සුදු ළූණු ව්‍යංජනය






ඊයේ පෙරේදා දවසක බ්ලොග් කියවන හිතවතෙකුගේ කේන්දරයක් බැලුවා . ඒක බලත්දී තියෙන ග්‍රහ පිහිටීම් වලට අනුව මට හිතුනා එයාට කොලෙස්ටරෝල් තියෙන්න ඕන කියලා . කොලෙස්ටරෝල් නිසා සියුම් රුධිර වාහිණී අවහිර වෙලා ශරීරයේ වැදගත් අවයවයක අඩපණ වීමක් ඒ කේන්දරයෙන් පෙන්නුම් කරා . මම ඉතින් එයාගෙන් අහනකොට දැනට කොලෙස්ටරෝල් නම් තියෙනවා කියලා කිව්වා . ඒ වෙලාවේ මම කිව්වා එදිනෙදා කෑම වේලට වැඩිපුර සුදු ළූණු එකතු කරගන්න කියලා . තව තව කන්න ඕන ඒවත් කිව්වා . ඒ වෙලාවේ මං කල්පනා කරා සුදු ළූණු විතරක් උයන්නේ කොහොමද කියලා බ්ලොග් එකේ කියලා දුන්නන නම් හොඳයි කියලා .

රුධිරගත කොලෙස්ටරෝල් අවම කරගන්න කුස්සියේ තියෙන හොඳම කෑම වර්ගය තමයි ළූණු පවුලේ සාමාජිකයෝ ටික . රතු ළූණු , ලොකු ළූණු , සුදු ළූණු හැම කෑමකටම වගේ එකතු කරගන්න පුළුවන් නම් රුධිර නාලවල තියෙන අවහිරතා සමනය කරගන්න ඒවා දායක කරගන්න පුළුවන් . තෙම්පරාදු කරලා කෑමට ගන්න දේවල් වලට උනත් සුදු ළූණු වැඩිපුර එකතු කරලා කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි . සුදු ළූණු රහ සමහර අයට අප්‍රිය උනාට ඉඟුරු ටිකක් එක්ක කලවම් කරලා ගත්තම කෑමට ගන්න පුළුවන් .

අපි දැන් බලමු සුදු ළූණු ව්‍යංජනය ගැන . සුදුළූණු විතරක් උයලා කෑමට ගන්න එකට තමයි මේ සුදු ළූණු ව්‍යංජනය කියලා කියන්නේ . ගොඩක් වෙලාවට සාංඝික දාන දෙනකොට මේ සුදුළූණු වෙනමම උයලා පූජා කරනවා . මොකද හාමුදුරුවරුන්ට ඒ ආහාරය වැඩිපුර ලැබෙන්නේ නැති නිසා . අද වෙනකොට ඒ ව්‍යංජනය සාංඝික දාන වලට විතරක් සීමා වෙලා තියෙන නිසා තමයි මම කල්පනා කරේ සාමාන්‍ය ආහාර වෙලටත් සුදු ළූණු ව්‍යංජනය ගන්න පුළුවන් කියලා බ්ලොග් එක හරහා දැනුවත් කරානම් හොඳයි කියලා . සුදු ළූණු ටිකක් මිලයි . ඒත් කොලෙස්ටරෝල් වලට ගන්න බෙහෙත් , රුධිර පරීක්ෂාවන් ඊටත් වඩා මිලයි . ඒ නිසා සුදුළූණු කාලා බලන්න .


අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ළූණු 500 g
මිටිකිරි කෝප්ප 1ක්
මිරිස් කුඩු මේස හැඳි 1/2ක්
තුනපහ කුඩු මේස හැඳි 1/4ක්
අමු මිරිස් කරල් 2ක්
කහ ස්වල්පයක්
රම්පෙ කොළ භාගයක්
කරපිංචා කිණිති 2ක්
උළුහාල් ස්වල්පයක්


සාදන අන්දම

සුදුලූණු ඉස්සෙල්ලම පොතු සුද්ද කරලා හෝදලා දෙකට කපා ගන්න . දෙකට කපන්නේ නැතිව උයනවනම් තමයි මම කැමති . ඒත් කැමතිනම් කපාගන්න . ඊට පස්සේ කපාගත්ත අමු මිරිස් , රම්පෙ , කරපිංචා , මිරිස් කුඩු , තුනපහ කුඩු , කහ කුඩු , උළුහාල් , ලුණු , මිටිකිරි අර සුදු ළූණු ටිකත් එක්ක පිසින භාජනයේ එකතු කරලා හොඳට කලවම් කරගන්න . ඊට පස්සේ මද ගින්නේ පිසගන්න තමයි තියෙන්නේ . වැඩිය ගින්දර දාලා තම්බ ගන්න එපා . එහෙම උනොත් සුදු ළූණු වලින් වැඩක් වෙන්නේ නැහැ . ඒ නිසා තරමකට පිසගෙන කෑමට ගන්න . රම්පෙ දානකොට සමහර අය කොලේ විතරක් දාලා පස්සේ ව්‍යංජනයෙන් ඉවත් කරනවා . ඒත් කරන්න ඕන රම්පෙ කොලෙත් පොඩියට කපලා ව්‍යංජනයට දාන එක .

මීට අමතරව සුදු ළූණු පොත්ත පිටින් පුච්චලා මී පැණිත් එක්ක කන එකත් හොඳයි . තව සුදු ළූණු අමුවෙන් කන්නත් පුළුවන් .

එහෙනම් සුදු ළූණු උයලා කාලා බලන්න .

තවත් ලිපියකින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment