කක්කි ලෙඩ සමනය කරන " කෙසෙල්බඩ නියඹලා "







අපිට දෙවෙනි අවුරුද්දේ තිබුනා රසායන විද්‍යාවට Coordination compounds කියලා විෂයක් . ඒකෙන් ඉගැන්නුවේ හිමොග්ලොබීන් , ක්ලොරෝෆිල් වගේ සංයෝග කොහොමද පොඩි පොඩි අණු ප්‍රවාහනය කරන්න දායක වෙන්නේ කියලා . මේ විෂය අමිහිරි උනාට ඒ විෂයට මම ටිකක් කැමැත්තෙන් තමයි ඉගෙනගත්තේ . දවසක් ඔය ලෙක්චර් එකක් යන අතරේ සර් කතාව වෙන පැත්තකට අරගෙන ගියා . ඒත් මේ විෂයට සම්බන්ධවම තමයි .

සර් ඇහුවා ඔයාලා සොසේජස් කනවා නේද කියලා . අපි නිශ්ශබ්දතාවයෙන් ඔප්පු කරලා පෙන්නුවා ඔවු කියලා . ඊට පස්සේ සර් කිව්වා සොසේජස් කොච්චර පරණ උනත් ඒවායේ තියෙන රෝසපාට නැතිවෙන්නේ නැහැ නේද කියලා . අපි එකටත් නිශ්ශබ්ධතාවයෙන් ඔව් කියලා කිව්වා . ඊට පස්සේ සර් කතාව දිගටම කියාගෙන ගියා .

මේ සොසේජස් වල තියෙන්නෙත් කුකුල් ලේ වල තියෙන හිමොග්ලොබින්ම තමයි . ඔක්සිජන් හිමොග්ලොබින් එක්ක බැඳෙන්නේ ප්‍රතිවර්තී විදියට . ඒ කියන්නේ ආයෙත් ඒකෙන් ඔක්සිජන් අඩු පරිසරයකදී ඔක්සිජන් අනුව නිදහස් කරන්න පුළුවන් විදියට . එහෙම උනාම මස්වල තියෙන රෝස පාට නැතිවෙන්න පුළුවන් . එත් සොසේජස් හදනකොට කරනවා කියන්නේ මේ හිමොග්ලොබීන් එක්ක අප්‍රතිවර්තී විදියට තදින් බැඳෙන නයිට්‍රජන් අඩංගු අණුවක් සම්බන්ධ කරවන එක . එතකොට හොමොග්ලොබීන් අණුව නිදහස් අණුවක් වෙන්නේ නෑ . ඒ නිසා මස්වල තියෙන රෝස පාට ආරක්ෂා වෙලා තියෙනවා .

මේ සොසේජස් බඩට ගියාට පස්සේ මේ නයිට්‍රජන් අඩංගු අණු ඔක්කොම නිදහස් වෙනවා . ඊට පස්සේ නයිට්‍රොසෝනියම් කියන තෙල් වගේ ස්වභාවයක් තියෙන සංයෝග හදනවා . මේ ඔක්කොම තියෙන්නේ අන්තිමට බඩේ . ආමාශයේ , බඩවැල් වල මේ තෙල් වගේ සංයෝග ගෑවෙනවා . බඩවැල් වල තුවාල පළුදු වීම් තියෙනවනම් ඒවා ඇතුළුවෙලා බඩවැලේ සෛලවල විකෘතිතා ඇති කරලා අන්තිමට පිළිකා නිර්මාණය කරනවා . අමාශයටත් ඔය සෙතේම තමයි .

මේ කතාව අහනවත් එක්කම මගේ මතකය අවුරුදු ගාණක් ඈතට ඇදිලා ගිය එක මොහොතකින් . ඒ ආච්චිඅම්මා මට කන්න පුරුදු කරපු මෙන්න මේ කෙසෙල් බඩ නියඹලා කියන කෑම හොයාගෙන . මට තවම මතකයි ආච්චිඅම්මා කෙසෙල් බඩ නියඹලා හදලා ඒ එක්ක මට කවපු බත් කටේ රහ . ඒ කාලේ මම වත්තේ කෙසෙල් ගස් කපන්නේ නැහැ . මොකද මම පොඩි නිසා . ඒත් දැන් ගෙදර කෙසෙල් කැන් වැටුනම ඒවා කපන්නේ මම . ඒ නිසා මම කෙසෙල් බඩ අනිවාර්යෙන්ම උයවනවා අම්මට කියලා . එදාට බත් අඩුවෙන් උයලා කෙසෙල් බඩ තමයි වැඩිපුර උයන්නේ . එදාට මම කන්නේත් බත් වලට වඩා කෙසෙල් බඩ නියඹලා .

ආච්චිඅම්මා විස වෙදකම් එක්ක හැප්පුණු කෙනෙක් කියලා මම කිව්වනේ . ආච්චිඅම්මා මට කෙසෙල් බඩ නියඹලා හදලා කවන ගමන් මට කිව්ව කතාවක් එදා ලෙක්චර් එක වෙලාවේ මට මතක් උනා . ඒ තමයි අපි කන කෑම නිසා අපිරිසිදු වෙන බඩවැල් පිරිසිදු වෙන්න , බඩවැල් පිහදැමිලා යන්න මේ කෙසෙල් බඩ උයලා කන්න කියන කතාව . එදා ආච්චිඅම්මා මට කිව්වේ ඇඹුල් කෙසෙල් බඩ උයලා කනවට වඩා හොඳ අලුකෙසෙල් බඩ නියඹලා හදලා කන එක කියලා .

සාමාන්‍ය ජීවිතයට කෑමක් විදියට මේ නියඹලා එකතු කරගන්න කියලා එහෙම කිව්වා වගේම විෂ වෙදකමේදී අළුකෙසෙල් ගහ කොච්චර වටිනවද කියලා කියලා නිම කරන්න බැහැ . නයෙක් ගැහුවම ඉස්සෙල්ලම කරන වෙදකම් ලිස්ට් එකේ අලුකෙසෙල් බඩ , අලුකෙසෙල් අල , අලුකෙසෙල් ගෙඩි , අළු කෙසෙල් කොළ යුෂ හැමදේම එක එක බෙහෙත් වට්ටෝරු වලට යොදා ගන්නවා . ඒ නිසා මට තේරුනා ආච්චිඅම්මා එදා මට කෙලින්ම නොකියා පුරුදු කලේ වෙදකමේ ඉගැන්නෙන කෑමක් කියලා .

සමහර අයනම් දන්නවා ඇති . ඒත් දන්නේ නැති අය වෙනුවෙන් මම හිතුවා කෙසෙල් බඩ නියඹලා හදන හැටි ලියන්න ඕන කියලා . කොහිල අල උයලා කන කෙනෙක්ට කොහිල අලේ වෙනුවට කෙසෙල් බඩ කෑල්ල කපලා දන්න විතරයි තියෙන්නේ . කෙසෙල් ගහක් කපලා කෙසෙල් බඩ විසි කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම කෑමට ගන්න . කොහිල අලත් දැන් කෘමි නාශක නිසා අවදානම් තත්ත්වයකට වැටිලා තියෙන නිසා කෙසෙල් බඩ තමයි හොඳම . හැබැයි ඒ කෙසෙල් ගහත් ගෙදර හැදෙනවානම් තමා වඩාත්ම හොඳ .

කෙසෙල් ගහක් කැපුවට පස්සේ කෙසෙල් කැන එලියට ඇවිත් තියෙන තැන ඉඳලා අඟල් හයක් විතර පහළට වෙන්න තියෙන තැන ඉඳලා අඩි එකහමාරක් විතර කෙසෙල් බඩය කොටස උයන්න හොඳ තත්ත්වයේ තියෙනවා . ඊට පහළ ඉඳලා තියෙන බඩය මෝරලා වැඩියි . කෙඳි ගතිය වැඩි නිසා කන්න අමාරුයි . ඉතින් කෙසෙල් කඳ මේ කිව්ව දුරවල් වලට හරියන්න කපලා අරගෙන කෙසෙල් පතුරු ඔක්කොම ගලවලා දානකොට සුදුපාට කූරක් වගේ කෙසෙල් බඩය තියෙනවා . ඒක තමයි මේ උයන්න හදන්නේ .

කෙසෙල් බඩ කැබැල්ලක්
ගස්ලබු ගෙඩියක් ( හොඳට පැහුණු , ඒත් නොයිදුනු )
රතුළූණු
සුදුළූණු
හාල් මේස හැන්දක් විතර
උළුහාල් තේ හැන්දක්
අබ
ගම්මිරිස්
අමුමිරිස් කරල් පහක්
පොල් මේස හැන්දක්
රම්පා
කරපිංචා
කුරුඳු පොතු එකක්
දියකිරි කෝප්ප දෙකයි
මිටිකිරි කෝප්ප එකයි
ලුණු
කහ
උම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ





ඉස්සෙල්ලම කරන්න ඕන කෙසෙල් බඩය අරගෙන හොඳට සෝදලා කෑලි කෑලි වලට කපන එක . කැමති විදියකට කපා ගන්න . පොඩිවෙන තරමට කන්න ලේසියි . මමනම් කපන්නේ පෙති පෙති කපලා ඊට පස්සේ ඒ පෙති පහක් හයක් එකට තියලා කෑලි කෑලි වලට කපන එක . තමන්ට කැමති විදියකට කපාගන්න . ඊට පස්සේ ගස්ලබු ගෙඩියත් පොතු ගහලා සිහින් වෙන්න කපාගන්න . හාල් , පොල් , අබ සුදු ළූණු , ගම්මිරිස් , මිරිස් ගලක දාලා හොඳට අඹරගන්න . මිරිස් ගලක් නැත්නම් ග්‍රයින්ඩරේ දාලා වතුර පොඩ්ඩක් දාලා අඹරගන්න . පස්සේ මේ අඹරගත්ත eවයි කෙසෙල් බඩ ගස්ලබු කපපු ටිකයි මැටි ඇතිළියකට දාලා හොඳට අතින් කලවම් කරන්න . ඊට පස්සේ රම්පා කරපිංචා ඒවා මේවා ඔක්කොම දාන්න තියෙන ඒවා දාන්න .

ආ මට දෙයක් කියන්න අමතක උනා . කෙසෙල් බඩවල කෙඳි තියෙනවා . ඔයාලා කෙසෙල් බඩ කෑලි කපලා ඒ තියෙන භාජනයට හැඳි මිටක් දාලා පොඩ්ඩක් එහා මෙහා කරනකොට වැඩිපුර කෙඳි හැඳි මිටේ පැටලෙනවා . එහෙම කරලා ඕන නැති කෙඳි ඉවත් කරන්න පුළුවන් .

දැන් දියකිරි එකතුකරලා ලිපේ තියෙලා ගින්දර දාන්න . ගින්දර දාන්න බැරිනම් ගෑස් එකේ නොබ් එක කරකවන්න . හොඳට තැම්බුනාට පස්සේ මිටිකිරි එකතුකරන්න . ඊට පස්සේ රහ බලලා ලුණු එකතු කරන්න . මේකට ඉඟුරු කෑල්ලකුත් තලලා දාන්න පුළුවන් නම් මරු තමා . නියඹලාව හොඳට පැහුනට පස්සේ නියම සුවඳක් එනවා . ඊට පස්සේ තියෙන්නේ හැන්දට පොඩි කෑල්ලක් අරගෙන රහ බලන්න .

ඊට පස්සේ ඉතින් කන්ට හැකි බඩ පිරෙනකල් .

ඔය මල බද්දය නිසා මල පනින්නේ නැති අයට මේ නියඹලා හරිම හොඳයි කියලා කියනවා . ඊට වඩා වැදගත් වෙන්නේ විෂ නැති වෙන්න දායක වීමයි බඩවැල් ආමාශය පිරිසිදු කරන්න , අතු පතු ගාලා දාන්න මේ කෙසෙල් බඩ වල තියෙන කෙඳි වලට හොඳට පුළුවන් නිසා . බොරුවට පොෂ් වෙලා ලංකාවේ දේශීය දේවල් ඈත් කරලා නිකන් අමාරුවේ වැටෙන්න එපා . අහක දාන කෙසෙල් බඩය උයලා කාලා ඒ අත්දැකීම විඳගන්න . එහෙනම් ආයෙත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment