සඳ එළියේ අසිපත ( 3 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි




පසුගිය කොටසෙන්


" සාධු සාධු සාධු !!!!! "

" දැන් ගමේ උදවියට කියන්න ඕන ඇවිත් ධාතුන් වහන්සේලා වැඳ පුදාගන්න ඇවිත් යන්නය කියලා . ආයේ කවදා ඉතින් මේ වගේ අවස්ථාවක් ගමේ උදවියට ලැබෙනවා කියලද ? "

" හාමුදුරුවනේ සන්නස කියවන්න දැන් වෙලාවක් නැහැ නෙව . ඒ නිසා පන්සලේම ඒවා තැම්පත් කරලා තියාගන්න . මමයි චූටි පුතයි එන්නම් ආයෙත් වෙලාවක . නැත්නම් හාමුදුරුවෝ ඒ දේවල් පොඩ්ඩක් කියවලා බැලුවනම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ . කොහොමත් ඒ භාෂාව මම දන්නෙත් නැහැ . ඒ නිසා හාමුදුරුවන්ට තමයි ඒක කියවලා බලන්න වෙන්නේ "

" මම අද රෑටම ඒක කියවන්න පටන් ගන්නවා අරනෝලිස් . අපි එහෙනම් ගිහින් නිධන් පෙට්ටියේ පියන තියලා තියමු . දැන් මට ඒක උවමනා වෙලාවට බලන්නත් පුළුවන් නිසා ඕන වෙලාවක සන්නස අරගෙන කියවලා බලන්න පුළුවන් "

මමත් සීයාත් නායක ස්වාමීන් වහන්සේත් ආවාසගෙය තුලට නැවත ඇතුල්වීමු . සන්නස ගැනීමට නායක ස්වාමීන් වහන්සේ නිධන් පෙට්ටිය තුලට අත දමනවිටම සීයා කෑගැසුවේය .

" හාමුදුරුවනේ බලාගෙන ඔන්න ඔතන නයෙක් "

අද එතැන් සිට





" සීයේ නයාව එළවන්න පුළුවන් වෙයි කියලානම් මම හිතන්නේ නැහැ . මේවගේ දේවල් ආරක්ෂා කරන්න නයි තමන්ගේ ජීවිත කාලෙම කැපවෙලා ඉන්නවා කියලා මම අහලා තියෙනවා "

සීයා කිසිවක් නොකියා අනවසරයෙන් නිධන් පෙට්ටියට පැමිණි නාග රාජයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට මන්තර මැතිරීමට පටන් ගත්තේය .

..............ඕං සුරවරා සුරවරියා දෙහේන්ද්‍රෝ දෙහේන්ද්‍රෝ පෙරිය මරින්දු මුක්කෝල් ඌසිවානේ නාග තඹිරානේ පෝග පෝග ඒස්වාහඃ මණිඅරින්දු දේහොලාකේ නාග තඹිරානේ පෝග පෝග ඒස්වාහඃ ................

සීයා මන්තර කීපයක්ම මතුරමින් අතට මතුරා අත පෑවද , පිම්බද නාගයා එතනින් ඉවත්වන පාටක් පෙනුනේ නැත . අවසානය නායක ස්වාමීන් වහ්සේ යෝජනා කරන ලද්දේ සෙත් පිරිත් සජ්ජායනා කිරීමයි . ආවාසගෙයි දොර වසා දැමූ නායක ස්වාමීන් වහන්සේ එක හුස්මට පිරිත් සූත්‍ර පුරන්නට වන්හ . අවසානයේ රතනසූත්‍රය අවසන් වීමත් සමගම නාගයා එතනින් නික්මීමට සූදානම්වී නිධන් පෙට්ටියෙන් බිමට බැස්සේය . සීයා වහා ක්‍රියාත්මක වී අවාසගෙයි දොර විවෘත කළේය . නාගයා කෙමෙන් කෙමෙන් නික්ම ගියේය .

" ඈ අරනෝලිස් . අද රාත්තිරියේ පන්සලේම නැවතිලා ඉඳලා මේ සන්නස කියවලා අහවර කරලා මොනවද තියෙන්නේ කියලා බලලා ගියොත් නරකද මම අහන්නේ ? "

" මටත් හිතෙනෙවා හාමුදුරුවනේ මොකක් හරි හැංගිච්ච දෙයක් මේ නිධන් පෙට්ටිය එක්ක තියෙනවා කියලා . අපි එහෙනම් මේක කියවලා බලමු . හාමුදුරුවන්ට තමයි කියවන්න වෙන්නේ හාමුදුරුවෝ ඕක කියවන්න . මමයි චූටි පුතයි මෙහෙට වෙලා අහගෙන ඉන්නම් "

" හාමුදුරුවනේ මට පුළුවනි ඕන නම් සන්නසේ විස්තර සටහන් කරගන්න "

" එහෙනම් චූටි ගුරුන්නාන්සේට මම පැන්සලකුයි කොපි පොතකුයි දෙන්නම් . පොඩි නම ........."

නයක ස්වාමීන් වහන්සේ පොඩි හාමුදුරුවන් වහන්සේ නම කැඳවා උන්වහන්සේ ලවා පැන්සලක් සහ කොපි පොතක් ගෙන්වාගත්හ .

" එහෙනම් අපි නමෝ විත්තියෙන් මේ සන්නස කියවන කාරිය ආරම්භ කරමු "





නායක ස්වාමීන් වහන්සේ සන්නසේ වචනයෙන් වචනය කියවමින් ඒවායේ අර්ථ විග්‍රහ කල අතර මම ඒවා සියල්ල විදුළි වේගයෙන් සටහන් කරගත්තෙමි . ඉතිහාසය වළලා දැමීමට නොහැකිබව මෙම සන්නස කියවන අතරේ මම තනිවම සිතමින් ඒවා සටහන් කරගත්තෙමි . මහාවංශය ථූපවංශය ආදී වංශ කතා මා කියවන ලද්දේ ඉගෙන ගන්නා අවධියේය . ඇත්තෙන්ම ඒවා පක්ෂපාතීව ලියන ලද පොත් බව විශ්වාස කල හැක . බුද්ධාගම වෙනුවෙන් මිනිසුන්ගේ භක්තිය වැඩි කිරීම සඳහා එම පොත් ලියවෙන්නට ඇත . එහෙත් ඒවාට හාත්පසින්ම වෙනස් ඉතිහාසයක් අපට උරුමවන්නට තිබෙන්නට තිබී නැතිවී ගොස් ඇත . සුළුවෙන් හෝ එය ආරක්ෂා වී තිබෙන්නේ මෙවැනි නිධන් , ගල්ගුහා වැනි ස්ථාන වල පමණි . සන්නේ තිබුණු කතාන්දරය සැබවින්ම විශ්වාස කිරීමට නොහැකි කතාපුවතකි . එහෙත් එය සත්‍ය කතාපුවතක් බව මම පසුව තේරුම්ගත්තෙමි .

දුටුගැමුණු මහ රජතුමාගේ ජීවිතය අකාලයේ කෙළවර වන්නේ නාග කන්‍යාවියක දූෂණය කිරීමේ වරදට ජීවිතයෙන් වන්දි ගෙවීමට වූ හේතුවෙනි . නමුත් එය සිදුවූ වතාවට කලින් වතාවන් කීපයකදීම දුටුගැමුණු මහරජුගේ මරණයත් වළකාලන ලද්දේ කපුරුනාථ නම් වූ මහරජතුමාගේ රාජකීය විෂ වෛද්‍යවරයා විසිනි . නාගකන්‍යාවියගේ පවුලේ අය කීප වතාවකදීම දුටුගැමුණු මහරජතුමාට දෂ්ට කලද රජතුමා මරණින් බේරී ජීවත් වුණේ කපුරුනාථ වෙදමහතාගේ විෂ ඉවත් කිරීමේ මාහැඟි ශිල්පක්‍රමය සහ එතුමාගේ දක්ෂකම නිසාවෙන්ය . එහෙත් අවසාන වතාවේ දුටුගැමුණු මහරජතුමා වෙනුවෙන් කපුරුනාථ වෙදමතාටද තම ජීවිතය නැතිකරගනීමට සිදුවිය .

දුටුගැමුණු මහරජතුමා මරන්නට නොහැකි වූයේ කපුරුනාථ නිසාය . එනිසා පළමුව මැරියයුත්තේ කපුරුනාථය . එවිට විෂ ඉවත් කිරීමට නොහැකිව දුටුගැමුණු රජතුමාද මියයයි . නාග ගෝත්‍රිකයින් තම සැලසුම සාදන ලද්දේ මේ ආකාරයටය . අවසානයේ ජීවිත දහස්ගණනක් සර්ප විෂ ඉවත් කරවා සුවපත්කල කපුරුනාථ නිදි පැදුරේම මියගියේ නාගවෙස්ගත් නාග ගෝත්‍රිකයාගේ විෂ දල හතරම පාදයේ කිඳාබැස්සායින් පසුවය . දුටුගැමුණු මහරජතුමාට දෂ්ට කරන ලද්දේ ඉන් අනතුරුවය . දුටුගැමුණු මහරජතුමාගේ විෂ ඉවත් කරවීමට අශෝකමාලා නම්වූ මහරජුගේ ලේලියගේ පාර්ශවය ඉදිරිපත් වුවද කුල මාන්නය කරපින්නාගත් රාජකීයයන් එයට ඉඩක් දුන්නේ නැත . එනිසා සිංහලේ මහා පෞර්ෂයක් වූ දුටුගැමුණු මහරජතුමාද කපුරුනාථ ගිය තැනටම ගියේය . සෝනුත්තර හිමි ලවා උපායශීලීව ධාතුන් වහන්සේලා ගැනීමේ සිට සිදුවූ සියලු අකටයුතුකම් වෙනුවෙන් නාග ගෝත්‍රිකයින් පලිගත්තේය .

ජනකතාවක් ලෙස කුඩා කාලයේ මම මෙම කතාව අසා ඇත්තෙමි . එහෙත් එම කාලයේ වූ විශ්මය දනවන තවත් සිද්ධියක් දැනගන්නා ලද්දේ මෙම සන්නස කියවීමෙන් අනතුරුවය . කපුරුනාථ වෙදමහතා මනුෂ්‍ය ශරීරයක් නැවත පණගැන්වීමට හැකි ලෙස ගල්ගුහාවක සඟවා තබා ඇතිබව මෙම සන්නසේ ලියවී තිබිණි . එහෙත් ඊට අවශ්‍ය එම අනර්ඝ ඖෂධ මංජුසාව නිධන් කර තිබෙන්නේ මහ වනාන්තරයක නිධානයක් ලෙසය . එය ගැනීමට කළයුතු වත් පිළිවෙත් , පුද පූජා , බිලි දීම වැනි වතාවත් විශාල ප්‍රමාණයක් එම සන්නසේ  විස්තර කර තිබිණි . එම සිරුර තිබෙන ස්ථානය හරියටම සොයාගන්නා ආකාරය සටහන්වී ඇත්තේ ඖෂධ මංජුසාව සහිත නිධානය සමගය . එනිසා ඖෂධ මංජුසාව පළමුවෙන්ම සොයාගතයුතුය .





" ඉතින් හාමුදුරුවනේ ඔය සරීරකූඩුව කාගේද කියලා සඳහන් වෙලා නැත්ද ? "

නායක ස්වාමීන්වහන්සේගේ දීර්ඝ විස්තරකිරීමට සීයා විසින් බාධා කරන ලද්දේය . නායක ස්වාමීන් වහන්සේ මද වේලාවක් ගෙන සන්නසේ තවත් පත්තිරු කීපයක් නිශ්ශබ්ධව කියවා බලා විස්තර කිරීමට පටන්ගත්හ .

" අරනෝලිස් දන්නවා නේද දුටුගැමුණු මහරජතුමාට හිටියා දසමහා යෝධයෝ කියලා යෝධයින් දහ දෙනෙක් . අන්න ඒ අයගෙන් සුරනිමල කියලා යෝධයෙක් ඉඳලා තියෙනවා . ඒ යෝධයාගේ අතවැසියා විදියට හිටපු , එහෙමත් නැත්නම් විශ්වාසවන්තම යාළුවා වෙලා හිටපු කෙනාගේ ශරීරය තමයි ඔය බෙහෙත් ඔරුවක තැම්පත් කරලා තියෙනවා කියලා මේ සන්නසේ සඳහන් වෙන්නේ . එතනට යන පාරවල් නම් මේකේ සඳහන් වෙලා නැහැ මොකක්වත් . ඒත් ඖෂධ මංජුසාව ගන්න යන්න ඕන විදිය , කරන්න ඕන දේවල් ඔක්කොම සඳහන් වෙලා තියෙනවා "





" හාමුදුරුවනේ දැන් පාන්දර වෙන්නත් ආවා නෙව . ඒ නිසා මමයි චූටි පුතයි දැන් යන්නම් වලව්වට . හාමුදුරුවොත් ඩිංගක් සැතපුනානම් නේද හොඳ මේ වෙලාවේ . අපි උදෑහනම පන්සලට ආයෙත් එන්නම් "

" අරනෝලිස් මොකද කියන්නේ මේ වෙච්ච දේ ගැන . මේ ශරීරයට අයෙත් පන දෙනවද ? . නැත්නම් මේ සන්නස ආයෙත් නිධන් කරලා ආනාගතයට මේක ඉතුරු කරනවද ? "

" හාමුදුරුවනේ මමනම් හිතන්නේ ශරීර කූඩුවට පන දීලා සන්නස විතරක් අනාගතයට ඉතුරු කරොත් හොඳයි කියලා . එන්න එන්නම සුද්දා ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුව වෙනස් කරලයි තියෙන්නේ . ඒ නිසා ඉස්සරහට හැදෙන උන් මේවගේ වටිනාකමක් හිතට අරගෙන වැඩ කටයුතු කරන එකක් නැහැ . අනික මේ ශරීරකූඩුවත් තොටගමුවේ හාමුදුරුවන්ගේ සරීරය වගේ පරදේසක්කාරයින් අතට යනවාට වඩා හොඳයි අපිම ඒගැන බලාගන්න එක . ඇත්තටම හාමුදුරුවනේ මොකක්ද අර දැක්කයි කියන හීනය ? "

" ආ , මට අරනොලිස්ට ඒ ගැන කියන්න වෙලාවක් ලැබුණේ නැහැ නෙව . මම ඔය හීනය ගණන් ගත්තේ නැහැ අරනෝලිස් . ඒත් බලන්න චෛත්‍යයට අකුණු පහර වැදුණුවෙලේ තමයි මම තේරුම් ගත්තේ ඒ අකුණුපහර මගේ හීනයත් එක්කම සම්බන්ධයි කියලා . හීනය විස්තර කරලා දැන් වෙලාව නාස්ති කරන්න ඕන නැහැ . අරනෝලිස්ලා වලව්වට යන්න . මටත් දැන් තෙහෙට්ටුයි . ඒ නිසා මමත් ඩිංගක් සැතපිලා ඉඳලා උදෑහනම අපි කතාකරමු මේ වෙනුවෙන් මොකද කරන්නේ කියලා "

" එහෙනම් අපිට ආවසර "

" සුවපත් වේවා ! "

සීයාත් මමත් පන්සලෙන් පිටත්වනවිට කුකුළා හඬලන්න තිබුණේ පැයක් පැය එකහමාරක් පමණි . වලව්වට යන අතරේ සීයා සහ මම කතාකරන ලද්දේ ඉදිරියේදී අපිට මුහුණපාන්නට වන ප්‍රශ්න පිළිබඳවය .

" සීයේ "

" ම්ම්ම්ම් "

" දැන් ඔය මනුස්සයට අපි පන දුන්නයි කියමුකෝ . එයාට අපි කතා කරන ඒවා තේරෙයිද ? "

" මමනම් හිතන්නේ පුතේ සන්නස වෙන බහකින් ලියවිලා තිබුණට ඒකාලෙත් කතා කරන්න ඇත්තේ මේ සිංහලම තමයි . අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා "

" මටනම් හිතට හරි නැහැ වගේ "

" ඇයි පුතේ ? "

" නැහැ ඉතින් අතීතයේ ඉඳලා එකපාරටම වගේ සැතපුණු කෙනෙක් ආයෙත් අවුරුදු දහස් ගානකට පස්සේ අවධිවෙනකොට ? "

" හ්ම්ම්ම්  . මටත් හිතාගන්න බැහැ ඒ මනුස්සයා කොහොම කෙනෙක්ද කියලා . අන්තිමට ගාලකඩාගත්ත හරකා වගේ දුවන්න තියාගනියිද දන්නේ නැහැ "

කතාවෙන් කතාව අපි වලව්වට ළඟාවීමු . මේ පිළිබඳව සීයාත් මමත් වලව්වේ සියල්ල දැනුවත් කිරීමට කථිකා කරගත් අතර ඊට ඇතුළත් වූයේ අම්මාත් තාත්තාත් ආච්චිඅම්මාත් පමණි . වලව්වට ආ අපි පසුදා උදෑසන වනතුරු නිදාගත්තෙමු . ඉන්පසුව වලව්වේ ඉහත කී පිරිස මේ පිළිබඳව දැනුවත් කර නැවතත් පන්සලට යාමට පිටත් වීමු .

නායක ස්වාමීන් වහන්සේ පන්සල් වත්ත අමදිමින් සිටියහ .

" අරනොලිස්ලටත් නින්දගිහින් නැති පාටයි "

" එහෙමයි හාමුදුරුවනේ . වැඩි නිදිමතක් තිබුණෙත් නැහැ . අර තෙහෙට්ටුවට වගේ නිසා ඩිංගක් හාන්සි උනා . ඒත් නින්දක් කියලා තිබුණේ නැහැ . වෙච්චි දේවල් සිහිපත් වෙනකොට ඉස්සරහට මොනවා වෙයිද කියලා හිත හිත ඉන්නකොට නිදිමත නැතිවෙලා ගිහින් "

" මටත් හිතාගන්න බැරි ඒකමයි අරනෝලිස් "

" අපි යමු ආවාසගෙය පැත්තට . එළියේ ඉඳගෙන මේවා කතා කරන එක එච්චර නුවණට හුරු නැහැ "

ආවාසගෙය තුළට ආපසු නායක ස්වාමීන් වහන්සේ නැවතත් තම හඬ අවධි කළහ .

" මම සන්නසම කියවලා අවසන් කරා අරනෝලිස් . ඊට පස්සේ තමයි පොඩ්ඩක් සතපුනේ . මේ තැම්පත් කරලා තියෙන මනුස්ස පරාණය තමයි සුරනිමල යෝධයාට දෙවෙනි නොවෙච්ච එකම කඩු හරඹ කාරයා වෙලා තියෙන්නේ . එසේ මේසේ කෙනෙක් නෙවෙයි මේ ඉන්නේ . විජිතපුර සටනේ මහ මොළකාරයින්ගෙන් එක්කෙනෙක් කියලත් කියලා තියෙනවා . අපිට මේ කෙනා ලවා ගොඩක් විස්තර අහගන්න පුළුවන් වෙයි අතීතය ගැන . ඒ නිසා මේ පරාණය ආයෙත් උපද්දන එක තමයි හොඳම දේ . ඒවායින් අපිට තවත් ඉතිහාස පොතක් ලියලා අනාගතයට ඉතුරු කරලා තියන්න පුළුවන් "

" හාමුදුරුවනේ මම අංජනම ඇරලා බලන්නද මේ මංජුසාවයි ශරීරය තැම්පත් කරලා තියෙන බෙහෙත් ඔරුව තියෙන ගල් ගුහාවයි කොහෙද තියෙන්නේ කියලා ? "

" කමක් නැහැ අරනෝලිස් . සන්නසේ කඩයිම් වගයක්නම් සටහන් කරලා තියෙනවා . ඒවා අනුව ගිහින් අපිට පුළුවන් වෙයි හොයාගන්න . ඒත් අංජනමෙන් අරනොලිස්ට පාර බලාගන්න පුළුවන් නම් අපිට පුළුවන්වෙයි කොහොමද යන්නේ කියලා බලාගන්න "





" චූටි පුතේ ඔයා වලව්වට ගිහින් අංජනම අරගෙන එන්න . අපි පන්සලේ දේවාලගෙයි ඉඳගෙන අංජනම ඇරලා බලමු කොහොමද මේ තැන් වලට යන්නේ කියලා "

මම වහා වලව්වට ගොස් අංජනම රැගෙන නැවතත් පන්සලට පැමිණියෙමි . සීයා මම සහ නායක ස්වාමීන් වහන්සේ පන්සලේ ඇති කතරගම දේවාලයට ඇතුල්වී මල් ආසනයමත අංජනම තබා අංජනම ඇරීමේ කටයුත්තට මුල පිරුවෙමු .

“……ආතාල බන්ධ පාතාල බන්ධ අටකොන රාක්ෂ බන්ධ ශක්‍ර දේවේන්ද්‍රගේ අනින් කැරකි කැරකී ඇවිලී දැවිලී මහාමේරුවට අත තබා සුරාසුර කොදෙවු සාගර තරණය කර හනුමන්තා දේව රාජා අංජන දේවී අරං එලිය බලා ඕඩු ස්වාමියානේ ඕඩු ඕඩු එස්වාහඃ………”

" අහන්න පුතේ මේ මංජුසාව කොහෙද තියෙන්නේ කියලා . අපිට පාර පෙන්නන්න කියන්න "

" සීයේ හනුමා යනවා ඉස්සෙල්ලම අපේ වලව්වට "

" ඔව් , එතන ඉඳලා කොහාටද යන්නේ ? "

" ඊට පස්සේ යනවා පාරට . පර දිගේ ගිහින් ගිහින් ගමේ මායිමෙන් ඉවත් වෙලා අල්ලපු ගමට ඇතුළු වෙනවා . ඊට පස්සේ අල්ලපුගමේ කෙළවරේ තියෙන වනාන්තරයට ඇතුල් වෙනවා . එතනින් එහාට යන්නේ නැහැ . යන්න බැහැ කියලා කියනවා . හනුමාගේ ගමනට මග අවුරලා තියෙන්නේ කියලා කියනවා "

" එහෙනම් පුතේ හනුමට කියන්න අංජනම් දේවියට ආරාධනා කරන්න කියලා "

" හරි සීයේ අංජනම් දේවිය වැඩියා "

" අංජනම් දේවියට අවහිරය නැතිකරගෙන යන්න පුලුවන්ද කියලා බලන්න කියන්න "

" සීයේ අංජනම් දේවියටත් මග අවුරලා තියෙන්නේ කියනවා "

අනතුරුව සීයා අංජනම් එලි සඳහා මතුරන මන්තර සියල්ලම පාහේ මතුරමින් හනුමාට සහ අංජනම් දේවියට අවුරා ඇති මග පැහැදිළි කරදීමට උත්සාහ ගත්තේය . එහෙත් අවසානයේ හනුමා විසින් කියන ලද්දේ එම ස්ථාන ලේසියෙන් සොයාගැනීම වළකාලීම සඳහා මග අවුරා තිබෙන බවයි .


" හාමුදුරුවනේ , මේ වැඩේ ලේසි වෙන්නේ නැති පාටයි . හනුමට මග අවුරන්න පුළුවන් තරම් කෙනෙක් ලේසියෙන් ඉඳියි කියලා මම හිතුවේ නැහැ . මේ සරීරයයි මංජුසාවයි හොඳට මන්තර ගුරුකම් දන්නා කෙනෙක් තමයි ආරස්සා කරලා තියෙන්නේ . අපි එහෙනම් එතනට ගිහිල්ලම බලමු "

ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment