මහද දෝතින් ගෙන පැතු මට වෛර නොකරනු මැනවි






ආදරය යනු යමෙකු ගෙවන ලද ජීවිතය නවමු ආකාරයකින් ප්‍රතිසංස්කරණය කරනු ලබන ගුප්ත මායාවක් වැන්න  . එය තේරුම් ගනු ලබන්නේ කීයෙන් කීදෙනාද ? . සැබවින්ම බොහෝ අය සිතනු ලබන්නේ ආදරය කරනු ලබන පුද්ගලයා තමන් කැමති ආකාරයට හැඩගස්වා ගැනීමට රළු හැඩය , රළු වචන , රළු ගති පැවතුම් සුමුදු කිරීම තමා විසින්ම කළයුතු බවත්ය .

හැගීම් බෙදාහදා ගැනීම අදහස් හුවමාරු කරගැනීම ආදී සකලවිද ප්‍රේමාලිංගනයන්ගේ කූටප්‍රාප්තිය ඔහු හෝ ඇය තමා වෙත නම්මවා ගැනීම බව ඔවුන්ගේ විශ්වාසයයි . එහෙත් එය මුළුමනින්ම වැරදි ක්‍රියාවක් බව තේරුම් යන්නේ නැවුම් ආදරය පෑල දොරින් පලාගිය පසුවය .ඒ කෙසේ වෙතත් අප මුල සිටම කටයුතු කරන්නේ අපගේ පෙම්වතා හෝ පෙම්වතිය මුල සිටම තමාගේ අභිමතයන් අනුව වෙනස් කරගැනීමටය .

ආදරයේ සැබෑ හැඩතලය වන්නේ තමාගේ ගතිගුණ වලට අනුව අනෙකා නොව ; අනෙකාගේ ගතිගුණ වලට අනුව තමාගේ ජීවන හැඩතල වෙනස් කරගැනීමයි . ඔහුගේ හෝ ඇයගේ සිතුම් පැතුම් තේරුම්ගෙන ඒ අනුව ජීවත් වීමයි . අන්ධ බවින් මිදී මහපොළව තුල පයගසා ජීවත් වන්නාට සිහින ලෝකවල ජීවත්වී කඩා වැටෙන්නාට වඩා අංශුමාත්‍රයකින් හෝ වැඩි සතුටක් ලැබිය හැක . ඒ අනුව සිතනවිට බුදුන්වහන්සේ නිවැරදිය . ආශාවන් නැතිකළ තැනැත්තාට අජරාමර සැප ලැබේ .

සිහින ලෝකවල ජීවත්වන පුද්ගලයින් අවසානයේ සිහිනත් සමගම බොඳවී යනවා මිස සැබෑ ලෝකයේ අවදි වන්නට වරම් ලබන්නේ නැත . මේ එවන් පෙම්වතෙකුගේ ආත්මීය පසුතැවීමකි .

මහද දෝතින් ගෙන පැතු
පැතුම් කුසුමේ පෙති කඩා හැර
නුවන් යුග කඳුළින් තෙමා හැර
නිමල පෙමකට නිඟා කළ මට
වෛර නොකරනු මැනවි සොඳුරියේ

ඔබගේ ආත්මගත ආදර කුසුමේ සුවඳ විඳීමට මා ප්‍රාර්ථනා කරන ලද්දේ මාගේ හදවත දෝතින් ගෙනය . ඒ ඔබගෙන් මවෙත ලැබෙන්නාවූ ඔබගේම හදවත අහිමි වීමේ අඩුව ඔබට දැනීම වැලැක්වීමටය . අප දෙදෙනා එදා ඒ හුවමාරු කරගත් හදවත්වල පිරී පැවතුනු නැවුම් සුවඳට වග කිව යුත්තේ ඒ ඒ හදවත්වල පෝෂණයෙන් පිපී තිබුණු පැතුම් කුසුම බව මා හොඳාකාරවම දනිම .

මම මහා පවුකාරයෙක්මි . මම එය වටහාගන්නා විට මවිසින්ම ඒ පැතුම් කුසුමේ පෙති එකින් එක කඩා විසිරුවා අවසානය . ඔබටද මටද අවසානයේ ඉතිරි වූයේ කඳුළ පමණක්ය . පූජනීය වස්තුවක් සේ ඔබ ආරක්ෂා කළ නිර්මල වූ ප්‍රේමයට නිග්‍රහ කරන ලද ඒ පවුකාරයා මමය . මොහොතක් මොහොතක් පාසා විඳවමින් ඒ පවු ගෙවාලන මාහට ඔබගේ වෛරය දරාගැනීමට හැකියාවක් නැත . මාහට වෛර නොකරනු මැනවි සොඳුරියේ .

කටුක දුක් හදවත දවද්දී
නිවා ලන්නේ කෙලෙස ඔබ හද
බිඳුණු පෙම ඉකිබිඳ හඬද්දී
සිනා රැල්ලක වේද සොම්නස

ඔබගේ නිමල ප්‍රේමයට නිගාකල මාගේ හදවත කටුක අමිහිරි වේදනාවෙන් පිරී ඇත . එම වේදනාව විටෙක මහා ගිනි ජාලාවක් සේ මාගේ හදවත වෙලා ගනී . එහෙවු හදවතකට උරුමකම් කියන මා ඔබගේ හදවත දැවෙන වේදනා ගිනි දැල් නිවාලන්නේ කෙලෙසකද කියා සිතා ගැනීමට නොහැක . හදවත මුහුණින් ඉවතට පනිත්දී හදවතේ නැති සොම්නසින් පිරි සිනහව මුහුණින් කෙසේ පෙන්වමිද ?

සිතක් ඇති මුත් සුමුදු පිවිතුරු
වරම් නැත අබිසෙස් ලබන්නට
නුහුරු නුපුරුදු ලොවක යසිසුරු
නොහැක ඔබ අබියස රඟන්නට

ඔබගේ සිත සුමුදු පිවිතුරු සිතක් බව මම ඉඳුරාම දනිමි . නමුත් ඒ සුමුදු පිවිතුරු ප්‍රේමයේ අභිෂේකය මා හිස මත පැළඳ ගැනීමට වරම් අහිමි කරගත් පරාජිතයා මමය . අද ඔබ හා රංගනයේ යෙදීමට සිදුවී ඇත්තේ නන්නාඳුනන පුද්ගලයෙකු ලෙසිනි . එය මට නුහුරු නුපුරුදු හැසිරීමකි . එහෙත් ජීවිතය මේ දක්වා ගෙන ආවේ එලෙස රඟන්නට නම් වෙන කුමක් කරම්ද ??

මහද දෝතින් ගෙන පැතු
පැතුම් කුසුමේ පෙති කඩා හැර
නුවන් යුග කඳුළින් තෙමා හැර
නිමල පෙමකට නිඟා කළ මට
වෛර නොකරනු මැනවි සොඳුරියේ

කටුක දුක් හදවත දවද්දී
නිවා ලන්නේ කෙලෙස ඔබ හද
බිඳුණු පෙම ඉකිබිඳ හඬද්දී
සිනා රැල්ලක වේද සොම්නස

සිතක් ඇති මුත් සුමුදු පිවිතුරු
වරම් නැත අබිසෙස් ලබන්නට
නුහුරු නුපුරුදු ලොවක යසිසුරු
නොහැක ඔබ අබියස රඟන්නට


ගී පද : යශෝධා විමලධර්ම
තනුව : නවරත්න ගමගේ
ගායනය : දයාන් විතාරණ









වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

1 comment: