මම දෙවිඳුනි දෙවොලට ආවේ සඳ ගිනි ඇවිලෙන මොහොතකය




ප්‍රේම සබන්ධතා ඇතිකරගැනීම සමහර අයට ලේසි දෙයක් , ඒත් සමහර අයටනම් අමාරු දෙයක් . ප්‍රේම සබන්ධතා ඇතිවීම හෝ ඇතිකරගැනීම වෙන්නේ වැඩි හරියක්ම ආකර්ෂණය මත කියලා මම කලින් ලිපියක කිව්වා . ආකර්ෂණය මත තමයි ප්‍රේම සබන්ධතාවක් ඇතිවෙන්න පදනම ඇතිවෙන්නේ . පස්සේ දෙන්නා අඳුරගෙන කාලයක් යනකොට ආකර්ෂණයට වඩා අවබෝධයට මුල් තැනට එනවා කියලා තමයි කියන්නේ . ඒත් මේ මොකක්වත් නැතිව ප්‍රේම සබන්ධතා ඇතිවෙන නැතිවෙන චරිත අපේ අවට දකින්න නැතුවමත් නෙවෙයි .

මම ඉන්න වටපිටාවේ එක ගැහැණු ළමයෙක් ඉන්නවා කාලයක් තිස්සේ එක පිරිමි ළමයෙක් එක්ක යාළුවෙලා හිටියා . මේ දෙන්නා හැබැයි සමාජයේ ජීවත් වෙන්න හරියට දන්නේ නෑ කියලා වගේ තමයි මට හිතුනේ . ඕන පාරක හංදියක මහා හයියෙන් රණ්ඩු වෙන්න මේ දෙන්නාට වැඩි අපහසුවක් තිබුණේ නෑ . සමහර දවස් වලට පාරේ මිනිස්සු බලාගෙන ඉන්න අතරේ මේ දෙන්නා රණ්ඩු වෙනවා . බැංකුවේදී , තැපැල් කන්තෝරුවේදී මේ දෙන්නා රණ්ඩු වෙනවා . ඒත් පස්සේ දෙන්නා හිනා වෙවී ආයෙත් අත් අල්ලාගෙන යනවා දකිනවා . හැබැයි මේ සම්බන්ධය නවතින ලොකු දෙයක් උනේ නෑ එයාලට සාපේක්ෂව . යාලු වෙනවා තරහා වෙනවා එහෙම එහෙම තමයි දෙන්නා හිටියේ .

ඒ ගෑණු ළමයා ගැන මගේ දර්ශනයෙන් මැනලා මම ඇතිකරගෙන හිටියේ නෙගටිව් අයිඩියා එකක් . මොකද හදවතේ කැඩපත මුහුණ නිසා මූණ දැක්කම හදවත ගැන හිතාගන්න පුළුවන් නිසා . පහුගිය සතියේ දවසක මම මම දැක්ක දෙයින් වික්ෂිප්ත වෙලා අන්දුන් කුන්දුන් වෙලා පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදිලා මෙව්වා වෙලා ගියා . ඇයි දන්නවද ? . අර ගෑණු ළමයා දැන් ඉන්නේ වෙන පිරිමි ළමයෙක් එක්ක . අවුරුද්දකට වැඩි කාලයක් මම මේ ගෑණු ළමයා සහ කලින් පිරිමි ළමයා ගත කරපු ජීවිතය දිහා පේන වෙලාවට බලාගෙන හිටියා . දෙන්නා ගමන් බිමන් ගියේ එකට කෑවේ බිව්වේ එකට රණ්ඩු කරගත්තෙත් එකට . හැබැයි එහෙමත් වෙලා දෙන්නා ආයෙත් ප්‍රශ්නයක් නැතුව ඉන්නවා දැක්කම මට නිකමට හිතුනා මේ ගෑණු ළමයාගේ පිටතින් පේන පෙනුම අනුව මම වැරදි රූපයක් මවාගෙන ඉන්නවා කියලා . ඒත් මම හරි කියලා එදා මම තේරුම් ගත්තා .


දැන් ඒ ගෑණු ළමයා වෙනත් පිරිමි ළමයෙක් එක්ක තමයි ඉන්නේ . යන්නේ එන්නේ කන්නේ බොන්නේ ඔක්කොම . දෙන්නා එක්ක මෝටසයිකලේ තුරුල් වෙලා යනවා දැක්කම මට හිතුනේ අර පිරිමි ළමයාගේ ජීවිතේ අයියෝ සල්ලි නේද කියලා . මොකද ඒ පිරිමි ළමයා පෙනුමෙන් ටිකක් වැදගත් පාටයි , යමක් කමක් තියෙන පාටයි . මම හිතන්නේ මේ ගෑණු ළමයා මේ පිරිමි ළමයාගේ කරේ එල්ලුනේ ඒවා නිසා වෙන්න ඇති කියලා . සමහර විට මගේ හැගීම වැරදි ඇති ඒත් අවසානයේ එහෙම දෙයක් උනත් පුදුම වෙන්න දෙයක් නම් නෑ . 

ඉතින් ප්‍රේම සබන්ධයක් නැති වෙන්න බලපාන හේතු කාරණා මොනවද කියලා හිතලා බැලුවම මෙන්න මේවා මම හිතනවා ඒ කාරණා එකතුවට ඇතුල් කරන්න පුළුවන් කියලා . 

සමහර ප්‍රේම සබන්ධතා බිඳ වැටෙන්න මූලිකවම හේතු වෙන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම වෙනත් ප්‍රේම සබන්ධතා ඇතිකරගැනීම . මේ නිසා දෙන්නට කොහොමත් ප්‍රේම සබන්ධතාව ඉදිරියට පවත්වාගෙන යන්න බැරි නිසා ප්‍රේම සබන්ධය ඇණහිටිනවා . වෙනත් සබන්ධතා වලට යොමු වෙන්න වැඩි තරමක් හේතු වෙන්නේ ප්‍රේම සම්බන්ධයේදී දෙන්නා එකිනෙකා මත තෘප්තිමත් නොවීම නිසා කියලයි මමනම් හිතන්නේ .

අරමුණක් නැතිව ප්‍රේම සබන්ධයක් ඇතිකරගත්තට පස්සේ අරමුණක් හොයාගන්න බැරි උනාම මේ අතෘප්තිමත් බව ඇතිවෙන්න පුළුවන් . ඒ නිසා තමන්ට ගැළපෙනවා කියලා හිතෙන වෙනත් කෙනෙක්ට ප්‍රේම කරන්න පටන් ගන්නවා . මේ නිසා කාලයක් තිබ්බ ප්‍රේම සබන්ධයක් නැතිවෙලා යන්න පුළුවන් .

මට අහන්න දකින්න ලැබුණු තවත් හේතුවක් තමයි දෙන්නගේ කුල ප්‍රශ්න . අද කාලේ මේවා නිසා ප්‍රේම සබන්ධතා නැතිවෙනවා කියලා ඇහෙනකොට වෙලාවකට පුදුමත් හිතෙනවා . ඒත් එහෙම වෙනවා .

විදේශ ගතවීම් නිසාත් සමහරවිට ප්‍රේම සබන්ධතා නවතින්න පුළුවන් . මොකද විදේශ ගත උනාම සමහර අයට දකින්න කතා කරන්න ලැබෙන්නේ නෑ . ඒ නිසාම ජීවිතයේ ඇතිවෙන අතෘප්තිකර ස්වභාවය නිසා වෙනත් සම්බන්ධයකට යොමු වෙන්න හෝ තියෙන සබන්ධය නැතිවෙන්න ඉඩ තියෙනවා .

සමහර ප්‍රේම සබන්ධතා ඇනහිටින්න හේතු වෙන්නේ දෙන්නගේ තියෙන සංස්කෘතික වෙනස්කම් . මුලින් ප්‍රේම සබන්ධයක් ඇතිකරගන්නකොට මේවා ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ . ඒ නිසා පස්සේ තමයි තේරුම් ගන්නේ තමන්ට මේ කෙනා එක්ක ජීවිතය තියෙනකල් ජීවත් වෙන්න බෑ කියලා . ඒ නිසා ප්‍රේම සබන්ධය නවතිනවා .

ඔය ඔක්කොමත් හරි ගෙවල් වලින් අකමැති වීම නිසා සමහර ප්‍රේම සබන්ධතා නවතිනවා . මොකද අම්මලා තාත්තලා අකමැති වීම නිසා දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම අකමැති වෙන්න පුළුවන් මේ විදියට ගියොත් දෙන්නට එකතු වෙන්න බැරි නිසා ප්‍රේම සම්බන්ධය නවත්වන්න ඕන කියලා .

මේ වෙලාවේ මට තවත් කතාවක් මතක් වෙනවා . එක පවුලක පවුලේ වැඩිමල් පිරිමි ළමයා ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නවා . මේ සබන්ධය ඇතිවෙන්නේ පවුලේ එකම ළමයා වෙන ගැහැණු ළමයෙක් එක්ක . මේ පිරිමි ළමයාගේ අම්මාගේ කුලය සමාජ සම්මත විදියට පහත් කුලයක් කියලා අර ගෑණු ළමයාගේ අම්මලා තාත්තලා මේ විවාහය වෙනවට අකමැති වෙනවා . ඒ නිසා දෙන්නා වෙන් වෙනවා .

ඔය වගේ එක එක හේතු නිසා ප්‍රේම සබන්ධතා නවතින්න පුළුවන් . අද මම කියන්න යන ගීතයත් ප්‍රේම සබන්ධයක් නැවතුනු ගැහැණු ළමයෙක් තමන්ගේ පෙම්වතාගේ වෙන් වීම දරාගන්න බැරුව දෙවියන්ට කන්නලවු කරන ස්වරූපයෙන් රචනා වෙච්ච ගීතයක් .

මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ
බැති පූජා දෝතින් ගෙන දොවලා
ආවේ කතර ගෙවා
මම දෙවිඳුනි දෙවොලට ආවේ

කිමද සාමිනේ නිහඬව ඉන්නේ
නොඅසා මගේ විලාපේ
සඳුන් කපුරු පෙති මල් දම් ගොතලා
හිසින් දරාගෙන ආවේ
වට තිර අළුවී පුදසුන් ගිලිහී
දෙවියන් නෑ දේවාලේ

දෙදෙනා ආමග අත්වැල් පටලා
තනිවී මා වැලපෙන්නේ
ඔබේ අනුහස සරණ නොමැති දා
කාටද මා අයදින්නේ
සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද
හිරුගෙන් සිසිල පතන්නේ

ගායනය : සුජාතා අත්තනායක

තනුව :

ගී පද : උපාලි ධනවලවිතාන



 


මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ
බැති පූජා දෝතින් ගෙන දොවලා
ආවේ කතර ගෙවා
මම දෙවිඳුනි දෙවොලට ආවේ

කාලයක් තිස්සේ ටික ටික පරිපූර්ණත්වයට පත්වෙමින් ආව ආදර කතාවක නොසිතූ විරූ විදියට ලැබුණු දුක්ඛ දායක අවසානයක් . ඉතින් මේ දුක දරාගන්න පෙම්වතියට හිතේ හයියක් නෑ . ඒ නිසා තමන්ගේ දුක කියන්න පෙම්වතිය එනවා දෙවියන් වැඩ ඉන්න දේවාලයකට . බැති පූජා දෝතින් ගෙන දොවලා කියලා කියන්නේ දෙවියන්ට පූජාවක් තියලා තමයි තමන්ගේ මේ දුක කියන්න ඒ පෙම්වතිය බලාපොරොත්තු වෙන්නේ . සමහරවිට හිත නිදහස් කරගන්න වගේ දෙවියන්ට තමන්ගේ භක්තිය පෙරදැරි කරගත් පූජාවන් පූජා කරනවා වෙන්නත් පුළුවන් .

කිමද සාමිනේ නිහඬව ඉන්නේ
නොඅසා මගේ විලාපේ
සඳුන් කපුරු පෙති මල් දම් ගොතලා
හිසින් දරාගෙන ආවේ
වට තිර අළුවී පුදසුන් ගිලිහී
දෙවියන් නෑ දේවාලේ

පෙම්වතිය මේ වෙලාවේ බොළඳ වෙනවා කියලා හිතන්න පුළුවන් . මොකද කවදාවත්ම දෙවියන් තමන්ට ඇහෙන්න කතා කරන්නේ නැති නිසා . ඒත් පෙම්වතිය දෙවියන්ගෙන් ප්‍රශ්න කරනවා කිමද සාමිනේ නිහඬව ඉන්නේ නොඅසා මගේ විලාපේ කියලා . සඳුන් කපුරු පෙති මල් දම් ගොතලා හිසින් දරාගෙන ආවේ කියන්නේ තමන් තමන්ගේ පැමිණිල්ල දෙවියන් වෙනුවෙන් ඉදිරිපත් කරන්න ආවේ ඉතාමත් භක්තිමත්ව වඩාත්ම ගැලපෙන පූජා ද්‍රව්‍ය අරගෙන ආවා කියලා . මොකද ඉතින් දෙවියන් වෙනුවෙන්නේ සඳුන් කපුරු මදාරා මල් පිපෙන්නේ . දෙවියන් දැන් තමන්ගේ පැමිණිල්ල අහන්නේ නෑ කියලා පෙම්වතිය හොඳටම දන්නවා .ඒ  නිසා පෙම්වතිය හිතනවා තම ආව දේවාලයේ වට තිර දැවිලා පූජාසනය පසෙක වැටිලා දෙවියන් දේවාලයෙන් නික්මිලා යන්න ගිහින්ද කියලා .


දෙදෙනා ආමග අත්වැල් පටලා
තනිවී මා වැලපෙන්නේ
ඔබේ අනුහස සරණ නොමැති දා
කාටද මා අයදින්නේ
සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද
හිරුගෙන් සිසිල පතන්නේ

දැන් පෙම්වතිය තමන්ගේ බලාපොරොත්තුව , ඒ කියන්නේ දෙවියන්ට කියලාවත් තමන්ට සරණක් පිහිටක් ලබාගන්නවා කියන බලාපොරොත්තුව අත්හැර දමලා කියනවා ප්‍රේමයෙන් වෙලිලා දෙදෙනා ආමග අත්වැල් පටලා තනිවී මා වැලපෙන්නේ කියලා . ඔබේ අනුහස සරණ නොමැති දා කාටද මා අයදින්නේ ? , දෙවියන් පවා දේවාලයෙන් නික්මිලා ගිහින් තියෙන වෙලාවක වෙන කොහෙන්ද පිහිටක් සරණක් ලබාගන්නේ කියලා පෙම්වතිය කල්පනා කරනවා . අවසානය නැවතත් විප්පයෝගයම උරුම වීම තමයි කියලා පෙම්වතිය හිතාගන්නවා . මේ ගීතයේ මම කැමතිම කොටස තමයි සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද හිරුගෙන් සිසිල පතන්නේ කියන කොටස . මේ පද පේලියේ තේරුම නිසාම මම මේ ගීතයට තවත් තේරුමක් දෙන්න කල්පනා කරා වෙනස් ආකාරයක . ඒක උපමා උපමේය පිරිච්ච තේරුමක් වෙන්න පුළුවන් . එහෙනම් ගීතයේ මුල ඉඳලා අපි ආයෙත් බලමු ඒ මොකක්ද කියලා .







මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ
බැති පූජා දෝතින් ගෙන දොවලා
ආවේ කතර ගෙවා
මම දෙවිඳුනි දෙවොලට ආවේ

මේ ගීතයේ මේ කියන දේවාලය තමයි ප්‍රේමය කියන දේවාලය . ප්‍රේම දෙවොලේ ඉන්න දෙවියන් තමයි ප්‍රේමය කියන්නේ . මේ පෙම්වතිය ප්‍රේමය නැමති දෙවියන්ට කියනවා මම දෙවිඳුනි දෙවොලට ආවේ කියලා . ඒ කියන්නේ ප්‍රේමය කියන දෙවියන් අධිපතීත්වය දරන ප්‍රේමය හොයාගෙන තමනුත් ආවා කියන එක . ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධය ඇති වුනාට පස්සේ තමන් ප්‍රේම දෙවොලේ බැතිබර පූජාව පවත්වනවා කියන එක . බැති පූජා දෝතින් ගෙන දොවලා ආවේ කතර ගෙවා . ඒ කියන්නේ මේ ප්‍රේම දෙවොලේ බැතිබර භක්තිවන්තියක් වෙන්න මේ පෙම්වතිය ගොඩක් කැපවීම් කරා , ඒ වගේම සැලකිය යුතු කාලයක් ආවා කියන එක .

කිමද සාමිනේ නිහඬව ඉන්නේ
නොඅසා මගේ විලාපේ
සඳුන් කපුරු පෙති මල් දම් ගොතලා
හිසින් දරාගෙන ආවේ
වට තිර අළුවී පුදසුන් ගිලිහී
දෙවියන් නෑ දේවාලේ






දැන් මේ පෙම්වතිය කියනවා ප්‍රේමය නැමති දෙවියන්ට කිමද සාමිනේ නිහඬව ඉන්නේ නොඅසා මගේ විලාපේ කියලා . සඳුන් කපුරු පෙති මල් දම් ගොතලා හිසින් දරාගෙන ආවේ කියලා කියන්නෙ තමන්ගේ හිතේ තිබ්බ ප්‍රේමයේ තිබුණු අති උත්තම පාරිශුද්ධත්වය පෙන්නුම් කරන්න . වට තිර කියන්නේ තමන්ගේ ප්‍රේම සම්බන්ධය ආරක්ෂා වෙන්න තිබ්බ පවුරු බැමි . පුදසුන් කියන්නේ තමන්ගේ ප්‍රේම සම්බන්ධය වෙනුවෙන් තමන් ඉටු කරන්න බලාපොරොත්තුවෙලා හිටපු කැපවීම් ඉටුකරන්න තිබ්බ හොඳම අවස්ථා . දැන් පෙම්වතා නික්මිලා ගිහින් නිසා තමන්ට මේ හැමදේම නැතිවෙලා කියලා මේ පද පේලි දෙකෙන් අදහස් කරනවා කියලා මම විශ්වාස කරනවා . ඉතින් එහෙම වෙලා නිසා තමන්ගේ ප්‍රේම දෙවොලේ වැඩ උන්නු ප්‍රේමය නැමති දෙවියන් අදවෙනකොට නැහැ කියලා මේ පෙම්වතිය කියනවා . 

දෙදෙනා ආමග අත්වැල් පටලා
තනිවී මා වැලපෙන්නේ
ඔබේ අනුහස සරණ නොමැති දා
කාටද මා අයදින්නේ
සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද
හිරුගෙන් සිසිල පතන්නේ

මෙතන දෙදෙනා ආමග අත්වැල් පටලා කියලා කියන්නේ පෙම්වතා සහ පෙම්වතිය ආපු ජීවන මග ගැන . මේ මාවතේ දැන් පෙම්වතිය තනිවෙලා දුක්වෙනවා . ඉතින් මේ දුක ඇතිවෙන්නේ දේවත්වයෙන් තමන් පුදනු ලැබූ ප්‍රේමය නැමති දෙවියන්ගෙන් ලැබෙන ආශිර්වාදය ආරක්ෂාව දැන් නැති නිසා . තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් අවශ්‍ය උනොත් අනාගතයේ තමන් කාගෙන්ද පිහිට පතන්නේ කියලා පෙම්වතිය හිතින් හිතනවා . සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද හිරුගෙන් සිසිල පතන්නේ ? . මෙතන මම හිතන්නේ සඳ කියලා කියන්නේ පෙම්වතිය වෙන්න ඕන . හිරු කියලා කියන්නේ ප්‍රේමය වෙන්න ඕන . පෙම්වතියට දැන් ප්‍රේමය ගැන තියෙන්නේ සෘණාත්මක හැගීමක් . ඒ නිසා පෙම්වතිය හිතනවා තමන්ට ගින්දරක් ඇතිඋනාම තමන්ට ගින්දර දීපු ප්‍රේමයෙන් කොහොමද සිසිලක් ප්‍රාර්ථනා කරන්නේ කියලා .

ඉර තමයි හඳට ආලෝකය දෙන්නේ . පෙම්වතුන් මේ චන්ද්‍ර මඩුලු අතරේ තමයි ප්‍රේම කරන්නේ . ඒ ආලෝකය පෙම්වතුන්ට පෙම්වතියන්ට සිසිලක් . ඒත් එහෙමයි කියලා ඒ ආලෝකයේ පදනම වෙන ඉරෙන් කවදාවත් සිසිලක් ලබාගන්න බැහැ කියලා මේ ගීතය අවසාන කරනවා .


මේ ගීතය අහන්න පටන් ගත්තේ නොසිතූ වෙලාවක . වයලීනොගේ මෑණියන් නම් සුජාතා අත්තනායක මහත්මියගේ ගීත අහන්න ඉස්සර ඉඳලා කැමතියි . ඒ නිසා රේඩියෝ එකේ මේ ගීතය එහෙම යනකොට ටිකක් සද්දේ වැඩි කරලා අහනවා . ඒත් වයලීනොට එච්චර කැමැත්තක් තිබ්බේ නෑ . ඒත් දවසක් බලපු වීඩියෝ එකක් නිසා මේ ගීතය නොඅහා ඉන්න බැරි උනා . හේමපාල පෙරේරා මහත්මයා , ලංකාවේ දැනට ඉන්න දක්ෂතම බටනලා වාදය ශිල්පියා . එතුමා රාජකීය විද්‍යාලයේ " සග " වැඩසටහනක සෝලෝ එකක් විදියට මේ ගීතය වාදනයකරනවා ඇහුනා . සංගීත භාෂාවෙන් කියනවනම් ඒ වාදනය හරිම පර්ෆෙක්ට් විදියට වාදනය කරලා තිබුණා .

ඉතින් ඕක අහපුවෙලේ ඉඳලා වයලීනොත් බටනලාවක් හොයාගෙන ඔය ගීතයේ රස මුසු තැන් හොයාගෙන යන්න පටන් ගත්තා . ඉස්සර නම් මේ ගීතයේ සංගීතයට කැමති නිසා ඇහුවේ . ඒත් මේ අවුරුද්දේ දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වුණු දවසේ වයලීනෝ ගියා දෙවියන් වැඳ පුදලා වයලීනි දැකබලාගෙන එන්න . එදා දේවාලෙට යනකොට උදේ හතට විතර ඇති . එදා මිදුලේ ඉඳලා දේවාලය දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට මොන හේතුවක් නිසාද මන්දා මේ ගීතය මතකයට ආවා . එදා ඉඳලා මේ ගීතය ඉඳලා හිටලා අහලා බැලුවා . පස්සේ තමයි තේරුනේ මේක මේ නිකන්ම නිකන් දේවාලයකට ආව එක්කෙනෙක් නෙවෙයි කියන්නේ කියලා .



මේ ගීතයේ සංගීතය ගැනත් යමක් කියන්න තියෙනවා . මොකද මේ වගේ ස්වර ව්‍යුහයකට කොටු කරලා හදලා තියෙන ගීත කීපයක්ම අපි අහන නිසා . මට මේ ගීතය පාදක වෙලා තියෙන රාගය ගැන අහන්න ලැබුණේ මම දහය වසරේ ඉගෙනගන්න කාලයේ . අපේ ඉස්කෝලේ ස්වර්ණවාහිනි නාලිකාවෙන් කරපු සංගීත ප්‍රසංගයක් තිබුණා . සිංදුවා අයියත් මේ ප්‍රසංගයට ගායනයෙන් සම්බන්ධ උනා කියලා ලාවට මතකයි . ඉතින් මේ ප්‍රසංගයේ අපි ගායනා කරා නන්දා මාලනී මහත්මිය ගායනා කරන ප්‍රීතී ප්‍රීතී කියන ගීතය .



මේ ගීතයේ අතරමැද තියෙනවා බටනලාවකින් හරිම සංවේදී විදියට වාදනය කරන ආලාප කොටසක් . මේ කොටස වාදනය කරන වෙලාවේ අපේ සංගීත මිස්ගෙන් කෙනෙක් ඇහුවා මිස් මේ සිංදුව මොන රාගයටද යන්නේ කියලා . මිස් තමයි එදා කිව්වේ මේ ගීතයේ තනුව රචනා කරලා තියෙන්නේ ධර්භාරිකාණඩා කියන රාගයෙන් කියලා . ලෝ සැපතා මේ සංසාරේ කියන ගීතයත් මේ රාගයෙන් රචනා වෙලා තියෙනවා කියලා මිස් එදා කිව්වා මතකයි . ඉතින් ධර්භාරිකාණඩා කියන රාගය එදා ඉඳලා වයලීනොටත් සමීප උනා . බටනලාවට ගැළපෙන හොඳ රාගයක් තමයි මේ රාගය .

ස්වර ගැළපීම් එක්ක බැලුවම මේ ගීතයෙත් තනුව රචනා වෙලා තියෙන්නේ මේ ධර්භාරිකාණඩා කියන රාගයෙන් කියලා තේරුම් ගන්න පුළුවන් . ගීතයේ සංගීතය ගැන වෙනත් විස්තර කියන්න ඕන නෑ . සංගීතයේ ව්‍යුහය තේරුම් ගන්න කැමති අය මේ රාගයේ ගායනයක වීඩියෝ එකක් මම මුලින් දැම්මා , ඒක ප්ලේ කරලා බලන්නකෝ .

වයලීනොට ආයෙත් කැම්පස් එකේ එක්සෑම් ළඟ නිසා හරියටම මාසෙකට ආයෙත් මුකුත් ලියන්න වෙන්නේ නැහැ . වැඩ රාජකාරි ගොඩක් තියෙන වෙලාවක හදිසියේම අසනීප උන නිසා පාඩම් කරන්න ඔලුව නිරවුල් කරගන්නත් අමාරු නිසා ඇඳට වෙලා කරන්න වෙන වැඩකුත් නැති නිසා මේ ලිපිය කොටලා පබ්ලිෂ් කරන්න හිතුනා . එහෙනම් ආයෙත් මාසෙකින් ලිපියකින් හමුවෙමු .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

4 comments:

  1. වයෝ දාල තියෙන වීඩියෝ එකක් වත් වැඩ නෑ. වීඩියෝ අන්අවේලබල් කියනවා. කොපිරයිට්ස් ඉෂූද දන්නෑ.
    ටිකක් බැලුව නං හරි...

    ReplyDelete
    Replies
    1. කෝ එහෙම එකක් මට පේන්නේ නෑනේ . ඉහි ඉහි ඉහි . හැදුවා ලින්ක් ටික . දාපු පරණ ලින්ක් ඩිසේබල් . අලුත් ඒවා දැම්මා .

      Delete
  2. ඔව්, බොහෝවිට එහෙම වෙන්න ඉඩ තියෙනවා.
    අවුලක් නෑ, පෝස්ට් එකේ ප්‍රායෝගික කතා සෙට් එක තිබ්බ නිසා, මට නං අල්ලල ගියා.:)

    ReplyDelete