හිමවතේ ඇත් සොහොනට පියමැන්නෙමු ( 2 කොටස )



මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවස මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.

පසුගිය කොටසින් ......

" මට පේන හැටියට අලියගේ ජීවිතේ ගන්න යක්ෂ බැල්ම වැටිලා තියෙන්නේ . මේ යකා එලවන්න මෙහෙම බෑ . ගුරුකමක් තියෙනවා . ඒත් ඒක කරන්න ඇත් සොහොනක් හොයාගෙන ගිහින් ඇත් සොහොනෙන් යක්ෂ දිශ්ටියක් බන්ධනය කරගෙන එන්න ඕන . මොකද කරන්නේ . යමු වලව්වට මේ ගැන කතා කරගන්න "

සීයා නැවත වලව්වට පැමිණ වලව්වේ ප්‍රධානියා සමග මේ පිළිබඳව වැඩිදුර සාකච්චා කළේය . පසුව ඇත් සොහොනක් සොයා යාමට තීරණය කළේය . නමුත් ඇත් සොහොනක් තිබෙන්නේ කුමන ප්‍රදේශයකද කියා අපට වැටහීමක් තිබුණේ නැත . වලව්වේ ප්‍රධාන අලි බලන්නා ඇත් සොහොනක් පිළිබඳව දන්නා බව පැවසීම නිසා එම මොහොතේ අපට සතුටට පත් වීමට හැකි විය .

ඇත් සොහොන පිහිටා තිබුණේ ශ්‍රීපාද කන්දේ මහා ඝන කැලයේය . එබැවින් ඇත්සොහොන සොයා යෑම තවත් වික්‍රමයක ආරම්භයක් විය .





අද එතැන් සිට ...........

ඇත්සොහොන සොයාගැනීම පිළිබඳව මාගේ සිතෙහි කිසිඳු හෝ පැහැදිලි අරමුණක් අධිරෝපණයවී තිබුනේ නැත . ඊට හේතුව මෙම ඇත් සොහොන පිළිබඳව තතු දත් පුද්ගලයා වූයේ මෙම වලව්වේ ප්‍රධාන අලිබලන්නා පමණක් වීම නිසා විය යුතු යැයි මම සිතමි . සැබවින්ම අලි ඇතුන් තමන් ජීවත් වන වනාන්තරයේ තම සම්පූරණ ජීවිත කාලය ගෙවා අවසන් කල පසු මිය ගියද , ඔවුන්ගේ ඇටසකිල්ලක් හෝ සොයාගැනීමට හැකියාවක් අපට ලැබෙන්නේ නැත .

එවැනි ඇටසැකිල්ලක් ඇසින් දුටු පුද්ගලයෙකු හෝ මාහට මෙතෙක් හමුවී නැත . අලි ඇතුන්ට තිබෙන්නේ තේජවන්ත මහේ ශාක්‍ය ජීවන පැවත්මක්ය . එබැවින් ඔවුන්ගේ අවසානයද එවැන්නක් විය යුතුයැයි මම අනුමාන කරමි .

සීයාද වලව්වේ ප්‍රධානියාද දිගින් දිගටම සාකච්චාකරන ලද්දේ ඇත්සොහොන වෙත යාමට කටයුතු සූදානම්කලයුත්තේ කෙසේද යන්න පිලිබඳවය . ඒ අතරතුර ඔවුන්ගේ එම සංවාද මණ්ඩපයෙන් මම හෙමින් සීරුවේ නික්ම වලව්ව වටා ඇවිදීම ආරම්භ කලෙමි .

මෙම වලව්ව සිංහල රජකාලේ සිට පැවත එන්නක් යයි සීයා මා හා පැවසුවද , එහි ඇති ගෘහ නිර්මාණ ලක්ෂණ අනුව එය ලන්දේසි පාලන සමයට අයත් එකක් බව මම නිගමනය කලෙමි . නමුත් එම නිගමනය මත මා කෙතෙක් දුරට නිවැරදිදැයි මම නොදනිමි .

වලව්වේ සියලුම බිත්ති කබොක් ගල් වලින් බඳිනලද බිත්ති බව , වලව්වේ පිටුපස ප්‍රදේශයේ ඇවිදින විට දැකගත හැකිවිය . ලැටිස් ගසන ලද ඉදිරිපස ඉස්තෝප්පුව සහ සාලයට පිවිසෙන ස්ථානය අවට ඉදිකිරීම් , අමතර ලී කැටයම්ද එකතු කිරීමෙන් තවත් අලංකාර කර තිබිණි . සාලයේ තබා තිබුණු පිත්තල පහන් සහ මල්පෝච්චි කාලයක් තිස්සේ ඔප නොදැමීම හේතුවෙන් දිස්නය දීමෙන් වැළකී සිටියේය . නමුත් ඒවායේ තේජවන්ත ලීලාවේ අඩුවක් නම් නොවීය .

වලව්වේ මැද මිදුල් කීපයකි . ඉන් එක් මැද මිදුලක අලංකාර මල් වවා තිබිණි . තවත් මැද මිදුලක සිහින් වැලි අතුරා තිබුණද එහි වෙනත් කිසිවක් තිබුනේ නැත . එය වලව්වේ කුඹුරු වලින් ගෙනෙන වී වේලන මාගල් එළනු ලබන මැද මිදුලක් විය යුතය . තවත් මැද මිදුලක පොකුණක් නිමවා තිබිණි . එය දෙකොනෙන් වෘතාකාර වන අතර මැදින් දිගටි හැඩයක් ගත්තේය .

එහි මසුන් ඇතියි කියා මම සැක කලෙමි . නමුත් එහි මසුන් සිටියේ නැත . නෙලුම් මල් පමණක් එහි සිටුවා තිබිණි . වැසි ජලය එකතුවන ලෙසත් වැඩි වතුර ඉන් ඉවත් වන ලෙසත් එහි පිටත බැම්ම මනාව ආනත කර තිබූ අතර වැඩි ජලය ඉවත්වන්නට සාදා තිබුණු කවුළුව ආරම්භ වූයේ කළු ගලින් නිමවන ලද කටකින්ය . එයින් ඇරඹෙන නලයක් මගින් ජලය පිටවීම සකසා තිබිණි . අපගේ වලව්වේ නැති මෙම අංගය මාගේ වඩාත් සිත්ගත් අංගයක් විය .

වලව්වේ මුළුතැන්ගෙය තරමක් විශාල මුළුතැන් ගෙයක්ය . එහි චිමිනිය බැඳ තිබිණි . පැත්තකින් ලෙලිගැසූ පොල් ගොඩක් තිබිණි . ඊට අමතරව මුළුතැන් ගෙයකට අවශ්‍ය ගල් වංගෙඩියක් මෝල් ගස් දෙකක් හිරමන කැති මන්න පිහි ආදියෙන් එම මුළුතැන්ගෙය පරිපූර්ණය . කුස්සියේ වැඩ කිරීමට මැදිවයස ඉක්මවා ගිය කාන්තාවක් හා තවත් මෙහෙකරුවෙකු සැදී පැහැදී සිටියහ .

වලව්වේ මා සිත්ගත් තවත් වැදගත් අංගයක් වූයේ වී කොටනගෙය තුල බිම වූ වී කොටන ගලයි . එය වෘතාකාර තැටියක් මෙන් නිමවා තිබිණි . අපගේ වලව්වේ වූ වී කොටන ගල හරි හතරැස් ගලකි . එබැවින් වෘත්තාකාර වීකොටන ගලක් මා දුටුවේ පළමු වතාවටය .

" පුංචි මහත්තයා වලව්වේ වටේ ඇවිදිනවා වගේ "

වීකොටන ගෙය අසලදී මා අමතන ලද්දේ තෙගිරිස් විසිනි . හෙතෙම වලව්වේ සේවය කරන ශාන්ත පෙනුමක් සහිත පුද්ගලයෙකි .

" ඔව් මාමේ . මම ටිකක්වලව්වේ ඇවිදලා බැලුවා මේ පැත්තේ කොහොමද කියලා .මම කැමතියි මේ වගේ පරණ දේවල් දැකබලා ගන්න . මේ වීකොටන ගල හරිම අපූරුයි . මම මේ වගේ වීකොටන ගලක් දැක්කේ අදමයි "

" පුංචි මහත්තයා ගුරුන්නාන්සෙගේ කවුරු වෙනවා කියලද කිව්වේ ? "

" ඒ අපේ සීයා " මම සිනහ මුසු මුහුණින් පැවසුවෙමි .

" ආ මේ ගුරුන්නාන්සෙගේ මුණුබුරා "

එයටද පිළිතුරු වශයෙන් මා සිනහසුනා මිස කිසිවක් පැවසුවේ නැත .

" මාමේ , මේ වලව්වේ තව කවුද ඉන්නේ ? "

" වලව්වේ හාමුදුරුවෝ ඉන්නවා . තව කුමාරිහාමියි එයාලගේ දරුවෝ දෙන්නයි ඉන්නවා . එක්කෙනෙක් පුතා . අනිත් කෙනා දුව . පොඩි අප්පෝ තමයි වැඩිමලා . කුමාරිහාමියි පොඩි අප්පොයි පොඩි මැණිකෙයි , කුමාරිහාමිගේ අම්මලා ඉන්න වලව්වට ගියා දැන් තුන් දොහකට විතර කලියෙන් . සමහරවිට පුංචි මහත්තයට දැකගන්න පුළුවන් වෙයි එයාලා ඉක්මනටම ආවොත් . ඔය ලෙඩවෙලා ඉන්න අලියා අපේ පොඩි අප්පොට හරිම ලෙන්ගතුයි . දැන් තමයි ඔය අසනීප උනාට පස්සේ කවුරුවත්ම පේන්න බැරි උනේ . පොඩි අප්පොත් හිටියේ හරිම විස්සෝපෙන් ඒ ගැන "






මා අසන්නටද පෙර තේගිරිස් වැඩි විස්තරද කියාගෙන ගියේය .

" මම එහෙනම් යන්නම් මාමේ . අපි තව දවස් ඉන්නවනේ . මම එන්නම්කෝ මාමා එක්ක ටිකක් කතා කරලා රත්නපුරේ පැත්තේ විස්තර අහගන්න "

" මහත්තයා වලව්වේ වත්තේ ඇවිදින්නේ බලාගෙන . වලව් වත්තේ පහල විසාල නයි දෙන්නෙක් ඉන්නවා . තාම කාටවත් කරදර කරලා නම් නැහැ . ඒත් මහත්තයා ආගන්තුක නිසයි මම කිව්වේ "

මම එයටද සිනහවක් පෑවා මිස , ඉන් එහා කිසිවක් කියන්නට ගියේ නැත . පසුව මම තේගිරිස්ට සමු දී සීයා සහ වලව්වේ ප්‍රධානියා කතාකරමින් සිටි තැනට ගියෙමි . තවමත් දෙදෙනාගේ සාකච්චාව ඉවර වී නැත .

" මට ඇත් සොහොනට යන්න කලියෙන් මේ වැඩේට ඕන කරනවා පුහුල් ගෙඩියක් . ඒක මමම ගිහින් හොඳට හොයලා බලලා පුහුල් වැලකින් කඩාගන්න ඕන . තව අත් උදව්වට කෙනෙක් ඕන . මේ අලි බලන අයගේ මහ උන්දත් එක්ක . මමයි , අත් උදව්වට එක්කෙනයි , පුතයි හිටියම ඇති මේ ගමනට . දවස් දෙකතුනකට විතර කන්න කෑමට මොනවාහරි ගෙනියන්න වෙයි . තව පැදුරක් , සුදු රෙද්දක් , සාම්බ්‍රානි , අඟුරු කබලක් , හුළු අතු ඕන කරනවා  "

සීයා එකදිගට වලව්වේ ප්‍රධානියා වෙත කියාගෙන කියාගෙන ගියේය .

" අපි ගිහිල්ලා ඒ රාජකාරිය අහවර කරගෙන එනකං මෙන්න මේ දේවල් කෙරෙන්න ඕන . අපේ ගුරුන්නාන්සේ වලව්වටට මෙහෙන් කවුරුහරි යවන්න ඕන . ඒ යවලා කියන්න බෙරගහන බෙරගල කියන කෙනාට මම එන්න කිව්වා කියලා . එතකොට බෙරගලයි තවත් බෙරගහන කෙනෙකුයි එයි . අපේ වලව්වේ කරත්තෙන් එයාලව එක්ක එන්න කියන්න . එතකොට මට මේ වැඩ අහවර කරලා මගේ කරත්තෙන්ම ආපහු යන්න පුළුවන් . තව ඕන කරනවා වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් , වෙඩිබෙහෙත් . වැදගත්ම දේ තමයි හරියට ඉලක්කෙට වෙඩි තියන්න පුළුවන් කෙනෙක් ඕන . ඉලක්කේ වැරදුනොත් හැමදේම අපතේ ගිහින් අලියත් මැරිලා මේ කටයුත්තෙන් වැඩක් ගන්න බැරි වෙනවා . ඒ නිසා ඉලක්කෙට වෙඩි තියන කෙනාගෙ ඉලක්කය හරිම වැදගත් . තව මම ලියල දෙන්නම් මේ ගමේ එහෙන් මෙහෙන් ඕන කරන දේවල් . ඒවා එකතු කරලා තියන්න අපි ඇත් සොහොනට ගිහින් එනකං "




වලව්වේ ප්‍රධානියා මේ සියල්ල සාවදානව අසා සිටියා මිස සීයාගේ කතාවට බාධා කරේ නැත . පසුව ඔහු වලව්වේ සේවය කරන කීප දෙනෙකු සීයාට හඳුන්වාදී අවශ්‍ය සියල්ල ඔවුන්ගෙන් ඉටුකරවාගන්නට අවස්ථාව ලබාදුන්නේය . මාහට කිරීමට කිසිවක් නොවූයෙන් අසනීප අලියා සිටින අලිගාලවෙත නැවත පියමැන්නෙමි .

අලියාට පියවි සිහිය ලැබී නැවතත් ගොරවමින් කෑගසමින් සිටියේය . ප්‍රධාන අලි බලන්නා ඒ අසල බිම ඇණ තියාගෙන සිටි අතර මා ඔහු අසලට ලං වත්ම හෙතෙම මා සමග සිනාසුනේය . මමද ඔහු සමග මද සිනහවක් පා ඔහු අසලින් හිඳගතිමි .

" මහත්තයාගේ බෙල්ලේ ගැටගහලා තියෙන්නේ ගජමදාරා ලී කෑල්ලක් නේද ? "

" ඔව් මාමේ . මාමා දන්නවද ඒවා ? "

ඔහු මා ඇසූ පැනයට පිළිතුරක් නොදී ඔහුගේ ඉනේ ගැටගසා සිටින සුරය මාහට පෙන්වීය . එයද රිදී කොපු දමා සාදන ලද ගජ මදාරා සුරයකි .

" අලියා මේවට මෙල්ල වෙනවද මාමේ ? "

" පුංචි මහත්තයා මේ මොනවා කියනවද , ඕන අලියෙක් මෙහෙම කරනකොට මෙල්ල වෙනවා මේවට . ඒත් මදකිපුන අලි ඇත්තුන්ටනම් මේවා අහන්නේ නෑ "

" මාමා කොහොමද ඇත් සොහොන ගැන දන්නේ ? "

මෙතෙක් වෙලා මා හා කුළුපගවී කතාකරමින් සිටි ප්‍රධාන අලිබලන්නා එම පැනයත් සමගම මදක් නිහඬවී කල්පනා කරන්නට විය . මම ඔහුගේ දැහැන නොබිඳ ඔහුගෙන් පිළිතුරු ලැබෙනතුරු බලා සිටියෙමි . ඔහු එම කාලය තුල තමාගේ අතීතයට ගියේය .






" මම අලි සාත්තරේ ඉගෙනගත්තේ මඩුවන්වෙල වලව්වේ අලිබලන්න හිටපු ගුරුවේ නයිදේ කියන කෙනාගෙන් . උන්නැහේ තමයි මගේ ගුරුන්නාන්සේ . කාලයක් මම මඩුවන්වෙල වලව්වේ අලි ගාලේ වැඩ කරා . මුලින්ම කරේ අලින්ට කෑම හොයන එක . පොල්ගස් නැගලා පොල් අතු කැපුවා , කිතුල් ගස් කැපුවා වගේ ඒවා තමයි කරේ . පස්සේ මටත් ආසාවක් ආවා අලි බලන සාත්තරේ ඉගෙන ගන්න . මම වැඩිපුර වැඩ කරේ ගුරුවේ නයිදේ එක්ක . උන්නැහේ අලි බලන්න හරි හපනා . ඕනෑම කුලප්පුවෙච්ච අලියෙක් පැයක් හමාරක් යන්න කලින් ගස් බඳිනවා . අලි අල්ලන්නත් හරිම සූරයා . ඉතින් මම උන්නැහේට කිව්වා මටත් සාත්තරේ උගන්නන්න කියලා . ඉස්සෙල්ලම මම අලින්ගේ පිටේ ගියා . ඊට පස්සේ තමයි හෙන්ඩුව අතට දුන්නේ . හෙන්ඩුව අතට දෙන්න නැකතකුත් බැලුවා . ඊටපස්සේ ඉඳලා ටික ටික මට මේ සාත්තරේ කියලා දුන්නා . අලි නිල ගැන ඉගැන්නුවට පස්සේ ගුරුවේ නයිදේ වයස නිසා වලව්වේ අලි බලන වැඩෙන් අයින් උනා . ඊට පස්සේ මම ටික කාලයක් ගුරුවේ නයිදේ බලපු අලියා බලාගෙන මඩුවන්වෙල වලව්වේ හිටියා . ඊට පස්සේ තමයි මට ඇත් සොහොනට යන්න පුළුවන් උනේ "

කතා කරන අත්දැකීම් හමුවේ ඔහුගේ දරදඬු හදවත තරමක් මෘදු වූ බවක් මට පෙනී ගියේය . ඔහුගේ අත්දැකීම් වචන බවට පෙරලා ගැනීමට සුදුසුම අවස්තාව මෙය බව මට වැටහී ගියේය .

" එහෙනම් මාමා කියන්නකෝ කතාව . මම ආසයි දැනගන්න ඒ කතාව "

" සුදුඅලි ඇත්තු ගැන මහත්තයා අහලා තියෙනවද ? "

" වෙස්සන්තර ජාතකේ වෙස්සන්තර රජතුමාට හිටියේ සුදු ඇතෙක් . තව මතක නෑ . හැබැයි ගොඩක් කතාවල් වල මම අහලා තියෙනවා සුදු ඇත්තු හිටියා කියලා "

" මට ඕන උනා සුදු ඇත්තු ඉන්නවද කියලා බලන්න . ඉතින් මම ඒ කාලේ හැමවෙලේම හිත හිත හිටියේ කැලෑවල්වල ඇවිදලා සුදු අලි ඇත්තු ඉන්නවද නැද්ද කියලා ඇත්තටම බලන්න ඕන කියලා . ඔය කාලෙම කොහොමහරි ගුරුවේ නයිදේ බල බල ඉඳලා මට බලන්න කියලා පවරපු අලියා මැරුණා . ඊටපස්සේ වලව්වේ තව අලි හිටියත් මම වලව්වේ ඉන්නේ නැතුව සුදු අලි හොයන්න පටන් ගත්තා "

" ඉතින් මාම කසාද බැඳලා එහෙම නෙවෙයිද හිටියේ ? රස්සාවත් නැති උනාම ඉතින් පවුලක් නඩත්තු කරන්න බැරිවෙනවනේ "

" නෑ මහත්තයෝ මම ඒ කාලේ තනිකඩයා . ඒ නිසා තමයි මගවැරදුන ඇතා දුවන්නහේ සුදු අලින්ගේ පස්සේ දුවන්න ගත්තේ . මට වටින් ගොඩින් ආරංචියක් ආව සමන්දෙයියන්ගේ අඩවියේ සුදු අලියෙක් ඉන්නවා කියලා කීප දෙනෙක් දැක්කා කියලා "

" ඉතින් ? " මම දෑස් විශාල කර ඇසුවෙමි .

" මම හෙන්ඩුව වත් ගත්තේ නෑ . ඉනේ ගහන් ඉන්න පිහිය විතරයි තිබුණේ . සමන්දෙයියන්ගේ අඩවියට ඇතුල් උනා සුදු අලියෙක් දැකගෙන මිසක් ආයේ යන්නේ නෑ කියලා . මම දෙවියන්ගෙනුත් ඉල්ලුවා මට කොහොමහරි සුදු අලියෙක් මුනගස්සන්න කියලා . මම රත්නපුර පාරෙන් සිරීපාද කන්දට යන්න පිටත් උනා . සිරීපාද කන්ද මායිමට ඇවිත් මම කල්පනා කරා මිනිස්සු වැඩිපුර ගැවසෙන  මේ පාර කිට්ටුවට අලි වැඩිය එන්න ඉඩකඩක් නෑ කියලා . ඒ නිසා මම පාර මග ඇරලා මහ ඝන කැලේට ඇතුල් උනා "

" ඉතින් මාමට සුදු අලියෙක් හම්බුනාද ? "

" මම දවස් ගානක් තිස්සේ ඇවිද්දා ඇවිද්දා . ඒත් සුදු අලියෙක් හම්බුනේ නෑ . මම පස්සේ තවත් කැලේ ඇතුලට ගමන් කරනකොට මම දන්නෙම නැතුව ඇවිත් තියෙන්නේ ඇත් සොහොනකට "

" ඉතින් මාමා කොහොමද දැනගත්තේ මේක ඇත් සොහොනක් කියලා ? "

" ඒතන ගස්වල අතු අතරේ ඇත් දල ගහලා තියෙනවා මම දැක්කා . පස්සේ ටිකක් වටපිට සෝදිසි කරලා බලනකොට තිබුනා අලින්ගේ ඇත්තුන්ගේ ඇටකටු ගොඩක් "

" ඉතින් මාමේ එහෙමයි කියලා කොහොමද එතන ඇත් සොහොනක් තියෙනවා කියලා මාමා හරියටම දැනගත්තේ ? "

" පුංචි මහත්තයා දන්නේ නෑ . මට ගුරුවේ නයිදේ මේ සාත්තරේ උගන්නනකොට ඇත් සොහොන් ගැනත් කියා දුන්නා . අලි ඇත්තු මැරෙන්න ලං උනාම මේ ඇත් සොහොන් කිට්ටුවට එනවා . ඒ එන්නේ තනියම නෙවෙයි . තවත් රැලේ අලිත් එක්ක . ඒ ඇවිත් ඉන්නකොට තමන්ගේ මැරෙන මොහොත ලං උනාම අනිත් අලි ඇත්තු ඇවිත් මේ මැරෙන සතාගේ වටේට හේත්තු වෙලා ඒ සතා වැටෙන්නේ නැති වෙන්න අල්ලාගෙන ඉන්නවා . පස්සේ හිටගෙන ඉන්නකොටම තමයි මැරෙන සතාගේ පන යන්නේ . පස්සේ වටේ ඉන්න අලි ඇත්තු අයින් වෙනකොට මරුන සතා බිමට ඇදගෙන වැටෙනවා "

" ඉතින් ඇටකටු ගොඩගහන්නේ කවුද ? ඇත් දල ගස්වල රඳවන්නේ කවුද ? "





" මැරුණ සතාගේ මස් කුණුවෙලා දිරලා ගියාට පස්සේ අනිත් අලි ඇත්තු ඇවිත් ඒ සතාගේ ඇටකටු එක ගොඩකට ගෙනත් දානවා . එහෙම ගෙනත් දාන ඇටකටු ගොඩක් තමයි ඇත් සොහොනක තියෙන්නේ . මැරුණේ ඇතෙක් නම් ඒ ඇතාගේ දල දෙක මේ ඇටකටු ගොඩට දාන්නේ නෑ . ඒ දලදෙක වෙනත් සත්තුන්ට අල්ලන්න බැරිවෙන්න උස ගස්වල අතු අතරේ හිර කරනවා . තිරිසන් සත්තු උනත් අලියා කියන්නේ හරිම අමුතු සතෙක් . වෙලාවකට මනුස්සයෙක්ට වඩා මොලේ තියෙන වැඩ කරනවා අලි ඇත්තු උනත් "

"  ඉතින් මාමට සුදු ඇතෙක් හරි සුදු අලියෙක් හරි බලාගන්න පුළුවන් උනාද ? "

" මම මේ ඇත් සොහොනක් තමයි කියලා දැනගත්තට පස්සේ එතන නැවතිලා ඉන්න ඕන කියලා හිතුවා . මොකද කොයිවෙලේ හරි මෙතනට සුදු අලියෙක් හරි ඇතෙක් හරි ඉන්නවනම් එනවා කියලා හිතුන නිසා . පස්සේ මම එතන වටපිට කරක්ගහලා බලනකොට තමයි දැක්කේ ගල්වලින් වටවෙච්ච ගුහාවක් වගේ තැනක් තියෙනවා ඇත් සොහොන පේන මායිමේ . මම හිතුවා එතන ඉන්න ඕන කියලා. ඒ කිට්ටුවම වතුරපාරකුත් තිබුන නිසා වතුර කරදරයක් උනේ නෑ "

" අලින්ට මිනිස්සුන්ගේ ඉව ඉක්මනට දැනෙනවා කියනවා නේද ? "

" ඒකට මම කරා හොඳ වැඩක් . මහත්තයටනම් කැත හිතෙයිද දන්නේ නෑ . මම වැඩි හරියක්ම ඔතනට අලි එන වෙලාවට ඇඟේ අලිබෙටි ගාගෙන තමයි හිටියේ "

එය ඇසීමත් සමගම මට මහත් අප්‍රසන්න හැගීමක් ඇති වුවද අලිබලන්නා වෙත එය නොපෙන්වා සිටීමට මා වගබලාගත්තෙමි .

" අලි බෙටිවල මහත්තයෝ හිතන තරම් මහලොකු කැතක් අපිටනම් නෑ . අපි අතින් අරන් තමයි අලිබෙටි අස් කරන්නෙත් "

" ඉතින් මාමා කෑවේ බිව්වේ ? "

" ඒ කාලෙම කෑවේ ගස්වල ගෙඩි ජාති තමයි . සුදු අලියෙක් බලන්න තිබ්බ උවමනාව නිසා මට එක දුකක් කියලා දැනුනේ නෑ "

" ඉතින් කියන්නකෝ මාමට සුදු අලියෙක් හම්බුනාද ? "


                                                  - තුන්වන කොටසින් හමුවෙමු -




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment