ජ්‍යෝතිෂ විද්‍යාව සහ මැණික් භාවිතය ( 1 )





දැනට ටික කාලෙකට කලින් වෙච්ච සිද්ධියක් මතක් වුණා මේ ලිපි ලියන්න කල්පනා කර කර ඉන්නකොට . මේ ලිපි මාලාව ලියන්න හිතලා ටික කාලයක් වුණත් ලියන්න කල් ගත්තේ කරුණු කාරනා හරි හැටි එකතුකරගන්න උවමනා නිසා . ඒ කරුණු කාරනා එකතු කරන කාලයේ තමයි මේ සිද්ධිය වුණේ . ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය ආරම්භ කරපු මුල්ම කාලයේ ජන්මපත්‍ර පරීක්ෂා කිරීමට සම්බන්ධ වෙන්න අවස්ථාව හදලා තිබුණේ ෆේස්බුක් මැසේජ් කිරීම් හරහා විතරයි .

ඒ නිසා සම්බන්ධ වෙන්න ලැබුණු පිරිස සීමා වුණා . ඒවගේම යම් යම් අයගෙන් අදහස් උදහස් එන්න ගත්තා දුරකථන හරහා හෝ සම්බන්ධ වෙන්න තිබ්බා නම් හොඳයි කියලා . ඒ නිසාම imo viber whatsapp කියන සේවාවන් හරහා ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය වෙත සම්බන්ධවෙන්න අවස්ථාව සලසා දුන්නා . මේ නිසා විශේෂයෙන්ම විදේශගත උදවියට අපේ සේවාව එක්ක සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා . මම මේ ලිපි මාලාව ලියන්න හාහාපුරා කියලා මුලපුරන කතාවේ ප්‍රධාන චරිතයත් ඒවගේ සම්බන්ධ වෙච්ච එක්කෙනෙක් .





දවසක් ලැප් එක on කරගෙන ඉන්නකොට ඔන්න imo හරහා දුරකථන ඇමතුමක් ආවා . මම ඉතින් ආන්ස්වර් කරා . කතා කරපු කෙනා ඇහුවා තමන්ගේ ජන්මපත්‍රය පරීක්ෂා කරලා දෙන්න පුලුවන්ද ? කියලා . මම ඊට පස්සේ ඒ වෙනුවෙන් මට අවශ්‍යවෙන දත්ත මොනවද කියලා ඇහුවා කොහෙද ඉන්නේ කියලා . එතකොට කතාකරපු කෙනා කිව්වා  " මම මල්ලි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ හිරගෙදර " කියලා . මම පුදුම වුණා . හිරගෙදරට කොහොමද ජ්‍යෝතිෂ සේවය ගියේ කියලා . ඒත් එයාලට දුරකථන භාවිතා කරන්න යම් අවස්ථාවක් තියෙනවා කියලා පස්සේ දැනගන්න ලැබුණා . ඊට පස්සේ මම ජන්මපත්‍ර සටහන පරීක්ෂා කරලා දුන්නට පස්සේ එයා එයාගේ කතාව කිව්වා . එයා ඒ වෙනකොට සෙනසුරු එරාෂ්ටක අපලයක් , සෙනසුරු මහ දසාවක් සහ සෙනසුරු අතුරුදසාවක් ගතකරමින් හිටියේ . උත්පත්ති කේන්දරෙත් සෙනසුරු සතුරුවීම කියන තත්වයේ තමයි තිබුණේ .

මෙයා දෙමළ කෙනෙක් . ඉගෙන ගෙන තියෙන්නේ සිංහල පාසලක . ඒ නිසා කතා කරනකොටවත් විශ්වාස කරන්න බැහැ දෙමළ කෙනෙක් කියලා . මෙයාගේ තාත්තා සීයා සහ මෙයා හැමෝම කරලා තියෙන්නේ හලාවත මීගමුව පැත්තෙන් කොළඹට කරවල පටවන එක . එහෙන් අරං කොටුවෙන් බාලා සල්ලි ගන්නවා . ඒ නිසා යම් හොඳ ආර්ථික තත්වයක් තිබිලා තියෙනවා . ඊට පස්සේ මෙයා විවාහ වෙනවා . විවාහ වෙලා දරුවෙකුත් මෙයාලට ලැබෙනවා . දරුවා ලැබුණට පස්සේ මෙයා කල්පනා කරනවා බිරිඳ සහ දරුවා ඔස්ට්‍රේලියාවට එක්කගෙන ගිහින් පදිංචි වෙන්න . ඊට පස්සේ මෙයා බෝට්ටුවක නැගලා ඕස්ට්‍රේලියාවේ යනවා . ගිහින් කාලයක් ඉඳලා තාවකාලික වීසා හදාගෙන එහෙ යම් ආදායමක් උපයාගෙන ගෙදරටත් සලකාගෙන ඉන්නවා . ඊට පස්සේ මෙයාගේ වීසා කාලය අවසන් වෙනවා . එතකොට වෙන්නේ පොලිසියෙන් අල්ලන එක . මෙයා එහෙම පොලිසියට අහුවෙලා නඩු දාලා හිරේ යනවා . ඊට පස්සේ ලංකාවේ ඉන්න බිරිඳ දරුවා අතෑරලා වෙන මනුස්සයෙක් එක්ක යනවා .දරුවා ඒ බිරිඳගේ අම්මා තාත්තා ළඟ තමයි දැන් ඉන්නේ .


මේ මනුස්සයා හිරේ ඉඳලා වුණත් තමන්ගේ හම්බ කරලා තිබ්බ මුදල් වලින් කොටස කොටස දරුවාගේ වියදමට එවලා තියෙනවා . ඒත් සල්ලි අවසාන වුණාට පස්සේ එයාට කරන්න දෙයක් නැතුව ඉඳලා තියෙනවා . ලංකාවේ ඉන්න නැන්දම්මා සහ මාමණ්ඩි විශ්වාස කරලා නැහැ මෙයා ඉන්නේ හිරේ කියලා . ඒ නිසා හිතලා තියෙන්නේ දරුවට සල්ලි එවන්නේ නැහැ කියලා . ඒ නිසා දැන් ඒ අයත් මෙයා එක්ක කතා කරන්නේ නැහැ කියලා කියනවා . මෙයාට ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ පෙම්වතියක් මුණගැහෙනවා . ඒ කෙනා පුළුවන් විදියට අවශ්‍ය දේවල් කරත් දැන් කරකියාගන්න දෙයක් නැතුව මෙයා ඕස්ට්‍රේලියාවේ හිරවෙලා ඉන්නවා .

ලංකාවේ බිරිඳ එහෙන් නඩු දාලා ඩිවෝස් සහ වන්දි ඉල්ලලා . කවුරුවත් මෙයාගේ ඇත්ත තත්වය හරියට තේරුම් ගන්නේ නැහැ කියලා තමයි කියනේ . ඒ නිසා උසාවි නියෝගයේ පිටපතක් ලංකාවට එව්වත් නැන්දම්මා සහ මාමණ්ඩි හිතන්නේ මෙයා බොරු කරනවා කියලා ලු . ඒ නිසා මෙයා දැන් ඉන්නේ ඉතාම අසරණ තත්වයක .

ජ්‍යෝතිෂ විද්‍යාව අනුව බලනකොට සෙනසුරු සතුරුවීම සෙනසුරු දසාව සහ එරාෂ්ටක අපල කියන්නේ ටිකක් වැදගත් කාරණාවක් . සමහර අය මේ මාතෘකා ඉස්සරහට දාගෙන සල්ලි හම්බකරන්න හදනවා . ඒත් ඊට වඩා මේ සංකල්පවල ගැඹුරු කරුණු කාරනා තියෙනවා . හරියටම ප්‍රශ්නයක් තියෙනවද නැත්ද කියලා බලන්න . මෙයාට ඒ දසාවල් එරාෂ්ටක ලබාගෙන එනකොටම මෙයා කරලා තියෙනවා බොහොම ලොකු වැරද්දක් . එතනින් තමයි මැණික් කතාවට මම එන්නේ .

මෙයාට එහෙ ඉඳල තියෙනවා රත්තරන් බඩු වෙළඳසලක යාලුවෙක් . එයා මෙයාට පෙන්නලා තියෙනවා නවරත්න මුද්දක් . මෙයත් ආසාවට ඒ මුද්ද අරගෙන දාගෙන ඉඳලා තියෙනවා . සෙනසුරුට හිමි මැණික් ගල විතරයි ශරීරයේ ස්පර්ශ වෙන්න හදලා තිබිලා තියෙන්නේ . අනිත් ගල් සේරම යට පැත්ත වහලා හදලා තියෙන්නේ . ඔය මුද්ද දාගෙන කාලයක් හිටියට පස්සේ තමයි අපලත් ඇවිත් හිරෙත් යන්න වෙලා තියෙන්නේ . දැන් හිරෙන් එලියට එන්නත් වීසා හදාගන්නත් අවශ්‍යතාවය තමයි එයා කියන්නේ නිතරම .






ප්‍රතිකාර විදියට ලොකුවට යමක් කරන්නත් විදියක් නැහැ . මොකද ඉන්නේ හිරේ නිසා . ඒත් කරන්න පුළුවන් යම් යම් දේවල් කියලා තියෙනවා . එයාගේ ප්‍රතිඵල එනකල් තමයි අපි දැන් පර්යේෂණ මට්ටමින් බලාගෙන ඉන්නේ . මමනම් දකින්නේ මෙයා දාපු ඒ නවරත්න මුද්ද අනිත් ග්‍රහයින්ගේ බලපෑම් සේරම නවත්තලා සෙනසුරු බලවත් කරලා මෙයා හිරේ යැව්වා කියලා . කාල සීමාවත් ග්‍රහචාරයත් අනුව බලනකොට එහෙම තමයි තියෙන්නේ කතාව . ඔන්න ඔහොමයි මැණික් වලට කරන්න පුළුවන් දේවල් . අන්න ඒ මැණික් ගැන තමයි අපි මේ ලිපි මාලාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ .

මැණික් කියන්නේ වසර ගණනාවක් තිස්සේ පොළවේ යම් යම් රසායනික විපර්යාස වලට ලක්වෙලා ඇතිවෙච්ච අධික දෘඩතාවයකින් යුක්ත යම් කිරණ සංඛ්‍යාත පරාසයක් තියෙන පාෂාණ ස්ඵටික විශේෂයක් . මේවායේ අභ්‍යන්තරයේ තියෙන රසායනික සංයුතිය සහ වර්තනයැ වීම , පරාවර්තනය වීම වගේ භෞතික සිද්ධි නිසා මේ මැණික් වර්ග ඉතාමත් වටිනාකමකින් යුක්ත වෙනවා . අතීතයේ මැණික් භාවිතා වුණේ විශේෂයෙන්ම වෛද්‍ය කර්මය සහ පළඳනා විදියට . ඒ වගේම වටිනා වස්තූන් විදියට මැණික් කරඬු , බුදුපිළිම වගේ දේවල් හදන්නත් මැණික් භාවිතා කරලා තියෙනවා .

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා දෙවුලොව සිළුමිණි සෑය සහ බඹලොව සළුමිණි සෑය කියලා . ඒ අනුව තමයි මම දකින විදියට අතීතයේ රජ දරුවන් ධාතු කරඬු එහෙමත් මැණික් වලින් හදලා තියෙන්නේ . රස වෙදකම අනුව මැණික් සහ මැණික් භෂ්ම වගේ දේවල් ඉතාමත් වැදගත් වෙනවා බෙහෙත් වර්ග හදන්න . ඊටත් අමතරව ජ්‍යෝතිෂ විද්‍යාව තුලින් තමයි මැණික් වලට යම් ස්ථානයක් ලැබිලා තියෙන්නේ . ගුප්ත ශාස්ත්‍රයේ මැණික් භාවිතා කරලා තියෙනවා අඳුන් බෙහෙත් හදන්න . සමහර වට්ටෝරුවල මැණික් වර්ග පහ හය පවා අඹරනවා .

ඉස්සර බෙහෙත් හදන්න ඕන නම් මැණික් අරගෙන බෙහෙත් හදන්න වැඩි කරදරයක් තිබිලා නැහැ . ඒත් අද වෙනකොට මැණික් කියන්නේ තියෙන තැනින් ගොඩ අරගෙන රට යවන දෙයක් . මුදල් වෙනුවෙන් මැණික් විකිණෙනවා . ඒ විකිණීම නිසා මැණික්වල මුදල්මය වටිනාකම ඉහල ගිහින් තියෙනවා . ඒ නිසා පරම ලාභී වූ ආරෝග්‍යාව වෙනුවෙන් වත් මැණික් දාලා බෙහෙත් හදන්න පුළුවන් තත්වයක් දැන් නැහැ . ඒ නිසා මැණික් වලින් බෙහෙත් කිරීම ගැන කතා කරලා වැඩක් නැහැ . මැණික් හුදෙක්ම ලස්සන පෙන්නන සහ වත්කම් පෙන්නන දෙයක් බවට පත්වෙලා තියෙනවා .





ඒත් වාග්භට ආචාර්යවරයා රචනා කරලා තියෙන රස රත්න සමුච්චය කියන රස වෙදකමට අදාළ යම් යම් කොටස් එකතුවෙලා තියෙන හස්තසාර ග්‍රන්ථයේ සඳහන් වෙන ආකාරයට මැණික් කියන්නේ සෘෂිවරුන් නියම කරපු බෙහෙත් වර්ග වලට අවශ්‍යම වෙන දෙයක් . මේ වගේ දේවල් කරන්න නොහැකි වීම නිසා තමයි අදවෙනකොට ආයුර්වේද වෙදකම පරිහානියට පත්වෙමින් පවතින්නේත් .

වාග්භට තමන්ගේ පොතේ මෙන්න මෙහෙම සඳහා කරලා තියෙනවා මැණික්වල පොදු ගුණ ගැන .

" රත්න ධාරණය කිරීමෙන් සූර්යයා ආදී ග්‍රහයන්ගේ නිග්‍රහ වැළකේ . දීර්ඝායුෂ හා ආරෝග්‍යය හා අත්වේ . සෞභාග්‍ය උදා වේ , භාග්‍යයට වසඟ වූ සම්පත් හා උත්සාහයද ලද හැකිය . ධෛර්යය වැඩී යෙයි . කාන්තිහීනතාව මෙන්ම ගල් දූවිලි ආදියේ සංසර්ගයෙන් ඇතිවන දුර්භාග්‍යයද විනාශ වේ , භූත දෝෂ ආදියද නිවාරණය වේ "

විවිධ මැණික් භාවිතා කෙරෙනවා මේ මැණික් ප්‍රතිකාර වලදී . ජ්‍යෝතිෂ විද්‍යාව අනුව මැණික් ප්‍රතිකාර කරන්න මෙන්න මේ මැණික් වර්ග ප්‍රධාන වශයෙන්ම භාවිතා වෙනවා .

පද්මරාග
මුතු
රතුකොරල්
එමරල්ඩ්
පුෂ්පරාග
දියමන්ති
නිල් මැණික්
ගෝමේද
වෛරෝඩි
චන්ද්‍ර කාන්ති
රෝස තිරුවානා
කිරිගරුඬ
සුදුනිල
පච්ච
රතුරබස්
පඩියං
කාකනිල්
ආරුනූල්

මීට අමතරව මේ මැණික් වර්ගවලින් යම් තරමක් වෙනස් ගතිගුණ තියෙන පාෂාණ වර්ගත් ඒ ඒ අවසථා වලදී යොදාගන්නවා . ඊළඟ ලිපියෙන් අපි මේ මැණික් වර්ගවල ගුණ මොනවද කියලා පරීක්ෂා කරලා බලමු .

තවත් ලිපියකින් හමුවෙමු !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment