කඳ සුරිඳු වෙනුවෙන් පබැඳි ගී





ඓතිහාසික පසුබිමක් සහිත ගුරු පරම්පරාවක් වටා ගෙතුණු කතා පුවත් රාශියක් ගොනුකරලා ලියන සීයා සහ මුණුබුරා කතා මාලාවේ කදිර පුරයට පිල්ලියක් කියන්න මෙන්න මේ ලිපිය ලියන දවස්වල තමයි කතරගම දෙවියන් වටා ගොඩනැගිලා තියෙන දේව සාහිත්‍යය සහ ගීත සාහිත්‍යය ගැන වැඩිපුර යමක් හොයන්න ඕන කියලා හිතුනේ . ඒ ලිපියේ ආරම්භය ගත්ත සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන කිරි වෙහෙරේ කොත් කැරැල්ල කියන ගීතය අහපු වාර ගාන මෙච්චරක් කියලා කියන්න අමාරුයි .

ඒ තරමටම ඒ ගීතවල දේවත්වය ගැබ් වෙලා තියෙනවා . සමහරවිට ඒ වචන වල තියෙන දේවත්වයට වඩා සංගීතයේ තියෙන දේවත්වය නිසා වෙන්න පුළුවන් . ඒ මොකක් නමුත් ඉතාම පැහැදිලි විදියට කරලා තියෙන ගැලපීම නිසා ඒ ගීත දෙවියන් වෙනුවෙන් ගායනා කරන ප්‍රශස්ති ගීත තත්ත්වයට අදවෙනකොට වැටිලා තියෙනවා . කතරගම පෙරහැර කාලයට රූපවාහිනියේ ගුවන්විදුලියේ හැමතැනකම වාගේ මේ ගීත වාදනය වෙනවා . ඉතින් අද කියන්න යන්නේ මේ ගීත සියල්ලටම පාදක කරගත්ත දේවල් ගැන පොඩි............... විස්තරයක් එක්ක ඒ ගීත මොනවද කියලා .

කතරගම දෙවියෝ කවුද කියන එක ගැන මත රාශියක් තියෙනවා . රාවණා කාලයේ තිබුණ සිවු හෙළය ඒ කියන්නේ යක්ෂ දේව නාග රාක්ෂ කියන සිවු පිරිසෙන් රාක්ෂ කියන පිරිස නියෝජනය කරපු දෙවියන් විදියට කතරගම දෙවියන් සලකනවා . සමහර අය කියනවා දේව කොට්ටාශයේ නායකයා කතරගම දෙවියන් කියලා . මම විශ්වාස කරන්නෙත් රාක්ෂ පිරිසේ නායකයා කතරගම දෙවියන් කියලා . මන්තර සාහිත්‍යයේ සමහර වෙලාවට කියවෙන දේවල් එක්ක රාක්ෂයින් එක්ක තමයි කතරගම දෙවියන්ගේ ගනුදෙනු වැඩිවශයෙන් වෙලා තියෙන්නේ . කතරගම දෙවියෝ ශිව පාර්වතී දෙදෙනාගේ බාල පුත්‍රයා කියල ඉන්දීය ඉතිහාසයේ සඳහන් වෙනවා .

ශිව පාර්වතියගේ වැඩිමල් පුත්‍රයා ගණ දෙවියෝ . බාල පුත්‍රයා තමයි කතරගම දෙවියෝ . ඉතින් මේ දෙන්නා එකතුවෙලා වල්ලි අම්මා දේවිය කතරගම දෙවියන් වෙනුවෙන් පාවා ගන්න ප්ලෑන් කරපු කතා පුවතකුත් තියෙනවා . ඒ එක්කම මට මතක් වෙනවා ඇම්බැක්කේ දේවාලය ආශ්‍රිතව වැඩඉන්න හෙනකඳ බිසොබණ්ඩාර දේවතාවිය . සිංහල රාජ මහේශිකාවක් වෙලා හිටපු මේ හෙනකඳ බිසෝබණ්ඩාර දේවිය ඉතාම රූප ශෝභාවෙන් පිරිපුන් කෙනෙක් . කතරගම දෙවියන්ට උවමනා උනා මේ දේවිය තමන්ගේ බිරිඳක් කරගන්න . ඒ නිසා මේ දේවිය පලතුරු උයනට ගමන් කරන වෙලාවේ දෝලාව අතුලේදීම මරා දාලා දේවියගේ ආත්මය දේවත්වයට පත්කරලා තමන්ගේ මහේෂිකාවක් බවට පත් කරගන්නවා .

කතරගම දෙවියන් ඉන්දීය දෙවි කෙනෙක් කියලාත් සමහර අය කියනවා . ඉන්දියාවේ හිටපු කතරගම දෙවියෝ ලංකාවේ හිටපු ඇසුරක් පරාජය කරන්න ලංකාවට ඇවිත් ඒ අසුරයා පරාජය කරලා ලංකාවේ මිනිසුන්ගේ ජනප්‍රසාදය දිනාගන්නවා . මොකද මේ අසුරයා ලංකාව පාලනය කලේ මිනිසුන් තලා පෙළා පීඩනයට පත්කරමින් . කතරගම දෙවියන් ඇවිත් මේ අසුරයා විනාශ කිරීම නිසා ලංකාවේ මිනිස්සු කතරගම දෙවියන්ට ඉතාම භක්තියක් ඇතිකරගෙන කතරගම දෙවියන්ට දේවත්වයෙන් සලකන්න පටන් ගන්නවා . ස්කන්ධ කුමාරයා විදියට ලංකාවට පැමිණි මේ දෙවියන් අවසානයේ ලංකාවේ දේවත්වයට පත් වෙනවා .

තාරක අසුරයා පරාජය කරලා අසුරයින් කපා දමපු තමන්ගේ මංගල කඩුව ජීවමාලී තොටුපලේදී මැණික් ගඟේ ශුද්ධවූ ජලයෙන් සෝදනවා . අන්න ඒ සිරිත තමයි අද දක්වා දිය කැපීමේ මහා මංගල්‍යය කියලා පැවත එන්නේ . අද වෙනකොට ලංකාවේ ගොඩක් තැන්වල දිය කැපීම කරාට , මේ දිය කැපීමේ නියම හිමිකාරිත්වය තියෙන්නේ කතරගම දේවාලයට . ඒ සිරිත සංකේතවත් කරන්න තමයි අනිත් දේවාල වලත් දිය කැපීම කරන්නේ .






දැන් අපි එමු දුටුගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් අතර තිබ්බ ගනුදෙනුව ගැන හොයලා බලන්න . ද්‍රවිඩයින් විනාශ කරලා ලංකාව එක්සේසත් කරන්න දුටුගැමුණු රජතුමා මාගම් පුරයෙන් යුද්ධ කටයුතු සංවිධානය කරනවා . මෙහෙම යුධ කටයුතු සංවිධානය කරනකොට කතරගම මැණික් ගඟ අසලදී දවසක් දුටුගැමුණු රජතුමා තනියම කල්පනා කරනවා මේ යුද්ධය දිනන්න කොහොම සැලසුමක්ද කරන්න ඕන කියලා . ඒ වෙලාවේ කතරගම දෙවියන් ජීවමාන වෙනවා හරිම අපූරු විදියකට .


ඒ කතරගම දෙවියන් තමන්ගේ මගුල් කඩුවෙන් ගහලා මැණික් ගඟේ දිය දෙබෑ කරගෙන ගඟේ එගොඩටත් මෙගොඩටත් ගමන් කරන දර්ශනයක් . මේ වෙලාවේ දුටුගැමුණු රජතුමා පුදුම වෙලා අහනවා ඔබ කවුද කියලා . මෙතනදී තමයි දුටුගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් අතර ගනුදෙනුව ආරම්භ වෙන්නේ . මේ වෙලාවේ කතරගම දෙවියන් තමන්ගේ මගුල් කඩුව දුටුගැමුණු රජතුමාට දීලා යුධ කටයුතු වෙනුවෙන් ආශිර්වාද කරනවා .

මෙන්න මේ විදියට දුටුගැමුණු රජතුමා යුද්ධය කරගෙන කරගෙන ගිහින් දැන් විජිතපුර බලකොටුව අල්ලාගෙන එළාර රජතුමා විනාශ කරන්න විතරයි තිබුණේ . ඒත් විජිතපුරය විනාශ කරන්න අමාරුයි . යුද්ධය කරන වෙලාවේ කඩොල් ඇතාගේ පිටට ලෝදිය හලලා කඩොල් ඇතා පවා මේ වෙලාවේ දුර්වල වෙනවා . මුළු සේනාවම දුර්වල තත්ත්වයට පත් වෙච්ච වෙලාවේ දුටුගැමුණු රජතුමා ආයෙත් කතරගමට එනවා කතරගම දෙවියන් හම්බෙලා ඒ ගැන කතා කරන්න සහ ආශිර්වාද ගන්න . මේ වෙලාවේ කතරගම දෙවියන් දුටුගැමුණු රජතුමා හමුවෙන්න එන්නේ තනියම නෙවෙයි . ඒ තමන්ගේ වැඩිමල් සහෝදර ගණ දෙවියනුත් එක්ක .


අයියයි මල්ලියි දුටුගැමුණු රජතුමාට උපදෙස් දෙනවා යුද්ධය කරන්න ඕන විදිය කියලා . ඊට පස්සේ කතරගම දෙවියන් දුටූගැමුනු රජතුමාට හෙල්ලයක් ලබා දෙනවා , එළාර රජතුමා විනාශ කරන්න මේ හෙල්ල භාවිතා කරන්න කියලා . ඒ හෙල්ලයේ තියෙන තවත් වැදගත් කමක් තමයි මේ හෙල්ලයේ ඔතලා තිබිලා තියෙනවා මහා මාතාන්ගේෂ්වරී කියන යන්ත්‍රය . මේ යන්ත්‍රය බලගතු යන්ත්‍ර මණ්ඩල කීපයෙන් අද දක්වා පැවතගෙන ආව ඒවායින් එකක් . මේ හෙල්ලෙන් ඇනලා තමයි අවසානයේ එළාර රජතුමා මරණයට පත් කරන්නේ . ඒ නිසා කතරගම දෙවියන් කෙරෙහි දුටුගැමුණු රජතුමා ඉතාමත් පැහැදීමකට පත්වෙලා කතරගම දෙවියන්ට තමන් වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරනවා . ආ මට කලින් ඒක කියන්න අමතක උනා .

කතරගම දෙවියන්ට දුටුගැමුණු රජතුමා මුලින්ම භාර වෙනවා යුද්ධය දිනුවොත් රන් උළු සෙවිලි කරපු රන් කොතක් සහිත දේවාලයක් නිර්මාණය කරලා දෙනවා කියලා . යුද්ධය දිනපු වෙලාවේ රජතුමාට මේක මතක් වෙනවා . පස්සේ රජතුමා කතරගමට එනකොට කතරගම වැඩහිටි කන්දේදී කතරගම දෙවියන් දුටුගැමුණු රජතුමාට දෘශ්‍යමාන වෙනවා . මේ වෙලාවේ රජතුමා අහනවා ඔබතුමා වෙනුවෙන් රන් උළු සෙවිලි කරන ලද රන්කොත් මාලිගාව මොන ස්ථානයේද නිර්මාණය කරන්න ඕන කියලා . මේ වෙලාවේ කතරගම දෙවියන් කියනවා අනාගතයෙදී රන් උළු මාලිගාවක් කලොත් ඒකට උපද්‍රව වෙන්න පුළුවන් නිසා තඹ උළු සෙවිලි කරපු රන් කොතක් තියෙන දේවාලයක් නිර්මාණය කරන්න කියලා .

එහෙම කියලා වැඩහිටි කන්දේ ඉඳලා තමන්ගේ දුන්නෙන් හීයක් විදිනවා . මේ හීය ඇවිත් පොළවේ අනෙන්නේ අද කතරගම දේවාලය පිහිටලා තියෙන ස්ථානයේ . මේ ඊතලය නිධන් වෙන විදියට තමයි දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය නිර්මාණය කරන්නේ . එහෙම නිර්මාණය කරලා නන්දිමිත්‍ර යෝධයාට කතරගම දේවාලයේ කපු නිලය භාර කරනවා . අද දක්වාම කතරගම කපු නිලය පැවත එන්නේ මෙන්න මේ නන්දිමිත්‍ර යෝධයාගේ පරම්පරාවෙන් කියලා තමයි කියන්නේ .

තව දෙයක් කියන්න ඕන . කතරගම තියෙන්නේ වැඩහිටි කන්ද . ඒ කියන්නේ කතරගම දෙවියන් වැඩ හිටපු කන්ද . නැතුව වැඩිහිටි කන්ද නෙවෙයි . අද ඒක වැඩිහිටි කන්ද කියලා ව්‍යවහාර වෙලා වෙලා නිකන් වයසක මිනිස්සු විතරක් ඉන්න කන්දක් වගේ වෙලා කියලා හැගීමක් තමයි එන්නේ . කතරගම දේවාලයේ මහා පෙරහැර දවසට වැඩහිටි කන්දේ ඉඳලා කතරගම මහ දේවාලයට අකුණු සැරයක් එනවා කියන එකත් ගොඩක් දෙනෙක් දන්නා කාරනාවක් . කතරගම දෙවියන් සහ වල්ලි අම්මාගේ විවාහය සමරන මේ ඇසල මංගල්‍යය වෙනුවෙන් මේ දෙදෙනා වැඩහිටි කන්දේ ඉඳලා අකුණු සැරයක් විදියට දේවාලයට වඩිනවා කියලා තමයි ඉස්සර ඉඳලා මිනිස්සු විශ්වාස කරන්නේ .






කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩවසනවා කියන්නේ කැබලිත්ත මහ සියඹලාව දේවාලය පිහිටලා තියෙන ස්ථානයේ . මෙතනට යන එන අය කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්මට භාජනය වෙනවා කියන ඒකත් රහසක් නෙවෙයි . මස් කාලා කිලි වැදිලා යන අයට මේ මාර්ගයේදී වෙන අනතුරු ගැනත් ගොඩක් තැන් වෙලා සඳහන් වෙලා තියෙනවා .

තවත් වැදගත් කාරනාවක් කියලා මම මේ කතා ටික නවත්වන්නම් . ඒ තමයි සිද්ධාර්ථ කුමාරයාගේ මගුල් කඩුව ගැන කියවෙන කතාවක් . සිදුහත් කුමාරයා නේරංජන ගංගාවේ සුදුවැලි තලයේ නැවතිලා කේශ ධාතුව කපා දාමපු තමන්ගේ මගුල් කඩුව ආයෙත් චන්න ඇමති අතේ මාලිගාවට යවනවා . පස්සේ මේ කඩුවට මොකද උනේ කියලා කවුරුත් දන්නේ නෑ . කතාව තියෙන්නේ මේ මගුල් කඩුව කතරගම කිරිවෙහෙරේ නිධන් කරන්න අවස්ථාව ලැබුණා කියලා . මේ කඩුවේ ආරක්ෂාවට කතරගම දෙවියන් පත් වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ . ඇත්ත නැත්ත කෙසේවෙතත් එහෙමත් කතාවක් තියෙනවා ඔන්න .

ඉතින් මේ අද කිව්ව විස්තර ටික කිව්වේ කතරගම දෙවියන් වෙනුවෙන් රචනා වෙලා තියෙන ගීත කීපයක් එක ලිපියකට එකතු කරලා ඉදිරිපත් කරන්න හිතුන නිසා . ගීතවල තේරුම්නම් දාන්න තරම් අමාරු තේරුම් තියෙන ගීත නෙවෙයි . ඒ නිසා වචන ටිකයි සිංදුව අහන්න පුළුවන් ලින්ක් එකකුයි විතරක් මේ ලිපියට එකතු කරන්නම් .

(1)

කදිර සුරිඳුනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ

මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න
කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිඳූනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ

සිතින් කයින් වන වරද නොගන්නයි
ගමන් මගට දෙවි පිහිට දෙවන්නයි
ගිමන් නිවන තැන සෙවණ සදන්නයි
පුළුන් රොදක් සේ අප වන්දන්නයි

අනන්ත අනුහස අණ පතුරන්නයි
තැවුල් අවුල් සෝ දුක දුරලන්නයි
දෙමවුපියන් සේ අප රැකගන්නයි
පිනෙන් මෙතුන් ලොව මතු බුදුවන්නයි

කදිර සුරිඳුනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ

මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න
කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිඳූනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ...

ගායනය :- ඩබ්ලියු ඩී අමරදේව




(2)

සරවනබව කඳ සුරිඳුගෙ තෙදබල
පලකල තුරුලිය ඔදකල මද නල

සිඹ සිඹ දෙවු සැපත මැණික් ගං තලේ
සැතපුව මැන සුව යහනක තුන්හෙලෙ

සය මුහුනකි නෙත් දොළොසකි පෑවුල
කිතු ලෙස මිනි පිල් විහිදෙන වාහනෙ
බැබළෙන ලෙස සිරි ලංක සාසනේ
එක නෙතකින් බලනු මැනවි සාමිනේ

හිස මුදුනත ලෙල දෙයි සැවුළිඳු දද
දොළසතකින් රණ අවිද වූ කඳ රජ
ඔබ පිය මැන මැන හොබ කල හැම සඳ
මෙම පිරිසගේ දුක බිය සැක සංසිඳ


ගායනය :- අල්හාජ් මොහිදීන් බෙග්




(3)

කිරිවෙහෙරේ කොත් කැරැල්ල
මතින් නැගෙන දහම් රැල්ල
සාදු දනන් දෙවු පුදවන් මැණික් ගං තෙරේ
එරන් මයුර අසුන් අරා දොළොස් අතක බරණ දරා
රුහුණු පුරේ ඔද තෙද වන් කදිර සුරිඳේ

කපුරු සුවඳ දුමින් නැගෙන සුවෙන් හදේ තැවුල් නිවන
දොළොස් නෙතින් ලොව නරඹන දිව්‍ය විමානේ
දනන් නගන දුක් නිවන්න කදිර සුරින්ඳේ

මයුර කලඹ සිරස දරා දවුල් හඬට පද තබා
පුද දෙන බැතිමල් සරසා දිව්‍ය විමානේ
තැවුල් අවුල් නිවන් හදේ කදිර සුරින්දේ


ගායනය :- සුනිල් එදිරිසිංහ






(4)

කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා

සත්ගිරි වට කොට ඔබේ නිවහන ඇත
සත්සිඳු පතලව ඔබේ කිතුගොස ඇත
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා අද
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා

මයුරාසන මත වැජඹෙන තෙදැතිව
උතුරන හදකින් පුදදෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා අද
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා

කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා
මගෙ රට සවුසිරියෙන් සපිරේවා
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා අද
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා


ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන





(5)


තෙදිනි විරාජ රුවිනි විරාජ
රුහුණු සුරාජ ක‍ඳ දෙව්රාජ //

එරන් මයුර වාහනයෙන්
රුපුසෙන් බිඳ වැඩමවන්න
වැඩහිටි කඳු මත වැඩසිට
නර කැළ වෙත සෙතසදන්න
කතරගමේ බලමහිමේ
දියත පතළ කර හරින්න..

අන වින වස් දොස් තුන් බිය
දුරළා සත රැකදෙවන්න
මැණික් ග‍ඟේ නිමල දියෙන
කිලි-කුණු සෝදා හරින්න
කතරගමේ බලමහිමේ
දියත පතළ කර හරින්න..


ගායනය   - එඩ්වර්ඩ් ජයකොඩි 








(6)

අසුර බලේ සිදුරි කලේ මේ සිංහලේ
කතරගමේ දෙවිඳ ඔබේ තේජෝ බලේ
සතට දැයේ කුළුණු ගුනේ පානා සෙනේ
බැතිනි සිතේ වඳිමි ඔබේ පාදේ මෙසෙ

දොළොස් නෙතම ලොවට හෙලා
ද්වේශ අන්ධකාර නිවා
රක්තවර්ණ දේහ දිලේ මයුර ආසනේ
තේජවන්ත ධීර වීර පුණ්‍යවන්ත පාරිශුද්ධ
සකල සතට සෙතම සදන කදිර සුරිඳුනේ

අතින් රැගෙන රුදුරු අවිය
උපන් බිමට තරඟ වදින
දනන් වෙතේ බලනු මැනේ දිවැස පා ඔබේ
වෛර නිවා සාම සිසිල දෙන්න මවා දැයට නිබඳ
සකල සතට සෙතම සදන කදිර සුරිඳුනේ


ගායනය :- ජගත් වික්‍රමසිංහ



(7)

මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජනේ
මනු ලෝ සත වෙත පෑව නෙතින
සුරකිනු අප ස්වාමිනේ
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජනේ

සාමයේ චේතනා රැඳුණු සිතැඟි නෑ මෙදා
දේවනේ

මෝහයේ ද්වේශයේ ගිලෙන ලොවට පා තබා
දේවනේ


ගායනය :- සුනිල් එදිරිසිංහ






(9)

මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පාමුල මම වැඳ වැටෙමී

මුහුණු සයකි අත් දොළසින් සොබනා
සවන යොමනු කඳ සුරිඳේ
මිනිසා මිනිසාට ගරහන්නේ
මවුපියො නෑ ඔහු හඳුනන්නේ

ශක්තිය බලපා යුක්තිය පාගා
පුහු මානය හද රන්දා
වස්තුව නිළ බලතල හින්දා
මිනිසා මිනිසට දෙයි නින්දා


ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක





තව ගීත ඇති ඒත් මතක් වෙන්නේ නෑ . ඔයාලටත් මතක් උනොත් කමෙන්ට් කරන්න . එතකොට ඒවත් මේ ලිපියටම එකතු කරන්න පුළුවන් .

ඔබ සැමට කඳ සුරිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

2 comments:

  1. තියරීස් ඔක්කොම එකතු කරන්නත් පුලුවන්. සමහරවිට යටත්වැසියන්ට පීඩාවක් වුන දරුණු රාක්ෂ ගෝත්‍රික නායකයෙක් පරදවා රාක්ෂයන්ගේ නායකයෙක්වී ජනතාව විසින් දේවත්වයෙන් සැලකූ ඉන්දියන් කුමාරයෙක්/ නායකයෙක් /සටන්කරුවෙක් වෙන්නත් පුලුවන් නේද?

    රන් හෙවිලි කරපු දේවාලයක් තියා ලැබෙන මුදල් වුනත් බේර ගන්න අමාරු බව දැන් කපුවන් හා නිලමේලාගේ හබයෙන් පේනවා.

    ReplyDelete
  2. https://www.youtube.com/watch?v=jjncCiv_2gg නාග සළඹ

    ReplyDelete