ලංකාවේ කේන්දර සහ පිටරට කෙන්දර



දැනට ටික කාලයකට කලින් විදේශගතවෙලා ඉන්න අන්කල් කෙනෙක් මට කතාකරලා ඇහුවා එයාගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරවා ගන්න පුලුවන්ද කියලා . මම ඒ වෙලාවේ මගේ ජ්‍යෝතිෂ වැඩ කොටසට අදාළ සියලුම විස්තර අඩංගු සටහනක් යවලා කිව්වා ඒ අවශ්‍ය විස්තර මට එවන්න කේන්දරේ හරිද වැරදිද බලලා පළාපල සහ දැනගන්න අවශ්‍ය අනිත් විස්තර එවන්නම් කියලා .

ඊට පස්සේ එයා මාත් එක්ක කිව්ව දේවල් වලින් මම පුදුමයට පත්වුණා . ඒ අංකල් කිව්වා මම දැන් විදේශගත වෙලා ඉන්නේ . ඒ නිසා මට ඒ රටට අදාලව කේන්දරේ හදාගන්න පුලුවන්ද කියලා . ඊට පස්සේ මම හිතුවේ එයා ඉපදිලා තියෙන්නේ පිටරටක කියලා . මම ඉතින් ඇහුවා කොහෙද ඉපදිලා තියෙන්නේ කියලා . එතකොට කිව්වා මම ඉපදිලා තියෙන්නේ ලංකාවේ . 

ඒත් දැන් ඉන්නේ විදේශගතවෙලා ඒ නිසා මම ඉන්න රටට අනුව උපන් වෙලාවට කේන්දරයක් හදාගන්න ඕන කියලා . මම කල්පනා කරා මේ කියන්නේ මේ කෙනා ඉන්න රටට මේ දවස්වල කොහොමද ග්‍රහ බලපෑම තියෙන්නේ කියලා අහනවා කියලා . ඒත් මෙයා අදහස් කරලා තියෙන්නේ තමන් ජීවත්වෙන රට වෙනස් කරනවානම් උපන් වෙලාව අනුව තමන් ජීවත් වෙන රටට අදාලව කේන්ද්‍ර සටහනක් නිර්මාණය කරන්න ඕන කියලා .



මම ඊට පස්සේ ඒ දේවල් පැහැදිලි කරන්න උත්සාහ ගත්තත් ඒ කෙනා ඒවා වටහාගන්නා බවක් පෙනුනේ නැති නිසා එයා වෙනුවෙන් මගේ සේවය ලබා දීම මම ප්‍රතික්ෂේප කරා . ජ්‍යෝතිෂ විද්‍යාව තරමක් දුරට දැනගත් පිරිසක් මේ වගේ වැරදි දේවල් මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙනවා කියලා තමයි මමනම් හිතන්නේ .

කේන්දරේ කියන්නේ තමන් උපන් වෙලාවට අදාලව අහසේ තරු ග්‍රහයින් නැකත් පිහිටලා තියෙන ආකාරය ගැන දළ වශයෙන් හෝ සූක්ෂම වශයෙන් පෙන්නුම් කරනු ලබන යම්කිසි සැලසුමකට . ඒ සැලසුම අනුව තමයි ජ්‍යෝතිෂ විද්‍යාඥයින් කේන්දරේ බලවා ගන්න එන අයට අවශ්‍ය දේවල් කරලා දෙන්නේ .

අපි ඉපදෙන්නේ යම් වේලාවකදී පොළවේ යම් තැනකදී . ඉතින් ඒ කෙනාගේ ශරීරයට මේ නැකත් ග්‍රහ තරුවල කිරණ එහෙම බලපාන්නේ ඒ ඉපදෙන වෙලාවේ අහසේ පිහිටලා තිබුණු විදියට . සරළවම කියනවානම් ඔයාලා හිතනවාද ගෝලාකාර පොළවේ එකම වෙලාවකට ලංකාවටත් ඇමෙරිකාවටත් එකම ලග්නයක් උදාවෙයි කියලා . අනික ලංකාවේ උපන් කෙනා ඇමෙරිකාවට ගියාම එයාට වෙනමම කේන්දරයක් හදන එක සාධාරණයි කියලා . කවදාවත් එහෙම වෙන්නේ නැහැ . කෙනෙක් ඉපදුනා නම් ඒ කෙනාට බලපාන්නේ ඒ වෙලාවේ ඒ ස්ථානයට තිබ්බ ග්‍රහ බලපෑම තමයි .



ලංකාවේ සමහර ජ්‍යෝතිෂවේදීන් මේ විදේශයක උපන් කෙනෙක්ට කේන්දර නිර්මාණය කිරීමේදී මෙන්න මෙහෙම දෙයක කරනවා . එයාලා කරන්නේ විදේශයක උපන් වෙලාව ලංකාවේ වෙලාවට හරවනවා . ඊට පස්සේ ලංකාවේ වෙලාවට කේන්දරේ හදනවා . ලංකාවේ වෙලාවට කේන්දරේ හදලා දෙනවා මෙන්න කේන්දරේ කියලා . ඒත් ඒක වැරදියි . වෙලාවේ අඩු වැඩිවෙන සාධකයක් තියෙන නිසා අපිට පුළුවන් විදේශ වෙලාව ලංකාවේ වෙලාවට හරවලා නැවතත් විදේශයේ වෙලාවට පෙරළන්න . 

ඒත් විදේශයක හැදෙන්න ඕන කේන්දරේ ලංකාවේ තැනකට හදලා ආයෙත් විදේශයකට පෙරළන්න බැහැ . අනිත් කාරණාව තමයි මෙහෙම ලංකාවේ වෙලාවට විදේශයේ වෙලාව පෙරලලා කේන්දරේ හැදුවා කියමුකෝ . ඒත් ස්ථානය කොහොමද ගන්නේ . ලංකාවේ යම් නිශ්චිත වේලාවකදී කොළඹට තියෙන ග්‍රහ බලපෑම නෙවෙයි ත්‍රිකුණාමලයට තියෙන්නේ . ඉතින් විදේශගත වෙලාවක් ලංකාවට හදනකොට කොළඹ නගරය පාදක කරගෙන කේන්දරේ හැදීම යම් දුරකට වැරදියි කියලා තමයි මමනම් විශ්වාස කරන්නේ .

උදාහරණයක් හැටියට විදේශයක උපන් කෙනාට කටක ලග්නය උදාවෙලා තියෙන වෙලාවට ඒ වෙලාවම ලංකාවේ වෙලාවට පෙරලලා කේන්දරේ නිර්මාණය කලාට පස්සේ එයාගේ ලග්නය මකර ලග්නය වෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් ධනු ලග්නය හෝ වෙනත් ලග්නයක් වෙන්න පුළුවන් . ඊට පස්සේ ඔන්න ලංකාවේ හදලා තියෙන කේන්දරේ නැවතත් අපිට විදේශයේ ඒ වෙලාවට අදාළ කේන්දරේ බවට පෙරළන්න විදියක් නැහැ . මේක තේරුම් ගැනීම මත තමයි තියෙන්නේ .



මේ ගැටළුව නිරාකරණය කරගන්න අපිට තාක්ෂනය උපයෝගී කරගන්න පුළුවන් . හැබැයි මම කියන්නේ නැහැ කේන්දර බලන සොෆ්ට්වෙයා සේරම හරි කියලා . සමහර ඒවායේ තියෙන  වීජගණිතමය ගණනය කිරීමේ වැරදි නිසා සමහර වෙලාවල් වලට කේන්දර වරදිනවා . මේ නිසා මම නම් කියන්නේ එකම සොෆ්ට්වෙයා එකක් තියාගෙන ඉන්නේ නැතුව කීපයක් පාවිච්චි කරන්න කියලා . අඩුම තරමේ සොෆ්ට්වෙයා තුනකින් හෝ මේ ගණනය කිරීම් කරලා බලන්න පුළුවන් නම් නිවැරදිතාවය පිළිබඳව හොඳ අදහසක් ගන්න පුළුවන් . එතකොට ඒ උපන් වෙලාවට අදාළව කේන්දර සටහන අනුව පළාපල විස්තරය ඉදිරිපත් කරන්න පුළුවන් විශ්වාසයෙන්ම .

වැරදි කේන්දරයක් කියන්නේ නමේ ඉඳලාම සේරම වැරදියි . ඔය විදියට විදේශයක ඉපදුණු කෙනෙක්ට සෙත් කවියක් ලියන්න ගිහින් උපන් නැකත් සහ නම සහ නිවැරදි කේන්දරේ අතර විශාල පරස්පර බවක් තිබිලා ඒ දේවල් මුල ඉඳලාම නිවැරදි කරන්න සමහර වෙලාවල් වලදී මට සිදුවෙලා තියෙනවා . සමහර නැකත් වලට එන අකුරු වලින් නම් තියන්න අමාරුයි . ඒ වෙලාවට ඒ නැකතට ගැළපෙන වෙනත් නැකතක අකුරෙන් නම් තියනවා . ඒත් එහෙම නොගැළපෙන වෙලාවල් වලදී නම් තියන්න මේ වැරදි කේන්දර හේතු වෙලා තියෙනවා .

කේන්දරේ වැරදි වුණාම අපල , දසා , විදසා , එරාෂ්ටක හැමදේකම කාලසීමාව වරදිනවා . එතකොට වෙන්නේ වැරදි පළාපල කීම . ඊටත් පස්සේ වෙන්නේ ඉතින් ජ්‍යෝතිෂ විද්‍යාව මිනිසුන් විසින් පිළිකුල් කිරීම කියලා . මේ ළඟදී මම කියවපු ලිපියක කමෙන්ට්ස් විදියට තිබුණා ජ්‍යෝතිෂ විද්‍යාව කියන්නේ ඇඟ මහන්සි කරවන්නේ නැතුව ලේසියෙන් හම්බ කරන්න තියන හොඳම විදිය කියලා . ඒත් ජ්‍යෝතිෂ විද්‍යාව හරියට කරන කෙනෙක් දන්නවා තමන්ගේ මනස තුල කොයිතරම් ගණනය කිරීමක් සහ ග්‍රහ ගමන පිළිබඳව කොයිතරම් සැළකිල්ලෙන් ඉන්න ඕනද කියන දේ .

ඒක ඉගෙන ගත්ත කෙනා විතරයි දන්නේ . ඉගෙන ගන්නේ නැතුව කියන්න බැහැ මේ දේ මෙහෙමයි කියලා . ධර්මය තුළිනම් ධර්මය විනාශ කරන අය ඇතිවෙනවා වගේම තමයි ජ්‍යෝතිෂ විද්‍යාව තුළින්ම තමයි ජ්‍යෝතිෂ විද්‍යාව විනාශ කරන අය ඇතිවෙන්නේ . විද්වතුන්ගේ ශාස්ත්‍රය ඒ ආකාරයට හෑල්ලුවට ලක්වීම පිළිබඳව තියෙන්නේ කළකිරීමක් .



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment