව්වකට කියා ගමේ තිබුනේ අපේ වලව්ව පමණි . ආරච්චි මහතාත් , වෙද සීයාත් , අපේ සීයාත් , පන්සලේ ලොකු හාමුදුරුවෝත් සතරවරම් දෙවියන් මෙන් ගමේ හැම දෙයකටම මුල් තැන ගෙන කටයුතු කල අතර ඒ කිසිවෙකුත් අතරේ කවමදාකවත් මත ගැටුම් නොතිබිණි . ගොවිතැනින් ජීවත් වූ ගම් වැසියෝ සරල දිවි පෙවෙතක් ගතකලා මෙන්ම ඔවුන්ගේ අතමිට සරු කරගනීමට වඩා ඔවුන් උනන්දු වූයේ එදා වේල උපයාගැනීම පමණි . එබැවින් ඔවුන්ට ලොකු ලොකු ආශාවන් හෝ බලාපොරොත්තු තිබුනේද නැත .
වතු පිටි වල ආදායම ලද හෙයින් වෙද සීයාත් , අපේ සීයාත් ගමේ අයගේ කටයුතු කරන ලද්දේ පඬුරු පාක්කුඩම් නොගෙනය .
කරත්තයේ ඉන්න අතරේ අඳුන් පෙට්ටිය දෙස බලමින් මම මහසෝන් හෝරාව පිළිබඳව මනෝ රූප මැවූයෙමි . සීයා කියා තිබෙන්නේ රාත්‍රී 11 සහ පාන්දර 1 ත් , උදෑසන 11 සහ දහවල් 1 ත් මහසොහොන් දේවතාවට අයත් හොරා ලෙස නම් කර ඇති වගය . එනම් මගේ නිගමනයද නිවැරදිය . මෙය මහසෝන් හෝරාව තුලු සිදුවී ඇත .
සියාතු මාමගේ නිවසට අපි පැමිණියෙමු . එය පොල් අතු සෙවිලි කල පැල්පතකි . මැටි බිත්ති වූ නමුත් ඒවා හුණු පිරියම් කල ඒවාය . කුඩා පැල්පතක් වුවද එය පිළිවෙලකට සැකසී තිබිණි .
සීයා මල් ආසනයක් සූදානම් කරවා මල් , හඳුන්කූරු හා අඹ කොළ අත්තක් හා අඳුනද නිසි ලෙස එහි තබා සෙමෙන් සෙමෙන් මතුරන්න පටන්ගත්තේය . ටික වෙලාවකින් සීයා පහන දල්වා අඳුන් පෙට්ටිය විවර කළේය.
“……ආතාල බන්ධ පාතාල බන්ධ අටකොන රාක්ෂ බන්ධ ශක්‍ර දේවේන්ද්‍රගේ අනින් කැරකි කැරකී ඇවිලී දැවිලී මහාමේරුවට අත තබා සුරාසුර කොදෙවු සාගර තරණය කර හනුමන්තා දේව රාජා අංජන දේවී අරං එලිය බලා ඕඩු ස්වාමියානේ ඕඩු ඕඩු එස්වාහඃ………”
කියමින් මතුරත්ම එකවරම මල් යහනේ වූ පහන නිවිණි .එය අසාමාන්‍ය පෙර නිමිත්තකි . එවැනි වෙලාවට සීයා කරන්නේ එක්කෝ අංජනම වසා දැමීම හෝ මම ලවා බැලවීමය . මොහොතකින් මම දෙස බැලූ සීයා
“පුතා බලන්න”
කියා මාව අඳුන ඉදිරියේ හිඳුවා ඉතාමත් රළු හඬින් මතුරන්න විය .
මොහොතකින් අන්ජනමේ කළු පැහැති පසුබිමෙහි විශාල අඹ ගසක් පෙනිණි . තවත් ටික වෙලාවකින් එම අඹ ගස මුදුනෙහි හනුමාගේ රුව පෙනෙන්නට විය . කළු පැහැති සිරුර පුරා කෙස් වැවුණු නමුත් හනුමාගේ මුහුණ ඉතාම උපශාන්ත බැල්මකින් යුක්ත විය . හනුමා අවාද කියා සීයා අසූ විට මම හිස වැනීමි .සීයා නැවත මතුරන්නට විය .එකවරම හනුමා තමා සිටි අඹ ගසෙන් බිමට පැන එලිය තුලින් මගෙන් ඇහුවේ දැන ගැනීමට ඕන කුමක්ද කියාය . මම එය වහාම සීයාට දැන්වූ විට
“අහපන් පුතේ මේ හතර මායිමේ වෙලා තියෙන විපත්තිය මොකක්ද කියලා ”
එය අසා සිටි හනුමා අඳුනෙන් නිවසේ ඉදිරිපස අඹ ගස යට වලදමා ඇති බට පුටුකක් පෙන්වන ලදී . මෙම නිමිත්තම ප්‍රමාණවත් විය . කල යුතු දෑ ලෙස හනුමා කීවේ මෙය කවුරුන් හෝ තරහට කල මහසෝන් බන්දනයක් ලෙසත් ආපිට යාමට කැපිය යුතුය , නැතහොත් දවස් හතරක් ඇතුලත මහසෝනා විසින් ආතුරයා බිලි ගන්නා බවත්ය .
සීයාට මේ සියල්ල පැවසූ විට
" මේ දේ කරේ කවුද කියලා අහපන් පුතේ " කියා සීයා පැවසීය
හනුම කියන දේ මට පැහැදිලි නොවිණි . එබැවින් මම එය ලියා පෙන්වන්නට කීවෙමි . මෙම ගුරුකම කල පුද්ගලයාගේ නම පුවරුවක ලියූ හනුමා එය ඔසවා මට විදහා පෑවේය . ඔහු එහා ගමේ කෙනෙක් වග මම දනිමි .
මම මේ සියල්ලම සීයාට කීවෙමි . ආකාසට්ටාච භුම්මට්ටා……….ලෙස දෙවියන්ට පින් දී අංජනම් එලිය වහන මන්තර මතුරත්ම හනුමා නොපෙනී ගියේය .
සීයා මගේ දෑසින් බට පුරුක වලලා ඇති තැන සොයා කිනිස්සෙන් ඒ ස්ථානය හතරැස් කොටුවක් ලෙස සලකුණු කරන ලදී .
“මෙතන මින් මත්තේ මේකේ අවසානයක් වෙනකං පාගන්නේහෙම නෑ බොලව්”
කියමින් සීයා ශෝකාකුලව සිටින සියාතු මාමා වෙත ගියේය .
“සියාතුවේ උඹ බය නොවී හිටහන් අද අඟහරුවාදා වෙච්චි . හෙට නෙවෙයි අනිද්දා දොහාට මේ වැඩේ තීන්දුවක් කරමු . මම ඉන්නකන් මේ ගමේ එකෙක්වත් යක්කුන්ට මල පෙරේතයන්ට බය වෙන්න උවමනාවක් නෑ . මහසෝනා බන්ධනය කරලා මේ දේ කරලා තියෙන්නේ . දිශ්ටියත් ඉන්න ඇත්තේ උඹේ දුවට වැහෙන්න පුළුවන් වෙලාවක් එනකන් වෙන්න ඇති . ඒකනේ මේ කරවල බදින වෙලාවේ අල්ලගෙන තියෙන්නෙ"
“ලොකු කෙසෙල් ගස් හතරක් , පොල් මල් 5ක් , පුවක් මලක් , ලාඩප්ප ලී ,කුරුඳු ලී , කපලා තියා ගනිං”
“අනිත් හොයන්න ඕන ඒවා කියලා දෙන්න හවහට වලව්ව දිහාවට කවුරු හරි ආවනම් හොඳයි”
සීයාත් මමත් කරත්තයට නැග වලව්ව කරා පිටත් වීමු .
සවස ගමේ සාමුහික වැඩ සඳහා නොමදව ශ්‍රමය කැප කරන දෙතුන් දෙනෙකු වලව්ව වෙත පැමිණි අතර සීයා ඔවුන්ට සෙවිය යුතු කළමනා ලැයිස්තුවක් සහ ඊට අවශ්‍ය මුදල්ද දුන්නේය . ඒ සීයාගේ සිරිතය . අතමිට නැත්තාට ඔහු සලකන්නේ ඔහුගේ පවුලේ අයට මෙනි .
මෙම ලයිස්තුවේ
රත්හඳුන්
සුදුහඳුන්
පළතුරු
කොට්ටපොල්
අළු පුහුල් ගෙඩියක්
ආදී දේවල් මෙන්ම
එළවලු වර්ග 32ක්
කුකුලෙක්
රා , පොල් අරක්කු
කිකිළි බිත්තර
වටු බිත්තර
නයි හැව
පස් තෙල්
විළඳ
මීපැණි
දෙහි
අමු කහ
වද කහ
අන්තර්ගතවී තිබිණි . සීයා මේ සැරසෙන්නේ මහසෝන්පිල්ලූ පිදේන්න යන ගුරුකමට විය යුතුය . එයට මහසෝනා ගෙන්වා පූජාව සහිත පිදේන්න දී නැවත අවශ්‍ය තැනට යැවිය යුතු අතර සුළු හෝ වරදකින් තමාගේ ( ඇදුරාගේ ) ජීවිතය නැතිවන බව මම පොත් පත් වලින් කියවා තිබේ. නමුත් එවැන්නකට මට කිසි දිනක සහභාගී වීමට ලැබී නැත .
ලැයිස්තුව දී ඔවුන් පිටවී ගිය පසු මම සීයා ලඟට ගොස්
මහසෝන්පිල්ලූ පිදේන්න ලෙස ඇසෙන නොඇසෙන ලෙස මිමිනූවිට සීයා මද සිනහවක් පා
“ඔව් ඔව් මම එක පාරකුත් මෙහෙම පිදේන්න දීලා තියෙනවා . දැන් කාලයක් තිස්සේ මහසොනා රවට්ටලා වැඩ ගත්ත එකේ මේ පාර පිදේන්න පුරෝලා දෙනවා ”
යයි කිවේය .
පිදේන්න දෙන දිනයේ උදෑසනම මමත් සීයාත් සියාතු මාමගේ නිවසට ගොස් කල කිය යුතු දෑ සහ මල් යහන, ගොප්කොල සැරසිලි හා පිදේනි තටුව නිර්මාණය කරන අන්දම කියාදී ඒවාට උපන් හපන්කම් තියෙන අපේ කටයුතු වලදී නිරතුරුවම බෙරගසමින් උදවු වන බෙරගල මාමා එහි නවතා නැවත නිවසට පැමිණියෙමු .
අවශ්‍ය මන්තර ආදිය සියල්ල පොත් පෙරලා හොඳින් කියවා නැවත බැලූ සීයා නා පිරිසිදුවී සවස් වේගෙන එනවිට නැවත සියාතු මාමගේ නිවසට යාමට සූදානම් විය . සාලේ කොනක තබා ඇති බට්ටා සහිත ඔරලෝසුවේ සවස හතරයි තිහේ කණිසම නාද විය .