සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම





මම උසස්පෙළ ලියන්න බයෝ රිවිෂන් යන කාලෙ අපේ ක්ලාස් එකට ආවා එක ළමයෙක් අපේ ඉස්කෝලේ නෙවෙයි වෙනත් ඉස්කෝලයක . බයෝ වලට ක්ලාස් ආවෙත් එකට . පස්සේ අපි සෙට් එකම රිවිෂන් ආවෙත් එකටමයි . ඔහොම කාලයක් ගතවෙනකොට මෙයා ගෑණු ළමයෙක්ට ලයින් පාරක් දාලා අපිටත් මාට්ටු වෙලා ඔන්න දැන් ඇවිත් කතාව හදලා දෙන්නටම විහිළු කරලා එකම විකාරයක් කරන්න ගත්තා .

ඒ කියන්නේ නිල නොවන වශයෙන්ම අපි දෙන්නව බන්දලා ළමයිත් හදවලා ළමයින්ට නමුත් දාලා තිබුණේ . කාලයක් යනකොට කොල්ලගේ ගෙදරින් දැනගත්තා මෙහෙම සම්බන්ධයක් ඇතිවෙලා තියෙනවා කියලා . ඒ කොල්ලත් අපේ බාසාවෙන් කියනවනම් ටිකක් අප්සට් ඩයල් එකක් වගේ . කෙලින් තීරණයක් ගන්නේ නැති වැනෙන එකෙක් . ඒකයි එහෙම කිව්වේ . නැත්නම් අපේ යාළුකම් වලට නම් ඒවා අවුල තිබුණේ නෑ . මචං ලෙවල් එකේ හොඳ බුලට් එකක් තමයි .

ඉතින් කොල්ලගේ ගෙදරින් දැනගත්තම කොල්ලට අම්මලා තාත්තලා මොනවා හරි කියලා මම හිතන්නේ . දවසක් මිනිහා මගෙන් ඇවිත් ඇහුවා මචං කසාදයක් වෙනකොට කුල බලන එක සාධාරණද කියලා . මම ටිකක් වෙලා ම්ම්ම්....... ගගා කල්පනා කර කර ඉඳලා කිව්වා අපේ වයස්වල අයටනම් මචන් කුල අවුලක් වෙන්නේ නෑ . එත් දැනට අවුරුදු පනහකට හැටකට කලින් ඉපදුණු අය අතරේ නම් කුල වෙනස තියෙන්නේ ඒ ඒ අයගේ වෙනස් කරන්න බැරි සිතුවිලි ගතිපැවතුම් නිසා කියලා . 

පස්සේ මම ආයෙත් කිව්වා දැන් කාලෙ කොල්ලෝ කෙල්ලෝ හැමෝම එක පොදියට ඉගෙන ගන්නවා . එකට කනවා බොනවා . කුල අවුලක් නෑ . ඒ ඒ කුලවල තියෙන ගති පැවතුම් කාටවත් ඇවිත් නැහැ . ඒ නිසා දැන් කාලෙ මොන කුලද බං කියලා .

මිනිහා මට එවෙලේ කිව්වේ නෑ ඇයි එහෙම අහන්නේ කියලා . ඒත් පස්සේ තමයි දැනගත්තේ කොල්ලයි කෙල්ලයි එකම ගමක ඉන්නේ . කෙල්ල පොඩ්ඩක් කුලෙන් පහත නිසා කොල්ලගේ අම්මලා තාත්තලා කැමති නැහැ මේ කසාදය කවදා හරි වෙනවට කියලා . පස්සේ කාලෙකත් මට ඔහොම කතා අහන්න ලැබුණා . කුල ගැන හොයන අයට බනිනවට වඩා කරන්න ඕන ඒ අය දිහා උපේක්ෂාවෙන් බලලා ජීවත් වෙන එක .


සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම
නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව

දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම

නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව

ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම
දියවී ගිහින් බැඳුනේ තරු ඇස ගාව

ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ
සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව

කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නළ සේම

ගායනය : අසංග ප්‍රියමන්ත පීරිස් / මාලනී බුලත්සිංහල
තනුව :
ගී පද :






සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම
නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව

පෙම්වතාට මේ සමාජයේ දකින්න ලැබෙන කලහකාරී දේවල් එක්ක බැලුවම තමන්ගේ පෙම්වතිය තරම් සැනසුමක් ලබාදෙන දර්ශනයක් තවත් නැහැ . කොච්චර රණ්ඩු සරුවල් උනත් පෙම්වතියගේ සිනහව තරම් පෙම්වතෙත් දකින්න කැමති දෙයක් තවත් නැහැ . පෙම්වතියො ඔය හිනාව හංගගෙන ඉන්නෙත් ඕක නිසාම තමයි . සඳ දියෙන් දෝවනය කරලා ගත්ත මුහුණෙන් වෑහෙන සිනහවේ සුවඳ අද තියෙන්නේ පෙම්වතාගේ හිත ළඟ විතරයි . ඒ දෙන්නට ලං වෙන්න එකතුවෙන්න විදියක් නැති නිසා .

දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම

දෙන්නට ලං වෙන්න විවාහ වෙන්න විදියක් නැත්තේ දෙපාර්ශවයේ තියෙන කුල සිරිත්වල නොගැළපීම නිසා . දෙන්නා මෙතෙක් කල් ගමන් කරගෙන ආව ගමන් මග ආවරණය කරලා තියෙන්නෙත් මේ කුල ප්‍රශ්න . ඉතින් දැන් දෙන්නට විවාහ වෙන්න විදියක් නැති නිසා තියෙන්නේ හමුවෙලා කතා කරලා දුක් වෙන්න විතරයි .

නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව

මේ පෙම් යුවලට තියෙන්නේ අනිත් පෙම් යුවලවල් වලට වගේම නෑඹුල් ප්‍රාර්ථනා සමූහයක් . ඒවා ටිකෙන් ටික වැඩිවෙලා අහස උසට නැග යන්නේ දෙන්නටම රහසෙන් . ඒ ප්‍රාර්ථනා අන්තිමට සඳ ගාව දිළිසෙන්නේ හරියට පුර පක්ෂයේ සඳ වගේ . ඒ කියන්නේ පසළොස්වක සඳ වගේ .

ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම
දියවී ගිහින් බැඳුනේ තරු ඇස ගාව

ඒත් දැන් ඒ ප්‍රාර්ථනා ඔක්කොම සුනු විසුණු වෙලා ගිහින් වගේ . ඒ මොකද දෙන්නට එකතුවෙන්න ලැබෙන්නේ නැත්නම් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න බැරි වෙන නිසා . දියවක හඳ කියන්නේ පොඩි ඉරක් වගේ තියෙන හඳ පිරෙන්න පටන් ගන්න මොහොතේ තියෙන හඳට . ඒ කියන්නේ ඒ වගේ අඩු ආලෝකයක් තියෙන හඳ වගේ මේ අයගේ ප්‍රාර්ථනාවල ආලෝකයත් අඩුවෙලා අන්තිමට තරුවක් ළඟ ඒ ප්‍රාර්ථනා නැවතිලා කියලා . තරුව කියන්නේ නිවෙන දැල්වෙන ආලෝකයක් නිකුත් කරන වස්තුවක් . ඒ කියන්නේ මේ අයගේ ප්‍රාර්ථනාත් දැන් ඒ වගේ නිවෙනවා පත්තුවෙනවා කියන එක .

ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ
සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව

පවුල් වලින් දෙන්නටම එල්ල වෙන්නේ මේ වෙලාවේ ගැරහුම් මිසක් ආශිර්වාද නෙවෙයි . ඒ නිසා දෙන්නාටම වෙලා තියෙන්නේ දෙන්නාගේම ආදරයේ උණුසුම දුක් ගින්දරකට පෙරළලා විඳ ගන්න .

කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නළ සේම

කඩ ඉම කියන්නේ දෙන්නා අතරේ තියෙන විවාහයෙන්එකතුවෙන්න තියෙන කඩ ඉම . දෙන්නට එකතුවෙන්න බැරි නිසා දෙන්නම කල්පනා කරනවා වෙනත් විවාහයක් කරගන්නේ නැතුව තනියම ඉඳගෙන දෙන්නට දෙන්නා ආදරය කරන්න .ලං වෙන කෙනෙක්ට අත වනන්න ඕනා වෙන්නේ නැහැ . ඒත් ඈතින් ඉන්න කෙනෙක්ට තමන්ගේ හිතේ තියෙන ලෙන්ගතු කම අත වනලා හරි ප්‍රකාශ කරන්න කියලා තමයි දෙන්නට දෙන්නා අන්තිමටම බලාපොරොත්තු වෙන්නේ .

ඕන උනේ ඇත්තටම ගීතයේ තේරුම කියන්නමත් නෙවෙයි කාලෙකින් ඇහුනේ නැති නිසා අනිත් අයටත් ගීතය අහන්න සලස්වන්න . එහෙනම් ආයෙත් ගීතය අහලා යන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

1 comment: