හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු ( 1 කොටස )





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවස මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.

( කථාවට කලින් මේක ප්ලේ කරන්න )




මීට පෙරාතුව ලියන ලද ලිපියේ සඳහන් සිදුවීම පිළිබඳව මා විස්තර කරන අතරතුර සීයාට වැළඳුනු අමනුෂ්‍ය දෝෂය සමනය කිරීම සඳහා පැමිණි අනෙක් ඇදුරන් එම කාර්යය අවසාන කර නැවත පිටව යාමට පෙර සීයාට වැඳ නිවසින් පිටවීම පිළිබඳව සඳහන් කලෙමි . ඊට හේතුව මම සීයාගෙන් එම අවස්ථාවේම විමසුවද සීයා ඒ සඳහා සෘජු පිළිතුරක් ලබාදුන්නේ නැත . සීයාගේ උපදෙස වූයේ රජතුමා විසින් අපගේ පෙළපත් නාමය ලබාදෙන අවස්ථාවේ නලල්පත සමග ලබාදුන් තඹ සන්නසේ ඊට හේතුව ඇති බවයි .

එක් කාර්යයක් අවසන් වීමට පෙර නැවතත් සිදුවන නොයෙක් අමනුෂ්‍ය ක්‍රියා සඳහා පිළියම් කිරීමට යාමෙන් තඹ සන්නස කියවීමට ලද අවකාශය නැතිවිය . එහෙත් එම හේතුව දැනගැනීමේ ආශාව මාගේ යටි සිතෙහි තදින්ම රෝපණය වී තිබුණු නිසාවෙන් ඒ සඳහාම මම වෙලාවක් වෙන් කර සන්නස කියවීමට සූදානම් වීමි . සන්නස හා රන් නලල්පත තිබෙන මංජුසාව බහා තිබෙන්නේ අපගේ අනෙක් පුස්කොල පොත් තැම්පත් කර තිබෙන පෙට්ට්ගමෙහිය . මේවනවිට එම පොත් සියල්ල මාහට ලැබී ඇති බැවින් ඒ සියල්ලත් සමගම එම පෙට්ටගම තිබෙන්නේ මගේ කාමරයේය .


මම සන්නස කියවීමට සුදුසු වෙලාව එළඹුණු මොහොතේ කාමරයට වැදී දොරගුළුලාගතිමි . පෙට්ටගමේ දොර විවරකර ඒ පිටුපස ඇති බිත්තියට දොර පියන සීරුවෙන් හේත්තු කලෙමි . පෙට්ටගමේ ඇති පුස්කොල පොත් සුවඳ මාගේ ලේ මස් ඇට නහර හරහා ගොස් ඇටමිදුළු දක්වාම කාවදින බව මට දැනිණි . සැබෑ පරපුරක හිමිකරුවෙකු සතු එම ශිල්පයේ ගරුත්වය රැකීම හදවතටම කාවදින්නේ එම අත්දැකීම ලද මොහොතක විය යුතුය .


මම සන්නස බහා තිබෙන මංජුසාව අතින් ගෙන ඇඳ මත වාඩිඋනෙමි . මෙම සන්නස විශාල පිටුගනණක් සහිත වූවක් නොවේ . එහි තිබුණේ පිටු හතරක් පමණකි . එම පිටු ආරක්ෂාවීම සඳහා කම්බා දෙකක් ඊට යොදා තිබිණි . මම ඒ සියල්ල විමසිල්ලෙන් පරීක්ෂා කරන අතරතුරේදීම සන්නසේ මුලසිට පිටුවෙන් පිටුව කියවීමද ආරම්භ කලෙමි .


වර්ෂ 1596 ඇසල මස දියවක ලත් බුධ දින සෙංකඩගල මහවාසලේදී මෙම සන්නස ලියා දෙවා වදාලේ නම් ඒ කෙසේද යත් රාජගුරුපද්ම කුරුකුලසේකර මුදියන්සේලාගේ සුගුණා ගුණවර්ධන නම් මොහු හා මොහුගෙන් පසුව ඇතිවන වරිග පරම්පරාවට...............

යනුවෙන් ආරම්භවී එම සන්නස දීර්ඝ ලෙස සඳහන් කර තිබිණි . නළල් පත ප්‍රදානය කිරීම , ගම වරයක් ලබාදීම සහ මුතු මැණික් සහිත වස්තුව ලබාදීම පිළිබඳව එම සන්නසේ විස්තර කර තිබිණි . අවසානයේ එහි මෙසේ සඳහන්ව තිබිණි .

............. අදින් මතුව ඇතිවන මොහුගේ වරිග පරම්පරාවේ සියළුම දෙනා ගුරුකම් ශාස්ත්‍රයේ සියල්ලන්ගෙන්ම වන්දනාමාන ගරුබුහුමන් ලබන්නන් විය යුතුය..........

එය කියවීමෙන් පසුව මට එදා සිද්දිය සිහියට නැගිණි . සීයාට අනෙක් ඇදුරන් වඳින ලද්දේ මෙම හේතුව නිසාය . එහෙත් අද එම සිරිත පිරිහී ගොස ඇතිබවද කිවයුතුය . මෙම සිරිත පිළිබඳව කිසිවක් නොදන්නා අය වුවද සීයාගෙන් ගුරුහරුකම් ගන්නට වලව්වට පැමිණේ . ඔවුන් සීයාට ආචාර කරනවා විනා වඳින්නේ නැත . ඒ පිළිබඳව සීයාගෙ විස්සෝපයක් කිසිවිටෙකත් නැගෙන්නේ නැත .  ඒ සීයා සතු නිහතමානී ගතිගුණ නිසාවෙනි .

සන්නසේ දුරක් කියවාගෙන යන අතරතුරේදී මාහට තවත් වැදගත් දෙයක් කියවන්නට ලැබිණි . එනම් රජතුමා විසින් අප පවුලේ එවකට සිටි මුත්තාට ඇත් බානක්ද ලබාදී ඇති බවයි . එය විශේෂ පිරිනැමීමකි . සාමාන්‍යයෙන් අලි ඇතුන් ලබන්නේ විශේෂ වරප්‍රසාද හිමි පුද්ගලයින් පමණක් නිසාවෙනි . සන්නස කියවා අවසාන කර තවත් ස්වල්ප වෙලාවක් එහි පොත් කම්බාවේ ඇති කැටයම් දෙස බලා සිටි මම , මංජුසාවේ එය තැම්පත් කර පෙට්ටගමට දමා අගුළු දැම්මෙමි .





කාමරයෙන් එලියට එනවිට ඇඳිරි වැටී තිබිණි . නමුත් කාලය ගතවනවා දැනුනේම නැත . ඉස්තෝප්පුව වෙත මා පැමිණෙන විට සීයා ඔහුගේ හාන්සි පුටුවේ ඇලවී කල්පනා කරමින් සිටියේය . මම සීයාගෙන් අලි ඇතුන් ගැන විමසීමට කල්පනා කලෙමි .

" සීයේ ඉස්සර අපේ වලව්වෙත් අලි හිටියද ? "

" ටිකක් ඉස්සර හිටියා පුතේ , ඒත් මගේ සීයා ඉන්න කාලේ තමයි අන්තිම අලියා මේ වලව්වේ ජීවත් උනේ . ඌ මැරෙනකොට මට වයස අවුරුදු 20ක් විතර ඇති . ඊට පස්සේ වලව්වේ අලි හිටියේ නෑ . ඔය අපේ පරම්පරාවේ පෙළපත් නාමය දෙන වෙලාවේ රජතුමාත් අපේ වලව්වට අලි ඇත්තු ලබාදුන්නා කියලා සන්නසේ සඳහන් වෙලා තියෙනවා . ඊට පස්සේ තවත් අලි ඇත්තු ඉඳලා , මම දැක්ක අලියා තමයි අන්තිමයා උනේ . ඊට පස්සේ අලි හදන්න එච්චර ඕනා කරේ නෑ . අහිංසක සත්තු , උන්ට නිදැල්ලේ ඉන්න තියෙන පුළුවන් කමනේ අපි නැති කරන්නේ කියලා හිතුනා "

" මම සන්නස කියෙව්වේ අද . සීයා එදා සන්නස දුන්නට ඒක කියවන්න මට වෙලාවක් තිබ්බේ නෑ ඉතින් "

" ආ.... පුතා අදද ඒක කියෙව්වේ . මම හිතුවා එදාම ඒක කියවන්න ඇති කියලා "

" මම ඔක්කොම විස්තරේ කියවලා බැලුවා . අලි ඇත්තු හිටියා කියලා දැනගත්තෙත් සන්නස කියෙව්වට පස්සේ තමයි "

" අලි ඇත්තු ගැන කිව්වම තමයි මට මතක් උනේ , දවස් දෙකකින් විතර අපිට යන්න තියෙනවා රත්නපුරේ පැත්තේ වලව්වකට . ඒ වලව්ව අලි ඇත්තුන්ට හරිම ප්‍රසිද්දයි . වලව්වේ ඉන්න අලියෙක්ට ගුරුකමක් කරන්න තියෙනවා "

" ආ එහෙනම් අලියා මදකිපිලා වෙන්න ඇති . ඒකට ගුරුකම් කලාම හරියනවද සීයේ "

" නෑ පුතේ මම හිතන්නේ මෙතන වෙන දෝසයක් තියෙනවා . අලින්ට උනත් අමනුස්ස බැල්ම වැටෙන්න පුළුවන් . ඔය සමහර යක්කු කැමතියි අලින්ගේ මස් කන්න වගේම සේමං ගන්න . රීරි යකා , ගජදල රාක්ෂයා වගේ අය කැමතියි අලින්ගේ මස් කන්න . ඒ නිසා ඒ යක්කු කරන්නේ අලින්ගේ ඇඟට වැහිලා උන්ව දුර්වල වෙනකන් බලාගෙන ඉඳලා උන්ව මරලා දාන එක . ඊට පස්සේ අලියාගේ මලකඳේ සේමං ගන්නවා , ඒ යක්කුන්ගේ දොළ සංසිඳුවා ගන්න "

" මම සීයේ , පුස්කොල පොතක තිබිලා ඔය ගැන කියවලා බැලුවා දවසක් . ඒත් මන්තරවත් පාඩම් කලේ නෑ . මොකද ඕවා ඉතින් අද කාලෙට වලංගුද කියලා හිතුනා මට "

" එහෙම කියන්න එපා පුතේ . සාත්තරේ හැමදේම දැනගෙන ඉන්න එක තමයි වටින්නේ . එහෙම කෙනෙක්ට තමයි මේ සාත්තරේ ඉහලටම ගිහින් මිනිස්සුන්ට උදවු කරන්න පුළුවන් වෙන්නේ "

" ඔය වලව්ව කොහෙද සීයේ තියෙන්නේ "

" රත්නපුරේ පැත්තේ තමයි . මමත් හරියටම දන්නේ නෑ . පෙරේදා ඒ වලව්වේ අලි බලන කෙනෙක් තමයි පණිවිඩේ අරගෙන ආවේ . වලව්වේ ඉන්න අලිබලාගන්න අයගෙන් ප්‍රධානියා වෙන්න ඕන ඒ ආවේ . මට කතාවෙන් තේරුනා එහෙම කෙනෙක් කියලා "

" ඉතින් සීයා දන්නේ නැත්නම් ඒ අලියා ඉන්න දිහාව , අපි කොහොමද එහාට යන්නේ "

" මම වැඩේට අවශ්‍ය කළමනා ටික කියලා කිව්වා දවස් දෙකකින් එන්න කියලා අපිව එහෙ එක්ක යන්න . වලව්වට යන පාර දන්නෙත් නැති නිසා එහෙන් කවුරු හරි ඇවිත් එක්ක යන එක තමයි හොඳ කියලා මම හිතුවා "

" ඒක හොඳයි . අපිට සමන් දේවාලේ වඳින්නත් යන්න පුළුවන් , මම සමන් දේවාලේ ගියේ තාත්තත් එක්ක ගොඩක් ඉස්සර "

" ඒක නම් පුතේ මටත් හිතුනා . අපි හැමදාම දෙවියන්ට පිං දුන්නට මොකද මටත් සමන් දේවාලේ යන්න උවමනාව ලොකුවටම තියෙනවා මමත් කාලෙකින් ගියේ නැති නිසා "

සීයා සමග කතාව අවසන් වී මම නැවත මාගේ කාමරය වෙත පැමිණ දොරගුළුලාගතිමි . ඇඳෙහි හාන්සි වූ මම දිනෙන් දින අපට කිරීමට හමුවන මෙවන් අසාමාන්‍ය භූත බලවේග මගින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳව තනියමම මෙනෙහි කරන්නට වීමි . වරෙක මෙම භූත ආත්ම හෝ යක්ෂ ආත්ම මිනිසුන්ට හදි කරනු ලබයි . නැතිනම් මිනිසුන් ඔවුන් ලවා තවත් පුද්ගලියින් වෙත අවැඩක් සිදු කරනු ලබයි . සීයා වැනි පිරිස් මෙම අසාමාන්‍ය බලවේග සමග හරි හරියට හැප්පී අහිංසක ජීවිත බේරාගනු ලබයි . මෙය චක්‍රයක් වැනිය . නැවතීමක් නැත .

කාමරයේ බිත්තියේ ඇණයක එල්ලා ඇති මාගේ ගජමදාරා සුරය එවිට මට දිස් විය . " ගජමදාරා " යනු සතුන් මෙන්ම මනුෂ්‍යයින් පවා මෙල්ල කිරීමට සමත් , මහා බලසම්පන්න ශාකයකි . ගජමදාරා ගස් කිසිදීනෙක මා දෑසින් දැක නැත . නමුත් අප සතුව ගජමදාරා ලී කැබලි කීපයක් තවමත් සුරක්ෂිතව පවතී . මම ඇඳෙන් බැස බිත්තිය අසලට ගොස් ගජමදාරා සුරය අතට ගත්තෙමි . එහි කොටියෙකුගේ දතක්ද එල්ලා ඇත . එය එල්ලන ලද්දේ පසු කාලීනවය . නමුත් ගජමදාරා කැබැල්ල කලින් සිටම පැවතිනි . මම ගජමදාරා කැබැල්ල රැගෙන කාමරයෙන් පිටවී සීයා අසලට නැවත ගියෙමි .


" සීයේ , මේ මදාරා සුරය "

" ඔව් ඉතින් "

" මදාරා වලට බැරිද අලි ඇත්තු මෙල්ල කරන්න . මම අහලා තියෙන්නේ මදාරා ගහක් යටින් අලියෙක් බැරිවෙලාවත් යන්නේ නෑ කියලා . ඉතින් මේ අසනීප අලියා මෙල්ල කරන්න ගජ මදාරා වලට බැරි වෙයිද "

" මට තාම මුකුත් ඒ ගැන කියන්න බෑ පුතේ . අපි ගිහින්ම බලමු . පුතා කෝකටත් ඕක බෙල්ලේ ගැටගහගන්න . මම හිතන්නේ ඕකත් අපිට ඕනා උනොත් ප්‍රයෝජනේට ගන්න පුළුවන් "

" ගජමදාරා සුරය රැගෙන මම නැවතත් කාමරයට වන්නෙමි "

මෙම ගජමදාරා කැබලි ලැබීම සිදු වූයේ මා කුඩා අවධියේදීය . එය දෙවියන් විසින් අපවෙත ලබා දුන්නා වැනි දෙයක් යැයි මම විශ්වාස කරමි . දිනක් අප නිවසේ නවාතැන් ගැනීමට ඈත ගමක උපාසක මහත්මයෙකු පැමිණියේය . හෙතෙම ඉතාම ශීලවන්ත කෙනෙක් බව කතාවෙන්ම අපට වැටහිණි . ඒ වනවිට මම ගුරුකම් පිළිබඳව කිසිවක් නොකළ කාලයක් විය . එහෙත් සීයා පවා එම උපාසක මහතා පිළිබඳව පැහැදුන හෙයින් ඔහුට අප නිවසේ එදින රාත්‍රියේ නවාතැන් ගැනීමට හැකිවිය .

ඔහු කතරගම දෙවියන් වැඳ පුදා ගැනීම සඳහා කැබලිත්ත මහ සියඹලාව වෙත ගොස් නැවත එන අතරතුරේ රෑබෝ වීම නිසා නවාතැන් ගැනීමට තැනක් සොයන අවස්ථාවේ ගමේ කෙනෙකු ඔහුව අප වලව්ව වෙත කැඳවාගෙන ආවේය . එසේ කැඳවාගෙන ආවේ එවැනි පුද්ගලයෙකුට නවාතැන් දීමට ගැළපෙන වෙනත් ස්ථානයක් ගමේ නොතිබුණු හෙයිනි . ඔහුට අප ඉතා සුහදව සංග්‍රහ සත්කාර කල අතර පසුවදා උදේ හෙතෙම නැවත පිටත්ව යාමට සූදානම් විය .


" ගුරුන්නාන්සේ මට මේ කරපු උදව් උපකාර වෙනුවෙන් මම ඉතින් මොනවා කියලා දෙන්නද . කැබලිත්තට යන අතර වාරයේ අලි අත්තුන්ගෙන් උපද්‍රව වෙයි කියලා මම ගජමදාරා සුරයක් ගැටගහගෙන ආවේ . මට කරපු උපකාර වෙනුවෙන් මම එහෙනම් ගුරුන්නාන්සේට මගේ මේ මදාරා සුරය පඬුරක් විදියට දෙන්නම් . තරහා වෙන්න කාරී නෑ . මට මේ කරපු උදව්ව මායිම් කරන්න බෑ මේ දෙයින් , ඒත් මට දෙන්න තියෙන්නේ ඕක තමයි . තරහා නැතුව මේක ගත්තනම් "

යයි කියමින් ඔහුගේ බෙල්ලේ ගැටගසාගෙන සිටි ගජමදාරා සුරය ගලවා සීයා අතේ තැබීය . ඔහු ඉතාම නිර්ලෝභීව එය ලබාදුන් නිසාවෙන්දෝ සීයා එය ප්‍රතික්ෂේප කළේය .

" නෑ නෑ උපාසක මහත්තයා මේ දේවල් මොකටද . මේක මේ සුළු උපකාරයක් නෙව . ඕනා වෙන්නේ නෑ තෑගී බෝග . ආයෙත් කැබලිත්ත වඳින්න යන වෙලාවට එන්නකෝ මේ පැත්තේ නැවතිලා ඉඳලා නිස්කලංකේ යන්න "





" ඒ උනාට ගුරුන්නාන්සේ මම හිත සතුටෙන් දෙන දේ නිසා ඔන්න මේක ගන්න . මම හිටවලා තියෙනවා අපේ ගෙදර ගජමදාරා ගහක් . ඒ නිසා මට ආයෙත් එකක් හදාගන්න පුළුවන් . මේක තියාගන්න "

කියමින් හෙතෙම නැවතත් ගජමදාරා සුරය සීයා අතේ තැබීය . මෙන්න මේ ආකාරයට වලව්වට ආ ගජමදාරා සුරයේ වූ විශාල ගජමදාරා කැබැල්ල කුඩා කැබලි හතරකට කපා රත්තරන් කොපු දමා නැවතත් සාදවා එකක් මගේ කරේ එල්ලන ලද්දේ සීයා විසිනි .

තව දින දෙකින් එළඹෙන්නේ ගජමදාරා කැබැල්ලේ ඇත්ත නැත්ත පරීක්ෂා කිරීමට කදිම අවස්ථාවක් බව මට සිහි විය . කුමන හෝ අවස්තාවකදී ගජමදාරා කැබල්ලද උවමනා වේ යයි සිතමින් මා සුරය කරේ ගැටගහ ගත්තෙමි . දිනෙන් දින ගෙවීයත්ම රත්නපුරය බලා ගමන් කිරීමේ කාර්යය නොදැනීම උදාවිය . මනාව සකසන ලද බක්කි කරත්තයක් අපගේ වලව්ව ඉදිරියේ නවතන ලදී . එයින් බැස ආවේ තරමක රෞද්‍ර පෙනුමක් සහිත පුද්ගලයෙකි .

" අරනෝලිස් ගුරුන්නාන්සේ "

" කවුරු ආවා කියලද කියන්න ඕන , සීයා ඉන්නවා "

" කියන්න රත්නපුරෙන් ඇවිත් ඉන්නවා කියලා උන්නැහේව එක්ක යන්න "

එවිට සීයා නිවසින් පිටතට පැමිණ පැමිණි පුද්ගලයා සමග සිනහවිය . නමුත් ඔහුගේ මුවේ කිසිඳු සිනහ පොදක් නොවීය . මේ නිසැකවම කලින් ආ අලිබලන්නා විය යුතුය . අලි බලන්නන් ඉතාම නපුරු පුද්ගලයින් බව මා කලින් අසා තිබේ . නමුත් එය හැබැහින් අත්විඳීමට ලැබුණේ මෙම පුද්ගලයා සමග කතාකල වචන දෙකතුනෙන් ය . බිඳකුදු හෝ තෙතමනයක් සහිත වචනයක් ඔහුගේ මුවින් නික්මුනේ නැත .





සීයා සහ මම අවශ්‍ය දේවල් රැගෙන කරත්තයට නැග්ගෙමු . කරත්තය වේගයෙන් ගමන් කරන්නට විය . කරත්තයේ බැඳ සිටි ගොනාට පහර පිට පහර වදින්නට විය .

" මෙච්චර වේගෙන් මොකද , අපි හෙමිහිට යමු . මේ සතාටත් අමාරු ඇතිනේ " සීයා පැවසීය .

" ගුරුන්නාන්සේ දන්නේ නෑ නෙව . මේ සතාට මේවා පුරුදුයි . අපි ඉක්මනට ගියේ නැත්නම් රෑබෝ වෙලා අපිට අද රත්නපුරේට යාගන්න වෙන්නේ නෑ "

අලි බලන්නා තම ගොරෝසු හඬින් පැවසීය . එය සැබෑවක් විය යුතුය . රත්නපුරයට අප සිටිනා ගමේ සිට සැලකියයුතු දුරක් පවතී . එබැවින් ඉක්මනින් නොගියහොත් ප්‍රමාද වී රෑබෝ වීමට පුළුවන .

රාත්‍රී වනවිට අපට රත්නපුරයට ළඟාවීමට හැකිවිය . කළුගඟ හරහා දමා ඇති පාරු පාළම මගින් අප ගඟෙන් එගොඩවිය . අප ඉන් පසුව ගමන් කරන ලද්දේ පොත්ගුල් රජමහා විහාරය වෙත ගමන් කරන මාවතේය . එම මාවතේද තරමක් දුර ගමන් කරනවිට පූර්වෝක්ත වලව්ව වෙත ළඟාවීමට හැකි විය .

" එන්න ගුරුන්නාන්සේ "

කියමින් බොහොම සුහදශීලී ලෙස නමුත් ගාම්භීර හඬින් යම් පුද්ගලයෙකු පැමිණ අප පිළිගන්නා ලදී . ඔහු මේ වලව්වේ ප්‍රධානියා විය යුතුයයි මම නිගමනය කලෙමි . එය නිවැරදිය . හෙතෙම එම වලව්වේ ප්‍රධානියාය . සීයා ඔහුට මා කවුද කියා හඳුන්වාදී පසුව අලියා ගැන විමසීය .

" අපිට කියන්න අමාරුයි ගුරුන්නාන්සේ මේ අලියට මොනවා උනාද කියලා . හොඳට හිටියා . දැන් වයස අවුරුදු තිහක් විතර වෙනවා . මද කිපෙන කාලෙට වියරු වැටුනට මද කාලේ අවසාන උනාම ළමයෙක් වගේ හරිම හීලා වෙනවා . දැන් මද කිපෙන කාලේ ඉවරවෙලා මාස දෙකක් විතර වෙනවා . ඒත් තාම මෙයා සන්සුන් වෙලා නෑ . දැන් වෙනදා තරම් කන්නෙත් නෑ . කෑගගහා ඉන්නවා . කාටවත් කිට්ටුවෙන්න දෙන්නෙත් නෑ . අපිට මෙයාට කන්න බොන්න දෙන්න ගොඩක් මහන්සි වෙන්න වෙලා තියෙනවා . අලියා සනීප කරගන්න බැරි උනොත් මම අලියා මරන්න තමයි හිතාගෙන ඉන්නේ . මෙහෙම විඳව විඳව ඉන්නවට වඩා ඒක සැපයි "

" හා හා මේ මහත්තුරු ඒවාට ඉක්මන් වෙන්න හොඳ නෑ . අපි බලමු සතාව සනීප කරගන්න පුළුවන් විදියක් ගැන . මන්තරවලින් අලි ඇත්තු සනීප කරන විදි තියෙනවා . අපිට අදම නම් අලියව බලන්න බැහැ . මට හෙට සමන් දේවාලෙට යන්න ඕන . උදෙන්ම එහෙ ගිහින් ඇවිත් තමයි මේ ගැන බලන්න ඕන "

" හොඳයි ගුරුන්නාන්සේ මම ඒකට කටයුතු සූදානම් කරන්නම් . තේගිරිස්.......  මේ ගුරුන්නාන්සේලව සූදානම් කරපු කාමරේට එක්ක යන්න . ගිහින් එයාලට කන්න බොන්න උවමනා කරන දේවල් ගැන බලන්න . උඹ මේ ඇත්තන්ට මොකවත් අඩුවක් එහෙම කරන්නේ නෑ හොඳද . බොහොම පුරාණ පවුලකින් පවත එන උදවිය මෙයාලා "

සීයා ඉන් අනතුරුව මද සිනහවක් පා මාත් කැටිව තේගිරිස් සමග අපට සූදානම් කර තිබුණු කාමරයට පිය මැන්නහ .

පසු දින එලිය වැටෙත්ම සීයාත් මමත් කරත්තයකින් සමන් දේවාලය වෙත පිටත් කිරීමට වලව්වේ ප්‍රධානියා ක්‍රියා කළේය . සමන් දේවාලයේ වාහල්කඩ අසලින් බැහැගත් සීයාත් මමත් දේවාලයට පියමැන්නෙමු .

" හරිම නිස්කලංක තැනක් නේද සීයේ "

" ඒවගේම තමයි සිව වටුක කියන රාක්ෂයෝ දෙන්නත් ඉන්න තැනක් මේක . ඒ නිසා පුතේ මේ දේවාලය බොහොම බලගතු තැනක් . නාග ගෝත්‍රයේ නායකයෙක් තමයි මේ සමන් දෙවියන් . ඒ නිසා බොහොම බලසම්පන්නයි . සෝවාන් ඵලයට පත්වෙලා වැඩ ඉන්න නිසා පිං කරන අයට ආශිර්වාද කරනවා උන්වහන්සේ "
දේවාලයේ යාතිකාවට සහභාගී වූ සීයාත් මමත නැවතත් අප ආ රාජකාරිය ඉෂ්ට කිරීම සඳහා වලව්ව වෙත පැමිණියෙමු . සීයා කෙලින්ම ගියේ අලි ගාල වෙතටය . මෙය පුදුම අලිගාලකි . අලින් හතරදෙනෙක් සහ ඇතුන් දෙදෙනෙකු මෙම ගාලේ ගාල් කර සිටියහ . අසනීප අලියා එහි නොවීය . පසුව අපි ඒ පිළිබඳව අලි බලන්නෙකුගෙන් විමසුවෙමු .

" ඒ අලියා ඉන්නේ පහල . මද කිපෙන කාලෙට ඒ සත්තුන්ව අපි කොහොමත් අලි ගාලෙන් අයින් කරලා වෙනත් තැනක බඳිනවා . නැත්නම් අනිත් සත්තුත් එක්ක ආරවුල් ඇතිකරගන්න යනවා මේ අය . මෙහෙන් ආවනම් මම එක්ක යන්න ඒ සතා ගාවට "

වත්ත පහල වෙනමම තැනක එම අලියා ගැටගසා තිබිණි . හෙතෙම එක විදියකට ඉන්නේම නැති බවක් ඈත සිටම අපි දුටුවෙමු . සීයා අතට වැලි අහුරක් ගත්තේය .....

..... නමෝ හර්නීලා ගුරුලා ගුලදී හෙන දේවතාවා වර වර දහර දහර දහානි දහානි තෝගුන් තෝඟුන් ඉගිල ඉගිල වර වර ප්‍රතාදේ ගිනි ගිනි දෙදරාඩි පිල්ලි දෙස් කට්ටු හර හර දෙදරාඩි අල්ලං කිඩ දහරේ වර වර අද්දද් දහරේ ධඃ.........

යයි මතුරමින් අලියා අසලට කිට්ටුවත්ම වැලි අහුරා අලියා දෙසට වීසි කළේය . වැලි අහුර වදිත්ම අලියා මහා හඬින් ගුගුරා අසල වූ කිතුල් පොල්ලක් හොඩයෙන් ගෙන සීයා දෙසට වීසි කළේය . සීයා එකවරම බිමට පහත් වී තම මුහුණ වෙතට එන කිතුල් පොල්ල මගහරින ලදී . නැවත නැවත සීයා විසින් අලියාට මන්තර මතුරමින් වැලි ඉසින ලදී . එහෙත් අලියාගේ වෙනසක් නොවීය . දැන් ටිකෙන් ටික සීයාගේ දෑස් රතු වේගෙන එන බවක් මට පෙනිණි . සීයාද වියරුවටෙන්නේ මෙවැනි අසීරු අවස්ථා වලදීය . සීයා එකවරම අප අසල සිටි අලි බලන්නා වෙත හැරී ,

" ගිහින් එක්ක වරෙන් මෙතන අලි බලන උන්ගේ මහ එකා " යැයි සැරෙන් හඬ නැගීය . මන්තරත් සමග ඇඟට එන දිෂ්ටිය හමුවේ සීයා මෙසේ ගුගුරන්නට ඇත . ඒ හඬට අලි බලන්නා මදක් බිය වූ බවක් පෙනිණි . හෙතෙම අතෙහි වූ හෙන්ඩුවද බිම දමා වලව්වේ අලිගාල වෙත දිව ගියේය . එසැනින් ඔහු නැවත පැමිණියේ සීයා සා මා කැඳවාගෙන යාමට අපගේ වලව්වට පැමිණි ප්‍රධාන අලි බලන්නාද කැටිවය .

" උඹ දන්නවද අලින්ගේ සිහි නැති කරන්න පුළුවන් නිලයක් "

" ඔවු නිලයක් නම් තියෙනවා................... "

" එහෙනම් ගනින් හෙන්ඩුව . අරගෙන ඇනපන් ඕකට සිහි නැති වෙන්න . මුන්දා මෙල්ල වෙන්නේ නෑ මගේ මන්තරේට . මට මුන්දා ගාවට කිට්ට්ටු වෙන්න වෙන විදියක් නෑ "

සීයාගේ සෘජු හඬත් සමගම වහා ක්‍රියාත්මක වූ ප්‍රධාන අලි බලන්නා හෙන්ඩුව අතට ගෙන මදක් වෙලා අලියා දෙස බලා හිඳ විදුලි වේගයෙන් දිව ගොස් නිලය කේන්ද්‍ර කොට තම හෙන්ඩුව දමා ගැසීය . හෙන්ඩුව අලියාගේ සමෙහි වදිනවාත් සමගම අලි බලන්නා පිටුපසට පැන්නේය .







හෙන්ඩුවේ සියුම් තුඩ අලියාගේ සම හරහා විනිවිද ගියේය . විනාඩියක් පමණ යනවාත් සමගම අලියාගේ දැඟලිල්ල අඩුවී ගියේය . තවත් මිනිත්තු කීපයක් නිසොල්මනේ සිටි අලියා පෙරේතයා පොලවේ ගහන්නහේ බිමට පතිත විය . මේවනවිට සීයාගේ කේන්ති ස්වභාවය පහවී ගොස් තිබිණි . සීයා ටිකෙන් ටික අලියා අසලට කිට්ටු විය . එසේ කිට්ටුවී අලියාගේ ඇසක් විවෘත කර ඇස පරීක්ෂා කළේය .

" මට පේන හැටියට අලියගේ ජීවිතේ ගන්න යක්ෂ බැල්ම වැටිලා තියෙන්නේ . මේ යකා එලවන්න මෙහෙම බෑ . ගුරුකමක් තියෙනවා . ඒත් ඒක කරන්න ඇත් සොහොනක් හොයාගෙන ගිහින් ඇත් සොහොනෙන් යක්ෂ දිශ්ටියක් බන්ධනය කරගෙන එන්න ඕන . මොකද කරන්නේ . යමු වලව්වට මේ ගැන කතා කරගන්න "

සීයා නැවත වලව්වට පැමිණ වලව්වේ ප්‍රධානියා සමග මේ පිළිබඳව වැඩිදුර සාකච්චා කළේය . පසුව ඇත් සොහොනක් සොයා යාමට තීරණය කළේය . නමුත් ඇත් සොහොනක් තිබෙන්නේ කුමන ප්‍රදේශයකද කියා අපට වැටහීමක් තිබුණේ නැත . වලව්වේ ප්‍රධාන අලි බලන්නා ඇත් සොහොනක් පිළිබඳව දන්නා බව පැවසීම නිසා එම මොහොතේ අපට සතුටට පත් වීමට හැකි විය .

ඇත් සොහොන පිහිටා තිබුණේ ශ්‍රීපාද කන්දේ මහා ඝන කැලයේය . එබැවින් ඇත්සොහොන සොයා යෑම තවත් වික්‍රමයක ආරම්භයක් විය .





                                                     ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


                    .....දෙවැනි කොටසින් හමුවෙමු...




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment