ඉඟුරු ව්‍යංජනය





බ්ලොග් එක ගොඩ කාලෙකට පස්සේ ගතානුගතික යක්ස කතා දේව කතා වලින් මුදවලා ආයෙත් සුපුරුදු තත්වයට ගත්තා . මම හිතන්නේ මේ මාස ගානකට පස්සේ තමයි ලිපියක් ලියන්නේ . මේ කාලය පුරාවටම බ්ලොග් එකත් එක්ක රැඳිලා ඉන්න අයට මාගේ හදපිරි මෙව්වා එක පුද කරනවා . අද ලියන්න යන්නේ කෑමක් ගැන . කෑම ගැන ලියන්න කලින් මම කියන්නම් ඇයි මේක ලියන්න කල්පනා කරේ කියලා . 

ගොඩක් දෙනෙක්ට මේ කාලේ බඩේ ලෙඩ තමයි තියෙන්නේ . බඩ පුරවාදාන ලෙඩ . ගැස්ට්‍රයිටීස් ලෙඩ . අජීර්ණ ලෙඩ වගේ ලෙඩ තමයි තියෙන්නේ . කේන්දර බලන වෙලාවට සමහර අයට තියෙන බඩේ ලෙඩ ගැන කියලා මම ඒ අයට කියලා තියෙනවා ඉඟුරු සුදුලූනු එහෙම වැඩියෙන් කන්න කියලා . ඔන්න ඔහොම දවසක් මම කිව්ව කෙනෙක් අද මට කතා කරලා ඇහුවා ඉඟුරු ආහාරයට ගන්න විධි මොනවද කියලා . 

මමනම් කියන්නෙම අමුවෙන් පොඩ්ඩක් පොඩ්ඩක් කන්න පුළුවන් නම් හොඳයි කියලා . ඒත් කන්න බැරි අයට පුළුවන් බත් එක්ක දාගෙන අනාගෙන කන්න . එහෙමත් බැරිනම් උයලා කන්න පුළුවන් විදියක් ගැන තමයි මම ඒ කෙනාට කිව්වේ . උයන්නේ කොහොමද කියලා ඇහුවම මම කිව්වා හැමෝටම දැනගන්න එක්ක අපි බ්ලොග් එකේ ලියන්නම් ඒ ගැන . ලියලා ලින්ක් එක එවන්නම් කියලා . මෙන්න මේ විදියට තමයි ඉඟුරු ව්‍යංජනය හදන්නේ . 

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය 

වැඩිය මෝරලා නැති ඉඟුරු අල ග්රෑම් 250 
මිටි කිරි කෝප්ප 1 
දිය කිරි කෝප්ප 1 
මිරිස් කුඩු මේස හැන්දක්
තුනපහ අවශ්‍ය තරමට 
රතුළූණු ග්රෑම් 5 
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ ග්රෑම් 5 
අමුමිරිස් කරල් දෙකක් 
රම්පෙ කොළ 1 
කරපිංචා කිනිති දෙකක් 
දෙහි ගෙඩි 1 
උළුහාල් ජුන්ඩක්
කහ ජුන්ඩක් 
ලුණු ඉතාම ජුන්ඩක් අවශ්‍ය තරමට 


සාදන අන්දම 

ඉස්සෙල්ලම ඉඟුරු අල හෝදලා පොතු ඇරලා පිරිසිදු කරගන්න . ඊට පස්සේ ඒවා පෙති පෙති කපන්න . පෙති හීනි වෙන තරමට හොඳයි . මොකද ලොකු කෑලි හැපෙනවට වඩා පොඩි කෑලි හැපෙනකොට පොඩි ගතියක් තියෙනවා බත් එක්ක . 

ඉඟුරු ලියලා පිසගන්නා භාජනයකට දාගන්න . ඊට පස්සේ කපාගත්ත රතු ළූණු උම්ම්ම්ම්ම්ම්ම්බලකඩ අමුමිරිස් මිරිස් කුඩු තුනපහ කහ උළුහාල් රම්පෙ කරපිංචා දියකිරි දාලා අවශ්‍ය තරමට ලුණු දාලා මද ගින්නේ පිසගන්න . 
ඊට පස්සේ ඉඟුරු අල කෑලි තැම්බිලා කියලා දැනෙනකොට මිටි කිරි දාලා දෙහි ඇඹුල් බිංදු කීපයකුත් දාලා හොඳට ගින්දර දාලා පිසගන්න . ව්‍යංජනය හොඳට පිසගෙන ඊට පස්සේ දෙහි ඇඹුල් අවශ්‍ය තරමට දාලා කලවම් කරගත්තට පස්සේ කන්ට හැකි බඩ පිරෙනකල් . 


මේ ව්‍යංජනය කටෙන් ආරම්භ වෙලා අනිත් කොනෙන් අවසන්වෙන ලෙඩරෝග විශාල ප්‍රමාණයකට ගුණදායක වෙනවා . ඒවගේම තමයි වාත පිත්ත සෙලෙස්මාව කියන තුන් දොස් සමනය කරන්න මේ ආහාරය වඩාත් ගුණ දායක වෙනවා . ආමාශගත රෝග සමනය කරන්නත් මේ ආහාරය උදවු වෙනවා . පොඩි ළමන්ගේ පණු අමාරු සමනය කරන්නත් මේ ආහාරයට පුළුවන් . ඉඟුරු දැන් ටිකක් මිලයි . ඒ නිසා මමනම් කියන්නේ වත්තේම ඉඟුරු වගා කරගන්න කියලා . පෝච්චියක උනත් පුළුවන් වගා කරගන්න . 

මේ ආහාරය මාසයකට වතාවක් වගේ හදලා ආහාරයට ගන්න පුළුවන් නම් ශරීරයට ලොකු මෙව්වා එකක් ලබා ගන්න පුළුවන් කියලා පුරාණයේ හිටපු සෘෂිවරු පුස්කාපු කොලපොත් වල ලියලා තියෙනවා . 

එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු . 


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

1 comment: