ඇත් සොහොන් සංකල්පය






පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන් , අම්මා වැඩ කරන ඔෆිස් එක කිට්ටුව නවත්තලා ලන්ච් අවර් එකේ අම්මවත් දාගෙන තමා එන්නේ . අම්මා ත්‍රීවිල් එකට නැග්ගම මම වැඩි හරියක්ම අම්මගේ උකුලට පැනලා ඒ ටික දුරටත් නින්දක් දානවා .

දවසක් ඔහොම එනකොට අපේ ත්‍රීවිල් එක ඉස්සරහට ආවා අපේ සබරගමුව මහ සමන් දේවාලේ අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් ගොයම් කපාගෙන වී කරල් මිටිය දේවාලෙට වැඩම කරවන පෙරහැර . මම ඉතින් නින්ද පැත්තක තියලා ත්‍රීවිල් එක නවත්තන්න කියලා පෙරහැර යනකල් බලාගෙන හිටියා මට මතකයි . මේ අලුත් සහල් මංගල්‍යය ගැන මම ඉස්සර මගේ බ්ලොග් එකේ සවිස්තරව ලිව්වා .

අලියෙක් පිටේ තමයි මේ වී කරල් මිටිය වැඩම කරවන්නේ . එවෙලේ ඔන්න ඔය අලියා දැකලා අපේ තාත්තා කිව්වා " ආ අද ටවුන් එකේ කට්ටිය කතා උනා ඇහුනා ඇන්ටන් අප්පොගේ අලියෙක් වලව්වේ ටොයිලට් වලක් කඩාගෙන වැටිලා මැරිලා " කියලා .

ඇන්ටන් අප්පෝ කියන්නේ මෑත කාලයේ සබරගමුව මහ සමන් දේවාලය සංවර්ධනය කරපු බස්නායක නිලමේ තුමා  . දැනට අවුරුද්දකට කලින් වගේ එතුමා මිය ගියා . එතුමා තමයි දේවාලේ ගොඩක් ඉඩම් එහෙම නිරවුල් කරලා පූජා නගර ව්‍යාපෘතිය යටතේ දේවාලේ තියෙන ගරාවැටුන ගොඩනැගිලි අලුත් කරලා , තාප්ප බන්දලා දේවාලේ හැදුවේ . එතුමාට අලි ඇත්තු හිටියා . දළදාව වැඩම කරවපු සුප්‍රසිද්ධ " රත්නපුර මුද්දුව වලව්වේ විජේදන්ත " කියන ඇතා මෙන්න මේ ඇන්ටන් අප්පොට අයිති ඇතෙක් .

කොහොම හරි මට කියන්න ඕන උනේ අලියෙක්ගේ මරණයක් ගැන අහන්න මට ලැබුණු වඩා........ත්ම පරණ මතකය තමයි මම අර කලින් කිව්ව අලියා වැසිකිලි වලක් කඩාගෙන වැටිලා මිය යාම .

ඒ සිද්දියත් කියාගෙනම අද මේ කියන්න යන්නේ හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු කතාව ලිව්වට පස්සේ ලියන්න ඕන කියලා හිතුන අලි ඇතුන්ගේ ආයු කාලය සහ මරණය එක්ක සම්බන්ධ වෙලා තියෙන ඇත් සොහොන් කියන සංකල්පය ගැන .


මේක ලියන්න යොදාගන්න තොරතුරුත් එක්කම අලි ඇත්තු ගැන වැඩිපුර තොරතුරු මම හොයාගත්තේ අපේ කැම්පස් එකේ ලයිබ්රියට රිංගලා කියවපු පොත් පත් වලින් . සහ අලි බලන අයියලා මාමලා සීයලා එක්ක කරපු කතාබහ වලින් මම එකතු කරගත්ත කරුණු වලින් .

අලියෙක්ගේ ඇතෙක්ගේ සාමාන්‍ය ආයු කාලය අද කාලේ මනුස්සයෙක්ගේ ආයු කාලයට ආසන්න වශයෙන් සමානයි . හීලා අලි ඇත්තු සාමාන්යෙන් අවුරුදු 65 - 75 අතර කාලයක් වගේම කැලේ ඉන්න අලි ඇත්තු අවුරුදු 70 - 80 අතර කාලයක් ජීවත් වෙනවා කියලා පර්යේෂණ මගින් තහවුරු කරලා තියෙනවා .

සාමාන්‍ය ක්‍රමයට අලි ඇතුන්ගේ වයස නිර්ණය කරන්නේ අලින්ගේ දන්ත වින්‍යාසයයි දත්වල වර්ධනයයි ඇතෙක් වගේනම් එයාගේ දල දෙකේ වර්ධනයයි දල දෙකේ පරිධියයි එයාලගේ උස සහ කකුලේ පරිධිය වගේ මිනුම් අරගෙන . ඒ වගේම ආසියාතික අලින්ගේ වයස නිර්ණය කරන්න උපයෝගී වෙනවා එයාලගේ ඇඟේ වයසත් එක්ක හැදෙන ගෝමර නැත්නම් අලි බලන අය නම් කියන්නේ කබර හැදෙනවා කියලා . මෙන්න මේ ගෝමර වල වර්ණයේ තීව්‍රතාවය , ගෝමර ගණන වගේ දේවල් .

වයසට යනකොට අලි ඇතුන්ගේ මුහුණ ගිලාබැහැපු බවක් , කන් දෙකේ තියෙන පෘෂ්ටිමත් බව නැති වීමත් ඇස්වල තියෙන දීප්තිමත් බව අඩු වීමත් වගේ දේවල් වෙනවා . ඇත්තුන්ගේ නම් සමහර වෙලාවට දලයේ ඇතුලේ තියෙන ගජමුතු ගැලවිලා දතේ කුහරයේ එහා මෙහා හෙලවෙන නිසා ඇතා මුණ හොලවනකොට දලෙන් ඇහෙනවා ඒ ගජමුතු පෙරලෙන සද්දේ ටක ටක ගාලා . වයසට ගියාම අලි ඇත්තු රළු ආහාර වලින් අයින් වෙනවා .

කැලෑවල් වල ඇත් සොහොන් කියලා අද වෙනකොට හොයාගෙන තියෙන ආසියාතික සහ අප්‍රිකානු කියන ඇත්සොහොන් දෙවර්ගයම වැඩි හරියක් පිහිටලා තියෙන්නේ වතුර වැඩිපුර තියෙන තෘණ වර්ග වැඩිපුර තියෙන ප්‍රදේශ වල . තෘණ කියන්නේ හරක් කන තෘණ නෙවේ . ඊට වඩා උසින් වැඩි මානා වගේ තෘණ වර්ග .

ඒ කියන්නේ වයසින් වැඩි වෙනකොට අලි ඇත්තු තෘණ වර්ග ආහාරයට ගන්න පෙළඹෙනවා . පස්සේ ඒ කිට්ටුවම වගේ තමයි මිය යන්නේ . ඒ අනුසාරයෙන් තමයි ඇත් සොහොන් නිර්මාණය වෙලා තියෙන්නේ .
අලි ඇත්තු මිය යන්න තවත් රෝග ගොඩක් හේතු වෙනවා . ප්‍රධානම හේතුව තමයි ආහාර නොදිරවීම . බර ආහාර වර්ග උනත් බර නැති ඒවා උනත් කාලයත් එක්කම ආහාර දිරවන්නේ නැති වෙනවා .

ඒ වගේම ඊළඟ හේතුව තමයි කොච්චර හොඳට සෞඛ්‍ය සම්පන්නව හිටියත් මෙයාලගේ දත් ගෙවිලා ගිහිල්ලා කෑම හපන්න බැරි වෙනවා . එතකොට මෙයාලා කන්න බැරුව මන්ද පෝෂණය වගේ හැදිලා මිය යනවා . අලි ඇත්තු මිය යන්න හේතු වෙන ප්‍රධානම හේතු දෙක තමයි ඔය දෙක . හීලෑ වල් ආසියාතික අප්‍රිකානු කියන කාටත් පොදුයි මේ හේතු දෙක .

ඊට අමතරම අලින්ටත් අපිට වගේ ලෙඩ හැදෙනවා . මෙයාලට හැදෙනවා හෘද සනාල රෝග , වැඩිපුරම මෙයාලට ඒ වගේ හැදෙන ලෙඩක් තමයි අපිට වගේම කලෙස්ටරෝල් තැම්පත් වීම . ඒ නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපන වෙලා මිය යනවා . ආතරය්ටීස් , ක්‍ෂය , ජලභීතිකාව , පිටගැස්ම , නිව්මෝනියාව , ආමාශ ප්‍රදාහය , මුඛය සහ පාද ඉදිමීම වගේ ලෙඩ මෙයාලට හැදෙනවා . තව මෙයාලට හැදෙනවා අපිට චිකන් පොක්ස් පැපොල හැදෙනවා වගේ එලිෆන්ට් පොක්ස් කියලා පැපොල රෝගයක් . තව ආහාර මාර්ගයේ පනුවෝ හැදිලා පණුවෝ ලේ බීලා බීලා ලේ අඩුකම නිසාම අලි මැරෙනවා . ඒ නිසා අලි උනත් සෙල්ලන් නෑ . උන්ටත් මාර ලෙඩ හැදෙන්නේ . තව අලි ඇත්තු මැරෙන හේතුවක් තමයි ගෑණි බෙදාගන්න බැරුව ඇත්තු ඇත්තු හරි අලි ඇත්තු හරි අලි අලි හරි කෙලගන්න එක . අවසානේ එකෙක් මැරෙනකල්ම කෙළගෙන ඉවරයක් වෙලා ගිහින් මැරෙන වෙලාවලුත් තියෙනවා .

ඉතින් මේ ලෙඩ ගැන හිතලා බැලුවම මට මතක් වෙනවා මගේ යාලුවා , නැදුන්ගමුවේ රාජා . වෙද මහත්තයා කියන්නේ මේ ඇතාව පයින් ඇවිද්දවන එක ඇතාගේ සෞඛ්‍යයට හොඳයි කියලා . ඇත්තටම අලියෙක් ඇතෙක් කැලයේ ඉන්නකොට දවසකට කිලෝමීටර් 4 - 5 අතර දුරක් අවිදිනවා කියලා හොයාගෙන තියෙනවා . එනිසා හීලා අලි ඇතුන්ට වඩා වල් අලි ඇත්තු හෘද සනාල රෝග වලට ගොදුරුවෙන ඉඩ අඩුයි . ඉතින් මගේ යාලුවත් ගම්පහ ඉඳලා නුවරට බෙල්ලන්විලට රත්නපුරේට පයින් එන එක අලි බලන අයට කරදර උනත් එයාගේ පැවැත්මට ඒක ලොකු උදව්වක් වෙලා තියෙනවා .







එහෙනම් දැන් අපි එමු ඇත් සොහොන් ගැන බලන්න . මේක ඉතින් අදාළ වෙන්නේ වල් අලි ඇතුන්ට තමයි . මට ඔය ඇත්සොහොන් කියන කතාව ඉස්සර අදාළ වෙලා තිබෙම නෑ . මොකද මමත් ඕක ගැන විශ්වාස කලේ නෑ . ඒත් කියවපු පොත් වල එක එක අය තමන්ගේ අත්දැකීම් වලට ලියලා තියෙන ඒවා එක්ක ඇත් සොහොන් සංකල්පය ඇත්ත කියලා කියන්න පුළුවන් . සමහර අයනම් මාස ගණන් කැලේ රැකගෙන ඉඳලා තමයි මේවා හොයාගෙන තියෙන්නේ .

එයාලා කියලා තියෙන හැම දෙකම සාරාංශයක් වගේ ගත්තම මෙහෙම තමයි අලියෙක්ගේ ඇතෙක්ගේ අවසානය වෙන්නේ . මෙයාලගේ අවසානය කිට්ටු උනාම මෙයාලා ක්‍රම ක්‍රමයෙන් කැලයේ ජලාශ තෙත් බිම් වගේ තියෙන තැන් වලට එකතු වෙනවා . එයාලා ඊට පස්සේ කන්නේ ඒ තෙත් බිම් ආශ්‍රිතව තියෙන තෘණ වර්ග පොඩි පොඩි පැලැටි වර්ග . ඒවායින් ජීවිතේ අල්ලාගෙන ගියාට ඒවායෙන් එයාලට ලැබෙන පෝෂණය හරිම අඩුයි . ඊට පස්සේ මෙයාලා වැඩි හරියක් කෑම ගන්නේ නැති වෙලාවට මේ ජලාශ හෝ තෙත්බිම් වල වැතිරිලා ඉන්නවා .

අලි ඇතුන්ට ඇඟේ හරි ගිනියමක් තියෙනවා කියලා කියනවනේ . එනිසා වෙන්නැති එහෙම කරන්නේ . නැත්නම් මම හිතන්නේ වයස නිසා උෂ්ණත්ව යාමනය කරගන්න අපොහොසත් නිසා මෙහෙම වෙනවා ඇති . පස්සේ එයාලා එහෙමම මැරන අයත් ඉන්නවා . සමහර අය මැරෙන්න ආසන්න මොහොතේ හිටගෙන ඉන්නකොට අනිත් අලි ඇත්තු ඇවිත් එයාට හිටගෙන ඉන්න සපෝට් කරන්න වගේ හේත්තු වෙලා ඉන්නවා ඒ මැරෙන එක්කෙනාගේ වටේට . පස්සේ පන ගියාට පස්සේ වටේ අය අයින් වෙනකොට තමයි මැරුන කෙනා බිමට වැටෙන්නේ .

මැරුණට පස්සේ මෙයාලගේ මස් කන්න නරි වල්ඌරෝ වගේ සත්තු එනවා . ඊට පස්සේ ඉතුරු මසත් දියවෙලා දිරලා ගියාම අනිත් අලි ඇත්තු කරන්නේ මේ මැරුණු සතාගේ දල තියෙනවනම් ඒ දල එක්කෝ කඩල බිඳලා කුඩු කරලා දානවා . නැත්නම් ඒවා උස ගස්වල මුදුන්වල රඳවනවා . ඇටකටු එක තැනකට ගෙනත් දානවා . ඔන්න ඔහොම ගෙනත් දාන තැන තමයි ඇත් සොහොන කියලා කියන්නේ .

අප්‍රිකානු අලි ඇතුන්ගේ මේ ඇත් සොහොන් ගැන දීර්ඝ ලිපි ලියලා තියෙනවා පර්යේෂණ කරපු අය . ලංකාවේ වගේම ආසියාතික අලින් ගැනත් මෙහෙම ලිපි ලියවිලා තියෙනවා . ඉස්සර දේශාටනයේ යෙදුන අය ලංකාවේ ඇත් සොහොනක් ගැන කියනවා . ඔයාලා මම කිව්වා කියලා ඉතින් හොයන්න ගිහිල්ලා වැඩ වරද්දගන්න එපා . මේක ගොඩක් ඉස්සර කාලේ තිබ්බ වාර්තාවකට අනුව කියන්නේ . ශ්‍රීපාද කන්දේ ධර්මරාජ ගල කිට්ටුවෙන් කැලේට වැදුනම මහ ඝන වනාන්තරේ ගොඩක් ඈතුලේ තවත් ඇතුලේ ඇතුලේ පහු කරගෙන පහු කරගෙන පහු කරගෙන තවත් ඇතුලට ඇතුලට ගියාම ඇත් සොහොනක් තිබිලා තියෙනවා .

ඇත් දල එකතු කරන්න හොඳ තැනක් කියලා කියනවා ඇත් සොහොන් . ඒ නිසා මිනිස්සු ඇත් සොහොන් හොයාගත්තම කොනක ඉඳන් එතන සුද්ද කරනවනේ . ඉතින් අලි ඇත්තු තමන්ගේ පූජනීය ඇත් සොහොන් පිහිටලා තියෙන තැන් වෙනස් කරලා තියෙනවා කියලත් මේ ගැන පර්යේෂණ කරපු අය වැඩි දුර විස්තර කරලා තියෙනවා . එහෙනම් එච්චර තමා අලි මරණ ගැන කියන්න තියෙන්නේ .

මම කලින් පෝස්ට් එකක කියලා ඇති කමෙන්ට් එකකට අලි නිල ගැන කියනවා කියලා . ඊළඟට අපි බලමු අලි නිල කොහොමද බෙදෙන්නේ සහ ඒවායින් මොනවද කරන්නේ කියලා . දැන් ඉතින් ධර්මරාජ ගල ගාවින් කරුණා කරනකොට කස්ටිය වයලීනොවත් මතක් කරයිනේ නේද ?

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය