ජනෙල් උළුවහු මැද වහලයේ ලී තැබීමේ දෝෂය සහ නිර්දෝෂය



දැනට මාසයකට වගේ කලින් මට කෙනෙක් කතා කරලා එයාගේ ගෙදර තියෙන වාස්තු විද්‍යාත්මක ගැටළු කීපයක් ගැන දුරකථනය ඔස්සේ පැහැදිළි කිරීමක් බලාපොරොත්තු උනා . ඒ පැහැදිළි කිරීම ටිකක් දුරට යනකොට ඒ කෙනාටත් මටත් දෙන්නටම අවශ්‍ය උනා මේ නිවසේ වාස්තු විද්‍යාත්මක පසුබිම සම්බන්ධව අදාළ ක්ෂේත්‍රයටම ගිහින් බලලා කතා කරන්න . ඊට පස්සේ මේ වෙනුවෙන් දවසක් වෙලාවක් වෙන් කරගෙන මම ගියා ඒ ගෙදර තත්වය පරීක්ෂා කරලා බලන්න සහ එයාලාගේ හිතේ තියෙන ප්‍රශ්නයට උත්තරය මොන වගේ එකක් වෙන්න ඕනද කියලා බලන්න . 


ඒ ගෙදර ළමයි තුන් දෙනාගෙන් එක්කෙනෙක් ඊට සති දෙකකට වගේ කලින් වාහන අනතුරක් නිසා මිය ගිහින් . එයාලා ඉන්න ගෙදර ඒ වෙනකොටත් සම්පූර්ණයෙන් ම කඩලා අලුත් වැඩියා කරනවා . කොහොම හරි මරණය තැම්පත් කරලා තිබුණෙත් බාගෙට වගේ හදලා තිබුණ සාලයේ . එයාලට අවශ්‍යතාවය තිබුණේ මරණයේ කටයුතු අවසන් කරලා හත් දවසේ දානයත් දීලා ඊට පස්සේ ගෙදර වැඩ ආයෙත් පටන් ගන්න . ඒ වුණත් එයාලාගේ හිතේ යම් කහටක් තිබුණා ඒ ගෙදර කඩලා හදන නිසා ඒ ඇතිවුණු දෝෂයක් නිසා තමන්ගේ දරුවා මිය ගියාද කියලා දැනගන්න . පැය දෙකක වගේ සාකච්ඡාවකට පස්සේ මම එයාලට තේරුම් කරලා දුන්නා ගෙදර දෝෂයක් නැහැ . දරුවා මිය ගියේ එයාගේ දෛවය අනුව , ගෙදර දෝෂයක් නිසා නෙවෙයි කියලා . 


ඒ පැය දෙකක වගේ සාකච්ඡාව තුල එයාලා නිතරම මතු කරපු ගැටළුවක් උනේ උළුවස්සක හරස් කඳේ හරි මැදට වහලේ බාල්ක ලීයක් ස්ථානගත වීම . ගෙදරට ආපු කෙනෙක් ඒක දෝෂයක් කියලා කිව්වා කියලා තමයි එයාලා නිතරම වගේ ඒ කතාව තුල කිව්වේ . මේ ලිපිය ලියන්න ප්‍රධානවම හේතු උනේ එදා ඒ සිදු වුණු කතා බහ . 

ගොඩක් වෙලාවට වස්සතු විද්‍යාත්මක සිද්ධාන්ත , කාලයත් යාවත්කාලීන වීම නොවීම නිසා මේ වගේ ප්‍රශ්න මිනිස්සුන්ගේ හිත්වල හොල්මන් කරන තත්වයට පත් වෙලා තියෙනවා . තමන්ගේ හිතේ එහෙම හොල්මන් කරන සිතුවිල්ලක් තවත් කෙනෙක්ට බරපතල විදියට කීම නිසා තවත් ප්‍රශ්න වැඩිවෙලා මේ කරුණු කටින් කට ඉදිරියට එනවා . 


ඉස්සර කාලේ , ඒ කියන්නේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා ඉන්න කාලේ කියලා අපි කියමුකේ . ඒ කාලේ ගෙවල් හදනකොට ගොඩක් වෙලාවට භාවිතා කරේ කළුගල් , හිරිගල් , කබොක් ගල් , මැටි , හුණු බදාම , ලී දඬු , සහ ලීවලින් නිර්මාණය කරන ලද උළුවහු ජනෙල් . වහලයට පාවිච්චි කරේ ලී සහ උළු , පිදුරු , පොල් අතු වගේ දේවල් . මේ වගේ දේවල් වලින් ඒ කාලේ ගෙයක් හදනකොට ඒ කාලේ මිනිස්සු අත්තිවාරම දාලා ගේ බැඳගෙන එනකොට උළුවහු ජනෙල් අදාල ස්ථානවල තියලා එහෙමම ගේ බැඳගෙන යනවා . එහෙම ගේ බැඳගෙන ගිහින් උළුවහු ජනෙල් වල උද කොටසත් ඒ විදියටම ගල් මැටි බදාම වගේ දේවල් භාවිතා කරගෙන බඳිනවා . ඊට පස්සේ වහලය ගහනවා . මම උදාහරණයක් විදියට දාන්නම් ඒ වගේ පරණ විදියට බැඳපු ගෙදරක ෆොටෝ එකක් . 


බලන්න මේ ගෙදර ජනේලය උද බිත්ති කොටස බන්දලා තියෙන්නේ මම අර කිව්වා විදියට . දැන් හිතන්න වහලය ගහනකොට ඔය ජනේලයේ හරස් ලීයේ හරි මැදට වෙන්න වහලයේ යට ලීයක් , බාල්කයක් හරි පරාලයක් හරි ආවා කියලා . එතකොට ඒ ලීයේ බර බිත්තිය හරහා ඇවිත් මේ උළුවහු ලීයේ මැදට සම්බන්ධ වෙනවා . කාලයත් එක්ක ඔය බර ක්‍රියාත්මක වෙනකොට ජනේල රාමුවේ මැද තියෙන කඳ යූ අකුරක ශේප් එක ගන්න වගේ මැදින් පහතට නැවෙන්න බලනවා . ඔය නැම්ම අඟලක් නැවුනත් ඇති ඒ බිත්තියේ සමතුලිතය බිඳෙන්න . ඊට පස්සේ බිත්තිය ඉරිතලනවා . ඒ ඉරිතැලීම ලොකුවට ගිහින් බිත්තිය කඩා වැටෙන්න උනත් පුළුවන් . එහෙමත් නැත්නම් ඒක පිළිසකර කරන්න මුළු ගෙයිම වහලය ගලවලා ආයෙත් වහලය ගහන්න වෙන්න ඉඩ තියෙනවා . 


බිත්තිය කඩා වැටුනොත් බිත්තියට යටවෙලා ගෙදර මිනිස්සු මැරෙන්න ඉඩ තියෙනවා . වහලය කඩා වැටුනත් එහෙමයි . අපි හිතමු ගෙදර අලුත් වැඩියා කරනවා කියලා . එහෙම අලුත් වැඩියා කරනකොට උනත් අනතුරු වෙලා ගෙදර මිනිස්සු මැරෙන්න පුළුවන් . වහල ගලවලා වහලය හදනකල් වැස්සක් වැස්සොත් ගෙදර බඩු සේරම විනාස වෙන්න පුලුවන් . මේ වගේ හානි වැඩි ප්‍රමාණයක් මෙහෙම බිත්ති බැඳීම නිසා වෙන්න පුළුවන් . ඒ නිසා තමයි ඒ කාලේ වාස්තු නියමයක් ආවේ මේ වගේ උළුවහු හෝ ජනෙල් කඳක් උද හරි මැදට වෙන්න වහලයේ බර ලී ස්ථානගත වෙන්න හොඳ නැහැ කියලා . ඒ කාලෙට ඇත්තටම ඒක වලංගු වෙනවා . ඒත් අද කාලේ ?


අද කාලයේ හදපු සහ හදන ගෙවල් වල උළුවහු ජනෙල් තියලා හෝ තියන්න කලින් ඉඩ තියලා බිත්ති බැඳලා ඒ උඩින් කොන්ක්‍රීට් ලින්ටල් එකක් යනවා . මේ ලින්ටල් යන නිසා වහලයේ බර උළුවහු ජනෙල් වලට බලපාන්නේ නැහැ . මේ බලපෑම ඇති නොවීම නිසා වහලයේ ලී ඕන විදියකට බිත්ති උඩ ස්ථානගත කරන්න පුළුවන් . මේ විදියට ලින්ටල් දාලා හදපු ගෙදරාකට වන අලි ප්‍රහාරයක් එල්ල වෙලාත් ගෙදර වහලය ඒ විදියටම තියෙන ෆොටෝ එකක් මම මෙතන දාන්නම් . මම මේ ෆොටෝ එක facebook එකෙන් දැකලා අරගත්තේ මේ ලිපියටම සම්බන්ධ කරන්න ඕන නිසා . 




බලන්න මේ ගෙදර වහලය ඒ විදියටම තියෙනවා . වහලයේ බර ලින්ටල් එක හරහා බෙදිලා ගිහින් තියෙන නිසා උළුවහු ජනෙල් තියා අලි කඩලා දැම්මට පස්සේ වහලවත් පාත් වෙලා නැහැ . මේ නිසා මෙයාලට ගෙදර අලුත් වැඩියා කරගන්න උනත් පහසුවක් තියෙනවා . ඒ වගේම තමයි වහලයේ බර නිසා බිත්ති පුපුරන තත්වයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ . මේ වාසිය නිසා තමයි අද කාලේ ගෙවල් වල වහලයේ ලී උළුවහු ජනෙල් වල හරිම මැදට ආවත් දෝෂයක් නැහැ කියලා කියන්නේ . මේක කොච්චර පැහැදිලි කරලා කියන්න හැදුවත් මිනිස්සුන්ගේ හිතේ තියෙනවා ඒ වුණත් දෝෂයක් එයිද දන්නේ නැහැ කියලා අමුතු බයක් . එහෙම බයක් ඇති කරගන්න වෙන්නේ නැහැ හරියට ලින්ටල් දාලා තියෙනවා නම් . 




මේ තියෙන්නේ ලින්ටල් දාලා හදලා තියෙන ගෙයක් . ඊළඟට මෙයාලට පුළුවන් උළුවහු ජනෙල් තියලා මේ ගෙය සම්පූර්ණ කරන්න . 


දැන්වත් මේ ප්‍රශ්නය තේරුම් අරගෙන අනවශ්‍ය විදියට ගෙවල් කඩලා , වහලවල් කඩලා මුදල් කාලය ශ්‍රමය නාස්ති කරන එක වළක්වා ගන්න . බටහිර හොඳයි පෙරදිග නරකයි කියලා වෙන් කරන්න බෑ . මේ තියරිය කොහෙටත් එකයි . 


තවත් ලිපියකින් හමුවෙමු !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !






වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

4 comments:

  1. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    ReplyDelete
  2. ane gurunnanse walawwe katha dannakoo please

    ReplyDelete