මහ සමන් දේවාලයේ දිය කැපීමේ මහා මංගල්‍යය






සමන් දේවාලේ පෙරහැරේ කතාව අදින් නිමා කරන්න තමයි මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ . දවස් ගණනාවක් තිස්සේ රාත්‍රී පෙරහැරවල් වල දේවාභරණ වැඩම කරවලා , අවසාන රන්දෝලි මහ පෙරහරට පසු දවසේ තමයි දවල් පෙරහැර , ඒ කියන්න සබරගමුව මහ සමන් දේවාලේ දිය කැපීමේ මංගල චාරිත්‍රය ඉටු කරන්නේ . දිය කැපීමේ චාරිත්‍රය ගැන කියනවනම් මේ දිය කැපීමේ චාරිත්‍රය ආරම්භ වෙලා තියෙන්නේ කතරගම දෙවියන්ගෙන් කියලා තමයි කියන්නේ .

සුරාසුර යුද්ධයෙන් ජයගත් කතරගම දෙවියන් තමාගේ කඩුව සේදීම නිසා මේ දිය කැපීමේ චාරිත්‍රය ඇතිඋනා කියලා පිළිගැනීමක් තියෙනවා . ඒත් පස්සේ මේ සිරිත සෑම දේවාලයකම වගේ සිදු කෙරෙනවා . දිය කැපීම සිදු කරන්නේ විශේෂිත තොටුපලක . සමන් දේවාලේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කරන්නේ රත්නපුර මල්වල ප්‍රදේශයේ පිහිටා තියෙන රත්මල ඇල්ල කියන තොටුපළෙන් .

දවසක් මම ගියා මගේ යාලුවෙක්ගෙ වෙන්න බිරිඳගේ තාත්තගේ දානේ ගෙදර . ඒ යන්නේ මේ තොටුපල පහු කරලා . ඒ තුටුපල උඩින් තියෙන පාලමෙන් තමා බස් යන්නේ . එතනින් යනකොට බස් එකේ වාඩිවෙලා හිටපු ගොඩක් අය නැගිට්ටා . මම දන්නේ නෑ මෙතන තමයි තොටුපල කියලා . මම ගාව වාඩිවෙලා හිටපු ඇන්ටි කෙනෙක්ගෙන් මම ශේප් ඒකෙ ඇහුවා ඇයි ඇන්ටි මෙතනදී නැගිටින්නේ කියලා . ඉතින් ඒ ඇන්ටි කිව්වා මෙතන තමයි පුතේ දේවාලේ දිය කපන්නේ . දේවාභරණ මෙතනට වැඩම කරවන නිසා මිනිස්සු නැගිටින්න පුරුදු වෙලා තියෙනවා මෙතනට ගෞරව කරන්න කියලා . අන්න එහෙමයි අපේ පැත්තේ මිනිස්සු





සමන් දේවාලේ දිය කැපීම කරන්න නියම වෙලා තියෙන මේ තොටුපලට දේවාලේ ඉඳලා ගොඩක් දුරයි . ඉතින් දේවාභරණ රැගත් දෝලාවල් නංවාගත් ඔරු එහෙමත් නැත්නම් අඟුල් කීපයකින් තමා දේවාලේ තේවාව භාර පිරිස මේ ස්ථානයට යන්නේ . කළු ගඟ දිගේ මෙහෙම ගමන් කරන මේ දිය කැපීමේ පෙරහැර තමයි ලංකාවේ තියෙන දිගම ගඟේ පෙරහැර . සමහර අවුරුදු වලදී ගඟේ වතුර පාර වැඩි උනාම අඟුල් වලට යන්නම බෑ . මොකද උදේ පාන්දර මේ අඟුල් යාත්‍රා කරන්න ඕන ඉස්සෙල්ලම ගඟේ ඉහත්තාව බලා . වතුර පාර කපාගෙන ඉහලට , කිලෝමීටර් ගානක් අඟුල පදිනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි .

ඒ දවස් වලට දේවාලේ කිට්ටුව තියෙන වෙනත් ස්ථානයකින් දිය කැපීම කරනවා . ඒත් පෞරාණික චාරිත්‍ර වලට අනුව හරියටම දිය කැපීම කෙරෙන්නේ රත්මල් ඇල්ලේ තමයි . දැනට අවුරුදු කීපයකට කලින් සමන් දේවාලේ දිය කැපීමේ චාරිත්‍රය සඳහා ඔය රත්මල් ඇල්ලට යන්න උනේ නෑ . මොකද හරියටම ඒ දවස් වලදී වැස්ස වැඩිවෙලා කළු ගඟේ ජාල පහරේ වේගය වැඩි වෙනවා . ඉතින් මේ කාලේ මිනිස්සු වැඩිපුර කතා උනේ දේවාලේ බස්නායක නිලමේ තුමාගේ ආනුභාවයෙ අවුලක නිසා තමයි මෙහෙම දිය කපන්න බැරි උනේ කියලා . මේ නිළමේ තුමාව රත්නපුරේ ජනතාව හැඳින්වුණේ වැහි නිළමේ කියලා . ඒත් අලුත් බස්නායක නිළමේ තුමෙක් පත් වුනා ගිය අවුරුද්දේ . ඒ අවුරුද්දේ නම් දිය කපන්න ලැබුණා කොහොම හරි . ඉතින් මිනිස්සු කතාවුණා ඒ බස්නායක නිළමේ තුමා වාසනාවන්තයි කියලා .


අවසාන රන්දෝලි මහ පෙරහැර අවසන් වෙලා ගෙට ගෙවදින්නේ සාමාන්‍යයෙන් පසළොස්වක පොහොය දවසට පහුවෙනිදා පාන්දර 1 ට 2 ට වගේ වේලාවට . ගෙට ගෙවදුනාට පස්සේ ආලත්ති තේවාව ඉවර වෙලා තේවාව භාර පිරිස තම තමන්ගේ ගෙවල් වලට යනවා . ගිහින් ආයෙත් පාන්දර 4ට වගේ දේවාලෙට එනවා . ඒ එන්නේ අලුත් සුදු ඇඳුම් ඇඳගෙන . පාන්දර 5 ට වගේ වෙලාවට තමා ගඟේ පෙරහැර යන්න දෙවාලෙන් එලියට එන්නේ .




මේකට නැටුම් ගැයුම් සහභාගී වෙන්නේ නෑ . දේවාලේ තේවාව කරන අය විතරයි අදාළ වෙන්නේ . එයාලා දේවාභරණ රැගත් දෝලාවල් දෙක ඒ කියන්නේ සමන් දේවාලේ සහ පත්තිනි දේවාලේ දෝලාවල් දෙක සහ කුමාර රථය මේ සඳහා යොදාගන්නවා .

දේවාභරණ නංවාගත් දෝලාවල් සහ කුමාර රථය පෙරටුකරගත් තේවාව භාර පිරිස හේවිසි වාදනය කරමින් දේවාලේ වටා ගමන් කරලා සිංහාසන මණ්ඩපයට පිවිසෙනවා . සිංහාසන මණ්ඩපේ ඇතුලට යන ප්‍රධාන කපු මහත්මයා නැවත එලියට ඇවිත් අලියා පිටේ නැගලා සමන් දෙවියන්ගේ හීය නමැති දෙවාභාරණය තමාගේ කරමත හොවාගෙන දේවාලේ අසල තියෙන කොටාඹේ කියන තොටුපල වෙත ගමන් කරනවා . මෙහෙම ගමන් කරලා අවසානේ මේ අය තම තමන්ට අදාළ අඟුල් වලට ගොඩ වෙනවා . දේවාලේ අඟුල් හතරක් මේ සඳහා සහභාගී වෙනවා .

පත්තිනි අඟුල
සමන් දේව අඟුල
හේවිසි අඟුල
නිළමේ අඟුල තමයි

මේ අඟුල් හතර .

පත්තිනි අඟුලේ පත්තිනි දෙවියන්ගේ දේවාභරණ රැගත් දෝලාව තැම්පත් කරලා පත්තිනි දේවාලේ කපු මහත්මයා ඇතුළු රාජකාරි කණ්ඩායම් ගමන් කරනවා . සමන් දේව අඟුලේ සමන් දේවාලේ දෝලාව තැම්පත් කරලා සමන් දේවාලේ කපු මහත්වරු ගමන් කරනවා . හේවිසි අඟුලේ ඉන්නේ හේවිසි වාදනය කරන අය . නිළමේ අඟුලේ ඉන්නේ බස්නායක මහත්මයා නියෝජනය කරන නිළමේ වරු .

සැතපුම් හතරක් හෝ පහක් පමණ වන දුරක් ගෙවාගෙන මේ අඟුල් කළු ගඟේ ඉහත්තාව බලා ගමන් කරනවා . මේ පෙරහරට ගමේ අයත් ඔරු අරගෙන සහභාගී වෙනවා . ඒවගේම සමහර අය මේ පෙරහරත් එක්ක ටයර් ටියුබ් ආධාරයෙන් පීනාගෙන රත්මල් අල්ලට ගමන් කරනවා . හේවිසි ගහගෙනම තමයි පෙරහැර ගමන් කරන්නේ .

ඔහොම ගිහිල්ලා නැකත එළඹෙන මොහොතේ දේවාලේ තේවාව භාර නිල වලට අදාළ අය කඩුවෙන් දිය කපලා කෙන්ඩියට පුරවා ගන්නවා . මේ අවස්ථාව කිසි කෙනෙක්ට බලන්න දෙන්නේ නෑ . සුදු රෙදිවලින් ආවරණය කරලා තමයි දිය කපන්නේ . දිය කපපු මොහොතේ නැකතට දේවාලයේ කාල තුවක්කුව පත්තු කරනවා . ඒ එක්කම ගොඩක් දෙනෙක් දෙවියන්ගේ අනුහස මිශ්‍රවෙලා ගලන ගඟේ වතුරේ කිමිදිලා ස්නානය කරනවා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න . දේව අඟුල් වලට පූජාවල් තියනවා පඩුරු දානවා වගේ දේවල් පවා මිනිස්සු කරන්න පුරුදුවෙලා ඉන්නවා .

ඊට පස්සේ තමයි දේව අඟුල් ඇතුළු අනෙක් අඟුල් ආයෙත් සමන් දේවාලය බලා එන්න පිටත් වෙන්නේ . මේ එන අතරතුරේ අතරමග තියෙන තොටුපුලවල් කීපයකම දේව අඟුල් නවත්වනවා . සමහරවිට අඟුල් පදින අයගේ විඩාව නිවන්න එහෙම නවතින්න පුරුදුවෙලා ඇති . ඒ කෙසේ වෙතත් දේව අඟුල් වලට මේ ස්ථාන වලදී පූජාවල් තැබීම , පඳුරු දැමීම වගේ දේවල් කෙරෙනවා . අපේ සීයා මට මතකයි හැම අවුරුද්දෙම රත්නපුර මුවගම පාලම ගාවට පෙරහැර එනකං ඉඳලා පඬුරු දාලා එනවා .

මේ එක් එක් තොටුපොළවල් වලින් පෙරහැර පිටත්වෙන වාරයක් ගානෙම කාලතුවක්කුවෙන් වෙඩිල්ල පත්තු කරනවා . තව විශේෂ දෙයක් කියන්න ඕන . සමන් දේවාලේ මේ ගඟේ පෙරහරේ ගමන් කරන අයට කැවුම් කිරිබත් වගේ දේවල් වලින් සංග්‍රහ කරන්න ගොඩක් දෙනක් පුරුදුවෙලා තියෙනවා .

ඔහොම ඔහොම ඉතින් දේව අඟුල් ආයෙත් සමන්දෙවාලය අසල තියෙන කොටාඹේ කියන තොටුපොළ ගාවට කිට්ටු වෙනවා . රාහු කාලේ පන්නලා හදලා තියෙන නැකතකට අනුව මේ පෙරහැර ගඟෙන් ගොඩබහිනවා . මේ අතරවාරයේ දේවාලයේ අලි ඇත්තු නැටුම් කණ්ඩායම් බස්නායක නිලමේ ඇතුළු අනෙක් නිලමේවරු ඔක්කොම පෙරහැර සූදානම් කරගෙන ඉන්නවා දේවාභරණ නැවතත් දේවාලයට වැඩම කරවන්න සූදානමින් .

දේවාභරණ වැඩම කරවලා පෙරහැර ගඟෙන් ගොඩ බැස්සම නැකතට නැවතත් වෙඩිල්ල පත්තු කරනවා . මේ වෙඩිල්ලෙන් සිහිගන්වන්නේ ඔන්න සමන් දේවාලේ දවල් පෙරහැර ආරම්භ උනා කියලා . වෙඩිල්ල තියලා හැමෝම පන්සිල් ගන්නවා . එතනදී පන්සිල් දෙන්න තේවාව භාර පිරිත් නිලයේ හාමුදුරුවරු සැදී පැහැදී වැඩ ඉන්නවා . පන්සිල් දීලා අවසන් උනාම කස හේවිසි හොරණෑ නාද කරමින් දවල් පෙරහැර ආරම්භ වෙනවා .

දවල් පෙරහැරේ , රෑ පෙරහැරවල් වල තරම් නැටුම් කණ්ඩායම් ගමන් කරන්නේ නෑ . හැබැයි අංග සම්පූර්ණව පෙරහැරක් ගමන් කරනවා . මේ පෙරහැරේ ධාතු කරඬුව වැඩම කරවන්නේ නෑ . සමන් දෙවියන්ගේ දෙවාභාරණයක් වන ඊතලයක් සුදු අන්දපු අලියෙක් පිටේ වැඩම කරවනවා . මේ ඊතලය රෑ පෙරහැරවල්වල වැඩම කරවන්නේ සුදු රෙදි කැරලි ඔතලා . ඒත් දවල් පෙරහරේ වැඩම කරවන්නේ හැමෝටම පේන විදියට මල් වැල් කීපයක් විතරක් ඔතලා .  ඒනිසා එදාට තමයි දෙවියන්ගේ දේවාභරණ අපිට සියැසින් දැකගන්න ලැබෙන්නේ .





මෙහෙම සියැසින් දකින්න ලැබෙන නිසාම ඒ දෙවාභාරණය වැඩම කරවන අලියටයි දකින අපිටයි වස් වදිනවා කියලා කියනවා . ඒ වස් දුරු කරන්න ගරා යක් නැටුමක් මේ අලියා ඉදිරියේ නටාගෙන ගමන් කරනවා . ගුරුල්ල කොළ අතු වනමින් මේ අය නර්තනයේ යෙදෙනවා .

පෙරහැර මෙහෙම ගමන් කරලා සිංහාසන මණ්ඩපයේ නතර වෙලා ගිමන් නිවලා සුපුරුදු පරිදිම ගෙට ගෙවදිනවා . දියකපලා වැඩම කරන පැන් කෙන්ඩිය දේවාලයේ ඉහල මාලයේ තැම්පත් කරනවා ආයෙත් ඊළඟ අවුරුද්දේ දියකපන්න එලියට ගන්නතුරුම . සාමාන්‍යයෙන් දවල් පෙරහැර ගෙට ගෙවදිනකොට රාත්‍රී 7 විතර වෙනවා . මොකද තෙවාවල් කරලා ඔක්කොම ඉවර කරන්න ඕනනේ .

ඒත් එක්ක ඇසල මංගල්‍යය අවසන් වෙනවා . දවල් පෙරහැර දවසේ රාත්‍රියේ දේවාලයේ ගරායක් ශාන්තිකර්මයක් කරනවා . එහෙම කරන්නේ දේවාභරණ වැඩම කරවපු අලියටයි නිලමේවරු සහ අනිත් තේවාව භාර නිළයන්ට වස් වැදිලා තියෙනවනම් ඒවා දුරු කරන්න .






දවල් පෙරහැර ගැන මට තියෙන මුල්ම මතකය අපේ අම්මලා මාව වඩාගෙන යන කාලේ . එදා කොහොමහරි පෙරහැර බලන්න උනේ නෑ . මොකද එදා පෙරහැර රත්මල් ඇල්ලේ යන්නේ නැතුවම දේවාලේ කිට්ටුව තොටුපොලකින් දිය කපලා ගෙට ගෙවදිලා . අපි යනකොට පෙරහැර නෑ . ඊට පස්සේ කීප වතාවක්ම දවල් පෙරහැර බැලුවා .

මට මතකයි මම 8 වසරේ විතර ඉන්න කාලේ දවල් පෙරහැර ඉවරවෙලා ගරායක් නැටුම නැටුවත් අලියාගේ වස් දොස් දුරු වෙලා නැතුව අලියා කුලප්පුවෙලා හිටියා . ඌ එතකොට දේවාලේ පහතමලුවේ දේවාලෙට මුහුණලා ඉන්න විදියට ගැටගහලා හිටියා . ඒ ලඟින් එදා කීපදෙනෙක් එකතුවෙලා ගොප්කොල මල් අස්නක් හදනවා දැක්කා . මම හිතන්නේ එදා රෑ අලියට ආයෙත් ගරා යක් නැටුම් නටන්න ඇති .

ඔන්න ඔහොමයි සමන් දේවාලේ දවල් පෙරහැර . තව කියනන් තියෙනවා පෙරහරට පස්සේ තියෙන දැන් අභාවයට ගිහින් තියෙන දික්ගෙයි නැටුම කියන නැටුම ගැන . ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම් දික්ගෙයි නැටුම ගැන .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment