අහිකුණ්ඨිකයාට තීන්දුකල නාග කන්‍යාවිය ( 1 )





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.

කතාවට කලින් මේක ප්ලේ කරන්න




නාගයා යනු හුදෙක් සාමාන්‍ය ගණයෙහිලා සැලකිය හැකි සත්ත්වයෙකු නොවේ . ඔවුන්ගේ ජීවන ප්‍රවෘත්තිය සිංහල වෙදකමෙහි හා ගුප්ත විද්‍යාවන්හීදී උගන්වනු ලබන්නේ මෙලොව සිටිනා සියලු සත්තවයින් පරයා ජයගත හැකි ශක්තියක් නාගයින් තුල පවතින බවය . එයට ප්‍රධානම හේතුවක් ලෙස ගෙනහැර දක්වන්නේ නාගයින් මියගිය සතුන් ආහාරයට නොගැනීමයි . එනම් , නාගයින් ජීවග්‍රහයෙන් අල්ලාගන්නා සතුන්ගේ මාංශමය ආහාරය සමග ප්‍රාණමය ආහාරයද ගන්නා හෙයිනි . 

මෙතෙකින් දිගහැරීමට මා බලාපොරොත්තු වන්නේ නාගයින් හා නාගයින්වෙත බැඳී සිටින අමනුෂ්‍යයින් සමග සීයා විසින් කරන ලද ජීවිතයත් මරණයත් අතර සටනක් පිළිබඳව කතා පුවතක්ය . මෙම සටනින් අප ජය නොගත්තානම් , ඇතැම් විටෙක මෙය , මෙම කථා මාලාවේ අවසාන කතාව වන්නටද ඉඩ තිබිණි . එය එතරම්ම කුරිරු වූයේ සීයාගේ අවාසනාවටද අතපසු වීම නිසාද සීයාගේ හිතුවක්කාරකම නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාද කියා මම නොදනිමි . 

මගේ ආච්චි අම්මාගේ නැගෙණිය ජීවත් වූයේ අපගේ වලව්වට හූ හත අටක් ඈතින් පිහිටි නිවෙසකය . ඇය මට පුංචිආච්චිය . පුංචිසීයා ව්‍යාපාරයක් ලෙස කරන ලද්දේ ඔහුගේ අක්කර ගණනාවක් විහිදී පැතිර පවතින පොල් වතුවල ඇති පොල් කඩවා කොප්පරා සාදා ඒවා වෙළඳාම් කිරීමෙනි . ඊට අමතරව හෙතෙම කුඩා ප්‍රමාණයේ සෙක්කුවක්ද කරවාගෙන ගියේය . වැඩි ප්‍රමාණයක් එම සෙක්කුවෙන් පොල් අඹරන ලද්දේ නිවසේ අවශ්‍යතාවය සඳහා තෙල් ලබා ගැනීමට පමණි . අප නිවසටද මෙම පොල් තෙල් විටින් විට ලැබේ . 

          

පුංචිආච්චි නිවසේ කටයුතු කරමින් ජීවත් වූ අතර ඔවුනට දරුවන් දෙදෙනෙකු සිටී . ඔවුන් මට පුංචිනැන්දා සහ පුංචිමාමය . පුංචිනැන්දා විවාහ වී වෙනත් ගමක ජීවත් වේ . පුංචිමාමාද විවාහවී සිටි අතර ඒ දෙපලද වැඩි හරියක් සිදු කරන ලද්දේ සීයාගේ ව්‍යාපාරයට උදවු කිරීමය . සීයාගේ ව්‍යාපාරවල ගණන් හිලවු හරියාකාරව පවත්වාගෙන ගියේ පුංචිමාමා විවාහ වී සිටි නැන්දා විසිනි . හෙතෙම පවුලට පිටින් සම්භන්ධවූ කාන්තාවක් වුවද පසුව අපේම පවුලේ කෙනෙක් ලෙස දුක සැප සමසේ බෙදාගනිමින් ජීවත් විනි . 

දිනක් සුපුරුදු පරිදි මම සාලයේ කනප්පුව මත පුස්කොල පොතක් තබාගෙන එහි පත්ඉරුවෙන් පත්ඉරුව දිගහැර බලමින් සිටියෙමි . සීයාද එදින නිවසේ සිටියේය . ඉර මුදුන් වන්නට තවත් පැය දෙකක් තිබෙන බව හඬගා කීවේ සාලයේ කොනක තබා ඇති බට්ටා ඔරලෝසුවයි .




" ගුරුන්නාන්සේ මහප්පේ ගුරුන්නාන්සේ මහප්පේ " කියමින් පුංචි මාමාගේ නැන්දා වලව්ව වෙතට ඈතින් දිව එනු මට පෙනිණි .

" සීයේ අන්න නැන්දා දුවගෙන එනවා මේ පැත්තට , කලබලෙන් වගේ එන්නේ "

" කෝ බලන්න "

කියමින් සීයා කාමරයෙන් එලියට එනවිට නැන්දාද වලව්වේ ඉදිරිපස මිදුලට සම්ප්‍රාප්ත වී තිබිණි .

" ගුරුන්නාන්සේ මහප්පේ , නැන්දම්මට නයෙක් ගහලා . අපි දැක්කා දැනට දවස් දෙක තුනකට කලින් ඉඳලා නයෙක් ඒ පැත්තේ ඉඳලා යනවා . නැන්දම්මට නයා ගහලා වැටිලා ඉන්නකොටත් එතන ඒ නයා ඉඳලා යනවා දැක්කා "

" පුතේ ඉක්මනට දෙහි ගෙඩි තුනක් කඩාගෙන එන්න . විස බස්සන්න බැරි වගක් තමා දූත ලක්සනෙන් පේන්නේ . ඉක්මනට ගියොත් සුව කරගන්න බැරිවෙන එකක් නෑ  "

මම පුස්කොල පොත හකුලා බුදු පහන තබන ස්ථානයේ තාවකාලිකව තබා වත්ත පහලට දිවගොස් දෙහි ගෙඩි තුනක් කඩාගෙන ආවෙමි . ඒවනවිට සීයා පුංචිආච්චිලගේ නිවසට යාමට සූදානම් වී මා එනතුරු මිදුලේ බලා සිටියේය .

පයින් යාමට කාලය ගතවන හෙයින් සීයා කරත්තයේ යාමට තීරණය කරන්නට ඇති බවක් මට හැඟිනි . කරත්තයේ යන අතරවාරයේ සීයා ඇඟිලි නවමින් ගණන් කරමින් කුමක්දෝ ගණනක් සාදමින් සිටියේය .

" ඈ සීයේ , මොකද්ද ගණන් කරන්නේ ? "

" දූත ලක්සනේ හැටියට පුතේ නයෙක් ගහලා වෙන්න බෑ . නැත්නම් මට දූත ලක්සනේ වැරදුනාද කියලා මම මේ ගණන් කර කර බලන්නේ . ඒත් එන්නේ එකම උත්තරයක් . නයෙක් ගහල වෙන්න බෑ . ගණන් කරාම එන ගණන ගැන බැලුවම නයාගේ එක දලයක්වත් වැදිලා නෑ "

කියමින් සීයා නැවත නැවත කීප වතාවක්ම ගණන් කරනු මම දුටුවෙමි . ඒත් සමගම සීයා සහ මම රැගත් කරත්තය පුංචිආච්චිගේ නිවසට ළඟාවී තිබිණි .

ඒවනවිටත් ගමේ කීපදෙනෙක් පුංචිආච්චිගේ නිවසට එක් රොක් වී සිටියේ සිදුවන්නේ කුමක්ද කියා විමසිලිමත් වෙමිනි . සීයා නිවසට ඇතුළුවනවිට වෙද සීයාද එහි පැමිණ ප්‍රතිකාර කරමින් සිටියේය .

" අරනෝලිස් අයියේ , මම මේ බලන්නේ මොකද්ද වෙලා තියෙන වින්නැහිය කියලා . ඇස් වලින් පේන්නේ නයි විස තමයි . ඒත් දල පාරක් වැදිච්ච තැනක්වත් හොයාගන්න විදියක් නෑ . සරීරයේ කොහෙවත් දල පාරක සලකුණක් නෑ . නාඩි වැටිල්ලත් එන්න එන්නම දුර්වල වෙනවා "

කියමින් වෙද සීයා , අපේ සීයාට පැවසීය .

එවෙලේ සීයා මදෙස හැරෙමින් මද සිනහවක් පෑවේය .

" මමත් මේ එනගමන් දූත ලක්සනේ බල බල ආවේ මට වැරදුනාවත්ද කියලා . එක දලයක්වත් වැදිලා තියෙන්න විදියක් නෑ කියලා තමයි මමත් මේ පුතා එක්ක කිය කිය ආවේ "

එසේ කියමින් සීයා පුංචිආච්චිව පරීක්ෂා කරන්නට විය .

" නංගියේ නංගියේ මොකද උනේ ? "

පුංචිආච්චි හාවක් හූවක් නැතිව වැතිර සිටී .

" හරියන්නේ නෑ ටික ටික විස ඉහට ගහනවා වගේ . විස උරන්න බලන්න ඕන "

කියමින් සීයා ,  වෙද සීයා වෙත හැරී බැලුවේය . වෙද සීයා කිසිවක් නොකියා හිස සෙලවුවා පමණි . සමහරවිටෙක මින් එපිට වෙද සීයාට කළහැකි දෙයක් නොවන්නට ඇත . සීයා දෙහි ගෙඩි තුන එක් අතක තබාහෙන අනෙක් අතින් පුංචි ආච්චිගේ පාදයේ ඇඟිල්ලක් අල්ලාගෙන සෙමෙන් සෙමෙන් මතුරන්නට පටන්ගත්තේය . මන්ත්‍රයෙන් විස බස්සන්න සීයා සමත්ය . එහෙත් දල පහරවල් නොමැති විෂ ශරීර ගත වූ අවස්ථාවක් මම දුටු පළමු අවස්ථාව මෙයයි .

මතුරන අතරවාරයේ පුංචිආච්චිගේ පාදයේ වළලුකර අසල එක් නහරයක් කෙමෙන් කෙමෙන් ඉහලට ඉලිප්පී එනවගක් පෙනිණි . සීයා මැතිරිල්ල නවතා දමා

" වෙද අප්පු , මේ නයි විස ඇඟට ගිහින් තමයි , පේන්නේ නැද්ද නහරේ ඉස්සිලා එන අපූරුව . දැන් දල පාර නැති නිසා මෙතන පලලා තමයි විස ලේ අයින් කරන්න වෙන්නේ "



කියමින් සීයා තම ඉනේ ගසාගෙන සිටින කුඩා කිනිස්ස අතට රැගෙන එය එක් දෙහි ගෙඩියක කීප වතාවක් ඇන , පසුව ඉලිප්පී ආ නහරය මත තබා එකවරම නහරය මදක් පැලුවේය . ඒත් සමගම රුධිර බිංදු කීපයක් ඉවතට විදිනි . පසුව සීයා පඩික්කමක් තමා අසලට ගෙන්වා ගනිමින් විස උරන්නට පටන් ගත්තේය . කීප වතාවක්ම තමාගේ මුඛයට ඇදගත් රුධිරය පඩික්කමට දමන ලදී . වෙද සීයා ඉන් අනතුරුව පුංචිආච්චිගේ නාඩි පරීක්ෂා කර බලා

" දැන් නම් ලෙඩාගේ නාඩි වැටීම හොඳයි , විස බහිනවා වගේ "

මේ ක්‍රියාවන් කෙරෙනවාත් සමගම ඇඳිරි වැටී තිබිණි . පුංචිආච්චිට සිහිය ආවිට ඇයට කලයුතු සත්කාර පිළිබඳව පුංචිසීයාට සහ අනෙක් අයට උපදෙස් දී සීයාත් මමත් නිවසට පැමිණියෝය .

නොකඩවා මැතිරීම නිසා සීයා ඒ වනවිට‍ සිටියේ ඉතාමත් තෙහෙටුවෙනි . එහෙයින් සීයා නා පිරිසිදුවී එදින ඉක්මනින්ම නින්දට ගියේය . මමද පහන් පැලේ පහන දල්වා ඉක්මනින් නින්දට ගියෙමි .

මට නින්ද යාගෙන එනවිට

" හාමිනේ...................... "

කියමින් සීයා කෑගසනු මට ඇසිනි . මම නිදිමැලි හරිමින් කාමරයට දිවයන විට අම්මාද තාත්තාද ආච්චිඅම්මාද සීයාගේ කාමරයට දිවගොස් තිබිණි . මම සීයාගේ කාමරයට යන මොහොතේ දුටු දර්ශනයෙන් වික්ෂිප්ත වීමි .

සීයාගේ හිස අද්දර බුලත් කොලයක් තරම් විශාල පෙනය විදාගත් නයෙකු ස්ශ්ශ්ශ්ශ්ෂ්....... හඬ නංවමින් පෙනය නටවමින් සිටියේය . සීයාට සිහිය නැත . දැන් නයා එලවන්නට ක්‍රමයක් සිතාගත නොහැක . නයාට පහර දුන්විට හෙතෙම සීයාට නැවත දෂ්ට කිරීමට ඉඩ ඇත .

                           


එහෙත් ටික වෙලාවකින් නයා ක්‍රමයෙන් පෙනය හකුලා එතනින් ඉවත්ව ගියේය . අපි සීයා අසලට යනවිට සීයාට සිහිය නැත . තාත්තා කරත්තකරු කරත්තය සමග වෙද සීයාගේ නිවසට පිටත් කර හැරියේය . වෙද සීයා පැමිණිවිට ඔහු සීයා පරීක්ෂා කරමින්

" පොඩි ගුරුන්නාන්සේ පුතාට මතකද අද දවල් වෙච්චි දේ ? නයා මෙතනත් හිටියට සීයාට දල පාර වැදිලා නෑ සරීරෙ කොහේවත් . දැන් මොකද කරන්නේ ? . මගේ සාත්තරෙන් සීයා ගොඩ ගන්න බෑ . විස උඩුදුවන එක අඩු කරන්න සීයාව බෙහෙත් ඔරුවට බස්සමු , ඒත් එකෙන් සහමුලින්ම සුව වෙන්නේ නෑ "

අපගේ වලව්වේ මහානර්ඝ වස්තුව , අංජනම පිළිබඳව මාහට සිහියට ආවේ ඒ මොහොතේය . මම ආච්චි අම්මාගෙන් පෙට්ටගමේ යතුරු ඉල්ලා අංජනම අතට ගතිමි .

" වෙද සීයා එහෙනම් තාත්තා එක්ක අපේ සීයාව වෙද වලව්වට එක්ක යන්න . සීයාව බෙහෙත් ඔරුවට ගිල්වමු . මම අඳුනෙන් බලන්නම් මොකද්ද කරන්න පුළුවන් කියලා . මම විස උරන්න ඉගෙනගෙන නෑ . සීයා මට උගන්නලා නෑ තාම "

පසුව වෙද සීයාත් කරත්තකරු හා තාත්තා එක්ව සීයා කරත්තයේ හොවා වෙද වලව්වට රැගෙන ගියෝය .

සීයාගේ ප්‍රාණය පිළිබඳව මාහට කිසියම් බියක් දැනුනේ ඉන් පසුවය . අඳුන අතට ගත්තද දෑතම වෙව්ලන්නේ සීයා පිලිබඳ බියෙනි .

මම සුවඳ දුම් අල්ලා මන්තර මතුරා හනුමන්තා ගෙන්වීමි .

                                     [Hanuman.jpg]

ඔහු මේ පිළිබඳව කිසිවක් පවසන්නේ නැත . පසුව වෙනත් දෙවඟනක් වැනි කාන්තාවක් අංජනමෙන් දර්ශනය විය . ඇය මීට කලින් මා නොදුටු රූමත් දෙවගනකි .

" මමයි ඒ ආපු නාගය . මම දෂ්ට කලේ නෑ විෂ පිම්බා කාටවත් පේන්නේ නැතිවෙන්න . සීයා මට වරදක් කළා . දැනට කාලයකට කලින් සීයා නාග කන්‍යාවියක් වෙලා හිටපු මාව බන්ධනය කරලා ගුරුකමක් කරා අර දවල් නයා දෂ්ට කරපු ගැහැණු ප්‍රානේ ජීවත්වෙන වත්ත ආරක්ෂා කරන්න . එවෙලේ සීයා අතින් ඒ ගුරුකම වැරදිලා මාව දේව තීන්දුවකට බන්ධනය නොවී , රොඩී තීන්දුවකට බන්ධනය උනා . මම මේ නිදහස් උනාම සීයාව හොයාගෙන ආවා පලිගන්න . සීයා කලේ වරදක් . ඒකට  සීයාට දඬුවම් විඳින්න වෙනවා "

" දැන් දේවතාවිය සීයාව සනීප කරන්න විදියක් ඇත්තෙම නැද්ද ? "

" සීයා බෙහෙත් ඔරුවේ හිටියත් ජීවත්වෙලා ඉන්නේ තව දවස් තුනයි . ඊට කලින් සීයාට සිහිය ගන්න පුළුවන් නම් මාව ආයෙත් දේව තීන්දුවකට බන්ධනය කරන්න කියන්න . එතකොට සීයාට මම සමාව දෙනවා . සීයාට සිහිය ගන්න වෙදකම දන්නේ කතරගම කියන ගමේ මැණික් ගඟ හරහා තියෙන පාලම යට තියෙන රොඩී ගුබ්බෑයමක ඉන්න රොඩී ගුරුකම් කරන කෙනෙක් . නමට අකුරු තුනයි . මුල අකුර අ යන්න . දවස් තුනකට කලින් කරන්න පුළුවන් නම් කරලා සීයාව ගොඩ ගන්න . හැබැයි මගේ ගුරුකම හරිගස්සන්න ඕන . නැත්නම් මම සීයාවත් මගේ ලඟට අරගෙන මගේ ඉරණමම විඳින්න දෙනවා සීයටත් හඃ හඃ හඃ හා.............. "





මම හනුමන්තාට අඳුනට නැවත වඩින්නට මැතිරුවෙමි . පසුව අඳුන අතේ තබාගෙනම මම ආච්චි අම්මාට මෙම කරුණ පවසා නිවසින් නික්මුනෙමි . මම අඳුනේ සිටින හනුමන්තා සමග රාත්‍රියේම වෙද වලව්වට නික්මුනෙමි . පසුව කරත්තකරු අමතා

" යමන් කතරගම දිහාවට "

කියමින් කරත්තයට නැග්ගෙමි .

" පොඩි ගුරුන්නාන්සේ මේ මහා රෑ අපි එච්චර දුර යනවද , අලි කොටි එලියට බහින වෙලාව "

" දක්කපන් මිනිහෝ උඹේ පණ්ඩිතකම පැත්තක තියල "

එළිවෙන්න ආසන්න වනවිට අප කතරගම ප්‍රදේශයට ලං වී තිබිණි . කරදරයක් නොමැතිව ඉහත කී රොඩී මන්තර කරු සොයාගත හැකි විය . ඒ අඳුනේ හනුමාගේ පිහිටෙනි . සිද්දිය පැවසීමෙන් පසුව ඔහු සීයා සුව කිරීමට කැමති විය .

සවස් වන්නට මත්තෙන් ඔහුද කැටිව වෙද වලව්වටම ආවෙමු . සීයාට සිහිය ගැනීමට ඔහු මහාපරිමානයේ කිසිවක් කලේ නැත . බෙහෙත් ඔරුවෙන් එලියට ගත් සීයාගේ අත් පාවල ඔහු විසින් සුදු පැහැති මැටි වැනි යමක් ආලේප කළේය . පසුව මන්තර වැනි යමක් මුමුනමින් සිටිනවිට සීයා දෑස් විවර කළේය .

මගේ සිරුරට ලේ ඉනුවේ ඉන් අනතුරුවය . පසුව සීයාට සුව බව සනාථ වීමත් සමගම අපි අහිකුන්ටිකයා නැවත කතරගමට අරලුවෙමු .

සීයා තවත් දිනක් වෙද වලව්වේම හිඳින්නටහැර අපගේ වලව්වට එක්ක ආවෙමු . සීයාට ගුණදායක බව පෙනුණු හෙයින් මා විසින් අඳුනේ දේවතාවිය පවසන ලද කතාව සීයාට කියා පෑවෙමි .

සීයා වික්ෂිප්ත විය .

" ඔව් මට දවසක් ඔහොම ගුරුකමක් වැරදුනා . ඒත් මම හිතුවේ නෑ ඒක මෙච්චර දුර යයි කියලා . හොඳයි මම බලාගන්නම්කො මාව කාපු උන්දා ගැන "

සීයා එදිනම සවස කරත්තකරු ලවා මිදුලේ පහන් පැළ අසල මල් යහනාවක් තනා එහි මල් බුලත් තබා මන්ත්‍ර මතුරා කිසියම් ගුරුකමක් කළේය . එය කිරීමට පෙර එහි තතු කිසිවක් මාහට සීයා නොපැවසීය .

අනතුරුව ගුරුකම අවසානයේ මම සීයාගෙන් ඒ පිලිබඳ විචාළෙමි .

" මොකද්ද සීයේ ඒ කලේ ? "

" මම අර හැතිරිව ආයෙත් මැරිච්ච අහිකුන්ඨකක්ට බන්ධනය කරලා තීන්දු කළා . එහෙමම ඉන්නේ නැතැයි "

පසුව සීයාට හොඳටම සනීප විය . නමුත් සීයා නැවතත් කරන ලද්දේ නාග කන්‍යාවීයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමයි . එය හිතුවක්කාර කමකි .

ඒ හිතුවක්කාරකම හේතුවෙන් සීයා නැවතත් මරු කටට ගොස් පැමිණියේය .

එහෙයින් මේ අවසානය නොව . මෙය ආරම්භය පමණි .

( ඊළඟ කතාවෙන් බලමු මොකද වෙන්නේ කියලා )


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

5 comments:

  1. දෙවෙනි කොටස එනකල් මග බලන් ඉන්නෙ මං විතරද?

    ReplyDelete
    Replies
    1. ඒවගේ නේද ?
      වීව්ස් 35යි තියෙන්නේ . කට්ටියට කතාව ඕන නැද්ද දන්නේ නෑ ;)

      Delete
  2. වයලීනෝ..බොහොම සතුටුයි ආපහු කතාවක් කියවන්න ලැබීම.. කලින් කතාවත් බොහොම ආසාවෙන් කියෙව්වා.. නවත්තන්න එපා දිගටම ලියන්න... සැබැවින්ම මේ කරුණු කාරනා දන්න කෙනෙක් ලියන නිසා කතාව ඉතාම අපූරුවට කුතුහලය අවුස්සනවා... සුභ පැතුම්... :)

    ReplyDelete