සඳ එළියේ අසිපත ( 1 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .




ලිඛිත සාක්ෂි නොමැති වුවද ගමේ පන්සල කාවන්තිස්ස රජතුමාගේ කාලයේ පටන් පැවත එන පුරාණ රජමහා විහාරයක් බව ගමේ කවුරුත් විශ්වාසති . රුහුණු රටේ සිට දුටුගැමුණු මහ රජතුමා එළාර රජුට විරුද්ධව සටන් මෙහෙයවන සමයේ මෙම පන්සලද එතුමන්ගේ සැලකිලි සත්කාර ලද බව ගම්මුන් පවසන්නේ ඇතැම්විට ඉමහත්වූ ආඩම්බරයකිනි . ඊට හේතුව වන්නට ඇත්තේ දුටුගැමුණු මහ රජු යනු ලංකා ඉතිහාසයේ අමිල මෙහෙයක් ඉටු කරන ලද නරෙශ්වරයෙකු නිසා බැව් මම විශ්වාස කරමි . කටින් කට පැවත එන මෙවැනි ඉතිහාස කතා සමහරක් තුල පමණට වඩා අතිශයෝක්තිය පවා අන්තර්ගත වන්නට ඇත . එහෙත් හයක් හතර නොදත් සමහර ගම්මුන් මෙන්ම ගමේ ජීවත් වූ වෙද මහතා , ආරච්චි මහතා , සීයා වැනි උදවිය පවා මෙම කතා පිළිබඳ තම අදහස් දක්වන ලද්දේ සිත තුල තදින් කිඳා බැසගත් විශ්වාසයකින් යුතුවය . එබැවින් ඒවා අතිශයෝක්තිය මත පමණක් පදනම්වී ඉවත දැමීම අකටයුත්තක් බව මමද තරයේ විශ්වාස කරමි .

වලව්ව මෙන්ම පන්සලද මගේ ජීවිතයේ ඉතාමත් වැදගත් ස්ථානයක් බව සිහිපත් කල යුතුය . වලව්ව හා සමාන මෙහෙවරක් ඉටු කරමින් මාගේ ජීවිතය මේ ආ ගමන් මග වෙතට නැඹුරු කරන ලද්දේ පන්සලයි . ඒ වලව්වෙන් ඉගෙනගත් මන්තර ශාස්ත්‍රය ඉගෙන ගැනීමට මූලික වූ භාෂා දැනුම මා ලබාගත්තේ  පන්සලේදී ලබාගත් පිරිවෙන් අධ්‍යාපනයෙන් වීමයි . පිරිවෙන් අධ්‍යාපනය තුළදී බෞද්ධ දර්ශනය මෙන්ම සිංහල පාලි සංස්කෘත හා දෙමළ භාෂාවද තරමක් දුරට හැදෑරීමට මට හැකියාව ලැබිණි . දෙමළ භාෂාව ඉගැන්වීම සඳහා දෙමළ භාෂාව දැනඋගත් ස්වාමීන් වහන්සේ නමක් ඒ කාලය තුළ පන්සලට වැඩම කරවාගැනීමට සීයා සහ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ කටයුතු කළහ . ඊට හේතුව වූයේ සමහර පුස්කොල පොත්වල මන්තර ලියවී ඇත්තේ දෙමළ අකුරු වලින් වීමයි . අපගේ පවුලට අයත් නොවුවද , සමහර අවස්ථා වලදී දෙමළ බසින් ලියවුණු මන්තර සහිත පුස්කොල පොත් කීපයක් පරිත්‍යාගශීලී වෙදැදුරන් විසින් ඒ ඒ කාලවලදී අප වෙත ලබා දී තිබේ . එනිසා ඒවා පරිශීලනය කිරීම සඳහා දෙමළ භාෂාව ලිවීමට කියවීමට දැනගෙන සිටීම තරමක් වැදගත් කාරණාවක් විය .





පිරිවෙන් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව මම වැඩි කාලයක් ගත කලේ මන්තර ශාස්ත්‍රය ධාරණය කරගැනීම සඳහා පමණක්ම නොවේ . වෙද සීයාගෙන් වෙදකම ඉගෙනගැනීමටද සීයා මා යොමු කළේය . එබැවින් ඉඩ අවකාශය ලද සෑම මොහොතකම මම වෙද සීයා හමුවීමට ගොස් වෙදකම ඉගෙනගැනීමට කටයුතු කලෙමි . සියාතු සීයාගේ මන්තර පොත් සහිත පෙට්ටගම වලව්වට පැමිණෙන කාලයේද මම වෙද සීයාගෙන් වෙදකම් ඉගෙන ගනිමින් සිටියෙමි . මා වෙද සීයාගේ නිවසේ සිටින දිනයක වලව්වේ කරත්තය දක්කන ජේමිස් මා වෙත පණිවුඩයක් රැගෙන ආවේය . කල් වේලා ගත කිරීම යුතු නොවන බැවින් මම ඉක්මණින්ම වලව්වට ගියෙමි . පන්සලේ නායක හාමුදුරුවෝ වලව්වට වැඩ වලව්වේ ඉදිරිපස තබා ඇති ආසනයක තැම්පත් වී සීයා සමග සුහද පිළිසඳරක යෙදෙමින් සිටියහ .

" ආ , ඉලන්දාරියා දැන් මන්තර සාත්තරේ අතෑරලා වගේ "

මම ඊට පිළිතුරු දීමට මත්තෙන් නායක ස්වාමීන් වහන්සේගේ දෙපා වැන්දෙමි .

 " සුවපත් වේවා ! "

" සමහර වෙලාවල් වලදී මන්තරේට වෙදකමත් තිබ්බනම් හොඳයි කියලා මටත් හිතිලා තියෙනවා හාමුදුරුවනේ . ඒත් අපේ සීයා තමයි මාව වෙදකම ඉගෙනගන්න වෙද සීයලාගේ ගෙදරට යවන්න පිළයෙල කලේ . වැඩි දුරට නැතත් , තරමක් දුරට හරි වෙදකම ඉගෙන ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ . අඩුම තරමේ බෙහෙත් පැළෑටි මොනවද කියලාවත් ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා "

" ඒක හොඳයි දරුවො . කොච්චර දෙයක්ද මේ සාත්තරේ ඉස්සරහට නැතිවෙන්න නොදී පවත්වාගෙන යන එක . අපේ නායක හාමුදුරුවෝ ඉස්සර මම මහන වෙන්නත් කලින් කියලා තියෙනවා මේ වලව්වේ උදවිය කරපු කියපු දේවල් ගැන . මමත් පොඩි කාලෙ ලොකු ගුරුන්නාන්සේගෙන් , ඒ කියන්නේ අරනෝලිස්ගේ තාත්තාගෙන් තෙල් මතුරාගන්න එහෙම ඇවිත් තියෙනවා . මට මතකයි වතාවක් ගමේ ගෑණු කෙනෙක්ට සර්පයෙක් ගහලා විස බස්සන්න බැරුව ඉන්න වෙලාවක ලොකු ගුරුන්නාන්සේ ඇවිත් මතුරලා තෙල් ගාලා විස බස්සලා සනීප කරා . ඇත්තටම ඒ මිනිස්සු බුදුන් දැක නිවන් දකින්න තරම් පිං දහම් රැස්කරගත්තා ඒ කාලෙ "

" හාමුදුරුවනේ ගිලන්පස ටිකක්වත්......???? "

" මම චුටි ගුරුන්නාන්සේ එන්න කලියෙන් ගිලන්පස ටිකක් වළඳලා ඉන්නේ . මම මේ ආවේ වැදගත් රාජකාරියක් ගැන කතා කරගන්න හිතාගෙන . අපේ පන්සලේ දැන් පිරිවෙනට එන ළමයි ගණන කලියෙන් උන්නු ගන්නට වඩා වැඩි වෙලා තියෙනවා . ඒ නිසා පිරිවෙනට අමතරව මම කල්පනා කරා ඉරිදා දහම්පාසලක් ආරම්භ කරානම් ගමේ ළමයින්ට දහම් අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් කියලා . පිරිවෙනට හැමෝම ආවම මූලික දැනුම දෙන්න කාලෙ වැය කරනකොට මූලික දැනුම තියෙන අයට තමන්ගේ කාලය නාස්ති කරනවා කියලා හිතෙන්න පුළුවන් . ඒ නිසා මම කල්පනා කරා මූලික දහම් අධ්‍යාපනය දෙන්න ඉරිදා දහම්පාසලක් අපේ පන්සලෙත් ආරම්භ කරන්න "

" චූටි පුතේ , නායක හාමුදුරුවෝ වැඩලා තියෙන්නේ පුතාටත් ඉරිදා දහම්පාසලේ උගන්වන්න එන්න පුලුවන්ද කියලා අහන්න "

" ඉරිදා දවසේ කියලා ඉතින් මට ලොකු ලොකු රාජකාරිනම් නැහැ හාමුදුරුවනේ . ඒත් ගුරුකම් වලදී සමහර නැකත් යෙදිලා තියෙන්නේ ඉරිදා දවස්වල නිසා මට සමහර ඉරිදාවල් වලදී වැඩක් යෙදුනොත් නම් එන්න ලැබෙන්නේ නැහැ . ඒකට ඔබවහන්සේගේ අමනාපයක් නැත්නම් මට මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් "

" ඒක ඉතින් මම නොදන්නවය . ඒකට කාරී නැහැ . අපට උවමනා කරන්නේ දහම් අධ්‍යාපනය හොඳින් තියෙන උදවිය පන්සලට එකතු කරගෙන ඉරිදා දහම් පාසල ආරම්භ කරන්න . එතකොට ඉගෙන ගන්න දරුවන්ට හොඳ අධ්‍යාපනයක් අපට ලබාදෙන්න පුළුවන් වෙනවා "

" ඉතින් හාමුදුරුවනේ කොහොමද අපි මේ දහම්පාසල ගැන ගමේ උදවිය දැනුවත් කරන්නේ ? "

" මම අනිද්දා හවස දිහාවට පන්සලේ බන ශාලාවට ගමේ උදවියට රැස් වෙන්නය කියලා පණිවුඩයක් යවාගෙන තමයි වලව්වට ආවේ චුටි ගුරුන්නාන්සේ මේ කාරියට සම්බන්ධ කරගන්න . මොකද කියන්නේ එහෙනම් මම චුටි ගුරුන්නාන්සේවත් මේ වැඩේට එකතු කරගත්තා ඔන්න එහෙනම් හොඳද ? "

" හොඳමයි හාමුදුරුවනේ . මගේ අකමැත්තක් නැහැ . මට එන්න බැරි දවස්වලට පිලියමක් යොදලා අපි මේ දහම්පාසල ආරම්භ කරමු එහෙනම් "






නායක ස්වාමීන් වහන්සේ වලව්වට සමු දුන් අවස්ථාවේ සිට මාගේ සිත තුල නලියන්නට වූයේ තවත් නොබෝ දිනකින් මා ආරූඪ කරගැනීමට නියමිත ගුරුවරයෙකුගේ භූමිකාව කෙසේ රඟපෑමට මට සිදුවන්නේද යන්න පිලිබඳවය . එහෙත් පැය කීපයකින් එම කුතුහලය පහව ගියේ එය මට රඟ දැක්වීමට එතරම් අපහසුවක් නොවේය යන හැගීම සිත තුල ටිකෙන් ටික මෝදුවීමත් සමගය .

නායක ස්වාමීන් වහන්සේගේ අභිමතය පරිදි අදාළ දිනයේ අදාළ වේලාවට ගමේ සියල්ලම පාහේ රැස්කරවා ඉරිදා දහම්පාසල පිළිබඳව දැනුවත් කළෙමු . මෙම දැනුවත් කිරීම සඳහා සීයාද , මමද , වෙද සීයාද , ආරච්චි මහතාද සහභාගී වීමු . මීට අමතරව මීට කලකට ඉහතදී පිරිවෙනෙන් අධ්‍යාපනය ලත් කිහිප දෙනෙක්ද වූ අතර ඔවුන්ටද අත්වී තිබුණේ මගේ ඉරණමමය . මේ අතර වෙද සීයාගේ වැඩිමල් පුතාගේ දියණියද ඇතුළත්ව තවත් ගැහැණු ළමයෙකුද ඇතුළත් වී තිබිණි . පිරිවෙන් අධ්‍යාපනය කාන්තාවන්ට අකැපය යන මතය බිඳ හෙලමින් නායක ස්වාමීන් වහන්සේ මා ඉගෙන ගන්නා කාලයේ පිරිවෙන් අධ්‍යාපනය ලබාගැනීමට කැමති ගමේ ගැහැණු ළමයින්ටද අවස්ථාව ලබා දී තිබිණි . එහෙත් පිරිමි ළමුන් සහ සාමනේර හිමිවරුන් වෙනමත් ගැහැණු ළමුන් වෙනමත් සිටින සේ වෙන් කරවා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට නායක ස්වාමීන් වහන්සේ වගබලා ගත්හ . ඒ තවත් ගජමන් නෝනලා සහ ඇලපාත මුදළිලා ඇතිවීම වැලැක්වීමටය .

ඉරිදා දහම්පාසල ආරම්භ කෙරිණි . ගමේ ළමුන් විශාල ප්‍රමාණයක් දහම්පාසලට පැමිණ සිටි අතර ඔවුන් පංති කීපයකට බෙදා ඉගැන්වීම් කටයුතු කිරීමට නායක ස්වාමීන් වහන්සේ තීරණය කළහ . ඒ අනුව ඒ ඒ පංති වලට එක් එක් ගුරුවරුන් තමන් වැඩියෙන් දක්ෂ විෂයන් ඉගැන්වීම කළයුතු බවද නායක ස්වාමීන් වහන්සේ විසින්ම තීරණය කළහ . සතියක් දෙකක් ගත වීමත් සමගම ඉගෙන ගන්නවාට වඩා ඉගැන්වීම ඉතාමත් වෙනස්ම රාජකාරියක් බව මම වටහා ගත්තෙමි .

ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් මම ඉගැන්වීම් කටයුතු දියුණු කරගැනීමට උනන්දු වීමි . ඒ අතර ගුරුකමටද , වෙදකමටද මුල් තැන දීමට අමතක නොකලෙමි . කාලය ගතවීමත් සමගම අවුරුදු 26ක් තිස්සේ වලව්වේ ගතකල ජීවිතය තරමක් වෙනස් විය . ඒ පන්සලට කලින්ට වඩා වැඩියෙන් සම්බන්ධ වීමට සිදුවීම සහ එකම පවුලක සහෝදර සහෝදරියන් ලෙස කටයුතු කරනු ලබන වසර කීපයක අඩු වැඩි වයසින් යුත් ගුරුවරුන් පිරිසක් සමග සිටීමට ලැබීමයි .

ඉරිදා දහම්පාසල මගේ ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෙනස් කිරීමට දායක විය . ඒ ගුරුන්නාන්සේ වලව්වට එක්වන නවතම සාමාජිකාව ඉරිදා දහම්පාසලේදී මාහට මුණගැසීමෙනි . වෙඩි බෙහෙත් සහ ඉඹුල් පුළුන් ගෙඩියක් ලෙස සිටි අවධියේ පිරිවෙනට ආගිය ඇය හා මා ඉරිදා දහම්පාසලේ ඉගැන්වීමට පැමිණි අවධියේ ගත කරන ලද්දේ ගින්දර සහ පුළුන් වැනි තත්ත්වයකය . එහෙත් ඇයද මමද හදවතට ඉක්මන් වීමට ඉඩ නොදී ඔලුවටම මුල් තැන දී කටයුතු කළෙමු .

අවසානයේ දර්ශනං චිත්ත වෛකල්‍යන් යන පාඨය මොනවට පසක් කරමින් දැකීමෙන් සිත වසඟයටම පත්වී ගියේය . එහෙත් ඇයගේද මගේද එම ගණුදෙනුව කාටත් රහසක්ම වී තිබිණි . ඊට හේතුව වන්නට ඇත්තේ ඇය හා මා ගත කල සහෝදර බැඳීමක් හා සමාන කුළුපග වීම යැයි මම විශ්වාස කරමි . ඇයද මමද ගෞරවය රැකගනිමින් කාලය ගතකල අතර මේ පිළිබඳව අදාළ නිවෙස් දෙකෙහිම වැඩිහිටියන් සමග කතා කරන තුරු කිසිම ආකාරයකින් මේ පිළිබඳව කතාවක් ඇති නොවන ආකාරයෙන් ජීවත් වීමට ඇයද මමද කථිකා කරගතිමු .




පිරිවෙනට අයත් වටිනා පුස්කොල පොත් රාශියක් ගබඩා කර ඇති පොත්ගුලක් පන්සලේ තිබේ . මෙම පොත්ගුල පරිශීලනය කිරීමේ අවසරය හිමි වූයේ සිවුරටම පමණි . එහෙත් පන්සලේ නායක ස්වාමීන් වහන්සේ දිනක් එම අවස්ථාව සිවුර නොලත් මා වෙත ලබා දුන්හ .

" චූටි ගුරුන්නාන්සේ , දැන් කොහොමද ඉරිදා දහම් පාසලේ වැඩ කටයුතු "

" වරදක් නැහැ හාමුදුරුවනේ . හොඳින් කරගෙන යනවා . ගමේ ළමයින්ට සමහර කරුණු කාරණා අව්වබෝධ කරවන්න නම් ටිකක් අපහසුයි . ඒ වෙලාවට සරළම කාරනාවේ ඉඳලා පැහැදිළි කරන්න මම උත්සාහ කරනවා . ඒ නිසා හිතුවට වඩා කාලයක් ගත වෙනවා කියලා නම් මට දැනෙනවා . ඒත් කාලයට වඩා මම කල්පනා කරේ අවබෝධය වැදගත් නේද කියලා "

" බොහොම හරි චූටි ගුරුන්නාන්සේ , බොහොම හරි . ඒක තමයි වෙන්න ඕන . අද හැදෙන උන් වගේ නෙවෙයි හෙට හැදෙන උන් . ඒ නිසා ධර්මයේ පිහිටලා කටයුතු කරන්න හැම කෙනාවම දැනුවත් කරන්න තමයි ඕන . ඒ වෙනුවෙන් කාලය ගත වුනා කියලා හිත් අමනාප කරගන්න කාරී නැහැ . බුදුහාමුදුරුවෝ සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා අවුරුදු හයක් දුෂ්කරක්‍රියා කරලා ඒ උත්තරීතර බුදුදහම අවබෝධ කරගත්තා වගේම අනුන්ටත් ඒ දහම අවබෝධ කෙරෙව්වා වගේ අපිත් උත්සාහ කරන්න ඕන අපි දන්නා ටික හරි පැහැදිලිව අවබෝධ කරවලා දෙන්න . ඒ වෙනුවන් කාලයක් ගත වුණා කියලා පාඩුවක් වෙන්නේ නැහැ"

" ඒක ඇත්ත හාමුදුරුවනේ "

" මම මේ කියන්න හිටියේ චූටි ගුරුනාන්සේ , අපේ මේ පන්සලේ පොත්ගුල පරිහරණය කරන්න චූටි ගුරුන්නාන්සේටත් ඉඩක් පාඩුවක් තියෙන වෙලාවක පුළුවන්ය කියලා . ගොඩක් පරණ පොත් පත් එහෙමත් තියෙනවා . පුස්කොල පොත් නිසා පරෙස්සමට පාවිච්චි කරන්න ඕන . ඔය ළමයා ඉතින් පුස්කොල පොත් එක්කම ජීවත් වෙන කෙනා වෙච්චි එකේ මම හිතනවා ඒවා පරෙස්සම් කරලා පාවිච්චි කරයි කියලා . මේ පොත්වල ගොඩක් පරණ ඉතිහාස කතා ලියවිලා තියෙනවා . ඒවා කියවලා ඉරිදා දහම්පාසලේ දරුවන්ටත් ඒවා කියලා දෙන්න පුළුවන් නම් අපේ ගම ගැන මේ පොඩි එවුන් තවත් දේවල් දැනගනියි කියලා මට හිතෙනවා . ඉඩ පාඩුව තියෙන වෙලාවට එන්නකෝ . මම යතුර දෙන්නම් පොත් ගුලේ . පොත් පත් ටිකක් කියවලා බලමුකෝ කොහොමද කියලා "

" ගොඩක් පිං හාමුදුරුවනේ "





පන්සලේ පොත්ගුලේ ඇති සමහර පොත්වල ඇති ඉතිහාස කතා ඇදහීමට නොහැකි තරමේ විස්මය දනවන කරුණු කාරණා සහිත දේවල් විය . ඒවා කියවීමට වෙලාව මදි වූ අවස්ථා වලදී නායක ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතිව එම පොත් වලව්වට රැගෙන ගොස් කියවා නැවත ඒවා පොත්ගුලේ තැම්පත් කිරීමටද මම කටයුතු කලෙමි . ඒ අතරේ කැඩුණු පොත් කම්බා වෙනුවට අලුත් කම්බා දැමීමටද , පොත් වල දිරා ගිය නූල් වෙනුවට අලුත් නූල් දැමීමටද මම වගබලා ගතිමි . පොතක් විනාශ වීම නැවත පිරවිය නොහැකි පාඩුවක් බව මා හොඳාකාරවම දන්නා නිසා එසේ කිරීමට මගේ යටි සිත මා වඩ වඩාත් පෙළඹවීය .

ඇයද මමද ඉරිදා දහම්පාසල් එන්නේත් යන්නෙත් එකටමය . ඇයගේ නිවහද මාගේ නිවහනද ඇත්තේ එකිනෙක මුහුණලා ඇති මාවත් දෙකකය . දුරුතු මාසයේ මැද භාගයේ සිට ආරම්භ කරන ලද ඉරිදා දහම්පාසල පොසොන් මාසයද පසුකරමින් තිබිණි . ඉඳුරු දෙවියන් විසින් සඳ එළියේ අසිපත උපලිප්ත කරවීමේ අකුණු සැරය මුදාහරින ලද්දේ පොසොන් මාසයේ දෙවෙනි ඉරිදා දිනයේ රාත්‍රීයේදීය .

ඉරිදා දහම්පාසල නිමවී ඇයද මමද දහම්පාසලට ආ අනෙකුත් දරුවන් සමග නිවෙස් බලා ආවේ වෙනදා මෙන් දහම්පාසලේ දරු දැරියන්ගේ සිදුවීම් පිළිබඳව කතා කරමින්ය .







" අයියා දන්නේ නැහැනේ අද මගෙන් ළමයෙක් අහපු ප්‍රශ්නයක් ? "

" ඇයි මොකක්ද ඇහුවේ ? "

" සංසාර චක්කරේ කැරකෙන එකක්ද කියලා ඇහුවනේ "

" ඉතින් "

" මට හිනහත් ගියා . මම ඉතින් පුළුවන් විදියට පහදලා දුන්නා . ඒත් මට තේරුනා ඒ ළමයට ඒක තේරුනේ නැහැ කියලා "

" අපි නායක හාමුදුරුවන්ට කියමු ඒ වගේ දේවල් ළමයින්ට කියලා දෙන්න සරල උදාහරණ තියෙන දේවල් අපිට උගන්වන්න කියලා . එතකොට අපි ඉගෙන ගත්ත නැති දේවල් මොනවා හරි තවත් දැනගෙන ළමයින්ට වැඩිපුර කියලා දෙන්න පුළුවන් "

" ඒක නෙවෙයි . අයියා ආයෙත් ඉරිදාමද එන්නේ පන්සල පැත්තේ ? "

" මම පන්සලේ පොත්ගුලෙන් අරගෙන ආව පොත් වගයක් නම් තියෙනවා දෙන්න . ඒක දෙන්න පන්සල පැත්තේ එන්න ඉන්නේ දවසක . නංගිත් එදාට පන්සල් එන්න නම් අහන්නේ මට කියන්න තියෙන්නේ එන්න එපා කියලා තමයි "

" ඇයි ඒ ? "

" නායක හාමුදුරුවන්ට මේ වගක් දැනගන්න ලැබුණොත් අපි දෙන්නාටමයි අපේ ගෙවල් වලටයි දෙකටම හොඳ නැහැ . ඒ නිසා මම නංගිලාගේ ගෙදර ආව වෙලාවට ඔය පුළුවන් විදියට කතා බහ කරලා ඉමු . දැන්මම අපි කතා බහ කරනවා වැඩිද මන්දා කියලා මට වෙලාවකට හිතෙනවා . මම ඉතින් වෙදකම් ඉගෙනගන්න වෙද සීයා හම්බෙන්න එන වෙලාවට කොහොමත් නංගි ගෙදර ඉන්නවනේ . කෝ ඒ ආවට වචනයක්වත් කතා කරන්නේ නැහැනේ "

" හපෝ මට බැහැ . සීයා දැනගත්තොත් මට ඉසකුඩිච්චි දාවි "

" සීයා නෙවේ එහෙනම් මම දාන්නම්කො ඉසකුඩිච්චියක් නංගිට තියෙන හිතේ අමාරුව සනීප වෙලා යන්න "

" අයියට මන්තර එක්ක ජීවත් වෙනවා වගේ තමයි මට වෙදකමත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ . අයියත් රහස් රකිනවා . මමත් රහස් රකිනවා . බලනකොට අපි දෙන්නම එක වගේ නේද ? "

" හ්ම්ම්ම්ම්ම්ම්................... "

" මම එහෙනම් ගිහින් එන්නම් අයියේ . බුදුසරණයි "

" හ්ම්ම්ම්ම්ම්.................. "

" හ්ම්ම් නෙවේ , බුදුසරණයි කියන්න "

" හා බුදුසරණයි "

මද සිනහවක් පෑ ඇය වෙද ගෙදරට හැරෙනවාත් සමගම වැහි ලිහිණින් ඉගිළී යනවා මම ඈතින් දුටුවෙමි . සති කීපයක් තිස්සේ ගමට හරි හමන් වැහි බිංදුවක් වැටුණේ නැත . පොළව ඉරිතලා වියලී ගොස් තිබිණි . තණකොළ පාගනවිට කොකිස් ගෙඩියක් පොඩිවී යන්නා සේ කරස් කරස් ගා වියලි තණකොළ පොඩිවී යයි . මම වලව්වට අඩිය තියනවාත් සමගම වාගේ පරිසරයේ ආලෝකමත් බව තුරන් වී එකවරම පරිසරය අඳුරු වී ගියේය . පැය කීපයක් ගතව යන්නට ඇත . කෙමෙන් කෙමෙන් වැහි පොදය දෙක වැටෙන්නට විය .

" චූටි පුතේ , අදනම් මේ දවස් ටිකේම පායපුවට හරියන්න වහින්න එන පාටයි "

" ඒක තමයි සීයේ තාත්තත් තවම ගෙදර ආවේ නැහැ නේද ? . වහින්න ගත්තොත් කරත්තේ යවන්න වෙයි නේද ? "

" ආ කරත්තේ යවන්න ඕන නැහැ . ඔය එන්නේ තාත්තා කියනකොටම "

තාත්තා කඩුල්ල අසල සිට වලව්වට එන ටිකට ඔහු තෙතබරි වීමට තරම් වැස්සක් ඇදවැටිණි . වර්ෂාව අඩුවක් නැත . කෙමෙන් කෙමෙන් වැස්සේ සැරබව වැඩිවීමත් සමගම මම කාමරයට ගොස් දොර වසා ඇඳට වී රෙද්දක් පොරවාගෙන නිදාගන්නට සැරසුනෙමි . හිසේ සිට පොරවාගෙන සිටි රෙද්ද හිසෙන් ඉවත් කර ජනේලයෙන් පෙනෙන අකුණු එළිය බලා සිටීම හිතට තරමක ආශ්වාද ජනක කටයුත්තක් විය . එකපිට එකපිට අකුණු උපුරමින් තිබී මද වෙලාවකට අකුණු පිපිරීම නතර විය . එසේ නතරවී සිටි අකුණු පිපිරීම ඊළඟ අවස්ථාවේ පුපුරා ගියේ ඇඟ කිළිපොලා යන තරමේ හඬක් නිකුත් කරමින්ය .දැන් රාත්‍රී හත අට පමණ වන්නට ඇත . මේ දක්වාම නොකඩවා වර්ෂාව අද හැලිණි .

" කොහාට හරි හෙන ගෙඩිය පාත් වුණා ඒ සද්දේ හැටියටනම් "

ඒ සීයාය . මම සීතලට රෙද්ද පොරවාගෙනම කාමරයේ දොර ඇර සාලය පැත්තට ගමන් කලෙමි . තවමත් අකුණු පුපුරමින් වර්ෂාව අද හැලේ .

" සීයේ කොයි පැත්තටද එළිය වැටුණේ ? . සීයා දැක්කද ? "

" පන්සල පැත්තෙන් තමයි එළිය පාත් උනේ . උදේට බැරිය කොහාටද වැදුනේ කියලා දැනගන්න "




අකුණු එවන්නේ දෙවියන් විසින් බව පොඩිකාලේ අම්මා මට කතන්දර කියාදෙන විය කියා දී තිබේ . අකුණු එවීම අයත් වී තිබෙන්නේ ඉන්ද්‍ර දෙවියන්ටය . ඉන්ද්‍ර දෙවියන් තමන්ගේ යුද්ධ වලදී නිකුත් කරන අකුණු වෙනත් දෙවිවරුන්ගේ පලිහවල් වල වැදී පොළවට පැමිණෙන බව අම්මා මට කියා දී තිබේ . දෙවියන් විසින් මේ අකුණ එව්වේ කොතනටද ? . අකුණ ගැන සිතමින් මම නැවතත් කාමරයට වැදී හොඳින් පොරවාගෙන නිදාගත්තෙමි .

උදෑසන වනවිට වැස්ස අඩුවී යන්තම් පොදයක් පමණක් ඉතුරු වී තිබිණි . වලව්වට ආ වෙද සීයා රැගෙන ආවේ හදවත සසල කරවන පුවතකි .

" පන්සලේ චෛත්‍යයේ කොත් කැරැල්ලට ඊයේ රාත්තිරියේ අකුණක් වැදිලා . චූඩා මාණික්කයේ ඉඳලා හතරැස් කොටුවට වෙනකල්ම පුපුරලා කෑලි කෑලිවලට කැඩිලා ගිහින් "

" සීයේ අපිත් යමු පන්සලට "

ජේමිස් කරත්තය සූදානම්කර ආ සැනින් මමද සීයාද වෙද සීයාද එහි ගොඩවී පන්සල බලා ගමන් කළෙමු . පන්සලට යන විය ගමේ කීපදෙනෙක්ම පන්සලේ චෛත්‍යය වටා රොක් වී සිදුවූ විපත පිළිබඳව විමසමින් සිටියහ . නායක ස්වාමීන් වහන්සේද ඒ අසල විය .

" අවසර නායක හාමුදුරුවනේ "

" ස්වභාවධර්මයා විපරිත උනාම ඔහොම තමයි අරනෝලිස් . ආ මේ වෙද මහත්තයත් ඇවිත් ඉන්නේ "

" දැන් ඉතින් ගමම එක්කාසු වෙලා චෛත්‍යය ගොඩනගන්න කතා කරගත්තනම් නේද හාමුදුරුවනේ "






" චූඩාමාණික්කය කෑලි කෑලිවලට කැඩිලා ගුරුන්නාන්සේ . හතරැස් කොටුව දේවතා කොටුව කොත් කැරැල්ල නම් හදන්න පුළුවනි . ඒත් චූඩාමාණික්කයක් හොයන්න නම් ලේසි වෙන එකක් නැහැ "

" රත්නපුරේ පැත්තේ වලව් කීපයක්ම මම අඳුරනවා ගුරුකම් වලට ගිහිල්ලා . ඒ වලව් වලින් මට මේ වෙලාවේ උදව්වක් ගන්න පුළුවන් වෙයි හාමුදුරුවනේ "

මේ අතරේ වෙද සීයා ගම්මුන් සමග කතාවට වැටුණු අතරේ ලත් අවස්ථාවෙන් නායක ස්වාමීන් වහන්සේ උපරිම ප්‍රයෝජනය ගත්හ .

" අරනෝලිස් . නිවීහැනහිල්ලේ වෙලාවක චූටි පුතා එක්ක පන්සලට එන්න . හතරැස් කොටුව කෑලි කෑලිවලට කැඩිලා විසිවෙනවා මම ඇහැටම දැක්කා . හතරැස් කොටුවේ තිබුණු නිධන් පෙට්ටිය කළුගල් පෙට්ටියක් . මම ඒක කාටවත් පෙන්නේ නැතිවෙන්න එවෙලේම වැස්සේ තෙමි තෙමීම අරගෙන ඇවිත් ආවාස ගෙයි මගේ කුටියේ තැම්පත් කළා . ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා ඇත්තෙත් මේ පෙට්ටියේ වෙන්න ඕන . ඒක ආයෙත් තැම්පත් කරන්න කලියෙන් මට ඒක විවෘත කරලා බලන්න හිතයි . මේ ළඟදී මම හීනයක් දැක්කා ඔය සම්බන්ධව . මේකේ පෙරනිමිත්තක් වෙන්න බැරි නැහැ ඒ හීනෙන් කියවුනේ කියලා මට හිතෙනවා "


ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

පලි :- ඔන්න එහෙනම් අලුත්ම කතාව පටන් ගත්තා . කාලයක් තිස්සේ ලියනවා ලියනවා කිය කිය ඉඳලා දැන් තමයි ලියන්න පටන් ගත්තේ . වෙලාව තියෙන හැටියට ලියන්නම්කෝ .

අලුත්ම ලිපි පබ්ලිෂ් උනාද කියලා බලාගන්න අපේ ෆේස්බුක් ග්රූප් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න . පහළ තියෙනවා ලින්ක් එක .

- මකරාගේ සන්නස -
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

2 comments:

  1. එල මේක තමයි මං ආසම කතාව...

    ReplyDelete
  2. ela machan eka husmata kiyuwa eka digata tiyanwnam maru :)

    ReplyDelete