සෙත් කවි ලිවීම ( 1 )






අවුරුදු දකකින් විතර කවියක් ලියන්න උනේ නෑ . ඒ නිසා කවි ලියන හැටි ගැන පොඩ්ඩක් ආයේ කියවලා බැලුවා . සිදත් සඟරාව කාලෙකින් කියවන්න ලැබුනෙ නෑ . ඒකත් නිකමට වගේ පෙරලලා බැලුවා . ගෙදර නැති ටිකට මගේ පොත්වල පුස් බැඳිලත් එක්ක . හපොයි මගේ පොත්වලටත් ගිය කලක් . කවි ගැන බැලිල්ලට අමතරව අද දවසටම කරේ පරණ පොත් ටික අරගෙන ඒවායේ තියෙන පුස් පිහදලා පොත් ටික ආයෙත් පිළිවෙලකට හදපු එක .

බෝඩිමේ ඉන්න අතරේ දවසක් සිංදු මල්ලිත් එක්ක කතා කර කර ඉන්නකොට සෙත් කවි ගැන කතාවක් ඇදිලා ඇවිල්ලා සිංදු මල්ලි ඇහුවා සෙත් කවි ලියන එකේ ගණ යෝනි ගලපනවා කියන්නේ මොකක්ද කියලා . මම එවෙලාවේ ඒක සරළව පැහැදිලි කරන්න බැරි නිසා වචනෙන් දෙකෙන් ශේප් උනා . අද ඉතින් මේ සෙත් කවි ලියන එක ගැන සම්පූර්ණ ලිපි පෙළක් කරන්න කල්පනා කරා .

මේකට මට සේන අම්බලන්ගොඩ මහත්මයාගේ සෙත් කවි හදනහැටි කියන පොත ටිකක් උදවු උනා . ඒ පොතේ තමයි මම කියවපු සෙත් කවි ගැන තියෙන පොත් වලින් පිළිවෙලකට මේ කරුණු ගොනු කරලා තියෙන්නේ . ඊට අමතරව තව මම ගාව තියෙන වෙන වෙන පොත් ටිකකුත් උදවු උනා . ඊට වඩා සිදත් සඟරාව උදවු උනා .

අපි ඉන්න අවට හිටියා ඉතාම විශ්වාස වන්ත ප්‍රතිඵල ලබාදෙන සෙත් කවි ලියන්න පුළුවන් දක්ෂ කමක් තියෙන ජෝතිර්වේදියෙක් . මට ලිව්ව කවිය තිබුණා මම ගාව තිබුණා ළඟක් වෙනකල් . දැන් කොහෙද දන්නේ නෑ . ලැබුනොත් ඉදිරි ලිපි වලදී සඳහන් කරන්නම් . අද කාලේ සෙත් කවි ලියන්න අයනම් පඳුරක් පඳුරක් ගානේ ඉන්නවා . ඒත් එයාලා ලියන දේවල් ගැන විශ්වාසයක් තියන්න අමාරුයි . මොකද සල්ලිනෙ මුල්තැන .

අනික තමයි එකම කවිය හෝ , එකම කවි කීපයක් තියාගෙන මෙයාලා ගැළපෙන නම දාලා අදාළ දෙවියන්ට ගැළපෙන විදියට වෙනස් කරලා ලියලා හදලා දෙනවා . ඒත් ඒක වැරදියි . කවදාවත් එක්කෙනෙක්ට කිව්ව සෙත් කවියක් තවත් කෙනෙක්ට ගැළපෙන්නේ නෑ . මොකද සෙත් කවි කියනකොට නමේ ඉඳලා කේන්දරේ තියෙන නැකත ලග්නය වගේ සියුම් දේවල් පවා විශ්ලේෂණය කරලා තමයි සෙත් කවි ලියන්නේ .

දෙන මුදල වැඩි උනත් හොඳ කෙනෙක් ලවා සෙත් කවි ලියවාගන්න එක තමයි හොඳ . ඒ මිනිස්සුත් ජීවත් වෙන්න ඕන නිසා අද කාලේ හැටියට මුදලක් අය කිරීම ගැන මොකවත් කියන්න බැහැ . හරියට ශාස්ත්‍රය හසුරුවනවානම් අදාළ වටිනාකමට මුදලක් ලබා දීම කවිය ලියවාගන්න කෙනාගේ යුතුකම . ඒවගේම තමයි සෙත් කවි ලියන කෙනා සිල්වත් කෙනෙක් වෙන්න ඕන කියන එක . ඒක ඇත්ත . කවිය ලියන කෙනා සිල්වත් කෙනෙක් වෙන්න ඕන .

හැබැයි මීට වැඩ සිල්වත් වෙන්න ඕන කවිය දෙවියන් ඉදිරියේ ගායනා කරන කෙනා . හාමුදුරු කෙනෙක් උනත් කවිය ගායනා කරන්න ඕන සිල්වත් හාමුදුරු කෙනෙක් . එහෙමත් නැත්නම් දේවාලයක කපු මහත්වරු මේ සෙත් කවි ගායනා කරනවා . අදාළ ඝන පිහිටවලා උපන් නැකත ලග්න පක්ෂි හොරා ගළපලා ලියලා තියෙන සෙත් කවියක් ගායනා කලොත් අනිවාර්යෙන්ම ඒකෙ ප්‍රතිඵල ලැබෙනවා කියන ඒක කවුරු කවුරුත් මතක තියාගන්න ඕන .

සෙත් කවි ලිවීමේ අරමුණු කීපයක්ම තියෙනවා . ලෙඩ රෝග සුවපත් කරගන්න , ග්‍රහ අපල දුරු කරගන්න , විභාග සමත් වෙන්න , ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි වෙන්න වගේ විවිධ හේතුවලට සෙත් කවි ලිවීම කරනවා .

කවි අහනකොට අපිට එක එක හැගීම් ඇතිවෙනවා . ඒවා අනුව කවි වල රසයන් ඇතිවීම වර්ග කරලා තියෙනවා . කවි රස ඇති වීම අනුව රස නවයක් වෙන් කරලා තියෙනවා .

වීර රසය => වීරත්වය සහ රණශූරත්වය උද්දීපනය කරනවා
රෞද්‍ර රසය => නපුරු බව උද්දීපනය කරනවා
භයානක රසය => බිය ජනක සිතිවිලි උද්දීපනය කරනවා
බීහත්ස්‍ය => පිළිකුල් බවක් උද්දීපනය කරනවා
අද්භූත රසය => විශ්මය ජනක බව උද්දීපනය කරනවා
ශ්රුන්ගාර රසය => ආදරය ප්‍රේමය වගේ සිතුවිලි උද්දීපනය කරනවා
හාස්‍ය රසය => සිනහ ඇතිවීම උද්දෙපනය කරනවා
කරුණා රසය => කරුණාව උද්දීපනය කනරවා
ශාන්ත රසය => ශාන්ත බව , ආගමික බවක් උද්දීපනය කරනවා


මේ රස වලින් ගොඩක් වෙලාවට සෙත් කවි හදන්න ගන්නේ වීර , අද්භූත , කරුණා , ශාන්ත රසයන් . මොකද දෙවි වරුන්ට අදාලව ගායනා කෙරෙන මේ සෙත් කවි වලට මේ රසයන් එකතු කලාම තමයි කවියේ තියෙන ස්ථාවර භාවය ඇතිවෙන්නේ . ඒවගේම දෙවියන්ට ප්‍රියතාවයක් ඇතිවෙන්නේ .

කවි ලිවීමේදී දැනුවත්ව හෝ නොදැනුවත්ව දෝෂ ඇතිවෙන්න පුළුවන් . සෙත් කවි වස් කවි බවට පත්වෙන්න පවා මේ දෝෂ හේතු වෙන්න පුළුවන් . මේ දෝෂ ඇතිවීම වළක්වාගෙන තමයි සාමාන්‍යයෙන් සෙත් කවි ලිවීම සිද්ද කරන්නේ .

අපාර්ථ දෝෂය
කවියක් ලිව්වට පස්සේ ඒ කවියේ වචන වලින් පරිපූර්ණ අර්ථයක් ලබා දෙන්නේ නැත්නම් මේ කවිය අපාර්ථ දෝෂයට හසුවෙලා කියලා කියනවා . මෙහෙම කවි ලියන එකෙන් කිසිම ගුණක් අගුනක් ඇතිවෙන්නේ නෑ . මොකද අර්ථයක් ගැබ් වෙලා නැති නිසා .

සසංශය දෝෂය
කවියක ඔන්න එක වචනයක් තියෙනවා ඒ වචනයට අර්ථ කීපයක්ම තියෙන්න පුළුවන් . සමහරවිට ඒ වචනයේ ප්‍රධාන අර්ථය මේ කවියට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් . එහෙම උනාම මේ කවිය සසංශය දෝෂයට ලක්වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් .

ව්‍යතාර්ථ දෝෂය
අපි දැන් කවියක් ලියන්නේ සෙත් වඩන්නද වස් වඩන්නද මොන හේතුවක් වෙනුවෙන්ද කියලා අපිට කවිය කියනකොට සාමාන්‍යයෙන් තේරෙනවා . ඒත් ඒ තේරුම් ගැනීම සිද්ද වෙන්නේ කවියේ අන්තිම හරියෙන් නම් මේ කවිය ව්‍යතාර්ථ දෝෂයට ලක්වෙලා කියලා කියනවා . මේ දෝෂයෙන් කවියේ තියෙන ප්‍රතිපල ලබා දීමේ හැකියාව අඩු කිරීමක් වෙන්න පුළුවන් .

ඒකාර්ථ දෝෂය
කවිය ලියනකොට එකම අදහසක් දෙන වචන නැවත නැවත ඒ කවිය පුරාවටම යොදලා තියෙනකොට ඒ කවියට ඒකාර්ථ දෝෂය ඇතිවෙලා කියලා කියනවා .

ශබ්ධ හීන දෝෂය
කවියක් ලියනකොට උනත් ව්‍යාකරණ හරියට ගළපන්න ඕන මේ ව්‍යාකරණ හරියට නොගැලපීම නිසා ශබ්ධ හීන දෝෂය ඇතිවෙනවා . මේ දෝෂය නිසා සෙත් කවි වල ප්‍රතිපල දායක බව අඩුවෙන්න පුළුවන් .

යති බ්‍රෂ්ඨ දෝෂය
යතිය කියන්නේ කවියක නවතින තැන . සමහරවිට මේ යතිය නිශ්ශබ්ධ හෝ සශබ්ද යතියක් වෙන්න පුළුවන් . මේ නැවතීම හරි හැටියට යෙදුනේ නැති උනාම ඒ කවියට යති බ්‍රෂ්ඨ දෙඔශය ඇතිවෙලා කියලා කියනවා .

භින්න වෘත දෝෂය
විරිතක් කියලා කියන්නේ මාත්‍රා ගණන හරියට ගණනය කරලා සකස් කරගන්න පිළිවෙලකට . මේ විරිත් වලට නියමිත මාත්‍රා ගණනක් තියෙනවා . මේ මාත්‍රා ගණන සමහර වෙලාවල් වලදී අපි දන්නෙම නැතුව අඩු හෝ වැඩි වෙලා තියෙන්න පුළුවන් . මේ නිසා කවියේ භින්න වෘත දෝෂය ඇතිවෙනවා කියලා කියනවා .

විසන්ධික දෝෂය
සමහර වචන තියෙනවා සන්ධි කරලා ලියන ඒවා . සමහර වචන තියෙනවා විසන්ධි කරලා ලියන ඒවා . මේ සන්ධි කරලා ලියන්න ඕන වචන විසන්ධි කරලා ලිවීම නිසා විසන්ධික දෝෂය ඇතිවෙනවා කියලා කියනවා .

විරෝධී දෝෂය
යම් කිසි දෙයකට විරෝධී විදියට ලියන සමහර යෙදුම් නිසා මේ කවි වලට විරෝධී දෝෂය ඇතිවෙන්න පුළුවන් . දේශ විරෝධී , කාල විරෝධී , කළා විරෝධී , ලෝක විරෝධී , න්‍යාය විරෝධී , ආගම් විරෝධී කියලා මේ විරෝධී වීම වර්ග කෙරෙනවා . විරෝධී වීම නිසා සමහරවිට සෙත් කවි වස් කවි වෙන්න පුළුවන් .

අපක්‍රම දෝෂය
කවියක කියවෙන්න ඕන දේවල් සාමාන්‍යයෙන් ගොනු කරන්නේ ක්‍රමානුකූලව . ඒත් මේ ක්‍රමානුකූල බව නැතිවෙලානම් මේ කවිය අපක්‍රම දෝෂයට ලක්වෙලා කියලා කියනවා .

යවහන් දෝෂය ගැනත් සෙත් කවි ලියනකොට සැලකිලිමත් වෙන්න ඕන . කවියක මුල් පදයේ අන්තිම අකුර ය ව හ න් කියන අකුරු වලින් එකක් යෙදිලා තියෙනවනම් මේ කවිය යවහන් දෝෂයට හසුවෙලා කියලා කියනවා . මේ දෝෂය ඉවත් කරන්න නම් කවියේ අනිත් පද පේලි තුනෙත් පළවෙනි වචනය ඒ විදියට ගැලපෙන්න ලියන්න ඕන . එළිවැටත් මේ විදියටම යවහන් දෝෂයට හසුවෙන්න පුළුවන් . එහෙම උනාමත් මේ අකුරට කලින් අකුර පද හතරේම සමාන කලාම යවහන් දෝෂය නිට්ටාවටම සුව කරගන්න පුළුවන් .






කවියක මාත්‍රා කියන්නේ කවියේ කාලය ගණනය කරන්න භාවිතා කරන ඒකකය . සාමාන්‍යයෙන් මාත්‍රාවක කාලයක් කියන්නේ ඇසිපිය හෙළන තරම් කෙටි කාලයක් . සංගීතයේදී තාල ඇතිවෙන්නෙත් , නර්තනයේදී තාල ඇතිවෙන්නෙත් , මේ මාත්‍රා මූලික කරගෙන . මාත්‍රා ගණන අනුව මූලිකවම කවි වර්ග වෙලා තියෙන්නේ මෙන්න මේ විදියට . මම කලින් ලිපියකත් මේක සඳහන් කළා . මේ ලිපිය සම්පූර්ණ වෙන්න ඕන නිසා ඔන්න මේකටත් ඒක එකතු කරනවා .


පස්මත් විරිත
මාත්‍රා 5යි .
වන් ටූ /වන් ටූ ත්‍රී /

ගොඩ /ඉතා s
ලොකු / සතා s
බල / වතා s
මහ / ඇතා s

හයමත් විරිත
මාත්‍රා හයයි
වන් ටූ ත්‍රී / වන් ටූ ත්‍රී /

යදින /යැදිලි/
වඳින/වැදිලි/
අඩන/ඇඩිලි/
බිමපෙ/රලිලි/

මෙතැන් ඉඳන් කවිවල මුල පද විතරක් දානවා.. තරහ වෙන්නෙපා ඔන්න ....

සත්මත් විරිත
මාත්‍රා හතයි
වන් ටූ /වන් ටූ /වන් ටූ ත්‍රී /

බුද්/ධෝ s/නිවන් /

අටමත් විරිත
මාත්‍රා අටයි
වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ ත්‍රී ෆෝ/

වැල් වැල් / දික් ඇති/

නවමත් විරිත
මාත්‍රා නවයයි
වන් ටූ /වන් ටූ ත්‍රී /වන් ටූ ත්‍රී ෆෝ/

දික්/ දිගට/ ගැටපත්/

දසමත් විරිත
මාත්‍රා දහයයි
වන් ටූ /වන් ටූ ත්‍රී / වන් ටූ /වන් ටූ ත්‍රී /

මොර /හිඹුටු /දම්/පනා s /

දොළොස්මත් විරිත
මාත්‍රා දොළහයි
වන් ටූ ත්‍රී /වන් ටූ ත්‍රී / වන් ටූ ත්‍රී /වන් ටූ ත්‍රී /

රැගත් /සුරාs /පිරූs / විතින්/

තුදුස්මත් විරිත
මාත්‍රා දාහතරයි
වන් ටූ ත්‍රී / වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ ත්‍රී / වන් ටූ ත්‍රී ෆෝ /

උදුල/ තරුවැල්/ වතල/සොඳුරු s/

සොලොස්මත් විරිත
මාත්‍රා දහසයයි
වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ ත්‍රී ෆෝ/ වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ ත්‍රී ෆෝ/

සෙත්සිරි/ දෙනමහ/ ගුනමුහු/ දා s නං s/

දහඅටමත් විරිත
මාත්‍රා දහඅටයි
වන් ටූ /වන් ටූ ත්‍රී /වන් ටූ ත්‍රී ෆෝ/ වන් ටූ /වන් ටූ ත්‍රී /වන් ටූ ත්‍රී ෆෝ/

ගඟුලැ/ ලීලාs/සිලිල/ සලා s /පුලින/ තලා s/

විසිමත් විරිත
මාත්‍රා විස්සයි
වන් ටූ /වන් ටූ ත්‍රී / වන් ටූ /වන් ටූ ත්‍රී / වන් ටූ /වන් ටූ ත්‍රී / වන් ටූ /වන් ටූ ත්‍රී /

සත්/ වෙත්ම / හත් / අදර / ලත්/ යුත්සි / දත් / කුමරු

සූ විසිමත් විරිත
මාත්‍රා විසිහතරයි
වන් ටූ ත්‍රී /වන් ටූ ත්‍රී / වන් ටූ ත්‍රී /වන් ටූ ත්‍රී / වන් ටූ ත්‍රී /වන් ටූ ත්‍රී / වන් ටූ ත්‍රී /වන් ටූ ත්‍රී /

බුද්ද/ න්සර /ණේ ss/sss / සිරස /දරා s/ ගෙන s/sss/

අටවිසිමත් විරිත
මාත්‍රා විසිඅටයි
වන් ටූ ත්‍රී / වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ ත්‍රී / වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ ත්‍රී / වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ ත්‍රී / වන් ටූ ත්‍රී ෆෝ /

රූsරැ / සේs අඳි /නා s ලෙ/සේ s අත්/ ලෙලදී/ දීs විදු/ලිය ප /බාsss/

දෙතිස්මත් විරිත
මාත්‍රා තිස්දෙකයි
වන්ටූත්‍රීෆෝ / වන්ටූත්‍රීෆෝ/ වන්ටූත්‍රීෆෝ / වන්ටූත්‍රීෆෝ/ වන්ටූත්‍රීෆෝ / වන්ටූත්‍රීෆෝ/ වන්ටූත්‍රීෆෝ / වන්ටූත්‍රීෆෝ/

ඉරපති / තාssර / හරගිරි / කී s s ර / සිදුමුතු / හා s s ර / වනතුල් / ලා s s s /

සතිස්මත් විරිත
මාත්‍රා තිස්හයයි
වන්ටූ /වන්ටූත්‍රී /වන්ටූත්‍රීෆෝ/ වන්ටූ /වන්ටූත්‍රී /වන්ටූත්‍රීෆෝ/ වන්ටූ /වන්ටූත්‍රී /වන්ටූත්‍රීෆෝ/ වන්ටූ /වන්ටූත්‍රී /වන්ටූත්‍රීෆෝ/

යුත්/ සිරින්/ බබළන/ ඇත්/ හිසින්/ සසොබන/ වෙත් /දැලින්/ අඩදැන /ගනු/ සුදs /නාsss/


ඊළඟට කවියක වැදගත් සිද්ධාන්තයක් තමයි ලඝු ගුරු ගණනය කිරීමේ ක්‍රමය . ලඝු කියලා කියන්නේ ඇදෙන්නේ නැති තනි අකුරු . මේවාට මාත්‍රා එකක් හිමි වෙනවා . අ , ම , ර වගේ තනි අකුරු ලඝු අකුරු කියලා සලකනවා . ගුරු අකුරු කියලා කියන්නේ ඇදෙන අකුරු . එහෙමත් නැත්නම් දීර්ඝ අකුරු . මේවාට මාත්‍රා දෙකක් හිමි වෙනවා . චා , පා , ලා වගේ ඇදෙන අකුරු ගුරු අකුරු කියලා හඳුන්වනවා . සංගීතයේදී අපිට මේක උගන්නනකොට ලඝු අකුරයි හල් අකුරයි එකට තියෙනකොට ඒක ගුරු අකුරක් කියලා කියලා දුන්නා . ඒ කියන්නේ හල් , මල් , පොල් වගේ අකුරු දෙකක් එක ගුරු අකුරක් කියලා කිව්වා . ඒ වගේම තමයි ගුරු අකුරයි හල් අකුරයි එකතු උනාම ඒක ප්ලුත අකුරක් කියලා කියනවා . ඒ කියන්නේ හාල් , පාන් , පෝල් වගේ . මේවාට මාත්‍රා තුනක් එනවා . ඒ කියන්නේ ගුරු අකුරට දෙකයි ලඝු අකුරට එකයි එකතු වෙලා . මේකත් විසන්ධි කරලා ගණනය කරාට කමක් නෑ . මොකද කොහොම උනත් ඒත් එන්නේ එකම මාත්‍රා ගණන නිසා .


ලඝු අකුරක් දක්වන්නේ තනි ඉරකින් ( _ )
ගුරු අකුරක් දක්වන්නේ යූ අකුරක හැඩයට යොදන කවයකින් ( U )

ඡන්දස් කියන්නේ කවියකට ඉතාම වැදගත් වෙන අංගයක් . ඡන්දස්  විදියට හඳුන්වන්නේ මොකක් හරි පද්‍යයක මාත්‍රා සහ අක්ෂර නියමය පිළිබඳව . මේ ඡන්දස මූලිකවම කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් . ඒතමයි වෛදික ඡන්දස සහ ලෞකික ඡන්දස කියලා .

වෛදික ඡන්දස විදියට හඳුන්වන්නේ ඉස්සර හිටපු පඬිවරු වේද ග්‍රන්ථ , සංස්කෘත ග්‍රන්ථ , සූත්‍ර වගේ දේවල් රචනා කරන්න භාවිතා කරපු ඡන්දස . මේක ඉතාම සරළ තත්ත්වයේ ඉඳලා ඉතාම සංකීර්ණ තත්ත්වය දක්වා විහිදිලා යනවා . අනති ඡන්දසතමයි ලෞකික ඡන්දස . ලෞකික ජීවිතයේ යම් යම් අභිමතාර්ථ ඉෂ්ට සිද්ද කරගන්න කවි රචනා කලේ මේ ලෞකික ඡන්දස භාවිතා කරමින් .

ලෞකික ඡන්දසත් ආයේ කොටස් දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන් . ඒ තමයි වර්ණ ඡන්දස සහ මාත්‍රා ඡන්දස කියන කොටස් දෙක . මාත්‍රා ඡන්දසට පදනම් වෙන්නේ කවියේ තියෙන මාත්‍රා . ලඝු ගුරු ඇතිවීම මේ මාත්‍රා වලින් පසුබිම් වෙනවා . ලඝු මාත්‍රා වලට සිංහල භාෂාවේ කෙටි ස්වර සහ ස්වරාරූඪ ව්‍යංජන අකුරු අයිති වෙනවා . ගුරු මාත්‍රා වලට අයත් වෙන්නේ දිගු ස්වර සහ දිගු ස්වාරාරූඪ ව්‍යංජන අකුරු . මේ අනුව ගණනය කරලා මාත්‍රා ඡන්දස පිහිටවන්න පුළුවන් .

වර්ණ ඡන්දස කියලා කියන්නේ කවියේ දීලා තියෙන අකුරු වලින් ඇතිවෙන ඡන්දසට . මේ ඡන්දසත් මාත්‍රාඡන්දස වගේම ගණනය කරන්න පුළුවන් . මේ ඡන්දස් ප්‍රස්තාර ගත කලාට පස්සේ අපිට ඒ ඒ ඡන්දස වලින් උත්පාදනය කරන්න පුළුවන් විරිත් මොනවද කියලා බලාගන්න පුළුවන් . සෙත් කවි වලට අදාලව ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මාත්‍රා 28 යෙදෙන විරිත . ඒ කියන්නේ එක පදයකට මාත්‍රා 28ක් යොදලා ලියන කවි . හැබැයි මාත්‍රා 24 උනත් ප්‍රශ්නයක් නෑ . හැබැයි මතක තියාගන්න හොඳම විරිත වෙන්නේ 28 මත් විරිත කියලා .

ඉති වියරණ දැනැ
කිවියර පදී බඳනා
ඉටු නිටු ගණ අකුරු ඈ
ලකුණු විමසා බඳනේ

සිදත් සඟරාවේ මෙන්න මෙහෙම තමයි ඝන පිහිටවීමට මූලාරම්භය අරගෙන තියෙන්නේ . මේකේ තේරුම තමයි මේ විදියට ව්‍යාකරණ දැනගෙන පද්‍ය බැඳීම කරන්නාවූ තෙමේ ශුභ අශුභ ගණ අකුරු ආදී ලකුණු විමසීමෙන් පද බැඳීම කල යුතු වේ .

සියලු පටනැ මැදැ අවසනැ වත ගලන
එ මනබයජරසත නමිනට ගණ වන
දියොද සෙතා ලෙඩ දළ සෝ මර වැසන
පටන බිඳන් පසැ සිටුවා කළ කෙමෙන

සිදත් සඟරාවේ ගණ ගැන සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම . මේකේ තේරුම තමයි සියළු තැනය එනම් මුල මැද අග යන පිළිවෙලට ලගු ගුරු පිහිටුවා ගැලපීම කල විට එම ගැලපීම ම,න,බ,ය,ජ,ර,ස,ත, කියන ගණ අටට අයත් එකක් වෙනවා . කවියක් පටන් ගන්නකොටත් මේ ගණ පිහිටවීම බලන්න ඕන . ඒවගේම තමයි දැන් කවියක් ලියන කොට ඒ කවියට අදාළ කෙනාගේ නම යොදනවානම් ඒ නම දෙපැත්තට තියෙන වචන දෙකේත් මේ ගණ පිහිටවීම හරියට කරනවානම් පිලිවෙලින් ජය ඔද සෙත ආයුෂ ලෙඩ දළ ශෝක මරණ ව්‍යසන කියන විපාක ලැබෙනවා කියන එක .

මනබයජරසත කියලා තමයි මේ ගණ වලට කාව්‍ය කරණයේදී නම් දීලා තියෙන්නේ . ඒ කියන්නේ ම ගණය , න ගණය වගේ . ඒත් මේ ගණ වලට අදාළ දෙවියන්ගේ නම් වලින් තමයි සාමාන්‍ය භාවිතයේ මේ ගණ හඳුන්වන්නේ . භූමි දේව චන්ද්‍ර වගේ නම් තමයි ඒ සාමාන්‍ය භාවිතයට අදාළ කරගෙන තියෙන්නේ .

මෙන්න මෙහෙම තමයි ගණ පිහිටවීම කරනකොට මාත්‍රා වලට අදාලව අකුරු යොදන්නේ

ම ගණය =>  UUU

න ගණය =>  _ _ _

බ ගණය =>  U _ _

ය ගණය =>  _ UU

ජ ගණය =>   _ U _

ර ගණය =>  U _ U

ස ගණය =>  _ _ U

ත ගණය =>  U U _


ම ගණය 

මාත්‍රා => 6
දෙවියා => භූමි
ගුණය => සශ්‍රීක බව ශ්‍රියාව වැඩිවේ
ශුභ අශුභ => ශුභ
සතුරු මිතුරු බව => මිතුරු
සෙත් වස් බව => සෙත්
උදාහරණය => බූගෑවා / සෙත්වේවා / බෝවේවා / චාවෙවා /




න ගණය 

මාත්‍රා => 3
දෙවියා => දේව
ගුණය => ආයුෂ වැඩි වේ
ශුභ අශුභ => ශුභ
සතුරු මිතුරු බව => මිතුරු
සෙත් වස් බව => සෙත්
උදාහරණය => අමර / කලණි / චතුර / මධුර /




බ ගණය

මාත්‍රා => 4
දෙවියා => චන්ද්‍ර
ගුණය => කීර්තිය වැඩිවේ
ශුභ අශුභ => ශුභ
සතුරු මිතුරු බව => දාස
සෙත් වස් බව => සෙත්
උදාහරණය => සාලක / හර්ෂණ / රන්දුල / රාවණ




ය ගණය 

මාත්‍රා => 5
දෙවියා => ජල
ගුණය => සමෘධිමත් භාවය වැඩිවේ
ශුභ අශුභ => සුභ
සතුරු මිතුරු බව => දාස
සෙත් වස් බව => සෙත්
උදාහරණය => විශාකා / විමංසා / සබීතා / මධූකා




ජ ගණය 

මාත්‍රා => 4
දෙවියා => සූර්ය
ගුණය => රෝග ඇති වේ
ශුභ අශුභ => අශුභ
සතුරු මිතුරු බව => උදාසීන
සෙත් වස් බව => වස්
උදාහරණය => පජාත / කුසීත / අසේල / විශේෂ




ර ගණය 

මාත්‍රා => 5
දෙවියා => අග්නි
ගුණය => විනාශය
ශුභ අශුභ => අශුභ
සතුරු මිතුරු බව => උදාසීන
සෙත් වස් බව => වස්
උදාහරණය => රෝහිණී / මාලනී / අංජලී / මංජරී




ස ගණය 

මාත්‍රා => 4
දෙවියා => වායු
ගුණය => විදේශ ගතවේ
ශුභ අශුභ => අශුභ
සතුරු මිතුරු බව => සතුරු
සෙත් වස් බව => වස්
උදාහරණය => සමතා / උගතා / මකරා / සොකරී




ත ගණය 

මාත්‍රා => 5
දෙවියා => ආකාශ
ගුණය => ධන හානි
ශුභ අශුභ => අශුභ
සතුරු මිතුරු බව => සතුරු
සෙත් වස් බව => වස්
උදාහරණය => සේපාල / ජාපාල / හේමාලි / ඡද්දන්ත


මේ ගණ වලින් මනබය කියන ගණ හතර තමයි සෙත් කවි හදන්න භාවිතා කරන්නේ . ජරසත කියන අනිත් ගණ හතර භාවිතා කරන්නේ වස් කවි හදන්න . ලිපිය දිග වැඩියි .

කවි ලිවීම ගැන මට ඉගෙනගන්න උදවු කල අය මතක් කරන්න ඕන පළවෙනි ලිපියෙන් . වෙද කවි , තොවිල් කවි , දේව කවි , ස්තෝත්‍ර ,  සිංහල ශබ්ධ කෝෂ , ජෝතිෂ දැනුම වගේ දේවල් ටික ටික දුන්නේ අපේ ආච්චිඅම්මා .

දැන් මෙලෝ දෙයක් මතක නැති උනාට මොකද එකොළහ වසරේ අපිට සිංහල උගන්වපු සිංහල මිස් තමයි ව්‍යාකරණ ගැන ගැඹුරු දැනුමක් ඒ කාලේ ලබාදුන්නේ . මුල කාලේ ව්‍යාකරණ අරහං වෙලා තිබුණට මොකද එකොළහ වසරට ආවම තමයි ව්‍යාකරණ ඉගෙන ගන්න ආසාවක් ඇතිවෙන විදියට අපිට ඉගැන්නුවේ .

රැපියෙල් තෙන්නකෝන් මහත්මයාගේ සිදත් සඟරා විවරණය පොත ලබාදීපු අපේ පුංචි සහ මට කියලා කවි ලියවගත්ත අය . මොකද ඉතින් කවි ලියලා දෙන්න කිව්වමනේ වැඩිපුර ඒ ගැන බල බල ලියන්නේ . එතකොට සතථ අභ්‍යාසයට හොඳයි .

මට සංගීත විෂය උගන්වපු වසන්තා පද්මිණී ගුරුමෑණියන්ට සහ ගුණපාල විතානගේ ගුරුපියාණන්ට ත් ස්තූතිවන්ත වෙන්න ඕන . මොකද ලඝු ගුරු මාත්‍රා ගැන බොහොම හොඳට පැහැදිලි කරලා දුන්නේ ඒ දෙපල . ඒ වගේම තමයි මාත්‍රා බෙදීමෙන් කාව්‍ය විරිත් බෙදී යාම පහදලා දුන්නෙත් ඒ දේපල නිසා . 

තවම කවි ලිවීමේ සිද්ධාන්ත පටන් ගත්තා විතරයිනේ . ඒ නිසා ඔක්කොම මේ ලිපියෙන් ඉවර කරන්න බැහැ . ඒ නිසා ඊළඟ ලිපියෙන් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment